Main Logo

Wednesday 11 April 2012

පනස්හයේ දරුවෝ හා මැකෝලේගේ දරුවෝ

පසුව සාමිවරයකු ලෙස පත්කරනු ලැබූ මැකෝලේ 1835 දී ඉන්දීය අධ්‍යාපනය පිළිබඳ තම කුප්‍රසිිද්ධ වාර්තාව ලිවි ය. මේ වාර්තාවෙන් එකල ඉංගිරිසින් සමස්තයක් ලෙස ගත්කල ඉන්දියාවට දිය යුතු යැයි සිතූ අධ්‍යාපනය පිළිබඳ සඳහන් වෙයි. එපමණක් නොව ඉංගිරිසින් ලංකාව ඇතුළු තම අනෙක් යටත්විජිතවල ද ලබාදිය යුතු යැයි සිතූ අධ්‍යාපනය ගැන ද එයින් කියැවෙයි. මැකෝලේට අනුව බටහිර වැදගත් පුස්තකාලයක එක් පොත් රාක්කයක ඇති පොත්වල වටිනාකම සංස්කෘතෙන් හෝ අරාබි භාෂාවෙන් හෝ ඉන්දියාවේ හා අරාබියේ ඉතිහාසයෙහි ම ලියැවී ඇති පොත්වල වටිනාකමට වැඩිි ය. එමෙන් ම ඔහුට අනුව සියළුම ඉන්දීයයන්ට බටහිර අධ්‍යාපනයක් ලබාදිය නොහැකි බැවින් තෝරාගත් පිරිසක් හමේ පාටෙන් හා ලේවලින්් ඉන්දීය (ලේවලින් ඉන්දීයයන් වන්නේ කෙසේ දැයි ඇසීමට එකල පඬියන් නොසිටි බව පෙනී යයි) එහෙත් බුද්ධියෙන්්, රුචිකත්වයෙන්, ආකල්පවලින්, සදාචාරයෙන් යුරෝපීයයන් කරන අධ්‍යාපනයක් ලබා දීය යුතු විය. මේ පංතියට විද්‍යාවෙන් ලබාගත් බටහිර වචනවලින් තම භාෂාවන් ඔපවත් කර අති විශාල ජනකායට (බටහිර) දැනුම ලබාදීමේ කාර්යය භාර දිය යුතු විය. මැකෝලේ ඇතුළු අනෙක් ඉංගිරිසින්ට එකල අවශ්‍ය වූයේ කුමක් ද යන්න ඉතා පැහැදිලි ය. මැකෝලේ විසින් ඇතිකරන ලද මේ පංතියට මැකෝලේගේ දරුවන් යන නම ද භාව්ිතා කෙරෙයි.අද ඉන්දියාවේ අති විශාල ජනකායක් වාසය කළ ද ඔවුන් පාලනය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම බ්‍රාහ්මණ වංශයට අයත් වූ ද මැකෝලේගේ දරුවන් වූ ද දේශපාලනඥයන්, සිවිල් සේවකයන්, විදේශ සේවයේ නිලධාරීන්, ජනමාධ්‍ය අයිතිකරුවන් හා ජනමාධ්‍යවේදීන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් විසින් බව පැහැදිලි ය. මොවුන්ට බටහිර විශේෂයෙන් එංගලන්තය සමග සුළු සුළු මතභේද ඇත. එහෙත් ඔවුහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම බටහිරයන්ගේ පෙරදිග ඉන්දීය සමාගම වෙයි. එපමණක් නොව ඔවුන්ට ඓතිහාසික වශයෙන් ප්‍රාග් වෛදික සංස්කෘතීන් සමග වෛරයක් වෙයි. බෞද්ධ සංස්කෘතිය ඉන්දීය බ්‍රාහ්මණයන්ගේත් මැකෝලේගේ දරුවන්ගේත් ගෞරවයට පාත්‍රවූවක් නො වේ. අම්බෙඩිකාර්ගේ දරුවන්ට ඉන්දියාවේ කිසිම තැනක් නැත. අදත් ඔවුහු සමාජ ප්‍රතිසංධානයකට ලක් නොවී සමාජ පරිධියෙහි ජීවත්වන ශූද්‍රයෝ පමණක් වෙති. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක දුටුවිට කෙළ ගසන ඉන්දීයයන් තවමත් ඇත්තේ කෙසේ දැයි අපට ජයලලිතා හෝ කරුණානිධි හෝ ගාන්ධිවාදියකු හෝ තේරුම් කර දෙන්නේ ද? 1835 දී රාජකීය විද්‍යාලය ඇරඹීමෙන් පසුව මෙරට ද මැකෝලේගේ දරුවෝ බිහිවෙති. ඔවුන් බිහිවන්නේ රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව ශාන්ත ජෝසප් ශාන්ත පීතර රිච්මන්ඩ් ආදී විදුහල්වලින් පමණක් නො වේ. ආනන්ද නාලන්ද ධර්මරාජ මහින්ද මලියදේව ආදී විදුහල්වලින් ද මධ්‍ය මහා විදුහල්වලින් ද ඔවුහු බිහිවෙති. අද මෙරට සිටින උගතුන් යැයි කියන්නන්ගෙන් හා කසිකබල් පශ්චාත්නූතනවාදීන්ගෙන් ඉතා වැඩි පිරිස අධ්‍යාපනය ලබා (හදාරා නොව) ඇත්තේ කිනම් පාසල්වල ද? අධ්‍යාපනය “හදාරන්නන්” වැඩි වශයෙන් බිහි වී ඇත්තේ කිනම් පාසල්වලින් ද? අද වන විට ඊනියා ජාත්‍යන්තර පාසල් ඔස්සේ ද ජඩමාධ්‍ය හරහා ද මැකෝලේගේ දරුවෝ බිහිවෙති. බාලිකා පාසල් හා එහි ශිෂ්‍යාවන් ගැන කියා වැඩක් නැත. මැකෝලේලාගේ පුරුෂාධිපත්‍යය හේතුවෙන් ශිෂ්‍යාවන්ට හිමි කාර්යය වී ඇත්තේ මැකෝලේගේ දරුවන්ගේ බිරියන් වීමත් තම පුතුන් මැකෝලේගේ දරුවන් බවට පත්කිරීමත් ය.

ජෙනීවාහි දී ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දීම පුදුමයක් නො වේ. එංගලන්තය හා ඇමරිකාව පසුගිය වකවානුවේ ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළේ ඉන්දියාව සමග එකඟත්වයෙනි. බටහිරයන්ගේ නියෝජිතයා ලෙස සොල්හයිම් නිතර ම සාකච්ඡා සඳහා දිල්ලියට ගියේ ය. ඉන්දියාව අපට නොයෙක් වර බලපෑම් දැමී ය. නේරු ආදීහු අපේ මිතුරෝ නොවුහ. ඉන්දිරා ගාන්ධි කොටින්ට පුහුණුව ලබා දුන්නේ ය. රජිව් ගාන්ධි පරිප්පු බෝම්බ දමා ඉන්දු ලංකා ගිවිසුමත් දහතුන්වැනි ව්‍යවස්ථාවත් පළාත් සභාත් අප මත බලෙන් පැටවී ය. අද ඉන්දීය ආණ්ඩුව මෙහෙයවන්නේ මනමෝහන් සිං නොව සෝනියා ගාන්ධි ය. ඇයගේ ආණ්ඩුව අපට විරුද්ධව ජෙනීවාහි දී ඡන්දය දුන්නේ ය. ඒ හුදෙක් තමිල්නාඩුවේ බලපෑමට නො වේ. රජීව් ගාන්ධි මරා දැමූ කොටින්ට පක්‍ෂපාති වන අයුරින් සෝනියා ගාන්ධි ඡන්දය දෙන්නේ තමිල් නාඩුවේ ඡන්ද ටිකක් ලබාගැනීමට යැයි මෙරට සිටින මැකෝලේගේ දරුවන් කීව ද අපී ඒ නො පිළිගනිමු. ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට එරට දෙමළ ජනතාව මුදල් ටිකක් දුන් පමණින් හිලරි ක්ලින්ටන්ලා අපට විරුද්ධ වන්නේ යැයි සිතීමට මෙරට මැකෝලේගේ දරුවන්ට උගන්වා ඇත්තේ ද බටහිර අධ්‍යාපනය විසිනි. ඇමරිකාවේ ජනාධිපතිවරණයේ දී වියදම් වන මුදල ගැන හරි වැටහීමක් මැකෝලේගේ දරුවන්ට ඇත් ද? රුපියල් අස්සේ අලුක්කාල් ගැසීමක් ගැන මොවුන් අසා තිබුණ ද ඔවුන්ට ඒ කතා ඔවුන්ගේ පසුබිමත් සමග ම අමතක වී ඇත. ඉන්දියාව මානුෂික මෙහෙයුම්වලට උදවු දුන්නා නො වේ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ වෙනත් දුර්වලකම් තිබුණ ද දේශපාලනිකව පනස්හයේ දරුවකු ලෙස ඉන්දියාවේ බලපෑම් ඉදිරියේ ජේ ආර් ජයවර්ධනලා මෙන් නොව කෙලින් සිට ගැනීමට කොන්දක් විය. රනිල් වික්‍රමසිංහ ලක්‍ෂමන් කිරිඇල්ල මෙන් ම තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර ද ආණ්ඩුවේ පශ්චාත් යුද කළමනාකරණය අසාර්ථක යැයි කියති. මේ පශ්චාත් යන්න මැකෝලේගේ දරුවන් වූ පඬියන්ගේ ප්‍රියමනාප වචනයක් බවට අද පත් වී ඇත. අපි මේ පශ්චාත්තාපවාදීන්ගෙන් ප්‍රශ්න දෙකක් අසමු. ආණ්ඩුවේ මෙහෙයුම් කළමනාකරණය සාර්ථක ද? එ ජා පක්‍ෂයේ පුර්ව යුද කළමනාකරණය සාර්ථක ද? ජෙනීවාහි දී බටහිර ක්‍රිස්තියානි රටවල් රංචු ගැසී ලංකාවට විරුද්ධව ඡන්දය දුන්නේ ඊනියා පශ්චාත් යුද කළමනාකරණය අසාර්ථක වීම නිසා නොව ආණ්ඩුවේ මෙහෙයුම් කලමණාකරණය ඉතා සාර්ථක වූ බැවිනි. ලංකාවේ අවාසනාවකාට බැරි වෙලාවත් එ ජා පක්‍ෂය බලයේ සිටියේ නම් ජෙනීවාහි දී එංගලන්තය මැදිහත් වී ඇමරිකාව ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් නොකරනු ඇත. එංගලන්තය කියන පදයට නටන එ ජා පක්‍ෂය බලයේ සිටින විට ලංකාවට විරුද්ධව යෝජනා ගෙනෙන්නේ අහවල් දෙයකට ද? අද මහින්ද රාජපක්‍ෂ මහතා පනස්හයේ දරුවකු ලෙස කළ යුත්තේ මානුෂික මෙහෙයුම්වල දී මෙන් ම බටහිරයන් හා ඉන්දීයයන් හමුවේ නොසැලී සිටීම ය. ඒ සඳහා එදා මෙන් ම අද ද ඒ මහතාට මෙරට තවමත් බහුතරය වූ පනස්හයේ දරුවන්ගේ සහාය ලැබෙනු ඇත.

ඉන්දියාව ජෙනීවාහි දී සංශෝධනයක් ඉදිරිපත් කළේ අප කෙරෙහි කරුණාවෙන් යැයි මැකෝලේගේ දරුවෝ අපට කියති. එය පයිසයක්වත් නොවටිනා එකකි. ඒ සංශෝධනයෙන්් කියැවෙන්නේ ඊනියා මානව හිමිකම් සමුළුව ලංකාවෙන් නොවිමසා ලංකාව සමග එකඟත්වයකින් තොරව අප ක්‍රියාකරන අන්දම ගැන සෙවීමට සමුළුවේ නියෝජිතයන් නොඑවිය යුතු බව ය. ඒ සංශෝධනය ඇතත් නැතත් ලංකාවේ අකමැත්තෙන් සමුළුවට කළහැකි කෙංගෙඩියක් නැත. අද ඊශ්‍රායලය පලස්තීන ජනාවාස ගැන සෙවීමට සමුළුවට ඒමට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ කියයි. ඊශ්‍රායලයට එරෙහිව සමුළුවට කළ හැක්කේ කුමක් ද? මැකෝලේගේ දරුවන් කියන්නේ අප බටහිරයන්ට කන් නොදුනහොත් අපට විනාශයක් අත්වන බව ය. පනස්හයේ දරුවන් කළ යුත්තේ මේ තර්ජනවලට නොබියව සමුළු නියෝජිතයන්ට ඊනියා සමීක්‍ෂණ හා අධීක්‍ෂණ සඳහා ලංකාවට ඒමට ඉඩ නොතැබීම ය. මැකෝලේගේ දරුවන් දැන් තවත් බයිලාවක් කීමට පටන් ගෙන ඇත. ඔවුන්ට අනුව ජෙනීවා යෝජනාවේ ආර්ථික සම්බාධක, යුද්ධාපරාධිකරණ, ආක්‍රමණ ගැන කිසිවක් සඳහන් නො වේ. මැකෝලේගේ දරුවන්ට විභාගවලින් සමත්වීමට හැකි ය. ඔවුහු සුද්දාගේ පොතේ ඇත්තේ කුමක් දැයි දනිති. එහෙත් ඔවුන්ට දැක්මක් නැත. අනාගතයේ දී කුමක් සිදුවන්නේ ද යන්න ගැන මැකෝලේගේ දරුවන්ට හාංකවිසියක්වත් නැත. ඔවුන් සිතන්නේ බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජනයා බටහිර රටවල් නොමග යවා ඇති බව ය. මැකෝලේගේ දරුවන්ට එංගලන්තය ගැන අහිතක් ඇතිවේද? මේ යෝජනා, සුදු කොඩි, සරත් ෆොන්සේකා, ඊනියා යුද්ධාපරාධ චෝදනා, ආර්ථික සම්බාධක, විදුලි පුටු, ආක්‍රමණ ආදී සියල්ල එක දාමයක පුරුක් පමණකි. ජෙනීවා යෝජනාවෙහි සම්බාධක ගැන කීමට තරම් එංගලන්තය හා ඇමරිකාව මෝඩ නො වේ. එහෙත් අප ඒ කතා එහි නැති නිසා ම මෝඩ විය යුතු නැත. මැකෝලේගේ දරුවන්ගෙන් සමන්විත උගත් පාඩම් කොමිසම පත් කළේ සටන් විරාම ගිවිසුම අසාර්ථක වූයේත්් කළ යුත්තේ කුමක් ද යන්නත් පිළිබඳ වාර්තාවක් සැපයීමට ය. වරම අසම්පුර්ණ වුවත් එහි වරදක් නැත. වරද ඇත්තේ කොමිසමට පනස්හයේ දරුවන් පත් නොකිරීම ය. කොමිසම දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම් ගැන කියයි. ජෙනීවාහි දී ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කර ගත්තේ මෙයෙුම්වල අවසාන සතියේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සොයා බැලීමට පමණක් නො වේ. ඔවුන්ට උගත් පාඩම් කොමිසම දෙමළ ප්‍රශ්නයට දුන් විසඳුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය. කොටි ත්‍රස්තවාදය අවුරුදු තිහකට වැඩි කලක් පැවතිණි. ඒ අවුරුදු තිහක් ලෙස ගත්ත ද සති 1565 ක් පමණ වෙයි. ඒ සති 1565 ගැන ම සෙවීමට කොමිසමක් පත්කරමු. එහි දී පනස්හයේ දරුවන්ගෙන් සමන්විත කොමිසමක් දෙමළ ජාතිවාදය ඇති වූ ආකාරය, එය ත්‍රස්තවාදයක් කරා විකාශය වීම ඔවුන්ට ආධාර කළ රටවල් සංවිධාන ආදිය ගැන සොයා බැලිය යුතු ය. ඉන් පසුව කළ යුත්තේ කුමක් ද යන්න ආණ්ඩුවට තීරණය කළ හැකි ය. ආණ්ඩුව තමන් පත්කළ කොමිසමක වුව ද යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී නැති බව අවධාරණය කළ යුතු ය. බටහිරයන් අපට සම්බාධක පමුණුවන්නේ ඔවුන්ගේ නියෝජිතයන්ට ලංකාවට ඒමට ඉඩ නොදුන් විට ය. ඉන්පසු සුදු කොඩි යුද්ධාපරාධ චෝදනා සරත් ෆොන්සේකා හා අවසානයේ දී ඒ සියල්ල වැරදුනහොත් ආක්‍රමණය ද එනු ඇත. මැකෝලේගේ දරුවන්ට මෙන් නොව පනස්හයේ දරුවන්ට ඒ සියල්ල පරාජය කිරීමට ශක්තිය ඇත. බෞද්ධයෝ වියට්නාමයේ දී මහා බලවතා පරාජය කළහ. අපි ලංකාවේ දී බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයම පරාජය කරමු. ඒ සඳහා ආධ්‍යාත්මික හා යුද ශක්තිය ගොඩ නගමු.