Main Logo

Showing posts with label 6%. Show all posts
Showing posts with label 6%. Show all posts

Thursday, 13 February 2020

දේශපාලන අනාථයන්ගේ අම්බලම

     සිංහල ලිත් ඉලක්කම්

දේශපාලන අනාථයන්ගේ අම්බලම


අද මෙරට දේශපාලන අනාථයන් පිරිසක් ඉන්නවා. ඔවුන් ඉන්නෙ අම්බලමක. ඒ පිරිස තමන් වම ද දකුණ ද කියාවත් දන්නේ නැහැ. සුප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ වචනයෙන් කියනවා නම්, ඔවුන් හිටපු ගමන් අම්බලමෙන් පිටතට ඇවිත්, ඉව වැරදුණු බල්ලන් මෙන් එහාට දුවනවා, මෙහාට දුවනවා. බොරු පඬි කතා ඇද බානවා. 

Sunday, 18 November 2012

සරසවි ඇදුරන්ගේ ව්‍යාජ ඉල්ලීම් හා දෙමළ ජාතිවාදය

අද වන විට සරසවි ඇදුරන්ගේ ඉල්ලීම්වල ව්‍යාජත්වය හෙළිදරවු වී ඇත. මේ වන විට පවත්නා ඇදුරු වර්ජනය 2010 ඔවුන් විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහි දී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ වැටුප් වැඩිකිරීම ය. එහෙත් 2011 මාර්තු මස පැවති සංකේත වර්ජනයේ දී තවත් ඉල්ලීමක් ඉදිරිපත් විය. එය 6% ඉල්ලීම විය. අද වන විට මෙරට අධ්‍යාපනයේ මහා අර්බුදයක් ඇතැයි කියමින් 6% වටා ජනතාව ඒකරාශි කිරීමේ අසාර්ථක උත්සාහයක ඇදුරු නායකයෝ යෙදී සිටිති. මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් ඇති බවට ගෙනෙන සාක්‍ෂි අතර උපකාරක පංති වටා රොක්වන සිසුන් ද කොළඹ පාසල්වලට සිසුන් ගෙන යන වෑන් රථ ද ඇතැම් පාසල්වල අඩුපාඩුකම් හා ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යෑම ද වෙයි. මේ එකක්වත් අධ්‍යාපනයේ ඇතැයි කියන අර්බුදයට සාක්‍ෂි නො වේ. දැනට අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ රාජකීය විදුහලේ සිසුහු ද උපකාර පංතිවල සහාය පතති. එයින් කියැවෙන්නේ රාජකීය විදුහලේ අධ්‍යාපනය කඩා වැටී ඇති බව ද? දැනට දශක ගණනක් තිසසේ පළල් වූ මධ්‍යම පංතියක් මෙරට වෙයි. මේ මධ්‍යම පංතියට කොළඹ හා නාගරික පාසල්වලට තම දරුවන් යැවීමේ හැකියාව ලැබී ඇත. ඒ අතර අධ්‍යාපනය හා මෙරට ආර්ථිකය අතර කිසිම සම්බන්ධයක් නැත. අධ්‍යාපනය අද පවත්නා ආකාරයෙන් අපට උරුම වී ඇත්තේ දේශීය සම්ප්‍රදායක නොව ඉංගිරිසින්ගේ හා බටහිර නූතනත්වයේ අවශ්‍යතාව පරිදි රැකියාවන්ට සිසුන් පුහුණු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ය. අපේ ආර්ථිකය ද එලෙස ම බටහිර අනුකරණය කිරීමේ දිශාවකට යොමු වී ඇත. අද බටහිර රටවල ද අධ්‍යාපනය හා ආර්ථිකය අතර තිබූ පැරණි සම්බන්ධය බිඳ වැටෙමින් පවතියි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එකල උපාධියක් ලබාගැනීම සඳහා අවුරුදු තුනක් නේවාසිකව ගතකර අදාළ විද්‍යාලවල (විශ්වවිද්‍යාලයෙහි ට්‍රිනිටි ආදී විද්‍යාල) තිබූ ගුරු උපකාරවල පිහිට ලබාගැනීම අවශ්‍ය වූ නමුත් අද තෘතීයික අධ්‍යාපනික සුදුසුකම් වෙනත් ආයතනයකින් ලබාගන්නා සිසුන්ට ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි අවුරුද්දක් පමණක් ගතකර කේම්බ්‍රිජ් උපාධියක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත. අද බටහිර ආර්ථිකයට අවශ්‍ය වන්නේ ශාස්ත්‍රවන්තයන් (ස්කොලර්ස් යන අරුතින්), ඊනියා විද්‍යාඥයන් ආදීන් නොව වෘත්තීයකයන් ය. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටීමේ ලක්‍ෂණයකි. යුරෝපීය වැඩවසම් ක්‍රමයෙහි බිහි වූ බටහිර විශ්වවිද්‍යාලවලට නූතනත්වයට මුහුණ දීමේ දී වෙනස්කම් කිරීමට සිදු වී ඇත.

බටහිර විශ්වවිද්‍යාලවල ආරම්භයේ සිට ශාස්ත්‍රවන්තයට හා ඊනියා විද්‍යාඥයන්ට අමතර ව නව දැනුම නිපදවූවෝ සිටිය හ. දැනුදු සිටිති. එහෙත් මෙරට විශ්වවි්ද්‍යාල ආයතනය 1921 දී පිහිටුවනු ලැබුයේත් දහනවවැනි සියවසේ දී නීති විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබුයේත් හුදෙක් පරික්‍ෂණවලට සිසුන් පුහුණු කරන ආයතන ලෙස ය. 1942 දී මේ ආයතන තුන එක්කර (නීති විද්‍යාලය එසේම පවත්වාගෙන යන අතර) ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුයේත් පසුව කාර්මික විද්‍යාලය ඇසුරෙන් ඉංජිනේරු පීඨය පිහිටුවනු ලැබුයේත් දැනුම නිර්මාණය කරන්නන් බිහිකිරීමට නොව බටහිරින් ලැබෙන දැනුම ඉගෙන එය අනුකරණය කරන්නන් බිහිකිරීම සඳහා ය. ඒ අතර අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කිරීමට බැරිකම ද වෙයි. ඒ හේතුවල ප්‍රතිඵලය වූයේ ලංකා විශ්වවිද්‍යාලයෙන් බටහිර දැනුම අනුකරණය කරන ශාස්ත්‍රවන්තයන් හා ඊනියා විද්‍යාඥයන් බිහි කිරීම ය. අපේ සම්ප්‍රදායෙහි දැනුම නිර්මාණය කිරීමක් ගැන එකල කිසිවෙක් කතා නො කළහ. අවාසනාවකට විිද්‍යොදය හා විද්‍යාලංකාර පිරීවෙන් විශ්වවි්‍යාල බවට පත්වීමෙන් පසුව ඒ ආයතන ද ලංකා විශ්වවිද්‍යාලය අනුකරණය කර ආයතන පමණක් බවට පත්විය. මෙරට සමස්ත අධ්‍යාපනයෙහි ම ඇත්තේ අපට නොගැලපෙන අධ්‍යාපනයක් අපට ඔරොත්තු නො දෙන ආර්ථිකයක ලබා දීම ය. එහෙත් ඇදුරන්ගේ සමිති නායකයෝ එවැනි අර්බුදයක් ගැන කතා නො කරති. ඔවුන් කතාකරන්නේ ව්‍යාජ අර්බුදයක් ගැන ය. ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යන්නේ ගම්වල දෙමව්පියන්ට ද තම දරුවන් නාගරික පාසල්වලට යැවීමේ හැකියාව ලැබීම නිසා ය. මේ අතර පෙනී යන කරුණක් නම් බටහිර අර්ථයෙන් අද පාසල් දියුණු වී ඇති බව ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලට ද පිහිණුම් තටාකයක් නො වී ය. අද පිහිණුම් තටාක නාගරික පාසල් බොහොමයක ඇති අතර පාසල් සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් බවට පිහිණුම් තටාක පත් වී ඇත. සමස්තයක් ලෙස ගතහොත් අද පාසල්වල ද විශ්වවිද්‍යාලවල ද පහසුකම් වර්ධනය වී ඇත. සෑම දේශනාගාරයක ම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ නැතිවා විය හැකි ය. එහෙත් දක්‍ෂ ගුරුවරයකුට කළු ලෑල්ල හා හුණු කෑල්ල පමණක් ප්‍රමාණවත් වෙයි. අද පරිගණක නැති පීඨයක් විශ්වවිද්‍යාලවල නැත. එහෙත් පරිගණක හා වෙනත් උපකරන ඔස්සේ අප බටහිරට කෙතරම් ගැතිවන්නේ ද යන්න බොහෝ ඇදුරන්ගේ අවධානයට යොමු නො වෙයි. කෙටියෙන් කියන්නේ නම් මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් වෙයි. එය බටහිර අනුකරණය කරන පුහු ශාස්ත්‍රවන්තයන් හා තුන්වැනි පංතියේ විද්‍යාඥයන් බිහිකිරීමට පමණක් අධ්‍යාපනය යොමු වී තිබීම නිසා හටගත්තක් වෙයි. එහෙත් අරසවි ඇදුරන් කතාකරන්නේ එවැනි අර්බුදයක් ගැන නො වේ. ඔවුන්ට අනුව අර්බුදයක් ඇත. ඒ අර්බුදය රජය අධ්‍යාපනයට මුදල් වියදම් නොකිරීම නිසා සිදුවන්නකි. එහෙත් රජය අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන්නේ යැයි පෙන්වීමට ඔවුහු අසමත් වෙති. යුනෙස්කෝ වාර්තාවෙහි කිසි තැනක රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි සඳහන් නො වේ. එසේ සඳහන් වී නැති බව පෙන්වූ විට ඔවුහු අරුම පුදුම තර්කයක් ඉදිරිපත් කරති. එනෙම් යූනෙස්කෝ රැස්වීම්වලට සහභාගිවන්නේ ඒ ඒ රටවල ඇමතිවරුන් බැවින් එහි සඳහන් වන්නේ රජය වියදම් කළ යුතු මුදල් බව ය. යුනෙස්කෝ රුස්වීම්වලට පෞද්ගලික අංශයෙන් සහභාගි නොවීම හේතුවෙන් එවැනි නිගමනයකට පැමිණිය හැක්කේ අනුකාරක පුහු ඇදුරකුට පමණ ය.

ආදායම් නූපදවන රජයේ ආයතනවලින් වැඩිම වැටුපක් ලබන්නෝ සරසවි ඇදුරෝ ය. අද වන විට මහාචාර්යවරයකුගේ වැටුප එක් ලක්‍ෂ පනස්දාහක් පමණක් වෙයි. ඇදුරන් කියන්නේ වැටුප් වැඩිකිරීමෙන් දක්‍ෂයන් විශ්වවිිද්‍යාලවලට බඳවාගත හැකි බව ය. එය පට්ටපල් බොරුවකි. 1993 දී ඇදුරන්ගේ වැටුප 200%කින් පමණ වැඩි වුවත් ඒ හේතුවෙන් බටහිර රටක ජීවත් වූ කිසිවෙක් අප රට විශ්විිද්‍යාලවලට නො බැඳුන හ. ඒ අතර අදත් පර්ිවාස කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ දී ප්‍රථම පංති සාමාර්ථ දිනාගත් අටදුම්කරුවෝ රාශියක් ඉල්ලුම් කරති. බඳවා ගැනීම හා රඳවා ගැනීමත් වැටුප්් වැඩිකිරීමත් අතර සම්බන්ධයක් නැත. එසේ ඇතැයි කීම ජනතාව මුලාකිරීමට සරසවි ඇදුරන් යොදාගත් උප්පරවැට්ටියක් පමණකි. ඇදුරන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කරගැනීමට නොහැකි වූ විට ඔවුහු 6% හි එල්ලුණහ. මේ ඉල්ලීම සමිති සම්මේලනය ඉදිරිපත් කළේ තම සාමාජිකයන් වූ වෘත්තිය සමිතිවල අදහස් නො විමසා ය. එය සම්මේලනයේ ව්‍යවස්ථාවට ද පටහැණි ය. එබැවින් ම එය නීති විරෝධී ය. අනෙක් අතට වෘත්තීය සමිති අරගලයක් ඇරඹීමෙන් පසු තව තවත් ඉල්ලීම් එකතු කිරීම සදාචාර විරෝධී ය. සම්මේලනයේ නායකයාට සදාචාරයක් නැතිවිට එය එසේ වීම අරුමයක් ද නො වේ. ඊනියා යුනෙස්කෝ වාර්තා ගැන කතාකරමින් ආණ්ඩුව අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නැතැයි බොරු කියමින් ඉදිරිපත් කරන ලද එය ඔවුන්ගේ ඉල්ලීමක් පමණක් නො වී ය. ඉල්ලීම පිටුපස පරාජිත දේශපාලනඥයෝ වූහ. එ ජා පක්‍ෂ ආණ්ඩු තිබූ සමයෙහි රජය අධ්‍යාපනයට වෙන්කරන ලද මූදල් අඩු වූ නමුත් එ ජා ප නායකයෝ නිර්ලජ්ජිතව 6% ඉල්ලූහ. පාසල් ගිනිතබා ඇදුරන් හා සිසුන් මරා අධ්‍යාපනය කඩා කප්පල් කළ ජ වි පෙ නායකයෝ ද අධ්‍යාපනය දියුණු කිරීමට යැයි කියමින් 6% වටා එල්ලුණ හ. තම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම යුක්තියුක්ත කිරීමට නොහැකි වූ ඇදුරෝ විජාතික බලවේගවල මෙහෙයවීමෙන් ජනතාව ආකර්ෂණය කරගැනීම සඳහා වෘත්තීය සමිති අරගලය ආරම්භ කර ටික කලක් ගත වීමෙන් පසුව සදාචාර විරෝධී ව 6% ඉල්ලුහ. මෙරට විජාතික බලවේග ඇදුරන් හරහා ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව පැහැදිලි විය. ඔවුහු අධ්‍යාපනයෙහි නැති අර්බුදයක් මවා පෑහ. විජාතික බලවේගවලට අවශ්‍ය වූයේ මළ කඳන් ය. අරාබි වසන්තය ඔවුන්ගේ ආදර්ශය විය. ඔවුහු මාස තුනක් තිස්සේ වැඩවර්ජනයක් ගෙන යෑමට ඇදුරන්ට උපකාර කළහ. පැහැදිලිව ම අද ඇදුරු සම්මේලනයට බාහිර අරමුදල් ලැබෙයි. බාල තම්පෝ ප්‍රසිද්ධියේ ම ඇදුරන්ට රුපියල් ලක්‍ෂ පහක් දී ඇත. අප්‍රසිද්ධියේ දී ඇති අරමුදල් කවරේ ද? මේ අරමුදල් පිළිබඳ කිසිම පාරදෘශ්‍යභාවයක් නැත. රජය මේ අරමුදල් පිළිබඳ විමසා බැලිය යුත්තේ මෙය හුදෙක් වෘත්තීය සමිති අරගලයක් නොවීම නිසා ය. විජාතික බලවේග සරසවි ඇදුරන් පිටුපස සිටින්නේ ඇයි? ඇතැම් ඇදුරෝ විශේෂයෙන් ම ඇදුරියෝ අධ්‍යයනික වසන්තයක් ගැන කතා කළේ අරාබි වසන්තය සිහිකරමිනි.

විජාතික බලවේගවලට අවශ්‍ය මේ ආණ්ඩුව වැට්ටවීම ය. එයට හේතුවක් වෙයි. ඒ වෙනත් කිසිවක් නොව මේ ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ය. බටහිරයෝ අරාබිකරයේ වේවා ආසියාවේ වෙනත් තැන්වල වේවා තමන් කැමති නැති ආණ්ඩු පවත්වාගෙන යෑමට අවස්ථාව නො දෙති. අද බටහිරයෝ හා මෙරට විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බලයෙන් පහකිරීමට කටයුතු කරති. කටුනායක සිද්ධිය එහි පළමු අවස්ථාවේ විය.  එහි දී මිනිස් බිල්ලක් ගත් නමුත් එය දිගින් දිගට නො ගියේ ය. අද මේ බලවේග සිංහල බෞද්ධ සංස්කෘතිය මැඩලීම සඳහා ඇදුරන් යොදා ගනියි. ඇදුරු සම්මේලනයේ සභාපතිවරයා පසුගිය අවුරුදු පහළොවක පමණ කාලයක ක්‍රියාකර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව ය. කිසිසේත් ම යුක්තියුක්තකළ නොහැකි ඉල්ලීම් පදනම් කරගනිමින් නැති අර්බුදයක් මවාපාමින් හැකිනම් ජනතාව ආකර්ෂණය කරමින් බටහිරයන්ගේ අණට කීකරු නොවී ත්‍රස්තවාදය පැරදවූ ආණ්ඩුව වැට්ටවීමට බටහිර බලවේග හා මෙරට විජාතික සිංහල විරෝධී බලවේග අද ඇදුරන් යොදාගනියි. අද සම්මේලනයේ නායකයෝ තම සමිති නොවිමසා ම තම ව්‍යාජ ප්‍රශ්නය එක්සත් ජාතින්ගේ සංවිධානයට ගෙන යති. මේ නායකයන්ට අවශ්‍ය කුමක් දැයි ඉතා පැහැදිලි ය. දෙමළ ජාතිවාදය දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නිසා ඇතිවූවක් නොවන බවත් බටහිරයන් නිර්මාණය කළ එකක් බවත් අපි කීවෙමු. අද එය සනාථ වී ඇත. එලෙස ම ඇදුරන්ගේ ප්‍රශ්නය ද ව්‍යාජ ප්‍රශ්නයක් බවත් එහි පිටුපස ඇත්තේ විජාතික බලවේග බවත් පැහැදිලි ය. ඇදුරන්ගේ ප්‍රශ්නය ව්‍යාජයක් වුවත් ආණ්ඩුව සමග සම්බන්ධ ඇදුරන් තිදෙනක් ආණ්ඩුව නොමග යවමින් සම්මේලනයට නොයෙකුත් දේ ලබාදීමට පසුගිය කාලයේ කටයුතු කළහ. අද ඔවුන්ගෙන් එක් අයකු හැළී ඇත. එමෙන් ම අද ආණ්ඩුව දන්නා කරුණක් නම් ඒ ඇදුරන් දෙදෙනා ආණ්ඩු නොමග යැවූ අය බව ය. අධ්‍යාපනය සඳහා ආණ්ඩුව හැකි ප්‍රමාණයෙන් මුදල් වියදම් කරයි.  ආණ්ඩුවට අධ්‍යාපනයට පමණක් නොව වෙනත් කටයුතු සඳහා ද මුදල් වැය කිරීමට සිදුවෙයි. ඉන් ප්‍රධාන ම එක වනුයේ රටේ ආරක්‍ෂාව ය. අද විජාතික බලවේග විසින් මෙහෙයවෙන සම්මේලනයේ නායකයන්ට අවශ්‍ය ඊනියා 6% ගැන කියමින් හැකිනම් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කරන මුදල් අඩු කිරීම ය. අද ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි සම්මේලනයේ ඉල්ලීම් ව්‍යාජ ඒවා වීමත්, අර ඇදුරන් දෙදෙනා ආණ්ඩුවේ කපටි ආරක්‍ෂයන් බව ආණ්ඩුව තේරුම් ගැනීමත්, තවත් දිය හැකි දෙයක් නැතිවීමත්, සම්මේලනය අධ්‍යාපනයේ ව්‍යාජ අර්බුදයක් මවාපාමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බව ආණ්ඩුව දැන් දන්නා නිසාත් ය. නීති විරෝධීව ඇදුරන් උසස් පෙළ ඇගයීම්වලින් වළක්වන සම්මේලනය අද පෞද්ගලික ආයතනවල දේශන පැවැත්වීමට ඇතැම් වර්ජිත ඇදුරන්ට ඉඩ දී ඇත. අවුරුදු හතළිහක් පමණ කාලයක් තිසසේ ඇදුරු වර්ජනවලට විරුද්ධ වූ සිංහල බෞද්ධ විරෝධී ඇදුරෙක් අද වර්ජනයට සහාය දෙමින් විශ්වවිද්‍යාල වසා තැබීමට අනුබල දෙන්නේ එමගින් තම ආයතනයට සිසුන් බඳවා ගැනීමට ය. ඇදුරු නායකයන්ට අද තම නිරුවත වසාගැනීමට නොහැකි වී ඇත.

Sunday, 28 October 2012

සරසවි ඇදුරන් නිරුවතේ මහපාරේ

වත්මන් සරසවි ඇදුරු සටන ඇරඹුණේ පසුගිය වසරෙහි ය. එවකට මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කළෙමි. ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා තිබියදීත් ආචාර්ය සමිති සම්මේලනය එය නොතකා තම වෘත්තීය සමිති අරගලය ඇරඹී ය. ඒ අනුව අධ්‍යයන අංශ ප්‍රධාන ධුරවලින් අදාළ ඇදුරෝ අස්වූහ. මා ඒ අරගලයට විරුද්ධ බව විශ්වවිද්‍යාලයෙහි මෙන් ම පිටත ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඇතැම් අංශාධිපතිවරුන් නැතිව වුව ද මා පීඨාධිපතිධුරය දැරූ විද්‍යා පීඨයෙහි දේශන පවත්වාගෙන යෑමට කල්තබා සැලසුම් කළෙමි. කිසිම බාධාවකින් තොරව කැලණිය විශ්වවවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි ඒ කාල සීමාවෙහි දේශන පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ඉටුකිරීමට නොහැකි බවත් ඊනියා වෘත්තීය සමිති අරගලයෙහි අරමුණ ආණ්ඩුව අස්ථායී කිරීම බවත් මම එකල ද දැන සිටියෙමි. රාජ්‍ය සේවයේ ආදායම නුපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක් ලැබෙන්නේ සරසවි ඇදුරන්ට ය. මූලික වැටුප් වැඩිකිරීම් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අනුමැතිය පරිදි කෙරෙන්නකි. එය හිතුමනාපයට කළ හැක්කක් නො වේ. රාජ්‍ය සේවයේ එක් අංශයක වැටුප් වැඩි කළහොත් එය අනෙක් අංශවලට ද බලපායි. එබැවින් එහි දී යොදා ගැනෙන එක් උපක්‍රමයක් වනුයේ මූලික වැටුප වෙනුවට දීමනා ලබා දීම ය. පසුගිය වසර කිහිපයෙහි ඒ ආකාරයෙන් හා අයවැය යෝජනා මගින් සරසවි ඇදුරන්ගේ මුළු වැටුප විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇත. ලබන මස ද ඒ අනුව සරසවි ඇදුරන්ගේ මුළු වැටුප් වැඩිවීමට නියමිත ය. එහෙත් සරසවි ඇදුරෝ දිමනාවලින් සෑහීමකට පත් නො වූහ. ඔවුහු ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලමින් මූලික වැටුප වැඩිකරන ලෙස බලකර සිටියහ. එසේ කළේ එමගින් රාජ්‍ය අංශයේ කැළඹීමක් ඇතිකර ආණ්ඩුව අස්ථායී කිරීමට බව පැහැදිලි ය. කෙසේ වුවත් මේ මස් රාත්තලම ඉල්ලීම දිගින් දිගට ම කළ නොහැකි බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් යම් පිරිසකට ද තේරෙන්නට ඇත. එබැවින් ඔවුහු පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසන් භාගයෙහි ඊනියා 6% ඉල්ලීම ඉදිරිපත් කළහ.

යුනෙස්කෝ වාර්තාවක් ගැන සඳහන් කරමින් ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේ රජය දළ ජාතික (මෙය ගෘහස්ථ විය යුතු ය. එහෙත් අපි ඒ වෙනස නොසළකා එය ජාතික ලෙස හඳුන්වමු) නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු බව ය. දළ ජාතික නිෂ්පාදිතයට රටේ සියළුම නිෂ්පාදනවල හා සේවාවාන්හි වෙළෙඳපොළ අගය එකතු වෙයි. එයට පෞද්ගලික අංශය පමණක් නොව දෙමව්පියන් ද පාරිභෝගිකයන් ද වෙනත් අය ද කරන වියදම් අයත් වෙයි. දළ ජාතික නිෂ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට හෝ වෙනත් ක්‍ෂෙත්‍රයකට හෝ වැයකරන ලෙස රජයට බලකිරීම උගතුන්ගේ ක්‍රියාවක් විය හැකි නමුත් බුද්ධිමතුන්ගේ ක්‍රියාවක් විය නො හැකි ය. ආණ්ඩුවේ වියදමෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වැය කළ යුතු යැයි කීම යම් සීමාවන්හි බුද්ධිගෝචර විය හැකි ය. එහෙත් දළ ජාතික නිශ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වැය කළ යුතු යැයි ඉල්ලීමට බුද්ධිමතකුට නො හැකි ය. අනෙක් අතට අදාළ යුනෙස්කෝ වාර්තාවෙහි රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වැය කළ යුතු යැයි කිසි තැනෙක නො කියැවෙයි. හැකි නම් එසේ කියා ඇත්තේ කොතනැක දැයි පෙන්වා දෙන ලෙස ඊනියා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙරට අවාසනාවකට සරසවි ඇදුරන්ගෙන් අති විශාල බහුතරයකට නිරවුල්ව කල්පනා කිරීමට නොහැකි බව අත්දැකීමෙන් ම දනිමි. ඇතැම්හු නිරවුල්ව තබා කොහොමටවත් කල්පනා කිරීමට නොහැකි නැනෝ බුද්ධිමත්තු (නැනෝ මීටර ඇසුරෙනි -– අවශ්‍ය නම් ක්‍ෂුද්‍ර බුද්ධිමත්තු) වෙති. අද වන විට මෙරට අධ්‍යාපනයට විවිධ අය මගින් (දෙමව්පියන් දානපතියන් ආදීන් ද ඇතුළුව) විවිධ ක්‍ෂෙත්‍රවල (ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, කාර්මික, වෘත්තීයික ආදී වශයෙන් රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද) වැය කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ට වැඩි විය යුතු ය. එමෙන් ම අද රජයේ වියදමෙන් 8%ට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් වෙයි.

කිසිම යුනෙස්කෝ වාර්තාවක නැති අයුරෙන් රජය අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වැය කළ යුතු යැයි ආචාර්ය සමිති සම්මේලනය කරන ඉල්ලීම ඔවුන්ගේ වෘත්තීය සමිති අරගලයේ මුල සිට ම පැවති එකක් නො වේ. එය පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසාන භාගයේ දී ඉදිරිපත් කරන ලද්දකි. මෙය මුළුමනින් ම වෘත්තීය සමිති සදාචාරයට විරුද්ධ ය. වෘත්තීය සමිති අරගලයක දී විටින් විට ඉල්ලීම් එකතු කිරීම කිසිම සදාචාරයකට එකඟ නො වේ. වෘත්තීය සමිති අරගලයක් මගින් වෘත්තීයමය ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිතියක් කළ යුත්තේ සාකච්ඡාවල දී යම් විසඳුමකට පැමිණීම සඳහා ඉල්ලීම් අඩුකිරීම ය. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කරන්නේ එලෙස නො වේ. එහි නායකයෝ තව තවත් ඉල්ලීම් ඉදිරිපත් කරති. අද ද පවත්වාගෙන යන්නේ පසුගිය වසරේ දී ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහෙත් අද වන විට එදා නොතිබූ ඉල්ලීම් ගණනාවක් ම එකතු කෙරී ඇත. ඒ අතර ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පෞද්ගලික ආයතනවල මුදල් ගෙවා ඉගෙනීම සඳහා දීමනාවක් ගෙවීම ද වෙයි. කෙසේ වෙතත් අද ඇදුරන් මුල් තැනට ගෙන ඇත්තේ ඊනියා 6% ඉල්ලීම ය. අනෙක් ඉල්ලීම් එකක්වත් ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවන බව ඔවුහු දනිති. ඔවුන් විශේෂිත ලෙස සලකා සරසවි ඇදුරන්ට විශේෂිත සේවයක් සකස් කිරීම ද එක් ඉල්ලීමකි. මෙරට කිසිවෙක් විශේෂිතයෙක් නො වෙති. උසස් පෙළ පරීක්‍ෂණයේ දී ලකුණක් දෙකක් වැඩිපුර ගැනීම නිසා සරසවිවලට ඇතුළත් වී මහන්සි වී ක්‍රමානුකුල ව වැඩ කිරීමෙන් පන්ති සාමාර්ථයක් ගැනීම හේතුවෙන් කිසිවකු විශේෂිතයකු බව පත් නො වේ. එමෙන් ම පශ්චාත් උපාධියක් ලබාගැනීම ද ප්‍රාතිහාර්යයක් නො වේ. මේ කඩඉම් පැනීමට ඉතා සාමාන්‍ය බුද්ධියක් ප්‍රමාණවත් වෙයි. මෙරට සරසවි ඇදුරන්ගෙන් කි දෙනෙක් නව සංකල්පයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කර ඇත් ද? සරසවි ඇදුරන්ගෙන් බලාපොරොත්තුවන ප්‍රධාන ම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේ ද එයම ය. මෙරට ඉපැරණි දවස සිට උගතුන්ට සැලකීමේ සම්ප්‍රදායක් වෙයි. එකල බුද්ධිමත්තු රටට වැඩදායක යමක් කළහ. සරසවි ඇදුරන් ඒ සම්ප්‍රදායෙන් ආලෝකයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ සම්ප්‍රදායට පිටුපා බටහිරයන්ගේ මතිමතාන්තර අනුකරණය කරන ඔවුන්ගේ ගැත්තන් බවට පත්වීමෙනි. අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් යැයි අපේ සම්ප්‍රදායේ පිහිටා පැවසූ විට මුළු මහත් ඇදුරු සංහතිය ම පාහේ අපට අපහාස කළහ. ඒ අප අපේ සම්ප්‍රදායේ පිහිටි හෙයිනි. බටහිරයන්ගේ ඊනියා යථාර්ථයකට වශී වූ දන්ත වෛද්‍ය මහාචාර්යවරු සහ වෙනත් බටහිර ගැත්තෝ (ඔවුන් අතර ඊනියා යථාර්ථවාදී සාහිත්‍ය විචාරකයෝ ද වෙති) අප යථාර්ථයක් නැතැයි කියන විට අපට විරුද්ධ වෙති. මම යනුවෙන් කෙනකු නැති බව බුදුන්වහන්සේ පැහැදිලිව ම දේශනාකර තිබිය දී ඔවුන් පැවැත්මක් ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානියේ දාසයන් බවට පත්වෙමිනි. එහෙත් සරසවි ඇදුරෝ අපේ බුද්ධි සම්ප්‍රදායට පිටුපාන අතර් අපේ සම්ප්‍රදායේ ගුරු ගෞරවය අපේක්‍ෂා කරති. මොවුහු කිසිම අයුරකින් විශේෂිත පුද්ගලයෝ නො වෙති.

ඇදුරන් 6% ඉල්ලීමට මුල් තැනක් දෙන්නේ ඒ වටා ජනතාව ඒකරාශි කිරීමට බව පැහැදිලි ය. එහෙත් එසේ කරන්නේ වෙනත් බලවේගවල අවශ්‍යතාව මත ය. ඇදුරන්ගේ අනෙක් ඉල්ලීම් එකකටවත් ජනතා සහායක් නො ලැබෙයි. ඊනියා අරාබි වසන්තයක් අපේක්‍ෂා කරන බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ 6% වටා ආණ්ඩු විරෝධී කොටස් එකතු කිරීමට උත්සාහ කරති. 6% ඉල්ලීම ඉදිරිපත් කළවුන් කිනම් අරමුණකින් ඒ කළ ද අද ඇදුරන් පිටුපස සිටින ජාති විරෝධී සංවිධාන ඒ ඉල්ලීම ආණ්ඩුව වැට්ටවීමට යොදා ගනියි. එ ජා ප, ජ වි පෙ, නන්නත්තාර වී ඇති වෙනත් අය ඡන්දයකින් ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව දැන 6% මුල්කරගෙන බලයට පැමිණීමට උත්සාහ දරති. අද මහපාරේ නිරුවත්ව සිටින ඇදුරන්ට සිතාම්බර පට ඇන්දවීමට රනිල්ලා සෝමවංශලා පොර කති. එහෙත් අවසානාවකට ඔවුන්ට ද ඇඳුම් නැත. තම ඡන්ද ප්‍රමාණය අඩු වූවාට වෙනත් අයුරෙන් ආණ්ඩුව පෙරළීමට මේ අයගෙන් ඇතැමකු කතාකරන්නේ නිකමට නො වේ. අද ඇදුරන්ට තම ඊනියා සටන යුක්තියුක්ත කිරීමට කිසිම තර්කයක් සාධාරණ හේතුවක් නැත. ඔවුහු විවිධ වෘත්තීය සමිතිවල දේශපාලන පක්‍ෂවල පමණක් නොව සිසුන් ද පසුපස යන නිවටයෝ පමණක් වෙති. අද දේශප්‍රේමී ගුරුවරු එක් කඳවුරකට පැමිණෙමින් සිටිති. ජ වි පෙට, එ ජා පට හා වෙනත් දේශපාලන පක්‍ෂවලට හිතවත් ජනමාධ්‍යවේදීන් යැයි කියාගන්නා අයට මේ දේශප්‍රේමීත්වය ප්‍රශ්නයක් වී ඇත. මම අද සරසවි ඇදුරෙක් නො වෙමි. ඇදුරකු වී නම් මා ද සිටින්නේ ඒ දේශප්‍රේමී ගුරුවරුන්ගේ කඳවුරෙහි ය. පසුගිය දශක කිහිපයක් තිස්සේ දෙමල ජාතිවාදයට කඩේ ගිය අය අද සිටින්නේ කොහේ ද? මේ ආණ්ඩුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හෝ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හෝ ඇතැයි මම නො කියමි. එහෙත් මේ ආණ්ඩුව අඩුම තරමෙන් බටහිරයන්ගේ සිංහල විරෝධී ව්‍යාපෘතියට එරෙහිව නොසැළී සිටියේ ය. අද සකලවිධ බටහිර ගැත්තන් පුස් කෑ මාක්ස්වාදීන් ලිබරල්වාදීන් හා ඔවුන්ගේ ගැත්තන් වූ පශ්චාත්නූතනවාදීන්, පශ්චාත් මාක්ස්වාදීන් ආදී එකි මෙකී නොකී වාදීන් ආණ්ඩුවට විරුද්ධ වන්නේ ආණ්ඩුව බටහිරයන්ගේ කීම තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන දෙමළ ත්‍රස්තචාදය පරාජය කළ බැවිනි. මේ සියල්ලෝම අද ඇදුරන්ගේ ඊනියා අධ්‍යයනික වසන්තය උපයෝගී කරගනිමින් 6% වටා පෙළ ගැසී ආණ්ඩුව වැට්ටවීමට වළි කති. එහෙත් මොවුන්ගේ සියළු උත්සාහ ජනතාව විසින් මැතිවරණවලදී පරාජය කෙරී ඇත. අද ඇතැම් ගුරුවරු විවිධ හේතු නිසා වර්ජනය අත්හැර සේවය කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ හරි අඩකට වඩා ගුරුවරු සේවය සඳහා වැටුප් ලබති. ඔවුන් අතර වැඩ වර්ජනයක් කළ යුතු යැයි යෝජනා කළ තැනැත්තා මෙන් ම ස්ථිර කළ තැනැත්තා ද වෙති. ආචාර්ය සමිති සම්මේලනයෙහි කැලණිය වෘත්තීය සමිතිය නියෝජනය කරන තැනැත්තකු ද අද වර්ජනය අත්හැර ගොස් ය. ඇදුරන්ගේ නායකයන්ට නිදහස් අධ්‍යාපනයක් අවශ්‍ය නැති බව ද පැහැදිලි ය. වෘත්තීය සමිතියකට කළ හැක්කේ තම ක්‍ෂෙත්‍රයෙහි ආයතනවල ශ්‍රමය ලබාදීම නැවැත්වීම ය. අද මේ නායකයෝ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතා ඇත. පිළිතුරු පත් බලන්නන් සේවය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවට මිස විශ්වවිද්‍යාලවලට නො වේ. ඇදුරු නායකයන්ට නෛතිකව හෝ සදාචාරාත්මකව පිළිතුරු පත් බැලීම නැචැත්විය නො හැකි ය. එහෙත් එසේ කරන ඔවුහු ඇදුරන්ට පෞද්ගලික ආයතනවල ඉගැන්වීමට බාධා නො කරති. මොවුන් නිදහස් අධ්‍යාපනයට කරන සේවය එයින් ම පැහැදිලි වෙයි.