Main Logo

Showing posts with label චින්තනය. Show all posts
Showing posts with label චින්තනය. Show all posts

Sunday, 31 December 2017

ගණනාථ ද නාථ ද?

ගණනාථ ද නාථ ද?


මේ ලිපිය හැඳින්වීමක් පමණයි. අප මේ මාතෘකාවෙන් හෝ තේමාවෙන් හෝ මහනුවර දී හෝ පේරාදෙණිය්දි හෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මෙය දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. දැනුම යනු කුමක් ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඥානය හා විඥානය පිළිබඳ ප්‍රශ්නයක්. විඥානයේ වි උපසර්ගයෙන් කියැවෙන්නේ උසස් බවක් ද විරුද්ධභාවයක් ද යන්න පිළිබඳ ප්‍රශ්නයක්. මට නම් විඥානය කියන්නේ වැරදි ඥානයක්. තමාගේ හා අවට පැවැත්ම පිළිබඳ වැරදි ඥානය. මෙය ඊනියා යථාර්ථය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා වාස්තවිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා අපක්‍ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. පැවතීම පිළිබඳ ප්‍රශ්නයක්.

Tuesday, 28 November 2017

වම දකුණ

වම දකුණ

අද විකල්ප දකුණ (Alt - right) යන්න ජාතිකවාදීන්ට යොදා ගැනීමට මෙරට ඇතැම් පඬියන් උත්සාහ දරණවා. මේ මෙරට කිසිම පඬියකු නිර්මාණය කළ සංකල්පයක් නො වෙයි. මේ සංකල්පයත් බටහිර නිර්මාණයක්. එය රොබර්ට් ස්පෙන්සර් නම් ඇමරිකානු ජනමාධ්‍යවේදියා 2008 දී පමණ හඳුන්වා දුන් සංකල්පයක් ලෙසයි කියැවෙන්නේ. ඒ සංකල්පය සාමාන්‍යයෙන් යෙදෙන්නේ සුදු ස්වොත්මවාදී අදහස්වලට. මෙරට පඬියන් ද මේ ස්වොත්තමවාදී කතා කියනවා. මේ අනුකාරක පඬියන් සියල්ල ගන්නේ බටහිරින්. ඔවුන් තරම් බටහිර දැනුම් ආධිපත්‍යයට හිස නමන නිවටයන් පිරිසක් මෙරට තබා ලෝකයේවත් නැතිව ඇති. විකල්ප දකුණ යන සංකල්පය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග නැවත ඉදිරියට ආවා. ඒත් එය දැන් එතරම් යෙදෙන්නේ නැහැ. මෙරට පඬියන් ඇතැම් විට බටහිර සංකල්ප යොදා ගන්නේ ඒ බටහිර අභාවයට යන විට. බටහිරින් අදහස් සංකල්ප ප්‍රවාද අපට ඒමට තවමත් අවුරුද්දක් දෙකක් යනවා.

Monday, 27 November 2017

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම අද වේගයෙන් ක්‍රිස්තියානිකරණය වෙනවා. ඒ අද ඊයේ පටන්ගත් දෙයක් නො වෙයි. දහනවවැනි සියවසේ අග අප බටහිර නූතනත්වයට යටවීමේ ප්‍රතිඵලයක්. ඕල්කට් බුද්ධාගම ද එහි එක් අංගයක්. මාක්ස්වාදය බටහිර විද්‍යාව ආදී දැනුම් හා ඒ ආශ්‍රිත තාක්‍ෂණය ලංකාවේ දී සිංහල බුද්ධාගම ක්‍රිස්තියානි කිරීමට දැඩි බලපෑමක් කර තිබෙනවා. බටහිර නූතනත්වය මුළුමනින් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත බිහිවූවක්. එහි අධිපතිවාදී සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. අද වන විට සිංහල බුද්ධාගම ක්‍රිස්තියානිකරණය වීම ඉතා වේගවත් වෙලා.

Wednesday, 5 March 2014

සිංහල බෞද්ධ චින්තනයට බටහිර විද්‍යාව පටහැණියි


ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම 2014 පෙබරවාරි 26 වැනි දින දරණ ලිපියෙන් (බටහිර) විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන ප්‍රශ්නය නඟයි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන්නෙන් ඒ මහතා කුමක් අදහස් කරත් මා දන්නා කරුණු දෙකක් වෙයි. එකක් නම් බටහිර විද්‍යාව පදනම් වන චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය, සිංහල බෞද්ධයනට පමණක් නොව මුළු මහත් ලෝකයට ම විපත්තිදායක බව ය. අද ලෝකය මිනිසුන්ට ජීවත්වීමට හිතකර නොවන ප්‍රදේශයක්, පතිරූප නොවන දේශයක්, බවට පත් වී ඇත්තේ මේ චින්තනයෙහි විසකුරු බව නිසා ය. ඒ චින්තනයෙන් වෙන් වූ බටහිර විද්‍යාවක් නැත.

දෙවනුව කිව යුත්තේ සිංහල බෞද්ධයකුට කිසිදාක සිංහල බෞද්ධ චින්තනයෙහි ජීවත්වන්නේ නම් හරිහමන් බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව ය. මෙරට බටහිර විද්‍යාවේ ඉතිහාසය අවුරුදු එකසිය පනහකට වැඩි මිස අඩු නො වේ. කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවා ඇත්තේ 1870 දී ය. පාසල්වල බටහිර විද්‍යාව  ඉගැන්වීම එයට පෙර ආරම්භ වූවා නිසැක ය. එහෙත් ලංකාවෙන් බිහි වූ බටහිර විද්‍යාඥයකු ගැන අමරතුංග මහතාට කිව හැකි ද? (මහාචාර්යවරයකු වූ පමණින් හරිහමන් විද්‍යාඥයකු බවට පත් නො වේ.) බටහිර විද්‍යාව අගය කරන්නන් විසින් පිළිගැනෙන ලන්ඩන් රාජකීය සංගමයේ අධි සාමාජිකත්වයක් පිරීිනැමුණු එක ද සිංහල බෞද්ධයෙක් වේ ද? එහි අධි සාමාජිකත්වයක් ලැබූ එකම ලාංකිකයා සිංහල කිතුනුවකු වන අතර ඔහුට ද ඒ ලැබුණේ නව ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම නිසා නො වේ. මෙය ලංකාවේ පහසුකම් නැතිවීම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. ඇමරිකාව ආදී බටහිර රටවල සේවය කරන බටහිර විද්‍යාව උගත්  සිංහල බෞද්ධයෝ සියගණනක් වෙති. ඔවුන්ට පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක නැත. එහෙත් ඔවුන් එක් අයකුටවත් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් හිමි වී නැත. නොබෙල් ත්‍යාගය ගැන කියනුම කවරේ ද?

අමරතුංග මහතාට අනුව මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ නව දැනුම නැත. ඒ එසේ නම් එයින් කියැවෙන්නේ අති අප්‍රසන්න කතාවකි. මම 2011 වසර අවසාන වන තුරු ද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ලෙස සේවය කළෙමි. කැලණිය විශ්වවිද්‍යාලයේ ද කොළඹ විශ්වවිද්‍යාලයේ ද පේරාදෙණිය විශ්වවි්‍යාලයේ ද විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාද උගන්වා ඇත්තෙමි. කැලණිය විශ්වවිද්‍යාලයෙහි සේවය කළ අවුරුදු අටක පමණ කාලයක හතරවැනි වසරේ සිිසුන් 15කගේ පමණ ව්‍යාපෘති අධික්‍ෂණය කළෙමි. ඉන් වැඩි දෙනෙක් සාපේක්‍ෂතාවාදය හෝ විශ්වවේදය (cosmology) හෝ පිලිබඳ තම ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළහ. සෙස්සෝ ක්වොන්ටම් භෞතිකය තම විෂය කරගත්හ. 

ඒ කාලයෙහි දී ම දර්ශනපති උපාධිය සඳහා නිබන්ධ ඉදිරිපත් කළ සිසුන් හතරදෙනකු සම්බන්ධයෙන් උපදේශකවරයා ලෙස ක්‍රියා කළෙමි. ඉන් තිදෙනෙක් සාධාරණ සාපේක්‍ෂතාවාදය/විශ්වවේදය හැදෑරූහ. එක් ශිෂ්‍යයෙක් ක්වොන්ටම් භෞතිකය හැදෑරී ය. මගේ පරණ දැනුම පමණක් අනුව ඒ සියල්ල කළේ නම් ඉන් අගෞරවයක් වන්නේ විශ්වවිද්‍යාලයට ය. සාමාන්‍ය පෙළෙන් පසුව ගණිතයත්, උසස් පෙළෙන් පසුව භෞතික විද්‍යාවත් පාසලේ දී හෝ විශ්වවිද්‍යාලයේ දී හෝ රූපික ව (formally) හදාරා   නොමැති අමරතුංග මහතා සාධාරණ සාපේක්‍ෂතාවාදය සඳහා අවශ්‍ය අවකල ජ්‍යාමිතිය (differential geometry), ආතානක විශ්ලේෂණය (tensor analysis) ආදී ගණිතමය විෂය හා විද්‍යුත්චුම්බකවාදය (electromagnetic theory),  විශේෂයෙන් ම මැක්ස්වෙල් සමීකරණ හදාරන්නට ඇත්තේ ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයෙන් බාහිරව ය. 

ඔහු ඒ විෂය මට වඩා හොඳින් දැන සිටීම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයට ලබාදෙන්නේ කීර්තියක් නො වේ. අඩුම තරමෙන් පොරාදෙණිය විශ්වවිද්‍යාලයට සාධාරණ සාපේක්‍ෂතාවාදය විශ්වවේදය වැනි විෂය ඉගැන්වීමට ඒ මහතා බාහිර කථිකාචාර්යවරයකු ලෙස පත්කර සිසුන්ට අළුත් ම දැනුම උණු උණුවේ ම ලබාදීමට කටයුතු කළ හැකි ය. විශේෂ අවසරයක් ගෙන ඒ මහතාගේ දේශනවලට සහභාගි වීමෙන් මට මගේ දැනුම යාවත්කාලීන කරගැනීමට හැකි වනු ඇත. 

ඒ මහතා සාධාරණ සාපේක්‍ෂතාවාදය  යනු විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි හා ගුරුත්වාකර්ෂණයෙහි එකතුවක් බව පෙන්වීමට පොත් කිහිපයක නම් සඳහන් කරයි. ඒ මහතා පොත් ලැයිස්තු නම් නොකර අදාළ කරුණ සඳහන් ඡෙදයක් හෝ ඡෙද හෝ ලියා දැක්වූයේ නම් හෝ තමාට අවශ්‍ය කාරණය ප්‍රමූල ධර්මවලින් (first principles) පෙන්නුම් කළේ නම් හෝ මැනවි. යමකුට පොත් කියවා බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි බව මම දනිමි. තම මතය සනාථ කිරීම සඳහා ඒ මහතා කියවා ඇති පොතකින් ඡෙදයක් දෙකක් උපුටා දක්වන ලෙස ඉල්ලා සිටිමි. 

ඒ කෙසේ වෙතත් ගුරුත්වාකර්ෂණය විශේෂ සාපේක්‍ෂතාවාදයට එකතු වී සාධාරණ සාපෙක්‍ෂතාවාදය ගොඩනැගී නැති බව පෙන්වීම අසීරු කරුණක් නො වේ. එයට කලින් ඒ මහතා ඉහත සඳහන් පරිදි ඡෙදයක් දෙකක් උපුටා දක්වන්නේ නම් එහි ඇති වරද ද පෙන්වා දිය හැකි ය. ඇතැම් ජනප්‍රිය ලේඛකයන් වැරදි මත ප්‍රචාරය කළ පමණින් අප ඒ පිළිගත යුතු නො වේ. අමරතුංග මහතා ඒ සමග එක් පැණයකට පිළිතුරු දීමට තම නව දැනුම උපයෝගී කරගන්නේ නම් කෘතඥ වෙමි. ඒ පැණය මෙසේ ය.  ගුරුත්වාකර්ෂණය විශේෂ සාපේක්‍ෂතාවාදයට එකතු වීමේ දී අවස්ථිති සමුද්දේශ රාමුවලට (inertial frames of reference) කුමක් සිදුවේ ද? 
    
අපි දැන් ඒ මහතා පිළිතුරු බලාපොරොත්තු වන දෙවැනි ප්‍රශ්නයට ඉතා කෙටි පිළිතුරක් දී නැවතත් පළමු ප්‍රශ්නයට යමු. දෙවැනි ප්‍රශ්නය මෙසේ ය. යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා - කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන්ගේ උදව් ඇතිව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? මෙය වැඩිම වුවහොත් කොවුර් කාලෝ ෆොන්සේකා ගණයේ තුට්ටු දෙකේ ප්‍රශ්නයකි. එය කවරයක් ඇතුළත ඇති මුදල් නෝට්ටුවක අංකය කියවීමට හැකි ද ගණයේ ප්‍රශ්නයකි. ඔවුන් මෙවැනි ප්‍රශ්නවලින් බලාපොරොත්තු වන්නේ ඇතැමුන්ගේ අතීන්ද්‍රිය අත්දැකීම් මිථ්‍යා බව පෙන්වීම ය. එහෙත් එසේ අතීන්ද්‍රිය අත්දැකීම්වලට අභියෝග කරන අය ම පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණ බලයක පැවැත්ම පිළිගනිති. ගුරුත්වාකර්ෂණය පිළිබඳ අමරතුංග මහතා තම නූතන දැනුම යොදා ගනිමින් ලියා ඇති පරස්පර හා නීඩ්හම් පිළිබඳ ව ලියා ඇති අසත්‍ය කතා හා වෙනත් පරස්පර පෙන්වීමට පසුව ලිපි කිහිපයක් ම වැය කිරීමට බලපොරොත්තු  වෙමි.

මා නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියා ගැන දැනගත්තේ මානුෂීය මෙහෙයුම්වලින් පසුව ය. අමරතුංග මහතා ඒ මෙයෙහුම් යුද්ධය ලෙස හඳුන්වන්නේ බටහිරයන්ගේ සංකල්පීය දැනුම මත හිඳිමිනි. එය යුද්ධය ලෙස හැඳින්වීමෙන් සිදුවන සංකල්පීය වැරැද්ද පිළිබඳ මා දිවයින පුවත්පතට ලියා ඇති බැවින් අමරතුංග මහතා ඉල්ලා නොසිටියහොත් ඒ නැවත සඳහන් නො කරමි. මට කොටින් පරාජය කිරීම පිළිබඳ  අතීන්ද්‍රිය ව දැනගැනීමට අවස්ථාවක් නොවූණේ මා නාථ දෙවියන් ගැන දැනගන්නා විට කොටින් පරාජය කෙරී තිබුණු බැවිනි. කෙසේ වෙතත් අවස්ථාව ලදත් එවැනි ප්‍රශ්න ඇසීම ප්‍රඥාගෝචර නො වේ. ඒ දෙවියන් හෝ කවුරුන් හෝ ආයුධ සන්නද්ධ අරගලවලට විරුද්ධ විය හැකි ය. ඔවුන් තම බලය එවැනි දේ සඳහා නොයොදනවා විය හැකි ය. එහෙත් මා පසුව දැනගත්තේ මෙහෙයුම්වලට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය බුදුරැස් විහිදීම් ආදිය මාර්ගයෙන් දෙවියන් එකතු කර ඇති බව ය. ඒ බව මා කලින් ලිපියක ද සඳහන් කර ඇත.  

අපි දැන් නැවතත් පළමු ප්‍රශ්නය වෙත යමු. ඒ සමග ප්‍රත්‍යක්‍ෂය ගැන ද වචනයක් දෙකක් කියමු. ප්‍රත්‍යක්‍ෂය යනු විධික්‍රමයක් යැයි අමරතුංග මහතා සිතන බව පැහැදිලි ය. ඔහු මට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබා ගැනීමට කියයි. එහෙත් ප්‍රත්‍යක්‍ෂය යනු විධි ක්‍රමයක් නො වේ. ප්‍රත්‍යක්‍ෂ කිරීම යනු සිංහලෙන් නම් පසක් කිරීම ය. පසක් කිරීම විධි ක්‍රමයක් නො වේ. ප්‍රත්‍යක්‍ෂ විවිධාකාර ය. අප වැනි පෘථග්ජනයෝ මනස ඇතැයි ගනිමින් මනස හා පංචෙන්ද්‍රිය ඇසුරෙන් ද මනසෙන් පමණක් ද ප්‍රත්‍යක්‍ෂ කරමු. පංචෙන්ද්‍රිය ඇසුරු කරගන්නා අවස්ථාවල දී වුව ද පසක් කෙරෙන්නේ මනසෙන් ය.

පෘථග්ජනයන්ගේ ප්‍රත්‍යක්‍ෂ දෙයාකාර ය. ඒ ඉන්ද්‍රිය ගෝචර හා අතින්ද්‍රිය වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය තිරිසන් සතුන්ට ද වෙයි. මනස පමණක් යොදාගෙන පංචෙන්ද්‍රිය යොදා නොගෙන ආධ්‍යාත්මික ශක්තිය දියුණු කිරීමෙන් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඇති වෙයි. ආධ්‍යාත්මික ශක්තිය වඩාගත් මිනිසුන්ට මෙන් ම නෙවසඤ්ඤා නා සඤ්ඤා වැනි තලවල උපත ලබා ඇති බඹුන්ට ද මේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය වෙයි. පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ හැරෙන්නට තවත් ප්‍රත්‍යක්‍ෂ වර්ග දෙකක් ඇත. ඒ රහතන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂය හා බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂය යනුවෙනි.  

ප්‍රත්‍යක්‍ෂය විධික්‍රමයක් නොවූවත් උසස් පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ලබාගැනීම සඳහා මනස යැයි අප විසින් හැඳින්වෙන්න දියුණු කිරීම අවශ්‍ය වෙයි. ඒ සඳහා නම් භාවනා, යෝග ආදී විවිධ ක්‍රම භාවිතා කළ හැකි ය. එසේත් නැත්නම් අහංකාරය, මමත්වය තුනී කිරීමෙන් උසස් ප්‍රත්‍යක්‍ෂ ලබාගත හැකි යැයි සිතමි. කෙසේ වෙතත් පෘථග්ජනයන්ගේ ප්‍රත්‍යක්‍ෂ සංකල්පවලින් තොර නැත. සංකල්පයක් නොමැතිව පෘථග්ජනයන්ට ඇති නො වේ. එහෙත් පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාදවල මැදිහත්වීමකින් තොරව සෘජුව ඇති වෙයි. අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂ සඳහා දී තිබුණු නිර්වචනය මම ද අන්තර්ජාලයේ දුටුවෙමි. අන්තර්ජාලයේ ඇති සියල්ල නිවැරදි යැයි කිව නොහැකි ය. එහෙත් ප්‍රත්‍යක්‍ෂය ඉන්ද්‍රිය අභිමුඛ ව ඇත යන්න පෘථග්ජනයන් සම්බන්ධයෙන් ප්‍රවාද නැති සෘජු ප්‍රත්‍යක්‍ෂ යන්න සමග පරස්පරයක් නැත. එය සංස්කෘත සාහිත්‍යයෙහි සඳහන් වන්නකි. 

කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ පිළිබඳ ව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ස්වාක්ඛාතො ගාථාවෙහි පචිචත්තං වෙදිතබ්බො විඤ්්ඤුහොති යන්නෙහි සිංහල පරිවර්තනය මා අසා ඇති අන්දමට විඤ්ඤූන් (නුවණැත්තන්) විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගනු ලැබෙයි ලෙස ප්‍රකාශ කළ හැකි ය. එයට අමතර ව මා කලින් සඳහන් කර ඇති ආකාරයට බ්‍රහ්මජාල සූත්‍රයෙහි ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහන් වෙයි. එහි වෙනත් සමයන්හි ප්‍රත්‍යක්‍ෂ ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව බුදුන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂ යන වචනය සෘජුව ම යොදාගෙන මෙසේ දේශනා කරති.    

“මහණෙනි, ‘මෙ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ,මෙබඳු විපාකගති ඇත්තෝ වන්නාහ, මෙබඳු පරලොව් ඇතියෝ වන්නාහ’ යි තථාගත තෙමේ ඒ කාරණය දනී. තථාගත තෙමේ එය ද එයින් මත්තෙහි දෑ ද දනී. එහෙත් ඒ දැන්ම “මම මෙය දනිමි” යි තෘෂ්ණාමානදෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එසේ පරාමර්ශනය නොකරන ඔහු විසින් පරේපදේශය නැති වැ (තමා විසින් ම) තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ වෙයි. (‘මෙහි සුව පත් වම්හ’ යි ‘අසෝ තැනැ සුවපත් වම්හ’’ යි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නානාවිධ දෘෂ්ටදගහනයට වදිත් ද ,) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තතු වර පරිදි දැන ඡන්දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.  

මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම් යම් ධර්ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියනනාහු නම්, මේ -ගැඹුරු වූ සර්වඥ බුදු කෙනකුන් විසින් ම විනා සෙස්සන් විසින් නොදැක්කැ හැකි වූ, එහෙයින් ම සෙස්සන් විසින් අවබෝධ කට නො හැකි වූ, ශාන්ත  වූ, ප්‍රණීත වූ, තර්කයෙන් බැස ගත නොහැකි වූ,  සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය.” (බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙහි 51 වැනි පිටුවෙහි 65 ගාථාව)


නලින් ද සිල්වා

2014-03-05

Wednesday, 18 December 2013

බටහිර විද්‍යාවේ උපන්ගෙයි දෝෂය


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය එන් ඒ ද එස් අමරතුංග මහතාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දැනගැනීමට හදිසියක් ඇත. එය පට්ටපල් බොරුවක් නම් ඒ බව, ඔප්පුකරන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි. එහෙත් මා ඒ බව දැනටමත් පෙන්වා දී ඇත. සමහරවිට ඒ මහතා ඔප්පුකිරීම යන්නෙන් වෙනත් දෙයක් අදහස් කරන්නේ දැයි නො දන්නෙමි. අප ඔප්පු (සාධනය) කිරීම හොඳින් ම  සිදුවන්නේ යැයි සිතන බටහිර ගණිතයේ කිසිවක් ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්‍රස්තුත කිහිපයක් සත්‍ය බව උපකල්පනය කරමින් ඈරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟව තර්ක කර තවත් ප්‍රස්තුත ලබාගැනීම පමණ ය. වියුක්ත ප්‍රකාශයක් වූ එය එතරම් වියුක්ත නොවූ දන්ත වෙද්‍ය විද්‍යා මහාචාර්ය අමරතුංග මහතාට වැටහෙන්නේ දැයි නො දනිමි.

බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි අමරතුංග මහතා කියන්නේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා කියන්නේ පළමුවෙන් ම එවැනි දැනුම් පද්ධතියක් ඇති බව පිලිගනිමිනි. එහෙත් අමරතුංග මහතා බටහිර විද්‍යාව චීනයේ හෝ ඉන්දියාවේ (භාරතයේ යැයි කියමු) හෝ වෙනත් රටක හෝ තිබූ විද්‍යාවකින් වෙනස් වන්නේ යැයි නො සිතයි. ඔහුට අනුව බටහිර විද්‍යාවේ සිදු වී ඇත්තේ එතෙක් තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණකි. ඒ මහතාට අනුව ඒ ඒ රටවල ද විවිධ විද්‍යා තිබෙන්නට නො හැකි ය. ඒ ඒ රටවල තිබුණේ ද එකම විද්‍යාවක් ද? එසේ නම්, උදාහරණයක් ලෙස ගතහොත් චීනයේ තිබූ විද්‍යාව භාරතයේ තිබූ විද්‍යාවට සමාන ද? එකක් අනෙකෙහි වර්ධනයක් ද?  වඩා වර්ධනය වී තිබුණේ චීන විද්‍යාව ද නැත්නම් භාරතීය විද්‍යාව ද? 

මේ පිළිබඳ තවදුරටත් කතා කිරීමට පෙර ආසනික් හා මී උණ ගැන ද වචනයක් කිවයුත්තේ අමරතුංග මහතා ඒ ගැන ද කතාකර ඇති බැවිනි. අප විසින් කෘෂිරසායනික වකුගඩු රෝගය (කෘවරෝ) නමින් හැඳින්වෙන රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ නො දනියි. එයට හේතුව ආසනික් යැයි අපි නිර්භයව කියමු. එහෙත් එය එකම හේතුච නො වේ. එයට තවත් කරුණු දෙකක් ද හේතු වෙයි. ඒ කිවුල් ජලය හා ආසනික් රඳවා ගත හැකි පස ය. රජරට හා වෙනත් ප්‍රදේශවල කෘවරෝ වැළඳෙන්නේ ඒ හේතු තුන ම එහි දැකිය හැකි බැවිනි. ඒ හේතු තුනෙන් එකක් වුව ද නැතිවුවහොත් රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව පහළ මට්ටමක පවතියි. කෙසේ වෙතත් රෝගය වැළඳෙන්නේ කිවුල් ජලය හා මුසු වූ ආසනික් වකුගඩුවලට යෑමෙනි. එහි දී කැඩ්මියම් තිබීම අනිවාර්ය නො වේ. එහෙත් කැඩ්මියම් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. 

මේ කරුණු මුල් ම අනාවරණය කරනු ලැබුයේ කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසිනි. අනෙක් අය ඒ පිළිගත්තේ ද නැත් ද යන්න අපට පෞද්ගලික ව ප්‍රශ්නයක් නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන්ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ දරන බව රහසක් නො වේ. ඔවුන්ගේ ආකෘතියෙහි රෝගයකට හේතුව කුමක් ද යන්න ප්‍රකාශ කිරීමට ඊනියා පර්යේෂණ ගණනාවක් කළ යුතුව ඇත. මෙය වාස්තවික යැයි කියැවෙන එහෙත් මනෝමය වූවක් වෙයි. එයට දේශපාලන හා පෞද්ගලික (ආර්ථික) හේතු ද බලපායි. ආසනික් හා වෙනත් බැර ලෝහ අද පසට හා එමගින් ජලයට එකතු වන්නේ කෘෂිරසායන යොදා ගැනීම හේතුවෙනි. 

කෘෂිරසායන මෙරටට ගෙන්වන්නන් ද ඒ නිෂ්පාදනය කරන්නන් ද කෘවරෝ ආසනික් නිසා ඇතිවන්නේ යැයි ප්‍රකාශ කිරීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක් ම ගනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි රෝගයට හේතු කාරක කවරේදැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක් මත සම්භාවිතා පදනමකිනි. එබැවින් දේශපාලන, ආර්ථික මෙන් ම සංස්කෘතික හේතු මත ද රෝග හේතු කාරක තීරණය වෙයි. ආසනික් රෝගයට හේතුව ලෙස පිළිගැණුනහොත් ඉහත කී අයට ප්‍රශ්නයක් වන බැවින් ආසනික් හේතුව ලෙස නොපිළිගැනීමට ඊනියා අදාළ නිර්ණායකයක් හෝ කිහිපයක් හෝ යොදාගැනීම ඉතා පහසු කටයුත්තකි. 

මෙහි තවත් පැත්තක් ද වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් බටහිර වෛද්‍ය සංවිධානයක් හෝ පුද්ගලයකු හෝ මෙම රෝගයට හේතුවක් ලෙස ජලය ඉදිරිපත් කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ජලය රෝගයට හේතුවක් නොවන බවට ද මතයක් පළකර ඇතත් අද වන විට ඒ බව පිලිගැනීමේ මාවතකට සේන්දු වී ඇත. රෝගයට එක් හේතුවක් ලෙස කිවුල් ජලය ගෙනහැර දැක්වූයේ කැලණිය කන්ඩායම පමණකි. අප කණ්ඩායමේ මතය පමණක් පිළිගෙන අද ආණ්ඩුව විශාල ව්‍යාපෘතියකට අත ගසා ඇත. ජලයෙන් කිවුලත් වෙනත් ද්‍රව්‍යත් ඉවත්කරන පෙරණ සවිකිරීමට ආණ්ඩුව විශාල මුදලක් වෙන්කර ඇත. ඒ සඳහා ඒ පෙරණ නිෂ්පදනය කරන්නන් ද ගෙන්වන්නන් ද දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නො වේ. 

කෘවරෝ වැළඳීමට හේතු ලෙස අප කණ්ඩායම ප්‍රකාශ කළ කරුණු දෙකකින් ආසනික් හේතුවක් ලෙස නොපිළිගැනීමටත් කිවුල හේතුවක් ලෙස පිළිගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යොමුවීමටත් ඇත්තේ දේශපාලන හා ආර්ථික හේතු ය. ඇතැම් විට එකම සමාගමක් කෘෂිරසායන ද ජලපෙරණ ද ආනයනය කරයි. ඔවුන් රෝගයට හේතුවක් ලෙස කිවුල පිළිගනිමින් කෘෂිරසායන (ආසනික්) හේතුවක් ලෙස නොපිළිගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව යොදාගනු අපට දැකිය හැකි ය. රෝගයකට හේතුව නිර්ණය කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රාශියක් අඩංගු ක්‍රමවේදය මගින් බටහිර වෛද්‍ය විද්‍යාව ඔස්සේ තම අවශ්‍යතා ඉටුකරගැනීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදා වී ඇත. 

බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එකම චින්තනයකි. එ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. (මෙය අමරතුංග මහතා අගය කරන එහෙත් ගුණදාස අමරසේකර මහතා බටහිර කතුවරයකුගෙන් ලබාගත්තාවූ අදහසක් පමණක් වන විසිරුණු ජාතික චින්තනයෙන් වෙනස් වෙයි.) රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා තම ණැන පමනින් කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ණැන ඇතත් ගුණ නොමැති බව ය. ඔහු ද පදනම් වන්නේ ගුණ ණැන වෙන් කරන බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහෙත් ඒ මහතා නොදන්නා කරුණක් නම් ගුණ ණැන වෙන්කළ නොහැකි බවත් පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගුණවත් ණැනවත් නැති බව ය. 

මා අනෙක් අය නොපිළිගන්නා මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ අමරතුංග මහතා අඟවන පරිදි ලාබ ජනප්‍රියතාවක් සඳහා නොව ඉහත සඳහන් කරුණු මත පදනම් වෙමිනි. එහෙත් ඒ මහතා තබා ඒ මහතාගේ බුද්ධිමය වීරයා වූ ගුණදාස අමරසේකර මහතා ඒ ගැන කතා කිරීමට බොහෝ කලකට පෙර දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු යැයි ද කළ හැකි යැයි ද මා කියා සිටියේ අන් අය එසේ කිරීමට නොහැකි බව එකහෙළා කියන විට ය. අන් අය නොපිලිගන්නා මතයක් මා එදා ද ප්‍රකාශ කළේ ලාබ ජනප්‍රියතාවක් සඳහා යැයි අමරතුංග මහතා පවසන්නේ ද? 

මී උණට ද හේතුව කෘෂිරසායන යැයි අපි කීවෙමු. එසේ කීමෙන් අදහස් කළේ කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් මී උණ බෝවෙන බව නො වේ. මී මුත්‍රා කෘෂිරසායන සමග ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය මී උණට හේතු කාරක වෙයි. මී උණ රෝගය කෘෂිරසායන යොදාගැනීමට පෙර නො වී ය. එබැවින් මා කිහිප වතාවක් ම අසා ඇති ප්‍රශ්නයක් නම් එකල මීයන් මුත්‍රා නොකළේ ද යන්න ය.  අමරතුංග මහතා අද කියන්නේ තමන් ඒ ප්‍රශ්නය මගෙන් ඇසූ බව ය. එහෙත් ඒ පිළිබඳ මතකයක් මට නො මැත. 

කෙසේ වෙතත් අමරතුංග මහතා ඒ ප්‍රශ්නය අසා ඇත්නම් හෝ අද අසන්නේ නම් හෝ ඒ ගැන මම සතුටු වෙමි. එයට හේතුව ඒ ප්‍රශ්නයෙන් මගේ ස්ථාවරය තහවුරු වීම ය. කෘෂිරසායන භාවිතයට පෙර මී උණ වැළඳී නැත්නම් හා මී උණ වැළඳෙන්නේ මී මුත්‍රාවල ඇති යම් රසායනික සංඝටයක් නිසා නම් එයින් ගම්‍යවන්නේ, මී උණ වැළඳීමට පෙර මියන් මුත්‍රා කර නැති බව ය. කෙසේ වෙතත් තම ප්‍රශ්නය තම ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන යන බව අමරතුංග මහතාට වැටහෙන්නේ ද? 

දැන් අපි නැවතත් බටහිර විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයට යමු. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව යනු අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණ ය. ඒ මහතාට චින්තනය යන සංකල්පය දිරවා ගැනීමට අපහසු බව ඉතා පැහැදිලි ය. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කතාකරන්නේ ඇයි? එයට හේතුව පොපර් ද ඇතුළු බොහෝ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ට වෙනස් බව සැලකීමත් ඔවුන් බොහෝ දෙනකු බටහිර විද්‍යාව එක්කෝ සත්‍යය ලෙස  නැත්නම් සත්‍යයට ළඟාවන්නක් ලෙසත් අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යාවන් ලෙස සැලකීමත් ය. මෙය යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි ප්‍රතිඵලයකි. 

එපමණක් නො වේ. අමරතුංග මහතා ද බටහිර විද්‍යාවට ආවේණික වූ ක්‍රමයක් ඇති බව පිළිගනියි. ඔහු කියන්නේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පුකිරීමේ දී බටහිර විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක් හෝ යොදාගත නොයුතු බව ය. ඒ බව දෙසැම්බර් 11 වැනි දා පළ වූ ඒ මහතාගේ ලිපියෙහි අවසන් ඡෙදයෙහි සඳහන් වෙයි. මුල් ලිපියෙහි ද වෙනත් වචනවලින් තරමක් පටලැලි සහගත ව ඒ අදහස පළවිය. 

බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන බවත් එයට විශේෂිත වූ විද්‍යාත්මක විධික්‍රමයක් ඇති බවත් අමරතුංග මහතා මෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද පිළිගන්නේ නම් එය හුදෙක් අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වරධනයක් විය නො හැකි ය.  අමරතුංග මහතාට අමරසේකර මහතාට මෙන් ම පරස්පරවලින් තොරව සිතන්නට බැරි ය. අවාසනාවකට බොහෝ උගතුන් යැයි කියාගන්නෝ පරස්පරවල දියබුන් ගසති. අමරතුංග මහතා බටහිර විද්‍යාව අනෙක් රටවල විද්‍යාවන්ගේ වර්ධනයක් පමණක් යැයි කියන අතර ම බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි පවසයි. 

බටහිර විද්‍යාවේ ඊනියා විධික්‍රමයක් නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ කර ඇත. බුදුන් වහන්සේගේ කාලයෙහි ද ආත්මයක් ඇත් ද නැත් ද යන වග දැනගැනීම සඳහා බමුණන් ශුද්‍රයකු යැයි කියැවන්නකු මරා කෲර පරීක්‍ෂණයක් කර ඇති බව අප විසින් පෙන්වා දෙනු ලැබුයේ අද ඊයේ නො වේ. ගැලීලියෝ කළේ යැයි කියන පර්යේෂණ ව්‍යාජ බව ද අපි කියා ඇත්තෙමු. කෙටියෙන් කිවහොත් බටහිර විද්‍යාවට ආවේණික විධික්‍රමයක් නැති බවත් පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ආදිය අනෙක් රටවල දැනුම් පද්ධතීන්හිද දැකිය හැකි බවත් අපි අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ කියා ඇත්තෙමු. ඇතැම් විට විසිරුණු ජාතික චින්තනයට තමා විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීමට සුළු කලකට පෙර පැමිණි අමරතුංග මහතා අවුරුදු ගණනාවකට පෙර චින්තනය යන සංකල්පය අසාවත් නොතිබෙන්නට ඇත. බටහිර විද්‍යාවට ඊනියා විධික්‍රමයක් නැතත් එය අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන්නේ එහි චින්තනය හේතුකොටගෙන යැයි අපි කියමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද එහි චින්තනය හේතුකොටගෙන ය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ එහි උපන්ගෙයි දෝෂයක් නිසා ය. 


නලින් ද සිල්වා

2013-12-18

Sunday, 1 September 2013

සිංහල බෞද්ධයා දඬුකඳේ ගැහීම

බටහිර පිල්ලියක් වූ නවනීදන් පිල්ලෙයි පැමිණියේ සිංහල බෞද්ධයා දඬුකඳේ ගැහීමට ය; රාජපක්‍ෂ ආණ්ඩුව වැට්ටවීමට ය; ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා දංගෙඩියට යැවීමට ය; රණවිරුවන්ට ගැරහීමට ය. ඇගේ වාර්තාවේ තිබෙනු ඇත්තේ බටහිර ආකෘතිය අනුව මුලින් කරන ව්‍යාජ ප්‍රසංශා හා දෙවනුව නගන අභූත චෝදනා ය. ඇය යම් යෝජනා ද ඉදිරිපත්කරනු ඇත. ඇයටවත් ඊනියා ජාත්‍යන්තරයටවත් කළහැකි ඉටිගෙඩියක් නැත. ඇගේ චෝදනා මෙන් ම යෝජනා ද අපි ප්‍රතික්‍ෂෙප කරමු. පොන්තනෝනාගේ මොකක්දෝ එක පොන්තනෝනාට ඕනෑ විධියට වුවත් ඇගේ මොකක්දෝ එක අනෙක් අයට බලයෙන් දිය හැකි නො වේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවට හොඳම සාධකය ඇයට ලංකාවේ ඕනෑම තැනකට ගොස් ඕනෑම අයකු මුණගැසීමට තිබූ නිදහස යැයි ඇය සිහිනෙන්වත් නොකියනු ඇත. ඒ යාපනය හැරෙන්නට ලන්දේසීන් විසින් දෙමළ වෙල්ලාලයන් ගෙන යනු ලැබූ අනෙක් ප්‍රදේශය වූ දකුණු අප්‍රිකාවේ නැටෝල්හි උපත ලැබූ ඇගේ මනස බටහිරයන් විසින් සකස්කෙරී ඇති බැවිනි. ඇය පැමිණියේ සකස් කරන ලද න්‍යාය පත්‍රයක් ඇතිව ය. ත්‍රිකුණාමලයේ දී රාජ්‍ය නොවන සංවිධානයක කතෝලික පූජකවරයකු (පූජකවරුන්) සමග රහසේ කළ සාකච්ඡාව ද රජයට නොදන්වා ම කලින් සංවිධානය කෙරුණකි. පිල්ලෙයි සිංහල බෞද්ධ නියෝජිතයන් සමග සාකච්ඡා නො කළා ය.  

ලංකාව, බයිලෝරුස් වැනි රටවල්වලට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය යොදවන බව මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය. එය සංස්කෘතික වශයෙන් බටහිර නොවන රටක රාජ්‍ය නායකයකු විසින් වෙනත් එවැනි රටක දී කරන ලද වැදගත් ප්‍රකාශයක් විය.  එහෙත් මෙරට බොහෝ ජනමාධ්‍යවලට එහි වැදගත්කමක් නැත.  එක්සත් ජාතීන් හා පිල්ලෙයි ගැන දැනගත හැක්කේ පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක සිදු වූ දේ අවබෝධ කරගැනීමෙනි. එහෙත් අප එය දකින්නේ සිංහල බෞද්ධ චින්තනයට අනුව මිස ඊනියා යථාර්ථය දක්වන්නේ යැයි කියැවෙන බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අනුව නො වේ. බටහිරයන්ට අනුව භික්‍ෂූන් වහන්සේ දේශපාලනය කරති; එහෙත් කතෝලික සභාවේ දේශපාලනයක් නැත. උද්ඝෝෂණ නොකෙරූ පමණින් දේශපාලනය නැති නො වේ. කතෝලික සභාව නිවේදනයක් මගින් දහතුන සංශෝධනය නොකරන්නැයි ඉල්ලන විට ඒ දේශපාලනය මිස අනෙකක් නො වේ. ඔවුන් යම් යම් දේ දිනාගැනීමට රාජ්‍ය උත්සව වර්ජනය කරන බවට තර්ජනය කරන්නේ දේශපාලනයෙන් තොරව නො වේ. කතෝලික හා ක්‍රිස්තියානි පූජකයෝ කොටින්ට ආධාර කළහ. දැනුදු එසේ කරති. අර පූජකවරයා පිල්ලෙයි සමග කළේ දේශපාලනය නොවේ නම් වෙන කුමක් ද?  

පහළොස්වැනි සියවස අවසන බටහිර යුරෝපයේ කතෝලික චින්තනය අභිබවා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මෝදු විය. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ද, මාටින් ලූතර් මගින් ක්‍රිස්තියානි ආගම ද, ගැලීලියෝ නිවුටන් ආදීන්ගේ බටහිර විද්‍යාව ද, ජේම්ස් වොට්ගේ වාෂ්ප යන්ත්‍රය ද, කාර්මික විප්ලවය ද, ධනවාදය ද, හේතුවාදය ද, නූතනවාදය ද,  ඉතා විශාල ප්‍රමාණයකට ඊනියා පශ්චාත්නූතනවාදය ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව බිහිවිය. මාක්ස්වාදය හා ෆැසිස්ට්වාදය මගින් කතෝලික චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අභියෝග කළ ද ඒ සියල්ල පරාජය කරනු ලැබී ය. අද වන විට පාප්වහන්සේ ද මාක්ස්වාදීහු ද ඔබාමාගේ නායකත්වයෙන් අනෙක් චින්තන පරාජය කිරීම සඳහා අත්වැල් බැඳගෙන සිටිති. පාප්වහන්සේ පෝලන්තයේ වැවෙන්සා මගින් සෝවියට් දේශය බිඳවැට්ටීමට කටයුතු කළේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙනුවෙනි. බටහිරයන්ට අද අභියෝග වී ඇත්තේ ඉස්ලාම් චින්තනය හා ථෙරවාද බෞද්ධ චින්තනය ය. ඉස්ලාම් චින්තනය යුද ශක්තියෙන් මෙන් ම ජනගහන ව්‍යාප්තියෙන් ද බටහිරයන්ට තර්ජනයකි. බටහිරයන්ට මුළු ලෝකයේම ආධ්‍යාත්මික අභියෝගය ථෙරවාද චින්තනය ය. බටහිරයෝ තම රටවල මුස්ලිම් සංස්කෘතියට විරුද්ධ වෙමින් ථෙරවාද රටවල බෞද්ධයනට එරෙහිව ඇතැම් මුස්ලිම් රටවල් හරහා මුස්ලිමුන් යොදා ගනිති. බටහිරයන්ගේ අවශ්‍යතාව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය පවත්වාගෙන යෑම ය. ඒ සඳහා තම රටවල ඊනියා මානව අයිතිවාසිකම් තොග වශයෙන් කඩන බටහිරයෝ වෙනත් සංස්කෘතීන් නැතිකිරීමට, ඔවුන්ට පක්‍ෂපාතී නොවන ආණ්ඩු පෙරළීමට තම ආධිපත්‍යයේ අවයවයක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදා ගනිති. අද එම සංවිධානය මුළුමනින් ම මෙන් බටහිරයන් විසින් මෙහෙයවෙයි. ආසියාවට හා අප්‍රිකාවට සීමිත දේශපාලන නිදහසක් දුන්න ද ඔවුන් හැටේ දශකයේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවූයේ තම මතවාද ඒ රටවල ප්‍රචාරය කිරීමට ය. මේ සංවිධාන විසිවැනි සියවසේ යුදෙවු ක්‍රිස්තියානි මීසම් වෙයි. එහි මිෂනාරීන්ට වැටුප් ලැබෙයි. තවද ඇමරිකාවේ උපන් බෝන් එගේන් පල්ලියෙන් ද ඒ කාර්යය ඉටුකෙරෙයි. මේ සංවිධාන පාසල්, විශ්වවිද්‍යාලවලට හා ජනමාධ්‍යයට අමතරව ය. 

සිංහල (හෙළ) බෞද්ධ සංස්කෘතිය අන්‍ය ආගම් හා මත ඉහළින් ම ඉවසයි. දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන්ට තම අනන්‍යතාව රැකගැනීමේ බාධාවක් නො වී ය. මුස්ලිමුන්ට මෙරට ඇති වරප්‍රසාද බටහිර රටවල නැත. අද පවා මුස්ලිම් පාසල්වල ඔවුන්ගේ ම පාසල් වාර පැවැත්වෙන්නේ වෙන කිසිම මුස්ලිම් නොවන රටක සිදු නොවන පරිදි ය. සිංහල රජවරු මුස්ලිමුන් පෘතුගීසීන්ගෙන් ද කතෝලිකයන් ලන්දේසීන්ගෙන් ද රැකගත්හ. එහෙත් ලන්දේසීහු හා ඉංගිරිසිහු දෙමළ, කොච්චි, මැලේ, පරවර, ආදී ජනවර්ග ලංකාවට ගෙන ඒමට සලස්වා ඔවුන් ද සිංහල ක්‍රිස්තියානීන් ද සිංහල බෞද්ධයන්ට එරෙහිව සිංහල සංස්කෘතිය විනාශ කිරීමට බැරිනම් දුර්වල කිරීමට යොදා ගත්හ. සිංහල බෞද්ධයන්ට යටත්විජිත විරෝධී අරගලයේ දී එකී ජනවර්ගවලට ද විරුද්ධ වීමට සිදුවූයේ ඔවුන් යටත්විජිත අතකොළු වූ බැවිනි. ධර්මපාලතුමාගේ කතාවල මෙන් ම පියදාස සිරිසේන මහතාගේ කෘතිවල ද අපට ඒ සංස්කෘතික යටත්විජිත විරෝධී සටන දැකගත හැකි ය. එය ඒ ජනවර්ගවලට නොව යටත්විජිතවාදයට විරුද්ධවීමක් විය. අද වන විට සිංහල කතෝලික බහුතරය (නායක පූජකයන් නොව) ද මැලේ වැනි ජනවර්ග ද යටත්විජිතවාදයට එරෙහිව සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳගනිති. දෙමළ ජනයා ද නුදුරු අනාගතයේ දී එසේ ම කරනු ඇත. එහෙත් ඉංගිරිසින්ගේ ආධාරයෙන් රටේ ම නායකයන් වීමට තැත්කළ වෙල්ලාල නායකයන්ට ද, කසිකබල් මාක්ස්වාදීන්ට ද, කතෝලික ක්‍රිස්තියානි නායක පූජකයන්ට ද, ඇතැම් මුස්ලිම් නායකයන්ට ද ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල සේවකයන්ට ද, නිවට පුහු උගතුන්ට ද ඒ මානසිකත්වය නැත. ඔවුහු බටහිරයන්ගේ අතකොළු වෙති. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ලෝක ආධිපත්‍යය නිවට ව පිළිගන්නා ඔවුහු ලංකාවේ විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව නො පිළිගණිති. ලෝකයේ ඉතාමත් බෙලහීන අනුකාරක උගතුන් මෙරට දැකගත හැකි ය. ඊනියා ප්‍රාඥයන් සාහිත්‍යධරයන්, ව්‍යාජ කලාකරුවන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කර ඇති දේ වෙන ම කතාකළ යුතු ය. ඉහත සඳහන් සියල්ලන් මගින් දෙමළ ත්‍රස්තවාදය යොදාගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකර සිංහලයන් දණගැස්සවීමට නොහැකි වූ බටහිරයෝ සිංහලයන් දඬුකඳේ ගැහීමට ඒ අය ම යොදාගනිති. පිල්ලෙයි ද එකී ව්‍යාපෘතියෙහි අංගයක් පමණකි.


නලින් ද සිල්වා

2013-09-01

Wednesday, 10 July 2013

ගැලීලියෝ කළේ කුමක් ද?


කාළාම සූත්‍රයෙහි මුල් කොටසෙහි කියැවෙන්නේ සියල්ල තනිව ම කල්පනාකර පර්යේෂණකර දැනගත යුතු බව නො වේ. එහෙත් මෙරට උගතුන් යැයි කියන්නන් කාළාම සූත්‍රයට එවැනි අර්ථකථනයක් දීමට තැත්කරන්නේ බටහිර විද්‍යාවෙහි ද එවැනි ආකල්පයක් ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් එය එසේ නො වේ. බටහිර ‍‍සෛද්ධාන්තික විද්‍යාඥයකු යැයි කිවහැකි ලාංකිකයකු  බොහෝ දෙනකු දන්නේ ගිරවුන් මෙන් විවෘත මනසකින් නිරීක්‍ෂණ කිරීමක් ගැන කතාකිරීමටත්, එමගින කල්පිතයක් ඇතිකිරීමත් නිගමනවලට එළඹීමත් වැනි සරල එහෙත් බටහිර විද්‍යාවේ කිසි දිනෙක සිදු නොවන ක්‍රියා ගැන නන්දෙඩවීමටත් ය.

බටහිර විද්‍යාවෙහි යම් අධ්‍යයනයක් කෙරෙන්නේ ම කල්පිතයක් මත පදනම් වී ය. අධ්‍යයනයක් පටන් ගන්නා අයකුට සෑම විට ම යම් මතයක් ඇත. ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණේ පර්යේෂණය කළේම ස්කන්ධය කුමක් වුවත රික්තයක වස්තු එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීමටත් ඈරිස්ටෝටල්ගේ මතය, එනම් වඩා බර වස්තු ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න වැරදි බව පෙන්වීමටත් ය. ගැලීලියෝ තම කල්පිතය නිවැරදි බව පෙන්වීමට ලක ලැහැස්ති වී ඇළවෙන කුළුණට ගියේ ය. 

ඇරිස්ටෝටල්ගේ මතය වැරදි බව ගැලීලියෝ වටහා ගත්තේ කෙසේ ද යන්න බටහිර විද්‍යාවේ ඉතිහාසයෙහි පැහැදිලි නො කෙරෙයි. එහෙත් ඇරිස්ටෝටල් වඩා බර වස්තු ඉක්මණින් පොළොවට ඇද වැටෙන බව දැනගත්තේ නිරීක්‍ෂණයෙන් බව පැහැදිලි ය. ඇරිස්ටෝටල් සංයුක්ත චින්තනයකට උරුමකම් කීවේ ය. ඔහුගේ දැනුම පංචෙන්ද්‍රියයන්ට ගෝචරවූ දැනුමකි. ගසකින් එක්වර වැටෙන කොලයක් හා ගෙඩියක් ගතහොත් ගෙඩිය කොළයට වඩා ඉක්මණින් පොළොවට වැටෙන බව අපි දනිමු. එය අපේ සංයුක්ත දැනුම ය. එය ඇරිස්ටෝටල්ගේ ද සංයුක්ත දැනුම විය.

එපමණක් නොව එය ගැලීලියෝගේ ද සංයුක්ත දැනුම විය. එහෙත් එය වායු ගෝලයෙහි වස්තු වැටීමෙහි දී අප අත්දකින දෙය වෙයි. ගැලීලියෝට අවශ්‍ය වූයේ රික්තයක වස්තු වැටෙන්නේ කෙසේ දැයි දැන ගැනීමට ය. කුළුණක් වටා රික්තයක් සංයුක්ත ව ඇතිකර ගැනීමට බටහිර විද්‍යාවට අද ද නො හැකි ය. ගැලීලියෝ එබැවින් වියුක්තයට මාරු විය. ඔහු අන් අයට කීවේ සංයුක්ත ව දැනගත නොහැකි රික්තය වියුක්ත ව සිතාගන්නා ලෙස ය. ඔහු තමාට අවශ්‍ය දේ පෙන්වීම සඳහා කුළුණෙන් අත්හැරීමට සුදුසු වස්තු යොදාගත්තේ ය. ගැලීලියෝ කිසි දිනෙක ඒ සඳහා ගසක කොළයක් හා ගෙඩියක් යොදා නොගත්තේ ය. 

බටහිර  විද්‍යාවේ කෙරෙන්නේ වියුක්ත කතන්දර ගෙතීම ය.එසේ නොමැතිව ඊනියා විවෘත මනසකින් පර්යේෂණ කිරීම නො වේ. පර්යේෂණ, නිරීක්‍ෂණ කිරීම ලෝකයේ විවිධ රටවල , විවිධ සංස්කෘතීන්වල කෙරී ඇත. ඇරිස්ටෝටල් ද තම ප්‍රවාද ගොඩනගා ඇත්තේ නිරීක්‍ෂණවල ආධාරයෙනි. බුදුන් වහන්සේ දවස බමුණෝ පරීක්‍ෂණ මගින් ආත්මයක් ඇතැයි පෙන්වීමට උත්සාහ කළහ. එය අසාර්ථක පරීක්‍ෂණයක් විය. එහෙත් එකල ද පරීක්‍ෂණ කෙරී ඇත. ඈරිස්ටෝටල්ගේ නිරීක්‍ෂණ සංයුක්ත නිරීක්‍ෂණ විය. එහෙත් ඔහු සාධාරණ ප්‍රවාද ඉදිරිපත් කළේ ය.

වඩා බර වස්තුව සැහැල්ලු වස්තුවට වඩා ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න සංයුක්ත නිගමනයකි. එහෙත් එය එවැනි සියළු වස්තුවලට වලංගු වන්නේ යැයි ඇරිස්ටෝටල් සිතූ බව පෙනෙයි. ඒ අනුව එය සියළු වස්තුවලට බලපාන සාධාරණ නිගමනයකි. අවශ්‍ය නම් එය සාධාරණ නියමයකි. එහෙත් එය වියුක්ත නියමයක් නො වී ය. එය සාධාරණ සංයුක්ත නියමයක් විය. සංයුක්ත නියම පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. වියුක්ත නියම, වියුක්ත ගණිතය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. මෙරට ඇතැමුන් වියුක්තය ගැන මහ හඬින් මහත් භක්තියකින් කතාකළ ද වියුක්තය සංයුක්තයට වඩා සත්‍ය වන්නේ නො වෙයි. සංයුක්තය බොරුවකි. වියුක්තය පට්ටපල් බොරුවකි. 

ගැලීලියෝ කළේ ඊනියා විවෘත මනසකින් කරන පර්යේෂණ ලෝකයට හඳුන්වාදීම නොව වියුක්ත ප්‍රවාද භෞතික වස්තු සඳහා යොදා ගැනීම ය. එහි දී සිදුවූයේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය බටහිර විද්‍යාවෙහි චින්තනය බවට පත්වීම ය. එය චින්තන විප්ලවයකි. එහෙත් එය ගැලීලියෝගේ විප්ලවයක් නො වී ය. පහළොස්වැනි සියවසේ සිට දකුණු යුරෝපයේ ගොඩනැගුණු චින්තනයක් ගැලීලියෝ විසින් දහහත්වැනි සියවසේ දී භෞතික වස්තූවල ගුණ අධ්‍යයනය කිරීම සඳහා යොදා ගැනීම ය. එහි දී අනිවාර්යයෙන් ම ගැලීලියෝ ට පැරැන්නන්ගේ මත ඉවත දැමීමට සිදුවිය. 

ගැලීලියෝ ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක පියා නොව බටහිර වියුක්ත විද්‍යාවේ පියා විය. ගැලීලියෝගෙන් පසුව බටහිර විද්‍යාඥයන් ක්‍රියා කරන්නේ කෙසේ ද? සංවාද අවසානයේ දී අනෙක් තැනැත්තාට පිලිතුරු දීමට ඉඩක් (කාලයක්) නොදී අනුන්ගෙන් ණයට ගත් මතයක් නිවට ව ඉදිරිපත්කරන කාලෝ ෆොන්සේකා මහතා හෝ කිසිම දවසක බටහිර විද්‍යාව හරිහැටි හදාරා නොමැති මාර්ටින් වික්‍රමසිංහ මහතා හෝ ඒ පිළිබඳ ව දැන සිටියේ කුමක් ද? බටහිර විද්‍යාඥයෝ යම් යම් සංයුක්ත සංසිද්ධි “තේරුම් ගැනීම” සඳහා වියුක්ත ප්‍රවාද ගොතති. මේ වියුක්ත ප්‍රවාද යනු වියුක්ත කතන්දර මිස අන් කිසිවක් නො වේ.

වියුක්ත කතන්දර යනු කලින් ද සඳහන්කර ඇති පරිදි පට්ටපල් බොරු ය. එහෙත් මෙයින් අදහස් කරන්නේ සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම අත්හැරිය යුතු බව නො වේ. අද තිබෙන සමාජ ක්‍රමය හා බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය අනුව උසස් යැයි සම්මත රැකියාවක් කිරීමට නම් බටහිර දැනුම ලබා තිබිය යුතු ය. එයින් ද ඉංජිනේරු වෛද්‍ය ආදී වෘත්තීන්හි යෙදීමට නම් බටහිර විද්‍යාව හදාරා තිබිය යුතු ය. එබැවින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු වූ වියුක්ත කතන්දරවලින් සමන්විත වූ පමණින් කිසිවකු බටහිර විද්‍යාව නොහදාරා සිටිය යුතු නො වේ. හැකිනම් කළ යුත්තේ බටහිර විද්‍යාව හොඳින් හදාරා (ජනප්‍රිය පොතපතින් නො වේ) එහි දුර්වලකම් දැනගෙන එයට පහර දී බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට කටයුතු කිරීම ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්කුවෙන් නොව දැනුමෙන් බව අවධාරණය කළ යුතු ය. 

බටහිර විද්‍යාවේ දී ගැලීලියෝගෙන් පසුව විද්‍යාඥයන් කරන්නේ කලින් තිබූ ප්‍රවාදයක් හෙවත් කතන්දරයක් හෙවත් පට්ටපල් බොරුවක් වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් ආදේශ කිරීම ය.  පට්ටපල් බොරුවලට වැඩි ආයුෂක් නැත. යම්කිසි දවසක දී එහි බොරුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි වෙයි. ප්‍රවාදය නම් ගාම්භීර නමකින් හැඳින්වෙන වියුක්ත බොරු කතන්දරය හා  සංයුක්ත නිරීක්‍ෂණ අතර පරස්පර, විසංවාද පැනනගියි.  එවිට එතෙක් පවත්වාගෙන ආ පට්ටපල් බොරුව වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් අවශ්‍ය වෙයි.

බටහිර විද්‍යාඥයෝ හා බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ ඇතැම් විට මේ ආදේශකිරීම සත්‍යයට ළඟාවීමක්, ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමක් ආදී වශයෙන් හඳුන්වති. ඒ ඊනියා ප්‍රවාදවල අසත්‍යබව වසංකිරීමට ගන්නා උත්සාහයක් පමණ ය. එක් පැත්තකින් කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා අසත්‍යකරණයක් ගැන කතාකිරීමෙන් බටහිර විද්‍යාවේ සෙළුව අතින් වැසීමට උත්සාහ කළේ ය. පට්ටපල් බොරු අසත්‍යකරණයට ලක්කිරීම යනු විහිළුවකි. පට්ටපල් බොරු අමුතුවෙන් බොරු බව දැක්වීම අවශ්‍ය නො වේ. ඒවා කොහොමටත් බොරු වෙයි. 

කාල් පොපර් තැත්කළේ කොහොමටත් බොරු වූ බටහිර විද්‍යාවේ කතන්දරවලට  ව්‍යාජ ගරුත්වයක් ලබාදීමට ය. බොරුව බොරුවක් බව හෙළිවනු දකින විට පොපර් කීවේ ඒවා බොරු බව පෙන්වීමට හැකියාව තිබිය යුතු බව ය. එසේ නොවේ නම් ඒ දැනුම් නොව මිථ්‍යාවන් යැයි ඔහු කීවේ ය. එමගින් ඔහු පට්ටපල් බොරුවලට සම්භාවනීයත්වයක් ලබා දුන්නේ ය. කිසිම දිනයක බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාදයක් තබා සංකල්පයක්වත් ගොඩනගා නැති මෙරට තමන් බටහිර විද්‍යාඥයන් ලෙස හඳුන්වා ගන්නා පුස්සෝ පොපර් කියා ඇති දේ වගවිභාගයකින් තොරව විශ්වාස කරති.

එක් බොරුවක් වෙනුවට තවත් බොරුවක් ආදේශ කර ඇති අවස්ථාවන්ට හොඳම නිදර්ශනය වනුයේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ය. ගුරුත්වාකර්ෂණය යනු පට්ටපල් බොරුවක් බව නිවුටන්ගේ කාලයේ ම ජීවත් වූ අය දැන සිටියහ. බුධ ග්‍රහවස්තුව නිවුටන්ගේ ප්‍රවාදයෙන් ගම්‍යවන ආකාරයට අවකාශයේ හිරු වටා චලිත නො වෙයි. නිවුටන්ගේ වියුක්ත කතන්දරය හා බුධ ග්‍රහ වස්තුව පිළිබඳ සංයුක්ත නිරීක්‍ෂණය අතර පෑහිය නොහැකි විසංවාදයක් විය. එහෙත් බටහිර විද්‍යාඥයෝ අවුරුදු දෙසීිය පනහක් පමණ මේ පට්ටපල් බොරුව රැකගත්හ. 

ලෝකයේ බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් බව නො දනිති. මෙරට නම් ඊනියා විද්‍යාඥයෝ ද ඒ බව නො දනිති. බොහෝ දෙනාට ඒ බව  දැනගැනීමට වුවමනාවක් ද නැත. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර වන්නේ යැයි කියන්නෙක් ද  කැලණිය විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යාව උගන්වන්නන් අතර වෙයි. එය පුදුමයක් ද නො වේ. එහි එක් රසායන විද්‍යා මහාචාර්යවරයෙක් අවුරුදු කිහිපයකට පෙර ‍සෛද්ධාන්තික රසායන විද්‍යාව (Theoretical Chemistry) ගැන අසා නො තිබිණි.  අපි ඔවුන්ට අනුකම්පා කරමු.

ඒ කෙසේ වෙතත් නිවුටන්ගේ පට්ටපල් බොරුවෙන් බටහිර විද්‍යාඥයන් උත්සාහ කළේ   පොළොවට පොල් වැටීම පිළිබඳ සංයුක්ත ප්‍රපංචය “ තේරුම් කිරීමට ” ය. පසුව අයින්ස්ටයින් මේ ප්‍රපංචය ම “තේරුම් කිරීමට ” වෙනත් බොරු කතන්දරයක් ගෙතුවේ ය. ඒ පට්ටපල් බොරුව සාධාරණ සාපේක්‍ෂතාවාදය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ එලෙස එක් පට්ටපල් බොරුවක් තවත් පට්ටපල් බොරුවකින් ආදේශ කිරීම ය. මේ ක්‍රියාවලිය සත්‍යය කරා ළඟාවීමක් ලෙස හැඳින්වීම ද විහිළුවකි. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය සංකල්පීය වශයෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග සංසන්දනය කිරීමටවත් නො හැකි ය. එසේ වූ කල එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයකට ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද? 

බටහිර විද්‍යාවේ කලින් තිබූ දැනුම කිසියම් දිනෙක ප්‍රතික්‍ෂෙප වෙයි. එබැවින් පොතක පතක තිබූ පමණින් බටහිර විද්‍යාව නො පිලිගැනෙවා නොව එය බොරු නිසා නො පිලිගැනෙයි. බටහිර විද්‍යාවේ පොත්වල ඇති දැනුම් පට්ටපල් බොරු ය. එබැවින් පොතක පතක ඇති දැනුම, ගුරුවරුන්ගෙන් ලබාගන්නා දැනුම ආදිය කෙදිනක හෝ ප්‍රතික්‍ෂෙප වෙයි. බටහිර විද්‍යාවේ දී කියැවෙන්නේ පොතක පතක තිබූ පමණින් නොපිළිගත යුතු ය යන්න නො වේ. පොත්පත්වල ඇති සියළු දැනුම් නොපිළිගත යුතු ය යන්න ය. 


මෙය කාළාම සූත්‍රයේ කියැවෙන්නට හාත්පසින් ම වෙනස් ය. පොතක පතක තිබූ පමණින් නොපිළිගන්නා ලෙස කීමෙන් කියැවෙන්නේ පොතක පතක ඇති සියල්ල නොපිළිගැනීම නො වේ. පොතක පතක ඇති ඇතැම් කරුණු පිළිගැනීමට ඉන් බාධාවක් නො වේ. මෙය තවදුරටත් සාකච්ඡා කළ යුත්තේ කාලෝ ෆොන්සේකා මහතා වැන්නවුන්ගේ ද දැනගැනීම උදෙසා ය. 

නලින් ද සිල්වා

2013-07-10

Wednesday, 5 June 2013

හෙළ බෞද්ධ චින්තනය

මෙරටට මිහිඳු මහා රහතන්වහන්සේ හඳුන්වාදුන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. අවශ්‍ය නම් එයට අශෝක බුදුදහම යැයි කිව හැකි ය. කෙසේ වෙතත් අද අප ථෙරවාද බුදුදහම යැයි කියන්නේ මෙම තුන්වැනි සංගායනාවේ බුදුදහමට ය. ථෙරවාදය යනු හීනයානය යැයි හැඳින්වෙන බුදුදහමට අයත් එක් පද්ධතියකි.  තුන්වැනි සංගායනාවේ බුදුදහම මෙරටට හඳුන්වාදෙනු ලැබීමට පෙර ද මෙරට බුදුදහමක් විය. එය බුුදුන් වහන්සේ ම යක්‍ෂ හා එකල ලංකාවේ විසු අනෙක් ගෝත්‍රිකයන්ට දේශනා කර ඇත. එම බුදුදහම තුන්වැනි සංගායනාවට පෙර තිබූ බුදුදහමකි. 

බුදුන් වහන්සේ මෙරටට තුන්වරක් වැඩි බව මහාවංශයේ සඳහන් වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කෘතිවලින් ඉතිරි වී ඇති කෘතියක් වූ වර්ගපූර්ණිකාවෙහි බුදුන් වහන්සේ බුදුවීමෙන් සත්වැනි වස මෙරටට වැඩම කළා පමණක් නොව වස්වැසීම ද මෙරට ම සිදුකළ බව සඳහන් වෙයි. සාමාන්‍යයෙන් අපට උගන්වා ඇති බුදුදහමට අනුව බුදුන් වහන්සේ සත්වැනි වස වස්වැසීම දෙව්ලොව සිදුකර ඇත. මෙය ලංකාවෙහි දී යක්‍ෂ ගෝත්‍රික කවිලාශපාලි මෙහෙණින් වහනාසේගේ ආරාධනයෙන් කෙරී ඇත්නම් අපට ඒ ගැන තවදුරටත් සිතා බැලීමට සිදුවෙයි.

කවිලාශපාලි මෙහෙණියට රත්නාවලී යන නම ද භාවිතා වූ බව වර්ගපූර්ණිකාවෙහි තවදුරටත් සඳහන් වෙයි. එපමණක් නොව ගැමුණු රජතුමා රුවන්වැලි සෑය තැනුවේ රත්නාවලී මෙහෙණින් වහන්සේගේ නමින් යැයි ද වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. සිංහලයන් මේ සෑය හඳුන්වන්නේ රුවන්වැලි සෑය කියා මිස රුවන්මැලි සෑය කියා නො වේ. එබැවින් ස්වර්ණමාලී දෙවඟනකගේ නමින් සෑය ගොඩනගනු ලැබී යැයි අප දන්නා කතාවට වඩා රත්නාවලී මෙහෙණියකගේ නමින් සෑය බැඳුණු බවට වර්ගපූර්ණිකාවෙහි ඇති කතාව පිළිගත හැකි ය.

බුදුන් වහන්සේගෙන් බණ අසා කවිලාශපාලි මෙහෙණිය රහත්ඵලයට පැමිණි බව ද වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. මෙරට රහත් ඵලයට පැමිණි ප්‍රථමයා එම මෙහෙණින් වහන්සේ බව වර්ගපූර්ණිකාව සඳහන් කරයි. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ සමාජය මාතෘමූලික වූ බැවින් ද බුදුන් වහන්සේ මෙරටට වැඩම කරන ලද කාලයෙහි දී සිංහ වාංශිකයන්ගේ පීතෘමූලික සමාජය මෙරට ස්ථාපිත වී නොතිබූ බැවින් ද කවිලාශපාලී මෙහෙණියගේ කතාවට වැඩි ඉඩක් ලැබෙයි.

සිංහ වාංශිකයන් මෙරටට පැමිණ කලක් ගතවීමෙන් පසුව වුව ද මිහිඳු මහා රහතාණන් වහන්සේගෙන් බණ අසා මෙරට පළමුව මාර්ගලාභී වී ඇත්තේ අනුලා බිසොව ය. දේවානම්පිය තිස්ස රජුගේ සමය වන විට ද මාතෘමූලික සමාජයේ අංග යම් ප්‍රමාණයකින් වුවත් මෙරට පැවතුණාට සැකයක් නැත. හැරත් බුදුදහම ස්ත්‍රීන්ට සමාජයේ නිසි තැන ලබාදීමට සෑමවිට ම ක්‍රියාකර ඇත.

තුන්වැනි සංගායනාවෙන් පසු මෙරටට හඳුන්වාදෙනු ලැබූ ථෙරවාද බුදුදහමෙහි හෙවත් මහාවිහාරික බුදුදහමෙහි සඳහන් නොවන ඇතැම් කරුණු යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බුදුදහමෙහි හෙවත් හෙළ විහාරික බුදුදහමෙහි කෘතියක් වූ වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. වර්ගපූර්ණිකාවට අනුව යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ ද මෙරටට වැඩම කර ඇත. වර්ගපූර්ණිකාවෙහි සඳහන් කරුණු තහවුරු වුවහොත් මෙරට ඉතිහාසය නැවත ලිවීමට සිදුවනු ඇත. 

ඒ කුමක් වුවත් බුදුදහම හෙළ විහාරික අර්ථයෙන් හෝ මහාවිහාරික අර්ථයෙන් හෝ වැඩි කලක් යෑමට පෙර මෙරට මුල් බැසගෙන ඇත. එයින් අදහස් කෙරෙන්නේ මුළු ලංකාව ම බෞද්ධ වී ය යන්න නො වේ. එහෙත් මෙරට වැසියන්ගෙන් ඉතා වැඩි පිරිසක් කෙටි කාලයක් තුළ බෞද්ධ වී ඇත. එසේ වීමට නම් බුදුදහම මෙරට වැසියන් අතර ජනප්‍රිය විය යුතු ය. බුදුදහම මෙරට මුල් බැසගැනීමටත් දඹදිවෙන් හෝ භාරතයෙන් හෝ ඉන්දියාවෙන් හෝ එය අතුරුදහන් වීමටත් වැදගත් හේතුවක් තිබිය යුතු ය.

ආසියාතික කලාපයෙහි ඉන්දියාව, පිලිපීනය හා මුස්ලිම් රටවල් හැරෙන්නට සෙසු රටවල මූලික වශයෙන් ඇත්තේ යම් ආකාරයක බුදුදහමකි. පිලිපීනය කතෝලික වී ඇත්තේ යටත්විජිත ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස ය. මුස්ලිම් රටවල ද ඉස්ලාම් ආගම පැතිර යෑමට කඩුව හෙවත් යුදබලය හේතු වී ඇත. එමෙන් ම කතෝලික/ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් පැතිර යෑමේ දී හින්දු ආගමික කුල  පීඩනය ද සුළුවෙන් නමුත් බලපා ඇත. ඊනියා අඩුකුල ජනතාව කුලභේදයක් ගැන කතා නොකරන, එහෙත් වෙනත් භේද ඇති ඉස්ලාම් හා ක්‍රිස්තියානි/කතෝලික ආගම් වැළඳ ගැනීමට පෙළඹී ඇත.

හින්දු ආගම බලවත් ව දැකිය හැකි වනුයේ වත්මන් ඉන්දියාවේ, නේපාලයේ හා ඉන්දියාවේ බලපෑම්වලට හසුවන රටවල ය. හින්දු ආගම පැතිර යෑමේ දී බලපාන වැදගත් සාධකයක් වනුයේ ජනතා සංක්‍රමණය ය. අද ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ජනයා වෙනත් ප්‍රදේශවලට (රටවලට) සංක්‍රමණය වීමේ දී ඒ ජනයා තමන් සමග හින්දු ආගම ද ඒ ප්‍රදේශවලට හා රටවලට ගෙන ගොස් ඇත. අද ලංකාවේ වුව ද හින්දු ආගම අදහන්නේ පසුගිය වසර දෙසිය පනහක පමණ කාලය තුළ විවිධ අවස්ථාවල ලන්දේසීන් හා ඉංගිරිසින් මෙරටට ගෙනා ජනයා ය. වෙනත් ආගමක ජනයා ඒ ආගම අත්හැර හින්දු ආගම වැළඳ ගනු දැකිය හැකි අවස්ථා ඉතා විරල ය.

එහෙත් බුදුදහම මේ සියළු ආගම්වලින් වෙනස්වන්නේ එය කඩුවේ බලයෙන් (යුද්ධයෙන්) වෙනත් රටවලට ගෙන යෑමක් දැකිය නොහැකි බැවින් හා වෙනත් ඇදහිලි සහිත ජනයා බුදුදහම වැළඳ ගෙන ඇති බැවිනි. බුදුදහම ඉතා පැහැදිලිව ආසියාවේ ආගම ය. එය ආසියාවේ ආයාසයකින් තොරව ම මුල් බැසගෙන ඇත. විශේෂයෙන් ම ලංකාවේ බුදුදහම ඉතා ශක්තිමත් ව මුල්බැස ගෙන ඇත. එහෙත් සාධාරණ වශයෙන් ගත්කල ආසියාවේ හෝ විශේෂයෙන් ලංකාවේ හෝ බටහිර විද්‍යාව ජනප්‍රිය වී මුල්බැස ගැනීමක් සිදු නොවී ඇත.

අපට අවශ්‍ය එය එසේ සිදුවූයේ ඇයි ද යන්න දැනගැනීමට ය. එනම් ඒ සඳහා අපේ ප්‍රවාදයක් ගෙතීමට ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඒ සඳහා කතන්දරයක් ගෙතීමට ය. අපට දැනටමත් ඒ සඳහා වියුක්ත සාධාරණ ප්‍රවාදයක් ඇත. ඒ අනුව එයට හේතුව ආසියාවේ හා විශේෂයෙන් ම ලංකාවේ චින්තනය බුදුදහමේ චින්තනය සමග එකඟවීමත් බටහිර විද්‍යාවේ චින්තනය සමග එකඟ නො වීමත් ය. කෙතරම් වෑයම් කළත් ආසියාවෙන් බටහිර විද්‍යාවේ අනුකාරකයෝ පමණක් ම බිහිවෙති. බටහිර විද්‍යාඥයෝ බිහි නො වෙති.

අප මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් අප වියුක්ත ප්‍රවාද ගොතන්නේ අපේ චින්තනයට පිටින් ගොස් බව ය. අපට වියුක්ත ප්‍රවාදයක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නො හැකි ය. එහෙත් අපේ සංස්කෘතියෙහි දැනුම ලබාගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. ඒ සඳහා අපේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතු ය. එසේත් නැතහොත් වක්‍රව දැනුම ලබාගැනීම සඳහා ආධ්‍යාත්මික ව උසස් තත්ත්වයකට පත් වී සිටින අය සමග සන්නිවේදනය කිරීමට හැකියාව තිබිය යුතු ය. අපට දැනට එවැනි ආධ්‍යාත්මික ශක්තියක් නොමැත. එබැවින් අපි ප්‍රත්‍යක්‍ෂයෙන් නොව වියුක්ත ප්‍රවාද ඔස්සේ දැනුම ලබාගැනීමට කටයුතු කරමු.

බටහිර විද්‍යාවේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි වෙයි. එය ආසියාවට ආගන්තුක ය. අපේ රටවලින් හරිහමන් විද්‍යාඥයන් බිහි නොවන්නේ එබැවිනි. ලංකාවේ අපේ චින්තනය සිංහල බෞද්ධ හෝ හෙළ බෞද්ධ හෝ වෙයි. වඩාත් නිරවුල් ව කිවහොත් අපේ චින්තනය හෙළ බෞද්ධ වෙයි. සිංහල බෞද්ධ චින්තනය තුන්වැනි සංගායනාව සමග බැඳී ඇත. ඒ සමග බොහෝ විට ඇත්තේ උගතුන් බව පැහැදිලි ය. ධර්මවාදය, ක්‍ෂණවාදය, යථාර්ථ, මනසේ පැවැත්ම ආදිය ගැන වැඩියෙන් කතාකරන්නෝ බුදුගොස් හිමියන්ගෙන් ඇරඹි අටුවා (පැරණි හෙළටුවා නො වේ) සාහිත්‍යය සමග බැඳුණු උගත්තු ය. මේ බුදුදහම විසුද්ධිමාර්ගයෙන් පටන් ගැනෙන සාහිත්‍යයට වඩා නැඹුරු ය.

අපේ ගැමි හා බහුතර බෞද්ධයෝ තවමත් හෙළ බෞද්ධ චින්තනයෙහි වෙති. ඔවුන්ට අනේ අනිච්චේ යන්නෙහි හෙළ බෞද්ධ චින්තනය ගැබ් වී ඇත. මෙරට හෙළ ගොවිකම, හෙළ (පාරම්පරික) වෙදකම, හා සාධාරණ වශයෙන් ගත්කල මෙරට අපේ ම වූ දැනුම වියුක්ත ප්‍රවාදවල නොව සංයුක්ත සිරිත්විරිත්වල දැකගත හැකි ය. අපේ භාෂාවේ ඇති වදන්වල, භාෂා ප්‍රයෝගවල හෙළ බෞද්ධ චින්තනය වෙයි. අඩුවැඩිය, යනඑන ගමන් ආදී ව්‍යවහාර ගැමියන්ගේ කතාබහෙයි වෙයි.

අපේ චින්තනයෙහි න්‍යාය (ලඔගඉච) චතුස්කෝටිකය වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි පුරෝගාමියා වූ දේවානම්පිය තිස්ස රජුගෙන් මිහිඳු මහා රහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ හෙළ බෞද්ධ චින්තනයෙහි හා චතුස්කෝටිකයෙහි පදනම් වෙමිනි. මා මේ ප්‍රශ්න ගැන විග්‍රහයක් මෙයට අවුරුදු විසිපහකට පෙර කළ ද අද වනතුරු මෙරට උගත් සමාජයෙහි ඒ ප්‍රචලිත වී නැත. එයට ප්‍රධාන හේතුව මෙරට වත්මන් උගතුන් කාලාම සුත්‍රයෙහි අරුතෙන් විඤ්ඤූන් නොවීමත් ඔවුන් ඇරිස්ටෝටලීය න්‍යායෙහි කොටු වී සිටීමත් ය. ඔවුහු තමන්ට අවශ්‍ය ආකාරයට කාලාම සූත්‍රය චුල්ලහත්ථි පදොපම සූත්‍රය ආදී සූත්‍ර බටහිර විද්‍යාවට සරිලන ආකාරයට අර්ථනිරූපනයට උත්සාහ කරති.

එසේ වුවත් මේ උගතුන්ට අනුකාරිකව හැරෙන්නට නිර්මාණාත්මක ව ඇරිස්ටෝටලීය න්‍යාය වුව ද යොදාගත නො හැකි ය. එබැවින් ඔවුන්ට බටහිර විද්‍යාව කියවා හෝ වෙනත් අයකුගෙන් අසාගෙන හෝ ඉගෙනගත හැකි ය. එහෙත් ඔවුන්ගේ පෙළහර එතැනින් නිමාවෙයි. මෙරට යම් නිර්මාණයක් කෙරෙන්නේ නම් ඒ තවමත් ගැමිකම රැකගත් අයගෙනි. එය ද හෙළ බෞද්ධ චින්තනය තම චින්තනය කරගත් අයගෙනි.  මෙරට උගතුන් හෙළ බෞද්ධ චින්තනය වෙත ආපසු යන්නේ නම් ප්‍රභ්න රාශියකට ම සාර්ථක පිලිතුරු ලබාගත හැකි ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කෙතෙක් උත්සාහ කළ ද මෙරට බටහිර විද්‍යාව ජනපයිය කළහැකි නො වේ. එය මෙරට මුල් බැස ගැනීමක් ද නො සිදුවනු ඇත. බටහිරයන්ගේ පොතපත කියවා එහි ඇති කරුණු සිංහලෙන් කීම බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීමක් යැයි ඇතැමුනට සිතෙනු ඇත. එහෙත් එයින් පෙනී යන්නේ උගතුන්ගේ හුදු අනුකාරිකත්වය පමණකි. විභාග සඳහා සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම ද බටහිර විද්‍යාව ජනප්‍රිය වීමක් හෝ මුල් බැස ගැනීමක් හෝ නො වේ. අප කළ යුත්තේ අපේ චින්තනය පාසල් ඇතුළට ගැනීම ය. අඩුම තරමෙන් සිසුන්ට දෙමවුපියන්ට සහාය වීමටත්, සාමූහිකත්වයට ඔවුන් යොමුකිරීමටත් හැකිවන පරිදි ඒ ඒ පළාත්වල කුඹුරු වැඩකරන කාලයට පාසල් නිවාඩු ලබාදීමට කටයුතු කළ හැකි දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය උනන්දු කරවිය යුතු ය.

2013-06-05

නලින් ද සිල්වා

Saturday, 18 May 2013

මාක්ස්වාදය හා දැනුම් ගස්


ගුණදාස අමරසේකර මහතාට අනුව එක්තරා ලේඛකයකු කියා ඇත්තේ රුසියාවේ විප්ලවය සිදුවූයේ මාක්ස්වාදයට අනුව නොව එහි ජාතික චින්තනයට (national thought) එකඟව බව ය. රුසියන් විප්ලවය රුසියාවේ ජාතික චින්තනයට එකඟව සිදු වී නම් ඉන් අවුරුදු අසූවක් ගතවීමට පෙර සෝවියට් දේශය කඩාවැටී රුසියාව ඇතුළු විවිධ රාජ්‍ය බිහිවූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ද ජාතික චින්තනය ඇසුරෙන් පිළිතුරු සැපයිය යුතු ය. ජාතික චින්තනය නමැති විසිරුණු අදහසට අනුව එයට පිළිතුරු සැපයිය නො හැකි ය. එමෙන් ම මාක්ස්වාදයට ද එයට පිළිතුරු නැත. චාවේස් කස්ත්‍රෝ ආදී පුද්ගලයන් බිහිවන්නේත් ඒ රටවල ඊනියා සමාජවාදී හෝ මානව හිතවාදී හෝ රාජ්‍ය බිහිවන්නේ කෙසේ ද ආදී ප්‍රශ්නවලටත් ජාතික චින්තන අදහස්වලින් හෝ මාක්ස්වාදයෙන් හෝ පිළිතුරු නො ලැබෙයි.

අප මේ කරුණු සාකච්ඡා කරන්නේ දැනට අවුල් ව ප්‍රචාරය වී ඇති මතිමතාන්තර කිහිපයක් නිරවුල් කරගැනීම සඳහා ය. අනෙක් පැත්තෙන් අපේ ප්‍රවාද ගැන ද පැහැදිලි කිරීමට ඒ උපයෝගී කරගත හැකි ය. පළමුකොට ම මාක්ස්වාදය ගැන කෙටි සටහනක් අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාවේ බටහිර දාර්ශනිකයකු වූ කාල් පොපර් මාක්ස්වාදය හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඇරඹූ මනෝ විශ්ලේෂණය විද්‍යාව, එනම් බටහිර විද්‍යාව, නොවේ යැයි ප්‍රකාශ කර ඇති නමුත් මෙරට පොපර්වාදීහු ද ඒ බව අමතක කරති. ඔවුහු පොපර් අනුව යමින් ජ්‍යොතිෂය පමණක් බටහිර විද්‍යාව නොවේ යැයි පවසති. මේ කන්න වුවමනා වූ විට කබරගොයා තලගොයා කර ගැනීමකි. මේ ඇතැමුනට අනුව මෑත කාලයේ බටහිර විද්‍යාවේ පහළ වූ දැවැන්තයෝ අයින්ස්ටයින්, ඩාවින්. මාක්ස් හා ෆ්‍රොයිඩ් වෙති. එහෙත් බටහිර විද්‍යාවේ මහා දාර්ශනිකයා ලෙස මෙරට ඇතැමුන්ගේ සැලකිල්ලට පාත්‍රවන පොපර් ඉන් දෙදෙනකු ම ප්‍රතික්‍ෂෙප කරයි.

පොපර් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීම සඳහා නිර්ණායකයක් ඉදිරිපත් කළේ ය. ඒ අන් කිසිවක් නොව බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කර හැකි බවත් එහෙත් අනෙක් දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හෝ මතවාද හෝ වෙනත් දැනුමක් හෝ එසේ අසත්‍යකරණයට ලක්කිරීමට නොහැකි බවත් ය. පොපර්ගේ අසත්‍යකරණය පිළිබඳ විවේචන බටහිර ම කිහිප දෙනකු අතින් පළ වී ඇත. තමන් එකිනෙකා ප්‍රාඥයන් ලෙස හඳුන්වාගන්නා බොහෝ දෙනා පොපර්ගෙන් ඈතට නො යති. ඔවුන් පොපර්ගේ මත ගැන ද එතරම් හොඳින් අධ්‍යයනය කර නොමැති බව පැහැදිලි ය.

පොපර්ට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය ද අසත්‍ය ද බව දැනගැනීම සඳහා පර්යේෂණ කළ හැකි ය. එහෙත් ඔහු පවසන්නේ මාක්ස්වාදයේ හෝ ජ්‍යොතිෂයේ හෝ දැනුම අසත්‍යකරණයට ලක්කළ නො හැකි බව ය. ඔහුට අනුව යමකුගේ කේන්ද්‍රය බලා ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයකු පළකළ අනාවැකියක් ඵල නොදැරුවහෙත් ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයා එය ඵල නොදැරුවේ ඇයි ද යන්නට වෙනත් හේතුවක් කියනු ඇත. එබැවින් ජ්‍යොතිෂයේ දැනුම කිසි දිනෙක අසත්‍ය වන්නේ නො වේ. එමෙන් ම මාක්ස්වාදයේ ද අනාවැකි ඵල නොදරන විට මාක්ස්වාදීහු විවිධ හේතු දැක්වීමට ඉදිරිපත් වෙති.

මාක්ස්ගේ මාක්ස්වාදයට අනුව ඊනියා කම්කරු පංති විප්ලවය මුලින් ම සිදුවීමට තිබුණේ බටහිර යුරෝපයේ ඊනියා දියුණු රටවල ය. විශේෂයෙන් ම එංගලන්තයේ ය. එහෙත් එය එසේ සිදුනොවී ය. පසුකාලීන මාක්ස්වාදීහු එසේ සිදුනොවූයේ ඇයි ද යන්න තේරුම් කිරීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කළහ. පොපර්ට අනුව ගොස් මාක්ස්වාදීහු මාක්ස්වාදය අසත්‍යකරණයට ලක් නො කළහ. මාක්ස්වාදීන් දැක්වූ එක් හේතුවක් වූයේ ඊනියා දියුණු රටවල කම්කරු පංතියේ නායකත්වය එක්කෝ බිහි වී නො තිබීම ය. එසේත් නැතහොත් කම්කරු පංතියේ නායකත්වයේ පාවාදීම් ය.

ඊනියා කම්කරු පංති විප්ලවය නොසිදු වූ ඕනෑම රටක මේ කතාව කියා ගැලවී යෑමට මාක්ස්වාදීහු පුරුදු වී සිටිති. ලංකාවේ ද ඊනියා කම්කරු පංති නායකත්වයේ පාවාදීම් ගැන නිතර කියැවෙයි. එහෙත් පාවා නොදුන්නේ යැයි කියන නායකත්වයට ද ඊනියා කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. එය එසේ වී ඇත්තේ ඇයි දැයි තමන් පාවා දී නැතැයි කියන නායකයෝ තේරුම් කර නො දෙති.

ඊනියා කම්කරු පංති නායකයන් බිහි නොවන්නේ නම් හෝ පාවා දෙන්නේ නම් හෝ මාක්ස්වාදීන් කළ යුත්තේ එසේ වීම තේරුම් ගැනීම සඳහා ප්‍රවාද ඉදිරිපත් කිරීම ය. එහෙත් ඔවුහු එසේ නොකරති. එක්කෝ වත්මන් මාක්ස්වාදීහු නිර්මාණශීලී නො වෙති. නව ප්‍රචාදයක් ඉදිරිපත් කිරීමට නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතු ය. ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම යනු කතන්දරයක් ගෙතීමකි. කතන්දරයක් ගෙතිය හැක්කේ නිර්මාණශීලී පුද්ගලයකුට ය. එපමණක් නො වේ. ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියකට සාපේක්‍ෂ ව ය.

බොහෝ දෙනාට බටහිරයන් විසින් කියා දෙනු ලබන දැනුම පිළිබඳ දැනුමට අනුව ඇත්තේ එක් දැනුමකි. එය මුළු ලෝකයට ම පොදු ය. ඒ ඒ කාලවල දී භාරතයේ, චීනයේ, ග්‍රීසියේ නැතහොත් වෙනත් රටක දැනුම වර්ධනය වන්නට ඇත. එය නිර්මාණයක් යැයි පොදුවේ ගත්කල බටහිරයෝ නො කියති. ඔවුන්ට අනුව දැනුම සොයා ගැනෙයි. එහෙත් මේ සොයාගැනීම පිළිබඳ විශ්වාසය පොපර්ගේ අසත්‍යකරණ ප්‍රවාදයට එකඟ නො වේ. දැනුම සොයා ගැනෙන්නක් නම් එය අසත්‍ය වන්නේ කෙසේ ද? මිනිස්සු අසත්‍ය දැනුම් ද සොයා ගනිත් ද?

චීනයේ හෝ ග්‍රීසියේ හෝ වර්ධනය වූ දැනුමක් දැන් බටහිර යුරෝපයට ගොස් තිබෙන්නට හැකි ය. බටහිරයන්ට අනුව චීනයෙන් බටහිරට ගිය වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය ආදිය පිළිබඳ දැනුම හා දැන් ඒ සම්බන්ධයෙන් බටහිරයන් සතු දැනුම එකකි. එසේත් නැත්නම් පැරණි දඹදිවෙන් අරාබිය ඔස්සේ බටහිරට ගිය ගණිතය අද බටහිර ඒ සම්බන්ධයෙන් ඇති ගණිතය වෙයි. එහෙත් දඹදිව තිබූ වීජය බටහිර අද ඇති වීජය මෙන් වියුක්ත නොවන බව බටහිරයෝ නො කියති. එසේත් නැතහොත් චීනයෙහි වෙඩි බෙහෙත් පිළිබඳ දැනුම තිබුණමුත් චීන ජාතිකයන් බටහිරයන් මෙන් නොව තුවක්කු නිෂ්පාදනය නොකළ බවත් බටහිරයෝ අපට නො කියති.

ලෝකයේ කිසිම දවසක එකම දැනුමක් පමණක් තිබී නැත. බටහිරයන් කියන ආකාරයට ලෝකයේ ඇත්තේ එක් දැනුම් ගහකි. මේ දැනුම් ගහ විවිධ පුද්ගලයන් අතින් වර්ධනය වෙයි. ඒ පුද්ගලයෝ විවිධ ජාතීන්ට, විවිධ ජනවර්ගවලට හා විවිධ සංස්කෘතීන්ට අයත් වෙති. බටහිරයන්ට අනුව මේ දැනුම් ගහ ලෝකයට ම පොදු ය. බටහිරයන් කියන දේ දොහොත් මුදුන් දී පිලිගැනීමට පුරුදු කෙරී ඇති මෙරට ඊනියා උගතුන්ට අනුව ද ලෝකයේ ඇත්තේ එකම දැනුමකි. ඒ දැනුම අද ලෝකයේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල බෙදා හැරෙයි.

එහෙත් මෙරට සිටින උගතුන්ට මේ දැනුමට කිසිවක් එකතුකිරීමට නොහැකි වී ඇත. එයට හේතුව ලෙස මේ උගතුන් පෙන්වා දෙන්නේ බටහිර රටවල මෙන් පහසුකම් මෙරට නැති බැවින් ඔවුන්ට නව දැනුමක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය. එහෙත් අද මෙරටින් ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට ගොස් විශ්වවිද්‍යාලවල හා වෙනත් පර්යේෂණ ආයතනවල ඊනියා පර්යේෂණ කරන්නෝ වෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු වෙති. අධ්‍යයන අංශවල ප්‍රධානීහු වෙති. එසේත් නැතහොත් පර්යේෂණ ආයතනවල ප්‍රධාන තනතුරු දරති.

එවැන්නන්ට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එහෙත් ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට හෝ වෙනත් බටහිර දැනුමකට වී ඇති සෙත කුමක් ද? ඔවුන් “සොයා ගත්” මූලික දැනුමක් වේ ද? ඔවුන්ගේ ඊනියා පර්යේ’ෂණ කූන් කී ආකාරයෙන් නම් ගැටළු විසඳීමට සීමා වී ඇත. එසේ නම් මේ උගතුන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුහු බටහිරයන් තරම් දක්‍ෂ නො වෙත් ද? මේ උගතුන්ට මෙවැනි ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි. ඒ තරමට නම් ඔවුහු අදක්‍ෂයෝ වෙති. ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ප්‍රශ්නයක් ඇති බව වටහාගත් අයකුට ය. මොවුන්ට ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි.

මේ බටහිර ගැති, බටහිරයන් විසින් පුහුණු කෙරී ඇති ඊනියා උගතුන්ට නොතේරුණ ද ලෝකයේ බොහෝ දැනුම් ගස් ඇත. මේ දැනුම් ගස් විවිධ ය. ඇපල් ගස් හා පොල් ගස් යනු එකම වර්ගයේ ගස් නො වේ. ලංකාවේ ඇපල් ගස් නො වැවෙයි. ඇතැම් විටෙක කෘත්‍රීම පරිසරයක් මවා ඇපල් ගස් ලංකාවේ වැවීමට හැකියාවක් ඇත. එමෙන් ම කෘත්‍රීම පරිසරයක එංගලන්තයේ පොල් වැවිය හැකි ය. ලන්ඩන් නුවර කිව් උද්‍යානයෙහි කෘත්‍රීම පරිසරයක පොල් ගසක් වවා ඇත. (පේරාදෙණියේ උද්භිද උද්‍යානය නිර්මාණය කර ඇත්තේ කිව් උද්‍යානයේ අනුකරණයක් ලෙස ය.)

අද ලංකාවේ ද දැනුම් ගසට ඇත්තේ ඇපල් ගස පමණකි. මේ ඇපල් ගස් කෘත්‍රිම ව පාසල්වල හා විශ්වවිද්‍යාලවල වැවෙන්නට සලස්වා ඇත. ලෝකයේ ඇති එකම දැනුම් ගස ඇපල් ගස යැයි අපට ඉගැන්වෙයි. මෙරට කෘත්‍රීම ව අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ ඉංගිරිසින් මුල දී පාසල්වල හා පසුව විශ්වවිද්‍යාලවල ද ඇපල් දැනුම් ගස් වවා ඇති නමුත් ඒවා වඳ පීදෙයි. එහි ගෙඩි හට නො ගනියි. අපි අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල පොල් වැවීමට උනන්දුවක් නො ගනිමු.

විවිධ දැනුම් ගස් ඵල දරන්නේ විවිධ පරිසරවල ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ දැනුම් ගසෙහි ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ චින්තනය මත පදනම් ව අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. අපට වෙනත් චින්තන මත පදනම් ව වෙනත් සංස්කෘතීන්ට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කළ නො හැකි ය. අපේ උගතුන්ට බටහිර විද්‍යාවෙහි දැනුම, එනම් මූලික දැනුම නිර්මාණය කළ නොහැක්කේ අපේ උගතුන්ට බටහිර චින්තනය නොමැති බැවිනි. ඔවුන් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නොමැති වා පමණක් නො වේ. ඔවුහු බටහිර යුදෙවු ග්‍රීක සංස්කෘතියෙහි ද නො වෙති.

අපට බටහිර දැනුමට යමක් එකතු කිරීමට අප ඒ චින්තනයෙහි ජීවත්විය යුතු ය. අපේ නිර්මාණශීලීත්වය මතුවන්නේ අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. දැනුම් නිර්මාණය සඳහා නිර්මාණශීලීත්වය තිබීම පමණක් ප්‍රමාණවත් නො වේ. අප ඒ සඳහා අපේ චින්තනය පදනම් කරගත යුතු ය. මෙරට සිටින මාක්ස්වාදීන් ඉතා වැඩි දෙනකුට නිර්මාණශීලීත්වය යන්න ම නොතේරෙයි. ඔවුහු අංක එකේ අනුකාරකයෝ වෙති. ඔවුන්ට මාක්ස්ගේ ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ වචන ඒ ඒ ගුරුකුලය අනුව දේව භාෂිත වෙයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් වඩාත් ම යොදාගන්නා වචනය ගැලැප්පීම ය. මාක්ස්වාදය මෙරටට ගලප්පන්නේ කෙසේ ද යන්න ඇතැමුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. ඇතැමුනට ඒ පිලිබඳවවත් හෝඩුවාවක් නැත. ඒ අයට ගැලැප්පීම යන්න ම මාක්ස්වාදය විකෘත කිරීමකි. ගැලැප්පීම යන්න එතරම් තේරුමක් ගෙන දෙන වචනයක් නො වේ. ගුණදාස අමරසේකර මහතාට අනුව මෙරට ජාතික චින්තනයෙහි දර්ශනය මාක්ස්වාදය ය. ඔහු අබුද්දස්ස යුගයක් කෘතිය පළකළ කාලයෙහි සිට අද දක්වා ම ඒ අදහස දරයි. ඔහුට ද අවශ්‍ය එක්තරා ආකාරයක ගැලැප්පීමකි. ඔහු එයට සහවාසය යන නම යොදාගනියි.
(13/05/08)

නලින් ද සිල්වා

Tuesday, 14 May 2013

පළාත් සභා හා උතුරේ ඡන්දය

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වෙනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශකර ඇත. අනෙක් පළාත් සභා මැතිවරණ පවත්වා තිබිය දී උතුරු පළාතේ පමණක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස හැමදාමත් සිටි බටහිරයන්ට හා ඉන්දියාවට වඳුරන්ට ඉණිමං බැඳීමක් විය. එහෙත් අප අපේ රට සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බටහිර රටවල් හා ඉන්දියාව දෙස බලා නො වේ. අපේ රටේ ස්වෛරීභාවය, ආරක්‍ෂාව, භෞමික අඛණ්ඩතාව, ඒකීය භාවය (එක්සේසත් බව) ආදිය එහි දී වැදගත් වෙයි. ඉහත සඳහන් කරුණක් හෝ කරුණු කිහිපයක් නිසා හෝ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු යැයි අපට වැටහේ නම් අප ඒ අනුව අදාළ මැතිවරණය නොපැවැත්විය යුතු ය. එහෙත් අපේ තීරණය යුක්තියුක්ත කිරීමට අපට හැකි විය යුතු ය.

පළාත් සභා අහෝසි කරනු දැකීම මගේ අභිප්‍රාය වෙයි. එයට ප්‍රධාන හේතුව පළාත් සභා මෙරට ඇති ප්‍රශ්නයකට විසඳුමක් නො වීම ය. පළාත් සභා ඇතිකරනු ලැබුයේ ඉන්දියාවේ අවශ්‍යතාවට ය. එය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නවලට ඊනියා විසඳුමක් ලෙස ඉන්දියාව විසින් බලයෙන් පටවන ලද්දේ එංගලන්තයේ හා ඇමරිකාවේ ආශිර්වාදය හා අනුග්‍රහය යටතේ ය. එහෙත් මෙරට ඇති ප්‍රශ්නය අන් කිසිවක් නොව ඉංගිරිසි හා ලන්දේසි යටත්විජිත යුගවල දී සිංහල බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් ය. මේ අසාධාරණකම්වලට තවමත් විසඳුම් ලැබී නැත. සිංහල බෞද්ධයෝ තවමත් අසාධාරණකම්වලට ලක්වෙති. මෙයට යම් ප්‍රමාණයකට වගකිව යුත්තෝ සිංහල බෞද්ධයන්ගේ ඊනියා නායකයෝ ය. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවට තවමත් පිළිගැනී නැත. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාවගේ සංස්කෘතිය සිංහල බෞද්ධ විය. මෙරට ජනතාවගේ ජීවන රටාව සිංහල බුද්ධාගම විසින් සකස් කෙරිණි. මෙරට ජනතාවගේ චින්තනය, අවශ්‍ය නම් ජාතික චින්තනය, සිංහල බෞද්ධ චින්තනය විය. දැනුම ද ඇතුළත් වූ සංස්කෘතිය ගොඩනැගෙන්නේ යම් චින්තනයක ය. එයින් අදහස් වන්නේ චින්තනය යන්න මූල හේතුවවත්, චින්තනය වෙනස් නොවන බවක්වත් නො වේ. චක්‍රීය චින්තනයක මූල හේතු නැත. අනිත්‍ය ගැන කියැවෙන සංස්කෘතියක නිත්‍ය චින්තනයක් තිබිය නො හැකි ය.

ඇතැම් සිංහල බෞද්ධයන් ම, ඇතැම් භික්‍ෂූන් වහන්සේ ම, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු සුවිශේෂ තත්ත්වය අහිමිකිරීමට කටයුතු කරනු දැක්ම කණගාටුදායක ය. ඊනියා සර්ව ආගමික සංකල්පය මගින් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු විශේෂ තත්ත්වය අහිමි කිරීම ය. මෙරට බහු සංස්කෘතික රටක් වන්නේ කිනම් අර්ථයකින් ද? ඕනෑම රටක සංස්කෘතීන් එකකට වඩා තිබිය හැකි මුත් ඒ සෑම රටකම අධිපතිවාදී සංස්කෘතියක් හෝ විශේෂිත සංස්කෘතියක් හෝ පවතී. එහෙත් ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස හැඳින්වෙන්නේ මෙරට සෑම සංස්කෘතියක් ම සමාන ය යන අර්ථයකිනි. සර්ව ආගමික භික්‍ෂූන්වහන්ස්ලා ද සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැතිකරති. අප පළමු කොට ම මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීමට සැලැස්විය යුතු ය. අපේ ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො ලැබීම ය. මෙරට චින්තනය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ චින්තනය බව විශ්වවිද්‍යාලවල සිටින බටහිර ගැති නිවට පුස්සන්ට කියා දිය යුතු ය. මේ පුස්සෝ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලොවේ ම අධිපතිවාදී චින්තනය බව පිළිගනිති. දැනුම හා සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල මේ පුහු නිවටයෝ වෙනත් කිසිම සංස්කෘතියකට හෝ චින්තනයකට හෝ ඉඩක් නො දෙති. එහෙත් බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම පට්ටපල් බොරුවක් බව පෙන්වූ විට ඔවුන්ට එයට විරුද්ධව කීමට දෙයක් නැත. ඔවුහු දිගට ම නිවටකම නිසා ම පට්ටපල් බොරුවේ ගැලී සිටිති.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ අසාධාරණයක් නොමැති බව පෙන්වා දශක දෙකකට වැඩි ය. එහෙත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනාට ඒ ගැන වැටහීමක් නැත. සිංහල භාෂාව මෙරට ඈත අතීතයේ සිට රාජ්‍ය භාෂාව විය. එසේ නොවූයේ ඉංගිරිසින්ගේ කාලයේ පමණ ය. රාජ්‍ය භාෂාව යන සංකල්පය අද අරුතින් නිර්වචනය කර නැති වුවත් මෙරට රාජ්‍ය කටයුතු කෙරී ඇත්තේ සිංහලෙනි. ඒ බව දිවයින පුරා විසිරී ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. මෙරට ඇති දෙමළ සෙල්ලිපි සංඛ්‍යාව කෙතෙක් ද? ඒ දෙමළ සෙල්ලිපි ද ඇත්තේ දෙමළ වෙළෙන්දන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙරට කිසිම දිනෙක දෙමළ රාජ්‍ය භාෂාව වි නැත. එසේ වී ඇත්නම් ඒ බව ඔප්පුකරන මෙන් මෙරට සිටින වීරයන් වීමට දඟලන පුස්සන් වූ කසිකබල් ඉතිහාසඥයන්ට අභියෝග කරමු. පෘතුගීසීන් හා සංකිලි අතර වූ ගිවිසුම ද ඇත්තේ සිංහල හා පෘතුගීසි භාෂාවලින් මිස දෙමළ භාෂාවෙන් නොවන බව ගාමිණී ඊරියගොල්ල මහතා පෙන්වා දී ඇත. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ අවාසියක් නැත. ඒ දෙමළ ජනයා යම් පිරිසක්වත් ඉංගිරිසියට වඩා සිංහල දත් බැවින් ඔවුන්ට අත්වූයේ වාසියකි. සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා අවාසියක් වී නම් ඒ ඉංගිරිසි දත් එහෙත් සිංහල නොදත් ප්‍රභූ දෙමළ වෙල්ලාලයන්ට පමණකි. මෙරට 1931 සිට සිදු වී ඇත්තේ සර්වජන ඡන්දය ලැබීමත් සමග ඉංගිරිසි දත් දෙමළ වෙල්ලාලයනගේ වරප්‍රසාද අඩුවීම ය. ඒ වරප්‍රසාද අඩුවීම දෙමළ වෙල්ලායෝ හා ඉංගිරිසිහු සාමාන්‍ය දෙමළ ජනයාට වූ අසාධාරණයක් ලෙස ප්‍රචාරය කළහ. දෙමළ ජනයාට නිදහසෙන් පසුව සිදුවිණි යැයි කියන අසාධාරණකම්වල මුල ඇත්තේ එතැන ය. පළාත් සභා ගෙන ආවේ දෙමළ ජනයාට නැති ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට ය. එහි බලාපොරොත්තුව මුළු රටේ ම නායකයන් වීමට සිටි දෙමළ වෙල්ලාලයන්ට අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල නායකකම් ලබා දී පසුව ඒ පළාත් වෙන ම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීම ය.

දෙමළ වෙල්ලාලයන්ට සාකච්ඡා හා ගිවිසුම් මගින් කරගැනීමට නොහැකි වූ දේ කිරීමට බටහිර්යෝ හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදය යොදාගත්හ. දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති දෙමළ ජාතිවාදයට අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පිහිට කරගැනීමට සිදු විය. එහෙත් දෙමළ ත්‍රස්තවාදය අවුරුදු තිහක සටනකින් පසු පරාජයට පත්විය. අද දෙමළ ත්‍රස්තවාදය නැත. එහෙත් දෙමළ ජාතිවාදය ඇත. එයට පොහොර දමමින් එය රැකගන්නේ බටහිර රටවල් හා ඉන්දියාව ය. විසුරුණු දෙමළ ජනතාව බටහිරයන්ගේ ආයුධයක් පමණ ය. දෙමළ ජාතිවාදයට ලංකාවේ තනිව ම ගත්කල ඉඩක් නැත. බටහිරයන් හා ඉන්දියාව එය ක්‍රියාත්මක කරන්නේ දෙමළ ජාතික සංධානය, රාජ්‍ය නොවන සංවිධාන, පුහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් (විශේෂයෙන් ම එතරම් ඉහළ පංති සාමාර්ථ නැති අය හා විවිධ ඊනියා පර්යේෂණවල යෙදී තරමක් වයස්ගත වූ පසු කථිකාචාර්යකම් ලබාගෙන ශාස්ත්‍ර පීඨවල සේවය කරන පුස්සන්), එ ජා ප, කසිකබල් මාක්ස්වාදී පක්‍ෂ ආදිය මගින් ය. ඔවුන් මොන තරම් දැඟළුවත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටිනා තෙක් දෙමළ ත්‍රස්තවාදයට ඉඩක් නැත. මේ ආණ්ඩුව බලයට පත්වූයේ සිංහල, ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ ඡන්දවලිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ඡන්ද පදනම නැතිකරගනු ඇතැයි සිතිය නො හැකි ය.

අද තත්වය පසුගිය අවුරුදු තිහට වඩා වෙනස් ය. ඇතැම් ජාතිකවාදීන් ඒ බව අවබෝධ කරගෙන නැත. අද බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා කෙසේ නමුත් දංගෙඩියට යැවීම ය. ඔවුන් ජෙනීවා සමුළු ආදිය යොදාගන්නේ ඒ සඳහා ය. ඒ මහතා ඡන්දයෙන් පරාජය කර හෝ වෙනත් ක්‍රමයකින් හෝ දංගෙඩියට යැවීමට ඔවුහු උත්සාහ කරති. කිනම් අඩුපාඩුකම් මැද වුව ද මේ ආණ්ඩුව රැකගැනීම අද වැදගත් වන්නේ එසේ නොවුනහොත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව මෙරට ඊළමක් පිහිටුවන බැවිනි. රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දත කට මැදගෙන සිටියි. දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාව ද මෙරට සැබෑ පූවැසියන් කරගැනීමේ අවශ්‍යතාව ඇත. ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොවන බව ඔවුන්ට අවබෝධවන අයුරින් ජාතිකවාදීන් කටයුතු කළ යුතු ය. පසුගිය දා මම නැගෙනහිර පළාතේ දින කිහිපයක් ගතකෙළෙමි. ඇතැම් මුස්ලිමුන් කාත්තන්කුඩිය ඉඳිගස් ද සහිත පුංචි අරාබියක් කරගැනීමට උත්සාහ කරනු දුටුවෙමි. මෙරට රෝමානු කතෝලිකයෝ අද වන විට සිංහල කතෝලිකයන් බවට පත්වී සිටිති. මෙරට මුස්ලිමුන් අරාබි මුස්ලිමුන් නොව හෙළ මුස්ලිමුන් බවට පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. එහෙත් ඒ සඳහා පළාත් සභා අවශ්‍ය නො වේ. කුමාරතුංග මුනිදාස මහතාගේ අදහසක් සුළුවෙන් වෙනස්කර හෙළ බොදුනුවන්, හෙළ කිතුණුවන්, හෙළ හින්දූන් හා හෙළ මුස්ලිමුන් (ඉස්ලාමිකයන්) වීමට අපි උත්සාහ ගනිමු.

අද හැකිනම් කළයුත්තේ පළාත් සභා අහෝසි කිරීම ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමකු වූ අභාවප්‍රාප්ත රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇත. ඒ කෙසේ වෙතත් පළාත් සභා අහෝසිකිරීමට තවමත් වාතාවරණය සකස් වී නැත්නම් අද කළ යුත්තේ පොලිස් බලතල ඉඩම් බෙදීමේ බලතල ආදිය පළාත් සභාවලට අහිමි කිරීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම බටහිරයන්ගේ බලාපොරොත්තුව බව ඉහත සඳහන් කළෙමි. පසුගිය දිනෙක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ ප්‍රාන්ත පොලීසියක් මගින් අත්අඩංගුවට ගැණිනි. යම් අයුරකින් පොලිස් බලතල සහිත උතුරු පළාතේ පළාත් සභාවේ පොලීසිය බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහායෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පළාතට ගිය විට අත්අඩංගුවට ගෙන කිසියම් ආකාරයකින් බටහිරට ගෙන ගොස් ඊනියා ජාත්‍යන්තර අධිකරණයක යුද්ධාපරාධ සම්බන්ධයෙන් නඩු පවරා වරදකරු කර රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් බටහිර ගැත්තකු හෝ බලයට පත්කළහොත් ඇතිවන තත්ත්වය කුමක් ද? උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම එතරම් හිතකර නො වේ. එහෙත් එයට පළමුව පොලිස් බලතල, ඉඩම් බෙදීමේ අයිතිය පළාත් සභාවලට අහිමි කළ යුතු ය.
(13/05/05)

නලින් ද සිල්වා

ඊනියා කම්කරු පංති නායකයන්ගේ අබිං වූ මාක්ස්වාදය

වෙනිසියුලාවේ චාවේස් පමණක් නොව කියුබාවේ කස්ත්‍රෝ ද මාක්ස්වාදියෙක් නො වේ. ඔවුහු ජාතිකවාදීහු වූහ. එපමණක් නොව ඔවුහු ජනප්‍රිය ජාතිකවාදීහු වූහ. කස්ත්‍රෝ බලයට පත්වු විට ලෝකයේ ට්‍රොට්ස්කිවාදීන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූයේ කියුබාවේ ඇත්තේ කම්කරු පංති රාජ්‍යයක් ද යන්න ය. කස්ත්‍රෝගේ නායකත්වයෙන් සිදු වූයේ කම්කරු පංති විප්ලවයක් ද යන්න පිළිබඳ උණුසුම් විවාදයක් ට්‍රොට්ස්කිවාදීන් අතර විය. ලංකාවේ ද විවිධ ට්‍රොට්ස්කිවාදීන් අතර ඒ පිළිබඳ මතවාදී යුද්ධයක් විය. ඊනියා ජාත්‍යන්තර විප්ලවය ගැන සාකච්ඡා කිරීම හැරෙන්නට ප්‍රායෝගිකව වැදගත් යමක් නොකරන බොහෝ ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරුන් යැයි කියාගන්නවුන්ට කියුබාවේ විප්ලවය ඇඟටවත් මනසටවත් නොදැනෙන හොඳ මාතෘකාවක් විය.

කියුබාව තම ජාතික නිදහස දිනාගත්තේ ජාතිකවාදී කස්ත්‍රෝගේ නායකත්වයෙනි. ඊනියා ජාත්‍යන්තරවාදදයකු වූ චේ ගෙවාරා කියුබානුවකු නොවූව ද කියුබන් නිදහස් සටනට සම්බන්ධ විය. එහෙත් ඔහුගේ ජාත්‍යන්තරවාදය එලොවටත් නැති මෙලොවටත් නැති අභූතයක් පමණක් විය. ජාත්‍යන්තර විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට ගිය ඔහු අකාලයේ මිය ගියේ ජාත්‍යන්තරවාදය හිස් වචනයක් පමණක් බව පසක් කරවමිනි. ඇතැම් තරුණයන්ට අභූතය ආකර්ෂණීය වෙයි. එහෙත් අභූතයකට සම්මුතික වූ පැවැත්මක් නැත. චේ ගෙවාරා පසුපස ගිය මෙරට ඊනියා විප්ලවවාදීන්ට ද අත්වූයේ චේ ගෙවාරාට අත් වූ ඉරණම ම ය.

ඊනියා වීරයකු වුව ද පුස්සකු වූ චේ ගෙවාරා ගැන කතාකිරීමෙන් වැඩක් නැත. ඊනියා ලෝක හෙවත් ජාත්‍යන්තර කම්කරු පංති දිනය සමරන අද වැනි දවසක වුව ද ලෝකයේ තබා ලංකාවේවත් කම්කරුවන්ට එකතු වීමට නො හැකි ය. එයට ප්‍රධාන හේතුව මාක්ස්වාදයේ කුමක් සඳහන් වුවත් කම්කරු පංතියක් යනුවෙන් පංතියක් නොමැති වීම ය. කම්කරු පංතියක් ඇත්තේ අද රතු කමිස හැඳගෙන වීදි පුරා පෙළපාලි යන නායකයන්ගේ මනස්වල මිස සම්මුතික ව භෞතිකව නො වේ.

මෙළොව දුක් විඳින අසාධාරණයට ලක් වූ පිරිසක් නැතිවා නො වේ. එහෙත් ඔවුන්ට වර්තමානයේ මාක්ස්වාදයෙන් පිහිටක් නැත. මාක්ස්වාදයට ලෝකය එදාවත් අදවත් ග්‍රහණය කරගත නො හැකි ය. මාක්සාවාදය ආගම ගැන කියනුයේ එය පීඩිත ජනතාවගේ අබිං ලෙස ය. එයින් මාක්ස්වාදයේ කියැවෙන්නේ පීඩිතයන්ට ආගම ආධාරයෙන් විමුක්තියක් ලබාගත නොහැකි බවත් ආගම පීඩිතයන්ට බලාපොරොත්තු ඇතිකරන එහෙත් සුසුමක් පමණක් බවත් ය.

එසේ වුවත් බුදුදහම මිනිසුන්ගේ පමණක් නොව සියළු සත්ත්වයන්ගේ දුක විග්‍රහ කරන්නේ ලෞකික වශයෙන් පමණක් නොව සාංසාරික වශයෙනි. බුදුදහම බුදුන්වහන්සේ තමන්වහන්සේට පමණක් සුවිශේෂ වූ ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත්තකි. බුදුන්වහන්සේ ගැන ශ්‍රද්ධාවක් හා විශ්වාසයක් ඇති බෞද්ධයෝ ඒ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිති. ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත් කරුණු අනුව සසරින් ගැලවෙන ආකාරය බුදුන් වහන්සේ උගන්වා ඇත. ඒ අනුව කටයුතු කිරීමෙන් සත්ත්වයන්ට ද සසරෙන් එතරවිය හැකි ය.

එසේ සසරෙන් එතර වූ රහතන් වහන්සේ ගේ උදාන වැකි ථෙරගාථාවල හා ථෙරිගාථාවල සඳහන් වෙයි. ඒ සුසුමක් හෝ බලාපොරොත්තුවක් හෝ නො වේ. එය තෙරුන් වහන්සේලා තෙරණින් වහන්සේලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගත්තකි. මාක්ස්වාදය නම් පීඩිතයන්ට බලාපොරොත්තු ඇතිකරයි. එහෙත් එය විසින් පීඩිතයන්ට අත්කර දී ඇති විමුක්තියක් නැත. මාක්ස්වාදය පීඩිතයන්ගේ කෙසේ වෙතත් ඊනියා කම්කරු පංති නායකයන්ගේ අබිං ය. බටහිර විද්‍යාවට ප්‍රත්‍යක්‍ෂයක් නැත. බටහිර විද්‍යාවේ ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ නොව කතන්දර ය, ඒවාට බටහිරයෝ ප්‍රවාද යැයි කියති. එහෙත් ප්‍රවාද යනු අප අත්දකින ඇතැම් දේ පැහැදිලි කිරීම සඳහා අප ගොතන කතන්දර පමණකි. මේ කතන්දර පට්ටපල් බොරු ය.

බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ වෑන් ෆ්‍රේසන්ගෙන් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිතය හා විද්‍යාවේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයා වූ අර්ජුන සොයිසා මහතා බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර යැයි පැවසීම ගැන ඔහුගේ ප්‍රතිචාරය කුමක් දැයි ඇසූ විට ඔහු කියා ඇත්තේ බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර නම් ඒ කතන්දර මෙතෙක් ඉතිහාසයේ ගොතා ඇති හොඳම කතන්දර බව ය.

බටහිර විද්‍යාවේ පමණක් නොව වෙනත් දැනුම් පද්ධතිවල ද කතන්දර ඇත. එහෙත් ඒ කතන්දර බොහෝ විට සංයුක්ත කතන්දරව ය. ඇතැම් සංස්කෘතියක වියුක්ත කතන්දර තිබිණි ද ඒ බටහිර විද්‍යාවේ තරම් වියුක්ත නො වේ. සංයුක්ත දැනුම ප්‍රත්‍යක්‍ෂය වෙයි. බුදුන් වහන්සේගේ සුවිශේෂ ප්‍රත්‍යක්‍ෂය හැරෙන්නට අනෙක් අයගේ ප්‍රත්‍යක්‍ෂ ද බොරු වෙයි. දැනුම සංයුක්තයෙන් ඉවතට යත් ම ඒ තව තවත් බොරු වෙයි. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රත්‍යක්‍ෂ සංයුක්තයෙන් ඉතා ඈත් වෙයි. ඒවා බොරු නොව පට්ටපල් බොරු වන්නේ එබැවිනි.

බටහිර විද්‍යාවේ කතන්දර ලෝකයේ මෙතෙක් ගොතා ඇති හොඳ ම කතන්දර නො වේ. බටහිර විද්‍යාවේ තරම් පට්ටපල් බොරු වෙනත් දැනුම් පද්ධතියක නැත. වෑන් ෆ්‍රේසන් මහතා හොඳම කතන්දර යැයි කියන්නේ පට්ටම පට්ටපල් බොරුවලට ය. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා සංයුක්ත ය. අපට වියුක්ත ව සිතීමේ දී ප්‍රශ්න ද ඇත. අප සිතන්නේ සාධාරන ව ගතහොත් සංයුක්තව ය.

එය වර්තමානයේ දී ප්‍රශ්නයක් වෙයි. එයට හේතුව බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අද ලෝකය ම ග්‍රහණයට ගෙන ලෝකය ම මත තම ආධිපත්‍යය පතුරණ දැනුම් පද්ධතිය වීම ය. අපට බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට විකල්ප ව විරුද්ධ ව දැනුම් පද්ධතියක් ගොඩ නැගීමට සිදු වී ඇත. අපට එහි දී අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් වෙයි. එකක් ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම ය. අනෙක අප ද යම් ප්‍රමාණයකට වුව ද වියුක්ත දැනුමක් නිර්මාණය කිරීම ය.

අපට කලකට පසුව ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීම පිළිබඳ යම් අවබෝධයක් ලැබී ඇත. එහෙත් අපේ ජීවන පැවැත්ම අනුව අද අපේ ආධ්‍යාත්මය එතරම් පිරිසදු නැත. අද පන්සිල් රකින්නන් සොයාගැනීම වුව ද ප්‍රශ්නයක් වී ඇත. එවන් සමාජයක ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීම ටික කලකට වුව ද කල්දැමීමට සිදුවෙයි. එතෙක් අපට සුළුවෙන් වුවත් කළහැක්කේ අපේ ප්‍රවාද නිර්මාණය කිරීම ය. විදුසර පුවත්පත මගින් අපේ ප්‍රවාද නමින් ලිපි පෙළක් පළවන්නේ අපේ ප්‍රවාද ගැන සුළුවෙන් වුවත් සිසුන්ට කරුණු පැහැදිලි කිරීමට ය.

අප ඇතැම් විට පවසා ඇති ආකාරයට මිනිසුන් ප්‍රවාද නිර්මාණය කරන්නේ තම මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට සාපේක්‍ෂව යම් චින්තනයක් පදනම් කරගනිමිනි. චින්තනය මත පදනම් වන්නේ දැනුම පමණක් නො වේ. සංස්කෘතිය ද චින්තනය මත පදනම් වෙයි. සංස්කෘතිය ද දැනුමක් බව අමතක නොකළ යුතු ය. මෙයින් කියැවෙන්නේ චින්තනය වෙනස් නොවන ප්‍රපංචයක් බව නො වේ. වෙනස්වන සංස්කෘතිය විසින් චින්තනය ද වෙනස් කෙරෙයි. අපට එය ප්‍රශ්නයක් නො වේ. අපේ චින්තනය චක්‍රීය වෙයි. චක්‍රීය චින්තනයක සියල්ල එක් තැනකින් පටන්ගත යුතු නො වේ. එසේ වන්නේ රේඛීය චින්තනයක ය. බටහිර චින්තනය රේඛීය වෙයි.

රේඛීය වන්නේ බටහිර වත්මන් චින්තනය පමණක් නො වේ. අවුරුදු පන්සියයකට පමණ පෙර බටහිර චින්තනය වූ කතෝලික චින්තනය ද රේඛීය වෙයි. ඒ චින්තන දෙකෙහි ම දෙවියන් වහන්සේගේ නිර්මාණය වෙයි. ලෝක නිර්මාණයක් ඉගැන්වෙන සංස්කෘතීන් (ආගම් ද සංස්කෘතීන් හි නිර්මාණය වන අතර ආගම් විසින් සංස්කෘතීන් වෙනස් කෙරෙයි.) රේඛීය චින්තන මත පදනම් වෙයි.

කෙසේ වෙතත් අපි අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට උත්සාහ ගනිමු. මේ ලිපියෙහි අපි තවදුරටත් මාක්ස්වාදය ගැන අපේ ප්‍රවාද නිර්මාණය කරමු. අප මෙයට පෙර මාක්ස්වාදය ගැන නිර්මාණය කළ ප්‍රවාද යම් ප්‍රමාණයක් මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය නම් කෘතිවල සඳහන් වෙයි. කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාට අනුව මාක්ස්වාදය. ජ්‍යොතිෂය හා මනෝ විශ්ලේෂණය ඊනියා විද්‍යාව නො වේ.

මෙරට සිටින තමා පොපර්වාදියකු යැයි සිතන ඇතැම් බටහිර වෛද්‍යවරයකුට අනුව මනෝ විශ්ලේෂණය හා මාක්ස්වාදය විද්‍යාව ය. එහෙත් ජ්‍යොතිෂය විද්‍යාව නො වේ. මේ බටහිර වෛද්‍යවරයා මෙරට බොහෝ දෙනකුට අනුව අද ලංකාවේ සිටින ඉහළම බුද්ධිමතා නොවේ නම් ඉහළම බුද්ධිමතුන් දෙතුන් දෙනාගෙන් එක් කෙනෙකි. එහෙත් ඔහු කාල් පොපර් කියන්නේ කුමක් දැයි වටහාගෙන ඇති බවක් නො පෙනෙයි. ඔහුට යමක් කී පමණින් මතක තබාගත හැකි නමුත් සිය සැරයක් කීව ද තේරුම් ගැනීමට නොහැකි බව මගේ අත්දැකීම ය. ඔහු අවුරුදු විසිපහක් ගතවීත් කාලාම සූත්‍රය හරිහැටි නො දනියි.

පොපර් කියන්නේ මාක්ස්වාදය ඊනියා විද්‍යාවක් නොවන බව ය. පොපර්ට අනුව බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කළ හැකි බැවින් ය. මාක්ස්වාදී දැනුම අසත්‍යකරණයට ලක්කළ නොහැකි යැයි පොපර් පවසයි. එබැවින් ඔහුට අනුව මාක්ස්වාදය බටහිර විද්‍යාවක් නො වේ. එහෙත් පොපර් නොකියු දෙයක් ඇත. ඒ බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්කිරීම නොව එසේ නොකර බැරි වීම ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වූ විට එය කොහොමටත් අසත්‍යකරණයට ලක්කිරීමට හැකි වෙයි.

අපි මේ පිළිබඳ වැඩිදුර පසුව සාකච්ඡා කරමු. අපේ මූලික ප්‍රශ්නය වූයේ මාක්ස්වාදය කිසිම රටක මුල් බැස නොගත්තේ ඇයි ද යන්න ය. චාවේස් හෝ කස්ත්‍රෝ හෝ මාක්ස්වාදී නො වී ය. අප කලින් සඳහන් කළ පරිදි ඔවුහු ජාතිකවාදීහු වූහ. කියුබාව මෙන් ම වෙනිසියුලාව ද ස්පාඤ්ඤ යටත්විජිතවාදයට හසු වූ රටවල් ය. එහෙත් ඒ රටවල් ස්පාඤ්ඤයෙන් යම් ආකාරයක දේශපාලන නිදහසක් දිනාගත් රටවල් ය. එහෙත් එයින් කියැවෙන්නේ ඒ රටවල සිටි ස්වදේශිකයන්ට දේශපාලන නිදහසක් හෝ සංස්කෘතික නිදහසක් හෝ ලැබුණු බව නො වේ.

දේශපාලන බලය ලැබුණේ ස්පාඤ්ඤ සම්භවයක් ඇති පිරිසට ය. ඔවුන්ට ස්වදේශික මිශ්‍රණ තිබිණ ද වඩාත් බලපෑවේ ස්පාඤ්ඤ සම්භවය ය. සංස්කෘතික වශයෙන් ද තත්ත්වය එසේ ම ය. මේ රටවල් ඇමරිකාවෙන් එනම් ඇමරිකා එක්සත් ජනපදය නමින් හැඳින්වෙන රටෙන් එතරම් ඈත පිහිටියේ නො වේ. එමෙන් ම ඔවුන් හා බටහිර ඉන්දීය කොදෙවු නමින් හැඳින්වෙන රටවල් අතර ද වෙනස්කම් වෙයි. බටහිර ඉන්දිය කොදෙවු ඉංගිරිසින් විසින් ගෙනෙන ලද අප්‍රිකානුවන්ගෙන් ද එඩ් රටවලට සංක්‍රමණය වූ ඉන්දියානුවන්ගෙන් ද (එකල ඉන්දියාව හා පකිස්තානය ඉන්දියාව නමින් හැඳින් වූ එකම රටක් විය.) සමන්විත වෙයි. බටහිර ඉන්දීය කොදෙවුවල ඇත්තේ ඉංගිරිසි සංස්කෘතික ආධිපත්‍යයකි.
(13/05/01)

නලින් ද සිල්වා

Friday, 3 May 2013

චින්තනය හා ජාතික චින්තනය

මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ ඇයි යන ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දී ඇත. එහෙත් මේ ප්‍රශ්නය එයට වඩා පළල් ව ඇසිය යුතු ය. මාක්ස්වාදය කිසිම රටක මුල් බැසගෙන නැත. බටහිර යුරෝපයේ එය කිසි දිනෙක මුල් බැස ගත්තේ නැත. අද ඇමරිකාව ලෝකයේ දියුණු ම රට ලෙස පිළිගැණුනු ලැබුණ ද, මාක්ස්වාදය බිහිවූ කාලයේ ද, ඉන්පසු ඊනියා දෙවැනි ලෝක යුද්ධය තෙක් ම බටහිර යුරෝපය හා ඉනුදු එංගලන්තය ලෝකයේ දියුණුම රටවල් (රට) ලෙස හැඳින්විණි. මාක්ස්වාදයට අනුව ලෝකයේ පළමු කම්කරු පංතික විප්ලවය සිදුවිය යුතුව තිබුණේ ඒ දියුණු ම රටවල ය.

එහෙත් එය එසේ සිදු නොවිණි. ඒ වෙනුවට ඊනියා කම්කරු පංතික විප්ලවය කෙසේ වෙතත් කොමියුනිස්ට් පක්‍ෂයක් බලයට පත්වූයේ රුසියාවේ ය. රුසියාව එකී පෙරළිය සිදුවන කාලයෙහි දී ඉතා අඩු දියුණු රටක් විය. එහි පැවතියේ සාර් (රජු) ගේ රාජාණ්ඩුවකි. එහි අඩුම තරමෙන් මාක්ස්වාදී භාෂාවෙන් කියන්නේ නම් ධනේශ්වර රාජ්‍යයක්වත් නො වී ය. එය එසේ සිදුවූයේ ඇයි ද යන්න තේරුම් ගැනීමට කෘති රාශියක් පළ වී ඇත. ඒ කෘති මාක්ස්වාදී දෘෂ්ටි කෝණවලින් මෙන් ම වෙනත් කෝණවලින් ද ලියැවී ඇත.

මේ අතර එක්තරා ලේඛකයකුට අනුව රුසියාවේ දී ලෙනින්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කර ඇත්තේ මාක්ස්වාදී ප්‍රවාදයක් නොව රුසියානු ජාතික චින්තනය ය. ඒ ලේඛකයා එය හඳුන්වා දී ඇත්තේ නැෂනල් තෝට් (නඅටඉඔනඅල ටහඔඋගහට) ලෙස ය. ගුණදාස අමරසේකර මහතා අතින් එය සිංහලයට පරිවර්තනය වූයේ ජාතික චින්තනය ලෙස ය. මේ චින්තනය අප විසින් චින්තනය යනුවෙන් යොදාගැනෙන්න නො වේ. එහෙත් අද වන විට එය නොවන්නේ ද නො වේ.

අමරසේකර මහතා තෝට් යන්න චින්තනය ලෙස පරිවර්තනය කළේ ය. එය ඉතා ලිහිල් විසිරුණු අදහසකි. ඉංගිරිසියෙන් තෝට් යන්නෙහි ඇත්තේ දාර්ශනික අදහසක් නො වේ. තෝට් යන්න නාම පදයක් ලෙස සිතුවිල්ල සමග සම්බන්ධ ය. එය තින්ක් යන පදය සමග ද සම්බන්ධ ය. කෙසේ වෙතත් ජාතික චින්තනය යන්න බොහෝ කලක සිට මෙරට ජාතිකවාදීන් යොදාගන්නා පදයකි. පනහේ දශකයේ මුල් අවධියේ හරිශ්චන්ද්‍ර විජයතුංග, බැසිල් සිල්වා, රත්නකාර, ජේ ආර් පත සූරියප්පෙරුම ආදී මහතුන් විසින් ද, ඉන් පසු අසූවේ දශකයේ මුල දී පමණ ජී අයි ඩී ධර්මසේකර, කුලියාපිටියේ ප්‍රනන්ද ආදී මහතුන් විසින් ද ජාතික චින්තනය යන්න යොදා ගනු ලැබ ඇත.

එහෙත් ඒ සියළු දෙනා එකම අරුතකින් ජාතික චින්තනය යන්න ව්‍යවහාර කළේ යැයි මෙයින් නො කියැවෙයි. ඔවුහු එය කුමක් දැයි පැහැදිලි නො කළහ. මේ ව්‍යවහාරය යොදාගත් බොහෝ දෙනා එසේ කළේ මාක්ස්වාදී ව්‍යාපාරය හරිමග යැවීමට ය. ඔවුන්ගේ අදහස වූයේ මාක්ස්වාදී පක්‍ෂ ගොරහැඩි ලෙස මාක්ස්වාදය අනුකරණය කළ බවත් එහෙත් එය අපේ රටේ ව්‍යවහාර කළ යුත්තේ යම් ජාතික චින්තනයක් සමගින් බවත් ය. ඔවුන්ගෙන් ඇතැමකුට අනුව මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ මාක්ස්වාදී පක්‍ෂ එය නිර්මාණාත්වයකින් දේශයට ගැලපෙන ආකාරයකින් යොදා නොගැනීම නිසා ය.

ඒ අයට අවශ්‍ය වූයේ මාක්ස්වාදයට ජාතිකත්වයක්, ජාතික චින්තනයක් ලබා දී එය දේශයට ගැලපෙන ආකාරයකින් යොදා ගැනීමට ය. ගුණදාස අමරසේකර මහතාට අවශ්‍ය වූයේ ද එවැන්නකි. විශ්ලේෂණාත්මක මනසක් ඇති බවක් පෙන්වා නොමැති ඒ මහතා අබුද්දස්ස යුගයක් පොතෙහි ඒ පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එය කියවූ සූරියප්පෙරුම මහතා ඒ පිළිබඳ ව කළ තම විවේචනයක අනගාරික ධරමපාලතුමා මාක්ස්වාදී ද යන ප්‍රශ්නය නගා ඇත. ගුණදාස අමරසේකර මහතාගේ ඊළඟ කෘතිය අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ලෙස නම් කෙරිණි.

ඉන්පසු අමරසේකර මහතා ලියූ එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන කෙටි නවකතා දෙක මාක්ස්වාදය හා ජාතිකත්වය එකතු කළ යුතු ය යන අදහස මත පිහිටා ලියුවේ වෙයි. එහෙත් ඒ එකතු කරන්නේ කෙසේ ද යන්න එහි දී සාකච්ඡා නො කෙරිණි. අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගත්තේ 1986 දී ය. මේ වන විට ද අපි චින්තනය යන සංකල්පය නිර්මාණය කර තිබිණි. අපට එය දාර්ශනික සංකල්පයක් විය. අපට දැනුම ලබාගැනීම කෙරෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් විය. දැනුමේ පදනම කුමක් ද ආදී ප්‍රභ්න එකල අප අතින් සාකච්ඡා විණි.

යුදෙවු චින්තනය යන්න අප විසින් යොදාගැණුනු පළු සංකල්පයක් විය. බටහිර දැනුම යුදෙවු චින්තනය යන්න මත පදනම් වී ඇත යන්න අපේ මුල් ම ප්‍රවාදයක් විය. යුදෙවු චින්තනය යන්න වැඩිකල් නොගොස් ම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස සංශෝධන ය විය. කෙසේ වෙතත් චින්තනය යන්න කූන්ගේ සුසමාදර්ශනය යන්නට වඩා ගැඹුරු විය. කූන්ට අනුව සුසමාදර්ශ බිහිවන්නේ බටහිර විද්‍යාවේ අසාමාන්‍ය හෙවත් විප්ලවීය යුගවල ය. බටහිර විද්‍යාවේ සෙසු කාල සාමාන්‍ය කාල ලෙස හැඳින්විණි. බටහිර විද්‍යාවේ සාමාන්‍ය කාලවල දී විද්‍යාඥයෝ පවත්නා සුසමාදර්ශයක ගැටළු විසඳීමේ යෙදී සිටිති. එහෙත් සුසමාදර්ශය වෙනස්වන අසාමාන්‍ය කාලවල බටහිර විද්‍යාවේ විප්ලව සිදුවෙයි.

කූන්ගේ සුසමාදර්ශය යන සංකල්පයෙන් අපි යම් ආභාසයක් ලැබුවෙමු. එහෙත් අප වඩාත් ම ආභාසය ලැබුයේ බෞද්ධ දර්ශනයෙනි. දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය නිර්මාණාත්මක සාපේක්‍ෂතාව ලෙස හැඳින්වෙයි. එයට අනුව දැනුම නිපදවෙන්නේ යම් සංස්කෘතියකට සාපේක්‍ෂව යම් චින්තනයක් පදනම් කරගනිමිනි. චින්තනය යන්න සුසමාදර්ශනයට වඩා ගැඹුරු ය. චින්තනයක සුසමාදර්ශ කිහිපයක් තිබිය හැකි ය. සංස්කෘතියක ද පදනමේ ඇත්තේ චින්තනය ය. අප සංස්කෘතියක් වුව ද නිර්මාණය කරන්නේ චින්තනයක් මත පදනම් වෙමිනි.

එහෙත් එයින් කියැවෙන්නේ චින්තනය වෙනස් නොවන බව නො වේ. සියල්ල, එනම් සියළු සංකල්ප වෙනස්වන ලෝකයක චින්තනය පමණක් වෙනස් නොවී තිබෙන්නක් නො වේ. චින්තනය ද වෙනස් වෙයි. චින්තනයක් පදනම් කරගනිමින් වෙනස්වන සංස්කෘතිය හේතුවෙන් අවසානයේ දී චින්තනය ද වෙනස් වෙයි. සංස්කෘතිය හුදෙක් දෙන ලද චින්තනයක වෙනස් වන්නක් පමණක් නො වේ. සංස්කෘතික ආක්‍රමණවල ප්‍රතිඵල ලෙස ද සංස්කෘතිය වෙනස් කෙරෙයි. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක් තිස්සේ බටහිර සංස්කෘතික ආක්‍රමණය හේතුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ද වෙනස් කෙරී ඇත.

එහෙත් අපේ චින්තනය එපමණට ම වෙනස් වී නැති බව පැහැදිලි ය. බටහිරයන් කෙතෙක් උත්සාහ කළ ද බොහෝ ආසියාතික රටවල මාර්ග සංස්කෘතිය බටහිරයන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට නොහැකි වී ඇත. බොහෝ ආසියාතික රටවල මිනිසුන් රථ ධාවනය කරන්නේ තමන් තවමත් පයින් යන්නන් ලෙස සලකමිනි. අපට සුද්දන්ගේ මාර්ග නීති හදවතින් ග්‍රහණය කරගැනීමට නොහැකි වී ඇත.

ඒ කුමක් වුවත් අපේ චින්තනය යන සංකල්පය දාර්ශනික සංකල්පයක් විය. එය අමරසේකර මහතාගේ ජාතික චින්තනය පිලිබඳ විසුරුණු අදහස නො වී ය. චින්තනය යන්න දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම, සම්බන්ධයෙන් විය. එහෙත් ජනමාධ්‍යයට හා දේශපාලනයෙහි යෙදෙන්නන්ට වඩා වැදගත් වූයේ ජාතික චින්තනය යන සංකල්පය ය. අමරසේකර මහතාගේ අදහස ප්‍රචලිත වූයේ 1986 අගභාගයෙහි දී රත්නපුර නගර ශාලාවෙහි දී ජාතික චින්තනය සම්බන්ධයෙන් කරන ලද කතාවකින් පසුව ය. ඒ මහතා තම දේශනය කල්තබා ලියාගෙන විත් කතාව කිරීමෙන් පසුව දිවයින බදාදා අතිරේකයෙහි පළ කළේ ය.

රත්නපුර නගර ශාලාවෙහි දී එදින ම මා ද කතාවක් කළ නමුත් ඒ පිලිබඳ ලියවිල්ලක් මා සතු නොවූයේ මා දේශන කලින් පිළියෙළ කර ඒ නොලියන බැවිනි. මා එදින ද කතාකළේ බටහිර විද්‍යාව හා චින්තනය පිලිබඳ ව ය. ඒ කතාව පුවත්පතක පළ නො වී ය. අමරසේකර මහතාගේ ලිපිය පළවීමෙන් පසුව විවිධ කුලවල මාක්ස්වාදීහු ද එයට විරුද්ධව ලිපි පළ කළහ. එහි දී ජාතික චින්තනය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කිරීමට මට ද සිදු විය. එහි ප්‍රතිඵලයක් වූයේ අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍ය විශාරදයාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු ලෙස මා සලකනු ලැබීම ය.

මේ හැඟිම එක්තරා ව්‍යාජ මාක්ස්වාදී සතිඅන්ත පුවත්පතක කතුවරයා අතින් කදිමට විස්තර කෙරිණි. ඔහු කිියා සිටියේ ගුණදාස අමරසේකර මහතා නම් නමක් දිනාගත් ප්‍රාඥයකු වුවත් නලින් ද සිල්වා යනු කවුද යන්න ය. මට එකල තබා අදවත් කිසිම රාජ්‍ය සම්මානයක් හෝ වෙනත් සමාජය පිළිගත් සම්මානයක් ලැබී නැත. එකල මම කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාන්‍ය කථිකාචාර්යවරයෙක් පමණක් වීමි. මා සමග එකට පමණක් නොව පසුව ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇතැම්හු ඒ වන විටත් මහාචාර්යවරු වූහ. මම විශ්‍රාම යන විට ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් නො වීමි. මට සම්මානිත (සේවාර්ජිත) මහාචාර්ය පදවියක් ලැබීම සඳහා සුදුසුකම් නැත. එබැවින් මම අද මහාචාර්යවරයෙක් නො වෙමි. උසස් අධ්‍යාපන ඇමතිතුමා ද මා සේවයේ යෙදී සිටින අවධියේ කියා තිබුණේ මට වඩා දැනුම් තේරුම් ඇති මහාචාර්යවරුන් සිටින බව ය. මා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු මගේ සේවය දීර්ඝකිරීමට ද ඇමතිතුමා මුල දී විරුද්ධ විය. මගේ සේවයෙන් විශ්වවිද්‍යාලයට ඇති වැඩක් නැතැයි එතුමා සිතන්නට ඇත. කෙසේ වෙතත් ප්‍රබුද්ධයකු වූ ඒ මහතා නාථ දෙවියන් ඇතුළු අදෘශ්‍යමාන බලවේග නො පිලිගනියි.

මා මේ කරුණු සඳහන් කරන්නේ චින්තනය යන සංකල්පය මෙරට සමාජයට කාන්දුකිරීමට තරම් මට දක්‍ෂතාවක් නොවූ බවත් නව සංකල්පයක් බිහිකිරීමට තරම් නිර්මාණශීලීබවක් නොවූ බවත් සමාජය විසින් තේරුම්ගෙන තිබූ බව පෙන්වීමට ය. මේ හැඟීම අදත් සමාජයේ පවතියි. පසුගිය දා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මා යමක් අළුතෙන් ප්‍රකාශ කර ඇත්නම් එය සත්‍යයක් නොවන බවත් මා සත්‍යයක් පවසා ඇත්නම් එය අළුත් දෙයක් නොවන බවත් කීවේ එබැවින් විය යුතු ය. එතුමා එය නිවට අයුරෙන් සාකච්ඡාව අවසානයේ දී සඳහන්කිරීම පිළිබඳ ව නම් මම කණගාටුවෙමි.

කෙසේ වෙතත් අමරසේකර මහතාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු වීම හැරෙන්නට වෙනත් විකල්පයක් මෙරට ප්‍රබුද්ධ සමාජය විසින් මට ලබා දී නො තිබිණි. එහෙත් චින්තනය පිළිබඳ ව මගේ අධ්‍යයනය දිගට ම කරගෙන ගියේ එය සමාජයේ තහවුරු කිරීමේ හැකියාවක් ඇතැයි යන අදහසක් නොමැතිව ය. වෙනත් විකල්පයක් නොමැතිවීම හේතුවෙන් ජාතික චින්තනය යනු ඒ ඒ ජාතිය සතු චින්තනය යැයි හැඳින්වීමි.

එසේ වුවත් මාක්ස්වාදයට පසුබිම් වූ චින්තනය අන්කිසිවක් නොව කතෝලික චින්තනය බව මම පසුව තේරුම් ගතිමි. එපමණක් නොව භැසිස්ට්වාදයට ද පසුබිම් වී ඇත්තේ කතෝලික චින්තනය ය. මාක්ස්වාදය මෙරට පමණක් නොව අනෙක් රටවල ද මුල්බැස නොගන්නේ අද කතෝලික චින්තනයට දකුනු ඇමරිකානු රටවල හැරෙන්නට අන් රටවල කිසිදු තැනක් නොමැතිවීම නිසා ය. දකුණු ඇමරිකානු රටවල ද වඩා වැදගත් වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රදස්තියානි චින්තනය ය. ඒ රටවල ඉඳහිට චාවේස් කෙනකු මතුවුව ද ඒ තාවකාලිකව ය. චාවේස්ලා ද මාක්ස්වාදීහු නො වෙති.

(13/04/24)

නලින් ද සිල්වා

Thursday, 13 December 2012

බහුසංස්කෘතිය, චින්තනය සහ අපි

පසුගිය දිනක තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යුධ විජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවට ජාතික අනුස්මරණ දිනයක් ප්‍රකාශ කරන ලෙස රජයට බල කරන බව අපට දැන ගන්නට ලැබිනි. මෙයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ දෙමළ ඩයස්පොරාවේ දෙවැනි පරම්පරාවේ සාමාජිකයන් ලංකාවට පැමිණ සංවරධන ව්‍යාපෘති වලට සහයෝගය දීමට බලපොරොත්තු වන බවත් යුධ විජයග්‍රහණ සැමරුම් නිසා ජාතීන් අතර හොඳ හිත පළුදු වෙන බවත්ය.

මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීමෙන් නැගෙන මූලික හා ද්විතීය ප්‍රශ්න කීපයක් ඇත. ශ්‍රී ලංකා රජය සටන්කලේ සාමාන්‍ය දෙමළ ජනයා සමගද? කුරිරු ත්‍රස්තවාදය පරාද කර ලැබූ නිදහස අද බුක්ති ව්ඳින්නේ සිංහලයන් පමණක්ද? සිංහල,දෙමළ, මුස්ලිම් ජනයා කුරිරු ලෙස ඝාතනය කල ත්‍රස්තවාදී කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් ලබාගත් නිදහස සැමරීමට එරෙහි වන හෝ එමගින් සිත රිදෙන යමෙක් ඇත්නම් ඉන් ඔහු හෝ ඇය ගැන කියැවෙන්නේ කුමක්ද? එය දෙමළ ජාතිවාදයට අනුබල දීමක් නොවේද? ත්‍රස්ත කොටි න්‍යාය අනුමත කිරීමක් නොවේද? මෙය තරුණ මන්ත්‍රීවරුන්ට නොතේරෙන්නේ ඇයි? විජයග්‍රහණ සැමරුම මගින් ජාතීන් අතර පරතරයක් ඇතිවේ යැයි ඔවුන් සිතන්නේ ඇයි?

මෙයට හේතු කීපයක් ඇති නමුත් ප්‍රධාන හේතුව වත්මන් අධ්‍යාපන ක්‍රමයයි.මෙම අධ්‍යාපන ක්‍රමය මගින් අප සිතන පතන ආකාරයෙහි යම් යම් වෙනස්කම් සිදුකර ඇත. ශ්‍රිලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා විසින් මෑතකදී කරන ලද “මා දෙමළය, සිංහලය,මුස්ලිම් සහ බර්ගර්ය. මා බෞද්ධය, හින්දුය, මුස්ලිම් හා ක්‍රිස්තියානි භක්තිකයෙක්මි, නමුත් ඒ සැමටත් වඩා අද සහ සැමදා මා සාඩම්බර ශ්‍රිලාංකිකයෙක් වෙමි” යන ප්‍රකාශය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වූ ප්‍රකාශයකි. තරුණ තරුණියන් අතර මේ ප්‍රකාශය වඩාත් ප්‍රචලිතය. ඇත්තෙන්ම මතුපිට්න් ගත් කල එම ප්‍රකශෙයෙහි යම් ආකර්ෂණභාවයක් ඇත. දළ වශෙයෙන් එහි අදහස ලාංකීය අප සියලු දෙනා ජාති ආගම් අතහැර ශ්‍රිලාංකිකයන් මෙන් සිතිය යුතු බවකි.

දැන් ප්‍රශ්නය වන්නේ අප ජීවත් වන්නේ සිතන්නේ පතන්නේ රික්තයක් තුලද යන්නය. එනම් සංස්කෘතියකින් තොරව ජීවත් වන, සිතන යමෙක් ඇත්ද? සිංහල දෙමළ මුස්ලිම් නොවන මේ සාධාරණ (පොදු යන අර්ථයෙන්) ශ්‍රිලාංකිකයන් යනු කවුරුන්ද? එම ශ්‍රිලාංකිකයන් යනු බටහිර සංස්කෘතියට අනුකලිත, බටහිර අධ්‍යාපනයක් ලබන, බටහිරයන් අපට උගන්වා ඇති ර්‍ඊනියා බහුසංස්කෘතියක ජීවත්වන, බටහිරයන් මෙන් සිතන පතන ලාංකිකයන්ය.

අද පාසැල්, විශ්ව විද්‍යාලවල ඉගැන්වෙන්නේ, නොයෙකුත් මාධ්‍ය වලින් දකින්නට, අසන්නට ලැබෙන්නේ සියලු මනුෂ්‍යයන් සමානයැයි සහ අප එකා මෙන් සිතිය යුතු බවකි. නමුත් මේ "එකා" බටහිර එකා බව ඉගැන්වෙන්නේ නැත. අපේ ගුරුවරුන්, ආචාර්ය, මහාචාර්යවරුන් සහ අනෙකුත් උගත් යැයි සමාජ සම්මත පඬිවරුන් මේ මතය සමාජයට ගෙන යෑමට සැදී පැහැදී සිටියි. අප අපේ අනන්‍යතාවය රැකගැනීම පසුගාමී සමාජයක ලක්ෂණයක් බවත් ඊනියා දියුණු රටවල් මෙන් දියුණුවේ හිනිපෙත්තට ලඟාවීමට එය බාධාවක් බවත් මෙම පඩිවරුන් අපට කියා දෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙ සියලු කතන්දර වලින් කියන්නේ අප සියලුදෙනා බටහිර සංස්කෘතියේ ජීවත්වියයුතු බවය, බටහිරයන් මෙන් සිතිය යුතු බවය. එය ප්‍රගම්‍ය සමාජයක ලක්ෂණයක් බවත් ඔවුන් පවසයි. ඔවුන්ට අනුව එය එසේ වුවහොත් අප බටහිරයන්ගේ ප්‍රසාදයට ලක්වී අපේ දියුණුවට ඔවුන්ගේ මහඟු උපකාරද ලැබේ. යම් හෙයිකින් එසේ නොවුව හොත් අප බටහිරයන්ගේ උදහසට ලක් වී නන්නත්තාර වනු ඇති බවත් ඔවුන් පවසයි.

බටහිරයන් කියන පරිදි අප සියලු දෙනා සමානද? ජෛවීය වශයෙන් මනුෂ්‍යයන්ගේ සමානකම් ඇති නමුත් (ජෛවීය වශයෙන් වුවද මනුෂ්‍යයන් අතර යම් වෙනස්කම් ඇත ) අප මෙලෙවට බිහිවූ දා පටන් හැදෙන්නේ වැඩෙන්නේ යම් සංස්කෘතියකය. එම සංස්කෘතිය හා බැඳුණු චින්තනයක් වෙයි. යම් සංස්‌කෘතියක මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇති විද්‍යාව, කලාව, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, වෙදකම, ඉංජිනේරු ශිල්පය, ලිංගිකත්වය ආදී සියල්ල බැඳ තබන හුයක්‌ වේ නම්, ඒ චින්තනය වෙයි (චින්තනය පිළිබඳ මේ නිර්වචනය මහාචාර්ය නලින් ද සිල්වාගේ නිර්මාණයකි).මෙම චින්තනය එම සංස්කෘතියට අනන්‍යතාවයක් ලබාදේ.

බටහිර දැනුමේ සහ දේශපාලන-සංස්කෘතික ආධිපත්‍යයේ බලයෙන් ඔවුන්ගේ සංකල්ප අප රටවල් වලට හඳුන්වා දෙයි. බහුසංස්කෘත සංකල්පයද එවැනි බටහිර ඇතිවුනු සංකල්පයකි, එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ නිෂ්පාදනයකි. රටක ජීවත්වන සියලු ජාතීන්ට, සංස්කෘතීන්ට සමතැන් ලැබිය යුතු බව ඉන් කියැවෙයි. තවද එම ජාතීන්ට තම සංස්කෘති පවත්වාගෙන යාමට අවශ්‍ය මානව හිමිකම් ලබාදිය යුතු බවත් ඉන් කියැවෙයි. මෙම සංකල්පය මගින් අපව සර්ව අනාගමික මානවීය සමාජයක් කරා ගෙන යන බවක්ද හැඟවේ. එය ලොවට හදුන්වාදෙන්නේ සංස්කෘතියෙන් ස්වායත්ය වූ සියලු මනුෂ්‍යයන්ට පොදුවූ සංකල්පයක් ලෙසය.

පෙර කී පරිදි සංකල්ප බිහිවන්නේ රික්තක තුල නොවේය. එම නිසා යම් සංස්කෘතියක නිර්මාණය වූ සංකල්පයකට එය නිර්මාණය වූ සංස්කෘතියෙන් ගැලවීමට නොහැකිය. බහුසංස්කෘත සංකල්පය බටහිර රටවල් වල ක්‍රියත්මක වූවත් එහි පදනම ඇත්තේ බටහිර චින්තනයේය. අනෙක් සංස්කෘති බටහිර සංස්කෘතියට අවශෝෂණය වීමක් එහිදී සිදුවේ. එමගින් සියලු සංස්කෘතින් හට සම තත්වයක් ලැබේය යන මායාව ඇතිවේ. නමුත් සිදුවන්නේ එම සංස්කෘති වල අනන්‍යතාව නැති වී බටහිර සංස්කෘතිය තුල නාමික සංස්කෘතීන් බවට පත්වීමය. මහා සංස්කෘතිය වන බටහිර සංස්කෘතියට මෙහිදී කිසිදු බලපෑමක් නැත. නමුත් බටහිර සංස්කෘතියට අනෙකුත් සංස්කෘතීන් හට බලපෑම් කිරීමේ හැකියාව ඇත. අද ඇමරිකාවේ ජනාධිපති පදවියට හෝ එන්ගලන්තයේ අගමැති පදවියට පත්වීමට ක්‍රිස්තියානි නොවන සංස්කෘතියක අයෙකුට හැකිද? එම රටවල ජීවත්වන මුස්ලිම්වරුන්ට,හින්දු භක්තිකයන්ට හෝ බෞද්ධයන්ට තමන්ට අවශ්‍යය තැන්වල පල්ලි, කෝවිල් පන්සල් ඉදිකිරීමට හැකිද? ඔවුන්ගේ සංස්කෘති බොහෝ විට ප්‍රජා ශාලාවලට හා ඊනියා අන්තර්ජාතික දින සැමරුම් වලට පමණක් සීමා වී ඇත.

බහුසංස්කෘත සංකල්පය බටහිර නොවන රටවල් වලට හදුන්වාදුන් විට සිදුවන්නේ කුමක්ද? මෙහිදී ඒ රටවල් වල ඇති මහා සංස්කෘතියට හිමි තැන අහිමිවී අනෙක් සංස්කෘතීන්ද සමග සමතැන් වී බටහිර සංස්කෘතියෙහිම කොටසක් බවට පත්වේ. බටහිර රටවල් වල මෙන් අනෙකුත් සංස්කෘතීන් මහා සංස්කෘතියට අවශෝෂණය වීමක් මෙහිදී සිදුනොවෙයි. මහා සංස්කෘතියද අනෙකුත් සංස්කෘතීන් සමග බටහිර සංස්කෘතියට අවශෝෂණය වීමක් එහිදී සිදුවේ. මෙහිදි ක්‍රියා දෙකක් සිදුවේ. පළමුව, බටහිර නොවන රටවල් වල ඇති මහා සංස්කෘතියට හිමි තැන අහිමිවී එමගින් ඔවුන්ටම ආවේණික වූ චින්තනයක් ඇත්නම් එයද ක්‍රමයෙන් අභාවය කරා ‍යැවෙයි.දෙවැනුව බටහිර නොවන රටවල් වල ජනයා බටහිර සංස්කෘතියට අවශෝෂණය වීම හෙවත් බටහිරකරණය වීමක් සිදුවේ. මේ බටහිරකරණය පහසුකිරීම රටේ අධ්‍යාපන ක්‍රමය මගින් සහ නොයෙකුත් මාධ්‍ය හරහා සිදුවේ. පාසැල්, විශ්ව විදයාල සහ නොයෙකුත් මාධය මගින් බටහිර සංකල්ප බෙදාහැරීමේ ` නියෝජිතයන්' බිහිකිරීම සිදුකරයි. මේ නියෝජිතයින් බොහෝ විට තමන්ගේ සංස්කෘතියට එරෙහිව ක්‍රියාකරයි.

මිහිඳු මහ රහතන් ලක්දිව වැඩි දා සිට බටහිර අධිරාජ්‍යවදීන්ගේ පැමිනීම දක්වා මෙරට තිබූ සංස්කෘතිය සිංහල බෞද්ධ විය.එහි වෙනත් ගෝත්‍රික, භාර්තීය සංස්කෘතික ලකෂණද තිබෙන්නට ඇත. නිවන වටා ගෙතුනු, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මත පදනම් වූ පටිච්ඡ්සමුප්පන්න චින්තනයක් එහි විය. එම චින්තනයේ වැඩුනු ජීවන රටාවක්, ගොවිතැනක්, වෙදකමක්, ශිල්ප ශාස්ත්‍ර සහ කලාවක් අපසතු විය. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය වූ බෞද්ධ භික්ෂුන් දැයේ ගුරුවරු මෙන්ම දැයේ මුර දේවතාවන්ද විය. එදා භික්ෂුවගේ වගකීම අද මෙන් අවමගුලකට, දානයකට, බණකට වැඩම කිරීමට පමණක් සීමා නොවිනි. උපතේ සිට විපත දක්වා හෙළයාගේ සෑම කටයුක්තකදීම භික්ෂුවගේ මග පෙන්වීම සිදුවිනි. අතීතයේ පටන් ලක්දිව ජීවත් වූ හින්දු, ඉස්ලාම් භක්තිකයන්ද සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය විනි. ඔවුන්ගේ ජීවන ක්‍රමය පවත්වා ගෙන යෑමට අමුතුවෙන් බහුසංස්කෘති සංකල්ප නිර්මාණය කිරීමට අවශ්‍යය නොවිනි.

බටහිර ආධිපත්‍යය නිසා නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇත. එයට හිමි විය යතු තැන අද අහිමි වෙමින් පවතී. ඒ නිසා අපේ චින්තනයද පසුබෑමකට ලක් වී ඇත. අද ඇත්තේ අනුකාරක, කෘත්‍රිම වූ ආගන්තුක, පදම් නොවූ අච්චාරු චින්තනයකි.මේ චින්තනය තුල අපට නිර්මණය කරගත හැකි දැනුමක් නැත. ඒ වෙනුවට අපි බටහිර දැනුම පුනරුච්චාරණය කරමින්, එයට හුලං ගසමින් සිටිමු. අද අපි විශිෂ්ට අනුකාරකයන් වෙමු. ජාතියක් වශයෙන් අපට ඉදිරියට යාමට නොහැක්කේ මේ හේතුව නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේය. නව මංමාවත් තැනූ පමණින්, අහස උසට ගොඩනැගිලි තැනූ පමණින් අප දියුණු ජාතියක් වන්නේ බටහිර නිර්ණායක වලට අනුවය. භෞතිකත්වයට සහ ඉන්ද්‍රිය පිනවීමට මූලිකත්වය දෙන මේ නිර්ණායක වලින් ලබාගන්නා ර්ර්‍නියා දියුණුවට වැඩි ආයුෂ නැත. අද වන විට බටහිර සංස්කෘතිය කඩා වැටෙමින් පවති. ඔවුන් පසු පස යන අපටද අත්වන්නේ ඒ ඉරණමය.

සියලු සංස්කෘතීන් ගේ සමානාත්මතාව ගැන බෙරිහන්දෙන සාකෝසිලා, පුටින්ලා අද ඔවුන්ගේ රටවල්වල මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික අංගයක් වන හිජාබය හා බර්කාව පැලඳීම තහනම් කිරීමට යයි. අපේ රණවිරුවන් දිවිහිමියෙන් සටන්කොට කුරිරු ත්‍රස්තයන් පරදා ලාංකික සැමට ලබදුන් නිදහස සැමරීම සමහරුන්ට අනුව ජාති භේද කිරීමකි. අප ජාතික චින්තනය ගැන කතා කිරීම ජාතිවාදය ඇවිස්සීමකි. ජාතික චින්තනය කන්නටදැයි අපෙන් අසයි. භෞතික දියුණුවෙන් මත් වී අන්ධ වී ඇති ඔවුනට අධ්‍යාත්මික දියුණුවක අවශ්‍යතාවය නොපෙනෙයි.

අප කෙතරම් හොඳින් බටහිර දැනුම ඉගෙනගත්තද බටහිරයන් ලෙස සිතීමට අපට නොහැකිය. එසේ වන්නේ අපේ නොහැකියාවක් නිසා හෝ බුද්ධිමය අඩුවක් නිසා නොව හුදෙක් චින්තන වල ඇති වෙනස හේතුවෙනි. සිංහල බෞද්ධ චින්තනය සංයුක්තව සිතීමට අනුබල දෙන අතර බටහිර චින්තනය වියුක්තව සිතීමට අනුබල දෙයි.අප බටහිර තාක්ෂණික ශිල්පය හා සම්බන්ධ දෑ කෙරෙහි යම් දක්ෂතාවන් දැක්වුවද බටහිර ගණිතය හෝ විද්‍යාවේ වියුක්ත ප්‍රවාද නිර්මාණ කිරීමට අපට නොහැක. බටහිර ගණිතය හා විද්‍යාව පදනම් වන සුසමාදර්ශ අපේ චින්තනයේ නිර්මාණය වීමට ඉඩකඩ ඉතා අඩුය. අප වැව් අමුණු දාගැබ්, වෙහෙර විහාර නිර්මාණයකළේ, වෙදකමේ ගොවිතැනේ කෙළ පැමිණියේ අපේම චින්තනයක සිටය. අද ගල් පිළිමයක් නෙලීමට හැකි ගල් වඩුවකු සොයගත නොහැක.ඒ සඳහා ඉන්දියවෙන් ශිල්පීන් ගෙන්වීමටත්, වැව් තැනීමට බටහිර ඉංජිනේරුවන් ගෙන්වීමටත් සිදුවී ඇත. එසේ වීමට හේතුව කුමක්ද?

අප බටහිර දැනුම ඉගෙනගත යුතුය, බටහිරයන්ගේ දෑ ගත යුතුය, නමුත් ඒ දෑ අපේ "කෝවක" දමා සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගත යුතුය.අපේ අනන්‍යතාවය රැකෙන්නේ එමගින්ය. දෙමළ-හින්දු සහ මුස්ලිම්-ඉස්ලාම් සංස්කෘති වල අනන්‍යයතාවයට වන හානියක් නැත. එම සංස්කෘති ඉන්දියාවේ සහ අරාබිකරයේ රටවල රැකී පවතී. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය, එය හා බැඳුනු අතුල්‍ය චින්තනය පවතින එකම රට මේ ලක්දිව පමණි. එය ආරක්ෂා කිරීම සිංහල බෞද්ධයන්ගේ වගකීමකි. අපි අපේ අනන්‍යතාව ගැන කතාකිරීමට කිසිවකුටත් බිය නොවෙමු. තවමත් ප්‍රමාද නැත, නමුත් කල යුතු දෑ බොහෝය, අවශ්‍ය වන්නේ දෑස් ඇර බැලීමය. බටහිර සංස්කෘතිය සමග පරිහානියට යනවාද නැතහොත් අපේම චින්තනක් තුලින් භෞතික හා ආධ්‍යත්මික දියුණුව වඩවා සියලු සංස්කෘතින්ගේ අනන්‍යතාවත් රැකගෙන ඉදිරියට යනවාද? පිළිතුර ඔබට භාරය.

අකිල වීරසේකර