Main Logo

Showing posts with label ඉන්ද්‍රිය. Show all posts
Showing posts with label ඉන්ද්‍රිය. Show all posts

Saturday, 27 April 2013

ආපසු හැරී ඉදිරියට යමු!

කුඩා කාලයේ අපි සිතාගෙන සිටියේ හෘදයාබාද හැදෙන්නේ පොහොසත් උදවියට පමණක් යැයි කියාය. මන්ද එකල හෘදයාබාද රෝගීන් ගම්වලවත් ගමින් කොළඹට පැමිණ සිටි මගේ දෙමව්පියන් වැනි අය අතරවත් කලාතුරකින්වත් දකින්නට නොසිටි බැවිනි. නමුත් රැකියාව සඳහා කොළඹ පදිංචියට පැමිණ වසර හතලිහකට පමණ පසුව ත්‍රස්තවාදීන්ටවත් මරා දමන්ට බැරිවූ අපේ අම්මා රෝගාතුරව හිඳ මිය ඇදුනේ හෘදයාබාදයකිනි. කොළඹ ජීවිතය ඇගේ ගැමි සිරුරටත් ගැමි මනසටත් ඔරොත්තු නොදුනි. කෙසේමුත් ඇගේ පිහිටෙන් ඒ වනවිට අපි ඊනියා දියුණුවක් ලබා සිටියෙමු. අවසානයේ ඇගේ මාරයා වුනේ ඒ දියුණූව බව මම දැන් දනිමි. මගේ මවට ජීවත්වන්නට ලැබුනේ අවුරුදු හැට දෙකක් පමණක් මුත් උපන් ගමෙහිම වෙසෙමින් බණ භාවනා කරමින් ගොවිතැනින් දිවි ගෙවූ ඇගේ මවට, එනම් අපේ මිත්තණියට, අවුරුදු අසූ ගණනක් නිරෝගීව ආයු වළඳන්නට වාසනාව තිබිනි. මෙසේ තිබියදී අපි ඉගෙන ගන්නේ ගැමි ජීවිතය නොදියුනු යැයි සැලකීමටය. ජාතියක් වශයෙන් අපි කෙතරම් වැරදි දිසාවකට ගමන් කර ඇත්ද යන්න ඉන් පැහැදිලි විය යුතුය.

නගර අවට ජීවත්වන වැඩිහිටි කී දෙනෙක් අද දියවැඩියාව, හෘදයාබාද හා පිළිකා වැනි මාරාන්තික රෝග වලට ගොදුරුවී සිටිත්ද? ඉන් මිය ගොස් සිටිත්ද? අද රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙන්නේ මෙවැනි රෝගීන්ගෙන් නොවේද? මේ ව්‍යාදීන් අපේ සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් හා තදින් බැඳී ඇති බැවින් ඇත්තෙන්ම ඒවා හැඳින්විය යුත්තේ සමාජ රෝග ලෙස. මීට වසර තිහ හතලිහකට ඉහතදී මේ සමාජ රෝග මෙතරම් ව්‍යප්තව නොතිබිනි. එ පමණක් නොවේ එකල රටේ සිදුවුනු අපරාධද ගණනින් පමණක් නොව දාමරික බවින්ද මෙතරම් දරුණු නොවිනි. පරිසරයද අද තරමටම විනාශවී නොතිබිනි. මේ සියලු ව්‍යසනයන් සිදුවී ඇත්තේ වසර තිහක් හතලිහක් පමණවෙන ඉතා කෙටි කාලයක් තුල දීය. මේ දෑ අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරවූ සිදුවීම් නොවේ. පරිසර විනාශයද, සමාජ රෝග පැතිරීමද අපරාධ බහුලවීමද එකිනෙකින් වෙන් කල නොහැකි මිනිස්-පරිසර පද්ධතියක වෙන් කල නොහැකි සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් තුලින් බිහිවෙන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණ විසඳීමට නම් අපි අනිවාර්යයෙන්ම මේ සිද්ධීන් අතර ඇති පොදු බව හඳුනාගත යුතුය.

සමස්ථයක් ලෙස සැලකුවිට මේ සියලු ව්‍යසනයන්ට මූලික හේතුව අපි කෙළවරක් හෝ සංවරයක් හෝ නැතිව සිත කය පිනවීම අරභයා ලබන්නට තනන ඊනියා දියුණුව බව අවබෝධ කර ගැනීමට බෞද්ධයින්ට අපහසු නැත. පොළවේ පය ගසාගෙන සිටින වැඩිහිටි බොහෝ දෙනෙකු ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දනිති. නමුත් අපි මේ හොඳින් දන්නවා යැයි සිතන දේ විදග්ධ දැනුමක් ලෙස අපේ සිංහල බෞද්ධ සමාජයවත් පිළිගන්නේ නැත. එසේ නොපිළිගන්නේ ඒ බව පාසලේදීවත් විශ්ව විද්‍යාලයේදීවත් ඉගැන්වෙන්නේ නැති නිසාය.

කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට නොහැකි බව හා එසේ පිනවීමට යාමෙන් දුකක් මිස සැපක් නොලැබෙන බව බෞද්ධයින් දන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. සාමාන්‍ය සිංහල බෞද්ධයින් පවා අවබෝධ කරගෙන ඇති ඒ ගැඹුරු විදග්ධ දැනුම බටහිරුන්ට නැති බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ බව මම ඒ සමාජයේ ජීවත්වීම තුලින් දනිමි. බටහිරුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන් යමක් දැන ගන්නට ශක්තියක් නැත. යම් හෙයකින් ඔවුන් ඒ ගැන දැන ගෙන සිටියා නම් ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුයැයි අපට අද පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් ඉගැන්වෙනවාට කිසිම සැකයක් නැත. බටහිරුන් ඉන්ද්‍රීයන් පිනවීම අරභයා කෙරෙන ඊනියා සංවර්ධණයක් කරා හඹා යන්නේ ඔවුන්ට එහි නිෂ්ඵලබව නොවැටහෙන නිසාය. ඔවුන්ගේ ගමනෙහි ව්‍යාජත්වයක් නැත. නමුත් ඒ බව දැන දැනත් ඔවුන් පසු පස යන අපේ ගමනේ ව්‍යාජත්වයක් ඇත. අවාසනාවකට අපි ඉන් පැන නඟින ප්‍රශ්ණ විසඳන්නට බලන්නේත් ඔවුන් පසු පස යමිනි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම වැනි ප්‍රශ්න බටහිරුන් විසින් විසඳන්නට උත්සාහ කරන්නේ ඉන්ද්‍රීය පිනවීමත් එලෙසම පවත්වාගෙන යමිනි. එනම් ඒ සඳහා ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කරමිනි. ඔවුන් දැනුම ගොඩනඟන්නේ කොටස් වලට කඩා ගෙන නිසා පරිසර විනාශය පිළිබඳ ප්‍රශ්ණ පරිසර විද්‍යාඥයෝත් සමාජ රෝග පිළිබඳ ප්‍රශ්ණ වෛද්‍ය විද්‍යාඥයෝත් ආදී වශයෙන් වෙන් කර ගෙන විසඳන්නට තැත් කරනවා විනා එහි පොදු බවක් දැකීමට ඔවුන්ට හැකියාවක් නැත.
ඒ අනුව සමාජ රෝග වලට බටහිරුන් දෙන මූලික පිළිතුර රෝග වලට ප්‍රතිකාර කිරීමය. බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට හැකිවී නැතත් යම් දුරකට පාලනය කර ගැනීමට තාක්‍ෂණයේ උපකාරයෙන් බටහිර විද්‍යාව සමත් වී ඇත. ඒ නිසා හැටේ දශකයේ මැද භාගය වනතුරු වැඩි වෙමින් පැවතුනු හාර්දික රෝග නිසා සිදුවුනු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අද වෙන විට ඇමරිකාවට හැකිවී ඇත. නමුත් හෘදයාබාද නිසා රෝහල්ගතවුනු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දශකයේ මැද භාගය වනතුරුත් වැඩි වෙමින් පැවතිනි. ඉන් පෙනී යන්නේ හෘද රෝග වැලඳීම වලක්වා ගන්නට ඔවුන්ට නොහැකි වී ඇති බවය එනම් බටහිර සමාජයට ඒ සම්බන්ධයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට නොහැකි වී ඇති බවය. ගිලන්ව නමුත් නොමැරී ජීවත්වීම සාර්ථක පිළියමක් ලෙස සැලකිය නොහැකිය.

බරහිරුන් අපරාධ මර්ධනය කිරීමට තනන්නේද එවැනි ක්‍රියා කලාපයක් තුලිනි. එනම් මූලික වශයෙන් අපරාධ කරුවන් අල්ලා දඬුවම් කිරීම මඟිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ලෝකයේ වැඩිම පිරිසක් සිර බත් කන්නේ ඇමරිකානු සිර ගෙවල් වලය. ඉනුත් බහුතරයක් කළු ඇමරිකානුවෝය. ඇමරිකාවේ සිරකරුවන්ගේ ජනගහනය හැත්තෑවේ දශකයේ මැද භාගයේ සිට, එනම් තැචර්-රේගන් යුවල ලෝක ආර්ථිකය වෙනස් කල සමයේ සිට අද දක්වා සීග්‍රව වර්ධනය වෙමින් පවතී. ඉන් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ සිදුවෙන අපරාධ වැඩිවෙනවා මිස අඩුවී නැති බවය. බටහිරුන්ට ඔවුන්ගේ ඊනියා ආර්ථික සංවර්ධනයේත් අපරාධ බහුලවීමේත් ඇති සම්බන්ධතාව හඳුනා ගන්නට නොහැකිය. එපමණක් නොවේ සමාජ රෝග හා පරිසර විනාශය ඊට අදාල වන්නේ කෙසේද යන්න ගැනත් අවබෝධයක් නැත. මීට මුලික හේතුව ඔවුන්ට සමස්ථය දැකීමට ඇති නොහැකියාවය. ඔවුන් ඒ ඒ විශය සඳහා ඉදිරිපත් කරන විසඳුම් වලින් කෙරෙන්නේ ප්‍රශ්ණ යම් තරමකට කළමණාකරණය වීම පමණි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම ආදියට හේතුව සංවරයක් නැතිව සිත කය පිනවීමට යාම බව සිංහල බෞද්ධයින්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමය. එයට එකම පිළියම ඉන්ද්‍රීය සංවරය පිහිටුවා ගැනීමය. මේ දැනුම බටහිරුන්ට නැත. ඔවුන් ඉන්ධන භාවිතය අඩු කල යුතු යැයි කියන්නේ එමඟින් පරිසරයට එකතුවන විශවායු, පරිසර උශ්නත්වය ඉහල යාම, හා ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ඔවුන් විසින් ගොතා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. ඔවුන් එළවළු පළතුරු වැඩියෙන් ආහාරයට ගත යුතු යැයි පවසන්නේ සමාජ රෝග, ශරීර ශක්ති සමතුලිතතාව වැනි දෑ පිළිබඳ ඔවුන් විසින් ගොඩනඟා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. මේ කිසිම බටහිර දැනුමක් බෞද්ධයින්ගේ ඉන්ද්‍රීය සංවරය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ දැනුම හා කොහෙත්ම සම්බන්ධයක් නැත. ඒ නිසා මතු පිටින් එසේ යැයි පෙනුනත් සිංහල බෞද්ධයින් ඉන්ද්‍රීය සංවරය තුලින් ලබා ගන්නා විසඳුම් වලට බටහිරුන්ට ඔවුන්ගේ දැනුම තුලින් කෙදිනකවත් ලඟාවිය නොහැකිය. යන මඟ නොදැන අයාලේ යන බටහිර දැනුම පසු පස නොගොස් අප දන්නා මඟේ අපි ඉදිරියට යා යුතු වෙමු.

ජානක වංශපුර

Tuesday, 23 April 2013

වෙනත් ඉන්ද්‍රියවලට ගෝචර ලෝක


බටහිර විද්‍යාව කතාකරන්නේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි ගැන ය. මෙයින් අදහස් කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යැයි කියන සංසිද්ධි ය. ඉර නැගීම, සඳ බැස යෑම, කාන්දම් කෑලි එකිනෙක ආකර්ෂණය කිරීම හෝ විකර්ෂණය කිරීම හෝ ආදිය එවැනි ඉන්ද්‍රිය ගෝචර සංසිි්ද්ධි වෙයි. බටහිර විද්‍යාවට අනුව දැනුම ආරම්භ වන්නේ ද අවසාන වන්නේ ද පංචෙන්ද්‍රියවලට ගෝචර සංසිද්ධීන්ගෙනි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද පංචෙන්ද්‍රිය විශ්වාස කළ හැකි නො වේ. මේ හතර බීරි කතාවක් නොවේ නම් වෙන කුමක් ද?

අපි ඒ ගැන තවදුරටත් කතාකිරීමට පෙර බටහිර විද්‍යාවේ දී නොසලකා හැරෙන්නක් කෙටියෙන් නමුත් සඳහන් කර ගනිමු. එනම් අපට ඉන්ද්‍රිය පහක් පමණක් තිබීම ය. මේ ඉන්ද්‍රියවල ඇති අඩුපාඩුකම් ගැන බටහිර විද්‍යාව දනියි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණක් නම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය හා අවයව අතර වෙනස නොදැනීම ය. බටහිර විද්‍යාවෙහි සඳහන් වන්නේ අවයවවල අඩුපාඩුකම් හා ඒ අවයව විශ්වාස කිරීමට නොහැකිවීම පිළිබඳ කරුණ ය.

සිංහල බෞද්ධයන්ට අනුව අපට ඉන්ද්‍රිය හයක් වේ. බටහිර විද්‍යාවෙහි මනෙන්ද්‍රිය ඉන්ද්‍රියයක් ලෙස නො සැලකෙයි. ඔවුන්ට මනස යන්න මොළයට ඌනනය කළහැකි වූවකි. එසේ වුවත් බටහිර විද්‍යාවෙහි මොළයට කණ ඇස ආදී අවයවයකට ඇති වැදගත්කමවත් නො ලැබෙයි. කණ, ඇස ආදිය ඉන්ද්‍රිය ලෙස සැලකීමට බටහිර විද්‍යාව පුරුදු වී ඇති නමුත් මොළය ඉන්ද්‍රියයක් ලෙස නො සැලකෙයි. බටහිර විද්‍යාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය මොළයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට නොහැකි වීමත් මනස යනු කුමක් දැයි නොදැන එය මොළයට ඌනනය කිරීමට යෑමත් ය.

මෙහි දී සිංහල ථෙරවාද බෞද්ධ අටුවාව ගැන ද වචනයක් සඳහන් කළ යුතු ය. අපේ අටුවා මනස නමැති ඉන්ද්‍රිය හදවත සමග සම්බන්ධ කරයි. ඒ පෙනීම ඇස සමග සම්බන්ධ කරන අයුරින් ය. අටුවා ද ලියා ඇත්තේ අප වැනිම වූ පෘථග්ජනයන් ය. ඔවුන් අතින් ද වැරදි සිදු වී ඇත්නම් අප ඒ ගැන කම්පා නොවිය යුතු ය. ඇස, කණ ආදී අවයව ඇසුරෙන් ඉන්ද්‍රියයන් පැන නගින්නේ මනස සමග සම්බන්ධවීමෙනි. හදවත නමැති අවයවය ඇසුරෙන් මනස නමැති ඉන්ද්‍රිය ඇතිවන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් අටුවාවෙන් ලබාගත හැකි යැයි මම නො සිතමි.

අප වෙනත් අවස්ථාවල ද සඳහන් කර ඇති ආකාරයට සිත මිස කය නැති බඹලොව වසන්නන්ට මනස ඇතිවන්නේ කායික වූ අවයවයක් ඇසුරෙන් නො වේ. මනස ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ යන පංච මහා භූතයන්ගෙන් ස්වායත්ත බව පැහැදිලි ය. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව එක්් කල්ප විනාශයකින් පසුව පෘථිවියට පළමුව සත්ත්වයන් පැමිණ ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි. එසේ පැමිණි අය රස පොළොව ආහාරයට ගැනීමෙන් පඨවි අධික සිරුරු ලබා ඇති බව පැහැදිලි ය. මනස යනු අවයවයක් මත පදනම් නොවන ඉන්ද්‍රිය යැයි අපට කිව හැකි ය.

අපට ඉන්ද්‍රිය හයක්, බටහිර විද්‍යාව කියන ආකාරයට ඉන්ද්‍රිය පහක් පමණක් ඇත්තේ ඇය? බටහිර විද්‍යාව ඇස කණ ආදී පංචාවයව අවිශ්වාස කරයි. ඒ ගැන අපට ප්‍රශ්නයක් නැත. සිංහල බෞද්ධයෝ මනස ද මායාවක් ලෙස සලකති. ප්‍රශ්නය එය නො වේ. අපට වෙනත් අවයව හා ආශ්‍රිත ඉන්ද්‍රිය තිබිණි නම් අවයව සමග සම්බන්ධ නොමැති වෙනත් මනස් ද (ඒ කුමක් වුවත්) තිබිණි නම් අප කෙසේ ලෝකය පණවා ගැනීමට තිබිණි ද?

අපට දැනෙන්නේ චුම්බක එක්කෝ ආකර්ෂණය කරන බව ය. නැතහොත් විකර්ෂණය කරන බව ය. බටහිර විද්‍යාඥයෝ ඒ සංසිද්ධි තේරුම් ගැනීම සඳහා මැක්ස්වෙල්ගෙන් පසුව විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය යන සංකල්පය යොදා ගනිති. විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය යන්න අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වූවක් නො වේ. කෙසේ වුවත් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර නොවුණත් අපි සම්මුති වශයෙන් විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයක් ඇතැයි සිතමු. එමෙන් ම ඒ සම්මුති වශයෙන් ගැණෙන විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය ගෝචරවන යම් අවයවයක් හා සම්බන්ධ වූ ඉන්ද්‍රියයක් (මනෙන්ද්‍රිය ද ඇතුලුව හත්වැනි ඉන්ද්‍රියයක්) මිනිසුන්ට තිබිණි යැයි සිතමු. එවැනි අවස්ථාවක අප කෙසේ ලෝකයක් පනවා ගැනීමට තිබිණි ද?

මෙය හුදු හිතළුවක් පමණක් යැයි යමකුට සිතෙනු ඇත. එහෙත් ඇතැම් විට අපට මනෙන්ද්‍රිය හැරුණු විට ඉන්ද්‍රිය හයක්, හතක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ තුනක් හෝ හතරක් වැනි අඩු සංඛ්‍යාවක් හෝ තිබෙන්නට ඉඩක් විය. මනේන්ද්‍රිය හැරුණු විට තිබිය හැක්කේ ඉන්ද්‍රිය පහක් පමණක් යැයි කිසිවකුට කිව නො හැකි ය. ඇතැම් සතුන්ට මනෙන්ද්‍රිය හැරුණු විට ඉන්ද්‍රිය පහක් නොමැති බව බටහිර විද්‍යාඥයෝ ද දනිති. ඒ සතුන් පණවාගෙන ඇති ලෝකය කුමක් ද? එනම් ඒ සතුන්ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර ලෝකය කුමක් ද?

දැන් ප්‍රශ්නය වනුයේ එසේ වෙනත් ඉන්ද්‍රිය සංඛ්‍යාවක් මිනිසුන්ට තිබිණි නම් මිනිසුන් පණවා ගන්නා ලෝකය කුමක් ද යන්න ය. එය කිසිසේත් ම අප දැනට පණවාගෙන ඇති ලෝකය නම් නොවිය හැකි බව පැහැදිලි ය. පණවාගෙන ඇති ලෝකය යනු අප දැනට දකින ලෝකය ය. අපෙන් තොරව අපේ මනසින් ස්වායත්තව පවතින ඊනියා යථාර්ථයක් වූ වාස්තවික නිරපේක්‍ෂ ලෝකයක් නැත. ඇත්තේ අප විසින් පණවාගනු ලැබූ සාපේක්‍ෂ වූ ලෝකයක් පමණ ය. ඒ ලෝකය වෙනත් දේට අමතර ව අපේ ඉන්ද්‍රියවලට ද (පංචෙන්ද්‍රියවලට හා මනසට) සාපේක්‍ෂ වෙයි.

අපට වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප දකින්නේ වෙනත් ලෝකයකි. ඉන්ද්‍රිය ගෝචර ලෝකය යනු ඉන්ද්‍රියවලට සාපේක්‍ෂව අප විසින් පණවාගනු ලබන ලෝකය යැයි අපට අලුත් අර්ථකථනයක් ද දිය හැකි ය. එය අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අප විසින් ලෝකය පිළිබඳ ව නිර්මාණය කෙරෙන අර්ථකථනයකි. ඒ කෙසේ වෙතත් අපට සම්මුති වශයෙන් ගැනෙන විිද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය ගෝචර වන ඉන්ද්‍රියයක් තිබිණි නම් අපට පෙනෙනු ඇත්තේ, අප විසින් ග්‍රහණය කෙරෙනු ඇත්තේ වෙනත් ම ලෝකයකි. ඒ ලෝකය කෙසේ විය හැකි ද?

බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව ආලෝකය යනු විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයේ වෙනස්වීම ප්‍රචාරණය වීම නිසා ඇතිවන්නකි. මෙහි දී වැදගත් වනුයේ විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වීම ය. විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය පමණක් නොව ආලෝකය ද (අයින්ස්ටයින්ට අනුව ෆෝටෝන) අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වේ. අපට මේස, පුටු, ගස් කොළ ආදිය පෙනෙන්නේ ඒ මත වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන් යැයි බටහිර විද්‍යාඥයෝ කියති. එහෙත් අපට ආලෝකය නො පෙනෙයි. ඒ ෆෝටෝන ක්වොන්ටම් අංශු වීමේ ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන්ට අනුව, එනම් ඔවුන්ගේ සම්මුතියට අනුව, විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයක් ඇත. අපට එය ගෝචර වන ඉන්ද්‍රියයක් තිබිණි නම් විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්වීම ද ඒ ඉන්ද්‍රියට ගෝචරවන බව පැහැදිලි ය. එවිට ඒ විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්වීම ප්‍රචාරණය වනු ද අපට ඒ ඉන්ද්‍රිය ආධාරයෙන් දැකගත හැකි වනු ඇත. එසේ නම් අපට ආලෝකය ද දැක ගැනීමට තිබිණි. එනම් අපට ෆෝටෝන දැක ගැනීමට තිබිණි.

එයින් පැහැදිලි වනුයේ බටහිර විද්‍යාඥයන්ගේ ප්‍රවාද, සංකල්ප ආදිය සංගත වීමට නම් ඒ නව ඉන්ද්‍රියයට ක්වොන්ටම් අංශු ගෝචර කර ගැනීමේ හැකියාවක් තිබිය යුතු බව ය. ඒ කුමක් වුවත් එවැනි ඉන්ද්‍රියකට ආලෝකය ද ගෝචර වන්නේ නම් අපට පුටු ආදී වස්තු කෙසේ පෙනීමට ඉඩ තිබිණි ද? අපේ අද ඇති ඉන්ද්‍රියවලට අනුව අපට පුටු මේස ආදිය පෙනෙන්නේ ඒ මත අපට නොපෙනෙන, ගෝචර නොවන ආලෝකය වැටී පරාවර්තනය වීම නිසා ය.

දැන් ආලෝකය ද පෙනෙයි නම් අපට පුටු කෙසේ පෙනෙනු ඇත් ද? ආලෝකය ද පුටු ආදී වස්තු ද එකට පෙනෙන විට අප ඒ දකින්නේ කෙසේ ද? මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් අප මේ ප්‍රශ්න අසා ඇත්තේ බටහිර විද්‍යාඥයන්ගේ කතන්දර උපකල්පනය කරමින් බව හා ඔවුන් කියන කතන්දර අතර සංගත බවක් ඇතිකිරීමේ අරමුණින් ද බව ය. බටහිර විද්‍යාඥ්‍රයන්ගේ කතන්දර සංගත ව ඉදිරිපත් කළ ද අපට වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් වෙනත් ලෝකයක් ග්‍රහණය කිරීමට සිදුවන බව ද මේ සියල්ලෙන් පැහැදිලි විය යුතු ය.

එබැවින් අපෙන් තොරව, අපේ මනසින් පමණක් නොව අපේ අනෙක් ඉන්ද්‍රියවලින් ද ස්වායත්ත ව , වාස්තවික ව නිරපේක්‍ෂ ලෝකයක් ඇතැයි ගැනීම හුදු හිතළුවක් පමණක් බව පෙනී යා යුතු ය. එවැනි වාස්තවික ලෝකයක් ඇතැයි ගැනීම ද මිනිසුන්ගේ නිර්මාණයකි. මිනිසුන් එවැනි වාස්තවික ලෝකයක් ඇතැයි ගන්නේ උද්ගමනයෙන් හා අනුමානයෙනි. මිනිසුන් වූ අප සියළු දෙනාට ම ඇත්තේ එකම ඉන්ද්‍රිය පද්ධතියකි. අප සියළු දෙනාට ම මනස් ඇත. එමෙන් ම අප සියළු දෙනාට ම ඇස් කන් ආදී අවයව හා ආශ්‍රිත ඉන්ද්‍රිය වෙයි. ඒ සම්බන්ධයෙන් අප එකිනෙකා අතර සුළු සුළු වෙනස්කම් ඇති නමුත් ප්‍රධාන වෙනස්කම් නැත. එබැවින් මා පුටුවක් ලෙස ගන්නා වස්තුවක් මගේ සංස්කෘතියෙහි ජීවත්වන තවත් අයකුට ද පුටුවක් ලෙස ගැනීමට කියා දිය හැකි ය. එහෙත් වෙනත් සංස්කෘතියකට අයත් කෙනකුට එසේ කියා දීමේ දී ප්‍රශ්න පැන නගියි.

අපි දැනට අනෙක් සංස්කෘතීන් අමතක කළහොත් පැහැදිලි වන කරුණ නම් අප සියළු දෙනාම බොහෝ විට එකම ආකාරයකට මෙන් ලෝකය දකින බව ය. බොහෝ සංස්කෘතීන්හි මෙලෙස එකම ආකාරයකට ලෝකය දැකීම සියළු දෙනා ම ලෝකය එකම අයුරෙන් දකින බව උද්ගමනය කෙරී ඇත. ඉන්පසු ඔවුන් කරන්නේ එකම ආකාරයකට ලෝකය දකින්නේ කාහටත් දැකිය හැකි එකම ලෝකයක් තිබෙන බව අනුමාන කිරීම ය. මේ ලෝකය වාස්තවික යැයි ද නිරපේක්‍ෂ යැයි ද ගැනීම ඉන්පසු කෙරෙන තවත් උද්ගමනයක් පමණක් වෙයි. එතැනින් නොනැවතුණු ඇතැම් සංස්කෘතීන්හි මේ ඊනියා වාස්තවික ලෝකය යම්කිසිවකු විසින් නිරමාණය කර (මවා) ඇති බවට ප්‍රත්‍යක්‍ෂයක් නොවූ හුදු අනුමානයෙන් ලබාගන්නා වූ දැනුමක් ගොඩනගා ගෙන ඇති බව පැහැදිලි ය.

වෛදිකයන් හෙවත් ඊනියා ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර අපේ කලාපයේ, එනම් චීනයේ සිට ලංකාව දක්වාත් එයින් නැගෙනහිරට ජපානය දක්වාත් එවැනි වාස්තවික ලෝකයක් කිසිවකු විසින් මවනු ලැබ ඇති බවට දැනුමක් නිර්මාණය කර ඇති බවක් අපට කිව නො හැකි ය. අපේ කලාපයට නිර්මාණවාදය ගෙන ආවෝ බටහිරින් පැමිණි වෛදිකයෝ ය. නිර්මාණවාදය මැද පෙරදිග යැයි බටහිරයන් විසින් හැඳින්වෙන බටහිර ආසියාවේ නිර්මාණයක් යැයි කිව හැකි ය. බටහිර ආසියාවේ කාන්තාර ප්‍රදේශවල සැම දා දක්නට ලැබෙන්නේ එකම පරිසරයකි. එසේත් නැතහොාත් පරිසරයක් නැති ලෝකයකි. මේ පරිසරය වෙනස් නොවන ලෝකයේ ජීවත්වූවන් ට ඔවුන් සමග ගණුදෙනු කළ දෙවිවරුන් නිර්මාණවාදය පිලිබඳ දැනුම ලබාදෙන්නට ඇත. එසේත් නැතහොත් ඒ පරිසරය වෙනස් නොවන ලෝකයේ ජීවත්වූ ඒ සංස්කෘතියේ බුද්ධිමතුන් නිර්මාණවාදයක් නිර්මාණය කරන්නට ඇත.(13/04/10)

නලින් ද සිල්වා

Sunday, 7 April 2013

ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ

ඊනියා යථාර්ථවාදීන්, භෞතිකවාදීන් (ද්‍රව්‍යවාදීන්) ආදී වශයෙන් තම තමන් හඳුන්වාගන්නා අය ඉතා උද්‍යොගයෙන් හා භක්තියෙන් කියන කතාවක් නම් තමන් ඉන්ද්‍රිය ගෝචර දැනුම පමණක් පිළිගන්නා බව ය. මෙය භක්තියෙන් කියන කතාවක් වනුයේ කිසිවකු මේ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයකට කිසිවක් නොකියන බැවිනි. බටහිර වාසය කරන බටහිර විද්‍යාඥයන්ට අනුව අපට ඇත්තේ ඉන්ද්‍රිය පහකි. මෙරට සිටින බටහිර විද්‍යාඥ්‍රයන් කියන කතා අප සැලකිල්ලට නොගත යුත්තේ ඔවුන් කිසි දිනෙක නව මතයක් ප්‍රකාශකර නොමැති බැවිනි. ඔවුන් කරන්නේ බටහිර විද්‍යාඥයන් කරන කියන දේ නැවත සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ උච්චාරණය කිරීම පමණකි.

අපට අසන්නට ඇති පළමුවැනි ප්‍රශ්නය නම් ඉන්ද්‍රිය පහක් පමණක් ප්‍රමාණවත් වන්නේ කෙසේ දැයි (බටහිර වාසය කරන) බටහිර විද්‍යාඥයන් දන්නේ කෙසේ ද යන්න ය. ඉන්ද්‍රිය පහකින් පමණක් සමස්ත ලෝකය දැනගත හැකි ද? අපට මේ ඉන්ද්‍රිය පහෙන් එකක් අඩුව තිබිණි නම් අපට ලෝකය කෙසේ පෙනේ වි ද? මේ ප්‍රශ්න අසන්නේ බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් සරණ යන්නන්ට ගැලපෙන අයුරින් මිස සිංහල බෞද්ධයන්ට ගැලපෙන අයුරින් නො වේ. සිංහල බෞද්ධයෝ ඊනියා ලෝකයක් ග්‍රහණය කර නො ගනිති. ඔවුහු අවිද්‍යාව නිසා ලෝකයක් නිර්මාණය කරති. කෙසේ වෙතත් අපි ලෝකය ග්‍රහණය කිරීම, දැනගැනීම ආදී ප්‍රකාශන බටහිර විද්‍යාඥයන් අනුකරණය කරන්නන්ගේ පහසුව සඳහා යොදාගනිමු.

අපට කණ යනුවෙන් අවයවයක් හා ඒ ආශ්‍රිත ඉන්ද්‍රියක් නොතිබිණි නම් අප ශබ්දය යනුවෙන් සංකල්පයක් කෙසේ දැනගැනීමට තිබිණි ද? අපට ශබ්දයක් නොඇසෙන ලෝකයක ශබ්දය ඇසෙන සතුන්ගේ ඇතැම් ප්‍රතිචාර ගැන අප කුමක් කීමට ඉඩ තිබිණි ද? ශබ්දය ඇසෙන සතුන් යම් යම් දේ කරන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට බටහිර විද්‍යාඥයන් විවිධ සංකල්ප හා ප්‍රවාද ගොඩනැගීමට තිබිණි.

අනෙක් අතට අපට විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය දැනෙන යම්කිසි අවයවයක් හා ඒ ආශ්‍රිත ඉන්ද්‍රියක් තිබිණි යැයි සිතමු. මෙහි දී අපි සම්මුති වශයෙන් විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයක් ඇතැයි ගනිමු. විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය අපට දැනෙන්නේ නම් අපට එය වෙනස්වන ආකාරයත් දැනිය යුතු ය. බටහිර විද්‍යාඥයන්ට අනුව ආලෝකය යනු විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්වීම් ප්‍රචාරණය කිරීමෙන් ඇතිවන්නකි. අපට විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය වෙනස්වීම සෘජුව දැනෙන ඉන්ද්‍රියක් වේ නම් ආලෝකය යන්න කෙසේ දැනේවි ද?

ආලෝකය යන්න ද අපට ඉන්ද්‍රිය ගෝචර නොවන බව පැහැදිලි කරගත යුතු ය. අප කිසිවකුට ආලෝකය නො පෙනෙයි. අපට පෙනෙන්නේ ආලෝකය පරාවර්තනය නිසා එසේ පරාවර්තනය කරන වස්තු ය. අපට පුටුවක් පෙනෙන්නේ පුටුව මත ආලෝකය වැටී පුටුවෙන් ආලෝකය පරාවර්තනය වීම නිසා ය. අපට පුටුව පෙනෙන නමුත් ආලෝකය නො පෙනෙයි. ආලා්කය යනු බටහිර විද්‍යාඥයන්ට අනුව ෆොටෝනය. ෆෝටෝන යනු ක්වොන්ටම් අංශු ය. අපට ක්වොන්ටම් අංශු සෘජුව දැනගැනීමට හැකි අවයවයක් හා ඒ ආශ්‍රිත ඉන්ද්‍රියයක් නැත.

බටහිර කෝපන්හේගන් විවරණය අනුව අපට සාපේක්‍ෂව ෆෝටෝනයකට ශක්තියක් හා ගම්‍යතාවක් ඇත්නම් අපට සාපේක්‍ෂව එයට කාලයක් හා පිහිටීමක් නැත. එනම් අපට සාපේක්‍ෂව ෆෝටෝනයට කාලයක් හා පිහීිටීමක් ලැබෙන්නේ අප ඒ ගුණ මැනගතහොත් පමණකි. මැනීමට පෙර එවැනි ගුණ ෆෝටෝනයට නැත. අනෙක් අතට විිද්‍යාලංකාර විවරණයට අනුව ෆෝටෝනයට අපට සාපේක්‍ෂව කාල හා පිහිටීම් රාශියක් වෙයි. ඒ කුමක් වුවත් අපට ෆෝටෝනයක් නිරීක්‍ෂණය කළ හැක්කේ එයට අපට සාපේක්‍ෂව එක් පිහිටීමක්, කාලයට එක් අගයක්, එක් ශක්තියක්, එක් ගම්‍යතාවක් පමණක් ඇත්නම් ය. එසේ නොවන අවස්ථාවල දී ,එනම් ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන්, අපට ඒ අංශු හෝ වස්තු හෝ නිරීක්‍ෂණය කළ නො හැකි ය.

ෆෝටෝන ඇතුළු ක්වොන්ටම් අංශු අපේ ඉනද්‍රිය පහට ගෝචර නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයෝ කවොන්ටම් අංශු නැතැයි නො කියති. ඔවුහු එහි පැවැත්ම පිළිගනිති. පවතින යමක් ගෝචර කරගැනීමට නොහැකි ඉන්ද්‍රිය පද්ධතිය අසම්පූර්ණ බව පිළිගැනීමට බටහිර විද්‍යාඥයන්ට වුව ද සිදු වෙයි. බටහිර විද්‍යාඥයන් ඇතැයි කියන ලෝකය තේරුම් ගැනීමට, ග්‍රහණය කරගැනීමට උත්සාහ ගන්නේ මේ අසම්පුර්ණ පද්ධතිය උපයෝගී කරගනිමින් ද?

අපි නැවතත් කලින් ඇසූ ප්‍රශ්නයට යමු. අපට විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය ග්‍රහණය කළහැකි අවයවයක් හා අදාළ ඉන්ද්‍රියයක් නැත. අපට ඒ නො පෙනෙයි. එහෙත් බටහිර විද්‍යාඥයෝ චුම්බකක්‍ෂෙත්‍රයෙහි පැවැත්ම පිළිගනිති. එසේ නම් බටහිර විද්‍යාඥයන් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තුවල පැවැත්ම නොපිළිගන්නා බව පැවසීම ව්‍යාජයක් බව පැහැදිලි විය යුතු ය. අසම්පූර්ණ පද්ධතියක් වූ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර දේ පමණක් පවතින්නේ යැයි බටහිර විද්‍යාඥයන් කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේවල පමණක් පැවැත්ම තහවුරු කිරීමට ය.

පසුගිය සතියේ ඇතැම් මාධ්‍යවේදීන් මගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ කිසිදු සාක්‍ෂියක් නොමැතිව මා නාථ දෙවියන්ගේ හා විපස්සක දෙවියන්ගේ පැවැත්ම පිලිගන්නේ ඇයි ද යන්න ය. එහෙත් මේ මාධ්‍යවේදියෝ කිසිදිනෙක කාදිනල් තුමාගෙන් එවැනි පශ්න නො අසති. ඔවුහු එතුමා කිසිදු සාක්‍ෂියක් නොමැතිව දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගන්නේ ඇයි දැයි නො අසති. මේ සාක්‍ෂි යනුවෙන් මාධ්‍යවේදීන් සලකන්නේ කුමක් දැයි පැහැදිලි නැත. යම්කිසි අංශුවක හෝ වස්තුවක පැවැත්මට අප සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ කෙසේ ද? පඬිවරුන් මෙන් පෙනී සිටින ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නම් මැනවි.

බටහිර විද්‍යාව අනුගමනය කරන අනුකාරකයකු පසුගිය දා කියා තිබුණේ යම්කිසි දෙයක පැවැත්ම පිළිගැනීමට නම් එය එක්කෝ ඉන්ද්‍රිය ගෝචර විය යුතු බව ය. එසේ නොමැති නම් ඒ බලා කියා ගැනීමට උපකරණයක් තිබිය යුතු බව ය. එහෙත් යමක් ඉන්ද්‍රිය ගෝචර නොවේ නම් එය උපකරණයක මාර්ගයෙන් ද බලාගත නොහැකි බව පැහැදිලි කළ යුතු ය. කිසිම විද්‍යාඥයකු ඉලෙක්ට්‍රෝනයක් හෝ ෆෝටෝනයක් හෝ චුම්බක ක්‍ෂෙත්‍රයක් හෝ නිරීක්‍ෂණය කිරීමට උපකරණයක් නිපදවා නැත. උපකරණවලින් කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේ වඩාත් සියුම් ව , විශාලව ආදී වශයෙන් ග්‍රහණය කිරීමට අවස්ථාව ලබාදීම පමණකි.

ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ඉන්ද්‍රීය ගෝචර කිරීමට උපකරණයකට නො හැකි ය. අපට චුම්බක ක්‍ෂෙත්‍රය සෘජුව ග්‍රහණය කළහැකි උපකරණයක් නැත. චුම්බක ක්‍ෂෙත්‍ර මනින උපකරණයකින් චුම්වක ක්‍ෂෙත්‍රය දැකගත නො හැකි ය. අප කරන්නේ චුම්බක ක්‍ෂෙත්‍රයකින් කාන්දමක් (චුම්බකයක්) මත ඇති කෙරෙන බලය මේ යැයි යම් උපකල්පන මත ගණනය කර ඒ බලය නිසා කාන්දම කොපමණ ප්‍රමාණයකින් චලනය වන්නේ දැයි ගණනය කර ඒ චලනය වන ප්‍රමාණය දැනගැනීමට (මැනගැනීමට) උපකරණයක් නිෂ්පාදනය කිරීම ය. අප උපකරණයෙන් මනින්නේ, දකින්නේ චුම්බක ක්‍ෂෙත්‍රය නොවන බව පැහැදිලි විය යුතු ය.

අප උපකරණයෙන කරන්නේ අපේ උපකල්පන, ප්‍රවාද අනුව කරන යම් ගණනයක් සාක්‍ෂාත් කරගැනීම පමණකි. චුම්බක ක්‍ෂෙත්‍රයෙහි තීව්‍රතාව මෙපමණක් නම් චුම්බකය (කාන්දම) මෙපමණ ප්‍රමාණයකින් (කෝණයකින්) හැරිය යුතු යැයි අපේ උපකල්පන මත අපි ගණනය කරමු. අප උපකරණයෙන් කරන්නේ මේ කෝණය දැක බලා ගැනීම හා මැන ගැනීම ය. ඒ හැරෙන්නට අපි චුම්බක ක්‍ෂෙත්‍රය නිරීක්‍ෂණය නො කරමු.

අප අත්දකින්නේ කාන්දම් කෑලි එකිනෙක ආකර්ෂණය කරන බව ය. නැත්නම් විකර්ෂණය කරන බව ය. එසේත් නැත්නම් මාලිමා යන්ත්‍රයක් වැන්නක් පොළොවේ උත්තර ධ්‍රැවය දිශාවට හැරෙන බව ය. මේ අපේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ය. අපට පෙනෙන්නේ එවැනි සංසිද්ධි ය. මේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හෝ ඇතැමුන් කියන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හෝ තේරුම් ගැනීමට අපට අවශ්‍ය වෙයි. තේරුම් ගැනීම යනු කුමක් ද යන ප්‍රශ්නයට දිර්ඝ පිළිතුරක් දිය යුතු නමුත් එය පසුවට කල්තැබීමට සිදු වෙයි.

එහෙත් ඉතා කෙටියෙන් නමුත් තේරුම් ගැනීම යනු ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යම් සංකල්පයක් ප්‍රවාදයක් ඇසුරෙන් විස්තර කිරීම ය. එමෙන් ම කිසිම ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් හුදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නොවන බව අමතක නොකළ යුතු ය. ඇතැම් ද්‍රව්‍යවාදීන් , යථාර්ථවාදීන් ඊනියා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහන් කරන්නේ හුදු සංජානන ලෙස ය. එහෙත් කිසිම සංජානනයක් සංකල්පයකින් තොර නො වෙයි. ඉර පායා ඇත යන්න හුදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එය හුදු සංජානනයක් පමණක් යැයි කිව හැක්කේ මනසක් නැතිව මොළය පමණක් ඇතැයි සිතන මොළය ඇතැයි සිතිය නොහැකි කසිකබල් මනෝ විද්‍යාඥයකුට පමණකි.

අපි ඉහත සඳහන් වාක්‍යය විශ්ලේෂණය කරමු. ඉර යනු සංජානනයක් පමණක් සහිත වස්තුවක් නො වේ. ඉර යන්න නාම පදයකි. එය සංකල්පයකි. ඒ සංකල්පය සමග විවිධ පුද්ගලයන්ට විවිධ දේ බැඳී ඇත. ඇතැමුනට එය ගිනි බෝලයකි. තවත් අයකුට ඒ හිරු දෙවියන් ය. වෙනත් අයකු එය න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා සිදුවන වස්තුවක් ලෙස දකිනු ඇත. මගේ ඉර ඔබේ හිරු නො වේ. හිරු හෙවත් ඉර යන්න සංකල්ප සහිත සංජානනයකි. පායා යන්න ද එසේ ය. එහි ද සංකල්ප වෙයි. ඉර නැගෙනහිරෙන් පායන බව බොහෝ දෙනා දනිති. පායන යන සංකල්පය නැගෙනහිරත් සමග බැඳී ඇත.

ඇතැම් පඬියන්ට නම් පායා ඇත යන්න වැරදි ය. හිරු නො පායයි. සිදුවන්නේ පොළොව තම අක්‍ෂය වටා පරිභ්‍රමණය වීම ය. ඔවුන්ට අනුව ඉර පායා ඇත යන්නෙන් කියැවෙන්නේ පොළොවේ අප සිටින පැත්ත ඉර දෙසට හැරී තිබීම ය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඉර පායා ඇත යන්න හුදු සංජානනයක් නොව සංකල්ප රාශියක් සමග බැඳී ඇති සංජානනයක් බව ය. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධිය යන්න ෆැක්ට් (fact) යන ඉංගිරිසි වචනය සඳහා කාලෝ ෆොන්සේකා මහතාගේ ආරාධනයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා තැනූ ප්‍රකාශයක් යැයි කියැවෙයි. ෆැක්ට් යන වචනය මෑතක් වන තුරුම ඉංගිරිසි භාෂාවේ යොදා ගැණුනේ හුදු සංජානනයක් වෙනුවෙනි. ඒ සඳහා තනි සිංහල වචනයක් තිබී නැත. කෙසේ වෙතත් මෑතක සිට ඇතැම් බටහිරයන් ෆැක්ට්ස් යනු සංකල්ප හා ප්‍රවාද සමග සම්බන්ධ වූ ප්‍රවාද මත පරායත්ත වූ දේ ලෙස සැලකීමට පටන්ගෙන ඇත.

සිංහලයන්ට ෆැක්ට් යන්නට තනි වචනයක් නැත්තේ ආදි සිංහලයන් එවැනි හුදු සංජානන නොමැති බව දැන සිටි නිසා බව පැහැදිලි ය. නැති දෙයකට වචනයක් කුමකට ද? එහෙත් අද ජීවත්වන උගතුන් යැයි කියන අනුකාරකයන්ට බටහිරයන් ඇතැයි සිතන එහෙත් නැති දේට ද වචන තනාගැනීමට සිදු වී ඇත!

Monday, 24 December 2012

මනසේ පැවැත්ම

සිත මිස කය නැති බඹුන්ගේ මනස් අපට සාපේක්‍ෂව වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි අපි කීවෙමු. ඒ බඹුන්ගේ මනස් හෝ මනසක් හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන්ගේ මනස් තබා ඔවුන්ගේ සිත් වුව ද මනසටවත් ගෝචර නො වේ. එබැවින් බඹුන්ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත්කල බඹුන්ගේ සිත් ද අපට වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස් ගැන කිව හැක්කේ කුමක් ද? එමෙන් ම අපට අපේ මනස් ගැන කිව හැක්කේ කුමක් ද? අප මනස යනුවෙන් අදහස් කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක් ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක් වෙයි. මට දිගින් දිගට ම සිත් පහළවන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නොලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියැවෙන්නේ අනෙකකුගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නොලැබූවකුට වියුක්ත සංකල්පයක් බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකුගේ සිත් ගැන කිව හැක්කේ කුමක් ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක් අයකුගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුගේ සිතට අනෙක් අයගේ සිත් ගෝචර වෙයි. එයින් කියැවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක් අයගේ සිත් චෛතසික සංකල්පයක් වන බව ය.

පරචිත්ත විජානන ඥානය නොලැබුවකුට අනෙක් අයකුගේ සිත් වියුක්ත සංකල්පයක් වුවත් තම සිත චෛතසික සංකල්පයක් වෙයි. ඒ තමාගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්ත සංකල්පයක් නොවන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් යොදා නොගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අයගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයනට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නොවන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන්ගේ සංකල්ප ගැන කිව හැක්කේ කුමක් ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්ත සංකල්පයක් ඇති වන්නේ මනස හා අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ එකතුවීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්‍රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්‍රත්‍යක්‍ෂයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤූන් වහන්සේ ය. මම එවැනි බඹලොවක් ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්‍රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරදි නොවිය හැකි ය. මා කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා ද යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක් කියැවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්‍රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළහොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණ සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක් එය පිළිගනිමි. එසේ නොමැතිව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැත්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභී ද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට අමනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නොවනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නොව ඔවුන්ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යැයි ගැනීමට සිදුවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නොපෙනෙන්නේ ද එබැවින් යැයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචරවනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්සේ ඒ පිළිබඳ කරුණු විමසීමට කිසිවකුට අවස්ථාව ඇත. දෙවියන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්‍රිය හා අවයව ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඈසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් දැනට අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්ත, චෛතසික හා වියුක්ත සංකල්ප යන වර්ගීකරණය ආශ්‍රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියැවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක් පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්‍ෂව තම තමන්ගේ මනස චෛතසික සංකල්පයක් ලෙස ද අනෙක් අයගේ මනස වියුක්ත සංකල්පයක් ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක් අයගේ මනස් ද තමන්ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක් නොවන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යෑමට සිදුවෙයි. අනෙක් මිනිසුන්ට මනස් ඇති බව අප දන්නේ කෙසේ ද? එක්කෝ ඒ බව අපේ විඤ්ඤුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක් මිනිසුන්ට මනස් ඇති බව, සාමාන්‍ය මිනිසුන්ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක් වෙයි. එනම් පඤ්ඤත්තියක් වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක් මිනිසුන්ට මනස් ඇති බව එක්කෝ උපකල්පනය කිරීමට සිදුවෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදුවෙයි. එසේත් නැතහොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදුවෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මට මනසක් ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක් තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්, අනුමානයක් (ඉනෆඑරඑනචඑ) වෙයි. එවිට අනෙක් මිනිසුන්ට ද මනස් ඇති බව අනුමානයක් මිස සංකල්පයක් නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙන් (සයලලඔගඉසම) වෙනස් වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියළු මිනිසුන්ට මනස් ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක් ඇත. මේ නිගමනයක් ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියළු මිනිසුන්ට මනස් ඇත යන්න මත ය. සියළු මිනිසුන්ට මනස් ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියළු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක් මනසින් ස්වායත්ත ව පවතින බවක් නො කියැවෙයි. පුටුවක් මේසයක් මගේ මනසින් ස්වායත්ත ව නොපවතියි. මගෙන් ස්වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැතිව අපට නිරීක්‍ෂකයන් ලෙස කිසිවක් නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක් නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක් ලෙස එය ශූන්‍ය වෙයි.

පුටුවක්, මේසයක්, බල්ලකු, බළලකු මනසෙන් තොරව, මනසෙන් ස්වායත්ත ව නොපවතී නම් මනස මනසෙන් තොරව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස් දෙකක් ගැන මනස්ගාතයක් කීමට සිදුවනවා පමණක් නොව සංකල්ප තනන මනස හා වෙනත් මනසක් ගැන කීමට ද සිදුවෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්‍ෂ වෙයි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස මනසට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්‍රචාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අපි බොහෝ අවස්ථාවල කියා ඇත්තෙමු. එයින් කියැවෙන්නේ එය මනසටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක් නොව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නොවන කාලයෙහි ක්‍ෂණයක් යනු කුමක් ද? ක්‍ෂණයක් යන්න අර්ථදක්වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යුණක කොටසක්, ඉතා කුඩා කොටසක් ලෙස සැලකෙන ක්‍ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක් පවතින කාලය අනුව ක්‍ෂණය තේරුම් ගැනතමට උත්සාහ ගනිති. එහෙත් සිතක් පවතින කාලය කුමක් ද? සිත් පරම්පරාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? එක් සිතක් ඊළඟ සිතෙන් වෙනස්වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරදි යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්‍ෂණයකටවත් නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්‍ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක් ඇතිවිය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්‍ෂණයකවත් තිබූ මනසක් නැතිවෙයි. මෙය උච්ඡෙදවාදය වෙයි. ඇතිව තිබූ යමක් නැතිවීම උච්ඡෙදවාදය මිස අනෙකක් නො වෙයි. අනෙක් අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක් නිරක්‍ෂකයාගෙන් ස්වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියැවෙන්නේ ශාස්වතවාදයයි. මනස ක්‍ෂණයකට පවතින්නේ යැයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යැයි ගත්ත ද අපි එක්කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්වතවාදයට හසුවන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙකම බැහැර කිරීමට ය.