Main Logo

Showing posts with label පඤ්ඤත්ති. Show all posts
Showing posts with label පඤ්ඤත්ති. Show all posts

Sunday, 7 April 2013

මේ දැන් හෙවත් තව ටිකකින්

සිංහලයන්ට ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හැඳින්වීම සඳහා වචනයක් තිබී නැති බව පැහැදිලි ය. එපමණක් නොව සිංහල භාෂාවේ වර්තමාන කාලය හඟවන ක්‍රියා පද ද නැත. සිංහලයේ ඇත්තේ අතීත කාලයක් හා අනාගත කාලයක් පමණකි. සිංහලයේ ඇත්තේ අතීත හා අනතීත කාල පමණක් බව කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දී ඇත. ඒ අනතීත කාලය යනු අනාගත කාලය මිස වර්තමාන කාලය නො වේ. මම යමි හා මම යන්නෙමි අතර ඇති වෙනස කුමක් ද? සිංහලයේ වර්තමාන කාලයක්, එනම් වර්තමාන කාලය සඳහා රූපයක් නැත්තේ වර්තමානය යනු අතීතය හා අනාගතය වෙන් කරන මොහොත පමණක් වීම නිසා ය. ඒ මොහොත මෙපමණ කාලයක් යැයි අර්ථදැක්විය හැකි නො වේ. අපට අවශ්‍ය පරිදි ඒ මොහොත හෙවත් ක්‍ෂණය කුඩා කර ගත හැකි ය. පැන්සල් තුඩ තව තවත් සිහින් කළ හැකි අයුරින් ක්‍ෂණය ද තව තවත් කුඩා කළ හැකි ය.

ක්‍ෂණය යනු කුමක් දැයි අර්ථදැක්විය හැකි අයකු ඇත්නම් ඒ චතුස්කෝටික න්‍යාය යොදාගන්නා අයකු විය යුතු ය. අවශ්‍ය නම් ක්‍ෂණයක් යනු කාලාන්තරය ශූන්‍ය හා ශූන්‍ය නොවූවක් යැයි කිව හැකි ය. එහෙත් එය ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය) ගෝචර ලෝකය සඳහා වැදගත් නො වේ. ක්‍ෂණයක් යනුවෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් අර්ථදැක්වීය නොහැකි බැවින් සිංහලයන් ක්‍ෂණය ද වර්තමානය ද ඉවත දමන්නට ඇත. තුන්වැනි සංගායනාවෙන් අප ලද ක්‍ෂණවාදය එතරම් ජනතාව අතරට ගිය බවක් නො පෙනෙයි.

ක්‍ෂණයක් යනුවෙන් පවත්නා දෙයක් (කාල පරිච්ඡෙදයක්) නැති බව සිංහලයන් තේරුම් ගන්නට ඇත්තේ ඔවුන් බෞද්ධයන් වීමට ද පෙර විය යුතු ය. එබැවින් ථෙරවාදයෙහි සඳහන් ක්‍ෂණවාදයට ලංකාවේ වැදගත් කමක් හිමි වී ඇති බවක් නො පෙනෙයි. වර්තමානය සඳහා ක්‍රියා පද රූපයක් සිංහලයෙහි නොමැති වුවත් පාළි භාෂාවෙහි එසේ ඇති බව පැහැදිලි ය. අප ගච්ඡාමි යනුවෙන් නිතර සඳහන් කරන පදය යමි යන්න සඳහා යෙදෙයි. එය පාළි භාෂාවෙහි අදාළ ක්‍රියා පදයෙහි වර්තමාන රූපය වෙයි. එහි අතීත රූපය ගච්ඡති ද අනාගත රූපය ගච්ඡන්ති වෙයි. ගච්ඡාමි හා ගච්ඡන්ති අතර වෙනසක් තිබුණ ද, යමි හා යන්නෙමි අතර වෙනස කුමක් ද?

පාළි භාෂාවෙහි ආභාසය ලැබීමට පෙර වර්තමානය හා අනාගතය සඳහා සිංහලයෙහි තිබූ රූප කවරේ ද යන්න සොයා බැලීමට මෙරට විද්වතුන් උනන්දුවන්නේ නම් මැනවි. කෙසේ වෙතත් සිංහලයන් වර්තමානයක් යනුවෙන් අර්ථදැක්විය හැකි කාලයක් නැති බව තේරුම් ගන්නට ඇත. වර්තමානය යන්න ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. වර්තමානය යනු මේ යැයි අපට කිව හැකි ද? ඒ නැති නිසා ම දෝ සිංහලයෙහි මේ දැන් යනුවෙන් ව්‍යවහාරයක් වෙයි. එහෙත් අපේ මේ දැන් යන්න ද තවත් විනාඩි කිහිපයකින් සිදුවන්නක බව අපි දනිමු.

වර්තමානය යනුවෙන් කාලයක් පවතින්නේ යැයි ගැනීම ප්‍රත්‍යක්‍ෂයක් නොව අනුමානයකි. අතීතය පසු වී ඇත. එය පඤ්ඤත්තියක් වශයෙන් ප්‍රත්‍යක්‍ෂයක් ලෙස අත්දැක ඇත. අනාගතය ඒමට ඇත. එය ද අපට පඤ්ඤත්තියක් ලෙස ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි ය. වර්තමානය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. මේ දැන් යන්නෙහි අප මේ යන්න කියන විට ද දැන් යන්න අනාගතයෙහි වෙයි. එබැවින් සිංහලයන්ගේ මේ දැන් යන්න ද තව විනාඩි කිහිපයකින්, ඇතැම් විට පැයකින් දෙකකින් වීම පුදුමයක් නො වේ. ක්‍ෂණවාදය පාළියෙන් කිවහැකි වුව ද සිංහලෙන් කීම ප්‍රශ්නයක් වෙයි.

වර්තමානය යනු අතීතයෙහි හා අනාගතයෙහි ඡෙදනය පමණක් යැයි සිතිය හැකි ය. එය පඤ්ඤත්තියක් ලෙස වුව ද ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට තරම් කාලයක් නැත. අතීතය අනාගතයට වෙනස් වන (හැරෙන) ලක්‍ෂ්‍යයක් කාල රෙඛාවෙහි (කාලය සෘණ ඉතා විශාල සංඛ්‍යාවක සිට ධන ඉතා විශාල සංඛ්‍යාවක් දක්වා විහිදෙන්නේ යැයි උපකල්පනය කරමින් අඳීන රේඛාව) ඇතැයි අපි සිතමු. එය අනුමානයක් පමණක් වන්නේ එබැවිනි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වෙයි. එනම් කාලයෙහි වර්තමානය පමණක් නොව කාලය යන සංකල්පය ම පඤ්ඤත්තියක් පමණක් බව ය. වර්තමානය යනු එක අතෙකින් ගත්කල සීමාකාරී ලක්‍ෂ්‍යයකි.

ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ ද? එය මාර්ටින් වික්‍රමසිංහ මහතා ෆැක්ට්ස් යන්න සඳහා තැනූ ප්‍රකාශයක් යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ෆැක්ට්ස් යන්න ඉංගිරිසියෙහි යෙදෙන්නේ කලින් සඳහන් කර ඇති පරිදි ඉර පායා ඇත ආදී ප්‍රකාශවලින් කියැවෙන්න ගොනු කර ගැනීම සඳහා ය. එහෙත් ඒවා ද හුදු සංජානන නොවන බව අපි දුටුවෙමු. බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් තේරුම් නොගන්නා කාරණයක් නම් හුදු සංජානන නොමැති බව ය. හුදු සංජානන ඇතැයි යන්න හුදු බොරුවක් පමණකි.

රසල් යනු ලොව පුරා ප්‍රසිද්ධියට පත් කෙරුණු (විශේෂයෙන් ම ඉංගිරිසි ජනමාධ්‍ය මගින්) දාර්ශනිකයකු වුවත් ඔහු දැනුම නිර්මාණය කළේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පදනම් වෙමින් යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ඔහුගේ ඊනියා විවෘත මනස විවෘත මනසක් නොමන බව පැහැදිලි ය. විවෘත මනස් ඇත්තේ මියගිය අයට ය. බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින් විසින් ප්‍රසිද්ධියට පත්කෙරෙන බුද්ධිමතුන්, කතුවරුන්, ක්‍රීඩකයන්, නළු නිළියන් ආදීන් ගැන අප දෙවරක් නොව කිහිපවරක් සිතා බැලිය යුතු ය.

රසල් සිතුවේ ඔහුගේ සංස්කෘතියෙහි ය. ඒ සංස්කෘතිය කෙතරම් වියුක්ත වුවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් පදනම් කරගනියි. කතෝලික සංස්කෘතිය පදනම් වූ කතෝලික චින්තනය සංයුක්ත වූවකි. අප බොහෝ අවස්ථාවල පවසා ඇති පරිදි ආසියාවේ, විශේෂයෙන් ම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිර කතෝලික සංස්කෘතියට අවශෝෂණය කර ගැනීම බටහිරයන්ට ප්‍රශ්නයක් විය. ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම ද ඉන්ද්‍රිය ගෝචර විය. එහෙත් මෙහි දී ඉන්ද්‍රිය වූයේ මනස ය. බටහිරයන්ට මනස ඉන්ද්‍රියයක් නො වේ.

අපට මනස ද ඉන්ද්‍රියයකි. මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රිය පහ ඔස්සේ ලබාගන්නා දැනුමට බටහිරයෝ ඉන්ද්‍රිය ගෝචර දැනුම යැයි කියති. ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ද බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙහි කොටසකි. මේ දැනුම් සංකල්පවලින් ස්වායත්ත යැයි බටහිරයෝ උපකල්පනය කරති. එහෙත් පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා කිසිම දැනුමක් (සංජාන, ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇතුළුව) සංකල්පවලින් ස්වායත්ත නො වේ. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙන් ය. පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගන්නා සියළු දැනුම මනස සමග බැඳී ඇත. බටහිරයන්ගේ පංචෙන්ද්‍රියවලට මනසෙන් තොරව කිසිම දැනුමක් නිර්මාණය කළ නො හැකි ය.

එහෙත් මනසට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව දැනුම නිර්මාණය කළ හැකි ය. මනස හා අනෙක් ඉන්ද්‍රිය අතර ඇති මේ ප්‍රධාන වෙනස බටහිරයන්ට තේරුම් ගත නො හැකි ය. එයට ප්‍රධානම හේතුවක් වනුයේ බටහිරයන් මනස ඉන්ද්‍රියයක ලෙස නො සැලකීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිරයෝ අද බටහිරයෝ මනසෙහි පැවැත්ම ද ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට මනස යන්න මොළය නමැති අවයවයට ඌනනය කළ හැකි ය. බටහිරයන්ට ඉන්ද්‍රියයක් හා අවයවයක් අතර වෙනසක් ඇති බව තේරුම් ගත නො හැකි ය.

එයට ද හේතුව මනස ඉන්ද්‍රියයක් ලෙස නො සැලකීම ය. කණ යනු අවයවයකි. එහෙත් කණ තිබූ පමණින් අපට ශබ්ද නො ඇසෙයි. ශබ්ද ඇසීමෙහි දී මනස වැදගත් වෙයි. කණ මනස සමග එකතු නොවන්නට ශ්‍රවණෙන්ද්‍රියයක් නැත. එහෙත් මනෙන්ද්‍රියට පැවතීමට (සම්මුති අර්ථයකින්) වෙනත් ඉන්ද්‍රියක් හෝ අවයවයක් හෝ අවශ්‍ය නො වේ. මනෙන්ද්‍රියෙහි පැවැත්මට මොළය අවශ්‍ය නො වේ. සිත මිස කය නැති බඹ ලොව පවතින්නේ මනසෙහි පැවැත්මට මොළය හෝ වෙනත් අවයවයක් හෝ අනවශ්‍ය බැවිනි. මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියක සම්මුති වශයෙන් වුවත් පැවැත්මට මනෙන්ද්‍රිය මෙන් ම යම්කිසි අවයවයක් ද අවශ්‍ය වෙයි.

සංකල්පවලින් තොරව සංජානන නොපවතින බව බටහිරයෝ තේරුම් නොගනිති. රසල් නිල්බවක් ගැන සඳහන් කළේ නිල්යන සංකල්පයෙන් තොරව නිල්බව (බලඋඉසහනඑසස) නම් සංජානනයක් ඇතැයි ගැනීමෙනි. නිල්බව යන්න නිල් නම් සංකල්පය සමග බැඳී ඇත. අප ගිය සතියේ ද සාකච්ඡා කළ ආකාරයට හුදු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ නැත. සිංහලයන් ඒ බව දැන සිටියාට සැකයක් නැත. නැති වර්තමානයකට ක්‍රියා රූපයක් නොතැනූ සිංහලයෝ නැති (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට ද වචනයක් නිර්මාණය නො කළහ. මාර්ටින් වික්‍රමසිංහ මහතාටවත් කාලෝ ෆොන්සේකා මහතාටවත් ඒ බව අවබෝධ නොවීම පුදුමයට කරුණක් නො වේ.

අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුම බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් වෙනස් වෙයි. අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුමට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ලබාගන්නා දැනුම ද අයත් වෙයි. පැරණි භාරතීයයන් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහවස්තු චලනය වන බව දැනගත්තේ ආධ්‍යාත්මික ව බව පැහැදිලි ය. ඔවුන් එය එක්කෝ සෘජුව ලබාගන්නට ඇත. එසේත් නැත්නම් දෙවියන්ගෙන් භූතයන්ගෙන් ආදි වශයෙන් වූ ප්‍රාණීන්ගෙන් ලබාගන්නට ඇත. කෙසේ ලබාගත්ත ද ඒ පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගත් දැනුමක් නො වී ය.

පහළොස්වැනි සියවසට පෙර යුරෝපයේ ද දෙවියන්ගෙන් ආදී වශයෙන් දැනුම ලබාගත් බවට සාක්‍ෂි වෙයි. එහෙත් ඉන්පසු ඒ හැකියාව බටහිරයන්ට සමස්තයක් ලෙස අහිමි වී ඇත. භාරතයෙන් යුරෝපයට ගිය ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිරයන්ට තම සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට මගක් නො වී ය. ඔවුන් වියුක්ත දැනුම් නිර්මාණයට පෙළඹුණේ භාරතීය දැනුම අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම නිසා යැයි අපේ ප්‍රවාදයක් වෙයි.

කෙසේ වෙතත් ඊනියා (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හා දැනුම බටහිරයන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) නොහැකි වීම නිසා ඇති වූ සංකල්පයක් වෙයි. ඔවුන්ගේ ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් හා දැනුම ද වෙයි. ඒ අන්කිසිවක් නොව ඔවුන් නිර්මාණය කරන වියුක්ත දැනුම ය. වියුක්ත දැනුම (පංච)ඉන්ද්‍රිය ගෝචර නො චේ. සාධාරණ හෙවත් පොදු පුටුවක් ඉන්ද්‍රිය ගෝචර නො වේ. එපමණක් නොව පොදු පුටුව සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. එය හුදෙක් මනසින් නිර්මාණය කරගන්නා සංකල්පයකි. ඒ කිසිසේත් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් බටහිරයෝ ඒ පිළිබඳ කතා නොකිරීමට වග බලාගනිති.

Monday, 24 December 2012

මනසේ පැවැත්ම

සිත මිස කය නැති බඹුන්ගේ මනස් අපට සාපේක්‍ෂව වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි අපි කීවෙමු. ඒ බඹුන්ගේ මනස් හෝ මනසක් හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන්ගේ මනස් තබා ඔවුන්ගේ සිත් වුව ද මනසටවත් ගෝචර නො වේ. එබැවින් බඹුන්ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත්කල බඹුන්ගේ සිත් ද අපට වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස් ගැන කිව හැක්කේ කුමක් ද? එමෙන් ම අපට අපේ මනස් ගැන කිව හැක්කේ කුමක් ද? අප මනස යනුවෙන් අදහස් කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක් ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක් වෙයි. මට දිගින් දිගට ම සිත් පහළවන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නොලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියැවෙන්නේ අනෙකකුගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නොලැබූවකුට වියුක්ත සංකල්පයක් බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකුගේ සිත් ගැන කිව හැක්කේ කුමක් ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක් අයකුගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුගේ සිතට අනෙක් අයගේ සිත් ගෝචර වෙයි. එයින් කියැවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක් අයගේ සිත් චෛතසික සංකල්පයක් වන බව ය.

පරචිත්ත විජානන ඥානය නොලැබුවකුට අනෙක් අයකුගේ සිත් වියුක්ත සංකල්පයක් වුවත් තම සිත චෛතසික සංකල්පයක් වෙයි. ඒ තමාගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්ත සංකල්පයක් නොවන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් යොදා නොගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අයගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයනට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නොවන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන්ගේ සංකල්ප ගැන කිව හැක්කේ කුමක් ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්ත සංකල්පයක් ඇති වන්නේ මනස හා අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ එකතුවීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්‍රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්‍රත්‍යක්‍ෂයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤූන් වහන්සේ ය. මම එවැනි බඹලොවක් ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්‍රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරදි නොවිය හැකි ය. මා කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා ද යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක් කියැවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්‍රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළහොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණ සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක් එය පිළිගනිමි. එසේ නොමැතිව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැත්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභී ද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට අමනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නොවනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නොව ඔවුන්ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යැයි ගැනීමට සිදුවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නොපෙනෙන්නේ ද එබැවින් යැයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචරවනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්සේ ඒ පිළිබඳ කරුණු විමසීමට කිසිවකුට අවස්ථාව ඇත. දෙවියන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්‍රිය හා අවයව ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඈසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් දැනට අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්ත, චෛතසික හා වියුක්ත සංකල්ප යන වර්ගීකරණය ආශ්‍රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියැවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක් පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්‍ෂව තම තමන්ගේ මනස චෛතසික සංකල්පයක් ලෙස ද අනෙක් අයගේ මනස වියුක්ත සංකල්පයක් ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක් අයගේ මනස් ද තමන්ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක් නොවන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යෑමට සිදුවෙයි. අනෙක් මිනිසුන්ට මනස් ඇති බව අප දන්නේ කෙසේ ද? එක්කෝ ඒ බව අපේ විඤ්ඤුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක් මිනිසුන්ට මනස් ඇති බව, සාමාන්‍ය මිනිසුන්ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක් වෙයි. එනම් පඤ්ඤත්තියක් වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක් මිනිසුන්ට මනස් ඇති බව එක්කෝ උපකල්පනය කිරීමට සිදුවෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදුවෙයි. එසේත් නැතහොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදුවෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මට මනසක් ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක් තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්, අනුමානයක් (ඉනෆඑරඑනචඑ) වෙයි. එවිට අනෙක් මිනිසුන්ට ද මනස් ඇති බව අනුමානයක් මිස සංකල්පයක් නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙන් (සයලලඔගඉසම) වෙනස් වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියළු මිනිසුන්ට මනස් ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක් ඇත. මේ නිගමනයක් ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියළු මිනිසුන්ට මනස් ඇත යන්න මත ය. සියළු මිනිසුන්ට මනස් ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියළු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක් මනසින් ස්වායත්ත ව පවතින බවක් නො කියැවෙයි. පුටුවක් මේසයක් මගේ මනසින් ස්වායත්ත ව නොපවතියි. මගෙන් ස්වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැතිව අපට නිරීක්‍ෂකයන් ලෙස කිසිවක් නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක් නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක් ලෙස එය ශූන්‍ය වෙයි.

පුටුවක්, මේසයක්, බල්ලකු, බළලකු මනසෙන් තොරව, මනසෙන් ස්වායත්ත ව නොපවතී නම් මනස මනසෙන් තොරව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස් දෙකක් ගැන මනස්ගාතයක් කීමට සිදුවනවා පමණක් නොව සංකල්ප තනන මනස හා වෙනත් මනසක් ගැන කීමට ද සිදුවෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්‍ෂ වෙයි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස මනසට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්‍රචාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අපි බොහෝ අවස්ථාවල කියා ඇත්තෙමු. එයින් කියැවෙන්නේ එය මනසටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක් නොව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නොවන කාලයෙහි ක්‍ෂණයක් යනු කුමක් ද? ක්‍ෂණයක් යන්න අර්ථදක්වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යුණක කොටසක්, ඉතා කුඩා කොටසක් ලෙස සැලකෙන ක්‍ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක් පවතින කාලය අනුව ක්‍ෂණය තේරුම් ගැනතමට උත්සාහ ගනිති. එහෙත් සිතක් පවතින කාලය කුමක් ද? සිත් පරම්පරාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? එක් සිතක් ඊළඟ සිතෙන් වෙනස්වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරදි යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්‍ෂණයකටවත් නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්‍ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක් ඇතිවිය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්‍ෂණයකවත් තිබූ මනසක් නැතිවෙයි. මෙය උච්ඡෙදවාදය වෙයි. ඇතිව තිබූ යමක් නැතිවීම උච්ඡෙදවාදය මිස අනෙකක් නො වෙයි. අනෙක් අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක් නිරක්‍ෂකයාගෙන් ස්වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියැවෙන්නේ ශාස්වතවාදයයි. මනස ක්‍ෂණයකට පවතින්නේ යැයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යැයි ගත්ත ද අපි එක්කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්වතවාදයට හසුවන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙකම බැහැර කිරීමට ය.

සිත මිස කය නැති බඹලොව මනස

මනස මනසට ගෝචර වන්නේ ද යන්න ප්‍රශ්නයකි. අපට පහළවන්නේ චිත්ත ය. අපි මනසට හා තවත් ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ ගෝචර වන සංකල්ප සංයුක්ත සංකල්ප ලෙස හඳුනාගත්තෙමු. වෙනත් ඉන්ද්‍රියයක් නොමැතිව මනසට පමණක් ගෝචර වන, එනම් මනසින් මවාගත හැකි සංකල්ප වියුක්ත සංකල්ප ලෙස වර්ගීකරණයට ලක්කළෙමු. මනසට ගෝචර නොවන එනම් මනසින් මවාගත නොහැකි සංකල්පවලට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි කීවෙමු.

අප එසේ තීරණය කරන්නේ අප මාර්ගඵල ලබා ඇති බැවින් දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. අප ප්‍රශ්න අසන්නේ ද පිළිතුරු දෙන්නේ ද මූලික වශයෙන් ගත්කල ලෞකිකත්වය හා සම්බන්ධ වූ දේ ගැන ය. මනස යනු ලෞකික සංකල්පයක් මිස අනෙකක් නො වේ. මනස ලෝකෝත්තරය හා සමග බැඳෙන්නේ නිවන් අවබෝධ වීමේ දී මනසක් ඇත්නම් එයට කුමක් වන්නේ ද යන්න සාකච්ඡා කිරීමේ දී ය. එසේ ලෞකිකවත් සාකච්ඡා කිරීම නොකළ යුතු දෙයක් යැයි ඇතැම් පඬිවරු පවසති. ඔවුන්ගේ මතය වී ඇත්තේ මනස වැනි දේ සම්බන්ධයෙන් සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම, තැනීම නුසුදුසු බව ය.

එහෙත් ඔවුන් ඒ නුසුදුසු යැයි කියන්නේ අපට ය. එයට හේතුව අප මාර්ගඵල ලාභීන් නොවීම ය. එසේ වුවත් බදුදහමට අටුවා සපයා ඇත්තේ මාර්ගඵල ලාභීන් පමණක් යැයි අපි නො සිතමු. අනෙක් අතට අප බොහෝ විට කියා ඇති පරිදි ලෞකික සංකල්ප සම්බන්ධයෙන් මාර්ගඵල ලාභීන්ට ද වැරදි සිදු විය හැකි ය. අද අවසේ අපේ කාර්යභාරය විය යුත්තේ මෑතක දී ලියැවුණු අභිධර්ම පොතපතින් එහාට නොගොස් මෙතෙක් ලියැවී ඇති පොතපතෙහි සඳහන් කරුණු පුනරුච්ඡාරණය කිරීම පමණක් ද?

එහෙත් ඒ පොතපත වුව ද අප එකිනෙකා කියවන්නේ ඒ ඒ අයට සාපේක්‍ෂව එක් එක් අයුරෙන් ය. එවිට අප එකිනෙකාගේ ඒ සම්බන්ධ අදහස් ද වෙනස් වන බව අමුතුවෙන් කිවයුතු නො වේ. එමෙන් ම මේ අය නොදන්නා කරුණක් නම් පොතක් කියවීම යනු ද නිර්මාණයක් බව ය. ලෝකයේ හුදු කියවීම් නැත. සෑම කියවීමක් ම නිර්මාණයක් වෙයි. එකිනෙකාගේ කියවීම් වෙනස් වන්නේ ද මේ නිර්මාණකරණය හේතුකොටගෙන ය.

අප මනස ඇතුළු සංකල්ප සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රවාද නිර්මාණය නොකළ යුතු යැයි පවසන්නෝ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ආදිය පිළිබඳ ව සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම ප්‍රතික්‍ෂෙප නො කරති. ඔවුහු ඇතැම් විට ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා සිටීනු පමණක් නොව ඒ මත පුනරුච්ඡාරණය ද කරති. මෙයටත් වඩා කුහක කමක් වේ ද?. අග්ගඤ්ඤ සූත්‍රය මත පිහිටා නව දැනුම් නිර්මාණය නොකර ඩාවින්ගේ පරිණාමවාදය ගැන සාඩම්බරයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ කතාකිරීමට ද වඩා මනස පිළිබඳ බටහිර ප්‍රවාද හා සංකල්ප දෙස බෑම භයානක ය.

මනස එය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරෙන් ගෝචර වන්නක් නො වේ. එබැවින් මනස යන්න සංයුක්ත සංකල්පයක් නො වෙයි. පසුගිය ලිපියෙහි මනස සංයුක්ත සංකල්පයක් යැයි ප්‍රකාශ කර තිබුණේ වැරදීමකිනි. මනස යන්න කිසිසේත්ම ඇස කණ ආදී වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරු කොට ගෝචර වන්නක් නො වේ. එබැවින් එය සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. අපට තීරණය කිරීමට ඇත්තේ මනස යන්න චෛතසික සංකල්පයක් ද නැත්නම් පඤ්ඤත්තියක් ද යන්න ය.

මනස යනු සරල රේඛාවක් හෝ කාලය වැනි සංකල්පයක් ද? සරල රේඛාවක් හෝ කාලය හෝ මනසෙන් මවාගත හැකි නො වේ. පළලක් හෝ ඝනකමක් හෝ නොමැති රේඛාවක් සිතෙන් මවා ගන්නේ කෙසේ ද? කාලය ද එසේ මනසෙන් මවාගත නොහැකි සංකල්පයකි. ඒ සංකල්ප දෙකම පඤ්ඤත්ති වෙයි. එහෙත් පරසතු මලක් යන්න මනසෙන් මවාගත හැකි මනසට ගෝචර වන සංකල්පයකි.

මනස යන්න මනසෙන් මවාගත හැකි ද? මනස අපෙන් තොරව පවතින්නක් ද යන ප්‍රශ්නය හමුවේ බොහෝ දෙනා කම්පනය වෙති. එහෙත් බොහේ පඬිවරුන් මාර්ගලාභීන් යැයි කියන්නන්ගේ කෘති උපුටා දක්වමින් කියන්නේ මනස අපෙන් තොරව පවතින බව ය. අපෙන් තොරව යන්නෙන් අදහස් කරන්නේ මනස මනසෙන් ස්වායත්ත බව ය. මනසට මනස නැතිව පැවතිය හැකි ද? එසේ නම් මනස පවතින්නේ කොහේ ද? කෙසේ ද?

එසේත් නැත්නම් ඒ ප්‍රශ්නය වැරදි ද? මනස පවතින්නේ ද යන ප්‍රශ්නය ම වැරදි ද? එහෙත් සාපේක්‍ෂවවත් පවතින මනසක් ගැන අපි දනුමු. එබැවින් මනසේ පැවැත්ම ගැන කතාකිරීම වරදක් නො වේ. ප්‍රශ්නය වන්නේ මනසේ පැවැත්ම නොව මනස පවතින්නේ සාපේක්‍ෂව ද නිරපේක්‍ෂව ද යන්න ය. මනස නිරපේක්‍ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? මලක් නිරපේක්‍ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම එය නිරීක්‍ෂකයා ඇතත් නැතත් පවතින්නේ ය යන්න ය. එහෙත් ඒ එසේ නො වේ. නිරීක්‍ෂකයාගේ මනස නොමැතිව මලක් යන සංකල්පය හට නොගනියි. එබැවින් නිරීක්‍ෂකයකු නොමැති ව මලක් නොපවතියි. යමකු එසේ පවතින්නේ යැයි කිවහොත් එය උද්ගමනයක් මිස අනෙකක් නො වේ.

සියළු උද්ගමන මනසෙන් කෙරෙයි. මෙහි සියළු යනුවෙන් කී විට එය ද උද්ගමනයක් වෙයි. අපට සියළු උද්ගමන අද දැන ගැනීමට ක්‍රමයක් නැත. එමෙන් ම අප දන්නා උද්ගමන මනසෙන් කෙරෙයි. උද්ගමනය යන සංකල්පය කිනම් වර්ගයක සංකල්පයක් දැයි මේ අතර ප්‍රශ්න කළ හැකි ය. ඒ කෙසේ වෙතත් මලක් නිරීක්‍ෂකයකුගෙන් තොරව පවතින්නේ ය යන්න කිසියම් නිරීක්‍ෂකයකුගේ ප්‍රත්‍යක්‍ෂය යැයි කිවහැකි ද? මලක් පවතින්නේ ය යන්න ම නිරීක්‍ෂකයකුගේ නිරීක්‍ෂණයකි. එය නිරීක්‍ෂකයකුගෙන් ස්වායත්ත නො වේ. මනස නොමැති නිරීක්‍ෂකයකුට, එවැන්නන් ඇත්නම්, මලක් පැවතිය හැකි ද?

සංජානනයක් සංකල්පයකින් තොරව ඇතිවිිය හැකි නො වේ. එහෙත් සංජානනයකින් තොරව සංකල්ප ඇතිවිය හැකි ය. චෛතසික සංකල්ප හා වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති එසේ සංජානනයකින් තොරව ඇතිවන සංකල්ප වෙයි. ඒ සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. මනස නොමැතිව ඇතිවිය හැකි සංකල්පය කුමක් ද? සංකල්ප නොමැතිව අප දක්නා ලෝකයක් වේ ද? ලෝකය ම මේ බඹයක් පමණ වූ සිරුර තුළ පැණවේ යැයි බුදුන් වහන්සේ මිනිසුන්ට දේශනා කර ඇත්තේ එබැවිනි. බුදුන් වහන්සේ එවැන්නක් අමනුෂ්‍යයකුට හෝ දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ දේශනා කර ඇති බවක් දැනගන්නට නැත. අමනුෂ්‍යයන් ආදීන්් ලෝකය නිර්මාණය කිරීමේ දී මනස සමග යොදා ගන්නා වෙනත් ඉන්ද්‍රිය වේ ද?

සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක ගැන අපි අසා ඇත්තෙමු. අපි බෞද්ධයන් ලෙස එවැනි ලෝකවල පැවැත්ම පිළිගනිමු. සිත යනුවෙන් මෙහි දී කියැවෙන්නේ සිත් පරම්පරාවකට හෙවත් මනසට ය. මනස යනුවෙන් අප විසින් හැඳින්වෙන්නේ තනි සිතක් හෙවත් චිත්තයක් නො වේ. අපට මනස යනු සිත් පරම්පරාවකි. අප ඇතැම් විට මනසට සාපේක්‍ෂව යන්නත් ඇතැම් විට සිතට සාපේක්‍ෂව යන්නත් යොදා ගෙන ඇත. මනස යනු සිත් පරම්පරාවක් වුවත් අපට යමක් ගෝචර වන්නේ ඒ සිත් පරම්රාවෙහි අප සිතන අයුරෙන් එක් සිතකට ය.

එහෙත් එක් සිතක් යන සංකල්පයෙන් ම ප්‍රශ්න රැසක් ඇති කෙරෙයි. ඒ සිත පවතින්නේ කිනම් කාලයකට ද එක් සිතක් අනෙක් සිත්වලින් වෙන්කර ගන්නේ කෙසේ ද ආදී වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට අපට සිදුවෙයි. සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ එක් සිතක් පමණක් ඇති බ්‍රහ්ම ලෝකයක් නො වේ. එහි දී සිත යනුවෙන් කියැවෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් මනස ය.

එහෙත් අවශ්‍ය නම් මෙහි දී කිසිවකුට එවැනි බ්‍රහ්ම ලෝකයක උපදින සත්ත්වයා සමාධිගත ව එකම සිතක පසුවන්නේ ය යැයි තර්ක කළ හැකි ය. එහෙත් එහි දී එකම සිත යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? සිත නොවෙනස් ව එකක් ම ලෙස පැවතීම ද එසේත් නැත්නම් එකම අරමුණක වූ සිත් පහළ වීම ද? මේ ප්‍රශ්න එතරම් සරල ප්‍රශ්න නො වේ. අරමුණක් නැතිව සිතක් නැත. මේ අරමුණු මනු’ෂ්‍ය ලෝකයෙහි හෝ දිව්‍ය ලෝකයෙහි හෝ වූ ආකාරයෙන් ඊනියා බාහිරව පවතින පිච්ච මලක් හෝ පරසතු මලක් හෝ නො වේ. අරමුණ ඇත්තේ ද සිතෙහි ම ය.

එවිට ප්‍රශ්නය වනුයේ එක් අරමුණක් යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ය. නෙවෙනස්වන අරමුණක් තිබිය හැකි ද? එය නිත්‍ය අරමුණක් වන්නේ ද? එවිට අනිත්‍ය යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? අප මේ ප්‍රශ්න ගැඹුරෙන් සලකා බැලිය යුතු ය. එහෙත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. කෙසේ වෙතත් සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ ඒක වචනයෙන් කියැවෙන සිතක් නොව බහුවචනයෙන් කියැවෙන සිතක් එසේත් නැත්නම් සිත් පරම්පරාවක් හෙවත් මනසක් ය යන්න මගේ විශ්වාසය වෙයි.

කය නැති බ්‍රහ්ම ලෝකයෙහි මනස සිරුරක් තුළ නොමැත. එහෙත් එලොව ද මනසක් වෙයි. සිරුරක් නැත. දැන් මෙසේ කියන්නේ කවු ද? එය බුදුන් වහන්සේගේ දේශනාව ය. ඇතැම් රහතන් වහන්සේලා පමණක් නොව ධ්‍යානලාභීන් ද ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගෙන ඇත. එය අනුමානයක් හෝ වියුක්ත බටහිර විද්‍යා ප්‍රවාදයක් නැත්නම් විද්‍යා කතන්දරයක් හෝ නො වේ. අප විශ්වාස කරන්නේ අපේ විඤ්ඤූන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ප්‍රකාශ කර ඇති වදන් ය. ඒ පිලිබඳ අපට ගැටළුවක් නැත. ගැටළුවක් ඇති අයකුට භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් හෝ වෙනත් ක්‍රමයකට හෝ ධ්‍යාන ලබා ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත හැකි යැයි සිතමි. ප්‍රශ්නය වනුයේ මේ මනස, එනම් කය නැති බඹ ලොවෙහි බඹුන්ගේ මනස් කිනම් සංකල්ප වර්ගයට අයත් ද යන්න ය.

ඇපල් මලක් යන්න ඒ දැක ඇති මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්ත සංකල්පයක් වෙයි. එහෙත් ඇපල් මල් දැක නැති අයට සාපේක්‍ෂව ඇපල් මලක් යන්න චෛතසික සංකල්පයක් වෙයි. මෙයින් කියැවෙන්නේ එක් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව එක් වර්ගයකට අයත් සංකල්පයක් තවත් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වෙනත් වර්ගයකට අයත්වන්නේ ය යන්න නො වේ. ඇපල් මල් දැක ඇති අයගේ ඇපල් මලක් පිිළිබඳ සංකල්පය ඇපල් මල් දැක නැති අයගේ ඇපල් මලක් පිළිබඳ සංකල්පයෙන් වෙනස් වෙයි.

සිත මිස කය නැති බඹ ලොව වසන්නකුගේ මනස අප සාකච්ඡා කරන අයුරෙන් පවතින්නේ අපට සාපේක්‍ෂව ය. ඒ මනස් පිළිබඳ අපට ඇත්තේ සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. ඒ මනස් අපේ මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රියයන්ට කෙසේවත් ගෝචර නො වෙයි. ඒ මනස් පිළිබඳ චිත්ත රූපයක් අපට ඇතිකර ගත නො හැකි ය. අපට එලොව ඇත්තන්ගේ මනස් අපේ සිතකින් මවාගත නො හැකි ය. එබැවින් එලොව ඇත්තන්ගේ මනස් අපට චෛතසික සංකල්පවත් නො වේ. ඒ මනස් ද අපට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති පමණක් වෙයි.


Friday, 23 November 2012

පිච්ච මල්, පරසතු මල් හා චුම්බක ක්‍ෂෙත්‍ර

අපි සංකල්ප වර්ග තුනක් ගැන කතා කළෙමු. එයින් සංයුක්ත සංකල්ප ලෙස අප විසින් හඳුන්වනු ලැබෙන්න සංජානන හා බැඳී ඇත. සංජානන ලැබෙන්නේ බාහිර ලෝකයකින් යැයි කියැවෙයි. මල් ඇත්තේ බාහිර ලෝකයේ යැයි කියනු ලැබෙයි. එහෙත් මල පිළිබඳ සංකල්පය ඇත්තේ සිතෙහි ය. මලක් නමැති සංකල්පය නිර්මාණය කෙරෙන්නේ සිතෙහි ය. ඒ සංකල්පය නොමැතිව කිසිවකුට මලක් නැත. චක්ඛු විඤ්ඤාණය නොමැතිව කිසිම නිරීක්‍ෂකයකුට මලක් නො පෙනෙයි. මලක් නමැති සංකල්පය නිරීක්‍ෂකයකු නොමැතිව නූපදියි. මලක් මලක් වන්නේ නිරීක්‍ෂකයකුට ය.

අපට මලක් වශයෙන් දැනෙන්නේ අපේ පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් සිතෙන් නිර්මාණය කෙරෙන ගුණ සමූහයක එකතුවකට ය. ඒ ගුණ සමුච්චය නිරීක්‍ෂකයා විසින් මලක් යනුවෙන් හඳුනාගනු ලැබෙයි. මෙම මලෙහි සුවඳ, පැහැය, මොළොක් බව ආදිය වෙයි. මලක් යනුවෙන් අප හඳුනාගන්නා දෙයෙහි වෙනත් සත්ත්වයකුට හඳුනාගත හැකි රශ්මි ආදී වෙනත් ධාරාවන් ඇත්නම් ඒවා අපේ ඉන්ද්‍රියවලට ගෝචර නොවන බැවින් අපේ මලෙහි ඒ ගුණ නැත. එහෙත් වෙනත් සත්ත්වයකුගේ “මලෙහි” ඒ ගුණ තිබිය හැකි ය.

පැහැදිලිව ම අප නිර්මාණය කරන මල අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ ය. මෙයින් කියැවෙන්නේ ඒ ඒ අයගේ මල් එකිනෙකෙන් වෙනස්වන බව ය. අප විසින් පිච්ච මලක් ලෙස ගනු “ලබන්න” වෙනත් සත්ත්වයකු විසින් වෙනත් දෙයක් ලෙස ගනු ලබන්නේ එයට වෙනත් ගුණ එකතු කරමින් හා තවත් ගුණ අඩුකරමිනි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් අප විසින් පිච්ච මලක් ලෙස ගනු ලබන්න වෙනස් සත්ත්වයන් විසින් වෙනත් දේ ලෙස හඳුනා ගැනෙයි යන්න ව්‍යවහාරයෙහි දී යොදා ගත්තත් එය නිවැරදි නොවන බව ය. වෙනත් සත්ත්වයන්ට අපට ගෝචර වන, එනම් අප විසින් නිර්මාණය කෙරෙන පිච්ච මල වෙනත් ආකාරයෙන් ගෝචර වන්නේ නො වේ. ඔවුන්ට ගෝචර වන්නේ, එසේ්ත් නැත්නම් ඔවුන් නිර්මාණය කරන්නේ වෙනත් ම දේ ය.

අපි දැන් අන් මිනිසුන් ඇතුළු සත්ත්වයන් අමතක කර එක් මිනිස් නිරීක්‍ෂකයකු පමණක් සලකමු. ඔහු විවිධ පිච්ච මල් නිරීක්‍ෂණය කරයි. ඒ සියල්ල ඔහු විසින් පිච්ච මල් ලෙස හඳුනා ගැනෙයි. එහෙත් එයින් කියැවෙන්නේ ඒ සියලු පිච්ච මල් එක සමාන බව නො වේ. ඇතැම් පිච්ච මලක් කුඩා විය හැකි ය. ඇතැම් මලක පෙත්තක යම් කඩතොළුවක් තිබිය හැකි ය. ඒ ඒ පිච්ච මල එකිනෙකෙන් වෙනස්වන බව සුපරික්‍ෂාකාරීව නිරීක්‍ෂණය කළහොත් පෙනෙනු ඇත. එහෙත් නිරීක්‍ෂකයා එපමණකින් පිච්ච මල් යනුවෙන් මල් වර්ගයක් නැතැයි නො කියයි.

පිච්ච මලක් හා පිච්ච මල් අතර ඇති වෙනස කුමක් ද? අපි පිච්ච මල්වල කුලකය ගැන කතා කරමු. පිච්ච මල් කුලකයට සියලු පිච්ච මල් අයත් වෙයි. ඒ කුලකය සිතා ගැනීම අපහසු නම් නිරීක්‍ෂකයාගේ ගෙවත්තේ ඇති පිච්ච මල්වල කුලකය ගත හැකි ය. ඒ පිච්ච මල් කුලකයෙහි වුව ද එක් එක් මල එකිනෙකෙන් වෙනස් වෙයි. එහෙත් නිරීක්‍ෂකයාට ඒ මල් එක් වර්ගයකට අයත් යැයි හඳුනාගැනීමේ අපහසුතාවක් නැත. ඒ ඒ මලෙහි ප්‍රමාණය වෙනස්විය හැකි වුව ද, පෙති අතර වෙනස්කම් තිබුණ ද නිරීක්‍ෂකයාට ඒ සියලු මල් පිච්ච මල් ලෙස හඳුනාගත හැකි ය.

එසේ වන්නේ කෙසේ ද? ඒ ඒ පිච්ච මල් අතර ඇතැම් වෙනස්කම් තිබුණ ද ඒ සියලු මල්වලට වූ පොදු ගුණ ඇත. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ඒ පොදු ගුණ ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතින බව නො වේ. ඒ පොදු ගුණ ද නිරීක්‍ෂකයාගේ නිර්මාණ වෙයි. ඔහු තම පංචේන්ද්‍රියයන් ආධාර කරගනිමින් ඒ පොදු ගුණ නිර්මාණය කරමින් හඳුනා ගනියි. මේ පොදු ගුණ සහිත පිච්ච මල සංයුක්ත සංකල්පයක් නො වේ. එය පඤ්ඤත්තියකිෂ වියුක්ත සංකල්පයකි. එය සිතෙන් මවාගත හැකි නො වේ. පිච්ච මලක් සිතෙන් මවාගත හැකි වුව ද පිච්ච මල යන්න සිතෙන් මවාගත හැකි නො වේ.

මෙය තවදුරටත් පැහැදිලි කළ යුතු ය. මේ සියල්ල බටහිර විද්‍යාව ඉගෙන ගැනීමේ දී ද අපට හමුවන බව අමතක නොකළ යුතු ය. ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ ඒ පිළිබඳ ව විස්තරයක් නොකරනවා විය හැකි ය. එහෙත් වර්ගීකරණය පිටුපස මේ සියල්ල ඇත. පොත්පත්වල ද ඒ පිළිබඳ සඳහනක් නොමැති වුව ද සංකල්ප අතර ඇති වෙනස හැකිතාක් නිරවුල් ව දැනගැනීමෙන් බටහිර විද්‍යාවේ වියුක්තිය ගැන යම් අවබෝධයක් ලබාගත හැකි ය.

පිච්ච මල යන්න සිතෙන් මවාගත නොහැකි වුව ද, පරසතු මලක් සිතෙන් මවාගන්නේ කෙසේ දැයි යමකුට ප්‍රශ්නයක් විය හැකි ය. එහෙත් මෙහි දී සිතෙන් මවාගත හැකි වන්නේ පරසතු මල නොව පරසතු මලකි. පරසතු මලක් සිතෙන් මවාගත හැකි ය. පිච්ච මල සිතෙන් මවාගත නොහැකි වුව ද පිච්ච මලක් දැක ගැනීමට වුව ද හැකි ය. පරසතු මලක් හා පිච්ච මලක් අතර ඇති වෙනස පිච්ච මලක් පිළිබඳ සංජානන අපට වීමත් පරසතු මලක් පිළිබඳ සංජානනයක් අපට නොවීමත් ය. අපි පිච්ච මල් දකිමු. පිච්ච මලක් පිළිබඳ සංකල්පය අප විසින් නිර්මාණය කෙරෙන්නේ සංජානනයක් සහිත ව ය. අප දැක ඇති පිච්ච මලක් අපි සිතෙන් මවා ගනිමු. එසේ පිච්ච මලක් සිතෙන් මවාගැනීමේ දී, එසේත් නැත්නම් පිච්ච මලක් ගැන අප සිතීමේ දී අපට ඇත්තේ අප දැක ඇති පිච්ච මලක් හෝ පිච්ච මල් හෝ අනුසාරයෙන් අපට ලැබෙන පිච්ච මලකි. අප සිතෙන් මවාගන්නා පිච්ච මලක් පිළිබඳ සංජානනයක් අපට නැත. එහෙත් පිච්ච මලක් හෝ පිච්ච මල් හෝ නිරීක්‍ෂණය කිරීමේ දී අපට සංජානන වෙයි.

අපි පිච්ච මලක් ගැන සිතීමේ දී, එනම් පිච්ච මලක් සිතෙන් මවා ගැනීමේ දී, සේපාලිකා මලක් ගැන නො සිතමු. යම් ආකාරයකින් අපට සේපාලිකා මලක් සිහිවුණහොත් එය පිච්ච මලක් නොවන බව අපි දනිමු. පරසතු මලක් යන්න එයට හාත්පසින් වෙනස් වෙයි. පරසතු මලක් අපට සිතෙන් මවාගත හැකි ය. එහෙත් ඒ දෙවියන් හෝ වෙනත් සත්ත්වයන් හෝ දැක ඇති පරසතු මලක් නොවිය හැකි ය. අප පරසතු මලක් සිතෙන් මවා ගන්නේ පරසතු මලක් ගැන පංචෙන්ද්‍රියයන් ආධාරයෙන් ලබාගන්නා කිසිම සංජානනයක් නො මැතිව ය.

පරසතු මලක් යන්න සංජානනයක් සහිත සංයුක්ත සංකල්පයක්වත් පඤ්ඤත්තියක් හෙවත් වියුක්ත සංකල්පයක්වත් නො වේ. එය එක්තරා ආකාරයකට ගතහොත් ඒ දෙක අතර ඇති සංකල්පයකි. පරසතු මලක් යන්න සංජානනයක් නොමැතිව වුවත් සිතෙන් මවාගත හැකි සංකල්පයකි. එලෙස අප මවා ගන්නා පරසතු මල දෙවියන් දකින පරසතු මලක් නො වීය හැකි ය. දෙවියන් දැක නැති අපට දෙවියකු ගැන ද ඇත්තේ සංජානනයක් නොමැති ව සිතෙන් මවාගන්නා සංකල්පයකි. අපි එවැනි සංකල්පවලට චෛතසික සංකල්ප යැයි කීවෙමු.

පරසතු මලක් ලෙස අප සිතෙහි මැවෙන්නේ අප කිසිදා දැක නොමැති දෙයකි. මෙයින් කියැවෙන කරුණක් නම් ඇතැම් විට ලෝකයෙහි (විශ්වයෙහි) කිසිවකු දැක නොමැති (කිසිවකුගේ මනසට ගෝචර නොවූ, ඊනියා නොපවතින) දෙයක් වුව ද අපට සිතෙන් මවාගත හැකි බව ය. සංජානනයක් නොමැතිව සිතෙන් මවාගත හැකි සංකල්ප අපි එක් වර්ගයකට දමමු. එවිට පරසතු මල්, දෙවියන් පමණක් නොව කඟවේණුන්, කකුල් පහේ සතුන් ආදීන් පිළිබඳ සංකල්ප ද අයත්වන්නේ මෙම වර්ගයට ය.

අප සම්මතයක් ලෙස ලෝකයෙහි පවතින දේ යනුවෙන් අදහස් කරන්නේ සංජානනයන් සහිත ව, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර ව සිතෙහි මවාගත හැකි දේ ට හා බටහිර විද්‍යාවේ ප්‍රවාදවල හෙවත් කතන්දරචල ඇති සංකල්පවලට අනුරූප දේට ය. උදාහරණ ලෙස පුටුව, පැන්සල, මල ආදිය මෙන් ම ගුරුත්වාකර්ෂණය, විද්‍යුත් චුම්බක ක්‍ෂෙත්‍රය ආදිය ද දැක්විය හැකි ය. බටහිර විද්‍යාවේ ප්‍රවාදවල ඇති සංකල්ප පවතින දේ නිරූපණය කරන්නේ යැයි කියන්නේ බටහිර විද්‍යාඥයන් තම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දේශපාලන බලය යොදා ගනිමින් ය. එසේ නොමැතිව ඉතා පැහැදිලිව ම නැති ගුරුත්වාකර්ෂණයක් පවතින දෙයක් ලෙස පාසල්වල හා විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීමේ හැකියාවක් නැත.

බටහිර විද්‍යාවේ වියුක්ත සංකල්ප යනු සිතෙන් මවාගත නොහැකි සංකල්ප වෙයි. එහෙත් බටහිර විද්‍යාවේ සඳහන්වන බල රේඛා සිතෙන් මවාගත හැකි ය. එයට හොඳම උදාහරණය චුම්බක ක්‍ෂෙත්‍රයක ඇතැයි කියන බල රේඛා වෙයි. බටහිර භෞතික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට බල රේ්ඛා පිළිබඳ පාඩමක් මේසයක් මත තැබූ චුම්බකයක් අසල යකඩ කුඩු අතුරා මේසයට තට්ටු කිරීමෙන් කියා දිය හැකි ය. තට්ටු කිරීමෙන් පසු යකඩ කුඩු යම් වක්‍ර දිගේ පැතිරෙණු දැකගත හැකි ය. යකඩ කුඩු ඒසේ පැතිරෙන්නේ බල රේඛා දිගේ යැයි කියා දෙනු ලැබේ. එහෙත් කිසිවකුටවත් ඊනියා චුම්බක ක්‍ෂෙත්‍රයක් දැකගත හැකි නො වේ.

බල රේඛා සිතෙන් මවාගත හැකි වුවත් චුම්බක ක්‍ෂෙත්‍රය සිතෙන් මවාගත නොහැකි වියුක්තයක් පමණක් වෙයි. සිතෙන් මවා ගැනීමටවත් නොහැකි චුම්බක ක්‍ෂෙත්‍රය ඇතැයි අප කියන්නේ අපට එසේ පුරුදු කර ඇති බැවින් මිස වෙනත් කරුණක් නිසා නො වේ. චුම්බක බල රේඛා මෙන් ම චුම්බක ක්‍ෂෙත්‍ර ද අපට පවත්නා දේ ය. එහෙත් මේවා බටහිර විද්‍යාඥයන් ඇතැම් නිරීක්‍ෂණ තේරුම් ගැනීම සඳහා මවා ඇති, නිර්මාණය කර ඇති සංකල්ප මිස අන් කිසිවක් නො වේ. ගුරුත්වාකර්ෂණය දැක බලාගත් කිසිවකු මෙදියත නැත.

පුටුව, මල ආදිය පවතින්නේ යැයි කෙනකු කීවත් චුම්බක ක්‍ෂෙත්‍රය, කාලය ආදිය පවතින්නේ යැයි කිසිවකුටවත් පෙන්වා දිය නො හැකි ය. බටහිර විද්‍යාවේ ප්‍රවාද ද මිනිසුන් විසින්, මෙහි දී බටහිර විද්‍යඥයන් විසින්, නිර්මාණය කෙරුණු කතන්දර පමණ ය. ඒවා ආධාර කරගෙන යම් යම් නිරීක්‍ෂණ තේරුම්ගත හැකි බව සැබෑ ය. එහෙත් ඒ ප්‍රවාදවල හෙවත් කතන්දරවල ඇත්තක් වේ යැයි, ඒ සංකල්පවල පැවැත්මක් ඇතැයි, තර්ක කිරීමට නො හැකි ය.

සිතෙන් මවාගත හැකි එහෙත් සංජානනයක් නැති සංකල්පවලට අපි චෛතසික සංකල්ප යැයි කීවෙමු. පරසතු මල්, බල රේඛා, ආදිය චෛතසික සංකල්ප වෙයි. අප පරසතු මල් සිතෙන් මවා ගන්නේ අප දැක ඇති පිච්ච මල්, සේපාලිකා මල් ආදිය ඔස්තෙස් ය. එලෙස ම අප බල රේඛා සිතෙන් මවා ගන්නේ චුම්බයක් අසල යකඩ කුඩු පැතිරෙන ආකාරය ඔස්සේ ය. චුම්බක ක්‍ෂෙත්‍ර සිතෙන්වත් මවා ගැනීමට නොහැකි පඤ්ඤත්ති හෙවත් වියුක්ත සංකල්ප පමණ ය. ඒවා අපේ පැණවීම් මිස වෙනත් කිසිවක් නො වෙයි.

අප මේ සියල්ලෙන් කියන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාදවලට හා ඒ ආශ්‍රීත සංකල්පවලට පුටුව, පැන්සල, මල වැනි සංකල්පවලින් නිරුපණය කෙරෙන්නේ යැයි කියන දේ තරමටවත් පැවැත්නක් නැති බව ය. දෙවියන්ට සාපේක්‍ෂව පරසතු මල් තිබුණත් නැතත් මිනිසුන්ට සාපේක්‍ෂව පරසතු මල් සිතෙන් මවාගත් දේ පමණ ය. එලෙස ම බල රේඛා ද සිතෙන් මවා ගත් දේ පමණ ය. ඒ අතර් චුම්බක ක්‍ෂෙත්‍රය, ගුරුත්වාකර්ෂණය ආදිය පඥ්ඤත්ති හෙවත් අපේ පැණවීම් පමණ ය.

Saturday, 1 September 2012

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සත්‍යතාව

මායාවරුන්ගේ දින දර්ශනය චක්‍රීය ලෙස ගතහොත් අපට 2012 වසර වෙනත් යුගයක, එසේත් නැත්නම් වෙනත් චක්‍ර්‍රයක ආරම්භයක් ලෙස දැකිය හැකි ය. ඒ ආරම්භය ඇතැම්විට 2012 දී ම නොසිදුවීමට ඉඩ ඇත. එහෙත් 2012 දී හෝ ඉන්පසුව ආසන්න වසරක දී හෝ අළුත් චක්‍රයක් ඇරඹී ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් කැඩී වෙනත් චින්තන මත විවිධ සංස්කෘතීන් ගොඩනැගීමක් පටන් ගැනෙන්නේ යැයි සිතිය හැකි ය. අද ඇති ඒක රේඛීය චින්තනයෙන් කැඩීම කිනම් ආකාරයකින් බැලුව ද ලෝකය හිතකර ය.

කාලය සම්බන්ධයෙන් මෙන් ම අවකාශය සම්බන්ධයෙන් ද අපට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් වෙනස් වූ සංකල්ප වෙයි. අවකාශය හා සම්බන්ධ ඒ සංකල්ප කාලය සමග ද සම්බන්ධ වෙයි. සිංහල බෞද්ධයෝ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව චක්‍රීය විශ්වයක් ගැන විශ්වාස කරති. ඒ විශ්වාසයක් බව සැබෑ ය. ඊනියා මහා පිපුරුම ද මෙරට ඊනියා විද්‍යාඥයන් සියල්ලන්ට ම සහ උගතුන්ගෙන් අති විශාල බහුතරයකට විශ්වාසයක් පමණකි. සිංහල බෞද්ධයන් සංවට්ට කප්ප හා විවට්ට කප්ප හෙවත් වෑරෙන හා ඈරෙන විශ්වයක් ගැන විශ්වාස කරන්නේ ඒ බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බැවිනි. ඔවුහු එහි දී කාලාම සූත්‍රය අනුගමනය කරති. ඊනියා විද්‍යාඥයන් හා උගතුන් බහුතරය මහා පිපුරුම විශ්වාස කරන්නේ ඒ පිළිබඳ කරන ලද හැදෑරීමකින් පසුව නොව බටහිර විශ්වවේදීන් එසේ කියන බැවිනි. එහි දී ඊනියා විද්‍යාඥයන් හා උගතුන් බහුතරය අනුගමනය කරන්නේ කාලාම සූත්‍රය නොව බයිබල් ක්‍රමය ය. එහෙත් මොවුන්ගෙන් ඇතැම්හු තමන් කාලාම සූත්‍රය අනුගමනය කරන්නේ යැයි කීමට තරම් නිර්ලජ්ජී වෙති.

කාලය යන්න සිංහල බෞද්ධයනට පඤ්ඤත්තියක් හෙවත් පනවන ලද්දක් පමණ ය. කාලය යන්න කිසිම ඉන්ද්‍රියකට ගෝචර නො වේ. වෙනස්වීම හා ස්මරණය හෙවත් මතකය හේතුවෙන් මිනිස්සු කාලය යනුවෙන් දෙයක් පනවති. එහෙත් බටහිරයන්ට කාලය යනු එසේ පඤ්ඤත්තියක් නො වේ. බටහිර භෞතික විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් කාලය යනුවෙන් දෙයක්, භූතාර්ථයක් ඇතියි සිතති. ඉන්පසු ඔවුන් කාලය ගැන හදාරන්නේ් එය නිරන්තරයෙන් ම එන්ට්‍රොපිය මෙන් වැඩිවන බැවින් එසේ වැඩිවන්නේ ඇයි ද යනු දැනගැනීමට ය. එසේත් නැත්නම් ඒ පිළිබඳ ප්‍රවාදයක් හෙවත් කතාවක් ගොඩනැගීමට ය.

අද කාලයේ වැඩිවීම ගැන කතාකිරීමට බටහිරයන් කාලහීය යන සංකල්පය නිර්මාණය කරගෙන ඇත. එහෙත් සිංහල බෞද්ධයනට කාලහීය යන්න නැති දෙයක නැති ගුණයක් ගැන කතාකිරීමට තනාගෙන ඇති සංකල්පයක් පමණකි. කාලය යනු පැනවීමක් පමණකි. ඒ පැනවීම කරන්නේ අප විසිනි. එය පැනවීමක් පමණකි. කාලය යනුවෙන් පවතින දෙයක්, ඊනියා භූතාර්ථයක් නොමැත. එබැවින් සරල රේඛාවක මෙන් වැඩිවන කාලයක් සිංහල බෞද්ධයනට නැත.

මෙහි වැදගත්ම කරුණ වනුයේ කාලය යනුවෙන් දෙයක්, ඊනියා භූතාර්ථයක් නොමැති වීම ය. අවකාශය එයට වඩා වෙනස් තත්වයක වෙයි. එය පඤ්ඤත්තියකට වඩා සංකල්පයකි. එහෙත් එය ද ඊනියා යථාර්ථයක් හෝ භූතාර්ථයක් හෝ නො වේ. යථාර්ථයක් වූ භෞතික අවකාශයක් සිංහල බෞද්ධයනට නැත. අවකාශය ද අනෙක් සංකල්ප මෙන් ම මිනිසුන්ගේ නිර්මාණයක් වෙයි. බටහිර පොතපත කියවා ඔළුව අවුල් කරගත් ඇතැමුනට තමන් කියන්නේ කුමක් ද යන්න පවා නො තේරෙයි.

ඇතැමකුට අනුව අවකාශය යුක්ලීඩීය වෙයි. එනම් ඔවුන් විශ්වාස කරන අන්දමට පවතින්නා වූ ද භෞතික වූ ද අවකාශය යුක්ලීඩීය වෙයි. එයට සාක්‍ෂි ලෙස ඔවුන් සඳහන් කරන එක් කරුණක් නම් අවකාශය යුක්ලීඩීය අවකාශය යන්න උපකල්පනය කරමින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි, පාලම් ආදී සිවිල් ඉංජිනේරු කර්මාන්තයෙහි නිපැයුම් සාර්ථක වී පැවතීම ය. සිවිල් ඉංජිනේරු කර්මාන්තය උපයෝගි කරන ලද ගොඩනැගිලි, පාලම් ආදිය සාමාන්‍යයෙන් කඩා නොවැටීම හේතුකොටගෙන අවකාශය යුක්ලීඩීය යැයි නිගමනය කළ හැකි නො වේ.

එහි දී එයට විරුද්ධව දර්ශනයෙන් ඉදිරිපත් කළහැකි කරුණු පසෙකින් තබමු. සිවිල් ඉංජිනේරු කර්මාන්තයෙහි සාර්ථකත්වය හේතුකොටගෙන යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ඊනියා නිරවද්‍යතාවක් පෙන්වීමට යන අයගෙන් ඇතැමෙක් ජනප්‍රිය පොතක් පතක් කියවා ලත් දැනුම මත පදනම් වී අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය ගැන ද ලියති. එහි දී සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව යමින් අවකාශයෙහි නිර්යුක්ලීඩීය භාවය ගැන ද ලියති.

අයින්ස්ටයින් විද්වතාගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශ –- කාලය නිර්ණය වන්නේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. අප අවට ද්‍රව්‍ය හා විකිරණ වෙයි. එවැනි අවස්ථාවක අවකාශ –- කාලය යුක්ලීඩීය නො වෙයි. එසේ නම් සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නේ අවකාශ - කාලය යුක්ලීඩීය නොවන බව ය. මම නම් සාපේක්‍ෂතාවාදය ද සත්‍යයක් ලෙස නො පිළිගනිමි, එහෙත් මෙවැනි කරුණු ගැන පොතපතින් අහුළා ගෙන ලියන්නන්ට සාපේක්‍ෂතාවාදය සත්‍යයක් වෙයි. එවිට ප්‍රශ්නය වන්නේ අවකාශය යුක්ලීඩීය වන්නේ කෙසේ ද යන්න ය.

බොහෝ විට ජනප්‍රිය පොතපතින් කරුණු අහුළාගෙන ලියන මහාචාර්යවරුන්ට මෙන් ම වෙනත් අයට ද ඒ ඒ ක්‍ෂෙත්‍රය ගැන එතරම් අවබෝධයක් නැත. ඔවුහු කල්පනා නො කරති. ජනප්‍රිය පොත්වලින් කරුණු එකතු කරති. එහෙත් ජනප්‍රිය පොත්වල සඳහන් කරුණු අතර ඇති පරත්පරතා ඔවුන්ට විෂය නො වේ. එක් පැත්තකින් සිවිල් ඉංජිනේරු කර්මාන්තයෙහි සාර්ථකත්වය හේතුකොටගෙන එය පදනම් වී ඇති යුක්ලීඩීය ජ්‍යාමිතිය නිවැරදි යැයි විශ්වාස කරන ඔවුන්ට සාපේක්‍ෂතාවාදය මත පදනම් වී අවකාශය යුක්ලීඩීය නොවේ යැයි කීමට ද සිදුවෙයි. ඔවුන්ට ඒ දෙකම කීමේ ප්‍රශ්නයක් ද නැත. ඒ ඔවුන් තම දෑනුමෙහි පරස්පරතා ගැන අවධානයක් නොමු කරන බැවිනි.

අනෙක් අතට ඔවුන් පිළිතුරු දිය යුතු තවත් ප්‍රශ්නයක් වෙයි. අපේ පැරුන්නන් අති විශාල දාගැබ්, මහා වැව් නිර්මාණය කළේ යුක්ලීඩීය ජ්‍යාමිතිය මත පදනම් වෙමින් නො වේ. බටහිර සිවිල් ඉංජිනේරු කර්මාන්තයේ දැනුම උපයෝගී කරගනිමින් මහා වැවක් නිර්මාණය කිරීමට නො හැකි ය. අපේ පැරුන්නන් දාගැබ් හා වැව් නිර්මාණය කළේ යම් කිසි ආකාරයක දැනුමක් මත පදනම් වෙමිනි. ඒ දැනුමෙහි යුක්ලීඩීය ජ්‍යාමිතිය තිබූ බවට සාක්‍ෂි නැත. අවුරුදු දහස් ගණනක් පැවති දාගැබ් හා වැව්වල සාර්ථකත්වය මත පදනම් ව අපි එයට පදනම් වූ දැනුම සත්‍යය බව නිගමනය කරන්නෙමු ද? එවිට යුක්ලීඩීය ජ්‍යාමිතියට යන කල දසාව කුමක් ද?

මිනිසුන් විසින් නිර්මාණය කෙරෙන දැනුම සන්නිකර්ෂණයක් ලෙස යම් සීමාවන් ඇතුළත මිනිසුන්ගේ ම ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ විය හැකි ය. යුක්ලීඩීය අවකාශය පිළිබඳ දැනුම ද එලෙස ය. යුක්ලීඩීය ජ්‍යාමිතිය සන්නිකර්ෂණයක් ලෙස මිනිසුන්ගේ ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් අප කඩදාසියක අඳින ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට සමාන වෙයි. එය කෝණ මැන බලාගැනීමෙන් දත හැකි ය. යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ද සඳහන් වන ආකාරයට ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකි.

එහෙත් අපට කඩදාසියෙන් බැහැර වී ඉතා උස කඳු මුදුන් තුනක් ශීර්ෂ ලෙස ගෙන නිර්මාණය කරන ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් නොවන බව සියුම් මැනීම්වලින් දතහැකි වනු ඇත. එවැනි මැනීමක් කිරීමට පළමුවෙන් යෝජනා කළේ විශිෂ්ට බටහිර ගණිතඥයකු වූ ගවුස් විද්වතා ය. එවැනි මැනීමක් කිසිවකු විසින් කරන ලද්දේ දැයි කීමට නොහැකි වුවත් විශ්වය සම්බන්ධයෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන ඇතැම් දේ නිරීක්‍ෂණ සමග යම් එකඟතාවක් සහිත බව කිවහැකි ය. එසේ වුවත් සන්නිකර්ෂණ සහිතව වුවත් නිරීක්‍ෂණ මගින් එක් අවකාශ - කාලයක් තෝරා ගැනීමට බටහිර භෞතික විද්‍යාවේ කොටසක් වූ විශ්වවේදයෙන් කළ නො හැකි ය. ඒ කෙසේ වුවත් සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශය යුක්ලීඩීය නොවන බව සඳහන් කළ යුතු ය. එමෙන් ම ඒ කුමක් වුවත් සාපේක්‍ෂතාවාදය ද ඊනියා සත්‍යයක් නොවන බව අවධාරණය කළ යුතු වෙයි.

මෙහි දී සඳහන් කළ යුතු වැදගත් දෙයක් වෙයි. ජ්‍යාමිතිය බටහිර ගණිතයේ හෝ බටහිර භෞතික විද්‍යාවේ කොටසක් ලෙස සැලකිය හැකි ය. බටහිර නූතනත්වයෙහි බටහිර ගණිතයෙහි ඊනියා සත්‍යයක් සෙවීමට වෑයමක් නො ගැනෙයි. බටහිර ගණිතයෙහි යම් ක්‍ෂෙත්‍රයක දී කෙරෙන්නේ ස්වසිද්ධි නමින් හැඳින්වෙන ප්‍රකාශ කිහිපයක් උපකල්පනය කරමින් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් යම් යම් ප්‍රතිඵල ලබා ගැනීම ය. එහි දී මුල් ස්වසිද්ධි සත්‍ය ද නැත් ද යන්න ගැන අවධානය යොමු නො කෙරෙයි. ස්වසිද්ධිවල ඊනියා සත්‍යතාව බටහිර ගණිතයෙහි දී අදාළ නො වේ. ස්වසිද්ධි පදනම් කරගෙන ලබා ගැනෙන ප්‍රතිඵල ද සත්‍ය ද නැත් ද යන්න බටහිර ගණිතඥයන්ට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ එසේ නො වෙති. ඔවුන්ට ලෝකය පිළිබඳ ඊනියා සත්‍යය දැනගැනීමට අවශ්‍ය වෙයි. එබැවින් බටහිර භෞතික විද්‍යාවේ දී ප්‍රවාදවලින් ලබාගන්නා නිගමන හා නිරීක්‍ෂණ සංගත වේද යන්න සොයා බැලෙයි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් එසේ කෙරෙන්නේ යම් සීමාවන් තුළ සන්නිකර්ෂණයෙන් බව ය. එවැනි සංගත වීමකින් ප්‍රවාදයෙහි ඊනියා සත්‍යතාවක් ගැන කිසිවක් නො කියැවෙයි.

පැරණි ග්‍රීකයෝ තම අත්දැකීම් ඇසුරෙන් ජ්‍යාමිතියක් ගොඩ නැගූහ. ඔවුන්ගේ ජ්‍යාමිතිය ගණිතයෙහි මෙන් ම යම් ප්‍රමාණයකට භෞතික විද්‍යාවෙහි ද කොටසක් විය. ඔවුන් වඩාත් අවධාරණය කළේ වියුක්ත ගණිතය මිස භෞතිකය නො වේ. එහෙත් ස්වසිද්ධිවල සත්‍යතාව ගැන ද ඔවුන් උනන්දුවක් නොදැක්වූවා නො වේ. එහෙත් අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයෙන් කරනු ලැබුණේ බටහිර ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවේ කොටසක් බවට පත්කරනු ලැබීම ය. ජ්‍යාමිතිය ග්‍රීකයන්ගෙන් පසුව බටහිර නූතනත්වයෙහි ඇති වූ බටහිර ගණිතයෙහි කොටසක් ලෙස සෑලකීමෙහි දී බටහිර ගණිතඥයන්ට එහි සත්‍යතාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් අයින්ස්ටයින් විද්වතාගෙන් පසුව බටහිර ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවෙහි කොටසක් ලෙස ගැනීමෙහි දී බටහිර භෞතික විද්‍යාඥයන්ට එහි ඊනියා සත්‍යතාව ගැන සොයා බැලීමට සිදු වෙයි.

අංශුවල චලිතය සිදුවන්නේ අවකාශයෙහි බැවින් චලිතය සාකච්ඡා කිරීමට සිදුවන්නේ අවකාශය පිලිබඳ යම් හැදෑරීමකින් පසුව ය. එහෙත් මෙය වරදවා තේරුම් ගත යුතු නො වේ. අවකාශය පිළිබඳ යම් හැදෑරීමක් යන්නෙන් අදහස් කෙරෙනුයේ අපෙන් තොරව, එනම් නිරීක්‍ෂකයාගෙන් තොරව, පවත්නා අවකාශයක් පිළිබඳ කරන හැදෑරීමක් නො වේ. අවකාශය ද නිරී’ක්‍ෂකයා විසින් ම නිර්මාණය කෙරෙයි. මෙවැනි හෑදෑරීම්වල දී කෙරෙන්නේ නිරීක්‍ෂකයා විසින් නිර්මාණය කෙරෙන සංකල්ප මත පිහිටා කෙරෙන ඊනියා නිරීක්‍ෂණ, නිරීක්‍ෂකයා විසින් ම නිර්මාණය කෙරෙන ප්‍රවාදවලින් (කතන්දරවලින්) නිරීක්‍ෂකයාගේ ම නිර්මාණයක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය උපයෝගී කරගනිමින් ලබාගන්නා ප්‍රතිඵල සමග සංන්දනය කිරීමකි. ඉන් ඔබ්බට යන ඊනියා සත්‍යතාවක් මෙහි නැත.

Monday, 16 January 2012

වෙනස්වීම

වාස්තවිකත්වය යනු හුදෙක් සාධාරණිකරණයක් වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසින් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යැයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මෑතක් වන තුරුම සතුන්ට මනස් ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක බඹුන් දකින ලෝක ගැන කතාකිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක් පවා නැත. ඒ එතරම් ම වියුක්ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්කෘතියෙහි ඉඩක් නැත.

මිනිසුන් සියළු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත්කල එකම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස් පෙනෙයි. මේස ස්පර්ශ කළ හැකි ය. එකම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියළු දෙනාට ම එකම දේ පෙනන්නේ යැයි එසේත් නැත්නම් අප එකම දේ ග්‍රහණය කරගන්නේ යැයි සිතමු. එමෙන් ම අප ඉපදෙන්නට කලින් ද අප මිය යෑමෙන් පසුව ද මල් ගස් ආදිය තිබිණ, තිබෙන්නේ යැයි අපි සිතමු. ඩාවින්ගේ පරිණාම වාදය අනුව ලෝකාරම්භය හෙවත් බටහිර විද්‍යාවේ මහා පිපිරුම දක්වා මල් නොතිබුණ ද අප ඉපදෙන්නට පෙර ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් තිබුණේ යැයි අපි බටහිරයන්ට අනුව විශ්වාස කරමු. අපේ මරණයෙන් පසුව ද එලෙස ම ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් පවතින්නේ යැයි අපට කියා දී ඇත.

මෙයින් බටහිරයන් ලබාගන්නා නිගමනය කුමක් ද? අප ඇතත් නැතත් මල් ගස් ආදිය පවතින්නේ නම් ඒවා අපෙන් තොරව පවතින්නේ යැයි බටහිරයෝ නිගමනය කරති. මෙය බටහිරයන්ගේ පමණක් නොව පෙරදිග ද ඇතැම් දාර්ශනිකයන්ගේ නිගමනය වෙයි. එහෙත් ඒ ඒ අය එවැනි නිගමනයකට එළඹෙන්නේ කෙසේ ද? එය තර්ක කිරීමෙන් අපෝහනය නිගමනය (deduce) කළ හැකි දෙයක් නො වේ. අපත් අපේ මුතුන් මිත්තනුත් මල් දැක ඇති පමණින් මල් අති විශාල කාල පරිච්ඡෙදයක අපෙන් තොරව අපෙන් ස්වායත්ත ව පැවතියේ යැයි අප නිගමනය කරන්නේ කෙසේ ද?

එය නිගමනයක් යැයි කීව ද තර්කයෙන් ලබාගන්නා වූ නිගමනයක් නො වේ. එය අපෝහනයක් නොව අභ්‍යුහනයක් (induction) පමණකි. කළු කපුටන් සියයක් දෙසීයයක් දැකීමෙන් පසු සියළු කපුටන් කළු පාට යැයි අප නිගමනය කරන්නේ යැයි කීව ද එය ද අභ්‍යුහනයක් පමණකි. පරම්පරා කිහිපයක් මල් ගස් ආදිය දැක ඇති බවට සාක්‍ෂි තිබූ පමණින් සෑමදාමත් මල් ගස් ආදිය තිබුණේ යැයි අපට කිව හැකි නො වේ. කෙසේ වෙතත් ඩාවින්ගෙන් පසුව බටහිරයන් පවසන්නේ පරිණාමයේ යම්කිසි අවස්ථාවක දී ගස් මල් ආදිය ඇති වූ බවත් ඉන් පසුව අපෙන් ස්වායත්ත ව ඒ පවතින බවත් ය. එහෙත් එය ද අභ්‍යුහනයක් පමණකි. මෙහි දී නොකියා සිටීමට බැරි දෙයක් නම් මුළු මහත් ඩාවීනීය පර්ණාමවාදය ම අභ්‍යුහනයක් පමණක් බව ය. එය ප්‍රත්‍යක්‍ෂයක්වත් අපෝහනයක්වත් (නිගමනයක්වත්) නො වේ. එහි ඇති තර්කයක් නැත.

අප තර්කයට හා අපෝහනයට විශේෂ තැනක් දෙන්නේ යැයි මෙයින් සිතාගත නො යුතු ය. මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වෙයි. එනම් අපෝහනය ද අභ්‍යුහනයක් ආශ්‍රයෙන් කෙරෙන්නක් වීම ය. අපෝහනය යනු තර්කය ආශ්‍රයෙන් සිදු කෙරෙන්නකි. තර්කය යොදා ගැනෙන්නේ යම් න්‍යායක (logic) ය. ඇරිස්ටෝටලීය න්‍යායෙහි A = A ,A= B B= C නම්| A= Cයනුවෙන් ස්වසිද්ධි වෙයි. මුළු මහත් බටහිර ගණිතය ම මෙවැනි ඈරිස්ටෝටලිය ස්වසිද්ධි මත පදනම් ව කෙරෙන අපෝහනවලින් හා අභ්‍යුහනවලින් යුක්ත වෙයි. A > B හා B> C නම් A> C යනු තවත් එවැනි ස්වසිද්ධියකි. බටහිර ගණිතයෙහි අපෝහනය සඳහා යොදාගන්නා මේ ස්වසිද්ධි අභ්‍යුහනයන් බව බොහෝ දෙනා නො දනිති. අභ්‍යුහනය යනු උපකල්පනයකින් මිස අන්කිසිවකින් සිදුවන්නක් නො වේ.

A =A යනුවෙන් ගැනීමේ දී අප කරන්නේ කුමක් ද? පළමුවෙන් මA යනුවෙන් යමක් පවතින්නේ යැයි අපි සිතමු. මෙහි A යනු ඕනෑම දෙයක් සත්වයකු වෙනුවෙන් යෙදිය හැකි ය. ඕනෑම ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී හෝ වූවක් අපි A යනුවෙන් හඳුන්වමු. A යනු දිනිඳු විය හැකි ය. එසේත් නැත්නම් අප වත්තේ ඇති පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් අසවල් තාරකාව විය හැකි ය. ඒ සෑම අවස්ථාවක දී ම දිනිඳු හෝ පොල්ගස හෝ තාරකාව හෝ පවතින්නේ යැයි අපි සිතමු. එහි දී අපි පැවැත්ම උපකල්පනය කරමු. මෙහි තවත් කරුණු දෙකක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු ය. අපි ඒ කරුණු ද උපකල්පනය කරමු. උපකල්පන හැරෙන්නට, අපේ මනස්වලින් අප නිර්මාණය කරන දෑ හැරෙන්නට වෙනත් ලෝකයක් අපට නැත.

දිනිඳු හෝ අප දන්නා පොල් ගස හෝ තාරකාව හෝ වියුක්ත දේ නො වේ. ඒවා සංයුක්ත දේ වෙයි. අපි දිනිඳු හඳුනමු. අපේ වත්තේ ඇති අසවල් පොල්ගස දනිමු. එසේ ම අසවල් තාරකාව ද දනිමු. ඒ අපේ මනස සමග ගත්කල පංචේන්ද්‍රියයන්ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ ගෝචර වෙයි. (මනස නොමැතිව කිසිම වෙනත් ඉන්ද්‍රියයකට ඒ ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය) අපි දිනිඳු පවතින බව දනිමු. එමෙන් ම අපි පොල්ගස ද පවතින බව දනිමු. එහෙත් අපි මෙහි දී තවත් දෙයක් උපකල්පනය කරමු. එනම් අප නැතත් දිනිඳු පවතින බව ය. අප අද මළත් බොහෝ විට දිනිඳු හෙටත් අනිද්දාත් ඉන් පසුවත් කාලයක් ජීවත්වන බව අපි දනිමු. පොල්ගස හා තාරකාව ද එලෙස ම අප නැතත් තවත් යම් කලයක් පවතින බව අපි දනිමු. එහෙත් එසේ පවතින්නේ අප දන්නා දිනිඳු ද? වෙනත් අයකු දන්නා දිනිඳු ද? එසේත් නැත්නම් අප කවුරුවත් නොදන්නා වාස්තවික දිනිඳු කෙනෙක් ද?

මෙහි දී අපි දිනිඳුට පොල්ගසට හා තාරකාවට වාස්තවික පැවැත්මක් ලබා දී ඇත්තෙමු. එහි දී් මා දන්නා දිනිඳු ඔබ දන්නා දිනිඳු නොවන බව අපි අමතක කරමු. පොල්ගස හා තාරකාව සම්බන්ධයෙන් ද ඒ එසේ ය. අපි සාපේක්‍ෂය නිරපේක්‍ෂයක් බවට පත්කර ඇත්තෙමු. ඒ කිසිදු තර්කයක් න්‍යායක් අනුව සිදුවන්නක් නො වේ. එය ද අභ්‍යහනයක් පමණ ය. අපට සාපේක්‍ෂ වූ දිනිදු අපට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ දිනිඳු කෙනකු බවට පත්කිරීම අභ්‍යුහනයක් පමණ ය. පුදන කොට ම කාපි යකා වැනි ඒ නිරීක්‍ෂණයට පසුව අපA යන්නෙන් දිනිඳු මෙන් ම පොල්ගස ද තාරකාව ද හඳුනාගන්නා බව මතක් කර දිය යුතු ය. A යනු එවිට වියුක්ත සංකල්පයකි. එය මනසින්වත් මවාගත හැකි නො වේ. එය ඕනෑම පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම තාරකාවක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම පුද්ගලයකු විය හැකි ය.

ඉන්පසු අප කියන්නේ එයටත් වඩා භයානක දෙයකි. A පවතින බව උපකල්පනය කර අනතුරුව අපි A =A යැයි කියමු. එහි පදනම කුමක් ද ? A =A වන්නේ යම් ක්‍ෂණයක ද? නැත්නම් දිගින් දිගට ම ද? දිනිඳු තමන්ට සමාන වේ ද? එසේ නම් ඒ කොපමණ කාලයකට ද? දිනිඳු තමන්ට සමාන වන්නේ ජීවත් ව සිටිනතාක් කල් පමණ ද? මරණින් පසු වෙනත් භවයක ඇත්තේ දිනිඳු ද? වෙනත් අයකු ද? දිනිඳු හා වෙනත් අයකු ද? දිනිඳුත් නො වේ ද වෙනත් අයකුත් නො වේ ද?

පොල්ගස සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද? පොල්ගස එයට සමාන වන්නේ එක් ක්‍ෂණයක දී ද? එය එයට ගස මැරෙන තෙක් ම සමාන වන්නේ ද? පොල්ගසේ මරණයෙන් පසු පොල්ගස සමාන වන්නේ කුමකට ද? පොල්ගස සම්බන්ධයෙන් ගත්කලA =A යන්න ගසෙහි අභාවයත් සමග අවසන් වන්නේ ද? තාරකාව ඇතුළු අනෙක් සියළු දෑ සම්බන්ධයෙන් ඒ අයුරෙන් සමානත්වය ප්‍රශ්න කළ හැකි ය.

දිනිඳු ඊළඟ භවයේ දී නොව මේ භවයෙහි ද දිගින් දිගට ම තමන්ට සමාන වන්නේ ද? බිළිඳු දිනිඳු, ළමා දිනිඳුට හෝ තරුණ දිනිඳුට හෝ වැඩිමහළු දිනිඳුට හෝ සමාන නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. දිනිඳුගේ හැඩ රුව දිනෙන් දින ම වෙනස් වෙයි. ඔහුගේ හැකියාවන් වෙනස් වෙයි. බිළිඳු දිනිඳුට කළ නොහැකි දේ තරුණ දිනිඳුට කළ හැකි ය. තරුණ දිනිඳුට නොමැති අත්දැකීම් වැඩිමහළු දිනිඳුට වෙයි. එසේ නම් දිනිඳු තමාට සමාන යැයි පවසන්නේ කිනම් අරුතකින් ද?

ඉතා පැහැදිලි ව වෙනස්වන ඊනියා ප්‍රපංචයක විවිධ අවස්ථා සමාන යැයි ගැනීමට අප නිරර්ථක උත්සාහයක යෙදෙන බව පෙනී යා යුතු ය. වෙනස්වන ප්‍රපංචය යන්න ද වෑරදි ඇත් ගෙන දෙයි. වෙනස්වන දිනිඳු තමාට සමාන යැයි ගැනීම පිටුපස ආත්මවාදයක් ඇති බව පැහැදිලි ය. දිනිඳුගේ කෙස්, හම හෝ වෙනත් එවැන්නක් හෝ නොව වෙනස් නොවන ආත්මයක් පමණක් දිගින් දිගට ම එයට ම සමාන විය හැකි ය. ඒ ආත්මය අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවීම හේතුවෙන් එයට ද වියුක්තයක් යැයි කිව හැකි ය. දිනිඳු තමන්ට ම සමාන විය හැක්කේ එවැනි වෙනස් නොවන නිත්‍ය ආත්මයක්, සදාකාලික ආත්මයක් ඇත්නම් ය. අප තේරුම් නොගත්ත දA =A යනු ආත්මවාදී ප්‍රකාශයකි.

දැන් යමකුට ප්‍රශ්නයක් විය හැක්කේ දිනිඳු තමන්ට ක්‍ෂණයක දී සමාන විය හැකි ද යන්න ය. අප එයට ඔව් යැයි පිළිතුරු දුන්න ද, ඊළඟ ක්‍ෂණයෙහි දී පවතින්නේ වෙනස් වූ දිනිඳු කෙනකු බව පැහැදිලි විය යුතු ය. එහෙත් අපට දිනිඳු යම් ක්‍ෂණයක දී තමන්ට සමාන විය හැකි ද යන ප්‍රශ්නය අප හමුවේ වෙයි. මෙහි දී අපට නැගෙන පළමු ප්‍රශ්නය නම් ක්‍ෂණය යනු කුමක් ද යන්න ය. අප ක්‍ෂණයක් යනුවෙන් අර්ථදක්වන්නේ කුමක් ද? දිනිඳු ක්‍ෂණයකට පමණක් පවතින්නෙක් ද? ඊළඟ ක්‍ෂණයෙහි දී දිනිඳු වෙනස් වුවත් එක් කුඩා ක්‍ෂණයකට පමණක් දිනිඳු පවතින්නේ ද? අප විසින් පණවන ලද සංකල්පයක් වූ, පඤ්ඤත්තියක් පමණක් වූ, කාලයෙන් කොටස් කඩා ඒ කොටස් ඉතා කුඩා කර ඒ පවතින බව අපට කිව හැකි ද? එසේත් නැතහොත් ක්‍ෂණයක් යනු කාලයෙන් විනිර්මුක්ත වූ කුඩා කොටසක් ද?

කාලයෙන් විනිර්මුක්ත වූ ක්‍ෂණ නමින් හැඳින්විය හැකි එවැනි කුඩා කොටස් පවතින්නේ ද? එසේ නම් ඒ පවත්නා කුඩා කොටස් මොනවා ද? එවැනි ක්‍ෂණ වාස්තවික ද? නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත ද? ඒ ක්‍ෂණවලට වාස්තවික පැවැත්මක් ඇත් ද? ක්‍ෂණයෙන් ක්‍ෂණයට ඇත්තේ සන්තතික වූ සම්බන්ධයක් ද? එසේත් නැත්නම් අසන්තතික ක්වොන්ටම් සම්බන්ධයක් ද? එසේත් නැතහොත් වෙනත් ම වූ සම්බන්ධයක් ද? යම් ක්‍ෂණයක දී තමන්ට ම සමාන වූ දිනිඳු ඊළඟ ක්‍ෂණයට වෙනස් වී පනින්නේ ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත ම ද? එසේත් නැත්නම් ක්‍ෂණයෙන් පිටත දී ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත නම් දිනිඳු ක්‍ෂණයක දී තමන්ට සමාන වන්නේ යැයි කීමේ තේරුම කුමක් ද?