Main Logo

Showing posts with label පොපර්. Show all posts
Showing posts with label පොපර්. Show all posts

Wednesday, 10 September 2014

අමරතුංග මහතා පොපර් ආරක්‌ෂා කරන්නේ කෙසේ ද?



ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා අගොස්තු 20, 27 හා සැප්තැම්බර් 3 වැනි දිනවල ඇසූ ප්‍රශ්නවලට සැප්තැම්බර් 10 වැනි දිනවත් පිළිතුරු දේ යැයි බලාපොරොත්තු වෙමි. පළමු කොට ම ඒ මහතා තමා සත්‍යය යනුවෙන් සලකන්නේ කුමක් දැයි පැහැදිලි කර ඒ මත පදනම් ව පිළිතුරු ඉදිරිපත් කරන්නේ නම් මැනවි. සත්‍යය යනු කුමක් ද යන්න පිළිබඳ ව මගේ අර්ථකථනයක් ඇත. එහෙත් එය පැහැදිලි කිරීමට පෙර අමරතුංග මහතා සත්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. එසේ වුවත් ඒ සඳහා අමරතුංග මහතාට දීර්ඝ කාලයක් ලබාදීමට මා සූදානම් නැත. 

පසුගිය ජූනි 27 වැනි දා මහනුවර දී පවත්වන ලද රැස්වීමේ රූප පටිය එම රැස්වීම සංවිධානය කළ විද්‍යා සංවාද කුලකයෙන් මට ලැබී ඇත. එහි ගුණාත්මක බව අඩුවුව ද එය නැරඹීමට ඒ බාධාවක් නො වේ. එය කාලය වෙබ් අඩවියෙන් (www.kalaya.org) ද පහත සඳහන් සබැඳිවලින් ද ලබාගත හැකි ය. 

https://www.youtube.com/watch?v=gPFcJxO7nyI

https://www.youtube.com/watch?v=AIFguCIVIHg#t=27

එහි මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ගුරුත්වාකර්ෂණය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් අවශ්‍ය අයකුට අසා ගැනීමට පටිගත වී ඇත. එහෙත් අමරතුංග මහතාට නම් ඒ එතරම් ප්‍රයෝජනයක් නොවනු ඇත්තේ වියුක්තය තේරුම් ගැනීමේ දී ඒ මහතා දක්වන අදක්‍ෂතාව හේතුකොටගෙන ය. කෙසේ වුවත් තෙන්නකෝන් මහතාට අනුව අමරතුංග මහතා පමණක් නොව බටහිර භෞතික විද්‍යාව ගැඹුරෙන් හැදෑරීමට තරම් ගණිත දැනුමක් නැති කාලෝ ෆොන්සේකා මහතා වැන්නන් ද පවසන ආකාරයෙන් නොව අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කර ඇත්තේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වර්ධනය කිරීමක් නොවන බව පැහැදිලි වනු ඇත. මෙරට අභාග්‍යයකට මෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතාකරන්නෝ වියුක්තය ගැන එතරම් අවබෝධයක් නැති බටහිර ජෛවීය විද්‍යාවන් හැදෑරුවෝ ය. තෙන්නකෝන් මහතාට අනුව ද අයින්ස්ටයින්ගේ හා නිවුටන්ගේ සංකල්පීය පද්ධති එකිනෙකට වෙනස් ය. එකිනෙකට වෙනස් පද්ධති දෙකක් එකක් අනෙකෙහි වර්ධනයක් ලෙස දැකිය හැක්කේ ඒ පද්ධති දෙකක් බවවත් තේරුම් ගැනීමට නොහැකි මහාචාර්යවරුන්ට ය!    
  
බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි යන්න පදනම් වන්නේ බොරුව යනු කුමක් ද යන්න මත, එනම් ඇත්ත යනු කුමක් ද යන්න මත බව කීම අවශ්‍ය නො වේ. මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය මත ය. එහි දී මා ද්වයතානුපස්සනා සූත්‍රය යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් මා ලබාගන්නා උදාහරණයක් ලෙස ය. අමරතුංග මහතා සිතා සිටින්නේ ඔහු මා එතැනට තල්ලු කර දැමූ බව ය. ඔහුගේ අනෙක් බොහෝ සිතිවිලි මෙන් ම ඒ සිතිවිල්ල ද වැරදි ය. මම කලක සිට සියළු දැනුම් බොරු බවත් ඒ අවිද්‍යාව නිසා අප විසින් නිර්මාණය කෙරෙන  බවත් පවසමි. කෙසේ වුවත් අමරතුංග මහතා සත්‍යය යනු කුමක් දැයි පැහැදිලි කිරීමෙන් පසුව ඒ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකි ය. 

මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම කල්තබා අමරතුංග මහතා කුන් හා ෆෙයරාබන්ඩ් ගැන සඳහන් කරන්නේ මා ඔවුන්ගේ අදහස් මත යැපෙන්නේ යැයි අමරතුංග මහතා විශ්වාස කරන නිසා විය හැකි ය. එහෙත් මා කලින් ද කියා ඇති පරිදි ඔවුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ වුව ද මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම, එනම් මට සාපේක්‍ෂව මා නිර්මාණය කර ඇති බුදුදහම මත ය. මා දන්නා බුදුදහමේ ඊනියා දර්ශනයක් නැත. බෞද්ධ දර්ශනය (Buddhist Philosophy)  යනු බටහිර අනුකාරක ඇතැම් බෞද්ධ යැයි කියාගන්නා උගතුන්ගේ ව්‍යාජ කතාවක් පමණකි. බුදුදහමෙහි උත්සාහ කරන්නේ ඊනියා දැක්ම (දර්ශනය) නැතිකිරීම ය. ඤාණය, අඤාණ බවට පත්කිරීම ය. කූන්ගේ හෝ ෆෙයරාබන්ඩ්ගේ හෝ පශ්චාත්නූතනවාදීන්ගේ හෝ දර්ශන සිංහල බෞද්ධයකු වන මම කෙවිටකින් ගත් ගැරඬි හැවක් මෙන් විසි කරමි. 

පශ්චාත්නූතනවාදීන් කියන ආකාරයේ පශ්චාත්නූතනත්වයක් ඇතැයි මම නො සිතමි. ඔවුන් පශ්චාත්නූතනත්වයක් යැයි කියන්නේ නූතනත්වයේ ම වර්ධනයකට ය. අද සිදුවන්නේ පෞද්ගලිකත්වය හා පංචෙන්ද්‍රිය පිනවීම ඝාතීය ව (exponentially) වැඩිවීමකි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණයේ වර්ධනයක් ද දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය එංගලන්තයෙන් ඇමරිකාවට මාරුවීමක් ද දැකහත හැකි ය. එහෙත් එහි නූතනත්වයෙන් කැඩීමක් නො වී ය.  නූතනත්වයේ ප්‍රතිඵලයක් වූ බටහිර විද්‍යාව  ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වෙනස් වී නැත. එහි සුසමාදර්ශී වෙනසක් ක්වොන්ටම් භෞතිකයත් සමග ඇතිවුවත් බටහිර විද්‍යාඥයෝ ක්වොන්ටම් භෞතිකය ඊනියා යථාර්ථයක් ලෙස නොසලකති. ඔවුහු තවමත් අයින්ස්ටයිනීය සුසමාදර්ශයේ එල්බගෙන සිටිති. බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව ක්වොන්ටම් භෞතිකය යනු ගණනය කිරීමට යොදා ගන්නා අවියක් පමණකි. ඔවුන් ම කියන ආකාරයට ඔවුන්ට ක්වොන්ටම් භෞතිකය නො තේරෙයි. එයට හේතුව බටහිරයන් තවමත් නූතනත්ව චින්තනයේ ගැලී සිටීම ය. ක්වොන්ටම් සුසමාදර්ශය ද ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය.    

පසුගිය සතියේ අප ඉතා කෙටියෙන් පැවසූ පරිදි මට නැතත් අමරතුංග මහතාට නම් අවසාන වශයෙන් පිහිටට එන්නේ ෆෙයරාබන්ඩ් ය. ඒ බව තරමක් පැහැදිලි කළයුතුව ඇත්තේ එසේ කෙටියෙන් කියන දේ අමරතුංග මහතාට කෙසේවත් නොතේරෙන බැවිනි. අමරතුංග මහතාට අනුව කවදත් කොතැනකත් තිබුණේ එකම විද්‍යාවකි. ඔහුට අනුව බටහිර විද්‍යාව පහළොස්වැනි සියවසෙන් පසුව ඇරඹි දැනුම් පද්ධතියක් නො වේ. ඔහුගේ දැනුම අනුව සිංහල වෙදකම ද බුදුදහම ද ආනුභාවික (empirical) දැනුම් පද්ධති වෙයි. බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් නොවන්නේ නම් එයට ආවේණික වූ විද්‍යා දර්ශනයක් (Philosophy of Science) තිබිය නො හැකි ය. අමරතුංග මහතාට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවටත්, ආයුර්වේදයටත්, සිංහල වෙදකමටත් තිබිය හැක්කේ එකම දර්ශනයකි. එය අන් කිසිවක් නොව ඊනියා ආනුභවික කතන්දරය යැයි සිතමි. 

එසේ වුවත් බේකන්ගේ කාලයේ සිට ම බටහිර දාර්ශනිකයෝ අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වීමක් පෙන්නුම් කරන වෙනසක් බටහිර විද්‍යාවේ දුටුවෝ ය. බටහිර දාර්ශනිකයෝ මේ වෙනස් දර්ශනය හැඳින්වීමට විද්‍යාවේ දර්ශනය යන නම ද යොදා ගත්හ. ඔවුන් එය විද්‍යාවේ දර්ශනය ලෙස නම් කළේ ඔවුන්ට අනුව වෙනත් විද්‍යාවක් නොතිබූ බැවිනි. එහෙත් අපි ඒ බටහිර විද්‍යාවේ දර්ශනය ලෙස හඳුන්වමු. අප එසේ කරන්නේ අපට සාපේක්‍ෂ ව බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යා හා දැනුම් පද්ධති  තිබෙන බැවිනි. 

අමරතුංග මහතාට සංගත ව පරස්පරවලින් තොරව යමක් කියාගත නො හැකි ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් යැයි කියන අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් යැයි කියමින් බටහිර විද්‍යාවට වෙන ම දර්ශනයක් ඇතැයි කියන, බේකන් පොපර් පමණක් නොව කූන් ද වැරදි විය යුතු ය. එහෙත් අමරතුංග මහතා කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කරයි. වෙනත් අයුරකින් කියන්නේ නම් අමරතුංග මහතාට අනුව පොපර් නිවැරදි ය. පොපර් නිවැරදි ය යන්නෙන් කියැවෙන්නේ කුමක් ද? 

ඒ අන්කිසිවක් නොව අමරතුංග මහතාට අනුව පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි බව ය. පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි වීමට නම් පළමුව බටහිර විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක් අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. වෙනත් අයුූරකින් කියන්නේ නම් බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. අමරතුංග මහතා කටින් කුමක් කීවත්, එයින් කියැවෙන්නේ ලෝකයේ එතෙක් පැවති දැනුම් පද්ධතීන්ගෙන් බටහිර විද්‍යාව වෙනස්වන බව ය. එනම් ලෝකයේ කවදත් කොතැනත් එකම විද්‍යාවක් නොතිබි බව ය. අමරතුංග මහතා තමන්ට ම විරුද්ධව තර්ක කරන්නේ සංගත බව යන්න ඒ මහතාගේ ශබ්ද කෝෂයෙහි නැති බැවිනි. අමරතුංග මහතා කළ යුතුව තිබුණේ කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කිරීම නොව පොපර්, කූන් පමණක් නොව බේකන් ද විවේචනය කිරීම ය. එහෙත් බේකන්ගේ උද්ගමනය ඊනියා ආගමන ශාස්ත්‍රය ලෙස දකින අමරතුංග මහතාට කළ හැක්කේ පොපර් ආරක්‍ෂා කිරීම ය. එමගින් ඔහු බටහිර විද්‍යාව යනුවෙන් වෙන ම විද්‍යාවක්, දැනුම් පද්ධතියක් ඇති බව පිළිගනියි!

බටහිර විද්‍යාව යනුවෙන් අන් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වූ දැනුම් පද්ධතියක් නැති බව පවසන්නේ ෆෙයරාබන්ඩ් ය. ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාවේ අනෙක් දැනුම් පද්ධතිවල නොමැති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නැත. ඔහු ඉතා පැහැදිලිව කරුණු සහිත ව පෙන්නුම් කරන්නේ ගැලීලියෝ විසින් හඳුන්වාදෙන ලද ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් නොමැති බව ය. ඔහු විධික්‍රමයට එරෙහිව (Against Method)  පොතෙහි සඳහන් කර ඇති කරුණුවලට අමතර ව අපට පහත සඳහන් කරුණු ද ප්‍රකාශ කළ හැකි ය.

බුදුන් වහන්සේගේ සමයෙහි ද බමුණන් ආත්මයක් ඇත් ද නැත් ද යන්න දැනගැනීම සඳහා පරීක්‍ෂණ  කර ඇත. බමුණෝ ශුද්‍රයකු මරා සිරුරෙන් යමක් පිටවී යන්නේ දැයි නිරීක්‍ෂණය කිරීමට වැයම් කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සිරුරෙන් යමක් (ආත්මය) පිටවී යන බව පෙන්වා එමගින් ආත්මයක් ඇතැයි නිගමනය කිරීම ය. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු නො වී ය. ඔවුන්ට සිරුරෙන් යමක් පිටවී යන බව නිරීක්‍ෂණය කිරීමට නො හැකි විය. ඒ පරීක්‍ෂණයෙන් හා නිරීක්‍ෂණයන් නිගමනය කළ හැක්කේ කුමක් ද?  

පරීක්‍ෂණය හා නිරීක්‍ෂණය නිවැරදි යැයි උපකල්පනය කළහොත් එයින් කියැවෙන්නේ එක්කෝ ආත්මයක් නැති බව ය. එසේත් නැතිනම් පුනබ්භවයක් නැති බව ය. ඇතැම් විට අපට දැනට ගෝචර නොවන සිතාගත නොහැකි නිගමන ද ඉන් ලබාගත හැකි වනු ඇත. අමරතුංග මහතා හා ඔහුගේ බුද්ධිමය විරයන් වන ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ ආදීන් ඉන් නිගමනය කරනු ඇත්තේ පුනබ්භවයක් නැති බව ය. ඔවුන් එසේ කරනු ඇතැයි හෝ කරන්නට ඇතැයි මා සිතන්නේ ඒ නිගමනය ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය සමග එකඟ වන බැවිනි. 

ඇරිස්ටෝටල් හෝ එකල සිටි වෙනත් අයකු හෝ බරෙන් වෙනස් වස්තු දෙකක් එක ම උසකින් එකම මොහොතෙහි අතහැරියහොත් වඩා බර වස්තුව බරෙන් අඩු වස්තුවට කලින් පොළොවට වැටෙන බව නිගමනය කළේ හුදු හිතළුවක් ලෙස විය නො හැකි ය. එය උද්ගමනයෙන් (අමරතුංග මහතාගේ ආගමන ශාස්ත්‍රයෙන්) ලබාගත්තක් ලෙස සැලකිය හැකි ය. අමුතුවෙන් පරීක්‍ෂණ නොකළත්, නිදෑල්ලේ වැටෙන වස්තු නිරීක්‍ෂණය කරන අයකුට කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මනින් පොළොවට වැටෙන බව ය. පොල් ගෙඩියක් හා පොල් කොළයක් එක්විට එක් උසකින් අත්හැරියහොත් පොල් ගෙඩිය පොල් කොළයට ඉක්මණින් පොළොවට වැටෙන බව අපි නිරීක්‍ෂණය කරමු.

මෙවැනි උදාහරණ රාශියකින් පසුව අපට උද්ගමනයෙන් කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටෙන බව ය. අද ජීවත්වන පඬියකු වායු ප්‍රතිරෝධය නිසා පොල් කොළය පසුව පොළොවට වැටෙන බව කියනු ඇත. එහෙත් ඇරිස්ටෝටලීය ගතිකයෙහි (සුසමාදර්ශයෙහි) වායු ප්‍රතිරෝධයක් නො වී ය. ඇරිස්ටෝටලීය ප්‍රතිඵලය, එනම් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටීම නිරීක්‍ෂණයෙහි හා උද්ගමනයෙහි ප්‍රතිඵලයකි. ඇරිස්ටෝටලීය සුසමාදර්ශය වාතය සහිත මාධ්‍යයක සිදුවන චලිතය සඳහා විය. අදාළ නිරීක්‍ෂණය හුදු හිතළුවක් නොවී ය යන්න මෙහි දී අවධාරණය කළ යුතු ය. වෙනත් වචනවලින් කිවහොත් ගැලීලියෝට බොහෝ කලකට පෙර ද නිරීක්‍ෂණ, පරීක්‍ෂණ (බමුණන්ගේ ආත්ම පරීක්‍ෂණය), නිගමන ආදිය විය. 

එසේ නම් ගැලීලියෝ කළේ කුමක් ද? ඔහු කළේ සුසමාදර්ශී වෙනසකි. අමරතුංග මහතාට සුසමාදර්ශය යනු කුමක් දැයි නොතේරෙන බැවින් සුසමාදර්ශී වෙනසක් (paradigm shift) යන්න කෙසේවත් නො තේරෙයි. මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් ඒ වගක් නො කියයි. ඇරිස්ටෝටලීය ගතිකය වායු මාධ්‍යයක සිදු වුවක් විය. ගැලීලියෝ එය වෙනස්කර රික්තයක සිදුවන චලිතය ගැන කතා කළේ ය. බරෙන් අසමාන වස්තු එක්වර එක් උසකින් මුදාහළ විට එක්විට පොළාවට වැටෙන්නේ වාතය සහිත මාධ්‍යයක නොව රික්තයක ය. මෙය එකල සුසමාදර්ශී වෙනසක් විය. 

එහෙත් ෆෙයරාබන්ඩ් මතු කරන්නේ වෙනත් ප්‍රශ්නයකි. ගැලීලියෝ තම ඊනියා පරීක්‍ෂණය සඳහා පීසා නුවර ඇළවෙන කුළුණ වටා රික්තයක් නිර්මාණය නො කළේ ය. අද පවා එළිමහනේ රික්තයක් නිර්මාණය කළ හැක්කේ කාහට ද? ගැලීලියෝ රික්තයක් නිරමාණය නොකර රික්තයක සිදුවන චලිතය සඳහා පරීක්‍ෂණ කළේ ය! ඔහු තම ඊනියා පර්යේෂණය සඳහා තොරාගත්තේ කොළයක් හා ගෙඩියක් නොව එකම වර්ගයේ වස්තු දෙකකි. යම් අයූරකින් ඔහු කොළයක් හා ගෙඩියක් තෝරා ගත්තේ නම් ඔහුගේ නිරීක්‍ෂණය වනු ඇත්තේ ගෙඩිය හා කොළය එක්වර පොළොවට වැටීම නොව ගෙඩිය කොළයට පෙර පොළොවට වැටීම ය. එවිට ඔහුට ලැබීමට තිබූ ප්‍රතිචාරය කුමක් ද? 

ගැලීලියෝ රික්තයක් නිර්මාණය නොකර රික්තයක කරන පරීක්‍ෂණයක් සිතෙන් මවාගැනීමට පීසා නුවර ඇළවෙන කුළුණ වටා සිටි අයට කියා සිටියේ ය. ඔහු ඉන්පසු තමන්ට අවශ්‍ය  ප්‍රතිඵලය ලබාගනු වස් සුදුසු පරීක්‍ෂණ භාණ්ඩ තෝරාගත්තේ ය. මෙය වංචාවක් මිස වෙනත් දෙයක් නො වේ. බටහිර විද්‍යාවට ඊනියා පර්යේෂණාත්මක ක්‍රමය හඳුන්වාදුන්නේ යැයි කියන පරීක්‍ෂණය වංචා සහගත උපක්‍රමයක් මිස වෙනත් දෙයක් නො වේ. 

ෆෙයරාබන්ඩ් තම කෘතිවලින් කරන්නේ බටහිර විද්‍යාවේ ඇති මෙවැනි තැන් හෙළිදරවු කිරීම ය. එයින් කිපෙන ඇතැම්හු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් හැසිරෙති. ෆෙයරාබන්ඩ්ගේ හෙළිදරවු කිරීම් බොහෝ බටහීිර විද්‍යාඥයන්ට දරාගත නො හැකි ය. එබැවින් ඔවුහු ෆෙයරාබන්ඩ් ට පරිභව කරති. පැහැදිලි ව ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ෆෙයරාබන්ඩ් වටහා ගන්නා අමරතුංග මහතා ඔහුට ආක්‍රොශ පරිභව මුඛයෙන් කතාකරයි. ඒ අතර අමරතුංග මහතා ම කියන්නේ ෆෙයරාබන්ඩ් ඇමරිකාවේ වැදගත් යැයි සැලකෙන විශ්වවිද්‍යාල කිහිපයක ම සේවය කර ඇති බව ය. ඒ විශ්වවිද්‍යාල ෆෙයරාබන්ඩ්ට තනතුරු ලබා දී ඇත්තේ ඒවාහි ද මනස විකෘති වුවන් සිටි නිසා දැයි අමරතුංග මහතා කියන්නේ ද?   

එසේ වුවත් ෆෙයරාබන්ඩ්ගේ අදහස් වැදගත් වන්නේ අමරතුංග මහතාට ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ  එකම විද්‍යාවක් යැයි අමරතුංග මහතා කියන විට ෆෙයරාබන්ඩ් කියන්නේ බටහිර විද්‍යාවට විශේෂිත වූ විධික්‍රමයක් නැති බව ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාව හා අනෙක් විද්‍යාවන් අතර වෙනසක් නැත. මෙය එකඟ වන්නේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව යන්න සමග ය. එහෙත් ෆෙයරාබන්ඩ් එතැනින් නොනවතින බව අමරතුංග මහතා කියනු ඇත. ෆෙයරාබන්ඩ්ට අනුව විද්‍යාව හා මිථ්‍යාව අතර ද වෙනසක් නැතැයි ද එහෙත් තමන් විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන බව ද  අමරතුංග මහතා අපට කියනු ඇත. 

එහෙත් ප්‍රශ්නය වනුයේ විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන ආකාරය අමරතුංග මහතා නො කීම ය. විද්‍යාව යනු කුමක් ද, මිථ්‍යාව යනු කුමක් ද, සත්‍යය යනු කුමක් ද, බොරුව යනු කුමක් ද යන ප්‍රශ්නවලට අමරතුංග මහතා දෙන පිළිතුරු කවරේ ද? ඒ ප්‍රශ්නවලට මට පිළිතුරු නැතිවා නො වේ. එහෙත් පළමුව ඒ සම්බන්ධයෙන් අමරතුංග මහතා කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි.

කෙසේ වෙතත් පොපර් අසත්‍යකරණ ප්‍රවාදය (Theory of falsification) ඉදිරිපත් කළේ බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීමට ය. මෙහි දී කිවයුතු ප්‍රධාන ම කරුණ නම් අමරතුංග මහතා කූන්ට එරෙහිව පොපර් ආරක්‍ෂා කළ ද,  පොපර් බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකන බව ය. අමරතුංග මහතා පොපර් ආරක්‍ෂා කරන කල ඔහු දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකයි. එනම් අමරතුංග මහතා ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් ය යන මතය ප්‍රතික්‍ෂෙප කරයි! අසංගත ව සිතීමේ විපාක අමරතුංග මහතාට දිට්ඨ ධම්ම වෙදනිය වශයෙන් ම ලැබී ඇත. 

පොපර් කියන්නේ යම් දැනුම් පද්ධතියක් විද්‍යාවක් වීමට නම් එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට හැකි විය යුතු බව ය. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ඔහු මාක්ස්වාදය හා ජ්‍යොතිෂය මිථ්‍යා ලෙස සලකයි. එපමණක් නොව පශ්චාත්නූතනවාදීන් ද ඇතැම් බටහිර වෛද්‍යවරුන් ද විද්‍යාවක් ලෙස සලකන මනෝ විශ්ලේෂණය පොපර්ට අනුව මිථ්‍යාවන් ය.  පොපර් කියන්නේ මේ දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හා නිගමන අසත්‍යකරණයට ලක් කළ නොහැකි බව ය. අප මෙය කෙටියෙන් වුවත් විශ්ලේෂණය කළ යුතු ය. එහෙත් ඒ සියල්ලට පළමුව අප අසත්‍යය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අමරතුංග මහතා අසත්‍යය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි ඉක්මණින් ම දැනගනු කැමැත්තෙමි. 


නලින් ද සිල්වා

2014-09-10

Saturday, 18 May 2013

මාක්ස්වාදය හා දැනුම් ගස්


ගුණදාස අමරසේකර මහතාට අනුව එක්තරා ලේඛකයකු කියා ඇත්තේ රුසියාවේ විප්ලවය සිදුවූයේ මාක්ස්වාදයට අනුව නොව එහි ජාතික චින්තනයට (national thought) එකඟව බව ය. රුසියන් විප්ලවය රුසියාවේ ජාතික චින්තනයට එකඟව සිදු වී නම් ඉන් අවුරුදු අසූවක් ගතවීමට පෙර සෝවියට් දේශය කඩාවැටී රුසියාව ඇතුළු විවිධ රාජ්‍ය බිහිවූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ද ජාතික චින්තනය ඇසුරෙන් පිළිතුරු සැපයිය යුතු ය. ජාතික චින්තනය නමැති විසිරුණු අදහසට අනුව එයට පිළිතුරු සැපයිය නො හැකි ය. එමෙන් ම මාක්ස්වාදයට ද එයට පිළිතුරු නැත. චාවේස් කස්ත්‍රෝ ආදී පුද්ගලයන් බිහිවන්නේත් ඒ රටවල ඊනියා සමාජවාදී හෝ මානව හිතවාදී හෝ රාජ්‍ය බිහිවන්නේ කෙසේ ද ආදී ප්‍රශ්නවලටත් ජාතික චින්තන අදහස්වලින් හෝ මාක්ස්වාදයෙන් හෝ පිළිතුරු නො ලැබෙයි.

අප මේ කරුණු සාකච්ඡා කරන්නේ දැනට අවුල් ව ප්‍රචාරය වී ඇති මතිමතාන්තර කිහිපයක් නිරවුල් කරගැනීම සඳහා ය. අනෙක් පැත්තෙන් අපේ ප්‍රවාද ගැන ද පැහැදිලි කිරීමට ඒ උපයෝගී කරගත හැකි ය. පළමුකොට ම මාක්ස්වාදය ගැන කෙටි සටහනක් අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාවේ බටහිර දාර්ශනිකයකු වූ කාල් පොපර් මාක්ස්වාදය හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඇරඹූ මනෝ විශ්ලේෂණය විද්‍යාව, එනම් බටහිර විද්‍යාව, නොවේ යැයි ප්‍රකාශ කර ඇති නමුත් මෙරට පොපර්වාදීහු ද ඒ බව අමතක කරති. ඔවුහු පොපර් අනුව යමින් ජ්‍යොතිෂය පමණක් බටහිර විද්‍යාව නොවේ යැයි පවසති. මේ කන්න වුවමනා වූ විට කබරගොයා තලගොයා කර ගැනීමකි. මේ ඇතැමුනට අනුව මෑත කාලයේ බටහිර විද්‍යාවේ පහළ වූ දැවැන්තයෝ අයින්ස්ටයින්, ඩාවින්. මාක්ස් හා ෆ්‍රොයිඩ් වෙති. එහෙත් බටහිර විද්‍යාවේ මහා දාර්ශනිකයා ලෙස මෙරට ඇතැමුන්ගේ සැලකිල්ලට පාත්‍රවන පොපර් ඉන් දෙදෙනකු ම ප්‍රතික්‍ෂෙප කරයි.

පොපර් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීම සඳහා නිර්ණායකයක් ඉදිරිපත් කළේ ය. ඒ අන් කිසිවක් නොව බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කර හැකි බවත් එහෙත් අනෙක් දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හෝ මතවාද හෝ වෙනත් දැනුමක් හෝ එසේ අසත්‍යකරණයට ලක්කිරීමට නොහැකි බවත් ය. පොපර්ගේ අසත්‍යකරණය පිළිබඳ විවේචන බටහිර ම කිහිප දෙනකු අතින් පළ වී ඇත. තමන් එකිනෙකා ප්‍රාඥයන් ලෙස හඳුන්වාගන්නා බොහෝ දෙනා පොපර්ගෙන් ඈතට නො යති. ඔවුන් පොපර්ගේ මත ගැන ද එතරම් හොඳින් අධ්‍යයනය කර නොමැති බව පැහැදිලි ය.

පොපර්ට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය ද අසත්‍ය ද බව දැනගැනීම සඳහා පර්යේෂණ කළ හැකි ය. එහෙත් ඔහු පවසන්නේ මාක්ස්වාදයේ හෝ ජ්‍යොතිෂයේ හෝ දැනුම අසත්‍යකරණයට ලක්කළ නො හැකි බව ය. ඔහුට අනුව යමකුගේ කේන්ද්‍රය බලා ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයකු පළකළ අනාවැකියක් ඵල නොදැරුවහෙත් ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයා එය ඵල නොදැරුවේ ඇයි ද යන්නට වෙනත් හේතුවක් කියනු ඇත. එබැවින් ජ්‍යොතිෂයේ දැනුම කිසි දිනෙක අසත්‍ය වන්නේ නො වේ. එමෙන් ම මාක්ස්වාදයේ ද අනාවැකි ඵල නොදරන විට මාක්ස්වාදීහු විවිධ හේතු දැක්වීමට ඉදිරිපත් වෙති.

මාක්ස්ගේ මාක්ස්වාදයට අනුව ඊනියා කම්කරු පංති විප්ලවය මුලින් ම සිදුවීමට තිබුණේ බටහිර යුරෝපයේ ඊනියා දියුණු රටවල ය. විශේෂයෙන් ම එංගලන්තයේ ය. එහෙත් එය එසේ සිදුනොවී ය. පසුකාලීන මාක්ස්වාදීහු එසේ සිදුනොවූයේ ඇයි ද යන්න තේරුම් කිරීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කළහ. පොපර්ට අනුව ගොස් මාක්ස්වාදීහු මාක්ස්වාදය අසත්‍යකරණයට ලක් නො කළහ. මාක්ස්වාදීන් දැක්වූ එක් හේතුවක් වූයේ ඊනියා දියුණු රටවල කම්කරු පංතියේ නායකත්වය එක්කෝ බිහි වී නො තිබීම ය. එසේත් නැතහොත් කම්කරු පංතියේ නායකත්වයේ පාවාදීම් ය.

ඊනියා කම්කරු පංති විප්ලවය නොසිදු වූ ඕනෑම රටක මේ කතාව කියා ගැලවී යෑමට මාක්ස්වාදීහු පුරුදු වී සිටිති. ලංකාවේ ද ඊනියා කම්කරු පංති නායකත්වයේ පාවාදීම් ගැන නිතර කියැවෙයි. එහෙත් පාවා නොදුන්නේ යැයි කියන නායකත්වයට ද ඊනියා කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. එය එසේ වී ඇත්තේ ඇයි දැයි තමන් පාවා දී නැතැයි කියන නායකයෝ තේරුම් කර නො දෙති.

ඊනියා කම්කරු පංති නායකයන් බිහි නොවන්නේ නම් හෝ පාවා දෙන්නේ නම් හෝ මාක්ස්වාදීන් කළ යුත්තේ එසේ වීම තේරුම් ගැනීම සඳහා ප්‍රවාද ඉදිරිපත් කිරීම ය. එහෙත් ඔවුහු එසේ නොකරති. එක්කෝ වත්මන් මාක්ස්වාදීහු නිර්මාණශීලී නො වෙති. නව ප්‍රචාදයක් ඉදිරිපත් කිරීමට නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතු ය. ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම යනු කතන්දරයක් ගෙතීමකි. කතන්දරයක් ගෙතිය හැක්කේ නිර්මාණශීලී පුද්ගලයකුට ය. එපමණක් නො වේ. ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියකට සාපේක්‍ෂ ව ය.

බොහෝ දෙනාට බටහිරයන් විසින් කියා දෙනු ලබන දැනුම පිළිබඳ දැනුමට අනුව ඇත්තේ එක් දැනුමකි. එය මුළු ලෝකයට ම පොදු ය. ඒ ඒ කාලවල දී භාරතයේ, චීනයේ, ග්‍රීසියේ නැතහොත් වෙනත් රටක දැනුම වර්ධනය වන්නට ඇත. එය නිර්මාණයක් යැයි පොදුවේ ගත්කල බටහිරයෝ නො කියති. ඔවුන්ට අනුව දැනුම සොයා ගැනෙයි. එහෙත් මේ සොයාගැනීම පිළිබඳ විශ්වාසය පොපර්ගේ අසත්‍යකරණ ප්‍රවාදයට එකඟ නො වේ. දැනුම සොයා ගැනෙන්නක් නම් එය අසත්‍ය වන්නේ කෙසේ ද? මිනිස්සු අසත්‍ය දැනුම් ද සොයා ගනිත් ද?

චීනයේ හෝ ග්‍රීසියේ හෝ වර්ධනය වූ දැනුමක් දැන් බටහිර යුරෝපයට ගොස් තිබෙන්නට හැකි ය. බටහිරයන්ට අනුව චීනයෙන් බටහිරට ගිය වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය ආදිය පිළිබඳ දැනුම හා දැන් ඒ සම්බන්ධයෙන් බටහිරයන් සතු දැනුම එකකි. එසේත් නැත්නම් පැරණි දඹදිවෙන් අරාබිය ඔස්සේ බටහිරට ගිය ගණිතය අද බටහිර ඒ සම්බන්ධයෙන් ඇති ගණිතය වෙයි. එහෙත් දඹදිව තිබූ වීජය බටහිර අද ඇති වීජය මෙන් වියුක්ත නොවන බව බටහිරයෝ නො කියති. එසේත් නැතහොත් චීනයෙහි වෙඩි බෙහෙත් පිළිබඳ දැනුම තිබුණමුත් චීන ජාතිකයන් බටහිරයන් මෙන් නොව තුවක්කු නිෂ්පාදනය නොකළ බවත් බටහිරයෝ අපට නො කියති.

ලෝකයේ කිසිම දවසක එකම දැනුමක් පමණක් තිබී නැත. බටහිරයන් කියන ආකාරයට ලෝකයේ ඇත්තේ එක් දැනුම් ගහකි. මේ දැනුම් ගහ විවිධ පුද්ගලයන් අතින් වර්ධනය වෙයි. ඒ පුද්ගලයෝ විවිධ ජාතීන්ට, විවිධ ජනවර්ගවලට හා විවිධ සංස්කෘතීන්ට අයත් වෙති. බටහිරයන්ට අනුව මේ දැනුම් ගහ ලෝකයට ම පොදු ය. බටහිරයන් කියන දේ දොහොත් මුදුන් දී පිලිගැනීමට පුරුදු කෙරී ඇති මෙරට ඊනියා උගතුන්ට අනුව ද ලෝකයේ ඇත්තේ එකම දැනුමකි. ඒ දැනුම අද ලෝකයේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල බෙදා හැරෙයි.

එහෙත් මෙරට සිටින උගතුන්ට මේ දැනුමට කිසිවක් එකතුකිරීමට නොහැකි වී ඇත. එයට හේතුව ලෙස මේ උගතුන් පෙන්වා දෙන්නේ බටහිර රටවල මෙන් පහසුකම් මෙරට නැති බැවින් ඔවුන්ට නව දැනුමක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය. එහෙත් අද මෙරටින් ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට ගොස් විශ්වවිද්‍යාලවල හා වෙනත් පර්යේෂණ ආයතනවල ඊනියා පර්යේෂණ කරන්නෝ වෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු වෙති. අධ්‍යයන අංශවල ප්‍රධානීහු වෙති. එසේත් නැතහොත් පර්යේෂණ ආයතනවල ප්‍රධාන තනතුරු දරති.

එවැන්නන්ට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එහෙත් ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට හෝ වෙනත් බටහිර දැනුමකට වී ඇති සෙත කුමක් ද? ඔවුන් “සොයා ගත්” මූලික දැනුමක් වේ ද? ඔවුන්ගේ ඊනියා පර්යේ’ෂණ කූන් කී ආකාරයෙන් නම් ගැටළු විසඳීමට සීමා වී ඇත. එසේ නම් මේ උගතුන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුහු බටහිරයන් තරම් දක්‍ෂ නො වෙත් ද? මේ උගතුන්ට මෙවැනි ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි. ඒ තරමට නම් ඔවුහු අදක්‍ෂයෝ වෙති. ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ප්‍රශ්නයක් ඇති බව වටහාගත් අයකුට ය. මොවුන්ට ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි.

මේ බටහිර ගැති, බටහිරයන් විසින් පුහුණු කෙරී ඇති ඊනියා උගතුන්ට නොතේරුණ ද ලෝකයේ බොහෝ දැනුම් ගස් ඇත. මේ දැනුම් ගස් විවිධ ය. ඇපල් ගස් හා පොල් ගස් යනු එකම වර්ගයේ ගස් නො වේ. ලංකාවේ ඇපල් ගස් නො වැවෙයි. ඇතැම් විටෙක කෘත්‍රීම පරිසරයක් මවා ඇපල් ගස් ලංකාවේ වැවීමට හැකියාවක් ඇත. එමෙන් ම කෘත්‍රීම පරිසරයක එංගලන්තයේ පොල් වැවිය හැකි ය. ලන්ඩන් නුවර කිව් උද්‍යානයෙහි කෘත්‍රීම පරිසරයක පොල් ගසක් වවා ඇත. (පේරාදෙණියේ උද්භිද උද්‍යානය නිර්මාණය කර ඇත්තේ කිව් උද්‍යානයේ අනුකරණයක් ලෙස ය.)

අද ලංකාවේ ද දැනුම් ගසට ඇත්තේ ඇපල් ගස පමණකි. මේ ඇපල් ගස් කෘත්‍රිම ව පාසල්වල හා විශ්වවිද්‍යාලවල වැවෙන්නට සලස්වා ඇත. ලෝකයේ ඇති එකම දැනුම් ගස ඇපල් ගස යැයි අපට ඉගැන්වෙයි. මෙරට කෘත්‍රීම ව අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ ඉංගිරිසින් මුල දී පාසල්වල හා පසුව විශ්වවිද්‍යාලවල ද ඇපල් දැනුම් ගස් වවා ඇති නමුත් ඒවා වඳ පීදෙයි. එහි ගෙඩි හට නො ගනියි. අපි අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල පොල් වැවීමට උනන්දුවක් නො ගනිමු.

විවිධ දැනුම් ගස් ඵල දරන්නේ විවිධ පරිසරවල ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ දැනුම් ගසෙහි ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ චින්තනය මත පදනම් ව අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. අපට වෙනත් චින්තන මත පදනම් ව වෙනත් සංස්කෘතීන්ට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කළ නො හැකි ය. අපේ උගතුන්ට බටහිර විද්‍යාවෙහි දැනුම, එනම් මූලික දැනුම නිර්මාණය කළ නොහැක්කේ අපේ උගතුන්ට බටහිර චින්තනය නොමැති බැවිනි. ඔවුන් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නොමැති වා පමණක් නො වේ. ඔවුහු බටහිර යුදෙවු ග්‍රීක සංස්කෘතියෙහි ද නො වෙති.

අපට බටහිර දැනුමට යමක් එකතු කිරීමට අප ඒ චින්තනයෙහි ජීවත්විය යුතු ය. අපේ නිර්මාණශීලීත්වය මතුවන්නේ අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. දැනුම් නිර්මාණය සඳහා නිර්මාණශීලීත්වය තිබීම පමණක් ප්‍රමාණවත් නො වේ. අප ඒ සඳහා අපේ චින්තනය පදනම් කරගත යුතු ය. මෙරට සිටින මාක්ස්වාදීන් ඉතා වැඩි දෙනකුට නිර්මාණශීලීත්වය යන්න ම නොතේරෙයි. ඔවුහු අංක එකේ අනුකාරකයෝ වෙති. ඔවුන්ට මාක්ස්ගේ ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ වචන ඒ ඒ ගුරුකුලය අනුව දේව භාෂිත වෙයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් වඩාත් ම යොදාගන්නා වචනය ගැලැප්පීම ය. මාක්ස්වාදය මෙරටට ගලප්පන්නේ කෙසේ ද යන්න ඇතැමුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. ඇතැමුනට ඒ පිලිබඳවවත් හෝඩුවාවක් නැත. ඒ අයට ගැලැප්පීම යන්න ම මාක්ස්වාදය විකෘත කිරීමකි. ගැලැප්පීම යන්න එතරම් තේරුමක් ගෙන දෙන වචනයක් නො වේ. ගුණදාස අමරසේකර මහතාට අනුව මෙරට ජාතික චින්තනයෙහි දර්ශනය මාක්ස්වාදය ය. ඔහු අබුද්දස්ස යුගයක් කෘතිය පළකළ කාලයෙහි සිට අද දක්වා ම ඒ අදහස දරයි. ඔහුට ද අවශ්‍ය එක්තරා ආකාරයක ගැලැප්පීමකි. ඔහු එයට සහවාසය යන නම යොදාගනියි.
(13/05/08)

නලින් ද සිල්වා

Sunday, 9 October 2011

බටහිර විද්‍යාවේ අදහස් පිළිගැනීම

මෙරට ඊනියා වාමාංශිකයන් අතර තරම් බටහිර ගැත්තන් වෙනත් තැනක දැකිය නො හැකි ය. එයට හේතුව ඔවුන්ගේ මුළු පැවැත්ම ම රඳා ඇත්තේ විද්‍යාත්මක යැයි කියැවෙන මාක්ස්වාදයෙහි වීම ය. මාක්ස්වාදයෙහි ඊනියා ඓතිහාසික භෞතිකවාදයෙහි කම්කරු පංති විප්ලවයක් පුරෝකථනය කර තිබීම හේතුවෙන් හා එය අනිවාර්යයෙන් ම සිදුවන්නේ යැයි කියැවෙන බැවින් එය සාක්‍ෂාත් කරගැනීමට මිනීමැරීම වුව ද යුක්තියුක්ත කෙරෙයි. ධනපති පංතිය බලය ඊනියා කම්කරු පංතියකට පවරා සාමයෙන් ඉතිහාසයේ වේදිකාවෙන් බැස නොයන්නේ යැයි කියමින් ලේ හලන විප්ලවයට මාක්ස්වාදියෝ සූදානම් වෙති. ඒ සියල්ල කෙරෙන්නේ ඊනියා විද්‍යාවෙහි නාමයෙනි.

මේ විද්‍යාව අනෙකක් නොව බටහිර විද්‍යාව ය. බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර් වැන්නන් මාක්ස්වාදය විද්‍යාවක් නො වේ යැයි පවසා ඇතත් මෙරට මාක්ස්වාදීන්ට ඉන් කම් නැත. පොපර් මාක්ස්වාදය විද්‍යාවක් නො වේ යැයි කීවේ මාක්ස්වාදය අසත්‍යකරණයට ලක් නො වේය යන අරුතිනි. පොපර්ට අනුව බටහිර විද්‍යාවේ ප්‍රධානතම ලක්‍ෂණය වනුයේ, එය අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගත හැක්කේ, එය අසත්‍යකරණයට ලක්කළ හැකි බැවිනි. ඔහුට අනුව බටහිර විද්‍යාඥයන්ගේ කාර්යභාරය වූයේ බටහිර වි්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීම ය. එහෙත් මාක්ස්වාදය හා ජ්‍යොතිෂය අසත්‍යකරණයට ලක්කළ නොහැකි යැයි ඔහු කියා සිටියේ ය. එබැවින් ඒ දැනුම් පද්ධතීන් ද විද්‍යාවන් නොවේ යැයි ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු මාක්ස්වාදය සම්බන්ධයෙන් කී දේ ඇත්ත ය. මාක්ස්වාදය අසත්‍යකරණයට ලක්කළ හැකි නො වේ. එයට හේතුව මාක්ස්වාදය සත්‍යවීම නොව මාක්ස්වාදය ප්‍රබන්ධ කර ඇති ආකාරය, එසේත් නැතහොත් එහි ප්‍රවාද නිර්මාණය කර ඇති ආකාරය අනුව අසත්‍යකරණයට ලක්කළ නොහැකි වීම ය. කම්කරු විප්ලවය නැත්තේ අඩුම තරමෙන් විප්ලවීය නායකත්වයක් නැති නිසා යැයි කීමට මාක්ස්වාදීන්ට හැකි ය. ධනපති ක්‍රමය බිඳ නොවැටෙන්නේ විප්ලවීය නායකත්වය නොමැති බැවින් යැයි කියමින් විකල්ප නායකත්ව ගොඩනැගීමට ඇතැමුන්ට හැකියාව ලැබෙයි.

අද ජනතා විමුක්ති පෙරමුණේ සිදුවන්නේ ද ඊනියා විකල්ප නායකත්වය ගොඩනැගීම ය. මේ නව නායකත්වය ද විප්ලවීය නොවේ යැයි කියමින් මතු දිනෙක තවත් කණ්ඩායමක් විප්ලවීය නායකත්වය ගොඩනැගීමට ඉදිරිපත්වනු ඇත. ඊනියා කම්කරු පංති විප්ලවය කිසි දිනෙක සිදු නොවන බැවින් මේ විකල්ප නායකත්ව ගොඩනැගීම බටහිර විද්‍යාව කෙරෙහි ඇති භක්තිය (එය භක්තියක් මිස අනෙකක් නො වේ) තිබෙනතාක් හා මාක්ස්වාදය විද්‍යාත්මක යැයි සිතෙන තෙක් කරගෙන ගිය හැකි ය. මාක්ස්වාදයේ බංකොළොත් බව මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය යන පොත් කියවීමෙන් දැනගත හැකි වෙයි.

එක් අතකින් ගත්කල ඊනියා කම්කරු පංති විප්ලවය නොසිදුවීම ම මාක්ස්වාදයේ පැවැත්මට හේතුවෙයි. මාක්ස්වාදය පවත්වාගෙන යනු ලබන්නේ විශ්වවිද්‍යාලවල බොහෝ විට තැනක් ලබාගැනීමට, අවධානය ලබාගැනීමට, මාක්ස්වාදීන් වී සිටින ආචාර්යවරුන් කිහිප දෙනකු විසින් නොව කුඩා කුඩා පක්‍ෂවලට කැඩී මාක්ස්වාදයේ නාමයෙන් ඊනියා විප්ලවවාදී නායකත්ව ගොඩනගන පිරිස විසිනි. විප්ලවය නොසිදුවන්නේ එවැනි ඊනියා කම්කරු පාංතික විප්ලව සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බැවින් යැයි ඔවුහු නො පිළිගනිති. ඒ වෙනුවට තිබෙන නායකත්ව විවේචනය කරමින් ඊනියා විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට ඔවුහු කාලය නාස්තිකරති.

කෙසේ වෙතත් අසත්‍යකරණය සම්බන්ධයෙන් පොපර් කියා ඇති දේ ද අසත්‍ය ය. මාක්ස්වාදීන් මාක්ස්වාදය සත්‍ය බව අනාගතයේ දී පෙන්වීමට ඊනියා විප්ලවවාදී නායකත්ව ගොඩනගන අයුරෙන් බටහිර විද්‍යාඥයෝ ද තත්කාලීන බටහිර විද්‍යා ප්‍රවාද සත්‍ය බව පෙන්වීමට කටයුතු කරති. බටහිර විද්‍යාව වර්ධනය වන්නේ (එයට වර්ධනයක් යැයි කියන්නේ නම්) බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්කිරීමෙන් නොවන බව තෝමස් කූන් පෙන්වා දී දැන් අවුරුදු පනහක් පමණ ගත වී ඇත. ඔහු කියා ඇත්තේ බටහිර විද්‍යාවේ සාමාන්‍ය කාල හා විප්ලවීය කාල යනුවෙන් කාල ඇති බවත් සාමාන්‍ය කාලවල දී බටහිර විද්‍යාඥයන් කරන්නේ තත්කාලීන බටහිර විද්‍යා ප්‍රවාද සත්‍ය බව පෙන්වීම බවත් ය.

විප්ලවීය කාල යනු ඉතා කුඩා අවධි වෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි ක්වොන්ටම් විප්ලවයෙන් පසු විප්ලවීය කාලයක් උදා වී නැත. විප්ලවීය කාලයක දී නව සුසමාදර්ශයක් (paradigm) ඉදිරිපත් වෙයි. සුසමාදර්ශ යනු චින්තනයක මුලික ගුණ ඉවත නොදමා ඇතැම් කරුණක් දෙකක් වෙනස්කර නිර්මාණය කරගන්නා වූ ආකල්පමය වෙනස්කිරීම්වලින් ඇතිකරගන්නා වූ දැනුම් පදනම් වෙයි. අයින්ස්ටයින් එවැනි සුසමාදර්ශී වෙනසක් තම විශේෂ සාපේක්‍ෂතාවාදය මගින් ඉදිරිපත් කළේ ය. ක්වොන්ටම් විප්ලවයෙහි දී ද එවැනි සුසමාදර්ශී වෙනසක් සිදුවිය. අයින්ස්ටයින් තම සුසමාදර්ශී වෙනස මගින් සංනිවේදනයට උපරිම වේගයක් නිර්මාණය කළේ ය. එය ආලෝකයේ වේගය වෙයි.

අද අභියෝගයට ලක් වී තිබෙන්නේ මේ උපරිම අගය ය. සර්න් (CERN) විද්‍යාඥයන් වුවමනාවෙන් අයින්ස්ටයින් අසත්‍යකරණයට ලක්කිරීමට ගියා නො වේ. න්‍යුට්‍රීනෝව බටහිර භෞතික විද්‍යාඥයන්ට මහත් හිසරදයකි. එය වර්ග (බටහිර විද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ රස - –flavours - නමිනි. ඒ වියුක්ත ගුණ වෙයි) තුනකින් යුක්ත වෙයි. න්‍යුට්‍රීනෝවලට එක් වර්ගයක සිට තවත් වර්ගයකට මාරු විය හැකි ය. සර්න් විද්‍යාඥයන් කටයුතු කරන්නේ මුවොන් න්‍යුට්‍රීනෝ නමින් හැඳින්වෙන න්‍යුට්‍රීනෝ වර්ගය සමග ය. න්‍යුට්‍රීනෝවේ ස්කන්ධය පිළිබඳ විවිධ මත වෙයි. ඇතැමුනට අනුව න්‍යුට්‍රීනෝවල ස්කන්ධය ශූන්‍ය වෙයි.

න්‍යුට්‍රීනෝ සම්බන්ධයෙන් අද එකතුවන්නේ ආනුභවික සංසිද්ධි හා සම්බන්ධ තොරතුරු ය. දැන් දශක ගණනාවක සිට මේ දත්ත එකතුවෙමින් පවතියි. න්‍යුට්‍රීනෝ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව දැනගෙන දැන් තරමක කාලයක් ගත වී ඇත. 1987 දී විශාල මැගලනික වළාකුල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිට පෘථිවියට පැමිණි න්‍යුට්‍රීනෝ ඒ සමග වළාකුලෙන් නිකුත් වූ ආලෝකයට වඩා ඉක්මණින් ළඟාවිය. එම වළාකුලේ සිදු වූ අධිස්පෝඨන (supernova) තාරකාවක් පිපිරීමෙන් නිකුත් වූ ආලෝකය හා න්‍යුට්‍රීනෝ මෙහි දී නිරීක්‍ෂණය කෙරිණි. මේ දත්ත ඉතා නිවැරදි නොවූ නමුත් බටහිර විද්‍යාඥයන්ට ඒ ගැන නොසළකා සිටීමට නොහැකි විය. එහෙත් ඔවුන් අතිවිශාල බහුතරය මූලිකව ම ඒ ගැන සිතුවේ මිනුම්වල වරදක් ලෙස ය.

ඉන්පසු 2007 දී පමණ ෆර්මි පරීක්‍ෂණාගාරයෙන් යවන ලද න්‍යුට්‍රීනෝ ද ආලෝකයේ වේගයට වැඩි වේගයක් වාර්තා කර ඇත. මේ පරීක්‍ෂණ මිනෝස් (MINOS) පරීක්‍ෂණ නමින් හැඳින්වෙන අතර පසුගිය දා සර්න් විද්‍යාඥයන් විසින් කරන ලද පරීක්‍ෂණ ඔපෙරා (OPERA) නමින් හැඳින්වෙයි. මේ පරීක්‍ෂණ හා නිරීක්‍ෂන තුනෙන් එකක්වත් කෙරුණේ සාපේක්‍ෂතාවාදය අසත්‍යකරණයට ලක්කිරීම සඳහා නොවන බව පැහැදිලි ය. මුල් නිරීක්‍ෂණය හා පරීක්‍ෂණය බටහිර විද්‍යාඥයන්ගේ අවධානයට එතරම් යොමු නොවූ නමුත් සර්න් පරීක්‍ෂණ පිළිබඳ ව දැඩි සැලකිල්ලක් බටහිර විද්‍යාඥයන් අතර වෙයි. ඔවුන් ඒ පිළිබඳ ව කෙතරම් කැළඹී ඇත් ද යන්න බටහිර පුවත්පත් හා සඟරා මගින් හෙළිදරවු වෙයි. මෙරට සිටින ඇතැමුන් සිතා සිටින්නේ බටහිර විද්‍යාඥයන් මේ ප්‍රතිඵලවලින් කැළඹීමට පත් වී නැති බවත් ඔවුන් ඒවා යථා කාලයේ දී විස්තර කරනු ඇති බවත් ය.

මෙහි දී කිවයුතු කරුණු දෙකක් වෙයි. එකක් මෙරට සිටින ඊනියා විද්‍යාඥයන් ද (ඔවුහු හුදු තාක්‍ෂණ ශිල්පීහු පමණක් වෙති. ඔවුන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ සඳහන් කරන්න) නොදන්නා නමුත් බටහිර විද්‍යාවේ නව අදහස් පිළිගැනෙන්නේ තරුණ විද්‍යාඥයන් අතර මිස මහළු විද්‍යාඥයන් අතර නො වේ. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී ප්ලෑන්ක් නම් බටහිර භෞතික විද්‍යාඥයා ඒ බව මැනවින් විස්තර කර ඇත. ඔහු කියා ඇත්තේ බටහිර භෞතික විද්‍යාවේ අලුත් අදහස් පිළිගැනෙන්නේ මහලු විද්‍යාඥයන් මියගොස් ඒ අදහස් තරුණයන් අතර ප්‍රචලිිත වන නිසා බව ය.

මට කීමට ඇති දෙවැනි කරුණ දැනටමත් සර්න් පරීක්‍ෂණ තේරුම් ගැනීමට කතා විසිපහකට වඩා ගොතා ඇති බව ය. එහෙත් දැනට ගෙතී ඇති සියළු කතා වත්මන් බටහිර භෞතික විද්‍යාවේ ප්‍රවාද මත ම ගොඩ නැගෙයි. එහෙත් ඒ කතා එතරම් සංගත නො වෙයි. මෙහි දී විප්ලවීය කතාවක් ගෙතීමට කිසිවකු පෙළඹී නැත. විප්ලවීය කතා ආප්ප බාන්නාක් මෙන් ගෙතිය හැකි ද නො වේ. මා දන්නා තරමින් සර්න් පරීක්‍ෂණය ගැන ඇසිය යුතු මූලික ප්‍රශ්නවත් තවම අසා නැත. අවශ්‍ය අයකුට මේ කතාවලින් සමහරක් කෝනල්් විශ්වවිද්‍යාලය මගින් පවත්වා ගෙන යන වෙබ් අඩවියට ඇතුල් වී ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික සඟරාවේ කියවිය හැකි ය. එහෙත් එය ඉලෙක්ට්‍රොනික සඟරාවක් පමණක් බවත් එය සාම්‍ය සමාලෝචනයකට භාජනය නොවන බවත් සර්න් විද්‍යාඥයන් දැනටමත් පත්‍රිකාවක් පළකර ඇති බව පවසමින් මාක්ස්වාදීන්ගේ ද දායකත්වය ලබන කසිකබල් වෙබ් අඩවි පවත්වාගෙන යන්නවුන් දැනගත යුතු ය. ඉලෙක්ට්‍රොනික සඟරාවකට යවන ලිපියක් බොහෝ විට පසුදින පළකරවා ගත හැකි ය. සාම්‍ය සමාලෝචනයට භාජනය වන පත්‍රිකා පළවීමට සාමාන්‍යයෙන් මාස තුනක් හා අවුරුද්දක් අතර කාලයක් ගතවෙයි. ඉලෙක්ට්‍රොනික සඟරාවක හා සාම්‍ය සමාලෝචනයට ලක්කරන සඟරා අතර ඇති වෙනසවත් නොදන්නෝ සර්න් පරීක්‍ෂණ සාම්‍ය සමාලෝචනයට ලක්වන සඟරාවක ඵල වී නැතැයි අප කී විට අපට ඔචිචම් කරති. මේ පඬියන්ගේ දැනුම ගැන කිවහැක්කේ කුමක් ද?

සර්න් පරීක්‍ෂණවලින් බටහිර විද්‍යාවේ ස්වභාවය හෙළි වෙයි. ඒ පරීක්‍ෂණ අයින්ස්ටයින් අසත්‍යකරණයට ලක්කිරීමට කළා නො වේ. කෙසේ වුවත් න්‍යුට්‍රීනෝවල වේගය ආලෝකයේ වේගයට වැඩි යැයි ඒ පරීක්‍ෂණවලින් කියැවෙයි. එහෙත් පරීක්‍ෂණ තුනෙන් න්‍යුට්‍රීනෝවල වේගය පිළිබඳ ලැබී ඇත්තේ ප්‍රතිඵළ තුනකි. එහි වරදක් නැත. න්‍යුට්‍රීනෝ එකම වේගයකින් විශ්වය පුරා චලිත වීම අනිවාර්ය නො වේ. අධිස්ඵෝටනයෙන් විසිවුණු න්‍යුට්‍රීනෝවලට වැඩි වේගයකින් සරන් විද්‍යාඥයන් න්‍යුට්‍රෝන විදින්නට ඇත. න්‍යුටී්‍රනෝ ෆෝටෝන මෙන් එකම වේගයකින් ගමන් කළ යුත්තේ ඇයි දැයි කිසිවෙක් නො කියති. එසේ වීමට අවශ්‍යතාවක් ද නැත.