Main Logo

Showing posts with label විඥානවාද. Show all posts
Showing posts with label විඥානවාද. Show all posts

Saturday, 19 January 2013

ද්‍රව්‍යවාදී විඥානවාදීහු

ඊනියා භෞතිකවාදීන් විඥානවාදීන් වනුයේ ඔවුන් මනසේ පැවැත්ම පිළිගන්නා නිසා පමණක් නො වේ. ඔවුන්ට ද මනසින් තොරව කිසිවක් කීමට, කිරීමට නො හැකි ය. ඒ අරුතින් ගත්කල ඔවුන්ට ද මනස ප්‍රධාන ය. එහෙත් ඔවුහු ඒ බව නො පිළිගනිති. ඔවුන් පිළිගන්නේ ඇස් කන් නාසාදී පංචෙන්ද්‍රිය ප්‍රධාන බව ය. පංචෙන්ද්‍රිය නොමැතිව ඊනියා බාහිර ලෝකයක් නොමැති බව ඔවුන්ගේ දැනුමේ වෙයි. වෙනත් අයුරකින් කිවහොත් ඔවුහු ඒ බව උපකල්පනය කරති. පංචෙන්ද්‍රිය තිබුණ ද මනස නැත්නම් ඊනියා බාහිර ලෝකයක් ඔවුන්ට නොමැති බව ඔවුහු නො පිළිගනිති. එහෙත් කැමරා, විවිධ උපකරණ ආදිය කොතෙකුත් තිබුණ ද, ඒ උපකරණවලට ඊනියා බාහිර ලෝකයක් නැත්තේ ඒවාට මනස් නොමැති බැවිනි.

ඊනියා භෞතිකවාදීන්ට මනස නොමැතිව කිසිම සංකල්පයක් තනාගත නො හැකි බව අපි කීප වතාවක් ම කියා ඇත්තෙමු. සංජානනයන් පංචෙන්ද්‍රිය සමග පමණක් නොව මනස ඔස්සේ සංකල්ප සමග ද බැඳී ඇත. එහෙත් ඊනියා භෞතිකවාදීහු ඒ බව ද නො පිළිගනිති. මෙහි දී ඊනියා යන වචනය යොදා ගැනෙන්නේ එසේ හැඳින්වුව ද එසේ නොවන යන අරුතින් ය. භෞතිකවාදීන් තමන් භෞතිකවාදීන් යැයි කියා ගත්ත ද, ඔවුහු එසේ නො වෙති. එබැවින් ඊනියා භෞතිකවාදීන් ට ඊනියා භෞතිකවාදීන් යැයි කීමට සිදු වී ඇත.

ඊනියා භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට ඔවුන් කුමක් කීවත් මනස නොමැතිව සංකල්ප නිර්මාණය කළ නො හැකි ය. මනස නොමැතිව සංකල්ප නිර්මාණය කරන ආකාරයක් හෝ සංකල්ප නොමැතිව සංජානන ලැබෙන ආකාරයක් හෝ ගෙනහැර දැක්වීමට ද්‍රව්‍යවාදීන් යැයි කියාගන්නා අයට නො හැකි ය. ඊනියා ද්‍රව්‍යවාදීන්ගේ ද දැනුම රඳා පවතින්නේ මනස මත ය. මනසින් නිර්මාණය වන සංකල්ප හා ප්‍රවාද නොමැතිව කිසිම ප්‍රාණියකුට (සත්ත්වයකුට) දැනුමක් නැත.

එසේ නම් ඊනියා ද්‍රව්‍යවාදීන් හා විඥානවාදීන් අතර වෙනසක් නැද්ද? වෙනසක් ඇත. විඥානවාදීහු මනස ප්‍රධාන යැයි ගනිති. ද්‍රව්‍යවාදීහු මනස ද්‍රව්‍යයෙහි විකාශයක් ලෙස සලකති. ද්‍රව්‍යවාදීන්ට අනුව මනස යනුවෙන් කිසිවක් නැත. ඒ වෙනත් කරුණක් නිසා නොව ඔවුන්ට මනස හා සම්බන්ධ අවයවයක් දැකගත (නිරී’ක්‍ෂණය) නොහැකි නිසා ය. පෙනීම නමැති ඉන්ද්‍රිය ඇස නම් අවයවය හා සම්බන්ධ වුවත් මනස හා සම්බන්ධ අවයවයක් නැත. එනම් මනස හා සම්බන්ධ සිතීම, විඳීම ආදී දේ සමග සම්බන්ධ වූ අවයවයක් දැකගත නොහැකි බැවිනි. එබැවින් බටහිර ද්‍රව්‍යවාදීහු මනස මොළය නිසා සිදුවන්නක ප්‍රතිඵලයක් ලෙස ගනිති. එහෙත් ඒ තවත් දැනුමක් පමණකි. එ දැනුම ද මනසින් නිර්මාණය කරන ලද්දකි. අප පෙන්වා දී ඇත්තේ මනස හා මොළය අතර ඇත්තේ සහසම්බන්ධයක් පමණක් බව ය.

ද්‍රව්‍යවාදීන් කැමති වුවත් නැතත් ඔවුන් මනසක් ඇතැයි නොපිළිගත්තත්, මනස යනු මොළයේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගත්තත් ඔවුන්ට සිතීමට අවශ්‍ය ය. සංකල්ප නිර්මාණය කිරීම, ප්‍රවාද ගෙතීම ආදී දැනුම සම්බන්ධ ක්‍රියාවන්හි යෙදීමට අවශ්‍ය ය. මොළයක් තිබූ පමණින් මෘත දේහයකට හෝ ජීවත්වන බොහෝ දෙනාට ද එය කළ නො හැකි ය. එහෙත් ජීවත්වන්නෝ භේදයකින් තොරව සිතති. විඳිති. අප කලින් පෙන්වා දී ඇත්තේ මනස මොළයේ ක්‍රියාවලියකට ඌනනය කළ නොහැකි බව ය.

ඊනියා ද්‍රව්‍යවාදීන් මනස යන්නෙන් කිසිවක් නැතැයි කීව ද ඔවුහු මනස යොදා ගනිති. මනස යොදා ගන්නේ, එසේත් නැත්නම් මනස යොදා ගැනීමට හැකිවන්නේ, මනස යනුවෙන් යමක් දැනෙන බැවිනි. ද්‍රව්‍යවාදීන් එහි දී ප්‍රශ්නයෙන් ගැළවෙන්නේ මනස යනු මොළයේ ක්‍රියාවලියක් බව පැවසීමෙනි. මොළයේ එකම ක්‍රියාවලිය මනස නොවන බැවින් මනස යනුවෙන්් අඩුම තරමෙන් අනන්‍ය වූ ක්‍රියාවලියක් පවතින බව පිළිගැනීමට ඊනියා ද්‍රව්‍යවාදීන්ට සිදුවෙයි. එය මොළය සමග සම්බන්ධ වුවත් නැතත් එය අනන්‍ය ක්‍රියාවලියකි.

ඊනියා ද්‍රව්‍යවාදීන්ට ඒ අනන්‍ය ක්‍රියාවලිය නොපවතින්නේ යැයි කිව නො හැකි ය. එනම් ඔවුන් කෙතරම් වලිකෑවත්් මනස ලෙස ගතහැකි යම් අනන්‍ය ක්‍රියාවලියක පැවැත්ම පිළිගැනීමට ඔවුන්ට සිදු වෙයි. අපි ඊනියා ද්‍රව්‍යවාදීන් මනස මොළයේ ක්‍රියාවලියක් ය යන්න සමග එකඟ නො වෙමු. අප මෙහි දී කියා සිටින්නේ ඊනියා ද්‍රව්‍යවාදීන් කෙතරම් නැතැයි කීවත් ඔවුන් මනස පවතින්නේ යැයි පිළිගන්නා බව ය. ඔවුන්ට මනසක් (අඩුම තරමෙන් මොළයේ අනන්‍ය වූ ක්‍රියාවලියක් ලෙස) ඇති බව පිළිගැනීමට සිදුවෙයි.

ද්‍රව්‍යවාදීන් එසේ මනසක් ඇති බව පිළිගැනීම හේතුවෙන් ඔවුන් එක්තරා ආකාරයක විඥානවාදීන් පිරිසක් ලෙස අපි ගනිමු. සාම්ප්‍රදායික විඥානවාදීහු මනසක් ඇති බව පිළිගනිති. ඔවුන්ට එය මොළයේ අනන්‍ය ක්‍රියාවලියක් නො වේ. ඔවුන්ට සැකයකින් තොරව මනස පවතියි. එහෙත් මනසෙහි පැවැත්ම කාහට කුමකට සාපේක්‍ෂ ද යන ප්‍රශ්නයට විඥානවාදීහු පිළිතුරු නො දෙති. විඥානවාදීන්ට අනුව මනස පවතියි. එය පවතින්නේ කොහේ ද?

මනස පවතින්නේ කිසිවකට සාපේක්‍ෂ ව නොවේ නම් එයින් කියැවෙන්නේ එය නිරපේක්‍ෂව පවතින බව ය. මනස නිරපේක්‍ෂව ද සාපේ’ක්‍ෂව ද පවතින්නේ යැයි කියා ප්‍රශ්නයෙන් පැන යා හැකි නො වේ. ඇතැම් විඥානවාදීන්ට අනුව ද්‍රව්‍ය පවතින්නේ මනස නිසා ය. ඔවුන්ට අනුව ද්‍රව්‍ය යනු මනසෙහි නිර්මාණයකි. මෙහි දී කියැවෙන්නේ මනස විසින් අහසෙහි ද්‍රව්‍ය නිර්මාණය කෙරෙන්නේ ය යන්න නො වේ. එයින් කියැවෙන්නේ ද්‍රව්‍ය පිළිබඳ සංකල්ප මනසින් නිර්මාණය කෙරෙන බව ය.

සියළු සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. පුටුව යනු මනසෙහි නිර්මාණයකි යන්නෙහි තේරුම මනස විසින් පංචෙන්ද්‍රියයන්ගේ ද ආධාර ඇතිව පුටුව නම් සංකල්පය නිර්මාණය කෙරී ඇති බව ය. අප පුටුව යන්නෙන් නිර්මාණය කර ඇති සංකල්පය වෙනත් සංස්කෘතියක අයකු නිර්මාණය කරන සංකල්පයක් සමග සර්ව සාම්‍ය විය යුතු නො වේ. බසයේ ඇති ආසන අපට පුටු නො වේ. සිංහල බෞද්ධයන්ගේ ආසන යන සංකල්පය මිනිසුන් වාඩිවීම සඳහා යොදාගන්නා වූ උපකරණවලට පමණක් සීමා නො වේ. සිංහල බෞද්ධයනට මල් ආසන යනුවෙන් ද ආසන වර්ගයක් වෙයි.

සිංහල බෞද්ධයන් ආසන යනුවෙන් හඳුන්වන උපකරණ කුලකය හැඳින්වීම සඳහා තනි වචනයක් හෝ වචන කිහිපයක් හෝ වෙනත් සංස්කෘතියක තිබිය යුතු නො වේ. සංකල්ප ඇතුළු දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ වෙයි. එසේ ම සංකල්ප ඇතුළු දැනුම නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. එය විඥානවාදියාට මෙන් ම ද්‍රව්‍යවාදියාට ද පොදු ය. විඥානවාදියා මනසෙන් තොරව වාස්තවිකව පවත්නා ද්‍රව්‍ය නැතැයි කියයි. පුටුව යන්න පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන්නකි.

එහෙත් ද්‍රව්‍යවාදියාට මනසෙන් තොරව පවත්නා පුටුවක් වෙයි. ද්‍රව්‍යවාදියාට වාස්තවිකව පවත්නා පුටුවක් වෙයි. විඥානවාදියාට වාස්තවික ව පවත්නා පුටුවක් නැත. විඥානවාදියාට අනුව පුටුව යනු පංචෙන්ද්‍රියයන් සමග එකතු වී මනසෙන් නිර්මාණය කෙරෙන්නකි. ඒ නිර්මාණයෙහි දී සංස්කෘතිය ද බලපාන බව පැහැදිලි ය. එසේම ඒ ඒ නිර්මාණය පංචෙන්ද්‍රියයන්ට ද මනසට ද සංස්කෘතියට ද සාපේක්‍ෂ ය.

ඇතැම් විඥානවාදීන්ට අනුව තවත් ආකාරයක නිර්මාණ මනසින් හෝ ආධ්‍යත්මික ව හෝ කළ හැකි ය. ඇතැම්හු අහසෙහි රත්රන් මවති. මා මෙවැනි ක්‍රියාවක් දැක නොමැති වුව ද මෙය තේරුම්ගත හැකි ක්‍රම ක’ිහිපයක් වෙයි. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ අයකුට ඇතැම් විට එක් තැනක ඇති වස්තුවක් වෙන තැනකට ගෙන යෑමේ හැකියාව තිබෙන්නට පුළුවන. ඒ ගෙන යෑම යන්නෙන් අදහස් වන්නේ අවකාශය හා කාලය ඔස්සේ ගෙන යෑමක් ම නොවිය හැකි ය. අවකාශය හා කාලය යන සංකල්ප ද අප විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප ය. නිව්ටෝනීය මෙන් ම සාමාන්‍ය පෘථග්ජනයන් නිරීක්‍ෂණය කරන චලිතයෙහි දී අවකාශය හා කාලය යොදා ගැනෙන නමුත් වෙනත් චලිත ද තිබිය හැකි ය.

අනෙක් අතට අවකාශ කාලයට ද ශක්තියක් ඇති බවත් ඒ ශක්තිය වෙනත් ශක්තීන්ට හැරවිය හැකි බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. වසන්ත කටුගම්පොළ මහතාගේ අධ්‍යයනයකට අනුව විශ්වයේ ත්වරණයක් සහිතව සිදුවන ප්‍රසාරණය අවකාශ කාලයේ ශක්තිය හේතුකොටගෙන සිදුවෙයි. මෙයින් කියැවෙන්නේ අවකාශ කාලය යනුවෙන් වාස්තවික ව පවත්නා දෙයක් ඇති බව නො වේ. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ අප නිරීක්‍ෂණය කරන ඇතැම් සංසිද්ධීන් තේරුම් ගැනීම සඳහා කතන්දර ගෙතීම පමණ ය.

ඒ කෙසේ වෙතත් මනස වර්ධනය කරගත් අයට සාමාන්‍ය අයට කළ නොහැකි දේ කිරීමට හැකි බව බුදුදහමට වුව ද එකඟ ය. බුදුන් වහන්සේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ප්‍රාතිහාර්ය පෑම තම ශ්‍රාවකයන් වහන්සේට තහනම් කළ නමුදු අවශ්‍ය අවස්ථාවන්හි දී උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෑ සේක. වෙනත් ආගම්වල ද ඇතැම් ප්‍රාතිහාර්යයන් ගැන කියැවෙයි. විඥානවාදීන් ආධ්‍යාත්මික වර්ධනය ඇති අය ගැන කියන කතා ඉවත දැමීමට අප ඉක්මන්විය යුතු නො වේ. මනස පිළිබඳ හරිහමන් ප්‍රවාදයක් ගොඩනගා ගැනීමට නොහැකි බටහිර විද්‍යාඥයන් හා ද්‍රව්‍යවාදීන් කියන කතා අපේ අවධානයට යොමු කළ යුතු ද නො වේ.

එහෙත් අපට ප්‍රශ්නය වනුයේ විඥානවාදීන් මනසේ පැවැත්ම ගැන කියන කතාව ය. ඔවුන්ට අනුව මනස පවතියි. එපමණක් නොව මනස නිරපේක්‍ෂව පවතියි. ඒ වාස්තවික පැවැත්මකි. මනසේ පැවැත්ම ප්‍රශ්නයක් නොවන නමුත් නිරපේක්‍ෂ වාස්තවික පැවැත්මක් පිළිගත නො හැකි ය. මනසේ වාස්තවික පැවැත්මක් පිළිගන්නා විඥානවාදීහු එක්තරා අයුරකින් ගත්කල ද්‍රව්‍යවාදීහු වෙති. අපි ඔවුන්ට ද්‍රව්‍යවාදී විඥානවාදීන් යැයි කියමු.

මනසේ පැවැත්ම ක්‍ෂණයකට වුවද උපකල්පනය කරන විඥානවාදීහු ද ද්‍රව්‍යවාදී විඥානවාදීහු වෙති. පළමුවෙන් ම ක්‍ෂණයක් යනු කුමක් ද යන ප්‍රශ්නය වෙයි. කාලය පඤ්ඤත්තියක් වන කල ක්‍ෂණයක් යන්න කිසිසේත්ම වාස්තවික වූවක් විය නො හැකිි ය. ‘ක්‍ෂණය යන්න අර්ථදක්වා ගැනීමට නොහැකිව ක්‍ෂණයක දී පවත්නා මනසක් හෝ චිත්තයක් හෝ චිත්ත පරම්පරාවක් හෝ ගැන කතාකරන්නේ කෙසේ ද? බෝධි හිමියන් අනුව යමින් චිත්තක්‍ෂණයක් යනු අපේ මනසට ගෝචර වන අවම කාලය යැයි අර්ථදැක්විය හැකි ය. එවිට චිත්තක්‍ෂණය ද සාපේක්‍ෂ සංකල්පයක් බවට පත්වෙයි.

ද්‍රව්‍යවාදීන් මෙන් විඥානවාදීන් ද තම තම දර්ශනවල ගැටළුවලට මුහුණ පා ඇති අන්දම පැහැදිලි ය. අපට මෙයින් ගැලවීමට ක්‍රමයක් නැද්ද? එයට ඇති එක් මගක් නම් මනස පවතින්නේ සාපේක්‍ෂව යැයි ගැනීම ය. දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කාහට සාපේක්‍ෂව ද යන්න ය. එයට ඇති පිළිතුරක් නම් මනස පවතින්නේ මනසට සාපේක්‍ෂවය යන්න ය. මනස මනසට සාපේක්‍ෂව පවතින්නේ ය යන්න ද යම් ප්‍රමාණයක ගැටළු සහගත ය.

එයින් කියැවෙන්නේ මනසක් කලින් තිබී තවත් මනසක් කලින් කී මනසට සාපේක්‍ෂව පවතින බව ද? මේ සියල්ලෙන් කියැවෙන්නේ මනස මනසට සාපේක්‍ෂව ඇතිවන බව ය. මනස නිර්මාණය වන්නේ ම මනසට සාපේක්‍ෂව ය. ඒ කලින් තිබූ මනසට සාපේක්‍ෂව ඇතිවන්නක් නො වේ. මනස එලෙස මනසට සාපේක්‍ෂව නිර්මාණය වන්නේ කෙසේ ද යන්න කලකට පෙර ලියන ලද සිංහල බෞද්ධ මනස යන ලිපියෙහි සඳහන් වෙයි.


Saturday, 12 January 2013

විඥානවාදී ද්‍රව්‍යවාදියෝ

ක්වොන්ටම් භෞතිකයෙහි නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් මෙන් ම කඩින් කඩ සිදුවන වෙනස්වීම් ද වෙයි. ක්වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ යැයි සිතමු. එයින් කියැවෙන්නේ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව කාවොන්ටම් අංශුව යම් පිහිටුමක ඇති බව ය. නිරීක්‍ෂකයා ක්වොන්ටම් අංශුවේ පිහිටුම යම් අගයකින් දක්වයි. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් අංශුව යම් ලක්‍ෂ්‍යයක සිට නිශ්චිත දුරකින් පිහිටා ඇත. එහෙත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් අංශුවට නිශ්චිත ගම්‍යතාවක් හෝ ශක්තියක් හෝ නැත. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට ගම්‍යතා රාශියක් ඇත. එබැවින් ම නිරීක්‍ෂකයාට අංශුවේ ගම්‍යතාව දැනගත හෝ මැනගත හෝ නො හැකි ය.

එසේ වුවත් අංශුවට ගම්‍යතා රාශියක් ඇති බව නිරීක්‍ෂකයා දනියි. (දැනුම යනු නිර්මාණයක් වන බැවින් මෙහි දනියි යන්නෙන් අදහස් කරන්නේ නිරීක්‍ෂකයා අදාළ දැනුම නිර්මාණය කර ඇති බව ය.) ඔහු නොදන්නේ, ඔහු මැනගෙන නැත්තේ, ගම්‍යතාවේ නිශ්චිත අගයකි. අංශුවට නිරීක්‍ෂකයාට සාපේක්‍ෂක ව ගම්‍යතා ර්ශියක් ඇත. එබැවින් අංශුව ඒ ඒ ගම්‍යතා අගයට අනුරූප අවස්ථා රාශියක ඇත. එකම මොහොතෙහි නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට ගම්‍යතා අවස්ථා හා අනුරූප ගම්‍යතා අගය රාශියක් ඇති බැවින් නිරීක්‍ෂකයාට අංශුවේ ගම්‍යතාව කුමක් දැයි දැනගත හෝ මැනගත හෝ නො හැකි ය.

නිරීක්‍ෂකයා අංශුවේ නිශ්චිත ගම්‍යතාවක් නොදැන අංශුවට ගම්‍යතා රාශියක් ඇති බව දන්නේ කෙසේ දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. මොන්රෝ නම් බටහිර භෞතික විද්‍යාඥයා දශක දෙකකට පමණ තම පරීක්‍ෂණ මගින් ඒ බව පෙන්නුම් කෙළේ ය. (ඒ දැනුම නිර්මාණය කළේ ය) බෙරිලියම් කැටයන සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවල ඔහු බටහිර විද්‍යාවේ පළමුවරට අදාළ කැටයන අවස්ථා කිහිපයක ම ඇති බව ප්‍රදර්ශනය කළේ ය. එහෙත් ඔහු එසේ කළේ ඒ එක් අවස්ථාවක්වත් නිරීක්‍ෂණය නොකරමිනි. යම් අයුරකින් ඔහු ඒ එක් අවස්ථාවක් යම් උපකරණයක් යොදාගෙන නිරීක්‍ෂණය කළේ නම් ඔහුට ඒ අවස්ථාවන්හි ප්‍රතිබද්ධ ගුණය දැනගැනීමට නොහැකිවීමට තිබිණි.

යම් අංශුවක් හෝ පද්ධතියක් හෝ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම්කිසි ගුණයක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක පිහිටීම ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට අනුව නම් සිදුවිය හැකි නො වේ. එම න්‍යායෙහි A සත්‍යයක් නම් ~A හෙවත් A හි නිෂේධය අසත්‍ය වෙයි. එනම් අංශුවකට යම් ගුණයක් සම්බන්ධයෙන් යම් අගයක් ඇත්නම් එයට එම අගය නැතැයි කිව නො හැකි ය. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවේ යම් ගුණයක් සම්බන්ධයෙන් අගය X වන්නේ ය යන්න සත්‍යයක් නම් X නොවන්නේ ය යන්න අසත්‍යයක් යැයි ඇරිස්ටෝටලීය න්‍යායෙහි කියැවෙයි.

බටහිර දැනුම අනුව නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට යම් ගුණයක් සම්බන්ධයෙන් අගයන් එකකට වඩා තිබිය නො හැකි ය. උදාහරණයක් ලෙස පුටුවක් යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව විශ්වයේ එක් පිහිටුමක පමණක් වෙයි. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පුටුව y පිහිටුමේත්, z පිහිටුමේත් දෙකෙහිම තිබිය නො හැකි ය. පුටුව y පිහිටුමේ ඇත්නම් එයින් කියැවෙන්නේ එය z (y ට අසමාන වූ) පිහිටුමේ නැති බව ය. එලෙස ම පුටුව y පිහිටුමේ ඇති බව සත්‍යයක් නම් එය y පිහිටුමේ නැතැයි යන්න සත්‍ය නො වේ. පුටුව z පිහිටුමේ ඇත්නම් එයින් කියැවෙන්නේ එය y පිහිටුමේ නැති බව ය. එමෙන් ම පුටුව පවතී නම් හා එය y පිහිටුමේ නැත්නම් එය වෙනත් යම්කිසි නිශ්චිත පිහිටුමක තිබිය යුතු ය.

ඇරිස්ටෝටලීය න්‍යාය ගොඩනගා ඇත්තේ සාමාන්‍ය ජීවිතයේ දී අත්දකින මෙවැනි කරුණු උපයෝගී කරගෙන ය. එහෙත් ක්වොන්ටම් අංශු සඳහා මේ න්‍යාය වලංගු නො වේ. ක්වොන්ටම් අංශුවකට y පිහිටුමේ මෙන් ම z පිහිටුමේ ද තිබිය හැකි ය. එහෙත් එවිට පෘථග්ජන නිරීක්‍ෂකයකුට අංශුව නිරීක්‍ෂණය කළ නොහැකි ය. දෙතැනක ඇති අංශුවක් අපට සාමාන්‍ය ජීවිතයේ දී මුණ නො ගැසෙයි. පෘථග්ජනයන්ගේ සාමාන්‍ය ජීවිතවල දී අත්දකින්නේ සාමාන්‍ය හෙවත් නිව්ටෝනීය වස්තු මිස ක්වොන්ටම් අංශු නො වේ.

පෘථග්ජනයන් නිර්මාණය කර ඇති දැනුම, සංකල්ප, ප්‍රවාද පමණක් නොව න්‍යාය ද පදනම් වන්නේ සාමාන්‍ය පෘථග්ජන අත්දැකීම් මත ය. එහි දී පුටුව වැනි වස්තු ද නිර්මාණය කෙරෙන්නේ පෘථග්ජන නිරීක්‍ෂකයන් විසිනි. මුළු මහත් විශ්වය ද අත්දැකීම් ද නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයාගේ මනස විසිනි. ඊනියා ද්‍රව්‍යවාදීන්ගේ හෙවත් භෞතිකවාදීන්ගේ වාස්තවික යැයි කියැවෙන ලෝකය ද නිර්මාණය කෙරෙන්නේ ඔවුන්ගේ මනස්වලිනි.

බොහෝ කලක සිට අප ද්‍රව්‍යවාදීන්ට අභියෝග කරන්නේ මනසෙන් තොරව ලෝකයක් ඇති බව මනසෙන් තොරව පෙන්වන ලෙස ය. මෙරට තමන් ද්‍රව්‍යවාදීන් ය, භෞතිකවාදීන් ය කියාගන්නා පඬිවරුන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් ආදීන් කොතෙකුත් සිටියත් ඒ අභියෝගය පිළිගත් අයකු නැත. බාහිර ලෝකයක් ඇතැයි කිසිවකු කියන්නේ බාහිර ලෝකයක් පිළිබඳ සංකල්ප රැසක් යොදාගනිමිනි. ඒ සියළු සංකල්ප මනසින් නිර්මාණය කරගත් දේ ය. මනසින් නිර්මාණය නොකළ එකදු සංකල්පයක්වත් නැත. මනසින් තොරව පවත්නේ යැයි කියන බාහිර ලෝකය ද මනසේ ම නිර්මාණයකි. බාහිර ලෝකයක් පවතින්නේ යැයි කියන්නේ අදාළ සංකල්ප නිර්මාණයේ දී මනස හැරෙන්නට පංචෙන්ද්‍රියයන් ද යොදාගන්නා බැවිනි.

ශරීරයේ අභ්‍යන්තර යැයි කියැවෙන අවයව මෙන් ම වසා ඇති පෙටිටි වැනි සංවෘත භාණ්ඩවල ඇති ද්‍රව්‍ය ද ඇතැයි පැවසෙන්නේ ඒ අවයව හා ද්‍රව්‍ය අපට සිරුර කැපීමෙන් හෝ සංවෘත භාණ්ඩය විවෘත කිරීමෙන් හෝ පංචෙන්ද්‍රිය ඇසුරෙන් ගෝචර කරගත හැකි බැවිනි. අභ්‍යන්තර අවයව හා සංවෘත භාණ්ඩවල ඇති වස්තු ද අවසාන විග්‍රහයේ දී බාහිර අවයව හා වස්තු බවට පත්වෙයි. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඊනියා අභ්‍යන්තර බල ද බාහිර බල බව පැහැදිලි ය.

ඊනියා භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට මනස නොමැතිව බාහිර ලෝකයක්, බාහිර වස්තු ආදිය පිළිබඳ සංකල්ප නිර්මාණය කරගත හැකි නො වේ. සංකල්ප නිර්මාණය කරන්නේ මනසින් නොවේ නම් කිනම් ඉන්ද්‍රියකින් ද? ඊනියා භෞතිකවාදීන්ට ද මනස නොමැතිව කිසිම නිර්මාණයක් කළ හැකි නො වේ. ඔවුහු ද එක්තරා ආකාරයකින් ගත්කල විඥානවාදීහු වෙති. අවශ්‍ය නම් ඔවුන්ට පළමු ගණයේ විඥානවාදීන් යැයි කිව හැකි ය. එහෙත් ඔවුහු මනසින් තොර ලෝකයක් පවතින්නේ යැයි කියති.

ඔවුන් එසේ කියන්නේ ද උද්ගමනයෙනි. මට පෙනෙන ගසක් ඇත. වෙනත් අයකුට ද ඒ ගසක් බව පෙනෙයි. අප දෙදෙනාට ඒ ගසේ ගුණ පිළිබඳ යම් එකඟත්වයකට පැමිණිය හැකි ය. ගසේ කඳ, අතු, ගෙඩි ආදිය පිලිබඳ අපට එකම සංකල්ප ගොඩනගාගත හැකි ය. එමෙන් ම වෙනත් මිනිස් නිරීක්‍ෂකයන්ට ද ඒ සියල්ල පිළිබඳ ඒ සංකල්ප ම ගොඩනගා ගත හැකි ය. එබැවින් ඊනියා භෞතිකවාදියා නිගමනය කරන්නේ, මෙහි දී උද්ගමනය කරන්නේ සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට ඒ සංකල්ප පොදු බව ය. එය මනසින් කෙරෙන උද්ගමනයකි. සියළු නිරීක්‍ෂකයන්ට එක ම වූ සංකල්ප හා ඒ මත පදනම් වූ අත්දැකීම් ඇත්නම් ඒ අත්දැකීම් මනසින් ස්වායත්ත විය යුතු යැයි ද්‍රව්‍යවාදියා නිගමනය කරයි. ඒ නිගමනය කරන්නේ ද මනසිනි.

ඊනියා ද්‍රව්‍යවාදියා මේ සියළු නිරීක්‍ෂණ මනස හා පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා අත්දැකීම්වලට පමණක් සීමා කරයි. ඔහු පංචෙන්ද්‍රියයන්ගෙන් තොරව මනසින් පමණක් ලබාගන්නා අත්දැකීම් බැහැර කරයි. පංචෙන්ද්‍රියයන් නොමැතිව ලැබෙන අත්දැකීම් හුදු හිතළු පමණක් බවට පත්කරන්නේ කිනම් කරුණක් මත පදනම් වී ද? අනෙක් අතට ඊනියා ද්‍රව්‍යවාදියා මනස හා පංචෙන්ද්‍රිය (මනස ද සිංහල බෞද්ධයනට නම් ඉන්ද්‍රියයක් බව අමතක නොකළ යුතු ය) ඇසුරෙන් කරන නිරීක්‍ෂණ මනසින් ස්වායත්ත යැයි ගත්ත ද ඒ පංචෙන්ද්‍රියයන්ගෙන් ස්වායත්ත යැයි නොසලකයි. ඒ නිරීක්‍ෂණ පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා සංජානන ලෙස ඔහු විසින් සැලකෙයි. එයට හේතුව සංජානන නොමැතිව ඔහුට ලෝකයක් නොමැති බැවිනි. දැනුමේ පදනම ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර අත්දැකීම් (සංජානන) ය යන්න ඊනියා ද්‍රව්‍යවාදියාගේ උපකල්පනය වෙයි. (එහෙත් කිසිදු සංජානනයක් සංකල්පයකින් තොරව ඇති නොවන බව ඊනියා ද්‍රව්‍යවාදියා අමතක කරයි.)

එය උපකල්පනයක් හෝ උද්ගමනයක් හෝ මිස අන් කිසිවක් නො වේ. හැකිනම් එය උපකල්පනයක් හෝ උද්ගමනයක් හෝ නොවන බව පෙන්වන මෙන් ඊනියා භෞතිකවාදීන්ට තවත් අභියෝගයක් කිරීමට කැමැත්තෙමු. එය මනසින් තොරව නම් කෙසේවත් පෙන්විය නො හැකි ය. අඩුම තරමෙන් මනස යොදාගෙනවත් ඒ අභියෝගය පිළිගන්නේ නම් මැනවි. ඊනියා භෞතිකවාදීන්ගෙන් යම් පිරිසක් අපේ ප්‍රවාද ලිපි පෙළ කියවන බව අපි දනිමු. එසේ නොකියවන ඊනියා භෞතිකවාදීන්ට ද මෙහි සඳහන් අභියෝග සන්නිවේදනය කිරීමට ලිපි පෙළ කියවන ඊනියා භෞතිකවාදීන්ට හැකි යැයි සිතමි. උපකල්පන හා උද්ගමන මනසින් කෙරෙන කාර්යයන් මිස පංචෙන්ද්‍රියයන් යොදාගනිමින් කරන දේ නො වේ.

පෘථග්ජන මිනිස් නිරීක්‍ෂකයන්ට එකම ආකාරයේ පංචෙන්ද්‍රිය ඇති බැවින් ඔවුහු ඇතැම්විට තම අත්දැකීම් පිළිබඳව එකම නිගමනවලට එළඹෙති. එහෙත් අප දන්නා කරුණක් නම් ඒ ඒ සංස්කෘතීන්හි වාසය කරන පෘථග්ජන නිරීක්‍ෂකයන් ඒ ඒ නිරීක්‍ෂණවලට හා නිගමනවලට එළඹෙන බව ය. ඇතැම්හු සංසාරයක් ගැන විශ්වාස කරති. තවත් සමහරු ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේ කෙනකු ගැන විශ්වාස කරති. එවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් සියළු නිරීක්‍ෂකයන් එකම නිගමනයකට නොඑළඹෙන්නේ ඇයි?

ඒ තබා විඥානවාදය හා භෞතිකවාදය පිළිබඳවවත් සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට එකඟවීමට නොහැකි ඇයි? එයට පිළිතුර දෘෂ්ටිවාද නම් එයින් කියැවෙන්නේ දැනුම, එනම් ලෝකය පිලිබඳ දැනුම ගැන සියළු පෘථග්ජන නිරීක්‍ෂකයන්ට, (පෘථග්ජන යන වචනයට අකමැති නම් සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට යන්න යොදාගැනීම පිළිබඳ විරුද්ධ නොවෙමු) එකම මතයක්, මතවාදයක් නොමැති බව ය. දෘෂ්ටිවාද ඇතිවන්නේ භෞතික වූ ආර්ථික හේතු මත යැයි ඇට්ටකුණා වූ භෞතිකවාදියකු කීමට ඉඩ ඇත. එහෙත් ඒ ආර්ථික හේතු මත දෘෂ්ටිවාද ඇතිවන්නේ ය යන්න ද නිරපේක්‍ෂ වාස්තවික වූවක් නො වේ. එය ද තවත් මතවාදයක් වනු පමණක් නොව මනස විසින් නිර්මාණය කෙරුණු මතවාදයක් වෙයි.

ඊනියා භෞතිකවාදීහු හෙවත් ද්‍රව්‍යවාදීහු ද එක්තරා ආකාරයකට ගත්කල විඥානවාදීහු වෙති. ඔවුන්ට ද මනස නොමැතිව නො හැකි ය. මනසක් යනුවෙන් යම්කිසිවක් තිබෙන බව පිළිගැනීමට ඔවුන්ට සිදුවෙයි. එහෙත් ඔවුහු මනස මත තම පදනම්වීම වසාගැනීම සඳහා උපක්‍රමයක් යොදාගනිති. ඒ උපක්‍රමය නම් මනස ද්‍රව්‍යයෙහි ම පදනම් වූවක් ලෙස සුලකීම ය. ඔවුහු මනස ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරති. ඔවුන් කියන්නේ මනස මොළය ඇසුරෙන් පවතින බව ය. එහෙත් භෞතිකචාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට මනස මොළයට ඌනනය කිරීමට හැකි යැයි පෙන්වීමට නො හැකි ය. ඔවුන් මොළයේ විවිධ ප්‍රදේශවල ඉලෙක්ට්‍රෝඩ සවිකර පෙන්වන්නේ මනස හා මොළය අතර සහසම්බන්ධයක් ඇතිබව පමණ ය. අනෙක් අතට විඥානවාදීහු මනස ඇති බව පිළිගනිති. එය එක්තරා ආකාරයකින් වාස්තවික පිලිගැනීමකි. මනස පවතින්නේ මනසින් ස්වායත්තව දැයි ඔවුන්ගෙන් ඇසිය හැකි ය. එහෙත් බෞද්ධයනට ඊනියා වාස්තවික වූ මනසක් ඇති බව පිළිගැනීමට අවශ්‍ය නො වේ.

Friday, 29 July 2011

සිංහල බෞද්ධ විද්‍යාවකට විරුද්ධ කැලණි මහැදුරෝ

මේ ඉතාමත් අසිරිමත් කාලයකි. අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කළ ඇතැම් කරුණු තවදුරටත් නොසලකා හැරීමට පඬියන්ට නොහැකි වී ඇත. ඔවුහු විවිධ ප්‍රකාශ කරති. විවිධ ප්‍රකාශන ජනමාධ්‍යවලට නිකුත් කරති. මහැදුරෝ අපට විරුද්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට ලිපි යවති. ඒ ලිපි මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න පැහැදිලි ය. කඩිගුලක් ඇවිස්සූ කලක මෙන් පඬියන් ක්‍රියාකරන්නේ ඇයි?

ඉතා පැහැදිලිව බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්‍යාවට හා ඒ මත යැපෙන අනෙක් බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක් මෙතරම් ඉක්මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවට වැදේවි යැයි ඔවුන් සිහිනෙන්වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ දැනුමක් රජරට වකුගඩු රෝගය පිළිබඳ ව නිර්මාණය කරගැනීමට හැකිවීම අද බටහිර විද්‍යාඥයන්ට දිරවාගත නො හැකි ය. ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොදනුමාන ය.

මේ අසිරිමත් කාලයක් නිසා ම පිළිවෙළකට ලිපි ලිවීමේ අපහසුවක් වෙයි. අපි ගිය සතියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශනයකට පිළිතුරු ලිවීම ඇරඹුවෙමු. එහෙත් එය මේ සතියේ අත්හිටුවීමට සිදු වී ඇත. ලබන සතියේ එය නැවතත් ලිවීමට බලාපොරොත්තු වෙමි. එයට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් පිරිසක් (ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් හා මහාචාර්යවරුන් ද සිටින බව පැවසිය යුත්තේ එසේ නොකළහොත් ඇතැමුන්ට එය මදි පුංචිකමක් වීමට ඉඩ ඇති බැවිනි. මේ ඊනියා විදග්ධයන්ට කිසි විටෙකවත් එසේ මදි පුංචිකමක් නොකළ යුතු ය.) තමන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට යැවූ ලිපියක් ජනමාධ්‍යයට ද නිකුත් කෙරී පසුගිය 13 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ බැවින් එයට පිළිතුරක් ලිවීමට සිදවීම ය.

එහෙත් එයට කලින් සරසවියෙන් පිටමං වී යනු මුරුගා යන මැයෙන් ලියැ වී ඇති ලිපියට ද පිළිතුරක් දිය යුතු ය. මේ ලිපියේ මුරුගා යනුවෙන් කියැවෙන්නේ කවුද යන්න පැහැදිලි නැත. මුරුගා කවුරුන් වුවත් එනමින් මෙහි දී සංකේතවත් වන්නේ නාථ දෙවියන් විය හැකි ය. කොටන්දෙනිය මහතා පමණක් නොව ගීත රචක මහාචාර්යවරුන් ද පිටමං කිරීමට සූදානම් වන්නේ මිථ්‍යා ලෙස හැඳින්වෙන බෞද්ධයන්ගේ හෝ හින්දුන්ගේ හෝ දෙවියන් මිස ක්‍රිස්තියානි කතෝලික යුදෙව් ඉස්ලාම් දෙවියන් නො වේ. ඒ පසුව කී ආගම්වල ඇත්තේ විවිධ ස්වරූප ගත්ත ද එකම දෙවි කෙනෙකි. මේ දෙවියන් පළවා හැරීමට කිසිම භෞතිකවාදියකු, හේතුවාදියකු, මහාචාර්යවරයකු උත්සාහ නොගන්නේ ඒ දෙවියන් මිථ්‍යාවක් නොවන බැවින් ද? මේ ඊනියා යථාර්ථවාදීන්ට අවශ්‍ය දැන හෝ නොදැන හෝ හින්දු බෞද්ධ දෙවිවරුන් පන්නා දමා යෙහෝවා - අල්ලා දෙවියන් තව තවත් ස්ථාපිත කිරීම ය.

බටහිර විද්‍යාව යනු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පසුබිම් කරගත් විද්‍යාවකි. රුවන් සිල්වා මහතා සඳහන් කර ඇති ආකාරයට නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ යුදෙව් ක්‍රිස්තියානි දෙවියන් විසින් මවන ලද ලෝකය දැන ගැනීමට ය. මුළු මහත් බටහිර විද්‍යාව ම පරණ තෙස්තමේන්තුවේ උත්පත්ති කතාවෙහි (Genesis) අඩංගු වෙයි. සමාජ විද්‍යාව මාක්ස්වාදය ආදිය පරණ තෙස්තමේන්තුවේ නික්ම යෑම (Exodus) යන්නෙහි දැකගත හැකි ය. මේ යෙහෝවා දෙවියන් පදනම් කරගත් බටහිර විද්‍යාවට එරෙහි ව අප කරන අරගලය හමුවේ මාක්ස්වාදීහු ද ධනවාදීහු ද එකසේ බියවී සිටිති. ඊනියා යථාර්ථයේ පදනමේ ඇත්තේ මේ ලෝක නිර්මාපක දෙවියන් ය. අද බටහිර විද්‍යාව මහ ඉහළින් කතාකරන මහා පිපිරුම යනු එක් මොහොතක සිදුවන විශ්ව නිර්මාණය මිස අනෙකක් නො වේ. මෝසස්ගේ පොරොන්දු දේශය හා මාක්ස්ගේ සමාජවාදය යනු හරය වශයෙන් ගත්කල දෙකක් නොව එකකි. විශ්වය යම් දිනක නිර්මාණය වූවක් නොව අගක් මුලක් නැති විකාශයක් සහිත වූවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

යක්‍ෂ දේව සංකල්ප ප්‍රකෘතිය තේරුම් ගැනීමට නොහැකිවූවන්ගේ ප්‍රාථමික ගණයේ විශ්වාස යැයි කොටන්දෙනිය මහතා දන්නේ කෙසේ ද? ඒ වත්මන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි යෙහෝවා නොවන අනෙක් දෙවියන් ගැන කියැවෙන කතාවකි. බටහිරයන්ටත් බයිබලයටත් අවශ්‍ය යෙහෝවා දෙවියන් පමණක් තබාගෙන අනෙක් සියළු දෙවියන් නැති කිරීම ය. කොටන්දෙනිය මහතා ඊනියා යථාර්ථවාදී බෞද්ධයකු විය හැකි ය. බුදුන් වහන්සේ ද දෙවියන් පෙරේතයන් ආදීන් ගැන දේශනා කර ඇත්තේ ඊනියා ප්‍රකෘතියක් තේරුම් ගැනීමට නො හැකිව ද? විශ්වයේ ප්‍රාණීන් ලෙස ඇත්තේ ද්‍යශ්‍යමාන මිනිසුන් හා තිරිසනුන් පමණක් යැයි කොටන්දෙනිය මහතා විශ්වාස කරන බවක් පෙනෙයි. එය විශ්වාසයක් නොව ඊනියා යථාර්ථයක් යැයි කිසියම් වූ යථාර්ථවාදියකුට පෙන්වා දිය හැකි ද? මා පසුගිය සති කිහිපයේ විදුසර පුවත්පතට ලියූ ලිපි කියැවී නම් කොටන්දෙනිය මහතාට කසිකබල් භෞතිකවාදය (ද්‍රව්‍යවාදය) යනු කුමක්දැයි දැනගැනීමට තිබුණි. ඊනියා භෞතිකවාදය යනු විඥානවාදයක් පමණක් බව ඒ ලිපිවල පැහැදිලි කෙරී ඇත. කිසියම් කසිකබල් මාක්ස්වාදී ගුරුකුලයකින් දැනගන්නා ලදැයි සිතිය හැකි විඥානවාදය වැනි වචන ටිකක් කටගාගත් පමණින් කොටන්දෙනිය මහතාට බෞද්ධ දෙවියන්ගේ පැවැත්ම නැතැයි කිව නො හැකි ය. බුදුන්වහන්සේගෙන් ධර්මය ඇසූ දෙවියන් උන්වහන්සේගේ මනෝ භ්‍රාන්තීන් ද? කොටන්දෙනිය මහතා වැන්නන්ට ප්‍රශ්නය වී ඇත්තේ සිත යනු කුමක් දැයි යම්තමින්වත් තේරුම්ගත නොහැකි වීම ය. සිත ද ඊනියා භෞතිකයට ම ඌනනය කළ හැකි යැයි ඌනිතවාදීුහු සිතති. ඌනිතවාදයට මරු පහරක් ගඩ්ල් ප්‍රමේයයෙන් වුව ද එල්ලවන බව කොටන්දෙනිය මහතා නොදන්නා සේ ය.

භාවනාවෙන් මොළයේ පමණක් නොව හෝමෝනවල ද වෙනත් තැන්වල ද යම් යම් වෙනස්කම් ඇතිකළ හැකි ය. එහෙත් කොටන්දෙනිය මහතා වැන්නන් නොදන්නා කරුණ නම් මොළය යනු සිත නොවන බව ය. සිත මොළයට ඌනනය කිරීමට තැත්කිරීම බටහිර ඌනිතවාදී මනෝ විශ්ලේෂකයන්, මනෝ වෛද්‍යවරුන් ආදීන් ගේ තවත් අසාර්ථක වූ මනෝමය ව්‍යාපෘතියක් පමණ ය. කොටන්දෙනිය මහතාගේ මනෝ භ්‍රාන්තිවලට අනුව නිවන ද මනෝ භ්‍රාන්තියක් වෙයි. කොටන්දෙනිය මහතා කරුණු කොතනින් අහුළාගත්ත ද බටහිර විද්‍යාවට අවශ්‍ය නිවන ද තවත් මනෝභ්‍රාන්තියක් බවට පත්කිරීම බව නම් පැහැදිලි ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ට ද අවශ්‍ය මතු බුදුවන නාථ දෙවියන් හා විපස්සක දෙවියන් වැනි සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් පන්නා දමා යුදෙව් ක්‍රිස්තියානි යෙහෝවා දෙවියන්ගේ විද්‍යාව (බටහිර විද්‍යාව) ඒ දෙවියන් ද සමගින් රැකගැනීම ය. අද කැලණියේ ද ලිබරල්වාදීහු හා මාක්ස්වාදීහු බෞද්ධයනට එරෙහිව අත්වැල් බැඳගෙන සිටිති. මොවුන් නිව්ටන්ගේ යුදෙව් ක්‍රිස්තියානි දේවවාදී විද්‍යාව ආරක්‍ෂා කරන අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන්වහන්සේගේ (නාථ දෙවියන්) හා විපස්සක දෙවියන්ගේ විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරති. මොවුන් ඇතැමකු විද්‍යාලංකාර යන නමට අකමැති ය. ඔවුහු විද්‍යාලංකාරයේ බෞද්ධ උරුමය මකා දැමීමට කටයුතු කරති.

අපට එරෙහිව චෝදනා සහිත ලිපිය උපකුලපතිතුමාට යැවූ ඊනියා බුද්ධිමත්තු 1967 බිහි වූ විද්‍යා පීඨය වසර පනහකට අධික කාලයක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනගාගත් කීර්තිනාමයක් පිළිබඳ ව සඳහන් කරති. 1967 දී බිහි වී නම් විද්‍යා පීඨයට තවමත් වසර පනහක් ගෙවී නැති බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක් නොව පාසල් සිසුහු ද දනිති. එහෙත් ඇතැම් මහාචාර්යවරු ඒ බව නොදන්නා බව ඔවුන්ගේ නිවේදනයෙන් (ලිපියෙන්) පැහැදිලි වෙයි. අනෙක් අතට මේ ගොඩනගා ගත්තේ යැයි කියන කීර්තිය කුමක් ද? මේ අයගෙන් එක් අයෙක්වත් ඔවුන් ඉතා උසස් ලෙස සලකන නේචර් සඟරාවේ හෝ සයන්ස් සඟරාවේ හෝ පත්‍රිකා පළකර ඇත් ද? ඔවුන් බිහිකර ඇති නව සංකල්පයක්, ප්‍රවාදයක් ප්‍රමේයයක් වේ ද? මේ විද්‍යාඥයෝ හුදෙක් තාක්‍ෂණික ශිල්පීහු පමණක් වෙති. ඔවුන් දන්නේ සූපශාස්ත්‍ර විද්‍යාවකි. බටහිර පොතට අනුව අම්ලයක්, භෂ්මයක් එකතුකිරීම යම් උෂ්ණත්වයකට රත්කිරීම ආදිය හැරෙන්නට ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමය කුමක් ද? ඊනියා සාම්‍ය සමාලෝචන ගැන මනෝජ් රත්නායක මහතා ජූලි 13 වැනි දා විදුසරට ලියා ඇති ලිපිය කියවීමෙන් ඔවුන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි ය. නේචර් සයන්ස් යන ප්‍රධාන සඟරාවල පළවන පත්‍රිකාවලින් ද සියයට තිහක් පමණ අවුරුදු කිහිපයක දී වැරදි යැයි නිගමනය වන බව ඔවුහු නො දනිති. අනෙක් අතට ඊනියා විද්‍යා පර්යේෂණ ප්‍රතිඵල විද්‍යා සඟරාවක පළකළ යුතු බවට නීතියක් ඇත්තේ කෙහේ ද? අද මේ ඇදුරන් හා මහැදුරන් තැත්කරන්නේ කැලණිය සරසවියට ලැබිය යුතු ගෞරවය නැතිකිරීමට ය.

මා බටහිර විද්‍යාත්නක ක්‍රමයට අභියොාග කරන්නේ අද ඊයේ නොව අවුරුදු විසිපහක පමණ කාලයක සිට ය. ඒ බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නොදැන සිටියේ නම් එයට හේතුව ඔවුන්ගේ මුග්ධකම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ලෝකයේ නැති බවත් එය හුදෙක් බටහිර විද්‍යාව දැනුම් පද්ධතියක් ලෙස අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා උසස් ය, නිවැරදි ය සත්‍යයට ආසන්නය ආදී බේගල් පතුරවා ලෝකයට ම තම මතය බලයෙන් දීමට යොදාගන්නා ආයුධයක් පමණක් බවත් මා ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. බටහිර විද්‍යාව ඇත්ත ද බොරු ද යන්නක් එයින් නො කියැවෙයි. බටහිර විද්‍යාව ද තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ද අනෙක් බොහෝ අය මෙන් ම ප්‍රශ්නවලට පිලිතුරු ලෙස සංගත කතන්දර ගෙතීම (විද්‍යා කතන්දර පොත කියවන්න) පමණක් බවත් අප ප්‍රකාශ කර ඇත. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එය පදනම් වූ සංස්කෘතියෙන් හා චින්තනයෙනි. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. අපේ විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනය මත පදනම් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ගුරුවරු නමින් බෞද්ධ වුවත් සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකිරීමට විරුද්ධ වෙති. ඔවුහු විද්‍යාලංකාර නමට ද ඒ සම්ප්‍රදායට ද විරුද්ධ වෙති. නො සංසිඳෙන හීනමානයක් ඇති මොවුන්ට අවශ්‍ය බටහිර ජීවන ක්‍රමය අනුකරණය කරමින් අබෞද්ධ මාවතකට විද්‍යාලංකාරය ඇද දැමීම ය. අපි එයට මහාවිහාරයේ අභයගිරියේ හා මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ නාමයෙන් ඉඩ නො දෙමු. මොවුන් අද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට පැමිණිලි කරන්නේ අපට විරුද්ධව දඬුවම් කරවීමට ය. ඔවුන් කෙතරම් කුහකයන් දැයි කිවහොත් අපේ පර්යේෂණ ප්‍රතිඵල පුවත්පත්වලට නිකුත්කිරීම ගැන චෝදනා කරමින් අපට විරුද්ධ ව උපකුලපතිතුමාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ජනමාධ්‍යයට නිකුත්කිරීමට පියවර ගෙන ඇත.

අද පොදු මහජනතාව කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි ඇතිකරගෙන ඇත්තේ ගෞරවණිය ආකල්පයකි. පළමු වරට සුද්දාගේ පොතට අනුව පරිධියේ බෙලෙක් තහඩුවලට තට්ටු කරන කසිකබල් සූපශාස්ත්‍ර පර්යේෂණ නොව සුද්දාගේ පොතේ නැති එහෙත් විපස්සක දෙවියන් දෙන හෝඩුවා අනුව කෙරෙන ගවේෂණයක අපි නිරත වෙමු. විපස්සක දෙවියෝ මේ අඳ බාලයන්ට පමණක් නොව ආකිමිඩීස්, නිව්ටන් අයින්ස්ටයින් ආදීන්ට ද වඩා කල්ප ලක්‍ෂ ගණනකින් ඉදිරියෙන් සිටිති. අපි අපේ වැඩ පටන් ගත්තා පමණක් බව ඊනියා විද්‍යාත්මක අඳ බාලයන්ට දැනුම් දෙමු.

Saturday, 2 July 2011

කෝප්පයේ භෞතිකවාදී කෙප්පය

භෞතිකවාදයේ හෙවත් ද්‍රව්‍යවාදයේ පදනම වාස්තවිකත්වය නොවේ යැයි වාස්තවිකත්වය යනු විඥානවාදී සංකල්පයක් බව පෙන්වාදීමෙන් පසුව කිසිවකුට කිවහැකි ය. වාස්තවිකත්වය යන්න වස්තුව යන සංකල්පය මත පදනම් වී ඇති බවත් වස්තුව යනු පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බවත් වටහාගත් භෞතිකවාදියකු ඇතැම් විට කියනු ඇත්තේ භෞතිකවාදයෙහි සඳහන්වන්නේ ඒ ඒ ද්‍රව්‍ය මිස සාධාරණ වස්තු නොවන බව ය. උදාහරණයක් ලෙස එවැනි භෞතිකවාදියකු තමා කතාකරන්නේ තමාට පෙනෙන කෝප්පයක් ගැන මිස ලෝකයේ ඇති ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කෝප්පයක් ගැන නොවන බව ය.

එහෙත් ප්‍රශ්නය වනුයේ අප සෑම විට ම පංචෙන්ද්‍රියන්ට ගෝචරවන කෝප්ප ගැන පමණක් කතා නො කිරීම ය. අපට අවශ්‍ය නම් ඇමරිකාවේ සුපිරි වෙළෙඳසලක විකිණීමට ඇති කෝප්පයක් ගැන කතාකළ හැකි ය. දැන් ප්‍රශ්නය වනුයේ එලෙස කෝප්පයක් ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. ඒ කෝප්පය අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. පරිගණක තාෂණය යොදාගෙන ඇතැම් කෝප්ප අපට මෙරට සිට බැලිය හැකි ය. එහෙත් ඇමරිකාවේ තබා ලංකාවේ ද ඇති කෝප්ප සියල්ල අපට බලාගත හැකි නො වේ.

එසේ වුවත් එවැනි කෝප්ප ඇති බව අපි නිගමනය කරමු. හුදු ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නම් එසේ කළ හැකි නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිිද්්ධි හැරෙන්නට වෙනත් සංසිිද්ධි ඇති බව අප නිගමනය කරන්නේ කෙසේ ද? එය එක්තරා ආකාරයකින් ගතහොත් අභ්‍යුහනයකි. ලෝකයේ ඇත්තේ අප දැනටමත් පංචෙන්ද්‍රියන්ගේ ආධාරයෙන් නිරීක්‍ෂණය කර ඇති කෝප්ප පමණක් යැයි අපට කිවහැකි නො වේ. අප දැනට දැක නැති කෝප්පයක් වෙළෙඳසලකට ගියවිට හෝ වෙනත් අයකුගේ නිවසකට ගිය විට හෝ අපට දැකගත හැකි වෙයි.

එලෙස අපේ පංචෙන්ද්‍රිය ගෝචර කෝප්ප කුලකයට අවයව එකින් එක එකතු වන බැවින් අප මෙතෙක් නිරීක්‍ෂණය කර නොමැති කෝප්ප ද ඇති බව අපි නිගමනය කරමු. ඒ කෝප්ප එකක්වත් අප දැක නැත. එහෙත් එවැනි කෝප්ප ලෝකයේ ඇති බව අපි නිගමනය කරමු. අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නෙවන කෝප්ප ඇති බව භෞතිකවාදියාට පිළිගැනීමට සිදු වෙයි. අභ්‍යුහනය වියුත්ත ක්‍රියාවලියකි. ඒ කියාවලිය ඇත්තේ සිතෙහි ය. එය කිසිසේත්ම පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා එකක් නො වේ.

වාස්තවිකත්වය යන වියුක්ත සංකල්පය නොපිළිගත්ත ද අපට නොපෙනෙන අප කිසි දිනෙක අතපත ගා බලා නැති රස බලා නැති ගඳ සුවඳ බලා නැති කෝප්ප ඇති බව පිළිගැනීමට අපට සිදුවෙයි. එවැනි කෝප්ප ලෝකයේ ඇතැයි භෞතිකවාදියා කියනු ඇත. එහෙත් භෞතිකවාදියා එවැනි කෝප්ප පංචෙන්ද්‍රිය ඇසුරෙන් නො දනියි. ඔහු ඒ බව දන්නේ මනසින් පමණකි. මනසින් පමණක් දන්නා, එනම් පංචෙන්ද්‍රිය ගෝචර නොවන කෝප්ප ඔහු අභ්‍යුහනයෙන්, එනම් මනසේ ඇතිවන ක්‍රියාවලියකින් පමණක් දැනගනියි. එවිට භෞතිකවාදියාගේ කෝප්ප විඥානවාදී  නොවන්නේ ද? භෞතිකවාදීන්ට හුදු පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් පමණක් ලෝකය තේරුම් ගත නො හැකි ය.

අප ඉදිරිපිට ඇති කෝප්ප, මේස, පුටු කිහිපයක් පමණක් පදනම් කරගනිමින් මුළු ලෝකයම එවැනි ද්‍රව්‍යවලින් සෑදී ඇතැයි නිගමනය කිරීම තරම් ඊනියා විඥානවාදී ක්‍රියාවලියක් තවත් නැත. ඊනියා සැබෑ භෞතිකවාදියකු හෝ ද්‍රව්‍යවාදියකු හෝ තමන්ගේ පංචෙන්ද්‍රියන්ට පමණක් හසුවන ද්‍රව්‍යවලට පමණක් සීමාවිය යුතු ය. එහෙත් එසේ කරන භෞතිකවාදියකු ගැන දැනගැනීමට නැත. ඉන්ද්‍රිනුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් විද්වතා භෞතික විද්‍යාව පංචෙන්ද්‍රියට ගෝචර වන සංකල්ප මගින් පමණක් තේරුම්කර දිය යුතු යැයි කලකට පෙර කියා සිටියේ මේ ගැටලුව ගැන යම් අවබෝධයකින් යුක්තව ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ ඔහුට සවන් නුදුන්හ. ඔවුහු දිගින් දිගට ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු, පරමාණු, ඉලෙක්ට්‍රෝන ආදිය තම පද්ධතියෙහි රඳවා ගත්හ. ඒ බටහිර භෞතික විද්‍යාඥයන්ට මනසෙහි පමණක් ඇතිවන සංකල්ප නැතිව බැරි හෙයිනි. ඉලෙක්ට්‍රෝන ආදිය භෞතික වස්තූන් යැයි භෞතිකවාදීන් කියන්නේ කිනම් පදනමකින් ද? එහෙත් භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න එපමණ යැයි කිසිවකු වරදවා තේරුම් ගත යුතු නො වේ.

අපට ඇසට පෙනෙන කෝප්පය මනසෙන් තොරව පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් දැනගත හැකි සමතා කවු ද? එපමණක් නොව කෝප්පයේ භෞතිකවාදී කතාව පංචෙන්ද්‍රියන් සම්බන්ධයෙන් වුව ද සම්පුර්ණ ද? කෝප්පයේ භෞතිකවාදී පැවැත්ම කෙප්පයක් නොවන්නේ ද? කෝප්පයට තද බවක් ඇත්තේ නිරීක්‍ෂකයාගෙන් තොරව ද? අපට වඩා ශක්තිමත් හස්තයක් තිබිණි නම් අපට අතින් ම කෝප්පය පොඩිකිරීමට හැකිවන්නට තිබිණි. අප ඊනියා වස්තුවකට ඇතැයි කියන ගුණ අපේ පංචෙන්ද්‍රිය මත රඳා පවතින බව පැහැදිලි ය. ඒ සඳහා ඇති උදාහරණවල කෙළවරක් නැත.  

අප බොහෝ විට කියා ඇති පරිදි අපට නොපෙනන වර්ණ වෙනත් සතුන්ට පෙනෙයි. අප අද අධොරක්ත, පාරජම්බුල ආදී වශයෙන් නම්කර ඇති කිරණ අපේ ඇස්වලට දර්ශනය විණි නම් අප ඒවාට යම් වර්ණයක් දීමට තිබිණි. අපට නොඇසෙන ශබිද බල්ලන්ට ඇසෙයි. අපේ පංචෙන්ද්‍රියන්ගේ සීමාකාරීත්වය එබඳු ය. අප නිරීක්‍ෂණය කරන ලෝකය අපේ පංචෙන්ද්‍රියන්ට සාපේක්‍ෂ ය. අද ඇතැම් පඬියන් දෙවියන් නැතැයි කියන්නේ ඔවුන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බව පවසමිනි. එහෙත් ඒ පඬියෝ ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන ද ගුරුත්වාකර්ෂණ බලය ද වෙනත් දේ ද ඇතැයි පිළිගනිති. ඒ ගුරුත්වාකර්ෂණ බලයක් නැතැයි අයින්ස්ටයින් විද්වතා කියා තිබිය දී ය.

බාහිර වස්තු යැයි කියැවෙන වස්තුවලින් අපට, එනම් නිරීක්‍ෂකයන්ට, සංජානන ලැබෙන්නේ යැයි භෞතිකවාදීහු කියති. නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වස්තු තිබෙන බවත් සංජානන නිකුත් කරන බවත් ඔවුහු විශ්වාස කරති. එහෙත් ඒ බව ඔවුන් දන්නේ කෙසේ ද? අප කලින් ද කියා ඇති පරිදි එය පෞද්ගලික නිරීක්‍ෂණවලින් වියුක්තියට යෑමක් පමණකි. කිසිම නිරීක්‍ෂකයකු නැති විට සිදුවන්නේ කුමක් දැයි නිරීක්‍ෂණය කිරීමට කිසිවකු නැත. එසේ නම් නිරීක්‍ෂකයන් නැතිවිට කුමක් සිදුවේ ද යන්න දැනගත හැක්කේ පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‍ෂණ හෝ නිරීක්‍ෂණ හෝ යොදාගෙන නොව හුදෙක් මනස යොදගෙන කරන උපකල්පනවලින් හා තර්කයෙන් පැමිණෙන නිගමනවලින් පමණකි. එයටත් වඩා විඥානවාදී ක්‍රියාවලියක් තවත් ඇද්ද? 

ඊනියා වාස්තවිකවාදී භෞතිකවාදීන් උපකල්පනය කරන තවත් කරුණක් නම් සංජානන සංකල්පවලින් ස්වායත්ත බව ය. සංජානන පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වන්නේ යැයි කියන භෞතිකවාදීහු ඒවා මනසෙන් ද ස්වායත්ත යැයි කියති. සංජානන නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත බව දැනගැනීමට භෞතිකවාදී ක්‍රමයක් භෞතිකවාදීන්ට නැත්තේ නිරීක්‍ෂකයකු නොමැති කල සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමට ක්‍රමයක් නොමැති බැවිනි. කලින් ද කියා ඇති පරිදි නිල්බව (බලඋඉසහනඑසස) යන්න නිරීක්‍ෂකයාගේ පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත නො වේ. බර්ට්‍රන්ඩ් රසල් විද්වතා වැනි බොහෝ බටහිර දාර්ශනිකයන් ඒ එසේ යැයි පිළිගත්ත ද අපේ ඇස් නිල්බව යන්නට හැරෙන්නට වෙනත් සංඛ්‍යාතිවලට ප්‍රතිචාර දැක්වී නම් අපට ඊනියා නිල්බව නැතිවීමට තිබිණි. එහෙත් යම් කිසිවකු නැවතත් කියනු ඇත්තේ නිල්බව ඇසට නොපෙනුනත් ඒ සංඛ්‍යාතිය ඇති විකිරණ ඇති බව ය. එහෙත් ප්‍රශ්නය වනුයේ කිසිවකු නැතිව ඒ බව දැනගන්නේ කෙසේ ද යන්න ය.

අනෙක් අතට සංකල්පයක් නොමැතිව සංජානනයක් හටගන්නේ කෙසේ ද? නිල්බව යන්න නිල්බව යන සංකල්පය සමග බැඳී ඇත. මිනිස් නිරීක්‍ෂකයන් හෝ වෙනත් විඥානයක් සහිත සත්වයකු ඊනියා බාහිර වස්තු ග්‍රහණය කරන්නේ යම් ඉන්ද්‍රිය ඔස්සේ හෝ එසේ නැතිව හෝ මනස උපයෝගී කරගනිමිනි. මනසක් නැතිව නිරීක්‍ෂකයකු සංජානනයක් ඇතිකර ගන්නේ කෙසේ ද? සිංහල බෞද්ධයනට මනසෙහි ප්‍රධානත්වය අමුතුවෙන් කියා දිය යුතු නො වේ. අමනුෂ්‍යයන්ට ද, තිරිසනුන්ට ද, මිනිසුන්ට ද, දෙවියන් ට ද, බඹුන්ට ද මනස් ඇත. පාරමී දම් පිරීමටවත්, කුසල් අකුසල් රැස්කිරීමටවත් මනසක් නොමැතිව නො හැකි ය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ඇත්තේ මිනිසුනට පමණ ය. එය ද දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඊනියා සදාකාලික ආත්මය සමග සම්බන්ධ ය.

සිංහල බෞද්ධයනට සත්වයන්ගේ මනස ප්‍රධාන ය. සිරුර නැතිව වුව ද සිත මිස කය නැති බඹලොව බ්‍රහ්මයෝ වෙති. සියලු සත්වයෝ සංකල්ප සංස්කරණය කරති. සංකල්ප යනු මනසේ නිර්මාණය කෙරෙන්නකි. අපට සංකල්ප අඩුම තරමෙන් දෙවර්ගයක් ඇති බව පෙනී යයි. පළමුවෙන් ඇත්තේ සංයුක්ත සංකල්ප ය. සංයුක්ත සංකල්ප ඇතිවන්නේ සංජානන සමගින් ය. අප පුටුව, මේසය ආදී වශයෙන් දකින්නේ සංකල්ප - සංජානන පොදියකි. මේසයක් හෝ පුටුවක් හෝ අපට දැකගත හැකි ය. එහි දී ඇස හා මනස එකතු වී මේසය යන දෘශ්‍යමානය ඇති කරයි. එසේත් නැතහොත් ස්පර්ශය හා මනස එකතු වී මේසයෙහි තදබව යන්න ඇතිකරයි. එලෙස පංචේන්ද්‍රිය හා මනස (මනස ද සිංහල බෞද්ධයනට ඉන්ද්‍රියකි) එකතු වී ඊනියා මේසයෙහි විවිධ ගුණ ඇතිකරයි. ඒ ගුණ නිරීක්‍ෂණය කරනු ලබන්නේ අප වැනි මනුෂ්‍ය නිරීක්‍ෂකයන් විසිනි. වෙනත් සත්ව වර්ගයන් වෙනත් නිරීක්‍ෂණයන් ලබාගනු නො අනුමාන ය. ඒ සියල්ලන්ට ම ලැබෙන්නේ සංයුක්ත සංකල්ප යැයි අපි කියමු. සංයුක්ත සංකල්පයක් යම්කිසි රූපයක්, තදබවක්, ගඳක් සුවඳක් ආදිය සමග බැඳී ඇත. කෙටියෙන් කිවහොත් සංයුක්ත සංකල්පයක් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් සමග බැඳී ඇත.

මේ සංයුක්ත සංකල්ප ද දෙවර්ගයකි.  එක් වර්ගයක් අපට සෘජුව පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. අප දකින මේසය, පොල්ගස ආදිය එවැනි සෘජු පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප වෙයි. ඒ අතර තවත් සංයුක්ත සංකල්ප වර්ගයක් සෘජුව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන එහෙත් රූප ගඳ සුවඳ ආදිය මනසෙන් මවාගත හැකි ගුණ සහිත වෙයි. ඒ මවාගැනීම අවශ්‍යයෙන් ම ඒ දුටු ආකාරයෙන් ම විය යුතු නො වේ. උදාහරණයක් ලෙස ගතහොත් ජීවිතයේ කිසිම දිනක ඇපල් ගසක් නොදුටුවකුට ඇපල් ගස ගැන සංකල්පයක් තිබිය හැකි ය. එසේ ඇපල් ගසක් නොදුටුවකු සිතෙහි මවාගන්නා ඇපල් ගස සාමාන්‍ය ඇපල් ගසකින් හාත්පසින් වෙනස් විය හැකි ය. එහෙත් එසේ මවාගන්නේ ද ඒ පුද්ගලයාගේ, එසේත් නැත්නම් ඒ පුද්ගලයාට සාපේක්‍ෂ ඇපල් ගසකි. සෑම සංකල්පයක් ම ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ බැවින් මෙහි ගැටලුවක් පැන නො නගී.