Main Logo

Showing posts with label කෝනල්. Show all posts
Showing posts with label කෝනල්. Show all posts

Thursday, 20 October 2011

කතා හා අල්ප කතා

සාම්‍ය සමාලෝචනය (peer review) යනු කුමක්දැයි නොදන්නා අඳ බාලයන් එක්තරා වෙබ් අඩවියක එවැනි සමාලෝචන පිළිබඳ ව කයිකතා කියමින් බඩපිනුම් ගසනු දැකිය හැකි ය. සාම්‍ය සමාලෝචනයට ලක්කිරීමෙන් පසුව පර්යේෂණ පත්‍රිකා පළකරන සඟරාවකට එවැනි පත්‍රිකාවක් යැවූ විට ඒ පත්‍රිකාව සමාලෝචනය සඳහා ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇති විද්වතුන් දෙදෙනකු හෝ වැඩිපිරිසකට හෝ යවනු ලැබෙයි. ඒ විද්වත්තු බොහෝ විට සමාලෝචන කාර්යාවලිය අවසන් කිරීමට මාස තුනක් හා අවුරුද්දක් අතර කාලයක් ගනිති. ඇතැම් විට මාස තුනකට අඩු කාලයකින් ඒ කාර්යාවලිය නිමවන අවස්ථා නැතිවා නො වේ. එමෙන් ම ඒ සඳහා අවුරුද්දකට වැඩි කාලයක් ගතවන අවස්ථා ද ඇත.

විද්‍යුත් සඟරා පළකිරීමේ එක් අරමුණක් වනුයේ මේ පළකිරීමේ කාර්යාවලියට යන කාලය අඩුකිරීම ය. විද්‍යත් සඟරාවල පත්‍රිකා සමාලෝචනය සඳහා නො යැවෙයි. ඒ පත්‍රිකා ක්‍ෂෙත්‍රයට අදාළ ද යම් පටිපාටියකට අනුව ලියැවී ඇද්ද ආදී කරුණු කිහිපයක් පමණක් ඒ සඟරාවල විමර්ෂණයට භාජනය වෙයි. එය බොහෝ විට එක් දිනක් ඇතුළත සිදුවෙයි. ඉලෙක්ට්‍රොනික සඟරා පළකිරීමේ දෙවැනි අරමුණක් වනුයේ වැඩිදෙනකුට ඉතා කෙටි කාලයක දී පත්‍රිකාව කියවීමට සැලැස්වීම ය. මේ ලිපි අන්තර්ජාල පහසුකම් ඇති අයට පසුදාම කියවිය හැකිවෙයි. යමකු සාමාන්‍ය සඟරාවක් පෞද්ගලිකව ලබා නොගන්නේ නම් එය ආයතනයේ පුස්තකාලයට ලැබෙන තුරු බලා සිටිය යුතු ය. පෞද්ගලිකව ලබාගත්ත ද ඒ සඳහා ද යම් කාලයක් ගතවෙයි.

කෝනල් විශ්වවිද්‍යාලය මගින් ද දැන් කාලයක සිට විද්‍යුත් සඟරාවක් පවත්වාගෙන යනු ලැබෙයි. න්‍යුට්‍රීනෝ පිළිබඳ සර්න් පරීක්‍ෂණයේ ප්‍රතිඵල පළවූයේ ඒ සඟරාවෙහි ය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික් පිළිබඳ පර්යේෂණවල ප්‍රතිඵල ද සාම්‍ය සමාලෝචනයට ලක්කෙරෙන සඟරාවල පළ නොකෙරුණ ද, විවිධ සම්මන්ත්‍රණවල දී ඉදිරිපත් කෙරී ඇත. එමෙන් ම අපේ විධික්‍රමය ද ඉදිරිපත් කෙරී ඇත. වෙනත් ආයතනයකට ගොස් අපේ සහභාගීත්වයෙන් පරික්‍ෂණ කිරීමට ද අපි ඉදිරිපත් වීමු. එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණ අප සමග එක්වී පර්යේෂණ කරන ලෙසට ද අපි ඊනියා විද්‍යාඥයන්ට ආරාධනය කළෙමු. එව බලව යන්න අපේ ක්‍රමය වෙයි. පත්‍රිකාව බලව යන්නට වඩා එව බලව යන්න වැදගත් වෙයි.

පත්‍රිකාව බලව යන්න ගලා එන්නේ බයිබලයේ අසවල් පරිච්ඡෙදයේ අසවල් පැදිය (chapter and verse) බලව යන බයිබල් සම්ප්‍රදායෙනි. එව බලව යන්න බුදුන්වහන්සේගේ ක්‍රමය මත පදනම් වෙයි. එහෙත් මෙරට ඊනියා විද්‍යා අධ්‍යාපනයක් ලබා ඇති තාක්‍ෂණ ශිල්පීන් පමණක් වූ ද සූපශාස්ත්‍ර විද්‍යාවක නිරතවන්නා වූ ද බෞද්ධ යැයි කියාගන්නා බොහෝ විද්‍යා විශේෂඥයන්ට ද ඔවුන් ඕල්කට් බෞද්ධයන් වීම නිසා දෝ අවශ්‍ය වන්නේ බයිබල් සම්ප්‍රදාය මිස බෞද්ධ සම්ප්‍රදාය නො වේ. ජාතික යැයි කියාගන්නා ඇතැම් වෙබ් අඩවිවල කුරුටු ගාන්නවුන්ට ද මේ කිසිවක් නොතේරීම පුදුමයක් නො වේ. ඔවුහු ජාතික යැයි කියාගත්ත ද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම වන්දනා මාන කරන බටහිර ගැත්තෝ වෙති. බටහිර විද්‍යාව තරම් අප පෙළන තවත් දැනුම් පද්ධතියක් නොමැති බව මොවුන් ඇතැම් විට නොදන්නවා විය හැකි ය. එහෙත් අප බටහිරයන්ට තවදුරටත් යටත්කිරීමට මොවුන් දරණ නින්දිත උත්සාහයට, නොදැනීම යන්න පාදක කරගනිමින් සමාව දිය නො හැකි ය.

බටහිර භෞතික විද්‍යාවේ පසුගිය අවුරුදු අසූවක පමණ කාලයක අළුත් ෙසෙද්ධාන්තික වර්ධනයක් වී නැත. එහෙත් එහි නොයෙකුත් සුළු ප්‍රවාද හෙවත් අල්ප කතා ගෙතීම නතර වී ඇතැයි මෙයින් නො කියැවෙයි. ඒ කතා නව මූලධර්මානුසාරයෙන් ගෙතෙන කතා නො වේ. ඉන් බටහිර භෞතික විද්‍යාවේ වර්ධනයක් සිදු වී නැත. අප කලින් කියා ඇති පරිදි දැනටමත් න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයට වැඩි වේගයකින් චලනය වන්නේ කෙසේ ද යන්න තේරුම් කිරීම සඳහා අල්ප කතා හෙවත් සුළු ප්‍රවාද විශාල ප්‍රමාණයක් බටහිර විිද්‍යාඥයන් අතින් ගෙතී ඇත. එහෙත් ඒ පිළිබඳ ව දැනට මා කියවා ඇති කතා සියල්ල ම වත්මන් භෞතික විද්‍යාවේ මතිමතාන්තර මත පිහිටා ගොතා ඇති අල්ප කතන්දර වෙයි. ඉන් එකක්වත් නව සුසමාදර්ශයක් තබා නව ප්‍රවාදයක්, සංකල්පයක්වත් මත පිහිටා ගොතා නැත. මෙරට ඊනියා වි්‍යාඥයන්ගෙන් අල්ප කතාවක්වත් ගෙතෙන්නේ නැත. බටහිර භෞතික විද්‍යාව පිළිබඳ ව ජ වි පෙරමුණේ කුමාර කල්ලියේ හෙවත් ඊනියා විප්ලවීය කණ්ඩායමේ පුබුදු ජාගොඩ වැන්නන්ගෙන් තමන් ඒ පක්‍ෂයේ සිටිය දී බටහිර භෞතික විද්‍යාව හා බටහිර දර්ශනය ඉගෙන ගත් පුස්සන්ට මේ කිසිවක් නොතේරෙන බව පැහැදිලි ය. ඔවුහු තමන් නොදන්නා දේ තම දේශපාලනික වෙබ් අඩවිවල ලියමින් පාළු ගෙවල්වල වළං බිඳිති.

මෙහි දෙපැත්තක් ඇත. එක් පැත්තකින් අපට පෙනී යන්නේ කාල් පොපර් කෙසේ කියා තිබුණත් බටහිර විද්‍යාඥයන් තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට උත්සාහ නොගන්නා බව ය. ඔවුහු සියල්ලෝ ම දැනට තිබෙන ප්‍රවාද තහවුරු කිරීමට උත්සාහ කරති. අනෙක් පැත්තේ ඇත්තේ නව ප්‍රවාද, නව සංකල්ප හා නව සුසමාදර්ශ ගෙතීමට ඇති අසීරුකම ය. බටහිර විද්‍යාඥයන්ගෙන් අති විශාල පිරිසකගේ සංස්කෘතිය හා චින්තනය බටහිර විද්‍යාවේ චින්තනය හා සංස්කෘතිය වුව ද නව සුසමාදර්ශ හා ප්‍රවාද ගෙතීම එතරම් පහසු කටයුත්තක් නො වේ. එහෙත් ඔවුහු මෙරට සිටින තාක්‍ෂණ ශිල්පීන් මෙන් නොව හුදු සූපශාස්ත්‍රඥයන් පමණක් නොවී අල්ප කතා ගෙතීමට ඉදිරිපත් වෙති.

යම්කිසි අයුරකින් අල්ප කතාවලින් න්‍යුට්‍රීනෝ අංශුවල ආලෝකයට වැඩි වේගයක් තිබී (න්‍යුට්‍රීනෝ අංශුවල වේගය ආලෝකයට වැඩි බවට බටහිර භෞතික විද්‍යාඥයන් අතර පොදු මතයක් තවමත් ඇති වී නැත. ඇතැම්හු තවමත් සර්න් පරීක්‍ෂණ වාර්තා විශ්වාස නොකරති. බොහෝ දෙනකු අසා ඇති ස්ටීවන් හෝකින් ද පවසන්නේ ඒ පිළිබඳ නිගමනයකට පැමිණීමට කල් මදි බව ය. ස්ටීවන් හෝකින් යනු ඉංගිරිසි ජනමාධ්‍යවලින් හුවා දක්වන්නකු මිස ශ්‍රෙෂ්ඨ බටහිර භෞතික විද්‍යාඥයකු නොවන බව ද ඒ සමග සඳහන් කළ යුතු ය.) අල්ප කතාවලින් ඒ තේරුම් ගැනීමට නොහැකි වී යැයි සිතමු. එවිට බටහිර භෞතික විද්‍යාවට ඒ සඳහා ප්‍රවාදයක් හෝ සුසමාදර්ශී වෙනසක් හෝ අවශ්‍ය වෙයි. බටහිර භෞතික විද්‍යාවේ ඊනියා වර්ධනයක් ඇති වන්නේ එවැනි අවශ්‍යතාවක් පැන නැගී ඒ කතාව ගෙතීමට සමත් විද්‍යාඥයකු බටහිර විද්‍යාවේ බිහි වුවහොත් පමණ ය. එසේ නැතිව අල්ප කතා ගොතන්නන්ගෙන් සිදුවන වර්ධනයක් නොමැත.

එහෙත් මෙරට සිටින බටහිර විද්‍යාවේ දාසයන් ඇතැම් විට සිතා සිටින්නේ එවැනි බටහිර විද්‍යාඥයන් තොග ගණනේ බිහිවන බව ය. අද බටහිර විද්‍යාවට එවැන්නන් බිහිකිරීමට ඇති ශක්තිය හීන වී ඇත. ක්වොන්ටම් භෞතිකයේ ෙසෙද්ධාන්තික වර්ධනය ඇණ හිටීමෙන් පෙන්නුම් කරන්නේ ඒ බව ය. සාපේක්‍ෂතාවාදයෙහි ද ඇණ හිටීමක් සිදුවීම සිතිය නොහැක්කක් නො වේ. එහෙත් මෙරට අඳ බාලයෝ ඒ කිසිවක් නො දනිති. අද බටහිර භෞතික විද්‍යාවට සංගත ප්‍රවාද ගොතාගැනීමට නොහැකි ව ලත වන සමයකි. මහා පරිමාණයේ පරස්පර සහිත කතා එකතුවක් බවට බටහිර භෞතික විද්‍යාව පත්වෙමින් ඇතැයි කිව හැකි ය.

න්‍යට්‍රීනෝ අංශුවල ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වැඩි වුවහොත්, එනම් ඒ බව බටහිර භෞතික විද්‍යාඥයන් පොදුවේ පිළිගතහොත්, අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට කුමක් සිදුවේ ද? එක්කෝ සාපේක්‍ෂතාවාදයෙහි ම න්‍යුට්‍රීනෝ අංශු අඩංගු කරගන්නේ කෙසේ දැයි බටහිර භෞතික විද්‍යාඥයන් සොයා බැලිය යුතු ය. එනම් ඒ සඳහා අල්ප කතාවක් ගොතාගත යුතු ය. එසේත් නැත්නම් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ප්‍රතික්‍ෂෙප කළ යුතු ය. එසේ ප්‍රතික්‍ෂෙප කිරීමේ දී බටහිර විද්‍යාඥයන්ට ක්‍රම දෙකක් අනුගමනය කළ හැකි ය. බටහිර විද්‍යාඥයන්ට ආලෝකයට වඩා වේගයක් ඇති අංශු සඳහා මෙන් ම ආලෝකයට අඩු වේගයක් ඇති අංශු සඳහා ද වලංගුවන පොදු ප්‍රවාදයක් (කතාවක්) ගොඩනගාගැනීමට හැකිවිය යුතු ය. එසේ කළ නොහැකි නම් ආලෝකයට වැඩි වේගයක් ඇති අංශු සඳහා එක් ප්‍රවාදයක් හා ආලෝකයට අඩු වේග සහිත අංශු සඳහා තවත් ප්‍රවාදයක් (අයින්ස්ටයිනීය ප්‍රවාදය) යනුවෙන් ප්‍රවාද දෙකක් අතිකර ගැනීමට හැකිවිය යුතු ය.

දෙවැන්නෙන් කියැවෙන්නේ බටහිර භෞතික විද්‍යාව පරස්පර සහිත ප්‍රවාද ගෙතීම සඳහා උනන්දුවක් දැක්විය යුතු බව ය. දැනටමත් එවැනි පරස්පර සහිත ප්‍රවාද වෙයි. නිව්ටෝනීය ප්‍රවාදය හා තාපගතික ප්‍රවාදය එවැනි ප්‍රවාද දෙකකි. එහෙත් ඒ ප්‍රවාද අතර ඇති පරස්පරය අපට එතරම් නොදැනෙන්නේ එහි දී කාලය සම්බන්ධයෙන් සමමිතික හා අසමමිතික සංසිද්ධි සම්බන්ධයෙන් ඒ ප්‍රවාද වෙන වෙන ම යොදා ගන්නා බැවිනි. නිව්ටෝනීය ප්‍රවාදයෙහි කාලය සමමිතික වෙයි. ඇත්තට ම කිවහොත් නිව්ටෝනීය ප්‍රවාදයෙහි කාලය ගල්ගැසී ඇත. කාලය ගල්ගැසීම පිළිබඳ ලියූ අපේ ප්‍රවාද ලිපියක් බොහෝ ඈත දී විදුසරෙහි පළ වී ඇත.

තාපගතික ප්‍රවාදයෙහි කාලය සමමිතික නැත. එහි පද්ධතිවල කාලය එක් පැත්තක සිට අනෙක් පැත්තට ගලා යෑමක් ගැන කියැවෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම් එහි කාලය නිතර ම වැඩිවෙයි. එහි පැහැදිලි අතීතයක් හා අනාගතයක් ඇත. කාලය අතීතයෙන් අනාගතයට ගලා යයි. මල් පොහොට්ටුවක් පිපී මලක් බවට පත්වනු මිස මලක් කිසි දිනෙක මල් පොහොට්ටුවක් බවට පත් නො වෙයි. තාපගතික පද්ධතිවල දක්නට ලැබෙන මේ කාලයේ ඊනියා ඉදිරි ගමන බටහිර භෞතික විද්‍යාඥයන් විසින් කාල හීය (Arrow of Time) යන පදයෙන් හඳුන්වනු ලැබෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවේ තබා අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයේවත් කාල හීයක් නැත. එසේ තිබිය දී විශ්වය ප්‍රසාරණය වීම බටහිර භෞතික විද්‍යාඥයන්ට හා බටහිර විශ්වවේදීන්ට (Cosmologists) ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව විශ්වයේ ප්‍රසාරණය මගින් කාලයට දිශාවක් නියමවීම ය. මෙය ද කාල හීයක් වෙයි. අයින්ස්ටයිනීය සමීකරණ කාලයෙන් සමමිතික ව තිබිය දී ඒ සමීකරණ මගින් විස්තර කෙරෙන විශ්වය ප්‍රසාරණය වීමෙන් කාලයට අතීතයේ සිට අනාගතයට යනුවෙන් දිශාවක් නියම කෙරෙන්නේ ඇයි ද යන්න බටහිර විශ්වවේදයෙහි නොවිසඳුණු ගැටලුවක් වෙයි.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සමීකරණවල කාලය සමමිතික වෙයි. කාලය යන්න t සංකේතයෙන්් නිරූපණය කෙරෙන්නේ නම් මෙයින් කියැවෙන්නේ නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සමීකරණවල t වෙනුවට -t ආදේශ කළ හැකි බව ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයෙහි ද තත්වය එසේම ය. න්‍යුට්‍රීනෝව පිළිබඳ ප්‍රශ්නවලට හේතුව ඇතැම් විට මේ කාල සමමිතිය විය හැකි ය. න්‍යුට්‍රීනෝ අංශු කාලය සම්බන්ධයෙන් හැසිරෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විසඳුමක් එසේත් නැත්නම් කතාවක් බටහිර භෞතික විද්‍යාඥයන් අතින් ගෙතී නැතැයි සිතෙයි. ඒ එසේ නම් අල්ප කතාවලින් ඒ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කළ නොහැකි වනු ඇත.

Wednesday, 23 March 2011

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය – 5

ඇතැමි ඔිල්කටි බෞද්ධයන්ට (සිංහලකම නැති බෞද්ධයන්ට) හා කෝනල් සිංහලයන්ට (බෞද්ධකම නැති සිංහලයන්ට) ඇති ප්‍රශ්නයක් නමි මෙරට තමන් සිංහල බෞද්ධයන් යැයි හඳුන්වාගන්නා පිරිසක් සිටීම ය. ඉහත කී පඬියන් අසන්නේ බෞද්ධකම සිංහලයන්ට පමණක් ද යන්න ය. සිංහල බෞද්ධයන් යැයි කී පමණින් බෞද්ධකම සිංහලයන්ට පමණක් අයත්වන්නේ යැයි කියන්නේ, එලෙස නිගමනය කරන්නේ, කිනමි න්‍යායකට ද යන්න පඬියන් ම තේරුමි කර දෙන්නේ නමි මැනවි. සිංහල බෞද්ධයන් පමණක් බෞද්ධ වන්නේ නමි විය යුත්තේ සිංහල කී පමණින් බෞද්ධ බවත් බෞද්ධ කී පමණින් සිංහල බවත් ගම්‍ය වීම ය. එහෙත් ඒ එසේ නොවන බව වඩාත් ම දන්නෝ ඔිල්කටි බෞද්ධයෝ හා කෝනල් සිංහලයෝ ය. මෙි පඬියන් දන්නා නයක් (න්‍යායක්) නැත. එහෙත් ඔවුහු රටට ම ඇණයක් වෙති. සිංහල බෞද්ධ යන්න ධර්මපාලතුමාගෙන් පසුව ව්‍යවහාරයට පැමිණියත් නැතත් එහි අර්ථය අපට පැහැදිලි කර දී ඇත්තේ ගැමුණු කුමරු ය. එය තහවුරු කරනු ලැබ ඇත්තේ පස්වැනි සියවසේ ලියැවුණු මහාවංසයෙනි. ගැමුණු කුමරුගේ පාඨයක් ලෙස මහාවංසයෙන් කියැවෙන මාගේ මෙි ව්‍යායාමය බුදුසසුනේ චිරස්ථිතිය සඳහා ය යන්න සිංහල බෞද්ධත්වයේ ආරමිභය වෙයි. ගැමුණු කුමරු ඒ ප්‍රකාශය කර ඇත්තේ සිංහල බෞද්ධයකු ලෙස ය. බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳු ඔස්සේ විෂ්ණු දෙවියන්ට මෙරට රැකගැනීම භාරකර ඇත. මෙි මහාවංසයේ සඳහන් කරුණු පමණක් නො වෙි. තම මනස දියුණු කරගත් පින් ඇති අයට අද වුවත් ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි දෙයකි.

මෙහි දී පින් ඇති අයට යන්න ගැන කෙටි විවරණයක් කළ යුතු ය. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා පඬියන් (මොවුන් හීනෙන්වත් ඉදිරිපත් කර ඇති ඊනියා විද්‍යා සංකල්පයක් නැතිවා පමණක් නොව බොහෝ දෙනකු කෙක්‍යුලේ බෙන්සීන් වලය ගැන දුටු සිහිනය ගැනවත් කියවාවත් නැත) කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව දැනුම පින් ඇති හා නැති සියළු දෙනාට ම ලබාගත හැකි විය යුතු බව ය. එහෙත් ඔවුන් නො පිළිගත්ත ද ඔවුන්ට ඊනියා විද්‍යාඥයන් වීමට හැකිව ඇත්තේත් යමි ආකාරයක පිනක් (එය රට වශයෙන් ගත්කල පවක් ද යන්න වෙන ම කරුණකි) ඇති බැවින් ය. විද්‍යා විෂයන් හැදෑරීමට නොහැකිව වෙනත් ආකාරයක පින් නිසා වෙනත් විෂය හැදෑරීමට යන්නන්ට අර විද්‍යා විෂය ඉගෙනීමට අවශ්‍ය පින තිබී නැත. මෙි කසිකබල් විද්‍යාඥයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ ක්‍ෂෙත්‍රවල ද ක්‍රියාත්මක නොවන බව ඔවුන්ට නොතේරෙයි. ලොවෙි බිහිවන සියළු දෙනාට ම විද්‍යාඥයන් වීම සඳහා ඔවුන්ගේ බසින් කියන්නේ නමි අඩුම තරමෙන් විභවයක්වත් වෙි ද? එසේ විභවයක් තිබුණ ද එය සාක්‍ෂාත් කරගැනීමට හැකියාව ඇත්තේ කී දෙනකුට ද?

සිංහලයන් දේවානමිපිය තිස්ස රජුකල නිල වශයෙන් බෞද්ධයන් වුවත් ඔවුන් සිංහල බෞද්ධයන් වී ඇත්තේ ගැමුණු රජු දවස ය. ඇතැමි සිංහල බෞද්ධයනට අනුව ගැමුණු රජු යනු මෛත්‍රී බෝසතාණන් වහන්සේ ය. ඇතැමුන්ට අනුව එතුමා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත්සවි වන්නේ ය. ඒ කුමක් වුවත් එතුමා පසුගිය අවුරුදු දෙදහස් පන්සියයක පමණ කාලයක මෙරට බිහි වූ ශ්‍රේෂ්ටතම පුද්ගලයා වෙයි. තමන්ගේ ව්‍යායාමය බුදුසසුනේ චිරස්ථිතිය සඳහා යැයි කීමට එතුමා පෙළඹී ඇත්තේ ඇයි ද යන්න ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් දැනගත හැකි ය. විෂ්ණු දෙවියන්ගේ (මෙි එනමින් ඇති හින්දු දෙවියන් නොවන බව අවධාරණය කළ යුතු ය) ආධාරය ද ඇතිව මෙරට රැකගැනීම සිංහල බෞද්ධයන්ගේ අධිෂ්ටානය මෙන් ම ප්‍රාර්ථනය ද වෙයි. මෙරට රැකගත යුත්තේ මෙරටින් පඬියන් බිහිවීමට ඉඩ සැලසීමට නොවෙි. ඒ පඬියන් බිහිවන්නේ මෙි රටෙි කරුමයකට මිස පිනකට නො වෙි. රටට ද පිනක් මෙන් ම පවක් ද ඇත. මෙරට පව අන්කිසිවක් නොව බටහිර ගැති අනුකාරක දීන පඬියන් කිහිප දෙනකුට ද එය ජන්මභූමිය වීම ය. දරුණුතම හීනමානයකින් පෙළෙන මෙි පඬියෝ බටහිර දැනුමෙි ඒජන්තයෝ පමණක් ම වෙති. ඔවුන්ට බටහිර ද එතරමි පිළිගැනීමක් නැත. ඔවුන්ට වැඩිම වුවහොත් බටහිර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරුන් වරියන් විය හැකි ය. එහෙත් එතනින් එහාට ලැබෙන පිළිගැනීමක් නැත. ඒ නොමැති පිළිගැනීම ලබාගැනීමට ඔවුන් උත්සාහගන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය උදෙසා සිංහල බෞද්ධයන්ට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමෙනි. ඒ සඳහා ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම යොදාගනිති.

සිංහල බෞද්ධයන් නොවන්නට ලෝකයේ ථෙරවාදයක් නැත. ථෙරවාදය ආරක්‍ෂා කරගත්තෝ සිංහල බෞද්ධයෝ ය. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ආධ්‍යාත්මික ව ඇති එකම අභියෝගය සිංහල ථෙරවාදය වෙයි. ථෙරවාදය ද සිංහලයන්ට පමණක් අයිති දැයි පඬියකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. සිංහල ථෙරවාදය යන්නෙන් මා අදහස් කරන්නේ සිංහලයන් විසින් රැකගැණුනු ථෙරවාදය වෙයි. සිංහල ථෙරවාදය තුන්වැනි සංගායනාවෙන් ලැබුණු ථෙරවාදයෙන් බිහි වී ඇත. සිංහල බෞද්ධයන් තමන් ඒ අයුරින් හඳුන්වා ගන්නේ අභිමානයෙනි. ඒ අනෙක් අය පෙළීම සඳහා යොදාගන්නා අභිමානයක් නො වෙි. අනෙක් අය පෙළන්නෝ බටහිරයෝ හා ඔවුන්ගේ ඒජන්ත පඬියෝ ය. ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම නමැති අවිය අමෝරාගෙන මුළු ලෝකය ම තම ආධිපත්‍යය යටතට ගැනීමට උත්සාහ දරති. අවාසනාවකට පසුගිය අවුරුදු පන්සියයක පමණ ඉතිහාසයේ ඒ කාලකන්නි උත්සාහය සෑහෙන පමණකින් සාර්ථක වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය සිංහලකම හා බෞද්ධකම එකිනෙකින් වෙන්කළ නොහැකි ආකාරයට බද්ධ වී ඇත. එහෙත් එයින් කියැවෙන්නේ (ථෙරවාද) බෞද්ධකම සිංහලයන්ට පමණක් සීමාවුවක් ය යන්න නො වෙි. මියන්මාරයේ, තායිලන්තයේ, ලාඔිසයේ, කාමිබෝජයේ පමණක් නොව චීනයේ ද කොටසක ථෙරවාද බෞද්ධයෝ වෙති. කලක් ආන්ද්‍ර ප්‍රදේශයේ ද ථෙරවාද බෞද්ධයෝ වූහ. අද එහි බෞද්ධයන් දැකගත නො හැකි ය. සිංහල බෞද්ධයන් නොවන්නට අනෙක් රටවලින් ද ථෙරවාද බුදුදහම නැතිවන්නට තිබිණි. අනෙක් අතට සිංහලයන්ට බෞද්ධකම පමණක් සීමා වී නැත. බෞද්ධ නොවන සිංහලයෝ ද වෙති. එසේ වුවත් පොදුවෙි ගත්කල සිංහලකම හා බෞද්ධකම නැති නොවන ලෙස එකට බැඳ තබනු ලැබුයේ ගැමුණු රජතුමා විසිනි. එතුමා සිංහල බෞද්ධයනට බෞද්ධකම රැකගනිමින් යුද්ධ කරන ආකාරය ද කියා දුන්නේ ය. සිංහල බෞද්ධයන් බුදුසසුන රැකගැනීම සඳහා පසුගිය වසර දෙදහස් දෙසියයකට අධික කාලයක් ක්‍රියා කර ඇත. රට, ජාතිය, ආගම යනුවෙන් කරුණු තුනක් උදෙසා කටයුතු කරන එකම පිරිස සිංහල බෞද්ධයෝ වෙති. සිංහල බෞද්ධයන් එසේ රට ජාතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන්නේ එක් අතකින් බෝසතාණන් වහන්සේලාට පාරමී ධර්ම පිරීම සඳහා සුදුසු ම රට ලංකාව වන බැවිනි. ලංකාවෙි භූගෝලීය පිහිටුම ද ඒ සඳහා ආධාරයක් වෙයි. අද ද සමිබුද්ධත්වය සඳහා පාරමී ධර්ම පුරන සිංහල බෞද්ධයෝ වෙති. ලංකාවෙි සමස්තයක් ලෙස සිංහලකම බෞද්ධකමින් හෝ බෞද්ධකම සිංහලකමින් හෝ වෙන්කළ දින සිංහලකම මෙන් ම බෞද්ධකම ද නැති වනු ඇත. ඉන් පසු ලෝකයෙන් ම ථෙරවාදය සසුනක් ලෙස නැති වී යන දිනය ද ළඟා වනු ඇත. එවිට ථෙරවාදය පවතිනු ඇත්තේ පුස්තකාලවල පමණ ය. බටහිරයන්ගේ ද ඔවුන්ගේ ගැත්තන් වූ අනුකාරක පඬියන්ගේ ද බලාපොරොත්තුව ද එය ම වෙයි.

මෙහි දී එක් කරුණක් පඬියන්ට මතක්කර දිය යුතු ය. සිංහල බෞද්ධයන් සිටින්නේ ලංකාවෙි පමණ ය. එහෙත් රෝමානු කතෝලිකයෝ ලොව පුරා විසිරී සිටිති. ඔවුන් ලංකාවෙි ද දැකගත හැකි ය. මෙරට රෝමානු කතෝලික පල්ලිය බලවත් ආයතනයකි. එහි මෙරට ප්‍රධානියා කාදිනල්වරයෙකි. ඒ පත්වීම ද ලංකාවෙි රෝමානු කතෝලික පල්ලියේ තවත් පත්වීමි ද කෙරෙන්නේ වතිකානුවෙනි. වතිකානුව රෝමයේ පිහිටියත් ස්වාධීන රාජ්‍යයකි. මෙි පත්වීමි යුරෝපයේ හා ඇමෙරිකාවෙි හා වෙනත් රටවල ලංකාවෙි විවිධ නිකායවලින් කෙරෙන සංඝනායක පත්විමි සමග සමාන නොකළ යුතු ය. මෙරට නිකාය එකක්වත් ස්වාධීන රාජ්‍ය නොවන අතර විවිධ රටවල සංඝනායක හිමිවරුන්ට ද කිවයුතු බලයක් නැත. ඒ සංඝනායක ස්වාමීන්් වහන්සේ ඒ ඒ රටවල රාජ්‍ය විසින් පිළිගනු නො ලැබෙති. එහෙත් මෙරට රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා රාජ්‍යය විසින් ද පිළිගනු ලැබෙයි. මෙි රෝමානු කතෝලික පල්ලිය හා රෝමානු කතෝලිකයන් ගැන පඬියන් කියන්නේ කුමක් ද? ලංකාවෙි ජනයාගෙන් පිරිසක් අදහන ආගමක නායකයන් වෙනත් ස්වාධීන රාජ්‍යයක් විසින් පත්කරනු ලැබීම හා ඒ ආගමෙහි අනන්‍යතාව රෝමය (වතිකානුව) සමග බැඳී තිබීම ලංකාවෙි ස්වාධීනත්වයට කෙසේ බලපාන්නේ ද යන්න ගැන පඬියන්ට තමන් දන්නා බටහිරයන්ගෙන් යමි හෝඩුවාවක් ලැබී තිබෙි ද? කාදිනල්වරයා ප්‍රමුඛ පල්ලියේ රෝමානු බැඳීම නැති කිරීමට පඬියන් කර ඇත්තේ කුමක් ද?

සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ගැන කතාකිරීමට යොදවාගෙන ඇති තවත් පිරිසක් නමි යමි ආකාරයක කුල පීඩනයක හසු වූ සිංහල බෞද්ධයන් ම ය. කුල ක්‍රමය නරක දෙයක් නො වෙි. ලංකාවෙි තිබූ කුල ක්‍රමය කුල පීඩනයක් බවට පත්කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. ඒ කුල පීඩනය හින්දු කුල පීඩනයෙන් අංශු මාත්‍රයක් පමණක් වුවත් මෙරට කසිකබල් පුවත්පතක් එය ඉස්මතු කිරීමට විශාල වෑයමක් ගන්නා අතර ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් ද එයට හසු වූ අය ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයකට විරුද්ධව කටයුතු කිරීමට මෙහෙයවන්නේ තමන්ගේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන් ජනතාවගේ සිත්සතන් වෙනත් පැත්තකට යොමු කිරීමට ය. අපි මෙි සිංහල බෞද්ධ විරෝධී බලවෙිග හඳුනාගෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා දැනුමි ආධිපත්‍යය මෙරටින් අතුගා දැමීමට සූදානමි වෙමු.