Main Logo

Showing posts with label ඇදුරෝ. Show all posts
Showing posts with label ඇදුරෝ. Show all posts

Monday, 16 January 2012

විශ්වවිද්‍යාල අර්බුදය

මෙරට සියළු විශ්වවිද්‍යාල එක්වර විවෘත කර තිබෙන දිනයක් නැති තරම් ය. ඇතැම් විශ්වවිද්‍යාල කාල සටහනකට අනුව මෙන් වසා දැමෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සියල්ලට ම ප්‍රධාන වූ හේතුවක් වෙයි. එය විශ්වවිද්‍යාලවලට මෙන් ම ඉංගිරිසින් විසින් අපට ලබා දෙන ලද බොහෝ ආයතනවලට ද පොදු වෙයි. ඒ ආයතනවලට මෙරට මුල් බැස ගැනීමට (අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට) නොහැකි වී ඇත. බලෙන් පැළ කළ ඇපල් ගස් මෙන් ඒ රැක බලාගැනීමට කෘත්‍රිම පරිසරයක් ඉතා වෙහෙස මහන්සි වී නිර්මාණය කළ යුතු වෙයි. පාර්ලිමේන්තුව, ජනාධිපති ක්‍රමය, කැබිනට් මණ්ඩලය, ආණ්ඩුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, විශ්වවි්‍යාල, පාසල් පද්ධතිය ආදී රාජ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන ද මුල් අල්ලා නොමැතිවා පමණක් නොව පරිහානිය පමණක් උරුම කරගෙන ඇත. අපි බටහිරට අනුව ජීවත්වීමට උත්සාහ කරමු. එහෙත් අපේ සංස්කෘතිය අපට එයට ඉඩ නො දෙයි. අපට අපේ හර පද්ධතියෙන් ඈත්වීමට නො හැකි ය. එමෙන් ම බටහිර හර පද්ධතිය වැළඳ ගැනීමට ද නො හැකි ය. අපි එක්විට අසුන් දෙදෙනකු පිට යෑමට උත්සාහ කරමු. අප තවමත් නොවැටී සිටින්නේ අපේ දක්‍ෂකමකට නොව සියවස් ගණනකට පෙර ජීවත් වූ අපේ මුතුන්මිත්තන්ගේ හපන්කමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ අපට දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව පරාජය කළ අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ නො හැකි ඇයි? මුළු රටේ ම සියයට එකක්වත් ඡන්ද ඇතැයි සිතිය නොහැකි ජ වි පෙ ජනරළ කණ්ඩායමට විශ්වවිද්‍යාල පාලනය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ඇයි? විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය ව්‍යාජ උගතුන් අතට පත්වන්නේ ඇයි? උපකුලපතිවරුන් ජනාධිපතිවරුන් විසින් පත්කෙරෙන්නේත් ඒ පදවි ලබාගැනීම සඳහා උගතුන් යැයි කියාගන්නා අය තමන් විසින් නූගතුන් ලෙස හැඳින්වෙන දේශපාලනඥයන් පිටුපස යන්නේත් ඇයි? උපකුලපති තනතුරට පත්කිරීමට වෙනත් සුදුසු ක්‍රමයක් වේ යැයි සිතන්නෝ වෙත් ද? ඊනියා නිදහස් ලංකාවේ අයිවෝර් ජෙනිංග්ස්ගෙන් පසුව මහාචාර්ය මළලසේකර මහතා උපකුලපති නොවී මහාචාර්ය ආටිගල මහතා උපකුලපති වූයේ ඇයි? පොලීසිය දේශපාලනීකරණයට ලක්වූයේ ඇයි? රාජ්‍ය සේවකයන්් දේශපාලනඥයන්ගේ සේවකයන් බවට පත්වූයේ ඇයි? ප්‍රශ්න එයින් කෙළවර නැත. එහෙත් ප්‍රශ්න ඇත්තේ අපට පමණක් නො වේ. ඇමරිකාවට ද, එංගලන්තයට ද, ජපානයට ද, සිංගප්පුරුවට ද ප්‍රශ්න ඇත. ඒ ඔවුන්ගේ ප්‍රශ්නය. අපට ඔවුන්ගේ ප්‍රශ්න ද ඇත. ඒ අතර අපේ ප්‍රශ්න ද වෙයි.

අද සිසුන් ලවා ඊනියා වසන්තයක් ඇතිකිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇත. එහෙත් එසේ කිරීමට මග පෑදී ඇත්තේ කෙසේ ද? මා අසා ඇති අන්දමට ආටිගල මහතා එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වීමට ඉතා සියුම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත. අද විශ්වවිද්‍යාල භූමියක පඳුරකට පයින් ගැසුවහොත් මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් කිහිප දෙනකු විසිවන නමුත් එදා සාමාන්‍යයෙන් එක් අධ්‍යයනාංශයකට සිටියේ එක් මහාචාර්යවරයකු පමණ ය. ඔහු අදාළ අධ්‍යනාංභයේ ප්‍රධානියා ද විය. ඔවුහු උපකුලපති තෝරන මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. උපකුලපති වීම සඳහා මේ සාමාජිකයන් වැඩි පිරිසක් දිනාගත යුතු විය. එසේත් නැතහොත් තමන්ට ඡන්දය දෙන අය අදාළ මණ්ඩලයේ සාමාජිකයන් බවට පත්කරගත යුතු විය. අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් ඡන්දහිමියන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීම අපහසු කටයුත්තක් ද නො වී ය. බටහිර වෛද්‍ය පීඨයේ අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් බටහිර වෛද්‍යවරයකු වූ ආටිගල මහතාට ශාස්ත්‍ර පීඨයේ මළලසේකර මහතා පරදවා උපකුලපති වීමට හැකි විය. අද ද බටහිර වෛද්‍ය පීඨවල අනවශ්‍ය ආකාරයට අධ්‍යයනංශ ඇත. එසේ තිබීම ඊනියා ශාස්ත්‍රීය තර්ක විතර්ක මගින් යුක්තියුක්ත කිරීමට ද අදාළ පුද්ගලයෝ දනිති. උපකුලපති තනතුර දේශපාලනීකරණයට ලක්වූයේ අද ඊයේ නො වේ. කලින් ක්‍රමය අනුව අද විශ්වවිද්‍යාලයක අධ්‍යයනංශ සංඛ්‍යාව තුන්හාර සියයක් ඉක්මවීමට තිබිණි. දේශපාලනීකරණය යනු හුදෙක් දේශපාලනඥයන්ගේ අණසක පැතිරවීම නො වේ. දේශපාලනය බලය සමග සම්බන්ධ වී ඇත. මළලසේකර මහතා මෙන් ම ආටිගල මහතා ද බෞද්ධයෙක් විය. ඒ මහතා විද්‍යාලංකාර සභාවේ සභාපති වී යැයි සිතමි. එහෙත් බටහිර ජීවන ක්‍රමය හමුවේ සතර අගතියෙන් මිදිය හැකි බෞද්ධයෝ කෙතෙක් වෙත් ද? ඡන්දය විසින් අවුල් කෙරී ඇත්තේ පාර්ලිමේන්තුව පමණක් නො වේ. මහානායක හිමිවරුන්ගේ පත්වීම් ද ඡන්දය මගින් අවුල් කෙරී ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දය යන්න ව්‍යාජයක් බව එරට වැසියෝ තේරුම් ගනිමින් සිටිති. ඔවුන් මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරන්නේ උදාසීනත්වයෙනි. එහෙත් මෙරට ජනාධිපතිවරණයේ දී පමණක් නොව සමානච්ඡන්දයෙන් කටයුතු සිද්ධ කළ යුතු භික්‍ෂු නායක පදවිවලට තෝරා පත්කර ගැනීම්වල දී ද ඡන්්දයට ඉතා විශාල මූල්‍යමය වටිනාකමක් ලැබෙයි. ඒ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැස ගැනීමක් යයි සිතන්නේ ද? මැතිවරණ දුෂණවලින් තොර වූ පාර්ලිමේන්තු මැතිවරණයක් ලංකාවේ පවත්වා ඇත් ද? 1952 මැතිවරණයේ දී ද මුදල් බෙදු බව, ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙනයෑමෙන් හා වෙනත් ක්‍රමවලින් බලපෑම් ඇතිකළ බව මම අත්දැකීමෙන් ම දනිමි. ඡන්ද රැස්වීම් කඩාකප්පල් කිරීම් රාජ්‍ය මණ්ත්‍රණ සභා යුගයේ ද සිදු වී ඇත. සමානච්ඡන්දයෙන් ප්‍රශ්න විසඳූ අපේ සංස්කෘතියට ඡන්දය හඳුන්වා දීමෙන් පසුව එය අවශෝෂණය කරගන්නේ කෙසේ දැයි නොදැනීම අපේ අභාග්‍යයකි.

අද විශ්වවිද්‍යාලවල ඇත්තේ අළුත් ප්‍රශ්න නො වේ. එදත් අදත් ඇත්තේ එකම ප්‍රශ්නයකි. ප්‍රශ්නය දේශපාලනය වෙයි. එනම් බලු පොරයක් වූ බල පොරය ය. බලයට පත්වීම හා හැකිතාක් බලයේ රැඳී සිටීම, තනතුරුවලට පොරකෑම සහ ඒවාහි එල්ලී සිටිම, තම ආධිපත්‍යය තමන්ට වඩා බලයෙන් අඩු යැයි සිතන්නන් මත පැතිරවීම, ජාතික වූ අරමුණක් රහිත ව වැඩකිරීම, පෞද්ගලික අරමුණු පමණක් ඇති වීම ආදිය බොහෝ කලක සිට විශ්වවිද්‍යාලවල පවති. එය බොහෝ සිසුන්ට ද ඇදුරන්ට ද අදාළ වෙයි. එදාට වඩා අද පක්‍ෂ දේශපාලනය ද පෞද්ගලික අභිමතාර්ථ සාධනයෙහි දී යොදා ගැනෙයි. එදා ඩොරික් සූසා, ඔස්මන්ඩ් ජයරත්න වැනි ඇදුරෝ සෘජුව ම සිසුන් සමග දේශපාලනය සාකච්ඡා කළහ. ඔවුන්ට හරි හෝ වැරදි හෝ වේවා ජාතික (ජාතිකත්ව නොවූවත්) අරමුණු විය. ඔවුහු සිසුන්ට දේශපාලන පංති ද පැවැත්වූහ. එහෙත් ඔවුහු රට (පංතිය) වෙනුවෙන් මිස පෞද්ගලික බලයක් සඳහා දේශපාලනය නො කළහ. අවසානයේ දී ඔස්මන්ඩ් ජයරත්න තමා සභාපතිත්වය දැරූ කමිටුවේ වාර්තාවේ නිරදේශ අනුව ඇතිකළ මණ්ඩපයක මණ්ඩපාධිපති ධුරය හෙබවුව ද ඔහු දේශපාලනය කළේ ඒ සඳහා නො වේ. එමෙන් ම ඒ තනතුර ඔහු පසුපස පැමිණි එකක් විය. ඔහු තනතුර පසුපස නො ගියේ ය. අද අවාසනාවකට විශ්වවිද්‍යාලවල කණ්ඩායමක් ලෙස ජාතිකත්ව නොවූව ද යම් ජාතික ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන්නේ ජ වි පෙරමුණේ ජනරළ කණ්ඩායම පමණකි. වෙනත් අයුරකින් කියන්නේ නම් ජාතික දේශපාලනයක් මත ක්‍රියාකරන සිසුන් කිහිප දෙනා ආකර්ෂණය කිරීමට එම කණ්ඩායම සමත් වී ඇත. එහෙත් මේ සිසුනට ඇත්තේ එකම එක ජාතික ප්‍රතිපත්තියක් පමණකි. ඒ කිසියම් හේතුවක් නිසා සමාජයට වෛර කිරීම ය. විශ්වවිද්‍යාල සිසුහු හෝ ඇදුරෝ හෝ අනිවාර්යයෙන් ම රටේ බුද්ධිමත් ම පිරිස නො වෙති. ඔවුහු විභාගවලින් නම් සමත් වී සිටිති. පෙර සියළු ඇදුරෝ ම පාහේ තම විෂයයෙහි උගත්තු වුහ. එහෙත් අද ඇදුරන්නේ සමහරු පමණක් උගත්තු වෙති. බොහෝ දෙනා තම විෂයයේ ප්‍රාමාණික නොව සුළු ප්‍රමාණයක පමණක් දැනුමක් ලද්දෝ වෙති. ඔවුහු කිසිසේත් ම විශේෂිත පුද්ගලයෝ නො වෙති. උසස්වීම සඳහා චක්‍රලේඛයක් ඇසුරෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් වෙයි. ඒ පිළිබඳ ව නම් බොහෝ අය ප්‍රාමාණික උගත්තු වෙති. අවසානාවකාට එදා ද නව ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කළ ඇදුරෝ නො වු හ. සිසුන් අති විශාල බහුතරයකට උසස් පෙළ තරඟකාරීත්වය නිසා ම රටේ දේශපාලනය ගැන අවබෝධයක් ලබාගැනීමට ඉඩක් ලැබී නැත. ඔවුන් බොරු කියා රැවටීම අසීරු කරුණක් නො වේ. දේශපාලන අවබෝධයක් නැති මේ තරුණ තරුණියන් බොරු කියා ආවේගකාරී ක්‍රියාවලට පෙළඹවීම ජනරළ සිසු නායකයන්ට පහසු කටයුත්තක් වන්නේ වෙනත් දේශපාලනයක් ක්‍රියාත්මක නොවන නිසාත් එසේ ක්‍රියාත්මක වීමට උත්සාහ කරන අයකුට ජනරළ නායකයන් ඉඩ නොදෙන නිසාත් ය. බොහෝ විට සිසුන් අතර ගැටුම් ඇතිවන්නේ ජනරළ නායකයන්ගේ අනෙක් අයට ඉඩ නොදෙන ප්‍රතිපත්තිය හේතුකොටගෙන ය.

එහෙත් මෙයට ද වඩා ප්‍රශ්නයක් වෙයි. ඒ බලලෝභී ඇදුරන්ගේ ක්‍රියා වෙයි. මේ බලලෝභින්ට ජනරළ දේශපාලනය අවශ්‍ය වෙයි. අද ශිෂ්‍යයන් සංවිධානය කිරීමේ වඩාත් ම හැකියාව ඇත්තේ ජනරළ ජ වි පෙට ය. පසුගිය වසරේ ඒ තිබුණේ ජ වි පෙට ය. මේ ඇදුරෝ ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ නො වෙතිෂ එහෙත් බලය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෙනත් බලධාරීන් වටා කැරකෙති. ඔවුන් අතර ඇදුරියෝ ද වෙති. උසස් අධ්‍යාපන ඇමතිවරයා ඔවුන්ට සවන් දෙන බව පැහැදිලි ය. එහි වරදක් නැත. වරද ඇත්තේ ඔහු ඒ ප්‍රමාණයට ශ්‍රී ල නි පාක්‍ෂික ඇදුරන්ට සවන් නො දීම ය. අද විශ්වවිද්‍යාලවල ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මේ කැරකෙන ඇදුරන්, ජනප්‍රියවාදී ඇදුරන් හා ජ වි පෙ ඇදුරන් ජනරළ කණ්ඩායමට සහාය දී තනතුරු ලබාගැනීමේ හා පැවතීමේ අපේක්‍ෂාවෙන් නින්දිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ය. මේ ඇදුරන් බොහෝ විට එකට ක්‍රියාකරනු දැකිය හැකි ය. ඔවුහු ජනරළ නායකයන් ආරක්‍ෂා කරති. කැරකෙන ඇදුරෝ බලධාරීන් සමීපයට යෑමට විවිධ උපාය අනුගමනය කරති. මේ ඇදුරෝ ද බොරු කියති. මොවුහු බොරු කියා අනෙක් ඇදුරන් පමණක් නොව අධිකරණය වුව ද නොමග යැවීමට පසුබට නො වෙති. ජනරළ නායකයෝ හා මේ ඇදුරෝ බොරුව හා බොරුව මත පමණක් පදනම් වෙති. බටහිර දැනුමේ නිවට දාසයන් වූ මේ ඇදුරන්ට ජාතිකත්වය නයාට අඳුකොළ මෙනි. අවශ්‍ය නම් තවත් විස්තර ලබාදිය හැකි ය.

Saturday, 14 January 2012

දුර්ගාගෙන් වෙන්වීම හා ඉන්පසු වැඩ ඇරඹීම

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ආණ්ඩුවෙන් මට දිගුවක් නො ලැබුණි. මට දිගුවක් ලැබුණේ ගණිත අධ්‍යනංශයේ මහාචාර්යරයකු ලෙස ය. එය නීතියට පටහැණි නො වේ. විශ්වවිද්‍යාලවල සේවය කරන හා කළ ගොඩ පෙරකදෝරු ඇදුරෝ එය නීතියට පටහැණි බව කීවෝ ය. එහෙත් ඔවුහු ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය අභියාචනා මණ්ඩලයට හෝ අධිකරණයට හෝ නො ගියෝ ය. ඔවුහු සුපුරුදු පරිදි ඔවුන්ගේ ලිපි පළකරන සතිඅන්ත සිංහල බෞද්ධ විරෝධී කසිකබල් පුවත්පතකට පමණක් ලිවුහ. ගොඩ පෙරකදෝරුවන්ගේ බහට මා එකඟ නොවන බවත් මා සමුනොගන්නා බවත් මගේ සේවා දිගුව නී්‍යානුකුල බවත් මම ඉරිදා දිවයින සංග්‍රහය මගින් කියා සිටියෙමි. සේවා දිගුව සමග නී්‍යානුකුලව ම මගේ පිඨාධිපති පදවිය 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා දික්කෙරිණි. ඒ අනුව මගේ පිඨාධිපති පදවියේ වලංගු බව දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් විය. එහෙත් අවශ්‍ය නම් මට තවත් වසරක් හා මාස නවයක පමණ කාලයක් ගණිත අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ හැකි ව තිබිණි.

මා සේවා දිගුව භාරගත්තේ ප්‍රධාන වශයෙන් ම නාථ දෙවියන්ගේ අවශ්‍යතාව පරිදි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට ය. එසේ සකස් කිරීම පීඨාධිපති තනතුර සමග සෘජුව බැඳී ඇත. මගේ කාර්යභාරය 2011 අගෝස්තු මස පමණ වන විට අවසන් වී තිබිණි. නාථ දෙවියන්ට ද තවදුරටත් මගේ කාර්යභාරය අවශ්‍ය නොවූ බව මට පැහැදිලි විය. එබැවිින් පසුගිය නොවැම්බරයේ නව අධ්‍යයන වර්ෂයේ ආරම්භයත් සමග ගණිත අංශයේ මහාචාර්ය ධුරයෙන් ද ඒ සමග පීඨාධිපති තනතුරෙන් ද ඉල්ලා අස්වීමේ ලිපිය අගෝස්තු මාසයේ දී උපකුලපතිතුමාට යැවීමි. ඒ ඉල්ලා අස්වීමේ ලිපිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ද පිළිගන්නා ලදී. එහෙත් ඉන් පසු විද්‍යා පීඨයේ ඇදුරන් සමහරකු මා එක් ශිෂ්‍යයකුට පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව එක් ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටීමට අවසර දී විභාග අක්‍රමිකතාවක් සිදු කළේ යැයි කියමින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න යැයි උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. උපකුලපතිතුමා ද ඒ ඉල්ලීමට විශේෂ සැලකිල්ලක් දක්වමින් පාලක සභාව රැස්වීමට පෙර පාලක සභාවේ සාමාජිකයන්ගේ කැමැත්ත අත්සන් මගින් ලබාගෙන ඔවුන්ගේ චෝදනාව පිළිබඳ විභාග කිරීමට පියවර ගත්තේ ය. (සාමාන්‍යයෙන් ආචාර්යවරයකුට විරුද්ධව චෝදනාවක් ඇති විට පාලක සභාව රැස්වී එය විභාග කළ යුතු නම් ඒ සඳහා පුද්ගලයකු පත්කිරීමට තීරණය කර ඒ තීරණය සඳහන් වාර්තාව ඊළඟ පාලක සභා රැස්වීමෙි දී සම්මත කිරීමෙන් පසුව පමණක් වාභාගය ආරම්භ වෙයි.) මට විරුද්ධව චෝදනාවක් ඇතිවිට එයට මුහුණ නොදී ඉල්ලා අස්වීම නුසුදුසු යැයි සිතූ මම ඉල්ලා අස්වීමේ ලිපිය අස්කර ගත්තෙමි. මා කලින් ද සඳහන් කර ඇති පරිදි මූලික විමර්ශනයේ දී ම මම නිදොස් වීමි. අදාළ ශිෂ්‍යයා ප්‍රමාද වී විභායට පැමිණියකු මිස පරීක්‍ෂණය අවසානයේ දී පැමිණියකු නො වේ. එපමණක් නො වේ. එකී විමර්ශනය පැවැත් වූ හිටපු මහාධිකරණ විනිශ්වයකාර තුමා තම වාර්තාවෙන් කියා ඇත්තේ මගේ සේවා කාලය දීර්ඝ කිරීම හේතුවෙන් තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියවුන් ඒ බලාපොරොත්තු කඩවීම නිසා මේ තත්වය උද්ගත වී ඇති බව ය. පසුගිය දා විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරට පත්වූයේ එවැන්නෙකි. පසුගිය මාස කිහිපය මුළුල්ලේ ම විද්‍යා පීඨයේ ප්‍රශ්න ඇතිකළේ ප්‍රධාන වශයෙන් ම ඔහු ය. ඒ පීඨාධිපති වීම අරමුණින් ය. හැකිනම් මේ කතාව වැරදි නම් මට විරුද්ධව අධිකරණය ඉදිරියට යන ලෙස මම අභියෝග කරමි. එවිට එකී වාර්තාව අධිකරණය ඔස්සේ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්කර ගැනීමට මට හැකිවනු ඇත. කෙසේ වෙතත් චෝදනාවලින් නිදහස් වූ මට විශ්වවිද්‍යාලයෙන් අස්වීමට බාධාවක් නොාතිබිණි. මා සරසවියෙන් නොව දුර්ගාගෙන් ඉවත්වූයේ් නිදොස් පුද්ගලයකු ලෙස ය. එපමණක් නොව මගේ කාර්යභාරය යම් ප්‍රමාණයකට වුව ද සාර්ථක ව නිමකළ පුද්ගලයකු ලෙස ය. ඒ මිස ආචාර්ය සංගමය වටා බැඳුණු නිවට ඇදුරන් කිහිප දෙනකුගේ බලපෑමට යට වී නො වේ. දුර්ගා එළවා සරසවිය කැඳවීමට නොහැකි වුවත් ඒ සඳහා මැකිය නොහැකි පියවර කිහිපයක් ගැනීමට හැකිවීම මගේ භාග්‍යයක් ලෙස සලකමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇදුරන්ගෙන් බහුතරයක් මට විරුද්ධ වෙති. එපමණක් නො වේ. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ම ගුරුවරු බහුතරයක් මට විරුද්ධ බව මම දනිමි. විටින් විට ලිපි ලියමින් මා බලාපොරොත්තුවන්නේ එහි ජාතික වූ පසුබිම දැක්වීමට ය. මා නැවතත් සඳහන් කරනුයේ මේ විරුද්ධත්වය පිටුපස ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ය. එය කිසිසේත් ම පෞද්ගලික වූවක් නො වේ. මෙවැනි කරුණුවලට කුමන්ත්‍රණ යැයි කියන්නෝ කරුණු හඳුනාගැනීමට නොහැකි අය පමණක් වෙති. මට ඉහත කී අයුරින් විරුද්ධත්වයක් ඇති නොවී නම් පමණක් මම පුදුමයට පත්වෙමි. මේ විරුද්ධත්වයට ප්‍රධාන හේතු කිහිපයක් ඇත. පළමුවෙන් ම බටහිර දැනුමේ ආධිපත්‍යයට ඇති මගේ තදබල විරුද්ධතාවය ය. එය දාර්ශනික පදනමක් මත කෙරෙන විරුද්ධතාවකි. 1986 දී මගේ ලෝකය පළකිරීම මගේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත් ම සන්ධිස්ථානයකි. එහෙත් එය ආරම්භය හෝ අවසානය හෝ නො වේ. මට දැනගැනීමට ලැබී ඇති ආකාරයට තම ශිෂ්‍ය අවධියේ සිට ම මා විවේචනය කිරීම ඔස්සේ පොරක් වීමට දඟලන පුහු ඇදුරකු මගේ දාර්ශනික කටයුතු මගේ ලෝකයෙන් අවසන් වී ඇති බව පවසා ඇත. එක්කෝ ඔහු දර්ශනය යනු කුමක් දැයි නො හඳුනයි. නැතහොත් ඔහු මගේ ලෝකයේ පසු මුද්‍රණවත් නොකියවූ අයකු විය යුතු ය. එසේත් නැතහොත් ඒ දෙකම විය යුතු ය. මා ඇතැම් කරුණු සම්බන්ධයෙන් මගේ ලෝකයේ දැක්වෙන දෑ සමග එකඟ නොවන බව පසු මුද්‍රණවල දක්වා ඇත. මගේ ලෝකයෙන් මගේ දාර්ශනික කටයුතු අවසන් වී නම් එවැනි වෙනස්කම් ඇතිවිය නො හැකි ය. හැරත් මගේ දාර්ශනික ලිපි දැන් අවුරුදු කිහිපයක් මුළුල්ලේ පළවන්නේ විදුසර පුවත්පතෙහි ය.

බටහිර දැනුම යනු තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් එය ඊනියා යථාර්ථයක් නොවන බවත් එය වාස්තවික වූ දැනුමක් නොවන බවත් මම නිර්භයව ම ප්‍රකාශ කරමි. දැනුම යනු සංස්කෘතියකට උඩින් වූ පද්ධතියක් නො වේ. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසකි. එය ඊනියා වාස්තවික බාහිර ලෝකයක් පිළිබඳ කෙරෙන ගවේෂණයකින් ඇතිවන්නක් නොව මනස් සහිත මිනිසුන්ගේ ම නිර්මාණ වෙයි. මිනිස්සු ද අනෙක් සත්තු ද දැනුම නිර්මාණය කරති. මිනිසුන් එසේ කරන්නේ තම පංචෙන්ද්‍රියන්ට මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව ය. එහි දී ඔවුහු චින්තනයක් මත පදනම් වෙති. චින්තනයක් යනු සුසමාදර්ශයකට වඩා පළල් වූවකි. (බොහෝ සරසවි ඇදුරෝ චින්තනය තබා සුසමාද ර්ශය යන්නවත් නො දනිති.) මිනිසුන් දන්නා ලෝකය වූ කලී ඔවුන්ගේ සංකල්ප හා ප්‍රවාදවල එකතුවකි. ඒ සංකල්පීය ලෝකය ශූන්‍ය වූවකි. මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම් යනු හුදු සම්මුති දැනුම් පමණකි. අප සියළු දෙනාම දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව හේතුකොටගෙන ය. මා සිතන ආකාරයට අවිද්‍යාව යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම නො දැනීම ය. සත්වයන්ගේ මනස්වල නිර්මාණවලින් ඔබ්බෙහි වූ ඊනියා බාහිර ලෝකයක් ගැන කතාකිරීම දෙවියන් කැඳවීමකි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ප්‍රාණීන් නැති ලෝකයක් නැත. එහි සඳහන්වන ලෝක විකාශය ඩාවින්ගේ ඊනියා පරිණාමවාදයට සම්පුර්ණයෙන් ම පටහැණි ය. ඩාවින්ගේ ප්‍රවාදය ද ඊනියා මහා පිපුරුම ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ බිහිවූවකි. එහි නිර්මාපකයකු නැති වුවත් නිර්මාණයක් වෙයි. විකාශය අකාබනිකයෙන් කාබනිකයටත්, කාබනිකයෙන් ජීවයටත් විහිදෙයි. බටහිර විද්‍යාවේ ප්‍රාණය, මනස, සිතීම ආදී සියල්ල අකාබනිකයෙහි විකාශයෙහි ප්‍රතිඵල ලෙස අවසාන විග්‍රහයෙහි දී කියැවෙයි. එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඇත්තේ වෙනත් විකාශයකි. එහි කල්පාරම්භයෙහි ම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයෝ රස පොළොවට එති. ඔවුන්ට රළු සිරුරු ලැබෙන්නේ රස පොළොව ආහාරයට ගැනීමෙනි. බෞද්ධ සාහිත්‍යයෙහි ඉගැන්වෙන ලෝක විකාශය හා බටහිර විද්‍යාවේ මහා පිපුරුම හා ඩාවින්ගේ පරිණාමය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි. එහෙත් මෙරට බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අයට කිසිම ගැටළුවකින් තොරව ඒ දෙකම පිළිගත හැකි ය. එසේ කිරීමට හැකි වී ඇත්තේ මේ බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අය එක්කෝ නොසිතන නිසා ය. නැත්නම් බටහිර දැනුමේ නිවට දාසයන් වූ නිසා ය. බොහෝ විට ඒ දෙකම නිසා ය. මම බෞද්ධයෙක්මි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ කිසිම වූ ආකාරයක දාසයෙක් නො වෙමි. මම පෘථග්ජනයකු බැවින් බෞද්ධයකු වීමේ අභිමානයෙන් ඩාවින්ගේ පරිණාමවාදයත් අයින්ස්ටයින්ගේ විශ්වවේදයේ ප්‍රතිඵලයක් වූ මහා පිපිරුමත් ප්‍රතික්‍ෂෙප කරමි. අපෙන් තොරව, මිනිසුන්ගේ මනස්වලින් තොරව ලෝකයක්, ඊනියා වාස්තවික වූ ලෝකයක් ඇති බව, මනසින් තොරව පෙන්වන ලෙස මා ඊනියා භෞතිකවාදීන්ට (ද්‍රව්‍යවාදීන්ට) අභියෝග කර බොහෝ කල් ය. ඔවුන්ට එසේ පෙන්වීමට නොහැකි බව මම දනිමි. මෙරට සිටින නිවට භෞතිකවාදීන්ට නම් ඒ ගැන සිතීමටවත් නො හැකි ය. ඊනියා වාස්තවික ලෝකය දැක ඇත්තේ කවු ද? එය කිසිම මිනිසකුගේ නිරීක්‍ෂණයක් නො වේ. එය හුදෙක් තර්කයෙන් එළඹෙන වියුක්ත නිගමනයක් පමණකි. වියුක්තය දකින්නකු වේ නම් ඒ දෙවියන් වහන්සේ විය යුතු ය. අප මනස ආධාරයෙන් නීිරී’ක්‍ෂණය කරන ලෝකය ඔස්සේ ඊනියා වාස්තවික ලෝකයක් දකින්නේ කෙසේ ද? අනෙක් අතට තර්කය යනු කුමක් ද? තර්කය යනු යම් න්‍යායක් (ලොජික්) මත පදනම් ව ඒ න්‍යාය සමග සංගත ව යම් ප්‍රස්තූතයකින් පටන්ගෙන තවත් ප්‍රස්තුතයක් කරා එළඹීමේ දී යොදා ගන්නා ක්‍රමවේදයක් පමණකි. අද ලෝකයේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ යොදා ගැනෙන්නේ ඉතාම දුප්පත් න්‍යායක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය ය. එය එකම න්‍යායවත් නිවැරදි න්‍යායවත් නොවන බව බොහෝ ඇදුරෝ නො දනිති.


Saturday, 7 January 2012

කැලණිය ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය

පසුගිය බදාදා කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ඇදුරෝ එක් දිනක් දේශන පැවැත්වීමෙන් වැළකී සිටියහ. එය එහි උපකුලපතිතුමාට හා ආණ්ඩුවට විරුද්ධව කරන ලද්දක් විය. එහෙත් එහි නිමිත්ත මා විය. ඔවුන්ගේ වර්ජනයේ තේමා වූයේ ආණ්ඩුව නීතියට පටහැණිව මට වසර තුනක සේවා දිගුවක් දීම වැරදි බව ප්‍රකාශ කිරීමත් මා පසුගියදා ඇතැම් ආචාර්යවරුන්ට බැණ වැදීම, ඊනියා විභාග අක්‍රමිකතා කිරීම, ගුරුවරුන්ට එරෙහිව ශිෂ්‍යයන් මෙහෙයවීම, ආදිය පිළිබඳ ව උපකුලපතිතුමාට පැමිණිලි කරන ලද මුත් එතුමා ඒ පිළිබඳ කිසිදු පරීක්‍ෂණයක මේවනතුරු නොපැවැත්වී යැයි උපකුලපතිතුමා ට විරුද්ධව චෝදනා කිරීමත් ය. මේ වර්ජනය පිළිබඳ කිවයුතු කරුණු බොහෝ ය. පළමුවෙන් කිවයුත්තේ වැඩවර්ජනය කීරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය ගත් තීන්දුව ඒ සංගමයේ ව්‍යවස්ථාවට පටහැණි බවය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඒ සංගමය ලියා පදිංචි කර නැති බව රැස්වීමට සහභාගි වූ අය නොදැන සිටින්නට ඇත. (සාමාන්‍යයෙන් වෘත්තීය සමිති කටයුතු ගැන සරසවි ඇදුරන්ට දැනුමක් නැත.) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම ඕනෑම රැස්වීමක දී කළහැකි කටයුත්තක් නො වේ. ඒ සඳහා ඒ බව දැනුම් දෙමින් රැස්වීමක් කැඳවිය යුතු අතර විශේෂිත ගණ පුරණයක් තිබිය යුතු ය. එහෙත් අදාළ රැස්වීමට සහභාගි වී ඇත්තේ යම්තමින් සාමාජිකත්වයෙන් තුනෙන් එකක් යැයි වාර්තා වෙයි. අපි එය පසෙකින් තබමු. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ දී ආචාර්ය සමිති සම්මේලනය පවා නෛතික හෝ සදාචාරාත්මක හෝ කරුණු ගැන සෑලකිල්ලක් නොදක්වන බව පසුගිය වැටුප් අරගලයේ දී පැහැදිලි විය.

කැලණිය සරසවි ඇදුරන්ගේ වර්ජනය මා සාකච්ඡා කරන්නේ හුදෙක් පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස සලකමින් නො වේ. එය ජාතික ප්‍රශ්නයකි. අද නැවත වරක් ජ වි පෙරමුණෙන් කැඩී ගිය ජනරළ කණ්ඩායම ජනරුල්ලක් කෙසේ වෙතත් සිසු රැල්ලක් හා ඒ ඔස්සේ කසිකබල් මාක්ස්වාදය, ඊනියා පශ්චාත් මාක්ස්වාදය හා පශ්චාත්නූතනවාදය ඇසුරු කරමින් සිසු ඝාතනයක් ඇතිකිරීමට අර අඳින බවත් එයට ජ වි පෙරමුණට හිතවත් ඇදුරන්ගේ ද එ ජා පක්‍ෂයට හිතවත් ඇතැම් ඇදුරන්ගේ ද සහාය ලැබෙන බවත් පැහැදිලි ය. අවුරුදු පනහකට ආසන්න මගේ සරසවි අත්දැකීමෙන් මා දන්නා ප්‍රධාන ම කරුණ අප රටේ විශ්වවිද්‍යාලවල සරසවිය නැති බව ය. එහි ඇත්තේ දුර්ගා දේවිය ය. විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ ආධිපත්‍යය හා බිය පදනම් කරගනිමිනි. පළිගැනීම, බියවැද්දීම, බල අරගල සරසවියගේ කාර්යභාරයන් නො වේ. විශ්වවි්‍යාලවලට ඇතුළත්වන සිසුහු මුළ සිට ම බියෙන් පෙළෙති.

බොහෝ දෙනා බොහෝ විට කතාකරන එහෙත් විසඳුමක් නැති ප්‍රශ්නයක් සේ පෙනෙන නවක වධය ද ආධිපත්‍යය මුල් කරගෙන පැවැත්වෙයි. නවක වධය අද ඊයේ ඇති වුවක් නොව අවුරුදු පනහකටත් පෙර පැවති අමානුෂික වදයකි. එදා අමානුෂික නවක වධයක් නොතිබූ බවට පැරුන්නන් කියන කතා සුරංගනා කතා පමණකි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදුවිය. සිංහල බෞද්ධ සංස්කෘතියේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ජ්‍යෙෂ්ඨයන්ට ගරුකිරීමක් වෙයි. එහෙත් එය බිය පදනම් කරගත් එකක් නො වේ. නවක වධය යනු සහමුළින් ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් නවකයන් තම ආධිපත්‍යය යටතට ගැනීමට යොදාගන්නා ක්‍රියා මාර්ගයක් පමණකි. අද ජ වි පෙ එය දේශපාලන ආයුධයක් ලෙස ද යොදා ගනියි. එහෙත් එහි මුළ ඇත්තේ ආධිපත්‍ය ය. ජ වි පෙ විශ්වවිද්‍යාලයේ තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා නවක වධය යොදාගනියි. නවක වධය නැතිකිරීමට නොහැකි වී ඇත්තේ බොහෝ ගුරුවරුන් එක් පැත්කින් ශිෂ්‍යයන්ට, විශේෂයෙන් ම ජ වි පෙට හිතවත් ශිෂ්‍යයන්ට, බියවීම නිසා ය. අනෙක් පැත්තෙන් ජ වි පෙරමුණට හිතවත් ගුරුවරුන් වධකයන් ආරක්‍ෂා කිරීම නිසා ය. විශ්වවිද්‍යාලවල සිසුන්ට බය නැති ගුරුවරුන් ඇත්තේ අතළොස්සක් බව කණාගාටුවෙන් වුව ද සඳහන් කළ යුතු ය. අද සිසුන් ගුරුවරුන්ට පහරදීමට පෙළඹී ඇත්තේ ජ වි පෙ දේශපාලනයෙහි නිරතවන මැර සිසුන් ගුරුවරුන්ට බියක් හෝ ගෞරවයක් හෝ නැති බැවිනි. මේ මැරයන් සමග එකට පුවත්පත් සාකච්ඡා පවත්වා ඇති ආචාරය සංගම් වේ.

නවක සිසුහු ජ්‍යෙෂ්ඨයන්ට ද ගුරුවරුන්ට ද බිය වෙති. ගුරුවරුන් තමන් විභාගවලින් අසමත් කරතියි යන බිය හා සැකය ජ වි පෙ නොවන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ද වෙයි. විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨයන්ට ඇති බිය ආචාර්ය මණ්ඩලයෙහි ද දැකිය හැකි ය. සිසුහු තමන් තාවකාලික ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම සඳහා ගුරුවරුන්ට ඔළුව නමාගෙන සිටිති. ඉන්පසු ස්ථිරවීම සඳහා තව තවත් ඔළුව නමති. ශිෂ්‍යත්ව , නිවාඩු , උසස්වීම් ආදියෙහි දී තමන්ට අවාසියක් සිදුකරාවිය යන බියෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ද තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන් ට බිය වෙති. එහෙත් ඒ අතර තමන්ට වඩා පහත්යැයි සැලකෙන ජ වි පෙ නොවන ශිෂ්‍යයන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට තම ආධිපත්‍යය පතුරවති. මේ ගුරුවරු හා අනධ්‍යයන මණ්ඩලය අතර ඇතැම්විට ඇත්තේ උසස් පෙළ විභාගයේ ලබාගත් ලකුණු වල සුළු පරතරයකි. ළකුණක දෙකක එහා මෙහා වීමෙන් කෙනකු මහාචාර්යවරයකු ද බවට ද තවත් අයකු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ භවතකු බවට ද පත්විය හැකි ය. එහෙත් බොහෝ ගුරුවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සලකන්නේ තම සේවකයන්ට මෙනි. අපි අද සිසුන් ගුරුවරුන්ට කරන පහරදීම් ගැන කතාකරමු. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ එක්තරා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු නිබන්ධකයකුගේ අතින් ඇදගෙන යෑමක් පිළිබඳ නඩුවක් අධිකරණයට යොමු වි ඇති බව බොහෝ දෙනා නො දනිති. ඇතැම් මහාචාර්යවරුන් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපාධි සම්බන්ධයෙන් තම ආධිපත්‍යය මත පිහිටා කටයුතු කරන අවස්ථා ඇත. විශේෂයෙන් ම පශ්චාත් උපාධි සම්බන්ධයෙන් ශිෂ්‍යයා ගුරුවරයාගේ මතයට පටහැණි වීමට හෝ ගුරුවරයාගේ ඊර්ෂ්‍යාව තමන් වෙත යොමුකර නොගැනීමට ප්‍රවේසම් විය යුතු ය. අවශ්‍ය නම් මේ නොයෙකුත් වර්ගවල ආධිපත්‍යය සඳහා මට නිදර්ශන සැපයිය හැකි ය.

මම අහම්බෙන් සරසවි ඇදුරකු බවට පත්වූවෙක් නො වෙමි. වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු හෝ වීමට අසමත්වීම නිසා “ විද්‍යාඥයකු” බවට පත්වූවෙක් ද නො වෙමි. මට ව්‍යවහාරික ගණිතය උගන්වන සරසවි ඇදුරකු වීමට කැමැත්තක් ඇති වූයේ සාමාන්‍ය පෙළ පංතියේ දී ය. මා සරසවියට ඇතුල් වූයේ එකල ප්‍රදානය කෙරුණු ප්‍රදර්ශනයක් ද දිනාගනිමිනි. සරසවි ඇදුරකු වීම මගේ කැමැත්ත මිස අරමුණ නො වීය. මට අවුරුදු දොළහක් පමණ රැකියාවක් නැතිව කල්ගත කිරීමට එක් අතකින් හැකි වූයේ ද සරසවි ඇදුරකු වීම මගේ අරමුණක් නොවීම නිසා ය. මගේ ගෞරවයට පාත්‍රවූ ඇදුරෝ කිහිප දෙනෙක් ම වූහ. එහෙත් ඇතැම් ගුරුවරුන් නිවටයන් බව ශිෂ්‍ය අවධියේ දී ම මම දැන සිටියෙමි. සමාජයේ පවතින ආධිපත්‍යය මෙන් ම සරසවියේ ඇදුුරන්ගේ ආධිපත්‍යය ද මම නො ඉවසිමි. පේරාදෙණියට මා දෙවැනි වර බඳවා නොගැණුනේ ද කෙළඹින් මා අස්කෙරුණේ ද ඇතැම් නිවට එහෙත් බලයක් තිබූ ඇදුරන්ගේ ආධිපත්‍යයට බිය නොවී ඔවුන් සිසුන් වෙත එල්ල කළ ආධිත්‍යයට එරෙහිව කටයුතු ඛළ බැවිනි. අද කැලණියේ සිදුවන්නේ ද එයයි. කොළඹ දී මෙන් ම කැලණියේ දී පේරාදෙණියේ නොතිබූ සාධකයක් ද ක්‍රියාත්මක වෙයි. ඒ මා සාධාරණ වශයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයට විශේෂයෙන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ද විරුද්ධ වීම ය. වසර අවසානයේ දී මම මගේ දික්කරන ලද සේවය අත්හරිමි. එහෙත් ඇතැමුන්ට අවශ්‍ය හැකිනම් එයට කලින් මා අස්කිරීම ය. මා ඇතැම් ගුරුවරුන්ට බැණ වැදී ඇතැයි ආචාර්ය සංගමය කියයි. මේ පිළිබඳ ව ආචාර්ය සංගමය කිසි දිනෙක මගෙන් කරුණු විමසා නැත. ඒ මා සංගමයේ සාමාජිකත්වයක් ද දරද්දී ය. මම විද්‍යා පීඨයේ පීඨාධිපති බවට පත්වීමෙන් පසු අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද සිසුන්ට ද දණ්ඩ නීතිය නො පැමිණවීමි. අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇතැම් ගුරුවරුන් හුදෙක් තම ලකුණු දෙකේ (තුට්ටු දෙකේ) මහේශාක්‍යභාවය මත පදනම් වී නිකරුණේ චෝදනා කරන විට මම ඒ ගුරුවරුන්ට දොස් කීවෙමි. එක් ශිෂ්‍යයකු එක් ප්‍රශ්න පත්‍රයකට ප්‍රමාද වී පැමිණි විට ඔහුගෙන් ප්‍රශ්න කර ඔහු ප්‍රශ්න පත්‍රය දැක නැති බවට මට ඒත්තු ගිය විට මම ඔහුට පීඨාධිපති ලෙස ඒ පර්ක්‍ෂණයට පෙනී සිටීමට අවසර දුනනෙමි. බොහෝ ගුරුවරු නීතිය සම්බන්ධයෙන් ගොඩ පෙරකදෝරුවෝ පමණක් වෙති. ඔවුන් සිතන්නේ මා විභාග අක්‍රමිකතාවක් කළ බව ය. මේ ඇදුරෝ මට විරුද්ධව උපකුලපතිතුමාට පැමිණිළි කළහ. උපකුලපතිතුමා ඒ චෝදනාව සහ එයට ආදළ තවත් චෝදනාවක් විභාග කිරීමට හිටපු මාහාධිකරණ විනිසරුවකු පත්කිරීමට කටයුතු කළේ සාමාන්‍ය සම්ප්‍රදායට පිටින් ගොස් පාලක සභාව රැස්නොකර පාලක සභා සාමාජිකයන්ගේ කැමැත්ත ලිපිවලින් ද ලබා ගැනීමෙනි. එතුමාට එතරම් හදිසියක් ඒ සම්බන්ධයෙන් වූයේ අර ඇදුරන්ගේ බලාධිපත්‍යය නිසා ය. විභාග පැවැත්වීම පිළිබඳ ඇදුරන් නොදැන සිටි කරුණු මම විභාගයට ඉදිරිපත් කළෙමි. මා චෝදනාවෙන් නිදොස් වූවා පමණක් නොව විනිසූරුතුමා තම වාර්තාවෙන් කියා සිටියේ (මගේ සේවා දිගුව හේතුවෙන්) තනතුරු බලාගෙන සිට ඒ කඩවූවන් එහි දී ක්‍රියාකාරී වී ඇති බව ය. වසර අවසානයේ දී හිස්වන පීඨාධිපති ධුරය සඳහා අද සිදුවන පෙර සූදානමෙන් ඒ වාර්තාව සනාථ වෙයි. මේ ඇදුරෝ වාර්තාව නොපිළිගන්නා බව කියති. එමගින් ඔවුහු ශිෂ්‍යයන්ට ද තමන්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් වන වාර්තා නොපිළිගැනීමට ආදර්ශ සපයති. ගුරුවරයා හිටගෙන මොකක්දෝ කරන විට ගෝලයා දුව දුව ඒ කරන්නේ යැයි කතාවක් වෙයි. තමන් මට එරෙහිව කළ චෝදනාවක් විභාග කිරීමට පත්කරන ලද ඒකපුද්ගල කමිටුව තමන්ට රුචි නොවන තීරණයක් දුන්විට ඇදුරන් කළ යුත්තේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යෑම ද? (මතු සම්බන්ධයි)


.