Main Logo

Showing posts with label එක්සේසත්. Show all posts
Showing posts with label එක්සේසත්. Show all posts

Sunday, 29 December 2013

එඩේරුන් නැති සිංහල බැටළුවෝ


දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ගැන ලියන ලිපි පෙළ කල්දැමීමට සිදු වී තිබෙන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් කරන ලද බවට පළවූ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ය. දකුණු අප්‍රිකාවේ ඩෙස්මන්ඩ් ටුටූ බිෂොප්වරයා ලංකාවට විරුද්ධව ප්‍රකාශයක් කළේ ඊනියා සංහිඳියාවකට නම් නො වේ. මැන්ඩෙලාගේ සංහිඳියාව අපි පසුව සාකච්ඡා කරමු.    

තමන් දේශපාලනයෙහි නොයෙදෙන්නේ යැයි කියන මැල්කම් රංජිත් කාදිනල්තුමා ද දෙමළ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර තිබෙනු දුටිමි. එතුමන් කියනු ඇත්තේ එය හුදෙක් රටේ සුබ සිද්ධියට කරන්නක් මිස දේශපාලන මැදිහත්වීමක් නොවන බව ය. සියළු දේශපාලනඥයන් කියන්නේ තමන් ජනතාවට රටට සේවය කරන බව ය. මෙරට සියළු ආගමික නායකයෝ දේශපාලනයෙහි යෙදෙති. එය සෘජු මැතිවරණ දේශපාලනයක් නොවිය හැකි ය. එහෙත් මැතිවරණවලදී ඡන්දය දිය යුතු ආකාරය ගැන ද ඇතැම් පූජකවරු කියා දෙති. කෙසේ වෙතත් කාදිනල්තුමාට අනුව මෙරට දෙමළ වාසභූමි ඇත. ඒ නිජභූමි නොවේ යැයි එතුමා කියනු ඇත. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමෙහි ද නිජභූමි ගැන නොකියැවිණි. එහි සඳහන් වූයේ ඊනියා ඓතිහාසික නිජභූමි ය. උතුරු හා නැගෙනහිර පළාත් එකතුකළේ ඒ සංකල්පය මුල්කර ගනිමිනි. අහිංසක ලෙස පෙනෙන සංකල්ප ජනතාවගේ ස්වාධිපත්‍යයට හා රටේ භෞමික අඛන්ඩතාවට එරෙහිව යොදාගත හැකි ය. මේ රටේ කිසිවකුටවත් වෙන්කෙරුණු වාසභූමි නැත. වාසයභූමිය යනු තමන් වාසය කරන ප්‍රදේශය යනු බොරු කතා ය. වාසභූමියට ඉන්දු ලංකා ගිවිසුමේ ඇත්තේ වෙනත් අරුතකි. දකුණ දෙමළ ජනයාට සැලකූ ආකාරය මෙන් ම ප්‍රභාකරන් ද වැරදි යැයි කාදිනල්තුමා කියයි. තමන් මධ්‍යස්ථ බව පෙන්වීමට කැමති අය මෙවැනි ප්‍රකාශ කරති.  දකුණ වැරදියට සලකා ඇත්තේ කෙසේ දැයි කාදිනල්තුමා පැහැදිලි කරන්නේ නම් මැනවි.  ඒ අතර එතුමන් කියා ඇත්තේ විවිධ ආණ්ඩු යටතේ සාකච්ඡා පැවතුණත් විසඳුමක් නොලැබුණේ දෙමළ නායකයන් සමග අවංකව සාකච්ඡා කිරීමට දේශපාලනඥයන්ට ධෛර්යයක් නොතිබුණු නිසා බව ය. එතුමන් කියා ඇති දෙයට අටුවා ටීකා අවශ්‍ය නො වේ. දේශපාලනඥයන්ට ඔය කියන ධෛර්යය නො ලැබුණේ සිංහලයන් නිසා ද? දෙමළ නායකයෝ අවංකව සාකච්ඡාවලට පැමිණියාහු ද? 

අද මෙරට විසඳීමට දෙමළ ප්‍රශ්නයක් නැත. ඒ බව ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා ක්‍රියාත්මක වන ආකාරයෙන් ද පැහැදිලි වෙයි. මෙරට සිටින සියළු දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණයට විසඳුම විය යුත්තේ සියළු දෙමළ ජනයා විඳින ඊනියා අසාධාරණයට පිළියමක් මිසක් උතුරු හා නැගෙනහිර පළාත්වලට ඊනියා වාසභූමි සංකල්පය ඔස්සේ බලය බෙදීම නො වේ. ඇතැයි කියන ප්‍රශ්නය එකකි. දී ඇති විසඳුම තවත් එකකි. මෙය යන්නෙ කොහේ ද මල්ලෙ පොල් පිළිතුරකි. අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නොවන බව සිහින ලෝකයක ජීවත්වන වාසුදේව නානායක්කාර මහතාට ද මතක්කර දිය යුතු ය. තමන්ට අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමට නැති ප්‍රශ්න මැවීමට ගිය විට එවැනි තත්ත්ව උද්ගත වෙයි. අද මෙරට පළාත් සභා යනු එක්සේසත් රාජ්‍ය ව්‍යුහය තුළ ක්‍රියාත්මක වන ආයතන පමණකි. වත්මන් භාෂාවෙන් කියන්නේ නම් එක්සේසත් රාජ්‍යයක් යනු ඒකිය රාජ්‍ය ප්‍රභේදයකි. දෙමළ ජාතික සංධානය ඒ බව ද, පොදු රාජ්‍ය මණ්ඩල නායකත්ව රැස්වීමෙන් පසු ඉන්දියාවට කළහැකි බලපෑමක් නැති බව ද, වටහා ගත යුතු ය. කාදිනල්තුමා මැදිහත්වීමට උත්සාහ කරන්නේ ඒ නිසා විය හැකි ය. ජෙනීවා ගෝනිබිල්ලා පෙන්වා දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීමට කටයුතු කළ නොහැක්කේ අද ආණ්ඩුව බැටළුහම්  පොරවාගත් වෘකයන් හඳුනන බැවිනි. 

අද ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ ජෙනීවා සාකච්ඡා සඳහ දහතුනට පක්‍ෂ අය යැවීම ය. පසුගිය අවුරුද්දේ ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කරගත හැකි වූයේත් ඉන් පෙර නොහැකි වූයේත් එකල සහභාගි වූ අයගේ දක්‍ෂතාව නිසා යැයි ඔවුහු කියති. එහෙත් එයට පෙර අප දිනුවේ නම් එයට හේතුව අප ඉන්දියාවට හා බටහිරට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම ය. විශේෂයෙන් ම ඉන්දියාවට අවශ්‍ය ආකාරයට පොරොන්දු දීම ය. එහෙත් ඉන්දියාව පසුගිය වසර වනවිට දැනසිටි කරුණ නම් අප ඉන්දියාවේ පදයට නැටීමට සූදානම් නැති බව ය. ඉන්දියාව බටහිරයන් සමග එකතු වී ජෙනීවාහි දී අප පරාජයට පත්කළේ එබැවිනි. එසේ පැරදීම අපට ප්‍රශ්නයක් නො වේ. එය අපේ ආත්මාභිමානයට හේතුවකි. ජෙනීවාහි දී ජයග්‍රහණය කිරීම සඳහා අප ජනතාවගේ ස්වාධිපත්‍යය හා රටේ භෞමික අඛණ්ඩතාව පාවා දිය යුතු නො වේ. අප කළ යුත්තේ බටහිරට පක්‍ෂ නොමැති රටවල සමග විශේෂ සම්බන්ධතා ඇති කරගෙන ජෙනීවාහි දී එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් පරාජය කිරීම ය. ඇමරිකාව ඉන්දියාවට සලකන ආකාරය පසුගිය දා ඇමරිකාවේ ඉන්දීය තානාපති නිලධාරිනියක සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයෙහි දී පැහැදිලි විය. යම්කිසි දවසක ඇමරිකාව ඉන්දියාවේ දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන යයි කියමින් ජෙනීවාහිදී ඉන්දියාවට විරුද්ධව යෝජනා සම්මත කිරීමට ක්‍රියා කිරීමට ඉඩ ඇත. බටහිරයන්ට අද ඉන්දියාව අවශ්‍ය වන්නේ පකිස්ථානයට හා චීනයට විරුද්ධ ව යොදා ගැනීමට මිස වෙනත් කරුණකට නො වේ. 

කෙසේ වෙතත් කාදිනල්තුමා මැදිහත් වීමට සූදානම්වන්නේ කිනම් ප්‍රශ්නයක් විසඳීමට දැයි  නිශ්චිත ව පැහැදිලි කරන්නේ නම් මැනවි. පසුගිය කාලයේ කතෝලික සභාවේ ඇතැම් බිෂොප්වරුන් කොටින්ට උඩගෙඩි දුන්නේ හුදෙක් ජීවිත බය නිසා ම යැයි අපි විශ්වාස නො කරමු. සවුන්ද්‍රනායගම්, ජෝසෆ් එමෑනුවෙල් ආදී බිෂොප්වරුන් කොටින්ට පක්‍ෂව ක්‍රියා කළ ආකාරය අපි දුටුවෙමු. අද ද එමෑනුවෙල් බිෂොප්වරයා පිටරට සිට කොටින්ට පක්‍ෂව ප්‍රචාරක කටයුතුවල නිරත වෙයි. ඒ කිසි ලෙසකින්වත් ජීවිත භය නිසා කෙරේන්නක් නො වේ. රායප්පු ජෝසෆ් බිෂොප්තුමා මරියතුමියගේ ප්‍රතිමාව ද කොටින්ට දීමට කටයුතු කළේ ය. ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු බිෂොප්වරයා ප්‍රභාකරන් මානව හිතවාදී පුද්ගලයකු ලෙස හැඳින්වී ය. බටහිරයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් ඇත්තේ කළු බැටළුවන් පමණක් නො වේ. කළු එඬේරු ද සිටිති. මෙහි කළු යන්න බටහිරයන් යොදන්නේ ද කලුබවට කරන අපහාසයක් ලෙස ය. ඒ කෙසේ වෙතත් සිංහල කතෝලිකයෝ ද සිංහල ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. ඔවුහු ද බටහිර සංකල්පයට අනුව බැටළුවෝ වෙති. අද ඔවුන්ට එඬේරුන් නැත් ද? 


නලින් ද සිල්වා

2013-12-29



Sunday, 3 November 2013

මන්මෝහන් සිං එන්නේ මොකට ද? කැමරන් එන්නේ මොකාට ද?


මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට එන බව දැනට දින කිහිපයකට පෙර ඉන්දීය විදේශ ඇමති අතින් කියැවිණි. ඇමතිවරයා තමා ස්ථිරව ම පැමිණෙන බව කියා අගමැතිවරයාගේ පැමිණීම පිළිබඳ නිවැරදි තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේ ය. එහි දී ඔහු කට බොරු කිවුවත් දිව බොරු නොකියන බව පෙන්වමින් කියා සිටියේ ඉන්දියාවට තව දුරටත් බලපෑම් කිරීමට හැකි වීමට නම් අගමැතිවරයා රැස්වීමට සහභාගි විය යුතු බව ය. ඒ කෙටි එහෙත් වැදගත් ප්‍රකාශය ජනමාධ්‍යවේදින්ට නො ඇසිණි. ඔවුන්ට ද තමිල්නාඩුවට ද ඇසුණේ විදේශ ඇමතිවරයා ස්ථිරව ම ලංකාවට පැමිණෙන බවට කරන ලද ප්‍රකාශය පමණකි. තමිල්නාඩුවේ බෝම්බ කිහිපයක් පිපිරුණේ විදේශ ඇමතිවරයාගේ පැමිණීමට විරුද්ධව ය. ඉන්දියාවට පකිස්ථානය හා චීනය ඉදිරියේ කොළඹ මගහැරිය නො හැකි ය. දැන් අගමැතිවරයා ද එන බව ඉන්දීය පූවත්පත්වල වාර්තා වෙයි. තමිල්නාඩුවේ තව තවත් කලබල ඇතිවීමට ඉඩ ඇත. එහෙත් අප කලබල විය යුතු නො වේ. අපි සිං පැයකට පැමිණියත්, නම ලකුණු කිරීමට පමණක් පැමිණියත් සාදරයෙන් පිළිගනිමු. එහෙත් ඔහුට බලපෑම් කිරීමට ඉඩ නො දෙමු. දහතුන ක්‍රියාත්මක කරන්නේ ද, එසේ ක්‍රියාකරන්නේ නම් ඒ කරන්නේ කෙසේ ද, දහතුන අහෝසි කරන්නේ ද ආදිය අපේ තීරණ මිස ඉන්දියාවේ හෝ තමිල්නාඩුවේ හෝ බටහිරයන්ගේ තීරණ නො වේ.  අප සිංටත් අනෙක් රාජ්‍ය නායකයන්ටත් දිය යුතු වැදගත් පණිවුඩයක් වෙයි. ඒ අන් කිසිවක් නොව ඊනියා පශ්චාත් යුද සමයක් තිබිණි යැයි පිළිගත්ත ද එය විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මහඇමති ලෙස දිවුරුම් දීමෙන් පසුව අහෝසි වී ඇති බව ය. බටහිරයන්ට හා ඔවුන්ගේ නියෝජිතයන් වන ඊනියා රාජ්‍ය නොවන බැළයන්ට ද කිව යුත්තේ ඔවුන්ට සෙල්ලම් කිරීමට හැකි සදාකාලික පශ්චාත් යුද සමයක් නැති බව ය. මේ නිවට ඇංකර බැළයන් බටහිර රටවල සිටින ව්‍යාජ සරණාගතයන්ගේ මෙන් ම විසිරුණු දෙමළ ජනයාගේ ද ආධාරය ලබමින් සම්මන්ත්‍රණ උද්ඝෝෂණ පවත්වනු ඇත. ජාතිකත්ව මඟින් ඉවතට යමින් ඒ අනුව ඡන්ද පදනමෙන් ද ඈත් වෙමින් සිටින  එ ජා ප නායකයන් ද මේ උද්ඝෝෂණවලට සහභාගිවනු ඇත. අද ඉතා පැහැදිලිව සියළු ජාතිකත්ව විරෝධීහු රටටත් ආණ්ඩුවටත් රාජ්‍යයටත් විරුද්ධව බටහිරයන්ගේ තුරුළේ නැළවෙති.   

මෙවර කොළඹ පැවැත්වෙන රැස්වීම අපට ඉතා වැදගත් ය. පොදුරාජ්‍ය මණ්ඩලය යනු හිරු නොබැසි ඉංගිරිසි අධිරාජ්‍යය වෙනත් මුහුණුවරකින් පවත්වාගෙන යෑමට කරන ලද අසාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක් පමණකි. අද එංගලන්තයට ඇත්තේ යටත්විජිත තුනක් පමණකි. ඒ වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ය. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් වඩාත් ආර්ථික, සංස්කෘතික හා දේශපාලන වාසි ලබන්නේ සුදු රටවල් ය. අපට ද ශිෂ්‍යත්වයක් අධිශිෂ්‍යත්වයක් විද්‍යා උපකරණයක් ලැබෙයි. එමගින් මෙරට ඊනියා උගතුන් බා ගැනීමේ අවස්ථාව එංගලන්තයට හ පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙක් සුදු රටවල්වලට හිමි වෙයි. අප බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යයට යට වී ඇති බැවින් කේම්බ්‍රිජ් ඩොයිලිගේ මුණුබුරෝ අපට කොකා පෙන්වති. ඒ කෙසේ වෙතත් මෙවර රැස්වීම ලංකාවේ පැවැත්වීම කඩාකප්පල් කිරීමට කැනඩාව පමණක් නොව එංගලන්තය ද උත්සාහ ගත්තේ ය. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේ සභාපතිවීම වැළැක්වීමට ය. එහෙත් ඔවුන්ට එය කළ නො හැකි විය. ඔවුන්ට එය දරුණු පරාජයකි. අපට ලැබෙන ශිෂ්‍යත්වය නිසා නොව, යටත්විජිතවාදීන්ගේ සැලසුම් අසාර්ථක කිරීමට අපට හැකිවීම නිසා සමුළුව ලංකාවේ පැවැත්වීම රටේත් විශේෂයෙන් ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් ජයග්‍රහණයකි. ඔවුන් විසින් යුද අපරාධකරුවකු ලෙස චෝදනා කරනු ලැබූ ජනාධිපතිතුමාගේ සභාපතිත්වය ඉදිරි අවුරුදු දෙකෙහි දී පිළිගැනීමට ඔවුන්ට සිදු වී තිබේ. එහෙත් ඔවුන්ගේ පළිගැනීම්වල කෙළවරක් නැත. ඒ රටවල් පොදුරාජ්‍ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිපාදන ඉදිරි වසරවල නොදීමට තීරණය කර ඇත. ඔවුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවීම ය.

දෙවියන් වහන්සේ මියගියත් තවම භූමදානය කෙරී නැත. කඩා වැටෙන යුදෙවු ක්‍රිස්තියානි තවමත් ලෝක ආධිපත්‍යය දරයි. කැමරන් ලංකාවට එන්නේ අපට ඒ හයිය පෙන්වීමට ය. ඔහු හන්දියේ ගණන්කාරයාගේ චරිතය ඇඟට ගෙන ඇත. ඔහු මියන්මාරයේ බටහිර ගැති අවුං සාන් සුකීට කියා ඇත්තේ අපේ ජනාධිපතිතුමාට තදින් කතාකරන බව ය. කැමරන් සමග චැනල් ෆෝ හා වෙනත් බටහිර මාධ්‍යකරුවන් ද අපට ඊනියා මානව අයිතිවාසිකම් ඉගැන්වීමට කටයුතු කරනු ඇත. ඔවුන්ට කියන්නට ඇත්තේ එකකි. සමුළුව ලංකාවේ පැවැත්වීම හරි ද වැරදි ද යන්න  තීරණය කරන්නේ ඔවුන් නො වේ. එය තීරණය කෙරී ඇත. ඔවුන්ගේ රාජකාරිය කිරීම පසෙකින් තබා ඔවුන් ආණ්ඩු පෙරළීමට, රාජ්‍ය ක්‍රමය වෙනස්කිරීමට ක්‍රියා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගැනීම රජයේ අදාළ අංශවලට භාරවෙයි. රාජ්‍ය නොවන බැළයන්ට ද ඒ බව මතක් කළ යුතු ය. මානව අයිතිවාසිකම් රැකීමේ මුවාවෙන් මෙරට හෝ පිටරට හෝ කිසිවකුට අපේ ස්වෛරිභාවයට ඇඟිලි ගැසීමට අයිතියක් නැත. දෙවියන් වහන්සේ භූමදානය කිරීමට කාලය පැමිණ ඇත. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බිඳ දැමීමට පියවර ගැනීමට සමුළුව යොදාගත යුතු ය. කැමරන්ට අවශ්‍ය නම් යාපනයට ගියාට අපට ප්‍රශ්නයක් නැත. එහෙත් කැමරන්ටවත් වෙනත් අයකුටවත්, විදේශීය රාජ්‍යයකටවත්, කිසිම ආයතනයකටවත්,  මෙරට  රාජ්‍යයේ අනුමැතිය නැතිව කිසිම පළාත් සභාවකට, පළාත් පාලන ආයතනයකට, වෙනත් ආයතනයකට ආධාර කිරීමට ඉඩදිය යුතු නො වේ. මේ ආධාර ආණ්ඩු වෙනස් කිරීමට පමණක් නොව රාජ්‍ය ක්‍රමය වෙනස්කිරීමට ද යොදා ගැනීමට ඉඩ ඇත. රටේ ඒකීයබව වෙනස්කිරීම රාජ්‍ය ක්‍රමය වෙනස් කිරීමකි. මෙරට අනාදිමත් කාලයක සිට එක්සේසත් රාජ්‍යයකි. එක්සේසත් යනු ඒකීය රාජ්‍ය ක්‍රමයක් වුවත් එක්සේසත් සංකල්පය අපට ලැබුණේ බටහිරයන්ගෙන් නොවන බව පඬියන්ගේ ද දැනගැනීම සඳහා සඳහන් කළ යුතු ය. එක්සේසත් රාජ්‍යයක් වෙනුවට රනිල්ගේ හෝ වෙනත් අයකුගේ හෝ එක්සත් රාජ්‍යයකට අපි එකඟ නො වෙමු. එක්සේසත් හා එක්සත් යනු දෙකක් මිස එකක් නො වේ. රාජ්‍ය නොවන බැළයන්ට ජනමාධ්‍ය මගින් ලැබෙන ප්‍රචාරයේ ප්‍රමාණයට ජනපදනමක් නැත. ඔවුන්ට ඇත්තේ කැමරන්ලාගේ පවුම්, යුරෝ හා ඩොලර් පමණකි. කැමරන් සිතන්නේ ඔහු තුන්වැනි ජෝර්ජ්ගේ අගමැති කියා ය. දෙවැනි එලිසබෙත්ට තුන්වැනි ජොර්ජ්ට හෝ වික්ටෝරියාට හෝ තිබූ බලය නොමැති බව ඔහුට කියා දෙමු. මියගිය දෙවියන් වහන්සේගේ භූමදාන කටයුතු සැලසුම් කිරීම ලංකාවේ දී ආරම්භ කරමු.


නලින් ද සිල්වා

2013-11-03

Saturday, 26 November 2011

එක් සේසත් රාජ්‍යය ගැන හැඳින්වීමක්

මෙරට පැරණි යුගයේ තිබුණේ එක් සේසත් රාජ්‍යයකි. එය දශරාජ ධර්මය අනුව රජවරුන් විසින් කරවන ලදී. අප යොදා ගත්තේ රට පාලනය කිරීම යන්න නොව රට කරවීම යන්න ය. රට කරවීමට අදාළ සෙල්ලිපි රාශියක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇත. අදාළ සියලුම සෙල්ලිපි සිංහලෙන් තිබීමෙන් පෙන්නුම් කරන්නේ රට කරවීමට අදාළ භාෂාව, අවශ්‍ය නම් රාජ්‍ය භාෂාව, සිංහල මිස වෙනත් භාෂාවක් නොවූ බව ය. ගාල්ලේ ඇති ත්‍රෛභාෂික සෙල්ලිපිය පැහැදිලිව ම එකල මෙහි පැමිණි අරාබි, චීන හා දෙමළ වෙළෙන්දන් වෙනුවෙන් ලියැවුණක් මිස රටේ වැසියන් වෙනුවෙන් ලියැවුණක් නො වේ. ඒ සෙල්ලිපිය ආශ්‍රයෙන් මෙරට දෙමළ වැසියන් සිටි බව පෙන්වීමට උත්සාහ කරන්නන්ට චීන සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්නවලට පිළිතුරු නැත. සෙල්ලිපිවලින් අපේ පැරණි රාජ්‍ය භාෂාව කුමක් ද යන්නට ද නිසි පිළිතුරු ලැබේ.

කෙසේ වෙතත් රාජ්‍ය භාෂාව, ඒකීය රාජ්‍යය වැනි වර්තමානයේ දී අප බටහිරයන්ගෙන් ලබාගත් සංකල්ප අතීතයට යොදා ගැනීමේ දී අප ප්‍රවේසම් විය යුතු ය. ගැමුණු යුගයේ රාජ්‍ය භාෂාව කුමක් ද යන ප්‍රශ්නයට අප දෙන පිළිතුර කුමක් ද? සංකල්ප සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි. ඊනියා වාස්තවික නිරපේක්‍ෂ සංකල්ප ලෝකයේ නැත. සිංහල භාෂාව ද අනෙක් භාෂා මෙන් ම සංස්කෘතික සංදර්භයක ව්‍යවහාර වෙයි. කෝට්ටේ යුගයේ ඉඟ සුඟ ගත හැකි මිටින යන්නෙහි සුඟ යොදාගෙන ඇති ආකාරයට වෙනස් ව එයට හාත්පසින් විරුද්ධාර්ථයකින් අද සුඟ යන්න යොදා ගැනෙයි. එමෙන් ම එකල යොදා නොගත් ඒකීය රාජ්‍යය, රාජ්‍ය භාෂාව වැනි සංකල්පවලින් මතුවන අදහස් එකල කිනම් වචනවලින් නියෝජනය වී දැයි අධ්‍යයනය කළ යූතු ය. එමෙන් ම එදා යොදාගත් වචන අද යොදා ගැනෙන වචන සමග සංසන්දනය කිරීමේ දී අප බොහෝ විට කල්පනාකාරී විය යුතු ය.

අපිදු ඇතැම් අවස්ථාවල එකල ලංකාවේ (සිංහලයේ) රාජ්‍ය භාෂාව සිංහල වූ බවත් අපට එකල ද ඒකීය රාජ්‍යයක් වූ බවත් පවසමු. එහෙත් අප කියන්නේ එකල ඒ වචන යොදා නොගත් බවත්, එකල තිබූ රාජ්‍යය අද ව්‍යවහාරකරන වචනවලින් ප්‍රකාශ කළහොත් එයට ඒකීය රාජ්‍යයක් යැයි කිවහැකි බවත් ය. එමෙන් ම එදා රාජ්‍යයේ වැඩ කටයුතු කෙරුණු භාෂාව සිංහල වූ බවත් එබැවින් අද පවත්නා වචන යොදා ගැනීමේ දී එකල රාජ්‍ය භාෂාව සිංහල වූ බවත් අපි පවසමු. ආණ්ඩුවට සම්බන්ධ එක්තරා දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවියට අවිචාර ප්‍රකාශ කරන මුග්ධයන්ට හා පක්‍ෂයේ නොවන අයගේ අදහස්වලට ඒ මුග්ධයන් ලවා ගැරහීම සඳහා තම වෙබ් අඩවියේ තම පක්‍ෂයේ නොවන අයගේ ලිපි පළකරන තවමත් මාක්ස්වාදයේ එක් කකුළක් ගසාසිටින්නන්ට මේ අදහස් නොතේරේ නම් ඒ ගැන කරන්නට දෙයක් නැත. මේ පක්‍ෂයේ න්‍යායාචාර්යවරුන්ට බටහිර විද්‍යාව සංස්කෘතික වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි බව තවමත් වැටහී නැත. ඇතැම් විට ඔවුන් බටහිර විද්‍යාව ක්‍රිස්තියානි ලෙස හැඳින්වීම ආගම්වාදී ලෙස හඳුනගන්නවා විය හැකි ය.

එංගලන්තයේ ඇතැම් රජවරු ජර්මන් ප්‍රංශ උරුම ඇත්තෝ වූහ. ඔවුහු ඇතැම් විට ප්‍රංශ භාෂාවෙන් කටයුතු කළහ. එවැනි යුගයක එංගලන්තයේ රාජ්‍ය භාෂාව වූයේ ඉංගිරිසි නොව ප්‍රංශ ය. එහෙත් රජවරු එංගලන්තයේ ඉංගිරිසි රජවරු මිස ප්‍රංශයේ හෝ ප්‍රංශ හෝ රජවරු නො වුහ. එබැවින් ඉංගිරිසි රජවරුන් යටතේ එංගලන්තයේ ඇතැම් යුගයක ප්‍රංශ භාෂාව රාජ්‍ය භාෂාව විණි යැයි අපට කිවහැකි වෙයි. එහෙත් ලංකාවේ කිසි දිනෙක එසේ වූ බවක් සඳහන් නො වේ. නුවර යුගයේ අවසාන භාගයේ රජකළ රජවරු සතරදෙනා වඩිග වාර්ගිකයෝ වූහ. ඔවුන් ලංකාවට පැමිණියේ අද තමිල්නාඩුව යැයි හැඳින්වෙන ප්‍රදේශයෙන් වුව ද ඔවුන්ගේ මුල් ප්‍රදේශය ආන්ද්‍ර දේශය විය. ඔවුන් කතාකළ බස තෙළිඟු විය. රජ පවුලේ උදවිය තෙළිඟු හෙවත් අණ්ඩර දෙමළ බසින් කතාකළ ද රජු රට කරවූයේ සිංහල බසිනි. (සිංහලයන් තෙළිගු බසට අණ්ඩර දෙමළ යනුවෙන් කියන්නට ඇත්තේ එහි ප්‍රභවය ආන්ද්‍ර වීම නිසාත් එහි දෙමළට ඇති නෑකම නිසාත් යැයි සිතිය හැකි ය. ආන්ද්‍ර යන්න අද සිටින නාගරික අනුකාරකයන්ට මෙන් නොව නිර්මාණශීලී ගැමියන්ට අණ්ඩර විය.) ඒ අරුතින් ගත්කල පෘතුගීසීන් පැමිණෙන තෙක් අවුරුදු දෙදහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව මුළු රට ම කරවූයේ සිංහල බසිනි. එවැනි වාර්තාවකට හිමිකම් කිවහැකි වෙනත් රාජ්‍යයක් (රජදහනක්) වේ නම් ඒ චීනය ය.

අප අපේ පැරණි එක්සේසත් රාජ්‍යය ගැන කතාකිරීමේ දී මේ කරුණු සැලකිල්ලට ගත යුතු ය. එක්සේසත් රාජ්‍යය ලංකාවේ නිර්මාණය වූවක් යැයි සිතීමට ඉඩ ඇත. එය ඒකඡත්‍ර යනුවෙන් ද හඳුන්වා දී ඇති නමුත් ඒ වචනය සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දක් විය යුතු ය. ඡත්‍ර යනු කුඩයට නමකි. එය සේසත යන තේරුම දෙන්නේ දැයි නිසැකව කිව නො හැකි ය. කෙසේ වෙතත් සේසත යන්න තවමත් ලංකාවේ යොදා ගැනෙන, දක්නට ලැබෙන භාණ්ඩයක් වන අතර එය බලයේ සංකේතයක් ලෙස අද ද භාවිතා වෙයි. එක් සේසත් යනු වචනාර්ථයෙන් ම සේසත් කිහිපයක් වෙනුවට එක් සේසතක් පමණක් බලය (අදිකාරිය අදි උපසර්ගයෙන් කියැවෙන ප්‍රබල කාරිය,) දක්වන සංකේතය ලෙස යොදා ගැනීම ය.

අදිකාරිය යන්න මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් වචනයක් යැයි සිතමි. කාරිය යන්න කරවීම සමග සම්බන්ධය. අදිකාරම්ලා කාරියවසම්ලා (වසම කරවන්නන් විය හැකි ය) කාරියකරවනලා පමණක් නොව මෙරට කාරියප්පර්ලා ද සිටිති. වරක් මුස්ලිම් කොංග්‍රසයේ නිසාම් කාරියප්පර් මහතා මා සමග පැවසුවේ ඔහුගේ පරම්පරාවේ අය ප්‍රාදේශික ව කාරිය කළ, එනම් ප්‍රදේශය කරවූ, ප්‍රධානීන් වූ බව ය. අප්පර් යන්නෙන් ප්‍රධානියා යන තේරුම ගෙන දෙයි. සෙනරත් රජු මුස්ලිම්වරුන් පෘතුගීසීන්ගේ අඩම් තේට්ටම්වලින් මුදවාගෙන වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවීමෙන් පසුව ඇතැමුන් රජු වෙනුවෙන් කුඩා ප්‍රදේශ කරවූ බවක් මෙයින් කියැවෙයි. කාරියප්පර් යන නමින් ද කියැවෙන්නේ රුහුණු රටේ කොටසක් වූ වත්මන් නැගෙනහිර පළාත සිංහල රජුගේ අදිකාරියෙහි පැවතුණූ බව ය. අපේ පැරණි රජවරු රට කරවූහ. එසේත් නැතහොත් ඒ ඒ රට කරවූ ප්‍රධානීහු සිටියහ. මෙහි දී රට යන්න ගැන ද කෙටි සඳහනක් කළ යුතු ය.

රට යන්න එදා යොදාගෙන තිබුණේ අද යෙදෙන අර්ථයෙන් ම නොවන බව පැහැදිලි ය. රුහුණු රට, මායා රට හා පිහිටි රට (රජරට) පමණක් නොව අටදහස් රට, දොළොස්දහස් රට ආදිය ද මෙරට විය. ඇතැම් පඬියන් එය විවරණය කරන්නේ එකල රටවල් ගණනාවක් තිබූ ලෙස සලකමින් ය. එහෙත් උඩරට පහතරට යන්න ද එසේ වෙන ම රටක් යන තේරුමකින් ව්‍යවහාර නොකරන බව පැහැදිලි ය. ගම්රටවල් බලා යනවා වැනි කියුම් ද අද ව්‍යවහාර කරන රට යන අරුතින් යෙදී නැති බව පැහැදිලි ය. එදා රට යනු අද ව්‍යවහාරයෙන් නම් පළාත, ප්‍රදේශය ආදිය හැඳින්වෙන්නක් වෙයි. අද රට යන්නෙන් කියැවෙන්නට ද එදා රට යනුවෙන් යොදාගන්නට ඇත. ඒ අතර ඒ ඒ අවධියෙහි මුළු රට ම (මේ ව්‍යවහාරය ද වැදගත් ය) ලංකාදීප, හෙළදීව, සීහළදීප ආදී වශයෙන් හඳුන්වන ලැබී ඇත.

ඒ කෙටි සටහනින්, ඇත්තට ම නිරීක්‍ෂණයෙන් පසු රටේ, එනම් මුළු රටේම දේශපාලන ව්‍යුහය ගැන සාකච්ඡා කිරීමට හැකි ය. රටේ කුඩා ම ඒකකය වී ඇත්තේ ගම ය. ගම හැරුණු විට නියම් ගම්, දනව්, පුර, නුවර ආදී ඒකක ද තිබී ඇත. මෙරටට විජයගෙන් සංකේතවත් වන අර්ධ වෛදීක සංක්‍රමණයට (මෙහි සංස්කෘතික සංක්‍රමණයක් ද වූ බව පැහැදිලි ය) පෙර සිට ම මෙරට පුර තිබූ බව ලංකාපුර යන්නෙන් පැහැදිලි ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ට යම් ආකාරයක පුර සංස්කෘතියක් තිබී ඇතැයි සිතිය හැකි ය. ඒ පුරවල ප්‍රාදේශීය නායකයන් සිටි බව ද ඒ අතර කියැවෙයි. ගම්වල ප්‍රධානීහු ගාමණීලා වූහ. ඒ ඒ ගම්වල නැත්නම් ගම් කිහිපයක වරිග සභා, ගම් සභා ආදී වශයෙන් ජනතාවගේ විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සභා පිහිටුවා ගෙන සිටි බවත් පැහැදිලි ය. ඒ අතර පන්සලේ හාමුදුරුවන් මුල් කරගත් සභා ද විය.

මේ සභා මුළුමනින් ම දේශපාලන සභා යැයි කිවයුතු නො වේ. මෙරට සංස්කෘතියෙහි කැපී පෙනෙන ලක්‍ෂණයක් නම් දේශපාලනය, සංස්කෘතිය හා ආර්ථිකය එකිනෙක සමග තිබූ සම්බන්ධය ය. බටහිර ක්‍රිස්තියානි (කතෝලික යන්නට ප්‍රතිපක්‍ෂව) සංස්කෘතියෙහි මෙන් ඒ ඒ කාර්යයෙහි ලා පැහැදිලි බෙදීම් මෙරට නො වී ය. බොහෝ දුරට එය අපේ ශක්තියක් විය. ගමේ හාමුදුරුවන් මුල් කරගත් සභාව කාළාම සූත්‍රයෙහි දැක්වෙන විඤ්ඤූන්ගේ, නැත්නම් කාරණාකාරණ දත් අයගේ සභාවක් විය. එය පැරණි ග්‍රීකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව සකස් නොවිණි. පැරණි ග්‍රීකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කුලීනයන්ට, වහල් හිමියන්ට පමණක් සීමා විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වහළුන්ට අයත් නො වී ය. විඤ්ඤූන්ගේ සභාව ගැමියන් විසින් තෝරාපත්කරගනු ලැබූවක්වත්, සියළුම ගැමියන්ගෙන් සමන්විත වූ සභාවක්වත් නො වීය. විඤ්ඤූන්ගේ සභාවල නව සාමාජිකයන් තෝරාගනු ලබන්නේ එතෙක් විඤ්ඤුන් ලෙස ක්‍රියාකරන අය විසිනි. අද ද විඤ්ඤූන්ගේ සභාවල නව සාමාජිකයන් පත්කෙරෙන්නේ සිටින විඤ්ඤූන් විසිනි.


Saturday, 19 November 2011

ආණ්ඩුවට ජාතික වැඩ පිළිවෙළක් තිබිය යුතුයි

පසුගිය ආණ්ඩු විසින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට බොහෝවිට කුණු කොල්ලයට ලබා දී තිබූ රජයේ ව්‍යාපාර ලාභ නොලබන්නේ නම් හෝ අඩු ප්‍රයෝජනත්වයකින් පරමාර්ථවලට පටහැණිව පවත්වාගෙන යන්නේ නම් හෝ යළි රජයට පවරාගැනීම සඳහා වූ පනතක් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි. මේ පනත කුමක් සඳහා ද යන්න පැහැදිලි කිරීමට ආණ්ඩුව මුල දී අසමත් විය. එහි ප්‍රතිඵලය වූයේ පිරිමින් ද හඬන ටෙලි නාට්‍ය ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශ අතර විකාශ වීමත්, එ ජා පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පාළු ගෙවල්වල වළං බිඳීමට අවස්ථාව සැලසීමත්, ඇතැම් භික්‍ෂූන් වහන්සේලාට ඉක්‍ෂුපාක පෙරන සැදැහැවතුන් වෙනුවෙන් කතාකිරීමට අවස්ථාව ලබාදීමත් ය. පනතෙන් බලාපොරෙත්තුවන්නේ යළි රජයට පවරාගැනීමක් මිස පළමුවරට රජයට පවරාගැනීමක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කිරීමට රජයට නොහැකිවීම රජයේ වරදක් ම විය. මේ පනත සම්මත වුවහොත් මෙරටට මින්පසු ආයෝජකයන් නොපැමිණෙනු ඇතැයි භික්‍ෂූන් වහන්සේ නමක් වදාළේ මින්පසු බණ පදයක් අසන්නට නොලැබේවිය යන තරමේ කණගාටුවකින් යැයි සිතිණි. යළි රජයට පවරා ගැනීම පළමු වරට රජයට පවරා ගැනීමක් ලෙස ජනතාවට යම් පමණකින් වුවත් ඒත්තු ගැන්වීමට විරුද්ධ පක්‍ෂයට හැකි වූයේ එය හදිසියේ කරණ කටයුත්තක් ලෙස පෙනෙන්නට තිබීම නිසාත් ය. පසුව ඇතැම් ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් එය තරමක් දුරට නිවැරදි කෙරූණු නමුත් මුල දී වූ ප්‍රචාරාත්මක අවාසිය සම්පුර්ණයෙන් ම මගහරවා ගැනීමට හැකි වී යැයි සිතිය නො හැකි ය. අදාළ පනතෙහි අඩුපාඩුකම් නොමැතිවා නො වේ. යළි පවරා ගන්නා සමාගම් පනතෙහි ම සඳහන් කිරීම සුදුසු දැයි නො දනිමු. එහෙත් ඒ සමාගම්වලට යළි පවරා ගැනීමට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත්නම් එහි ගැටලුවක් නැත.

කෙසේ වෙතත් විපක්‍ෂය මේ ප්‍රශ්නය ඊනියා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට කටයුතු කිරීමට ඉඩ ඇත. බටහිරයන්ගේ ජාත්‍යන්තරය ද බලා සිටින්නේ මෙවැනි ප්‍රශ්න ලැබෙන තෙක් බැවින් ඔවුන්ට මෙය අඬන්නට සිටි එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් වනු ඇත. ඊනියා ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නයේ දී කළ හැකි විශේෂ දෙයක් නොමැති වුවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කීමට ඇතැමකුට එමගින් අවස්ථාව ලැබෙනු ඇත. මේ ප්‍රජාතන්ත්‍රවාදය ඉක්‍ෂුපාන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වීමට හැකි වුවත් ජනතාවට එය තවදුරටත් තේරුම් කරදීමට ආණ්ඩුව පියවර ගත යුතු ය. එහෙත් එයටත් වඩා මෙය අද ආණ්ඩුව මුහුණ පා ඇති වැදගත් ප්‍රශ්නයක විශේෂ අවස්ථාවක් ලෙස සලකා ජාතික සැලැස්මක් ඇතිකර ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතු ය.

අද ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්පුර්ණයෙන් අනුමත කරන්නන් එතරම් ඇතැයි කිව නො හැකි ය. වන්දිභට්ටයන් හැරෙන්නට අනෙක් අයට ආණ්ඩුව සමග විවිධ තලවල ප්‍රශ්න වෙයි. එහෙත් ඒ සියළු ප්‍රශ්න මැද බොහෝ දෙනා ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරති. මහින්ද රාජපක්‍ෂ මහතාට ජනතාවගෙන් ලැබී ඇති ඒ ශක්තිය බණ්ඩාරනායක මහතාට හෝ එම මහත්මියට හෝ නොලැබුණු බව මෙහි දී සඳහන් කරන්නේ ඒ දෙපොළට කරන අගෞරවයක් ලෙස නො වේ. මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ සා මහත් ශක්තියක් ලැබුණේ කෙසේ ද යන්න ගැන අපට යම් අවබෝධයක් තිබිය යුතු ය. අප බොහෝ අවස්ථාවල පවසා ඇති ආකාරයට මේ ආණ්ඩුව පදනම් වී ඇත්තේ ජාතිකත්වය මත ය. 1956 දී හෝ 1960 ජූලියේ දී හෝ 1970 දී හෝ වත්මන් අයුරෙන්් ජාතිකත්වයක් වර්ධනය කරගැනීමට, ඒ ඒ වකවානුවල ක්‍රියාත්මක වූ ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සන්ධානවලට නොහැකි විය. ජාතිකත්වයෙන් නොබැඳුණු ජනතාවක් ඒකරාශී කරගැනීමේ හැකියාව අඩු ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිකත්වය ඉතා උසස් මට්ටමක ලා සැලකී යෂ තවමත් එලෙස සලකයි. එබැවින් ජනතාව ජාතිකත්වයෙන් බැඳී ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරති. මේ ආණ්ඩුවට විකල්පයක් අද රටේ නැත. ඒ බව ආණ්ඩුව විවේචනය කරන්නන් අවබෝධ කරගෙන ඇත්ද යන්න සැක සහිත ය. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස ආදීන්ට දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ කිසිම හැකියාවක් නැත. දුර්වලයන් වූ ඔවුන්ට කළ හැක්කේ බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට යටවීම පමණකි. රනිල් වික්‍රමසිංහ අගමැති ව සිටි සුළු කාලයේ දී සිංහල ජාතිකත්වයට එරෙහි ව කළ කී දෑ ජනතාවට අමතක වී නැත.

බටහිරයන් ඉදිරියේ කොන්ද නොනමා සිටිය හැකි දේශපාලනඥයන්් කිහිප දෙනා අතර මහින්ද රාජපක්‍ෂ මහතා ගව් ගණනකින් ඉදිරියෙන් වෙයි. මෙහි දී විදේශ ඇමති ජී. එල්. පීරිස් මහතා ගැන ද වචනයක් කිව යුතු ය. කලක් ඒ මහතා පැකේජ් පප්පා නමින් හඳුන්වනු ලැබිණි. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ව සිටි සමයෙහි දී ය. රෝස පාට සමාජවාදිනියක වූ ඇයට කිසිම ජාතිකත්වයක් නො තිබිණි. ජී එල් පිරිස් මහතා එදා පැකේජය වෙනුවෙන් විශාල අපකීර්තිමත් කාර්යභාරයක් කරමින් ජාතිකත්වය පාවාදීමට කටයුතු කළ ද අද ඔහු ඉතා ප්‍රශස්තව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඊනියා ජාත්‍යන්තරය ඉදිරියේ පෙනත සිටියි. විභේෂයෙන් ම පසුගිය දා ඕස්ටේ‍ර්ලියාවේ පර්ත් නුවර දී ඒ මහතා ක්‍රියා කර ඇති ආකාරය ඉතා අගනේ ය. ඒ පිළිබඳ අපේ ගෞරවය එදා කෙසේ වෙතත් අද ඒ මහතාට හිමි විය යුතු ය. ඇතැම් විට ඔහු පක්‍ෂයේ නායකයා හෝ නායිකාව හෝ කවුරුන් වුව ද ඔහු හෝ ඇය හෝ වෙනුවෙන් පෙනත සිටිනවා විය හැකි ය. ඒ එසේ නම් අපට වැඩිදුරටත් ඒ ගැන කතාකිරීම අවශ්‍ය නො වේ. එහෙත් මේ ආණ්ඩුවේ සියළු ඇමතිවරුන් ගැන අපට එසේ කිවහැකි නො වේ. ඇතැම් ඇමතිවරු තවමත් චන්ද්‍රිකා කුමාරතුංගගේ ඇමතිවරු වෙති. ඔවුහු නමට පමණක්, බොහෝ විට වරප්‍රසාද ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ කටයුතු කරති. විශේෂයෙන් ම ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයේ දී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති මාක්ස්වාදීහු මේ ආණ්ඩුව මගින්් චන්ද්‍රිකා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. තවත් ඇමතිවරු අන්ත දූෂිතයෝ වෙති. ඔවුන්ට අවශ්‍ය ඉදිරි අවුරුදු කිහිපයෙහි දී ඉදිරි පරම්පරා ගණනාවකට සෑහෙන අන්දමින් ධනය උපයා ගැනීම පමණක් වෙයි. තවත් සමහරු දුර්වලයෝ වෙති. මහින්ද රාජපක්‍ෂ මහතාට අද ඇති ප්‍රධාන ම බාධාව ඇමති මණ්ඩලය යැයි සිතෙන තරමට ප්‍රශ්නය ඔඩු දුවා ඇත. ඒ මහතාට අද කිසිම බාධාවක් නැත්තේ එ ජා පක්‍ෂයෙනි. බටහිරයන්ගේ අනුග්‍රහය ලැබුව ද ජ වි පෙරමුණේ කුමාර –- ඕපාත කණ්ඩායම අද සිය දිවි නසාගැනීමේ මාවතකට එළඹී ඇත. සෝමවංස ටිල්වින් අනුර කණ්ඩායම යථා කාලයේ දී කැඩී බිඳී ගොස් කොටසක් සංධානයට ද තවත් කොටසක් එ ජා පක්‍ෂයට ද එකතු වනු ඇත.

ඇතැම් ඇමතිවරුන් නොවන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට රට කරවීමට මෙතරම් සුදුසු කාලයක් නො ලැබෙනු ඇත. එබැවින් ඒ ඇමතිවරුන් නොසලකා හැර වුවත් ජාතික වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට ආණ්ඩුව වහා ක්‍රියා කළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ජාතික දේශපාලනයකි. ජාතික ආර්ථිකයකි. ජාතික සංස්කෘතියකි. මතට තිත යහපත් සංකල්පයක් වුව ද එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නැත. අමද්‍යප හාමුදුරුවරුන් ද ඉක්‍ෂුපානය වෙනුවෙන් පෙනී සිටින කල කිසිවකු මොන මතට තිතක් දැයි ඇසීමට ඉඩ ඇත. එහෙත් ඒ ප්‍රතිපත්තිය තදින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව විශේෂ උත්සාහයක් දැරිය යුතු ය. බටහිරයන්, දෙමළ ජාතිවාදීන්, ලිබරල් හා මාක්ස්වාදී පුහු පඬියන් ආදීන් කුමක් කීව ද මෙරට සිංහල බෞද්ධ රටකි. එංගලන්තයේ සුරාසල් තිබීම අපට ප්‍රශ්නයක් නො වේ. එරට ක්‍රිස්තියානි නොවන්නන් විශාල පිරිසක් සිටිය ද, ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව එරට අණ පනත් සකස් වීම ගැන අපි ප්‍රශ්න නො කරමු. එහෙත් අපේ රටේ සංස්කෘතිය අමතක කර බටහිර ගැති පඬියන්් සුරා පානය කරන්නන්ගේ ඊනියා මානව අයිතිය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් අපට ඒ ගැත්තන්ගේ ඊනියා මානව අයිතිය සීමා කිරීමට සිදුවනු ඇත. ඊනියා මානව අයිතිය යන්න අනෙක් සියළු සංකල්ප මෙන් ම සංස්කෘතියට සාපේක්‍ෂ ය. නිර්සංකල්පීය දැනුමක් හෝ නිර්සංස්කෘතික සංකල්ප හෝ පෘථග්ජන මිනිසුන්ට නැත. බටහිරයන්ගේ මානව අයිතීන් තීරණය වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ය. අපට ඒවා ඒ ආකාරයෙන් ම අදාළ නො වේ.

මතට තිත යන්නට මත්පැන් මෙන් ම කුඩු ඇතුළු මත් ද්‍රව්‍ය ද අඩංගු විය යුතු ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අකැප වෙළඳාම් වෙයි. අවි ආයුධ මත් ද්‍රව්‍ය ආදී වෙළඳාම සිංහල බෞද්ධ සංස්කෘතියක නොතිබිය යුතු ය. මෙයින් කියැවෙන්නේ හමුදාවක් පවත්වාගෙන යෑම අකැප බව නො වේ. එහෙත් පාතාල ලෝකයකට පැවතීමට ඉඩ තැබීම රටේ සංස්කෘතියට කිසිසේත් ම නො ගැළපෙයි. කිනම් සංවර්ධනයක් සඳහා වුව ද අයථා ක්‍රම මගින් ආදායම් ලබා ගැනීමට රජය නොපෙළඹිය යුතු ය. අපේ සංවර්ධනයේ දී අධ්‍යාත්මයට මුල් තැන ලබාදිය යුතු ය. අපි හැකිතාක් දුරට අල්පේචිඡතාවට හුරු විය යුතු ය. එහෙත් අපේ අධ්‍යාපනයෙන්, එනම් අද ක්‍රියාත්මක වන බටහිර අධ්‍යාපනයෙන්, මුළුමනින් ම එයට විරුද්ධව කටයුතු කෙරෙයි. අපේ ආර්ථිකය ඇඩම් ස්මිත්ගේ හෝ කාල් මාක්ස්ගේ හෝ ආර්ථිකය නොවිය යුතු ය. අපේ දේශපාලනය එක්සේසත් රාජ්‍යය, දශරාජ ධර්ම ආදිය මත පදනම් විය යුතු ය. එක්සේසත් රාජ්‍යයේ ප්‍රධාන ඒකකය විය යුත්තේ ගම්සභාව ය. එය බටහිර දේශපාලන පක්‍ෂ ක්‍රමයෙන් වියෝ විය යුතු ය. අපේ ගැමි ජනතාව කොළඹින් පමණක් නොව ඊනියා ප්‍රාදේශීය ප්‍රධාන නගරවලින් ද ස්වාධීන විය යුතු ය. අප නූතනත්ව පෞද්ගලිකත්වය හා යුරෝපීය මධ්‍යකාලීන සාමුහිකත්වය අතර වූ අපේ මැද පිළිවෙත අනුගමනය කළ යුතු ය. බණ්ඩාරනායක මහතා මධ්‍යම ප්‍රතිපදාවක් ගැන ඉවෙන් කතා කළේ ය. මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඒ ඉව ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් බවට පත්විය යුතු ය.