Main Logo

Showing posts with label බඹලොව. Show all posts
Showing posts with label බඹලොව. Show all posts

Monday, 24 December 2012

සිත මිස කය නැති බඹලොව මනස

මනස මනසට ගෝචර වන්නේ ද යන්න ප්‍රශ්නයකි. අපට පහළවන්නේ චිත්ත ය. අපි මනසට හා තවත් ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ ගෝචර වන සංකල්ප සංයුක්ත සංකල්ප ලෙස හඳුනාගත්තෙමු. වෙනත් ඉන්ද්‍රියයක් නොමැතිව මනසට පමණක් ගෝචර වන, එනම් මනසින් මවාගත හැකි සංකල්ප වියුක්ත සංකල්ප ලෙස වර්ගීකරණයට ලක්කළෙමු. මනසට ගෝචර නොවන එනම් මනසින් මවාගත නොහැකි සංකල්පවලට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි කීවෙමු.

අප එසේ තීරණය කරන්නේ අප මාර්ගඵල ලබා ඇති බැවින් දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. අප ප්‍රශ්න අසන්නේ ද පිළිතුරු දෙන්නේ ද මූලික වශයෙන් ගත්කල ලෞකිකත්වය හා සම්බන්ධ වූ දේ ගැන ය. මනස යනු ලෞකික සංකල්පයක් මිස අනෙකක් නො වේ. මනස ලෝකෝත්තරය හා සමග බැඳෙන්නේ නිවන් අවබෝධ වීමේ දී මනසක් ඇත්නම් එයට කුමක් වන්නේ ද යන්න සාකච්ඡා කිරීමේ දී ය. එසේ ලෞකිකවත් සාකච්ඡා කිරීම නොකළ යුතු දෙයක් යැයි ඇතැම් පඬිවරු පවසති. ඔවුන්ගේ මතය වී ඇත්තේ මනස වැනි දේ සම්බන්ධයෙන් සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම, තැනීම නුසුදුසු බව ය.

එහෙත් ඔවුන් ඒ නුසුදුසු යැයි කියන්නේ අපට ය. එයට හේතුව අප මාර්ගඵල ලාභීන් නොවීම ය. එසේ වුවත් බදුදහමට අටුවා සපයා ඇත්තේ මාර්ගඵල ලාභීන් පමණක් යැයි අපි නො සිතමු. අනෙක් අතට අප බොහෝ විට කියා ඇති පරිදි ලෞකික සංකල්ප සම්බන්ධයෙන් මාර්ගඵල ලාභීන්ට ද වැරදි සිදු විය හැකි ය. අද අවසේ අපේ කාර්යභාරය විය යුත්තේ මෑතක දී ලියැවුණු අභිධර්ම පොතපතින් එහාට නොගොස් මෙතෙක් ලියැවී ඇති පොතපතෙහි සඳහන් කරුණු පුනරුච්ඡාරණය කිරීම පමණක් ද?

එහෙත් ඒ පොතපත වුව ද අප එකිනෙකා කියවන්නේ ඒ ඒ අයට සාපේක්‍ෂව එක් එක් අයුරෙන් ය. එවිට අප එකිනෙකාගේ ඒ සම්බන්ධ අදහස් ද වෙනස් වන බව අමුතුවෙන් කිවයුතු නො වේ. එමෙන් ම මේ අය නොදන්නා කරුණක් නම් පොතක් කියවීම යනු ද නිර්මාණයක් බව ය. ලෝකයේ හුදු කියවීම් නැත. සෑම කියවීමක් ම නිර්මාණයක් වෙයි. එකිනෙකාගේ කියවීම් වෙනස් වන්නේ ද මේ නිර්මාණකරණය හේතුකොටගෙන ය.

අප මනස ඇතුළු සංකල්ප සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රවාද නිර්මාණය නොකළ යුතු යැයි පවසන්නෝ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ආදිය පිළිබඳ ව සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම ප්‍රතික්‍ෂෙප නො කරති. ඔවුහු ඇතැම් විට ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා සිටීනු පමණක් නොව ඒ මත පුනරුච්ඡාරණය ද කරති. මෙයටත් වඩා කුහක කමක් වේ ද?. අග්ගඤ්ඤ සූත්‍රය මත පිහිටා නව දැනුම් නිර්මාණය නොකර ඩාවින්ගේ පරිණාමවාදය ගැන සාඩම්බරයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ කතාකිරීමට ද වඩා මනස පිළිබඳ බටහිර ප්‍රවාද හා සංකල්ප දෙස බෑම භයානක ය.

මනස එය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරෙන් ගෝචර වන්නක් නො වේ. එබැවින් මනස යන්න සංයුක්ත සංකල්පයක් නො වෙයි. පසුගිය ලිපියෙහි මනස සංයුක්ත සංකල්පයක් යැයි ප්‍රකාශ කර තිබුණේ වැරදීමකිනි. මනස යන්න කිසිසේත්ම ඇස කණ ආදී වෙනත් ඉන්ද්‍රියයක් ඇසුරු කොට ගෝචර වන්නක් නො වේ. එබැවින් එය සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. අපට තීරණය කිරීමට ඇත්තේ මනස යන්න චෛතසික සංකල්පයක් ද නැත්නම් පඤ්ඤත්තියක් ද යන්න ය.

මනස යනු සරල රේඛාවක් හෝ කාලය වැනි සංකල්පයක් ද? සරල රේඛාවක් හෝ කාලය හෝ මනසෙන් මවාගත හැකි නො වේ. පළලක් හෝ ඝනකමක් හෝ නොමැති රේඛාවක් සිතෙන් මවා ගන්නේ කෙසේ ද? කාලය ද එසේ මනසෙන් මවාගත නොහැකි සංකල්පයකි. ඒ සංකල්ප දෙකම පඤ්ඤත්ති වෙයි. එහෙත් පරසතු මලක් යන්න මනසෙන් මවාගත හැකි මනසට ගෝචර වන සංකල්පයකි.

මනස යන්න මනසෙන් මවාගත හැකි ද? මනස අපෙන් තොරව පවතින්නක් ද යන ප්‍රශ්නය හමුවේ බොහෝ දෙනා කම්පනය වෙති. එහෙත් බොහේ පඬිවරුන් මාර්ගලාභීන් යැයි කියන්නන්ගේ කෘති උපුටා දක්වමින් කියන්නේ මනස අපෙන් තොරව පවතින බව ය. අපෙන් තොරව යන්නෙන් අදහස් කරන්නේ මනස මනසෙන් ස්වායත්ත බව ය. මනසට මනස නැතිව පැවතිය හැකි ද? එසේ නම් මනස පවතින්නේ කොහේ ද? කෙසේ ද?

එසේත් නැත්නම් ඒ ප්‍රශ්නය වැරදි ද? මනස පවතින්නේ ද යන ප්‍රශ්නය ම වැරදි ද? එහෙත් සාපේක්‍ෂවවත් පවතින මනසක් ගැන අපි දනුමු. එබැවින් මනසේ පැවැත්ම ගැන කතාකිරීම වරදක් නො වේ. ප්‍රශ්නය වන්නේ මනසේ පැවැත්ම නොව මනස පවතින්නේ සාපේක්‍ෂව ද නිරපේක්‍ෂව ද යන්න ය. මනස නිරපේක්‍ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? මලක් නිරපේක්‍ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම එය නිරීක්‍ෂකයා ඇතත් නැතත් පවතින්නේ ය යන්න ය. එහෙත් ඒ එසේ නො වේ. නිරීක්‍ෂකයාගේ මනස නොමැතිව මලක් යන සංකල්පය හට නොගනියි. එබැවින් නිරීක්‍ෂකයකු නොමැති ව මලක් නොපවතියි. යමකු එසේ පවතින්නේ යැයි කිවහොත් එය උද්ගමනයක් මිස අනෙකක් නො වේ.

සියළු උද්ගමන මනසෙන් කෙරෙයි. මෙහි සියළු යනුවෙන් කී විට එය ද උද්ගමනයක් වෙයි. අපට සියළු උද්ගමන අද දැන ගැනීමට ක්‍රමයක් නැත. එමෙන් ම අප දන්නා උද්ගමන මනසෙන් කෙරෙයි. උද්ගමනය යන සංකල්පය කිනම් වර්ගයක සංකල්පයක් දැයි මේ අතර ප්‍රශ්න කළ හැකි ය. ඒ කෙසේ වෙතත් මලක් නිරීක්‍ෂකයකුගෙන් තොරව පවතින්නේ ය යන්න කිසියම් නිරීක්‍ෂකයකුගේ ප්‍රත්‍යක්‍ෂය යැයි කිවහැකි ද? මලක් පවතින්නේ ය යන්න ම නිරීක්‍ෂකයකුගේ නිරීක්‍ෂණයකි. එය නිරීක්‍ෂකයකුගෙන් ස්වායත්ත නො වේ. මනස නොමැති නිරීක්‍ෂකයකුට, එවැන්නන් ඇත්නම්, මලක් පැවතිය හැකි ද?

සංජානනයක් සංකල්පයකින් තොරව ඇතිවිිය හැකි නො වේ. එහෙත් සංජානනයකින් තොරව සංකල්ප ඇතිවිය හැකි ය. චෛතසික සංකල්ප හා වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති එසේ සංජානනයකින් තොරව ඇතිවන සංකල්ප වෙයි. ඒ සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. මනස නොමැතිව ඇතිවිය හැකි සංකල්පය කුමක් ද? සංකල්ප නොමැතිව අප දක්නා ලෝකයක් වේ ද? ලෝකය ම මේ බඹයක් පමණ වූ සිරුර තුළ පැණවේ යැයි බුදුන් වහන්සේ මිනිසුන්ට දේශනා කර ඇත්තේ එබැවිනි. බුදුන් වහන්සේ එවැන්නක් අමනුෂ්‍යයකුට හෝ දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ දේශනා කර ඇති බවක් දැනගන්නට නැත. අමනුෂ්‍යයන් ආදීන්් ලෝකය නිර්මාණය කිරීමේ දී මනස සමග යොදා ගන්නා වෙනත් ඉන්ද්‍රිය වේ ද?

සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක ගැන අපි අසා ඇත්තෙමු. අපි බෞද්ධයන් ලෙස එවැනි ලෝකවල පැවැත්ම පිළිගනිමු. සිත යනුවෙන් මෙහි දී කියැවෙන්නේ සිත් පරම්පරාවකට හෙවත් මනසට ය. මනස යනුවෙන් අප විසින් හැඳින්වෙන්නේ තනි සිතක් හෙවත් චිත්තයක් නො වේ. අපට මනස යනු සිත් පරම්පරාවකි. අප ඇතැම් විට මනසට සාපේක්‍ෂව යන්නත් ඇතැම් විට සිතට සාපේක්‍ෂව යන්නත් යොදා ගෙන ඇත. මනස යනු සිත් පරම්පරාවක් වුවත් අපට යමක් ගෝචර වන්නේ ඒ සිත් පරම්රාවෙහි අප සිතන අයුරෙන් එක් සිතකට ය.

එහෙත් එක් සිතක් යන සංකල්පයෙන් ම ප්‍රශ්න රැසක් ඇති කෙරෙයි. ඒ සිත පවතින්නේ කිනම් කාලයකට ද එක් සිතක් අනෙක් සිත්වලින් වෙන්කර ගන්නේ කෙසේ ද ආදී වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට අපට සිදුවෙයි. සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ එක් සිතක් පමණක් ඇති බ්‍රහ්ම ලෝකයක් නො වේ. එහි දී සිත යනුවෙන් කියැවෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් මනස ය.

එහෙත් අවශ්‍ය නම් මෙහි දී කිසිවකුට එවැනි බ්‍රහ්ම ලෝකයක උපදින සත්ත්වයා සමාධිගත ව එකම සිතක පසුවන්නේ ය යැයි තර්ක කළ හැකි ය. එහෙත් එහි දී එකම සිත යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? සිත නොවෙනස් ව එකක් ම ලෙස පැවතීම ද එසේත් නැත්නම් එකම අරමුණක වූ සිත් පහළ වීම ද? මේ ප්‍රශ්න එතරම් සරල ප්‍රශ්න නො වේ. අරමුණක් නැතිව සිතක් නැත. මේ අරමුණු මනු’ෂ්‍ය ලෝකයෙහි හෝ දිව්‍ය ලෝකයෙහි හෝ වූ ආකාරයෙන් ඊනියා බාහිරව පවතින පිච්ච මලක් හෝ පරසතු මලක් හෝ නො වේ. අරමුණ ඇත්තේ ද සිතෙහි ම ය.

එවිට ප්‍රශ්නය වනුයේ එක් අරමුණක් යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ය. නෙවෙනස්වන අරමුණක් තිබිය හැකි ද? එය නිත්‍ය අරමුණක් වන්නේ ද? එවිට අනිත්‍ය යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? අප මේ ප්‍රශ්න ගැඹුරෙන් සලකා බැලිය යුතු ය. එහෙත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. කෙසේ වෙතත් සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස් කරන්නේ ඒක වචනයෙන් කියැවෙන සිතක් නොව බහුවචනයෙන් කියැවෙන සිතක් එසේත් නැත්නම් සිත් පරම්පරාවක් හෙවත් මනසක් ය යන්න මගේ විශ්වාසය වෙයි.

කය නැති බ්‍රහ්ම ලෝකයෙහි මනස සිරුරක් තුළ නොමැත. එහෙත් එලොව ද මනසක් වෙයි. සිරුරක් නැත. දැන් මෙසේ කියන්නේ කවු ද? එය බුදුන් වහන්සේගේ දේශනාව ය. ඇතැම් රහතන් වහන්සේලා පමණක් නොව ධ්‍යානලාභීන් ද ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගෙන ඇත. එය අනුමානයක් හෝ වියුක්ත බටහිර විද්‍යා ප්‍රවාදයක් නැත්නම් විද්‍යා කතන්දරයක් හෝ නො වේ. අප විශ්වාස කරන්නේ අපේ විඤ්ඤූන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ප්‍රකාශ කර ඇති වදන් ය. ඒ පිලිබඳ අපට ගැටළුවක් නැත. ගැටළුවක් ඇති අයකුට භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් හෝ වෙනත් ක්‍රමයකට හෝ ධ්‍යාන ලබා ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත හැකි යැයි සිතමි. ප්‍රශ්නය වනුයේ මේ මනස, එනම් කය නැති බඹ ලොවෙහි බඹුන්ගේ මනස් කිනම් සංකල්ප වර්ගයට අයත් ද යන්න ය.

ඇපල් මලක් යන්න ඒ දැක ඇති මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්ත සංකල්පයක් වෙයි. එහෙත් ඇපල් මල් දැක නැති අයට සාපේක්‍ෂව ඇපල් මලක් යන්න චෛතසික සංකල්පයක් වෙයි. මෙයින් කියැවෙන්නේ එක් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව එක් වර්ගයකට අයත් සංකල්පයක් තවත් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වෙනත් වර්ගයකට අයත්වන්නේ ය යන්න නො වේ. ඇපල් මල් දැක ඇති අයගේ ඇපල් මලක් පිිළිබඳ සංකල්පය ඇපල් මල් දැක නැති අයගේ ඇපල් මලක් පිළිබඳ සංකල්පයෙන් වෙනස් වෙයි.

සිත මිස කය නැති බඹ ලොව වසන්නකුගේ මනස අප සාකච්ඡා කරන අයුරෙන් පවතින්නේ අපට සාපේක්‍ෂව ය. ඒ මනස් පිළිබඳ අපට ඇත්තේ සංයුක්ත සංකල්පයක් විය නො හැකි ය. ඒ මනස් අපේ මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රියයන්ට කෙසේවත් ගෝචර නො වෙයි. ඒ මනස් පිළිබඳ චිත්ත රූපයක් අපට ඇතිකර ගත නො හැකි ය. අපට එලොව ඇත්තන්ගේ මනස් අපේ සිතකින් මවාගත නො හැකි ය. එබැවින් එලොව ඇත්තන්ගේ මනස් අපට චෛතසික සංකල්පවත් නො වේ. ඒ මනස් ද අපට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති පමණක් වෙයි.


Sunday, 11 December 2011

මොළයට වඩා මනස ප්‍රධාන වේ

ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගතවන කාලය වෙනස් විය යුතු යැයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක් (නියුරෝන හෝ වෙනත් යමක් හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් වන්නේ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක් වන්නේ නම් එවිට තොරතුරු ගෙන යෑමට කිසිදු කාල ප්‍රාන්තරයක් ගත නොවන්නේ යැයි කිව හැකි ය.

අපේ ප්‍රවාදය හෙවත් කතන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළවන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පංතියක් බැවින් මනසෙහි සිත් පහළවීම යන්න හුදු ප්‍රකාශනයක් පමණක් බව අමතක නොකළ යුතු ය. සිතක් ඇතිවී නැතිවී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක් පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේෂයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්ථා තුනක් වේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු චිත්තය නැතිවීමට පෙර පැවතීමයි. චිත්තය පවතින චිත්තක්‍ෂණය අර්ථදක්වන්නේ කෙසේ ද? එයට පැහැදිලි පිළිතුරක් නැත.

සෞත්‍රාන්තිකයෝ මෙයට වෙනස් මගක් ගත්හ. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම සූත්‍රවලින් එහාට නොයන බව ය. සියල්ල සූත්‍රවලින් කෙළවර වෙයි. ඔවුන් සූත්‍ර ලෙස ගන්නේ සූත්‍ර පිටකය හා විනය පිටකය ය. සෞත්‍රාන්තිකයෝ අභිධර්ම පිටකය ගැන සැලකිල්ලක් නො දක්වති. ඔවුන්ට අනුව චිත්තයක් ඇති වී නැති වී යයි. එහි උප්පාද භංග මිස තිථියක් හා එම නිසා චිත්තක්‍ෂණ ද නැත. මේ වෙනස ගැටලුවක් බව පැහැදිලි ය. අභිධර්ම පිටකයෙහි මෙය මෙසේ සඳහන් වී ඇත යන්න මේ ප්‍රශ්නයට තබා කිසිම ප්‍රශ්නයකටවත් පිළිතුරක් නො වේ. බුද්ධ වචනය කුමක් දැයි පැහැදිලිව නොදන්නා කළ අපි අසීරුවට පත්වෙමු.

චිත්ත, චෛතසික හා රූප පරමාර්ථ ධර්ම ලෙස ගත්කල චිත්තයක් යනු තව දුරටත් කුඩා චිත්තවලට නොබිඳිය හැකි ධර්මතාවක් ලෙස සැලකෙයි. එහෙත් මෙසේ කුඩා කොටස්වලට නොබිඳිය හැකි ය යන්නෙන් කියැවෙන්නේ කා හට කුමකට සාපේක්‍ෂව ද? පසුගිය දා අපවත් වී වදාළ බෝධි හිමියන් එයට පිළිතුරක් ලෙස දී ඇත්තේ මනසට ගෝචර වන කුඩා ම චිත්තය මෙහි දී පරමාර්ථය ලෙස සැලකෙන බව ය. එහෙත් ඒ හිමියන් මනස ගැන වැඩි විස්තරයක් නොකිරීමෙන් අප තවත් ගැටලුවකට යොමු කෙරෙයි.

මනස යනු චිත්ත පේළියක් නම් චිත්තය මනසට ද මනස චිත්තයට ද සාපේක්‍ෂ වෙයි. චක්‍රිය චින්තනයක මෙය ගැටලුවක් නො වේ. එවැනි සාපේක්‍ෂතාවක් ගැටලුවක් වන්නේ රේඛීය චින්තනයක ය. චිත්ත යන සංකල්පය මෙන් ම මනස යන සංකල්පය ද මනසේ නිර්මාණ (සකස්කිරීම්) වෙයි. අප විසින් විටින් විට සඳහන් කෙරී ඇති සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි මෙය යම් ප්‍රමාණයකට විස්තර කෙරී ඇත. අපි පසුව එය තවදුරටත් විස්තර කරමු. එහෙත් දැනට කිවයුත්තේ ඊනියා ‘ක්‍ෂණයකට වුව ද පවතින මනසක් හෝ චිත්තයක් හෝ ගැනීම ආත්මවාදී වන බව ය. එසේ පවතින බව පෙන්වීම සඳහා අභිධර්මයෙහි ඇතැයි කියා ධර්මවාදය යොදාගැනීම නිෂ්ඵල කාර්යයකි. ධර්මයක් ක්‍ෂණයකට (අර්ථ නොදක්වන ලද ක්‍ෂණයකට) වුවත් පවතින්නේ යැයි ගැනීම ක්‍ෂණ ආත්මවාදයක් ලෙස හැඳින්විය හැකි ය.

අපි නැවතත් අපේ පළමු ප්‍රශ්නයට යමු. සිත් ඇති වී නැති වී යෑම ම හුදු ප්‍රකාශනයක් පමණකි. අපේ පහසුවට අපි චිත්තය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කරගෙන සිටිමු. මේ චිත්ත විවිධ තැන්වල ඇතිවෙයි. ඇතිවන්නේ හා නැතිවන්නේ අප තනාගෙන ඇති සංකල්ප බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. අප ලෝකය යනුවෙන් ගන්නේ අපෙන් ස්වායත්තව පවතින වාස්තවික වූවක් නොව අප විසින් නිර්මාණය කරන ලද සංකල්ප කුලකයකි. චිත්තය ද මේ සංකල්ප කුලකයෙහි තවත් අවයවයක් පමණකි. මනස ඇතුළු සියළු සංකල්ප මනසේ නිර්මාණ වෙයි.

අපේ ප්‍රශ්නය වූයේ චිත්ත ඇැතිවීමේ පිළිවෙළ මොළයේ අදාළ ප්‍රදේශ ක්‍රියාත්මක වීමේ පටිපාටිය සමග එකඟ වන්නේ ද යන්න ය. ඒ ප්‍රශ්නයට අපේ පිළිතුර වනුයේ එසේ එකඟ වීම අනිවාර්ය නොවන බව ය. පාදයක් මදුරුවකු කෑමට පසුව නාසයට දැනෙන ගඳක් සුවඳක් පිළිබඳ තොරතුර මොළයට දැනීම පටිපාටිය වෙනස්වී සිදුවිය හැකි බව අපේ නිගමනය වෙයි. පාදයේ සිට මොළයට ඇති දුර නාසයේ සිට මොළයට ඇති දුරට වැඩි නිසා එය එසේ සිදුවන්නේ යැයි අපි කියා සිටිමු. අවශ්‍ය නම් මෙය යමකුට පර්යේෂණයක් කර විසඳාගත හැකි ය. අපි මෙහි දී බටහිර විද්‍යාවට යටවී ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් අනුගමනය නො කරන්නෙමු. අප බටහිර විද්‍යාඥයන්ට කියා සිටින්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව අපේ දැනුමක් පිරික්සා බලන ලෙස ය. එහෙත් ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමග අප නිවැරදි බව පෙනී ගියහොත්, එයින් කියැවෙන්නේ මනස හා මොළය යනු දෙකක් පමණක් නොව මොළය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන්නේ මනස ක්‍රියාත්මක වීමෙන් පසුව බව ය.

එවැන්නක් බටහිර විද්‍යාවට පහරක් වනු ඇත. බටහිර විද්‍යාව සෑම ප්‍රපංචයක් ම ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් මනස ද, මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. බටහිර විද්‍යාවට අනුව ඩාවින්ගේ විකාශයට හසුවන සත්වයා අවසානයේ දී මිනිසා බවට පත්වෙයි. ඒ මිනිසාට මොළයක් ද වෙයි. බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාකාරීත්වය මනසක් ලෙස වැටහෙයි. එහෙත් මොළ ඇත්තේ මිනිසුන්ට පමණක් නො වේ. එසේ වුවත් මොළ ඇති අනෙක් සතුන්ට මනස් ඇති බවක් බටහිර විද්‍යාවේ නිශ්චිතව නොකියැවෙයි.

මිනිසාට පමණක් මනසක් ඇත්නම් හෝ සත්වයන් වර්ග කිහිපයකට පමණක් මනස් ඇත්නම් හෝ එසේ ඒ සතුන්ට මනස් ඇතිවීමටත් අනෙක් සතුන්ට මනස් නැතිවීමටත් හේතුව කුමක් දැයි බටහිර විද්‍යාවෙන් පැහැදිලි විය යුතු යි. එහෙත් බටහිර විද්‍යාවෙන් එබඳු පැහැදිලි කිරීමක් නො කෙරෙයි. මිනිස් මොළයේ හා මනසක් ඇතැයි ඉඳහිට වුවත් කියැවෙන සතුන්ගේ මොළයේ ඇති එහෙත් අනෙක් සතුන්ගේ මොළයේ නැති සුවිශේෂ ගුණය කුමක් ද? සත්වයන්ගේ පරිණාමය සිදු වී ඇති ආකාරය අනුව මොළයට එසේ සුවිශේෂ තත්වයක් ඇතිවන්නේ කෙසේ ද?

මනස මොළයට ඌනනය කිරීමට උත්සාහ කරන බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ ඔවුන් මනසක් නැතැයි කියන එහෙත් මොළයක් ඇතැයි කියන සතුන්ගේ මොළ සමග මිනිස් මොළය සංසන්දනය කිරීමෙන් පසුවවත් නො වේ. මොළයේ ක්‍රියාකාරීත්ව නිසා මනස ඇතිවන්නේ යැයි කීමට බටහිර විද්‍යාඥන්ට ඇති සාධකය මිනිසුන්ට ඒ ඒ හැඟිම් ඇතිවන විට මොළයේ ඒ ඒ කොටස් ක්‍රියාකාරී වන බව පෙනීම ය. එහෙත් ඒ සම්බන්ධයෙන් මනස නිසා මොළය ක්‍රියාකාරී වන්නේ ය යන්න ද කිවහැකි ය. මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් කළ යුත්තේ ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ඉහත දක්වා ඇති ආකාරයේ පර්යේෂණ කිරීම ය.

භාවනා කිරීමේ දී යම් තරංග මොළය හා ආශ්‍රිතව ඇතිවන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ද විශාල ගැටලුවක් නො වේ. භාවනා කිරීමේ දී සිදුවන්නේ මනස යම් පිළිවෙළකට පත්කර ගැනීම ය. එනම් චිත්ත විසිරී යාමට ඉඩ නොදීම ය. එහි දී සිත එකඟ කර ගැනීමක් සිදුවේ. මෙහි දී සිත යනුවෙන් හැඳින්වෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් චිත්ත පේළියක් විය යුතු ය. එසේ නොමැතිව සිත යන්න එක සිතකට පමණක් සීමාවන්නක් විය නො හැකි ය. චිත්ත එකම අරමුණක තබාගැනීමට කරන උත්සාහය මෙහි දීි අවධාරණය කෙරෙයි.

එකක් පසු පස පහළවන චිත්ත එක් අරමුණක තබාගැනීමේ දී ඒ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ද වෙනස් වන්නේ ය යන්න මෙහි දී අපේ ප්‍රවාදය දනුව එළඹිය හැකි නිගමනය වෙයි. ඒ හේතුවෙන් මොළය ආශ්‍රිත ව ඇතිවන තරංග එක්තරා රටාවකට නිකුත්වන්නේ ය යන්න පැහැදිලි ය. මොළය හා මනස අතර සම්බන්ධය බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට නොව මනසට ප්‍රධාන තැන දී මොළය ඒ අනුව ක්‍රියාකාරී වන්නේ ය යන අයුරින් අවබෝධ කරගත හැකි ය.

මොළය නම් අවයවයක් නොමැතිව මනස තිබිය නො හැකි ද? නැතහෙත් මොළය නොමැතිව සිත් පහළ විය නො හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි සිත මිස කය නැති බඹලොව හතරක් ගැන කියැවෙයි. කයක් නොමැති විට මොළය නම් අවයවය නොමැති බව පැහැදිලි ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි පමණක් කියැවෙන්නක් කියා එය ඉවත දැමිය යුතු නො වේ. අප වෑයම් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමට ය. එහි දී අපට නව අදහස් නිර්මාණය කරගත හැක්කේ සංස්කරණය කරගත හැක්කේ අපේ සංස්කෘතිය මත පදනම් වෙමිනි. සාහිත්‍යය ද සංස්කෘතියෙහි ම කොටසකි. බෞද්ධ සාහිත්‍යයෙන් ජනප්‍රවාදයෙන් ආදිය මත පදනම් වීමෙන් පමණක් අපට අපේ ප්‍රවාද ගොඩනගා ගත හැකි ය.

බටහිරයන් කරන්නේ ද ඒ බව අමතක නොකළ යුතු ය. ඔවුහු තම සංස්කෘතියෙන් අදහස් ලබාගනිති. මුළු මහත් බටහිර විද්‍යාවේ ම කෙරෙනුයේ බයිබලය වෙනත් වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණකි. ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) පරණ තෙස්තමේන්තුවෙන් ම පැන නගින්නකි. පරණ තෙස්තමේන්ුවේ ඊනියා විඥානවාදයක් ඇතැයි කිවහැක්කේ මැවුම්කාර දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. එහෙත් දෙවියන් වහන්සේ ඉවත්කර මැවීම තබාගතහොත් පරණ තෙස්තමේන්තුව ද්‍රව්‍යවාදී පොතක් බවට පත්වෙයි. අද බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ අමතක කර ඇත. එහෙත් දෙවියන් වහන්සේ මැවූ ලෝකය සංරක්‍ෂණය කර ඇත.

ඊනියා මහා පිපුරුම යනු අන්කිසිවක් නොව දෙවියන් වහන්සේ නොමැතිව කෙරෙන නිර්මාණයකි. විශ්වයේ ද බයිබලයේ ද මුලින් ම ඇත්තේ ආලෝකය හා හයිඩ්‍රජන් වැනි ද්‍රව්‍යය. බටහිර විද්‍යාවට අනුව මේ මුල් විශ්වය විකාශය වීමෙන් වෙනත් මූල ද්‍රව්‍ය නිර්මාණය වෙයි. යම් අවස්ථාවක විශ්වයේ කාබන් ඇතිවෙයි. ඉන්පසු කාබනික ද්‍රව්‍යය ද ජීවය ද ඇතිවෙයි. ඩාවීනීය පරිණාමවාදයට අනුව ජීවය විකාශය වී සංකීර්ණ සත්තු ඇතිවෙති. පසුව වර්ධිත මොළයක් සහිත මිනිසා ඇතිවෙයි. ඒ මිනිසාට මනසක් ඇත. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ද ජීවය මැවෙන්නේ පළමු දිනයෙහි නො වේ. සතා සිවුපාවා සර්පයා මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ තම ප්‍රතිබිම්බයෙහි මිනිසා මවයි. මිනිසාට ද දෙවියන් වහන්සේට මෙන් ම මනසක් ඇත. මේ මනසක් සහිත මිනිසා බයිබලයේ ද ඇතිවන්නේ අවසානයේ දී ය. දෙවියන් වහන්සේ මිනිසා ද මවන්නේ පසෙනි. මේ කතාවෙන් දෙවියන් වහන්සේ ඉවත්කළ පසු ලැබෙන්නේ ද්‍රව්‍යයෙන් ඇතිවුණු මිනිසෙකි. බටහිර විද්‍යාව කියන්නේ ද ඒ කරුණු ම ය. බටහිර විද්‍යාවේ මිනිසාගේ මනස මොළය නම් ද්‍රව්‍යය ආශ්‍රිතව පැන නැගීම පුදුමයට කරුණක් නො වේ.