Main Logo

Wednesday 31 March 2021

ජෙනීවා ඡන්දය හා කිරිඇල්ල

 

 

ජෙනීවා ඡන්දය හා කිරිඇල්ල

 

ජෙනීවා විගඩම මාස හයකට කල් යනවා. ජෙනීවා ඡන්ද විමසීම්වල දී සිදු වී ඇති දේ විභාග කළත් පෙනේවි මේ යෝජනාවල අරමුණ මොකක් ද කියල. මේ විගඩම මුළුමනින් ම එංගලන්තයට ඕන විධියට හසුරවන එංගලන්තයේ ඊනියා සාක්‍ෂි මත තීරණය වන්නක්. මෙය එංගලන්තය විසින් වත්මන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය අප මත පටවනු ලැබීමක්. ඉංගිරිසියේ කතාවක් තියෙනව කෝල් අ ස්පේඩ් අ ස්පේඩ් කියා. එය අමු අමුවේ සිංහලට පරිවර්තනය කළොත් කියැවෙන්නේ ඉස්කෝප්පයකට ඉස්කෝප්පයක් කියා කියන කතාව.

Tuesday 30 March 2021

සමාජය හැදීම

 

සමාජය හැදීම

 

අවුරුදු හැටකට විතර ඉස්සර අපේ පාසල හා තවත් පාසලක් අතර විවාදයක් තිබුණා. ඒ විවාදයේ යෝජක පක්‍ෂය මොකක් ද ප්‍රතියෝජක පක්‍ෂය මොකක් ද කියලවත් යෝජනාව මොකක් ද කියලවත් මට මතක නැහැ. මා කොහොමටත් දත්ත ගබඩාවක් නො වෙයි. ඒත් අප විවාද කෙළේ සමාජයක් හදන්න පුළුවන් ආගමෙන් ද නීතියෙන් ද කියන එක. අප කියා සිටියේ නීතියෙන් කියා. අපි විවිධ තර්ක ගෙනාවා. විවාදයෙන් දිනුවා. එය තවත් වැඩකට නැති දිනුමක් පමණයි.

Monday 29 March 2021

කෝ මේ භූදේශපාලන යථාර්ථය

 

කෝ මේ භූදේශපාලන යථාර්ථය

 

දී කිරට බළල්ලුත් සාක්කි කිවුවලු. පළාත් සභාවලට පක්‍ෂ ව පළාත් සභා මන්ත්‍රීන් ඉදිරිපත් වෙලා. පොදු ජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය නමින් ඉන්න මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල පළාත් සභා වෙනුවෙන් මහා විදග්ධ තර්ක ගෙනැල්ල. ජනමාධ්‍යවේදීන් ඊටත් වඩා විදග්ධ නිසා ඒ සාකච්ඡාවට හොඳ ප්‍රසිද්ධියකුත් දීල. අප මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ ම එන්නෙ මාධ්‍ය ආයතන කිහිපයක් පමණයි. වරක් එසේ පැමිණි එක් මාධ්‍ය ආයතනයක් කැමරා අටවන්නෙවත් නැතිව ආපහු ගියා. කැමරා අටවන අයත් ආයතනයට ගියාට පස්සෙ ඔවුනටත් වඩා විදග්ධ ප්‍රවෘත්ති සංස්කරණය කරන අය අපේ අවියත් කතා ප්‍රචාරය කරන්නෙ නැහැ.

Sunday 28 March 2021

අත්වැඩ පරවැඩ

 

අත්වැඩ පරවැඩ

 

ලෝවැඩ සඟරාවෙ කවි පොඩි කාලෙ පාඩම් කළත් හරියට පාඩම් හිටියෙ නැහැ. ඒත් ඒ කවිවල සමහර කොටස්, පද නම් හිතේ හිටියා. ඉන් එක පදයක් තමයි අත්වැඩ පරවැඩ සම ව සිතන්නේ කියන එක. ඒ කාලෙ ගමේ ඉස්කෝලෙට යන කාලෙ නිසා අත්වැඩ කියල වෙන ම පාඩමකුත් තිබුණා. ලණු අඹරන්න පාපිසි හදන්න එහෙම ඒකෙ ඉගැන්නුව. ලණු අඹරන වැඩේ මා ආසාවෙන් කළා. ලණු අඹරනවයි කිවුවට අනිත් මිනිසුන් අමාරුවෙ දාන්න නො වෙයි. කොහු ටික ටික තියල ලණුවක් අඹරන එකත් ඉන්පසු තවත් කෙනකු සමග එකතු වී ඒ ලණුවලින් පාපිසි ගොතන එකත් හොඳ අත්දැකීමක්.

Saturday 27 March 2021

පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ රනිල් ප්‍රමුඛ යහපාලනයයි

 පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ රනිල් ප්‍රමුඛ යහපාලනයයි


 

මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ ප්‍රකාශයක් කරල. ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු පාස්කු ප්‍රහාරය ගැන කලින් නොදැන සිටි බවයි. රනිල් වික්‍රමසිංහත් සමහර විට කිසිවක් නොදැන සිටින්න ඇති. පාස්කු ප්‍රහාර කොමිසම ඔහු ගැන චෝදනාවක් කරල නැති බවයි කියන්නෙ. එක්කෝ පාස්කු ප්‍රහාරය ගැන රනිල් කලින් දැන සිටියේ නැහැ. නැත්නම් ඔහු ඒ ගැන දැන සිටි බවට කොමිසමට සාක්‍ෂි ඉදිරිපත් කෙරිල නැහැ.

Friday 26 March 2021

ඉංගිරිසි බලු ආදරය

 

ඉංගිරිසි බලු ආදරය

 

එංගලන්තය වගේ ම අනෙක් බටහිර රටවලුත් ඉන්දියාවත් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධයි. එංගලන්තය හැම අවුරුද්දක ම තවත් රටවල් කිහිපයක් එකතු කරගෙන ඔය ජෙනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයෙ රැස්වීම්වල ලංකාවට විරුද්ධ ව යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව සම්මත වුණා කියල එයට කිසිම නෛතික වලංගුබවක් ලැබෙන්නෙ නැහැ. ඊශ්‍රායලයට විරුද්ධ ව මේ වන විට යෝජනා 150ක් පමණ සම්මත කර ගෙන තියෙනවා. ඊශ්‍රායලය ඒ යෝජනා සතපහකට ගණන් ගන්නෙ නැහැ.

Thursday 25 March 2021

ජෙනීවා විගඩම කල් යයි

ජෙනීවා විගඩම කල් යයි

 

ජෙනීවා විගඩම නැවතත් හයමාසෙකට කල් යනවා. ආයෙත් සැප්තැම්බරයෙ දි තමයි විගඩම කළ එළි බහින්නෙ. විගඩම කියන එක දෙමළ වචනයක් සිංහලට අවශෝෂණය කර ගැනීමෙන් ලැබෙන්නක්. දෙමළ වචනයේ තේරුම මොකක් ද කියා මා දන්නේ නැහැ. එය සිංහල විකට යන්න සමග බැඳිල තියෙනව ද කියල දන්නෙත් නැහැ. එහෙම වුණත් විගඩම කියන්නෙ විකට කියන එකට එහා ගියා අප්‍රසන්න ප්‍රදර්ශනයක්. අප සිංහල සමාජයේ කියන්නේ මේ මොන විගඩමක් ද කියා. 

Wednesday 24 March 2021

පරිසරය සංවර්ධනය හා මෝල්ගස්

 

පරිසරය සංවර්ධනය හා මෝල්ගස්

 

මට ඇති ලොකු ම ශක්තිය මා උගතකු බුද්ධිමතකු වියතකු නො වීම. ලංකාවට ඇති ලොකු ම ප්‍රශ්නය උගතුන් බුද්ධිමතුන් වියතුන් වැඩි වීම. සිංහලයන් අතර බහුතරය බෞද්ධයන්. බෞද්ධයන් නිතර දෙවේලේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කියවනවා. එහෙත් ඔවුන් මධ්‍යම ප්‍රතිපදාව මොකක් ද කියා කියන්න දන්නේ නැහැ.

Tuesday 23 March 2021

එංගලන්තය හා භර්යාවට පහර දීම

 

එංගලන්තය හා භර්යාවට පහර දීම

 

එක්තරා ඉංජිනේරු මහාචාර්යවරයෙක් කියා තිබුණා ලංකාවට විරුද්ධව ජෙනීවාහී මානව අයිතිවාසිකම් කමිටුවේ යෝජනා ගෙන එන රටවල මානව අයිතිවාසිකම් කඩකිරීම් හොයන එක වැඩකට නැති වැඩක් කියල. ඔහු  මා හිතන්නෙ අවුරුදු හැටක් පමණ මාක්ස්වාදියකුව හිටිය අයෙක්. ඔහුගෙ සම්භවය දෙමළ ක්‍රිස්තියානි. ඇහුවොත් කියාවි ඔහුට ආගමක් නැහැ වගේ කතා.

Monday 22 March 2021

ජාතික චින්තනය හා අප

 

ජාතික චින්තනය හා අප

 

ඇතැමුන් ප්‍රශ්න කරනවා පසුගිය දා ජනාධිපතිතුමා මාධ්‍ය ගැන සඳහන් කරමින් ජාතික චින්තන කණ්ඩායමක් ගැන කීවේ අප ඉලක්ක කර ගනිමින් ද කියා. ඉතා පැහැදිලිව කියන්න ඕන අප අසත්‍ය ප්‍රචාර නොකරන බවත් අපට කිනම් අර්ථයකින්වත් මහාරාජාලා හෝ චුලරාජාලා හෝ වීමට අනවශ්‍ය බවත්.

Sunday 21 March 2021

මධ්‍යම පංතිකයන් බිය වද්දන ජෙනීවා

 

මධ්‍යම පංතිකයන්  බිය වද්දන ජෙනීවා

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කියන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයේ එක් දේශපාලන මණ්ඩලයක ලංකාවට විරුද්ධ ව එංගලන්තය ප්‍රමුඛ රටවල් කිහිපයක් ගෙනෙන යෝජනාවට හෙට ඡන්දය පැවැත්වීමට නියමිතයි. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඡන්දයක් ගනීවි කියා. යම් රටක් ඉල්ලා සිටින්න ඕන ඡන්දයක් ගන්න කියා. නැත්නම් යෝජනාව සම්මුතියෙන් සම්මත වූ ලෙස සලකන්න පුළුවන්. යෝජනාව එලෙස සම්මුතියෙන් සම්මත වූවක් ලෙස සැලකෙනවාට වඩා පරාජය වෙන එක හොඳයි.

Saturday 20 March 2021

නිවට සිංහල ඩීල් දේශපාලනඥයෝ

 

නිවට සිංහල ඩීල් දේශපාලනඥයෝ

 

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදීන්, අපට සංකල්ප හා ප්‍රවාද තනා අප මත පටවන ඊනියා ජාත්‍යන්තර බුද්ධිමතුන්, එංගලන්තය ප්‍රමුඛ බටහිර ක්‍රිස්තියානි රටවල්, බෞද්ධ සංස්කෘතියට මතුපිටින් පමණක් ගරු කරන ඉන්දීය හින්දූ කෞටිල්‍යයන්, අරාබිකරයේ ඇතැම් මුස්ලිම් රටවලින් මුදල් ලබන මෙරට මුස්ලිම් බැතිමතුන්, සිංහල බෞද්ධ පවුල්වල ඉපිද යම් සමාජයීය හේතුවක් නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ බටහිර ක්‍රිස්තියානි මතවාද පිළිගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දකින පඬිනැට්ටන් , සියල්ල දත් ජනමාධ්‍යවේදීන්ගෙන් ඉතා වැඩි පිරිසක්, සමස්තයක් ලෙස ගත්කල ඊනියා උගතුන් ආදීන් සියලු දෙනා එකතු වී නිදහසින් පසු කර ඇත්තේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට තිබූ සුවිශේෂත්වය නැති කර ගැනීමයි. සිංහල බෞද්ධ රට සර්වාගමික රටක් බවට පත් කිරීමට මේ සියලු දෙනා සමත් වී තිබෙනවා. මා ඉතා පැහැදිලිව කියන්න ඕන මෙවර මියන්මාහි පැවැත් වූ අපේ නිල ජාතික දිනය සැමරීමේ උත්සවය සර්වාගමික නොවූ බවත් එය මියන්මා භික්‍ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැත් වූ සිංහල බෞද්ධ උත්සවයක් වූ බවත්.

Friday 19 March 2021

සිංහල බෞද්ධ සංස්කෘතික සුවිශේෂත්වය

සිංහල බෞද්ධ සංස්කෘතික සුවිශේෂත්වය

 

මෙම ලිපි පෙළ ලිවීමේ අරමුණ මුස්ලිම් ආගම්වාදය (ජාතිවාදය) යනු කුමක් දැයි තේරුම් ගැනීමත් අසත් සාලි වැන්නන්ගේ තර්ජන හා ගර්ජන තේරුම් ගැනීමත්. එහෙත් මෙවැනි ලිපි පෙළකින් එතරම් වැඩක් තියෙනව ද කියන එක ප්‍රශ්නයක්. අද ජනප්‍රිය විනාඩි 15 -– 30 රූහඬ පට ප්‍රචාරය කිරීම හා ඒ නැරඹීම. එය අද ස්වයං රැකියාවක් බවට පත් වෙලා. මා මේ ලිපි ලියන්නේ මූලික ව කාලය වෙබ් අඩවියට. එය මුහුණු පොතේත් පළ කිරීමට කටයුතු යොදා තියෙනවා. චින්තන පර්ෂදය කාලය වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ මුදල් ගෙවීමෙන්.

Thursday 18 March 2021

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය හා බහු සංස්කෘතික බහුබූතය

 

මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය හා බහු සංස්කෘතික බහුබූතය

 

අෂ්රොෆ්ගේ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට එරෙහිව සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර පැහැදිලි දේශපාලන දර්ශනයක් මතවාදයක් ගොඩනගා ගැනීමට  නොහැකි වුණා. දෙමළ ජාතිවාදයේ සුළ මුළ දැන ගැනීමට හැකි වුවත් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය ගැන පැහැදිලි යමක් දැක ගැනීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලය වූයේ විදේශීය බලවතුන් තව තවත් එයට මැදිහත් වීමයි. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට විරුද්ධ ව සිංහල බෞද්ධයන් මෙහෙයවීමට සමත් වුණා.

Wednesday 17 March 2021

මා අසමත්

 

මා අසමත්

 

ජාතික වශයෙන් කිසිම වැදගත්කමක් නැති කතාවකට ප්‍රවෘත්තිමය වැදගත්කමක් දීමට හැකි බව මගේ අස්වීමේ කතාවෙන් පැහැදිලි වෙනවා. මා මියන්මාහි ලංකා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ වැඩ භාරගෙන සති දෙකකින් පමණ. මා මියන්මා රටට පැමිණියේ ථෙරවාද රටවල් අතර සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට. එහෙත් එය කළ නොහැකි බව සති දෙකකින් ම වැටහුණා. එහෙත් මා හිතුවා වෙනත් දෙයින් සේවයක් කිරීමට. තානාපතිකම ලිපි ගොනු අතර හිරවීමකට වැඩි දෙයක් නො වෙයි. නිර්මාණශීලීත්වයක් ඇති අයට එය එසේ නොවනවා වෙන්න පුළුවන්. එහෙත් මට එවැනි දක්‍ෂතාවක් නැහැ. දැන් මා මියන්මා දේශයට පැමිණ මාස දහයක් වෙනවා. මගේ තීරණය ප්‍රකාශ කිරීමට ආසන්න හේතු වූයේ ධීවරයන්ගේ ප්‍රශ්නය. එයට ටික කලකට කලින් මහා සඟ රුවන ජනාධිපතිතුමාට ප්‍රකාශ කර තිබුණා විශ්‍රාම ගිය අය තානාපති ධූරවලට පත් නොකළ යුතු බවත් මියන්මාහි හා තායිලන්තයේ තානාපති ධුර සඳහා බෞද්ධ දර්ශනය ගැන වැටහීමක් ඇති සැදැහැවතුන් පත් කළ යුතු බවත්.

Tuesday 16 March 2021

අෂ්රොෆ් දේශපාලනය

 

අෂ්රොෆ් දේශපාලනය

 

අෂ්රොෆ් දැන සිටියා ඊනියා මුස්ලිම් කලාපයක් ලබා ගැනීම සිහිනයක් බව. ඔහු නැගෙනහිර පළාතේ ඉස්ලාම් භක්තිකයෙක්. ඔහුගේ භාර්යාව ෆේරියල් අෂ්රොෆ් ගම්පොළ තරමක් නාගරික ව හැදුණු වැඩුණු අයෙක්. මා කියවා තිබෙනවා අෂ්රොෆ්ට මුල දී ෆේරියල් එතරම් නිදහසකින් හැසිරෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට නොහැකි වූ බව සඳහන් ලිපියක්. මා මෙයින් කීමට අදහස් කරන්නේ අෂ්රොෆ් මුස්ලිම් නායකත්වයේ කළ වෙනස ගැනයි.

Monday 15 March 2021

අසත් සාලි හා තානාපති ප්‍රශ්නය

 

අසත් සාලි හා තානාපති ප්‍රශ්නය

 

මගේ මුහුණූ පොතේ තැබූ සටහනක් එක් එක්  අය තම තමන්ට සාපේක්‍ෂව කියවා ගනු පෙනෙන්නට තියෙනවා.  මා තානාපති තනතුරෙන් අස්වීමට තීරණය කළේ ඇයි ද යන්න වැඩ බැරි තානාපති ලිපියේ පැහැදිලි ව කියා තියෙනවා. එක් හේතුවක් මගේ බැරි කම, තවත් හේතුවක් මහා සංඝ රත්නය මා වැනි හැට පිරුණු අය තානාපති සේවයේ යෙදවීම නුසුදුසු බව ප්‍රකාශ කිරීම හා මියන්මා රටට හා තායිලන්තයට බෞද්ධ දර්ශනය ගැන දැනීමක් ඇති අය පත්කළ යුතු බව ප්‍රකාශ කිරීම. කෙසේ වෙතත් මා ධීවරයන්ගේ ප්‍රශ්නය දෙකෙන් එකක් වන තුරු හා බිම්ස්ටෙක් විදේශ ඇමති අතථ්‍ය (virtual) රැස්වීම අවසන් වන තුරු තානාපති ලෙස රැඳී ඉන්න බව සඳහන් කර ඇති. ධීවරයන්ගේ ප්‍රශ්න ගැනත් කියා ඇති. අප මියන්මාහි අදාළ නිලධාරීන් සමග කටයුතු කරන බවත් ඔවුන්ගේ මාර්ගයෙන් ධීවරයන් සමග සම්බන්ධ වීමට උත්සාහ කරන බවත් එක් වරක් දැනට කතා කර ඇති බවත් සඳහන් කර ඇති.  අදාළ නිලධාරීන් අපට පවසා ඇත්තේ මියන්මා නීතිය යටතේ ධීවරයන් මියන්මා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වීම ගැන නඩු පවරන බවත්.      

Sunday 14 March 2021

ධීවරයන්ගෙන් එහා ලෝකයක්

 

ධීවරයන්ගෙන් එහා ලෝකයක්

 

මා ඊයේ ලිපියෙන් කියා සිටියේ මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ධීවරයන් සම්බන්ධයෙන් කිසිවක් කර නොමැති බව නො වෙයි. ධීවරයන් තානාපති කාර්යාලය එක්  වරක් පමණක් කතා කර ඇති බව කියා තියෙනවා. එයට හේතුව එක්  වරක් පමණක් කතා කිරීමට අවස්ථාව ලැබීම. එහෙත් අප කිහිප වරක් ම ඔවුන් සමග කතා කිරීමට උත්සාහ ගත්තා. විවිධ දේශපාලන හා පරිපාලන හේතු නිසයි එසේ නොහැකි වී ඇත්තේ. ඒ සියල්ල හෙළිදරවු කිරීම අනිසි ක්‍රියාවක්. අපට තානාපති කාර්යාලය ලෙස කටයුතු කිරීමට සිදුවන්නේ නිල ආකාරයකට.

Saturday 13 March 2021

වැඩ බැරි තානාපති

 

 

වැඩ බැරි තානාපති

 

ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනකු මියන්මා මුහුදු සීමාවට ඇවිත්. ඔවුන් පිළිගන්නවා තමන් වරදක් කර ඇති බව. දැනට ඔවුන් මියන්මා පොලීසියක රඳවා සිටිනවා. ඔවුන් දැනට අප දැනුවත් ව දෙවරක් අධිකරණය ඉදිරියට පමුණුවා තියනවා. අපට ඔවුන් හමුවීමට නොහැකි වුණා. මියන්මා රටේ අප ඉන්නේ යැන්ගොන් ප්‍රදේශයේ. ධීවරයන් රඳවා ඇත්තේ ඉරවෙඩි කියන ප්‍රදේශයේ. කොවිඩ් නිසා ප්‍රදේශාන්තර ගමන් බිමන් තහනම් කෙරිලා. ඒ මදිවට දේශපාලන ප්‍රශ්නයකුත් මතු වෙලා. අප ඉන්නා තැන සිට ධීවරයන් රඳවා ඇති තැනට කිලෝමීටර දෙසිය පනහක් පමණ තියෙනවා.

Friday 12 March 2021

නිවට කම නැති කර ගන්නේ කොහොමද?

 

නිවට කම නැති කර ගන්නේ කොහොමද?

 

අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි ඉතිහාසයක සිංහලයන් මෙතරම් නිවටයන් වූ අවධියක් සිතා ගන්න බැහැ. අපට විවිධ විජාතික ආක්‍රමණ තිබුණා. ඒ සෑම අවස්ථාවක දී ම කිහිප දෙනකු ආක්‍රමණිකයාගේ පැත්ත ගත් නමුත් අප නිවටයන් වුණේ නැහැ. ආක්‍රමණිකයන් වහසි බස් කියන්න ඇති. එහෙත් අප ඒවාට නිසි පිළිතුරු දෙන්න ඇති.

Thursday 11 March 2021

අසත්සාලිගෙ උඩ කරණම්

 

අසත්සාලිගෙ උඩ කරණම්

 

පසුගිය දා තවත් ජනමාධ්‍ය හමුවක දී අසාද් සාලි මා හිතන විධියට සිංහල බෞද්ධයනට වැදගත් පාඩමක් ඉගැන්නුවා. ඔහු පාඩමක් ඉගැන්නුවේ කරුණු දැන ගෙන නො වෙයි. ඔහු තම නොදන්නා කමට බොහෝ දේ කියා ගෙන ගියා. ඔහු සිංහල බෞද්ධයනට පාඩමක් ඉගැන්නුවේ ඊනියා කරුණු පිළිබඳ ව නොවෙයි. ඔහුගේ  එඩිතරකම, අවියත් බව අමතක කළහොත් කැපී පෙනුණා. ඒත් මේ එඩිතරකමත් අනෙක් දේ මෙන් ම සාපේක්‍ෂයි. ඔහු එඩිතර වන්නේ සිංහල බෞද්ධයන් ඉදිරියේ බව අමතක නොකළ යුතුයි. 

Wednesday 10 March 2021

අපි වෙනුවෙන් අපි

 

අපි වෙනුවෙන් අපි

 

යම්කිසි රටක තිබිය යුතු රාජ්‍යය කුමක් ද? ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ද? ඊනියා සමාජවාදී රාජ්‍යයක් ද? ඒකාධිපති රාජ්‍යයක් ද? කතිපයාධිපත්‍යයක් ද? හමුදා රාජයක් ද? දාර්ශනිකයන්ගේ රාජ්‍යයක් ද? නිර්රාජ්‍යයක් ද එනම් රාජ්‍යයක් නොමැති රටක් ද? අපේ සමාජයේ කියමනක් තියෙනවා රටක් රාජ්‍යයක් ලැබුණ වගේ කියල. ඒක හොඳ කියමනක්. පඬිනැට්ටන්ට අනුව නම් මෝඩ ගැමියන් බයියන් වූ අපේ රටේ ජනතාව රටක් කියන එක හා රාජ්‍යයක් කියන එකේ වෙනස දැනගෙන ඉඳලා තියෙනවා. ඒ විතරක් නො වෙයි ඒ මෝඩ ගැමියන් රාජ්‍යයක් නැති රටක් ගැන මාක්ස්ට ඉස්සෙල්ල දැනගෙන ඉඳලා තියෙනවා. ඒක මාක්ස්ගෙ හිතළුව වගේ නම් නො වෙයි.

Tuesday 9 March 2021

දුම්රිය පාරේ නීතිය හා ජෙනීවා

 

දුම්රිය පාරේ නීතිය හා ජෙනීවා

 

ලංකාවට විරුද්ධ ව බටහිර රටවලට කළ හැකි ඉටිගෙඩියක් නැහැ. ඔවුන්ට වැඩිම වුවහොත් කළ හැක්කේ ආර්ථික සම්බාධක පැමිණවීම පමණයි. එහෙත් ඒ තනි තනි රටවල් වශයෙන් මිස එක්සත් ජාතීන්ගේ සංවිධානය වශයෙන් නොවෙයි. චීනය හා රුසියාව අපට විරුද්ධ ව ගෙනෙන යෝජනාවක දී නිෂේධ බලය යොදා ගන්නවා. අප කුඩා කල පාසල් ගියේ දුම්රියෙන්. අපට සමහර අවස්ථාවල දී දුම්රිය පාරේ ඇවිද ගෙන යන්න සිද්ධ වුණා. එය නීති විරෝධියි. එහෙත් ඒ නීතියට කිසිවකු කිසි ගරු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.

Monday 8 March 2021

විදේශ සේවය හා ජනමාධ්‍ය

 

විදේශ සේවය හා ජනමාධ්‍ය

 

පසුගිය දා මා තානාපති බලාපොරොත්තුව මැයෙන් ලිපියක් ලිවුවා. මා එහි කියා තිබුණා තානාපති සේවය ගැන මට කීමට කරුණු ඇතත් මා ඒ සේවයෙන් ඉවත් වූ පසු කියනවා කියා. එක් වෙබ් අඩවියක් ලිපිය පළ කර තිබුණේ මට ශ්‍රී ලංකා තානාපති සේවය ගැන කියන්න දේ තිබෙන බව මාතෘකාවේ ම කියමින්. මා ලිපියේ කොහේවත් ශ්‍රී ලංකා තානාපති සේවය ගැන කියනවා කියා තිබුණේ නැහැ. වෙබ් අඩවිය පළකරන්නා තමාට වුවමනා දෙයක් මගේ කර පිටින් කියලා.

Sunday 7 March 2021

පාස්කු ප්‍රහාරය හා දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටවීම

 

පාස්කු ප්‍රහාරය හා දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටවීම

 

පාස්කු ප්‍රහාරය ගැන වඩාත් ම කණස්සල්ලට පත් ව ඉන්නේ කාදිනල්තුමා වෙන්න පුළුවන්. ඒක එහෙම නම් වරදකුත් නැහැ. එතුමා මෙරට කතෝලික ජනයාගේ ප්‍රධානියා. එතුමා කතා කරන්නේ මෙරට කතෝලික ජනතාව වෙනුවෙන් කියල හිතමු. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රහාරය කතෝලික ජනයාට පමණක් එල්ල කළ ප්‍රහාරයක් ලෙස  සලකන්නෙ ඇයි? මීට ඉහත කොටි සංවිධානය දළදා මාළිගාවට පහර දුන්නා. අරන්තලාවෙ භික්‍ෂූන් වහන්සේ ඝාතනය කළා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ මිනී මැරුවා.  මට මතක නැහැ ඒ කිසිවක් බෞද්ධයනට පමණක් එල්ල කළ ප්‍රහාර ලෙස සැලකුවා කියා.

Saturday 6 March 2021

සමාජ පිළිගැනීම හා පාරම්පරික වෙදකම

 

          සමාජ පිළිගැනීම හා පාරම්පරික වෙදකම

 

පාරම්පරික වෙදකම නගා සිටුවීමට පාරම්පරික වෙදකම සඳහා වෙන ම වෛද්‍ය සභාවක් පිහිටුවිය යුතු බව අප කියන්නේ අද ඊයේ නො වේ. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. පාරම්පරික වෙද මහතුන්ට අද ලියා පදිංචි වීමට සිදු වී ඇත්තේ ආයුර්වේද වෛද්‍ය  සභාවේ. එක්තරා ආකාරයකින් ගතහොත් පාරම්පරික වෙදකම අද ඇත්තේ ආයුර්වේදය යටතේ.

Friday 5 March 2021

වෙද මහතකු හරි නීතිඥයකු හරි තෝරා ගැනීම

 

වෙද මහතකු හරි නීතිඥයකු හරි තෝරා ගැනීම

 

මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ කතා කරන එක හොඳයි. ඒකෙ පැති ගණනාවක් තියෙනවා. කවුරු හරි කිවුවොත් තමන්ට දෙවියන්ගෙන් හරි භූතයකුගෙන් හරි දැනුම ලැබෙනව කියල අපි එය විශ්වාස කරන්නෙ කොහො ම ද? ඕනෑම හොරෙකුට තමන්ට දෙවියන් සම්බන්ධ යැයි කියමින් අනෙක් මිනිසුන් රවටන්න බැරි ද? මේ ලියා පදිංචි නැති දැනුම අප විශ්වාස කරන්නේ කෙසේ ද?

Thursday 4 March 2021

සංඛ අමර්ජිත්ගේ ප්‍රශ්නය හා ජනමාධ්‍ය

 

සංඛ අමර්ජිත්ගේ ප්‍රශ්නය හා ජනමාධ්‍ය

 

ඊයේ අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මුහුණු සමග අලුත් අදහස් සාකච්ඡා වුණා. දැනුම් පද්ධති ගැන, බටහිර විද්‍යාව ගැන, බටහිර හා පෙරදිග වෙදකම ගැන කතා වුණා. එහි දී සංඛ අමර්ජිත් ඇසූ වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීමේ අවස්ථාව මග හැරී ගියා. ඔවැනි සංවාදවල දී එසේ වන අවස්ථා එමටයි. මගේ අත්දැකීමෙන් ද මා ඒ බව දන්නවා. ප්‍රශ්නයක් අසා උත්තරයක් දෙමින් සිටිය දී අතුරු මාතෘකාවක් අනුව ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අතුරු මාතෘකාවක් ඔස්සේ කතාව ඇදී යන්න පුළුවන්. එවිට අර පළමු ප්‍රශ්නය අමතක වෙනවා.

Wednesday 3 March 2021

අනේ කුඹින්නේ

 

අනේ කුඹින්නේ

 

තවත් කළු දිනයක්. ඒ ගමන කළු ඉරිදාවක්. කළු මළගමට නරකට තියෙන පාටක්. ඒත් බෞද්ධයන් අතර නොවෙයි. බෞද්ධයන් නම් මළගමටත් පින්කමටත් සුදු අඳින්නෙ. ඒක කවද පටන් ගත්ත එකක් ද දන්නෙ නැහැ. ඒත් බෞද්ධයන් කළු නම් අඳින්නෙ නැහැ. නීතිඥයන් නම් කළු අඳිනවා. කළු කර පටියක් ද බඳිනවා. ඒකෙ තේරුම දන්නෙ නැහැ. නීතිඥයන් අයහපත් බවේ සංකේත ද? ඒ වුණත් ලංකාවෙ නීතිඥවරියන් නම් කැමති සුදු අඳින්න වගෙයි. ප්‍රථම උපාධි ලෝගුවත් කළු පාටයි. ඒකෙ තේරුම මොකක් ද? සාමාන්‍යයෙන් බටහිර ක්‍රමයට අඳින මනමාලයන් අඳින්නෙත් කළු කබායක් සහ කළු කලිසමක්. කොහොමත් බටහිර කබාය හා කලිසම සාමාන්‍යයෙන් කළු. බටහිරයන් කළු පාටට මෙතරම් කැමති ඇයි. ඔවුන් අවිඥානික ව දන්න දෙයක් තියෙනවා ද? ඊනියා මනෝ විශ්ලෙෂකයකුට එයට කතාවක් හදන්න පුළුවන් ද?

Tuesday 2 March 2021

තානාපති බලාපොරොත්තුව

 

තානාපති බලාපොරොත්තුව

 

මේ ලිපි මුහුණු පොතේ මා නමින් ඇති පිටුවේ පළ වන නමුත් කලක සිට ඒ පළ කෙරෙන්නේ වෙනත් අය විසින්. මා ලිපිය ලියා ඔවුන්ට යැවීම පමණයි කරන්නේ. මට මුහුණු පොතට එළඹෙන්න බැහැ. ඔබ මට මුහුණු පොත මගින් එවන පණිවුඩ එකක්වත් මට නොලැබෙන බව මතක් කර ගන්නේ නම් හොඳයි. එමෙන් ම ඔබ දක්වන ප්‍රතිචාර ද මට කියවීමට ලැබෙන්නේ නැහැ.