Main Logo

Showing posts with label logic. Show all posts
Showing posts with label logic. Show all posts

Friday, 12 June 2020

යළි සිංහල බෞද්ධයකු වීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




යළි සිංහල බෞද්ධයකු වීම


මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නො වෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ සිට තිබුණෙ. එහෙත් 1980 පමණ වන විට ඒ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. 1970 වන විට මා දැන ගෙන හිටියා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. අවුරුදු එකහමාරෙන්  ආචාර්ය උපාධියක් ලබා ගැනීම නේචර් වැනි සඟරාවල පත්‍රිකා පළ කිරීම ඒ තරම් වැඩ නො වෙයි. අමාරු වැඩේ මේවයින් කැඩෙන එක.  එතකොට (1970) මට වයස විසිපහක් පමණ ඇති. දැන් වයස ඒ වගේ තුන් ගුණයක්. 

Monday, 23 March 2020

කොවිඩ් දෙරණ හා අප

    සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් දෙරණ හා අප 



ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්. 

Friday, 6 March 2020

නව දේශපාලනයක්

   සිංහල ලිත් ඉලක්කම් 


නව දේශපාලනයක්


අද මෙරට දේශපාලනයේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දමනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසින් නොවේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වීමට කරුණු සැලසූ අය එයට වග කියන්න ඕන. එයින් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කෙළේ ඒ පිරිස බවයි. සිරිසේනත් සමග යම් පිරිසක් යහපාලනයට ගියා. ඔවුන් යහපාලන දින සියයේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රසන්න රණතුංගත් යහපාලන මුල් ම කාලයේ සිරිසේනට ගෑවී සිටියේ. ඔහු අද කියනවා සිරිසේනට ගෑවී සිටි කිසිම අයකුට ඡන්දය නොදිය යුතු බව. ඒකත් හොඳ කියමනක්. 

Friday, 31 January 2020

තර්කය හා නිර්මාණය

                     සිංහල ලිත් ඉලක්කම්



තර්කය හා නිර්මාණය



මට ඊයේ පැරණි හිතවතකු හමු වුණා. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උගත් අයෙක්. දැන් පිටරටක ජීවත් වෙනවා. නමින් නම් ඔහු මුස්ලිම්. එහෙත් සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඔහුගේ ආගම මොකක් ද කියා මා ඇහුවේ නැහැ. ඔහු නිරාගමික පඬියකු නම් නො වෙයි. ඔහුට බොහෝ සිංහල බෞද්ධයනට වඩා මා කියන දේ ගැන වැටහීමක් තියෙනවා. ඔහුට මගේ ලිපි සියල්ල කියවන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙත් මගේ ලිපිවල ආකෘතිය හා ශෛලිය ගැන මනා අවබෝධයක් තියෙනවා. 

Monday, 24 June 2019

එකුන් විස්ස හෙවත් දහනවය

එකුන් විස්ස හෙවත් දහනවය 



සිංහල භාෂාව හරි ම ක්‍රමානුකූලයි. දැන් සිංහලයන්ට ක්‍රමයක් නැති එක වෙන ම ප්‍රශ්නයක්. එකුන් විස්ස කියන්නෙ එකක් අඩු විස්ස. එකක් වැඩි වුණා ම ඒක විසි එක වෙනවා. අද කතාව එකුන් විස්ස ගැන. මෛත්‍රිපාල දහනවයට විරුද්ධ ව කතා කරලා. දහඅටටත් විරුද්ධ කියල කියනවා. හැබැයි එයත් දහඅටට ඡන්දෙ දුන්න. දහනවය සම්මත කර ගන්න එයා සමග තකතීරු යහපාලනේට ගිය ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්න. ඔය දෙකට ම මහින්දත් පක්‍ෂ වුණා. දහඅට සම්මත කර ගත්තෙ මහින්ද ජනාධිපති වෙලා ඉන්න කොට. ඒක සම්මත කර ගත්තෙ මූලික වශයෙන් ම මහින්දට තුන්වැනි වතාවකටත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන විධියට. 

Wednesday, 5 June 2019

රාමළාන් හඳ

රාමළාන් හඳ 


අද රාමළාන්. ඒත් මා හඳ බලන්න පාතිමාට එන්න කියන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව මගේ භාර්යාව සමගවත් හඳ බලන්න මගේ වයස අනුව හිතෙන්නෙ නැති නිසා. දෙවනුව හඳ බැලීමෙන් පමණක් සිංහල - මුස්ලිම් සහජීවනයක් (ඊනියා සංහිඳියාවක් නොව) ඇති කරන්න බැරි නිසා. ජඩමාධ්‍ය සුපුරුදු පරිදි මේ අදහස්වලට ප්‍රචාරයක් නොදේවි. දැන් පෝය හැටකට වැඩි කාලයක් ජනමාධ්‍ය මා අත්හැර ගොස්. ඊයේ මට කුලියාපිටියේ දී අවුරුදු තිහකට පමණ පසු හමු වූ අයකු ඇසුවේ මා දැන් නිහඬ ඇයි කියා. මා නිහඬ නැති බවත් ඒත් මගේ හඬ පිටවන්නට ඉඩක් නැති බවත් මා කී විට ඔහුට මා කියන දේ තේරුම් ගියා. එහෙත් මා කියන දේ සමාජයට නොගිහින් තියෙන්නේ නැහැ. ජඩමාධ්‍ය කුමක් කළත් ඒ අදහස් රටට යනවා.

Saturday, 2 June 2018

බටහිර දැනුමේ පදනම හා විශ්වාසය දේශපාලන ආධිපත්‍යයයි


බටහිර දැනුමේ පදනම හා විශ්වාසය  දේශපාලන ආධිපත්‍යයයි



බටහිර විද්‍යාවේ ඕනෑම ප්‍රතිඵලයක් ඕනෑම අයකුට ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මේ කතාව බොරුවක් බව ෆෙයරාබන්ඩ් කරුණු සහිත ව පෙන්නල දීලා දැන් දශක ගණනාවක් වුණත් තවමත් බොහෝ දෙනා හිතන්නෙ ඕනෑම කෙනකුට බටහිර විද්‍යාවෙ තියෙන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. බටහිර විද්‍යාව රැඳිලා තියෙන්නෙ මේ වගේ බොරු කතාත් මත.

Friday, 23 June 2017

ද්විකෝටිකය ගැන  



ද්විකෝටිකය ගැන



පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන සෑම ප්‍රතිචාරයක් ම මා කියවන්නේ නැහැ. කියවන ඇතැම් ප්‍රතිචාරවලට පමණක් මා පිළිතුරු ලියනවා. ඒත් එයත් කලාතුරකින්. මුහුණු පොතේ අන් අයගේ ගිණුම් මා කියවන්නේ නැහැ. ඇතැම් විට මගේ මුහුණු පොත් මිතුරන්ගේ කැමැත්ත පළ කරන හෝ බෙදා හදා ගන්නා හෝ ලිපි ආදිය මගේ මුහුණු පොත් ගිණුමටත් ලැබෙනවා. මා ඉන් සමහරක් කියවා ඉතා සුළු ප්‍රමාණයකට පමණක් ප්‍රතිචාර දක්වනවා.

Thursday, 12 January 2017

ත්‍රිකෝටික න්‍යාය

ත්‍රිකෝටික න්‍යාය

න්‍යාය නැත්නම් නය කියලා කියන්නෙ ඉංගිරිසියෙන් ලොජික් කියන එකට. හැබැයි ඉංගිරිසි ලොජික් හා න්‍යාය කියන්නෙ දෙක ම එකක් ද කියන ප්‍රශ්නය තියෙනවා. ලොජික් කියන්නෙ තර්කය නම් නො වෙයි. සමහර වෙලාවට ලොජිකල් කියන එකට තර්කානුකූල කියල කියනවා. ඒකත් වැරදියි. ලොජිකල් කියන්නට යෙදිය යුත්තේ න්‍යායානුකූල කියන්නයි. ඒත් අද න්‍යාය කියල කියන්නෙ සාමාන්‍යයෙන් ඉංගිරිසියෙන් තියරි කියන එකටයි. තියරි කියන එකට යෙදිය යුත්තේ ප්‍රවාද යන්නයි. මේ පටලැවිල්ල පැත්තකින් තියලා අපි ලොජික් යන්නට නය නැත්නම් න්‍යාය යොදාගනිමු.

Friday, 30 December 2016

පශ්චාත් සත්‍යය

පශ්චාත් සත්‍යය

පශ්චාත් සත්‍යය කියන සංකල්පය වසර කිහිපයක් පැරණි එකක්. ඒත් අපේ පඬියන් තවම එය භාවිතා කරනු දැක නැහැ. බටහිරයන්ගේ නොයෙකුත් පශ්චාත්තාප පශ්චාත් සංකල්ප මෙන් ම මෙයත් සිදුවෙමින් පවත්නා වෙනස්කම් තේරුම් ගැනීමට බැරුව සංස්කරණය කරන ලද තවත් පුහු සංකල්පයක්. මේ පුහු සංකල්ප අතර වඩාත් ම පුස්ස වන්නේ පශ්චාත්නූතනත්වයයි. බටහිරයන් පහළොස්වැනි සියවසේ අග සිට ක්‍රමයෙන් ගොඩ නගාගත් සංකල්පීය ලෝකය පසුගිය සියවසේ තුන්වැනි දශකයේ පමණ සිට කඩා වැටෙමින් පවතිනවා. මා නොයෙක් වර සඳහන් කර ඇති ආකාරයට ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චිතතා මූලධර්මය, ද්විත්ව සිදුරු පරීක්‍ෂණය හා ගණිතයේ ගර්ඩ්ල්ගේ අසම්පූර්ණතා ප්‍රමේය දෙක මෙහි දී වැදගත් කාර්යභාරයක් ඉටු කළා. මෙය අප එකතු කළ නව දැනුමක්.

Saturday, 23 July 2016

A=A විය හැකි ද?

A=A විය හැකි ද?


එක් අයකු අහලා තිබුණා A=A ගැන ප්‍රශ්නයක්. මෙය සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලීය න්‍යාය එහෙමත් නැත්නම් රූපික ද්විකෝටික, එනම් අන්ත හෙවත් කෝටික දෙකක් පමණක් ඇති න්‍යායේ මුල. මෙතනින් තමයි ඒ න්‍යායේ හැම දෙයක් ම පටන් ගැනෙන්නෙ. බටහිර ගණිතය කෙරෙන්නෙ මෙය උපකල්පනය කරමින් කියලා බටහිරයන් හිතනවා. ඒත් පාසලේ කියන විධියට කලනයේ දී නැත්නම් විශ්වවිද්‍යාලයේදී කියන විධියට විශ්ලේෂණයෙහි දී සීමාව හොයන විට මෙය අනුගමනය කෙරෙන්නේ නැහැ. ඒ නිසා ම වක්‍රයකට ස්පර්ශක අඳින කොට, අංශුවක ප්‍රවේගය හොයන විට බොරුවක් කරනවා. ඇතැම් බටහිරයන්ටත් මේ බොරුව තේරෙනවා. ඔවුන්  සීමාව නැති කලනයක් ගැන කතා කරනවා. එහෙත් බොරුවෙන් ගොඩ එන්න බැහැ.

Wednesday, 19 February 2014

ගෙදර යෑම, හඳට යෑම හා පරළොව යෑම


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා මගෙන් ප්‍රශ්න දෙකක් අසා ඇති බවත් මා එතුමාගෙන් ප්‍රශ්න ඇසීමට පෙර ඒවාට පිළිතුරු දිය යුතු බවත් තම පෙබරවාරි 12 ලිපියෙන් කියා සිටියි. ඒ ප්‍රශ්න   මෙසේ ය. 1) නිව්ටන්ගේ න්‍යාය බොරු නම් ඒවා යොදාගෙන හඳට යන්නේ කෙසේ ද? 2) යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා - කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන්ගේ උදව් ඇතිව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? මෙහි න්‍යාය යනුවෙන් සඳහන්වන්නේ ඉංගිරිසියෙන් තියරි (theory) යනුවෙන් කියැවෙන්න ය. 

පාරිභාෂික ශබ්දමාලාවල තියරී යන්න වෙනුවට වාදය, සිද්ධාන්තය, න්‍යාය යන පද දී ඇත. මහාචාර්යතුමා ෆැක්ට් යන්නට සිද්ධාන්තය යන්න යෙදුව ද එය වැරදි ය. කෙසේ වෙතත් තියරි යන්න වෙනුවට න්‍යාය යන පදය යෙදීම පාරිභාෂික ශබිදමාලාවලට එකඟ බැවින් අපි එය පිළිගනිමු. එහෙත් න්‍යාය යන්න න්‍යාය බිංදු වැනි පැරණි පොතපතෙහි යෙදෙන්නේ ලොජික් (logic) යන්න වෙනුවට ය. එබැවින් මම ලොජික් වෙනුවට න්‍යාය යන්න යොදා ගනිමි. මා තියරි යන්න වෙනුවට යොදාගන්නේ ප්‍රවාදය යන්න ය. 

වාදය යන්න ඉසම් (ism) යන්න වෙනුවට මාක්ස්වාදය (Marxism), පශ්චාත්නූතනවාදය (Postmodernism) ආදී තැන්හි යෙදෙන බැවින් හා ප්‍රවාද හා ජනප්‍රවාද අතර ඇති සම්බන්ධයත් තියරම් (theorem) යන්න වෙනුවට ප්‍රමේයය යන්න යොදාගැනීමත් සලකා මම තියරී යන්නට ප්‍රවාදය යන්න යොදාගනිමි. එහෙත් කිසිවකු තියරි යන්න වෙනුවට න්‍යාය යොදාගැනීම ගැන මගේ තදබල විරුද්ධතාවක් නැත. අනෙක් සියළු දෙනා මගේ ව්‍යවහාරය අනුගමනය කළ යුතු යැයි කීමට තරම් බොළඳබවක්, මුග්ධබවක් මට නැත. එහෙත් මහාචාර්යතුමා ෆැක්ට් (පරිසිද්ධිය) යන්න වෙනුවට කිසිම පාරිභාෂික ශබ්දමාලාවක නැති අන්දමින් හිතුවක්කාරව වැරදියට  සිද්ධාන්ත (තියරි) යන්න යෙදීම ගැන නම් මට විරුද්ධ නොවී සිටිය නො හැකි ය. පරිසිද්ධියක් කෙසේවත් සිද්ධාන්තයක් බවට පත් නො වේ.  

ඒ මහතා නිරවුල් අවබෝධයකින් තොරව හිතුමතේ තම පාණ්ඩිත්‍යය පෙන්වීම සඳහා බොහෝ මහාචාර්යවරුන් මෙන් වචනවලින් දමාගැසීම නම් අඩුකර නැත. පෙබරවාරි 12 වැනිදා ලිපියෙහි ඒ මහතා අඥේයවාදය යන්න ස්කෙප්ටිසිසම් (skepticism) සඳහා යොදාගනියි. ස්කෙප්ටිසිසම් යනු යමක් නොදැනීම, අඥෙය යන අර්ථයෙන් යෙදෙන්නක් නොව සැකයක් ඇතිවීම යන අර්ථයෙන් යෙදෙන්නකි. ඒ සඳහා පාරිභාෂික ශබ්දමාලාවල ද යොදාගන්නා වචනය සංශයවාදය යන්න ය. අඥෙයවාදය යනු ඇග්නොස්ටිසිසම් (agnosticism) යන්නට යෙදෙන්නකි. සැකය යනු නොදැනීම යැයි පටළවාගන්නේ නොදැනුම් කමට විය හැකි නමුත් අමරතුංග මහතා දිගින් දිගට ම තම නොදැනුවත්කම හෙළිදරවු කිරීමට කිසිම සැකයකින් තොරව ඉදිරිපත්වීම තේරුම්ගන්නේ කෙසේ ද? 

ඒ මහතා එසේ තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමෙන් පසු ඉන් සෑහීමකට පත් නොවී  ලෝකය නොපවතියි, සියල්ල බොරු ය යන්න අඥෙයවාදී අදහසක් බව පවසයි. යමකු ලෝකය නොපවතියි ආදී වශයෙන් කියන්නේ නම් එය නොදැනීමක් වන්නේ කෙසේ ද? සියල්ල බොරු යැයි කියන්නේ නම් එලෙස කියන්නේ නොදැනීමකින් නොව යම්කිසි දැනුමකින් ය. යමකු යමක් නැතැයි කියන්නේ දැනුමකින් මිස නොදැනුමකින් නො වේ. ඒ දැනුම ද බොරු විය හැකි ය. එහෙත් එහි අඥෙයවාදීභාවයක් නැත. අමරතුංග මහතා තේරුම් ගත යුත්තක් නම් වචන තිබෙන්නේ පඬිබව පෙන්වීමට නොව සන්නිවේදනයට හා හැකිතාක් නිරවුල් ව අදහස් සූත්‍රගත කිරීමට (formulate) බව ය.    

අඥෙයවාදයක් ගැන කතාකර අමරතුංග මහතා කියන්නේ සියල්ල මනසේ නිර්මිත වූ මායාවක් බව හෝ මනස නැති බව හෝ විඥානවාදී අදහස් බව ය. අමරතුංග මහතාගේ පරස්පර හා නො දැනුම්කම හේතුකොටගෙන ඔහුට අනුව මම අඥෙයවාදියෙක්මි. ඒ සමග විඥානවාදියෙක්මි. ඒ මහතා ඒ දෙකම එක්වර සපුරාලන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. අනෙක් අතට මනසක් නැතැයි කීම හා සියල්ල මනසේ නිර්මිත යැයි කීම දෙකම විඥානවාදී අදහස් බව අමරතුංග මහතා පවසයි. මනසක් ඇතැයි ගනිමින් සියල්ල මනසේ නිර්මිත යැයි කීම විඥානවාදී යැයි කිවහැකි නමුදු මනසක් නැතැයි කීම හා මනස මනසේ නිර්මාණයක් යැයි කීම විඥානවාදී වන්නේ කෙසේ ද? මනසේ පැවැත්ම ගැන මින් ඉහත අපේ ප්‍රවාද ලිපි පෙළෙහි ලිපි ගණනාවක් ම ලියා ඇත. 

බටහිර දැනුම් පද්ධතියෙහි වඩාත් නිරවුල් අදහස් ප්‍රකාශ කෙරෙන්නේ බටහිර ගණිතයෙහි, ගණිතමය භෞතික විද්‍යාවෙහි හා ඥානවිභාගයෙහි (epistemology) ය. වියුක්ත වූ ඒ ක්‍ෂෙත්‍රවල අදහස් ප්‍රකාශ කිරීම බටහිර වෛද්‍යවිද්‍යාවහි හෝ බටහිර දන්ත වෛද්‍යවිද්‍යවෙහි අදහස් ප්‍රකාශ කරනවාට වඩා සැලකිල්ලෙන් කළ යුත්තකි. ජනප්‍රිය පොතපතින් එහෙන් මෙහෙන් අහුලාගත් අදහස් ප්‍රකාශ කිරීමේ දී එලෙස සැලකිලිමත් වීමට නොහැකි වීම පුදුමයක් නො වේ.  

අමරතුංග මහතාගේ ප්‍රශ්න දෙකට පිළිතුරු දීමට ප්‍රථම කිවයුතු කරුණු බොහෝමයක් වුවත් එ පසුවට කල්තැබීමට සිදුවෙයි. විශේෂයෙන් ම ගුරුත්වාකර්ෂණය හා වැටීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමරතුංග මහතා ඉදිරිපත් කරන පරස්පර විදහා දක්වමින් පිළිතුරක් දීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අතර විවික්ත (discrete)  හා වියුක්ත (abstract) අතර වෙනස ද පැහැදිලි කළ යුතු ය. අමරතුංග මහතා වියුක්ත යනුවෙන් අදහස් කරන්නේ විවික්ත හෙවත් නොබැඳුණු යන්න ය. දැනට කිව යුත්තේ මා වියුක්ත යන්න විශේෂණ පදයක් ලෙස භාවිතා කරන්නේ අවුරුදු තිහක පමණ කාලයක සිට බවත් එය ඉංගිරිසි ඇබ්ස්ට්‍රැක්ට් (abstract) යන වචනයට වියුක්ත දැනුම් පද්ධතියක් (abstract system of knowledge) යන තැන්හි මෙන් විශේෂණ පදයක් ලෙස පාරිභාෂික ශබ්දමාලාවලට හා මලලසේකර ශබ්දකෝෂයට එකඟ ව යොදාගන්නා බවත් ය. ප්‍රත්‍යක්‍ෂය යනු කුමක් ද යන්න ද සුදුසු අවස්ථාවේ දී පැහැදිලි කරමි. ප්‍රත්‍යක්‍ෂය යන්න බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන්වන බව අමරතුංග මහතා නොදන්නේ අන්තර්ජාලයෙන් ඒ ගැන දැනගැනීමට නොහැකි බැවින් ද?   

තන්තුවාදය පිළිබඳ ව මගේ දේශනයකට සහභාගි වී ඉගෙන ගන්නා ලෙස මම අමරතුංග මහතාට කිසිවිටෙක නොකීවෙමී. මා කීවේ මා සිටින තැනක ඒ පිළිබඳ ඔහුගේ දේශනයක් පවත්වා මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ය. අමරතුංග මහතාට ඒ කරුණවත් නිවැරදිව අවබෝධ කරගැනීමට නොහැකි බව තම පෙබරවාරි 12 වැනි දා ලිපියෙන් ප්‍රදර්ශනය කරයි. ඒ මහතා නිතර කියන කරුණක් නම් ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන් ගන්නා වස්තු සඳහා නිව්ටන්ගේ ප්‍රවාදය වලංගු බව ය. අයින්ස්ටයින්ගේ ප්‍රවාදය බ්ල්ක්හෝල් හැර ඕනෑම වේගයකට වලංගු යැයි ඒ මහතා කියයි. මෙය තවත් පැහැදිලි කළේ නම් මැනවි. මේ බ්ල්ක්හෝල් හැර යන්නෙන් ඒ මහතා අදහස් කරන්නේ කුමක් ද? ජනප්‍රිය පොතපතෙන් ලබාගත අදහස් මෙසේ ගෙනහැර දක්වන්නේ තේරුම් ගෙන නොවන බව මම දනිමි. 90% වේගය නියම කළ ජනප්‍රිය පොත කුමක් ද? මේ ජනප්‍රිය පොත් ලියන ඇතැමුනට ද පැහැදිලි අවබෝධයක් නැත. ඉහත සඳහන් අදහස් මැතක දී කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇති බව කතුවරුන් දෙදෙනකුගේ නම් පමණක් සඳහන් කරමින් එහෙත් ඒ අදහස් පළවූ සඟරා නම් නොකරමින් ඒ මහතා කියයි. මේ පිළිබඳ මා නොදන්නා බව ඒ මහතා කියයි. ඒ මහතාට ඒ පිළිබඳ දේශනයක් පැවැත්වීමට මා ආරාධනා කරන්නේ එවිට මට ඒ මහතාගෙන් ඉගෙනීමට අවස්ථාවක් ලැබෙන බැවිනි! 

අමරතුංග මහතාගේ දැනගැනීම සඳහා කිවයුතු කරුණක් නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය යනු විශේෂ සාපේක්‍ෂතාවාද යට ගුරුත්වාකර්’ෂණය එකතු කිරීමෙන් ලබාගත්තක් නොව ගුරුත්වාකර්ෂණය නැතැයි ගැනීමෙන් ලබාගත්තක් බව ය. එහෙත් මා නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් යැයි කීමට මේ සංවාදයෙහි දී සාධාරණ සාපේක්‍ෂතාවාදය යොදා නොගත් බව ද සඳහන් කළ යුතු ය. එසේ යොදාගත් බව කියන අමරතුංග මහතා ඒ පිළිබඳ සාක්‍ෂි සපයන්නේ ද?                              

අමරතුංග මහතා නගා ඇති පළමු ප්‍රශ්නයට පිළිතුරු පහත පළවෙයි. දෙවැනි ප්‍රශ්නය ලබන සතියේ සාකච්ඡා කරමු.  අප භාවිතා කරන ලොකුම බොරුව “මම” යන්න ය. මා යනුවෙන් කිසිවකු නැතිව සිටිය දී, මා යනු මනසෙන් නිර්මාණය කරගත් බොරුවක් ව තිබිය දී අපි ඒ සංකල්පය යොදා ගන්නෙමු. අපේ දැනුම එපරිදි ය. සම්මුති වශයෙන් අප තනාගත් සංකල්ප, ප්‍රවාද ආදී දැනුම් අපේ එදිනෙදා කටයුතුවල දී අපි යොදාගන්නෙමු. මා ගෙදර යනවා, දේශනයක් පවත්වනවා ආදී යෙදුම් අප පිළිගන්නේත් එවැනි යෙදුම් යොදාගෙන අප ගෙදර යෑම, දේශන පැවැත්වීම ආදී වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නේත් මම යන්න සංකල්පය බොරුවක් ව පවතිද්දී ය. නීල් ආම්ස්ට්‍රෝන්ග් තමා හඳට ගිය බව පැවසුවේත් ආම්ස්ට්‍රෝන්ග් යනුවෙන් අයකු ඇතැයි යන බොරුව යොදාගනිමිනි.

එහෙත් ඒ බොරුවෙන් අමාරුවේ වැටෙන අවස්ථා ද වෙයි. ක්‍ෂණයකට වුවත් මා පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී වෙයි. මා ගෙදර යනවා යැයි කී විට එසේ කීමෙන් මා ආත්මවාදියකු බවට පත්වන නමුත් සම්මුතියේ දී අපට එය ප්‍රශ්නයක් නො වේ. එහි ඇති ආත්මවාදී අදහස ගැන අපි ගැඹුරෙන් නො සිතමු. එහෙත් පරළොව යන්නේ කවුදැ යි ඈසූ විට එය තරමක දාර්ශනික ප්‍රශ්නයක් බවට පත්වෙයි. ගෙදර යන්නේ කවුද, හඳට ගියේ කවුද ආදී ප්‍රශ්නවලදීත් ආත්මවාදය නොසලකා හැරීම වැරදි වුවත් සම්මුතියෙන් අපි ඒ බැරැරුම් ප්‍රශ්න ලෙස නො සලකමු. 

එහෙත් පරළොව යන්නේ ද මා යැයි කී විට අපට එය ආත්මවාදී ලෙස ගැනීමට සිදුවෙයි. පරළොව යෑම හඳට යෑමට හෝ ගෙදර යෑමට හෝ වෙනස් නොවන නමුත් අපි ආත්මවාදය යන්න පරළොවත් සමග සැලකීමට පුරුදු වී සිටිමු. එබැවින් ආත්මවාදය ප්‍රතික්‍ෂෙප කරන බෞද්ධයකුට (බෞද්ධයන් යනු තුන්වැනි සංගායනාවේ ථෙරවාදය පිළිගත් අශෝක බෞද්ධයන් පමණක් නොවන බව අවධාරණය කළ යුතු ය) පරළොව යන්නේ කවුද යන ප්‍රශ්නයට මා යැයි කිව හැකි නො වේ. මිළිඳු රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාගසේන හිමියෝ පරළොව යන්නේ තමාත් නොවේ ය, අන් අයකුත් නො වේ යැයි පැවසූහ. ඒ පිළිතුර ඇරිස්ටෝටලීය න්‍යාය (ලොජික්) සමග එකඟ නොවන නමුත් චතුස්කෝටික න්‍යායට එකඟ ය. ඒ පිළිතුර ආත්මවාදී ද නො වේ. නාගසේන හිමියන් ගෙදර යන තැනේ දී මෙන් පරළොව යන්නේ තමන් යැයි දේශනා කළේ නම් උන්වහන්සේ ආත්මවාදී  වන බව පැහැදිලි ය. මා යන බොරුව යොදාගෙන  අපට සම්මුතියෙන් ගෙදර ගිය හැකි ය, හඳට ගිය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ මා යනු බොරුවක් නොවන බව නො වේ. 

නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද එබඳු ය. එය පට්ටපල් බොරුවකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම පසෙකින් තබා මනසින් මවාගැනීමටවත් නොහැකි පට්ටපල් බොරු කතන්දරයකි. මගේ ව්‍යවහාරය අනුව පංචෙන්ද්‍රියයන්ට ගෝචරව මනසින් ගන්නා සංකල්ප බොරු ය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන මනසින් මවාගත නොහැකි සංකල්ප පට්ටපල් බොරු ය. ඒවා බුදුදහමට අනුව නම් පඤ්ඤත්ති, එනම් අප විසින් (මනස විසින්) පැනවෙන සංකල්ප පමණ ය. මේ පිිළිබඳ විස්තර විදුසර අපේ ප්‍රවාද ලිපිවල අවුරුදු දෙකකට පමණ පෙර පළවිය. කාලය යන්න ද පඤ්ඤත්තියකි. බුද්ධඝෝෂ හිමියන් ඒ බව අත්ථසාලිනියෙහි සඳහන් කළ බව මගේ ලෝකය පළමු මුද්‍රණයෙහි සිට ම අප කියා ඇත. කාලය ද පට්ටපල් බොරුවකි. අද බටහිර විද්‍යාඥයන් කාලය යනු කුමක් දැයි ප්‍රශ්න කරන නමුත් අඩුම තරමෙන් පස්වැනි සියවසේ සිට එය පට්ටපල් බොරුවක් බව අපි දනිමු. කාලය පට්ටපල් බොරුවක් වුවත් අපි එය සාර්ථක ව යොදා ගනිමු. ඒ පට්ටපල් බොරුව මැනීමට ඔරලෝසු ද පාවිච්චි කරමු! බුද්ධඝෝෂ හිමියන් ද නාගසේන හිමියන් ද අයත්වූයේ ථෙරවාද සම්ප්‍රදායට බව මෙහි දී මතක් කරමු.


නලින් ද සිල්වා

2014-02-19