Main Logo

Showing posts with label චෛතසික. Show all posts
Showing posts with label චෛතසික. Show all posts

Monday, 24 December 2012

මනසේ පැවැත්ම

සිත මිස කය නැති බඹුන්ගේ මනස් අපට සාපේක්‍ෂව වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි අපි කීවෙමු. ඒ බඹුන්ගේ මනස් හෝ මනසක් හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන්ගේ මනස් තබා ඔවුන්ගේ සිත් වුව ද මනසටවත් ගෝචර නො වේ. එබැවින් බඹුන්ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත්කල බඹුන්ගේ සිත් ද අපට වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස් ගැන කිව හැක්කේ කුමක් ද? එමෙන් ම අපට අපේ මනස් ගැන කිව හැක්කේ කුමක් ද? අප මනස යනුවෙන් අදහස් කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක් ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක් වෙයි. මට දිගින් දිගට ම සිත් පහළවන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නොලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියැවෙන්නේ අනෙකකුගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නොලැබූවකුට වියුක්ත සංකල්පයක් බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකුගේ සිත් ගැන කිව හැක්කේ කුමක් ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක් අයකුගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුගේ සිතට අනෙක් අයගේ සිත් ගෝචර වෙයි. එයින් කියැවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක් අයගේ සිත් චෛතසික සංකල්පයක් වන බව ය.

පරචිත්ත විජානන ඥානය නොලැබුවකුට අනෙක් අයකුගේ සිත් වියුක්ත සංකල්පයක් වුවත් තම සිත චෛතසික සංකල්පයක් වෙයි. ඒ තමාගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්ත සංකල්පයක් නොවන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් යොදා නොගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අයගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයනට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නොවන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන්ගේ සංකල්ප ගැන කිව හැක්කේ කුමක් ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්ත සංකල්පයක් ඇති වන්නේ මනස හා අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ එකතුවීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්‍රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්‍රත්‍යක්‍ෂයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤූන් වහන්සේ ය. මම එවැනි බඹලොවක් ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්‍රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරදි නොවිය හැකි ය. මා කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා ද යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක් කියැවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්‍රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළහොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණ සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක් එය පිළිගනිමි. එසේ නොමැතිව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැත්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභී ද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට අමනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නොවනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නොව ඔවුන්ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යැයි ගැනීමට සිදුවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නොපෙනෙන්නේ ද එබැවින් යැයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචරවනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්සේ ඒ පිළිබඳ කරුණු විමසීමට කිසිවකුට අවස්ථාව ඇත. දෙවියන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්‍රිය හා අවයව ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඈසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් දැනට අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්ත, චෛතසික හා වියුක්ත සංකල්ප යන වර්ගීකරණය ආශ්‍රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියැවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක් පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්‍ෂව තම තමන්ගේ මනස චෛතසික සංකල්පයක් ලෙස ද අනෙක් අයගේ මනස වියුක්ත සංකල්පයක් ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක් අයගේ මනස් ද තමන්ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක් නොවන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යෑමට සිදුවෙයි. අනෙක් මිනිසුන්ට මනස් ඇති බව අප දන්නේ කෙසේ ද? එක්කෝ ඒ බව අපේ විඤ්ඤුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක් මිනිසුන්ට මනස් ඇති බව, සාමාන්‍ය මිනිසුන්ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක් වෙයි. එනම් පඤ්ඤත්තියක් වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක් මිනිසුන්ට මනස් ඇති බව එක්කෝ උපකල්පනය කිරීමට සිදුවෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදුවෙයි. එසේත් නැතහොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදුවෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මට මනසක් ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක් තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්, අනුමානයක් (ඉනෆඑරඑනචඑ) වෙයි. එවිට අනෙක් මිනිසුන්ට ද මනස් ඇති බව අනුමානයක් මිස සංකල්පයක් නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙන් (සයලලඔගඉසම) වෙනස් වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියළු මිනිසුන්ට මනස් ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක් ඇත. මේ නිගමනයක් ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියළු මිනිසුන්ට මනස් ඇත යන්න මත ය. සියළු මිනිසුන්ට මනස් ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියළු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක් මනසින් ස්වායත්ත ව පවතින බවක් නො කියැවෙයි. පුටුවක් මේසයක් මගේ මනසින් ස්වායත්ත ව නොපවතියි. මගෙන් ස්වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැතිව අපට නිරීක්‍ෂකයන් ලෙස කිසිවක් නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක් නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක් ලෙස එය ශූන්‍ය වෙයි.

පුටුවක්, මේසයක්, බල්ලකු, බළලකු මනසෙන් තොරව, මනසෙන් ස්වායත්ත ව නොපවතී නම් මනස මනසෙන් තොරව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස් දෙකක් ගැන මනස්ගාතයක් කීමට සිදුවනවා පමණක් නොව සංකල්ප තනන මනස හා වෙනත් මනසක් ගැන කීමට ද සිදුවෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්‍ෂ වෙයි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස මනසට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්‍රචාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අපි බොහෝ අවස්ථාවල කියා ඇත්තෙමු. එයින් කියැවෙන්නේ එය මනසටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක් නොව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නොවන කාලයෙහි ක්‍ෂණයක් යනු කුමක් ද? ක්‍ෂණයක් යන්න අර්ථදක්වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යුණක කොටසක්, ඉතා කුඩා කොටසක් ලෙස සැලකෙන ක්‍ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක් පවතින කාලය අනුව ක්‍ෂණය තේරුම් ගැනතමට උත්සාහ ගනිති. එහෙත් සිතක් පවතින කාලය කුමක් ද? සිත් පරම්පරාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? එක් සිතක් ඊළඟ සිතෙන් වෙනස්වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරදි යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්‍ෂණයකටවත් නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්‍ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක් ඇතිවිය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්‍ෂණයකවත් තිබූ මනසක් නැතිවෙයි. මෙය උච්ඡෙදවාදය වෙයි. ඇතිව තිබූ යමක් නැතිවීම උච්ඡෙදවාදය මිස අනෙකක් නො වෙයි. අනෙක් අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක් නිරක්‍ෂකයාගෙන් ස්වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියැවෙන්නේ ශාස්වතවාදයයි. මනස ක්‍ෂණයකට පවතින්නේ යැයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යැයි ගත්ත ද අපි එක්කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්වතවාදයට හසුවන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙකම බැහැර කිරීමට ය.

Thursday, 13 December 2012

මනසේ රඟ

චෛතසික සංකල්ප ගැන සඳහන් කරද්දී ඒවා අපේ නොවූව ද යම් ප්‍රාණීන්ගේ සංයුක්ත සංකල්ප යැයි කීවෙමු. එය මුළුමනින් ම නිවැරදි යැයි කිව නො හැකි ය. පරසතු මල්, ඇපල් මල් ආදිය සම්බන්ධයෙන් එය එසේ වන නමුත් කකුල් පහේ සතුන් අදීන් සම්බන්ධයෙන් එය එසේ නොවනවා විය හැකි ය. ලොවෙහි, එනම් අද කියන ආකාරයට විශ්වයෙහි, කිසිම ප්‍රාණියකුට කකුල් පහේ සතකු ඉන්ද්‍රිය ගෝචර වී නොමැතිවා වන්නට හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් විශ්වයෙහි කිසිම ප්‍රාණියකු කකුල් පහේ සතකු දැක හෝ අතගා බලා හොා නැතිවා වන්නට හැකි ය. එලෙස කකුල් පහේ සතකු විශ්වයේ නොමැති වීම එයට හේතුව වන්නට හැකි ය. එහෙත් අපට කකුල් පහේ සතකු සිතෙන් මවාගැනීමට එය බාධාවක් නො වේ.

මෙයින් කියැවෙන්නේ විශ්වයෙහි කිසිම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්පයක් වුව ද ඇතැම් විට අපට සිතෙන් මවාගත හැකි බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් විශ්වයෙහි කිසිම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්ප වුව ද අපට චෛතසික සංකල්ප විය හැකි බව ය. එහෙත් ඒ චෛතසික සංකල්ප අප සංයුක්තව දන්නා සංකල්ප, එනම් සංයුක්ත සංකල්ප ඇසුරෙන් ගොඩනගා ගන්නා සංකල්ප වෙයි. කකුල් පහේ නයකු වුව ද අපට සිතෙන් මවාගත හැකි ය. අපි කකුල් ඇති සතුන් ද, නයින් ද දැක ඇත්තෙමු. අප කළ යුත්තේ අපේ ඒ සංයුක්ත සංකල්ප යොදා ගනිමින් අපේ ඉන්ද්‍රියවලට කිසිදා ගෝචර නොවූ කකුල් පහේ නයා පිළිබඳ චෛතසික සංකල්පය ගොඩනගා ගැනීම ය.

මෙයින් පැහැදිලි වන්නේ විශ්වයෙහි නොපවතින වස්තුවක්, ජීවත් නොවන ප්‍රාණියකු වුව ද අපට සිතෙන් මබාගත හැකි බව ය. එනම් ඒ පිළිබඳ චෛතසික සංකල්පයක් ඇතිකර ගත හැකි බව ය. මෙහි දී වැරදි වටහා ගැනීම්වලට ඉඩ නොතබා කරුණක් කිව යුතු ය. විශ්වයෙහි නොපවතින වස්තු ගැන හා ජීවත් නොවන ප්‍රාණීන් ගැන කතා කරන්නේ පවතින වස්තු හෝ ජීවත්වන ප්‍රාණීන් හෝ වාස්තවික ව, නිරපේක්‍ෂව ඇති නිසා නොව අප සම්මුතියෙන් එවැනි වස්තු හා ප්‍රාණීන් ගැන කතාකරන බැවින් ය. වස්තුවක් පවතින්නේත් ප්‍රාණියකු ඇත්තේත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිරීක්‍ෂකයාගේ මනසෙහි මිස නිරපේක්‍ෂව වාස්තවිකව නො වේ. එපමණක් නොව ඇතැම් බෞද්ධයන් අටුවාවෙහි හෝ අහවල් භික්‍ෂූන් වහන්සේගේ පොත්වල ඇතැයි කියමින් කුමක් ප්‍රකාශ කළත් මනස ද නිරපේක්‍ෂව පවතින්නක් නො වේ.

එසේ පවතින්නේ යැයි දේශනා කරන භික්‍ෂූන් වහන්සේ මාර්ගඵල ලබා ඇතැයි කියනු මා අසා ඇත. එහෙත් රහතන් වහන්සේට වුවත් සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරදි සිදුවිය හැකි ය. බුදුන් වහන්සේ හා සැරියුත් මහ රහතන් වහන්සේ හැරුණු විට අනෙක් රහතන් වහනසේට සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරදි සිදුවිය හැකි බවට හොඳම සාක්‍ෂිය මුගලන් මහරහතන් වහනසේ ය. උන්වහන්සේ විශ්වයේ කෙළවර දකින්නට වෑයම් කළේ සෘද්ධියෙන් අගතැන්පත් වුව ද ලෞකික ප්‍රඥාවෙන් අගතැන්පත් නොවූ බව ප්‍රදර්ශනය කරමිනි.

ඇතැමකු මෙහි දී මා බෞද්ධයකු ද ආදී වශයෙන් ප්‍රශ්න කරනු ඇත. සංකල්පීය ලෝකය පිළිබඳ මගේ දැනුම ගැන ප්‍රශ්න කරනු ඇත. එහෙත් මට තේරුම්යන බුදුදහමට අනුව මනස වුව ද වාස්තවික වශයෙන් නො පවතියි. මනස ද මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද පවතින්නේ සාපේක්‍ෂව ය. එහෙත් එය සාපේක්‍ෂ වන්නේ මනසට ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. මනස පිළිබඳ ව මනසෙහි ඇතිවන සංකල්පය කිනම් වර්ගයට අයත් එකක් දැයි ඊළඟට ප්‍රශ්න කළ හැකි ය.

මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. අපි සංයුක්ත සංකල්ප, චෛතසික සංකල්ප හා වියුක්ත සංකල්ප යනුවෙන් සංකල්ප වර්ගීකරණයකට ලක් කළෙමු. ඇතැමුන් ඒ වර්ගීකරණය සමග එකඟ නොවනු ඇත. එය ප්‍රශ්නයක් නො වේ. අප සියළු දෙනා ලෝකය දකින්නේ එකම ආකාරයකට නො වේ. අප ලෝකය එකම ආකාරයකට දකින බව හෝ දැකිය යුතු බව හෝ කියන්නෝ බටහිර වි්‍යාඥයෝ ය. ඔවුහු ඊනියා වාස්තවික ලෝකයක් අප සියළු දෙනාම එකම ආකාරයෙන් දැකිය යුතු යැයි පවසති. එහෙත් ඒ එකම එක ආකාරය වෙනත් කිසිිවක් නොව ඔවුන් ලෝකය දකින, ඔවුන්ට සාපේක්‍ෂ වූ ආකාරය බව නොකීමට තරම් ඔවුහු ප්‍රවේසම් වෙති.

බුදුදහම වුව ද අප තේරුම් ගන්නේ එකිනෙකාට සාපේක්‍ෂව ය. එසේ නොවන්නට හීනයාන, මහායාන යනුවෙන් හෝ ථෙරවාද, සර්වස්ථවාද, සෞත්‍රන්තවාද, පුද්ගලවාද, විඥානවාද, මාධ්‍යමිකවාද ආදී වශයෙන් හෝ විවිධ ගුරුකුල තිබිය නො හැකි ය. එපමණක් නො වේ. ථෙරවාදීන් අතර වුව ද විවිධ මතවාද තිබිය හැකි ය. එසේ විවිධ මතවාද තිබූ පමණින් අප හැරෙන්නට අනෙක් අය අබෞද්ධ යැයි කීම ම සාපේක්‍ෂවාදී බුදදහමට විරුද්ධ ය. එවැනි ප්‍රකාශයක් ලෝකය වාස්තවික යැයි කියන ඊනියා පරම සත්‍යයක් ගැන විශ්වාස කරන යථාර්ථවාදයට නම් එකඟ ය.

කෙසේ වෙතත් මනස යන සංකල්පය කිනම් වර්ගයකට අයත් දැයි කීමේ දී අපට මනස දැනෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම අවශ්‍ය වෙයි. පොල් මලක් අපට දැනෙන්නේ ඉන්ද්‍රිය කිහිපයක මාර්ගයෙනි. අප පොල් මල දකින්නේ ඇසෙන් හා මනසෙනි. ංප එය ස්පර්ශ කරන්නේ අතින් හා මනසෙනි. ඕනෑම වස්තුවක් ඉන්ද්‍රිය ගෝචර වන්නේ අපේ යම් ඉන්ද්‍රියකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ සාපේක්‍ෂව ය. එහෙත් ඒ කිසිම අවස්ථාවක මනස නොමැතිව අපට කිසිවක් ග්‍රහණය කරගත නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි මනස සමග බැඳී ඇත.

බුදුදහමට අනුව මනස ද ඉන්ද්‍රියයක් වෙයි. මනස නම් ඉන්ද්‍රිය නොමැතිව අපට කිසිවක් සාමාන්‍යයෙන් කියන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර නො වේ. වෙනත් ඉන්ද්‍රියකට මනස නොමැතිව ක්‍රියාත්මක වීමට නොහැකි වුවත් මනසට වෙනත් ඉන්ද්‍රියක් නොමැතිව ක්‍රියාත්මක විය හැකි ය. මනස අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් වෙනස්වන ප්‍රධාන කරුණක් වනුයේ එයයි. එය ද්‍රව්‍ය මූලික නො වේ. ඇස කණ ආදී අනෙක් ඉන්ද්‍රියයන් ද්‍රව්‍යයෙන් සෑදී ඇතත් මනස එසේ ද්‍රව්‍යයෙන් නිර්මාණය වී නැත.

ද්‍රව්‍ය බෙදිය හැකි ය. එකතු කළ හැකි ය. වතුර බින්දුවකට තවත් වතුර බින්දුවක් එකතු කළ හැකි ය. එසේත් නොමැති නම් ද්‍රව දෙකක් මිශ්‍ර කළ හැකි ය. එසේ මිශ්‍ර කිරීමෙන් අපට වෙනත් ද්‍රවයක්, මිශ්‍රණයක්, ලැබෙයි. බටහිර විද්‍යාවේ එවැනි දෑ භෞතික වෙනස්කම්, මිශ්‍රණ ලෙස හඳුන්වනු ලැබෙයි. අනෙක් අතට හයිඩ්‍රජන් හා ඔක්සිජන් රසායනික ව ක්‍රියාකිරීමෙන් ජලය ලැබෙයි. එවැනි වෙනස්කම් රසායනික සංයෝජනයක් ලෙස හැඳින්වෙයි. එසේ ම පරමාණුවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා ප්‍රෝටෝන සංඛ්‍යාව (බොහෝ විට න්‍යුට්‍රෝන ද සමගින්) වෙනස් කිරීමෙන් වෙනත් ම මූල ද්‍රව්‍ය ලැබෙයි.

එසේත් නැතහොත් ඉලෙක්ට්‍රෝනයක් හෝ ප්‍රෝටෝනයක් හෝ බිඳිය හැකි ය. ක්වාක්, තන්තු ආදී වශයෙන් බටහිර විද්‍යාඥයෝ මෙලෙස බෙදීමෙන් ලැබෙන නව ද්‍ර්‍රව්‍ය හඳුන්වති. තන්තුවල චලනය අනුව ඒවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් විවිධ ස්වරූප ගන්නේ යැයි බටහිර විද්‍යාඥයෝ අපට කියා දෙති. ද්‍රව්‍ය බෙදීමට ද එකතු කිරීමට ද හැකි ය යනුවෙන් අපට මේ සියල්ල ප්‍රකාශ කළ හැකි ය.

එහෙත් මනස ගැන කි්ව හැක්කේ කුමක් ද? අභිධර්මයෙහි විවිධ චිත්ත ගැන ඉගැන්වෙයි. එහෙත් ඒ මනස බෙදීමක් නො වෙයි. මනස හෝ විඥානය හෝ පරමාර්ථ වශයෙන් ගත්කල නොමැති වුවත් අප සම්මුති වශයෙන් ගන්නා මනස හෝ විඥානය හෝ බෙදිය නො හැකි ය. අනෙක් අතට මනස් දෙකක් හෝ කිහිපයක් හෝ එකතුකර අළුත් මනසක් නිර්මාණය කළ හැකි නො වේ. මගේ මනසට වෙනත් අයකුගේ මනසක් එකතු කිරීමෙන් අළුත් මනසක් නිර්මාණය කරගත හැකි නො වේ.

මොළය යනු ද්‍රව්‍යයෙන් නිර්මිත වූ අවයවයකි. මනසේ ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වයට ඌනනය කිරීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මිනිසුන්ට යම් යම් දේ සිතෙන විට මොළයේ විවිධ ප්‍රදේශ ක්‍රියාත්ක වන බව බටහිර විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් එයින් කියැවෙන්නේ මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාකාරි වීමෙන් මනස ඒ ඒ අයුරෙන් ක්‍රියාත්මක වන බව නො වේ. යමක් යමකට හේතුව බව පෙන්වීමට නිර්ණායක රැසක් අවශ්‍ය බව බටහිර විද්‍යාඥයෝ ම, විශේෂයෙන් ම බටහිර වෛද්‍යවරු ම කියති.

එහෙත් මොළය ක්‍රියාත්මක වීමෙන් මනස නම් ප්‍රපංචය ඇතිවන්නේ යැයි පෙන්වීමට ඒ නිර්ණායක සම්පූර්ණ වන බව පෙන්වා දීමට බටහිර වෛද්‍යවරුන්ට හැකි ද? හියුම් නම් සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයාට අනුව හේතුව යන්නෙන් දෙයක් නැත. ඒ කෙසේ වෙතත් මනස හා මොළය අතර වැඩිම වුවහොත් ඇත්තේ සහසම්බන්ධයක් පමණකි. ඉන් එහාට ගොස් මනස මොළයට ඌනනය කිරීමක් කළ නො හැකි ය.

මොළය නමැති අවයවය කොටස්වලට කැඩිය හැකි ය. එහෙත් මනස එසේ කොටස්වලට කැඩිය නො හැකි ය. මනසේ යම් චේතනාවකට හේතුවන්නේ යැයි කියන මොළයේ අදාළ කොටස අකී්‍රය වුවත් ඇතැම් අවස්ථාවල මනසේ අදාළ චේතනාව ඇතිවන බව බටහිර වෛද්‍ය විද්‍යාඥයෝ ම කියති. අනෙක් අතට කොටස්වල එකතුවක් වූ මොළය ඒ කොටස් ලෙස සමගාමී ව පවතියි. එහෙත් මනසේ අදාළ චිත්ත එක්වර නො පවතියි. චිත්ත පහළ වන්නේ වෙන් වෙන් වශයෙන් එකක් අනෙක පසුපස ය.

මේ සියල්ල මෙසේ තිබිය දී බටහිර වෛද්‍යවරුන් මනස මොළයට ඌනනය කිරීමට කැස කවන්නේ බටහිර විද්‍යාවේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හේතුකොටගෙන ය. බටහිර විද්‍යාව පංචෙන්ද්‍රියයන්ට සීමා වූ දැනුම් පද්ධතියකි. බටහිර විද්‍යාවේ දී තේරුම් කෙරෙන්නේ ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර සංසිද්ධි ය. ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි (සංකල්ප) නොමැති යැයි බටහිර විද්‍යාවේ උපකල්පනය කෙරෙයි. එය උපකල්පනයක් මිස අන් කිසිවක් නො වේ. බටහිර විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ප්‍රතික්‍ෂෙප කෙරෙන්නෙ මේ උපකල්පනය හේතුවෙන් මිස එය ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් අනුව පෙන්වා දී ඇති නිසා නො වේ. මනස අපේ ඇසට නො පෙනෙයි. එය අපේ කණට නො ඇසෙයි. කෙටියෙන් කිවහොත් මනස පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිවකට ගෝචර නො වෙයි. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන මනස බටහිර විද්‍යාවට නැත.

එහෙත් බටහිර වි්‍යාඥයෝ පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන සංසිද්ධි තේරුම් ගැනීම සඳහා පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. එපමණක් නොව ඒ සංකල්ප වලින් පවතින දේ නියෝජනය වන්නේ යැයි ද සිතති. පොල් ගෙඩි වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගැනීමට එසේ ඉන්ද්‍රිය ගොාචර නොවූ ගුරුත්වාකර්ෂ්ණය යොදාගන්නවා පමණක් නොව ගුරුත්වාකර්ෂණය පවතින්නේ යැයි ද විභ්වාස කරති. මෙයට වඩා කුහක කමක් තවත් තිබිය හැකි ද?

මේ සියල්ල කීමෙන් පසු මනස පිළිබඳ සංකල්පය වර්ග කරන්නෙ කෙසේ ද යන ප්‍රශ්නයට නැවත යමු. පැහැදිලිව ම මනස මනසට සාපේක්‍ෂ වෙයි. මනස මනසට ගෝචර වෙයි. එය සම්මුති අර්ථයෙන් පවතියි. මලක් හා මනස අතර ඇති වෙනස මනස අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වීම ය. එහෙත් මල මෙන් ම මනස ද මනසට ගෝචර වෙයි. මනස ද බුදුදහමට අනුව ඉන්ද්‍රියයකි. අපේ ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ සිංහල බෞද්ධ චින්තනය පදනම් කරමිනි. මනසට ගෝචර වන මනස මලක් මෙන් ම සංයුක්ත සංකල්පයකි.


Sunday, 11 December 2011

මොළයට වඩා මනස ප්‍රධාන වේ

ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගතවන කාලය වෙනස් විය යුතු යැයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක් (නියුරෝන හෝ වෙනත් යමක් හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් වන්නේ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක් වන්නේ නම් එවිට තොරතුරු ගෙන යෑමට කිසිදු කාල ප්‍රාන්තරයක් ගත නොවන්නේ යැයි කිව හැකි ය.

අපේ ප්‍රවාදය හෙවත් කතන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළවන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පංතියක් බැවින් මනසෙහි සිත් පහළවීම යන්න හුදු ප්‍රකාශනයක් පමණක් බව අමතක නොකළ යුතු ය. සිතක් ඇතිවී නැතිවී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක් පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේෂයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්ථා තුනක් වේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු චිත්තය නැතිවීමට පෙර පැවතීමයි. චිත්තය පවතින චිත්තක්‍ෂණය අර්ථදක්වන්නේ කෙසේ ද? එයට පැහැදිලි පිළිතුරක් නැත.

සෞත්‍රාන්තිකයෝ මෙයට වෙනස් මගක් ගත්හ. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම සූත්‍රවලින් එහාට නොයන බව ය. සියල්ල සූත්‍රවලින් කෙළවර වෙයි. ඔවුන් සූත්‍ර ලෙස ගන්නේ සූත්‍ර පිටකය හා විනය පිටකය ය. සෞත්‍රාන්තිකයෝ අභිධර්ම පිටකය ගැන සැලකිල්ලක් නො දක්වති. ඔවුන්ට අනුව චිත්තයක් ඇති වී නැති වී යයි. එහි උප්පාද භංග මිස තිථියක් හා එම නිසා චිත්තක්‍ෂණ ද නැත. මේ වෙනස ගැටලුවක් බව පැහැදිලි ය. අභිධර්ම පිටකයෙහි මෙය මෙසේ සඳහන් වී ඇත යන්න මේ ප්‍රශ්නයට තබා කිසිම ප්‍රශ්නයකටවත් පිළිතුරක් නො වේ. බුද්ධ වචනය කුමක් දැයි පැහැදිලිව නොදන්නා කළ අපි අසීරුවට පත්වෙමු.

චිත්ත, චෛතසික හා රූප පරමාර්ථ ධර්ම ලෙස ගත්කල චිත්තයක් යනු තව දුරටත් කුඩා චිත්තවලට නොබිඳිය හැකි ධර්මතාවක් ලෙස සැලකෙයි. එහෙත් මෙසේ කුඩා කොටස්වලට නොබිඳිය හැකි ය යන්නෙන් කියැවෙන්නේ කා හට කුමකට සාපේක්‍ෂව ද? පසුගිය දා අපවත් වී වදාළ බෝධි හිමියන් එයට පිළිතුරක් ලෙස දී ඇත්තේ මනසට ගෝචර වන කුඩා ම චිත්තය මෙහි දී පරමාර්ථය ලෙස සැලකෙන බව ය. එහෙත් ඒ හිමියන් මනස ගැන වැඩි විස්තරයක් නොකිරීමෙන් අප තවත් ගැටලුවකට යොමු කෙරෙයි.

මනස යනු චිත්ත පේළියක් නම් චිත්තය මනසට ද මනස චිත්තයට ද සාපේක්‍ෂ වෙයි. චක්‍රිය චින්තනයක මෙය ගැටලුවක් නො වේ. එවැනි සාපේක්‍ෂතාවක් ගැටලුවක් වන්නේ රේඛීය චින්තනයක ය. චිත්ත යන සංකල්පය මෙන් ම මනස යන සංකල්පය ද මනසේ නිර්මාණ (සකස්කිරීම්) වෙයි. අප විසින් විටින් විට සඳහන් කෙරී ඇති සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි මෙය යම් ප්‍රමාණයකට විස්තර කෙරී ඇත. අපි පසුව එය තවදුරටත් විස්තර කරමු. එහෙත් දැනට කිවයුත්තේ ඊනියා ‘ක්‍ෂණයකට වුව ද පවතින මනසක් හෝ චිත්තයක් හෝ ගැනීම ආත්මවාදී වන බව ය. එසේ පවතින බව පෙන්වීම සඳහා අභිධර්මයෙහි ඇතැයි කියා ධර්මවාදය යොදාගැනීම නිෂ්ඵල කාර්යයකි. ධර්මයක් ක්‍ෂණයකට (අර්ථ නොදක්වන ලද ක්‍ෂණයකට) වුවත් පවතින්නේ යැයි ගැනීම ක්‍ෂණ ආත්මවාදයක් ලෙස හැඳින්විය හැකි ය.

අපි නැවතත් අපේ පළමු ප්‍රශ්නයට යමු. සිත් ඇති වී නැති වී යෑම ම හුදු ප්‍රකාශනයක් පමණකි. අපේ පහසුවට අපි චිත්තය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කරගෙන සිටිමු. මේ චිත්ත විවිධ තැන්වල ඇතිවෙයි. ඇතිවන්නේ හා නැතිවන්නේ අප තනාගෙන ඇති සංකල්ප බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. අප ලෝකය යනුවෙන් ගන්නේ අපෙන් ස්වායත්තව පවතින වාස්තවික වූවක් නොව අප විසින් නිර්මාණය කරන ලද සංකල්ප කුලකයකි. චිත්තය ද මේ සංකල්ප කුලකයෙහි තවත් අවයවයක් පමණකි. මනස ඇතුළු සියළු සංකල්ප මනසේ නිර්මාණ වෙයි.

අපේ ප්‍රශ්නය වූයේ චිත්ත ඇැතිවීමේ පිළිවෙළ මොළයේ අදාළ ප්‍රදේශ ක්‍රියාත්මක වීමේ පටිපාටිය සමග එකඟ වන්නේ ද යන්න ය. ඒ ප්‍රශ්නයට අපේ පිළිතුර වනුයේ එසේ එකඟ වීම අනිවාර්ය නොවන බව ය. පාදයක් මදුරුවකු කෑමට පසුව නාසයට දැනෙන ගඳක් සුවඳක් පිළිබඳ තොරතුර මොළයට දැනීම පටිපාටිය වෙනස්වී සිදුවිය හැකි බව අපේ නිගමනය වෙයි. පාදයේ සිට මොළයට ඇති දුර නාසයේ සිට මොළයට ඇති දුරට වැඩි නිසා එය එසේ සිදුවන්නේ යැයි අපි කියා සිටිමු. අවශ්‍ය නම් මෙය යමකුට පර්යේෂණයක් කර විසඳාගත හැකි ය. අපි මෙහි දී බටහිර විද්‍යාවට යටවී ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් අනුගමනය නො කරන්නෙමු. අප බටහිර විද්‍යාඥයන්ට කියා සිටින්නේ ඔවුන්ගේ ක්‍රමයට අනුව අපේ දැනුමක් පිරික්සා බලන ලෙස ය. එහෙත් ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමග අප නිවැරදි බව පෙනී ගියහොත්, එයින් කියැවෙන්නේ මනස හා මොළය යනු දෙකක් පමණක් නොව මොළය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන්නේ මනස ක්‍රියාත්මක වීමෙන් පසුව බව ය.

එවැන්නක් බටහිර විද්‍යාවට පහරක් වනු ඇත. බටහිර විද්‍යාව සෑම ප්‍රපංචයක් ම ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් මනස ද, මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. බටහිර විද්‍යාවට අනුව ඩාවින්ගේ විකාශයට හසුවන සත්වයා අවසානයේ දී මිනිසා බවට පත්වෙයි. ඒ මිනිසාට මොළයක් ද වෙයි. බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාකාරීත්වය මනසක් ලෙස වැටහෙයි. එහෙත් මොළ ඇත්තේ මිනිසුන්ට පමණක් නො වේ. එසේ වුවත් මොළ ඇති අනෙක් සතුන්ට මනස් ඇති බවක් බටහිර විද්‍යාවේ නිශ්චිතව නොකියැවෙයි.

මිනිසාට පමණක් මනසක් ඇත්නම් හෝ සත්වයන් වර්ග කිහිපයකට පමණක් මනස් ඇත්නම් හෝ එසේ ඒ සතුන්ට මනස් ඇතිවීමටත් අනෙක් සතුන්ට මනස් නැතිවීමටත් හේතුව කුමක් දැයි බටහිර විද්‍යාවෙන් පැහැදිලි විය යුතු යි. එහෙත් බටහිර විද්‍යාවෙන් එබඳු පැහැදිලි කිරීමක් නො කෙරෙයි. මිනිස් මොළයේ හා මනසක් ඇතැයි ඉඳහිට වුවත් කියැවෙන සතුන්ගේ මොළයේ ඇති එහෙත් අනෙක් සතුන්ගේ මොළයේ නැති සුවිශේෂ ගුණය කුමක් ද? සත්වයන්ගේ පරිණාමය සිදු වී ඇති ආකාරය අනුව මොළයට එසේ සුවිශේෂ තත්වයක් ඇතිවන්නේ කෙසේ ද?

මනස මොළයට ඌනනය කිරීමට උත්සාහ කරන බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ ඔවුන් මනසක් නැතැයි කියන එහෙත් මොළයක් ඇතැයි කියන සතුන්ගේ මොළ සමග මිනිස් මොළය සංසන්දනය කිරීමෙන් පසුවවත් නො වේ. මොළයේ ක්‍රියාකාරීත්ව නිසා මනස ඇතිවන්නේ යැයි කීමට බටහිර විද්‍යාඥන්ට ඇති සාධකය මිනිසුන්ට ඒ ඒ හැඟිම් ඇතිවන විට මොළයේ ඒ ඒ කොටස් ක්‍රියාකාරී වන බව පෙනීම ය. එහෙත් ඒ සම්බන්ධයෙන් මනස නිසා මොළය ක්‍රියාකාරී වන්නේ ය යන්න ද කිවහැකි ය. මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් කළ යුත්තේ ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ඉහත දක්වා ඇති ආකාරයේ පර්යේෂණ කිරීම ය.

භාවනා කිරීමේ දී යම් තරංග මොළය හා ආශ්‍රිතව ඇතිවන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ද විශාල ගැටලුවක් නො වේ. භාවනා කිරීමේ දී සිදුවන්නේ මනස යම් පිළිවෙළකට පත්කර ගැනීම ය. එනම් චිත්ත විසිරී යාමට ඉඩ නොදීම ය. එහි දී සිත එකඟ කර ගැනීමක් සිදුවේ. මෙහි දී සිත යනුවෙන් හැඳින්වෙන්නේ සිත් පරම්පරාවක් හෙවත් චිත්ත පේළියක් විය යුතු ය. එසේ නොමැතිව සිත යන්න එක සිතකට පමණක් සීමාවන්නක් විය නො හැකි ය. චිත්ත එකම අරමුණක තබාගැනීමට කරන උත්සාහය මෙහි දීි අවධාරණය කෙරෙයි.

එකක් පසු පස පහළවන චිත්ත එක් අරමුණක තබාගැනීමේ දී ඒ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ද වෙනස් වන්නේ ය යන්න මෙහි දී අපේ ප්‍රවාදය දනුව එළඹිය හැකි නිගමනය වෙයි. ඒ හේතුවෙන් මොළය ආශ්‍රිත ව ඇතිවන තරංග එක්තරා රටාවකට නිකුත්වන්නේ ය යන්න පැහැදිලි ය. මොළය හා මනස අතර සම්බන්ධය බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට නොව මනසට ප්‍රධාන තැන දී මොළය ඒ අනුව ක්‍රියාකාරී වන්නේ ය යන අයුරින් අවබෝධ කරගත හැකි ය.

මොළය නම් අවයවයක් නොමැතිව මනස තිබිය නො හැකි ද? නැතහෙත් මොළය නොමැතිව සිත් පහළ විය නො හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි සිත මිස කය නැති බඹලොව හතරක් ගැන කියැවෙයි. කයක් නොමැති විට මොළය නම් අවයවය නොමැති බව පැහැදිලි ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි පමණක් කියැවෙන්නක් කියා එය ඉවත දැමිය යුතු නො වේ. අප වෑයම් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමට ය. එහි දී අපට නව අදහස් නිර්මාණය කරගත හැක්කේ සංස්කරණය කරගත හැක්කේ අපේ සංස්කෘතිය මත පදනම් වෙමිනි. සාහිත්‍යය ද සංස්කෘතියෙහි ම කොටසකි. බෞද්ධ සාහිත්‍යයෙන් ජනප්‍රවාදයෙන් ආදිය මත පදනම් වීමෙන් පමණක් අපට අපේ ප්‍රවාද ගොඩනගා ගත හැකි ය.

බටහිරයන් කරන්නේ ද ඒ බව අමතක නොකළ යුතු ය. ඔවුහු තම සංස්කෘතියෙන් අදහස් ලබාගනිති. මුළු මහත් බටහිර විද්‍යාවේ ම කෙරෙනුයේ බයිබලය වෙනත් වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණකි. ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) පරණ තෙස්තමේන්තුවෙන් ම පැන නගින්නකි. පරණ තෙස්තමේන්ුවේ ඊනියා විඥානවාදයක් ඇතැයි කිවහැක්කේ මැවුම්කාර දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. එහෙත් දෙවියන් වහන්සේ ඉවත්කර මැවීම තබාගතහොත් පරණ තෙස්තමේන්තුව ද්‍රව්‍යවාදී පොතක් බවට පත්වෙයි. අද බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ අමතක කර ඇත. එහෙත් දෙවියන් වහන්සේ මැවූ ලෝකය සංරක්‍ෂණය කර ඇත.

ඊනියා මහා පිපුරුම යනු අන්කිසිවක් නොව දෙවියන් වහන්සේ නොමැතිව කෙරෙන නිර්මාණයකි. විශ්වයේ ද බයිබලයේ ද මුලින් ම ඇත්තේ ආලෝකය හා හයිඩ්‍රජන් වැනි ද්‍රව්‍යය. බටහිර විද්‍යාවට අනුව මේ මුල් විශ්වය විකාශය වීමෙන් වෙනත් මූල ද්‍රව්‍ය නිර්මාණය වෙයි. යම් අවස්ථාවක විශ්වයේ කාබන් ඇතිවෙයි. ඉන්පසු කාබනික ද්‍රව්‍යය ද ජීවය ද ඇතිවෙයි. ඩාවීනීය පරිණාමවාදයට අනුව ජීවය විකාශය වී සංකීර්ණ සත්තු ඇතිවෙති. පසුව වර්ධිත මොළයක් සහිත මිනිසා ඇතිවෙයි. ඒ මිනිසාට මනසක් ඇත. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ද ජීවය මැවෙන්නේ පළමු දිනයෙහි නො වේ. සතා සිවුපාවා සර්පයා මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ තම ප්‍රතිබිම්බයෙහි මිනිසා මවයි. මිනිසාට ද දෙවියන් වහන්සේට මෙන් ම මනසක් ඇත. මේ මනසක් සහිත මිනිසා බයිබලයේ ද ඇතිවන්නේ අවසානයේ දී ය. දෙවියන් වහන්සේ මිනිසා ද මවන්නේ පසෙනි. මේ කතාවෙන් දෙවියන් වහන්සේ ඉවත්කළ පසු ලැබෙන්නේ ද්‍රව්‍යයෙන් ඇතිවුණු මිනිසෙකි. බටහිර විද්‍යාව කියන්නේ ද ඒ කරුණු ම ය. බටහිර විද්‍යාවේ මිනිසාගේ මනස මොළය නම් ද්‍රව්‍යය ආශ්‍රිතව පැන නැගීම පුදුමයට කරුණක් නො වේ.