Main Logo

Showing posts with label අභ්‍යුහනය. Show all posts
Showing posts with label අභ්‍යුහනය. Show all posts

Sunday, 22 January 2012

පැවැත්මේ සාපේක්‍ෂතාව

ක්‍ෂණය යන්න වාස්තවික ව නිර්වචනය කරන්නේ කෙසේ ද? වාස්තවික වන්නේ යැයි කියන කිසිවක් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නො වේ. මට සාපේක්‍ෂ නොවූ යමක් ගැන මට කළ හැක්කේ උපකල්පනයක් කිරීම පමණකි. අප කලින් ද සාකච්ඡා කර ඇති පරිදි ගෙඩිය යන්න සාධාරණීකරණයට ලක් වූ සංකල්පයකි. ගෙඩිය යන්නෙන් පොල් ගෙඩියක් හෝ කොස් ගෙඩියක් හෝ වෙනත් ගෙඩියක් හෝ හැඳින්වෙනු විය හැකි ය. කොස් ගෙඩියක් අහවල් කොස් ගෙඩිය නොවූව ද අපට සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක් සිතෙන් මවා ගැනීමට නො හැකි ය. එය වියුක්ත සංකල්පයක් පමණක් ලෙස අපට උපකල්පනය කළ හැකි ය.

කොස් ගෙඩිය සම්බන්ධයෙන් ද ගෙඩිය සම්බන්ධයෙන් තරමට නොවූව ද යම් වියුක්ත බවක් ඇති වෙයි. කොස් ගෙඩිය ලොකු එකක් ද පොඩි එකක් ද පැසුණු එකක් ද පොළොස් තත්වය යම්තමින් ඉක්මවූ එකක් ද යන්න පිළිබඳ අපට අවබෝධයක් නැත. ඒ සියළුම වර්ගවල කොස් ගෙඩි කොස් ගෙඩිය යන සංකල්පයෙන් නියෝජනය වෙයි. එහෙත් ගෙඩියක් සිතෙන් මවාගත නොහැකි වුවත් අපට යම් කොස් ගෙඩියක් සිතෙන් මවාගත හැකි ය. එසේ වුවත් ඒ සිතෙන් මවාගන්නා කොස් ගෙඩිය යම් කොස් ගෙඩියක් මිස ඕනෑම කොස් ගෙඩියක් නොවේ.

සාධාරිත සංකල්පයක් සිතෙන් මවාගත නො හැකි ය. සිතෙන් මවාගැනීම යන්නෙන් අදහස් කරන්නේ පංචේන්ද්‍රියයන්ගෙන් එකකින් හෝ කිහිපයකින් හෝ මනස ආධාරයෙන් ලබාගන්නා වූ සංකල්පයක් නැවතත් මනසෙහි පමණක් ඇතිකර ගැනීම ය. රුවන්වැලි සෑය අසළට ගොස් එය දැක ඇති අයට පසුව ගෙදර ගොස් මනසෙන් පමණක් එය සිහි කළ හැකි ය. එනම් රුවන්වැලි සෑය යන සංකල්පය මනසෙහි පමණක් ඇතිකර ගත හැකි ය. ඒ සිතෙන් මවා ගැනීමකි. ඒ හැරෙන්නට කිසිම දිනෙක නොදුටු, වෙනත් ඉන්ද්‍රියයකට ගෝචර නොවුණු දෙයක් ද සිතෙන් මවාගත හැකි ය. එහි දී කෙරෙන්නේ එය මෙසේ ඇසට පෙනේ යැයි සිතා ගැනීමකි.

දඹදිව ගොස් නොමැති අයට ද බුද්ධගයාව සිතෙන් මවාගැනීමට අපහසුවක් නැත. දැන් නම් බොහෝ දෙනා බුද්ධගයාවේ ඡායාරූප දැක ඇති හෙයින් එහි දී සිතෙහි මැවෙන්නේ ඒ දුටු ඡායාරූපයකි. එසේ නැතත්, එනම් එවැනි ඡායාරූපයක් දැක නැතත්, අප දන්නා කරුණු අනුව බුද්ධගයාව මේ ආකාරයට ඇසෙන් පෙනේ යැයි සිතෙහි මවාගත හැකි ය. එවැනි මවාගැනීම්වල දී පමණක් නොව චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණවල දී ද මේ මේ ආකාරයට ඇතැම් දෑ පෙනේ යැයි සිතෙන් මවා ගැනෙයි.

බටහිර විද්‍යාවේ ද එලෙස සිතෙන් කෙරෙන මවාගැනීම් වෙයි. නිව්ටන් පොළොව හා සූර්යයා අතර ඇති බලයක් සංකල්පීය ව දැක ඇත. එහි දී ඔහු එවැනි බලයක් සිතෙන් මවාගන්නට ඇත. කෙක්‍යුලේ බෙන්සීන් අනුව සංවෘත විය යුතු යැයි යෝජනා කළේ සිහිනෙන් වල්ගය ගිලින සර්පයකු දැකීමෙන් යැයි කියැවෙයි. ඔහුට සංවෘත අණුව පිළිබඳ සංකල්පය ලැබී ඇත්තේ එසේ ය. ඔහු ඒ සංවෘත අනුව සිතෙන් මවා ගත්තාට සැකයක් නැත. එහෙත් ඔහු එසේ කළේ එවැනි අනුවක් දැක තිබූ නිසා නො වේ.

එවැනි සංකල්ප මුල දී මවා ගැනෙන්නේ සංයුක්ත ලෙස ය. එහෙත් පසුව ඒවා වියුක්ත සංකල්ප බවට පත්කෙරෙයි. ඕනෑම වස්තු දෙකක් අතර ඇති ගුරුත්වාකර්ෂණ බලය වියුක්ත සංකල්පයකි. එය සිතින් මවාගත හැකි සංකල්පයක් නොවන්නේ ඕනෑම වස්තුවක් යන්න සිතින් මවාගත නොහැකි බැවිනි. සූර්යයා හෝ පොළොව හෝ සිතින් මවාගත හැකි වුවත් වස්තුවක් යන්න සිතින් මවාගත හැකි නොවේ.

අපට ප්‍රශ්නය වූයේ ක්‍ෂණය යන්න වාස්තවික ද යන්න ය. ක්‍ෂණය යන්න චිත්තක්‍ෂණය ලෙස ගත්ත ද ඒ ඒ අයගේ චිත්තක්‍ෂණ සමාන විය යුතු නො වේ. අපවත් වී වදාළ බෝධි හිමියන් පරමාර්ථ ධර්ම ගැන කරන ලද අර්ථ විවරණය අනුව යමින් චිත්තක්‍ෂණය යනු මනසට ගෝචර වන කුඩාම කාලය යැයි ගත්ත ද ඒ ඒ අයගේ චිත්තක්‍ෂණ සමාන යැයි කිවහැකි නො වේ. ක්‍ෂණය යන්න සාපේක්‍ෂ වන විට ක්‍ෂණයක දී පැවත්ම යන්න ද සාපේක්‍ෂ වෙයි.

සඳුන් ක්‍ෂණයක දී තමන්ට සමාන යැයි කීමට ක්‍ෂණයක් යනු කුමක් දැයි නොදන්නා අපට හැකිකමක් නැත. සඳුන් ක්‍ෂණයෙන් ක්‍ෂණයට උත්පාද තිථි භංග යන්නට හසුවේ ද? උත්පාද තිථි භංග වේවා උත්පාද භංග වේවා මේ සියල්ල ඒ ඒ අය විසින් සකස්කර ගන්නා ලද සංකල්ප පමණක් වේ. අනිත්‍ය අනාත්ම වූ ලෝකයක් ගැන අපි කතා කරමු. එහෙත් අප තේරුම් ගත යුතු වූ ප්‍රධාන ම කරුණ නම් අනිත්‍ය යනු හුදු වෙනස්වීම නොවන බව ය. ඒ එසේ නම් අපට අනිත්‍ය තේරුම් ගැනීම අපහසුවක් නොවිය යුතු ය. අප හුදු වෙනස්වීම දැනගත්තත් අපට අනිත්‍ය තේරුම් ගත නො හැකි ය. අනිත්‍ය නිවන ආදිය සංකල්ප නොවන බව පමණක් දැනට සඳහන් කරමු.

අපේ සාකච්ඡාව ආරම්භයේ දී ම A =A යනු දිගින් දිගට ම වලංගු වන ප්‍රකාශයක් නොවන බව පැහැදිලි විය. එසේ සමාන විය හැක්කේ වෙනස් නොවන ආත්මයක් ඇත්නම් පමණකි. අපට දැන් කිව හැක්කේ ඊනියා ක්‍ෂණයක දී වුවත්A =A යන්න වලංගු නොවන බව ය. එසේ නම් අප A =A යැයි කියන්නේ කෙසේ ද? අප එසේ කියන්නේ අන් කිසිවක් නිසා නොව අපේ ඉන්ද්‍රිය මගින් අපට එවැන්නක් ප්‍රකාශ කෙරෙන බැවිනි.

මනස ද ඇතුළු අපේ ඉන්ද්‍රියයන්ට අනුව ඉරටු කෑල්ලක් ඒ ඉරටු කෑල්ලට සමාන වෙයි. අප එසේ සිතන්නේ ඉරටු කෑල්ල වෙනස් නොවන්නේ ය යන පදනමේ පිහිටා ය. එහෙත් අනිත්‍ය වූ ලෝකයකA =A ලෙස ගැනීම වරදකි. ඉරටු කෑල්ල එකම යැයි ගැනෙන තැනක තිබිය දී වුවත් ක්‍රමයෙන් දිරා යයි. අනෙක් අතට චලනය වන වස්තුවක් සම්බන්ධයෙන් නම් ඒ තවත් සංකීර්ණ වෙයි. එසේ වුවත් සාමාන්‍යයෙන් අපට හැඟෙන්නේ ඉරටු කෑල්ලක් ඒ ඉරටු කෑල්ලට ම සමාන වන බැවිනි. එලෙස සමාන වන ඉරටු හා වෙනත් දෑ රාශියක් නිරීක්‍ෂණය කර ඇති අපි අභ්‍යුහනයෙන් ඕනෑම වස්තුවක් සඳහාA=A යැයි කියමු.

A =Aසේ ගැනීම අපේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ කතාවක් පමණකි.A =Aයන්න පමණක් වලංගු නොවන විට A = Bහා B = Cනම්A= C යන්න ගැන කිව හැක්කේ කුමක් ද? මෙය ඇරිස්ටෝටලීය න්‍යායෙහි ස්වසිද්ධියක් වුව ද එය ද අපේ පංචේන්ද්‍රිය ඇසුරෙන් මනස විසින් සකස් කෙරී ඇත්තක් බව පැහැදිලි විය යුතු ය. එය ද අභ්‍යුහනයකි. එක් ඉරටු කෑල්ලක් දෙවැනි ඉරටු කෑල්ලකට දිගින් සමාන වන විට හා දෙවැනි ඉරටු කෑල්ල තුන්වැනි ඉරටු කෑල්ලකට දිගින් සමාන වන විට පළමු ඉරටු කෑල්ල තුන්වැනි ඉරටු කෑල්ලට දිගින් සමාන වන්නේ යැයි පංචේන්ද්‍රිය හා මනස අපට කියයි. එහෙත් දිගින් ද වෙනස් වන ඉරටු කෑලි තුන එකිනෙකට යම් කාල පරාසයක දී හෝ ඊනියා ක්‍ෂණයක දී හෝ දිගින් සමාන වන්නේ කෙසේ ද?

එක් ඉරටු කෑල්ලක් දිගින් දෙවැනි ඉරටු කෑල්ලකට වැඩි නම් හා දෙවැනි ඉරටු කෑල්ල දිගින් තුන්වැනි ඉරටු කෑල්ලකට වැඩි නම් පළමු ඉරටු කෑල්ල දිගින් තුන්වැනි ඉරටු කෑල්ලට වැඩි යැයි අපි කියමු. මෙය ද අභ්‍යුහනයක් මිස අපෝහනයක්, නිගමනයක් නො වේ. ඉරටු කෑලි රාශියක් සම්බන්ධයෙන් අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් එබඳු ය. ඒ අත්දැකීම් මත හිඳිමින්A > Bහා B> C නම්A> C යැයි අපි අභ්‍යුහනය කරමු.

අප මේ අභ්‍යුහන යොදා ගනිමින් අපෝහන කරමු. බටහිර ගණිතයේ එලෙස ස්වසිද්ධි නමින් විස්තර කෙරෙන අභ්‍යුහන හෙවත් උපකල්පන යොදා ගනිමින් අපි නොයෙකුත් ප්‍රතිඵල අපෝහනය කරමු. මෙයටත් වඩා සරදමක් තවත් විය හැකි ද? අප ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව රේඩියන π බව නිගමනය කරන්නේ සමාන්තර රේඛා පිළිබඳ ප්‍රමේය යොදා ගනිමින්A = B නම්A+C = B+ C බව උපකල්පනය කරමිනි. මේ පසුව කී සමානයන්ට සමානයන් එකතු කළ විට සමානයන් ලැබේ ය යන්න ද පංචේන්ද්‍රියන්ගෙන් හා මනසෙන් ලබාගන්නා අභ්‍යුහනයක් පමණකි. නැවතත් ඉරටු කෑලි කිහිපයක් ගෙන මේ ස්වසිද්ධිය අභ්‍යුහනයෙන් ලබාගන්නා ආකාරය පෙන්වා දිය හැකි ය.

අපට ක්‍ෂණයක දී වුවත් අපෙන් තොරව, එනම් ස්වායත්තව පවත්නා වස්තු ගැන කතා කළ හැකි නො වේ. ඊනියා වස්තුවලට වාස්තවික පැවැත්මක් ඇතැයි ගැනීම තවත් අභ්‍යුහනයක් හා උපකල්පනයක් පමණකි. එසේ වස්තු පවතින්නේ නම් ඒ දෙවියන් වහන්සේ සම්බන්ධයෙන්, දෙවියන් වහන්සේට සාපේක්‍ෂව විය හැකි ය. කලින් ද කියා ඇති පරිදි ඊනියා වාස්තවිකත්වයක් ගැන කියන ද්‍රව්‍යවාදීහු දෙවියන් වහන්සේ වාස්තවිකත්වයක් බවට පත්කර ගනිති. වාස්තවික ද්‍රව්‍යවාදය කෙළවර වන්නේ විඥානවාදයේ දෙවියන් වහන්සේගෙනි.

යමක පැවැත් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ වෙයි. පැවැත්ම යනු නිරපේක්‍ෂව ගත හැක්කක් නො වේ. යමක් පවතින්නේ යමකුට සාපේක්‍ෂව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් පැවතීම යනු යමකු විසින් සකස් කෙරෙන්නකි. ඉර හඳ පවතින්නේ නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව ය. සිංහලයාගේ ඉර හඳ ඉංගිරිසි කාරයාගේ ඉර හඳ නො වේ. ඉර හඳ පවත්නා තෙක් පැවතීමට සිංහලයෝ උත්සාහ දරති. එහෙත් ඉංගිරිිසි කාරයාට එවැනි ඉර හඳ පවත්නා තෙක් සංකල්පයක් නැැත. සිංහලයන් විසින් නිර්මාණය කෙරී ඇති, සැකසී ඇති ඉර හඳ වෙනත් ජාතිකයන් විසින් නිර්මාණය කෙරී නැත.

සිංහලයෝ ඉර හඳ පවත්නා තෙක් පැවතීමට කටයුතු කරති. අනෙක් අතට ඒ ඉර හඳ පවතින්නේ සිංහලයන්ට ය. ඇරිස්ටෝටලීය න්‍යායෙහි එවැන්නක් සිදුවීමට ඉඩක් නැත. එය රේඛීය න්‍යායකි. එහෙත් සිංහලයන්ගේ න්‍යාය චක්‍රීය වෙයි. එහි සිංහලයන්ට සාපේක්‍ෂව පවතින ඉර හඳ පවතිනා තාක් පැවතීමට සිංහලයන්ට කටයුතු කළ හැකි ය. පළමුව පැමිණියේ කිකිළය ද බිත්තරය ද වැනි ප්‍රශ්න වැදගත් වන්නේ රේඛීය චින්තනයක හා රේඛීය න්‍යායක ය.

පැවැත්ම මනසක් ඇති යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ වේ නම් ඒ නිරීක්‍ෂකයා පවතින්නේ කාහට සාපේක්‍ෂව දැයි යනුවෙන් ප්‍රශ්නයක් ඇසිය හැකි ය. ඒ ප්‍රශ්නයට අවශ්‍ය නම් තවත් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යැයි පිළිතුරු දිය හැකි ය. එහෙත් එවැනි ප්‍රශ්න හා පිළිතුරු ද කෙළවර වන්නේ දෙවියන් වහන්සේ ගෙනි. අපි එයට වෙනත් පිළිතුරක් දී ඇත්තෙමු. එය සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි සඳහන් වෙයි.

Monday, 16 January 2012

වෙනස්වීම

වාස්තවිකත්වය යනු හුදෙක් සාධාරණිකරණයක් වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසින් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යැයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මෑතක් වන තුරුම සතුන්ට මනස් ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක බඹුන් දකින ලෝක ගැන කතාකිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක් පවා නැත. ඒ එතරම් ම වියුක්ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්කෘතියෙහි ඉඩක් නැත.

මිනිසුන් සියළු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත්කල එකම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස් පෙනෙයි. මේස ස්පර්ශ කළ හැකි ය. එකම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියළු දෙනාට ම එකම දේ පෙනන්නේ යැයි එසේත් නැත්නම් අප එකම දේ ග්‍රහණය කරගන්නේ යැයි සිතමු. එමෙන් ම අප ඉපදෙන්නට කලින් ද අප මිය යෑමෙන් පසුව ද මල් ගස් ආදිය තිබිණ, තිබෙන්නේ යැයි අපි සිතමු. ඩාවින්ගේ පරිණාම වාදය අනුව ලෝකාරම්භය හෙවත් බටහිර විද්‍යාවේ මහා පිපිරුම දක්වා මල් නොතිබුණ ද අප ඉපදෙන්නට පෙර ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් තිබුණේ යැයි අපි බටහිරයන්ට අනුව විශ්වාස කරමු. අපේ මරණයෙන් පසුව ද එලෙස ම ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් පවතින්නේ යැයි අපට කියා දී ඇත.

මෙයින් බටහිරයන් ලබාගන්නා නිගමනය කුමක් ද? අප ඇතත් නැතත් මල් ගස් ආදිය පවතින්නේ නම් ඒවා අපෙන් තොරව පවතින්නේ යැයි බටහිරයෝ නිගමනය කරති. මෙය බටහිරයන්ගේ පමණක් නොව පෙරදිග ද ඇතැම් දාර්ශනිකයන්ගේ නිගමනය වෙයි. එහෙත් ඒ ඒ අය එවැනි නිගමනයකට එළඹෙන්නේ කෙසේ ද? එය තර්ක කිරීමෙන් අපෝහනය නිගමනය (deduce) කළ හැකි දෙයක් නො වේ. අපත් අපේ මුතුන් මිත්තනුත් මල් දැක ඇති පමණින් මල් අති විශාල කාල පරිච්ඡෙදයක අපෙන් තොරව අපෙන් ස්වායත්ත ව පැවතියේ යැයි අප නිගමනය කරන්නේ කෙසේ ද?

එය නිගමනයක් යැයි කීව ද තර්කයෙන් ලබාගන්නා වූ නිගමනයක් නො වේ. එය අපෝහනයක් නොව අභ්‍යුහනයක් (induction) පමණකි. කළු කපුටන් සියයක් දෙසීයයක් දැකීමෙන් පසු සියළු කපුටන් කළු පාට යැයි අප නිගමනය කරන්නේ යැයි කීව ද එය ද අභ්‍යුහනයක් පමණකි. පරම්පරා කිහිපයක් මල් ගස් ආදිය දැක ඇති බවට සාක්‍ෂි තිබූ පමණින් සෑමදාමත් මල් ගස් ආදිය තිබුණේ යැයි අපට කිව හැකි නො වේ. කෙසේ වෙතත් ඩාවින්ගෙන් පසුව බටහිරයන් පවසන්නේ පරිණාමයේ යම්කිසි අවස්ථාවක දී ගස් මල් ආදිය ඇති වූ බවත් ඉන් පසුව අපෙන් ස්වායත්ත ව ඒ පවතින බවත් ය. එහෙත් එය ද අභ්‍යුහනයක් පමණකි. මෙහි දී නොකියා සිටීමට බැරි දෙයක් නම් මුළු මහත් ඩාවීනීය පර්ණාමවාදය ම අභ්‍යුහනයක් පමණක් බව ය. එය ප්‍රත්‍යක්‍ෂයක්වත් අපෝහනයක්වත් (නිගමනයක්වත්) නො වේ. එහි ඇති තර්කයක් නැත.

අප තර්කයට හා අපෝහනයට විශේෂ තැනක් දෙන්නේ යැයි මෙයින් සිතාගත නො යුතු ය. මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වෙයි. එනම් අපෝහනය ද අභ්‍යුහනයක් ආශ්‍රයෙන් කෙරෙන්නක් වීම ය. අපෝහනය යනු තර්කය ආශ්‍රයෙන් සිදු කෙරෙන්නකි. තර්කය යොදා ගැනෙන්නේ යම් න්‍යායක (logic) ය. ඇරිස්ටෝටලීය න්‍යායෙහි A = A ,A= B B= C නම්| A= Cයනුවෙන් ස්වසිද්ධි වෙයි. මුළු මහත් බටහිර ගණිතය ම මෙවැනි ඈරිස්ටෝටලිය ස්වසිද්ධි මත පදනම් ව කෙරෙන අපෝහනවලින් හා අභ්‍යුහනවලින් යුක්ත වෙයි. A > B හා B> C නම් A> C යනු තවත් එවැනි ස්වසිද්ධියකි. බටහිර ගණිතයෙහි අපෝහනය සඳහා යොදාගන්නා මේ ස්වසිද්ධි අභ්‍යුහනයන් බව බොහෝ දෙනා නො දනිති. අභ්‍යුහනය යනු උපකල්පනයකින් මිස අන්කිසිවකින් සිදුවන්නක් නො වේ.

A =A යනුවෙන් ගැනීමේ දී අප කරන්නේ කුමක් ද? පළමුවෙන් මA යනුවෙන් යමක් පවතින්නේ යැයි අපි සිතමු. මෙහි A යනු ඕනෑම දෙයක් සත්වයකු වෙනුවෙන් යෙදිය හැකි ය. ඕනෑම ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී හෝ වූවක් අපි A යනුවෙන් හඳුන්වමු. A යනු දිනිඳු විය හැකි ය. එසේත් නැත්නම් අප වත්තේ ඇති පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් අසවල් තාරකාව විය හැකි ය. ඒ සෑම අවස්ථාවක දී ම දිනිඳු හෝ පොල්ගස හෝ තාරකාව හෝ පවතින්නේ යැයි අපි සිතමු. එහි දී අපි පැවැත්ම උපකල්පනය කරමු. මෙහි තවත් කරුණු දෙකක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු ය. අපි ඒ කරුණු ද උපකල්පනය කරමු. උපකල්පන හැරෙන්නට, අපේ මනස්වලින් අප නිර්මාණය කරන දෑ හැරෙන්නට වෙනත් ලෝකයක් අපට නැත.

දිනිඳු හෝ අප දන්නා පොල් ගස හෝ තාරකාව හෝ වියුක්ත දේ නො වේ. ඒවා සංයුක්ත දේ වෙයි. අපි දිනිඳු හඳුනමු. අපේ වත්තේ ඇති අසවල් පොල්ගස දනිමු. එසේ ම අසවල් තාරකාව ද දනිමු. ඒ අපේ මනස සමග ගත්කල පංචේන්ද්‍රියයන්ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ ගෝචර වෙයි. (මනස නොමැතිව කිසිම වෙනත් ඉන්ද්‍රියයකට ඒ ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය) අපි දිනිඳු පවතින බව දනිමු. එමෙන් ම අපි පොල්ගස ද පවතින බව දනිමු. එහෙත් අපි මෙහි දී තවත් දෙයක් උපකල්පනය කරමු. එනම් අප නැතත් දිනිඳු පවතින බව ය. අප අද මළත් බොහෝ විට දිනිඳු හෙටත් අනිද්දාත් ඉන් පසුවත් කාලයක් ජීවත්වන බව අපි දනිමු. පොල්ගස හා තාරකාව ද එලෙස ම අප නැතත් තවත් යම් කලයක් පවතින බව අපි දනිමු. එහෙත් එසේ පවතින්නේ අප දන්නා දිනිඳු ද? වෙනත් අයකු දන්නා දිනිඳු ද? එසේත් නැත්නම් අප කවුරුවත් නොදන්නා වාස්තවික දිනිඳු කෙනෙක් ද?

මෙහි දී අපි දිනිඳුට පොල්ගසට හා තාරකාවට වාස්තවික පැවැත්මක් ලබා දී ඇත්තෙමු. එහි දී් මා දන්නා දිනිඳු ඔබ දන්නා දිනිඳු නොවන බව අපි අමතක කරමු. පොල්ගස හා තාරකාව සම්බන්ධයෙන් ද ඒ එසේ ය. අපි සාපේක්‍ෂය නිරපේක්‍ෂයක් බවට පත්කර ඇත්තෙමු. ඒ කිසිදු තර්කයක් න්‍යායක් අනුව සිදුවන්නක් නො වේ. එය ද අභ්‍යහනයක් පමණ ය. අපට සාපේක්‍ෂ වූ දිනිදු අපට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ දිනිඳු කෙනකු බවට පත්කිරීම අභ්‍යුහනයක් පමණ ය. පුදන කොට ම කාපි යකා වැනි ඒ නිරීක්‍ෂණයට පසුව අපA යන්නෙන් දිනිඳු මෙන් ම පොල්ගස ද තාරකාව ද හඳුනාගන්නා බව මතක් කර දිය යුතු ය. A යනු එවිට වියුක්ත සංකල්පයකි. එය මනසින්වත් මවාගත හැකි නො වේ. එය ඕනෑම පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම තාරකාවක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම පුද්ගලයකු විය හැකි ය.

ඉන්පසු අප කියන්නේ එයටත් වඩා භයානක දෙයකි. A පවතින බව උපකල්පනය කර අනතුරුව අපි A =A යැයි කියමු. එහි පදනම කුමක් ද ? A =A වන්නේ යම් ක්‍ෂණයක ද? නැත්නම් දිගින් දිගට ම ද? දිනිඳු තමන්ට සමාන වේ ද? එසේ නම් ඒ කොපමණ කාලයකට ද? දිනිඳු තමන්ට සමාන වන්නේ ජීවත් ව සිටිනතාක් කල් පමණ ද? මරණින් පසු වෙනත් භවයක ඇත්තේ දිනිඳු ද? වෙනත් අයකු ද? දිනිඳු හා වෙනත් අයකු ද? දිනිඳුත් නො වේ ද වෙනත් අයකුත් නො වේ ද?

පොල්ගස සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද? පොල්ගස එයට සමාන වන්නේ එක් ක්‍ෂණයක දී ද? එය එයට ගස මැරෙන තෙක් ම සමාන වන්නේ ද? පොල්ගසේ මරණයෙන් පසු පොල්ගස සමාන වන්නේ කුමකට ද? පොල්ගස සම්බන්ධයෙන් ගත්කලA =A යන්න ගසෙහි අභාවයත් සමග අවසන් වන්නේ ද? තාරකාව ඇතුළු අනෙක් සියළු දෑ සම්බන්ධයෙන් ඒ අයුරෙන් සමානත්වය ප්‍රශ්න කළ හැකි ය.

දිනිඳු ඊළඟ භවයේ දී නොව මේ භවයෙහි ද දිගින් දිගට ම තමන්ට සමාන වන්නේ ද? බිළිඳු දිනිඳු, ළමා දිනිඳුට හෝ තරුණ දිනිඳුට හෝ වැඩිමහළු දිනිඳුට හෝ සමාන නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. දිනිඳුගේ හැඩ රුව දිනෙන් දින ම වෙනස් වෙයි. ඔහුගේ හැකියාවන් වෙනස් වෙයි. බිළිඳු දිනිඳුට කළ නොහැකි දේ තරුණ දිනිඳුට කළ හැකි ය. තරුණ දිනිඳුට නොමැති අත්දැකීම් වැඩිමහළු දිනිඳුට වෙයි. එසේ නම් දිනිඳු තමාට සමාන යැයි පවසන්නේ කිනම් අරුතකින් ද?

ඉතා පැහැදිලි ව වෙනස්වන ඊනියා ප්‍රපංචයක විවිධ අවස්ථා සමාන යැයි ගැනීමට අප නිරර්ථක උත්සාහයක යෙදෙන බව පෙනී යා යුතු ය. වෙනස්වන ප්‍රපංචය යන්න ද වෑරදි ඇත් ගෙන දෙයි. වෙනස්වන දිනිඳු තමාට සමාන යැයි ගැනීම පිටුපස ආත්මවාදයක් ඇති බව පැහැදිලි ය. දිනිඳුගේ කෙස්, හම හෝ වෙනත් එවැන්නක් හෝ නොව වෙනස් නොවන ආත්මයක් පමණක් දිගින් දිගට ම එයට ම සමාන විය හැකි ය. ඒ ආත්මය අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවීම හේතුවෙන් එයට ද වියුක්තයක් යැයි කිව හැකි ය. දිනිඳු තමන්ට ම සමාන විය හැක්කේ එවැනි වෙනස් නොවන නිත්‍ය ආත්මයක්, සදාකාලික ආත්මයක් ඇත්නම් ය. අප තේරුම් නොගත්ත දA =A යනු ආත්මවාදී ප්‍රකාශයකි.

දැන් යමකුට ප්‍රශ්නයක් විය හැක්කේ දිනිඳු තමන්ට ක්‍ෂණයක දී සමාන විය හැකි ද යන්න ය. අප එයට ඔව් යැයි පිළිතුරු දුන්න ද, ඊළඟ ක්‍ෂණයෙහි දී පවතින්නේ වෙනස් වූ දිනිඳු කෙනකු බව පැහැදිලි විය යුතු ය. එහෙත් අපට දිනිඳු යම් ක්‍ෂණයක දී තමන්ට සමාන විය හැකි ද යන ප්‍රශ්නය අප හමුවේ වෙයි. මෙහි දී අපට නැගෙන පළමු ප්‍රශ්නය නම් ක්‍ෂණය යනු කුමක් ද යන්න ය. අප ක්‍ෂණයක් යනුවෙන් අර්ථදක්වන්නේ කුමක් ද? දිනිඳු ක්‍ෂණයකට පමණක් පවතින්නෙක් ද? ඊළඟ ක්‍ෂණයෙහි දී දිනිඳු වෙනස් වුවත් එක් කුඩා ක්‍ෂණයකට පමණක් දිනිඳු පවතින්නේ ද? අප විසින් පණවන ලද සංකල්පයක් වූ, පඤ්ඤත්තියක් පමණක් වූ, කාලයෙන් කොටස් කඩා ඒ කොටස් ඉතා කුඩා කර ඒ පවතින බව අපට කිව හැකි ද? එසේත් නැතහොත් ක්‍ෂණයක් යනු කාලයෙන් විනිර්මුක්ත වූ කුඩා කොටසක් ද?

කාලයෙන් විනිර්මුක්ත වූ ක්‍ෂණ නමින් හැඳින්විය හැකි එවැනි කුඩා කොටස් පවතින්නේ ද? එසේ නම් ඒ පවත්නා කුඩා කොටස් මොනවා ද? එවැනි ක්‍ෂණ වාස්තවික ද? නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත ද? ඒ ක්‍ෂණවලට වාස්තවික පැවැත්මක් ඇත් ද? ක්‍ෂණයෙන් ක්‍ෂණයට ඇත්තේ සන්තතික වූ සම්බන්ධයක් ද? එසේත් නැත්නම් අසන්තතික ක්වොන්ටම් සම්බන්ධයක් ද? එසේත් නැතහොත් වෙනත් ම වූ සම්බන්ධයක් ද? යම් ක්‍ෂණයක දී තමන්ට ම සමාන වූ දිනිඳු ඊළඟ ක්‍ෂණයට වෙනස් වී පනින්නේ ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත ම ද? එසේත් නැත්නම් ක්‍ෂණයෙන් පිටත දී ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත නම් දිනිඳු ක්‍ෂණයක දී තමන්ට සමාන වන්නේ යැයි කීමේ තේරුම කුමක් ද?

Saturday, 2 July 2011

විඥානවාදී භෞතිකවාදියෝ

බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ විද්වතා ඒ ඒ නිරීක්‍ෂකයාට නිරීක්‍ෂණය කළ හැකි ඊනියා පෞද්ගලික පරීක්‍ෂණ ක්‍රමය ඉදිරිපත් කෙළේ යැයි කීව ද ඔහු කර ඇත්තේ චිත්ත පරීක්‍ෂණ ඉදිරිපත් කිරීම බව අපි සඳහන් කළෙමු. බටහිර විිද්‍යාවේ දාර්ශනිකයන් කෙසේ කීව ද නිරීක්‍ෂණ මත පදනම් වී නිගමනවලට එළඹී තිබුණේ ඇරිස්ටෝටලීය පද්ධතියෙහි ය. අපේ එදිනෙදා නිරීක්‍ෂණය පිහාටුවට වඩා ඉක්මණින් පොල් ගෙඩිය බිමට වැටෙන ව ය. එවැනි නිරීක්‍ෂණ මත පදනම් වී සාධාරණීකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස බරින් වැඩි වස්තුව බරින් අඩු වස්තුවට වඩා ඉක්මණින් පොළොවට වැටෙන බව ඇරිස්ටෝටලීය පද්ධතියෙහි සඳහන් වී තිබිණි.

එසේ නම් ගැලීලියෝ විද්වතා කර ඇත්තේ එදිනෙදා සාමාන්‍ය නිරීක්‍ෂණයට පිටින් යෑමකි. ඔහුට පෙන්වීමට වුවමනා වූයේ රික්තයක වස්තු එකම ත්වරණයකින් පහතට වැටෙන බව ය. එහෙත් ඔහු ඒ බව කිසි දිනෙක නො පෙන්වී ය. ඒ වෙනුවට වියුක්ත රික්තයක වස්තු වැටීම පිළිබඳව ඔහු කරුණු ඒත්තු ගැන්වී ය. ඉන්පසු බටහිර භෞතික විද්‍යාවේ එසේ එක් එක් පුද්ගලයාට ඇතිවන අත්දැකීම්, එසේත් නැතහොත් ඒ ඒ පුද්ගලයාගේ නිරීක්‍ෂණ සියළු පුද්ගලයන්ට එක ම ආකාරයෙන් වේ යැයි උපකල්පනය කරමින් සාධාරණ ව (in general) නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන කරුණු ගැන සඳහන් කෙරිණි.

ඉන්පසුව එසේ සියළුම නිරීක්‍ෂකයන්ට එකලෙස නිරීක්‍ෂණය වන්නේ නම් නිරීක්‍ෂකයන් නැතිව වුව ද ඒ සංසිද්ධි ඇතිවන්නේ ය යන්න උපකල්පනය කෙරිණි. උදාහරණයක් ලෙස ගතහොත් සියළු නිරීක්‍ෂකයනට සාපේක්‍ෂ ව වස්තු ඒකාකාර ත්වරණයකින් පොළොවට වැටෙන්නේ නම් නිරීික්‍ෂකයන් නැතිව වුව ද වස්තු ඒකාකර ව පොළොවට වැටෙන්නේ ය යන්න උපකල්පනය කෙරී එය ඊනියා සත්‍යයක් බවට පත්විණි. ඒ සමග වාස්තවික යථාර්ථය (objective reality) බටහිර විද්‍යාවට, මුල දී බටහිර භෞතික විද්‍යාවට, එකතුවිණි. 

නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ලෝකයේ විවිධ සංසිද්ධි ඇතිවන බවත් ඒ සංසිද්ධි ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වූ නියම අනුව සිදුවන බවත් නිව්ටෝනීය චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමයෙහි පසුබිමෙහි විය. විවිධ වස්තු නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ඒකාකාර ත්වරණයකින් පොළොවට ඇද වැටීම ගැලීලියෝ විද්වතාගේ නිරීක්‍ෂණවලින් සාධාරණය (generalize) කෙරුණකි. වස්තු එසේ ඇද වැටෙන්නේ විශ්වයේ සියළු අංශු එකිනෙක එක්තරා නියමයකට අනුව ආකර්ක්‍ෂණය වීම නිසා යැයි නිවිටන් විද්වතා තම චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් පෙන්නුම් කළේ ය.

චලිත නියම මෙන් ම ගුරුත්වාකර්ෂණ නියමය ද පසුව බටහිර විද්‍යාවට එකතු වූ විවිධ නියමවල පුරෝගාමී කාර්යය ඉටු කළේ ය. එයින් කියැවුණේ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු (අංශු) එකම ආකාරයකින් (යම් ගණිත ප්‍රකාශනයකට යටත් ව) ආකර්ක්‍ෂණය කරන බවත් වස්තු බාහිර බල යටතේ එකම ආකාරයෙන් යම් ත්වරණයකින් චලනය වන බවත් ය. නිවිටන් ගැලීලියෝ ආදීන් ඇතත් නැතත් වස්තු එසේ චලනය වන බව උපකල්පනය කෙරිණි.නිව්ටෝනීය නියමයට අනුව එක් අංශුවක් අනෙක් වස්තු විසින් ආකර්ෂණය කෙරෙයි. නීිරීක්‍ෂකයන් නැතිවත් කෙරෙන ආකර්ෂණය බටහිර භෞතික විිද්‍යාවට අනුව වාස්තවික නියමයක ප්‍රතිඵලයක් වෙයි.

සියළු වස්තු (අංශු) සඳහා එසේ නියම ඉදිරිපත් කෙරුණේ සාධාරණවය. එහෙත් විශ්වයේ ඇති සියළු අංශු සඳහා එවැනි පරීක්‍ෂණ නිරීක්‍ෂණ කළ අයකු නැත. මෙහි දී සිදුවන්නේ අංශු කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ හා ඊනියා නියම සාධාරණීකරණයට ලක්කිරීම ය. ඒ සාධාරණයට ලක්කිරීමට ඒ ඒ වස්තු එකිනෙක නිරී’ක්‍ෂණය කළ යුතු නො වෙි. අංශු කිහිපයක් නිරීක්‍ෂණය කිරීම ප්‍රමාණවත් වෙයි. මේ සාධාරනීකරණය අභ්‍යුහනය (induction) නමින් ද හැඳින්විය හැකි ය. අභ්‍රුහනයෙන් ලබාගන්නේ නිරපේක්‍ෂ සාධාරණත්වයකි. එක් අංශුවක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ ඒ ඒ නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වෙයි. ඒ නිරපේක්‍ෂත්වය ය.

අනෙක් අතට බටහිර භෞතික විද්‍යාවට අනුව සියළු වස්තු එකම ආකාරයෙන් චලනය වෙයි. එහි දී වස්තුව පොල් ගෙඩියක් වුවත් යකඩ බෝලයක් වුවත් එකම ගුරුත්වාකර්ෂණ නියමයට යටත්වෙයි. එමෙන් ම එකම චලිත නියම යටතේ චලනය වෙයි. නිරීක්‍ෂකයා කවුරුන් වුවත් නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු ඊනියා වාස්තවික නියමවලට යටත් වෙයි. මෙය බටහිර විද්‍යාවේ දක්නට ලැබෙන ඊනියා විශ්වීය (universal) නියමයකි. පොල් ගෙඩි දෙල් ගෙඩි පමණක් නොව සූර්යයා හා ග්‍රහවස්තු ද මන්දාකිණි ද මේ නියමයට යටත්වන්නේ යැයි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙයි.

මේ කිසිවක් ඊනියා පර්යේෂණවල හෝ නිරීක්‍ෂණවල හෝ ප්‍රතිඵල නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. බටහිර භෞතික විද්‍යාව ඇතුළු බටහිර විද්‍යා ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් ගැන අවධාරණය කළ ද ඊනියා වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය එවැනි පර්යේෂණාත්මක ක්‍රමවලින් ලබාගත හැක්කක් නො වේ. කිසිවකුට විශ්වයේ (ලෝකයේ) සිටින සියළු නිරීක්‍ෂකයන් අරභයා ඒ සියල්ලන් ම එකම ආකාරයෙන් ඒ ඒ සංසිිද්ධි නිරීක්‍ෂණය කරන්නේ දැයි නීරීක්‍ෂණයෙන් හෝ පර්යේෂණයෙන් හෝ දැනගත හැකි නො වේ. එසේ දැනගත්තත් කලින් සිටි නිරීක්‍ෂකයන් හා ඉපදීමට සිටින නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් එසේ කරන්නේ කෙසේ ද? එමෙන් ම කලින් පැවති වස්තු හා අනාගතයේ දී ඇතිවන වස්තු සම්බන්ධයෙන් එවැනි පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ කරන්නේ කෙසේ ද?

වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය හුදු උපකල්පන පමණක් වෙයි. ඊනියා අභ්‍යුහනය එහි දී යොදා ගැනෙන විධික්‍රමය යැයි කියනු ලැබෙයි. අභ්‍යුහනය නම් ගාම්භීර නමකින් හැඳින්වුව ද, එයින් කියැවෙන්නේ වස්තු කිහිපයකට නිරීක්‍ෂකයන් කිහිප දෙනකුට ගැලපෙන යම් යම් ලක්‍ෂණ මුළු මහත් විශ්වයට ම ගැලපෙන බව ය. මෙය ගණිත අභ්‍යුහනයෙන් (Mathematical Induction) ලබාගත හැකි වූවක් ද නො වේ. අනෙක් අතට ගණිත අභ්‍යහනය පියානෝගේ ස්වසිද්්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) මත පදනම් වෙයි. මේ ස්වසිද්ධි ගණිතයේ අනෙක් ස්වසිද්ධි මෙන් ම ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයකින් ලබාගත් ප්‍රතිඵල නො වේ. ඒවා හුදෙක් වියුක්ත උපකල්පන පමණක් වෙයි. මුළු මහත් ගණිතය ම පදනම් වන්නේ එවැනි ස්වසිද්ධි හා ඇරිස්ටෝටලීය න්‍යාය (logic) මත ය. හැකිනම් නිරපේක්‍ෂත්වය, වාස්තවිකත්වය හුදු පරීක්‍ෂණයෙන් හෝ නිරීක්‍ෂණයෙන් හෝ සම්පරීක්‍ෂණයෙන් හෝ පෙන්වන මෙන් අභියෝග කරමි.

වියුක්ත චින්තනය බටහිර විිද්‍යාවට නැතිව ම බැරි ය. වියුක්තය ඊනියා පුද්ගල බද්ධ පරීක්‍ෂණාත්මක ක්‍රමයට පටහැණි වෙයි. වියුක්ත චින්තනයෙහි දී පංචෙන්ද්‍රිය ගෝචර ලක්‍ෂණ බැහැර කෙරෙයි. ගැලීලියෝ විද්වතාට පීසා නුවර ඇලවෙන කුලුන වටා රික්තයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නො වී ය. ඔහු කීවේ රික්තයක් සිතෙන් මවා ගැනීමට ය. ඔහුගේ ඊනියා පරීක්‍ෂණයේ පංචෙන්ද්‍රියන්ට ගෝචර රික්තයක් නො වී ය. එහෙත් රික්තයක් නොමැතිව වස්තු වැටීම පිළිබඳ පරීක්‍ෂණයක් ද නො වී ය.

අනෙක් අතට වස්තුව යනු කුමක් ද? වස්තුව යන්න ම වියුක්ත සංකල්පයකි. වියුක්ත සංකල්ප පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. ගැලීලියෝ විද්වතාට අවශ්‍ය වූයේ යකඩ බෝල අතහැරිය ද, ඇපල් ගෙඩි අතහැරිය ද, අශ්වයන් දෙදෙනකු අතහැරිය ද, ඒ සෑම අවස්ථාවක දී ම ඒ සියල්ල එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීම ය. එසේ එක ම ත්වරණයකින් ඇද වැටීමේ ගුණය ඒ ඒ ද්‍රව්‍ය මත රඳා නොපවතින බව ද ඔහුගේ කෙසේ වෙතත් පසුව පැමිණි බටහිර භෞතික විද්‍යාඥයන්ගේ අදහස (උපකල්පනය) විය. ඇපල් ගෙඩියේ වර්ණය හෝ යකඩ බෝලයේ තදබව හෝ වෙනත් ගුණයක් හෝ අත්හරිනු ලැබූ ගෙඩියේ හෝ බෝලයේ හෝ ත්වරණය තීරණය කිරීමේ දී වැදගත් නො වේ. එබැවින් අපට පැහැයක් නැති ඇපල් ගෙඩියක් පමණක් නොව අහවල් ගෙඩිය යැයි කිව නොහැකි ගෙඩියක් හෝ කකුල් ඇති නැති ඕනෑම සතකු හෝ වෙනත් දෙයක් හෝ මෙහි දී යොදාගත හැකි ය.

වස්තුවක් යනු අතිශයින් ම වියුක්ත සංකල්පයකි. එය කිසිසේත් ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එපමණක් නොව එය සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. කලින් අපේ ප්‍රවාදවල සඳහන් කර ඇති ආකාරයට අපට දෙල් ගෙඩියක් හෝ කෙසෙල් ගෙඩියක් හෝ සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක් සිතෙන් මවාගත නො හැකි ය. එය සරල රේඛාවක් වැනි සිතෙන් මවාගත නොහැකි වූවකි. ගෙඩිය, ගස, සිවුපාවා ආදිය සිතෙන් මවාගත නොහැකි සංකල්ප වෙයි. වස්තුව යන්න ඒ සියල්ලටත් වඩා වියුක්ත වූ සංකල්පයකි. එයට හේතුව ගෙඩිය, ගස, සිවුපාවා ආදී මේ ඕනෑම සංකල්පයක් වස්තුවක් විය හැකි බැවිනි.

බටහිර භෞතික විද්‍යාව පමණක් නොව මුළු මහත් බටහිර දැනුම් පද්ධතිය ම ඊනියා වාස්තවිකත්වය මත රඳා පවතියි. එහෙත් වාස්තවිකත්වය යන්න පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවනවා පමණක් නොව සිතෙන් ද මවාගත නොහැකි සංකල්පයකි. එයින් අදහස් කෙරෙන්නේ ඒ පිළිබඳ කිසිවක් සිතෙහි පහළ නොවන බව නො වේ. වාස්තවිකත්වය යනු සිතෙහි ඇතිවන සංකල්පයකි. එය පංචෙන්ද්‍රියන්ගෙන් සංජානනය කළ නොහැකි සංකල්පයකි. එපමණක් නොව එහි රූපයක්, ගඳක් සුවඳක්, හැඩයක්, රසයක්, ශබිදයක්, තදබවක්, මොළොක්බවක් ගැන සිතෙහි මවාගත නො හැකි ය. එය යුදෙව්වන්ගේ වියුක්ත යෙහෝවා දෙවියන් වහන්සේ මෙනි. ඒ දෙවියන් වහන්සේගේ පිළිමයක්වත් ඇඹීම යුදෙව් ආගමේ තහනම් කෙරී ඇත. 

බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමුඛ බටහිර විද්‍යාවේ පමණක් නොව ඊනියා භෞතිකවාදී හෙවත් ද්‍රව්‍යවාදී (materialistic) දර්ශනවල ද පදනමේ ඇත්තේ ඊනියා වාස්තවිකත්වය වැනි කිසිසේත් ම භෞතිකවාදී නොවන මතිමතාන්තර ය. වස්තුව යන්න සිතෙහි ඇති සංකල්පයක් පමණක් වන විට වාස්තවිකත්වයක් ගැන මැත දොඩවන භෞතිකවාදීන් ගැන අප කළයුත්තේ කුමක් ද? තම පඬි බවෙන් උදම් වී භෞතිකවාදී පඬි කතා කියන පඬියන්ට අනුකම්පා කිරීම හැර කළ යුතු අන් දෙයක් ඇතැයි නො සිතමි. භෞතිකවාදී පඬියන්ට අනුව නම් භෞතිකවාදී නොවන සංකල්ප ගැන කතාකරන්නෝ විඥානවාදියෝ ය. එසේත් නැත්නම් පාර භෞතිකවාදියෝ ය. ඒ අරුතින් ගත්කල  ඊනියා වාස්තවිකත්වයක් ගැන කතාකරන භෞතිකවාදයෝ ද  විඥානවාදියෝ වෙති.