Main Logo

Tuesday 31 May 2016

විග්නේස්වරන්ගේ පියවර දෙක

විග්නේස්වරන්ගේ පියවර දෙක


ජාතික හෙළ උරුමයේ සෝභිත හාමුදුරුවන් ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ගොස් දෙමළෙන් ගායනා කිරීම මතක් කරමින් කියා තිබුණේ උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේස්වරන් ආණ්ඩුව එක් පියවරක් ගතහොත් තමන් පියවර දෙකක් ගන්නා බව සඳහන් කළ බවයි. සෝභිත හාමුදුරුවන්ගේ පක්‍ෂයේ නායක චම්පක රණවක ජාතික ගීය දෙමළෙන් ගැයීමට විරුද්ධ වූයේ නැත. මෙහි දී කිවයුතු කරුණු කිහිපයක් වෙයි.

Monday 30 May 2016

ඕල්කට් බුද්ධාගමේ විපාක

ඕල්කට් බුද්ධාගමේ විපාක

කලින් ලිපිවල සඳහන් කර ඇති පරිදි ඕල්කට්තුමා ප්‍රොතෙස්තන්තවාදී පවුලක උපත ලැබුවත් බටහිරයන් පාරසාමාන්‍ය හෙවත් අතීන්ද්‍රිය ලෙස දක්වන දේ ගැන උනන්දුවක් දක්වා තිබෙනවා. බ්ලැවට්ස්කි මැතිණියත් සමග ඇමරිකාවේ පරම විඥානාර්ථ සමාගම ගොඩ නගා තිබෙනවා. බ්ලැවට්ස්කි මැතිණියට අනුව සියළු ආගම් බිහිවී තිබෙන්නේ එක ම මූලයකින්. පරම විඥානය එහි මුලයි. එහෙත් බ්ලැවට්ස්කි මැතිණිය තම රුසියන් ඕතොඩොක්ස් ක්‍රිස්තියානි ආගමෙන් ඈත් වී නැහැ. ඇයට සියල්ල රුසියන් ඕතොඩොක්ස් ආගමට යටයි. ඒ ආගමත් මුලික වශයෙන් ගත්කල ආසියාතික මනසකට හිමිකම් කීවා.

Sunday 29 May 2016

රනිල් නැතුව මහින්ද අගමැති වෙයි ද?


මෙම ලිපිය 2016 මැයි 29 වැනි ඉරිදා රිවිර පුවත්පතෙහි පළකිරීම සඳහා යවන ලද්දකි. එහෙත් යම්කිසි හේතුවක් නිසා එය පළ නො කෙරිණි. ඉරිදා දිවයින පුවත්පත මගේ ලිපි පළකිරීම නැවතීමෙන් පසු මම ඉරිදා රිවිර පුවතප්තට ලිපි සැපයීමි. එහෙත් ඔවුහු ඉඳහිට මගේ ලිපි පළ නොකළහ. පසුකාලීනව ලිපි පළ කළේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි. මින් පසු රිවිර පුවත්පතට ලිපි නොයවමි. අවුරුදු තිස්පහකට වැඩි කාලයක් ජනමාධ්‍ය සමග පැවැත්වූ සම්බන්ධය මෙතෙකින් නිමාවෙයි. 

මෙරට ජනමාධ්‍යයෙහි සේවය කරන්නෝ බහුශ්‍රැතයෝ වෙති. මගේ ලිපි පළකිරීමට තරම් සුදුසු මට්ටමක නැති බව ඔවුන්ගේ තීරණය විය හැකි ය. විද්‍යුත් මාධ්‍ය මගේ කටහඬ ප්‍රචාරය කිරීම නවත්වා තරමක කාලයක් ගත වී ඇත.  ඊයේ  (2016 මැයි 28) මා ලියු ලිපියෙහි හතරවැනි බලයක් ගැන සඳහන් කෙළෙමි. ඒ ඉංගිරිසියෙන් ෆෝත් එස්ටේට් යන්න සඳහා යෙදුනක් විය. එය ෆෝත් එස්ටේට් මිස ෆෝර්ත් ස්ටේට් නොවන බව ජනමාධ්‍යවේදීන් දන්නේ යැයි සිතමි. එහෙත් ජනමාධ්‍ය රාජ්‍යයක් මෙන් කටයුතු කර ඇතැම් අදහස් වාරණය කරන බව නම් පැහැදිලි ය. මෙවර වාරණයට ලක්වූ ලිපිය අකරකු දු වෙනස් නොකර පහත  පළවෙයි. මින් මතු ඔවුන් මගේ ලිපි වාරණය නොකරනු ඇත.

Saturday 28 May 2016

ආණ්ඩුව මහ ඇමති ගැන නිහඬ ඇයි

ආණ්ඩුව මහ ඇමති ගැන නිහඬ ඇයි

ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතේ මෙරට වාර්තාකරු යැයි සිතිය හැකි පී කේ බාලචන්ද්‍රන් නමැත්තකු ඒ පුවත්පතට නැගෙනහිර මහ ඇමති -ආණ්ඩුකාර ප්‍රශ්නය ගැන ලියා තිබෙනවා. ඔහු ඒ ලිපිය ලියා ඇත්තේ දෙමළ ජාතිවාදී පැත්තේ සිට. ඇතැම් විට බාලචන්ද්‍රන් ද දෙමළ විය හැකි ය. එසේ වුනත් නැතත් ඔහු කියන්නේ මෙය ආණ්ඩුව හා පළාත් සභා අතර ඇති ප්‍රශ්නය එළියට ඒමක් කියා ය. ඔහුට අනුව ආණ්ඩුව බලය බෙදීමට ඇති අකමැත්ත ප්‍රශ්නය පිටුපස තිබෙනවා. 

Friday 27 May 2016

ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යය හා ඕල්කට් බුද්ධාගම

ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යය හා ඕල්කට් බුද්ධාගම

අද අප රටේ අධිපති මතවාදය ප්‍රොතෙස්තන්ත ඇංග්ලිකන් මතවාදයයි. ඊනියා උගතුන්ගේ, දේශපාලනඥයන්ගේ සිතුම් පැතුම් තීරණය වන්නේ මේ මතවාදයෙන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ මතවාද බල නොපානවා නොවෙයි. ඔවුන් ගෙවල්වල සිංහල බෞද්ධයන් ලෙස නොහැසිරෙනවත් නොවෙයි. මිනිසුන්ගේ සංස්කෘතිය පෞද්ගලිකව ගත්තත් ජනකොටසක් ලෙස ගත්තත්  සජාතීය වන්නේ නැහැ. එහෙත් එය මිශ්‍ර සංස්කෘතියක් ලෙස හඳුන්වන්න බැහැ. සංස්කෘතීන් එහෙම තමයි. සජාතීය සංස්කෘතීන් ලෝකයේ කොහේවත් නැහැ. චීනයේත් අද ඇමරිකන් සංස්කෘතියේ අංග තිබෙනවා. ඕනෑම සංස්කෘතියකට පිටින් අංග ලැබෙනවා. සමහර අංග අවශෝෂණය වෙනවා. තවත් සමහර අංග ආරෝපණ පමණයි. තවත් අංග අනුකරණය කෙරෙනවා. 

Thursday 26 May 2016

කවුද මේ මහ ඇමති

කවුද මේ මහ ඇමති

නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීර් අහමඩ් සාම්පුර් කඳවුරේ නාවික හමුදා ප්‍රධානියාට හා පළාතේ ආණ්ඩුකාරයාට බැණ වැදීමේ සිද්ධියක් සමාජයීය මාධ්‍යවල පළවෙලා දැන් හැමෝම වගේ දන්න කාරණයක් බවට පත්වෙලා. මේ සිද්ධිය ජාතික ජනමාධ්‍යවලට මුලින් ම වාර්තා වුනේ නැත්තෙ මොකද කියන ප්‍රශ්නෙත් ඒ අතර තියෙනවා. දැන් නම් ජාතික ජනමාධ්‍යවලත් සිද්ධිය වාර්තා වෙනවා. සාම්පුර් පළාතේ වාර්තාකරුවන් සිද්ධිය ජාතික ජනමාධ්‍යවලට වාර්තා නෙකෙරුවෙ ඇයි ද කියලා හරියට ම හිතාගන්න අමාරුයි. වාර්තාකරුවන් ද සිංහල නොවන නිසා සිද්ධියෙන් මුස්ලිම් මහ ඇමතිට කැළලක් වේවි කියා වාර්තා නොකළාද, එහෙමත් නැත්නම් මහා ඇමතිට බයේ වාර්තා නොකළාද යන්න අනුමාන කරන්න බැහැ. මහ ඇමතිට කිසිම කරුණාවක් නැති බව ඔහු අතපය විසිකරන විට කුඩා ළමයකුගේ ඇඟේ ඔහුගේ අත වැදීම ගැන කිසිම සැළකීමක් නොකිරීමෙන් පෙන්නුම් කරනවා. මහ ඇමතිගෙන් එච්චර කරුණාවක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. 

Wednesday 25 May 2016

දෙමළ ජාතිවාදියා විග්නේෂ්වරන් පමණක් නො වේ

දෙමළ ජාතිවාදියා විග්නේෂ්වරන් පමණක් නො වේ

සමුගනිමි හා මහින්ද ඔබ යන මග වැරදියි යන ලිපිවලින් මා ඉතා පැහැදිලිව කියා සිටියේ මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දීමෙන් වළකින බව යි. මෙයින් අදහස් කරන්නේ 2005 සිට 2015 හෝ ඉන් පසුව හෝ දක්වා මා මහින්දට පෞද්ගලික ව හමු වී උපදෙස් දුන් බවක් නො වෙයි. 2005 සිට අද දක්වා මට මහින්ද හත්අට වතාවකට වඩා හමු වී නැහැ. උපදෙස් දීම යනුවෙන් අදහස් කෙළේ මගේ ලිපි මගින් කළයුත්ත හා නොකළයුත්ත ප්‍රකාශ කිරීමයි. පසුගිය සතියේ සිට  එලෙස  උපදෙස් දීමත් මා නවතා දැම්මා. එයට හේතුව මහින්දවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්වත් ඒ කිසිවකට සවන් නොදීමයි. මහින්ද දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙළේ මා කී නිසා නොවෙයි. එය ජනතාවගේ ඉල්ලීම වූවා.  මා උපදෙස් දීම නැවැත්වුවත්  දේශපාලන විචාර ලිපි හා සිංහල බෞද්ධ දැනුම ගොඩනැගීම ගැන ලිපි ලිවීම නැවැත්තුවේ නැහැ.

Tuesday 24 May 2016

දිය හෙණය

දිය හෙණය

පහත පළවන්නේ අරණායක නාය ගිය කන්ද අසළ ජීවත්වන අය මගේ මිතුරකුට කියා ඇති තොරතුරු. මගේ මිතුරා එවූ වාර්තාව මා ඒ අයුරින් ම පළ කරනවා. 

“පස් කන්ද පහලට ආවේ දිය හෙණයකින් කියලයි මිනිස්සු කියන්නේ. විවධ හෙණ ගැන යාග හෝගවල සඳහන් බව සමහරු කියනවා. ඒ අය කියන විදිහට කන්ද උඩ විශාල තේවගාවක් තිබිලා තියනවා.පසු ගිය කාලයේ දී අක්කරයකට කිලෝ 70 පමණ ඩොලමයිට් දාලා, ඊට අමතරව වල්නාශක යොදනවා මෙයින් පස් බුරුල්වී ඇතැයි සිතනවා. දිය හෙණ ඇතිවෙන්න මේ දේවල් හේතු වෙන්න ඇති.තේ වලට අමතරව කරාබු වගාවත් ගම්මිරිස් වගාවත් තිබිලා තියනවා. මේ අය පව් පිං ගැන හිතන් නැතිව ජීවත් වෙලා. කෘමිනාශක යෙදීමට අමතරව කරාබු ගස්වල තීබූ දිඹි ගොටු ( දිඹියන් ගේ ගෙවල්) වලට මෝටීන් වැනි ස්ප්රේර ගහලා තමයි කරාබු කඩන්නේ. මෙයින් විශාල සත්ව ඝාතනයක් වී තිබෙනවා. දැන් ඒ සියලුම දෙනාත් සියලුම දේපලත් පස් යට. මේ අය විතරක් නොවයි මේ පලාත් වල ඉන්න අය දැන් බහුලව මෙවැනි දේකරනවා.”

Monday 23 May 2016

මිනිස්සු හා ඇමතිහොරු

මිනිස්සු හා ඇමතිහොරු

සුළිසුළඟ ඇවිත් ගියා. බංගලිදේශයේ දී ඒකේ ජවය හීන වෙිවි. ඒ බංගලිදේශයටත්  හානියක් කිරීමෙන් පස්සෙ. අපේ රටේ ගංවතුර හෙමින් බහිනවා. ඒ වුනත් තවත් වහීවි කියලා කියනවා. මේ වගේ විපතක් සිද්ද වුනේ අවුරුදු විසිහතකින් පස්සෙ කියලා කියනවා. ඒ ඒ දවස්වල තිබුණු ආණ්ඩු මොනවද කියලා කියන්න ඉක්මන් වෙන්නෙ නැහැ. ඒත් අපේ පරණ කතාවක් තියෙනවා රජුන් ධාර්මික වුනොත් දෙවියන් සුදුසු කාලයට වස්සනව කියලා. නුසුදුසු කාලෙට වහින්නෙ මොක ද කියල කවුරු හරි පෙන්නලා දෙනව නම් හොඳයි. ඒ විද්‍යාත්මක නූනට කමක් නැහැ.

Sunday 22 May 2016

බටහිර චින්තනය හා ඕල්කට්, විද්‍යාත්මක, තම්බයියා හා ඊනියා ගණනාථ බුද්ධාගම්

බටහිර චින්තනය හා ඕල්කට්, විද්‍යාත්මක, තම්බයියා හා ඊනියා ගණනාථ බුද්ධාගම්

ලෝකයේ ඇත්තේ එක බුදුදහමක් පමණක්්වත් එක බුද්ධාගමක් පමණක්වත් නො වේ. ඒ බව පිළිගැනීමට අකමැති උගත්තු ද වෙති. එහෙත් පළමුවැනි සංගායනාවේ සිට ම විවිධ බුදුදහම් හා බුද්ධාගම් ගැන කියැවෙයි. අපේ රටේ ඇත්තේ හීනයානයට අයත් යැයි කියන ථෙරවාදය හා ඒ ඇසුරු කරගත් බුද්ධාගම් ය. අපේ ප්‍රධාන බුද්ධාගම සිංහල බුද්ධාගම ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. සිංහල බුද්ධාගම ද වෙනස් වෙයි. ගැමුණු රජු දවස තිබූ සිංහල බුද්ධාගම අද එලෙස ම පවතින්නේ යැයි කිව නො හැකි ය. ඒ තබා දහනවවැනි සියවස අග තිබූ සිංහල බුද්ධාගම ද අද එලෙස ම නැත. මේ අනිත්‍ය නො වේ. මේ වෙනස්වීම ය. අනිත්‍යය හා වෙනස්වීම යනු දෙකකි. අනිත්‍යය, දුක්ඛ හා අනාත්ම සමග බැඳී ඇත. එහෙත් වෙනස්වීම ආත්මය සමග බැඳී ඇත. බටහිර භෞතික විද්‍යාවේ වස්තු වෙනස් වෙයි. චලනය ඒ සඳහා එක් උදාහරණයක් පමණකි. වෙනස් වුවත් එහි වස්තුවට ආත්මයක් ඇත. ජල වාෂ්ප බවට පත්වන්නේ ජලය ය. වෙනත් දෙයක් නො වේ. ඒ අනත්ත සමග එකඟ නො වේ. මේ ලිපිය අනිච්ච දුක්ඛ අනත්ත ගැන නොවන බැවින් ඒ ගැන වැඩි දුර කතා නො කරමි. 

Saturday 21 May 2016

විවිධ බුධ්ධාගම් 2

මෙම ලිපිය ධර්මසිරි සෙනෙවිරත්න විසින් ලංකාවෙබ් අඩවියේ පළකිරීම සඳහා යවන ලද්දකි. ලංකාවෙබ් අඩවිය ඒ ලිපිය පළ කර නැත. ලංකා වෙබ් අඩවියේ සංස්කාරක මා ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට කුලියට කහින්නකු යැයි ආරුඪ නමකින් සඳහන් ප්‍රතිචාරයක් පළ කෙළේ ය. ඔහු එසේ කෙළේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන නිසාත් බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ නොවන බව කියන නිසාත් ය. ධර්මසිරි සෙනෙවිරත්නගේ ලිපිය එයට එක්තරා ආකාරයක පිළිතුරක් විය. ලංකාවෙබ් අඩවිය ඒ ලිපිය පළ නොකෙළේ ඇයි දැයි සිතා ගැනීම අපහසු නො වේ.

සිංහල බුද්ධාගමේ විකාශය

සිංහල බුද්ධාගමේ විකාශය 

අද වෙසක් පුන් පොහෝ දිනයයි. රටට මහා විපතක් අත්කර දෙමින් ගැලූ ගංවතුරෙන් තවමත් බොහෝ දෙනා පීඩා විඳිනවා. ඇතැමුන් මිය ගොස්.  තවත් පිරිසක් ගැන තොරතුරක් නැහැ. දුකට පත් අය නිදුක්කිරීමට හැකි අයුරින් උත්සාහ ගැනීම අපේ යුතුකමක්. අප බොහෝ විට පතන්නේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා කියායි. ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ දුක නිවීමට සිංහල බෞද්ධයන් ද ඔවුන්ගේ ආභාසය ලබන අනෙක් ජනයා ද ඉදිරිපත් වන්නේ අපේ චින්තනය හා හැදියාව හෙවත් සංස්කෘතිය නිසයි. එසේ ඉදිරිපත් වීමේ දී අප ආණ්ඩුව කරන තුරු බලා ඉන්නේ නැහැ. සිංහල බෞද්ධයනට එක් මධ්‍යස්ථානයකින් පාලනය කෙරෙන වැඩ පිළිවෙළක් ද නැහැ. නීති සම්පාදනයේ දී හැරෙන්නට අනෙක් බොහෝ කටයුතුවල දී අපේ වැඩ කෙරෙන්නේ විමධ්‍යගතවයි. 

Friday 20 May 2016

ගංවතුර

ගංවතුර

ගංවතුර නිසා බොහෝ දෙනකු පීඩාවට පත්වෙලා. අරණායක නාය යෑමෙන් කී දෙනකු මිය ගිහින් දැයි හරියට ම කියන්න බැහැ. පාසල් වසා දැමීමට තිබුණේ මෙයට කලින්. කොළඹ පාරවල් යට වී ගොස්. ගෙවල්වලට උඩින් වතුර ගලා ඇවිත්. පාර්ලිමේන්තුව නම් යට වී නැහැ. ගංවතුර ගලාවත් ඒක හෝදන්න බැරි බව ගංවතුරට ම තේරෙන්න ඇති.

Thursday 19 May 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 7

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 7
යටත්විජිතගැති නිවට ආණ්ඩුව අද නන්දිකඩාල් ජයග්‍රහණය සැමරීම ප්‍රතික්‍ෂෙප කළත් මහින්ද කුරූණෑගල දී ඒ සමරණ අතර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කැලණියේ ද වෙනත් සංවිධාන මගින් වෙනත් ප්‍රදේශවල ද උත්සව පැවැත්වේ. මේ උපුටා දැක්වීම ඒ නිමිත්තෙන් ද වෙයි.

Wednesday 18 May 2016

මහින්ද ඔබ යන මග වැරදියි

මහින්ද ඔබ යන මග වැරදියි

අද ඔබටත් මටත් සකල සිංහල ජනතාවටමත් ලංකාවේ වාසය කරන සියල්ලන්ටමත් මෑත ඉතිහාසයේ වැදගත් ම දිනයයි. එහෙත් ඒ නොපිළිගන්නා සිංහල පඬියන් ද සිංහල නොවන වැඩි පිරිසක් ද සිටින බව අමතක නොකළ යුතුයි. ඒ ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිරයන්ගේ මතවාදවලට ගොදුරු වී සිටින බැවින්. අද ඉන්දියාව ද බටහිර මතවාදවලට ගොදුරු වී සිටිනවා. ඉන්දියාව යනුවෙන් රටක් ඉංගිරිසින් පැමිණීමට පෙර නොතිබුණත් ඒ භූමියේ අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ ජනතාව ද බටහිර ආසියාවෙන් පැමිණි මතවාදවලට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා ඒ ගැන පුදුම වීමට දෙයකුත් නැහැ. විජයගේ කාලයේ සිට ඇතැම් විට රාමගේ කාලයේ සිට ලංකාවට විවිධ වකවානුවල ආක්‍රමණ සිදු වී තිබෙනවා. ඉතිහාසය ගැන පඬියන් කියන කතාවලට වෙනස් කතාවක් මට තිබෙනවා. මූල සිංහලයන් බෞද්ධයන් වී ඇත්තේ විජය පැමිණීමටත් පෙර. රාමලාගේ විජයලාගේ සියළු දේශපාලන හා සංස්කෘතික ආක්‍රමණ අබිමුව ඔවුන්ගේ රට අබිමුව වූ අපේ රට අඩුම තරමෙන් අවුරුදු තුන්දහසකට වඩා තම අනන්‍යතාව හා ස්වාධීනත්වය රැකගෙන තිබෙනවා. එය කියුබාව ඇමරිකා එක්සත් ජනපදය අබිමුව තම අනන්‍යතාව හා ස්වාධීනත්වය රැකගෙන සිටිනවාට වඩා අති ශ්‍රෙෂ්ඨයි. 

Tuesday 17 May 2016

සමුගැනීම ගැන තවදුරටත්

සමුගැනීම ගැන තවදුරටත්

සමුගැනීම යනුවෙන් මා ලියූ ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් ම මුහුණු පොතෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.  එහෙත් මගේ ශිෂ්‍යයන් යැයි කියන අයගෙන් එක් අයකුගෙන් පමණක් ප්‍රතිචාර ලැබිණි. ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ට ම මගේ ස්තුතිය හිමිවෙයි. එහෙත් ඇතැම්හු ලංකාවෙබ් අඩවියෙන් කියැවෙන දේ අනුමත කරන බැවින් හෝ ඒ සමග ඇති මිත්‍රත්වයට කැළලක් වේය යන බියෙන් හෝ ප්‍රතිචාර නොදැක්වූහ. ජානක වංශපුර කලින් ලංකාවෙබ් අඩවියට ලිපියක් ලියා තිබිණි. ධර්මසිරි සෙනෙවිරත්න පමණක් දිගින් දිගට ම ලංකාවෙබ් අඩවියට ප්‍රතිචාර දක්වමින් ලිපි ලියමින් අපේ මතවාද වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරයි.

Monday 16 May 2016

සමුගනිමි

සමුගනිමි

මේ එක්තරා ආකාරයකින් සමුගැනීමකි. මේ ලිපිවලින් මෙයින් මතුවට කළ යුත්තේ කුමක් දැයි නොකියවෙනු ඇත. එයට ප්‍රධාන හේතුව මා කියන කිසිවක් මහින්ද හෝ ඔහුගේ කණ්ඩායමේ කිසිවකු හෝ සතපහකට මායිම් නො කිරීම ය. ඒ කණ්ඩායමේ ඇතැමුනට අනුව මම අන්තවාදියෙක්මි. සිංහල බෞද්ධ වෙබ් අඩවියක් යැයි කියා ගැනීමට සතුටු ලංකා වෙබ් අඩවියට අනුව මම ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට කුලියට කහින්නෙක්මි.  කුලිය කුමක් දැයි වෙබ් අඩවියේ සංස්කාරක දන්නවා විය හැකි ය. මා වෙනුවෙන් කතාකරන එකම සිංහල බෞද්ධයා ධර්මසිරි සෙනෙවිරත්න මහතා ය. අනෙක් අය එකී වෙබ් අඩවියේ පළ වූ කුලියට කහින කතාව අනුමත කරනවා විය යුතු ය. 

Sunday 15 May 2016

නන්දිකඩාල් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු

නන්දිකඩාල් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු

මගේ අදහස වූයේ විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලිපි පෙළ තරමක් සවිස්තරාත්මක ව ලිවීමට ය. එහෙත් එසේ කළහොත් ලිපි පෙළ ඉතා දිර්ඝ වෙයි. ඒ ලිපි පෙළ මෙයින් අවසාන වෙයි. මට අවශ්‍ය වූයේ මෙරට දෙමළ ඉතිහාසය විශේෂයෙන් ම යාපනයේ හා මඩකලපුවේ ඉතිහාසය ගැන ද යාපනයේ ජනගහනය හා සිංහල ජනතාව ගැන මෙන් ම වෙල්ලාලයන් ගැන ද නැවතත් කරුණු කීමට ය. යාපනයේ සම්පුර්ණ දෙමළ ඉතිහාසය අවුරුදු හත්සියයකට වඩා පැරණි නැත. එහි මුල් දෙමළ පදිංචිකරුවෝ මුහුදු කොල්ලකරුවෝ වූහ. ආර්යචක්‍රවර්තීහු ද මුහුදු කොල්ලකරුවෝ වූහ. පෘතුගීසීන් පැමිණෙන විට ද එහි බහුතරය සිංහල විය. වත්මන් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා ඉංගිරිසින් විසින් පදිංචි කරවනු ලැබූහ. ඒ සිංහල රජවරුන් එහි මුස්ලිමුන් පදිංචි කර අවුරුදු දෙසියයක් පමණ ගතවීමෙන් පසු ය. නැගෙනහිර පළාතේ මුස්ලිම් හා දෙමළ ජනගහන ව්‍යාප්තිය පිට්ටු බම්බු ව්‍යාප්තියක් යැයි කියැවෙයි. ඒ පොල්, පිටි, පොල්, පිටි ආකාරයෙන් මුස්ලිම් ජනයා අතර දෙමළ ජනයා පදිංචි කෙරී ඇති බැවිනි. යාපනයේ වත්මන් නායකයන්ගේ ඉතිහාසය අවුරුදු තුන්සියයකට වඩා ඈතට නො යයි.

Saturday 14 May 2016

දෙමළ ත්‍රස්තවාදීන් සැමරීම

දෙමළ ත්‍රස්තවාදීන් සැමරීම

මෙම මස දහඅටවැනිදා සමරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය නොවන බව ඉතා පැහැදිලි ය. ආණ්ඩුව රණවිරුවන්ට නිග්‍රහ කරමින් කමකට නැති රැස්වීමක් පැවැත්වීමට යන අතර දෙමළ ජාතිවාදීන් ඊනියා ජනසංහාරය සමරනු ඇත. ශිවාජිලිංගම්ලා සමරන්නේ තම මියගිය නෑදෑයන් පමණක් නොවන බව පැහැදිලි ය. චන්ද්‍රිකාවාදී රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරයා පවසා ඇත්තේ මියගිය නෑයන් සැමරීමට ඕනෑම කෙනකුට අයිතියක් ඇති බව ය. එහෙත් පැකේජයක් ගෙනැවිත්, සුදු නෙළුම් ගෙන අවලම් තවලම් යමින් රට බෙදීමට උත්සාහ කළ චන්ද්‍රිකාවාදීන්ට කෙසේ වෙතත් පැකේජයට එරෙහිව එදා කතරගමට පා ගමන්, රිය පෙරහෑර පමණක් නොව කිරින්දට මුහුදු යාත්‍රා සංවිධානය කරමින් ඒවාට සහභාගි වූ ද සම්මන්ත්‍රණ පවත්වමින් රට වටේ වැඩම කළ භික්‍ෂූන් වහන්සේට හා ගමන් කළ  ගිහියන්ට එහි ප්‍රශ්න එකක් නොව කිහිපයක් ම ඇත. අද ඇතැම් ජාතිකවාදීන්ට ද දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ, චින්තන පර්ෂදය වැනි සංවිධාන දිගින් දිගට ම කර ඇති කාර්යභාරය අමතක වීම කණගාටුදායක ය. එදා ජාතික ඒකාබද්ධ කමිටුව සිංහල කොමිසමක් පත්කර ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් සාක්‍ෂි විමසා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙළේ ය. කමිටුවේ වාර්තාව එ ජා ප ප්‍රතිපත්ති මත පිහිටා නිකුත් කිරීම කණගාටුදායක ය. වාර්තාවට විරුද්ධ වූ දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, ර්ැහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය ජාතික ඒකාබද්ධ කමිටුවෙන් ඉවත් කිරීමට පියවර ගැණිනි. එසේ ඉවත් කිරීමට මුල් වූවන් අතර චම්පක රණවීර හා රතන හිමියන් ද වීම අපට එදත් පුදුමයක් නො වී ය. අද ජාතික හෙළ උරුමයට රණවිරුවන් අමතක ය.

Friday 13 May 2016

බුදුදහම හා බුද්ධාගම

බුදුදහම හා බුද්ධාගම

මහායාන, හීනයාන, එහි ප්‍රභේදයක් වූ ථෙරවාද, මූල සිංහල, සිංහල, ඕල්කට්, විද්‍යාත්මක, තම්බයියා ආදී වශයෙන් බුද්ධාගම් රාශියක් වෙයි. මේ සෑම බුද්ධාගමට ම එයට ආවේණික බුදුදහමක් වෙයි. සියල්ලන්ට පොදු වූ බුදුදහමක් නැත. බුදුදහම හා බුද්ධාගම අතර වෙනසක් තිබුණ ද එහි බැඳීමක් ද වෙයි. ඕනෑම බුද්ධාගමකට බුදුදහමක් අවශ්‍ය වුව ද බුදුදහමකට බුද්ධාගමක් අවශ්‍ය නො වේ. විද්‍යාත්මක බුද්ධාගමෙහි බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ වෙයි. එහෙත් එහි ප්‍රශ්නයක් වෙයි. මේ එකඟත්වය වත්මන් බටහිර විද්‍යාවේ ප්‍රවාද සමග ය. බටහිර විද්‍යාවේ ප්‍රවාද වෙනස්වන විට විද්‍යාත්මක බෞද්ධයෝ තම බුදුදහම ද වෙනස් කරත් ද? ඔවුන් දැනටමත් එසේ කර ඇත. අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියැවෙන්නේ සංකෝචනය වන ප්‍රසාරණය වන විශ්වයකි. විශ්වයට ආරම්භයක් ඇත්නම් ජීවීන් ආරම්භ වූයේ කෙසේ ද? රසායනික පරිණාමයකින් ද? ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ නැවත ජීවිත ආරම්භ කරන්නේ මවන ලද ජීවීන්වත් රසායනික පරිණාමයකින් හටගත් ජීවීන්වත් නොව හිටපු ජීවීන් ය. එහෙත් අද විද්‍යාත්මක බෞද්ධයෝ මහා පිපිරුමට සරිලන ලෙස අග්ගඤ්ඤ සූත්‍රය වෙනස් කරති. 

Thursday 12 May 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 6

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 6
මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x මේ යෝජනාවලිය සංශෝධනය කෙරීමට ඔබ එකඟ නොවන්නේ මෙයින් සාමය ඇති නොවන බැවින් පමණක් ද ?

Wednesday 11 May 2016

ආගම හා සංස්කෘතිය

ආගම හා සංස්කෘතිය

අපේ අරමුණ ඕල්කට් බුද්ධාගම ගැන තරමක් විස්තරාත්මක ව සාකච්ඡා කිරීම ය. මේ ලිපි ඒ සඳහා හැඩ ගැස්වීමක් වෙයි. අද අපට ප්‍රශ්නයක් වී ඇත්තේ ඊනියා උගතුන්, ඇතැම් ජාතිකවාදීන් ද ඇතුළුව, සිංහල බුද්ධාගම වෙනුවට ඕල්කට් බුද්ධාගම අනුගමනය කිරීම ය. දේශපාලනඥයෝ සම්මත උගතුන්ට පිටින් යෑමට අකමැති වෙති. දේශපාලනඥයන් බාගෙට (අර්ධ වශයෙන්) නොව මුළුමණින් ම සිංහල බුද්ධාගම අනුගමනය කරන්නේ නම් අපේ රටේ ප්‍රශ්න බොහෝමයකට විසඳුම් සොයා ගත හැකි ය. අඩුම තරමෙන් ප්‍රශ්න කවරේ දැයි තේරුම් ගත හැකි ය. අද ඊනියා දෙමළ ප්‍රශ්නයක් ඇතැයි සැලකෙන්නේ දේශපාලනඥයන් සිංහල බුද්ධාගම පූර්ණ වශයෙන් අනුගමනය නොකරන බැවිනි. බොහෝ දෙනා නොදන්නා අනගාරික ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර වූ මතගැටුම සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම අතර වූ වෙනසෙහි ප්‍රතිඵලයකි. ඕල්කට්තුමා සීකීමයෙන් පැමිණි මහින්ද හිමියන් මෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය වැළඳ නො ගත්තේ ය. මෙරට ඊනියා උගත්තු ඕල්කට්තුමා ගැන දනිති. වයස්ගත ගැමියෝ මහින්ද හිමියන්ගේ නිදහසේ කවි දනිති. තරුණ භික්‍ෂූන් වහන්සේට ඒ කවි මතක් කර දිය යුතු ය.

Tuesday 10 May 2016

ආගමේ වගතුග

ආගමේ වගතුග

බුද්ධාගම යන්න වැරදි ව්‍යවහාරයක් වුවත් අපට අද එය පමණක් නොව ඕල්කට් බුද්ධාගම, තම්බයියා බුද්ධාගම, විද්‍යාත්මක බුදධාගම ආදී සංකල්ප ද යොදාගැනීමට සිදු වී ඇත. එසේ යොදා ගැනීමේ දී අපි ආගම යන්නට අර්ථකථනයක් දෙමු. දැනුම යනු අවසානයේ දී අපේ අර්ථකථන (නිර්වචන), සංකල්ප, ප්‍රවාද ආදිය යි. දැනුම යනු අපේ සංස්කරණයක් පමණකි. හැකි අයුරෙන් අනෙක් දැනුම් සමග සංගත අර්ථකථන දීමට අප උත්සාහ ගත යුතු ය.  බුද්ධාගම ගැන කතාකිරීමට පෙර අපි මෙහි දී ආගම යන්නෙහි වගතුග සොයා බලමු.

Monday 9 May 2016

සිංහල බෞද්ධ විද්‍යාඥයන් පට්ටපල් මෝඩයන් ද?

සිංහල බෞද්ධ විද්‍යාඥයන් පට්ටපල් මෝඩයන් ද?

බොහෝ සිංහල බෞද්ධ උගතුන්ට අනුව බුදුන්වහන්සේ අග්‍රතම විද්‍යාඥයාණෝ වෙති. ඔවුන්ට අනුව බුදුන්වහන්සේ ද විද්‍යාත්ම විධික්‍රමය අනුගමනය කළසේක. පර්යේෂණ කළහ. මේ සියල්ලෙහි විද්‍යාව යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ බටහිර විද්‍යාව බව පැහැදිලි ය. එහෙත් ඔවුන් එයට විරෝධය දක්වනු ඇත්තේ බටහිර විද්‍යාවක් යනුවෙන් දෙයක් නැති බවත් ඇත්තේ එකම එක විද්‍යාවක් බවත් කියමිනි. ථෙරවාද බෞද්ධයන් ඉගෙන ගන්නා, ඉගෙන කියන ඉතිපිසො ගාථාවෙහි සඳහන් විජ්ජාචරණ යන බුදුගුනයෙන් අදහස් කරන්නේ මේ එකම එක විද්‍යාව යැයි ඔවුහු අපට කියා දෙති.

Sunday 8 May 2016

එදිනෙදා කතා පමණක් මදි

එදිනෙදා කතා පමණක් මදි

අද සිංහලයන්ගේ ආකල්ප පිළිබඳ එතරම් සතුටට පත්විය නො හැකි ය. සිංහලයන්ගෙන් ඉතා වැඩි පිරිසක් අද මොනයම් මැතිවරණයක් පැවැත්වුවත් මහින්දට ඡන්දය දෙන බව පැහැදිලි ය. එහෙත් ඔවුන්ට තමන් මහින්ද ලවා කරවීමට බලාපොරොත්තුවන්නේ කුමක් ද යන්න පිළිබඳ පැහැදිලි මතයක්  තිබේ ද? රට සංවර්ධනය කිරීම ඉන් එකකි. එහෙත් රට සංවර්ධනය කිරීම යනුවෙන් ඔවුන් සිතන්නේ බටහිර ක්‍රමයේ සංවර්ධනයක් ඇති කිරීම ය. අපට වෙනත් ක්‍රමයක සංවර්ධනයක් ගැන සිතීමට නොහැක්කේ අපේ සිතුම් පැතුම් බටහිර අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින් පාලනය කෙරෙන බැවිනි. අපට විකල්ප අධ්‍යාපනයක් ගැන හෝඩුවාවක්වත් නැත. පැරැන්නන් දැනුම ලබාගත්තේ කෙසේ දැයි සිතීමට අප පෙළඹෙන්නේ නැත්තේ ඇයි?

Saturday 7 May 2016

ඕල්කට් බුද්ධාගමට පිවිසුමක්

ඕල්කට් බුද්ධාගමට පිවිසුමක්

මේ ලිපිවල අරමුණ බටහිර දැනුමෙන් නිදහස් වී අප නිදහස් වීම ය. එයින් අදහස් කරන්නේ බටහිර දැනුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීම නො වේ. මේ ලිපි ලියන්නේ ද මුහුණුපොතට හා කාලය වෙබ් අඩවියට එකතුකරන්නේ ද බටහිර දැනුම යොදා ගනිමිනි. බටහිර දැනුම අනුකරණය නොකර, එහි වහළුන් නොවී අපට අවශ්‍ය අන්දමට ඒ දැනුම යොදා ගනිමු. වත්මන් බටහිර දැනුම සංස්කරණය කෙරෙන්නේ හිතළු ලෙස ය. බටහිර විද්‍යාව තරම් පට්ටපල් බොරුවක් මිනිසුන් විසින් සංස්කරණය කෙරී නැත. එහි හිතළු දහසකින් එකක් වැඩකරන විට එය දොහොත් මුදුණින් පිළිගැනීමට අපට බටහිරයන් උගන්වා ඇත. මේ ලිපිවල මගේ පෞද්ගලික තොරතුරු ද සඳහන් වෙයි. මෙහි ඇත්තේ මට සාපේක්‍ෂ මගේ දැනුම ය. මා යනුවෙන් පුද්ගලයකු නැතත් ඒ මිනිසුන් (සත්ත්වයන්) විසින් සංස්කරණය කෙරී ඇති භයානක ම සංකල්පය වුවත් මගේ දැනුම ප්‍රකාශ කිරීමේ දී මගේ පෞද්ගලික තොරතුරු ද හෙළි කිරීමට මම මැළි නො වෙමි. මගේ දැනුම සංස්කරණය කිරීමේ දී මගේ පෞද්ගලික අත්දැකීම් ද වැදගත් වෙයි. ඒ අත්දැකීම් පාඨකයන්ගෙන් වසංකර බටහිරයන් මෙන් ඊනියා වාස්තවික දැනුමක් සේ මගේ දැනුම ඉදිරිපත් කිරීමට මට අවභ්‍ය නැත. මට මගෙන් වෙන්වූ දැනුමක් දැනට (නිවන් අවබෝධ වන තෙක්) නැත. තැනක් නොවූ නිවන සියළු දැනුම්වලින් තොර ය. 

Friday 6 May 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 5

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 5
මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x ඉදිරිපත් කර ඇති දේශපාලන යෝජනාවලිය මේ ප‍්‍රශ්නයට විසඳුමක් නොවේ ද ?

ඔබ මේ ප‍්‍රශ්නය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?

Thursday 5 May 2016

මහින්ද විශේෂයි කතානායක නිවටයෙක්

මහින්ද විශේෂයි කතානායක නිවටයෙක්

පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදු වූ ගුටි බැට හුවමාරුවට රනිල් සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. ආගමින් පමණක් බෞද්ධයකු වූ රනිල් බටහිරයන්ගේ කූටෝපක්‍රම ක්‍රියාත්මක කරන්නේ ඔහුට හුරු පුරුදු ඇංග්ලිකන් සංස්කෘතියෙහි ය. අද පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ව කතානායක ද රනිල් ය. කරු ජයසූරිය යනු නිවටයෙකි. පාරිලිමේන්තුවේ දී එදා සිදුවූයේ කුමක් ද? පළමු පහර දීම සිදු වී ඇත්තේ කවුරුන් අතින් ද යන්න වීඩියෝ පටයෙන් පෙන්නුම් විය යුතු නමුත් එය තාජුඩීන් සම්බන්ධ වීඩියෝ පටය හෝ සිල්බිඳ ගත් චම්පක සම්බන්ධ වීඩියෝ පටය හෝ මෙන් “විද්‍යාත්මක” වේ ද  යන ප්‍රශ්නය ඇත. කෙසේ වෙතත් මෙහි දී අදාළ වන්නේ ගුටි බැට හුවමාරුවට වඩා එතැනට මන්ත්‍රීවරුන් යොමු කළ රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය ය. 

Wednesday 4 May 2016

බ්ලැවට්ස්කි මැතිණියගේ පරම විඥානාර්ථය

බ්ලැවට්ස්කි මැතිණියගේ පරම විඥානාර්ථය

මේ ලිපිවල සඳහන් තොරතුරු අවශ්‍ය අයකුට අන්තර් ජාලයෙන් ලබාගත හැකි ය. එහි දක්වා ඇති ආශ්‍රිත ග්‍රන්ථ කියවා අවශ්‍ය නම් තවත් දත්ත ලබාගත හැකි ය. එහෙත් දත්ත ආශ්‍රයෙන් කියන කතාව අන්තර්ජාලයේ නැත. මා මෙහි දී උත්සාහ කරන්නේ සාමාන්‍යයෙන් දහනවවැනි සියවසේ සිදුවිණි යැයි කියන බෞද්ධ පුනර්ජීවනය සිංහල බෞද්ධ ඇසකින් දැකීම ය. එනම් සිංහල බුද්ධාගමට සාපේක්‍ෂව දහනවවැනි සියවසේ අග සිදු වූ නැගිටීමක් තේරුම් ගැනීම ය. එහි දී පාණදුරා වාදයට වටිනාකමක් දීමට බොහෝ දෙනා පෙළඹෙති. මා සිතන අයුරින් නම්,  පාණදුරේ බෞද්ධ පුනර්ජීවනයේ නගරය ලෙස හැඳින්වීමට වඩා ඕල්කට් බුද්ධාගමෙහි යෞවනොදයේ නගරය ලෙස හැඳින්වීම යුක්තියුක්ත බව ය. පාණදුරා වාදයට වැදගත් තැනක් ඉතිහාසයේ ඇත. ඒ සිංහල බුද්ධාගමේ පුනර්ජීවනයක් සම්බන්ධයෙන් නොව මෙරට යටත්විජිත විරෝධී අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් ලෙස ය. සිංහල බුද්ධාගමේ පුනර්ජීවනයක් වෙතොත් ඒ අනාගතයේ දී ය.

Tuesday 3 May 2016

ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය

ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය

ඕල්කට් බෞද්ධයන් ගැන දැනගැනීමට ඕල්කට්තුමා සම්බන්ධ තොරතුරු ද අවශ්‍ය වෙයි. ඕල්කට්තුමා මෙරටට පුැමිණීමට පෙර ඕල්කට් බෞද්ධයන් සිටි නමුත්  නමුත් ඔවුන් සංවිධානය වූයේ එතුමාගේ පැමිණීමෙන් පසුව ය. ඕල්කට්තුමා ගැන දැනගැනීමට බ්ලැවට්ස්කි මැතිණිය ගැන ද දැනගත යුතු ය.

Monday 2 May 2016

නව සංවිධානයක් පිහිටුවීමට විරුද්ධ කවුද

නව සංවිධානයක් පිහිටුවීමට විරුද්ධ කවුද

මැයි දිනය කම්කරු දිනය නොවන බව නැවතත් පැහැදිලි කරමින් රනිල් වික්‍රමසිංහ ද තවත් මැයි දිනයක් පැවැත්වී ය. රණසිංහ ප්‍රේමදාස මරා දමනු ලැබුයේ ද එ ජා ප මැයි දින පෙළපාලියක දී ය. මෛත්‍රිපාල ගාලු යෑමට පෙර ප්‍රේමදාස සමරු උත්සවයකට ද සහභාගි විය.  දේශපාලන පක්‍ෂවල බලය උරගාන සංදර්ශනයක් වූ මැයි දිනයේ දී වාර්තාවන ආකාරයට මෙවර ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. මෛත්‍රිපාලගේ මැයි දිනයට සහභාගි වූයේ ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් අය පමණ ද යන ප්‍රශ්නය පැන නැගී ඇත. 

Sunday 1 May 2016

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 3

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 3

පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහා වාද ඇති වුණේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලො සැක්සන් හෙවත් ඇංග්ලිකන් ප්‍රභේදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර ය. පාණදුරා වාදයට මූල් වූ ආසන්න හේතුව වී ඇත්තේ පාණදුරේ මෙතෝදිස්ත පල්ලියේ  ප්‍රධාන පූජක තැන වූ දාවිත් ද සිල්වා බුදුදහම විවේචනය කරමින් හා අපහාසයට ලක්කරමින් කරන ලද ප්‍රකාශ ය (මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ මා නමින් ඇති පිටුවෙහි හා කාලය වෙබ් අඩවියෙහි පළ වී ඇති හා ඉදිරියට පළවන ලිපි ද කියවන මෙන් ඉල්ලමි. ඒ ලිපි බොහෝ දෙනාට කියවීමට නොහැකි බව මා දන්නා නමුත් එසේ පළකිරීමට සිදු වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, හා රිවිර හැරෙන්නට මුද්‍රිත මාධ්‍ය, මගේ අදහස් අන්තගාමී වල්පල් එදාවේල ලෙස සලකා ඒවාට  කිසිම ප්‍රසිද්ධියක් නොදෙන බැවිනි. පොලිස්පති පත්කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව 19 වැනි සංශෝධනයට පටහැනි ව ක්‍රියාකර ඇති බවට මා පළකළ අදහසට කිසිම ප්‍රසිද්ධියක් නොලැබිණි. එහි තර්කය වැරදි යැයි ඔවුන් නිගමනය කරන්නට ඇත. එය මුහුණු පොතෙහි පළ වී ඇත). විවාදයෙහි දී ඇංග්ලිකන් දේශකයකු වූ සිරිමාන්න නමැත්තකු ද පූජකවරයාට සහාය වී ඇත.