දිය හෙණය
පහත පළවන්නේ අරණායක නාය ගිය කන්ද අසළ ජීවත්වන අය මගේ මිතුරකුට කියා ඇති තොරතුරු. මගේ මිතුරා එවූ වාර්තාව මා ඒ අයුරින් ම පළ කරනවා.
“පස් කන්ද පහලට ආවේ දිය හෙණයකින් කියලයි මිනිස්සු කියන්නේ. විවධ හෙණ ගැන යාග හෝගවල සඳහන් බව සමහරු කියනවා. ඒ අය කියන විදිහට කන්ද උඩ විශාල තේවගාවක් තිබිලා තියනවා.පසු ගිය කාලයේ දී අක්කරයකට කිලෝ 70 පමණ ඩොලමයිට් දාලා, ඊට අමතරව වල්නාශක යොදනවා මෙයින් පස් බුරුල්වී ඇතැයි සිතනවා. දිය හෙණ ඇතිවෙන්න මේ දේවල් හේතු වෙන්න ඇති.තේ වලට අමතරව කරාබු වගාවත් ගම්මිරිස් වගාවත් තිබිලා තියනවා. මේ අය පව් පිං ගැන හිතන් නැතිව ජීවත් වෙලා. කෘමිනාශක යෙදීමට අමතරව කරාබු ගස්වල තීබූ දිඹි ගොටු ( දිඹියන් ගේ ගෙවල්) වලට මෝටීන් වැනි ස්ප්රේර ගහලා තමයි කරාබු කඩන්නේ. මෙයින් විශාල සත්ව ඝාතනයක් වී තිබෙනවා. දැන් ඒ සියලුම දෙනාත් සියලුම දේපලත් පස් යට. මේ අය විතරක් නොවයි මේ පලාත් වල ඉන්න අය දැන් බහුලව මෙවැනි දේකරනවා.”
බැලූ බැල්මට මෙය මිථ්‍යාවක් කියා ඉවත දැමීමට පඬියන් පෙළඹෙන්න පුළුවන්. අපේ රටේ ඕනෑම දැනුමක් මිථ්‍යාවක් ලෙස ඉවත දැමීමට අපට ඉංගිරිසින් උරුම කර දුන් අධ්‍යාපනයෙන් ඉගැන්වෙනවා. ඒක ගැන අප පුදුම විය යුතු නැහැ. බටහිරයන්ට තම ලෝක ආධිපත්‍යය රැකගත හැකි ප්‍රධාන ම ක්‍රමය තමයි ඔවුන්ගේ දැනුම පමණක් නියම දැනුම සත්‍ය දැනුම ආදී වශයෙන් ප්‍රචාරය කිරීම. ඔවුන් ඒ සඳහා අධ්‍යාපනය හා ජනමාධ්‍යය යොදා ගන්නවා. අපේ රටවල ඒ අධ්‍යාපනයෙන් බිහිවුණු අය තම ආධිපත්‍යය තවමත් පතුරන නිසා අපේ දැනුම් මිථ්‍යා බවට පත්කෙරුණා, පත්කෙරෙනවා.
ඒ වුණත් සිංහල බුද්ධාගම කොතරම් මේ රටේ පළපැදියන් වෙලා තියෙනවාද කියනවා නම් මේ පඬියන්ට බුද්ධාගම මිථ්‍යාවක් කියලා කියන්න බැහැ. එ නිසා ඔවුන් ඊළඟට කරන්න පුළුවන් හානිය කරනවා. ඒ බුද්ධාගම විද්‍යාත්මක කිරීම මගින්. එහි දී ඔවුන් කර්මය, පුනබ්භවය ආදියත් බටහිර විද්‍යාත්මක ව ආනුභවික (පංචෙන්ද්‍රියවලට ගෝචර) නොවන බැවින් අත්හරිනවා. පඬියන් කාලාම සූත්‍රයට දෙන අර්ථකථන සම්පුර්ණයෙන් වැරදියි. බටහිරයන්ගේ සුවච සේවකයකු වන දලයි ලාමා කියා තිබෙනවා බුදුදහම හා විද්‍යාව අතර වෙනසක් තිබේ නම් අප විද්‍යාව පිළිගත යුතු ය කියා. ඒ බව බුදුදහම විකෘති කරන ඩේවිඩ් බැරෑෂ් නම් යුදෙවු වර්ගයට අයත් මහාචාර්යවරයාගේ බුඩිස්ට් බයොලොජි කියන පොතේ සඳහන් වෙනවා. බටහිර ජනප්‍රිය බුදුදහම මහායානය මිස ථෙරවාදය නො වේ. බැරෑෂ්ගේ පොතේ දලයි ලාමා හා මහායාන උගතුන් ගැන සඳහන් වෙනවා. එහෙත් ලංකාවේ කිසිම බෞද්ධ උගතකු ගැන සඳහන් වන්නේ නැහැ!
පඬියන් කොපමණ කෑ ගෑහුවත් අද ජනමාධ්‍යවලට ඊනියා මිථ්‍යාවන්ට වැදගත් කමක් දීමට සිද්ධ වෙලා. ඉරිදා පුවත්පත්වලත්, ඒ වගේම රූපවාහිනී නාලිකාවලත් පඬියන් කියන ඊනියා මිථ්‍යා මතවලට ප්‍රචාරය ලැබෙනවා. එහෙත් ඔවුන් මගේ මතවලට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. ඔවුන් ඒවා දරුණු ම ගණයේ මිථ්‍යා ලෙස සිතනවා ද දන්නේ නැහැ. ඒ කුමක් වුවත් දිය හෙණය කියන්නෙ මොකක් ද කියලා හෙවුවොත්, අර යාගවල සඳහන් යැයි කියන විවිධ හෙණ ගැන හෙවුවොත් නරක ද? අපේ මිනුසුන් අණ, වින, හෙණ ගැන කතාකරනවා. මේ හෙණ කියන්නෙ විදුලි කෙටීම්වලට පමණක් නොවන බව පැහැදිළියි. වැහි නැති හෙණ කියන්නෙ මෙනවට ද කියල හෙවුවට හෙණ ගහන එකක් නැහැ. දිය හෙණය කියන ව්‍යවහාරය අනුව හෙණයක් පාත් වෙනවා කියන එකට අප නොදැන සිටි අරුතක් ලැබෙනවා.
මේ තරම් කෘමි නාශක යොදද්දි මේ අරනායක කන්ද විතරක් නාය ගියේ ඇයි ද කියාත් අනෙක් තැන්වලට දිය හෙණ පාත්වුනේ නැත්තෙ මොකද කියාත් පඬියකු අසන්නට පුළුවන්. ඒකට කතන්දරයක් හදන එක මහ වැඩක් නො වෙයි. අපටත් අහන්න පුළුවන් ඇයි මෙච්චර වහිද්දි මේ කන්ද විතරක් නාය ගියේ කියලා. ඒ වගේ ම අපට අහන්න පුළුවන් වයිරස් පැතිර යන විට ටික දෙනකු විතරක් එයින් පීඩාවට පත්වනනෙ කියලා. සංගත කතන්දර ගොතන එක බටහිරයන්ට විතරක් නෙවෙයි අපටත් පුළුවන්. හැබැයි අපේ කතන්දර ගෙතෙන්නෙ වෙනත් ම චින්තනයක.
මිනිසුන් කියනවා මේ 1989න් පස්සෙ වෙච්ච හානිකර ම ගංවතුර කියා. ඒ අවස්ථා දෙකේ ම වෛරී දේශපාලනය රජයනවා. වෛරී දේශපාලනය අවසන් වන්නේ හොඳින් නෙවෙයි. දැන්වත් වෛරී දේශපාලනය අත්හරිනවා නම් රටටත් ජනතාවටත් හොඳයි. මිනිසුනුත් අඩුම තරමෙන් පන්සිල්වත් රකිනවා නම් තවත් හොඳයි. පන්සිල් ගත්තාට මදි, රකින්නත් ඕන. ගංවතුර අවස්ථාවෙ දක්වන කරුණාව, අනුකම්පාව හැමදාමත් දක්වන්න ඉටාගනිමු. සතර බ්‍රහ්ම විහරණය තවම ටිකක් අමාරු වෙන්න පුළුවන්.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 මැයි 24