Main Logo

Sunday 8 May 2016

එදිනෙදා කතා පමණක් මදි

එදිනෙදා කතා පමණක් මදි

අද සිංහලයන්ගේ ආකල්ප පිළිබඳ එතරම් සතුටට පත්විය නො හැකි ය. සිංහලයන්ගෙන් ඉතා වැඩි පිරිසක් අද මොනයම් මැතිවරණයක් පැවැත්වුවත් මහින්දට ඡන්දය දෙන බව පැහැදිලි ය. එහෙත් ඔවුන්ට තමන් මහින්ද ලවා කරවීමට බලාපොරොත්තුවන්නේ කුමක් ද යන්න පිළිබඳ පැහැදිලි මතයක්  තිබේ ද? රට සංවර්ධනය කිරීම ඉන් එකකි. එහෙත් රට සංවර්ධනය කිරීම යනුවෙන් ඔවුන් සිතන්නේ බටහිර ක්‍රමයේ සංවර්ධනයක් ඇති කිරීම ය. අපට වෙනත් ක්‍රමයක සංවර්ධනයක් ගැන සිතීමට නොහැක්කේ අපේ සිතුම් පැතුම් බටහිර අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින් පාලනය කෙරෙන බැවිනි. අපට විකල්ප අධ්‍යාපනයක් ගැන හෝඩුවාවක්වත් නැත. පැරැන්නන් දැනුම ලබාගත්තේ කෙසේ දැයි සිතීමට අප පෙළඹෙන්නේ නැත්තේ ඇයි?


ඒ පැත්තකින් තබන්න. ඉන්දියාවේ පහළ වූ එකම ගණිතඥයා වු ස්‍රීනිවාසන් රාමනුජන් දැනුම ලබාගත්තේ කෙසේ ද යන්න ගැන වත්මන් සිංහලයන් තබා වත්මන් ඉන්දිියානුවන්වත් සිතන්නේ නැත. ඔහු කිසිම අයුරකින් බටහිර ගණිතඥයෙක් නො වී ය. ඔහු ගැන රොබට් කැනිගල් ලියු අනන්තය දත් මිනිසා (The man who knew infinity) යන පොත මත පදනම් වී අද මැතිව්ස් බ්‍රවුන් විසින් එංගලන්තයේ චිත්‍රපටියක් අධ්‍යක්‍ෂණය කෙරී ඇත. සුද්දන්ට ඔහු තේරුම් ගැනීමට නොහැකි වුවත් ඔහුට තමන්ට නොතේරෙන දෙයක් තේරුම් ගැනීමට හැකි වූ බව තේරුම් ගොස් ඇත. (අප්‍රේල් 6 වැනි දා නිකුත් වූ චිත්‍රපටිය තවමත් ප්‍රදර්ශනය කෙරෙන්නේ එංගලන්තයේ පමණක් විය හැකි ය. https://www.youtube.com/watch?v=oXGm9Vlfx4w). රාමනුජන්ට බටහිර ගණිතයේ සාධනය යන්න ගැන වැටහීමක් තිබුණේ නැත. 

බටහිර ගණිතය ප්‍රෝඩාවක් බව ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් පොත ලුවිස් කැරොල් නමි් ආරූඪ නමින් ලියූ චාල්ස් ඩොඩ්ස්ටන් දැන සිටියේ ය. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙහි ක්‍රයිස්ට් චර්ච්හි බටහිර ගණිතය පිළිබඳ කථිකාචාර්යවරයෙක් විය. ඔහු ඒ පොත ලියා ඇත්තේ ළමයින්ට යැයි බොහෝ දෙනා සිතුව ද වැඩිහිටියන්ට ඉගෙන ගත හැකි කරුණු බොහොමයක් එහි ඇත. එකල ලංකාවේ ප්‍රධාන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ පොත සුරංගනා කතාවක් ලෙස කියවූහ. අද මහළු වියේ පසුවන ඔවුන්ට එය තවමත් සුරංගනා කතාවක් පමණි. ඇතැම් පඬියන් එයට ෆැන්ටසියක් යැයි කීමට ද ඉඩ ඇත. එහෙත් එය එසේ නො වේ. 

මා නිතර මතුකරන ප්‍රශ්නයක් A =B  හා B=C  නම්A=C  ලෙස නිගමනය කරන්නේ කෙසේ ද යන්න ලුවිස් කැරොල් ද  සාකච්ඡා කර ඇත. සමස්ත බටහිර ගණිතයේ ම එන අපෝහනය (deduction) පිළිබඳ ප්‍රශ්නයක් වෙයි. එහි අනුමාන (inference) නීති ලබාගන්නේ කෙසේ දැයි පැහැදිලි කෙරී නැත.  එය බටහිර ගණිතයේ නිසි අයුරින් සාකච්ඡා වී නැත. මේ නීති ප්‍රධාන වශයෙන් ම උද්ගමනයෙන් (induction) ලැබෙන්නේ යැයි මම විශ්වාස කරමි. මේ ප්‍රශ්නය එයටත් වඩා එහා ගොස් බටහිර විද්‍යාවේ මතුවෙයි. එහි ඒ සඳහා අනපෝහනය (abduction) නමින් ක්‍රමයක් ගැන බටහිර දාර්ශනිකයකු වූ පියර්ස් දහනවවැනි සියවසේ අග සාකච්ඡා කර ඇත. 

මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට ඊනියා උගත්තු අවි අමෝරා ගෙන සටනට වදිති. රාමනුජන්, ලුවිස් කැරොල්, පියර්ස් දැන් මියගොසිනි. බටහිරයෝ දැන් ඒ ප්‍රශ්න අමතක කරති. අපට රාමනුජන් මෙන් දෙවියකු (දේවාතාවියක- රාමනුජන්ගේ නම් නමක්කාල්හි මහාලක්‍ෂමි දේවතාවිය) මාර්ගයෙන් හෝ ආධ්‍යාත්මික ව සිත දියුණු කිරීමෙන් හෝ දැනුම සංස්කරණය කරන්නේ කෙසේ දැයි සොයා බැලීමට මහින්ද පහසුකම් සපයා විද? අපේ දැනුම ප්‍රත්‍යක්‍ෂ වන අතර බටහිර විද්‍යාවේ දැනුම හිතළු මත පදනම් වූ අනුමාන වෙයි. එහි ඊනියා අපෝහන මූලික ව අනුමාන මත පදනම් වෙයි. බෞද්ධ ඥාන විභාගයෙහි ඇත්තේ ප්‍රත්‍යක්‍ෂය පමණ ය. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙන්නේ එය මිස ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නො වේ. ප්‍රත්‍යක්‍ෂය යනු බටහිර ආනුභවික (empirical) නො වේ. කෙසේ වෙතත් බටහිර දාර්ශනිකයන් කුමක් කීවත්, උද්ගමනය අපෝහනයට වඩා ඔවුන්ට වැදගත් වෙයි. මහින්දගේ උපදේශකයෝ මේ කිසිත් නො දනිති. අපි ඔවුන්ගෙන් ඒ පිළිබඳ දැනුමක් අපේක්‍ෂා නො කරමු. 

එබැවින් එය දැනට පැත්තකින් තබන්න. දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට මහින්ද කටයුතු කරාවි ද? දෙමළ ජාතිවාදය නන්දිකඩාල්හිදී පරාජය කළ නමුත් අපට එය ප්‍රකාශ කරගන්නට නොහැකි  විය. අපි ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීමු. ඔහුගේ දේශපාලනය විකාශය වූයේ කෙසේ දැයි අපි අමතක කෙළෙමු. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයේ ප්‍රතිඵලයක් විය. මේ සම්බන්ධයෙන් ලියා ඇති ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා පොතෙහි කොටස් මුහුුණු පොතෙහි හා කාලය වෙබ් අඩවියෙහි පළ කළ විට  ඒ කියවන පාඨක ප්‍රමාණය අවමයක් වෙයි! ඒ වෙනුවට පාඨකයන් කැමති එදිනෙදා කතා කියවීමට ය. මැයි දිනය පිළිබඳ විස්තර (ඊනියා විශ්ලේෂණ ද විස්තර පමණකි), පාර්ලිමේන්තුවේ ගැටුම් ආදිය ගැන කියවීමට පාඨකයෝ රුචියක් දක්වති. ජනමාධ්‍යවේදියෝ ද එසේ ම වෙති. ඔවුහු මගේ ලිපි පළකිරීමට කැමැත්තක් නො දක්වති. රූපවාහිනි නාලිකාවල මගේ අදහස්වලට ඉඩක් නො ලැබේ. නාලිකා අධ්‍යක්‍ෂකවරුන් මගේ අදහස් අන්තවාදී යැයි සිතන බව පෙනෙයි. පුවත්පත් කතුවරුන්ගෙන් ඇතමකුට අනුව මා ලියන්නේ එදාවේල ලිපි ය. එහෙත් එදාවේල ලිපිවලට රුචිකත්වයක් ඇත්තේ ඔවුන්ට ය. 

මහින්දගේ උපදේශකයෝ වැඩි පිරිසක් පැකේජ්වාදීහු වෙති. ඔවුහු දෙමළ ප්‍රශ්නයක් ඇතැයි ද දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇතැයි ද පිළිගනිති. ඔවුහු එයට දෙන විසඳුම් කුමක් දැයි සාකච්ඡා කරති. එහෙත් නැති ප්‍රශ්නයකට දිය හැකි විසඳුමක් ද නැත. විසඳිය යුත්තේ ඇති ප්‍රශ්නයකි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදු වී ඇති අසාධාරණය කුමක් දැයි මෙතෙක් හෙළි වී නැත.  දෙමළ ජාතිවාදි දේශපාලනය බටහිරයන්ගේ (එංගලන්තයේ) නිර්මාණයක් බවත් විසඳීමට ප්‍රශ්නයක් නැති බවත්, එය ඊනියා බටහිර කුමන්ත්‍රණයක් නොවන බවත්, සිදු වී ඇත්තේ ඉංගිරිසින් යටතේ දෙමළ ජනයා (වෙල්ලලයන්) භූක්තිවිඳි වරප්‍රසාද, තනතුරු, බලතල 1931 සිට විය යුතු පරිද්දෙන් ම හීනවීම පමණක් බවත්, 2009 මැයි 18 වැනි දා දෙමළ ත්‍රස්තවාදය පමණක් නොව දෙමළ ජාතිවාදය ද පරාජය කළ බවත් අඩුම තරමෙන් ඉන් හත්වසකටවත් පසුව පසක් කරගැනීමට වෙහෙසෙමු. කුමන්ත්‍රණ කතා විශ්ලේෂණය නොහැකි අයගේ කැ ගැසීම් පමණ ය. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය. 



නලින් ද සිල්වා

2016 මැයි 07