නන්දිකඩාල් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු
මගේ අදහස වූයේ විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලිපි පෙළ තරමක්
සවිස්තරාත්මක ව ලිවීමට ය. එහෙත් එසේ කළහොත් ලිපි පෙළ ඉතා දිර්ඝ වෙයි. ඒ ලිපි පෙළ
මෙයින් අවසාන වෙයි. මට අවශ්‍ය වූයේ මෙරට දෙමළ ඉතිහාසය විශේෂයෙන් ම යාපනයේ හා මඩකලපුවේ
ඉතිහාසය ගැන ද යාපනයේ ජනගහනය හා සිංහල ජනතාව ගැන මෙන් ම වෙල්ලාලයන් ගැන ද නැවතත්
කරුණු කීමට ය. යාපනයේ සම්පුර්ණ දෙමළ ඉතිහාසය අවුරුදු හත්සියයකට වඩා පැරණි නැත. එහි
මුල් දෙමළ පදිංචිකරුවෝ මුහුදු කොල්ලකරුවෝ වූහ. ආර්යචක්‍රවර්තීහු ද මුහුදු
කොල්ලකරුවෝ වූහ. පෘතුගීසීන් පැමිණෙන විට ද එහි බහුතරය සිංහල විය. වත්මන් නැගෙනහිර
පළාතේ දෙමළ ජනයා ඉංගිරිසින් විසින් පදිංචි කරවනු ලැබූහ. ඒ සිංහල රජවරුන් එහි
මුස්ලිමුන් පදිංචි කර අවුරුදු දෙසියයක් පමණ ගතවීමෙන් පසු ය. නැගෙනහිර පළාතේ
මුස්ලිම් හා දෙමළ ජනගහන ව්‍යාප්තිය පිට්ටු බම්බු ව්‍යාප්තියක් යැයි කියැවෙයි. ඒ
පොල්, පිටි, පොල්, පිටි ආකාරයෙන් මුස්ලිම් ජනයා අතර දෙමළ
ජනයා පදිංචි කෙරී ඇති බැවිනි. යාපනයේ වත්මන් නායකයන්ගේ ඉතිහාසය අවුරුදු තුන්සියයකට
වඩා ඈතට නො යයි.
මෙයට අවුරුදු හතකට පෙර 2009 මැයි 18 වැනි දා නන්දිකාඩාල් කලපුවේ දී
සිදුවූයේ ප්‍රභාකරන්ගේ හා කොටි සංවිධානයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පමණක් නො
වේ. එදින අපි දෙමළ ජාතිවාදය ද දේශපාලනික ව පරාජය කෙළෙමු. දෙමළ ජාතිවාදය න්‍යායාත්මක
ව පරාජය කෙරී තරමක් කල් ය. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් අසාධාරණයක් වී
නොමැතිබව, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ
ඊනියා නිජභූමි හෝ සාම්ප්‍රදායික වාසභූමි හෝ නොවූ බව, දෙමළ ජනයා වෙන ම ජාතියක් නොවන බව, ඊනියා ස්වාධීන දෙමළ රාජ්‍යයක් මෙරට කිසි දිනෙක නොතිබූ බව ආදිය
පැහැදිලි ව ම පෙන්වා දී තිබිණි. අවශ්‍ය ව තිබුයේ දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය
කිරීම ය. එය ද නන්දිකඩාල් කලපුවේ දී සිදුවුණ ද සිංහලයෝ ඒ බව නො කීවෝ ය. එයට හේතුව
වූයේ සිංහලයන් දෙමළ ජාතිවාදයේ ආරම්භය හා විකාශය තේරුම් ගෙන නො සිටීම ය. ඔවුහු දෙමළ
ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ විකාශයේ අවසන් පුරුක ලෙස නොසලකා එය වෙන ම
සංසිද්ධියක් ලෙස ගත්හ.
දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් බෞතීස්ම කෙරුණේ 1831 දී ය. දෙමළ ජාතිවාදී දේශපාලනය ප්‍රභාකරන්
ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන්
ආකාරයට යුග තුනක් ඔස්සේ විකාශය විය. 1831 සිට 1931 දක්වා දෙමළ නායකයන්ට (වෙල්ලාල) අවශ්‍ය
වූයේ ඉංගිරිසින්ගේ අනුදුනුම හා අනුග්‍රහය යටතේ ව්‍යවස්ථාදායක සභාවේ සිංහල
නියෝජනත්වය දෙමළ නියෝජනත්වයට වඩා අඩුකිරීම ය. ලන්දේසීන් යටතේ ද ඉංගිරිසින් යටතේ ද
වෙල්ලාල කුලයට වරප්‍රසාද, තනතුරු, ඉඩකඩම් ආදිය ලැබිණි. යටත්විජිතවාදීහු සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට
හිමි තැන නැති කිරීමට දෙමළ ජනයා, විශේෂයෙන්
ම වෙල්ලාලයන් යොදාගත්හ. 1831න් පසු ඉංගිරිසිහු කුමාරස්වාමි
පොන්නම්බලම් පවුල මෙරට ප්‍රධාන පවුල බවට පත්කළහ. 1831 ව්‍යවස්ථාදායක සභාව පිහිටුවූ දින සිට බොහෝ විට මෙරට දෙමළ ජනයා එහි
නියෝජනය කරනු ලැබුවේ කුමාරස්වාමි පොන්නම්බලම් පවුල විසිනි. 1912 දී මෙරට පළමු වරට පැවැත්වූ ඡන්දයෙන් (එය ඊනියා
උගත් ලාංකිකයන්ට පමණක් සීමා වූ ඡන්දයක් විය) ජයගත්තේ ඒ පවුලේ පොන්නම්බලම් රාමනාදන්
ය. ඔහුට ඇතැම් ඇංග්ලිකන් ගොවිගම සිංහලයෝ ද ඡන්දය දුන්හ. ඒ ඔහුගේ ප්‍රතිවාදයා
ඇංග්ලිකන් ආගමට අයත් වුවත් කරාව කුලයට අයත් වූ බැවිනි. ඇතැම් ගොවිගම ඡන්දදායකයන්
වෙල්ලාල කුලය ගොවිගම කුලයට සමාන යැයි සැලකූ බව පෙනී යයි! ගොවිගම කුලයට ද ප්‍රධාන
තැනක් ලැබුණේ ඉංගිරිසින්ගේ කාලයෙහි දී ය. රාමනාදන්ගේ සොහොයුරු පොන්නම්බලම්
අරුණාශලම් මෙරට සිවිල් (පරිපාලන) සේවයට ඇතුල් වූ පළමු මෙරට වැසි කිහිප දෙනා අතර
විය. ඔහු ඉංගිරිසින් යටතේ රෙජිස්ට්‍රාර් ජෙනරල් ධුරය දැරු පළමු තැනැත්තා විය. අද ද
දේශපාලනයේ මේ පවුලේ අය සිටිති. ඉන් එක් අයකු වූ උතුරු පළාත් සභාවේ මහ ඇමති
විග්නේස්වරන්ගේ සීයා රාමනාදන්ගේ හා අරුනාශලම්ගේ ඥාති සොහොයුරෙකි. ඒ පවුලේ සියළු
දෙනා ම පාහේ රාජකීය විද්‍යාලයේ උගත්තෝ ය.
1831 සිට 1931 දක්වා ම දෙමළ වෙල්ලාල නායකයෝ
ඉංගිරිසින්ගේ සුරතල්ලු වූහ. ඔවුහු රජයේ ඉහළ තනතුරු ලැබුහ. සාමාන්‍ය වෙල්ලාල ජනයා ද
ඉංගිරිසි අධ්‍යාපනය මගින් වෙනත් තනතුරු හිමි කර ගත්හ. මඩකලපු ජනයාට ලැබුණේ
කුඩම්මාගේ සැලකිල්ල ය. එහෙත් ඔවුහු ද කීහිප දෙනෙක් අධ්‍යාපනය මගින් ඉංගිරිසින්ගේ
තනතුරු හිමිකර ගත්හ. අවසානයේ දී මෙරටට ගෙන්වනු ලැබ කඳුරට පදිංචි කෙරුණු දෙමළ ජනයාට
කිසිවෙක් සැලකිල්ලක් නො දැක්වූහ. ඉංජිනේරු, වෛද්‍ය ආදී තනතුරුවල සිටි දෙමළ ජනයාගේ ප්‍රතිශතය ඉතා අධික විය.
ඔවුන්ගෙන් ද ඉතා වැඩි දෙනා වෙල්ලාල වූහ. ලංකාවේ වෙල්ලාල ප්‍රතිශතය 5%කට අඩුව පවතිද්දී ඔවුන්ට 50%ක් පමණ තනතුරු ලැබුණේ ඔවුන්ගේ දක්‍ෂකමක් නිසා
නොවේ.
1931 සිට සිදු වී ඇත්තේ ඉංගිරිසින් යටතේ තිබූ දෙමළ ජනයාගේ බලය වරප්‍රසාද
තනතුරු ආදිය ක්‍රමයෙන් අඩු වීම ය. අප දෙමළ ජනයා යන පොදු නම ව්‍යවහාර කළත් මෙහි දී
මූලික ව සිදුවූයේ වෙල්ලාල බලය වරප්‍රසාද හා තනතුරු අඩුවීම ය. 1931 වන තුරු මෙරට දේශපාලන බලය, ඉංගිරිසින්ට යටත් ව නමුද,ු හිමි
ව තිබුණේ ප්‍රධාන වශයෙන් ම කුමාරස්වාමි පොන්නම්බලම් පවුලට හා පොදුවේ දෙමළ නායකයන්ට
ය. 1931 දී ඉංගිරිසින් ඔවුන්ගේ පැත්තෙන් බැලූ
කල අපට වැරදීමකින් සර්වජන ඡන්දය ලබා නොදෙන්නට තත්ත්වය වෙනස් නොවීමට තිබිණි. දෙමළ නායකයෝ ඩොනමෝර් කොමිසම ඉදිරියට ගොස්
සර්වජන ඡන්දයට විරුද්ධව සාක්‍ෂි දුන්හ. 1931න් පසු ජී ජී පොන්නම්බලම් (අර පවුලට අයත් නො වේ) පනහට පනහ ඉල්ලී ය.
එහි තේරුම රාජ්‍ය මන්තණ සභාවේ ආසනවලින් 50%ක් සිංහල නොවන්නන්ට හිමිවිය යුතු අතර ඉතිරිය කාහටත් පොදු විය යුතු ය
යන්න ය. නමට පනහ පනහ වුවත් එයින් බලාපොපොරොත්තු වූයේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව 50%ට වඩා අඩු කිරීම ය. 1931 සිට හතළිහේ දශකය දක්වා දෙමළ ජාතිවාදයේ දෙවැනි
යුගයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහල නියෝජනත්වය අඩුකිරීමට ක්‍රියා කෙරිණි. එහෙත්
නාගනාදන් ආදීහු, විශේෂයෙන් ම චෙල්වනායගම්, සර්වජන ඡන්දයෙන් පසු තවදුරටත් මධ්‍යයේ බලය
ගැනීමට නොහැකි බව තේරුම්ගෙන 1949 දී වෙන ම රාජ්‍යයක් පිහිටුවීම සඳහා
ඊනියා ෆෙඩරල් පක්‍ෂය හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවූහ. 1947න් පසු දෙමළ ජාතිවාදය පසුපස ඉන්දියාව ද සිටියේ
ය. හතළිහේ දශකයේ සිට 2009 දක්වා දෙමළ ජාතිවාදයේ තුන්වැනි
යුගයෙහි මූලික බලාපොරොත්තුව වූයේ වෙන ම රාජ්‍යයක්, ඊළමක්් පිහිටුවීම ය. එයට අවශ්‍ය න්‍යායාත්මක පසුබිම ද ඒ සමග
ගොඩනැගිිණි. ප්‍රභාකරන් යනු ඊළම පිහිටුවීම
සඳහා ආයුධ ගෙන මිනී මැරූ රාජ්‍යයට අභියෝග කළ ප්‍රධාන පුද්ගලයා විය. අවි ගත් අනෙක්
අය, දේවානන්ද හැරුණු විට, එක්කෝ ඔහු අතින් නැසුණහ.නැතහොත් වල්මත්
වූහ.
මේ රටේ ඇත්තේ එකම එක ජනවාර්ගික ප්‍රශ්නයකි. ඒ දෙමළ ජනයාට, සැබවින් ම වෙල්ලාලයන්ට ඉංගිරිසින් හිමිකර තිබූ
වරප්‍රසාද, තනතුරු, දේශපාලන හා සමාජයීය බලය හීනවීම ය. එහෙත් අදත් යාපනයේ වෙල්ලාලයෝ
රජයති. ඊනියා අඩු කුල ජනයාට තවමත් යාපනයේ ගොවිතැනක්වත් කරගැනීමට අවසරයක් නැත.
සිංහල දේශපාලනඥයන් දෙමළ ඊනියා අඩු කුලවල ජනයා සංවිධානය කිරීමට ඉදිරිපත් නොවීම ප්‍රශ්නයකි.
මේ ජනයා බොහොමයක් සිංහලයන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔවුන් දෙමළ හින්දු (ශෛව) සමාජයට
අවශෝෂණය කෙරී ඇත්තේ ඊනියා අඩුකුලවලට ඇතුළත් කරමිනි. කෙතරම් අමාරුකම් මැද වුවත්
සිංහල දේශපාලනඥයන් ඒ ජනයා සංවිධානය කළ යුතු ය.
දෙමළ වෙල්ලාලයන්ට තිබූ සමාජයීය බලය අඩුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ
මැනවින් නිරුපණය වෙයි. අප පාසල් යන සමයේ හා ඉන් පසුව මෙරට ක්‍රිකට් මධ්‍යස්ථානය වූයේ ඕවල් (පී
සරවනමුත්තු , පී සරා) ක්‍රිඩාංගනය ය. එකල ක්‍රිකට්
පාලනය කෙරුණේ ටැමිල් යුනියන් ක්‍රිඩා සමාජය මධ්‍යස්ථානය කරගෙන ය. විදෙස්වලින්
පැමිණි ක්‍රිකට් කණ්ඩායම් සමග තරග පැවත්වුණේ ද ඕවල් ක්‍රීඩාංගනයෙහි ය. ලංකාව
සහභාගි වූ පළමු ටෙස්ට් තරගය පැවැත්වූයේ ද පී සරා ක්‍රීිඩාංගනයෙහි ය. කොළඹ ප්‍රධාන
පාසල් අතර මහා තරග (බිග් මැච්) පැවත්වුණේ ද එහි ය. ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙමළ ක්‍රීඩකයෝ
රාශියක් ජන අනුපාතයට නොසරින ලෙස සිටියහ. පී සරවනමුත්තු හෙවත් පාකියසෝති සරවනමුත්තු
ටැමිල් යුූනියන් සමාජයෙහි සභාපති ලෙස ලංකාවේ ක්‍රිකට් පර්පාලනය කෙළේ ය. විකල්ප ප්‍රතිපත්ති
අධ්‍යයනය සඳහා ඊනියා රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන පාකියසෝති සරවනමුත්තු
එකී පාකියසෝති සරවනමුත්තුගේ මුණබුරෙකි. සරවනමුත්තුලා ශාන්ත තෝමස් විදුහලේ උගත්තෝ
ය. එහෙත් අද සේරම්ලාගේ සිංහල ක්‍රීඩා සමාජය (එස් එස් සි) විසින් ටැමිල් යුනියන්
සමාජය විස්ථාපනය කෙරී ඇත. අද ක්‍රිකට් මූලස්ථානය සිංහල ක්‍රීඩා සමාජයෙහි වෙයි. අද
පාසල් මහා තරග ද එහි පැවැත්වෙයි. එපමණක් නොව අද දෙමළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිඟයක්
ද වෙයි. මුත්තයියා මුරලිදරන් යාපනයේ වෙල්ලාලයකු නොව කඳුරට දෙමළ ක්‍රීඩකයෙකි. අද
ටැමිල් යුනියන් සමාජය වෙනුවෙන් ද සිංහල ක්‍රීඩකයෝ තරග කරති. සේරම්ලා ගමෙන් පැමිණි
සිංහලයන් නොවුණත් අද ගමෙන් පැමිණි සිංහලයෝ ද ටෙස්ට් තරගවලට සහභාගි වෙති. ගමෙන්
පැමිණි ඇතැමුන්ට මුල අමතක වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ සමාජයීය බලය මාරුවීම අපට මේ
තොරතුරුවලින් පැහැදිලි වෙයි. අද ප්‍රශ්නය දේශපාලන හා සමාජයීය වශයෙන් දෙමළ
වෙල්ලාලයන්ට ඉංගිරිසින් යටතේ දී තිබූ විවිධ බලතල හා වරප්‍රසාද විය යුතු පරිද්දෙන්
ම අඩුවීම මිස වෙනත් ඊනියා අසාධාරණයක් නො වේ.
ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ ම විකාශයෙහි ප්‍රතිඵලයකි. ඔහු හා දෙමළ
ත්‍රස්තවාදය වෙන ම සංසිද්ධියක් නො වේ. දෙමළ ත්‍රස්තවාදයේ පරාජයත් සමග සමස්ත දෙමළ
ජාතිවාදී දේශපාලනය ම පරාජය විය. ඒ සමග අප මත බලෙන් පටවනු ලැබූ දහතුන් වැනි සංශෝධනය
හා පළාත් සභා ද දේශපාලනිකව පරාජය විණි. නන්දිකඩාල් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරගත ව
තිබුණේ ඒ බව ද ප්‍රකාශ කරමිනි. එසේ නොකිරීමේ විපාක දැන් පෙනෙන්නට ඇත. අදවත් නන්දිකඩාල්
ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කිරීමේ කටයුතු අරඹමු. දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීමට
පියවර ගනිමු.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 මැයි 15