Main Logo

Showing posts with label වෙනස්වීම. Show all posts
Showing posts with label වෙනස්වීම. Show all posts

Wednesday, 28 August 2013

ප්ලේටෝගේ ද්‍රව්‍යවාදය

ආනුභවික ලෝකය යනු අපේ ඉන්ද්‍රියවලට ගෝචරවන ලෝකය ය. ඉන්ද්‍රියනුභූතවාදයෙහි කියැවෙන්නේ ඉන්ද්‍රියවලට ගෝචර වන දේ සත්‍යය යන්න ය. සත් යනු අපේ සංස්කෘතියෙහි පැවැත්ම ය. ඇත යන්නෙහි ද තේරුම පැවැත්ම යන්න ය. අපේ ප්‍රශ්නය වනුයේ ඇත්තේ කුමක් ද යන්න දැනගන්නේ කෙසේ ද යන්න ය. එසේත් නැත්නම් පවතින්නේ කුමක් ද යනු දැනගැනීම ය. එහෙත් අපට මුලදී ම ප්‍රශ්නයක් පැන නගියි. එනම් යමක් පවතින්නේ කිනම් කාලයකට ද යන්න ය. 

එයට පිළිතුරක් ලෙස කාලය යනුවෙන් පවතින්නක් නැති  බවත් කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බවත් ප්‍රකාශ කළ හැකි ය. බුද්ධඝෝෂ හිමියන් අත්ථසාලිනියෙහි සඳහන් කර ඇත්තේ කාලය යනු පඤ්ඤත්තියක්, එනම් අපේ පැණවීමක් පමණක් බව ය. එහෙත් යමක් පවතින්නේ වෙනස් නොවී ද යන ප්‍රශ්නය ඇසීමට සිදුවෙයි. කාලය යන සංකල්පය අප විසින් තනාගෙන ලැබ ඇත්තේ අපට මතකයක් තිබෙන බැවින් හා වස්තු වෙනස් වන බැවිනි. එහෙත් වෙනස්වීම සඳහා වස්තුවක් වේ ද යන ප්‍රශ්නය ඊළඟට පැන නගියි.

අපට සඳහන් කිරීමට සිදුවනුයේ පවතින වස්තුවක් හෝ වෙනස්වන වස්තුවක් නැති බවත් එහෙත් වෙනස්වීමක් සිදුවන බවත් ය. ක්‍රියාව මිස පුද්ගලයකු හෝ වස්තුවක් හෝ නොපවතියි. අප වස්තුවක් ඇතැයි පිළිගතහොත් එය ආත්මවාදී වෙයි. එහි පුද්ගලාත්මභාවයක් නැති වුවත් ධර්මාත්මභාවයක් වෙයි. මා නම් පුද්ගලයකු ඇතැයි ගැනීම නිවැරදි නොවන්නා සේ ම පුටුවක් යනුවෙන් වස්තුවක් ඇතැයි ගැනීම ද නිවැරදි නො වෙයි.   

පුටුව දිරා යයි කත විට ද ආත්මවාදයට හසුවන්නේ දිරායන යමක් (පුටුවක්) පවතින බව අප විසින් උපකල්පනය කෙරෙන බැවිනි. එහෙත් ඒ දිරා යන්නේ යැයි කියන පුටුව අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වේ. අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ වෙනස්වීමක්, එනම් ක්‍රියාවක් ය. ඒ වෙනස්වීම පිටුපස පුටුවක් ඇතැයි අපි සිතමු. මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ද අපි සිතමු. එහෙත් මා යනුවෙන් කෙනකු ඇතැයි ගැනීම ආත්මයක් ඇතැයි ගැනීමකි. 

අපේ ප්‍රශ්නය අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් හා ඒ ඇසුරෙන් අප තනාගන්නා සංකල්ප අතර වෙනස අපට පැහැදිලි නො වීම ය. පුටුවක් දිරා යන්නේ යැයි අප කියන්නේ දිරා යෑම පමණක් ඉන්ද්‍රිය ඇසුරෙන් දැනගෙන ය. එහෙත් ඒ දිරා යෑම අපට ගෝචර වන්නේ තරමක කාලයකට පසුව ය. (කාලය යන්න දිරා යෑම ඇසුරෙන්, වෙනස්වීම ඇසුරෙන් තනාගන්නා හෙවත් පණවන සංකල්පයක් වුවත් අපට පෙනී යන්නේ, එනම් අපට ගෝචර වන්නේ පුටුව කාලයෙහි දිරා යන බව ය.) 

අපි පුටුවක් දවසකින් දෙකකින් දිරා යනු නො දකිමු. ඒ කාලයෙහි අප දකින්නේ පුටුවක පැවැත්ම ය. නිරන්තර, එනම් අතරක් නොමැතිව, වෙනස්වීමක් අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. අපට ගෝචර වන්නේ අතරක් ඇතිව සිදුවන වෙනස්වීම් ය. අප ගැන ම හෝ අපේ ඥාතින්, මිතුරන් ගැන වුව ද අපට කිවහැක්කේ එවැන්නකි. අපේ එදිනෙදා සිදුවන වෙනස්වීම් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් කලකට පසුව අපට ඥාතියකු හෝ මිතුරකු හෝ මුණගැසුණහොත් අපි ඒ තැනැත්තාගේ වෙනස්වීමක් දකිමු. 

අනවරතයෙන් සිදුවන වෙනස්වීම අපට ගෝචර නොවූව ද අතරක් ඇතිව සිදුවන වෙනස්වීම් අපට ගෝචර වෙයි. දැන් අනවරතයෙන් සිදුවන වෙනස්වීම් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වී නම් ඇතැම් විට අපට වෙනස්වන වස්තුවක් පිළිබඳ සංකල්පය වෙනුවට වෙනස්වීම යන සංකල්පය ඇතිවීමට ඉඩ තිබුණේ ද යන ප්‍රශ්නය පැන නගියි. එහෙත් එය එසේ වීමට ඉඩක් නැති බව අපේ චිත්ත වෙනස්වීම ගැන කල්පනා කරන විට පැහැදිලි වෙයි. චිත්තයක් යන්න ද සංකල්පයක් බව අමතක නොකරමින් අපට පහත සඳහන් කරුණු සටහන් කරගත හැකි ය. 

චිත්ත ඉතා වේගයෙන් වෙනස්වන බව අපි දනිමු. ථෙරවාද බෞද්ධ සාහිත්‍යයටව අනුව වුවත් චිත්තෂණයක් යනු ඉතා සුළු කාලයකි. රූපක්‍ෂණයකට චිත්තක්‍ෂණ දහහතක් ඇතැයි කියැවෙයි. රූපයක් වෙනස්වීමට ඉක්මණින් චිත්ත වෙනස්වන බව එයින් කියැවෙයි. එහෙත් අප සලකන්නේ මා යනුවෙන් ගන්නා පුද්ගලයකුගේ චිත්ත වෙනස්වන බව ය. මා නම් පුද්ගලයකුගෙන් තොරව චිත්ත වෙනස්වීමක් ගැන අපට කිසිදු හැඟීමක් නැත. අනවරතයෙන් මෙන් සිදුවන චිත්ත වෙනස්කම් ගැන අප දන්නේ ද මා නම් පුද්ගලයකුගේ චිත්ත වෙනස්කම් ලෙස ය. මගෙන් තොරව සිදුවන චිත්ත වෙනස්කම් ගැන අපට හැඟීමක් නැත. 

වෙනස්වන චිත්ත පරම්පරාව මනසක් ලෙස අපි ගනිමු. චිත්තය යනු කුමක් වුවත් අනුගාමී චිත්තයෙහි පූර්වගාමී චිත්තයෙහි විශාල කොටසක් රැඳී ඇතැයි, ගැබ් වී ඇතැයි යනුවෙන් ප්‍රවාදයක් තනාගැනීමට, කතන්දරයක් ගොතාගැනීමට අප පෙළඹී තිබේ. මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගොතන කතන්දර ය සියළු කතන්දරවලට මුල ය. අප අනෙක් සියළු කතන්දර ගොතන්නේ මා නම් කතන්දරය ගොඩ නැගීමෙන් පසුව ය. 

ඊනියා පශ්චාත්නූතනවාදීන්ගේ අනෙකා යන සංකල්පය තමා යන සංකල්පය බිහිවීමට මුල වේ ය යන්න අසංගත කතන්දරයක් බවට පත්වන්නේ එබැවිනි. අනෙකා යන සංකල්පය ඇතිවන්නේ රික්තයක නො වේ. අනෙකා යන සංකල්පය ද ඇතිවන්නේ මට ය. එනම් මා විසින් මා යනුවෙන් ගැනෙන පුද්ගලයාට සාපේක්‍ෂව ය. අනෙකා යන සංකල්පය ඇති වී පසුව මා යන සංකල්පය ඇතිවනවා නොව මා යන සංකල්පයට සාපේක්‍ෂව අනෙකා යන සංකල්පය ඇතිවෙයි. පළමුව ඇතිවන්නේ මා යන සංකල්පය ය. 

එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. මා යන සංකල්පය පළමුවෙන් ඇතිවන්නේ යැයි කීම වැරදි ය. මෙහි දී පළමුවෙන් යැයි කියැවෙන්නේ මේ භවය පිළිබඳ ව පමණක් කල්පනා කරන විට ය. එහෙත් මනස මේ භවයේ පමණක් නොව පසුගිය භවවලදී ද තිබී ඇත. එහෙත් මෙයින් කියැවෙන්නේ මනස පවතින බවක් නො වේ. සසරේ දිගින් දිගට පැවතෙන මනසක් නැත. සසර පවතින්නේ ම, එම් අප සසරෙහි දුක් විඳින්නේ ම මනසක් ඇතැයි ගැනතම නිසා ය. මනස ද සාපෙක්‍ෂ වූවකි. මනස සාපේක්‍ෂ වන්නේ මනසට ය. මනස මනසේ ම නිර්මාණයකි. මේ පිළිබඳ විස්තරයක් සිංහල බෞද්ධ මනස නමින් පළ වී ඇති ලිපියෙහි සඳහන් වෙයි. කාලය වෙබ් අඩවියෙන් මේ ලිපය ලබාගත හැකි ය. 

පුද්ගලයකු හෝ ධර්මයක් හෝ නොමැතිව ක්‍රියාවක් පමණක් ඇතැයි අප බොහෝ වෙලාවට කියා ඇත. එහෙත් ඒ ක්‍රියාව ද සාපේක්‍ෂ වූවකි. එය මනසට සාපේක්‍ෂ වෙයි. ඒ හැරෙන්නට මනසෙන් ස්වායත්ත වූ ක්‍රියා අපේ ලෝකයෙහි නැත. අපට ගෝචරවන ක්‍රියා අපේ මනසට ගෝචරවන ක්‍රියා පමණක් වෙයි. ඒ ක්‍රියා ද සංකල්පීය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. එනම් එවැනි ක්‍රියා ද මනසින් ස්වායත්ත ව තිබිය හැකි නො වේ. දිරායන පුටුවක් පමණක් නොව මනසින් ස්වායත්ත වූ දිරායෑමක් ද නැත. 

එහෙත් පුටුව මෙන් නොව දිරායෑම ඉන්ද්‍රිය ගෝචර වෙයි. පුටුව යන්න ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියකට ද? පුටුවෙහි ඇතැයි කියන කියන ගුණ (ඇතැයි කියන පුටුවෙහි ඇතැයි කියන ගුණ) අපට විවිධ ඉන්ද්‍රියවලට දැනෙයි. පුටු‍වෙහි පැහැය, තදබව, ආදිය අපේ විවිධ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි. ඉන්ද්‍රිය යනු අවයව නොවන බව අවධාරණය කළ යුතු ය. මනස නොමැතිව (මනස යථාර්ථයක් ලෙස පවතින බවක් මෙයින් ගම්‍ය නො වේ) ඉන්ද්‍රිය නැත. කෙසේ වෙතත් පුටුවෙහි ගුණ අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන බව පැහැදිලි ය. 

දැන් අපට මේ ඉන්ද්‍රියවලින් ඇතැම් ඉන්ද්‍රිය නොතිබිණි නම් හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් හෝ පුටුවෙහි ගුණ යනුවෙන් අප සලකන්නේ ඒ ඉන්ද්‍රියවලට ගෝචර වන දේ මිස අපේ වත්මන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන දේ නො වේ. ඒ කුමක් වුවත් පුටුවෙහි ඇතැයි කියන ගුණ කිසියම් ඉන්ද්‍රිය පද්ධතියකට ගෝචර වෙයි. ඒ ගුණ වෙනස්වන බව ද ඉන්ද්‍රියයන්ට, එනම් පංචෙන්ද්‍රියයන්ට හෝ වෙනත් ඉන්ද්‍රියයන්ට හෝ ගෝචර වෙයි. එහෙත් පුටුව යන්න ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද?  පුටුව යන්න හුදෙක් මනස නම් ඉන්ද්‍රියයෙහි නිර්මාණයකි. එයට වෙනත් ඉන්ද්‍රියයක් සෘජුව හවුල් නො වේ. 

වෙනත් ඉන්දියයක් එහි දී හවුල්වන්නේ වක්‍රව ය. එනම් පුටවෙහි අහවල් ගුණ ඇතැයි කීමෙනි. අප පුටුව යැයි කියන්නේ එසේ වෙනත් ඉන්ද්‍රියයන්ගේ ආධාරයෙන් නිර්මාණය කරන ලද ගුණ වල එකතුවෙන් මනස විසින් නිර්මාණය කෙරෙන්නකට ය. අනෙක් ඉන්ද්‍රිය එහි දී මනසට හවුල්වන්නේ එසේ වක්‍රව ගුණ නිර්මාණය කිරීමෙන් ය. පුටුව යන්න අපෙන් ස්වායත්ත ව පවතින්නක් නො වේ. එය අනෙක් ඉන්ද්‍රියවල වක්‍ර ආධාරය ලැබුව ද හුදෙක් මනසෙහි නිර්මාණයකි.   

ඊනියා ද්‍රව්‍යවාදීන් ඉහත සඳහන් දේ ප්ලේටෝනීය විඥානවාදී මතයක් ලෙසත් නව මතයක් නොවන්නක් ලෙසත් හඳුන්වනු ඇත. ජීවිතයේ කිසිම දිනෙක නව මතයක් ඉදිරිපත්කර නොමැති කාලෝ ෆොන්සේකා වැනි ඊනියා ද්‍රව්‍යවාදීහු මා අළුත් මතයක් ඉදිරිපත් කළහොත් එය නිවැරදි නොවන බවත් නිවැරදි මතයක් ඉදිරිපත් කළහොත් එය නව මතයක් නොවන බවත් කියනු ඇත. එහෙත් කාලෝ ෆොන්සේකා ඒ ප්‍රකාශය ද වෙනත් කාගෙන්දෝ උපුටාගත්තකි.

එසේ වුවත් ඉහත සඳහන් කළේ ප්ලේටෝගේ විඥානවාදී මතය නො වේ. ප්ලේටෝට අනුව මනසක් ඇත. එනම් මනස මනසෙන් තොරව පවතියි. වෙනත් අයුරකින් කිවහොත් ප්ලේටෝගේ මනසත් මා බෞද්ධයකු නොවේ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් මගේ බොහෝ අදහස් තමන්ගේ මත ලෙස ඉදිරිපත් කරන්නන්ගෙ මනසත් මනසෙන් ස්වායත්තව පවතින මනස් ය. එවිට ඒ මනස් වාස්තවික ද්‍රව්‍යවාදී මනස් බවට පත්වෙයි. ප්ලේටෝගේ විඥානවාදයට එයටත් වඩා ගැටළුවක් තිබිය හැකි ද? ප්ලේටෝ මනසේ ස්වායත්ත පැවැත්ම පිළිගත් වාස්තවිකවාදියකු විය. වාස්තවිකවාදියකු ලෙස ඔහු අවසාන විග්‍රහයේ දී ද්‍රව්‍යවාදියකු විය. ඔහුට ප්‍රශ්නයක් වී නම් ඒ මනස නිර්මාණය වී ඇත්තේ කිනම් ද්‍රව්‍යවලින් දැයි කීමට නොහැකි වීම ය. එහෙත් අනෙක් අතට ඔහුගේ ද්‍රව්‍ය මනසේ නිර්මාණ විය. ඇරිස්ටෝටලීය න්‍යාය අනුව ප්ලේටෝනීය දර්ශනය විසංවාදී වෙයි. 

අප ඉදිරිපත් කරන මනස මනසෙන් තොරව ස්වායත්ත ව පවතින්නක් නො වේ. අප ඉදිරිපත් කරන්නේ මනසට සාපේක්‍ෂව නිර්මාණය වන මනසකි. එබැවින් අප ඉදිරිපත් කරන මතය විඥානවාදී හෝ ද්‍රව්‍යවාදී හෝ නො වේ. අපි විඥානවාදී අන්තය මෙන් ම ද්‍රව්‍යවාදී අන්තය ද ප්‍රතික්‍ෂෙප කරමු. අපි ශාස්වතවාදය මෙන් ම උච්ඡෙදවාදය ද ප්‍රතික්‍ෂෙප කරමු. බටහිර විද්‍යාඥයෝ ද්‍රව්‍යවාදීහු වෙති. ඔවුන්ට අනුව ද්‍රව්‍ය (විකිරණ, ක්‍ෂෙත්‍ර ආදිය ද ඇතුළත්) පවතියි. අපට ද්‍රව්‍ය, ක්‍ෂෙත්‍ර විකිරණ ආදී සියල්ල මනසේ නිර්මාණ වෙයි. එපමණක් නොව මනස ද මනසෙහි නිර්මාණයකි.


නලින් ද සිල්වා

2013-08-28

Monday, 16 January 2012

වෙනස්වීම

වාස්තවිකත්වය යනු හුදෙක් සාධාරණිකරණයක් වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසින් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යැයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මෑතක් වන තුරුම සතුන්ට මනස් ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක බඹුන් දකින ලෝක ගැන කතාකිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක් පවා නැත. ඒ එතරම් ම වියුක්ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්කෘතියෙහි ඉඩක් නැත.

මිනිසුන් සියළු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත්කල එකම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස් පෙනෙයි. මේස ස්පර්ශ කළ හැකි ය. එකම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියළු දෙනාට ම එකම දේ පෙනන්නේ යැයි එසේත් නැත්නම් අප එකම දේ ග්‍රහණය කරගන්නේ යැයි සිතමු. එමෙන් ම අප ඉපදෙන්නට කලින් ද අප මිය යෑමෙන් පසුව ද මල් ගස් ආදිය තිබිණ, තිබෙන්නේ යැයි අපි සිතමු. ඩාවින්ගේ පරිණාම වාදය අනුව ලෝකාරම්භය හෙවත් බටහිර විද්‍යාවේ මහා පිපිරුම දක්වා මල් නොතිබුණ ද අප ඉපදෙන්නට පෙර ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් තිබුණේ යැයි අපි බටහිරයන්ට අනුව විශ්වාස කරමු. අපේ මරණයෙන් පසුව ද එලෙස ම ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් පවතින්නේ යැයි අපට කියා දී ඇත.

මෙයින් බටහිරයන් ලබාගන්නා නිගමනය කුමක් ද? අප ඇතත් නැතත් මල් ගස් ආදිය පවතින්නේ නම් ඒවා අපෙන් තොරව පවතින්නේ යැයි බටහිරයෝ නිගමනය කරති. මෙය බටහිරයන්ගේ පමණක් නොව පෙරදිග ද ඇතැම් දාර්ශනිකයන්ගේ නිගමනය වෙයි. එහෙත් ඒ ඒ අය එවැනි නිගමනයකට එළඹෙන්නේ කෙසේ ද? එය තර්ක කිරීමෙන් අපෝහනය නිගමනය (deduce) කළ හැකි දෙයක් නො වේ. අපත් අපේ මුතුන් මිත්තනුත් මල් දැක ඇති පමණින් මල් අති විශාල කාල පරිච්ඡෙදයක අපෙන් තොරව අපෙන් ස්වායත්ත ව පැවතියේ යැයි අප නිගමනය කරන්නේ කෙසේ ද?

එය නිගමනයක් යැයි කීව ද තර්කයෙන් ලබාගන්නා වූ නිගමනයක් නො වේ. එය අපෝහනයක් නොව අභ්‍යුහනයක් (induction) පමණකි. කළු කපුටන් සියයක් දෙසීයයක් දැකීමෙන් පසු සියළු කපුටන් කළු පාට යැයි අප නිගමනය කරන්නේ යැයි කීව ද එය ද අභ්‍යුහනයක් පමණකි. පරම්පරා කිහිපයක් මල් ගස් ආදිය දැක ඇති බවට සාක්‍ෂි තිබූ පමණින් සෑමදාමත් මල් ගස් ආදිය තිබුණේ යැයි අපට කිව හැකි නො වේ. කෙසේ වෙතත් ඩාවින්ගෙන් පසුව බටහිරයන් පවසන්නේ පරිණාමයේ යම්කිසි අවස්ථාවක දී ගස් මල් ආදිය ඇති වූ බවත් ඉන් පසුව අපෙන් ස්වායත්ත ව ඒ පවතින බවත් ය. එහෙත් එය ද අභ්‍යුහනයක් පමණකි. මෙහි දී නොකියා සිටීමට බැරි දෙයක් නම් මුළු මහත් ඩාවීනීය පර්ණාමවාදය ම අභ්‍යුහනයක් පමණක් බව ය. එය ප්‍රත්‍යක්‍ෂයක්වත් අපෝහනයක්වත් (නිගමනයක්වත්) නො වේ. එහි ඇති තර්කයක් නැත.

අප තර්කයට හා අපෝහනයට විශේෂ තැනක් දෙන්නේ යැයි මෙයින් සිතාගත නො යුතු ය. මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වෙයි. එනම් අපෝහනය ද අභ්‍යුහනයක් ආශ්‍රයෙන් කෙරෙන්නක් වීම ය. අපෝහනය යනු තර්කය ආශ්‍රයෙන් සිදු කෙරෙන්නකි. තර්කය යොදා ගැනෙන්නේ යම් න්‍යායක (logic) ය. ඇරිස්ටෝටලීය න්‍යායෙහි A = A ,A= B B= C නම්| A= Cයනුවෙන් ස්වසිද්ධි වෙයි. මුළු මහත් බටහිර ගණිතය ම මෙවැනි ඈරිස්ටෝටලිය ස්වසිද්ධි මත පදනම් ව කෙරෙන අපෝහනවලින් හා අභ්‍යුහනවලින් යුක්ත වෙයි. A > B හා B> C නම් A> C යනු තවත් එවැනි ස්වසිද්ධියකි. බටහිර ගණිතයෙහි අපෝහනය සඳහා යොදාගන්නා මේ ස්වසිද්ධි අභ්‍යුහනයන් බව බොහෝ දෙනා නො දනිති. අභ්‍යුහනය යනු උපකල්පනයකින් මිස අන්කිසිවකින් සිදුවන්නක් නො වේ.

A =A යනුවෙන් ගැනීමේ දී අප කරන්නේ කුමක් ද? පළමුවෙන් මA යනුවෙන් යමක් පවතින්නේ යැයි අපි සිතමු. මෙහි A යනු ඕනෑම දෙයක් සත්වයකු වෙනුවෙන් යෙදිය හැකි ය. ඕනෑම ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී හෝ වූවක් අපි A යනුවෙන් හඳුන්වමු. A යනු දිනිඳු විය හැකි ය. එසේත් නැත්නම් අප වත්තේ ඇති පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් අසවල් තාරකාව විය හැකි ය. ඒ සෑම අවස්ථාවක දී ම දිනිඳු හෝ පොල්ගස හෝ තාරකාව හෝ පවතින්නේ යැයි අපි සිතමු. එහි දී අපි පැවැත්ම උපකල්පනය කරමු. මෙහි තවත් කරුණු දෙකක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු ය. අපි ඒ කරුණු ද උපකල්පනය කරමු. උපකල්පන හැරෙන්නට, අපේ මනස්වලින් අප නිර්මාණය කරන දෑ හැරෙන්නට වෙනත් ලෝකයක් අපට නැත.

දිනිඳු හෝ අප දන්නා පොල් ගස හෝ තාරකාව හෝ වියුක්ත දේ නො වේ. ඒවා සංයුක්ත දේ වෙයි. අපි දිනිඳු හඳුනමු. අපේ වත්තේ ඇති අසවල් පොල්ගස දනිමු. එසේ ම අසවල් තාරකාව ද දනිමු. ඒ අපේ මනස සමග ගත්කල පංචේන්ද්‍රියයන්ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ ගෝචර වෙයි. (මනස නොමැතිව කිසිම වෙනත් ඉන්ද්‍රියයකට ඒ ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය) අපි දිනිඳු පවතින බව දනිමු. එමෙන් ම අපි පොල්ගස ද පවතින බව දනිමු. එහෙත් අපි මෙහි දී තවත් දෙයක් උපකල්පනය කරමු. එනම් අප නැතත් දිනිඳු පවතින බව ය. අප අද මළත් බොහෝ විට දිනිඳු හෙටත් අනිද්දාත් ඉන් පසුවත් කාලයක් ජීවත්වන බව අපි දනිමු. පොල්ගස හා තාරකාව ද එලෙස ම අප නැතත් තවත් යම් කලයක් පවතින බව අපි දනිමු. එහෙත් එසේ පවතින්නේ අප දන්නා දිනිඳු ද? වෙනත් අයකු දන්නා දිනිඳු ද? එසේත් නැත්නම් අප කවුරුවත් නොදන්නා වාස්තවික දිනිඳු කෙනෙක් ද?

මෙහි දී අපි දිනිඳුට පොල්ගසට හා තාරකාවට වාස්තවික පැවැත්මක් ලබා දී ඇත්තෙමු. එහි දී් මා දන්නා දිනිඳු ඔබ දන්නා දිනිඳු නොවන බව අපි අමතක කරමු. පොල්ගස හා තාරකාව සම්බන්ධයෙන් ද ඒ එසේ ය. අපි සාපේක්‍ෂය නිරපේක්‍ෂයක් බවට පත්කර ඇත්තෙමු. ඒ කිසිදු තර්කයක් න්‍යායක් අනුව සිදුවන්නක් නො වේ. එය ද අභ්‍යහනයක් පමණ ය. අපට සාපේක්‍ෂ වූ දිනිදු අපට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ දිනිඳු කෙනකු බවට පත්කිරීම අභ්‍යුහනයක් පමණ ය. පුදන කොට ම කාපි යකා වැනි ඒ නිරීක්‍ෂණයට පසුව අපA යන්නෙන් දිනිඳු මෙන් ම පොල්ගස ද තාරකාව ද හඳුනාගන්නා බව මතක් කර දිය යුතු ය. A යනු එවිට වියුක්ත සංකල්පයකි. එය මනසින්වත් මවාගත හැකි නො වේ. එය ඕනෑම පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම තාරකාවක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම පුද්ගලයකු විය හැකි ය.

ඉන්පසු අප කියන්නේ එයටත් වඩා භයානක දෙයකි. A පවතින බව උපකල්පනය කර අනතුරුව අපි A =A යැයි කියමු. එහි පදනම කුමක් ද ? A =A වන්නේ යම් ක්‍ෂණයක ද? නැත්නම් දිගින් දිගට ම ද? දිනිඳු තමන්ට සමාන වේ ද? එසේ නම් ඒ කොපමණ කාලයකට ද? දිනිඳු තමන්ට සමාන වන්නේ ජීවත් ව සිටිනතාක් කල් පමණ ද? මරණින් පසු වෙනත් භවයක ඇත්තේ දිනිඳු ද? වෙනත් අයකු ද? දිනිඳු හා වෙනත් අයකු ද? දිනිඳුත් නො වේ ද වෙනත් අයකුත් නො වේ ද?

පොල්ගස සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද? පොල්ගස එයට සමාන වන්නේ එක් ක්‍ෂණයක දී ද? එය එයට ගස මැරෙන තෙක් ම සමාන වන්නේ ද? පොල්ගසේ මරණයෙන් පසු පොල්ගස සමාන වන්නේ කුමකට ද? පොල්ගස සම්බන්ධයෙන් ගත්කලA =A යන්න ගසෙහි අභාවයත් සමග අවසන් වන්නේ ද? තාරකාව ඇතුළු අනෙක් සියළු දෑ සම්බන්ධයෙන් ඒ අයුරෙන් සමානත්වය ප්‍රශ්න කළ හැකි ය.

දිනිඳු ඊළඟ භවයේ දී නොව මේ භවයෙහි ද දිගින් දිගට ම තමන්ට සමාන වන්නේ ද? බිළිඳු දිනිඳු, ළමා දිනිඳුට හෝ තරුණ දිනිඳුට හෝ වැඩිමහළු දිනිඳුට හෝ සමාන නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. දිනිඳුගේ හැඩ රුව දිනෙන් දින ම වෙනස් වෙයි. ඔහුගේ හැකියාවන් වෙනස් වෙයි. බිළිඳු දිනිඳුට කළ නොහැකි දේ තරුණ දිනිඳුට කළ හැකි ය. තරුණ දිනිඳුට නොමැති අත්දැකීම් වැඩිමහළු දිනිඳුට වෙයි. එසේ නම් දිනිඳු තමාට සමාන යැයි පවසන්නේ කිනම් අරුතකින් ද?

ඉතා පැහැදිලි ව වෙනස්වන ඊනියා ප්‍රපංචයක විවිධ අවස්ථා සමාන යැයි ගැනීමට අප නිරර්ථක උත්සාහයක යෙදෙන බව පෙනී යා යුතු ය. වෙනස්වන ප්‍රපංචය යන්න ද වෑරදි ඇත් ගෙන දෙයි. වෙනස්වන දිනිඳු තමාට සමාන යැයි ගැනීම පිටුපස ආත්මවාදයක් ඇති බව පැහැදිලි ය. දිනිඳුගේ කෙස්, හම හෝ වෙනත් එවැන්නක් හෝ නොව වෙනස් නොවන ආත්මයක් පමණක් දිගින් දිගට ම එයට ම සමාන විය හැකි ය. ඒ ආත්මය අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවීම හේතුවෙන් එයට ද වියුක්තයක් යැයි කිව හැකි ය. දිනිඳු තමන්ට ම සමාන විය හැක්කේ එවැනි වෙනස් නොවන නිත්‍ය ආත්මයක්, සදාකාලික ආත්මයක් ඇත්නම් ය. අප තේරුම් නොගත්ත දA =A යනු ආත්මවාදී ප්‍රකාශයකි.

දැන් යමකුට ප්‍රශ්නයක් විය හැක්කේ දිනිඳු තමන්ට ක්‍ෂණයක දී සමාන විය හැකි ද යන්න ය. අප එයට ඔව් යැයි පිළිතුරු දුන්න ද, ඊළඟ ක්‍ෂණයෙහි දී පවතින්නේ වෙනස් වූ දිනිඳු කෙනකු බව පැහැදිලි විය යුතු ය. එහෙත් අපට දිනිඳු යම් ක්‍ෂණයක දී තමන්ට සමාන විය හැකි ද යන ප්‍රශ්නය අප හමුවේ වෙයි. මෙහි දී අපට නැගෙන පළමු ප්‍රශ්නය නම් ක්‍ෂණය යනු කුමක් ද යන්න ය. අප ක්‍ෂණයක් යනුවෙන් අර්ථදක්වන්නේ කුමක් ද? දිනිඳු ක්‍ෂණයකට පමණක් පවතින්නෙක් ද? ඊළඟ ක්‍ෂණයෙහි දී දිනිඳු වෙනස් වුවත් එක් කුඩා ක්‍ෂණයකට පමණක් දිනිඳු පවතින්නේ ද? අප විසින් පණවන ලද සංකල්පයක් වූ, පඤ්ඤත්තියක් පමණක් වූ, කාලයෙන් කොටස් කඩා ඒ කොටස් ඉතා කුඩා කර ඒ පවතින බව අපට කිව හැකි ද? එසේත් නැතහොත් ක්‍ෂණයක් යනු කාලයෙන් විනිර්මුක්ත වූ කුඩා කොටසක් ද?

කාලයෙන් විනිර්මුක්ත වූ ක්‍ෂණ නමින් හැඳින්විය හැකි එවැනි කුඩා කොටස් පවතින්නේ ද? එසේ නම් ඒ පවත්නා කුඩා කොටස් මොනවා ද? එවැනි ක්‍ෂණ වාස්තවික ද? නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත ද? ඒ ක්‍ෂණවලට වාස්තවික පැවැත්මක් ඇත් ද? ක්‍ෂණයෙන් ක්‍ෂණයට ඇත්තේ සන්තතික වූ සම්බන්ධයක් ද? එසේත් නැත්නම් අසන්තතික ක්වොන්ටම් සම්බන්ධයක් ද? එසේත් නැතහොත් වෙනත් ම වූ සම්බන්ධයක් ද? යම් ක්‍ෂණයක දී තමන්ට ම සමාන වූ දිනිඳු ඊළඟ ක්‍ෂණයට වෙනස් වී පනින්නේ ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත ම ද? එසේත් නැත්නම් ක්‍ෂණයෙන් පිටත දී ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත නම් දිනිඳු ක්‍ෂණයක දී තමන්ට සමාන වන්නේ යැයි කීමේ තේරුම කුමක් ද?