Main Logo

Showing posts with label දෙමළ ජාතිවාදය. Show all posts
Showing posts with label දෙමළ ජාතිවාදය. Show all posts

Saturday, 2 December 2017

ඉංගිරිසි කතා කරන ජාතිකවාදීන්


ඉංගිරිසි කතා කරන ජාතිකවාදීන්

ජාතිකවාදීන් අතර විවිධ අය ඉන්නවා. එමෙන් ම දෙමළ ජාතිවාදය ගැනත් ඔවුන් අතර විවිධ මත තියෙනවා. ජාතිකවාදීන් ලෙස මා නම් කරන්නේ ඊනියා ස්මාට් ජාතිකවාදීන් නො වෙයි. ඔවුන් ජාතිකවාදීන් නො වෙයි. ඔවුන් ස්මාට් නොවන ජාත්‍යන්තරවාදීන්. අද අප ඉන්න කණගාටුදායක තත්වයට ඔවුනුත් වග කියන්න ඕන. මුලින් ම ජෙනීවාහි අප බටහිර ගැටවලට හසු කෙළේ ඒ ඊනියා ස්මාට් ජාතිකවාදීන්. මෙහි දී මා සඳහන් කරන්නේ ඔවුන් ගැන නො වෙයි. ඔවුන් ව්‍යාජ පඬියන් පමණයි.

Wednesday, 29 November 2017

මිනීමරුවන් සැමරීම

මිනීමරුවන් සැමරීම

දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් ඇතුළු මිනීමරුවන් සමරලා. ප්‍රභාකරන් වෙනුවෙන් කේක් කෑමට වවුනියා මණ්ඩපයේ සිංහල සිසුන්ට බල කරලා. යාපනය සරසවියේ ප්‍රභාකරන් සැමරීමට ගුරුවරු සිසුන් සමග එක් වෙලා. ප්‍රභාකරන්ගේ පින්තූර යාපනයේ ප්‍රදර්ශනය කරලා. රුවන් විජේවර්ධන කියනවා චෙන්නායිහි පමණක් ප්‍රභාකරන්ගේ විශාල රූප ප්‍රදර්ශනය කරලා තිබුණා කියලා. එයින් කියන්නෙ දෙමළ ජාතිවාදය ලංකාවට විරුද්ධ ව තමිල්නාඩුවේත් තියෙන බව. එහෙත් ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ ව ජ වි පෙ වචනයක්වත් කියන්නෙ නැහැ. ආණ්ඩුවත් බොරුවට හරි ප්‍රභාකරන් සැමරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවයි කියද්දි ජ වි පෙ ඒ ගැන කතාකරන්නෙ නැහැ. ආණ්ඩුව අද නීතිය ක්‍රියාත්මක කිරීමක් ගැන කියන්නේ පළාත් පාලන මැතිවරණ ළඟ නිසා. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නීතිය නවාවි. ඊට පෙර පළාත් පාලන මැතිවරණ තියේවි.

Wednesday, 7 January 2015

යහපාලනය ඉස්මතු කරන්නේ රටේ නිදහස පිළිබඳ ප්‍රශ්නය යටපත්කිරීමට ය





එක්දාස් අටසීය විසි ගණන් වල සිට ක්‍රියාත්මකවන, සිංහලත්වයට විරුද්ධව, දෙමළ ජාතිවාදය යොදගත් එංගලන්තය, දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදී උවදුර, බටහිර බලපෑම් ද නොතකා සම්පූර්ණයෙන්ම පරාජයකළ, මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්තිමත් එඩිතර නායකත්වය ඉවත්කර, ඔවුන්ගේ පදයට නැටවෙන මෛත්‍රීපාල සිරිසේන වැනි දුර්වල නායකයකු පත්කර ගැනීම සඳහා අද මෙන්ම හෙටද ක්‍රියාත්මක වෙයි.

Saturday, 15 November 2014


මෙම ලිපිය ඉරිදා දිවයින පුවත්පතෙහි නව කතුවරයා විසින් 2014 නොවැම්බර් 16 වැනි දා පුවත්පතෙහි පළකරනු නො ලැබිණි. ඉරිදා දිවයින ජාතිකත්වයෙන් ඉවත් වී ඇති බව පැහැදිලි ය. පුවත්පත ආරම්භයේ සිට ම අවුරුදු තිස්තුනකට අධික කාලයක් දිවයිනට ලිපි සැපයුව ද තවදුරටත් එසේ කිරීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇත. මෙයින් මතු රිවිර පුවත්පතට ලිපි සැපයීමට බලාපොරොත්තු වෙමි.

දෙමළ ජාතිවාදය පැරදවීම

මහින්ද රාජපක්‍ෂ මහතාගේ තුන්වැනි වාරයේ දී ඉටුවිය යුතු ප්‍රධාන කරුණු දෙකක් වෙයි. පළමුවෙන් ම දෙමළ ජාතිවාදය පැරදවිය යුතු වෙයි. දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල්හද දී පරාජය කෙරුණු නමුත් එංගලන්තයේ ඇමරිකාවේ හා බටහිර රටවල වාසය කරන විසිරුණු දෙමළ ජනයා මගින් අදටත් දෙමළ ජාතිවාදය මෙරට ආණ්ඩුවට හා සිංහලයන්ට එරෙහි ව ක්‍රියාත්මක වෙයි. ඒ පරාජය කළ යුතු වෙයි. එමෙන් ම ඒ පරාජය කළ හැකි වෙයි. ඒ සඳහා අප ආර්ථික වශයෙන් ද දැනුම (සංස්කෘතික) වශයෙන් ද දේශපාලන වශයෙන් ද ශක්තිමත් විය යුතු ය. 

බටහිරයන් අපට එරෙහිව ආර්ථික සම්බාධක පණවනු ඇත. අපට එයට සූදානම් විය හැක්කේ ආර්ථික ව ශක්තිමත් වීමෙන් පමණ ය. දේශපාලන වශයෙන් අපට ශක්තිමත් විය හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය අඩු තරමෙන් තවත් වසර දහයක් පවත්වාගෙන යාමෙන් හා ශක්තිමත් දේශපාලනඥයකු විධායක ජනාධිපති බවට පත්කර ගැනීමෙනි. අද ඒ සඳහා සිටින ශක්තිමත් ම බටහිරට නොනැමෙන පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. අපට එංගලන්තය හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට පණිවුඩයක් දිය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාට වලංගු ඡන්දයෙන් 55% ට වැඩි ඡන්දයක් ලබා දීමෙනි. දුර්වල දේශපාලනඥයකු විධායක ජනාධිපති ධුරයට පත්කර ගැනීමෙන් හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් හෝ අපට දෙමළ ජාතිවාදය පරාජය කළ නො හැකි ය. දුර්වලයා සැම විට ම බටහිරයන්ගේ පදයට නටන ඉත්තෙකි.

දැනුම වශයෙන් ගත්කල අද සිංහලයන්ට විරුද්ධ ව ඇති චෝදනා සියල්ලට ම පිළිතුරු දීමට අප සමත් විය යුතු ය. ඒ සම්බන්ධයෙන් අප විසින් ද ලියන ලද පොත්පත් ලිපි ප්‍රමාණය ඉතා අධික ය. දෙමළ ජාතිවාදීන් නගන සියලු ප්‍රශ්නවලට අපි පිළිතුරු දී ඇත්තෙමු. අපට එංගලන්තයත් ඇමරිකාවත් අනෙක් රටවලුත් පරාජය කළ හැකි ය. එමගින් දෙමළ ජාතිවාදය ද පරාජය කළ හැකි ය. ඒ කළ යුතු දෙයකි. 

අද විධායක ජනාධිපති ක්‍රමය අහොසි කළ යුතු යැයි කියන්නෝ මූලික වශයෙන් බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට සේවය කරති. ඔවුන් තමන් එසේ නො වේ යැයි කීමට ඉඩ ඇත. ජාතික හෙළ උරුමය හෝ ඉන් කොටසක් හෝ නැවතත් මංගල සමරවීර සමග එක වේදිකාවේ පෙනී සිටීම ගැන අපි පුදුම නො වෙමු. 1994 දී ද ඔවුහු ජනතා මිතුරෝ හෝ වෙනත් සංවිධානයක හෝ නමින් පෙනී සිටිමින් මංගල සමරවීර සමග එකට ජාතිකත්වයට එරෙහි ව වැඩ කළහ. එදවස පැවති මහා මැතිවරණයේ දී මංගල සමරවිරට ආධාර කළහ. මේ සම්බන්ධයෙන් තවත් දේ කීමට ඇතත් එය පසුවට කල් දමමි.  

මහින්ද රාජපක්‍ෂ මහතාට තම තෙවැනි වාරයේ දී ආර්ථික ය තව තවත් ශක්තිමත් කිරීමට සිදුවනු ඇත. ඒ ඔහුගෙන් බලාපොරොත්තුවන දෙවැනි කරුණ ය. ආර්ථික සංවර්ධනය බටහිර අච්චුවට පමණක් සීමා නොවිය යුතු ය. එය දේශීය මගක් ද ගත යුතු ය. අපේ ගොවිකම දියුණු කිරීමෙන් අපට කෘෂිරසායන භාවිතයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් විය හැකි ය. එමගින් වස විසෙන් ද අපට වෙන් විය හැකි ය. දේශීය වෙදකම දියුණු කිරීමෙන් අපට බටහිර වෛද්‍ය ක්‍රමය සඳහා වියදම් වන මුදල් රුපියල් කෝටි ගණනින් ඉතිරි කරගත හැකි ය. 

එ ජ නි සංධානයේ ප්‍රතිපත්ති ඉහත සඳහන් ආකාරයෙන් සකස් කරගත යුතු වෙයි. අද බටහිරයෝ අප පාලනය කරති. අපට නිදහසක් තිබිණි ද එය සීමිත නිදහසකි. බටහිරයෝ  විසිරුණු දෙමළ ජනයා මගින් අපට බලපෑම් කරති. ඔවුහු බටහිර සිටින කොටින් ද ඇතුලු දෙමළ ජාතිවාදීන්ට ආධාර කරති. පසුගිය දා යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කළ අතර අපට ආර්ථික තහංචියක් පැණවී ය. ඒ අපේ මාළු මිළදී නොගෙනීමට තීරණය කිරීමෙනි. ඉදිරියේ දී අප තව තවත් එවැනි ක්‍රියා බලාපොරොත්තු විය යුතු ය.

යුරෝපා සංගමයට අපේ අභ්‍යන්තර ප්‍රශ්නයකට අත පෙවීමට අයිතියක් නැත. ඔවුන් කර ඇත්තේ ඔවුන්ගේ ආධිපත්‍යය අප මත පැටවීමකි. අප එහි දී ක්‍රියාකළ යුතුව තිබුණේ කෙසේ ද? ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ, තොප්පිගල යනු කැලෑවක් පමණක් යැයි කියමින් අපේ හමුදාවන් සමච්චලයට ලක්කළ රනිල් වික්‍රමසිංහ හදිසියේ ම දේශප්‍රේමියකු වී ආණ්ඩුව යුරෝපා සංගමයට එරෙහිව කටයුතු නොකළේ ඇයි දැයි අසයි. ඔහු ඉන් නොනැවතී යුරෝපා සංගමයට ලිපියක් ද යවා ඇත. රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ කුමක් ද?

ඒ ඔහුට හුරු පුරුදු කාර්යයකි. එනම් රට හා සිංහලයන් පාවා දීමකි. යුරෝපා සංගමයට අපේ රටේ අභ්‍යන්තර කරුණුවලට මැදිහත් වීමට කිසිම අයිතියක් නැත. ඔවුන් තමන්ගේ සමිති සමාගම්වල අපට විරුද්ධව විවිධ යෝජනා සම්මත කරගන්නා විට අප කළ යුත්තේ ඒ සඳහා මැදිහත් වීම නො ව ඔවුන් මුළුමනින් ම නොසලකා හැරීම ය. ආණ්ඩුව කළ යුතු පරිද්දෙන් යුරෝපා සංගමය නොසලකා හැර රටේ හා ජනතාවගේ ස්වෛරීභාවය රැකගත්තේ ය. යුරෝපා සංගමයට අපේ ප්‍රශ්නවලට මැදිහත්වීමට අයිතියක් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. 

එහෙත් රනිල් වික්‍රමසිංහ කළේ කුමක් ද? ඔහු ඊනියා දේශප්‍රේමීත්වයක් අටවාගෙන විපක්‍ෂ නායක ධුරය ද යොදා ගනිමින් සුපුරුදු අන්දමින් රට පාවාදීමට පියවර ගත්තේ ය. ඔහු තම ලිපිය මගින් යුරෝපා සංගමයට අප රටේ කරුණුවලට මැදිහත්වීමට අයිතියක් ඇති බව පිළිගත්තේ ය. ඔහුගේ දේශප්‍රෙමයේ නිරුවත දිස්වන්නට පටන් ගත්තේ ය. ඔහුගේ පක්‍ෂයෙන් කවුරුන් ඉදිරිපත් වුවත්  ඒ තැනැත්තා ද බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට රට පාවාදෙනු ඇත.

ජනාධිපතිවරණය ද ජාතික බලවේග හා විජාතික බලවේග අතර සටනකි. එහි දී ජාතික හෙළ උරුමයෙ කොටසක් විජාතික බලවේගවලට යට වුව ද ජාතිකත්වයේ අති විශාල බහුතරය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග ජාතිකත්වය පැත්තේ ය.


නලින් ද සිල්වා

2014-11-16

Sunday, 16 March 2014

ඇඩෙල් බාලසිංහම් ලංකාවට භාරදෙනු


ජෙනීවා කෝලමෙන් ලැබෙන ආරංචි අනුව ව්‍යාජ ජාත්‍යන්තර පරීක්‍ෂණය වෙනුවට අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට ආණ්ඩුවට බලකිරීමේ යෝජනාවක් සම්මත කරගැනීමේ ඉඩකඩක් වෙයි. එය ද මානුෂීය මෙහෙයුම්වල අවසාන සති දෙකට සීමා කිරීමට බටහිර බලවතුන්ට අවශ්‍ය වී ඇත. ආණ්ඩුව මේ කිසිම පරී’ක්‍ෂණයකට එකඟ වි යුතු නො වේ. අප නිතර කියා ඇති පරිදි මෙහි ඊනියා මානව අයිතිවාසිකම් කඩවීමේ ප්‍රශ්නයක් නැත. මානව අයිතිවාසිකම් කඩවීමේ කතාව පටන් ගත්තේ මෙහෙයුම්වලින් ටික කලකට පසු එහෙත් 2010 ජනාධිපතිවරණයට පළමු ඇමරිකාවට ගොස් පැමිණි සරත් ෆොන්සේකා ය. ඔහුට විරුද්ධව ඇමරිකාවේ ප්‍රාන්ත අධිකරණයක තිබූ නඩුව ඉන්පසු ඉවත්කරගනු ලැබිණි. ඔහු අත් අඩංගුවට ගත යුතු යැයි අප කියා සිටියේ ජනාධිපතිවරණ වේදිකාවල ය. ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කඩවීමක් නොව දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙවීමට එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලට නො හැකිවීම ය. අද එහි පළිය ජනාධිපතිතුමාගෙන්, ආරක්‍ෂක ලේකම්තුමාගෙන් හමුදාවෙන් හා පොදුවේ සිංහල ජාතියෙන් ගැනීමට බටහිරයෝ වලිකති. බටහිරයන්ට නීතිය හා ව්‍යවස්ථාව ඉගෙනගත් ජෙනිංග්ස්ගේ දරුවන්ගේ සහාය ද ලැබෙයි. 

මෙරට දෙමළ ප්‍රශ්නය ඇතිකළෝ දුම්කොළ වගාවට දෙමළ වෙල්ලාලයන් මෙරටට ගෙන ආ ලන්දේසිහු ය. ඉංගිරිසිහු ව්‍යවස්ථාදායක මණ්ඩලයට සිංහල ජාතිය හා දෙමළ ජනවර්ගය නියෝජනය කිරීමට ඉතිහාසය, සංස්කෘතිය පමණක් නොව ජගහන අනුපාතය ද නොසලකා එක් අයකු බැගින් පත්කිරීමෙන් සිංහලයන් ව්‍යවස්ථාපිතව සුළුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමය අරඹා දෙමළ ජාතිවාදයට උඩගෙඩි දුන්හ. ඉංගිරිසින්ගේ කාලයේ සිට බැලුවත් දෙමළ ප්‍රශ්නයට, එනම් ව්‍යවස්ථාපිතව සිංහලයන් සුළුතරය බවට පත්කිරමේ ක්‍රියාදාමයට වසර දෙසියයක් පමණ වෙයි. රාමනාදන්ලා, අරණාශලම්ලා, පෙන්නම්බලම්ලා, ඉංගිරිසි ආණ්ඩුකාරවරු ප්‍රශ්නයේ මුල සිට ක්‍රියාත්මකවූහ. චෙල්වනායගම් ඒ ක්‍රියාදාමයේ සංධිස්ථානයක විය. ජෙනිංග්ස්ගේ දරුවන්ගේ මතකයේ ඇත්තේ  ප්‍රභාකරන් වුවත් සිංහලයන්ට හිමිතැන නොදීමට පැන වූ  29 වැනි වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල්කළ ජෙනිංග්ස් ද අපේ මතකයේ වෙයි (පසුගිය දිනවල ජෙනිංග්ස්ගේ මිණිබිරියක ලංකාවට පැමිණීම නිසා ජෙනිංග්ස්ගෙ දරුවෝ කුල්මත් වී සිටිති). ප්‍රභාකරන් යනු ඉහත සඳහන් සියළු දෙනාගේ ඥාතියෙකි. (වැඩි විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න). මානුෂීය මෙහෙයුම් යනු අහම්බෙන් ඇතිවූවක් නො වේ. එහි මුල ඇත්තේ ඉංගිරිසි ආණ්ඩුකාරයන් හා දෙමළ ජාතිවාදී නායකයන් ය. ප්‍රභාකරන් ආයුධ ගත්තේ ප්‍රශ්නය ඇති වී අවුරුදු එකසිය පනහකටත් වඩා ගත වීමෙන් පසුව ය. ප්‍රභාකරන් පැරදවීමට මෙරට සිටි බෙලහීන ජනාධිපතිවරුන්ට හා ජනාධිපතිවරියට නොහැකි විය. 

මානුෂීය මෙහෙයුම් නොවන්නට තවමත් ප්‍රභාකරන් අහිංසක මිනිසුන් ගැහැණුන් හා දරුවන් මරාදමනු ඇත. අවසාන සති දෙකෙහි බටහිරයන්ට ප්‍රභාකරන් බේරාගෙන යුරෝපයට ගෙන යෑමේ අවශ්‍යතාව විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට ඉඩ නො දුන්නේ ය. ප්‍රශ්නය ඊනියා මානව අයිතිවාසිකම් කඩවීමක් නොව දෙමළ ජාතිවාදය බැවින් අභ්‍යන්තර පරීක්‍ෂණයක් වුව ද අවසාන සති දෙකට සීමා නොවිය යුතු ය. නිවැරදි ව කරන්නේ නම් අඩුම තරමෙන් දහනවවැනි සියවසේ දෙවැනි දශකයේ සිට පරීක්‍ෂණය පැවැත්විය යුතු ය. එහෙත් එය කිසි ම ලෙසකින්වත් අවසාන සති දෙකට සීමා නොවිය යුතු ය. ප්‍රශ්නයේ ප්‍රභාාකරන් අවධිය පිළිබඳවවත් කරන පරීක්‍ෂණයකට ආණ්ඩුව එකඟ විය යුතු නො වේ.  අවසාන සති දෙක යනු ඉතිහාසයේ ක්‍රියාවලියක එක් සීමිත කාලයක් පමණකිි. ප්‍රභාකරන් පැරදවීමට නොහැකි වූ ජනාධිපතිවරු ද පරීක්‍ෂණයෙහි වගඋත්තරකරුවෝ වෙති. එතරම් තරුණයකු  නොවූ සජිත් ප්‍රේමදාසට තම පියා කොටින්ට ආයුධ සැපයූ බව හා පොලිස් භටයන් හත්සියයක් පමණ ප්‍රභාකරන්ට පාවාදුන් බව මතක ඇතැයි සිතමු. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව නොවී සිටියදීත් ව්‍යවස්ථාවට පටහැණිව ඊනියා සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමෙන් ප්‍රභාකරන්ට නව පණක් ලබාදුන්නේ ය. මේ සියල්ලෝම පරීක්‍ෂණයක් පැවැත්වෙන්නේ නම් එහි වගඋත්තරකරුවෝ බවට පත්වෙති. 


එපමණක් නොව බටහිර රටවල පාලකයෝ ද වගඋත්තකරුවෝ වෙති. අද ද කොටි සංවිධානය ඇතැම් බටහිර රටවල නාමික ව තහනම් කෙරුණ ද එහි පෙරමුණු සංවිධාන ක්‍රියාත්මක වෙයි. බටහිරයෝ අද සිංහලයන්ට විරුද්ධ ව විසුරුණු දෙමළ ජනයා යොදා ගනිති. පසුගිය දා කොටි සංවිධානයේ ධජය රැගත් උද්ඝෝෂණයකට කැනඩාවේ ඉඩ ලැබිණි. අපට පරීක්‍ෂණයක් පැවැත්වෙන්නේ නම් මේ සියල්ලන් ම වගඋත්තරකරුවන් කිරීමට අවශ්‍ය වෙයි. මෙයින් කියැවෙන්නේ අභ්‍යන්තර වුවත් පරීක්‍ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව එකඟ විය යුතු බව නො වේ. ඉහත සඳහන්  වගඋත්තරකරුවන් නොමැති ව කෙසේවත් පරීක්‍ෂණයක් නොපැවැත්විය යුතු බව ය.  ඒ අතර තවත් වගඋත්තරකරුවෝ වෙති. අද ද කොටි සංවිධානයේ මිනිමැරුම්වලට වගකිවයුත්තෝ බටහිර රටවල ජීවත් වෙති. පරීක්‍ෂණයක් ගැන කතාකිරීමටත් පළමුව බටහිර රටවල් ඔවුන් ලංකාවට භාරදිය යුතු ය. ඒ පරීක්‍ෂණයකට පූර්ව අවශ්‍යතාවක් ලෙස නො වේ. ඒ අපරාධකරුවන් බටහිර රටවල රඳවා තබාගැනීමෙන් කැමරන් ද ඇතුළු බටහිර පාලකයෝ කොටින්ගේ මිනීමැරුම්වලට වගකිවයුත්තෝ වෙති. විශේෂයෙන් ම  තවමත් එංගලන්තයේ වෙසෙන ඇඩෙල් බාලසිංහම් ලංකාවට භාරදීම කැමරන්ගේ යුතුකමක් වෙයි. ඔහු ඇයට එංගලන්තයේ රැකවරණ ලබාදීමෙන් ඔහුගේ මානව අයිතිවාසිකම් කතාව පුස්සක් බවට පත්වෙයි. ළමා සොල්දාදුවන් ගැන කිඹුල් කඳුළු හෙළුෑ බටහිරයන් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු එක් ප්‍රධාන පුද්ගලයකු වූ ඇඩෙල් බාලසිංහම්ට රැකවරණ ලබාදෙන්නේ කෙසේ ද? සයනයිඩ් මාල දෙමළ තරුණියන්ගේ ගෙළවට පැළඳූ ඇඩෙල් මානව අයිතිවාසිකම්වලට ගරු කළේ ද? කැමරන් ඊනියා ජාත්‍යන්තර හෝ අභ්‍යන්තර හෝ පරීක්‍ෂණ ගැන කතාකිරීමට පළමු යුද්ධාපරාධකාරියක වූ ඇඩෙල් බාලසිංහම් ලංකාවට භාරදිය යුතු ය. එසේ කරන තෙක් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ගැනවත් කතාකිරීමට ලංකාණ්ඩුව බැඳී නැත.


නලින් ද සිල්වා

2014-03-16

Sunday, 23 February 2014

ජෙනීවා පරදවමු -3


සිංහල ජාතිකවාදීන් බොහෝ දෙනකුට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය නොතේරීම ජෙනීවා පැරදවීමට ඇති ප්‍රධාන බාධාව බවට පත් වී ඇත. මේ බොහෝ දෙනකු අප ඉදිරිපත් කරන මතයට විරුද්ධ වන්නේ ඉතිහාසය හා සමස්තය ගැන හැදෑරීමකින් තොරව ය. ප්‍රශ්නය ඊනියා නිජභූමි ප්‍රශ්නයක් බවට මතයක් ඉදිරිපත් කිරීමේ වෑයමක් ප්‍රබුද්ධයන් යැයි කියාගන්නා අතර වෙයි. එක් ප්‍රබුද්ධයකුට අනුව දෙමළ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කර ඇති නිවැරදි මතය නිජභූමිය පිළිබඳ ප්‍රශ්නය ය. මොවුහු දෙමළ ජාතිවාදය පිටුපස ඇත්තේත් එය මෙහෙයවන්නේත් එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් බවත් දෙමළ ජාතිවාදය යොදා ගැනෙන්නේ බෞද්ධ සංස්කෘතීන් හා චින්තන නැතිකිරීමට බවත් නො පිළිගනිති. ජෙනීවාහි දී ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ ප්‍රධාන යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකාව, මියන්මාරය හා උතුරු කොරියාවට විරුද්ධව ය. ඒ රටවල් කිනම් අරථයකින් වුව ද බෞද්ධ රටවල් ය. උතුරු කොරියාව බෞද්ධ නොවේ යැයි ප්‍රබුද්ධයකු පැවසීමට ඉඩ ඇත. එහෙත් අප දන්නා කරුණක් නම් පසුගිය දශක කිහිපය තුළ දකුණු කොරියාව සංස්කෘතික හා ආගමික වශයෙන් ක්‍රිස්තියානි/කතෝලික වී ඇති බවත් උතුරු කොරියාව එසේ වී නොමැති බවත් ය. ඉහත කී රටවල් තුන අතරෙන් මියන්මාරයට විරුද්ධව ගෙනෙන යෝජනාව සැර බාල කර ඒ රටේ ද අනුමැතියෙන් ගෙනෙන එකඟතා යෝජනාවක් බවට පත්කර ඇත. අවුන් සා සු කී යොදා ගැනීමෙන් බටහිර රටවලට මියන්මාරය යම් ප්‍රමාණයකට මෙල්ල කිරීමට හැකි විය. එහි දී බටහිරයෝ ආර්ථික සම්බාධක ද යොදාගත්හ. එහෙත් ලංකාවේ එවැනි තත්වයක් නැත. සු කී වෙනුවට බටහිරයන් ලංකාවේ දී යොදා ගැනීමට උත්සාහ කළේ චන්ද්‍රිකා කුමාරතුංග ව ය. එහෙත් එය අසාර්ථක විය. අද බටහිරයන්ට සුදුසු නායකයකු ලකොවෙන් සොයා ගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු ම ලංකාවට එරෙහි ව සෘජුව ම ක්‍රියාත්මක වෙති.  කැමරන් විය යුතු පරිදි ම එහි නායකත්වය දරන අතර ඔහුට ඔබාමාගේ හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය නොමඳ ව ලැබෙයි. දෙමළ ජාතිවාදය ඇතිකිරීම පිළිබඳ කතාව ලන්දේසීන් කරා දිව යන අතර වත්මන් ස්වරූපයෙන් එය පවතින්නේ දහනවවැනි සියවසේ මුල් දශකවල ඉංගිරිසින් විසින් ඇතිකරන ලද ව්‍යවස්ථාදායක මණ්ඩල කාලයේ සිට ය. 

එහෙත් අවාසනාවකට බොහෝ සිංහලයන්ට වියුක්ත ව (ඉංගිරිසියෙන් නම් ඇබ්ස්ට්‍රැක්ට්) සිතන්නට බැරි ය. (නො) දත් දොස්තරලාට වියුක්තය යන වචනයවත් නො තේරෙයි. බොහෝ දෙනාට සමස්තය දැකිය නො හැකි ය. වියුක්තව නොසිතා සාධාරණීකරණයට (පොදු බව දැකීමට) ඉඩක් නැත. මේ සියල්ල ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි අංග ය. අපට ඒ නුහුරු ය. එසේ වුවත් පෘතුගීසීන්ට විරුද්ධ ව අප ඔවුන්ගේ කාල තුවක්කු නිෂ්පාදනය කර ඔවුන්ට එරෙහි ව යොදාගත් අයුරෙන් අද දවසේ අපට ඔවුන්ගේ වියුක්ත චින්තනය යම් ප්‍රමාණයකට වුව ද යොදාගත යුතුව ඇත. අප දෙමළ ජාතිවාදය පිටුපස හා ඉදිරිපස බටහිරයන් දකින්නේ වියුක්ත ව සිතීමෙනි. බටහිරයන් ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද දෙමළ ජාතිවාදය අපට විරුද්ධව යොදාගන්නා බව පසුගිය දා රජිව් ඝාතනයේ වැරදිකරුවන් නිදහස් කිරීමට තමිල්නාඩු ආණ්ඩුව ගත් තීරණයෙන් ද පැහැදිලි විය. එහි දී බටහිරයෝ ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය පමණක් නොව ගාන්ධි පවුල ද යම් ප්‍රමාාණයකට යොදාගත්හ. ඔවුහු සමාවදීමට (ඔවුහු කිසි විටෙකත් සමාව නො දෙති. එහෙත් අනෙක් අය ලවා ඒ දේවගතියක් යැයි කියන්න කරවති) ගාන්ධි පවුල ද යොදාගත්හ. රජිව් ගාන්ධිගේ දුව ප්‍රියංකා තම පියාගේ ඝාතකයා වූ නාලිනී බැලීමට හිරගෙදරට ගියා ය. ඉතාලි කතෝලික සම්භවයක් ඇති සෝනියා ද ඝාතකයන් කෙරෙහි අනුකම්පාවක් දැක්වී ය. ඝාතකයන්ගේ අභියාචනයක් සලකා බැලීමට අධිකරණය බොහෝ කලක් ගත්තේ ය යන පරිසිද්්ධිය (ඉංගිරිසියෙන් නම් ෆැක්ට්) මත පදනම් ව ඉන්දිය ශ්‍රෙෂ්ඨාධිකරණය වැරදිකරුවන්ගේ මරණීය දණ්ඩනය ලිහිල් කර ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්  බවට පත්කළේ ඔවුන් නිදහස්කළ හැකි බවට තමිල්නාඩු ආණ්ඩුවට ඉඟියක් ද කරමිනි. ඉහත සඳහන් කළ පරිසිද්ධිය කිසි බරක් නැති විහිළුවක් පමණක් වුවත් සමාව දීම සඳහා මතයක් දේවගති ඇති ඉන්දිය ජනකොටසක් අතර ඇතිකර තිබිණි. ඝාතකයන් නිදහස් කිරීම පිළිබඳ ව තමන් සතුටු වන බව මෙරට හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකරුවකු වූ ද වත්මන් උතුරු පළාත් මහා ඇමති වූ ද විග්නේෂ්වරන් ප්‍රකාශ කිරීමෙන් විනිසුරුවන්ගේ තීන්දු ගැන ද අපට යම් අවබෝධයක් ලබාගැනීමට හැකි ය. මොන ප්‍රකාශ කළත් විග්නේෂ්වරන්ට ආනන්දී සමග තරග කළ නො හැකි බව ඔහු තේරුම් ගත යුතු ය. 

කෙසේ වෙතත් ඉන්දිය ආණ්ඩුව පමා වී හෝ මෙහි බරපතළකම තේරුම් ගෙන ඇත. එහි දී රාහුල් ඝාන්ධි තමිල්නාඩුවේ තීරණය පිළිබඳ තම කෝපය ද පලකර ඇත. තමිල්නාඩුවේ ක්‍රියාකලාපය හා ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ ම ක්‍රියා ලෙස අපි නොසලකමු. අප මෙහි දී තළියේ කිඹුලන් දකින්නේ යැයි කිසිවකු කියනු ඇත. තළියේ කිඹුලන් නැතිවුවත් පොළඟුන් ඇත. නන්දිකඩාල් කලපුවේ දී කොටින් පරාජය කිරීමෙන් පසුව ද දෙමළ ජාතිවාදයට මෙතරම් ශක්තියක් ඇත්තේ නිජභූමි සංකල්පයක් නිසා නොව බටහිරයන් දෙමළ ජාතිවාදය පිටුපස හා ඉදිරිපස ඇති බැවින් ය. එහෙත් නිජභුමි සංකල්පයට එරෙහිව අප සටන් නොකළා නො වේ. ඒ බව ගුණමකුවන් හැරෙන්නට සෙස්සෝ දනිති. යාපනයේ ඉතිහාසය ගැන අධ්‍යයනය කිරීමට ඒ ඇතැමුන් යොමු වූයේ කෙසේ ද යන්න පවා ඔවුන්ට අද වන විට අමතක වී ඇත. ගුණමකුවන්ට කෙසේ වුවත් සමස්ත ප්‍රශ්නය දැකීමට අපට හැකිවිය යුතු ය. අපට ජෙනීවා පැරදවිය හැක්කේ සමස්ත ප්‍රශ්නය දැකීමෙන් පමණකි. අප රට සම්බන්ධයෙන් ගත්කල අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනයත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියත් අතර සටනකි. එහි දී බටහිරයෝ විසිරුණු දෙමළ ජනයාට, පඬියන්ට, රාජ්‍ය නොවන ගැත්තන්ට, ජඩමාධ්‍යවේදීන්ට අමතරව මෙරට ඇතැම් කතෝලික හා ක්‍රිස්තියානි පූජකයන් පල්ලි නිකාය හා පස්ගව (පස්වග නොවේ) මහණුන් ද යොදා ගනිති.  අප ඉදිරියේ ඇත්තේ ජෙනීවා යෝජනාව පරාජය කිරීම පිලිබඳ ප්‍රශ්නය පමණක් නො වේ. අපට ජෙනීවා සම්ප්‍රදාය පරාජය කිරීමේ කාර්යභාරය ද වෙයි. ජෙනීවා යෝජනාවට කුමක් වේ දැයි නිශ්චිත ව කිව හැකි නො වේ. යෝජනාව පරාජය කිරීමට අප බටහිර නොවන රටවල සහාය පැතිය යුතු ය. එහෙත් එයටත් වඩා ජෙනීවා පරාජය කිරීමට අප උත්සාහ දැරිය යුතු ය.


නලින් ද සිල්වා

2014-02-23

Sunday, 16 February 2014

ජෙනීවා පරදවමු -2


ජෙනීවා ප්‍රශ්නයක් වී ඇත්තේ මෙරට ඊනියා උගතුන්ට ය. බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් ලබා ඇති මේ උගත්තු බටහිරයන්ගේ බටහිර විද්‍යාව ඇතුළු පට්ටපල් බොරුවලින් මුළා වෙති. ඔවුන්ට තම ඊනියා උගත්කම පෙන්වීමට ද ජෙනීවා උදවු වෙයි. ජෙනීවාහි දී කුමක් වේ ද? ආර්ථික සම්බාධක පැණවීමට ඉඩක් වේ ද? ආදී ප්‍රශ්න මේ උගතුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. එහෙත් නියම ප්‍රශ්නයට උගතුන්ට මගහැරෙන්නේ ඔවුන් උගතුන් පමණක් වූ බැවිනි. ඔවුන්ට අනුව අද ඇත්තේ මානුෂික මෙහෙයුම්වල අවසාන සති දෙකෙහි මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් දෙමළ ජාතිවාදයට ඇතැම් දේ දෙන්නේ නම් මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ චෝදනා අස්කර ගැනීමට බටහිරයන් කැමත්ත පළකර ඇති බව ඔවුහු අමතක කරති. බටහිරයන්ට ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීමේ ප්‍රශ්නයක් නොව සිංහල බෞද්ධ චින්තනය හා ඔවුන්ට අවනත නොවී කොටින් පැරද වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පැරදවීමේ  අභිලාෂයකි. අද එ ජා පක්‍ෂයේ කිරිඇල්ලත් ජ වි පෙ නව නායකයාත් බෙරිහන් දෙමින් කියන්නේ ජෙනීවා ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ආණ්ඩුවේ වරදින් බවත් ජෙනීවා යෝජනා ආණ්ඩුවට මිස රටට විරුද්ධ ව නොවන බවත් ය. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට තමන්වහන්සේ එකඟ බවත් වරදක් කර නැත්නම් එවැනි පරීක්‍ෂණයකට බිය නොවිය යුතු බවත් ය. උන්වහන්සේ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂක (අපේක්‍ෂකයන් වහන්සේ) බවට පත්වීමටත් කැමැත්ත පළකර ඇත. 

සෝභිත හිමියන් ජනාධිපතිවරණයේ දී තරග කළහොත් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට විසිපහකට අඩුවන බැවින් ඒ ගැන කතා නොකර සිටීම වැඩදායක ය. එහෙත් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන කතා නොකර සිටීමට නො හැකි ය. මේ ජාත්‍යන්තරය යනු කවු ද? දෙමළ ජාතික සංධානයේ සිංහල විරෝධී ඊළාම්වාදී ප්‍රේමචන්ද්‍රන්ලා ද ඉල්ලා සිටින්නේ ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු මෙරට දී සිදු කෙරෙන පරීක්‍ෂණයකට විරුද්ධ වෙති. ඔවුහු ජනගනන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට ද විරුද්ධ වෙති. ඒ ඔවුන් මෙරට රාජ්‍යයෙන් වෙන් වී ඊනියා ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත ඊළමක් පිහිටුවීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින බැවිනි. සෝභිත හිමියන්ට එවැනි අවශ්‍යතාවක් නැතැයි අපි තවමත් උපකල්පනය කරමු. එහෙත් ඊනියා ජාත්‍යන්තරය යනු ලෝක ජාත්‍යන්තරයක් නොව එංගලන්තය, ඇමරිකාව ආදී බටහිර රටවල් කිහිපයක ව්‍යාජ ජාත්‍යන්තරයකි. අප රටේ දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. එංගලන්තයත් ඇමරිකාවත් ඇතුළු ව්‍යාජ ජාත්‍යන්තරයට අවශ්‍ය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝ පුරා පැතිරවීමට ය. එහි දී ඔවුන්ට සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය කුඩු පට්ටම් කර දැමීමට අවශ්‍ය වෙයි. ඔවුන් 1650න් පසු ගෙන් වූ දෙමළ වෙල්ලායන් ද දැන් බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා ද යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හා චින්තනයට එරෙහි ව ය. මුළු මහත් දෙමළ ප්‍රශ්නය ම සිංහල බෞද්ධයනට එරෙහිව අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් ඇතිකරන ලද්දකි. අවාසනාවකට අද බටහිරයන් සිංහල බෞද්ධ චින්තනය සමග නැති භික්‍ෂූන්ගේ පල්ලි නිකායක් ද ඇතිකර සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධ ව එය යොදාගනු පෙනෙන්නට ඇත. ව්‍යාජ ජාත්‍යන්තරය පහළොස්වැනි සියවසේ සිට අද දක්වා ම නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් කඩකරමින් අපේ රණවිරුවන් අතින් සිදු වී යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම් ගැන පරීක්‍ෂණ කළ යුතු යැයි කියන්නේ එ ජා ප හා ජ වි පෙ වැනි සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂ කියන ආකාරයට ආණ්ඩුවට විරුද්ධව නොව සිංහල බෞද්ධ චින්තනයට හා සංස්කෘතියට එරෙහි ව ය. ඉහත කී පක්‍ෂ ජෙනීවා චෝදනා ආණ්ඩුවට විරුද්ධව යැයි කියන විට ඔවුන් තැත්කරන්නේ එහි ඇති සිංහල බෞද්ධ විරෝධය වසා දැමීමට ය. ව්‍යාජ ජාත්‍යන්තරය පරීක්‍ෂණවලින් රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට බලාපොරොත්තු වෙයි. 

අනෙක් අතට අප නිවැරදි නම් පරීක්‍ෂණයකට  බිය විය නැතැයි යන්න සත්‍යයක් වුවත් එයින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එකඟ විය යුතු බවක් ගම්‍ය නො වේ. අද අපේ ප්‍රධාන ම සතුරා එංගලන්තය ය. මෙරට කසිකබල් උගත්තු, විශේෂයෙන් ම ඉංගිරිසි උගත්තු එසේ කීම ගැන අසතුටු වෙති. එහෙත් එංගලන්තය අපේ ප්‍රධාන ම සතුරා බව අවබෝධ කරගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය මුළුමනින් ම පැරදවිය නොහැකි ය. අප නොකළ වරදක් ගැන අපේ ප්‍රධාන ම සතුරා කිසිම සාක්‍ෂියක් නොමැතිව කෑ ගෑසූ පමණින් අප සතුරා විසින් ම කෙරෙන පරීක්‍ෂණවලට එකඟ විය යුතු ද? සතුරාගේ මෙරට නියෝජිතයන් වූ දෙදෙනකු වූ රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් යන බිෂොප්වරු ඇසින් දුටු සාක්‍ෂි ඇතැයි කියමින් රසායනික ප්‍රහාර හා සාමාන්‍ය වැසියන්ට බෝම්බ දැමීම් ගැන කතා කරති. අප ව්‍යාජ ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟ විය යුත්තේ සාක්‍ෂිකරුවන් නැතිව කරන මෙවැනි අභූත චෝදනා මත පදනම් වී ද? අප කළ යුත්තේ රටට එරෙහිව එලෙස පදනම් විරහිත චෝදනා ඉදිරිපත්කරන බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන්නන් අධිකරණය ඉදිරියට පැමිණවීම සඳහා නීති රීති සම්පාදනය කිරීම ය. අපේ නිවැරදිකම ප්‍රදර්ශනය කිරීමට යැයි කියමින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟවන්නන් ද ඉටුකරන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතා ය. ආර්්ථික සම්බාධක පැණවීමට ජෙනීවා සමුළුවට නීතියෙන් ඉඩක් නැතිවුවත් බටහිරයන් අපට දඬුවම් කර අප මෙල්ලකිරීම සඳහාත් ආණ්ඩුව පළවා හැරීම සඳහාත් සිංහල බෞද්ධ සංස්කෘතිය පොඩි පට්ටම් කිරීම සඳහාත්  වක්‍ර ව ආර්ථික වශයෙන් හිරිහැර කරනු ඇත. අද ආණ්ඩුව පෙරළා දැමීමට ඊනියා වසන්ත මෙහෙයවීමට තරම් නායකත්වයක් මෙරට කිසිම විපක්‍ෂ කණ්ඩායමකට  හෝ දේශපාලන පක්‍ෂයකට හෝ නැති බව දත් කැමරන් තම එංගලන්ත අගමැතිකමට අමතරව ලංකාවේ විපක්‍ෂ නායක පදවිය ද තමන් අතට ගෙන ඇත. අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ජෙනීවා, ලන්ඩන්, වොෂිංටන් නගරවල මිස කොළඹ නො වේ.  බටහිරයන් ලන්ඩන් හා වොෂිංටන් සිට පනවන වක්‍ර ආරථික සම්බාධක  ඊනියා උගතුන්ට ප්‍රශ්නයක් වනු ඇත. එහෙත් ඔවුහු (අඩුම තරමෙන් ඔවුන්ගේ දෙමවුපියෝ) දෙවැනි ලෝක යුද්ධය යනුවෙන් හැඳින්වෙන බටහිරයන්ගේ යුද්ධයේ දී සුද්දන් වෙනුවෙන්, සුද්දන්ගේ ලෝක ආධිපත්‍යය වෙනුවෙන්, බජිරි කෑවෝ ය. සුද්දන් වක්‍ර ව ආර්ථික වශයෙන් අපට හිරිහැර කළහොත් එයට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඊනියා උගතුන්ට බජිරි කැවීමට අවශ්‍ය නම් අප එය ද කළ යුතු ය. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2014-02-16

Sunday, 2 February 2014

උතුරු පළාත් සභාව හා ජෙනීවා


මේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය යි. එහි පළමු යුග තුන ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි විස්තර කෙරෙයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු අභ්‍යන්තර වශයෙන් ගත්කල දෙමළ ජාතිවාදයට මෙරට කිසිදු ශක්තියක් තිබීමට හේතුවක් නැත. ඒ සමග දහනවවැනි සියවසේ මුල (1833 පමණ) ඇරඹි දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය කෙළවර විය යුතුව තිබිණි. ඉන්පසු පළාත් සභා ආකෘතිය හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කුණු කූඩයට දැමිය යුතුව තිබිණි. හිට්ලර්ගේ පරාජයෙන් පසු නට්සිවාදයට යුරෝපීය දේශපාලනයේ තැනක් නැත. දෙමළ ජාතිවාදයේ අවුරුදු දෙසීයයකට ආසන්න සිංහල විරෝධය හා බටහිර ගැති දේශපාලනය උරුම කරගත් ප්‍රභාකරන්ගේ පරාජයෙන් පසුව දෙමළ ජාතිවාදයට මෙරට තැනක් නොතිබිය යුතුව තිබිණි. ආණ්ඩුව හා රණවිරුවන් දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කර සාමය උදාකළ නමුත් රටේ අසහනයක් ඇත. එ ජා පක්‍ෂයේ කොටින් පරාජය කිරීමට විරුද්ධව ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කියමින් පාමංකඩ දිවූ බටහිර ගැති නායකයෝ, අද මෙරට සාමයක් නැත්තේ ආණ්ඩුවේ වරදින් යැයි කියති. එහෙත් මෙරට සාමයක් ඇත. අද කිසිම තැනක බෝම්බ පිපීරිමක් නැත. ලක්‍ෂමන් කිරිඇල්ලට වුව ද ඕනෑම ගොන් කතාවක් කියමින් බියක් සැකක් නැතිව රටේ ම්නෑම තැනකට ගිය හැකි ය. යම්කිසි ආකාරයකින් එ ජා ප ආණ්ඩුවක් (හෝ චන්ද්‍රිකා ආණ්ඩුවක් හෝ) තිබිණි නම් එක්කෝ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඊළම දී දේශසීමා අරගලයක් ඇතිවීමටත් බටහිර හමුදා සාමයක් ඇතිකිරීමට යැයි කියමින් රටට ඒමටත් තිබිණි.

රටේ සාමය ඇතත් විශේෂයෙන් ඊනියා උගතුන් අතර අසහනයක් ඇතිකර තිබේ. නට්සිවාදයට අත් වූ ඉරණම දෙමළ ජාතිවාදයට අත්නොවිණි. ඒ බටහිර ගැති, එමෙන් ම ආණ්ඩු විරෝධී ලිබරල් හා ජ වි පෙරමුණ ද ඇතුළු කසිකබල් මාක්ස්වාදීන් කියන ආකාරයට ආණ්ඩුවේ වරදක් නිසාවත් බටහිරින් නඩත්තුවෙන රාජ්‍ය නොවන හා විශ්වවිද්‍යාලයීය නිවටයන් හා පුස්සන් (බටහිර ගැති දෙමළ ජාතිවාදීන්ට හා බටහිර විද්‍යාවේ දාසයන්ට අපහාස කිරීමට මම නො පැකිළෙමි. ඔවුන් කිසිම අපහාසයක් නොකරන සදාචාර සම්පන්න පුද්ගලයන් නොවන බව ඔවුන්ගේ ලිපි කියවන්නෝ දනිති) කියන ආකාරයට දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණකම්වලට විසඳුම් දී නොමැති නිසාවත් ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක් වී ඇති නිසාවත් නො වේ (නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේ ද?). දෙමළ ජාතිවාදය මෙරට ප්‍රශ්නයක් පමණක් වී නම් අපට කිසිම අසහනයක් නොමැතිවීමට තිබිණි. දෙමළ ජාතිවාදය ඇතිවුණේ ම බටහිරයන් විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්නයක් ලෙස ය. එය මුල සිටම ඊනියා ජාත්‍යන්තර ප්‍රශ්නයකි. ලන්දේසිහු මෙරටට වෙල්ලාලයන් ආනයනය කර ප්‍රශ්නයට මුල පිරූහ. ඔවුහු සිංහල රජුට වත්මන් නැගෙනහිර පළාත අහිමි කිරීමට වෙල්ලාලයන් යොදාගත්හ. ඉංගිරිසිහු තමන්ට එරෙහිව සටන් වැදුණු සිංහලයන් පාගාදැමීමට වෙල්ලායන් යොදාගත්හ. සර්වජන ඡන්දයෙන් පසු දෙමළ නායකයන්ට  රටේම නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු බටහිරයෝ දෙමළ නායකයන්ට ඊළමක් දීමට සූදානම් වෙති. වෙල්ලාලයන්ට බැරි වූ එය ප්‍රභාකරන් ලවා කරවීමට උත්සාහ ගත් නමුත් එය ව්‍යවර්ථ විය. අද බටහිරයන් සූදානම් වන්නේ උතුරු පළාත් සභාව හා ජෙනීවා මගින් ප්‍රභාකරන් පරාජය කිරීමේ පළිය ජනාධිපතිතුමාගෙන්, ආරක්‍ෂක ලේකම්තුමාගෙන් හා රණවිරුවන්ගෙන් ගැනීමටත්, මේ ආණ්ඩුව බලයෙන් නෙරපා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් පත්කිරීමටත්, නිල නොවන අයුරෙන් ආර්ථික සම්භාධක පණවා සිංහලයන්ට දඬුවම් කිරීමටත්, ජනාධිපතිතුමාට වඩා පෘතුගීසීන් ලන්දේසීන් හොඳ යැයි කී රනිල් ලවා දෙමළ ජාතිවාදයට යථාකාලයේ දී ඊළම ලබාදීමටත් ය (පෘතුගීසීන් මෙරටට පැමිණීමට, පන්සල් කැඩීමට හා බලහත්කාර කතෝලිකරණයට අවුරුදු පන්සීයය පිරීම සැමරීමට රනිල් සූදානම් වූයේ නිවන් දැකීමට විය නො හැකි ය). 

බටහිරයන් අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ විසිරුණු දෙමළ ජනයා මගින් ය. දෙමළ ජාතික සංධානයේ ආනන්දී  කණ්ඩායම බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. ප්‍රභාකරන්ගෙන් පසු විග්නේෂ්වරන් ද ඇතුළු වෙල්ලාලයන්ට උතුරේ දේශපාලනයේ තැනක් නැත. ඉන්දියාව කෙසේ වෙතත් බටහිරයෝ ඒ බව දනිති. මෙරට ස්වෛරීභාවයට තර්ජනයක් වී ඇති ඇමරිකානු තානාපතිනිය ඇතුළු බටහිරයන් අද උතුරු පළාත් සභාවේ නිල නොවන මහඇමතිනිය ලෙස පිලිගන්නේ ආනන්දිව ය. ඔවුන් ආනන්දි ජෙනීවා ගෙන යෑමට ඇති ඉඩකඩ අධික ය. ඇමරිකානු තානාපතිනිය රටෙන් පිටුවහල් කිරීමට මේ සුදුසු ම කාලය නොවෙතත් ආන්ඩුවේ අවධානය එයට යොමු විය යුතු ය. කොටින් පරාජය කිරීමෙන් පසුව අද උතුරේ ඇත්තේ කඩදාසි කොටින් ය. එහෙත් බටහිරයන් කඩදාසි කොටින්ට පණ දෙන්නේ ජෙනීවා මගින් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් යොදාගනිමිනි. බටහිරයන් නොවන්නට ආනන්දී ඇතුළු කඩදාසි කොටින් කඩදාසි මෙන් පාවී ගොස් අවසන් ය. බටහිරයෝ දෙමළ ජාතිවාදය යොදාගනිමින් ආණ්ඩුව අස්ථායි කිරීමටත්, රටේ ඊනියා උගතුන් අතර අසහනයක් ඇති කිරීමටත් කටයුතු කරති. ප්‍රශ්නයේ මුල ඇති එංගලන්තය ජෙනීවා හි දී ඇමරිකාව ලවා ලංකාවට විරුද්ධව ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන මානව හිමිකම් නඩුවේ අරමුණ සිංහලයන්ට හා ආණ්ඩුවට දඬුවම් කර අවසානයේ දේශසීමා අරගල ඇතිකිරීම මිස ඊනියා මානව අයිතිවාසිකම් රැකීම නො වේ. ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කඩවීම් නම් බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට විරුද්ධව කිසිවක් නොකියන්නේ ඇයි? ෆොන්සේකාට ප්‍රභාකරන් මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා හොඳ ය. බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුදුකොඩි කතාවක් ඇද ගත්තේ ද ෆොන්සේකා ය. බටහිරයන්ට ඉතිහාසයේ කිසි දිනෙක මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් නො වී ය. පසුගිය දා බ්ලෙයාර්ට හා ඇමරිකන් ජනාධිපතිට එරෙහිව ඉරාක යුද්ධය සම්බන්ධ වාර්තාව පළකිරීම නවත්වා ඇති එංගලන්ත අගමැති කැමරන් ය. අප ජෙනීවා හි ද බටහිරයන් සතුටු කිරීමට දෙමළ ජාතිවාදීන්ට කිසිවක් දිය යුතු නො වේ. ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට අපි මුළුමනින් ම විරුද්ධ වෙමු. අවශ්‍ය නම් පසුගිය අවුරුදු තිහක කාලයක කොටින්ගේ හා ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවේ කරුණු සෙවීමට නීතිඥයන්ගෙන් නොව සඟ වෙද ගුරු ගොවි රණවිරුවන්ගෙන් සැදි කමිටුවක් පත්කරමු. අප කළ යුත්තේ බටහිර නොවන රටවලට කරුණු පැහැදිලි කර හැකිනම් එංගලන්ත ඇමරිකානු යෝජනාව ජෙනීවාහි දී පරාජය කිරීම ය. ඒ සඳහා 2012ට පෙර කළ ආකාරයට දහතුන ක්‍රියාත්මක කිරීම වැනි සිංහල විරෝධී පොරොන්දු නොදිය යුතු ය. අප ජෙනීවාහි දී පැරදුණත් එය අසහනයට කරුණක් කරගත නො යුතු ය. බටහිරයන්ට අවශ්‍ය අසහනය වැඩිකර අප හෙම්බත් කර නැතිකර දැමීම ය. අවශ්‍ය වුවහොත් අපි බටහිරත් සමග ඕනෑම ආකාරයක සටනකට සූදානම් වෙමු. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගැනීමට ද ක්‍රියාකරමු. ඇමරිකාව වියට්නාමයෙ දී ඉගෙන ගත් පාඩම එමෙන් දහස් ගුණයකින් එංගලන්තයට ඉගැන්වීමට ලංකාවේ දී කටයුතු කරමු.


නලින් ද සිල්වා

2014-02-02

Sunday, 28 July 2013

ඉන්දියාවේ අභිලාෂය

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර හෙටට අවුරුදු 29ක් වෙයි. ගිවිසුම අහෝසි වී මෙම මස අන්තිමට අවුරුදු 29ක් විය. එයට හේතුව ඉන්දියාව දින තුනක් ඇතුළත කොටින් නිරායුධ කිරීමට අසමත්වීම ය. එයට අමතරව එහි පරස්පර, අර්ථ නොදක්වන ලද වචන ආදී දෝෂ රැසක් ද වෙයි. පළාත් හා පළාත් සභා ද ඒ ගණයට අයත් වෙයි. එහෙත් අපි තවමත් ඒ ගැන කතාකරමු. එපමණක් නො වේ. ගිවිසුමෙහි පළාත් සභා පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. එහෙත් පළාත් සභා මැතිවරණ 1987 දෙසැම්බර් 31ට පෙර සිදුවිය යුතු යැයි කියැවෙයි. නැති පළාත් සභා සඳහා මැතිවරණ පවත්වන්නේ කෙසේ දැයි කෞටිල්‍යයන්ගෙන් ම  දැනගත යුතු ව ඇත. කෙසේ වෙතත් ඊනියා ගිවිසුමේ ඒ වගන්තිය ද ඉටු නොවිණි. එහෙත් අපේ හමුදා නම් බැරැක්කවලට සීමා කෙරිණි. ඒ මදිවාට බටහිර විද්‍යාවෙහි මෙන් ඊනියා ගිවිසුමෙහි පට්ටපල් බොරු ද වෙයි. අවුරුදු සියයක් පමණ පැරණි වූ උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු දහස් ගණනක් දෙමළ කතාකරන ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි ව පැවති යැයි එහි සඳහන් වෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි දෙමළ ජනයාගේ සම්භවය 1650න් පසුව සිදු වී ඇති බව සාක්‍ෂි සහිතව පෙන්නුම් කළ හැකි ය. එහි මුස්ලිම් ජනයා පදිංචි කෙරුණේ එයට තරමක් කලින් සෙනරත් රජු දවස ය. සති කිහිපයකට පමණ පෙර අප පෙන්වාදුන් අන්දමට ගිවිසුම වලංගු යැයි තර්ක කළ ද, එහි 2.10 වගන්තියේ සඳහන් අන්දමට උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනෙක් පළාත්වල ඇති පොලිස් ව්‍යුහය ම තිබිය යුතු ය. ඒ අනුව පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ඉන්දු ලංකා ගිවිසුමට ද විරුද්ධ ය. ඉඩම් බලතල පැවරීම ඊනියා සාම්ප්‍රදායික වාසභූමි කෙප්පය මත පදනම්වන බැවින් එසේ කිරීම ද අනවශ්‍ය ය. ඉඩම් බලතල හා පොලිස් බලතල උතුරු පළාත් සභාවට පැවරීමේ ප්‍රතිඵලය වනුයේ එහි දෙවැනි හමුදාවක් ඇතිවීමත් ලංකාණ්ඩුවේ හමුදාවලට කඳවුරු පිහිටුවා ගැනීමට බිම් අඟලක්වත් අහිමිවීමත් ය. කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම වලංගු වුවත් ඉන්දියාව හා ලංකාව අතර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගිවිසුමක් නැති බව අවධාරණය කළ යුතු ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ අප ඉන්දියාවෙන් අවසර ගත යුතු නො වේ. ඉන්දු ලංකා ගිවිසුමෙහි අර්ථකථනය කර නොමැති පළාත් සභා පිහිටුවීම අවශ්‍ය නො වේ. අනෙක් අතට ඉන්දු ලංකා ගිවිසුමෙහි පරිපාලන ඒකක ලෙස පළාත් ගැන කතාකරනමුත් ඒ වන විට ව්‍යවස්ථාවෙන් පළාත් යනු කවරේදැයි අර්ථදක්වා නොතිබුණි. අද වන තුරුත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක පළාත් පරිපාලන ඒකක ලෙස හැඳින් වී නොමැත. ව්‍යවස්ථාවට අනුව පරිපාලන ඒකක වනුයේ දිස්ත්‍රික්ක ය. පළාත් සභා අවශ්‍ය ම යැයි යමකු පවසන්නේ නම් දහතුන ද වත්මන් පළාත්සභා පනත ද අහෝසිකර වෙන ම පළාත් සභා පනතක් ගෙනැවිත් සංක්‍රමණීය පිළිවෙතකට යටත් ව පළාත් සභා පවත්වාගෙන ගිය හැකි ය.    

ඒ කුමක් වුවත් අද අප එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයට ය. පළමු යුග තුන ගැන සඳහන් කෙරෙන ප්‍රභාකරන් මහුගේ සියලා, බාප්පලා හා මස්සිනාලා කෘතියේ හතරවැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් ද සහිතව ය. දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය ය. එය අද ඊයේ නොව තුන්වැනි ජොර්ජ් රජුගේ කාලයේ සිට ම වෙයි. අනෙක් අතට දෙමළ ජාතිවාදය පසුපස නේරුගේ කාලයේ සිට ඉන්දියාව වෙයි. ඒ පරාජය කිරීමට පසුගිය දා උපන් හත්වැනි ජෝර්ජ් රජ වන තෙක් හෝ රජිව් ගාන්ධිගේ තවමත් නූපන් මුණුබුරා හෝ මිණිබිරිය හෝ ඉන්දියාවේ අගමැති තනතුරට පත්වන තුරු හෝ බලා සිටිය යුතු නො වේ. අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදයේ කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළෙමු. එය එතෙක් ඊනියා දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් ඉරා දැමීමකි. එයට හේතුව ඒ සියළු දේශපාලන ක්‍රියාවල අවසානය ප්‍රභාකරන් වීම ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලන ක්‍රියාවලියකි. දෙමළ ජාතිවාදයේ පළමු, දෙවැනි හා තුන්වැනි යුග ප්‍රභාකරන් සමග අවසන් වූයේ දෙමළ ජාතිවාදය හමුදා දේශපාලන වශයෙන් පරාජය කිරීමෙනි. එහෙත් අප ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුළත් කරගැනීමට නොහැකි වීමෙන් ද එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ද ඉන්දියාවේ ද මැදිහත්වීමෙන් ද දෙමළ ජාතිවාදය තවමත් දේශපාලන වශයෙන් පවතියි.  එය හැකිතාක් ඉක්මණින් දේශපාලනික ව පරාජය කළ යුතු ය. එහෙත් අපට තවමත් එංගලන්තයේත් ඉන්දියාවේත් අභිලාෂය හඳුනාගැනීමට නොහැකි වී ඇත.


එංගලන්තය බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද යොදා ගනිමින් තම සංස්කෘතියට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි සිංහල බෞද්ධ සංස්කෘතිය  නැතිකිරීමට බැරිනම් දුර්වල කිරීමට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් උත්සාහ කරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වට්ටවා එ ජා ප - දෙමළ ජාතික සංධාන ආණ්ඩුවක් පිහිටුවීම උතුරට හා නැගෙනහිරට බලය බෙදාදීම එහි පළමු පියවර වෙයි. නේරුගේ ද සිහිනයක් ව පැවති ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම සැබෑකර ගැනීමට ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගනියි. එදත් අදත් ඉන්දියාවට අවශ්‍ය අන්දමට දේශපාලනය කරන නායකයෝ මෙරට වෙති. සම්බන්ධන් හා රාවුෆ් හකීම් ඉන් දෙදෙනෙක් වෙති. ඊනියා දෙමළ කතාකරන ජනයාගේ අභිලාෂය යැයි කියමින් පළමුව බලය බෙදීම, දෙවනුව සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකිරීම, තුන්වැනුව ඊළම පිහිටුවීම, හතරවැනුව දේශසීමා ගැටුම් ඔස්සේ ලංකාව හා ඊළම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම ඉන්දියාවේ අභිලාෂය වෙයි. වෛදිකයන්ගේ සදාතනික බ්‍රහ්මන් මෙන් සදාතනික බලාපොරොත්තුව වූ ලංකාවෙන් හා දකුණු ආසියාවෙන් බුදුදහම අතුරුදන්කිරීමට ඔවුන් ඒ සමග ක්‍රියා කරනු ඇත. මෙරට දෙමල ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැත. ඇත්තේ ඉංගිරිසි මකියාවේලීන්ගේ හා ඉන්දීය කෞටිල්‍යයන්ගේ ප්‍රශ්නයකි. කෞටිල්‍යයෝ එහි දී ඉංගිරිසි කතාකරන, බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වෙල්ලාලයන් යොදා ගැනීමට එදත් අදත් උත්සාහ ගනිති. එංගලන්තයට කෙසේ වෙතත් ඉන්දියාවට ප්‍රභාකරන් අවනත නො වී ය. ඔහුගේ කුලය ද ප්‍රශ්නයක් විය. ඉන්දියාව අද එයින් පාඩමක් ඉගෙන ඇත. ඔවුන් කොටින් සමග සම්බන්ධ යැයි කියන සේනාධිරාජා වෙනුවට “ උභය කුල පාරිශුද්ධ” විග්නේස්වරන් උතුරේ මහඇමති අපේක්‍ෂක ලෙස තෝරාගැනීමට සම්බන්ධන්ට ඔහුම කියන පරිදි බලකර ඇත්තේ විග්නේස්වරන්ගේ ඊනියා නීති දැනුම නිසා නොව ඉන්දියාවට ඔහු විශ්වාස බැවිනි. එහෙත් ඒ සමග දෙමළ ජාතික සංධානය කැඩී යෑම වැළැක්විය නොහැකි ය. අප අපේ පාඩම් ඉගෙන ගන්නේ නම් කෞටිල්‍යයන් ද මකියාවේලීන් ද පරාජය කිරීම මහෞෂධයනට ප්‍රශ්නයක් නො වේ.   


නලින් ද සිල්වා

2013-07-28

Sunday, 14 July 2013

බුද්ධගයාවට බෝම්බ ගැසීම

පසුගිය දා බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ අසල බෝම්බ කිහිපයක් පුපුරා ගියේ ය. පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක් ද සොයාගෙන ඇත. ඒ පිළිබඳ ව ඉන්දීය තොරතුරු මධ්‍යස්ථානය කල්තබා ම දන්වා තිබූ නමුත් බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට අසමත් වී ඇති බව පැවසෙයි. කෙසේ වෙතත් ඉන්දීය බලධාරීන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉන් කිහිප දෙනකු නිදහස් කර ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන්නේ යැයි කියන මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් වන මුජාහිඩීන් (අරගලය යන තේරුම ඇති අරාබි වචනයක් වන ජිහාඩ් යන්නෙන් බිඳී ඇතැයි කියැවේ) සංවිධානය එහි වගකීම භාරගෙන ඇති බවත් කියැවෙයි. මේ මුස්ලිම් සම්බන්ධයක් ගැන ලංකාවේ කිසිවකු කියා නැති බව ඇතැම් ත්‍රිරෝද පක්‍ෂ නායකයන්ට කිව යුතු ය. ඒ නායකයන්ට අවශ්‍ය වූයේ ඒ පිළිබඳව ද සිංහල බෞද්ධ සංවිධානවලට දොස් පැවරීම ය. ඒ අතර ඒ ජා පක්‍ෂයේ ඇතැමකුට හා හිටපු හමුදාපතිවරයකුට අනුව බුද්ධගයාවේ බෝම්බ ගැසීම පිළිබඳව ලංකාණ්ඩුව වග කිව යුතු ය! මුජාහිඩීන් හෝ වෙනත් මුස්ලිම් සංවිධානයක් හෝ බුද්ධගයාවට බෝම්බ ගසන්නේ ඇයි? එයට හේතුව ලෙස ඉන්දීය බලධාරීන් පමණක් නොව ලංඩනයේ පළවන ටයිම්ස් නම් ඉංගිරිසි සංස්කෘතියේ මුරබල්ලා ලෙස සැලකිය හැකි පුවත්පත ද කියන්නේ (අඩුම තරමෙන් අඟවන්නේ) ශ්‍රී ලංකාවේ. මියන්මාරයේ හා තායිලන්තයේ බෞද්ධයන් (ථෙරවාද) මුස්ලිම් ජනයාට හිරිහැර කරන බැවින්  එයට ප්‍රතිචාරයක් ලෙස මුජාහිඩීන් සංවිධානය බුද්ධගයාවේ බෝම්බ පුපුරවා ඇති බව ය. ඉන්දීය බලධාරීන්ට අනුව ඒ සඳහා මියන්මාරයෙන් ඉස්ලාම් භක්තිකයකු පැමිණ ඇත. මේ සියළු කතා සුරංගනා කතා පමණකි. මේ කතාවේ අවසානය කෙසේ ලිය වී ඇත් දැයි අපි නො දනිමු. ඉන්දීය ඔත්තු සේවය හා බටහිර ඔත්තු සේවා එක්ව එහි දී මුජාහිඩීන් සංවිධානයේ කිසිවකු යොදා ගත්තේ ද යන්න ද ප්‍රශ්නයක් ලෙස ඉතිරිවනු ඇත. ලංකාවේ කොටි සංවිධානය යොදාගනු ලැබුයේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කරනු පිණිස ය, ඒ නොහැකි නම් දුර්වල කිරීමට ය. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළදා මාළිගාව අසළ සිදු වූ බෝම්බ ප්‍රහාර පිටුපස වූ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය සිංහලයන්ට තවමත් තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.  

අප අද ඇත්තේ ලංකාවේ ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී දේශපාලනයේ හතරවැනි යුගයේ ය. පළමු යුග තුන ගැන කෙටි විස්තරයක් 1995 දී පළකළ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වේ. ඒ පොතෙහි දෙමළ ත්‍රස්තවාදය හමුදා ක්‍රියා මාර්ගවලින් පරාජය කළ යුතු බවත් දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව හා දේශපාලනික ව පරාජය කළ යුතු බවත් පවසා ඇත.  අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කරමින් තුන්වැනි යුගය අවසන් කළෙමු. එමෙන් ම දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව ද මුළුමනින් ම මෙන් පරාජය කර ඇත. එහෙත් අපට තවමත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට නොහැකි වී ඇත. දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී අප ඒ නොකළහොත් ඊළාම් තර්ජනය නැති නොවන බව අපි 1995 තරම් ඈතක දී එකී කෘතියෙන් ද කීවෙමු. මෙහි දී බටහිරයන් හා ඉන්දියාව අපට එරෙහි ව සිටින බව අවධාරණය කළ යුතු ය. බුද්ධගයාවේ බෝම්බ පිපිරෙන්නේ ශ්‍රී ලංකාවේ, මියන්මාරයේ හා තායිලන්තයේ පමණක් නොව බංග්ලාදේශයේ ද ථෙරවාද බෞද්ධයන් හා මුස්ලිමුන් අතර අවුල් ඇති පසුබිමක ය. බටහිරයන් හා ඉන්දියාව (අඩුම තරමෙන් ඔත්තු සංවිධාන) ඒ බව දනියි. ඒ ආරවුල් ද ප්‍රධාන වශයෙන් ම බටහිරයන්ගේ මැදිහත් වීමෙන් සිදුවෙයි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ආධ්‍යාත්මික අභියෝගය ථෙරවාදයෙන් ද හමුදාමය අභියෝගය මුස්ලීම් සංස්කෘතියෙන් ද එල්ල වෙයි. හැකිනම් ඒ සංස්කෘතීන් දෙකම එක ගලෙන් නැතිකිරීම බටහිරයන්ගේ අභිප්‍රාය වෙයි. අප මේ බව කියා ඇත්තේ වරක් දෙවරක් නො වේ.  


ඉහත සඳහන් රටවල් තුනෙන් ලංකාව අද වඩාත් තීරණාත්මක කාලයක් පසුකරමින් සිටියි. අපි මෙතෙක් බිඳිය නොහැකි කළුගලක් සේ හුවාදැක්වුණු දහතුන්වැනි සංශෝධනය අහෝසිකිරීමට පුළුල් ව සාකච්ඡා කරමු. මේ සාකච්ඡාව අවුරුදු විසිපහක් සුළුවෙන් නමුත් පැවතුණු බව සියල්ලෙහි ගෞරවය තමන්ට පවරාගැනීමට උත්සාහ දරණ දේශපාලන පක්‍ෂවලට මතක්කර දිය යුතු ය. අනෙක් අතට පළමු වරට උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරී ඇත. දහතුන පසුව අහෝසි කරන තෙක් එය හැකි ඉක්මණින් සංශෝධනය කළ යුතු වෙයි. මේ සියල්ල නැවැත්වීමට කටයුතු කරන්නේ කවුරුන් ද? එක් පැත්තකින් දහතුන සංශෝධනය කිරීම හා අනෙක් පැත්තෙන් උතුරේ ඡන්දය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කිරීමෙන් වාසි ලැබෙන්නේ දෙමළ ජාතිවාදයට ය.  ඡන්දය නොපැවැත්වීමෙන් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නොදෙන්නේ යැයි ලංකාණ්ඩුවට හා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව ලබාගැනීමට බටහිර හා ඉන්දියාව සූදානම් වෙයි. මුස්ලිමුන් විසින් කරන ලදැයි කියන බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට එරෙහිව සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට පහර දෙනු ඇතැයි බටහිර හා ඉන්දියාව බලාපොරොත්තු නොවිණි යැයි අපට කිව හැකි ද? මන්නාරම් දිස්ත්‍රික්කයේ විශාල මුස්ලිම් ජනගහණයක් සිටිය දී උතුරේ ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාකරවීමට තිබිණි. මෙවරත් සිංහල බෞද්ධයෝ ප්‍රකෝප නොවී කෞටිල්‍යයන් පැරදවූහ. අපට දැන් ඇත්තේ අර සුරංගනා කතාව කෙසේ අවසන් වේ දැයි දැන ගැනීම පමණ ය. එහෙත් දෙමළ ජාතිවාදය හා එහි පිටුපස සිටින බටහිර පඬියන් හා ඉන්දීය කෞටිල්‍යයන් තම කටයුතු මෙයින් අවසන් නොකරනු ඇත. සිංහල බෞද්ධ යැයි කියන පක්‍ෂ හා සංවිධාන ද එහි දී යොදා ගෙන ආණ්ඩුව අස්ථාවර කිරීමට ඔවුන් ක්‍රියාකරනු ඇත. ඉදිරියේදීත් කල්පනාකාරීව කටයුතු කිරීමට සිංහලයන් ඉටාගත යුතු ය. ඒ අතර කිවයුතු කරුණක් වෙයි. ඉන්දියාව අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අප මත පැටෙව්වේ මෙරට දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමිනි. පසුගිය වකවානුවේ ද ඉතිහාසය පුරා ද අප දකින්නේ කෞටිල්‍යයන් බෞද්ධයනට කරන හා කර ඇති අසාධාරණකම් ය. ඉන්දියාවට පැහැදිලිව ම තම බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂුන් වහන්සේ හා එරට හා එරටට පැමිණෙන බෞද්ධයන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් හෝ හැකියාවක් හෝ නොමැති බව පැහැදිලි ය. ඉන්දියාව මත බලයෙන් ලංකා ඉන්දියානු ගිවිසුමක් ඇතිකිරීමට අපට ශක්තියක් නැත. එහෙත් ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධයන් රැකීමට ත්‍රස්තවාදය පරාජය කළ ලංකා හමුදාවේ ඛණ්ඩයක් පිටත්කර හැරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.  කෞටිල්‍යයන් ඒ ගැන කියන්නේ කුමක් ද?


නලින් ද සිල්වා

2013-07-14