Main Logo

Showing posts with label යථාර්ථය. Show all posts
Showing posts with label යථාර්ථය. Show all posts

Tuesday, 14 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම - 2

යථාර්ථය නිර්වචනය කිරීම - 2

රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය.

මෙහි ඈය කලින් පෙන්වා සිටියේ නිරීක්‍ෂකයාගෙන් තොර යථාර්ථයක් ඇති බව. ඇය යථාර්ථ විභව ගැනත් කීවා. ඉයන් ජෝන්ස් නමැත්තා යථාර්ථයක් ඇති බව හෝ නැති බව නොවෙයි ඇගේ ප්‍රශ්නය බව කියා ඇය බේරා ගැනීමට තැත් කළා. එහෙත් මා ඇගෙන් උපුටා ගැනීම් සහිතව පෙන්වා දුන්නේ ඇය නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව පෙන්වීමට උත්සාහ දරා ඇති බව. පසුව ඇය එයට නිසි පිළිතුරක් නොදී අපට එකඟ විය හැකි බවක් කීවා. එතැනින් එහාට මා තර්ක කරන්න ගියේ නැහැ. මා ඇයට ස්තුති කළා.

මෙරට පමණක් නොව පිටරට මහාචාර්යවරුන්ටත් ඇත්තේ උපකල්පන පමණයි. ඔවුන් හිතනවා නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව. එහෙත් එය කිසි දිනෙක පෙන්නන්න පුළුවන් එකක් නො වෙයි.  අප යථාර්ථය යැයි කියන්නේ අපේ හිතළුවකට. අපට ඇත්තේ යථාර්ථයක් නොව යථාර්ථ. ඒ ඊනියා යථාර්ථ නිරීක්‍ෂකයාගෙන් සවායත්ත නැහැ.

බටහිරත් ඉතා විශිෂ්ට ගණයේ චින්තකයන් ඇත්තේ ස්වල්පයයි. අනෙක් අය විශ්වවිද්‍යාලවල ඊනියා පර්යේෂණ ආයතනවල බොරු පත්‍රිකා පළ කරනවා. විශිෂ්ට ගණයේ අය අලුත් කතන්දර ගොතනවා. ලංකාවේ විශිෂ්ට ගණයේ කිසිවකු නැහැ.

Wednesday, 27 November 2013

ජ්‍යාමිතිය හා කෙටිකතාව


මහාචාර්ය අමරතුංග මහතාට පමණක් නොව මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා ආදී බොහෝ දෙනකුට ද අවශෝෂණය යනු කුමක් දැයි නොතේරෙන බව පැහැදිලි ය. අමරතුංග මහතා කියන්නේ  පැරණි චීන භාරතීය ආදී දැනුම් බටහිර විද්‍යාව බවට අද පත්වී ඇත යන්න ය. ගල්මන්ගොඩ මහතා ද කියන්නේ එවැන්නකි. එහෙත් ඔහු එය ප්‍රකාශ කරන්නේ වෙනත් ආකාරයකිනි. ඔහුට අනුව වත්මන් බටහිර දැනුම ඉහත දී පෙරදිග තිබී ඇත. ආසියාවේ උගතුන් අතර ඇති පොදු හැඟීමක් නම් බටහිරයන් වනචාරීව වාසය කරන කාලවලදීත් අපේ රටවල බටහිර විද්‍යාත්මක දැනුම යම් පමණකින් වුවත් තිබූ බව ය.

අප කලින් සඳහන් කර ඇති පරිදි මහාචාර්ය ජෝසෆ් නීඩ්හම් මහතා චීනයේ බටහිර විද්‍යාව ඇති නොවූයේ ඇයි ද යන ප්‍රශ්නය නැගීමෙන් අමරතුංග මහතා නන්නත්තාර කර ඇත. නීඩ්හම් මහතා එම ප්‍රශ්නයට දෙන පිළිතුර වැරදි වුවත් ප්‍රශ්නය නිවැරදි ය. අමරතුංග හා ගල්මන්ගොඩ මහතුන් ඇතුළු පොදුවේ ආසියාතික උගතුන් තේරුම් නොගන්නා දෙය නම් මතුපිටින් ඇතැම් විට සමානකම් ඇති බව පෙනෙන්නට තිබුණ ද දැනුම් පද්ධතීන් අතර සමානකම් නොමැති බව ය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ජාතක කතා හා බටහිර කෙටිකතා අතර සාම්‍යයක් දුටුවේ ද මේ අසමානතාව දැකීමට නොහැකි වූ බැවිනි. ජාතක කතා කිසිසේත් ම බටහිර ඊනියා යථාර්ථවාදී රීතිය අනුව නොලියැවුණු නමුත් වික්‍රමසිංහ මහතා ජාතක කතා එකල බටහිර කෙටිකතා මෙන් යථාර්ථවාදී රීතියෙන් ලියැවුණු බව සඳහන් කළේ ය. ඒ මහතා පසුකාලීන බටහිර කෙටිකතා අධියථාර්ථවාදය ආදී වෙනත් යථාර්ථවාදී නොවන රීති අනුව ලියැවුණු බව දැන සිටියේ නම් ජාතක කතා ද ලියැවී ඇත්තේ අධියථාර්ථවාදී රීතියකින් යැයි කීමට තිබිණි. අද ගුණදාස අමරසේකර මහතා වත්මන් බටහිර කෙටිකතා හා නවකතා, කෙටිකතා හා නවකතා නොවේ යැයි කියන්නේ ඒ කතා ඊනියා යථාර්ථවාදය අනුව නොලියැවෙන බැවිනි.

ඒ කුමක් වුවත් එක් දැනුම් පද්ධතියකින් වෙනත් දැනුම් පද්ධතියක් දැනුම අවශෝෂණය කරන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට චින්තනය යන සංකල්පය අවශ්‍ය වෙයි. අප කලින් සඳහන් කර ඇති පරිදි චින්තනය යන සංකල්පය අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන විසුරුණු අදහස සමග කෙසේවත් සමපාතී නො වේ. යම් යම් ජ්‍යාමිතික අදහස් පැරණි භාරතයේ මෙන් ම මධ්‍යධරණී රටවල ද තිබිණි. ලංකාවේ රාවණ සංස්කෘතිය සමග සම්බන්ධ යැයි කියැවෙන මයමිතිය නම් ග්‍රන්ථයේ ද ජ්‍යාමිතික අදහස් වෙයි. සීගිරිය තැනීමේ දී මේ අදහස් බලපා ඇතැයි ඇතැම්හු පවසති. එමෙන් ම පැරණි මිසරයේ පිරමිඩ් තැනීමට ද එකල එරට තිබූ ජ්‍යාමිතික අදහස් බලපා ඇති බව පැහැදිලි ය. 

එමෙන් ම ත්‍රිකෝණමිතිය ද යම් ආකාරයකින් භාරතය, ලංකාව මිසරය ආදී රටවල තිබී ඇත. සයිනය යන්නට භාරතයේ දී ඇති නම අර්ධජ්‍යා යන්න ය. (අපේ ප්‍රවාද 1 කෘතියෙහි මේ පිළිබඳ විස්තර සඳහන් වෙයි.) භාරතය ආදී රටවල තිබූ මේ දැනුම සංයුක්ත දැනුමකි. කලින් ද සඳහන්කර ඇති පරිදි පෛතගරස් ප්‍රමේයයෙහි ප්‍රතිඵලය ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයට අදාළ වන පරිදි සූත්‍ර මගින් පෙන්නුම් කර තිබිණි. භාරතයේ දැනුම අනෙක් බොහෝ රටවල දැනුමට වඩා තරමක් වියුක්ත වූ නමුදු එය කිසිසේත් ග්‍රීක ජ්‍යාමිතිය තරම් වියුක්ත නො වී ය. 

ග්‍රීකයන් ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ පමණ සිට ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස පමණ දක්වා කළ ප්‍රධාන කාර්යය වී ඇත්තේ අනෙක් රටවල තිබූ දැනුම් තම වියුක්ත චින්තනය තුළට අවශෝෂණය කිරීම ය. ඒ වියුක්ත චින්තනය ග්‍රීකයන් යුදෙවුවන්ගේ අවශෝ’ෂණය කරගත්තේ යැයි සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් ග්‍රීකයෝ අද ඇරිස්ටෝටලීය න්‍යාය යැයි හැඳින්වෙන වියුක්ත ද්විකෝටික න්‍යාය ගොඩනගා ගත්හ. ඒ මත පදනම් වී ඔවුන්ට අනෙක් රටවල තිබූ සංයුක්ත දැනුම් තම වියුක්ත චින්තනයට අවශෝෂණය කර වියුක්ත දර්ශනයක්, වියුක්ත ජ්‍යාමිතියක් ආදී වශයෙන් දැනුම් පද්ධතියක් ගොඩනගා ගැනීමට හැකි වී තිබෙන බව පැහැදිලි ය. 

එසේ වුවත් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය එතරම් දුරකට වර්ධනය වී නොමැති බව ද ඒ සමග පැහැදිලි වෙයි. ග්‍රීකයන්ගේ ස්වර්ණමය අවධිය කලින් සඳහන් කළ අවුරුදු තුන්සියයක පමණ කාල පරිච්ඡෙදයකට සීමා වී ඇත. අනෙක් රටවලින් දැනුම අවශෝෂණය කරගැනීමෙන් පසුව තම චින්තනය මත පදනම් වී තම සංස්කෘතියෙහි නව දැනුමක් නිර්මාණය කර ගැනීමට තරම් හැකියාවක් පැරණි ග්‍රීකයන්ට තිබී නැතැයි සිතිය හැකි ය. ග්‍රීක දැනුම් පද්ධතිය ඉන්පසු එකතැන පල්වීමක් දැකිය හැකි ය. වැඩිම වුවහොත් ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසෙන් පසුව ග්‍රීක දැනුම් පද්ධතිය වර්ධනය වී නැත. 

මයමතිය වැනි කෘතීන්හි (මෙය රාවන රජුගේ මාමණ්ඩියගේ කෘතියක් යැයි සැලකේ) යම් සංයුක්ත ජ්‍යාමිතියක් තිබිණි ද, භාරතයේ යම් ත්‍රිකෝණමිතියක් වර්ධනය වත තිබිණි ද ඒ දැනුම පැරණි ග්‍රීකයන්ගේ ජ්‍යාමිතික දැනුම සමග හෝ වත්මන් බටහිරයන්ගේ ගණිත දැනුම සමග හෝ සංසන්දනය කළ හැකි නො වේ. අපට එදා තිබූ දැනුම පසුව ග්‍රීකයන් සතු වූ දැනුම හෝ ඊටත් පසුව වත්මන් බටහිරයන් නිර්මාණය කර ඇති දැනුම හෝ බව පැවසීම වියුක්තය හා සංයුක්තය අතර ඇති වෙනස තේරුම් ගැනීමට නොහැකිවීමත් දැනුම නිර්මාණයේදී චින්තනයේ බලපෑම අවබෝධ කරගැනීමට නොහැකිවීමත් නිසා සිදුවන්නකි.

පැරණි ජාතක කතා, ඊසොප්ගේ උපමා කතා ආදී වශයෙන පෙරදිග තිබූ කතාකීමේ සම්ප්‍රදාය හා කතා බටහිරයන් විසින් තම සංස්කෘතියට අවශෝෂණය කර කෙටිකතා නිර්මාණය කිරීමේ කලාව ගොඩනංවා ඇති බව පැහැදිලි ය. බටහිර කෙටිකතා වියුක්ත ය. එහෙත් ජාතක කතා, ඊසොප්ගේ උපමා කතා ආදිය සංයුක්ත ය. පෙරදිග සංයුක්ත ගණිතය බටහිර සංස්කෘතියට ග්‍රීකයන් ද පහළොස්වැනි සියවසෙන් පමණ පසුව වත්මන් බටහිරයන් ද තම වියුක්ත චින්තනය මත පදනම් ව අවශෝෂණය කරගත් පරිදි බටහිරයන් පෙරදිග කතා තම වියුක්ත චින්තනය මත පදනම් ව අවශෝෂණය කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ බටහිර වියුක්ත කෙටිකතාව ය.      

ජාතක කතාවලින් කියැවෙන්නේ අප දන්නා හඳුනන පුද්ගලයන්ගේ කතා මිස වියුක්ත පුද්ගලයන්ගේ කතා නො වේ. කෙටිකතාවල චරිතවලින් යථාර්ථය නිරුපණය විය යුතු ය යන්නෙන් අදහස් කරන්නේ එහි චරිත යනු සැබෑ (සංයුක්ත) පුද්ගලයන් නොව සැබෑ පුද්ගලයන්ගේ  වියුක්ත නිරූපණ බව ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා හා අමරසේකර මහතා ඊනියා යථාර්ථවාදී සාහිත්‍යයක් ගැන කතාකළ ද ඔවුන් නිර්මාණය කර ඇත්තේ ද සංයුක්ත චරිත ය. ඔවුන්ගේ නවකතාවල හා කෙටිකතාවල දක්නට ලැබෙන චරිත හඳුනාගැනීමට මහත් වෑයමක් දැරිය යුතු නො වේ. 

ඊනියා යථාර්ථය යනු වියුක්ත සංකල්පයකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඊනියා යථාර්ථය ග්‍රහණය කරගත හැකි වන්නේ (එසේ කළ හැකි නම්) සාධාරිත සංකල්පයක් ලෙස ය. සාධාරිත සංකල්පයක් වියුක්ත වෙයි. මේ පිළිබඳ තරමක දීර්ඝ විස්තරයක් අප කලකට පෙර කර ඇති බැවින් නැවතත් ඒ පැහැදිලි කළයුතු නො වේ. එක්තරා අයුරකින් ගතහොත් බටහිර කෙටිකතා ලැබෙන්නේ පෙරදිග කතා සාධාරණීයකරණයට ලක් කිරීමෙනි. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා හා ගුණදාස අමරසේකර මහතා කෙතරම් යථාර්ථවාදී සාහිත්‍යයක් ගැන කතා කළ ද ඔවුන්ට ඊනියා යථාර්ථය  පිළිබඳ පැහැදිලි අවබෝධයක් නො තිබිණි. ඔවුන් සිතුවේ ඊනියා යථාර්ථය සංයුක්ත බව ය. ඊනියා යථාර්ථය සංයුක්ත නම් එය ග්‍රහණය කරගත හැක්කේ, හඳුනාගත හැක්කේ කිනම් ඉන්ද්‍රියකට ද? ඊනියා යථාර්ථය යන්න මනස විසින් නිර්මාණය කෙරී ඇති පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්පයකි. 

බටහිර දැනුම පහළොස්වැනි සියවස ආසන්නයේ දී නිර්මාණය කෙරී ඇත්තේ පෙරදිග සංකල්ප බටහිරයන්ගේ වියුක්ත චින්තනය මත පදනම් වූ සංස්කෘතියට අවශෝෂණය කිරීමෙනි. එහෙත් එයින් කියැවෙන්නේ බටහිරයන්ගේ එකල දැනුම අපේ දැනුම බව නො වේ. අනෙක් අතට එදා සිට අද දක්වා බටහිර දැනුම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පදනම් කරගනිමින් වර්ධනය කෙරී ඇත. එය කෙසේවත් අපේ දැනුමක් විය නො හැකි ය. අදත් බටහිරයන් ඇතැම් විට අපේ දැනුම් අවශෝෂණය කරනු දැකිය හැකි ය. එහෙත් බටහිරයන්ගේ අවශෝෂණයෙන් පසු එය තවදුරටත් අපේ දැනුම නොවන බව අවධාරණය කළ යුතු ය. පැරණි ග්‍රීකයන් අසමත් වූවත් වත්මන් බටහිරයන්ට නව දැනුම නිර්මාණය කිරීමට හැකි වී ඇත්තේ කෙසේ ද යන්න ද අප පැහැදිලි කළ යුතු ය.  

මෙහි අනෙක් පැත්ත ද අප සඳහන් කළ යුතු ය. බටහිරයන් අපේ දැනුම ඔවුන්ගේ චින්තනය මත පදනම් ව ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂණය කරගනු මිස අපේ දැනුම අනුකරණය කරනු හෝ අපේ දැනුමට යුදෙවු ක්‍රිස්තියානි කෑලි ආරෝපණය කරනු හෝ දැකිය නො හැකි ය. එහෙත් අප කරන්නේ  අනුකරණය හා ආරෝපණය පමණකි. කලින් ලිපියෙහි සඳහන් ආකාරයට අමරසේකර මහතාගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි දැනුමට සිංහල බෞද්ධ කෑලි එල්ලීම, එනම් ආරෝපණය කිරීම පමණකි. 

අද අපේ ප්‍රශ්න බොහොමයකට මුල ආරෝපණය හා අනුකරණය ය. බටහිරයන් අපට බලයෙන් ලබාදුන්, අප මත බලයෙන් පැටවූ අධ්‍යාපනය හේතුවෙන් අපට අවශෝෂණය හා අපේ සංස්කෘතියේ නිර්මාණය ආගන්තුක වෙයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අවශෝෂණය කර ගැනීමට අපට නොහැකි වී ඇත. ඔවුන්ගේ විද්‍යාව හා අනෙක් දැනුම් අවශෝෂණය කර ගැනීමට අප සිතන්නේවත් නැත. ඔවුන්ගේ දැනුම අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඊනියා යුද විශේෂඥයෝ අපට කොටි ත්‍රස්තවාදීන් පැරදවීමට නොහැකි යැයි කීවෝ ය. එංගලන්ත අගමැති මෙරටට පැමිණ තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ ගැනීමෙන් පසුවත් දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය බව පිළිගැනීමට අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත. 


අප දන්නේ එක්කො බටහිරයන්ගේ දැනුම පුනරුච්චාරණය කිරීම ය. එසේත් නැතහොත් ඒ දැනුමට ඒ ආකෘතියෙහි ම ප්‍රතිචාර දැක්වීමට ය. අපි එක් උදාහරණයක් පමණක් ගනිමු. බටහිරයන් අපට කියන්නේ මානුෂික මෙහෙයුම්වල අචසාන සතියෙහි දී අපේ හමුදාව මානව අයිතිවාසිකම් උල්ලංඝණය කළ බව ය. අප එයට ප්‍රතිචාර දක්වන්නේ ඒ එසේ නොවූ බව කීමෙනි. එය බටහිර දැනුමට කෑලි එල්ලීමක් පමණකි. එහෙත් සිදු වී ඇත්තේ කුමක් ද? කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස යොදාගත් බවත් එහි දී දෙමළ ජනයා ඒ පළිහ කඩාගෙන එයින් මිදී හමුදාව සිටි පැත්තට පැමිණි බවත් එසේ පැමිණීමේ දී කොටින් ඒ දෙමළ ජනයාට එල්ල කරන ලද වෙඩි පහරින් දෙමළ ජනයා යම් පිරිසක් මියගිය බවත් අප නොකියන්නේ ඇයි?  මිනිසුන් දිව යන්නේ වෙඩි එන දිශාවට ද? එසේත් නැත්නම් විරුද්ධ දිශාවට ද? අපේ හමුදාව මිනිස් පළිහට වෙඩි තබද්දීත් මිනිිසුන් හමුද දෙසට ම දිව ආවේ යැයි එංගලන්ත යුද විශේ’ෂඥයන් පවසන්නේ ද? සිදුවී ඇත්තේ කොටි වෙඩි පහරින් මිදීමට මිනිසුන්  හමුදාව දිශාවට දිව ඒම නො වේ ද?  


නලින් ද සිල්වා

2013-11-27

Sunday, 7 April 2013

ක්වොන්ටම් දෙවියෝ

අපි නැවතත් ක්වොන්ටම් කාසිවලට යමු. සම්භාව්‍ය හෙවත් සාමාන්‍ය කාසියක් මෙන් නොව යම් නිරීක්‍ෂකයකුට ක්වොන්ටම් කාසියක් නිශ්චලව අතේ තබාගත හැකි නො වේ. එයට හේතුව යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව ක්වොන්ටම් වස්තුවකට එක්විට නිශ්චිත පිහිටීමක් හා ගම්‍යතාවක් තිබිය නොහැකි වීම ය. ක්වොන්ටම් භෞතිකයෙහි අනිශ්චය මූලධර්මයට අනුව නිරීක්‍ෂකයා ක්වොන්ටම් වස්තුවේ පිහිටීම දන්නේ නම් ඔහුට සාපේක්‍ෂව ක්වොන්ටම් වස්තුවට ගම්‍යතාවක් (ප්‍රවේගයක්) නැත. එමෙන් ම නිරීක්‍ෂකයා ක්වොන්ටම් වස්තුවෙහි ගම්‍යතාව දන්නේ නම් (ඒ මැනගෙන ඇත්නම්) ඔහු එම වස්තුවෙහි පිහිටීම නො දනියි.

කෝපන්හේගන් විවරණයට අනුව එයින් කියැවෙන්නේ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් වස්තුවට එහි ගම්‍යතාව සඳහා කිසිදු අගයක් නොමැති බව ය. එහෙත් අප විසින් ඉදිරිපත් කෙරී ඇති විද්‍යාලංකාර විවරණය අනුව එයින් කියැවෙන්නේ ක්වොන්ටම් වස්තුවට එහි ගම්‍යතාව සඳහා අගය එකකට වැඩි ගණනක් ඇති බව ය. අනෙක් අතට අප විද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් වස්තුවට නිශ්චිත ගම්‍යතාවක් ඇත්නම් ඔහුට සාපේක්‍ෂව ක්වොන්ටම් වස්තුවවේ පිහිටීමට අගය එකකට වඩා වෙයි.

ඒ කුමක් වුවත් යම් නිරීක්‍ෂකයකුට ක්වොන්ටම් කාසියක් නිශ්චල ව අතෙහි රඳවාගෙන සිටිය හැකි නො වේ. නිරීක්‍ෂකයා අතෙහි ක්වොන්ටම් කාසියක් තිබීම යනු නිරීක්‍ෂකයා ක්වොන්ටම් කාසියෙහි පිහිටීම නිශ්චිත ව දැනගැනීම ය. ඔහු අතෙහි ක්වොන්ටම් කාසිය නිශ්චල ව ඇත යන්නෙන් කියැවෙන්නේ ඔහුට සාපේක්‍ෂව ක්වොන්ටම් කාසියෙහි ප්‍රවේගය හා එබැවින් ගම්‍යතාව ශූන්‍ය බව ය. වෙනත් අයුරකින් කිවහොත් නිරීක්‍ෂකයා ක්වොන්ටම් කාසියෙහි පිහිටීම මෙන් ම ගම්‍යතාව ද එක්විට දනියි.

එසේ වුවත් ක්වොන්ටම් භෞතිකයට අනුව නිරීක්‍ෂකයාට ක්වොන්ටම් කාසියෙහි පිහිටීම හා ගම්‍යතාව එක්විට දැනගත නො හැකි ය. මෙයින් කියැවෙන්නේ නිරීක්‍ෂකයාට ක්වොන්ටම් කාසිය නිශ්චලව අතෙහි රඳවාගෙන සිටිය නොහැකි බව ය. එමෙන් ම නිරීක්‍ෂකයාට තම අතෙහි යම් ප්‍රවේගයක් සහිත ව වුව ද ක්වොන්ටම් කාසිය තබාගත හැකි නො වේ. එයට ද හේතුව අනිශ්චය මූලධර්මය වෙයි.

එසේ නම් නිරීක්‍ෂකයකු ක්වොන්ටම් කාසියක් උඩ දමන්නේ කෙසේ ද? ක්වොන්ටම් වස්තුවක් අතට ගැනීමට නිරීක්‍ෂකයකුට නො හැකි ය. කිසියම් නිරීක්‍ෂකයකුට ක්වොන්ටම් අංශුවක් නිරීක්‍ෂණය කළ හැකි ද නො වේ. යම්කිසි අංශුවක් හෝ වස්තුවක් හෝ නිරීක්‍ෂණය කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? අප දන්නා සාමාන්‍ය අංශු නිරීක්‍ෂණය කිරීමේ දී අප කුමක් කරනනේ ද? සාමාන්‍ය අංශුවක් හෝ වස්තුවක් හෝ නිරීක්‍ෂණය කිරීමේ දී අපි එහි පිහිටීම මෙන් ම ගම්‍යතාව (ප්‍රවේගය) ද නිරීක්‍ෂණය කරන්නෙමු.

අප වස්තුවේ හෝ අංශුවේ හෝ ප්‍රවේගයේ අගය නොදැන සිටිනවා විය හැකි ය. එහෙත් අපි අංශුවට හෝ වස්තුවට හෝ ප්‍රවේගයක් ඇති බව දනිමු. අප එය මැනගෙන නැති වුව ද මැන්නොත් එයට ලැබෙන්නේ අංශුවේ දැනට ඇති ප්‍රවේගය බව අපි දනිමු. අප සාමාන්‍ය හෙවත් සම්භාව්‍ය අංශු නිරීක්‍ෂණය කරන්නේ (දකින්නේ, ස්පර්ශ කරන්නේ ආදී වශයෙන්) ඒ අංශුවලට අපට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක් හා නිශ්චිත ප්‍රවේගයක් ඇති බැවිනි. අපට සාමාන්‍ය කාසියක් අතෙහි රඳවාගත හැක්කේ අපට සාපේක්‍ෂව එයට නිශ්චිත පිහිටීමක් හා නිශ්චිත ප්‍රවේගයක් ඇති බැවිනි.

යම් අයුරකින් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම් අංශුවකට හෝ වස්තුවකට හෝ එක්විට ප්‍රවේග කිහිපයක් ඇතැයි සිතමු. එහෙත් අංශුවට හෝ වස්තුවට හෝ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක් ඇතැයි සිතමු. එවිට නිරීක්‍ෂකයාට අංශුව හෝ වස්තුව නිරීක්‍ෂණය කළ හැකි ද? නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට හෝ වස්තුවට හෝ නිශ්චිත පිහිටීමක් ඇති බව සැබෑ ය. එහෙත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට හෝ වස්තුවට හෝ ප්‍රවේග රාශියක් (එකකට වැඩි සංඛ්‍යාවක්) ඇත්නම් නිරීක්‍ෂකයාට එම අංශුව හෝ වස්තුව හෝ නිරීක්‍ෂණය කළ හැකි ද?

අපට එය සිතාගතවත් හැකි නො වේ. එවැන්නක් ඉන්ද්‍රිය ගෝචර නො වේ. එක්වර කිහිප අතකට චලනය වන අංශුවක් අපට සිතාගත (සිතෙන් මවාගත) නො හැකි ය. එසේත් නැතහොත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ව එකම දිශාවකට වුව ද වේග රාශියක් ඇති අංශුවක් හෝ වස්තුවක් හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් නිරීක්‍ෂකයාට තමාට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක ඇති එහෙත් ප්‍රවේග එකකට වඩා ඇති අංශුවක් හෝ වස්තුවක් හෝ ගැන සිතා ගැනීමටවත් නො හැකි ය. මෙයින් කියැවෙන එකම දෙය නම් එවැනි අංශු හෝ වස්තු හෝ පැවතුණත් අපට ඒ නිරීක්‍ෂණය කළ නොහැකි බව ය.

එමෙන් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම් අංශුවකට හෝ වස්තුවකට හෝ නිශ්චිත ප්‍රවේගයක් තිබී පිහිටීම් රාශියක් ඇත්නම් එවැනි අංශුවක් හෝ වස්තුවක් හෝ නිරීක්‍ෂණය කිරීමට නිරීක්‍ෂකයකුට නො හැකි ය. එවැන්නක් අපට සිතාගත නො හැකි ය. අංශුවක් හෝ වස්තුවක් හෝ එක්විට කිහිප තැනක ඇත යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? එක්විට දෙතැනක ඇති පුටුවක් හෝ මේසයක් හෝ ගැන සිතාගැනීමට හැකි අයෙක් වෙත් ද?

ඉහත සඳහන් විස්තරය කෙරී ඇත්තේ විද්‍යාලංකාර විවරණය අනුව ය. ඒ අනුව නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට හෝ වස්තුවකට හෝ නිශ්චිත පිහිටීමක් ඇතිවිට එයට ගම්‍යතා (ප්‍රවේග) රාශියක් තිබිය හැකි ය. එසේත් නැත්නම් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට හෝ වස්තුවට හෝ නිශ්චිත ප්‍රවේගයක් ඇත්නම් එයට පිහිටීම් රාශියක් තිබිය හැකි ය. එහෙත් කෝපන්හේගන් විවරණය අනුව අපට වෙනත් දෙයක් කිවහැකි ද?

කෝපන්හේගන් විවරණය අනුව නිරීක්‍ෂකයකුට අනුව යම් අංශුවකට හෝ වස්තුවකට හෝ නිශ්චිත පිහිටීමක් ඇත්නම් එයට ගම්‍යතාවක් (ප්‍රවේගයක්) නැත. අංශුවට හෝ වස්තුවට හෝ ප්‍රවේගයක් ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය. නිරීක්‍ෂකයා අංශුවේ හෝ වස්තුවේ හෝ ගම්‍යතාව මැනීමේ දී එයට ගම්‍යතාවක් ලබාදෙයි. එමෙන් ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට හෝ වස්තුවට හෝ නිශ්චිත ගම්‍යතාවක් (ප්‍රවේගයක්) ඇත්නම් එයට නිරීක්‍ෂයාට සාපේක්‍ෂව පිහිටීමක් නැත. අංශුවට හෝ වස්තුවට හෝ පිහිටීමක් ලබාදෙන්නේ පිහිටීම නිරීක්‍ෂණය කරන (මනින) නිරීක්‍ෂකයා ය.

අප කෝපන්හේගන් විවරණය අනුව සිතන්නේ නම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව නිශ්චිත පිහිටීමක් ඇති එහෙත් ගම්‍යතාවක් (ප්‍රවේගයක්) නැති අංශු තිබිය හැකි ය. එසේත් නැත්නම් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිශ්චිත ගම්‍යතාවක් (ප්‍රවේගයක්) ඇති එහෙත් පිහිටීමක් නැති අංශු තිබිය හැකි ය. මෙවැනි අංශු නිරීක්‍ෂණය කළ හැකි ද? එසේ කළ නොහැකි බව පැහැදිලි ය. අප එසේ කියන්නේ ද ඉහත විද්‍යාලංකාර විවරණය සම්බන්ධයෙන් නිගමනවලට පැමිණි ආකාරයෙන් ම ය.

නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පිහිටීමක් නැති එහෙත් ගම්‍යතාවක් (ප්‍රවේගයක්) ඇති අංශුවක් හෝ වස්තුවක් හෝ ගැන සිතාගත හැකි ද? අංශුවකට හෝ වස්තුවකට හෝ පිහිටීමක් නැතිව ගම්‍යතාවක් (ප්‍රවේගයක්) පමණක් තිබිය හැකි ද? පිහිටීමක් නැති ව ගම්‍යතාවක් තිබුණ ද එවැනි අංශු අපට නිරීක්‍ෂණය වේ ද? එමෙන් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ගම්‍යතාවක් (ප්‍රවේගයක්) නැති එහෙත් නිශ්චිත පිහිටීමක් ඇති අංශු හෝ වස්තු හෝ නිරීක්‍ෂණය කළ නො හැකි ය.

මේ සියල්ලෙන් කියැවෙන්නේ කුමක් ද? අපේ අවයවල, ඉන්ද්‍රියවල ඇති අඩුපාඩුකම් ය. ඉහත සඳහන් ආකාරයේ අංශු හෝ වස්තු හෝ තිබුණ ද, අපට ඒ නිරීක්‍ෂණය කිරීම සඳහා අවයව හා ඉන්ද්‍රිය නොමැත. ක්වොන්ටම් අංශුවලට හෝ වස්තුවලට හෝ ඉහත සඳහන් ගුණ වෙයි. එහෙත් ඒ අංශු නිරීක්‍ෂණය කිරීමට අපට ඉන්ද්‍රිය නැත. අපට ක්වොන්ටම් අංශු හෝ වස්තු හෝ නිරීක්‍ෂණය කිරීමට නොහැකි අපට ඒ සඳහා ඉන්ද්‍රිය නොමැති වීම ය.

ඉලෙක්ට්‍රෝනයක් හෝ ප්‍රොටෝනයක් හෝ නිරීක්‍ෂණය කළ අයකු නැත. අප එවැනි අංශු නිරීක්‍ෂණය කරනනේ සෘජු ව නො වේ. අපි ඒ අංශු වෙනත් අංශු හෝ වස්තු හෝ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් පසු ඇති කෙරෙන ප්‍රතිබිමබ පමණක් නිරීක්‍ෂණය කරන්නෙමු. රූපවාහිනී තිරය මත අපි ඉලෙක්ට්‍රෝන නො දකිමු. අප දකින්නේ නිරීක්‍ෂණය කරන්නේ ඉලෙක්ට්‍රෝනවල ප්‍රතිබිම්බ ය. අපට ක්වොන්ටම් අංශු දැකිය හැකි (නිරීක්‍ෂණය කළ හැකි) අවයව හා ඉන්ද්‍රිය තිබිණි නම් ක්වොන්ටම් භෞතිකයට විවරණ අවශ්‍ය නොවීමට ඉඩ තිබිණි.

අපේ ඉන්ද්‍රියවලට ගෝචරවන ලෝකය පමණක් ලෝකය ලෙස ගැනීම කෙතරම් අනුවණ කමක් ද? එහෙත් ඊනියා ද්‍රව්‍යවාදීහු එසේ කිරීමට පෙළඹෙති. එහෙත් ඒ ද්‍රව්‍යවාදීන්ගේ ම කොටසක් ඉන්ද්‍රිය ගෝචර ලෝකය විශ්වාස කළ නොහැකි යැයි පවසමින් ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ඔබ්බෙන් වර ඊනියා යථාර්ථයක් සොයති. එහෙත එහි ඇති සරදම නම් මේ ඊනියා යථාර්ථයේ සත්‍යාසත්‍යභාවය පිරික්සීමට ඔවුන් නැවත ඉන්ද්‍රිය ගෝචර ලෝකය සමග සංසන්දනය කිරීම ය.

ඉන්ද්‍රිය ගෝචර ලෝකය සත්‍ය ලෙස ගත නොහැකි නම් එය විශ්වාස කළ නොහැකි නම් ඊනියා යථාර්ථය පිරික්සීමට නැවතත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ම ආපසු එන්නේ කෙසේ ද? ඉනද්‍රිය ගෝචර ලෝකය විශ්වාස කළ නොහැකි නම් එය ඊනියා යථාර්ථය පරීක්‍ෂාකිරීමට ද යොදාගත නො හැකි ය. මෙය ඊනියා විද්‍යාත්මක විධික්‍රමයෙහි පළමුවෙන්ම කියැවෙන කතාවකි. ඒ ඔවුන් ඉන්ද්‍රිය ගෝචර සංජානන පිළිබඳ ව දක්වන සැලකිල්ල හා එහි ඇති වැදගත්කම ගැන කියා පියෑමට සඳහන් කරන්නකි. එහෙත් එය කිසිසේත් ම සංගත නොවන බව තමන් විද්‍යාඥයන් හා විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියාගන්නා අයට නොතේරෙන්නකි.

ක්වොන්ටම් භෞතිකය ගැන මෙතෙක් කර ඇති විවරණවලින් පෙනී යන කරුණ නම් එහි සඳහන් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන අංශු හෝ වස්තු හෝ සම්බන්ධයෙන් වූ ගුණ විස්තර කරන්නක් බව ය. ක්වොන්ටම් අංශු මිනිස් නිරීක්‍ෂකයන්ට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් ක්වොන්ටම් ලෝකයක් සම්මුති අර්ථයකින් වුවත් තිබෙන බව බටහිර භෞතික විද්‍යාඥයන්ට පිළිගැනීමට සිදුවෙයි.

නිරීක්‍ෂණය කිරීමට නොහැකි වූ පමණින්, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවූ පමණින්, අංශු හෝ වස්තු හෝ ප්‍රාණීන් හෝ නැතැයි පැවසීම ප්‍රඥාගෝචර නො වේ. අද පංචෙන්ද්‍රිය මගින් දකින්නේ, එනම් පංචෙන්ද්‍රිය ආධාරයෙන් නිර්මාණය කරන්නේ ඉතාමත් සීමිත ලෝකයකි. අපට මිනිස් සතුන් හා තිරිසන් සතුන් පමණක් පෙනෙයි. එහෙත එපමණකින් මෙළොව වෙනත් ප්‍රාණීන් නැතැයි කීම සම්මුති අර්ථයකින් ක්වොන්ටම් ලෝකයක් නැතැයි කීම වැනි ය.

(13/03/13)

Sunday, 3 June 2012

පැවැත්ම හා විද්‍යාලංකාර විවරණය

අයින්ස්ටයින් පොඩොල්ස්කි රොසන් හෙවත් ඊ පී ආර් විසංවාදයේ දී ඒ තිදෙනා නමින් පළ වූ පත්‍රිකාවෙහි මූලික වශයෙන් සඳහන් වූයේ පහත දැක්වෙන අදහස ය. අවකාශයෙහි රික්ත ශක්තියෙන් එක විට ඇතිවන අංශු දෙකක් විශ්වයෙහි දෙපැත්තකට චලනය වන්නේ යැයි සිතමු. දැන් අංශු දෙකෙහි බැමුම සංස්ථිතිය හේතුකොටගෙන ප්‍රතිවිරුද්ධ විය යුතු ය. එක් අංශුවක යම් දිශාවක් දිගේ බැමුම ධන නම් අනෙක් අංශුවෙහි ඒ දිශාවට වූ බැමුම සෘණ විය යුතු ය. එහෙත් ක්වොන්ටම් යාන්ත්‍රිකයට අනුව අංශු දෙකෙහි බැමුම එක් දිශාවක් දිගේ දන්නේ නම් ඒ දිශාවට ලම්බ වූ දිශාවක් දිගේ දැන ගැනීමට නො හැකි ය. එයට හේතුව ඒ දිශා දෙක දිගේ ඇති බැමුම් ප්‍රතිබද්ධ නිරීක්‍ෂ්‍ය වීම ය. එනම් අදාළ කාරක ප්‍රතිබද්ධ කාරක වීම ය.

බැමුම දන්නා දිශාවට ලම්බ දිශාවක් දිගේ අංශු දෙකෙන් ඕනැම අංශුවක බැමුම අදාළ අයිගන් දෛශික දෙකෙහි අධිස්ථාපනයක් වෙයි. ඒ අයිගන් දෛශිකවල අයිගන් අගය ධන හෝ සෘණ හෝ වෙයි. දැන් යම් නිරීක්‍ෂකයකු ඒ ලම්බ දිශාවක් දිගේ එක් අංශුවක බැමුම මැන්නේ යැයි සිතමු. ඒ මැනීමෙහි, හෙවත් නිරීක්‍ෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ තරංග ශ්‍රිතය කඩාවැටී ඒ දිශාව දිගෙහි අංශුවෙහි බැමුම ධන හෝ සෘණ හෝ ලෙස නිරීක්‍ෂණය වෙයි. එය ධන යැයි අපි සිතමු. එනම් නිරීක්‍ෂණයෙන් පසුව, එහි ප්‍රතිඵලයක් ලෙස ඒ මැනගන්නා අංශුවෙහි අදාළ දිශාව දිගේ බැමුමෙහි අගය ධන වෙයි. දැන් සංස්ථිති නියමය අනුව අනෙක් අංශුවෙහි එම දිශාවට ම වූ බැමුමෙහි අගය සෘණ විය යුතු ය.

අයින්ස්ටයින් විද්වතා කියා සිටියේ එසේ නම් පළමු අංශුවෙහි අදාළ දිශාවට වූ බැමුම මැනගත් විට දෙවැනි අංශුවෙහි බැමුමෙහි අගය ද මනින්ට පෙර ම දැනගත හැකි බව ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙහි සූත්‍රගත කිරීම අනුව එසේ විය නො හැකි ය. එයට හේතුව ක්වොන්ටම් භෞතිකයට අනුව ඕනෑම අංශුවකට ඕනැම ගුණයක් ලැබෙන්නේ ඒ මැනගැනීමෙන් පසුව වීම නිසා ය. අයින්ස්ටයින් විද්වතා මෙහි දී තමා සහ තවත් දෙදෙනකුගේ නමින් ඇති විසංවාදයෙන් පෙන්නුම් කළේ එසේ මැනගැනීමට පෙරත් දෙවැනි අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම දන්නා බව ය. ක්වොන්ටම් භෞතිකයේ සූත්‍රගත කිරීමෙහි එවැන්නක් නොමැති බැවින් ඔහු ක්වොන්ටම් භෞතික අසම්පූර්ණ පද්ධතියක් ලෙස සැලකී ය.

ඔහුගේ අදහස වූයේ පළමු අංශුවෙහි අදාළ දිශාව දිගේ බැමුමෙහි අගය මැනීමෙන් පසුව ඒ බව දෙවැනි අංශුවට දැන්වීමට යම් කාලයක් ගතවන බව ය. එයට හේතුව විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව සන්නිවේදනයේ උපරිම වේගය ආලෝකයේ වේගය වීම ය. ආලෝකයේ වේගයෙන් පළමු අංශුවේ සිට දෙවැනි අංශුවට සන්නිවේදනය කිරීමට යම් කාලයක් ගත යුතු වෙයි. එසේ නම් දෙවැනි අංශුවට ක්‍ෂණිකව අදාළ දිශාව දිගේ බැමුම සෘණ කර ගැනීමට නො හැකි ය. එහෙත් සංස්ථිති නියමය අනුව එය එසේ විය යුතු ය.

මේ ප්‍රශ්නයේ දී බෝර් විද්වතාගේ මතය වූයේ අංශු දෙක වෙන වෙන ම අංශු දෙකක් ලෙස සෑලකීම වැරදි බව ය. ඔහු කියා සිටියේ අංශු දෙක එකම පද්ධතියක් බවත් එබැවින් එක් අංශුවක යම් දිශාවක් දිගේ බැමුම මැනීම යනු අනෙක් අංශුවෙහි ද ඒ දිශාව දිගේ බැමුම මැනීමක් බවත් ය. එහෙත් අයින්ස්ටයින් විද්වතා ඒ මතය නො පිළිගත්තේය. කෙසේ වෙතත් මේ ගැටලුව නිරාකරණය කරගැනීමට පරීක්‍ෂණයක් කළ යුතු විය. ඒ පරීක්‍ෂණය ඇස්පෙ නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයකු විසින් 1982 දී කරන ලදී. ඒ පරීක්‍ෂණයෙන් අයින්ස්ටයින් විද්වතාගේ මතය වැරදි බව හෙළි විය. එහෙත් එයින් බෝර් විද්වතා නිවැරදි යැයි එකහෙළා කිව නො හැකි ය.

ඇස්පෙ විද්වතා හා ඔහුගේ කණ්ඩායම කලේ යම් දිශාවක් දිගේ එක් අංශුවක බැමුම නිරීක්‍ෂණය කර ඒ අංශුවට ෙිවැනි අංශුව සමග ආලෝකයේ වේගයෙන් සංනිවේදනය කිරීමට ගතවන කාලයට අඩු කාලයක දී දෙවැනි අංශුවේ ද ඒ දිශ්වට ම වූ බැමුම මැන ගැනීම ය. ඔවුන්ට පෙනී ගියේ දෙවැනි අංශුවේ ඒ අදාළ දිශාවට වූ බැමුම පළමු අංශුවෙහි බැමුමට ප්‍රතිවිරුද්ධ බව ය. දැන් දෙවැනි අංශුවට පළමු අංශුවෙන් සංනිවේදනයක් කෙරී නැති බැවින් පළමු අංශුවෙහි බැමුම මැනගන්නා විට ම දෙවැනි අංශුවෙහි ද බැමුම සකස්වන බව පැහැදිලි විය. එක්තරා අතකින් ගත්කල අංශු දෙක පද්ධතියක් ලෙස ක්‍රියා කරන්නේ ය යන බෝර් මතය එයින් තහවුරුවන බවක් පෙනෙන්නට විය.

ඒ පරීක්‍ෂණයෙන් පැහැදිලි වූ තවත් කරුණක් වූයේ මැන ගැනීමට පෙර දෙවැනි අංශුවට වූ මැනගත හැකි බැමුමක් නැති බව ය. එයට හේතුව දෙවැනි අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම ද පළමු අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම මනින විට ම සකස්වීම ය. මෙයින් පද්ධතියක ස්ථානීය යථාර්ථය බිඳ වැටිණි. එනම් දෙවැනි අංශුවට හෝ පළමු අංශුවට හෝ මැනීමට පෙර අදාළ දිශාව දිගේ බැමුමක් නො මැති ය යන්න තහවුරු වූ බව පෙනෙන්නට තිබිණි.

අප යථාර්ථයක් නැතැයි කියන්නේ ක්වොන්ටම් භෞතිකයේ මෙවැනි ප්‍රතිඵල නිසා නො වේ. මුල දී යථාර්ථයක් නොමැතිය යන්න ක්වොන්ටම් භෞතිකය ආධාරයෙන් අප ප්‍රකාශ කළ බව සැබෑ නමුත් පසුව බුදුදහමෙන් පෙනී ගිය කරුණක් වූයේ ඊනියා යථාර්ථයක් නොමැති බව ය. මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මුද්‍රණයෙහි ඒ බව සඳහන් කෙරී ඇත. කලක සිට අප යථාර්ථයක් යනුවෙන් දෙයක් නැතැයි කියන්නේ ක්වොන්ටම් භෞතිකයේ ආධාරයෙන් නොව බුදුදහම මත පදනම් වෙමිනි. එහෙත් ගුණදාස අමරසේකර මහතා ඇතුළු ඇතැමුන් මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මුද්‍රණය නිකුත් වීමෙන් පසුව ද කියන්නේ මා යථාර්ථයක් නැතැයි පවසන්නේ ක්වොන්ටම් භෞතිකය ඇසුරෙන් බව ය.

යථාර්ථය යන්න ඊනියා සම්මුතියක් ද නො වේ. පුනබ්භවයක් විශ්වාස නොකරන එහෙත් තමන් බෞද්ධයන් යැයි කියාගන්නා ඇතැමුන් යථාර්ථය ඊනියා සම්මුතියක් යැයි කීමට උත්සාහ කරති. පුටුව යන්න ද සම්මුතියක් පමණකි. මනස ද ඇතුලු සියළු සංකල්ප සම්මුතීන් පමණක් වෙයි. එහෙත් බොහෝ දෙනා යථාර්ථය සංකල්පයක් පමණක් ලෙස නො ගනිති. තමන් බෞද්ධ යැයි කියාගන්නා එහෙත් පුනබ්භවය විශ්වාස නොකරන එක්තරා ප්‍රාඥයකු යථාර්ථය සම්මුතියක් පමණක් යැයි කියා ඊළඟ මොහොතෙහි පුටුව, කෝප්පය ආදිය පවත්නා වස්තු බව කියයි. එයට හේතුව ඒවා ඉන්ද්‍රිය ගෝචර වීම ය. තර්ක කිරීමට නොහැකි කම නිසා තර්කය කොඳු කැඩීමක් ලෙස සලකන මෙවැනි ඊනියා ප්‍රාඥයන්ගේ මට්ටම ඔවුන් ඉදිරිපත් කරන දර්කවලින් ම පැහැදිලි වෙයි.

කෙසේ වෙතත් ඇස්පෙ විද්වතා සහ කණ්ඩායම විසින් කරන ලද පරීක්‍ෂණයෙන් පසුව කිව හැකි කරුණ වනුයේ ඒ අංශු එක්කෝ පද්ධතියක් ලෙස පවතින බව ය. එසේත් නැත්නම් අංශු, අංශු ලෙස පවත්නා අතර ඒ අංශු එකිනෙක සමග ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කරගන්නා බව ය. අංශු පද්ධතියක් ලෙස සැලකීම හා සංනිවේදන වේගය අනන්තය වීම අතර සංකල්පීය වශයෙන් කෙසේ වෙතත් ප්‍රායෝගික වශයෙන් වෙනසක් නැත.

අංශු පද්ධතියක් ලෙස ක්‍රියා කරන්නේ නම් ඒ අංශු පද්ධතියෙන් ඉවත්වන්නේ කිනම් අවස්ථාවක දැයි සඳහන් කළ යුතු ය. එයට හේතුව විභ්වයේ දිගින් දිගට ම පද්ධති ලෙස ක්‍රියාකරන අංශු නොමැති වීම ය. අංශු කිනම් අවස්ථාවක වුව ද වෙන් වී යයි. මේ අංශු පද්ධතියක් ලෙස සෑලකීමට වඩා පැටළුණු අංශු (entangled particles) ලෙස සැලකීම උචිත ය. ඒ පැටලුණු අංශු යම් බාහිර හෝ අභ්‍යන්තර හෝ වෙනස්කම් සිදුවීම හේතුවෙන් වෙන්වන්නේ ය යන්න පැහැදිලි ය. අංශු පැටළුණු අංශු ලෙස ගත්කල එවැනි අංශු සාමාන්‍ය අංශු ක්‍රියාකරන ආකාරයෙන් ක්‍රියා නොකරන බව පැහැදිලි ය. සාමාන්‍ය අංශු අතර සංනිවේදන විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සඳහන් ආකාරයට ආලෝකයේ වේගයට අඩු වේගයකින් සිදුවන නමුත් පැටළුණු අංශඔ අතර සංනිවේදනය ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බව පෙනී යයි.

දෛශික අධිස්ථාපනය පිළිබඳ තුන්වැනි මතය කැලණිය විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත් කරන ලද ක්වොන්ටම් භෞතිකයේ විද්‍යාලංකාර විවරණය හා සම්බන්ධ වෙයි. ඉන් කියැවෙන්නේ අංශුවක හෝ පද්ධතියක හෝ යම් නිරීක්‍ෂ්‍යයක අගයක් මැනීමට පෙර ඒ අංශුව හිල්බට් අවකාශයෙහි අදාළ හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක්, එනම් ඒකජ අධිස්ථාපනයක් ලෙස පවතින බව ය. මේ අයිගන් දෛශිකවලින් අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථා නිරුපණය වෙයි. අයිගන් දෛශික එකකට වඩා පවතින හෙයින් මෙයින් කියැවෙන්නේ අංශුව අවස්ථා එකකට වැඩි ගණනක පිහිටන බව ය.

මෙහි දී කියැවෙන වැදගත් කරුණ නම් මේ අවස්ථා පවතින බව ය. ඒ අර කලින් කී බෞද්ධ ප්‍රාඥයන්ගේ අර්ථයෙන් නොවුවත් සම්මුතියෙනි. පුටුවක් පවතින ආකාරයෙන් මනස පවතින ආකාරයෙන් පරිගණකයක් පවතින ආකාරයෙන් අංශුවේ විවිධ අවස්ථා ද එකවිට පවතියි. එහෙත් එසේ පවතින අවස්ථා අපේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඇතැම් විට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මනසකට ඒ ගෝචර වනවා විය හැකි ය. එහෙත් සාමාන්‍ය පුද්ගලයකුට මනසින් හා පංචේන්ද්‍රියයන්ගෙන් එවැනි අංශු දැක බලාගත නො හැකි ය.

සාමාන්‍ය පුද්ගලයන්ගේ මනසට හා පංචේන්ද්‍රියයන්ට ගෝචර වන්නේ අංශුව හෝ පද්ධතිය හෝ අදාළ නිරීක්‍ෂ්‍යය සම්බන්ධයෙන් හිල්බට් අවකාශයෙහි එක් දෛශිකයකින් පමණක් නිරූපනය වන අවස්ථාවල දී ය. අනෙක් අවස්ථාවල දී, එනම් අංශුව හෝ පද්ධතිය හෝ හිල්බට් අවකාශයෙහි දෛශික එකකට වැඩි ගණනකින් නිරූපණය කෙරෙන අවස්ථාවක දී එයට අවස්ථා කිහිපයක් ම ඇති බැවින් ඒ අවස්ථා එකක් ලෙස පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. උදාහරණයකට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම නිරීක්‍ෂණය කරන්නේ නම් හා අංශුව හෝ පද්ධතිය හෝ පිහිටුම් කාරකයෙහි අයිගන් අවස්ථාවක නො වේ නම් එවිට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම හිල්බට් අවකාශයෙහි දෛශික එකකට වැඩි ගණනකින් නිරුපණය වෙයි. එනම් අංශුව එකවිට පිහිටුම් එකකට වැඩි සංඛ්‍යාවක පවතියි. එසේ වූ විට සාමාන්‍ය නිරීක්‍ෂකයකුට අංශුව හෝ පද්ධතිය හෝ නිරීක්‍ෂණය කළ නො හැකි ය.

එයට ම අදාළව කිවයුතු තවත් කරුණක් නම් එවැනි අවස්ථාවක අංශුවට හෝ පද්ධතියට හෝ කාලය සම්බන්ධයෙන් ද අවස්ථා කිහිපයක් ඇති බව ය. එක් එක් කාලවල හා එක් එක් පිහිටුම්වල ඇති අංශුවක් නිරීක්‍ෂණය කිරීමට සාමාන්‍ය නිරීක්‍ෂකයකුට නො හැකි ය. එහෙත් විද්‍යාලංකාර විවරණයෙන් කියැවෙන්නේ ඒ අවස්ථා නැති බව නො වේ. පුටුවක් පරිගණකයක් මනසක් පවතින ආකාරයෙන් ම ඒ අවස්ථා ද සම්මුතියෙන් පවතියි. එහෙත් පුටුව හා අදාළ අංශුව හෝ පද්ධතිය අතර ඇති වෙනස නම් පුටුව සාමාන්‍ය නිරීක්‍ෂකයකුගේ පංචේන්ද්‍රියයන්ට ගෝචරවන නමුදු අංශුවේ හෝ පද්ධතියේ හෝ අදාළ ගුණය සාමාන්‍ය නිරීක්‍ෂකයකුගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වීම ය.

ඒ අර්ථයෙන් අංශුවක් හෝ පද්ධතියක් හෝ නිරුපණය කරන හිල්බට් අවකාශයෙහි දෛශිකයට පැවැත්මක් ඇත. එය හුදු ගණිතමය හරඹයක් නො වේ. විද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදී විවරණයෙන් මෙන් ම කෝපන්හේගන් විවරණයෙන් ද වෙනස් වෙයි.

Sunday, 11 March 2012

ප්‍රත්‍යක්‍ෂ නොවන බාහිර ලෝකය

ද්‍රව්‍යවාදීන් නිතර අසන ප්‍රශ්නයක් නම් බාහිර ලෝකය ද අප විසින් නිර්මාණය කෙරෙන්නක් නම් අප ඉපදෙන්නට පෙර බාහිර ලෝකයක් නොතිබිණි ද යන්නත් අප මියගිය පසු බාහිර ලෝකයක් නොපවතින්නේ ද යන්නත් ය. මේ ප්‍රශ්නයට අප කිහිප විටක් ම පිළිතුරු දී ඇති නමුත් එයට නැවතත් ප්‍රතිචාරයක් දැක්වීම නුසුදුසු යැයි නො හැඟෙයි. එහෙත් එයට පළමු ඊනියා බාහිර ලෝකය ගැන තවත් කිවයුත්තක් වෙයි.

අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නේ වර්ණය, හැඩය, තද බව, සුවඳ, රස, උණුසුම ආදිය මිස වස්තු නො වේ. අපි ඒ සියල්ල එක්කර වස්තුවක් හෝ වස්තු හෝ සංස්කරණය කරමු. මට තද ලෙස දැනෙන්න වෙනත් අයකුට මොළොක් ලෙස දැනිය හැකි ය. එවිට ඇත්තේ (ඇතැයි අප උපකල්පනය කළහොත්) මොළොක් වස්තුවක් ද එසේත් නැත්නම් තද වස්තුවක් ද? ඉහත සඳහන් උපකල්පනය යටතේ ම ඇත්තේ ඊනියා වාස්තවික තද වස්තුවක් ද? එයට අපෙන් බාහිර ව පිහිටි වස්තුවක් යැයි කිව හැකි ද?

ඒ අපෙන් බාහිර ව පවතින්නේ යැයි කියන වස්තුව උණුසුම් ද එසේත් නැත්නම් සිසිල් ද? බොහෝ විට බටහිර භෞතික විද්‍යාව ඉගෙනීම ආරම්භ කරන දරුවන්ට තම අත් දෙක උණුසුම් වතුර භාජනයක හා සිසිල් වතුර භාජනයක වෙන වෙන ම ඔබාගෙන මඳ වේලාවක් සිටින්නට යැයි කියා ඉන්පසු ඒ වතුර මිශ්‍ර කරන ලද භාජනයකට අත් වෙන වෙන ම එකකින් පසුව අනෙක දමන්නට යැයි කී විට දරුවන්ට අත් දෙකට දැනෙන්නේ වෙනස් වේදනාවන් බව අපි දනිමු. එකම භාජනය හා එකම වතුර යැයි අප කියන ඊනියා වස්තුවක් එක් අතකට උණුසුම්ව ද අනෙක් අතට සිසිල්ව ද දැනෙයි.

දැන් ඒ වතුර උණුසුම් ද සිසිල් ද? බාහිර ව පවතින්නේ යැයි කියනු ලබන්නේ කිනම් අතට දැනෙන වස්තුව ද? උණුසුම් බව හෝ සිසිල් බව හෝ ඇත්තේ ඒ ඒ අතට සාපේක්‍ෂව ය. එහෙත් බටහිර භෞතික විද්‍යාව උගන්වන ගුරුවරු දරුවන්ට මේ අත් දෙකේ අත්දැකීම් දෙකෙන් කියන්නේ වෙනත් කරුණකි. එනම් ද්‍රවයක උණුසුම් බව හෝ සිසිල් බව දැන ගැනීමට අත් සුදුසු නොමැති බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අපෙන් ස්වායත්ත ව පවතින්නේ යැයි කියන ද්‍රවයක හෝ වෙනත් වස්තුවක හෝ උණුසුම් බව හෝ සිසිල් බව හෝ දැන ගැනීමට අපේ ඉන්ද්‍රිය නුසුදුසු බව ය. මෙසේ කියන්නෝ කවරහු ද? ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් දැනුමේ උරගල යැයි කියන්නෝ යෂ ඕනෑම ප්‍රවාදයක් නිවැරදි දැයි දැනගැනීමට ඒ ප්‍රවාදයෙන් ලබාගන්නා නිගමන හෙවත් අපෝහන ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සමග සැසඳිය යුතු යැයි කියන්නෝ යෂ ඒ සමග ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සත්‍ය නම් විද්‍යාවක අවශ්‍යතාවක් නැතැයි කියමින් හුදු දෘෂ්‍යමානයට ඔබ්බෙන් වූ ඊනියා යථාර්ථයක් සොයන්නෝ ය. ඊනියා යථාර්ථය දැනෙන්නේ පංචෙන්ද්‍රියවලට නොව මනසට බව ඉන් පැහැදිලි වෙයි. එහෙත් ඒ මනසට දැනෙන ඊනියා යථාර්ථය සත්‍ය දැයි දැනගැනීමට අර විශ්වාසයක් තැබිය නොහැකි ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වෙත ආපසු යන්නෝ ය. බටහිර විද්‍යාව පිළිබඳ සිංහලෙන් මෙන් ම ඉංගිරිසියෙන් ද මා කර ඇති මේ විවේචනයට හා වෙනත් විවේචනවලට මෙතෙක් කිසිවකු පිළිතුරු දී නොමැති බව සඳහන් කළ යුතු ය.

මේ බටහිර විද්‍යාඥයන්ගේ පරස්පර කතා අපි මොහොතකට අමතක කරමු. තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන විශ්වාසයක් නොතබමින් එහෙත් ඒ විශ්වාසය අත් නොහරින බටහිර විද්‍යාඥයන් උණුසුම හෝ සිසිල් බව හෝ දැනගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කර ඇත. ඒ උපකරණය උෂ්ණත්ව මාපකය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාඥයන් මෙහි දී කරන්නේ කුමක් ද? අපෙන් ස්වායත්ත ව, එනම් අපේ මනස ද ඇතුළු ඉන්ද්‍රියවලින් ස්වායත්ත ව, පවතින්නේ යැයි කියන වස්තුවකට අපේ ඉන්ද්‍රියවලින් බාහිරව දැනගත හැකි උණුසුම් බවක් හෝ සිසිල් බවක් හෝ ඇතැයි උපකල්පනය කර එය දැනගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීම ය. උෂ්ණත්ව මාපකය පිටුපස ඇත්තේ ද්‍රවයකට හෝ වෙනත් ද්‍රව්‍යයකට හෝ උෂ්ණත්වය යනුවෙන් ගුණයක් ඇති බවත් එය මැණගත හැකි බවත් යන සංකල්ප ය.

එහෙත් මෙහි දී බටහිර විද්‍යාඥයා නැවතත් කරන්නේ තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ඉවත දැමීම ය. යම්කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කිරීම සඳහා තාප ශක්තිය ලබාදිය යුතු යැයි බටහිර විද්‍යාඥයා උපකල්පනය කරයි. එහෙත් උෂ්ණාත්වය යන්න ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම වනුයේ උණුසුම යන්න ය. උණුසුම හා උෂ්ණත්වය අතර ඇති සම්බන්ධය කුමක් ද? උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී බටහිර භෞතික විද්‍යාඥයා යම්කිසි බටහිර භෞතික විද්‍යාත්මක ප්‍රවාදයක් යොදා ගනියි.

එහෙත් ඒ ප්‍රවාදයෙහි නිවැරදිතාව පිළිබඳ ව බටහිර භෞතික විද්‍යාඥයන්ට සහතික විය හැකි ද? උදාහරණයක් ලෙස රසදිය උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී උපකල්පනය කෙරෙනුයේ තාප ශක්තිය ලබාදීමත් සමග යම් ද්‍රවයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ ප්‍රසාරණය වන බව ය. එහෙත් එය සෑම විට ම ඒ ආකාරයෙන් ම සිදු නොවන බව අපි දනිමු. ජලයේ ඝනත්වය වැඩිම අගයක් ගන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක හතරෙහි දී බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහි තේරුම සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවේ සිට හතර දක්වා උෂ්ණත්වය වැඩිවීමේ දී ජලය සංකෝචනය වන බව ය. ඉන්පසු උෂ්ණත්වය වැඩිවීමේ දී ජලය ප්‍රසාරණය වනවා විය හැකි ය. එහෙත් අංශක බින්දුවේ සිට හතර දක්වා ජලය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන බව අප අමතක නොකළ යුතු ය.

රසදිය සම්බන්ධයෙන් අප දන්නා උෂ්ණත්වවල දී ප්‍රශ්නයක් පැන නොනගින බව කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් ප්‍රශ්නය එය නො වේ. උපකරණ භාවිතයේ දී බටහිර විද්‍යාඥයෝ යම් යම් ප්‍රවාද යොදා ගනිති. මේ ප්‍රවාද ද අවසාන විග්‍රහයෙහි දී බටහිර විද්‍යාඥයන්ගේ සංස්කරණ, නිර්මාණ බව පැහැදිලි ය. අපි සෙක්කුවේ බැඳි ගොනා මෙන් එක්තැන වටේ කැරකැවෙමු. අපට උපකරණ තනාගැනීමට සිදුවන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද ඇසුරෙන් ය. ඒ ප්‍රවාදවල සත්‍යාසත්‍යතාව දැනගැනීමට සිදුවන්නේ උපකරණවල ආධාරයෙනි! මෙය චක්‍රීය චින්තනයක වලංගු විය හැකි වුව ද, බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි රේඛීය චින්තනයෙහි වලංගු නො වේ.

අපට යම් යම් සංඥා ලැබෙන බව සැබෑ ය. අපේ ඇඟට උණුසුම දැනෙයි. ඒ අතර අපේ ඇසට ගින්නක් යැයි අප විසින් සිතනු ලබන වර්ණ, හැඩ ආදිය පෙනෙයි. අපි ඒ ගින්න සමග උෂ්ණත්වය සම්බන්ධ කරමු. එසේ සම්බන්ධ කර ගින්න උණුසුම් යැයි අපි කියමු. ඒ මනසෙහි අනුමානයක් වෙයි. එහෙත් ඒ අනුමානය සංගත ය. අප ගින්න යනුවෙන් හැඳින්වෙන්නට ආසන්නවත් ම සිරුරට දැනෙන උණුසුම වැඩිවෙයි. ගින්න නිවාදැමූ විට උණුසුම නැතිවෙයි. එසේ අපේ ප්‍රත්‍යක්‍ෂයෙහි සංගත බවක් ඇති හෙයින් අපේ අනුමානය නිවැරදි යැයි, සත්‍ය යැයි, අපි සිතමු.

ඒ එක්තරා ආකාරයකින් ගතහොත් ප්‍රවාදයකි. එය අපට මෙසේ ප්‍රකාශ කළ හැකි ය. බාහිර ව ගින්නක් ඇත. ඒ ගින්න උණුසුම් ය. ගින්න හේතුවෙන් අපට උණුසුමක් දැනෙයි. වෙනත් එවැනි වස්තුවක් නොමැති නම් උණුසුම දැනෙන්නේ ගින්න හේතුකොටගෙන ය. වෙනත් එවැනි වස්තු ඇති විට උණුසුමට යම් ප්‍රදානයක් ගින්නෙන් සිදුවෙයි. එහෙත් මෙහි දී අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ උණුසුම හා ගින්නෙහි වර්ණය ඊනියා ගිනි දළු ආදිය පමණ ය. අනෙක් සියල්ල අප විසින් මනසෙන් සංගත ව කරණ අනුමාන වෙයි.

බාහිරව පවතින්නේ යැයි කියැවෙන කිසිම වස්තුවක් එලෙස එනම් වස්තුවක් ලෙස ඉන්ද්‍රිය ගෝචර නො වේ. එසේ පවතින්නේ යැයි කියන වස්තුවේ වර්ණය හැඩය ආදිය පමණක් ඉන්ද්‍රිය ගෝචර වෙයි. එසේ තිබෙන්නේ යැයි කියන වස්තුව ඇතැම් විට ස්පර්ශ කළ හැකි ය. එයට වැඩි යමක් ඉන්ද්‍රිය ගෝචර වීම සම්බන්ධයෙන් අපට කිව නො හැකි ය. ඊනියා බාහිර වස්තු මනසේ නිර්මාණ, අවශ්‍ය නම් අනුමාන පමණ ය. මනස නැත්නම් මනසෙන් ගන්නා ඒ කිසිවක් මනසෙන් බාහිර ව නැත. අප මනසක් යනුවෙන් යමක් ඇතැයි ගන්නා බැවින් විඤ්ඤාණ නාම රුප ආදිය අභ්‍යන්තර ව ඇති වෙයි. ඒ අභ්‍යන්තර ව ඇතිවෙන ඇතැම් නාම රූප හේතුකොට ගෙන අපි බාහිර ව වස්තු හා ලෝකය ඇතැයි ගනිමු. මනස යනුවෙන් යමක් නැති බව අවබෝධ කළ විට (එය මනසින් කළ නොහැකි බව පැහැදිලි ය) තමාත් බාහිර ලෝකයත් නැති බව අවබෝධ වෙයි.

බුදුදහමට අනුව අප ඊනියා බාහිර වස්තු යනුවෙන් ගන්නේ අපට ප්‍රත්‍යක්‍ෂ වන දේ හා ඒ ඇසුරෙන් අප අනුමානය කරන දේ ය. ඉන් එහාට අපෙන් ස්වායත්ත වූ බාහිර ලෝකයක් නැත. එහෙත් බටහිර විද්‍යාවට අනුව බාහිර ලෝකයක් වෙයි. බුදුදහම හා බටහිර විද්‍යාව අතර එවැනි මූලික වෙනසක් තිබිය දී ඇතැම්හු බුදුදහම විද්‍යාත්මක (එනම් බටහිර විද්‍යාත්මක) යැයි කියති. දැන් ප්‍රශ්නයක් වෙයි. බාහිර වස්තු ලෙස අප අනුමාන කරන දේ විඤ්ඤාණයෙහි මායාවක් විය හැකි වුවත් ප්‍රත්‍යක්‍ෂ එලෙස මායාවක් වන්නේ ද? ප්‍රත්‍යක්‍ෂ යනු මනසෙහි අනුමාන නො වේ. ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙයි. එබැවින් අනුමාන කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගන්නා කොටස් නො පවතින්නේ ද?

එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද පංචේන්ද්‍රියවලට හා විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. අපේ පංචේන්ද්‍රියවලට ගෝචර නොවන දේ බල්ලන්ගේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යැයි කියැවෙයි. ඇතැම් ශබිද ගඳ සුවඳ (ඉව) බල්ලන්ට ගෝචර වන නමුත් මිනිසුන්ට ගෝචර නො වේ. මේ සාපේක්‍ෂතාව ම ඊනියා වාස්තවිකත්වයක් නැති බවට උදාහරණයකි. එය පසෙකින් තැබුව ද ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ් ද? ඒ පංචෙන්ද්‍රියවලට හා විඤ්ඤාණයට ගෝචර වූ දේ ය. එනම් අභ්‍යන්තර ව ඇතිවන නාම රූප ය. එහි දී ද මූලික කර්තව්‍යය ඉටු කරනුයේ මනස ය. අවිද්‍යාව නොවන්නට සංස්කාර නොමැත. සංස්කාර නොමැතිව විඤ්ඤාණයවත් නාම රූපවත් නැත. නාම රූප ද විඤ්ඤාණයේ මායාවකි. එසේ නම් ප්‍රත්‍යක්‍ෂවල ද ඇති වැදගත්කමක් නැත. විඤ්ඤාණයේ මායාවන්ට දිය හැකි වැදගත් කම කුමක් ද?

ඊනියා බාහිර ලෝකය පමණක් නොව අභ්‍යන්තර ලෝකය ද මායාවකි. මේ මායාවට මුල අවිද්‍යාව ය. මා යනුවෙන් මගේ යනුවෙන් ගැනීම ම වැරදි විට ඊනියා බාහිර ලෝකයක් ඇතැයි ගැනීම කෙතරම් වැරදි විය යුතු ද? අප බාහිර ලෝකය ලෙස ගන්නේ විඤ්ඤාණයේ මායාවක් බැවින් බාහිර ලෝකයක් නැත. අප මවාගත් ලෝකයෙන් කොටසක් අභ්‍යන්තර ලෝකය ලෙස ද ඉතිරි කොටස බාහිර ලෝකය ලෙස ද හැඳින්වෙයි.

වස්තුවක් හෝ අංශුවක් හෝ ඇත්තේ, පවතින්නේ එකම තැනක පමණක් යැයි අපි කියමු. පුටුවක් හෝ මේසයක් හෝ එකවිට අවකාශයෙහි තැන් දෙකක පැවතිය නොහැකි යැයි අපි කියමු. එසේ එකම තෑනක, එකම පිහටුමක පවතින්නේ යැයි අප කියන්නේ ඇයි? එය අප විසින් නිර්මාණය කරනු ලැබ ඇති අනුමානයක් පමණක් වෙයි. එහෙත් එය සැම විට ම එසේ විය යුතු නැත. අපේ ඇසට මේසය, මේසයක් ලෙස හසු නො වේ. එහෙත් අපේ අනුමානයට අනුව මේසය යනුවෙන් දෙයක් (වස්තුවක්) පවතිනවා පමණක් නොව ඒ මේසය අවකාශයෙහි නිශ්චිත ඉඩක් පමණක් ගනියි.

Sunday, 5 February 2012

බෞද්ධ පඬිවරු හා පරිසිද්ධි

ද්‍රව්‍යවාදීන්ට හා වෙනත් බොහෝ දෙනාට අනුව නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් පවතී. එය වාස්තවික යැයි ඔවුහු කියති. ඒ නිරපේක්‍ෂ වූ ද වාස්තවික වූ ද ලෝකය බොහෝ විට යථාර්ථය නමින් ද හැඳින්වෙයි. ලොවෙහි මිනිසුන් සිටියත් නැතත් එවැනි ලෝකයක් පවතින්නේ යැයි සාමාන්‍යයෙන් බටහිරයෝ විශ්වාස කරති. එය බටහිර ලෝකයේ අධිපතිවාදී මතය ද වෙයි. බටහිරයන් තම දේශපාලන බලය යොදාගනිමින් ඔවුන් ඒ ඒ රටවල පිහිටුවා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ඔස්සේ එය ලෝකයේ අධිපතිවාදී මතය බවට ද පත්කර ඇත.

පෙරදිග ලෝකයේ ද ඈත අතීතයේ ද්‍රව්‍යවාදීහු සිටියහ. ඒ අතර පෙරදිග මෙන් ම බටහිර ද විඤ්ඤාණවාදීන් ද වාසය කර ඇත. විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය යනු මනසේ නිර්මාණයක් වෙයි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ද්‍රව්‍යවාදයේ මෙන් ම විඤ්ඤාණවාදයේ ද විවිධ ප්‍රභේද ඇති බව ය. බෞද්ධයන් අතර ද විවිධ ගුරුකුල තිබූ බවත් ඇතැමුන් විඤ්ඤාණවාදීන් වූ බවත් තවත් සමහරුන් ද්‍රව්‍යවාදීන් වූ බවත් පැහැදිලි ය. මේ අතර ක්‍ෂණයකට බාහිර ලෝකයක් තිබෙන බව පිළිගත් අය ද සිටිය හ. අද ද මේ ඇතැම් ගුරුකුල පවතින බව පැහැදිලි ය.

ථෙරවාද බෞද්ධයන් නමින් තමන් හඳුන්වාගන්නවුන් අතර ද විවිධ කරුණු ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ මත ඇති බව පැහැදිලි ය. නිවන වචනයෙන් කිවහැකි යැයි ඇතැම්හු කියති. ඇතැමුන්ට අනුව නිවන වචනයෙන් කිවහැකි නො වේ. ඇතැම් උගතුන් යැයි කියන්නන්ට අනුව සංසාරයක් ද නැත. සියල්ල මේ භවයට පමණක් සීමා වෙයි. තවත් භවයක් නැතැයි කියන්නෝ ද පඬිවරුන් ලෙස පිළිගැනෙන අය අතර වූහ. දැනුදු වෙති. බෞද්ධ දර්ශනය පිළිබඳ ඇතැම් මහාචාර්යවරුන්ට අනුව පිරිනිවන් පෑමෙන් පසුව ද රහතන් වහන්සේ භවයක වෙසෙති. රහතන් වහන්සේ මේ භවයෙහි නිවන් දැක පවතින (ජීවත්වන) ආකාරයට උන්වහන්සේට වෙනත් භවයක ද පැවතිය හැකි ය. මේ පඬිවරුන්ට අනුව රහතන් වහන්සේ ඒ භවයෙන් චුත නොවන අතර අමරණීය ද වෙති.

මේ සියළු මත ඒ ඒ ගුරුකල විසින් කරන ලද අර්ථදැක්වීම්වල ප්‍රතිඵල වෙයි. බොහෝ විට මේ මත ප්‍රකාශවන්නේ විරුද්ධ ගුරුකුල හෝ වෙනත් ආගම් හෝ විසින් මතු කෙරන ප්‍රශ්නවලට හා මතවලට සැපයෙන පිළිතුරු හෝ ඒ මතවලට අනුගත වීම් හෝ ලෙස ය. එදා තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආත්මය ය. බූදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු බ්‍රහ්මණයන් ඈසූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමට භික්‍ෂූන් වහන්සේට සිදුවිය. එසේ පිළිතුරු දීමේ දී ද බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථකථන සැපයීමේ දී ද භික්‍ෂූන් වහන්සේ විවිධ ගුරුකුලවලට බෙදුණ හ.

එමෙන් ම ඇතැම් අවස්ථාවල භික්‍ෂූන් වහන්සේට එදා අධිපති මතවාදය බවට පත්ව තිබූ බ්‍රාහ්මණ මතයට අනුගත වීමට සිදු විය. එය අද ද වෙනත් ආකාරයකින් සිදුවන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. විශ්වවිද්‍යාලවල සේවය කළ බෞද්ධ දර්ශනය, බුදුදහම ආදී විෂය පිළිබඳ බොහෝ මහාචාර්යවරු බටහිරයන්ට අවශ්‍ය ආකාරයට තම මතවාද සකස් කර ඇති බව පැහැදිලි ය. බටහිරයෝ බුදුදහම දුක මුල් කරගත් අසුබවාතී ආගමක් ලෙස හඳුන්වති. තම ආචාර්ය උපාධි සඳහා බටහිර රටවලට යන බෞද්ධ පඬිවරු මේ මතය නිවැරදි කිරීමට උත්සාහ ගන්නේ පටිච්ච සමුප්පදාය ඔස්සේ නොව බුදුදහම ද වෙනත් දහමක් මෙන් ම ඊනියා සුබවාදී ආගමක් බවට පත්කිරීමෙනි.

මේ පඬිවරු නිවන් දැකීමෙන් පසු නැවත භවයක් නැති බව පිළිගැනීමට අකමැති වෙති. ඒ එහි බටහිරයන් කියන ආකාරයට ගූඪ භාවයක් ඇති බැවිනි. නැවත භවයක් නැත්නම් ඊනියා සුඛයක් විඳීම පිළිබඳ ප්‍රශ්නය මතුවෙයි. මේ පඬිවරුන් පෙන්වීමට උත්සාහ ගන්නේ බුදුදහම තරම් සුබවාදී ආගමක් තවත් නැත යන්න ය. ඒ සඳහා ඔවුහුූ පිරිනිවන් පෑමෙන් පසු නැවත භවයක් ඇති කරති. එය විඳීමක් ඇති තැනක් ද නැති තැනක් ද යන්න පැහැදිලි නැති වුවත් තවත් භවයක් ඇති බව පැහැදිලි ය. එය පටිච්ච සමුප්පදායට විරුද්ධ වුවත් මේ පඬිවරුන්ට ඉන් කම් නැති. අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් කියැවෙන්නෙහි භව පච්වයා ජාති යන්න ද ඇති බවත් භවයක් ඇත්නම් (ආත්මයක් නැතිව වුවත්) ඉපදීමක් ඇති බවත් පඬිවරුන්ට නොතේරෙන්නෙහි ද? අනෙක් අතට අවිද්‍යාව නැත්නම් ඒ හේතුවෙන් සංඛාර ද ආදී වශයෙන් භවයක් ද නැති බව පඬිවරුන්ට පැහැදිලි නැත.

එහෙත් පඬිවරුන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව බුදුදහමේ සියල්ල විනිවිද දැකිය හැකි බව පෙන්වීම ය. බුදුන් වහන්සේ එව බලව යනුවෙන් දේශනා කර ඇති බව පැහැදිලි ය. එහෙත් එයින් කියැවෙන්නේ ද්විකෝටික න්‍යායට අනුව එව බලව යන්න හෝ ඉන්ද්‍රිය ගෝචර භාවය අනුව එව බලව යන්න හෝ නො වේ. බටහිරයන්ට සියල්ල ඇරිස්ටෝටලීය ද්විකෝටිකයට අනුගත වී ඉන්ද්‍රිය ගොාචර විය යුතු ය. එහෙත් නිවන එවැන්නක් නො වේ. බුදුන් වහන්සේ නිවන යනු කුමක් දැයි කිසි විටෙක දේශනා කර නැත. නිවන් අවබෝධ වන්නේ ලෝභ, ද්වේ’ෂ මෝහ නැතිකිරීමෙන් බව පැහැදිලි ය. එහෙත් ඒ පිලිබඳ ව එයට වඩා යමක් කියන්නේ කෙසේ ද? දර දමන තෙක් ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළහ. උපමාවක් අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග්ගැස්සීම නිවැරදි නොවුනත් දර නොමැතිව ගින්න නිවීමෙන් පසුව යන තැනක් නැති බව අමතක නොකළ යුතු ය.

බටහිරයන්් බුදුදහමේ ගූඪත්වය පිළිබඳ නගන චෝදනාවලට මුහුන දීමට නොහැකි මෙරට බොහෝ බෞද්ධ උගත්තු බුදුදහම ඊනියා විනිවිද පෙනෙන දහමක් බවට පත්කිරීමට උත්සාහ කරති. එහෙත් බුදුන් වහන්සේගේ විනිවිද දැක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසුන අයට මිස ද්විකෝටිකය අනුව තර්ක කරන්නන්ට හා පංචෙන්ද්‍රිය ඇසුරු කරගත් දැනුමක් පිළිබඳ ඊනියා පර්ය්ෂණ කරන්නවුන්ට නො වේ. නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි බව කියන පඬිවරුන් එසේ කරන්නේ ද නිවන පිළිබඳ ඇතැයි කියන ඊනියා ගූඪත්වයෙන් ගැලවීමට ය. බටහිරයෝ ඇරිස්ටෝටලීය න්‍යායට හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයන්ට හසු නොවන දෑ ගූඪ ලෙස සලකති. මෙරට බෞද්ධ පඬිවරුන් ද එසේ කරන්නේ ඔවුන් ලබා ඇති පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතුවෙන් ඔවුන් ලත් නිවටකම හේතුවෙනි. ඊනියා විද්‍යාඥයන් එසේ කරනවාට ද වඩා බුදුදහම ගැන ප්‍රාමාණික උගතුන් යැයි හඳුනා ගැනෙන්නන් ගූඪත්වයක් ගැන බටහිරයන් සිතන ආකාරයෙන් කටයුතු කර බුදුදහම ඒ ගූඪත්වයෙන් මුදා ගැනීමට වැරදි අර්ථකථන ලබාදීම කණගාටුදායක ය.

ඇතැම් බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන්ට අනුව ප්‍රවාදවලට වඩා ඔවුන් ෆැක්ට්ස් (facts) නමින් හඳුන්වන දෑ සත්‍ය වෙයි. ෆැක්ට් යන්නට නිල පාරිභාෂික ශබ්දමාලාවේ ඇත්තේ පරිසිිද්ධිය යන්න ය. මෙවැනි වචනයක් පැරුන්නන් අතර තිබිණි දැයි නො දනිමි. එවැනි වචනයක් පැරණි සිංහලයන් යොදා ගත්තේ නම් ඒ ගැන සොයා බැලිය යුතු ය. කෙසේ වෙතත් පරිසිද්ධිය යන්න සිිද්ධිය යන වචනයට පරි යන උපසර්ගය යොදා ගැනීමෙන් තනාගෙන ඇති බව පැහැදිලි ය. එය පරිපූර්ණ යන වචනය මෙනි. පරිසිද්ධිය යන්න සිද්ධියට වඩා තහවුරු වූ අර්ථයක් ගෙන දෙයි. එයින් පරිසිද්ධිය යන්න අප අත්දැක ඇති සැකයකින් තොර සත්‍ය වූ සිද්ධියක් යන තේරුමක් ගෙන දෙන්නේ යැයි සිතමි.

කෙසේ වෙතත් ඉංගිරිසියෙන් ෆැක්ට් යන්න යෙදෙන්නේ සැකයකින් තොර සත්‍ය වූ අත්දැකීමක් යන්න හැඟවීම සඳහා ය. ඇතැමුන් ඉට් ඊස් අ ෆැක්ට් (සිංහල වචනවලින් එහෙත් ඉංගිරිසි සම්ප්‍රදායට අනුව නම් එය පරිසිද්ධියකි) ආදී වශයෙන් ප්‍රකාශ කිරීමේ දී මේ සැකයකින් තොර නිර්මාණයක් නොවන අත්දැකීමක් (තමන්ගේ හෝ අනෙක් විශ්වාසවන්තයකුගේ) යන්න ගම්‍ය වෙයි. එබැවින් ඇතැමුන්ට පරිසිද්ධි යනු සත්‍යම සිද්ධි වෙයි. ඔවුහු බොහෝ විට ප්‍රවාද යනු ඉන්ද්‍රිය ගෝචර දෑ නොවන බව දනිති. එබැවින් ඔවුන්ට පරිසිද්ධි වඩා වැදගත් ය.

එහෙත් මොවුන් තේරුම් නොගන්නා කරුණ නම් ඊනියා පරිසිද්ධි ද ප්‍රවාදයක් හෝ අඩුම තරමෙන් සංකල්පයක් මත රඳා පවතින බව ය. ඔවුන් සිතන්නේ පරිසිද්ධි වාස්තවික බව ය. ඔවුන් පරිසිද්ධි නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත යැයි සිතනු විය හැකි ය. එහෙත් එය නිවැරදි නො වේ. අපි බහුල අත්දැකීමක් ගනිමු. පළමුවෙන් ඉර හෙවත් සූර්යයා යන්න ගනිමු. අප සියළු දෙනා ම පාහේ සූර්යයා දැක ඇත. එහෙත් එය ඊනියා පරිසිද්ධියක් ද? අප සියළු දෙනා ම දකින්නේ එකම සූර්යයා ද? බටහිර තාරකා විද්‍යාව බිහිවීමට පෙර බොහෝ දෙනාට සූර්යයා තවත් තාරකාවක් නො වී ය. සූර්යයා අහසෙහි අනන්‍ය වූ දෙයක් විය. බෞද්ධ සාහිත්‍යයෙහි නම් වෙනත් සූර්යයන් ගැන මෙන් ම සත්වයන් වාසය කරන ලෝක ගැන ද කියැවෙයි. ඇතැමුන් එකල සූර්යයා අපට ආලෝකය හා උණුසුම ගෙන දෙන්නක් ලෙස සලකන්නට ඇත. එහෙත් තවත් අයට ඒ සූර්ය දිව්‍ය රාජයා විය. සූර්ය දිව්‍ය රාජයා හා සූර්යයා යනු එකම සංකල්පයක් නො වේ. එබැවින් ඒ ඒ සංකල්ප යොදා ගත් අය දුටුවේ එකම දෙයක් නො වේ.

එමෙන් ම එකල බොහෝ දෙනාට සූර්ය දිව්‍ය රාජයා හෝ සූර්යයා හෝ පොළොව වටා යන්නක් විය. නිශ්චල පොළොව වටා සූර්යයා යන්නේ යැයි ඔවුහු සිතූහ. නැගෙනහිරෙන් පායන සූර්යයා බටහිරෙන් බැස යන්නේ යැයි යන්න බොහෝ දෙනාට ඊනියා පරිසිද්ධියක් වූවාට සැකයක් තිබිය නො හැකි ය. නැගෙනහිර හා බස්නාහිර යන සංකල්ප මෙන් ම උදාගිර අවරගිර යන සංකල්ප ද සූර්යයාගේ මේ දෛනික ගමන ඇසුරෙන් ම නිර්මාණය වී ඇත. එහෙත් භාරතයේ විසු ඇතැමුන් පොළොව සූර්යයා වටා යන බව හා පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව එකල ද දැන සිටියහ. විශේෂයෙන් ම ආධ්‍යාත්මික ව ශක්තිමත් ව සිටිය අයට පොළොව ඉර වටා යන ගමනක් පිළිබඳ ව වැටහීමක් තිබෙන්නට ඇත. එසේත් නැත්නම් ඒ පිළිබඳ ව දෙවිවරුන්ගෙන් ලත් දැනුමක් ඔවුන්ට තිබෙන්නට ඇත. ඒ කුමක් වුවත් මෙහි පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව අත්දුටු අය පරිසිද්ධියක් දැන සිටියෝ ද?

අද බොහෝ දෙනා එලෙස තේරුම් නොගත්තාට සූර්යයා පොළොව වටා යන්නේ ය යන්න එදා බොහෝ දෙනාට අනුව ඊනියා පරිසිද්ධියක් විය. මේ සියල්ල සංස්කාර බව දැන සිටි සිංහලයන්ට පරිසිද්ධිය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නොවන්නට ඇත. එහෙත් බොහෝ සිංහලයන්ට ද සූර්යයා පොළොව වටා යන බවට සැකයක් නොතිබෙන්නට ඇත. එහෙත් පසුව භාරතයේ තිබූ පොළොව තම අක්‍ෂය වටා මෙන් ම සූර්යයා වටා ද භ්‍රමණය වන්නේ ය යන දැනුම කොපර්නිකස් මගින් යුරෝපයට ගිය විට එය එහි ප්‍රචලිත විය. ඉන්පසු ඒ දැනුම නැවතත් පෙරදිගට පැමිණියේ බටහිර අධිපතිවාදී දැනුමක් ලෙස ය.

දැන් ඊනියා පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව ද එසේත් නැත්නම් පොළොව සූර්යයා වටා යන බව ද? පොළොව සූර්යයා වටා යන බව අප කී දෙනකුගේ අත් දැකීම ද? අප අත්දැක නොමැති දෙයක් පරිසිද්ධියක් විය හැකි ද? පරිසිද්ධියක් විය හැක්කේ සිද්ධියකට යැයි සිතමි. පොළොව සූර්යයා වටා යන බව සිද්ධියක් ද? අප කිසිවකුටවත් පොළොවේ සිට අත්දැකීමට නොහැකි දේ සිද්ධි ද? එහෙත් බටහිර අධ්‍යාපනයක් ලත් අති විශාල බහුතරයකට පොළොව ඉර වටා යන බව ඊනියා පරිසිද්ධියකි.

Saturday, 14 January 2012

දුර්ගාගෙන් වෙන්වීම හා ඉන්පසු වැඩ ඇරඹීම

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ආණ්ඩුවෙන් මට දිගුවක් නො ලැබුණි. මට දිගුවක් ලැබුණේ ගණිත අධ්‍යනංශයේ මහාචාර්යරයකු ලෙස ය. එය නීතියට පටහැණි නො වේ. විශ්වවිද්‍යාලවල සේවය කරන හා කළ ගොඩ පෙරකදෝරු ඇදුරෝ එය නීතියට පටහැණි බව කීවෝ ය. එහෙත් ඔවුහු ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය අභියාචනා මණ්ඩලයට හෝ අධිකරණයට හෝ නො ගියෝ ය. ඔවුහු සුපුරුදු පරිදි ඔවුන්ගේ ලිපි පළකරන සතිඅන්ත සිංහල බෞද්ධ විරෝධී කසිකබල් පුවත්පතකට පමණක් ලිවුහ. ගොඩ පෙරකදෝරුවන්ගේ බහට මා එකඟ නොවන බවත් මා සමුනොගන්නා බවත් මගේ සේවා දිගුව නී්‍යානුකුල බවත් මම ඉරිදා දිවයින සංග්‍රහය මගින් කියා සිටියෙමි. සේවා දිගුව සමග නී්‍යානුකුලව ම මගේ පිඨාධිපති පදවිය 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා දික්කෙරිණි. ඒ අනුව මගේ පිඨාධිපති පදවියේ වලංගු බව දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් විය. එහෙත් අවශ්‍ය නම් මට තවත් වසරක් හා මාස නවයක පමණ කාලයක් ගණිත අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ හැකි ව තිබිණි.

මා සේවා දිගුව භාරගත්තේ ප්‍රධාන වශයෙන් ම නාථ දෙවියන්ගේ අවශ්‍යතාව පරිදි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට ය. එසේ සකස් කිරීම පීඨාධිපති තනතුර සමග සෘජුව බැඳී ඇත. මගේ කාර්යභාරය 2011 අගෝස්තු මස පමණ වන විට අවසන් වී තිබිණි. නාථ දෙවියන්ට ද තවදුරටත් මගේ කාර්යභාරය අවශ්‍ය නොවූ බව මට පැහැදිලි විය. එබැවිින් පසුගිය නොවැම්බරයේ නව අධ්‍යයන වර්ෂයේ ආරම්භයත් සමග ගණිත අංශයේ මහාචාර්ය ධුරයෙන් ද ඒ සමග පීඨාධිපති තනතුරෙන් ද ඉල්ලා අස්වීමේ ලිපිය අගෝස්තු මාසයේ දී උපකුලපතිතුමාට යැවීමි. ඒ ඉල්ලා අස්වීමේ ලිපිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ද පිළිගන්නා ලදී. එහෙත් ඉන් පසු විද්‍යා පීඨයේ ඇදුරන් සමහරකු මා එක් ශිෂ්‍යයකුට පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව එක් ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටීමට අවසර දී විභාග අක්‍රමිකතාවක් සිදු කළේ යැයි කියමින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න යැයි උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. උපකුලපතිතුමා ද ඒ ඉල්ලීමට විශේෂ සැලකිල්ලක් දක්වමින් පාලක සභාව රැස්වීමට පෙර පාලක සභාවේ සාමාජිකයන්ගේ කැමැත්ත අත්සන් මගින් ලබාගෙන ඔවුන්ගේ චෝදනාව පිළිබඳ විභාග කිරීමට පියවර ගත්තේ ය. (සාමාන්‍යයෙන් ආචාර්යවරයකුට විරුද්ධව චෝදනාවක් ඇති විට පාලක සභාව රැස්වී එය විභාග කළ යුතු නම් ඒ සඳහා පුද්ගලයකු පත්කිරීමට තීරණය කර ඒ තීරණය සඳහන් වාර්තාව ඊළඟ පාලක සභා රැස්වීමෙි දී සම්මත කිරීමෙන් පසුව පමණක් වාභාගය ආරම්භ වෙයි.) මට විරුද්ධව චෝදනාවක් ඇතිවිට එයට මුහුණ නොදී ඉල්ලා අස්වීම නුසුදුසු යැයි සිතූ මම ඉල්ලා අස්වීමේ ලිපිය අස්කර ගත්තෙමි. මා කලින් ද සඳහන් කර ඇති පරිදි මූලික විමර්ශනයේ දී ම මම නිදොස් වීමි. අදාළ ශිෂ්‍යයා ප්‍රමාද වී විභායට පැමිණියකු මිස පරීක්‍ෂණය අවසානයේ දී පැමිණියකු නො වේ. එපමණක් නො වේ. එකී විමර්ශනය පැවැත් වූ හිටපු මහාධිකරණ විනිශ්වයකාර තුමා තම වාර්තාවෙන් කියා ඇත්තේ මගේ සේවා කාලය දීර්ඝ කිරීම හේතුවෙන් තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියවුන් ඒ බලාපොරොත්තු කඩවීම නිසා මේ තත්වය උද්ගත වී ඇති බව ය. පසුගිය දා විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරට පත්වූයේ එවැන්නෙකි. පසුගිය මාස කිහිපය මුළුල්ලේ ම විද්‍යා පීඨයේ ප්‍රශ්න ඇතිකළේ ප්‍රධාන වශයෙන් ම ඔහු ය. ඒ පීඨාධිපති වීම අරමුණින් ය. හැකිනම් මේ කතාව වැරදි නම් මට විරුද්ධව අධිකරණය ඉදිරියට යන ලෙස මම අභියෝග කරමි. එවිට එකී වාර්තාව අධිකරණය ඔස්සේ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්කර ගැනීමට මට හැකිවනු ඇත. කෙසේ වෙතත් චෝදනාවලින් නිදහස් වූ මට විශ්වවිද්‍යාලයෙන් අස්වීමට බාධාවක් නොාතිබිණි. මා සරසවියෙන් නොව දුර්ගාගෙන් ඉවත්වූයේ් නිදොස් පුද්ගලයකු ලෙස ය. එපමණක් නොව මගේ කාර්යභාරය යම් ප්‍රමාණයකට වුව ද සාර්ථක ව නිමකළ පුද්ගලයකු ලෙස ය. ඒ මිස ආචාර්ය සංගමය වටා බැඳුණු නිවට ඇදුරන් කිහිප දෙනකුගේ බලපෑමට යට වී නො වේ. දුර්ගා එළවා සරසවිය කැඳවීමට නොහැකි වුවත් ඒ සඳහා මැකිය නොහැකි පියවර කිහිපයක් ගැනීමට හැකිවීම මගේ භාග්‍යයක් ලෙස සලකමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇදුරන්ගෙන් බහුතරයක් මට විරුද්ධ වෙති. එපමණක් නො වේ. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ම ගුරුවරු බහුතරයක් මට විරුද්ධ බව මම දනිමි. විටින් විට ලිපි ලියමින් මා බලාපොරොත්තුවන්නේ එහි ජාතික වූ පසුබිම දැක්වීමට ය. මා නැවතත් සඳහන් කරනුයේ මේ විරුද්ධත්වය පිටුපස ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ය. එය කිසිසේත් ම පෞද්ගලික වූවක් නො වේ. මෙවැනි කරුණුවලට කුමන්ත්‍රණ යැයි කියන්නෝ කරුණු හඳුනාගැනීමට නොහැකි අය පමණක් වෙති. මට ඉහත කී අයුරින් විරුද්ධත්වයක් ඇති නොවී නම් පමණක් මම පුදුමයට පත්වෙමි. මේ විරුද්ධත්වයට ප්‍රධාන හේතු කිහිපයක් ඇත. පළමුවෙන් ම බටහිර දැනුමේ ආධිපත්‍යයට ඇති මගේ තදබල විරුද්ධතාවය ය. එය දාර්ශනික පදනමක් මත කෙරෙන විරුද්ධතාවකි. 1986 දී මගේ ලෝකය පළකිරීම මගේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත් ම සන්ධිස්ථානයකි. එහෙත් එය ආරම්භය හෝ අවසානය හෝ නො වේ. මට දැනගැනීමට ලැබී ඇති ආකාරයට තම ශිෂ්‍ය අවධියේ සිට ම මා විවේචනය කිරීම ඔස්සේ පොරක් වීමට දඟලන පුහු ඇදුරකු මගේ දාර්ශනික කටයුතු මගේ ලෝකයෙන් අවසන් වී ඇති බව පවසා ඇත. එක්කෝ ඔහු දර්ශනය යනු කුමක් දැයි නො හඳුනයි. නැතහොත් ඔහු මගේ ලෝකයේ පසු මුද්‍රණවත් නොකියවූ අයකු විය යුතු ය. එසේත් නැතහොත් ඒ දෙකම විය යුතු ය. මා ඇතැම් කරුණු සම්බන්ධයෙන් මගේ ලෝකයේ දැක්වෙන දෑ සමග එකඟ නොවන බව පසු මුද්‍රණවල දක්වා ඇත. මගේ ලෝකයෙන් මගේ දාර්ශනික කටයුතු අවසන් වී නම් එවැනි වෙනස්කම් ඇතිවිය නො හැකි ය. හැරත් මගේ දාර්ශනික ලිපි දැන් අවුරුදු කිහිපයක් මුළුල්ලේ පළවන්නේ විදුසර පුවත්පතෙහි ය.

බටහිර දැනුම යනු තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් එය ඊනියා යථාර්ථයක් නොවන බවත් එය වාස්තවික වූ දැනුමක් නොවන බවත් මම නිර්භයව ම ප්‍රකාශ කරමි. දැනුම යනු සංස්කෘතියකට උඩින් වූ පද්ධතියක් නො වේ. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසකි. එය ඊනියා වාස්තවික බාහිර ලෝකයක් පිළිබඳ කෙරෙන ගවේෂණයකින් ඇතිවන්නක් නොව මනස් සහිත මිනිසුන්ගේ ම නිර්මාණ වෙයි. මිනිස්සු ද අනෙක් සත්තු ද දැනුම නිර්මාණය කරති. මිනිසුන් එසේ කරන්නේ තම පංචෙන්ද්‍රියන්ට මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව ය. එහි දී ඔවුහු චින්තනයක් මත පදනම් වෙති. චින්තනයක් යනු සුසමාදර්ශයකට වඩා පළල් වූවකි. (බොහෝ සරසවි ඇදුරෝ චින්තනය තබා සුසමාද ර්ශය යන්නවත් නො දනිති.) මිනිසුන් දන්නා ලෝකය වූ කලී ඔවුන්ගේ සංකල්ප හා ප්‍රවාදවල එකතුවකි. ඒ සංකල්පීය ලෝකය ශූන්‍ය වූවකි. මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම් යනු හුදු සම්මුති දැනුම් පමණකි. අප සියළු දෙනාම දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව හේතුකොටගෙන ය. මා සිතන ආකාරයට අවිද්‍යාව යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම නො දැනීම ය. සත්වයන්ගේ මනස්වල නිර්මාණවලින් ඔබ්බෙහි වූ ඊනියා බාහිර ලෝකයක් ගැන කතාකිරීම දෙවියන් කැඳවීමකි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ප්‍රාණීන් නැති ලෝකයක් නැත. එහි සඳහන්වන ලෝක විකාශය ඩාවින්ගේ ඊනියා පරිණාමවාදයට සම්පුර්ණයෙන් ම පටහැණි ය. ඩාවින්ගේ ප්‍රවාදය ද ඊනියා මහා පිපුරුම ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ බිහිවූවකි. එහි නිර්මාපකයකු නැති වුවත් නිර්මාණයක් වෙයි. විකාශය අකාබනිකයෙන් කාබනිකයටත්, කාබනිකයෙන් ජීවයටත් විහිදෙයි. බටහිර විද්‍යාවේ ප්‍රාණය, මනස, සිතීම ආදී සියල්ල අකාබනිකයෙහි විකාශයෙහි ප්‍රතිඵල ලෙස අවසාන විග්‍රහයෙහි දී කියැවෙයි. එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඇත්තේ වෙනත් විකාශයකි. එහි කල්පාරම්භයෙහි ම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයෝ රස පොළොවට එති. ඔවුන්ට රළු සිරුරු ලැබෙන්නේ රස පොළොව ආහාරයට ගැනීමෙනි. බෞද්ධ සාහිත්‍යයෙහි ඉගැන්වෙන ලෝක විකාශය හා බටහිර විද්‍යාවේ මහා පිපුරුම හා ඩාවින්ගේ පරිණාමය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි. එහෙත් මෙරට බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අයට කිසිම ගැටළුවකින් තොරව ඒ දෙකම පිළිගත හැකි ය. එසේ කිරීමට හැකි වී ඇත්තේ මේ බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අය එක්කෝ නොසිතන නිසා ය. නැත්නම් බටහිර දැනුමේ නිවට දාසයන් වූ නිසා ය. බොහෝ විට ඒ දෙකම නිසා ය. මම බෞද්ධයෙක්මි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ කිසිම වූ ආකාරයක දාසයෙක් නො වෙමි. මම පෘථග්ජනයකු බැවින් බෞද්ධයකු වීමේ අභිමානයෙන් ඩාවින්ගේ පරිණාමවාදයත් අයින්ස්ටයින්ගේ විශ්වවේදයේ ප්‍රතිඵලයක් වූ මහා පිපිරුමත් ප්‍රතික්‍ෂෙප කරමි. අපෙන් තොරව, මිනිසුන්ගේ මනස්වලින් තොරව ලෝකයක්, ඊනියා වාස්තවික වූ ලෝකයක් ඇති බව, මනසින් තොරව පෙන්වන ලෙස මා ඊනියා භෞතිකවාදීන්ට (ද්‍රව්‍යවාදීන්ට) අභියෝග කර බොහෝ කල් ය. ඔවුන්ට එසේ පෙන්වීමට නොහැකි බව මම දනිමි. මෙරට සිටින නිවට භෞතිකවාදීන්ට නම් ඒ ගැන සිතීමටවත් නො හැකි ය. ඊනියා වාස්තවික ලෝකය දැක ඇත්තේ කවු ද? එය කිසිම මිනිසකුගේ නිරීක්‍ෂණයක් නො වේ. එය හුදෙක් තර්කයෙන් එළඹෙන වියුක්ත නිගමනයක් පමණකි. වියුක්තය දකින්නකු වේ නම් ඒ දෙවියන් වහන්සේ විය යුතු ය. අප මනස ආධාරයෙන් නීිරී’ක්‍ෂණය කරන ලෝකය ඔස්සේ ඊනියා වාස්තවික ලෝකයක් දකින්නේ කෙසේ ද? අනෙක් අතට තර්කය යනු කුමක් ද? තර්කය යනු යම් න්‍යායක් (ලොජික්) මත පදනම් ව ඒ න්‍යාය සමග සංගත ව යම් ප්‍රස්තූතයකින් පටන්ගෙන තවත් ප්‍රස්තුතයක් කරා එළඹීමේ දී යොදා ගන්නා ක්‍රමවේදයක් පමණකි. අද ලෝකයේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ යොදා ගැනෙන්නේ ඉතාම දුප්පත් න්‍යායක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය ය. එය එකම න්‍යායවත් නිවැරදි න්‍යායවත් නොවන බව බොහෝ ඇදුරෝ නො දනිති.


Sunday, 30 October 2011

විවිධ ලෝක

න්‍යුට්‍රීනෝව පිළිබඳ එසේත් නැත්නම් න්‍යුට්‍රීනෝවෙහි වේගය පිළිබඳ සෑහීමකට පත්විය හැකි කතාවක් ගොඩනගා ගැනීමට බටහිර විද්‍යාඥයන් අසමත් වී ඇත. න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව බටහිර විද්‍යාඥයන්ට දැනගන්නට ලැබී දැනට වසර කිහිපයකි. ඔවුන් එකල ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුව ද, පසුගිය දා සිදුකළ සර්න් පරීක්‍ෂණවලින් පසුව බටහිර විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝවේ වේගය පිළිබඳ දැඩි සෑලකිල්ලක් දැක්වීමට සිදු වී ඇත. න්‍යුට්‍රීනෝවේ ස්කන්ධය පිළිබඳ ව ද තවමත් හරිහමන් කතාවක් ගොතාගැනීමට නොහැකි වී සිටින බටහිර විද්‍යාඥයන්ට දැන් තවත් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කතාවක් ගෙතීමට සිදු වී ඇත.

කලින් සඳහන්කර ඇති පරිදි දැනට බටහිර භෞතික විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝ වර්ග තුනක් දැනගැනීමට හැකි වී ඇත. ඒ වර්ග බටහිර විද්‍යාඥයන් විසින් රස (flavours) ලෙස හඳුන්වනු ලැබෙයි. මේ න්‍යුට්‍රීනෝ වර්ගීකරණය වෙනත් අංශු මත පදනම් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි පරීක්‍ෂණවලට භාජනය වී ඇත්තේ මුවෝන් (muon)නම් වර්ගයට අයත් න්‍යුට්‍රීනෝ අංශු ය. මුවෝන් ද අංශු වර්ගයක් වන අතර එහි වේගය ආලෝකයේ වේගයට අඩුවෙයි.

බටහිර විද්‍යාඥයන් න්‍යුට්‍රීනෝ ගැන කල්පනා කරන්නේ ද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි අනෙක් අංශු ගැන කල්පනා කරන ආකාරයටම ය. ඔවුන්ට අනුව ඒ අංශුවලට ආලෝකයට අඩු වේග ඇති අතර ඇතැමුන්ට අනුව න්‍යුට්‍රීනෝවලට නිශ්භූන්‍ය ස්කන්ධ ද ඇත. බටහිර විද්‍යාඥයන්ට දැන් ප්‍රශ්නය වී ඇත්තේ න්‍යුට්‍රීනෝවල වේගය ය. එයට ඇත්තේ එකම එක හේතුවකි. ඒ අයින්ස්ටයින් අංශුවලට ආලෝකයට වැඩි වේගයකින් චලනය විය නොහැකි යැයි කියා තිබීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් අයින්ස්ටයින්ට අනුව අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය නො වෙයි. එමෙන් ම ආලෝකයට වැඩි වේගයකින් අංශු අතර සංනිවේදන නො කෙරෙයි.

එහෙත් ඒ 1905 ට පසුව ය. ඉන් පසු බටහිර භෞතික විද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ එලෙස ය. ලංකාවේ ද බොහෝ බටහිර භෞතික විිද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ, එසේ්ත් නැත්නම් ලෝකය ග්‍රහණය කරන්නේ එලෙස යැයි සිතමි. එහෙත් මෙරට බටහිර භෞතික විද්‍යාඥයන් නොවන බොහෝ බටහිර විද්‍යාඥයන්ට සංනිවේදනයේ මේ සීමා පිළිබඳ අවබෝධයක් ඇතැයි නො සිතමි. එවැන්නන් වේගය සම්බන්ධයෙන් ලෝකය ග්‍රහණය කරගන්නේ නිව්ටන් ලෝකය ග්‍රහණඨ කරගත් ආකාරයටම ය.

නිව්ටන්ට අනුව සංනිවේදනයට සීමාවක්වත් අංශුවල වේගයට සීමාවක්වත් නො වී ය. අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකිය යන්න නිව්ටන්ගේ ලෝකය විසූවන්ගේ ද දැනටත් වසන්නන්ගේ ද අදහස වෙයි. එහෙත් ඉතා බහුතරයකගේ ලෝකවල මෙවැනි ප්‍රශ්නයක් ඇසෙන්නේවත් නැත. බොහෝ අයට අංශුවලට වේග සීමාවක් ඇත් ද යන ප්‍රශ්නය නැත. එවැනි ප්‍රශ්නයක් නැති අයගේ ලෝක හා ප්‍රශ්නයට විසඳුම ලෙස එවැනි සීමාවක් නැත, අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකි යැයි කියන්නන්ගේ ලෝක අතර වෙනසක් ඇති බව පැහැදිලි විය යුතු ය.

ඉතා පැහැදිලිව අංශුවල වේගය සම්බන්ධයෙන් ලෝක වැස්සන් අඩුම තරමෙන් හතර ආකාරයකින් ලෝක නිර්මාණය කරගෙන ඇත. එක් කොටසකගේ ලෝකයෙහි වේගය යන සංකල්පයවත් නැත. තවත් කොටසකගේ ලෝකවල අංශුවලට වේග ඇත, එහෙත් ඒ වේගවලට සීමාවක් ඇත් ද නැත් ද යන ප්‍රශ්නය නැත. තුන්වැනි කොටසකගේ ලෝකවල අංශුවල වේගවලට සීමාවක් නැත. ඔවුන්ගේ ලෝකවල අංශුවලට වේග සීමාවක් නොමැති බැවින් අංශු අනන්ත වේගයකින් ද චලනය විය හැකි ය. ඒ තුන්වැන්න වේගය පිළිබඳ නිව්ටන්ගේ ලෝකයයි. හතරවැනුව බටහිර භෞතික විද්‍යාඥයන්ගේ ලෝකවල සාමාන්‍ය අංශුවලට ආලෝකයේ වේගයෙන් චලනය විය නො හැකි ය. ෆෝටෝන ආලෝකයේ වේගයෙන් චලනය වෙයි.

ඇතැම්විට තවත් අයගේ අප නොදන්නා ලෝක ද තිබෙන්නට හැකි ය. කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු කෙසේ වෙතත් දෙවියෝ භූතයෝ ආදීහු ඉතා අධික වේගවලින් චලනයෙහි යෙදෙති. එමෙන් ම සිතුවිලි සංනිවේදනය ඉතා පැහැදිලිව ආලෝකයේ වේගයට වැඩියෙන් සිදුවෙයි. සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු වස්තු කිරණ (ආලෝක ධාරා) පමණක් නොව සිතුවිලි ධාරා ද වෙයි. චිත්ත ශක්තිය දියුණු කරගත් අයකුට තුසිතයේ හෝ තව්තිසාවෙහි හොා සිදුවන්නක් මේ මොහොතේ ම පොළොවේ සිට බලාගත හැකි ය.

බටහිර භෞතික විද්‍යාවේ දාසයන් එසේ නොසිතුව ද අද එම විද්‍යාව අර්බුද රැසක ගිලී ඇත. ක්වොන්ටම් භෞතිකය ගැන ජ වි පෙරමුණේ කුමාර් ඕපාත පිළේ පුබුදු ජාගොඩගෙන් ඉගෙන ගත් අය දන්නා ඉටිගෙඩියක් නැතිවුවත් ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් මැන ඇති විට එහි ප්‍රතිබද්ධ ගුණය ගැන නිශ්චිතව කිසිම දෙයක් බටහිර භෞතික විද්‍යාවට කිව නොහැකි ය. එය වරදක් ලෙස මම නො දකිමි. ඒ වරදක් ලෙස දකින්නෝ අයින්ස්ටයින් වැනි දරදඬු යථාර්ථවාදියෝ ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අද ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන පැහැදිලි අර්ථවිවරණයක් නැත. කලකට පෙර වෙනත් කළහැකි දෙයක් නොමැති බැවින් ඔවුන් සමස්තයක් ලෙස ගත්කල කෝපන්හේගන් අර්ථවිවරණය පිළිගත්ත ද තම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඔවුන්ට උරුම වී ඇති දරදඬු යථාර්ථවාදය පිළිගන්නා බටහිර භෞතික විද්‍යාඥයෝ එදා සිට ම කෝපන්හේගන් අර්ථවිවරණයෙන් ඈත්වීමට උත්සාහ කළහ. එහෙත් ඒ වෙනුවට වෙනත් අර්ථවිවරණයක් ගෙතීමට ද ඔවුහු අපොහොසත් වෙති.

බටහිර භෞතික විද්‍යාව (අනෙක් බටහිර විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස යන නොගැඹුරු විද්‍යා වෙයි) 1930 පමණ වන තෙක් ජයකෙහෙළි නැංවු බව සැබෑ ය. එහෙත් එයට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහනවවැනි සියවසේ අගභාගයේ සිට ය. බටහිර භෞතික විද්‍යාවේ එතෙක් ගවේෂණයට ලක්වූයේ පංචෙන්ද්‍රියන්ට ගෝචරවන වස්තු ය. ඒ අදාළ සංසිද්ධි ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර විය. ඇතැම් විට ඒ සංසිද්ධි තේරුම් ගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්ප ද යොදා ගැනීමට සිදු වූ නමුත් එය ඔවුන් අති විශාල බහුතටයකට එතරම් ප්‍රශ්නයක් නො වී ය. එයට හේතුව වූයේ තේරුම් ගැනීමට යොදාහත් සංකල්ප පංචෙන්ද්‍රිය ගෝචර නොවුව ද ඔවුන් නිරීක්‍ෂණය කළ දෑ පංචෙන්ද්‍රිය ගෝචර වීම ය. එලෙස පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදාගැනීම ප්‍රශ්නයක් වී නම් ඒ අර්නස්ට් මාක් වැනි කිහිප දෙනකුට පමණ ය.

ඇපල් හා පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. එය තේරුම් ගැනීමට නිව්ටන් ගොතා යොදාගත් සංකල්පය ගුරුත්වාකර්ෂණය විය. එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එසේ වුවත් එය නිව්ටන්ටවත් බටහිර භෞතික විද්‍යාඥයන්ටවත් ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යන්න සත්‍යයක් ලෙස සැලකුහ. නිව්ටන් තම චලිත සමීකරණ ඊනියා අවස්ථිති සමුදදේශ රාමුවල පමණක් වලංගු වන්නේ යැයි කීවේ ය. එහෙත් නිව්ටන්ගේ ඊනියා නිරපේක්‍ෂ අවකාශයවත් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.

ගුරුත්වාකර්ෂණය, අවස්ථිති රාමු ආදිය පංචෙන්ද්‍රිය ගෝචර නොවීම බටහිර භෞතික විද්‍යාඥයන්ගෙන් අතිමහත් බහුතරයට ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් ඇතැයි සිතුහ. ඔවුන් ඒ නොදැකීම හෝ ස්පර්ශ නොකිරීම හෝ ප්‍රශ්න නො කළහ. එවැනි දේ ප්‍රශ්න කළේ අර්නස්ට් මාක් ය. ගුරුත්වාකර්ෂණය යන්න පැහැදිලිව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. දැන් එසේ තිබිය දී ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක් ලෙස පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් පෙළඹුනේ ඇයි? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ඇතුලු මෙරට බටහිර විද්‍යාඥයන් ඇතැමකු සහ පාසල්වල විද්‍යාව උගන්වන උපාධිධාරී ගුරුවර ගුරුවරියන් සමහරකු ගුරුත්වාකර්ෂණය තමන්ට දැනෙන බව, එසේත් නැත්නම් ඒ තමන්ගේ අත්දැකීමක් බව කියන්නේ ඇයි?

එයට ප්‍රධාන හේතුව නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ ඊනියා සාර්ථකත්ව ය. අහසට විසිකරණ ගලකට සිදුවන්නේ කුමක් දැයි ගුරුත්වාකරෂණ ප්‍රවාදය ආශ්‍රයෙන් දැනගත හැකි ය. එය කොපමණ කාලයක් අහසේ තිබේ ද ආපසු පොළොවට පැමිණෙන විට එහි ප්‍රවේගය කොපමණ ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු නිව්ටෝනීය ප්‍රවාදයෙන් ඉතා පහසුවෙන් දිය හැකි ය. පාසල්වල හා විශ්වවිද්‍යාලවල අපට ලැබෙන බටහිර ගැති කසිකබල් අධ්‍යාපනය මගින් ගුරුත්වාකර්ෂණය අපට දැනෙන්නක් බවට පත්කෙරී ඇත්තේ එය ඊනියා යථාර්ථයක් බවට පත්කරවමිනි.

ඊනියා යථාර්ථය තමන්ට දැනෙන්නේ යැයි කීමට තරම් මොවුන් නොමග යැවීමට ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව පැවසීමට තරම් මෙරට විද්‍යාව උගත් සමහරුන් නොමග යැවීමට බටහිර විද්‍යාවෙන් හා බටහිර ගැති අධ්‍යාපනයෙන් විශාල රුකුලක් ලැබේ. තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද යන්න කීමට ඔවුන්ට නොහැකි වුවත් ඔවුහු එය තමන්ට දැනෙන්නේ යැයි කියති. මේ අය ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව කියන්නේ යම් වස්තුවක් උඩකින් අත්හරිනු ලැබුවහොත් එය පොළොවට වැටෙන බව දැක ඇති නිසාත් ඒ එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය බැවින් යැයි පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී ඔවුන්ගේ හැඟීම්වලට ජීර්ණකර ඇති නිසාත් ය.

මේ පිරිස අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක නැතැයි ප්‍රකාශකර ඇති බවක් නො දනිති. ඇත්තට ම මොවුන් උපාධිධාරීන් වුවත් ඔවුන්ගේ දැනුම දැර්වල ය. ඒ අයගේ දැනුම දුර්වල වී ඇත්තේ ම බටහිර අධ්‍යාපනය නිසා යැයි කිසිවකු තර්කකිරීමට ද ඉඩ ඇත. මේ දැනුම ඇතැමුනට පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ද තවත් අයට දැන් නම් ජනමා්‍යයෙන් ද ටික කලකට පෙර ජීවත් වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා වැන්නවුන්ට ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවීමෙන් ද ලැබී ඇත. අයින්ස්ටයින්ට අනුව ඇත්තේ ඊනියා අවකාශ කාලයේ වක්‍රතාව මිස ගුරුත්වාකර්ෂණයක් නො වේ. මෙයින් අදහස් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණයක් නැති බව හා අවකාශ කාල වක්‍රතාවක් ඇති බව නො වේ. මෙහි නිව්ටන්ට විරුද්ධව අයින්ස්ටයින්ට පක්‍ෂපාතිත්වයක් දැකිය හැක්කේ කිසිම විචාර බුද්ධියක් නොමැති උපාධිධාරී ගුරුවර ගුරුවරියනට හා වෙනත් එවැන්නන්ට ය. නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද වැරදි ය. ඔවුන් දෙදෙනාම කියා ඇත්තේ කතන්දර ය. එක් කතන්දරයක ගුරුත්වාකර්ෂණය වෙයි. අනෙක් කතන්දරයේ අවකාශ කාල වක්‍රතාව වෙයි. මේවා සංසිද්ධියක් (ප්‍රපංචයක්) පැහැදිලි කිරීම සඳහා ගොතන ලද බොරු කතන්දර පමණ ය. මෙරට බොහෝ දෙනා නොදැන සිටිය ද නිව්ටන් බොර වී දැන් අවුරුදු අනූහයක් පමණ වෙයි. න්‍යුට්‍රීනෝ මගින් අයින්ස්ටයින් ද බොරු වීම ඇරඹී ඇත.

Saturday, 17 September 2011

ආලෝකයේ වේගයට වැඩි වේගවලින් කෙරෙන සංනිවේදනය

අයින්ස්ටයින් විශේෂ සාපේක්‍ෂතාවාදය නිර්මාණය කළේ ය. ඔහු එහි දී කාලය හා අවකාශය යන සංකල්ප එකතු කළේ ය. ඉන්පසු කාලය හා අවකාශය වෙන වෙන ම ගැනීම ඔහුට අනුව වරදක් විය. එපමණක් නොව විශේෂ සාපේක්‍ෂතාවාදයේ කියැවෙන කරුණු අනුව අංශුවකට ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය විය නො හැකි ය. එහෙත් ෆෝටනයක්, අවශ්‍ය නම් ආලෝක තරංග පොදියක්, ආලෝකයේ වේගයෙන් චලනය වෙයි. අයින්ස්ටයින්ට අනුව අපට සංනිවේදනය කළ හැක්කේ උපරිම ව ගතහොත් ආලෝකයේ වේගයෙනි. ඒ ෆෝටෝන යොදාගෙන ය. වෙනත් අංශු යොදගෙන සංනිවේදනයෙහි යෙදෙන්නේ නම් ඒ අංශුවලට චලනය විය හැක්කේ ආලෝකයට අඩු ප්‍රවේගයකින් බැවින් සංනිවේදනයෙහි වේගය ද එයට අඩුවෙයි.

ශබිදයේ වේගය ද ආලෝකයේ වේගයට අඩුවන්නේ ශබිද තරංග යැවීමේ දී ද අප යොදාගන්නේ සාමාන්‍ය අංශු බැවිනි. එහෙත් ප්‍රශ්නය වනුයේ අලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කිරීමට අපට නො හැකි ද යන්න ය. පැටළුණු ක්වොන්ටම් අංශු (entangled quantum particles) එකිනෙක සමග අනන්ත වේගයකින් සංනිවේදනය කරන බව බෝර් කීවේ ය. ඔහුට එසේ කීමට සිදුවූයේ එසේ පැටළුණු අංශුවක යම් ගුණයක් මැන්නවිට අනෙක් අංශුවට ද ඒ ක්‍ෂණයෙහි ම ඒ ගුණයට අගයක් ලැබෙන බව ඔහුට උපකල්පනය කිරීමට සිදු වූ බැවිනි.

අප මෙය කලින් යම් ප්‍රමාණයකට විස්තර කර තිබුණ ද බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය (සංස්කරණය) කෙරෙන ආකාරය තේරුම් ගැනීමට ඒ උපකාරී වන බැවින් තරමක විස්තරයක් කළ යුතු යැයි සිතමි. ක්වොන්ටම් භෞතිකයෙහි කෝපන්හේගන් විවරණයට අනුව අංශුවක යම් ගුණයක අගය එය මැනීමට පෙර කිව නො හැකි ය. නිව්ටෝනීය අංශුවක් සම්බන්ධයෙන් වුව ද ඒ එසේ නොවන්නේ දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. බසයක වේගය මැනීමට පෙර බසයෙහි වේගය කුමක් දැයි කිව නොහැකි බව මෙහි දී පෙන්වා දෙනු ඇත.

එහෙත් බසයෙහි වේගය මැනීමට පෙර ද බසයට වේගයක් ඇත. බසය යම්කිසි වේගයකින් ගමන්කරන බව අපි දනිමු. අප මැනීමෙන් කරන්නේ ඒ වේගය කුමක් දැයි දැනගැනීම පමණකි. බසය එක්වර වේග කිහිපයකින් ගමන්කරන බවත් මැනීමෙන් පසුව බසය ඉන් එක් අගයක් පමණක් ගන්නා බවත් යම් කිසිවකු කීවොත් අපි එය විශ්වාස නො කරමු. එක්වර වේග රාශියකින් ධාවනය වන බසයක් ගැන අපි නො දනිමු. එහෙත් බෝර්ට හා කෝපන්හේගන් විවරණයට අනුව ක්වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ නම් එහි වේගය කුමක් දැයි අපි නො දනිමු. අපට කිව හැක්කේ අංශුවේ වේගය මැන්නොත් එයට අහවල් අගය ලැබීමට අහවල් සම්භාවිතාවක් ඇති බව ය.

උදාහරණයක් ලෙස විසිකරන ලද දාදු කැටයක් අවසානයේ දී කිනම් පැත්තක් උඩට සිටින ලෙස පෙරළේ දැයි අපට කිව නො හැකි ය. එවැනි අවස්ථාවක දී අපට කිව හැක්කේ දාදුව ඕනෑම පැත්තකට පෙරළිමට හයෙන් එකක සම්භාවිතාවක් තිබෙන බව පමණ ය. එහෙත් දාදුව අවසානයේ දී බිමට වැටීමෙන් පසු (එහි අගය මැනීමෙන් පසු) එයට නිශ්චිත අගයක් ලැබෙයි. දාදුව බිමට වැටීමට පෙර ඒ කුමන පැත්තකට හැරී තිබුණේ ද යන ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයෙන් ලැබෙන පිළිතුර නම් එයට අගයක් ඇති බවක් කිව නොහැකි ය යන්න යැයි සිතමු. අප එසේ සිතන්නේ ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් මැනීමට පෙර ඒ අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් අගයක් ඇතැයි කීමට නොහැකි යැයි කෝපන්හේගන් විවරණයෙන් කියැවෙන නිසා ය.

කෝපන්හේගන් විවරණයෙන් එවැනි පිළිතුරු ලැබෙන්නේ බෝර් ආදීන් ඉන්ද්‍රියානුභූතවාදීන් (positivists) වු බැවිනි. ඉන්ද්‍රිය ගෝචර නොවන දෑ ඇතැයි කීමට ඉන්ද්‍රියානුභූතවාදියෝ මැළිවූහ. එහෙත් දැන් දැන් බටහිර භෞතික විද්‍යාඥයෝ එවැනි අංශුවලට එක්විට ඒ ගුණයට අදාළ සියළුම අගය ගතහැකි බව විශ්වාස කරති. එසේ කීමේ දී ඔවුන්ට ඇරිස්ටෝටලීය න්‍යායට (logic) විරුද්ධව යෑමට සිදුවන බව ඔවුහු දනිති. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් ඔවුන්ට අද එසේ කිරීමට සිදු වී ඇත. ඇරිස්ටෝටලීය න්‍යායට අනුව අංශුවකට එක් ගුණයක් සම්බන්ධයෙන් එක්විට එක් අගයකට වඩා තිබිය නො හැකි ය. එහෙත් චතුස්කෝටික න්‍යායෙහි එවැනි බාධාවක් නොමැති බව අවධාරණය කළ යුතු ය.

පැටළුණු අංශු සම්බන්ධයෙන් කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක් මතු කළේ අයින්ස්ටයින් ය. යථාර්ථවාදය දැඩිව විශ්වාස කළ අයින්ස්ටයින් කෝපන්හේගන් විවරණය ප්‍රතික්‍ෂෙප කළේ ආධානග්‍රාහීව ය. ඔහුට අනුව ක්වොන්ටම් අංශුවලට ද මනින්නට පෙර යම් ගුණයකට නිශ්චිත අගයක් තිබිය යුතු විය. ඔහු දැඩිව ඒ මතයෙහි එල්බගෙන සිටියේ ය. දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි ඔහු කීවේ සම්භාවිතාවන් ගැන විශ්වාසයක් නොතබමිනි. ඔහු එසේ නිශ්චිත අගයක් තිබෙන බවට තර්ක කිරීම සඳහා පැටළුණු අංශු යොදා ගත්තේ ය. ඔහු කියා සිටියේ පැටළුණු අංශු ආරම්භයේ දී යම්කිසි ගුණයක් සම්බන්ධයෙන් අංශුවල අගයන්ගේ එකතුව ශුන්‍ය වන්නේ නම් එක් අංශුවක එම ගුණය මැන්න විට අනෙක් අංශුව ඒ අදාළ අගයට විරුද්ධ අගය ගත යුතු බව ය. අයින්ස්ටයින්ට අනුව එයින් කියැවෙන්නේ පළමු අංශුවේ ගුණයක් මැන්න කළ දෙවැනි අංශුවේ අදාළ ගුණය මැනීමට පෙර ම එම අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගයක් ඇති බව ය. එහෙත් අයින්ස්ටයින් කියා සිටියේ දෙවැනි අංශුවට එලෙස අගයක් ගැනීමට පළමු අංශුවෙහි අදාළ ගුණය මැනීමෙන් පසුව පළමුවැන්නේ සිට දෙවැන්නට ක්‍ෂණිකව සංනිවේදනයක් විය යුතු බව ය. එහෙත් සාපේක්‍ෂතාවාදයට අනුව එලෙස ක්‍ෂණික සංනිවේදනයකට ඉඩ නැති බව ද එවැනි සංනිවේදන (අන්තර් ක්‍රියා) ඇත්නම් ඒ අද්භූත ක්‍රියා (spooky action) විය යුතු යැයි ද ඔහු කියා සිටියේ ය. ඔහු කෙටියෙන් කියා සිටියේ කොාපන්හේගන් විවරණය අසම්පුර්ණ බව ය.

බෝර්ගේ පිළිතුර වූයේ පැටළුණු අංශු දෙක සමස්තයක් ලෙස මිස අංශු දෙකක් ලෙස නොගත යුතු බව ය. එමගින් බෝර් ක්‍ෂණික සංනිවේදනය පිළිබඳ ප්‍රශ්නය මග හැරියේ ය. කෙසේ වෙතත් පසුව ඇස්පෙ විසින් කරන ලද පරීක්‍ෂණවලින් පෙනී ගියේ අංශු අතර යම් සංනිවේදනයක් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බව ය. එහෙත් එයින් අංශු අතර ක්‍ෂණිකව සංනිවේදනයක් සිදුවන බවක් (අංශු දෙක සමස්තයක් ලෙස ගතහැකි බවක්) නො කියැවෙයි. ඇතැම් විට අංශු අතර ආලෝකයට වැඩි වේගයකින් සංනිවේදනයක් සිදුවන නමුත් ක්‍ෂණික සංනිවේදනයක් සිදු නොවනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් පැටළුණු අංශු නිව්ටෝනීය (අයින්ස්ටයිනීය) අංශු මෙන් ක්‍රියා නොකරන බව පැහැදිලි ය. එහෙත් අයින්ස්ටයින් යථාර්ථවාදයේ හා තම ප්‍රවාදවල ආධානග්‍රාහීව එල්බ ගනිමින් පැටළුණු අංශු ද, සාධාරණ වශයෙන් ගත්කල ක්වොන්ටම් අංශු ද, සම්භාව්‍ය අංශු මෙන් ඊනියා යථාර්ථවාදයට හා ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ වෙමින් හැසිරිය යුතු යැයි විශ්වාස කළේ ය.

මේ පිළිබඳ බටහිර භෞතික විද්‍යාවට මෙයට වැඩි යමක් කිවහැකි නො වේ. එයට අනුව අඩුතරමෙන් ඊනියා ස්ථානීය යථාර්ථවාදය (local reality) ප්‍රතික්‍ෂෙප වී ඇත. එහෙත් මෙරට ඊනියා යථාර්ථවාදීන්ට මේ පිළිබඳ හාන්කවිසියක්වත් නැත. තමන්ට නොවැටහෙන ක්වොන්ටම් භෞතියක් ගැන ලියූ ජනතා විමුක්ති පෙරමුණේ කසිකබල් පූබුදු ජාගොඩ නමැත්තෙක් තමාගේ නොදැනුම පමණක් ලොවට හෙළි කළේ ය. බටහිර භෞතික විද්‍යාව අද සංසන්දනය කළ හැක්කේ ගලේ මළ පහකළ බළලකුට ය. පැටළුණු අංශු සමස්තයක් ලෙස ක්‍රියා කරන්නේ ද එසේ ක්‍රියා කළත් සමස්තබව නැතිවන්නේ කෙසේ ද එවැනි අංශු අතර සංනිවේදනය යනුවෙන් හැඳින්විය හැකි ක්‍රියාවලියක් සිදුවන්නේ ද ආදී ප්‍රශ්නවලට බටහිර භෞතික විද්‍යාවට පිළිතුරු නොමැත.

බටහිර භෞතික විද්‍යාවට අවශ්‍ය වූයේ මුළු විශ්වයට ම බලපාන ප්‍රවාද සොයාගැනීමට ය. සියළු අංශු එක් අයුරකින් ක්‍රියා කළ යුතු යැයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කළහ. එය ආධානග්‍රාහී විශ්වාසයක් විය. ඒ පිටුපස ඇත්තේ යථාර්ථවාදයක් කෙරෙහි වූ ආධානග්‍රාහි විශ්වාසයයි. ඇරිස්ටෝටලීය න්‍යාය කෙරෙහි ද බටහිරයන්ට වූයේ ආධානග්‍රාහී විශ්වාසයකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ගැන කතාකරන්නවුන් අපට කියන දෙයක් නම් බටහිර විද්‍යාව ආධානග්‍රාහී නොවන බව ය. ඔවුන් කියන්නේ ප්‍රවාද දිගින් දිගට ම වෙනස්වන බව ය. එහෙත් බටහිර විද්‍යාවට පදනම් වූ යථාර්ථය ආදිය වෙනස් කිරීමට ඔවුන් සූදානම් නැත. කෝපන්හේගන් විවරණය යථාර්ථවාදයට පිටුපා ඉන්ද්‍රිනුභූතවාදයක් පසුපස ගිය ද අද බටහිර භෞතික විද්‍යාඥයෝ කෙසේ නමුත් නැවතත් යථාර්ථයට පිවිසීමට උත්සාහ කරති. කෝපන්හේගන් විවරණය ඔවුන් අතින් විවේචනයට ලක්වන්නේ එබැවිනි. ඉන්ද්‍රියගෝචර සංසිද්ධි පිටුපස ඇති ඊනියා යථාර්ථයක් මතුකර ගැනීමට ඔවුහු උත්සාහ දරති.

ඔවුන්ට අද ඇරිස්ටෝටලීය න්‍යායට පිටුපෑමට සිදු වී ඇති නමුත් ඒ තාවකාලික යැයි මම සිතමි. ඇරිස්ටෝටලීය න්‍යායෙහි පදනමෙහි ඇත්තේ ම ද්‍රව්‍යවල පැවැත්ම ය. ද්‍රව්‍ය චලනය වෙයි. එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට මාරු වෙයි. එහෙත් ද්‍රව්‍ය, ද්‍රව්‍ය ලෙස ගත්කල වෙනස් නොවන්නේ යැයි බටහිරයෝ විශ්වාස කරති. මතුපිටින් පෙනෙන වෙනස ඉක්මවා යන වෙනස් නොවන ද්‍රව්‍යභාවයක් තිබෙන්නේ යැයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ ආත්මවාදය මිස අනෙකක් නො වේ. බටහිරයෝ ආධානග්‍රාහීව ආත්මවාදයක එල්ලී සිටිති.

ඊනියා යථාර්ථයක් ක්‍ෂණයකට වුව ද ගැනීම ආත්මවාදී වෙයි. ක්‍ෂණයක් යන්න ද පඤ්ඤත්තියක් වනුයේ කාලය පඤ්ඤත්තියක් බැවිනි. ක්‍ෂණය යන්න එලෙස පණවන ලද්දක් වූ කල ඊනියා යථාර්ථයක් ක්‍ෂණයකට වුවත් පැවතීම යන්න අර්ථශූන්‍ය ප්‍රකාශයකි. අප ආත්මවාදයට විරුද්ධවන්නේ ආධානග්‍රාහීව නොවන බව මෙහිලා සඳහන් කළ යුතු ය. එසේ විරුද්ධවන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් හා අවශ්‍ය අවස්ථාවල අනුමානයෙනි (inference). මේ බුදුන්වහන්සේ අනුදැන වදාළ ක්‍රමය වෙයි. මෙහි දී ප්‍රත්‍යක්‍ෂය යන්න හුදු පංචෙන්ද්‍රියන්ට ගෝචරවන සංසිද්ධි පමණක් නොවන බව ද අමතක නොකළ යුතු ය.

පංචෙන්ද්‍රියන්ට අමතරව මනස ද ඉන්ද්‍රියක් ලෙස බෞද්ධයෝ සළකති. මනස ප්‍රධාන ඉන්ද්‍රිය වෙයි. එහෙත් බටහිරයෝ ඒ ප්‍රධාන ඉන්ද්‍රිය නො සළකති. බෞද්ධයන්ට අනුව මනස පමණක් වුවත් ක්‍රියාත්මක විය හැකි අතර අනෙක් ඉන්ද්‍රියන්ට ක්‍රියාත්මක වීමට නම් මනස ද අවශ්‍ය වෙයි. මනස නොමැතිව අනෙක් ඉන්ද්‍රියන්ට තනි තනි ව ක්‍රියාත්මක විය හැකි නො වේ. බටහිරයන්ගේ චින්තනයෙහි වූ දුර්වලකම හේතුකොටගෙන ඔවුහු මනසට පමණක් පෙනෙන දෙවියන් මායාවක් යැයි ගනිමින් මනසටවත්, අනෙක් ඉන්ද්‍රිය ඇතිව මනසටවත්, නොපෙනෙන ගුරුත්වාකර්ෂණයක් ඊනියා යථාර්ථය ලෙස සළකති.


Saturday, 2 July 2011

ආසනික් හා සුදු කපුටෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ යනුවෙන් ආරමිභවන ගීතයක් ඇත. මේ ගීතයෙහි පදමාලාව රචනය කළ තැනැත්තා යුරෝපීය හෝ වෙනත් බටහිර වසන්තයක් හා ඇපල් මල් දැක ඇතැයි සිතමු. එසේ නම් ඔහුට ඇපල් මල ගැන ඇත්තේ සංයුක්ත සංකල්පයක් පමණක් නො වේ. ඔහුට එය ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් වෙයි. ඒ සංකල්පය ඔහුගේ පංචෙන්ද්‍රියන්ට ගොාචර වී ඇත. ඔහුට ඒ ඇපල් මල නැත්නම් ඇපල් මල් ලංකාවේ දී වුව ද සිතෙන් මවාගත හැකි වෙයි. මා මෙය ලියන අතර මට අවශ්‍ය නම් රුවන්වැලි සෑය සිතෙන් මවාගත හැකිවාක් මෙන් ඇපල් මලක් දැක ඇති අයකුට ඒ අමතක වී නැත්නම් ඇපල් මලක් ඕනෑම අවස්ථාවක සිතෙන් මවාගත හැකි වෙයි. එසේම ගී පද රචකයාට වසන්තය පිළිබඳ සෑජු පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ද ඇතැයි සිතිය හැකි ය.

එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. කාලයක් ඇවෑමෙන් ඇපල් මල පිළිබඳ මතකය දුරස්වත්ම සිතෙන් මවාගත හැකි ඇපල් මල ද වෙනස් වෙයි. එහි හැඩය, වර්ණය ආදිය කල්යෑමේ දී සිතෙහි වෙනස් වෙයි. වසන්තය ගැන ඇති හැඟීම් වුව ද කල්ගතවත් ම වෙනස්වෙයි. නැවත නැවතත් යුරෝපයට හෝ වෙනත් ප්‍රදේශයකට හෝ ගොස් තම මතකය අලුත්වැඩියා නොකරගන්නකුට ඒ අදාළ අත්දැකීම් පිළිබඳ මතකය ක්‍රමයෙන් ඈත්වෙයි. මෙය ගීතයෙහි පද රචකයාට පමණක් නොව ඕනෑම අයකුට සිදුවිය හැකි ක්‍රියාවලියකි.

එයින් කියැවෙන්නේ ඇපල් මල් අවුරුදු පතා නොදකින, කාලයකින් ඒ නොදුටු අයකුගේ ඇපල් මල පිළිබඳ සිතෙහි මැවෙන සංකල්පය කාලයත් සමග වෙනස්විය හැකි බව ය. වසන්තය සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. දැන් මේ ගීතය රසවිඳින කිසිදා ඇපල් මලක් නොදුටු අයකු ගනිමු. ඔහු ඇපල් මලක් ලෙස සිතෙහි මවා ගන්නේ කුමක් ද? ඔහු ඡායාරූපයක ඇපල් මලක් (මල්) දැක ඇත්නම් ඒ අනුසාරයෙන් ඇපල් මලක් සිතෙහි මවාගනු ඇත. ඒ ඇපල් මල ගීත රචකයාගේ ඇපල් මලෙන් වෙනස්වන බව අමුතුවෙන් කිවයුතු නො වේ.

ගීතය රස විඳින්නා ඡායාරූපයකින්වත් ඇපල් මලක් දැක නැත්නම් ඔහු ඇපල් මලක් සිතෙන් මවාගන්නේ කෙසේ ද? ගීතයෙහි ඇපල් මල යොදාගෙන ඇත්තේ රූමත් යැයි කිවහැකි කතක් ගැන කීමට බැවින් ඇපල් මල ලස්සන යැයි ගීය රස විිඳින්නා පළමුව සිතනු ඇත. ඉන්පසු ඔහු තමා දැක ඇති ලස්සන මල් ඇසුරෙන් ඇපල් මලක් සිතෙහි නිර්මාණය කරගනු ඇත. එවැන්නකුගේ ඇපල් මල පිළිබඳ සංකල්පය ගී පද රචකයාගේ ඇපල් මල සමග සමපාත වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය.

එපමණක් නො වේ. ඇපල් මල් දුටු අය සියල්ලන් ම එකම ආකාරයේ ඇපල් මල් පිළිබඳ සංකල්ප ඇතිකරගන්නේ යැයි නොසිතිය යුතු ය. ඇපල් මල දුටු දිනයේ සිතෙහි වූ හැඟීම්, ප්‍රීතියෙන් සිටියේ ද, කණගාටුවෙන් සිටියේ ද ආදිය හා තවත් බොහෝ කරුණු ඒ සංකල්පය ඇතිකර ගැනීමේ දී බලපායි. අප සියළු දෙනා ම දකින්නේ එකම පොල්මලක් යැයි නොසිතිය යුතු ය. අප එකිනෙකාගේ පොල්මල් වුව ද එකිනෙකාට සාපේක්‍ෂ වෙයි. අපට බොහෝ විට සමාන ඉන්ද්‍රිය පද්ධති තිබුණ ද මනස සමග එකතුවී සංස්කරණය කෙරෙන සංකල්ප සම්බන්ධයෙන් අප සෑම අතින් ම එකඟවන්නේ යැයි නොසිතිය යුතු ය. එසේ සිතන්නට අප පුරුදු වී ඇත්තේ බටහිර ආත්මවාදීන්ගේ දැඩි පීඩනය හේතුවෙනි. අඩුම තරමෙන් සිංහල සංස්කෘතියේ අප දකින පොල්මල හා ඉංගිරිසිකාරයකු ලංකාවේ දකින පොල්මල අතර වෙනසක් ඇති බව වටහාගත යුතු ය.

සංකල්පවල සාපේක්‍ෂභාවය ගැන සාකචිඡාකරන අතර ඊනියා වාස්තවික මිනුම්වල සාපේක්‍ෂතාව ගැන කෙටි සටහනකට මේ අවස්ථාව යොදාගනු කැමැත්තෙමි. අද ලංකාවේ සිටින බොහෝ විද්‍යාඥයන් යැයි කියන කරුණක් නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණයක යෙදෙන කණ්ඩායම පලිබෝධ නාශකවල, රජරට ඊනියා පානීය ජලයෙහි හා රජරට නිපදවන සහල් වැනි ද්‍රව්‍යවල ආසනික් ඇති බවට කරන ප්‍රකාශ සාවද්‍ය බව ය. ඔවුන්ට අනුව ඒ සහල්වල ආසනික් නැත. එමෙන් ම පලිබෝධ නාශක දෙකක හැර අනෙක් බොහෝමයක ද ආසනික් නැත. ඔවුන් කියනානේ තවත් පලිබෝධ නාශක නියැදි කිහිපයක් පමණක් පරීක්‍ෂාවට ලක්කළ යුතු ව ඇති බව ය. ඊනියා පානීය ජලයෙහි හෙවත් බොන වතුරෙහි ආසනික් ඇත් ද නැත් ද යන්න පිළිබඳ ව මේ විද්‍යාඥයන්ගෙන් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කෙරී නැත. එසේ නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්ඩායම ඇතැමුන් කියන්නාක් මෙන් රටට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ ද?

මේ ප්‍රකාශ කරන ඇතැමුන් තමන් හඳුන්වාගන්නේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයන් ලෙස ය. ඒ එසේ විය හැකි ය. එහෙත් කිසිම විෂයක් ඊනියා විශේෂඥයන්ගේ පමණක් බූදලයක් නො වේ. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට බොහෝ දේ තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. අනෙක් අතට කාබනික රසායන විද්‍යාව දන්නා මහාචාර්යවරුන්ට දෙවැනි වසරේ ශිෂ්‍යයන්ට උගන්වන ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව අවබෝධකර ගැනීමට නොහැකි නම් විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වෙන රසායන විද්‍යාවෙහි විශාල අඩුපාඩුවක් තිබිය යුතු ය.

පලිබෝධනාශකවල ආසනික් නැතැයි කියන අය තම මතය ප්‍රකාභ කරන්නේ කාර්මික හා තාක්‍ෂණික ආයතනයේ කරන ලද පරීක්‍ෂණ පමණක් උපයෝගී කරගනිමිනි. එය ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට එකඟ දැයි දැනගනු කැමැත්තෙමි. එක ආයතනයක පමණක් කරන ලද පරීක්‍ෂණ මත පදනම් වී සාධාරණ (general-පොදු යන අරුතින්) නිගමනවලට එළඹෙන්නේ කෙසේ ද?

ආසනික් සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල දී යොදා ගැනෙන්නේ සාමාන්‍යයෙන් සම්මත රසායන විද්‍යා පොත්පත්වල හා පර්යේෂණ සඟරාවල ඇති ක්‍රම ය. මේ ක්‍රම අනුව කාර්මික හා තාක්‍ෂණික ආයතනයෙහි කරන ලද පරීක්‍ෂණවලදී පලිබෝධනාශකවල ආසනික් හඳුනාගන්නට නොහැකි වන්නට ඇත. එසේත් නැතහොත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඇතැම් නියැදිවල ඇති බව පෙනී යන්නට ඇත. එහෙත් එපමණකින් ඔවුන් පලිබෝධනාශකවල ආසනික් නැතැයි යන නිගමනයට පැමිණෙන්නේ කෙසේ ද?

ඔවුන්ට කිවහැක්කේ තමන් විසින් යොදාගන්නා ලද ක්‍රමයට අනුව තමන් විසින් පරීක්‍ෂණයට ලක්කරන ලද නියැදිවල ආසනික් නැති බව පමණ ය. එය සාධාරණ නිගමනයක් විය නොහැකි ය. එහෙත් යමකු යම් පරීක්‍ෂණයකින් පලිබෝධනාශක නියැදියක ආසනික් ඇති බව දැනගතහොත් එයින් කියැවෙන්නේ අඩුම තරමෙන් එක් පලිබෝධනාශකයක ආසනික් ඇති බව හා අනෙක් පලිබෝධනාශකවල ද ආසනික් තිබේදැයි දැනගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම යෝග්‍ය බව ය.

තමන්ගේ පරීක්‍ෂණාගාරයෙහි තමන් දන්නා ක්‍රමයකට පලිබෝධනාශකවල ආසනික් තිබේදැයි පරික්‍ෂාකර ඒ පරීක්‍ෂණවලට ආසනික් හසුනොවූ කල පලිබෝධනාශකවල ආසනික් නැතැයි නිගමනය කරන ඊනියා විද්‍යාඥයන්ට සාමාන්‍ය ව්‍යවහාර ඥානයවත් ඇත් ද යන සැකය මතුවෙයි. කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පලිබෝධනාශකවල මෙන් ම රජරට ලිං හා වැව්වල ජලයෙහි ද, සහල්වල හා වෙනත් ද්‍රව්‍යයන්ගේ ද ආසනික් ඇත්දැයි සොයා බැලීමේ දී සම්මත ක්‍රමය ඇතැම් සංශෝධනයන්ට ලක්කර ඇත. අප කණ්ඩායමට ඒ ඒ නියැදිවල ආසනික් ඇති බව පෙනී ගොස් ඇත්තේ එසේ සංශෝධිත ක්‍රම මගින් නියැදි පරීක්‍ෂාකිරීමෙහි දී ය.

ඒ සංශෝධිත ක්‍රම කවරේදැයි අප කණ්ඩායමේ විද්‍යාඥයෝ රටට දැනුම් දීමට සූදනමින් සිටිති. එහෙත් එක් ආයතනයකින් හැරෙන්නට අනෙක් ආයතනවලින් ඒ පිළිබඳ ව ලැබී ඇත්තේ නිෂේධාත්මක ප්‍රතිචාර ය. අපේ කණ්ඩායමේ සංශෝධිත ක්‍රම අනුව පරීක්‍ෂා කළ ආයතනයේ විද්‍යාඥයන්ට අදාළ නියැදිවල ආසනික් හඳුනාගැනීමට හැකි වී ඇත. රජයේ ම ආයතනයක් වූ ඒ ආයතනයෙහි ද නිරීක්‍ෂණ රජයේ ඇතැම් නිලධාරීන් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත.

රජයේ නිලධාරීන් කුමක් කීව ද කුමක් කළ ද, මේ සියල්ලෙන් පැහැදිලිවන කරුණක් වෙයි. එනම් යොදාගන්නා ක්‍රම වෙනස්වන විට ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවෙහි ද (Analytical Chemistry) ප්‍රතිඵල වෙනස්වන බව ය. ප්‍රතිඵලය ඉතා පැහැදිලි ව යොදාගන්නා ක්‍රමය මත වෙනස්වන විට වාස්තවිකත්වයක් ඇත්තේ කොහේ ද? යොදාගන්නා ක්‍රමය සංශෝධනය කළ විට, අවශ්‍ය නම් වර්ධනය කළ විට, එතෙක් නොපෙනී තිබූ ආසනික් පෙනෙන්නට ගන්නේ නම් අපට කළ හැක්කේ සෑම විට ම මේ මේ අවශ්‍යතා යටතේ මේ මේ ප්‍රතිඵල ලැබෙන බවත් මේ මේ නිගමනවලට එළඹිය හැකි බවත් ප්‍රකාශකිරීම පමණකි.

එහෙත් මෙයින් යම් ක්‍රමයක් යොදාගැනීමෙන් ආසනික් ඇති බව පෙනී යෑමෙන් පසු ඒ ක්‍රමය තවත් වර්ධනය කිරීමෙන් ආසනික් නැති බව පෙන්වාදීමට ඉඩක් ඇතැයි යන්න ගම්‍ය නො වේ. එක් ක්‍රමයක් යොදාගැනීමෙන් ආසනික් ඇති බව පෙනී ගියහොත් ඉන් කියැවෙන්නේ අදාළ නියැදියෙහි ආසනික් කිනම් ආකාරයකින් වුව අඩංගු බව ය. එහෙත් එසේ ආසනික් අඩංගු වේ ය යන්න ද ඊනියා යථාර්ථයක් නො වේ. ඒ නිගමන සියල්ල අවසාන වශයෙන් අපේ පංචේන්ද්‍රිය, මනස හා සංස්කෘතිය මත පදනම් වෙයි. සංස්කෘතියෙන් මනසෙන් පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වූ දැනුමක් ඇති බව ඒ කිසිවකින් තොරව පෙන්වා දිය හැකි නො වේ.

ආසනික් ඇතැම් කණ්ඩායමක යොදාගන්නා ක්‍රමයට හසු නොවූ පමණින් ඒ නැතැයි කීම එක් අතකින් සුදු කපුටන් නැතැයි කීමට සමාන ය. සුදු කපුටකු නොදැකීම හේතුවෙන් සුදු කපුටන් නැතැයි නදගමනය කළ හැකි නො වේ. සුදු කපුටන් සිටිය ද, අප ඔවුන් නිරීක්‍ෂණය කර නොමැති නම් අපට සාපේක්‍ෂව සුදු කපුටන් නැතැයි කිවහැකි ය. එහෙත් එපමණින් කිසිවකුට සුදු කපුටන් නැතැයි යන සාධාරණ නිගමනයට පැමිණිය හැකි නො වේ. මේ කරුණුවලින් අප යොමු කෙරෙන්නේ ඊනියා වාස්තවික යථාර්ථයක් නැතැයි යන තැනට මිස වාස්තවික යථාර්ථයක් ඇතැයි යන තැනට නො වේ. වාස්තවික යථාර්ථයක් ඇතැයි යන්න මනසෙන් තොරව වාස්තවික ව පෙන්වාදිය හැකි සමතකු නැත. සංකල්ප අවසාන වශයෙන් මනසෙහි නිර්මාණය වෙයි.


විඥානවාදී භෞතිකවාදියෝ

බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ විද්වතා ඒ ඒ නිරීක්‍ෂකයාට නිරීක්‍ෂණය කළ හැකි ඊනියා පෞද්ගලික පරීක්‍ෂණ ක්‍රමය ඉදිරිපත් කෙළේ යැයි කීව ද ඔහු කර ඇත්තේ චිත්ත පරීක්‍ෂණ ඉදිරිපත් කිරීම බව අපි සඳහන් කළෙමු. බටහිර විිද්‍යාවේ දාර්ශනිකයන් කෙසේ කීව ද නිරීක්‍ෂණ මත පදනම් වී නිගමනවලට එළඹී තිබුණේ ඇරිස්ටෝටලීය පද්ධතියෙහි ය. අපේ එදිනෙදා නිරීක්‍ෂණය පිහාටුවට වඩා ඉක්මණින් පොල් ගෙඩිය බිමට වැටෙන ව ය. එවැනි නිරීක්‍ෂණ මත පදනම් වී සාධාරණීකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස බරින් වැඩි වස්තුව බරින් අඩු වස්තුවට වඩා ඉක්මණින් පොළොවට වැටෙන බව ඇරිස්ටෝටලීය පද්ධතියෙහි සඳහන් වී තිබිණි.

එසේ නම් ගැලීලියෝ විද්වතා කර ඇත්තේ එදිනෙදා සාමාන්‍ය නිරීක්‍ෂණයට පිටින් යෑමකි. ඔහුට පෙන්වීමට වුවමනා වූයේ රික්තයක වස්තු එකම ත්වරණයකින් පහතට වැටෙන බව ය. එහෙත් ඔහු ඒ බව කිසි දිනෙක නො පෙන්වී ය. ඒ වෙනුවට වියුක්ත රික්තයක වස්තු වැටීම පිළිබඳව ඔහු කරුණු ඒත්තු ගැන්වී ය. ඉන්පසු බටහිර භෞතික විද්‍යාවේ එසේ එක් එක් පුද්ගලයාට ඇතිවන අත්දැකීම්, එසේත් නැතහොත් ඒ ඒ පුද්ගලයාගේ නිරීක්‍ෂණ සියළු පුද්ගලයන්ට එක ම ආකාරයෙන් වේ යැයි උපකල්පනය කරමින් සාධාරණ ව (in general) නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන කරුණු ගැන සඳහන් කෙරිණි.

ඉන්පසුව එසේ සියළුම නිරීක්‍ෂකයන්ට එකලෙස නිරීක්‍ෂණය වන්නේ නම් නිරීක්‍ෂකයන් නැතිව වුව ද ඒ සංසිද්ධි ඇතිවන්නේ ය යන්න උපකල්පනය කෙරිණි. උදාහරණයක් ලෙස ගතහොත් සියළු නිරීක්‍ෂකයනට සාපේක්‍ෂ ව වස්තු ඒකාකාර ත්වරණයකින් පොළොවට වැටෙන්නේ නම් නිරීික්‍ෂකයන් නැතිව වුව ද වස්තු ඒකාකර ව පොළොවට වැටෙන්නේ ය යන්න උපකල්පනය කෙරී එය ඊනියා සත්‍යයක් බවට පත්විණි. ඒ සමග වාස්තවික යථාර්ථය (objective reality) බටහිර විද්‍යාවට, මුල දී බටහිර භෞතික විද්‍යාවට, එකතුවිණි. 

නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ලෝකයේ විවිධ සංසිද්ධි ඇතිවන බවත් ඒ සංසිද්ධි ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වූ නියම අනුව සිදුවන බවත් නිව්ටෝනීය චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමයෙහි පසුබිමෙහි විය. විවිධ වස්තු නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ඒකාකාර ත්වරණයකින් පොළොවට ඇද වැටීම ගැලීලියෝ විද්වතාගේ නිරීක්‍ෂණවලින් සාධාරණය (generalize) කෙරුණකි. වස්තු එසේ ඇද වැටෙන්නේ විශ්වයේ සියළු අංශු එකිනෙක එක්තරා නියමයකට අනුව ආකර්ක්‍ෂණය වීම නිසා යැයි නිවිටන් විද්වතා තම චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් පෙන්නුම් කළේ ය.

චලිත නියම මෙන් ම ගුරුත්වාකර්ෂණ නියමය ද පසුව බටහිර විද්‍යාවට එකතු වූ විවිධ නියමවල පුරෝගාමී කාර්යය ඉටු කළේ ය. එයින් කියැවුණේ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු (අංශු) එකම ආකාරයකින් (යම් ගණිත ප්‍රකාශනයකට යටත් ව) ආකර්ක්‍ෂණය කරන බවත් වස්තු බාහිර බල යටතේ එකම ආකාරයෙන් යම් ත්වරණයකින් චලනය වන බවත් ය. නිවිටන් ගැලීලියෝ ආදීන් ඇතත් නැතත් වස්තු එසේ චලනය වන බව උපකල්පනය කෙරිණි.නිව්ටෝනීය නියමයට අනුව එක් අංශුවක් අනෙක් වස්තු විසින් ආකර්ෂණය කෙරෙයි. නීිරීක්‍ෂකයන් නැතිවත් කෙරෙන ආකර්ෂණය බටහිර භෞතික විිද්‍යාවට අනුව වාස්තවික නියමයක ප්‍රතිඵලයක් වෙයි.

සියළු වස්තු (අංශු) සඳහා එසේ නියම ඉදිරිපත් කෙරුණේ සාධාරණවය. එහෙත් විශ්වයේ ඇති සියළු අංශු සඳහා එවැනි පරීක්‍ෂණ නිරීක්‍ෂණ කළ අයකු නැත. මෙහි දී සිදුවන්නේ අංශු කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ හා ඊනියා නියම සාධාරණීකරණයට ලක්කිරීම ය. ඒ සාධාරණයට ලක්කිරීමට ඒ ඒ වස්තු එකිනෙක නිරී’ක්‍ෂණය කළ යුතු නො වෙි. අංශු කිහිපයක් නිරීක්‍ෂණය කිරීම ප්‍රමාණවත් වෙයි. මේ සාධාරනීකරණය අභ්‍යුහනය (induction) නමින් ද හැඳින්විය හැකි ය. අභ්‍රුහනයෙන් ලබාගන්නේ නිරපේක්‍ෂ සාධාරණත්වයකි. එක් අංශුවක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ ඒ ඒ නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වෙයි. ඒ නිරපේක්‍ෂත්වය ය.

අනෙක් අතට බටහිර භෞතික විද්‍යාවට අනුව සියළු වස්තු එකම ආකාරයෙන් චලනය වෙයි. එහි දී වස්තුව පොල් ගෙඩියක් වුවත් යකඩ බෝලයක් වුවත් එකම ගුරුත්වාකර්ෂණ නියමයට යටත්වෙයි. එමෙන් ම එකම චලිත නියම යටතේ චලනය වෙයි. නිරීක්‍ෂකයා කවුරුන් වුවත් නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු ඊනියා වාස්තවික නියමවලට යටත් වෙයි. මෙය බටහිර විද්‍යාවේ දක්නට ලැබෙන ඊනියා විශ්වීය (universal) නියමයකි. පොල් ගෙඩි දෙල් ගෙඩි පමණක් නොව සූර්යයා හා ග්‍රහවස්තු ද මන්දාකිණි ද මේ නියමයට යටත්වන්නේ යැයි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙයි.

මේ කිසිවක් ඊනියා පර්යේෂණවල හෝ නිරීක්‍ෂණවල හෝ ප්‍රතිඵල නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. බටහිර භෞතික විද්‍යාව ඇතුළු බටහිර විද්‍යා ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් ගැන අවධාරණය කළ ද ඊනියා වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය එවැනි පර්යේෂණාත්මක ක්‍රමවලින් ලබාගත හැක්කක් නො වේ. කිසිවකුට විශ්වයේ (ලෝකයේ) සිටින සියළු නිරීක්‍ෂකයන් අරභයා ඒ සියල්ලන් ම එකම ආකාරයෙන් ඒ ඒ සංසිිද්ධි නිරීක්‍ෂණය කරන්නේ දැයි නීරීක්‍ෂණයෙන් හෝ පර්යේෂණයෙන් හෝ දැනගත හැකි නො වේ. එසේ දැනගත්තත් කලින් සිටි නිරීක්‍ෂකයන් හා ඉපදීමට සිටින නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් එසේ කරන්නේ කෙසේ ද? එමෙන් ම කලින් පැවති වස්තු හා අනාගතයේ දී ඇතිවන වස්තු සම්බන්ධයෙන් එවැනි පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ කරන්නේ කෙසේ ද?

වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය හුදු උපකල්පන පමණක් වෙයි. ඊනියා අභ්‍යුහනය එහි දී යොදා ගැනෙන විධික්‍රමය යැයි කියනු ලැබෙයි. අභ්‍යුහනය නම් ගාම්භීර නමකින් හැඳින්වුව ද, එයින් කියැවෙන්නේ වස්තු කිහිපයකට නිරීක්‍ෂකයන් කිහිප දෙනකුට ගැලපෙන යම් යම් ලක්‍ෂණ මුළු මහත් විශ්වයට ම ගැලපෙන බව ය. මෙය ගණිත අභ්‍යුහනයෙන් (Mathematical Induction) ලබාගත හැකි වූවක් ද නො වේ. අනෙක් අතට ගණිත අභ්‍යහනය පියානෝගේ ස්වසිද්්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) මත පදනම් වෙයි. මේ ස්වසිද්ධි ගණිතයේ අනෙක් ස්වසිද්ධි මෙන් ම ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයකින් ලබාගත් ප්‍රතිඵල නො වේ. ඒවා හුදෙක් වියුක්ත උපකල්පන පමණක් වෙයි. මුළු මහත් ගණිතය ම පදනම් වන්නේ එවැනි ස්වසිද්ධි හා ඇරිස්ටෝටලීය න්‍යාය (logic) මත ය. හැකිනම් නිරපේක්‍ෂත්වය, වාස්තවිකත්වය හුදු පරීක්‍ෂණයෙන් හෝ නිරීක්‍ෂණයෙන් හෝ සම්පරීක්‍ෂණයෙන් හෝ පෙන්වන මෙන් අභියෝග කරමි.

වියුක්ත චින්තනය බටහිර විිද්‍යාවට නැතිව ම බැරි ය. වියුක්තය ඊනියා පුද්ගල බද්ධ පරීක්‍ෂණාත්මක ක්‍රමයට පටහැණි වෙයි. වියුක්ත චින්තනයෙහි දී පංචෙන්ද්‍රිය ගෝචර ලක්‍ෂණ බැහැර කෙරෙයි. ගැලීලියෝ විද්වතාට පීසා නුවර ඇලවෙන කුලුන වටා රික්තයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නො වී ය. ඔහු කීවේ රික්තයක් සිතෙන් මවා ගැනීමට ය. ඔහුගේ ඊනියා පරීක්‍ෂණයේ පංචෙන්ද්‍රියන්ට ගෝචර රික්තයක් නො වී ය. එහෙත් රික්තයක් නොමැතිව වස්තු වැටීම පිළිබඳ පරීක්‍ෂණයක් ද නො වී ය.

අනෙක් අතට වස්තුව යනු කුමක් ද? වස්තුව යන්න ම වියුක්ත සංකල්පයකි. වියුක්ත සංකල්ප පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. ගැලීලියෝ විද්වතාට අවශ්‍ය වූයේ යකඩ බෝල අතහැරිය ද, ඇපල් ගෙඩි අතහැරිය ද, අශ්වයන් දෙදෙනකු අතහැරිය ද, ඒ සෑම අවස්ථාවක දී ම ඒ සියල්ල එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීම ය. එසේ එක ම ත්වරණයකින් ඇද වැටීමේ ගුණය ඒ ඒ ද්‍රව්‍ය මත රඳා නොපවතින බව ද ඔහුගේ කෙසේ වෙතත් පසුව පැමිණි බටහිර භෞතික විද්‍යාඥයන්ගේ අදහස (උපකල්පනය) විය. ඇපල් ගෙඩියේ වර්ණය හෝ යකඩ බෝලයේ තදබව හෝ වෙනත් ගුණයක් හෝ අත්හරිනු ලැබූ ගෙඩියේ හෝ බෝලයේ හෝ ත්වරණය තීරණය කිරීමේ දී වැදගත් නො වේ. එබැවින් අපට පැහැයක් නැති ඇපල් ගෙඩියක් පමණක් නොව අහවල් ගෙඩිය යැයි කිව නොහැකි ගෙඩියක් හෝ කකුල් ඇති නැති ඕනෑම සතකු හෝ වෙනත් දෙයක් හෝ මෙහි දී යොදාගත හැකි ය.

වස්තුවක් යනු අතිශයින් ම වියුක්ත සංකල්පයකි. එය කිසිසේත් ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එපමණක් නොව එය සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. කලින් අපේ ප්‍රවාදවල සඳහන් කර ඇති ආකාරයට අපට දෙල් ගෙඩියක් හෝ කෙසෙල් ගෙඩියක් හෝ සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක් සිතෙන් මවාගත නො හැකි ය. එය සරල රේඛාවක් වැනි සිතෙන් මවාගත නොහැකි වූවකි. ගෙඩිය, ගස, සිවුපාවා ආදිය සිතෙන් මවාගත නොහැකි සංකල්ප වෙයි. වස්තුව යන්න ඒ සියල්ලටත් වඩා වියුක්ත වූ සංකල්පයකි. එයට හේතුව ගෙඩිය, ගස, සිවුපාවා ආදී මේ ඕනෑම සංකල්පයක් වස්තුවක් විය හැකි බැවිනි.

බටහිර භෞතික විද්‍යාව පමණක් නොව මුළු මහත් බටහිර දැනුම් පද්ධතිය ම ඊනියා වාස්තවිකත්වය මත රඳා පවතියි. එහෙත් වාස්තවිකත්වය යන්න පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවනවා පමණක් නොව සිතෙන් ද මවාගත නොහැකි සංකල්පයකි. එයින් අදහස් කෙරෙන්නේ ඒ පිළිබඳ කිසිවක් සිතෙහි පහළ නොවන බව නො වේ. වාස්තවිකත්වය යනු සිතෙහි ඇතිවන සංකල්පයකි. එය පංචෙන්ද්‍රියන්ගෙන් සංජානනය කළ නොහැකි සංකල්පයකි. එපමණක් නොව එහි රූපයක්, ගඳක් සුවඳක්, හැඩයක්, රසයක්, ශබිදයක්, තදබවක්, මොළොක්බවක් ගැන සිතෙහි මවාගත නො හැකි ය. එය යුදෙව්වන්ගේ වියුක්ත යෙහෝවා දෙවියන් වහන්සේ මෙනි. ඒ දෙවියන් වහන්සේගේ පිළිමයක්වත් ඇඹීම යුදෙව් ආගමේ තහනම් කෙරී ඇත. 

බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමුඛ බටහිර විද්‍යාවේ පමණක් නොව ඊනියා භෞතිකවාදී හෙවත් ද්‍රව්‍යවාදී (materialistic) දර්ශනවල ද පදනමේ ඇත්තේ ඊනියා වාස්තවිකත්වය වැනි කිසිසේත් ම භෞතිකවාදී නොවන මතිමතාන්තර ය. වස්තුව යන්න සිතෙහි ඇති සංකල්පයක් පමණක් වන විට වාස්තවිකත්වයක් ගැන මැත දොඩවන භෞතිකවාදීන් ගැන අප කළයුත්තේ කුමක් ද? තම පඬි බවෙන් උදම් වී භෞතිකවාදී පඬි කතා කියන පඬියන්ට අනුකම්පා කිරීම හැර කළ යුතු අන් දෙයක් ඇතැයි නො සිතමි. භෞතිකවාදී පඬියන්ට අනුව නම් භෞතිකවාදී නොවන සංකල්ප ගැන කතාකරන්නෝ විඥානවාදියෝ ය. එසේත් නැත්නම් පාර භෞතිකවාදියෝ ය. ඒ අරුතින් ගත්කල  ඊනියා වාස්තවිකත්වයක් ගැන කතාකරන භෞතිකවාදයෝ ද  විඥානවාදියෝ වෙති.