න්‍යුට්‍රීනෝව පිළිබඳ එසේත් නැත්නම් න්‍යුට්‍රීනෝවෙහි වේගය පිළිබඳ සෑහීමකට පත්විය හැකි කතාවක් ගොඩනගා ගැනීමට බටහිර විද්‍යාඥයන් අසමත් වී ඇත. න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව බටහිර විද්‍යාඥයන්ට දැනගන්නට ලැබී දැනට වසර කිහිපයකි. ඔවුන් එකල ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුව ද, පසුගිය දා සිදුකළ සර්න් පරීක්‍ෂණවලින් පසුව බටහිර විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝවේ වේගය පිළිබඳ දැඩි සෑලකිල්ලක් දැක්වීමට සිදු වී ඇත. න්‍යුට්‍රීනෝවේ ස්කන්ධය පිළිබඳ ව ද තවමත් හරිහමන් කතාවක් ගොතාගැනීමට නොහැකි වී සිටින බටහිර විද්‍යාඥයන්ට දැන් තවත් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කතාවක් ගෙතීමට සිදු වී ඇත.
කලින් සඳහන්කර ඇති පරිදි දැනට බටහිර භෞතික විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝ වර්ග තුනක් දැනගැනීමට හැකි වී ඇත. ඒ වර්ග බටහිර විද්‍යාඥයන් විසින් රස (flavours) ලෙස හඳුන්වනු ලැබෙයි. මේ න්‍යුට්‍රීනෝ වර්ගීකරණය වෙනත් අංශු මත පදනම් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි පරීක්‍ෂණවලට භාජනය වී ඇත්තේ මුවෝන් (muon)නම් වර්ගයට අයත් න්‍යුට්‍රීනෝ අංශු ය. මුවෝන් ද අංශු වර්ගයක් වන අතර එහි වේගය ආලෝකයේ වේගයට අඩුවෙයි.
බටහිර විද්‍යාඥයන් න්‍යුට්‍රීනෝ ගැන කල්පනා කරන්නේ ද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි අනෙක් අංශු ගැන කල්පනා කරන ආකාරයටම ය. ඔවුන්ට අනුව ඒ අංශුවලට ආලෝකයට අඩු වේග ඇති අතර ඇතැමුන්ට අනුව න්‍යුට්‍රීනෝවලට නිශ්භූන්‍ය ස්කන්ධ ද ඇත. බටහිර විද්‍යාඥයන්ට දැන් ප්‍රශ්නය වී ඇත්තේ න්‍යුට්‍රීනෝවල වේගය ය. එයට ඇත්තේ එකම එක හේතුවකි. ඒ අයින්ස්ටයින් අංශුවලට ආලෝකයට වැඩි වේගයකින් චලනය විය නොහැකි යැයි කියා තිබීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් අයින්ස්ටයින්ට අනුව අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය නො වෙයි. එමෙන් ම ආලෝකයට වැඩි වේගයකින් අංශු අතර සංනිවේදන නො කෙරෙයි.
එහෙත් ඒ 1905 ට පසුව ය. ඉන් පසු බටහිර භෞතික විද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ එලෙස ය. ලංකාවේ ද බොහෝ බටහිර භෞතික විිද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ, එසේ්ත් නැත්නම් ලෝකය ග්‍රහණය කරන්නේ එලෙස යැයි සිතමි. එහෙත් මෙරට බටහිර භෞතික විද්‍යාඥයන් නොවන බොහෝ බටහිර විද්‍යාඥයන්ට සංනිවේදනයේ මේ සීමා පිළිබඳ අවබෝධයක් ඇතැයි නො සිතමි. එවැන්නන් වේගය සම්බන්ධයෙන් ලෝකය ග්‍රහණය කරගන්නේ නිව්ටන් ලෝකය ග්‍රහණඨ කරගත් ආකාරයටම ය.
නිව්ටන්ට අනුව සංනිවේදනයට සීමාවක්වත් අංශුවල වේගයට සීමාවක්වත් නො වී ය. අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකිය යන්න නිව්ටන්ගේ ලෝකය විසූවන්ගේ ද දැනටත් වසන්නන්ගේ ද අදහස වෙයි. එහෙත් ඉතා බහුතරයකගේ ලෝකවල මෙවැනි ප්‍රශ්නයක් ඇසෙන්නේවත් නැත. බොහෝ අයට අංශුවලට වේග සීමාවක් ඇත් ද යන ප්‍රශ්නය නැත. එවැනි ප්‍රශ්නයක් නැති අයගේ ලෝක හා ප්‍රශ්නයට විසඳුම ලෙස එවැනි සීමාවක් නැත, අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකි යැයි කියන්නන්ගේ ලෝක අතර වෙනසක් ඇති බව පැහැදිලි විය යුතු ය.
ඉතා පැහැදිලිව අංශුවල වේගය සම්බන්ධයෙන් ලෝක වැස්සන් අඩුම තරමෙන් හතර ආකාරයකින් ලෝක නිර්මාණය කරගෙන ඇත. එක් කොටසකගේ ලෝකයෙහි වේගය යන සංකල්පයවත් නැත. තවත් කොටසකගේ ලෝකවල අංශුවලට වේග ඇත, එහෙත් ඒ වේගවලට සීමාවක් ඇත් ද නැත් ද යන ප්‍රශ්නය නැත. තුන්වැනි කොටසකගේ ලෝකවල අංශුවල වේගවලට සීමාවක් නැත. ඔවුන්ගේ ලෝකවල අංශුවලට වේග සීමාවක් නොමැති බැවින් අංශු අනන්ත වේගයකින් ද චලනය විය හැකි ය. ඒ තුන්වැන්න වේගය පිළිබඳ නිව්ටන්ගේ ලෝකයයි. හතරවැනුව බටහිර භෞතික විද්‍යාඥයන්ගේ ලෝකවල සාමාන්‍ය අංශුවලට ආලෝකයේ වේගයෙන් චලනය විය නො හැකි ය. ෆෝටෝන ආලෝකයේ වේගයෙන් චලනය වෙයි.
ඇතැම්විට තවත් අයගේ අප නොදන්නා ලෝක ද තිබෙන්නට හැකි ය. කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු කෙසේ වෙතත් දෙවියෝ භූතයෝ ආදීහු ඉතා අධික වේගවලින් චලනයෙහි යෙදෙති. එමෙන් ම සිතුවිලි සංනිවේදනය ඉතා පැහැදිලිව ආලෝකයේ වේගයට වැඩියෙන් සිදුවෙයි. සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු වස්තු කිරණ (ආලෝක ධාරා) පමණක් නොව සිතුවිලි ධාරා ද වෙයි. චිත්ත ශක්තිය දියුණු කරගත් අයකුට තුසිතයේ හෝ තව්තිසාවෙහි හොා සිදුවන්නක් මේ මොහොතේ ම පොළොවේ සිට බලාගත හැකි ය.
බටහිර භෞතික විද්‍යාවේ දාසයන් එසේ නොසිතුව ද අද එම විද්‍යාව අර්බුද රැසක ගිලී ඇත. ක්වොන්ටම් භෞතිකය ගැන ජ වි පෙරමුණේ කුමාර් ඕපාත පිළේ පුබුදු ජාගොඩගෙන් ඉගෙන ගත් අය දන්නා ඉටිගෙඩියක් නැතිවුවත් ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් මැන ඇති විට එහි ප්‍රතිබද්ධ ගුණය ගැන නිශ්චිතව කිසිම දෙයක් බටහිර භෞතික විද්‍යාවට කිව නොහැකි ය. එය වරදක් ලෙස මම නො දකිමි. ඒ වරදක් ලෙස දකින්නෝ අයින්ස්ටයින් වැනි දරදඬු යථාර්ථවාදියෝ ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අද ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන පැහැදිලි අර්ථවිවරණයක් නැත. කලකට පෙර වෙනත් කළහැකි දෙයක් නොමැති බැවින් ඔවුන් සමස්තයක් ලෙස ගත්කල කෝපන්හේගන් අර්ථවිවරණය පිළිගත්ත ද තම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඔවුන්ට උරුම වී ඇති දරදඬු යථාර්ථවාදය පිළිගන්නා බටහිර භෞතික විද්‍යාඥයෝ එදා සිට ම කෝපන්හේගන් අර්ථවිවරණයෙන් ඈත්වීමට උත්සාහ කළහ. එහෙත් ඒ වෙනුවට වෙනත් අර්ථවිවරණයක් ගෙතීමට ද ඔවුහු අපොහොසත් වෙති.
බටහිර භෞතික විද්‍යාව (අනෙක් බටහිර විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස යන නොගැඹුරු විද්‍යා වෙයි) 1930 පමණ වන තෙක් ජයකෙහෙළි නැංවු බව සැබෑ ය. එහෙත් එයට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහනවවැනි සියවසේ අගභාගයේ සිට ය. බටහිර භෞතික විද්‍යාවේ එතෙක් ගවේෂණයට ලක්වූයේ පංචෙන්ද්‍රියන්ට ගෝචරවන වස්තු ය. ඒ අදාළ සංසිද්ධි ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර විය. ඇතැම් විට ඒ සංසිද්ධි තේරුම් ගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්ප ද යොදා ගැනීමට සිදු වූ නමුත් එය ඔවුන් අති විශාල බහුතටයකට එතරම් ප්‍රශ්නයක් නො වී ය. එයට හේතුව වූයේ තේරුම් ගැනීමට යොදාහත් සංකල්ප පංචෙන්ද්‍රිය ගෝචර නොවුව ද ඔවුන් නිරීක්‍ෂණය කළ දෑ පංචෙන්ද්‍රිය ගෝචර වීම ය. එලෙස පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදාගැනීම ප්‍රශ්නයක් වී නම් ඒ අර්නස්ට් මාක් වැනි කිහිප දෙනකුට පමණ ය.
ඇපල් හා පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. එය තේරුම් ගැනීමට නිව්ටන් ගොතා යොදාගත් සංකල්පය ගුරුත්වාකර්ෂණය විය. එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එසේ වුවත් එය නිව්ටන්ටවත් බටහිර භෞතික විද්‍යාඥයන්ටවත් ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යන්න සත්‍යයක් ලෙස සැලකුහ. නිව්ටන් තම චලිත සමීකරණ ඊනියා අවස්ථිති සමුදදේශ රාමුවල පමණක් වලංගු වන්නේ යැයි කීවේ ය. එහෙත් නිව්ටන්ගේ ඊනියා නිරපේක්‍ෂ අවකාශයවත් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.
ගුරුත්වාකර්ෂණය, අවස්ථිති රාමු ආදිය පංචෙන්ද්‍රිය ගෝචර නොවීම බටහිර භෞතික විද්‍යාඥයන්ගෙන් අතිමහත් බහුතරයට ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් ඇතැයි සිතුහ. ඔවුන් ඒ නොදැකීම හෝ ස්පර්ශ නොකිරීම හෝ ප්‍රශ්න නො කළහ. එවැනි දේ ප්‍රශ්න කළේ අර්නස්ට් මාක් ය. ගුරුත්වාකර්ෂණය යන්න පැහැදිලිව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. දැන් එසේ තිබිය දී ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක් ලෙස පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් පෙළඹුනේ ඇයි? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ඇතුලු මෙරට බටහිර විද්‍යාඥයන් ඇතැමකු සහ පාසල්වල විද්‍යාව උගන්වන උපාධිධාරී ගුරුවර ගුරුවරියන් සමහරකු ගුරුත්වාකර්ෂණය තමන්ට දැනෙන බව, එසේත් නැත්නම් ඒ තමන්ගේ අත්දැකීමක් බව කියන්නේ ඇයි?
එයට ප්‍රධාන හේතුව නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ ඊනියා සාර්ථකත්ව ය. අහසට විසිකරණ ගලකට සිදුවන්නේ කුමක් දැයි ගුරුත්වාකරෂණ ප්‍රවාදය ආශ්‍රයෙන් දැනගත හැකි ය. එය කොපමණ කාලයක් අහසේ තිබේ ද ආපසු පොළොවට පැමිණෙන විට එහි ප්‍රවේගය කොපමණ ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු නිව්ටෝනීය ප්‍රවාදයෙන් ඉතා පහසුවෙන් දිය හැකි ය. පාසල්වල හා විශ්වවිද්‍යාලවල අපට ලැබෙන බටහිර ගැති කසිකබල් අධ්‍යාපනය මගින් ගුරුත්වාකර්ෂණය අපට දැනෙන්නක් බවට පත්කෙරී ඇත්තේ එය ඊනියා යථාර්ථයක් බවට පත්කරවමිනි.
ඊනියා යථාර්ථය තමන්ට දැනෙන්නේ යැයි කීමට තරම් මොවුන් නොමග යැවීමට ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව පැවසීමට තරම් මෙරට විද්‍යාව උගත් සමහරුන් නොමග යැවීමට බටහිර විද්‍යාවෙන් හා බටහිර ගැති අධ්‍යාපනයෙන් විශාල රුකුලක් ලැබේ. තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද යන්න කීමට ඔවුන්ට නොහැකි වුවත් ඔවුහු එය තමන්ට දැනෙන්නේ යැයි කියති. මේ අය ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව කියන්නේ යම් වස්තුවක් උඩකින් අත්හරිනු ලැබුවහොත් එය පොළොවට වැටෙන බව දැක ඇති නිසාත් ඒ එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය බැවින් යැයි පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී ඔවුන්ගේ හැඟීම්වලට ජීර්ණකර ඇති නිසාත් ය.
මේ පිරිස අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක නැතැයි ප්‍රකාශකර ඇති බවක් නො දනිති. ඇත්තට ම මොවුන් උපාධිධාරීන් වුවත් ඔවුන්ගේ දැනුම දැර්වල ය. ඒ අයගේ දැනුම දුර්වල වී ඇත්තේ ම බටහිර අධ්‍යාපනය නිසා යැයි කිසිවකු තර්කකිරීමට ද ඉඩ ඇත. මේ දැනුම ඇතැමුනට පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ද තවත් අයට දැන් නම් ජනමා්‍යයෙන් ද ටික කලකට පෙර ජීවත් වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා වැන්නවුන්ට ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවීමෙන් ද ලැබී ඇත. අයින්ස්ටයින්ට අනුව ඇත්තේ ඊනියා අවකාශ කාලයේ වක්‍රතාව මිස ගුරුත්වාකර්ෂණයක් නො වේ. මෙයින් අදහස් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණයක් නැති බව හා අවකාශ කාල වක්‍රතාවක් ඇති බව නො වේ. මෙහි නිව්ටන්ට විරුද්ධව අයින්ස්ටයින්ට පක්‍ෂපාතිත්වයක් දැකිය හැක්කේ කිසිම විචාර බුද්ධියක් නොමැති උපාධිධාරී ගුරුවර ගුරුවරියනට හා වෙනත් එවැන්නන්ට ය. නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද වැරදි ය. ඔවුන් දෙදෙනාම කියා ඇත්තේ කතන්දර ය. එක් කතන්දරයක ගුරුත්වාකර්ෂණය වෙයි. අනෙක් කතන්දරයේ අවකාශ කාල වක්‍රතාව වෙයි. මේවා සංසිද්ධියක් (ප්‍රපංචයක්) පැහැදිලි කිරීම සඳහා ගොතන ලද බොරු කතන්දර පමණ ය. මෙරට බොහෝ දෙනා නොදැන සිටිය ද නිව්ටන් බොර වී දැන් අවුරුදු අනූහයක් පමණ වෙයි. න්‍යුට්‍රීනෝ මගින් අයින්ස්ටයින් ද බොරු වීම ඇරඹී ඇත.