Main Logo

Showing posts with label බෞද්ධ. Show all posts
Showing posts with label බෞද්ධ. Show all posts

Saturday, 27 April 2013

ආපසු හැරී ඉදිරියට යමු!

කුඩා කාලයේ අපි සිතාගෙන සිටියේ හෘදයාබාද හැදෙන්නේ පොහොසත් උදවියට පමණක් යැයි කියාය. මන්ද එකල හෘදයාබාද රෝගීන් ගම්වලවත් ගමින් කොළඹට පැමිණ සිටි මගේ දෙමව්පියන් වැනි අය අතරවත් කලාතුරකින්වත් දකින්නට නොසිටි බැවිනි. නමුත් රැකියාව සඳහා කොළඹ පදිංචියට පැමිණ වසර හතලිහකට පමණ පසුව ත්‍රස්තවාදීන්ටවත් මරා දමන්ට බැරිවූ අපේ අම්මා රෝගාතුරව හිඳ මිය ඇදුනේ හෘදයාබාදයකිනි. කොළඹ ජීවිතය ඇගේ ගැමි සිරුරටත් ගැමි මනසටත් ඔරොත්තු නොදුනි. කෙසේමුත් ඇගේ පිහිටෙන් ඒ වනවිට අපි ඊනියා දියුණුවක් ලබා සිටියෙමු. අවසානයේ ඇගේ මාරයා වුනේ ඒ දියුණූව බව මම දැන් දනිමි. මගේ මවට ජීවත්වන්නට ලැබුනේ අවුරුදු හැට දෙකක් පමණක් මුත් උපන් ගමෙහිම වෙසෙමින් බණ භාවනා කරමින් ගොවිතැනින් දිවි ගෙවූ ඇගේ මවට, එනම් අපේ මිත්තණියට, අවුරුදු අසූ ගණනක් නිරෝගීව ආයු වළඳන්නට වාසනාව තිබිනි. මෙසේ තිබියදී අපි ඉගෙන ගන්නේ ගැමි ජීවිතය නොදියුනු යැයි සැලකීමටය. ජාතියක් වශයෙන් අපි කෙතරම් වැරදි දිසාවකට ගමන් කර ඇත්ද යන්න ඉන් පැහැදිලි විය යුතුය.

නගර අවට ජීවත්වන වැඩිහිටි කී දෙනෙක් අද දියවැඩියාව, හෘදයාබාද හා පිළිකා වැනි මාරාන්තික රෝග වලට ගොදුරුවී සිටිත්ද? ඉන් මිය ගොස් සිටිත්ද? අද රෝහල් පිරී ඉතිරී ගොස් තිබෙන්නේ මෙවැනි රෝගීන්ගෙන් නොවේද? මේ ව්‍යාදීන් අපේ සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් හා තදින් බැඳී ඇති බැවින් ඇත්තෙන්ම ඒවා හැඳින්විය යුත්තේ සමාජ රෝග ලෙස. මීට වසර තිහ හතලිහකට ඉහතදී මේ සමාජ රෝග මෙතරම් ව්‍යප්තව නොතිබිනි. එ පමණක් නොවේ එකල රටේ සිදුවුනු අපරාධද ගණනින් පමණක් නොව දාමරික බවින්ද මෙතරම් දරුණු නොවිනි. පරිසරයද අද තරමටම විනාශවී නොතිබිනි. මේ සියලු ව්‍යසනයන් සිදුවී ඇත්තේ වසර තිහක් හතලිහක් පමණවෙන ඉතා කෙටි කාලයක් තුල දීය. මේ දෑ අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරවූ සිදුවීම් නොවේ. පරිසර විනාශයද, සමාජ රෝග පැතිරීමද අපරාධ බහුලවීමද එකිනෙකින් වෙන් කල නොහැකි මිනිස්-පරිසර පද්ධතියක වෙන් කල නොහැකි සමාජ-ආර්ථික ක්‍රියා කාරකම් තුලින් බිහිවෙන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණ විසඳීමට නම් අපි අනිවාර්යයෙන්ම මේ සිද්ධීන් අතර ඇති පොදු බව හඳුනාගත යුතුය.

සමස්ථයක් ලෙස සැලකුවිට මේ සියලු ව්‍යසනයන්ට මූලික හේතුව අපි කෙළවරක් හෝ සංවරයක් හෝ නැතිව සිත කය පිනවීම අරභයා ලබන්නට තනන ඊනියා දියුණුව බව අවබෝධ කර ගැනීමට බෞද්ධයින්ට අපහසු නැත. පොළවේ පය ගසාගෙන සිටින වැඩිහිටි බොහෝ දෙනෙකු ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දනිති. නමුත් අපි මේ හොඳින් දන්නවා යැයි සිතන දේ විදග්ධ දැනුමක් ලෙස අපේ සිංහල බෞද්ධ සමාජයවත් පිළිගන්නේ නැත. එසේ නොපිළිගන්නේ ඒ බව පාසලේදීවත් විශ්ව විද්‍යාලයේදීවත් ඉගැන්වෙන්නේ නැති නිසාය.

කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට නොහැකි බව හා එසේ පිනවීමට යාමෙන් දුකක් මිස සැපක් නොලැබෙන බව බෞද්ධයින් දන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. සාමාන්‍ය සිංහල බෞද්ධයින් පවා අවබෝධ කරගෙන ඇති ඒ ගැඹුරු විදග්ධ දැනුම බටහිරුන්ට නැති බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ බව මම ඒ සමාජයේ ජීවත්වීම තුලින් දනිමි. බටහිරුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන් යමක් දැන ගන්නට ශක්තියක් නැත. යම් හෙයකින් ඔවුන් ඒ ගැන දැන ගෙන සිටියා නම් ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුයැයි අපට අද පාසලේදීත් විශ්ව විද්‍යාලයේදීත් ඉගැන්වෙනවාට කිසිම සැකයක් නැත. බටහිරුන් ඉන්ද්‍රීයන් පිනවීම අරභයා කෙරෙන ඊනියා සංවර්ධණයක් කරා හඹා යන්නේ ඔවුන්ට එහි නිෂ්ඵලබව නොවැටහෙන නිසාය. ඔවුන්ගේ ගමනෙහි ව්‍යාජත්වයක් නැත. නමුත් ඒ බව දැන දැනත් ඔවුන් පසු පස යන අපේ ගමනේ ව්‍යාජත්වයක් ඇත. අවාසනාවකට අපි ඉන් පැන නඟින ප්‍රශ්ණ විසඳන්නට බලන්නේත් ඔවුන් පසු පස යමිනි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම වැනි ප්‍රශ්න බටහිරුන් විසින් විසඳන්නට උත්සාහ කරන්නේ ඉන්ද්‍රීය පිනවීමත් එලෙසම පවත්වාගෙන යමිනි. එනම් ඒ සඳහා ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කරමිනි. ඔවුන් දැනුම ගොඩනඟන්නේ කොටස් වලට කඩා ගෙන නිසා පරිසර විනාශය පිළිබඳ ප්‍රශ්ණ පරිසර විද්‍යාඥයෝත් සමාජ රෝග පිළිබඳ ප්‍රශ්ණ වෛද්‍ය විද්‍යාඥයෝත් ආදී වශයෙන් වෙන් කර ගෙන විසඳන්නට තැත් කරනවා විනා එහි පොදු බවක් දැකීමට ඔවුන්ට හැකියාවක් නැත.
ඒ අනුව සමාජ රෝග වලට බටහිරුන් දෙන මූලික පිළිතුර රෝග වලට ප්‍රතිකාර කිරීමය. බොහෝ රෝග සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට හැකිවී නැතත් යම් දුරකට පාලනය කර ගැනීමට තාක්‍ෂණයේ උපකාරයෙන් බටහිර විද්‍යාව සමත් වී ඇත. ඒ නිසා හැටේ දශකයේ මැද භාගය වනතුරු වැඩි වෙමින් පැවතුනු හාර්දික රෝග නිසා සිදුවුනු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අද වෙන විට ඇමරිකාවට හැකිවී ඇත. නමුත් හෘදයාබාද නිසා රෝහල්ගතවුනු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දශකයේ මැද භාගය වනතුරුත් වැඩි වෙමින් පැවතිනි. ඉන් පෙනී යන්නේ හෘද රෝග වැලඳීම වලක්වා ගන්නට ඔවුන්ට නොහැකි වී ඇති බවය එනම් බටහිර සමාජයට ඒ සම්බන්ධයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමට නොහැකි වී ඇති බවය. ගිලන්ව නමුත් නොමැරී ජීවත්වීම සාර්ථක පිළියමක් ලෙස සැලකිය නොහැකිය.

බරහිරුන් අපරාධ මර්ධනය කිරීමට තනන්නේද එවැනි ක්‍රියා කලාපයක් තුලිනි. එනම් මූලික වශයෙන් අපරාධ කරුවන් අල්ලා දඬුවම් කිරීම මඟිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ලෝකයේ වැඩිම පිරිසක් සිර බත් කන්නේ ඇමරිකානු සිර ගෙවල් වලය. ඉනුත් බහුතරයක් කළු ඇමරිකානුවෝය. ඇමරිකාවේ සිරකරුවන්ගේ ජනගහනය හැත්තෑවේ දශකයේ මැද භාගයේ සිට, එනම් තැචර්-රේගන් යුවල ලෝක ආර්ථිකය වෙනස් කල සමයේ සිට අද දක්වා සීග්‍රව වර්ධනය වෙමින් පවතී. ඉන් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ සිදුවෙන අපරාධ වැඩිවෙනවා මිස අඩුවී නැති බවය. බටහිරුන්ට ඔවුන්ගේ ඊනියා ආර්ථික සංවර්ධනයේත් අපරාධ බහුලවීමේත් ඇති සම්බන්ධතාව හඳුනා ගන්නට නොහැකිය. එපමණක් නොවේ සමාජ රෝග හා පරිසර විනාශය ඊට අදාල වන්නේ කෙසේද යන්න ගැනත් අවබෝධයක් නැත. මීට මුලික හේතුව ඔවුන්ට සමස්ථය දැකීමට ඇති නොහැකියාවය. ඔවුන් ඒ ඒ විශය සඳහා ඉදිරිපත් කරන විසඳුම් වලින් කෙරෙන්නේ ප්‍රශ්ණ යම් තරමකට කළමණාකරණය වීම පමණි.

ඊනියා සංවර්ධනය නිසා ඇතිවන පරිසර විනාශය, සමාජ රෝග පැතිරීම හා අපරාධ බහුලවීම ආදියට හේතුව සංවරයක් නැතිව සිත කය පිනවීමට යාම බව සිංහල බෞද්ධයින්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමය. එයට එකම පිළියම ඉන්ද්‍රීය සංවරය පිහිටුවා ගැනීමය. මේ දැනුම බටහිරුන්ට නැත. ඔවුන් ඉන්ධන භාවිතය අඩු කල යුතු යැයි කියන්නේ එමඟින් පරිසරයට එකතුවන විශවායු, පරිසර උශ්නත්වය ඉහල යාම, හා ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ ඔවුන් විසින් ගොතා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. ඔවුන් එළවළු පළතුරු වැඩියෙන් ආහාරයට ගත යුතු යැයි පවසන්නේ සමාජ රෝග, ශරීර ශක්ති සමතුලිතතාව වැනි දෑ පිළිබඳ ඔවුන් විසින් ගොඩනඟා ගෙන ඇති දැනුම පදනම් කරගෙනය. මේ කිසිම බටහිර දැනුමක් බෞද්ධයින්ගේ ඉන්ද්‍රීය සංවරය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ දැනුම හා කොහෙත්ම සම්බන්ධයක් නැත. ඒ නිසා මතු පිටින් එසේ යැයි පෙනුනත් සිංහල බෞද්ධයින් ඉන්ද්‍රීය සංවරය තුලින් ලබා ගන්නා විසඳුම් වලට බටහිරුන්ට ඔවුන්ගේ දැනුම තුලින් කෙදිනකවත් ලඟාවිය නොහැකිය. යන මඟ නොදැන අයාලේ යන බටහිර දැනුම පසු පස නොගොස් අප දන්නා මඟේ අපි ඉදිරියට යා යුතු වෙමු.

ජානක වංශපුර

Sunday, 24 March 2013

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - II

සිංහල බෞද්ධයනට ඉදිරි දර්ශනයක් නොමැතිවීම පිළිබඳ වගකිවයුත්තෝ මෙරට උගත්තු වෙති. සිංහල බෞද්ධයන් සිතන පතන ආකාරය ගැන අධ්‍යයනයක් කර බටහිර දැනුමට අභියෝගයක් වනසේ දැනුම් පද්ධතියක් නිර්මාණය නොකර ඔවුහු විවිධ බටහිර දැනුම් අනුකරණය කළහ. මෙය නවකතාව හා කෙටිකතාව ඇතුළු සිංහල සාහිත්‍යයෙහි ද බෞද්ධ දර්ශනයෙහි ද බටහිර මානව ශාස්ත්‍රවල ද සමාජ විද්‍යාවන්හි ද ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඉංජිනේරු ශිල්පයෙහි හා වෛද්‍යවිද්‍යාවෙහි ද ආදී වශයෙන් දැකගත හැකි ය. බටහිර දැනුම හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට සිංහල උගත්තු ඒ දැනුම ගෙඩිය පිටින් අනුකරණය කළහ. එහි තවත් පැත්තක් ද විය. බුදුදහම බටහිරයන්ට අවශ්‍ය කරන අන්දමෙන් විවරණය කිරීමේ ප්‍රයත්නයක් ද විය…. බෞද්ධ උගතුන් පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා බොහෝ විට ගියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට ය. එහි දී ඔවුන්ට ඉංගිරිසි ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලවල සම්ප්‍රදාය අනුගමනය කිරීමට සිදු විය. බුදුදහම ඊනියා ගුඩු දහමක් නො වේ යැයි බටහිර උගතුන්ට පෙන්වා තමන් ද ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක චින්තනයක් ඇති පිරිසක් ය යන්න බටහිරට හඬනගා කීම ඔවුන්ගේ අරමුණක් විය. බුදුදහම විද්‍යාත්මක යැයි කීමට පෙරට පැමිණියෝ ද ඔවුහු සහ බෞද්ධ විද්‍යාඥයෝ වූහ. කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයි කීවෝ ද ඔවුහු ම ය. ජාතක කතාව බටහිර කෙටිකතාවේ යථාර්ථවාදී රීතියෙන් ලියැවී ඇති බවට බොරු බේගල් පතුරවනු ලැබුවේ ද ඔවුන් විසින් ම ය. ඈරිස්ටෝටලීය න්‍යාය හා යථාර්ථවාදය නිරපේක්‍ෂකත්වය හා බටහිර විද්‍යාව ඇසින් බැලූකල නිවන ගුඩු දහමකි. අප එය එසේ නො වේ යැයි කීමට බියවිය යුතු නො වේ. නිවන වචනයෙන් පැවසිය හැකි නො වේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථදක්වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යැයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යැයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයක ද? බුදුදහම යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට එකඟ යැයි පැවසීම නිවට කමකි.

අද ලෝකයේ ඇත්තේ චින්තන තුනක් අතර සටනකි. ඒ බටහිරයන්ගේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයත්, මුස්ලිම් චින්තනයත්, ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයත් ය. ඉන්දියාව හා චීනය බටහිර චින්තනය අනුගමනය කරයි. අද රුසියාවේ ඇත්තේ තුන්වැනි චින්තනය ය. මේ චින්තනය ගසා කෑ කතෝලික චින්තනයේ මාක්ස්වාදය (නිරවුල් ව කිවහොත් ලෙනින් සැටැලින් වාදය) රුසියාවේත් පසුව නැගෙනහිර යුරෝපයේ ග්‍රීක ඕතොඩොක්ස් සංස්කෘතියේ රටවලත් ස්ටැලින්වාදී සමාජවාදයක් ගොඩනැගීමට උත්සාහ කළේ ය. කතෝලික චින්තනය මත පදනම් ව ෆැසිස්ට් රාජ්‍යයක් බිහිකළ හිට්ලර්ගේ පරාජයෙන් පසු පාප්තුමා ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සිරකරුවෙක් විය. ඔහු අද මු්‍රළුමනින් ම සේවය කරන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ය. පෝලන්ත ජාතිකයකු පාප් පදවියට පත්කරගත් බටහිරයෝ වැවෙන්සා මගින් පාප්තුමාගේ පිහිටෙන් පෝලන්තයේ ලෙනින් ස්ටැලින් වාදය පරාජය කළහ. ඒ ක්‍රියාදාමය අවසන් වූයේ බර්ලින් තාප්පය කඩාවැටීමෙනි. අද රුසියාවේ ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට විරුද්ධ එහෙත් එතරම් ශක්තියක් නැති ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයේ රාජ්‍යයකි. බටහිරයන්ට එරෙහිව ප්‍රබල සටනක් කිරීමට හැකියාව ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. එහෙත් මේ අතර ථෙරවාදී බෞද්ධ චින්තනය ද වෙයි. එවැනි රටවල්වලින් බටහිරයන්ට ඇත්තේ යුදමය තර්ජනයක් නොව ආධ්‍යාත්මික විකල්පයකි. පසුගිය අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ මේ රටවල් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට කා ඇත. පොල්පොට් සහ මියන්මාර හමුදා නිලධාරීන් පිළිවෙළින් කම්පූචියාවේ හා මියන්මාරයේ බෞද්ධ රාජ්‍ය පිහිටුවීමට වෑයම් කළ මුත් ඔවුන්ට පැහැදිලි දර්ශනයක් හා දැනුමක් නොමැතිවීම හේතුකොටගෙන බටහිරයන්ට ඔවුන් පරාජය කිරීමට හැකි විය. අද යමක් කළ හැකි ථෙරවාද බෞද්ධ රටවල්වලින් ඉතිරි වී ඇත්තේ ලංකාව පමණ ය. එහෙත් මෙරට අනුකාරක බෞද්ධ උගතුන් සමගින් බටහිරයන් පරාජය කිරීමට නො හැකි ය.

ලංකාව සිංහල බෞද්ධ රටක් වන්නේ නාමිකව ය. මෙරට සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි ය. දහසය වැනි බෙනඩික්ට් පාප්තුමා මේ මස අවසානයේ දී පාප් පදවියෙන් ඉල්ලා අස්වෙයි. එසේ පාප්තුමකු පදවියෙන් ඉල්ලා අස්වන්නේ අවුරුදු හයසියයකට පමණ පසුව යැයි කියැවෙයි. මේ හුදෙක් සෞඛ්‍ය හේතු නිසා කරන ඉල්ලා අස්වීමක් යැයි සිතීමට අපි මැළිවෙමු. මෙය පිටුපස සංස්කෘතික සටන වේ යැයි අපි සිතමු. ග්‍රීක් ඕතොඩොක්ස් චින්තනය, මුස්ලිම් චින්තනය හා ආයුධ ශක්තියක් නැති බෞද්ධ චින්තනය පරාජය කිරීමට නව පාප්තුමා යෙදා ගැනීමට බටහිරයෝ බලාපොරොත්තු වෙති. වර්තමානයෙහි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි වඩාත් ම ප්‍රබල ව ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික සංරචකය ය. ආර්ථික හා දේශපාලනික සංරචක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර (ස්වායත්ත) නොවූව ද සංස්කෘතික සංරචකය අද ශක්තිමත් ය. අද බටහිරයන්ට තර්ජනයක් එල්ලවිය හැකි එකම ථෙරවාද බෞද්ධ රට බවට පත් වී සිටින ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී අරගල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. චැනල් ෆෝ, මානව හිමිකම් කොමිසම ආදිය සංස්කෘතික සංරචකයේ උපකරණ වෙයි. අප ඔවුන් නොසලකා හැරිය යුතු ය. මාර්තු මාසයේ දී ඇමතිවරුන් ජෙනීවා නොගොස් නිලධාරීන් පමණක් යවන්නේ නම් එය අගය කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ කිසි දිනෙක මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ හිතවතකු නො වී ය. ඔහු හලාල් ප්‍රශ්නයෙහි දී සිිංහල බෞද්ධ ස්ථාවරයක් ගැනීමට වෑයම් කළේ පිරිසිදු චේතනාවකින් නම් විය නො හැකි ය. ඔහු අගමැතිව සිටිය දී පෘතුගීසීන් පැමිණීමේ පන්සියවැනි සංවත්සරය උත්සව ශ්‍රීයෙන් සැමරීමට යෝජනා කළේ ය. එයට පළමු ඔහු අගමැති ධුරයෙන් ඉවත්කිරීමට සිංහල බෞද්ධයෝ සමත්වූහ. පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ යෝජනාවක් අනුව ලංකාවේ පාර්ලිමේන්තුව අස්ව යන පාප්තුමාගේ ගුණ සැමරී ය. මෙරටට මහඟු සේවාවන් කර අපවත්වූ භික්‍ෂූන් වහන්සේලා කී නමකගේ ගුණ සිංහල බෞද්ධ යැයි කියන රටේ පාර්ලිමේන්තුවේ සමරා ඇත් ද? එහෙත් මට එයටත් වඩා ප්‍රශ්නයක් ඇත. නව පාප්තුමාට සුබ පැතීමට පාර්ලිමේන්තුව රැස්වේවි ද? සිංහල බෞද්ධයන් මේ කරන්නේ තම වළ තමන් ම කපා ගැනීම ද? පෝලන්තයේ සිදු වූ දේ මෙරට ද සිදු වීමට ඉඩක් ඇද්ද?

හලාල් ප්‍රශ්නය ඇතිවූයේ බටහිර ක්‍රිස්තියානි –- මුස්ලිම් සංස්කෘතියේ ගැටුම නිසා ය. අප ගිය සතියේ ද කී පරිදි මෙරට ආහාර ප්‍රතිපත්තිය යුදෙව් ක්‍රිස්තියානි ය. බටහිර ආධිපත්‍යයෙන් අපි ජීවන රටාව ද වෙනස් කර ගත්තෙමු. අද මුස්ලිම් සංස්කෘතිය මුළු ලෝකයේ ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කරයි. හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිමුන් පෙළඹෙන්නේ එබැවිනි. ඒ ගැන අපට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය වනුයේ හලාල් භාණ්ඩ මුස්ලිම් නොවන්නන්ට ද පරිභෝජනය කිරීමට බල කිරීම ය. මේ ප්‍රශ්නය හින්දු, කතෝලික, ක්‍රිස්තියානි භක්තියනට ද බලපාන නමුත් බෞද්ධයන් පමණක් ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය බළලුන් ලවා කොස් ඇට බා ගැනීමේ ක්‍රියාවක් අනුගමනය කළේ ද? ඒ කුමක් වුවත් ප්‍රශ්නයට පිළිතුර පෙබරවාරි 10 වැනි දා ඉරිදා දිවයිනෙන් ද පෙබරවාරි 20 වැනි දා අයිලන්ඩ් පූවත්පතෙන් ද ඉදිරිපත් කළෙමු. හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීමට මුස්ලිමුන්ට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අදාළ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර භාණ්ඩවලින් යම් ප්‍රතිශතයක් (මුස්ලිම් ජන අනුපාතය හා පරිභෝජනය සලකමින්) පමණක් හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර හලාල් සහතිකය සමගින් නිකුත්කිරීමට වගබලාගැනීම ය. එහි දී ආණ්ඩුව සහතික නිකුත් කිරීමට මැදිහත් නොවිය යුතු ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ය. අප පෙබරවාරි 10වැනි දා කී පරිදි “එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.” මෙය හුදෙක් උලමාවරුන්ගේ කරුණාව නිසා සිදුවිය යුත්තක් නොවේ.

සංස්කෘතික වශයෙන් ද තවත් වැදගත් කරුණක්් වන්නේ ආසනික් ය. ආසනික් සම්බන්ධයෙන් කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම දිගින් දිගට ම කී දේ දැන් තහවුරු වෙමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලද තම අවසන් වාර්තාවෙන් රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික් අතර ඇති සම්බන්ධය හෙළිදරවු කරයි. මෙහි දී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වාසි සඳහා ආසනික් සම්බන්ධයෙන් රජයට එරෙහිව කරන කතා අපි ප්‍රතික්‍ෂේප කරමු. රෝසි සජිත් දයාසිරි කණ්ඩායම අපට දැනුම ලැබුණු ආකාරය පිළිගන්නේ ද? ආසනික් හෙළිදරවුවේ දී වැදගත් ම කාර්යයන් කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය ය. සේනානායක මහත්මිය නොවන්නට අපට ආසනික් පිළිබඳ දැනුම නාථ හා විපස්සක දෙවිවරුන්ගෙන් (ඔවුන් කවුරුන් වුවත්) නොලැබෙනු ඇත. එයටත් වඩා පරණගම මහත්මිය අපහාස බාධක හමුවේ කරන ලද පර්යේෂණ නොවන්නට බටහිර විද්‍යාවට අනුව ආසනික් ඇති බව පෙන්වීමට නොහැකි වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන මගේ ගෞරවයක් නැතිවුවත් දෙවිවරුන්ගෙන් ලත් දැනුම ඔවුන් ලවා ද සනාථ කරවීමට ලැබීම ගැන මම සතුටු වෙමි. පරණගම මහත්මිය කවදා නමුත් ජාතික සම්මානයක් ලැබිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් පසු දෙවියන් භූතයන් ඇති බව කසිකබල් ද්‍රව්‍යවාදීන්ට ද පිළිගැනීමට සිදුවෙයි. එහෙත් එක් රූපවාහිනී නාළිකාවක් හැර අනෙක් මාධ්‍ය වාර්තාවක් නැති අයුරෙන් කටයුතු කළේ ය. වාර්තාවට ප්‍රසිද්ධියක් දුන් නාළිකාව අතුරලියේ රතන හාමුදුරුවන්ට ප්‍රසිද්ධිය දෙමින් උන්වහන්සේ ලවා තමන්ට සහතිකයක් නිකුත්කර ගැනීමට කටයුතු කළේ ය. සියල්ලන්ට කැලණිය අමතක විය. එක් දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවිය ජයසුමන මහතාගේ ප්‍රකාශයක් මත පදනම් වන්නේ යැයි කිියමින් සේනානායක මහත්මියගේ ද පරණගම මහත්මියගේ ද සේවය නොතකා හැරියේ ය. ඔවුහු කැලණි රජරට කණ්ඩායමක් ගැන කතා කළෝ ය. රජරට ජයසුමන මහතා පරීක්‍ෂණයට සම්බන්ධවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස ය. ඔහුට අකුල් හෙළන කුහක ඇදුරන්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද පරණගම මහත්මියට ය. ඒ කුමක් වුවත් අපට වැදගත් කමක් නැති වුවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවෙන් ආණ්ඩුවට කෘෂිරසායන සම්බන්ධයෙන් කෙටිකාලීන පියවර ගැනීමටත් දිරඝකාලීනව කෘෂිරසායන තහනම් කිරීමටත් බලකෙරෙයි. වකුගඩු රෝගයෙන් මිනිසුන් මියයද්දී ආණ්ඩුවට කෘෂිරසායන සමාගම්වලට යටවීමට ඉඩ දිය නො හැකි ය.

(2013/02/24)

Tuesday, 12 March 2013

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - I

නැවතත් සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර අසහනයක් පැන නැගෙමින් ඇත. එය මෙවර මුස්ලිම් බලපෑම් හේතුකොටගෙන ඇතිවන අසහනයක් ලෙස මතුවෙයි. නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය, හලාල් සහතික, කූරගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම්වරුන් අයිතිකරගැනීම, නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයනට අහිමි වීමට යෑම, ආදී වශයෙන් මේ අසහනය ප්‍රකාශ වෙයි. එහි දී මුස්ලිම් ජනයාට හිරිහැර කරන සිංහල බෞද්ධයන්ගේ අඬු කඩන බවට ඇමතිවරයකු තර්ජනය කර ඇතැයි පැවසෙයි. එවැනි තර්ජනයක් කෙරිණි දැයි මම නො දනිමි. එහෙත් තමන්ට ඡන්දය දෙන සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වුවත් වෙනත් ජනවර්ගයකට එලෙස තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වේ යැයි සිතිය නො හැකි ය. බොහෝ සිංහල දේශපාලනඥයන්ට තමන් මන්ත්‍රීවරුන් වන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් බව අමතක වෙයි. එය අමතක වීමකටත් වඩා සිංහල බෞද්ධයන් නිවටයන් ලෙස සැලකීමට පුරුදු වී ඇති නිසා යැයි ද සිතිය හැකි ය. කිසියම් දේශපාලනඥයකු සිංහල බෞද්ධයන්ගේ අඬු කඩා දැමීමට කතාකර ඇත්නම් ඡන්දදායකයන් කළ යුත්තේ ඔහුගේ මන්ත්‍රීධුරය ලබන වර අහිමිකර අඬුකඩා තටු ගලවා දැමීම ය. මේ අතර බොහෝ බෞද්ධයන් ප්‍රසිද්ධියේ නො කීව ද රජයේ උසස් යැයි සම්මත තනතුරු, විවිධ රාජ්‍ය හා වෙනත් සම්මාන සිංහල බෞද්ධ නොවන්නන්ට හිමිවීම පිළිබඳ මැසිවිලි නගන බව රහසක් නො වේ. එවැනි තනතුරක් හෝ සම්මානයක් හෝ ලැබීමට අඩුම තරමින් කලත්‍රයාවත් එක්තරා ආගමකට අයත්විය යුතු බවට කතාවක් පැතිර ගොස් ඇත.

මේ අසහනය පවතින්නේ බොහෝ විට මධ්‍යම පාංතිකයන් අතර ය. එහෙත් සිද්ධස්ථන බෞද්ධයනට අහිමිවීම පිළිබඳ ප්‍රශ්නය සමාන්‍ය බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ද වෙයි. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයනට ප්‍රශ්න නැත්නම් පමණක් අප පුදුම විය යුතු ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් හැමදාමත් වැඩියෙන් බැටකෑවේ සිංහල බෞද්ධයන් ය. කිසිම ප්‍රබුද්ධකමක් හෝ නිර්මාණශීලීත්වයක් හෝ නැති සරසවි ඇදුරන් ද තම ව්‍යාජ වීරත්වය ප්‍රසිද්ධයට පත්කරගන්නේ සිංහල බෞද්ධයන්ට බැට දීමෙනි. ඔවුන්ගේ නායකයකු පසුගිය දා කියා සිටියේ ජූලම්පිටියේ අමරේ ද බිහි වී ඇත්තේ මෙරට ජාතික චින්තනය හෝ ජාතික චින්තන ව්‍යාපාරය හෝ හේතුකොටගෙන බව ය. කිසිදාක ප්‍රවාදයක් ඉදිරිපත් කර නැති මෙවැන්නන්ගේ ප්‍රකාශවල කිසිම සංගත බවක් නැත. මොහුට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ජාතික චින්තනයේ ප්‍රතිඵලයක් බව කියා ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ජූලම්පිටියේ අමරෙලා බිහිවී ඇති බවත් කීමට ය. ඔහුට අනුව මේ ආණ්ඩුවෙන් වෙනත් කිසිවක් කෙරී නැත. චොප්පෙලා, ගෝනවිල සුනිල්ලා ද බිහිවූයේ ජාතික චින්තනය නිසා ද යන ප්‍රශ්නය නැගිය හැකි වුවත් මේ කසිකබල් සරසවි ඇදුරන්ට අසංගත කරුණු දැක්වීම් ගැන කියා දීමේ ප්‍රතිඵලයක් නැත. මේ ආණ්ඩුව හා ජාතික චින්තනය අතර සම්බන්ධයක් නැත. ගුණදාස අමරසේකර මහතා ජාතික චින්තනය යැයි හඳුන්වන්න හා මා ජාතික චින්තනය යැයි හඳුන්වන්න අතර ප්‍රබල වෙනස්කම් ඇති නමුත් ඒ මහතා ද ඉහත සඳහන් කියමන සමග එකඟවන්නේ යැයි සිතමි. එසේ වුවත්, එනම් ජාතික චින්තනය හා ආණ්ඩුව අතර සම්බන්ධයක් නැතිවුවත් බටහිරයන් (හා ඉන්දියාව) විසින් ඇති කෙරී පෝෂණය කෙරී ඔවුන්ගේ අනුග්‍රහයෙන් හැදුණු වැඩුණු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ආණ්ඩුවත් ජාතික චින්තනයත් එකට සිටි බව නම් අපි පිළිගනිමු. එහෙත් එතැනින් ඔබ්බට යන සම්බන්ධයක් ආණ්ඩුව හා ජාතික චින්තනය අතර නැත. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව නිසි පියවර ගෙන ඇතැයි අපි නො සිතමු.

නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය නිසි අයුරෙන් විසඳී නැත. ප්‍රශ්නය වූයේ කවරදාවත් නැතිව මෙවර ජන අනුපාතයට වඩා ඉතා ඉහළ අනුපාතයකින් මුස්ලිම් සිසුන් නීති විද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත්වීම ය. මුස්ලිම් සිසුන් හදිසියේ උගත්බවක් අත්කර ගැනීමට තරම් හේතුවක් අපි නො දකිමු. ප්‍රශ්නයට හේතුව සිංහල ප්‍රශ්නපත්‍රවල පරිවර්තනයේ වරදක් යැයි පැවසෙයි. ඒ ගැන අපට යමක් නිශ්චිත ව කිව නො හැකි ය. කෙසේ වෙතත් පරිවර්තන හා වෙනත් දෝෂ ඇතිවිය හැකි බැවින් මාධ්‍ය අනුව උසස් පෙළ ආදී පරීක්‍ෂණවල දී ලකුණු ප්‍රමිතිකරණය කළ යුතු යැයි අප කියා සිටින්නේ් බොහෝ කලක සිට ය. එහෙත් මේ රටේ එයට විරුද්ධත්වයක් පැන නැඟෙයි. ප්‍රමිතිකරණය යනු කුමක්දැයි නොදන්නා ජඩමාධ්‍යවේදියකු අවුරුදු පහළොවකට පමණ ඉහත දී ප්‍රමිතිකරණයට විරුද්ධ විය. ප්‍රමිතිකරණය යනු කුමක් දැයි ඇසු විට ඔහු නිහඬ විය. බොහෝ දෙනා නොදනිතත් ඉසෙඩ් ලකුණූ ක්‍රමයෙන් කෙරෙන්නේ විෂය අනුව ප්‍රමිතිකරණයකි. එය භාෂා මාධ්‍යයෙන් ද කෙරෙන ප්‍රමිතිකරණයක් දක්වා දික්කළ යුතු ය. මේ ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නො වේ යැයි කියා ඇඟ බේරාගැනීමට ආණ්ඩුවට නො හැකි ය. ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නවල දී තීරණ ගැනීම ආණ්ඩුවේ කාර්යභාරය වෙයි. එසේ වුවත් නීති විද්‍යාල ප්‍රශ්නයේ දී කෑ ගසන බොහෝ විට මධ්‍යම පාංතිකයන් වූ සිංහල සිසුන් රෝම ලන්දේසි නීතියට විරුද්ධව කටයුතු කිරීමට සූදානම් ද ? අඩුම තරමෙන් ඔවුන්ට එහි ප්‍රශ්නයක් ඇති බවවත් පෙනෙන්නේ ද? අප පාලනය වන්නේ අපේ සංස්කෘතියට විරුද්ධ වූ සංස්කෘතියක බිහි වූ නීති පද්ධතියකින් බවට ඔවුන්ට තේරුම් ගත හැකි ද? නීතිය ද ඇතුළු මුළු මහත් බටහිර දැනුම ම අපට විරුද්ධ ය. එහෙත් ප්‍රශ්නය එයට වඩා බොහෝ දුර දිග යයි. අවාසනාවකට සිංහල බෞද්ධ මධ්‍යම පංතියට එහි බැරෑරුම්කම නො තේරෙයි.

බටහිර දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වුවත් නැතත් ඒ දැනුම පට්ටපල් බොරුවකි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතියට හෝ බුදුදහමට එරෙහිව යෑම අපට ප්‍රශ්නයක් නො වේ. පුදුමය එසේ නොවූවා නම් ය. එකිනෙකට විරුද්ධ වූ චින්තන දෙකක් මත පදනම් ව විරුද්ධ සංස්කෘතින් දෙකක බිහිවූ දැනුම් පද්ධති දෙකක් අතර විරුද්ධකම් තිබීම අපට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් විය හැක්කේ ප්‍රශ්න පටළවා තම ව්‍යාජ පාණ්ඩිත්වය රැක ගැනීමට උත්සාහ දරන පුස්සන්ට පමණ ය. අපට වැදගත් වන්නේ වෙනත් ප්‍රශ්න ය. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම උද්ගමනය මත පදනම්ව ගොතන ලද බොරු කතන්දර වීම, බටහිර දැනුම් ආධිපත්‍යය අප මත බලෙන් පැටවීම, බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන මැත දෙඩවීම, මෙරට බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදනු ලැබූ කසිකබල් උගතුන් (ඔවුහු කසිකබල් උගත්තු පමණක් ම වෙති) බටහිරයන් විසින් යොදා ගැනීම ආදිය එහි දී ප්‍රධාන වෙයි. අපේ දැනුම් පද්ධතියක් ගොඩනැගීමට බටහිරයෝ අපට ඉඩ නො දෙති. පසුගිය දා ඇති වූ ආසනික් ප්‍රශ්නයේ දී එය මනාව පැහැදිලි විණි. මා බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ යන කෘතිය පළ කළේ ඒ කරුණු ඉස්මතු කිරීම සඳහා මිස බටහිර විද්‍යාව බුදුදහම සමග එකඟ නොවන්නේ ය යන්න කීම සඳහා නො වේ. ලබන බදාදා ජේ ආර ජයවර්ධන කේන්ද්‍රයේ දී ඒ පොත පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ම බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුව හා ආධිපත්‍යය සාකච්ඡා කිරීම සඳහා ය. ඒ සාකච්ඡාව වෙනත් පැත්තකට යොමු නොකිරීමට වග බලාගත යුතු ය. එය සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට වැදගත් වේ යැයි සිතමි.

හලාල් ප්‍රශ්නය කිසි විටෙකත් හලාල් සහතික විරෝධීන් අතින් නිසි ලෙස ඉදිරිපත් නො විණි. එහි දී කවරදාවත් නැතිව රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ ස්ථාවරයක් වැන්නකට තල්ලු වීම ගැන අප දෙවරක් නොව දසවරක් සිතිය යුතු ය. හලාල් යන්නෙහි තේරුම අනුමත කිරීම බව පැවසෙයි. එනම් මුස්ලිම්වරුන්ට පරිභෝජනය කිරීම සඳහා අනුමත කිරීම ය. අප රට නමට වුවත් සිංහල බෞද්ධ රටකි. එංගලන්තය හා ඇමරිකාව ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙහි ක්‍රිස්තියානි රටවල් වන්නාක් සේ ම ඉන්දියාව හින්දු රටක් වන්නා සේ ම, පකිස්ථානය මුස්ලිම් රටක් වන්නා සේ ම අප රට ද සිංහල බෞද්ධ රටකි. ඒ රටවල ව්‍යවස්ථාවල කුමක් සඳහන් වුව ද ඒ කිසිදු රටක් ඓහික (අනාගමික) රාජ්‍යයක් පවත්නා රටක් නො වේ. ඔබාමා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ බයිබලයේ අත තබාගෙන මිස ඔහුගේ සීයාගේ ආගමේ කෝරාණය මත අත තබාගෙන නො වේ. ඔහු ඇමරිකාවේ (ක්‍රිස්තියානි) ව්‍යවස්ථාව රැකීමට දෙවියන් වහන්සේගේ උදවු පැතීය. පසුගිය දා හින්දි තීරයේ ජනප්‍රිය නළුවකු වූ ෂාරුක් ඛාන් තමාට ඉස්ලාම් භක්තිකයකු වීම නිසා ඉන්දියාවේ මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු ගැන කතා කළේ ය. එය ගොඩින් වසා දැමීමට ඉන්දියාවට බටහිර රටවල ද සහාය ලැබිණි. ඒ බටහිර රටවල් මුස්ලිම් සංස්කෘතියට ඇති විරෝධය නිසාත් ඉන්දියාව අද බටහිරයනගේ අතකොළුවක් වී ඇති නිසාත් ය. යම් අයුරකින් මෙරට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ නළුවකු තමන්ට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ වීම නිසා අසාධාරණකම් සිදුවේ යැයි කීවේ නම් බටහිර මාධ්‍යය විශේෂයෙන් ම බීබීසිය හා එහි අගුපිලේ ඇති සන්දේශය කෙසේ ක්‍රියා කිරීමට තිබිණි ද?

අප රට සිංහල බෞද්ධ වන්නේ නමින් පමණකි. ක්‍රියාවෙන් අප තවමත් ක්‍රිස්තියානි නූතනත්වයේ රටකි. අප අනුගමනය කරන්නේ චොප්පෙලා බිහිකරන ඇමරිකන් ආයුධ සහිත මිනීමරන සංස්කෘතිය මිස සිංහල බෞද්ධ සංස්කෘතියක් නො වේ. බටහිරයන් ආරම්භ කර ජේ ආර් ජයවර්ධන වර්ධනය කළ බටහිර ක්‍රිස්තියානි යුදෙවු සංස්කෘතිය පරාජය කිරීමට තවමත් සිංහල බෞද්ධයන්ට නොහැකි වී ඇත. සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට කතාකරන ඇමතිවරුන් ඇතැයි කියන රටක ආණ්ඩුව එසේ කරාවි යැයි සිතිය නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපන හිණිමගේ ඉහළට නැගීමට තම ජීවිතය ම කැපකරන සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට සිංහල බෞද්ධත්වයක් අවශ්‍ය නැත. ඔවුහු ඕල්කට් බෞද්ධයෝ වෙති. රනිල් වික්‍රමසිංහ හලාල් ප්‍රශ්නයේ දී පෙරට ආවේ සිංහල බෞද්ධත්වයක් නිසා නොව ඒ ඔස්සේ ආණ්ඩුවට මඩ ගැසීමටත් හැකිනම් භේද මගින් ආණ්ඩුවට ප්‍රශ්න ඇතිකිරීමටත් ය. යම්කිසි ආකාරයකින් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් මෙරට ඇතිවුවහොත් එහි වාසිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ය. බටහිර යටත්විජිතවාදයට ය. රනිල් වික්‍රමසිංහ රවි කරුණානායක ආදීන් පමණක් නොව සජිත් ප්‍රේමදාස ද නියෝජනය කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය. එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.

Tuesday, 22 January 2013

ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ නොවීම

ඇතැමුන්ට අනුව මම බෞද්ධයෙක් නො වෙමි. ඔවුන් එසේ කියන්නේ මනසෙහි ඊනියා වාස්තවික පැවැත්මක් මා ප්‍රතික්‍ෂෙප කරන බැවිනි. මම සාපේ්ක්‍ෂතාව පිළිගනිමි. අවශ්‍ය නම් අයකුට මා සාපේ්ක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. තවත් දුරගොස් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. ඒ දාර්ශනිකව ය. එසේ වුවත් තමන් බෞද්ධයන් යැයි කියාගන්නා අය මෙන් ම මම ද මතු දිනයක නිවන් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි. මා නිවන් අවබෝධ කරගත් දිනයක මගේ මනසට කුමක් සිදුවේ ද? නිවන් අවබෝධයෙන් කලක් ගත වී පිරිනිවන් පානා අවස්ථාවේ දී මනසට කුමක් සිදු වේ ද? නිවන් අවබෝධයෙන් පසු මා යන්නෙන් කෙනකු ගැන කිව හැකි ද?

මනසක් පවතින්නේ යැයි කී විට එය නිරපේක්‍ෂව පවතින්නේ ද නැත් ද යන ප්‍රශ්නයට ද පිළිතුරු දිය යුතු ය. මනස නිරපේක්‍ෂව වාස්තවිකව පවතින්නේ යැයි කියන්නෝ ද්‍රව්‍යවාදී විඥානවාදියෝ වෙති. පසුගිය සතියේ් අපේ ප්‍රවාද ලිපියෙහි මාතෘකාව විඥානවාදී ද්‍රව්‍යවාදීහු ලෙස සඳහන් වී තිබුණේ මුද්‍රණ දෝෂයකිනි. එය ද්‍රව්‍යවාදී විඥානවාදියෝ යනුවෙන් නිවැරදි විය යුතු ය. මා දන්නා තරමට බෞද්ධයෝ ද්‍රව්‍යවාදී විඥානවාදීන් තබා විඥානවාදීහුවත් නො වෙති.

පෙර දවස විඥානවාදීන් ලෙස හඳුන්වනු ලැබූ ගුරුකුලයක් තිබූ බව සැබෑ ය. එලෙසින් ම පුද්ගලවාදීන් ආදී වශයෙන් ද ගුරුකුල බෞද්ධයන අතර විය. ශාස්වතවාදීන් උච්ඡෙදවාදීන් ආදී වශයෙන් විවිධ දාර්ශනික කුල පෙර දවස තිබී ඇත. විඥානවාදීන් යනුවෙන් හඳුන්වනු ලැබූ ගුරුකුලයක් පැවතුණු පමණින් සියළු බෞද්ධයන් විඥානවාදීන් නොවන්නේ ඔවුන් පුද්ගලවාදීන් නොවන අයුරින් ම ය.

ජාතිකවාදීන් අතර සිටින මගේ විරදේධවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ ජාතික ව්‍යාපාරයෙන් මා ඉවත්කිරීම ය. ඒ සඳහා ඔවුහු කළහැකි සියල්ල කරති. බලය ලබාගැනීම මගේ ජාතිකවාදී දේශපාලයට අයත් නොවූවත් බොහෝ ජාතිකවාදීන්ට බලය ලබාගැනීමේ ව්‍යාපෘති වක්‍රව හෝ සෘජුව ඇත. ඔවුන්ට මා හිසරදයකි. මා කියන කරන කිසිම දෙයක ගෞරවයක් මට ලබා නොදීමට ඔවුහු කටයුතු කරති. අසංඛ්‍යෙය කල්පවලින් මැනෙන සංසාර චක්‍රයක අවුරුදු හැත්තෑවක අසූවක කාලයක් යනු ගෞරවයක් ලබාගැනීමට තරම්වත් කාලයක් නො වේ.

අනෙක් අතට මිනිසුන් වැඩ කළයුත්තේ ගෞරව අපේක්‍ෂාවෙන් නො වේ. පෘථග්ජනයන් ලෙස ගෞරවයක් ලැබෙන්නේ නම් එයින් සතුටක් ලබීම එක් දෙයකි. කෙසේ වෙතත් අප යමක් කරන්නේ ම එයින් සතුටක් ලැබෙන බැවිනි. එයට ගෞරවයක් තබා පිළිගැනීමක්වත් නොලැබුනත් එය ප්‍රශ්නයක් නොවිය යුතු ය. ප්‍රශ්න ඇතිකර ගැනීම ම සංසාරය දික්කර ගැනීමකි. ගෞරව අපේක්‍ෂාවෙන් සංසාරය දික්කර ගැනීම නොමනා ක්‍රියාවකි. එසේම අනෙක් අයකුට ලැබිය යුතු ගෞරවය නොදී තමා ම ඒ ගෞරවයට හිමිකම් කීම ද සසර දික්කර ගැනීමකි.

මා බෞද්ධයකු නොවන්නේ ය යනුවෙන් ප්‍රචාරයක් ගෙන යෑමට හැකි නම් මා ජාතික ව්‍යාපාරයෙන් ඉවත්කිරීමට ඇති හැකියාව ද වැඩි ය. එයින් අවසාන වශයෙන් ගත්කල වාසියක් අත්වන්නේ ජාතික ව්‍යාපාරයට නොව ජාතිකත්වයට විරුද්ධ වන්නන්ට ය. එහෙත් තාවකාලිකව ජාතිකත්වය දඩමීමා කරගනිමින් දේශපාලන වශයෙන්් බලයට පත්වීමට උත්සාහ දරන්නන්ට ද වාසියක් වනු ඇත.

අප විසින් හඳුන්වා දෙනු ලැබ ඇති දර්ශනයක් වෙයි. ඒ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයයි. ඒ අනුව දැනුම යනු නිර්මාණය කෙරෙන්නක් මිස සොයාගනු ලබන දෙයක් නො වේ. දැනුම නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයන් විිසිනි. නිරීක්‍ෂකයන් යනු මිනිසුන් පමණක් නො වේ. සියළු ප්‍රාණීහු නිරීක්‍ෂකයො වෙති. එසේ නිර්මාණය කෙරෙන දැනුම නිරීක්‍ෂකයාගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය.

නිරීක්‍ෂකයන් හෙවත් සත්ත්වයන් දැනුම නිර්මාණය කරන්නේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම අනවබෝධය හේතුකොටගෙන ය. නිවන් අවබෝධ කිරීමෙන් පසුවත් දැනුම නිර්මාණය නොකෙරුණත් දැනුම ඇත. දැනුම නැතිවන්නේ පරිනිර්වාණයත් සමග ය. දැනුම නිර්මාණය කරන්නේ නිරීක්‍ෂකයා යැයි කීව ද එසේ කෙරෙන්නේ නිරී’ක්‍ෂකයාගේ මනස විසිනි. මනස දැනුම නිර්මාණය කිරීමේ දී ඇතැම් විට පංචෙන්දියයන්ගේ ද සහාය ලබාගනියි.

මෙය දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය වෙයි. වෙනත් ආකාරයකින් කිවහොත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව අප විසින් දැනුම පිළිබඳ නිර්මාණය කෙරී ඇති දැනුම ය. එසේත් නැත්නම් දැනුම පිළිබඳ ව අප විසින් ගොතනු ලැබ ඇති කතාව ය. මේ කතාවේ හෙවත් ප්‍රවාදයේ තවත් වැදගත් කොටසක් ඉතිරි වී ඇත. තමන් බුදුදහමේ ආරක්‍ෂකයන් ලෙස සිතා සිටින කිහිප දෙනාගේ විවේචනයට භාජනය වී ඇත්තේ ඒ ඉතිරි කොටස ය.

ඉතිරි කොටසෙන් කියැවෙන්නේ මනසේ පැවැත්ම පිළිබඳ ව අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම ය. සියල්ල පවතින්නේ සාපේක්‍ෂව ය. නිරපේක්‍ෂව වාස්තවිකව නිරීක්‍ෂකයාගෙන් ස්වායත්තව පවත්නා කිසිවක් නැත. එහි තේරුම සියල්ල නැත යන්න නො වේ. පැහැදිලිව ම සියල්ල ඇත යන්න ද ඉන් නො කියැවෙයි. යමක් පවතින්නේ යමකට සාපේක්‍ෂව ය යන්න පමණක් ඉන් කියැවෙයි.

අපේ දැනුම සංකල්ප හා ඒ ඇසුරෙන් ගොඩනගාගන්නා ප්‍රවාදවලින් සමන්විත වෙයි. මේ දැනුම ශූන්‍ය වෙයි. එනම් සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. අප විසින් නිර්මාණය කෙරෙන සංකල්ප මනසට සාපේක්‍ෂ ය. එහි නිරපේක්‍ෂ බවක් නැත. කිසිවක් නිරපේක්‍ෂව නොපවතියි. සෑම දෙයක් ම, එනම් පවතින්නේ යැයි අප සිතන සෑම දෙයක් ම මනසට සාපේක්‍ෂ වෙයි.මෙය පටිච්ච සමුප්පදායට පටහැණි නො වේ. එහි කියැවෙන්නේ යමක්් ඇත්නම් එවිට තවත් යමක් ඇත යන්නත් යමක් නැත්නම් එවිට තවත් යමක් නැති බවත් ය.

බෞද්ධයන්ට මනස ප්‍රධාන ය. එහෙත් අපට මනස තවත් ඉන්ද්‍රියයක් වෙයි. අනෙක් ඉන්ද්‍රිය පහෙන් එකකටවත් මනස නමැති ඉන්ද්‍රිය නොමැතිව ක්‍රියාත්මක විය නො හැකි ය. මනස හැරෙන්නට අනෙක් සියල්ල පවතින්නේ මනසට සාපේක්‍ෂව ය. ඒ සියල්ල මනසේ නිර්මාණ වෙයි. නැවතත් අවධාරණය කළ යුතු කරුණ නම් සියල්ල මනසෙහි නිර්මාණ වේය යන්නෙන් සියල්ල නැත යන්න ගම්‍ය නොවන බව ය.

අනෙක් සියල්ල, එනම් සංකල්පීය ලෝකය නිර්මාණය කෙරී ඇත්තේ මනස විසින් නිසා මනස නොමැතිව ඒ එකක් වත් සංකල්ප ලෙස නොපවතියි. පුටුව යන්න අපේ සංස්කෘතිය තුළ මනස විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. එය වාස්තවික නො වේ. එය නිරපේක්‍ෂ නො වේ. එය මනසට සාපේක්‍ෂව පමණක් පවතියි. පුටුව පමණක් නොව අනෙක් සියළු සංකල්ප ගැන ද කිව හැක්කේ එපමණකි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කාහට සාක්‍ෂෙව ද යන්න ය. එය තවත් සුපිරි මනසකට සාපේක්‍ෂ වන්නේ යැයි සිතමු.එවිට සිදුවන්නේ ප්‍රශ්න වෑළක් ඇසීමකි. එයින් නිශ්චීිත පිළිතුරක් නො ලැබෙයි. ඒ අනෙක් ස්වභාවික යැයි සිතන සංකල්ප සත්තකින්ම පවතින්නේ ද? ඒවා පවතින්නේ සුපිරි මනසට සාපේක්‍ෂව ද? සුපිරි මනස යනු කුමක් ද? මේ ප්‍රශ්න වැලට අප දෙන පිළිතුරු වාස්තවික පවතින සුපිරි මනසක් ගැන කියන්නේ ද?

මේ ප්‍රශ්න වැළට පිළිතුරු දුන්නත් ඉන් ගැලවීමක් නැත. ප්‍රශ්න වැළෙන් හා පිළිතුරුවලින් ගොඩ ඒමක් මනස මනසට සාපේක්‍ෂ යැයි සැලකීමෙන් සිදු වෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද පවතින්නේ මනසට සාපේ්ක්‍ෂව ය. මනසක් යනුවෙන් කිවහැකි දෙයක් නැත. කෙටියෙන් කිවහොත් මනසට සාපේක්‍ෂ නොවන මනසක් නැත. මනස ද ඇත්තෙහි මනසෙහිම ය. මනස ද මනසෙහි මවා ගැනීමක් පමණකි.

වෙනත් වචනවලින් කිවහොත් මනසක් යනුවෙන් කිවහැකි කිසිවක් නැත. ඇත්තේ මනසක් නොව නැති මනසකි. මනසක් නැති තැන අපි මනසක් ඇතැයි ගනිමු. එය පුටුවක් නැති තැන පුටුවක් ඇතැයි ගැනීමට සමාන වෙයි. පුටුව නැතැයි ගැනීම හා සියල්ල නැතැයි ගැනීම අතර වෙනසක් වෙයි. පුටුවක්, ආදී වශයෙන් කිසිවක් නැති වුවත් එසේ වන්නේ සංකල්පීය වශයෙනි. එබැවින් සියල්ල නැතැයි ගැනීම හා පුටුවක් නැතැයි ගැනීම අතර වෙනසක් ඇත.

සියල්ල නැතැයි ගැනීම මෙන් ම සියල්ල ඇතැයි ගැනීම ද වැරදි ය. එහෙත පුටුවක් ඇතැයි ගැනීම පමණක් වුවත් වැරදි ය. පුටුවක යනුවෙන් දෙයක නැත. පුටුව යන සංකල්පය ශූන්‍ය වෙයි. පුටුවක් යනුවෙන් පමණක් නොව මනසක් යනුවෙන් දෙයක් ඇතැයි ගැනීම වුවත වැරදි ය. අප ඇතැයි යනුවෙන් ගන්නේ නැති මනසකි. නැති පුටුවකි.

අද ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත්තේ මනස යනුවෙන් දෙයක් නොමැති යැයි අප විසින් පවසනු ලැබීම ය. මනස ද මනසෙහි ම නිර්මාණයකි. මනස නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. මනස යනුවෙන් යමක් ඇතැයි ගන්නේ ම මනස ය. නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීම ම සියළු ප්‍රශ්නවලට මුල ය. නැති මනසක් ඇතැයි ගැනීම නිසා ම අපි දැනුම නිර්මාණය කරමු. සංසාරයේ සැරිසරමු.

නැති මනස නැති මනසක් බව අවබෝධ වූ විට දැනුම නිර්මාණය ද නවතියි. එහෙත් එතෙක පැවති දැනුම නැති වී නො යයි. ඒ දැනුම එසේ ම පවතින අතර අළුතෙන් දැනුම් නිර්මාණය නවතියි. දැනුම නිර්මාණය නැතිවීම යනු නිවන් අවබෝධය ය. දැන් ප්‍රශ්නය වනුයේ නැති මනස නැති මනසක් බව අවබෝධ කරගන්නේ කවු ද යන්න ය. එය කිසිසේත්ම මනස විය නො හැකි ය.

නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගත යුත්තේ නැති මනස විසින් බව පැහැදිලි ය. එසේ නොවුනහොත් මනසේ නිරපේක්‍ෂ පැවැත්මක් ඇතැයි පිළිගැනීමට සිදුවෙයි. යමකු මනසින් නිවන් අවබෝධ කරගැනීමට සිතන්නේ නම් එය තව තවත් ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත.

දැන් ප්‍රශ්නය වනුයේ ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම නිසා ම මා බෞද්ධයකු නොවන්නේ කෙසේ ද යන්න ය. ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම හේතුකොටගෙන මා බෞදධයකු නොවන්නේ කෙසේ ද? විඥානවාදීන් පුද්ගලවාදීන් ආදීන් බෞද්ධයන් වීමටත්් නිර්මාණාත්මක සාපේක්‍ෂවාදීන් යැයි හැඳින්වෙන්නන් අබෞද්ධයන් වීමටත් හේතුව කුමක් ද?

ඉතා පැහැදිලිව මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. එසේ නොවන්නට කළ යුතුව තිබුණේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ද වැඩිම වුවහොත් තවත් බෞද්ධ ගුරු කුලයක් ලෙස හඳුනාගැනීම ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීහු බෞද්ධයන් වනු පමණක් නොව ඔවුහු විඥානවාදීහු හෝ ද්‍රව්‍යවාදීහු ද නො වෙති.

Saturday, 8 December 2012

ආත්මාභිවර්ධණය

කිසි හිරියක් සංයමයක් නැතිව තම අභිවෘද්ධිය තකාම වැඩ කටයුතු කිරීම ශීලාචාර නොවෙන බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ හැඟීමය. එසේ සිතන්නේ කිසිවෙක් තම අභිවෘද්ධිය උදෙසා කටයුතු නොකර ඉඳිනා නිසා නොවේ. නමුත් එලෙස කටයුතු කිරීමේදී යම් සංවර බවක් නිහතමානී බවක් හා යම් සීමාවක් තිබිය යුතුය යන්න ඔවුන්ගේ අදහසය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල එලෙස නිහතමානී වීම හුදෙක් කෙනෙකුගේ සද් ගුණයක් පමණක් නොවේ එය ඔවුන්ට සදාචාරාත්මක රීතියකි. ඒ නිසා යමෙකු කිසි හිරියක් සංයමයක් නැතිව තමන් වෙනුවෙන් වැඩ කටයුතු කරනු දැකීම සිංහල බෞද්ධයන්ට රුස්සන්නේ නැත. නමුත් බටහිර සංස්කෘතිය මේ ශීලාචාර බව පිළි නොගනී. බටහිර සංස්කෘතිය තුල අයෙකුට තම අභිවෘද්ධිය උදෙසා සිත් සේ කටයතු කිරීමට සදාචාරාත්මක වැට කඩොලු නැත. අනුන්ගේ ඒ අයිතියට බාධාවක් නොවන තාකකල් (ඔවුන් සිතන පරිදි) තම අභිවෘද්ධිය උදෙසා තමුන්ට රිසි පරිදි වැඩ කර ගැනීමට අයිතියක් ඇතැයි ඔවුහු සලකති. අද බටහිර සංස්කෘතිය ඔවුන්ගේ මේ අශීලාචාර බව ශීලාචාර බවක් ලෙස සලකන්නට අපට බල කර සිටී. එමඟින් ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට තැත් කරති. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්‍ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති.

පෘතග්ජන වූ අපි මේ භවය පුරා මිල මුදල් යාන වාහන ඉඩ කඩම් නෑදෑ හිත මිතුරන් දූ දරුවන් බල පුලුවන්කාරකම් ගරු නම්බුකාරකම් එක් රැස් කරමින් සිටින්නෙමු. මේ සියලු දේ එකතු කිරීමෙන් කෙරන්නේ මම යන සංකල්ප අප තුල තවදුරටත් තහවුරු වීමය. ඒ නිසා ඒ දෑ කෙරෙන්නේ ආත්ම අභිවෘද්ධිය සඳහායැයි සැලකිය හැකිය. නමුත් ආත්ම අභිවෘද්ධිය අරභයා කරන කටයුතු වලින් අවසානයේ දුකක් ගෙනදෙන බව අවබෝධ නොවුනත් අඩු තරමින් එය එසේ වේ යැයි දැඩි විශ්වාසයක් අප තුල ඇත. ඒ බුදුන් වහන්සේ විසින් සියලු දෑ අනාත්මයැයි වදාරා ඇති බැවිනි. බුදු බණ අනුව යමින් අපි මතු භවයකදී හෝ අනාත්ම බව අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තු වෙන් සිටින්නෙමු. ඒ නිසා මේ භවයේ දීත් සිංහල බෞද්ධයන් ආත්ම අභිවෘද්ධිය අරයා වැඩ කරන්නේ ලැජ්ජා භය ඇතුවය. සංයමයකින්ය.

ආත්මාභිවර්ධණය හරහා පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමක්ද සිදුවේ. සිංහල බෞද්ධ දැනුමට අනුව ලෝකයෙන් ස්වායත්තවූ මම යැයි කෙනෙකුගේ පැවැත්මක් අප විසින් වෙන් කර ගන්නේ අවිද්‍යාව නිසාය. ලෞකික වශයෙන්ද සිංහල බෞද්ධ සමාජය තුල අයෙකුට කැපී පෙනීමට එතරම් බධාවක් නැති වුවත් වෙන් වී සිටීමට එතරම් ඉඩක් නොදෙන්නේ මේ දැනුම පදනම් කරගෙන විය යුතුය. වෙන්වීමට ඉඩ නොදීමේ ලක්‍ෂණය අප සංස්කෘතියේ පුද්ගල නාම භාවිතා වෙන ආකාරයෙන්ම පිළබිඹු වෙයි. සිංහලයන් ගේ නම් යෙදෙන්නේ එක්කෝ අහවලා ගේ අහවලා නැත්නම් අහවල් ගමේ අහවලා යන ආකාරයටය. එහි පුද්ගලයාට ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මකි. ඔහු සමාජයෙන් ස්වායත්තව පවතින අයෙකු නොවේ. ඒ අනුව යමින් ශ්‍රී ලාංකිකයෝ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ සමාජයෙන් ස්වායත්තව කටයුතු කිරීමට ලැජ්ජාවක් සහ බයක් දක්වති.

අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ බුදු දහමින් ලද ආභාශය නිසා ආත්ම අභිවර්ධණය කෙරෙහි වූ මේ ලැජ්ජා භය අද අපේ සංස්කෘතියේ සදාචාරාත්මක රීතියක් බවට පත් වී ඇත. අප විසින් පමුණුවා ගත් මෙවැනි සදාචාරාත්මක රීති අප සමාජය සමස්තයක් ලෙස බුදු මඟට යොමු කරවන බව පැහැදිලිය. පරම්පරාවෙන් පරම්පරාවට මේ ගතිගුණ දායාද කර දීමට අපට හැකි වී ඇත්තේද එය සදාචාරාත්මක රීතියක් ලෙස සමාජ සම්මත වී තිබෙන නිසාවෙනි. අවසානයේ ජාතියක් වශයෙන් අපගේ පැවැත්ම රඳාපවත්නේද මේ සදාචාරාත්මක රීති රැක ගැනීම මතය. මේ නිසාම ආත්මාභිවර්ධණය කෙරෙහි අප තුල ඇති ලැජ්ජා භය නැති කිරීමට බටහිරයෝ අද වලිකති. ආත්මාභිවර්ධණය සුභවාදීව දකින යුදෙව් ක්‍රිස්තියානි චින්තනය එය අසුභවාදීව දකින සිංහල බෞද්ධ චින්තනයට හාත්පසින්ම විරුද්ධය. ඔවුහු තම ආධිපත්‍යය උපයෝගී කර ගනිමින් ආත්මාභිවර්ධණයට හරස් කැපීම පුද්ගල නිදහස සීමා කිරීමක් බවත් එවැනි සදාචාරාත්මක රීති පවත්වාගෙන යාම මිනිස් විකසනයේ ආපස්සට යාමක් බවත් කියමින් අපේ සදාචාරාත්මක දැනුම යටපත් කරන්නට උත්සාහ කරති. නමුත් ඒ උත්සාහය පදනම් විරහිතය.

අපෙන් සැඟවුවත් බටහිර සංස්කෘතියේද මේ ආකාරයේ නමුත් මීට විරුද්ධ අදහසක් ඇති සදාචාරාත්මක රීතියක් ඇත. ඊට අනුව පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරෙන අතර ඔහු තම ආත්මාභිවර්ධණය සඳහා කටයුතු කල යුතුවේ. බටහිර සංස්කෘතිය තුල අවශ්‍යය අයෙකුට සමාජය හා බැඳී සිටීමට ඉඩක් නැත. ඔවුන් සමාජයෙන් වෙන් කරනු ලබන්නේ අප සංස්කෘතියට අනුව නම් හයක් හතරක් නොතේරෙන කුඩා අවධියේ දීමය. මෙසේ වෙන් කෙරෙන දරුවා මහලු විය දක්වාම තමාගේ පැවැත්ම උදෙසා ආත්මාභිවර්ධණය කර ගත යුතුය. මේ රීතියට එරෙහි වන්නන් බටහිර සමාජයට රුස්සන්නේ නැත. ඒ බටහිර සංස්කෘතියේ සදාචාරයය. එය මිනිස් විකසනයේ ඉදිරියට යාමක්ද ආපස්සට යාමක්ද යන්න අවශ්‍ය අයෙකුට තීරණය කල හැකි නමුත් හුදෙක් සදාචාරාත්මක රීති පැණවීම ගැන අපට එරෙහි වීමට බටහිර සංස්කෘතියට ඉඩක් නැත්තේ එම සංස්කෘතියේද එවැනි රීති ඇති නිසාය.

ඊළඟට බටහිරයන් පවසනු ඇත්තේ ආත්මාභිවර්ධණයට බාධා කිරීම තුලින් අපි පුද්ගලයින්ගේ නිදහස සීමාකරන බවය. එක් අයෙකුගේ ආත්මාභිවර්ධණය තව කෙනෙකුගේ ආත්මාභිවර්ධණයට බාධාවක් නොවේ නම් එහි ඇති වරද කුමක් දැයි ඔවුන් අසනු ඇත. එවිට අප පෙරළා ඇසිය යුත්තේ අන් අයට කිසි බලපෑමක් නොකර තම ආත්ම අභිවෘද්ධිය අරභයා සීමා රහිතව කටයුතු කර ගෙන යාමට කෙනෙකුට හැකිද කියාය. එය කල නොහැකිය. ආත්මාභිවර්ධණයට බටහිර සංස්කෘතිය තුල සදාචාරාත්මක වැට කඩොළු, එනම් ස්වයං බාධක, නැති බව සත්‍ය නමුත් කෙනෙකු එසේ කටයුතු කිරීමේදී බාහිරෙන් ඇතිවෙන බලපෑම් වලට අනිවාර්යයෙන් මුහුණ දීමට සිදුවේ. එහිදී එක්කෝ ඔහු තම කටයුතු සීමා කර ගත යුතුය නැත්නම් ඒ බාහිර බලපෑම් සමඟ ගැටුම් ඇති කර ගත යුතුය. එසේ තම කටයුතු සීමා කර ගන්නේ නම් එය පුද්ගල නිදහස සීමා වීමකි. අද බටහිර සමාජ ක්‍රමයට ජීවත්වන අප සියලු දෙනාම පාහේ යම් යම් පමණින් අපේ පුද්ගල නිදහස සීමා කරගෙන සිටින්නෙමු. නමුත් එය නිදහස සීමාවීමක් නොව ඊනියා දියුණු ජීවන රටාවක ලක්‍ෂණයක් යැයි සිතන්නට බටහිර සංස්කෘතිය විසින් අපව පුරුදු කර ඇත.

මම මා මගේය යන හැඟීම් වර්ධනය කර ගැනීම හා මම සෙසු ලෝකයෙන් වෙන් කර ගැනීම, එනම් ආත්මාභිවර්ධණය, සුභදායක බව යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ පූර්වාදර්ශයයි. බටහිර ආර්ථික-දේශපාලණ-සමාජ ක්‍රමය ගොඩනැඟී ඇත්තේ මේ පූර්වාදර්ශයේ පිහිටාය. මේ ක්‍රමය තුල ආත්මාභිවර්ධණයෙහි යෙදෙන පුද්ගලයා මැඩපවත් වන්නේ ඔහුගේ අභ්‍යන්තරයෙන් ඇතිකර ගන්නා ලැජ්ජා භය හෝ සංයමය නොව ඔහුගෙන් පිට බලවේගය. ඔහු වඩ වඩා ආත්මාභිවර්ධණයෙහි යෙදෙන විට මේ බාහිර බලවේග මඟින් ඔහුගේ නිදහස වඩා වඩා සීමා කරයි. අද මේ හිරවීම බටහිර රටවල මිනිසුන්ට පමණක් නොව කොළඹ නගරයේ වෙසෙන සාමාන්‍ය වැසියකුට පවා අත් විඳින්නට සිදුවී ඇත්තේ ඔහුද බටහිර ආරටම කල් ගෙවන නිසාවෙනි. ඔහු තම නිවසේදීත් රැකියාවේදීත් අතරමඟදීත් තමන්ට වැඩ කර ගන්නට යාමේදී පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු අපමණය. ඔහුට අනිකුන් අභිබවා තමන්හට කර ගන්නට නම් උදාහරණයක් වශයෙන් රැකියාවේ ඉහලට යන්නට අවශ්‍යය නම් පිළිපැදිය යුතු නීති රීති පැනිය යුතු වැට කඩොළු පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටි ඊටත් වඩා වැඩිය. මේ සියලු දෙයින් සිදු වන්නේ ඊනියා පුද්ගලික නිදහස සාපේක්‍ෂ ලෙස සීමා වීම නමුත් ඒ බව පිළිනොගන්නේ බටහිර දැනුමේ ඇති කුහක බව නිසාය. අපි මේ බව අවබෝධ කර ගත යුතුය.

බටහිරුන් ආත්මාභිවර්ධණය සුභදායක යැයි සිතන තාක් කල් බාහිර බලපෑම් වලින් ගැලවීමක් නැත. ප්‍රජාවක් ලෙස මේ කාර්යයේ නියැලෙන විට තත්වය ඊටත් වඩා දරුනුය. එවිට ඔවුන් එම ප්‍රජාවෙන් බාහිර වූ සත්ව-මිනිස් සමාජය සමඟත් පරිසරය සමඟත් ගැටුම් ඇති කර ගනී, හැකි නම් ඒ බාහිර බලපෑම් විනාශ කිරීමට කටයුතු කරයි. බටහිරයන් පසුගිය අවුරුදු පන්සියයක් පමණ කාලයක් තිස්සේ කර ගෙන එන්නේ එයයි.
ආත්මාභිවර්ධණය පිළිබඳ ලැජ්ජා භයක් සංවරයක් ඇති කර ගැනීම, එසේත් නැත්නම් එය අභ්‍යන්තරයෙන්ම මැඩ පවත්වා ගැනීම තමාගේත් හුදු මහත් ලෝකයාගේත් හිත සුව පිණිසවේ. එය අපේ සදාචාරාත්මක දැනුමය. එයට පහර දීමට තරම් බටහිර දැනුමට ශක්තියක්වත් පදනමකවත් නැත.

ජානක වංශපුර

Saturday, 1 September 2012

ආසනික්, උගත්තු හා ආණ්ඩුව - I

මම නූගතෙක්මි. මම හිසෙන් ගැමියෙක්මි. එහෙත් අවාසනාවකට මම “ඇඟෙන්” ගැමියෙක් නො වෙමි. එයට හේතුව මා කුඩා කල සිට ම අර්ධ නාගරික හා නාගරික පරිසරවල ජීවත්වීම ය. මම බටහිර විද්‍යාව ඉගෙන ගතිමි. අවුරුදු පහළොවේ දී පමණ මගේ කැමැත්ත වූයේ එවකට තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ උගන්වන බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමට ය. බටහිර ඉංජිනේරුවකු, වෛද්‍යවරයකු වීමට හෝ වෙනත් රැකියාවක් කිරීමට හෝ මට කැමැත්තක් නො තිබිණි. එහෙත් අවුරුදු විසිපහේ දී පමණ බටහිර විද්‍යාවේ මොකක්දෝ අඩුවක් දුටුවෙමි. අවුරුදු හතළිහේ දී පමණ ඒ අඩුව කුමක් දැයි ක්‍රමයෙන් වැටහෙන්නට විණි. මම අද බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දනිමි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බොරු කතා නිර්මාණය කිරීම පමණකි. ඒ ඇතැම් කතා සමහර අවස්ථාවල නිරීක්‍ෂණ සමග එකඟ වන බවක් පෙනී යයි. එහෙත් එයින් බටහිර විද්‍යාව සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවන්නක් හෝ බව නිගමනය කිරීමට නො හැකි ය. විදුසර පුවත්පතට ලිපි ලියන අයකු යුක්ලීඩීය ජ්‍යාමිතියට එකඟ ව නිර්මාණය කරන ගොඩනැගිලි ආදියෙහි සාර්ථකත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ යුක්ලීඩීය ජ්‍යාමිතියෙන් අප අවට අවකාශය නිරූපණය වන බව වැන්නක් කියා තිබිණි. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව (අවකාශය නොව) අවකාශ - –කාලය යුක්ලීඩීය නො වේ. අප අවට අවකාශය යුක්ලීඩීය යැයි කීම පට්ටපල් බොරුවකි. යුක්ලීඩීය ජ්‍යාමිතිය ඊනියා ඇත්තක් නොසොයන බටහිර ගණිතයෙහි කොටසක් ලෙස පමණක් ඉගැන්වෙනතාක් එහි ප්‍රශ්නයක් නැත. එහෙත් එය බටහිර භෞතික විද්‍යාවෙහි කොටසක් ලෙස ගැනෙන්නේ නම් එය පට්ටපල් බොරුවක් ලෙස සැලකිය යුතු ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය විසින් කරනු ලැබූ එක් කරුණක් වූයේ ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවේ කොටසක් බවට පත් කිරීම ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශ –- කාලය නිර්ණය කෙරෙනුයේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. එහෙත් මතක තබාගත යුතු කරුණක් නම් සාපේක්‍ෂතාවාදය ද පට්ටපල් බොරු කතාවක් බව ය.

අද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වර්ජනයක් වෙයි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු උගත්තු යැයි හැඳින්වෙති. ඔවුහු ජනතාවට බොරු කියති. ඔවුන් කියන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් සටන් කරන බව ය. කලින් තම වැටුප් වැඩිකිරීම ගැන කතාකළ ද එය යුක්තියුක්ත කිරීමට නොහැකිව ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි ඔවුහු කියති. එය යුනෙස්කෝ වාර්තාවක් අනුව කළ යුතු වූවක් බව ද ඔවුහු කියති. එහෙත් යුනෙස්කෝ වාර්තාවෙන් කියැවෙන්නේ ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු බව නො වේ. සම්මේලනය තම ඉල්ලීම් නිතර් වෙනස් කරයි. මේ කෙරීගෙන යන්නේ පසුගිය වසරේ අත්හිටවී යැයි කියන වර්ජනය නොවේ. එදා සිට අද දක්වා ඇතැම් ඉල්ලීම් වෙනස් කෙරී ඇති අතර 6% ද ඇතුළු අලුත් ඉල්ලීම් එකතු කෙරී ඇත. සම්මේලනයේ අලුත් ම ඉල්ලීම්වලින් ඔවුන් මෙතෙක් වාචිකව පමණක් කී ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න ලිඛිතව ම ඉදිරිපත් කෙරී ඇත. සම්මේලනයේ නිලධාරීන් එදා දැන නොසිටියත් අද දන්නා කරුණක් නම් දැනටමත් මෙරට අධ්‍යාපනයට දළ දේශීය නි’ෂ්පාදිතයෙන් 6%ක් පමණ වෙන් කෙරෙන බව ය. ඉසෙඩ් ලකුණු අවුලට මූලිකව ම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ව්‍යාජ ජනතාවාදී විරයන්ගේ සම්භාවනාවට පත් වී ඇති මහාචාර්ය තටිල් මහතා ය. අද 6000 –- 8000ක පමණ සිසුන් යන එන මං නැතිව සිටින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තටිල් ක්‍රමය අනුව දෙවැනි වර ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස් දීමට සිිදුවීම නිසා ය. පළමුව ඉදිරිපත් කළ ඊනියා විද්වත් කණ්ඩායමේ සූත්‍රය ද සංකල්පීය ව වැරදි නමුත් ඒ අනුව තේරුණු පළමුවරට පෙනී සිටි අයගේ හා නැවත පෙනී සිටි අයගේ අනුපාතය පසුගිය වසර කිහිපය සමග සැසඳීමේ දී සැලකිය යුතු තරමින් වෙනස් නොවිණි. එහෙත් ආණ්ඩුව මේ කිසිවක් ජනතාවට නො කියයි. උසස් පෙළ පරීක්‍ෂණයට ප්‍රශ්න පත්‍ර සකස් කරන්නෝ විශ්වවිි්‍යාලයීය ආචාර්යවරු ය. එහි වැරදි ඇත්නම් එයට වගකිව යුත්තේ ආචාර්යවරුන් ය. එහෙත් ආණ්ඩුව මේ කිසිම අවස්ථාවක තටිල් මහතා ඇතුළු අදාළ ආචාර්යවරුන්ට දොස් පැවරුවේ නැත.

උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල පළමුවරට වැරදි තිබුණේ මේ වසරේ නො වේ. මේ වැරදි සැමදාමත් තිබී ඇත. ප්‍රශ්නපත්‍රවල වැරදි නොතිබූ වසරක් කිවහැකි ද? බොහෝ වසරවල මේ වසරට වඩා වැරදි තිබී ඇත. පරමාදර්ශීව ගතහොත් ප්‍රශ්නපත්‍රවල වැරදි නැතිවිය යුතු ය. එහෙත් පෘථග්ජනයන් වීම නිසා ම සිදුවන වැරදි ද වෙයි. ජනතා විමුක්ති පෙරමුණ හා එයට සම්බන්ධ ගුරු සමිති ආණ්ඩුව හා ඇමතිවරු ගෙදර යැවීමේ අරමුණෙන් වැරදි සිදුවී ඇත්තේ මේ වසරේ පමණක් ය යන අදහස ජනතාවට දෙමින් ඒ පිළිබඳ ව ආණ්ඩුව වගකිව යුතු යැයි කියද්දී ආණ්ඩුව නිසි පිළිතුරු නො දුන්නේ ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය ඒවාට පිළිතුරු ඇති අයට දොර වැසී ය. එක්තරා ඇමතිවරයකු තම හෙංචයියන් සමග එකතු වී ආණ්ඩුවේ ජනමාධ්‍ය පාලනය කරන බව පැහැදිලි ය. ආණ්ඩුව විනාශවනු ඇත්තේ මෙවැනි ඇමතිවරුන් නිසා ය. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු ද පාසල් ගුරුවරු ද ශිෂ්‍යයෝ ද ජ වි පෙ, එ ජා ප හා වෙනත් අය සමග එක්වී ආණ්ඩුව අස්ථායී කිරීමට කටයුතු කරති. අපි ඒ බව මුල සිට ම කීවෙමු. 6% ක් ගැන බොරු කියමින් වෙනත් අය සමග ආණ්ඩුව අස්ථායි කිරීමට කටයුතු කරන සම්මේලනය තම ඊනියා සටනට ශිෂ්‍යයන් සහභාගි කරගැනීමෙන් සිදුවන විනාශය ගැන අටුවා ටීකා අනවශ්‍ය ය. විශ්වවිදාලයීය ගුරුවරුන්ට තම සේවය, ශ්‍රමය සැපයීම අස්කරගත හැක්කේ විශ්වවිද්‍යාලවලිනි. ඔවුන්ට උසස් පෙළ පරීක්‍ෂණයට සහභාගිවීමට පත්වීම් ලිපි ලබන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් මිස විශ්වවිද්‍යාලවලින් නො වේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස උසස් පෙළ පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය සමිතියක් නො වේ. ආචාර්යවරුන්ට පරීක්‍ෂකයන් ලෙස පත්වීම් ලැබෙන්නේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වීම නිසා බව සැබෑ නමුත් ඔවුන් පරීක්‍ෂකවරුන් ලෙස සේවය කරන්නේ ආචාර්යවරුන් ලෙස නො වේ. ආචාර්ය සමිති සම්මේලනයට හෝ විශ්වවිද්‍යාලයක ආචාර්ය සමිතියකට හෝ ආවාර්යවරුන් උසස් පෙළ පරීක්‍ෂණයේ පරී්ක්‍ෂකවරුන් ලෙස කටයුතු කිරීම වැළැක්වීමට තීරණ ගැනීමට නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත. සම්මේලනයේ ඒ සියළු දුර්වලකම් මැද ආණ්ඩුව උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා හුදු නිරීක්‍ෂකයකු බවට පත්කරමින් එක් ඇමතිවරයකුගේ හා ආණ්ඩුවේ ඉහළ තනතුරු දරණ ඇදුරන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් සම්මේලනයේ ඉල්ලීම් ලබාදීමට යන බව සැළ ය. මේ ආණ්ඩුව බිඳ වැටෙන්නේ මෙවැනි දුර්වල ක්‍රියාමාර්ග හේතුවෙනි.

මේ ආචාර්යවරු ද පොදුවේ මෙරට උගත්තු ද නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වෙති. ඊනියා අධ්‍යාපනික නිදහසක් ඇතැයි කියන විශ්වවිද්‍යාලවල අපේ දැනුමක් ඉගැන්වීමට, භාවනා වැඩසටහන් පැවැත්වීමට ඇති නිදහස කුමක් ද? එවැනි දේ කිරීමට උත්සාහ කරන විට එයට විරුද්ධවන්නෝ ආචාර්යවරු ය. ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් දෙන දැනුම සත්‍ය යැයි ගනිමින් අපේ දැනුම මිථ්‍යාවක් යැයි පවසති. අපේ දැනුම විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට ඔවුන් විරුද්ධ වේය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ බව ය. ඔවුහු සමාජවාදීන් වුව ද ලිබරල්වාදීන් වුව ද බටහිර ගැත්තෝ වෙති. ඔවුන් විශ්වවිද්‍යාලවල සනාතන සභාවල කරන එකම දෙය බටහිරයන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම ය. දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස සිංහල බෞද්ධයන් සලකන්නේ ප්‍රත්‍යක්‍ෂය පමණකි. ඇතැම් බෞද්ධ උගතුන් යැයි කියාගන්නවුන් බටහිරයන් ඉදිරියේ වැඳ වැටෙමින් අනුමානය ද බෞද්ධයන්ගේ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් ලෙස පෙන්වීමට තැත්කළ ද බුදුන්වහන්සේ ඒ අනුදැන වදාළ තැනක් ගැන දැනගැනීමට නැත. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයන්ට පළමුව දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් කියැවෙන්නේ ද ප්‍රත්‍යක්‍ෂය පමණක් දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස ගැනීමට ය. එහෙත් මෙරට විශ්වවිද්‍යාලවල මේ ක්‍රමයෙන් දැනුම ලබාගැනීමට කිසිම නිදහසක් නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ දී ද මම ඒ බව අත්දුටුවෙමි. ඇදුරන්ගෙන් අතිවිශාල බහුතරය දන්නේ බටහිර දැනුම ලබාගැනීමේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය පමණකි. එහෙත් බටහිර විද්‍යාවේ ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරුණු පට්ටපල් බොරු කතා පමණකි.

මම සිංහල බෞද්ධයෙක්මි. මා අනුගමනය කරන්නේ කාළාම සූත්‍රය ය. මම හැකිතාක් දුරට ඇසූ නිසා පොතක පතක තිබූ නිසා ආදී වශයෙන් නොපිළිගෙන ප්‍රශ්නයක මුලට ගොස් එය විශ්ලේෂණය හා සංස්ලේෂණය කර ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. එසේ නොහැකි වූ විට මගේ විඤ්ඤූන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. මට පුනබ්භවය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක් නැත. එහෙත් මම ඒ පිළිබඳ බුදුන් වහන්සේගේ හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනත් අයගේ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිමි. බයිබල් ක්‍රමය අනුගමනය කරමින් උගතුන් යැයි කියන්නන්ගේ බලාධිකාරී දැනුම උපුටා දැක්වීම මගේ ක්‍රමය නො වේ. මට කර්මවාදයක් අවශ්‍ය නො වේ. බුදුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් කර්මය පිළිබඳ දැනුම මට ප්‍රමාණවත් ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි පට්ටපල් බොරු කතා ඉදිරියේ වැඳ වැටුණු, වැටෙන මහා ප්‍රාඥයන් යනුවෙන් හැඳින්වුණු, හැඳින්වෙන ඇතැමුන් පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කළ බව, කරන බව මම දනිමි. ඔවුන්ට තිබුණේ, තිබෙන්නේ හීනමානයකි.

අද ආසනික් ගැන බොහෝ දෙනා කතාකරති. දිනේශ් ගුණවර්ධන මහතා ද, ගුණදාස අමරසේකර මහතා ද අද ආසනික් ගැන කියති, ලියති. ඇමතිතුමාගේ අමාත්‍යාංශයට ආසනික් නැත. අමරසේකර මහතාට හා ඊනියා දේශ හිතෛශීන්ට නාථ දෙවියන් නැත. නාථ දෙවියන් නොමැතිව ආසනික් ගැන කතාකරන්නෝත් නාථ දෙවියන් කියද්දීත් ආසනික් ප්‍රතික්‍ෂෙප කරන්නෝත් අපේ දැනුම ලබාගන්නා ක්‍රමය ප්‍රතික්‍ෂෙප කරති. නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි මම නො දනිමි. එතුමා දෙවියකු, භූතයකු හෝ වෙනත් අමනුෂ්‍යයකු හෝ විය හැකි ය. අප රජරට වකුගඩු රෝගයට හේතුවූ කෘෂි රසායන ද්‍රව්‍යවල ආසනික්, කුඹුරු පස හා කිවුල් ජලය ගැන දැනගත්තේ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණවලින් නොව ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙනි. මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය හා පිරිස ඇදුරු විරෝධතා මැද ඒ බව සනාථ කළහ. රෝගයට පිළියම් දියුණු යැයි කියන බටහිර වෙදකමේ නැත. අපි දෙවිවරුන්ගෙන් ඒ සඳහා පිළියම් ද දන්නෙමු.


Sunday, 17 June 2012

වඳිම් සිදුහත් මගින් හෙළිවන සිංහල බෞද්ධ උරුමය

සිංහල බෞද්ධ උරුමය වෙනත් අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය ය. එහෙත් දැනට වසර පන්සියයකට අධික කාලයක් සිංහල බෞද්ධ සංස්කෘතියට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට වැදෙයි. එහි දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යයට යටවීමට අපට සිදු වී ඇත. ඒ ආධිපත්‍යයෙහි මෙරට නියෝජිත පුහු පඬියෝ ඔවුන් නොදන්නා බටහිර විද්‍යාවක් කරපින්නාගෙන සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිර්මාණය වී ඇති දැනුමට ගරහතිෂ ඒ දැනුම් බොහෝමයක් මිථ්‍යාවන් යැයි අපට කියති. ඔවුහු අපේ දැනුම් ඊනියා විද්‍යාත්මක ආකල්පවලට යටකිරීමටත් එමගින් විකෘති කිරීමටත් උත්සාහ ගනිති. එමගින් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම අර්ථවිවරණය කරති. බුදුදහම යථාර්ථවාදයක් වාස්තවික භාණ්ඩයක් කිරීමට උත්සාහ ගනිති. එමගින් එහි ඇති ඊනියා මිථ්‍යාවන් හා ගූඪත්ව බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවේ දුම්මල අල්ලා පළවා හැරීමට වැර වෑයම් කරති. බුදුදහමේ අයිතිකරුවන් ලෙස හා සැබෑ ථෙරවාදීන් ලෙස පෙනී සිටින්නෝ එහි දී නිහඬ වෙති. එහෙත් වාසනාවකට මෙරට ගැමිකම රැකගත් ගැමියන් හා බටහිර අධ්‍යාපනයෙන් මෝහනයට පත් නොවූවන් හේතුකොට ගෙන වුදුදහමේ හරය තවමත් අප සමාජයෙහි පවතින අතර සිංහල බෞද්ධ සංස්කෘතිය ද යම් පමණකින් වුව ආරක්‍ෂා වෙයි.

බුදුදහම බටහිර විද්‍යාත්මක නො වේ. බටහිර විද්‍යාව මුළුමනින් ම රඳා පවතින්නේ උද්ගමනය මත ය. එහෙත් බුදුදහමේ හරය ප්‍රත්‍යක්‍ෂය වෙයි. එසේ වුවත් නිවන පසක් කරගැනීම හා අලියා පසක් කරගැනීම එකක් නො වේ. එකක් ලෝකෝත්තර ය. අනෙක ලෞකික ය. පඬියන් කටයුතු කරන්නේ නිවන පසක් කිරීම ද ලෞකික වූවක් බවට පත්කිරීමට ය. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද වෙයි. බුදුදහමෙහි ප්‍රවාද නැත. මා මේ පඬියන්ට, පුස්සන් ආදී වශයෙන් පරිභව කරන්නේ මූලික වභයෙන් ම ඔවුන් අපට ජාතිවාදීන් කොදෙව් මානසිකත්වයක් ඇතියවුන් ජාත්‍යන්තර දැනුමක් නැති ලිංමැඬියන් ආදී වශයෙන් ගරහන බැවිනි. බෞද්ධයකු ලෙස මා එසේ පරිභව නොකළ යුතු බවත් ඔවුන්ට මෙත් වැඩිය යුතු බවත් දනිමි. එහෙත් අපට ඇතැම් දේ කල් නොදමා මේ භවයෙහිම කිරීමට සිදු වී ඇත. ඒ අතර අප පාලනය කරන බටහිර ක්‍රිස්තියානි විද්‍යාව ඇතුළු දැනුමට පහර දීම ද වෙයි. මෙරට සිටින ඊනියා උගත් බෞද්ධයන්ගෙන් මම ප්‍රශ්න දෙකක් අසමි. ප්‍රශ්න දෙකක් වුව ද හරය වශයෙන් ගත්කල ඇත්තේ එක් ප්‍රශ්නයකි. ඔබ පිළිගන්නේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් විකාශය ද (එය ඊනියා පරිණාමවාදයක් නො වේ) , එසේත් නොමැති නම් ඩාවින් බයිබල් ආකෘතිය මත පදනම් වෙමින් නිර්මාණය කළ කතාව වූ පරිණාම වාදය ද? දෙවැනුව ඔබ පිළිගන්නේ සංවට්ටකප්ප විවට්ටකප්ප සහිත කෙළවරක් නොමැති කල්පවලින් යුත් විශ්වය ද එසේත් නැත්නම් අයින්ස්ටයින් ගේ කතන්දරයක් වූ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගලා එන මහා පිපුරම් වාදය ද? ඊනියා උගත් බෞද්ධයන්ට ඒ දෙක දෙකක්, අප එතැන දී එය පිළිගන්නවා මෙතැන දී මෙය පිළිගන්නවා ආදී පිළිතුරු දී පැනගිය හැකි නො වේ. මේ ප්‍රශ්නවලට ඒකාන්ත පිළිතුරු අවශ්‍ය වෙයි. මහා පිපිරුම සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකට මට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් එහි සනාතන සභාවේ විශේෂ තීරණයක් මත උපාධියක් පිරිනැමුව ද මම මහා පිපිරුම්වාදය ප්‍රතික්‍ෂෙප කරමි. සනාතන සභාවේ විශේෂ අවසරයක් මත අඩු කාලයකින් මට උපාධියක් ලබාදීමට මුල් වූ මගේ ගුරුවරයාට ඇති ගෞරවය නොවන්නට මම එම උපාධිය ආපසු දීමට පියවර ගනිමි. ඒ මා දැන් විශ්වවිද්‍යාල සේවයේ නැති නිසා කරන පාරම් බෑමක් නොවන බව ද කියනු කැමැත්තෙමි.

කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ආකල්පයක් නැත. බුදුන්වහන්සේ කාලාම සූත්‍රය අවසානයේ දී දේශනා කළේ එළොවට හා මෙළොවට වැඩදායක වන පරිදි සමාජයේ විඤ්ඤූන් කරන දේ කිරීමටත් නොකරන දේ නොකිරීමටත් ය. අද සමාජයට නම් එය එතරම් නොගැලපෙන්නේ දැන් විඤ්ඤූන් ලෙස සැලකෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෑනුමෙන් හිස් පුරවාගත් පඬියන් බැවිනි. කාළාම සූත්‍රය ගැන කට කියවන්නන්ගෙන් එහි අවාසනය දක්වාම කියවා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අද සමාජයේ උගතුන් බුද්ධිමතුන් ලෙස පැවතීමට නම් ගැමි බව අත්හැරිය යුතු ය. කාලාම සූත්‍රය බටහිර ඇසකින් ඇගයිය යුතු ය. නිවන වචනයෙන් කිවහැකි ඊනියා යථාර්ථයක් ලෙස පෙන්වා දිය යුතු ය. බුදුන් වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේගේ ධර්මයෙහි යථාර්ථවාදී බව අගය කළ යුතු ය. බුදු සිරිත යථාර්ථවාදීව විග්‍රහ කළ යුතු ය. එහි දී බුදු සිරිත විකෘතිවන්නේ නම් ඒ විකෘතිකිරීම්වලට විරුද්ධව ගැමියන් ගැමි පදනමක් ඇති භික්‍ෂූන් වහන්සේ විරුද්ධවන්නේ නම් කළ යුත්තේ ඒ ගිහියන්ගේ හා භික්‍ෂූන් වහන්සේගේ ආචීර්ණ කල්පික මතවලට එරෙහිව ඊනියා විද්‍යාත්මක මත ගෙනහැර දැක්වීම ය. ජාතික පුවත්පතක් වූ සිළුමිණෙහි කතුවරයකුව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඊනියා යථාර්ථවාදයකු ලෙස බුදුසිරිත පදනම් කරගෙන බවතරණය නමින් කෘතියක් නිර්මාණය කර තමන් සිංහල සංස්කෘතිය ගැන කෙතරම් කතා කළත් ලීවත් අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාව ඉදිරියේ තම සංස්කෘතික අදීනත්වය නසා ගත්තේ ය.

ගාමිණී සුමනසේකර මහතා ද ජාතික පුවත්පතක් වූ දිවයිනෙහි ප්‍රධාන කර්තෘ (අවශ්‍ය නම් සංස්කාරක) වෙයි. ඔහු පේරාදෙණිය විශ්වවිිද්‍යාලයෙහි උපාධිධාරියෙකි. ඒ මහතා කලක් සිළුමිණ පුවත්පතෙහි ද සේවය කළේ ය. ශිෂ්‍ය අවධියේ සිට ම මා දන්නා අයෙකි. මා නව සමසමාජ පක්‍ෂයෙහි සාමාජිකත්වයෙන් අස්වෙමින් මාක්ස්වාදය විද්‍යාත්මක ද මැයෙන් ලියු දීර්ඝ ලිපිය 1980 වසරෙහි සිළුමිණ පත්‍රයෙහි කොටස් වශයෙන් පළකිරීම භාරව සිටියේ ඒ මහතා ය. ඒ මහතා ඇතුළු පිරිසක් සිළුමිණෙන් දිවයිනට පැමිණෙන විට මම ද ඔවුන් සමග සංක්‍රමණය වීමි. එදා සිට නිිදහස් ලේඛකයකු ලෙස මම නිතිපතා දිවයිනට හා උපාලි පුවත්පත් ප්‍රකාශනවලට ලියමි. මා සිතන අයුරින් දිවයින පුවත්පතට බාහිර ලේඛකයකු ලෙස වැඩිම ලිපි සංඛ්‍යාවක් ලියා ඇත්තේ මා ය. ඒ ලිපි පළකිරීම පිළිබඳ ව මා ඒ මහතාට වඩාත් ම කෘතඥවන්නේ ඇතැම් කාලවල පඬියන්ගේ මැති ඇමතිවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ විරුද්ධතාව මැද ද මගේ ලිපි පළකිරීමට කටයුතු කිරීම නිසා ය. එහෙත් ඒ මහතාට මා ගරුකරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැඳිනගත් ගැමිකම අත්නොහැරි ගැමියකු වීම නිසා ය. එක් කලක අපි කිහිප දෙනෙක් එකතු වී දිවයින පුවත්පත ඔස්සේ පඬියන්ට පරාජය කළ නොහැකි ජාතික මතවාදයක් ගොඩ නැගුවෙමු. ඒ මතවාදය දිනෙන් දින ශක්තිමත් වෙයි. ඩික්සිත් ට ග්ලැඩ්ස්ටන්ට බ්ලේක්ට එරෙහිව නැගී හිටියේත් දැන් රැන්කින්ට (රැන්කින් ගෙදර යැවිය යුතු බව තවත් උපාලි ප්‍රකාශනයක් වු දි අයිලන්ඩ් පුවත්පත ඔස්සේ අප දැනටමත් යෝජනා කර ඇත) විරුද්ධව නැගී සිටින්නේත් සම්බන්දන් පසුගිය දා නැවතත් ලේ හලන කැරැල්ලකට දෙමළ ජනයා මෙහෙයවමින් තම පක්‍ෂයට කළ කතාව සාර්ථකව පරාජය කළ හැක්කේත් ඒ මතවාදයට ය.

වඳිම් සිදුහත් ගාමිණී සුමනසේකර මහතාගේ නවතම කෘතිය වෙයි. මෙය දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළ වූ ලිපි පෙළක එකතුවකි. මම මුල සිට ම එහි පාඨකයෙක් වීමි. පොත දොරට වැඩි දා කතාකළ ඇතැමුන් ලිපි පෙළ තබා පුවත්පතවත්, පොතවත් කියවා නො තිබිණි. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ ම පිහිට ය. ඔවුහු ජාතික මතවාදවලට විරුද්ධ වෙති. ගාමිණි සුමනසේකර මහතා වඳිම් සිදුහත් ලියා ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පිහිටා ය. ඒ මහතා පැරණි පොතපත පරිශීලනය කර ඇත. ගමක හැදී වැඩී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඒ මහතාගේ ගැමිකම නැති කිරීමට නොහැකි වී ඇත. වඳිම් සිදුහත් ලියා ඇත්තේ ඒ ගැමියා මිස සාම්ප්‍රදායික ජාතික පුවත්පතක කතුවරයකු නො වේ. නොඑසේ වී නම් ඔහු අතින් ලියැවෙන්නේ බවතරණයකි. මම පසුගිය වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගෙනගත් ශිෂ්‍යයන් ඉදිරියේ මේ ලිපි පෙළ ඇගයීමි. මට එය නිව්ටන්ගේ ගතිකයට වඩා ලක්‍ෂ සංඛ්‍යාත වරක් වටිනේ ය. බුදුහිමියන් හා සසඳන විට නිව්ටන්ලා අයින්ස්ටයින්ලා කවරහු ද? බුදදහම සමග සෑසඳිය හැකි දැනුමක් ලෝකයේ තිබේ ද? අනන්ත වූ බුදුගුණ අගය කළ හැක්කේ බුදු කෙනකුට ම ය. අප වැනි පුහුදුන්නන්ට කළ හැක්කේ එහි අංශු මාත්‍රයක් අගය කිරීම පමණකි. බෝසතාණන් වහන්සේ කෙනකු යනු මහරජ ගාමිණී කෘතියෙහි සඳහන් ආකාරයට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දාගත් වීර පුරුෂයෙකි. දිපංකර බුදුන්වහනසේගේ පාද මූලයෙහි සුමේධ තවුසාණෝ තමන්ට පසක් කරගත හැකිව තිබූ නිවන තාවකාලිකව (එය තාවකාලික වුවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් දිව ගියේ ය.) කල් දැම්මේ ය. නිවන් දැකීම සඳහා අත්හැරීම ප්‍රගුණ කළ යුතු ය. එහෙත් අනුන් වෙනුවෙන් නිවන අත්හැරීම කෙසේ විස්තර කරම් ද? එය ප්‍රඥාවෙන් නොව කරුණාවෙන් ම කළ දෙයකි. ඒ සඳහා දැඩි විර්යයක් ද තිබිය යුතු ය. සිංහල බෞද්ධයන් මිස බුදුදහම ඊනියා ප්‍රඥාවකින් අවබෝධ කරගත් ඊනියා බුද්ධිමතුන් නොවූ අපට බුදුන් වහන්සේ හැමදාමත් මහා කාරුණිකයන් වහන්සේ මිස මහා ප්‍රාඥයන් වහන්සේ නුවූහ. ශීල සමාධි ප්‍රඥා හා අලෝභ, අද්වේෂ අමෝහ යනුවෙන් මිස අපි අනෙක් පැත්තට නො කියවමු. මහා කරුණාව ඌනිත බටහිර විද්‍යාවේ කරන ආකාරයට ප්‍රඥාවට ඌනනය කළ හැකි නො වේ. ගාමිණී සුමනසේකර මහතා උත්සාහ කරන්නේ අනන්ත වූ බුදු ගුණවලින් අංශු මාත්‍රයක් විස්තර කිරීමට ය. එහි දී ඒ මහතා යොදාගෙන ඇති භාෂාව ඒ කාර්යය සඳහා ම සකස් කරගත්තක් සේ පෙනෙයි. මේ කතා කියවද්දී පුහුදුන් මගේ නෙතග කඳුලෙන් තෙත්වූයේ වරක් දෙවරක් නොවන බව මා සඳහන් කරන්නේ ලජ්ජාවකින් නො වේ. ආඩම්බරයකින් ද නො වේ. ගාමිණී සුමනසේකර මහතා සැදැහැයෙන් වඳිම් සිදුහත් ලියා සසර ගමන කෙටිකරගෙන ඇතැයි සිතේ.

Saturday, 26 May 2012

ජයග්‍රහණය සැමරීම හා නූගත් පාඩම්

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් හි දී ශ්‍රී ලංකා හමුදාව හා රණවිරුවන් ලත් ජයග්‍රහණය සැමරිය නොයුතු යැයි කියන සුළු පිරිසක් රටේ වෙති. ඔවුන්ට අනුව ජයග්‍රහණය සෑමරීමෙන් දෙමළ ජනයාගේ සිත් රිදෙන්නට හැකි ය. එය ඊනියා සංහිඳියාවට හෙවත් ප්‍රතිසංධානයට (ශබිදකොෂයට අනුව රෙකන්සිලේෂන් යන්නෙහි සිංහල පරිවර්තනය) බාධාවක් විය හැකි යැයි ඔවුහු සිතති. ඒ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් එංගලන්තය, ඇමරිකාව හා රුසියාව ජයගැනීම තවමත් අනුස්මරණය කරති. ඒ ජර්මනිය, ඉතාලිය හා ජපානය ඒ ගැන නොසිතන නිසා විය හැකි ය. අද ඒ යුද්ධයෙහි ජයග්‍රහකයන් මෙන් ම පරාජිතයන් ද ආර්ථික හා දේශපාලනික අර්බුදයක ගිලී ඇති අයුරු දැකගත හැකි ය. රෙකන්සිලේෂන් යන වචනය අපට කිසිසේත් ම අදාළ නැති දකුණු අප්‍රිකානු සිද්ධිවලින් ණයට ගත්තකි. එය ලංකාවට හඳුන්වාදුන් පඬියා කවුදැයි අපි නො දනිමු. දකුණු අප්‍රිකාවේ සුද්දෝ කල්ලන් යටපත් කරගෙන සිටියහ. සුද්දන්ගෙන් කල්ලන්ට දේශපාලන බලය මාරුවීමේ දී කල්ලන් රවටා සුද්දන්ට නොසරිලන බලයක් ලබාදීමට සැලසුම් කිරීම (ඇතැම් විට ජීවිත ද ඇතුළු ව) ඒ ඊනියා ප්‍රතිසංධානයේ අරමුණ විය. අවුරුදු තුනකට ඉහත දී ලංකාවේ දේශපාලන බලය කාගෙන් කාහට මාරුවිණි ද? පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිධුරයේ හෝ වෙනසක් පසුගිය අවුරුදු තුනෙහි සිදු වී නැත. නන්දිකඩාල් කලපුවේ දී සිදුවූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය වීම ය.

දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ විකාශයෙහි එක් අවස්ථාවක බිහිවුණු ප්‍රපංචයකි. අප දිගින් දිගට ම කියා ඇත්තේ දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් ඉංගිරිසින් එය හදා වඩා පෝෂණය කර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහි ව සිංහලයන් හා සිංහල සංස්කෘතිය හැකිනම් නැති කිරීමට නැත්නම් අඩුම තරමෙන් දුර්වල කිරීමට යොදාගත් බවත් ය. එහි දී ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයන්ට මෙරට නායකත්වය ලබාදීමට කටයුතු කළේ ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ඔවුන් බවට පත්කිරීමට උත්සාහ කරමිනි. එහෙත් මෙරට අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය, සංස්කෘතිය, ජනගහණ ව්‍යාප්තිය ආදිය මකාදැමීමට ඉංගිරිසින්ට නො හැකි විය. අවසානයේ දී සර්වජන ඡන්දය ලබාදීමත් සමග සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවිණි. දෙමළ ලෙස සිතා රටේ නායකත්වයට පත්වීමට බැරි බව දුටු චෙල්වනායගම් ඉන් නිසි පාඩම උගත්තේ නැත. ආණ්ඩුව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමක් පත්නොකර නූගත් පාඩම් කොමිසමක් පත් කළේ නම් දෙමළ නායකයන් නූගත් ප්‍රධාන ම පාඩම අනාවරණය වීමට තිබිණි. අදත් මෙරට දේශපාලඥයන් හා ඊනියා උගතුන් බහුතරය මේ පාඩම ඉගෙනීමට මෑළි වී ඇත්තේ ඔවුන්ට බටහිරයන්ගෙන් ලැබී ඇති මැකෝලේ අධ්‍යාපනය නිසා ය.

මේ පාඩම අන් කිසිවක් නොව මෙරට තබා කිසිම රටක් මහා අර්ථයකින් බහු සංස්කෘතික රටක් නොවන බවත්, ලංකාව සිංහල බෞද්ධ රට බවත් දෙමළ යනුවෙන් වාර්ගික ව සිතීමෙන් කිසිම දිනෙක දෙමළ නායකයකුට මෙරට ජන නායකයා විය නොහැකි බවත් ය. මේ රට සිංහල බෞද්ධ රට බවත් මෙහි අධිපතිවාදී සංස්කෘතියක් නොමැති බවත් (බෞද්ධයනට අධිපතිවාදී සංස්කෘතියක් තිබිය නො හැකි ය), එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවත් ඒ බව පිළිගත යුතු බවත් දෙමළ ජාතිවාදී නායකයන් ඉගෙනීමට ප්‍රතික්‍ෂෙප කිරීම අවසානයේ දී දරුණු ලේ හැලීමකින් කෙළවර විය. ඒ පාඩම නූගත් චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ප්‍රභාකරන්ට පාර කපමිනි. තවමත්් බොහෝ දෙමළ නායකයන් ඒ පාඩම ඉගෙනීමට සූදානම් නැත. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඔවුන්ට ඒ පාඩම ඉගෙනීමට නො දෙති. දෙමළ නායකයන් බටහිරයන්ගෙන් ද ඉන්දියානුවන්ගෙන් ද නිදහස් නොවන්නේ නම් නැවතත් ලේ වැගිරීමක් සිදුවනු වැළැක්විය නො හැකි ය.

2009 මැයි 19 වැනි දා ආරක්‍ෂක ලේකම්තුමා ප්‍රධාන රණවිරුවන් විසින් පරාජයට පත්කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. එහි දී ඉන්දියානුවෝ ද එංගලන්තය හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයෝ ද ජනාධිපතිතුමා විසින් පරාජය කරනු ලැබුණහ. ඒ එතුමාගේ දේශපාලන නායකත්වයෙනි. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් ද ඒ පරාජයෙන් පාඩමක් ඉගෙන නැත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබිණි ද, බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් දෙමළ ජාතිවාදය තවමත් පවත්වාගෙන යනු ලැබේ. අද බටහිර රටවල විසුරුණු දෙමළ ජනයා ද (ඩයස්පෝරා යන පණ්ඩිතමානී බයිබල් වචනයෙන් වෙනත් අර්ථකථන දෙන බව ඇතැම් සිංහල දේශහිතෛශීන්ට ද නො වැටහෙයි.) දෙමළ ජාතික සංධානයේ ඇතැම් පිරිස් ද බටහිර දැනුම එකම දැනුම යැයි සිතන පඬියෝ ද දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යෑම සඳහා බටහිරයන් හා ඉන්දියානුවන් විසින් යොදාගනු ලැබෙති. දෙමළ ජාතිවාදය තිබෙනතාක් මෙරටට සාමය උදා නොවනු ඇත. පඬියන් සහ වෙනත් බටහිර ගැත්තන් බොහෝ විට පණ්ඩිතමානී ව කියන්නේ ආණ්ඩුව යුද්ධය දිනුවත් සාමය උදාකර නැති බව ය. එයට හේතුව අන් කිසිවක් නොව පඬියන්ගේ ද ආධාරයෙන් බටහිරයන් හා ඉන්දියානුවන් පවත්වාගෙන යන දෙමළ ජාතිවාදය ය. අප දෙමළ ජාතිවාදය න්‍යායිකව පරදවා ඇති නමුත් තවමත් එය දේශපාලනික ව පරාජය කෙරී නැත. මේ තීරුවෙහි වරක් සඳහන් වී ඇති අන්දමට අපි විජිතපුරය ජයග්‍රහණය කළෙමු. එහෙත් අප තවමත් අනුරාධපුරයට ගොස් නැත. එළාර ඔබාමාගේ හා කැමරන්ගේ වෙසින් තවමත් පවතියි. ජී එල් පීරිස්ලා දයාන් ජයතිලකලා ක්‍ෂෙණුකා සෙනෙවිරත්නලා අනුරපුර සටනට සුදුස්සෝ නො වෙති. අපට ඒ සටන සඳහා විජාතික, විදේශීය වූ විදේශ අමාත්‍යාංශයක් වෙනුවට ජාතික වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි.

එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණය ඉතා උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට එය බාධාවක් නොවිය යුතු ය. නන්දිකඩාල් කලපුවේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. ඒ අතර දෙමළ ත්‍රස්තවාදය ඇතිකර පෝෂණය කළ බටහිර රටවල් ද පරාජය කෙරිණි. ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්තවාදී නඩයක් (බටහිර බලවතුන්ගේ සහාය ලෑබුණු) පරාජය කරනු ලැබීණි. එවැනි ජයග්‍රහණයකින් පසුව උත්සව පවත්වන්නේ නැතිනම් උත්සව පවත්වන්නේ කවදා ද? උත්සව පැවැත්වීමෙන් දෙමළ ජනයාගේ සිත් නරක් විය යුතු නො වේ. එසේ කියන්නෝ කලින් කී පාඩම නූගත් අය වෙති. නන්දිකඩාල් ජයග්‍රහණය ගැන දෙමළ ජනයා ද සතුටු විය යුත්තේ ඔවුන්ට එමගින් දෙමළ ත්‍රස්තවාදයේ වියගහෙන් නිදහස්වීමට හැකිවුණු බැවිනි. අප ඔවුන්ට ද මෙරට සිංහල බෞද්ධ රට බව කීමට මෑළි විය යුතු නො වේ. මෙරට සිංහල බෞද්ධ රට යන්නෙන් දෙමළ හින්දු සංස්කෘතියට මෙරට තැනක් නැති බවක්වත් දෙමළ ජනයා දෙවැනි පංතියේ පුරවැසියන් බවවත් නො කියැවෙයි. පුද්ගලයන් වශයෙන් ගත්කල සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමානයෝ වෙති. එහෙත් සංස්කෘතීන් වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා විශේෂ තැනක් ගනියි. කරුණාකර එක් පඬියකුවත් සියළු සංස්කෘතීන් සමාන වන රටකට උදාහරණයක් පවසන්නේ ද? පඬියන් බොහෝ විට පරමාදර්ශී රටක් ලෙස සලකන පුර රාජ්‍යයක් වූ සිංගප්පූරුවේ ද අධිපතිවාදී සංස්කෘතියක් වෙයි. ඒ මැන්ඩරීන් චීන සංස්කෘතියෙහි විශේෂයකි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන් ම මෙරට සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙනි. අද ඒ මහතා වටකරගෙන සිටින ඇතැම්හු ඒ මහතාට ඡන්දය දුන් අයවත් නො වෙති. ඔවුහු ඒ මහතාට විරුද්ධව ලිපි ලිවූහ. මැතිවරණ හා ජනාධිපතිවරණ ව්‍යාපාරවල නියුක්ත වූහ. අද ආණ්ඩුව නැංගුරමක් නැති නැවක් මෙන් ඇදී යන බවක් යම් කිසිවකුට පෙනෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව ප්‍රතිගාමී සිංහල බෞද්ධ විරෝධී පිරිස් ඒ මහතා වටකරගෙන ජාතිකත්වයට පටහැණි උපදෙස් ලබාදීම ය. “යුද්ධය” දිනීමට නොහැකි යැයි කීවෝ අද “යුද්ධය” ගැන ලියති. යම් අයුරකින් බටහිරයන්ගේ සැලසුම් මල්ඵල ගැනී මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකම අහෝසි වුවහොත් මේ පුද්ගලයන් ටයි මාරුකරනු දැකගත හැකිවනු ඇත. අවාසනාවකට අද ඇමති මණ්ඩලයේ සිටින්නන්ට ද “යුද්ධය” ජයග්‍රහණය කිරීම ගැන කිසිදු විශ්වාසයක් නො තිබිණි. ඔවුහු කී දෙනෙක් පැකේජ් ඇමතියෝ වූවෝ ද? අප සැමදාමත් කියා සිටියේ මෙරට යුද්ධයක් නොතිබූ බව ය. අපේ හමුදාවට සිදුවූයේ සතුරු රටක් සමග යුද්ධ කිරීමටවත්, සිවිල් යුද්ධයක පැටලීමටවත් නොව නීත්‍යානුකූල ව බලයත් පත් රාජ්‍යයට විරුද්ධව බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන්, ඔවුන් ම සැපයූ ආයුධ අතට ගත් ත්‍රස්තවාදීන් පිරිසකට එරෙහිව මානුෂික මෙහෙවරක් දියත් කිරීමට ය. එය කිසිසේත් ම දෙමළ ජනයාට එරෙහිව කරන ලද සටනක් නො වී ය.

දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් මෙන් සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ද හැකිවිය යුතු ය. කළ යුත්තේ සිංහල බෞද්ධ විරෝධී කොටස් ඉවත්කර නැවතත් බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ කටයුතු කිරීම පමණකි. දරුස්මාන් ලවා ලියාගත් රොබට් බ්ලේක් -බෑන් කි මූන් වාර්තාව, සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතා, චැනල් ෆෝ කුණුහරුප, ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්, ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ජෙනිවා යෝජනා ආදී සියල්ල එක් දම්වැලක පුරුක් මිස තනි තනි සිද්ධි නො වේ. එබැවින් ඒවා තනිතනිව ගෙන ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවන්ත නො වේ. අද බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් මහින්ද රාජපක්‍ෂ මහතා (පඬියන්ගේ ඊනියා රෙජීම ය) ඉවත්කර ඒ වෙනුවට ඔවුන්ගේ ඉත්තකු පත්කර ගැනීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා තමාට ඡන්දය දුන් මෙරට ලක්‍ෂ ගණන් සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටිනතාක් වයිමාට නොව මාරයාටවත් ඒ මහතා ඉවත්කිරීමට නො හැකි වනු ඇත. අප වටහාගත යුත්තක් වේ. මේ 1506වත්, 1815වත් නො වේ. පහළොස්වැනි සියවස අග ඇති වූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අද යන ගී ගයයි. ආර්ථික අර්බුදයක ගෙලවට දක්වා එරී ඇති ක්‍රිස්තියානි නූතනත්වයට ගොඩ ඒමක් නැත. රොබට් බ්ලේක්ට රොබට් බූවුන්රිග්ගේ ශක්තියවත් නැත.

Friday, 30 September 2011

මර්වින්ගේ පුණ්‍යකර්මය

මර්වින් සිල්වා ඇමතිතුමා කරන කියන දේ සියල්ල එකක් එකක් නෑර අනුමත කරන්නන් ඇත් දැයි මම නො දනිමි. එහෙත් ඒ මහතා පසුගිය දා හලාවත කෝවිලකට ගොස් කළ දේ බොහෝ දෙනකු අනුමත කරන්නේ යැයි සිතමි. ඒ සතුන් පණ බේරාගත්තේ ඇමතිතුමා නිසා ද එසේත් නැත්නම් අධිකරණ තීන්දුවක් නිසා ද යන්න විවාදාත්මක විය හැකි ය. ඒ අධිකරණ තීන්දුවක් නිසා වුවත් ඒ මහතාගේ යම් දායකත්වයක් එහි දී සිදවණු බව ඒ මහතාගේ විරුද්ධකාරයන්ට වුව ද පිළිගැනීමට බලකෙරෙයි. මර්වින් සිල්වා ඇමතිතුමාට ඒ අහිංසක සතුන්ගේ ජීවිත බේරාගැනීමට දායකවීමට ලැබීමෙන් මහත් පිනක් අත්වන්නට ඇත. ඒ අතර කෝවිලට සම්බන්ධ පිරිසක් ඒ මහතාට දඬුවම් කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් කර ඇති බව ද පැවසෙයි. බලි බිලි බලා සිටින දෙවිවරුන් (මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන් ද සිටින බව අමතක නොකළ යුතු ය. එහෙත් ඔවුන්ගේ බල පුළුවන්කාරකම් කෙමෙන් අඩුවන බවක් පෙනෙයි) ඒ මහතා සමග උරණ වුව ද මේ කරුණෙහි දී සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් ඒ මහතා රකිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය.

එහෙත් ඒ පිළිබඳ වෙනත් ප්‍රශ්න නගන්නන් නැතැයි මෙයින් නො කියැවෙයි. මර්වින් සිල්වා මහතා නීතිය අතට ගෙන ක්‍රියා කළේ ද? අධිකරණයේ තීන්දුවක් දුන් පසු එය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ඇත. මන්ත්‍රීවරුන් එයට සහභාගි විය යුත්තේ ඇයි දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් අප රටේ පොලිසියේ ඇතැමුන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී දක්වන උදාසීනභාවය වෙනත් කාහටත් වඩා හොඳින් දේශපාලනඥයෝ දනිති. එයට එක් හේතුවක් වන්නේ ද පොලීසිය උදාසීන වීමට ඇතැම් විට අක්‍රියාත්මකවීමට දේශපාලනඥයන්ගේ මැදිහත්වීම බලපෑම ය. අදාළ ප්‍රශ්නයේ දී පොලීසිය අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන තුරු බලා සිටියේ නම් ඇතැම් විට සතුන් බිලිදීම වැළැක්වීමට නොහැකි වන්නට තිබිණි. අතීතයේ දී දේශපාලනඥයන් නීතිය අතට ගැනීමට පොලීසියේ ඇතැමුන් අහිංසක මිනිසුන්ට කරදර කිරීම ද බලපෑ බව නිසැක ය. මුල දී එසේ වුවත් පසුව දේශපාලනඥයන් නීතිය අතට ගැනීම පුරුද්දකට ගොස් ඇති බව පෙනී යයි.

හුණුවටයේ කතාවෙහි අසඩක් ගැන කියන නීති බින්දෝ එය රැකීමට යන වැකිය මෙහි දී මතක් වෙයි. බටහිර නීතිය සකස් වී ඇති ආකාරයට ඇතැම් විට නීතිය රැකිය හැක්කේ එය බිඳීමෙනි. සාධාරණය ඉටුකිරීමට ඇතැම් විට නීති කැඩීමට සිදුවෙයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සාධාරණය යනු කුමක් ද යන්න ය. ඒ ඒ සමාජයේ ඒ ඒ සංස්කෘතියේ සාධාරණය යනු එක ම නොවන බව පැහැදිලි ය. වාස්තවික වූ සාධාරණත්වයක් ලෝකයේ නැත. සාධාරණත්වය සංස්කෘතියට සාපේක්‍ෂ ය. නීතිය යන්න තීරණය වන්නේ යම් රටක පවත්නා දේශපාලන බල තුලනය මත ය. අදාළ රටේ දේශපාලන බල තුලනය රැකීමට නීතිය සකස් වෙයි. නීති සකස් කරනුයේ බටහිර රටවල නම් රජුන් හා දේශපාලනඥයන් හා පූජකවරුන් විසිනි. අද පූජකවරුන් ඒ කාර්යයෙහි දී සෘජුව මැදිහත් නොවන බවක් පෙනී යන නමුදු ඒ එසේ නො වේ. නීතිය සංස්කෘතිය සමග බැඳී ඇත. සංස්කෘතිය ආගම් සමග බැඳී ඇත. බටහිර රටවල අද බලපාන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ය. එය කතෝලික සංස්කෘතියට පටහැණි ය. කතෝලික ආගම හා සංස්කෘතිය බලවත් වූ කාලයෙහි බටහිර ලෝකයෙහි බල පෑ විවාහ නීතිය අද එහි බලපාන විවාහ නීතිය සමග සංසන්දනය කිරීමෙන් වුව ද නීතිය, සංස්කෘතිය හා දේශපාලනය අතර ඇති සම්බන්ධය තේරුම් ගත හැකි ය.

මෙරට නීතිය, සංස්කෘතිය, දේශපාලනය, අධ්‍යාපනය, විද්‍යාව ආදී සෑම ක්‍ෂෙත්‍රයක ම බලපාන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ය. අද සිංහල බෞද්ධයන් ද ක්‍රමයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කිඳා බසින්නේ එහි ආධිපත්‍යය යටතේ ය. විද්‍යාලංකාරය ඊනියා කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් වී දැනුම නිර්මාණයට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ මැදිහත්වීමට එරෙහි වන්නේ ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යටවීම ඔස්සේ ය. එසේ වුවත් බොහෝ සිංහලයන්ට, බෞද්ධයන්ට මෙන් ම කතෝලිකයන්ට ද, තම මුතුන්මිත්තන්ගෙන් උරුම වූ සංස්කෘතියක් ඇත. අද සිංහලයන් බොහෝ විට පරස්පර ක්‍රියාවල යෙදෙන්නේ තම මුතුන් මිත්තන්ගෙන් උරුම වු සිංහල බෞද්ධ සංස්කෘතියෙහි මෙන් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ඔස්සේ තමන් මත පටවා ඇති යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද ජීවත්වීමට උත්සාහ කිරීම හේතුකොට ගෙන ය. මෙය අසහනයකි. බටහිර සංකල්ප අනුව ම සිතන අයකුට අවශ්‍ය නම් එයට සංස්කෘතික ආතතියක් යැයි කිව හැකි ය. බෞද්ධයනට නම් එය තවත් දුකක් පමණකි. මර්වින් සිල්වා මහතා ද දේශපාලනඥයකු ලෙස යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ජීවත්වන අතර තමන්ට උරුම වූ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ද ජීවත්වෙයි. එතුමා කෝවිලට ගොස් බිලි දීමට ගෙනා සතුන් මුදාහැරියේ සිංහල බෞද්ධයකු ලෙස ය. එසේ කිරීමේ දී එතුමා නීතිය අතට ගන්නේ නම් එසේ කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ක්‍රියාත්මක වන දේශපාලනඥයකු ලෙස ය, එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිකාංගයක් රැක ගැනීමට ය. බටහිර රටවල දේශපාලනඥයන් නීතිය අතට නොගන්නේ යැයි නොසිතිය යුතු ය. එහෙත් සංස්කෘතිකව ඔවුන්ට නීතිය අතට ගැනීමට සිදු නොවන්නේ ඔවුන්ගේ රටවල නීතිය හා සංස්කෘතිය දෙකම එකට බැඳී ඇති බැවිනි.

මර්වින් සිල්වා මහතාගේ ප්‍රණ්‍ය ක්‍රියාවට පඬියන් විරුද්ධවීමට ඉඩ ඇත. පඬියෝ වනාහි තමන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මුල් ඇද ගෙන ඇතැයි සිතති. ඔවුන්ට ප්‍රශ්නය වන්නේ මර්වින් සිල්වා මහතා හින්දු සංස්කෘතියට අවශ්‍ය ආකාරයට සතුන් බිලි දීමට ඉඩ නොදීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යය හින්දූන් මත පටවා ඇත්තේ ද යන්න ය. ඔවුන් ඒ ප්‍රශ්නයට ඔව් යැයි පිලිතුරු දී සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇත. අවුරුදු දහයේ දොළහේ ළමුන් පැවිදි කිරීමෙන් ඒ ළමුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි මේ පඬියෝ පවසති. එහෙත් මේ පඬියෝ ද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ද එස් බී දිසානායක ඇමතිතුමා ද රජය ද මෙරට සිංහල බෞද්ධ දරුවනට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අධ්‍යාපනය බලහත්කාරයෙන් දීමෙන් (අනිවාර්ය කිරීමෙන්) ඒ දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම ගැන අබමල් රේණුවකවත් අවධානයක් යොමු නො කරති. මෙරට පාසල් හා විශ්වවිද්‍යාල තරම් සිංහල බෞද්ධ දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩන ආයතන තවත් නැත.

හින්දු සංස්කෘතියෙහි සතුන් බිලි දීම කළයුතු දෙයක් නම් හින්දුන්ට එසේ කිරීමට ඉඩ දිය යුතු ද? ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මත්පැන් පිළිගැනෙන්නේ නම් මතට තිත යන්න ක්‍රිස්තියානියට විරුද්ධව කෙරෙන මෙහෙයුමක් ද? මත්පැන් තහනම් කිරීම ක්‍රිස්තියානීන්ගේ මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් ද? අප නැවතත් පෙර රජ දවස මෙන් මාඝාතය පැනවුවහොත් එය මුස්ලිමුන්ගේ හා ක්‍රිස්තියානීන්ගේ මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් වන්නේ ද? අප පන්සිල් රකින සමාජයක් ඇතිකර ගන්නේ කෙසේ ද? ඊනියා මානව අයිතිවාසිකම් යන්න ම ක්‍රිස්තියානි සංකල්පයක් වන අතර එය මෙරට දී මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව ක්‍රියාත්මක වෙයි. ඊනියා මානව අයිතිවාසිකම් රැකෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශ්‍ය ආකාරයට බව බොහෝ දෙනාට නොතේරෙන්නේ අපට බලහත්කාරයෙන් ලබා දෙන කසිකබල් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතු කොටගෙන ය.

මානව අයිතිවාසිකම්කාරයෝ රජය හා ජනතාව යනුවෙන් කොටස් දෙකක් හඳුනාගෙන රජයට එරෙහිව මානව අයිතිවාසිකම් යන සංකල්පය වර්ධනය කරති. මොවුන්ට සත්ව අයිතිවාසිකම් යනුවෙන් සංකල්පයක් නැත්තේ ඇයි? එයට ප්‍රධාන හේතුව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි (තිරිසන්) සතුන් මවා ඇත්තේ මිනිසා වෙනුවෙන් බැවිනි. මෑතක් වන තුරුම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බටහිර ජීව විද්‍යාඥයන්ට අනුව තිරිසන් සතුන්ට මනස් නො තිබිණි. දැන් බටහිර ජීව විිද්‍යාඥයන්ගෙන් ඉතා සුළුතර පිරියක් සතුන්ට මනස් ඇති බව පිළිගනිති. මනස් නැති සතුන්ට, මිනිසා වෙනුවෙන් මවා ඇති සතුන්ට, මොන සත්ව අයිතිවාසිකම් ද? එහෙත් සංසාරයෙහි සැරිසරන බෞද්ධයනට, තමන් සතුන් ලෙස ඉපදීමට ඉඩ කඩ ඇති බව දන්නා බෞද්ධයනට, තමන්ගේ මිය පරළොව ගිය ඥාතීන් තිරිසන් සතුන් ලෙස ඉපදීමට හැකි යැයි සිතන බෞද්ධයනට සතුන් මැරීම පාප කර්මයකි. සතුන් මැරීමට අනුබල දීමෙන්, මස් කෑමට වෙළෙඳ දැන්වීම් ඇතුළු විවිධ මාර්ගවලින් හුරුකිරීමෙන් සිංහල බෞද්ධයන් ගේ මානව අයිතිවාසිකම් කඩ වන්නේ ද? මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල බටහිර සත්වවිද්‍යාව ඉගැන්වීම සඳහා බෞද්ධ ශිෂ්‍ය ශිඃ්‍යාවන් ලවා සතුන් මැරවීමෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් හෝ පුණ්‍ය අයිතිවාසිකම් හෝ කඩ කෙරෙන්නේ ද? මේ සිසුන් ලවා බලහත්කාරයෙන් පවි කරවන්නෝ කවරහු ද? පඬියෝ පිළිතුරු දෙත්වා. අංගුලිමාල සම්බන්ධයෙන් තරම් ප්‍රශ්නය බරපතළ නොවුණ ද, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සනාතන සභා, පීඨ මණ්ඩල ආදිය යම් ප්‍රමාණයකට හෝ වගකිවයුතු යැයි සිතමි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙරට බෞද්ධ රටක් බවට පත්කිරීමට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බාධා කරන ආකාරය ය. මර්වින් සිල්වා ඇමතිතුමා මේ සම්බන්ධයෙන් තම සහෝදර ඇමතිතුමන්ලාගේ අවධානය යොමුකරවන්නේ නම් ඒ මහතාට තව තවත් පින් අත්වනු ඇත.

Thursday, 9 June 2011

වාස්තවිකත්වයෙන් පෞද්ගලිකකරණයට

බටහිර විද්‍යාවේ සහ අනෙක් බටහිර දැනුම්වල ඇති පරස්පර යම් ප්‍රමාණයක් අපි දැනටමත් සාකච්ඡා කර ඇත්තෙමු. බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචේන්ද්‍රිය ගෝචර, නිරීක්‍ෂණ (පරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ) මත පදනම් වන්නේ යැයි බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ කියති. ගැලීලියෝ මේ පරීක්‍ෂණාත්මක ක්‍රමය ඇරඹී යැයි ද ඔවුහු කියති. එය දෙයාකාරයකින් වැරදි ය. එක් අතකින් මිනිස්සු ගැලීලියෝට පෙර ද නොයෙකුත් අත්හදාබැලීම් නිරීක්‍ෂණ කළහ. වස්තු දෙකක් එකවිට එක උසකින් නිසලතාවෙන් පොළොවට අතහැරියහොත් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න නිරීක්‍ෂණ මත පදනම් වූවකි. රික්තයක් නොමැති විට බොහෝ අවස්ථාවල එසේ සිදු වේ.

ගැලීලියෝ කළේ නොපෙනෙන, නිරීක්‍ෂණය කළ නොහැකි රික්තයක එසේ වස්තු අතහැරියහොත් ඒවා එකවිට පොළොවට වැටෙන බව බටහිර තම සමකාලීනයනට ඒත්තු ගැන්වීම ය. එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නොව චිත්ත පරීක්‍ෂණයක් විය. ඔහු එහි දී ඉන්ද්‍රිය ගොාචර පරීක්‍ෂණයක් නො කෙළේ ය. එබැවින් ද ඔහු පරීක්‍ෂණාත්මක ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ යැයි කීම වැරදි ය. එමෙන් ම පොළොව සූර්යයා වටා චලනය වන්නේ යැයි කීමේ දී ද ඔහු කළේ ඒත්තු ගැන්වීමක් පමණකි. එහි දී ඔහු සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය හඳුන්වා දුන්නේ තම මතය (භාරතීීයයන් භාවනාවෙන්, යෝග අභ්‍යාසවලින් ලබාගත් ප්‍රත්‍යක්‍ෂය) අනෙක් බටහිරයන්ට ඒත්තු ගැන්වීමට ය.

මේ චිත්ත පරීක්‍ෂණ ඔස්සේ ගැලීලියෝ බටහිර විද්‍යාවට වියුක්ත චින්තනය හඳුන්වා දුන්නේ ය. එපමණක් නොව ඊනියා වාස්තවිකත්වය ද බටහිර විද්‍යාවට ගෙන ආවේ ය. ඔහු ඒ සංකල්ප එලෙසින් ම යොදා ගත්තේ යැයි මෙයින් නො කියැවෙයි. පිසා නුවර, කොළඹ හෝ වෙනත් තැනක හෝ එකවිට එක උසෙන් නිසලතාවෙන් අත්හරින වස්තු නිරීක්‍ෂකයා කවුරුන් වුවත් එකවිට පොළොවට වැටෙන බව පෙන්වා දීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් එසේ වස්තු ඇද වැටෙන බව විශ්වාස කළහ. එය ඊනියා වාස්තවිකත්වය (objectivity) විය. එය සාධාරණකරණය (generalize) විය. පුද්ගලයා හා පෞද්ගලිකත්වය (පෞද්ගලික නිරීක්‍ෂණ) ඉස්මතු කරමින් පැන නැගුණු විද්‍යාවක නිරීක්‍ෂකයා ඉක්මවූ සාමුහකත්වයක් නොවන වියුක්ත වාස්තවිකත්වයක් සාධාරණිකරණයක් ඇතිවිය. පුද්ගලයන්ගේ පංචේන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ මත පදනම් වූ බටහිර විද්‍යාවට ඉන්පසු පෞද්ගලික නොවන වියුක්ත, සාධාරණ, වාස්තවික ප්‍රවාද අවශ්‍ය විය. මෙයට වඩා පරස්පරයක් තවත් තිබිය හැකි ද?

එහෙත් බටහිර විද්‍යාව එපමණකින් නො නැවතිණි. එහි සමස්තය කැබලිවලට කැඩිණි. ඊනියා වස්තුවක් යනු කොටස්වල එකතුවක් විය. මෝටර් රථයක් යනු එංජිම, දොරවල්, රෝද, සුක්කානම ආදී විවිධ කොටස්වල එකතුවක් විය. වස්තු අණුවලටත්, අණු පරමාණුවලටත්, පරමාණු න්‍යෂ්ටි හා ඉලෙක්ට්‍රෝනවලටත් කැඩිණි. සමස්තය නොසලකමින් එසේ කැඩීම අවසානයේ දී ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව අද බටහිර භෞතික විද්‍යාඥයන්ට ක්‍රමයෙන් තේරුමි ගැනීමට සිදු වී ඇත. අද සුපිරි තන්තුවලට සියල්ල කඩා ඇති බටහිර භෞතික විද්‍යාඥයන්ට ඒ සුපිරි තන්තුවලින් එල්ලී මියයෑම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.

අප ඉහත සඳහන් කළේ බටහිර භෞතික විද්‍යාව පදනම්වන ඊනියා නිව්ටෝනීය සුසමාදර්ශයෙහි (Newtonian Paradigm) අංග කිහිපයක් පමණකි. මේ සුසමාදර්ශය පසුපස යන බටහිර වෛද්‍ය විද්‍යාව අද මිනිස් සිරුර (එනම් නාම රූපයෙහි රූපය) කොටස්වලින් සමන්විත බව උපකල්පනය කරයි. මිනිස් සිරුර යනු මොළය, හදවත, අක්මාව, වකුගඩුව ආදී කොටස්වල එකතුවක් පමණක් යැයි බටහිර වෛද්‍ය විද්‍යවේ උපකල්පනය කෙරෙයි. අද හදවත් බද්ධකිරීම් ආදිය සිදු කෙරෙන්න් මෝටර් රථයක රෝද මාරුකරන්නාක් මෙනි. මේ ප්‍රතිකර්ම නොව රෝග පාලනය කිරීමක් පමණකි.

එහෙත් ඒ සියල්ලටත් වඩා බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නාම රූප වෙන් කෙරෙයි. සසර සැරිසරන අපේ කුසල් අකුසල් සහිත නාමය රූපය සමග එකතුවීමෙන් රූපයෙහි ඇතිකෙරෙන රෝග ගැන බටහිර වෛද්‍ය විද්‍යාවට කාන්කවිසියක දැනුමක් නැත. අපේ ඇතැම් රෝග අපේ අකුසල් ඵල දීමක් ලෙස අප මෙරට සිටින බෞද්ධ යැයි කියාගන්නා බොහෝ බටහිර වෛද්‍යවරුන්ට ඒත්තුගන්වන්නේ කෙසේ ද? මොවුහු ඊනියා බුද්ධිවාදී, හේතුවාදී (rational) අබෞද්ධයෝ වෙති. ඔවුහු සංසාරය විශ්වාස නො කරති. සංසාරය විශ්වාස නොකරන්නා බෞද්ධයකු වන්නේ කෙසේ ද? ඔවුන් පුනබ්භවය විශ්වාස නොකරන්නේ බටහිර විද්‍යාවෙන් පුනබිභවයක් ඇති බව පෙන්වාදිය නොහැකි යැයි කියමිනි.

මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන් පමණක් නොව ඊනියා මහා ලේඛකයෝ ද, ප්‍රාඥයෝ ද, කවියෝ ද, සාහිත්‍ය කරුවෝ ද, ජාතිකත්වය අගයන්නෝ ද තවත් එවැනි පිරිස් ද බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරමින් පුනබිභවයට අභියෝග කරති. එහෙත් මොවුනට ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රයක් ඇති බව ද පෙන්වා දිය හැකි නො වේ. එසේ නම් ඔවුන් ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය පිළිගන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් නාමය රූපයෙන් වෙන්කළ බටහිර වෛද්‍ය විද්‍යාව අංග විකල දැනුම් පද්ධතියක් පමණකි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ නොදියුණුකම රඳා පවතින්නේ එහි පමණක් නො වේ. ඒ පදනම් වී ඇති බටහිර භෞතික විද්‍යාවේ, බටහිර රසායන විද්‍යාවේ, බටහිර ජෛවීය විිද්‍යාවේ ද අඩුලුහුඬුකම් බටහිර වෛද්‍ය විද්‍යාවට ද බලපායි. අපේ පෞරාණික හෙළ නිල වෙදකම බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා දසදහස් ගුණයකින් වර්ධනය වූ වෙදකමක් බව මම අත්දැකීමෙන් දනිමි. මේ පිළිබඳ ව ඕනෑම අයකු සමග ප්‍රසිද්ධ විවාදයක් කිරීමට මම සූදානමින් සිටිමි.

අද තාක්‍ෂණයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාව ද තාක්‍ෂණ නොව බටහිර විිද්‍යාවන් ද කඩාවැටෙමින් පවතියි. ඒ බව කියැවෙන ප්‍රධාන ම දැනුම් පද්ධතියක් වනුයේ ඊනියා පශ්චාත්නූතනවාදය ය. එහි ඈරිස්ටෝටලීය න්‍යාය ප්‍රතික්‍ෂෙප වෙයි. නිරපේක්‍ෂය වෙනුවට සාපේක්‍ෂය ඉදිරියට පැමිණෙයි. එහෙත් ඒ සමග එහි පාර ආඛ්‍යාන ද (meta narratives) ප්‍රතික්‍ෂෙප කෙරෙයි. පාර ආඛ්‍යාන යනු සාමාන්‍ය ප්‍රවාද පිටුපස ඇති ප්‍රවාද ලෙස සැලකිය හැකි ය. උදාහරණයක් වශයෙන් ගතහොත් ලෝකය නීති රීති (නියම) අනුව හැසිරෙන්නේ ය යන්න හා ඒ නියම අපට තේරුම් ගතහැකි ය යන්න පාර ආඛ්‍යානයක් වෙයි.

පශ්චාත්නූතනවාදයෙහි සාපේක්‍ෂව ලෝකය බැලීමට ඉගැන්වෙයි. එක් එක් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ලෝකය විවිධ ස්වරූප ගන්නේ ය යන්න බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නූතනවාදයට පටහැණි වුවත් ඊනියා පශ්චාත්නූතනවාදයට එකඟ ය. පශ්චාත්නූතනවාදීන් කෙතරම් අන්තගාමී සාපේක්‍ෂතාවාදීන් ද කිවහොත් ඔවුහු භාෂාවක් යනුවෙන් දෙයක් ඇතැයි නො සිතති. උදාහරණයක් ලෙස ඔවුන්ට අනුව දකුණේ සිංහලයන් කතාකරන සිංහල උඩරට සිංහලයන් කතාකරන සිංහලයෙන් වෙනස් වෙයි. එවිට ලංකාවේ සිංහල කතාකරන්නේ යැයි කියන සියල්ලන්ට පොදු වූ භාෂාවක් නැති බව පෙනී යයි. එබැවින් සිංහල යනුවෙන් භාෂාවක් තිබේ යැයි කීම වැරදි යැයි ඔවුන්ට අනුව නිගමනය කිරීමට සිදුවෙයි. එපමණක් නොව ඔවුන්ට අනුව උඩරට සිංහල, දකුණේ සිංහල ආදී වශයෙන් සිංහල ඇති බව ද ප්‍රතික්‍ෂෙප කිරීමට සිදුවෙයි. එයට හේතුව දෙදෙනකු කතාකරන සිංහලයෙහි යම් යම් වෙනස්කම් ඇති බව තේරුම් ගැනීම අපහසු කරුණක් නොවන බැවිනි.

බටහිර වියුක්ත සංකල්ප කඩා වැටෙන බව තේරුම් ගත් පිරිසක් නෑවතී ඇත්තේ එහි අනෙක් අන්තයෙහි ය. ඊනියා පශ්චාත්නූතනවාදීන් ඇරිස්ටෝටලීය න්‍යාය වැරදි බව තේරුම් ගත්ත ද, ඔවුන්ට එයින් ගැලවීමක් නැත. එක් එක් නිරීක්‍ෂකයා එක් එක් ආකාරයට ලෝකය අවබෝධ කරගන්නේ ය (නිර්මාණය, සංස්කරණය කරගන්නේ ය) යන්න පිළිගන්නා අතර ඒ ඒ සමහරුන්ගේ ලෝකවල ඇති යම් පොදු බවක්වත් පිළිගැනීමට අකමැතිවීම මෙහි ප්‍රධාන හේතුව වෙයි.

අවශ්‍ය නම් ඒ පොදු බව පාර ආඛ්‍යානයක් යැයි කිසිවකුට කිව හැකි ය. පාර ආඛ්‍යාන නොපිළිගන්නා ඊනියා පශ්චාත්නූතනවාදීන්ට එවැනි පොදු බවක් පිළිගැනීමට නො හැකි ය. වියුක්ත චින්තනය, වාස්තවිකත්වය හා සාධාරණීකරණය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පෞද්ගලික නිරීක්‍ෂණ, පුද්ගලයා ඉස්මතු කිරීම සමග නො පෑහෙයි. මේ නොපෑහීම, එනම් පරස්පරය සමග තවදුරටත් ඉදිරියට යෑමට (ඊනියා වර්ධනයට, සංවර්ධනයට) බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට නො හැකි ය. ගැලීලියෝ, නිව්ටන් ආදීන්ට පමණක් නොව අයින්ස්ටයින්ට ද ඒ පරස්පරයෙහි හිඳිමින් ම තම ප්‍රවාද ඉදිරිපත් කිරීමේ හැකියාව විය. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙන් ඒ හැකියාව තවදුරටත් නොමැති බව පැහැදිලි වී ඇත.

අයින්ස්ටයින් විද්වතාගේ සාපේක්‍ෂතාවට අනුව ඒ ඒ නිරීක්‍ෂකයාට ඇතැම් දේ වෙනස් ආකාරයට පෙනෙයි (නිරීක්‍ෂණය වෙයි). උදාහරණයක් ලෙස සිද්ධි දෙකක් අතර දුර හා කාල අන්තරය එක් එක් නිරීක්‍ෂකයා මනින්නේ එක් එක් ආකාරයට ය. එසේ වුවත් ඒ සියලු නිරීක්‍ෂකයෝ සිද්ධි දෙකෙහි අවකාශ - කාල ප්‍රාන්තරය (space - time interval) යනුවෙන් හැඳින්වෙන්න එකක් ම ලෙස ගනිති. අයින්ස්ටයින් විද්වතාට අවශ්‍ය වූයේ සාපේක්‍ෂතා ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමට නොව නිරීක්‍ෂකයන් සියල්ලන්ට ම පොදු අගයන් ලබාදෙන නිරීක්‍ෂණ කවරේ දැයි දැනගැනීම ය. මේ පොදු අගයන් අවිචලක (invariants) ලෙස හැඳින්වෙයි. අයින්ස්ටයින් යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් බිහි කෙරුණු අවසාන යෝධ බුද්ධිමතා ය. අද ජීවත්වන ස්ටීවන් හෝකින් වැන්නන්ට අයින්ස්ටයින් විද්වතාට අලගු තැබීමටවත් නොහැකි වී ඇත. ක්වොන්ටම් භෞතිකයෙන් පෙන්වන්නේ මේ කඩාවැටීම ය. අයින්ස්ටයින් ඉතා තදින් ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට විරුද්ධවීම පුදුමයක් නො වේ.

මේ පිළිබඳ තවත් සාකච්ඡා කිරීමට පෙර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි කඩාවැටීම පෙන්නුම් කරන තවත් ක්‍ෂෙත්‍රයක් ගැන සුළුවෙන් වුවත් සඳහන් කළ යුතු ය. ඒ අන්කිසිවක් නොව පරිගණක විද්‍යාව ආශ්‍රිත ව ඉදිරිපත්වන දැනුම ය. පරිගණක වි්‍යාව යැයි කීව ද එහි ඊනියා බටහිර විද්‍යාවක් නැත. මෝටර් රථ කර්මාන්තය පිටුපස බටහිර විද්‍යාවේ තාපගතිකය ඇත. එහෙත් පරිගණක ප්‍රක්‍රමණ ලිවීම පිටුපස ඇති විද්‍යාව කුමක් ද? අද පරිගණක සම්බන්ධයෙන් නිතර කියැවෙන වචනයක් වී ඇත්තේ පෞද්ගලිකකරණයයි (customize). මේ පෞද්ගලිකකරණයට තල්ලු වීමට පරිගණක විද්‍යාවෙහි හේතු වී ඇත්තේ තවදුරටත් වියුක්ත, සාධාරණ, වාස්තවික ප්‍රවාද දැනුමෙහි වලංගු නොවීම ය.

Wednesday, 25 May 2011

චින්තන පර්ෂදය සංවිධානය කරන දේශනයක්



ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීම

අවුරුදු දෙකකට ඉහත දී බොහෝ පඬියන් කළ නොහැකි යැයි කී දෙයක් අපට කළ හැකි විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම, රණවිරුවන්ගේ කැපවීම හා සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ආධාරය හේතුකොටගෙන අවුරුදු තිහක් පමණ කාලයක් තිස්සේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් ආධාරයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි විණි. එහෙත් දෙමළ ජාතිවාදය තවමත් බටහිර හා ඉන්දියාවේ අනුග්‍රහය යටතේ නොනැසී පවතියි. දෙමළ ජාතිවාදය අද පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසිනි. ඔවුන් නොවන්නට මේ වන විටත් දෙමළ ජාතිවාදය ද තුරන් වී අවසන් ය.

දෙමළ ත්‍රස්තවාදය දෙමළ ජාතිවාදය විසින් බිහිකෙරුණු අතර එහි මතවාද ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුග්‍රහයෙන් දහනවවැනි සියවසේ සිට ම නිර්මාණය කෙරිණි. මෙි සියල්ල විටින් විට පසුගිය අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ විස්තර කෙරී ඇති බැවින් මෙහි දී නැවතත් සඳහන්කිරීම අනවශ්‍ය යැයි සිතමි. අප අද වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ නුදුරු අනාගතයේ දී සිදුවිය හැකි දේ පිළිබඳ ව ය. එයට පළමුව කොටි ත්‍රස්තවාදය පැරදවීමෙි දෙවැනි සංවත්සරය ගැන ද සුළුවෙන් වුව ද සඳහන් කළ යුතු ය.

කොටි පැරදවීමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සව දිනවල ම ය. මෙරට සිංහල බෞද්ධ ජනතාව ද ඇතැමි අන්‍යයෝ ද කළයුතු පරිදි ම සම්බුද්ධත්ව ජයන්තියට මුල් තැන දුන්හ. ජනාධිපතිතුමා හැරෙන්නට සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ ව යමක් සඳහන් කරන්නට ඇමතිවරුන් අතර සිටියේ  අතළොස්සක් පමණ ය. අනෙක් බොහෝ ඇමතිවරුන්ට සම්බුද්ධත්ව ජයන්තියක් නොතිබුණා සේ ය. එහෙත් ජනතාවට ඒ කිසිසේත් අමතක වී තිබුණේ නැත. ඇමතිවරුන්ගේ හා වෙනත් දේශපාලනඥයන්ගේ මගපෙන්වීමක් ඊනියා උපදේශයක් (මෙරට සෑම දෙයක් ම කෙරෙන්නේ දේශපාලනඥයන්ගේ උපදෙස් මත බව දේශපාලනඥයෝ දනිති) නොමැතිව ජනතාව ඉතා මැනවින් සංවිධානය වී සම්බුද්ධත්ව ජයන්තිය සෑමරූහ.

එය ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. රජයේ මැදිහත්වීමක් නොමැතිව ද ඔවුන්ට තම කටයුතු සාමූහික ව සංවිධානය කළ හැකි ය. පසුගිය සුනාමි අවස්ථාවේ දී ඒ බව කාහටත් ඉතා මැනවින් දැකගත හැකි විය. සිංහල බෞද්ධ ජනතාවගේ සාමූහික කටයුතු අදත් මෙහෙයවෙන්නේ සිංහල බෞද්ධ සම්ප්‍රදායෙහි ය. එය ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුත්තක් නො වේ. පන්සලේ පින්කම් කටයුතුවල දී ශාන්තිකර්ම හා වෙනත් සාමූහික ක්‍රියාකාරකම්වල දී අවශ්‍ය පුහුණුව ඔවුන්ට ලැබේ. ඊනියා සංවිධානවීම පිළිබඳ විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය පවත්වාත් සිංහලයන්ට බටහිර සංවිධාන ක්‍රමය ඉගැන්වීමට නොහැකි වී ඇත. එය අප ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය.

සම්බුද්ධත්ව ජයන්තියත් සමග කොටි පැරදවීම යටගියේ ය. කොටි පැරදවීම දැන් ජනතාවට අමතක වී ඇතැයි පෙන්වා දීමට කසිකබල් පඬියන් ඇතැම් විට ඉදිරිපත්වනු ඇත. එහෙත් ඔවුන් ඒ සමග ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථක ව පැවැත්වූ බව නො කියනු ඇත. සිංහලයන් කොටි පැරදවූයේ ප්‍රධාන වශයෙන් ම බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා ය. ඒ ගැමුණු රජු දවස සිට එන සම්ප්‍රදායකි. කොටි සංවිධානයත් එයට පදනම් වූ දෙමළ ජාතිවාදයත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවශ්‍යතා පරිදි බිහිවූ දෑ ය. සිංහල බෞද්ධයන් ක්‍රියාකරන්නේ කෙසේ දැයි පඬියන්ට තබා ඔවුන්ගේ ස්වාමිවරුන්ටවත් නො තේරෙයි. ඒ තේරුම් කර දීමට ද අප අද සූදානම් නැත. කොටි පැරදවීම කිසිසේත් ම සිංහල බෞද්ධයනට අමතක නැත. එහෙත් ඔවුහු ඒ ඒ අවස්ථාවෙහි දී ප්‍රධාන තැන දිය යුත්තේ කුමකට දැයි දනිති.

දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන බටහිරයන් හා ඉන්දියානුවන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල හා ඉඩම් බලතලත් දහතුන ද ඉක්මවා යන තවත් බලතලත් පළාත් සභාවලට දිය යුතු යැයි කියා සිටිති. ඉන්දියානුවන්ට එහා යන බටහිරයෝ එමගින් ඊනියා යුද්ධාපරාධිකරණ චෝදනා නගමින් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දරුණු යුධ අපරාධකරුවන් ලෙස හඳුන්වා මරණ දඩුවම දීමට කැූස කවති. ලංකාවේ පළාත් සභාවලට දිය යුතු බලතල තීරණය කිරීමට බටහිරට හා ඉන්දියාවට ඇති අයිතිය කුමක් ද? උතුරු අයර්ලන්තයට, ස්කොට්ලන්තයට දිය යුතු බලතල කවරේ දැයි ලංකාණ්ඩුව කිසි දවසක කියා තිබේ ද?  ඉන්දියාවේ  බෞද්ධයන්ට හිමිවිය යුතු බලතල කවරේ දැ්‍රයි ලංකාණ්ඩුඬ ඉන්දියාවට සැළකර ඇත් ද?

ඉන්දියාවේ දෙමළ ජනයා සිටි පමණින් ලංකාවේ දෙමළ ජනයා ගැන කතාකිරීමට පෙළපාලි යෑමට උද්ඝෝෂණය කිරීමට තමිල්නාඩුවේ දෙමළ ජනයාට ඇති අයිතිය කුමක් ද? ඒ අයිතිය ගලා එන්නේ යාපනයේ දෙමළ ජනයාගේ ආධිපත්‍යය උසුලන වෙල්ලාලයන් මැතක දී 1650න් පසුව ලංකාවට ගෙනෙු ලැබූ නිසා ද? ඒ එසේ නම් ඉන්දියාවේ අනුග්‍රහය ලබන ඊනියා නිජභූමි හෙවත් සාම්ප්‍රදායික වාසභූමි කතාව යුක්තියුක්ත කරන්නේ කෙසේ ද? ඉන්දියාවෙි සිටින බෞද්ධයන් ගැන සිංහල බෞද්ධයන් පෙළපාලි පැවැත්වීමට උද්ඝෝෂණය කිරීමට ගියහොත් ලංකාණ්ඩුව ගතයුතු පියවර කුමක් ද? ඉන්දියාවට ලංකාවේ දෙමළ ජනයා ගැන උද්ඝෝෂණය කිරීමටවත් ඉන්දීය ආණ්ඩුවට ලංකාවට ඒ පිළිබඳව කොන්දේසි පැනවීමටවත් ඇති අයිතිය ගලා එන්නේ කිනම් සම්ප්‍රදායකින් ද? තමිල්නාඩුවේ අවස්ථාවාදී දේශපාලනය පරාජය කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ඇති නොහැකියාවට ලංකාව වගකිව යුූතු නැත. තිස්ස විතාරණ මහතා පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට පැවරිය යුතු යැයි කියන්නේ නම් එය ඒ මහතාගේ හා ල ස ස පයේ අදහස මිස රජයේ අදහස නො වේ.  එය අඩු තරමින් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවට සහභාගි වූ සියළු පක්‍ෂවලවත් අදහස නො වේ. 

බටහිරයන්ගේ ව්‍යාජ ඊනියා ජාත්‍යන්තර නීති රීති පදනම් කරගනිමින් බටහිරයන් සූදානම් වන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන කාලයේ ඊනියා මානව අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා විවිධ කොමිසම් හා උප්පරවැට්ටි මගින් ලංකාව ආක්‍රමණය කිරීමට ය. එහි දී අප ඔවුන් පරාජය කරන්නේ කෙසේ ද? එයට ද ඇත්තේ ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනේ දී අනුගමනය කළ ප්‍රතිපත්තිම ය. බටහිරයන් ඊනියා ආර්ථික සම්බාධක ද  පැනවිය හැකි බැවින් අප ඒ සියල්ලට සූදානම් විය යුතු ය. අද කෙරීගෙන යන ගෙවතු වගාව එහි දී ඉතා වැඩදායක බව අමුතුවෙන් කිවයුතු නො වෙි. අප ආහාරයෙන් ස්වයංපොෂිත වීම ප්‍රධාන කටයුත්තක් වෙයි. කෙතරම් සම්බාධක පැනෙව්ව ද මියන්මාරය වැට්ටවීමට බටහිරයන්ට නොහැකි වී ඇත.  

දෙවනුව අපේ හමුදා ශක්තිය මෙන් ම ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කරගත යුතු ය. ගැමුණු කුමරු යුද්ධය ජයගත්තේ රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කිරීමෙන් පසුව ය. හමුදා ශක්තිය වර්ධනය කිරීම ගැන ආරක්‍ෂක ලේකම්තුමාට අමුතුවෙන් කිවයුතු නො වේ. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමෙහිලා ජනාධිපතිතුමා දැනටමත් කටයුතුකර තිබීම සතුටට කරුණකි. පන්සිල් රකින සමාජයක් අපට වහා අවභ්‍ය වෙයි. පසුගිය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පොහෝ දා එතුමා ද ඇතුළුව දස ලක්‍ෂ ගණනින් ජනතාව පෙහෙවස් සමාදන් වූහ. ඇතැමිවිට අනුරාධපුර යුගයෙන් පසු වැඩිම ප්‍රතිශතයක් පෙහෙවස් සමාදන් වූයේ පසුගිය වෙසක් පොහොදා විය හැකි ය. අපි එතැනින් ඉදිරියට යා යුතු වෙමු. නිර්මාංශ ආහාරයෙන් සෑහීමට පත්වීමට අප ඉටාගත යුතු ය. අසූවෙි දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මැටිමෝල් ශිෂ්‍ය සංවිධානයක් අපට විරුද්ධව පොස්ටර අලවා තිබුණේ අප බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට උත්සාහ ගන්නේ යැයි කියමිනි. ඔවුන්ගෙන් ඇතමකු අද අනුරාධපුරය ගැන උද්‍යෝගයෙන් කතාකරනු දැකීම සතුටට කරුණකි. අප අනුරාධපුරයේ ආකල්පවලට ආපසු යා යුතු ය. එකල මෙන් මෙකල ද ජනතාව භාවනා මාර්ගයට හැකි පමණින් යොමු වන්නේ නම් ඉන් රටේ ආධ්‍යාත්මක ශක්තිය වැඩිවනු ඇත.  

අප දෙමළ ජාතිවාදයට හා දෙමළ කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුවත් දෙමළ ජනයාට විරුද්ධ නැත. අපි ඔවුන්ට ද මෛත්‍රී කරමු. එපමණක් නොව මහත් වූ පව් කන්දරාවක් එකතුකරගත් ප්‍රභාකරන්ට වුව ද මෛත්‍රී කිරීමට අපට බාධකයක් නැත. ඔහු ඒ මෛත්‍රිය ලබාගැනීමට හැකි තැනක ඉප දී ඇත්දැයි අපි නො දනිමු. අපි ඔහුට දඬුවම් දුන්නෙමු. එහෙත් මෛත්‍රී කිරීමට එය බාධාවක් නො වේ. ඉන් රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය වෙයි. ජනාධිපතිතුමාට ද එතුමා දැනටමත් රටේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට ගන්නා උත්සාහයට අමතර ව  බෞද්ධ ලෝකය එකතුකිරීමෙන් රටේ ද බෞද්ධ ලෝකයේ ද ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමේ අවස්ථාවක් උදා වී ඇත. ඒ කාම්බෝජ තායිලන්ත අර්බුදය විසඳීමට මැදිහත් වීමෙනි.(දිවයින - 2011/05/22.)


Saturday, 14 May 2011

බ්ලේක්ට නො රැවටෙමු යුද්ධයට සූදානම් වෙමු

පසුගිය දා ලංකාවට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙින්තුවේ දකුණු අසියාව භාර සහකාර ලේකම් රොබටි බ්ලේක් ප්‍රසිද්ධියේ ලංකාව වර්ණනා කර ඇත. ඔහුට අනුව ලංකාව වැදගත් රටකි. සන්හිඳියාව ඇතිකිරීම සඳහා ලංකාව හොඳින් ක්‍රියාකරයි. එසේ කියන අතර ඔහු යුද්ධාපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට ලංකාව පියවර ගත යුතු යැයි ද පවසයි. ලංකාව ගැන ඇමරිකාව විශ්වාසයක් තබන බවක් මේ කිසිවකින් නො කියැවෙයි.   අපට අවශ්‍ය වන්නේ ඔහු අප්‍රසිි්ධියේ ජී එල් පීරිස් ඇමතිවරයාට කුමක් කීවේ ද යන්න ය. බ්ලේක් ලංකාවට පැමිණ කිලිනොච්චි යෑමෙන් පසුව තම මතය වෙනස්කර ලංකාව ගැන යහපත් සිතුවිලි ඇතිකර ගත්තේ යැයි සිතන්නේ ඔහුට රැවටුණු අයකු පමණ ය. ඔහු කිලිනොච්චියට ගොස් කවුරුන් හමුවූවේ දැයි අපි නො දනිමු. එහෙත් ඔහු ලංකාවට පැමිණියේ ලංකාවට එරෙහිව කරන ඊනියා ජාත්‍යන්තර යුද මෙහෙයුමකට පසුබිම සකස් කිරීමට ය. නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව අප සිටින්නේ ඊනියා පශ්චාත් යුද අවධියක යැයි පඬියෝ කියති. පඬියන්ට කළ හැක්කේ බටහිර උගතුන් කියන යමක් ඔවුන්ගේ ඊනියා කතිකාවතක පුනරුච්චාරණය කිරීම පමණකි. ප්‍රභාකරන් සමග අපේ යුද්ධයක් නො තිබිණි. බටහිරයන්ගේ ආධාරයෙන් හා අනුග්‍රහයෙන් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට මෙන් ම හින්දු සංස්කෘතියට ද එරෙහිව කැරැල්ලක් ගසා උතුරු හා නැගෙනහිර පළාත්වල බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යටතේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ය. ඔහු ඉංගිරිසින් දහනවවැනි සියවසේ මුල්භාගයේ සිංහලයන්ට විරුද්ධව ආරම්භ කළ දෙමළ ජාතිවාදයේ විකාශයෙන් බිහි වූ ත්‍රස්තවාදී නායකයා විය. ඔහුගේ කැරැල්ල මැඩ පැවැත්වීම ලංකාණ්ඩුවෙි යුතුකමක් හා වගකීමක් විය. එය යුද්ධයක් ලෙස අර්ථදක්වන්නේ නම් ජ වි පෙ භීෂණ සමයෙහි ද මෙරට පැවතියේ යුද්ධයක් බව පිළිගතයුතු වෙයි. එහෙත් එය යුද්ධයක් ලෙස හඳුන්වන බටහිර උගතකු හෝ මෙරට පඬියකු හෝ නැත. ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව උදාවූ පශ්චාත් යුද සමයක් ගැන පමණක් ඔවුහු කියති. මෙය සිදුවන්නේ බටහිර බංකොළොත් ඊනියා පශ්චාත්නූතනවාදී දුනුම අනුව නම් කතිකාවතක ය. මෙරට පඬියන්ට අමතක වන දෙය නම් ඊනියා කතිකාවත් ද (ඩිස්කෝස් නමින් ඉංගිරිසියෙන් හැඳින්වෙන මේවාට අප බෞද්ධ සංස්කෘතික නම් යොදා නොගනිමින් යාතිකාවත යැයි කියමු.) සාපේක්‍ෂ බව ය. මේ තකතීරු පශ්චාත් යුද්ධ යාතිකාවතේ නිර්මාතෘවරු බටහිරයෝ ය. මෙය පශ්චාත් යුද සමයක් වනුයේ බටහිරයන්ගේ යාතිකාවතෙහි ය. එය ලෝකයේ අධිපතිවාදී යාතිකාවත වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි (ආගමින් බෞද්ධ නොවන එහෙත් සංස්කෘතියෙන් සිංහලයන් වන්නෝ ද වෙති) අප දැන් පිවිස ඇත්තේ පූර්ව යුද්ධ සමයකට ය.

යුද්ධයට තව වැඩි කලක් නැත. අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ඇත්තේ ත්‍රස්තවාදී ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් ය. ඇමරිකාව තරමි ත්‍රස්තවාදී රටක් අද ලෝකයේ නැත. ඔසාමා බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අපි අනුමත නො කරමු. එහෙත් බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා ඇමරිකාව වෙනත් ස්වෛරී රටක් වූ පකිස්තානයට බලයෙන් ඇතුල් විය. එය අමු අමුවේ ඊනියා ජාත්‍යන්තර නීතිය කඩා බිඳ දැමීමකි. බින් ලාඩන් මරාදමා ඇත්තේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. බින් ලාඩන් ඇමරිකන් සෙබළුන්ට ප්‍රතිවිරෝධයක් දක්වා නැති බව පැහැදිලි ය. බිරිතානි බීබීසියේ හතරවැනි නාලිකාව අද බින් ලාඩන් ඝාතනය ගැන උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගනියි. අප මේ බොරුවට ද නො රැවටිය යුතු ය. බටහිරයන් මානව අයිතිවාසිකම්වලට ගරු කරන බව පෙන්වීම මේ උත්සාහයේ අරමුණ වෙයි. එහෙත් සියල්ල අවසානයේ දී කියනුු ඇත්තේ ඇමරිකාව දැන් සිට ම කියන ආකාරයෙන් බින් ලාඩන් අත් අඩංගුවට ගැනීමට විරුද්ධවීම නිසා ඔහු භාතනය කිරීමට සිදු වූ බව ය. බින් ලාඩන් අවසාන මොහොතෙහි නිරායුධ ව සිට ඇත. එවැන්නකුගේ විරුද්ධතාවක් ආයුධ යොදා නොගනිමින් යටපත් කිරීමට ඇමරිකන් සුපිරි භටයන්ට නොහැකි වී යැයි අපි නො සිතමු. බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අනුමත නොකළ ද නිරායුධ මිනිසකු අත් අඩංගුවට ගෙන මරාදැමීම පිළිබඳ ව බටහිරයන් හා මානව හිතවාදී පඬියන් කුමක් කියන්නේ දැයි දැනගැනීමට අපි පුළ පුළා බලා සිටින්නෙමු. එදා ප්‍රභාකරන් මියගියේ අත්අඩංගුවේ සිටිය දී බවට බොරු ප්‍රචාරයක් ගෙන යෑමට සිංහල විරෝධී ජනමාධ්‍ය උත්සාහ කළ බව අපි දනිමු. කෙසේ වෙතත් බින් ලාඩන් ඝාතනය ගැනත් ඉන් පෙර අවුරුදු දහයක පමණ කාලයක් තිස්සේ බින් ලාඩන් සෙවීමට ගිය ඇමරිකානුන් අතින් ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ මියගිය දසදහස් ගණනක් වූ අහිංසක නිරායුධ සිවිල් වැසියන්ගේ ඝාතන ගැනත් සොයා බැලීමටත් කොමිසම් පත්කිරීමට ලංකාව පියවර ගතයුතු යැයි සිතමි. ඔසාමාගේ ත්‍රස්තවාදයට විරෝධය දක්වන අතර ම  ඔබාමාගේ ත්‍රස්තවාදයට ද අප විරුද්ධ විය යුතු ය.

බින් ලාඩන් ත්‍රස්තවාදියකු කළේ ඇමරිකාව ය. ඔවුහු රුසියාවට විරුද්ධව ඔහුට ත්‍රස්තවාදී පුහුණුවක් ලබා දුන්නෝ ය. එහෙත් පසුව ඊශ්‍රායලයෙහි ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ඔහු එයට සහාය දුන් ඇමරිකාවට ද විරුද්ධ විය. ඇමරිකාව හා බටහිර රටවල් පලස්තීනයේ මුස්ලිම් ජනයාට විරුද්ධව හැකිනම් ඔවුන් නැතිකිරීමට බටහිර ආසියාවෙි ඊශ්‍රායලය ඇටවී ය. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය තහවුරු කරගැනීමට ය. බටහිරයෝ (පළමුව ලන්දේසිහු දෙවනුව ඉංගිරිසිහු) සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජනයා ආනයනය කර දෙමළ ජාතිවාදය ඇතිකළහ. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදී නායකයා වූයේ ප්‍රභාකරන් ය. ඔහුගේ ආධ්‍යාත්මික නායකයෝ හින්දු පූජකවරුන් නොව ක්‍රිස්තියානි/කතෝලික පූජකවරු වූහ. ප්‍රභාකරන් යොදාගනු ලැබුයේ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කර හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට ය. බටහිරයන් ප්‍රභාකරන්ට මුදල් හා ආයුධ සැපයූ නමුදු පසු කලෙක ප්‍රභාකරන් බටහිරයන්ට ද කරදරයක් විය. ඔහු තම සීමා නොදැන ක්‍රියා කළ උන්මන්තකයකු ලෙස බටහිරට පෙනී ගියේ යැයි සිතිය හැකි ය. බටහිරයන්ට ඔහු ලවා දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරවීමට නොහැකි බව පෙනී යන්නට ඇත. එහි ප්‍රතිඵලය ලෙස නමිබියාර් හා පිල්ලෙයි වැන්නන් කෙතෙක් උත්සාහ කළ ද බටහිරින් ප්‍රභාකරන්ට ලැබුණු සහාය අඩුවන්නට ඇත. එහෙත් බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි තම අධිපතිවාදී ක්‍රියා අත් නොහළහ. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාට නොයෙකුත් බලපෑමි කළහ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන යෝජනා ඔවුහු ජනාධිපති තුමාට ඉදිරිපත් කළහ. මෙහි දී ඉන්දියාව ද බටහිරයන් සමග එකට කටයුතු කර ඇති බව පෙනී යයි. එහෙත් ජනාධිපතිතුමා බටහිරයන් ඉදිරිපත්කළ යෝජනාවලට එකඟ නො වී ය. අවසානයේ දී පරාජය වූයේ ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පමණක් නොව බටහිරයන්ගේ හා ඉන්දියාවේ ද අවශ්‍යතාවන් ය. බටහිරයන් තමන් පරාජය වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට වඩා දක්‍ෂ’යකු බවත් තේරුමි ගත්තේ ප්‍රභාකරන් මිය යෑමට ආසන්න මොහොතේ ය. එදා සිට ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් දංගෙඩියට යැවීමට හා ආණ්ඩුව වෙනස්කිරීමට උත්සාහ කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සරත් ෆොන්සේකා මහතා ලවා ඒ කරවීමට ය. සුදු කොඩි කතාව ඇරඹුණේ එලෙස ය. අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අදක්‍ෂයකු වූ රනිල් වික්‍රමසිංහ (ඔහු එංගලන්තයේ ඉපදිණි නමි අගමැති වන්නට තිබිණි) වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරියට පැමිණියේ එලෙස ය.

බටහිරයන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට, එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට, ප්‍රභාකරන්ගෙන් පසුව යොදා ගැනීමට බලාපෙරොත්තු වූයේ විසිරුණු දෙමළ ජනයා ය. එහෙත් ඔවුන්ට ප්‍රභාකරන් නැතිව පැවැත්මක් නො වී ය. අද ඇමරිකානුවන් හා ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයෝ තුමූ ම ඒ සඳහා ඉදිරිපත් වී සිටිති. බ්ලේක් ප්‍රසිද්ධියේ කුමක් කීව ද, ඔහු පැමිණ ඇත්තේ යුද්ධයේ පිඹුරුපත් ද සමගින් ය. ඇතැමිවිට බටහිරයන් කිනමි ක්‍රමයකින් වුවත් තවත් ඊනියා ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමට ඉඩ ඇත. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට එහා යන සංශෝධන ඉදිරිපත් කරනු ඇත්තේ ආක්‍රමණයක තර්ජන ද ඉදිරිපත් කරමිනි. ලංකාවෙි තෙල් හෝ වෙනත් එවැනි සම්පත් හෝ නැතිව අප ආක්‍රමණය කිරීමට ඇමරිකාවට හා යූරෝපයට ඇති අවශ්‍යතාව කුමක් දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත. ඔවුන් ලෝකය දකින්නේ බටහිරයන් ඔවුන්ට දී ඇති දේශපාලන ආර්ථික ඇහෙනි. එහෙත් බටහිරයෝ තම සංස්කෘතික හා දේශපාලන (ආර්ථික නොවන) වුවමනාවන් පඬියන්ට නො කියති.   බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සංස්කෘතික (ආධ්‍යාත්මික) වශයෙන් ඇති ප්‍රධාන අභියෝගය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය ය. බටහිරයන්ගේ ආක්‍රමණයකට අප අද සිට ම සූදානම් විය යුතු ය. ජනාධිපතිතුමා ආරක්‍ෂා කරගන්නා අතර රට ජාතිය ආගම (සසුන) ආරක්‍ෂා කරගැනීම අපේ කාර්යභාරය වෙයි. අපේ හමුදා ශක්තිය වර්ධනය කරගැනීමට ක්‍රියා කරන අතර අපි ආධ්‍යාත්මික වශයෙන් ද සන්නද්ධ විය යුත්තෙමු. එහි දී අපේ ගුරුවරයා අන් කිසිවකු නොව ගැමුණු කුමරු ය. එළාරට විරුද්ධව කළ සටන ආයුධවලින් පමණක් කළ සටනක් නො වී ය. එහි දී ආධ්‍යාත්මික ශක්තිය ද එතුමා යොදා ගත්තේ ය. ජාතියක් ලෙස ආධ්‍යාත්මික ශක්තිය වැඩිකර ගැනීමට අප කළ හැකි සෑම දෙයක් ම කළ යුතු ය. අඩුම තරමින් ජාතියේ විශාල පිරිසක් පන්සිල් රකින්නන් බවට පත්විය යුතු ය. අනුරාධපුර යුගය අපේ ස්වර්ණමය යුගය වූයේ අපේ ආධ්‍යාත්මික ශක්තිය ද ඒ යුගයේ ඉහළ මට්ටමක තිබූ බැවිණි. එකල රජ කුමරුවෝ ද භාවනා කළහ. රජවරු බෝසත්වරු වූහ. එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියට අපි අලුත් පැතිකඩක් එකතු කරමු. ජාතියේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.