Main Logo

Tuesday 12 March 2013

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - I

නැවතත් සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර අසහනයක් පැන නැගෙමින් ඇත. එය මෙවර මුස්ලිම් බලපෑම් හේතුකොටගෙන ඇතිවන අසහනයක් ලෙස මතුවෙයි. නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය, හලාල් සහතික, කූරගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම්වරුන් අයිතිකරගැනීම, නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයනට අහිමි වීමට යෑම, ආදී වශයෙන් මේ අසහනය ප්‍රකාශ වෙයි. එහි දී මුස්ලිම් ජනයාට හිරිහැර කරන සිංහල බෞද්ධයන්ගේ අඬු කඩන බවට ඇමතිවරයකු තර්ජනය කර ඇතැයි පැවසෙයි. එවැනි තර්ජනයක් කෙරිණි දැයි මම නො දනිමි. එහෙත් තමන්ට ඡන්දය දෙන සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වුවත් වෙනත් ජනවර්ගයකට එලෙස තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වේ යැයි සිතිය නො හැකි ය. බොහෝ සිංහල දේශපාලනඥයන්ට තමන් මන්ත්‍රීවරුන් වන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් බව අමතක වෙයි. එය අමතක වීමකටත් වඩා සිංහල බෞද්ධයන් නිවටයන් ලෙස සැලකීමට පුරුදු වී ඇති නිසා යැයි ද සිතිය හැකි ය. කිසියම් දේශපාලනඥයකු සිංහල බෞද්ධයන්ගේ අඬු කඩා දැමීමට කතාකර ඇත්නම් ඡන්දදායකයන් කළ යුත්තේ ඔහුගේ මන්ත්‍රීධුරය ලබන වර අහිමිකර අඬුකඩා තටු ගලවා දැමීම ය. මේ අතර බොහෝ බෞද්ධයන් ප්‍රසිද්ධියේ නො කීව ද රජයේ උසස් යැයි සම්මත තනතුරු, විවිධ රාජ්‍ය හා වෙනත් සම්මාන සිංහල බෞද්ධ නොවන්නන්ට හිමිවීම පිළිබඳ මැසිවිලි නගන බව රහසක් නො වේ. එවැනි තනතුරක් හෝ සම්මානයක් හෝ ලැබීමට අඩුම තරමින් කලත්‍රයාවත් එක්තරා ආගමකට අයත්විය යුතු බවට කතාවක් පැතිර ගොස් ඇත.

මේ අසහනය පවතින්නේ බොහෝ විට මධ්‍යම පාංතිකයන් අතර ය. එහෙත් සිද්ධස්ථන බෞද්ධයනට අහිමිවීම පිළිබඳ ප්‍රශ්නය සමාන්‍ය බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ද වෙයි. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයනට ප්‍රශ්න නැත්නම් පමණක් අප පුදුම විය යුතු ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙන් හැමදාමත් වැඩියෙන් බැටකෑවේ සිංහල බෞද්ධයන් ය. කිසිම ප්‍රබුද්ධකමක් හෝ නිර්මාණශීලීත්වයක් හෝ නැති සරසවි ඇදුරන් ද තම ව්‍යාජ වීරත්වය ප්‍රසිද්ධයට පත්කරගන්නේ සිංහල බෞද්ධයන්ට බැට දීමෙනි. ඔවුන්ගේ නායකයකු පසුගිය දා කියා සිටියේ ජූලම්පිටියේ අමරේ ද බිහි වී ඇත්තේ මෙරට ජාතික චින්තනය හෝ ජාතික චින්තන ව්‍යාපාරය හෝ හේතුකොටගෙන බව ය. කිසිදාක ප්‍රවාදයක් ඉදිරිපත් කර නැති මෙවැන්නන්ගේ ප්‍රකාශවල කිසිම සංගත බවක් නැත. මොහුට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ජාතික චින්තනයේ ප්‍රතිඵලයක් බව කියා ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ජූලම්පිටියේ අමරෙලා බිහිවී ඇති බවත් කීමට ය. ඔහුට අනුව මේ ආණ්ඩුවෙන් වෙනත් කිසිවක් කෙරී නැත. චොප්පෙලා, ගෝනවිල සුනිල්ලා ද බිහිවූයේ ජාතික චින්තනය නිසා ද යන ප්‍රශ්නය නැගිය හැකි වුවත් මේ කසිකබල් සරසවි ඇදුරන්ට අසංගත කරුණු දැක්වීම් ගැන කියා දීමේ ප්‍රතිඵලයක් නැත. මේ ආණ්ඩුව හා ජාතික චින්තනය අතර සම්බන්ධයක් නැත. ගුණදාස අමරසේකර මහතා ජාතික චින්තනය යැයි හඳුන්වන්න හා මා ජාතික චින්තනය යැයි හඳුන්වන්න අතර ප්‍රබල වෙනස්කම් ඇති නමුත් ඒ මහතා ද ඉහත සඳහන් කියමන සමග එකඟවන්නේ යැයි සිතමි. එසේ වුවත්, එනම් ජාතික චින්තනය හා ආණ්ඩුව අතර සම්බන්ධයක් නැතිවුවත් බටහිරයන් (හා ඉන්දියාව) විසින් ඇති කෙරී පෝෂණය කෙරී ඔවුන්ගේ අනුග්‍රහයෙන් හැදුණු වැඩුණු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ආණ්ඩුවත් ජාතික චින්තනයත් එකට සිටි බව නම් අපි පිළිගනිමු. එහෙත් එතැනින් ඔබ්බට යන සම්බන්ධයක් ආණ්ඩුව හා ජාතික චින්තනය අතර නැත. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව නිසි පියවර ගෙන ඇතැයි අපි නො සිතමු.

නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය නිසි අයුරෙන් විසඳී නැත. ප්‍රශ්නය වූයේ කවරදාවත් නැතිව මෙවර ජන අනුපාතයට වඩා ඉතා ඉහළ අනුපාතයකින් මුස්ලිම් සිසුන් නීති විද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත්වීම ය. මුස්ලිම් සිසුන් හදිසියේ උගත්බවක් අත්කර ගැනීමට තරම් හේතුවක් අපි නො දකිමු. ප්‍රශ්නයට හේතුව සිංහල ප්‍රශ්නපත්‍රවල පරිවර්තනයේ වරදක් යැයි පැවසෙයි. ඒ ගැන අපට යමක් නිශ්චිත ව කිව නො හැකි ය. කෙසේ වෙතත් පරිවර්තන හා වෙනත් දෝෂ ඇතිවිය හැකි බැවින් මාධ්‍ය අනුව උසස් පෙළ ආදී පරීක්‍ෂණවල දී ලකුණු ප්‍රමිතිකරණය කළ යුතු යැයි අප කියා සිටින්නේ් බොහෝ කලක සිට ය. එහෙත් මේ රටේ එයට විරුද්ධත්වයක් පැන නැඟෙයි. ප්‍රමිතිකරණය යනු කුමක්දැයි නොදන්නා ජඩමාධ්‍යවේදියකු අවුරුදු පහළොවකට පමණ ඉහත දී ප්‍රමිතිකරණයට විරුද්ධ විය. ප්‍රමිතිකරණය යනු කුමක් දැයි ඇසු විට ඔහු නිහඬ විය. බොහෝ දෙනා නොදනිතත් ඉසෙඩ් ලකුණූ ක්‍රමයෙන් කෙරෙන්නේ විෂය අනුව ප්‍රමිතිකරණයකි. එය භාෂා මාධ්‍යයෙන් ද කෙරෙන ප්‍රමිතිකරණයක් දක්වා දික්කළ යුතු ය. මේ ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නො වේ යැයි කියා ඇඟ බේරාගැනීමට ආණ්ඩුවට නො හැකි ය. ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නවල දී තීරණ ගැනීම ආණ්ඩුවේ කාර්යභාරය වෙයි. එසේ වුවත් නීති විද්‍යාල ප්‍රශ්නයේ දී කෑ ගසන බොහෝ විට මධ්‍යම පාංතිකයන් වූ සිංහල සිසුන් රෝම ලන්දේසි නීතියට විරුද්ධව කටයුතු කිරීමට සූදානම් ද ? අඩුම තරමෙන් ඔවුන්ට එහි ප්‍රශ්නයක් ඇති බවවත් පෙනෙන්නේ ද? අප පාලනය වන්නේ අපේ සංස්කෘතියට විරුද්ධ වූ සංස්කෘතියක බිහි වූ නීති පද්ධතියකින් බවට ඔවුන්ට තේරුම් ගත හැකි ද? නීතිය ද ඇතුළු මුළු මහත් බටහිර දැනුම ම අපට විරුද්ධ ය. එහෙත් ප්‍රශ්නය එයට වඩා බොහෝ දුර දිග යයි. අවාසනාවකට සිංහල බෞද්ධ මධ්‍යම පංතියට එහි බැරෑරුම්කම නො තේරෙයි.

බටහිර දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වුවත් නැතත් ඒ දැනුම පට්ටපල් බොරුවකි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතියට හෝ බුදුදහමට එරෙහිව යෑම අපට ප්‍රශ්නයක් නො වේ. පුදුමය එසේ නොවූවා නම් ය. එකිනෙකට විරුද්ධ වූ චින්තන දෙකක් මත පදනම් ව විරුද්ධ සංස්කෘතින් දෙකක බිහිවූ දැනුම් පද්ධති දෙකක් අතර විරුද්ධකම් තිබීම අපට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් විය හැක්කේ ප්‍රශ්න පටළවා තම ව්‍යාජ පාණ්ඩිත්වය රැක ගැනීමට උත්සාහ දරන පුස්සන්ට පමණ ය. අපට වැදගත් වන්නේ වෙනත් ප්‍රශ්න ය. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම උද්ගමනය මත පදනම්ව ගොතන ලද බොරු කතන්දර වීම, බටහිර දැනුම් ආධිපත්‍යය අප මත බලෙන් පැටවීම, බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන මැත දෙඩවීම, මෙරට බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදනු ලැබූ කසිකබල් උගතුන් (ඔවුහු කසිකබල් උගත්තු පමණක් ම වෙති) බටහිරයන් විසින් යොදා ගැනීම ආදිය එහි දී ප්‍රධාන වෙයි. අපේ දැනුම් පද්ධතියක් ගොඩනැගීමට බටහිරයෝ අපට ඉඩ නො දෙති. පසුගිය දා ඇති වූ ආසනික් ප්‍රශ්නයේ දී එය මනාව පැහැදිලි විණි. මා බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ යන කෘතිය පළ කළේ ඒ කරුණු ඉස්මතු කිරීම සඳහා මිස බටහිර විද්‍යාව බුදුදහම සමග එකඟ නොවන්නේ ය යන්න කීම සඳහා නො වේ. ලබන බදාදා ජේ ආර ජයවර්ධන කේන්ද්‍රයේ දී ඒ පොත පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ම බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුව හා ආධිපත්‍යය සාකච්ඡා කිරීම සඳහා ය. ඒ සාකච්ඡාව වෙනත් පැත්තකට යොමු නොකිරීමට වග බලාගත යුතු ය. එය සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට වැදගත් වේ යැයි සිතමි.

හලාල් ප්‍රශ්නය කිසි විටෙකත් හලාල් සහතික විරෝධීන් අතින් නිසි ලෙස ඉදිරිපත් නො විණි. එහි දී කවරදාවත් නැතිව රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ ස්ථාවරයක් වැන්නකට තල්ලු වීම ගැන අප දෙවරක් නොව දසවරක් සිතිය යුතු ය. හලාල් යන්නෙහි තේරුම අනුමත කිරීම බව පැවසෙයි. එනම් මුස්ලිම්වරුන්ට පරිභෝජනය කිරීම සඳහා අනුමත කිරීම ය. අප රට නමට වුවත් සිංහල බෞද්ධ රටකි. එංගලන්තය හා ඇමරිකාව ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙහි ක්‍රිස්තියානි රටවල් වන්නාක් සේ ම ඉන්දියාව හින්දු රටක් වන්නා සේ ම, පකිස්ථානය මුස්ලිම් රටක් වන්නා සේ ම අප රට ද සිංහල බෞද්ධ රටකි. ඒ රටවල ව්‍යවස්ථාවල කුමක් සඳහන් වුව ද ඒ කිසිදු රටක් ඓහික (අනාගමික) රාජ්‍යයක් පවත්නා රටක් නො වේ. ඔබාමා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ බයිබලයේ අත තබාගෙන මිස ඔහුගේ සීයාගේ ආගමේ කෝරාණය මත අත තබාගෙන නො වේ. ඔහු ඇමරිකාවේ (ක්‍රිස්තියානි) ව්‍යවස්ථාව රැකීමට දෙවියන් වහන්සේගේ උදවු පැතීය. පසුගිය දා හින්දි තීරයේ ජනප්‍රිය නළුවකු වූ ෂාරුක් ඛාන් තමාට ඉස්ලාම් භක්තිකයකු වීම නිසා ඉන්දියාවේ මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු ගැන කතා කළේ ය. එය ගොඩින් වසා දැමීමට ඉන්දියාවට බටහිර රටවල ද සහාය ලැබිණි. ඒ බටහිර රටවල් මුස්ලිම් සංස්කෘතියට ඇති විරෝධය නිසාත් ඉන්දියාව අද බටහිරයනගේ අතකොළුවක් වී ඇති නිසාත් ය. යම් අයුරකින් මෙරට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ නළුවකු තමන්ට ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ වීම නිසා අසාධාරණකම් සිදුවේ යැයි කීවේ නම් බටහිර මාධ්‍යය විශේෂයෙන් ම බීබීසිය හා එහි අගුපිලේ ඇති සන්දේශය කෙසේ ක්‍රියා කිරීමට තිබිණි ද?

අප රට සිංහල බෞද්ධ වන්නේ නමින් පමණකි. ක්‍රියාවෙන් අප තවමත් ක්‍රිස්තියානි නූතනත්වයේ රටකි. අප අනුගමනය කරන්නේ චොප්පෙලා බිහිකරන ඇමරිකන් ආයුධ සහිත මිනීමරන සංස්කෘතිය මිස සිංහල බෞද්ධ සංස්කෘතියක් නො වේ. බටහිරයන් ආරම්භ කර ජේ ආර් ජයවර්ධන වර්ධනය කළ බටහිර ක්‍රිස්තියානි යුදෙවු සංස්කෘතිය පරාජය කිරීමට තවමත් සිංහල බෞද්ධයන්ට නොහැකි වී ඇත. සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට කතාකරන ඇමතිවරුන් ඇතැයි කියන රටක ආණ්ඩුව එසේ කරාවි යැයි සිතිය නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපන හිණිමගේ ඉහළට නැගීමට තම ජීවිතය ම කැපකරන සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට සිංහල බෞද්ධත්වයක් අවශ්‍ය නැත. ඔවුහු ඕල්කට් බෞද්ධයෝ වෙති. රනිල් වික්‍රමසිංහ හලාල් ප්‍රශ්නයේ දී පෙරට ආවේ සිංහල බෞද්ධත්වයක් නිසා නොව ඒ ඔස්සේ ආණ්ඩුවට මඩ ගැසීමටත් හැකිනම් භේද මගින් ආණ්ඩුවට ප්‍රශ්න ඇතිකිරීමටත් ය. යම්කිසි ආකාරයකින් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් මෙරට ඇතිවුවහොත් එහි වාසිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ය. බටහිර යටත්විජිතවාදයට ය. රනිල් වික්‍රමසිංහ රවි කරුණානායක ආදීන් පමණක් නොව සජිත් ප්‍රේමදාස ද නියෝජනය කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය. එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.