Main Logo

Sunday 24 March 2013

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - II

සිංහල බෞද්ධයනට ඉදිරි දර්ශනයක් නොමැතිවීම පිළිබඳ වගකිවයුත්තෝ මෙරට උගත්තු වෙති. සිංහල බෞද්ධයන් සිතන පතන ආකාරය ගැන අධ්‍යයනයක් කර බටහිර දැනුමට අභියෝගයක් වනසේ දැනුම් පද්ධතියක් නිර්මාණය නොකර ඔවුහු විවිධ බටහිර දැනුම් අනුකරණය කළහ. මෙය නවකතාව හා කෙටිකතාව ඇතුළු සිංහල සාහිත්‍යයෙහි ද බෞද්ධ දර්ශනයෙහි ද බටහිර මානව ශාස්ත්‍රවල ද සමාජ විද්‍යාවන්හි ද ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඉංජිනේරු ශිල්පයෙහි හා වෛද්‍යවිද්‍යාවෙහි ද ආදී වශයෙන් දැකගත හැකි ය. බටහිර දැනුම හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට සිංහල උගත්තු ඒ දැනුම ගෙඩිය පිටින් අනුකරණය කළහ. එහි තවත් පැත්තක් ද විය. බුදුදහම බටහිරයන්ට අවශ්‍ය කරන අන්දමෙන් විවරණය කිරීමේ ප්‍රයත්නයක් ද විය…. බෞද්ධ උගතුන් පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා බොහෝ විට ගියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට ය. එහි දී ඔවුන්ට ඉංගිරිසි ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලවල සම්ප්‍රදාය අනුගමනය කිරීමට සිදු විය. බුදුදහම ඊනියා ගුඩු දහමක් නො වේ යැයි බටහිර උගතුන්ට පෙන්වා තමන් ද ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක චින්තනයක් ඇති පිරිසක් ය යන්න බටහිරට හඬනගා කීම ඔවුන්ගේ අරමුණක් විය. බුදුදහම විද්‍යාත්මක යැයි කීමට පෙරට පැමිණියෝ ද ඔවුහු සහ බෞද්ධ විද්‍යාඥයෝ වූහ. කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයි කීවෝ ද ඔවුහු ම ය. ජාතක කතාව බටහිර කෙටිකතාවේ යථාර්ථවාදී රීතියෙන් ලියැවී ඇති බවට බොරු බේගල් පතුරවනු ලැබුවේ ද ඔවුන් විසින් ම ය. ඈරිස්ටෝටලීය න්‍යාය හා යථාර්ථවාදය නිරපේක්‍ෂකත්වය හා බටහිර විද්‍යාව ඇසින් බැලූකල නිවන ගුඩු දහමකි. අප එය එසේ නො වේ යැයි කීමට බියවිය යුතු නො වේ. නිවන වචනයෙන් පැවසිය හැකි නො වේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථදක්වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යැයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යැයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයක ද? බුදුදහම යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට එකඟ යැයි පැවසීම නිවට කමකි.

අද ලෝකයේ ඇත්තේ චින්තන තුනක් අතර සටනකි. ඒ බටහිරයන්ගේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයත්, මුස්ලිම් චින්තනයත්, ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයත් ය. ඉන්දියාව හා චීනය බටහිර චින්තනය අනුගමනය කරයි. අද රුසියාවේ ඇත්තේ තුන්වැනි චින්තනය ය. මේ චින්තනය ගසා කෑ කතෝලික චින්තනයේ මාක්ස්වාදය (නිරවුල් ව කිවහොත් ලෙනින් සැටැලින් වාදය) රුසියාවේත් පසුව නැගෙනහිර යුරෝපයේ ග්‍රීක ඕතොඩොක්ස් සංස්කෘතියේ රටවලත් ස්ටැලින්වාදී සමාජවාදයක් ගොඩනැගීමට උත්සාහ කළේ ය. කතෝලික චින්තනය මත පදනම් ව ෆැසිස්ට් රාජ්‍යයක් බිහිකළ හිට්ලර්ගේ පරාජයෙන් පසු පාප්තුමා ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සිරකරුවෙක් විය. ඔහු අද මු්‍රළුමනින් ම සේවය කරන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ය. පෝලන්ත ජාතිකයකු පාප් පදවියට පත්කරගත් බටහිරයෝ වැවෙන්සා මගින් පාප්තුමාගේ පිහිටෙන් පෝලන්තයේ ලෙනින් ස්ටැලින් වාදය පරාජය කළහ. ඒ ක්‍රියාදාමය අවසන් වූයේ බර්ලින් තාප්පය කඩාවැටීමෙනි. අද රුසියාවේ ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට විරුද්ධ එහෙත් එතරම් ශක්තියක් නැති ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයේ රාජ්‍යයකි. බටහිරයන්ට එරෙහිව ප්‍රබල සටනක් කිරීමට හැකියාව ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. එහෙත් මේ අතර ථෙරවාදී බෞද්ධ චින්තනය ද වෙයි. එවැනි රටවල්වලින් බටහිරයන්ට ඇත්තේ යුදමය තර්ජනයක් නොව ආධ්‍යාත්මික විකල්පයකි. පසුගිය අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ මේ රටවල් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට කා ඇත. පොල්පොට් සහ මියන්මාර හමුදා නිලධාරීන් පිළිවෙළින් කම්පූචියාවේ හා මියන්මාරයේ බෞද්ධ රාජ්‍ය පිහිටුවීමට වෑයම් කළ මුත් ඔවුන්ට පැහැදිලි දර්ශනයක් හා දැනුමක් නොමැතිවීම හේතුකොටගෙන බටහිරයන්ට ඔවුන් පරාජය කිරීමට හැකි විය. අද යමක් කළ හැකි ථෙරවාද බෞද්ධ රටවල්වලින් ඉතිරි වී ඇත්තේ ලංකාව පමණ ය. එහෙත් මෙරට අනුකාරක බෞද්ධ උගතුන් සමගින් බටහිරයන් පරාජය කිරීමට නො හැකි ය.

ලංකාව සිංහල බෞද්ධ රටක් වන්නේ නාමිකව ය. මෙරට සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි ය. දහසය වැනි බෙනඩික්ට් පාප්තුමා මේ මස අවසානයේ දී පාප් පදවියෙන් ඉල්ලා අස්වෙයි. එසේ පාප්තුමකු පදවියෙන් ඉල්ලා අස්වන්නේ අවුරුදු හයසියයකට පමණ පසුව යැයි කියැවෙයි. මේ හුදෙක් සෞඛ්‍ය හේතු නිසා කරන ඉල්ලා අස්වීමක් යැයි සිතීමට අපි මැළිවෙමු. මෙය පිටුපස සංස්කෘතික සටන වේ යැයි අපි සිතමු. ග්‍රීක් ඕතොඩොක්ස් චින්තනය, මුස්ලිම් චින්තනය හා ආයුධ ශක්තියක් නැති බෞද්ධ චින්තනය පරාජය කිරීමට නව පාප්තුමා යෙදා ගැනීමට බටහිරයෝ බලාපොරොත්තු වෙති. වර්තමානයෙහි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි වඩාත් ම ප්‍රබල ව ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික සංරචකය ය. ආර්ථික හා දේශපාලනික සංරචක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර (ස්වායත්ත) නොවූව ද සංස්කෘතික සංරචකය අද ශක්තිමත් ය. අද බටහිරයන්ට තර්ජනයක් එල්ලවිය හැකි එකම ථෙරවාද බෞද්ධ රට බවට පත් වී සිටින ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී අරගල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. චැනල් ෆෝ, මානව හිමිකම් කොමිසම ආදිය සංස්කෘතික සංරචකයේ උපකරණ වෙයි. අප ඔවුන් නොසලකා හැරිය යුතු ය. මාර්තු මාසයේ දී ඇමතිවරුන් ජෙනීවා නොගොස් නිලධාරීන් පමණක් යවන්නේ නම් එය අගය කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ කිසි දිනෙක මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ හිතවතකු නො වී ය. ඔහු හලාල් ප්‍රශ්නයෙහි දී සිිංහල බෞද්ධ ස්ථාවරයක් ගැනීමට වෑයම් කළේ පිරිසිදු චේතනාවකින් නම් විය නො හැකි ය. ඔහු අගමැතිව සිටිය දී පෘතුගීසීන් පැමිණීමේ පන්සියවැනි සංවත්සරය උත්සව ශ්‍රීයෙන් සැමරීමට යෝජනා කළේ ය. එයට පළමු ඔහු අගමැති ධුරයෙන් ඉවත්කිරීමට සිංහල බෞද්ධයෝ සමත්වූහ. පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ යෝජනාවක් අනුව ලංකාවේ පාර්ලිමේන්තුව අස්ව යන පාප්තුමාගේ ගුණ සැමරී ය. මෙරටට මහඟු සේවාවන් කර අපවත්වූ භික්‍ෂූන් වහන්සේලා කී නමකගේ ගුණ සිංහල බෞද්ධ යැයි කියන රටේ පාර්ලිමේන්තුවේ සමරා ඇත් ද? එහෙත් මට එයටත් වඩා ප්‍රශ්නයක් ඇත. නව පාප්තුමාට සුබ පැතීමට පාර්ලිමේන්තුව රැස්වේවි ද? සිංහල බෞද්ධයන් මේ කරන්නේ තම වළ තමන් ම කපා ගැනීම ද? පෝලන්තයේ සිදු වූ දේ මෙරට ද සිදු වීමට ඉඩක් ඇද්ද?

හලාල් ප්‍රශ්නය ඇතිවූයේ බටහිර ක්‍රිස්තියානි –- මුස්ලිම් සංස්කෘතියේ ගැටුම නිසා ය. අප ගිය සතියේ ද කී පරිදි මෙරට ආහාර ප්‍රතිපත්තිය යුදෙව් ක්‍රිස්තියානි ය. බටහිර ආධිපත්‍යයෙන් අපි ජීවන රටාව ද වෙනස් කර ගත්තෙමු. අද මුස්ලිම් සංස්කෘතිය මුළු ලෝකයේ ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කරයි. හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිමුන් පෙළඹෙන්නේ එබැවිනි. ඒ ගැන අපට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය වනුයේ හලාල් භාණ්ඩ මුස්ලිම් නොවන්නන්ට ද පරිභෝජනය කිරීමට බල කිරීම ය. මේ ප්‍රශ්නය හින්දු, කතෝලික, ක්‍රිස්තියානි භක්තියනට ද බලපාන නමුත් බෞද්ධයන් පමණක් ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය බළලුන් ලවා කොස් ඇට බා ගැනීමේ ක්‍රියාවක් අනුගමනය කළේ ද? ඒ කුමක් වුවත් ප්‍රශ්නයට පිළිතුර පෙබරවාරි 10 වැනි දා ඉරිදා දිවයිනෙන් ද පෙබරවාරි 20 වැනි දා අයිලන්ඩ් පූවත්පතෙන් ද ඉදිරිපත් කළෙමු. හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීමට මුස්ලිමුන්ට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අදාළ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර භාණ්ඩවලින් යම් ප්‍රතිශතයක් (මුස්ලිම් ජන අනුපාතය හා පරිභෝජනය සලකමින්) පමණක් හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර හලාල් සහතිකය සමගින් නිකුත්කිරීමට වගබලාගැනීම ය. එහි දී ආණ්ඩුව සහතික නිකුත් කිරීමට මැදිහත් නොවිය යුතු ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ය. අප පෙබරවාරි 10වැනි දා කී පරිදි “එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.” මෙය හුදෙක් උලමාවරුන්ගේ කරුණාව නිසා සිදුවිය යුත්තක් නොවේ.

සංස්කෘතික වශයෙන් ද තවත් වැදගත් කරුණක්් වන්නේ ආසනික් ය. ආසනික් සම්බන්ධයෙන් කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම දිගින් දිගට ම කී දේ දැන් තහවුරු වෙමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලද තම අවසන් වාර්තාවෙන් රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික් අතර ඇති සම්බන්ධය හෙළිදරවු කරයි. මෙහි දී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වාසි සඳහා ආසනික් සම්බන්ධයෙන් රජයට එරෙහිව කරන කතා අපි ප්‍රතික්‍ෂේප කරමු. රෝසි සජිත් දයාසිරි කණ්ඩායම අපට දැනුම ලැබුණු ආකාරය පිළිගන්නේ ද? ආසනික් හෙළිදරවුවේ දී වැදගත් ම කාර්යයන් කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය ය. සේනානායක මහත්මිය නොවන්නට අපට ආසනික් පිළිබඳ දැනුම නාථ හා විපස්සක දෙවිවරුන්ගෙන් (ඔවුන් කවුරුන් වුවත්) නොලැබෙනු ඇත. එයටත් වඩා පරණගම මහත්මිය අපහාස බාධක හමුවේ කරන ලද පර්යේෂණ නොවන්නට බටහිර විද්‍යාවට අනුව ආසනික් ඇති බව පෙන්වීමට නොහැකි වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන මගේ ගෞරවයක් නැතිවුවත් දෙවිවරුන්ගෙන් ලත් දැනුම ඔවුන් ලවා ද සනාථ කරවීමට ලැබීම ගැන මම සතුටු වෙමි. පරණගම මහත්මිය කවදා නමුත් ජාතික සම්මානයක් ලැබිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් පසු දෙවියන් භූතයන් ඇති බව කසිකබල් ද්‍රව්‍යවාදීන්ට ද පිළිගැනීමට සිදුවෙයි. එහෙත් එක් රූපවාහිනී නාළිකාවක් හැර අනෙක් මාධ්‍ය වාර්තාවක් නැති අයුරෙන් කටයුතු කළේ ය. වාර්තාවට ප්‍රසිද්ධියක් දුන් නාළිකාව අතුරලියේ රතන හාමුදුරුවන්ට ප්‍රසිද්ධිය දෙමින් උන්වහන්සේ ලවා තමන්ට සහතිකයක් නිකුත්කර ගැනීමට කටයුතු කළේ ය. සියල්ලන්ට කැලණිය අමතක විය. එක් දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවිය ජයසුමන මහතාගේ ප්‍රකාශයක් මත පදනම් වන්නේ යැයි කිියමින් සේනානායක මහත්මියගේ ද පරණගම මහත්මියගේ ද සේවය නොතකා හැරියේ ය. ඔවුහු කැලණි රජරට කණ්ඩායමක් ගැන කතා කළෝ ය. රජරට ජයසුමන මහතා පරීක්‍ෂණයට සම්බන්ධවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස ය. ඔහුට අකුල් හෙළන කුහක ඇදුරන්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද පරණගම මහත්මියට ය. ඒ කුමක් වුවත් අපට වැදගත් කමක් නැති වුවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවෙන් ආණ්ඩුවට කෘෂිරසායන සම්බන්ධයෙන් කෙටිකාලීන පියවර ගැනීමටත් දිරඝකාලීනව කෘෂිරසායන තහනම් කිරීමටත් බලකෙරෙයි. වකුගඩු රෝගයෙන් මිනිසුන් මියයද්දී ආණ්ඩුවට කෘෂිරසායන සමාගම්වලට යටවීමට ඉඩ දිය නො හැකි ය.

(2013/02/24)