Main Logo

Thursday 28 March 2013

ජෙනීවා නොගිය ආසනික් හා හලාල්

මෙරට ජනමාධ්‍යයෙහි කතාකරන ප්‍රශ්න මෙන් ම නොකරන ප්‍රශ්න ද වෙයි. කිසිම තේරුමක් නොමැතිව ඉදිරි දර්ශනයක් නොමැතිව ජෙනීවා ගැන බොහෝ දෙනෙක් කතාකරති. හලාල් ගැන කතා කෙරෙන්නේ ද බොහෝ විට තේරුමකින් නො වේ. සිංහල බෞද්ධයන්ගේ මානව අයිතිවාසිකම් නොතකමින් ඔවුන්ට හලාල් භාණ්ඩ පරිභෝජනය අනිවාර්ය කිරීම ජෙනීවා නොගියේ ය. මුස්ලිමුන්ට අවශ්‍ය නම් හැකියාවක් ඇත්නම් හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීම ගැන සිංහල බෞද්ධයෝ විරුද්ධ නො වෙති. සිංහල බෞද්ධයන් කියන්නේ තමන්ට බලහත්කාරයෙන් හලාල් භාණ්ඩ නොදෙන ලෙස ය. අනෙක් අතට හලාල් සහතික නිකුත්කිරීම රජයේ කාර්යයක් නො වේ. තම ආගමිකයන් ආගමෙන් අනුමත භාණ්ඩ පරිභෝජනය කරන්නේ ද යන්න සොයා බැලීම ඒ ඒ ආගමේ කටයුත්තකි. මෙරට රජය මැදිහත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික පරිභෝජන රටාවක් ඇතිකිරීමට ය. මේ අතර ජනමාධ්‍යයෙන් එතරම් කතානොකරන ප්‍රශ්නයක් ද වෙයි. ඒ රජරට හා වෙනත් පෙදෙස්වල පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ය. අද සෑම ප්‍රශ්නයක් ම දේශපාලනීකරණය වී ඇත. හලාල්, ආසනික්, ජෙනීවා පමණක් නොව මැරතන් දුවද්දී මියයන සිසුවියන්ගේ ප්‍රශ්නය ද අද වන විට දේශපාලන ප්‍රශ්නයක් වී ඇත. අන් රටවල ද එය යම් තරමකින් සිදු වේ. එයට ප්‍රධාන හේතුව දේශපාලනය ආර්ථිකය හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධය ය. මෙරට සෑම ප්‍රශ්නයක් දෙස ම අද බැලෙන්නේ ඉන් තම පෞද්ගලික දේශපාලනයට, තම පක්‍ෂයේ දේශපාලනයට වාසියක් ලබාගැනීම හා ප්‍රතිවාදියාට, ප්‍රතිවාදී පක්‍ෂවල පහරගැසීම යන කරුණු පෙරදැරි කරගනිමිනි. මෙයට තවත් හේතුවක් නම් මෙරට ජාතික ව්‍යාපාරය අද වන විට නැවතත් දුර්වල වීම ය. අනුවේ දශකයේ ශක්තිමත් ව තිබූ ජාතික ව්‍යාපාරය විවිධ භික්‍ෂූන්ද ගිහියන් ද විසින් වල්මත් කෙරී අද වන විට දේශපාලන පක්‍ෂ දෙකක් විසින් තම බල ව්‍යාපෘති ඔස්සේ දුර්වල කෙරී ඇත. මෙය ජාතික ව්‍යාපාරය පිළිබඳ ප්‍රශ්නයක් නොව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලෝක ආධිපත්‍යය හේතුවෙන් සිදුවන්නකි. ජාතික ව්‍යාපාරයට ඉදිරියට යෑමට සිදු වී ඇත්තේ මේ කඳු පල්ලම් දිගේ ය. සිංහල බෞද්ධයනට ශක්තිමත් ඉදිරි දර්ශනයක් ලබාදීම මගින් මේ බාධක යම් ප්‍රමාණයකට ජයගත හැකි ය. ජෙනීවා යනු නවි පිල්ලෙයි වැන්නන් තම වැටුප සඳහා බටහිර යටත්විජිතවාදයට කරන මෙහෙයකි. සෑම රටක් පිළිබඳ ව ම මානව අයිතිවාසිකම් සමුළුවට වාර්තා ඉදිරිපත් වෙයි. තම සංස්කෘතියෙහි නැති, ආධිපත්‍යයට යටත් නොවන රටවල් මෙල්ල කිරීමට යොදා ගැනෙන මේ සමුළුවට ලංකාවේ ජනමාධ්‍ය මෙතරම් තැනක් දෙන්නේ මාධ්‍යවේදීන්ගේ ද නිවටකම නිසා ය. ඊශ්‍රායලය මේ සමුළුවට නියෝජිතයන් නොයවයි. ඇමරිකාව තරම් ජනතාවට මානව අයිතිවාසිකම් අහිමිකරන රටක් ලෝකයේ තවත් නැත. ඒ රටේ ජනමාධ්‍ය එකී සමුළුවට ප්‍රචාරයක් නො දෙයි. අප කළ යුතුව තිබුණේ පිල්ලේ වැන්නන් හමුවීමට නිලධාරීන් පිරිසක් යවා සමු්‍ර්‍රළුව සතපහකටවත් ගණන් නොගෙන ඔවුන්ගේ සම්භාධක පැණවීම වැනි ඉදිරි සැලසුම් සඳහා සූදානම් වීම ය.

මෙරට වකුගඩු රෝගයෙන් මියයන්නන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ජෙනීවා නුවර සාකච්ඡා වන්නක් නො වේ. අද මෙරට වකුගඩු රෝගීන් මිය යන්නේ බටහිර කෘෂිරසායන සමාගම්වලට ලාභ ලබාදීමට ය. මේ රෝගීන් මරා දැමෙන්නේ බටහිර කෘෂිරසායන සමාගම්, කෘෂිරසායන ආනයනය කරන්නන්, ඔවුන්ට අනුබල දෙන දේශපාලනඥයන් හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය විසින් ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝගීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් මතු නොව ජීවන අයිතිය ද නැති වී ඇත. මෙයට විරුද්ධව වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. එහෙත් අවාසනාවකට ජාතික ව්‍යාපාරය ගසාකන දේශපාලන පක්‍ෂ දෙකක් මෙය තම දේශපාලන වාසිය සඳහා යොදාගනු දක්නට හැකි ය. ඒ දේශපාලන පක්‍ෂ දෙක නිල වශයෙන් ප්‍රශ්නයට සෘජුව මැදිහත්වන්නේ ද නැත. ඒ වෙනුවට එහි ක්‍රියාකාරීන් ලවා යම් යම් දේ සිදු කිරීමට ඔවුහු උත්සාහ කරති. වකුගඩු රෝගීන් පිළිබඳ ප්‍රශ්නය දැනට අවුරුදු විස්සක පමණ කාලයක සිට ඇත. එහි දී විවිධ අය ඒ සඳහා විවිධ හේතු දක්වා ඇත. අප මේ ප්‍රශ්නයට යොමු වූයේ 2010 වසරේ දී ය. ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් එයට ප්‍රධාන හේතුව ආසනික් බව අපි දෙවියන්ගෙන් දැනගතිමු. ඉන්පසු අප කළේ එය බටහිර විද්‍යාවට ද අනුව තහවුරු කිරීම ය. ඒ සඳහා අපේ කණ්ඩායම පර්යේෂණ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ නියැදිවල විවිධ ප්‍රමාණයන්ගෙන් ආසනික් ඇති බව තහවුරු විය. එමෙන් ම රෝගීන්ගේ මූත්‍රාවල, නියපොතුවල, කෙස්වල ආදී වශයෙන් විවිධ අවයවවල ආසනික් ඇති බව ද හෙළිවිය. මේ ආසනික් නිසගයෙන් ම පොළොවේ ඇති ආසනික් නොව පළිබෝධනාශක හා වෙනත් කෘ’ෂිරසායන නිසා එකතුවන බව ද කෘෂිරසායනවල ආසනික් අඩංගු බව ද අපි පෙන්වා දුනිමු. පළිබෝධනාශකවල ආසනික් ඇති බව කෘෂිරසායන ආනයන කරන සමාගම්වල නියෝජිතයන් ඉදිරියේ කරන ලද පරීක්‍ෂණවලින් අපි කැලණියේ දී තහවුරු කළෙමු. එහෙත් අපට ලැබුණේ ගල්මුල් ය. අපේ රසායනාගාර පිළිගත් ආයතන නොවන බව ඊනියා විද්‍යාඥයෝ කියා සිටියහ. චම්පික රණවක මහතා යටතේ තිබූ පරමාණු අධිකාරියේ පර්යේෂණවලට ද මහාචාර්ය විජය කුමාර් මහතා යටතේ තිබූ තාක්‍ෂණික පර්යේෂණ ආයතනයට ද ආසනික් හසු නො වී ය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශය ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ආසනික් නැති බව කීවේ ය. මේ සියල්ල කැලණිය කණ්ඩායමේ (ඊිනියා රජරට කැලණිය කණ්ඩායමක නොව) පර්යේෂණවලට විවිධ අවස්ථාවල දැක්වූ ප්‍රතිචාර විය. ඇතැමුන්ට අනුව වකුගඩු රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් විය. එහෙත් රජරට පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය බටහිර විද්‍යාවට අනුව හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයක් විය. කැඩ්මියම් නිසා ද වකුගඩු රෝග ඇති වෙයි. එහෙත් රජරට රෝගීන්ට වැළඳී තිබුණේ එවැනි වකුගඩු රෝගයක් නො වේ. රජරට වැව්වල මාළුන්ගේ හා නෙලුම් අලවල කැඩ්මියම් තිබීම නිසාත් ඇතැම් වකුගඩු රෝග කැඩ්මියම් හේතුවෙන් වැළඳෙන නිසාත් රජරට වකුගඩු රෝගය ද කැඩ්මියම් නිසා වැළඳෙන්නේ යැයි නිගමනය කළ හැකි නො වේ. හේතුව කැඩ්මියම් වූ වකුගඩු රෝග පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාව දැන සිටි හෙයින් මෙය ද කැඩ්මියම් නිසා වැළඳුනි නම් එය හඳුනාගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාාවට හැකියාව තිබිණි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝගය හැඳින්වූයේ හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය ලෙස ය. එයින් ම පැහැදිලි වූයේ මේ වකුගඩු රෝගයට හේතුව වෙනත් යමක් බවත් බටහිර වෛද්‍ය විද්‍යාවට එය එතෙක් හසු නොවුණු බවත් ය. අපේ කණ්ඩායම එයට ප්‍රධාන හේතුව ආසනික් යැයි කියන තෙක් මා දන්නා තරමින් ලෝකයේ කිසිවකු වකුගඩු රෝගයකට හේතුව ආසනික් යැයි කියා නො තිබිණි.

මෙරට සිටින කසිකබල් විද්‍යාඥයෝ බටහිර වෛද්‍යවරු හා වෙනත් පඬියෝ පරළය වී අප පර්යේෂණ නොකළ බවත් අපේ උපකරණ කැඩී ඇති බවත් අප හුදෙක් දෙවියන් කී දෙයක් යැයි කියමින් ආසනික් ගැන කියවන පිස්සන් කට්ටඩීන් බවත් කීහ. අප 2011 වන විට අපේ පර්යේෂණ බොහොමයක් කර තිබූ බව අවධාරණය කළ යුතුව ඇත. එමෙන් ම 2011 ජනවාරි වන විට අපේ ප්‍රතිඵල ගැන අපි පුවත්පත්වලට දන්වා තිබුණෙමු. අපට අවශ්‍ය වූයේ ඊනියා පත්‍රිකා මගින් ඒ බව කීමට නොව හැකි ඉක්මණින් ජනතාවට හා ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීම ය. එක් දේශපාලන භික්‍ෂුවක් කතාවට එක්වූයේ 2011 මාර්තු මස පමණ ය. එහෙත් උන්වහන්සේ තමන්වහන්සේගේ මැදිහත්වීමෙන් පසු පර්යේෂණ සිදුකළ බවක් ජනතාවට කියයි. උන්වහන්සේ පිටරට පරීක්‍ෂණාගාරයක ඇතැම් පර්යේෂණ කරවීමට පියවර ගත් බව සැබෑ ය. එහෙත් ඒ වන විට අපි අපේ රසායනාගාරවල කරන ලද පර්යේෂණ මගින් ද ආසනික් තහවුරු කරගෙන සිටියෙමු. මෙය කඳුලු කතාවක් බව සැබෑ ය. එහෙත් එය කඳුලු කතාවක් යැයි කියමින් ඡන්ද කතාවක් බවට පත්කළ යුතු නො වේ. මා දන්නා තරමින් අප කණ්ඩායමේ පර්යේෂණ කළ කිසිවකුට මරණීය තර්ජන එල්ල වී නැත. එහෙත් දේශපාලන භික්‍ෂුව ඔවුන්ට එල්ල වූ මරණීය තර්ජන ගැන කියා ඇතැයි වාර්තාවේ.

වකුගඩු රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ජෙනීවා නොගිය මුත් රෝගය බෙල්ජියමට ගියේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය එරට පිළිගත් පර්යේෂණාගාරයක කරන ලද පර්යේෂණවලින් පසු රජරට වකුගඩු රෝගය හා ආසනික් අතර සම්බන්ධයක් ඇති බව පිළිගනියි. පලිබෝධනාශක හේතුවෙන් ආසනික් පසට හා ජලයට එකතුවන බව ද පිළිගනියි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවසාන විග්‍රහයේ දී බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ හා යටත්විජිතවාදයේ තවත් ආයුධයක් පමණකි. ඔවුන්ට රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි එක්වර කිව නො හැකි ය. ඔවුන් අද කීමට තැත්කරන්නේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බවත් ආසනික් උත්ප්‍රේරකයක් බවත් ය. එසේ නම් කැඩ්මියම් නිසා ඇතිවන වකුගඩු රෝගීන් හා රජරට වකුගඩු රෝගීන් අතර සමානකම් රාශියක් තිබිය යුතු ය. එහෙත් බටහිර වෛද්‍යවිද්‍යාවට රජරට වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බව දැනගත නො හැකි විය. අද ද දැනගත නො හැකි ය. අප කියන්නේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවත් කැඩ්මියම් ඇතැම් අවස්ථාවල උත්ප්‍රේරකයක් වන බවත් ය. කෙසේ වෙතත් අද අවශ්‍ය වන්නේ රෝගය වැළැක්වීම හා එයට ප්‍රතිකාර කිරීම ය. බටහිර වෛද්‍යවිද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නැත. වකුගඩු බද්ධය ප්‍රතිකාරයක් නොව නිව්ටෝනීය අමතර කොටස් එකතුකිරීමකි. බටහිර වෛද්‍යවිද්‍යාවට කළහැක්කේ රෝග කළමනාකරණය මිස රෝග සුවකිරීම නො වේ. ප්‍රියන්තා සේනානායක මහත්මිය දැනටමත් දෙවියන්ගෙන් ලබාගත් දිව්‍ය ඖෂධ රෝගීන්ට ලබාදෙයි. අපේ පාරම්පරික වෙදමහතුන් ළඟ නොයෙකුත් ප්‍රතිකාර ඇත. ඔවුන්ගේ උපාධි සහතිකය ගැන නොසොයා රෝගීන්ට වෙදකම් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු ය. මෙයට අවහිර කරන්නේ සෞඛ්‍ය ඇමතිතුමා නො වේ. ගැමියකු වූ ද ගොවියකු වූ ද ඒ මහතා රජරට ජනතාවගේ ප්‍රශ්න හා දුක දනියි. මඩ සෝදාගත්කල ගොවියන් රජකමට ද සුදුසු බවත් ඒ මහතා දනියි. අද ප්‍රශ්නය වී ඇත්තේ අපේ දැනුම් මිථ්‍යා යැයි කියන ඇතැම් නිලධාරීන් හා බටහිර වෛද්‍යවරුන් ය. අනෙක් පැත්තෙන් ඇත්තේ කෘෂිරසායනික කෘෂිකර්මය, කෘෂිරසායන ආනයනය කරන්නන් හා ඔවුන්ට අනුබල දෙන්නන් ය. කෘෂිරසායන නොමැතිව, බටහිර ම නිෂ්පාදනයක් වූ කොම්පොස් පොහොර නොමැතිව, දේශීය පොහොර යොදා සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි ය. අපි සිංහල ගොවිතැනට හා සිංහල ගොවිකමට යා යුතු වෙමු. එය පියවරෙන් පියවර සැලසුම් කළ යුතු ය. ප්‍රියන්තා සේනානායක මහත්මියත් ගෙවිමහතුනුත් සතුව මේ පොහොර වට්ටෝරු ඇති බව කෘෂිකර්ම ඇමතිවරයාගේ දැනගැනීම සඳහා සටහන් කරමි.