Main Logo

Showing posts with label එජාප. Show all posts
Showing posts with label එජාප. Show all posts

Sunday, 5 August 2012

ඉසෙඩ් අවුලේ පසුබිම හා අනාගතය

ඇතැම්හු සෑම ආයතනයක් ම කරුණක් ම දේශපාලනීකරණයට ලක්කිරීම පිළිබඳ ව ආණ්ඩුවට දොස් පවරති. එහෙත් ඔවුන්ගේ අවධානයට ලක් නොවන කරුණ නම් විරුද්ධ පක්‍ෂ ද, වෘත්තීය සමිති ද, රාජ්‍ය නොවන සංවිධාන ද, විවිධ පුද්ගලයන් ද ආදී වශයෙන් වෙනත් අය ද සෑම කරුණක් ම පාහේ දේශපාලනීකරණයට ලක්කරන බව ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ක්‍රියාත්මක වන්නේ එ පරිදි ය. මෙරට බොහෝ දෙනකු සෑම දෙයක් දෙස ම පාහේ බලන්නේ පක්‍ෂ දේශපාලන ඇසකිනි. ඕනෑම කරුණකින් දේශපාලන වාසියක් ලබාගැනීමට විරුද්ධ පක්‍ෂ ද වෘත්තීය සමිති ද රාජ්‍ය නොවන සංවිධාන ද ක්‍රියාකරයි. අපට කිසිවක් පිළිබඳ ව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගැනීමට නොහැකි වී ඇත්තේ ද එබැවිනි. වර්තමානයෙහි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිති අරගලය, මා ද දායක වී අසූවේ දශකයේ අග සකස් කරන ලද එම සම්මේලනයේ ව්‍යවස්ථාව ඉන්පසු සංශෝධනය වී නොමැති නම්, නීති විරෝධි වන අතර ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා ගෙන යන්නා වූ දේශපාලනික ක්‍රියා මාර්ගයකි. එය අසවල් පක්‍ෂයේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි හැඳින්විය නො හැකි ය. එහෙත් එහි ඇත්තේ ආණ්ඩු විරෝධී දේශපාලනයකි. මේ බව පසුගියදා සරසවි ඇදුරු වැටුප් ප්‍රශ්නය ගැන පැවැත්වුණු රූපවාහිනී සාකච්ඡා දෙකක දී ම පෙන්වා දෙනු ලැබිණි. දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන්නේ කෙසේ ද යන්න නොදත් ූ දේශපාලන විද්‍යාව උගන්වන කථිකාචාර්යවරු ද වෙති. අන් අය ගැන කියනු කවරේ ද? වැටුප් වැඩිකරන්නේ මෙවැන්නන්ගේ ද?

පසුව සකස් කරන ලද ඉසෙඩ් ලකුණු හේතුවෙන් 2011 උසස් පෙළ පරීක්‍ෂණයට නැවත පෙනී සිටි සිසුන්ට මහත් අසාධාරණයක් සිදු වී ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය එච් ඩී ගුණතිලක මහතා සකස් කර ඇති වගු අනුව පසුගිය වසර කිහිපයක මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත් සිසුන්ගෙන් 58%ක් පමණ නැවත පෙනී සිටියෝ වෙති. එහෙත් මහාචාර්ය තටිල් මහතා කී ආකාරයට ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව ඒ ලකුණුවල මධ්‍යන්‍යය අනුපිළිවෙළට එක් ලැයිස්තුවකට සකස් කර ඒ ලැයිස්තුවෙන් සිසුන් තෝරා ගැනීමේ දී 2011 දී නැවත පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් වන්නේ 26% ක පමණ ප්‍රමාණයකි. එනම් වෙනත් වසරවල ඇතුල් වූ එවැනි සිසුන් සංඛ්‍යාවෙන් හරි අඩකටත් අඩු ප්‍රමාණයකි. මෙය අසාධාරණයකි. එයට වගකිව යුත්තෝ අදාළ ඇමතිවරුන් නොව ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ එ ජා ප, ජ වි පෙ ආදී දේශපාලන පක්‍ෂවල නායකයෝ, ඇතැම් ගුරු සංගම් නිලධාරීහු, ජනමාධ්‍ය වේදීහු, අන්තරයේ නායකයෝ ආදීහු වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉසෙඩ් අගය ගණනය කරන්නේ කෙසේ දැයි නොදන්නා බව ඉතා පැහැදිලි ය. මේ පඬියන් තේරුම් නොගන්නා කරුණ නම් සිසුන් පැරණි හා නව නිර්දේශවලට පෙනී සිටියත් අවසානයේ දී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළ යුත්තේ එක් ලැයිස්තුවකින් පමණක් බව ය. ප්‍රශ්නය වූයේ නව හා පැරණි නිර්දේශවලට පෙනී සිටි ගහණ දෙක, ඒකරාශී කර එක් ගහණයක් (සංචිතයක්) ලබාගන්නේ කෙසේ ද යන්න ය. එහි දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තමන් විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය මත පළමුව ගහණ දෙක ඒකරාශි කර ඉන්පසු සංචිතයෙහි ඉසෙඩ් ලකුණු ගණනය කර සිසුනට නිකුත් කරන මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු ලබාගන්නා ලෙසට විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අපට සිතිය හැකි ය. මේ ක්‍රමයෙහි වරදක් නැතිවා පමණක් නොව පළමුව ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඉන්පසු මධ්‍යන්‍ය සොයා ඒකරාශී කරනවාට වඩා තර්කානුකුල ය. (දෙවියන්ගේ නාමයෙන් ඊනියා විද්‍යාත්මක වීමේ කතාවක් මෙහි නැත.) එහෙත් අවාසනාවකට ලකුණු ඒකරාශි කිරීම සඳහා විද්වත් කමිටුව නිර්දේශ කළ සූත්‍රය දෝෂ සහිත ය. කළ යුතුව තිබුණේ දෝෂ රහිත සූත්‍රයක් ව්‍යුත්පන්න කර (ලබාගෙන) ඒ අනුව සංචිතය පිළියෙළ කර ගැනීම ය. වෘත්තිය සමිති නායකයන්ට, දේශපාලනඳයන්ට හා දේශපාලන පක්‍ෂවලට හෝයියා කියන පුහු ජනමාධ්‍යවේදීන්ට සූත්‍රයෙහි වැරුද්ද පෙන්වා දීමට තිබිණි. එහෙත් ඔවුන් කළේ එය නො වේ. ඒ සියළු ආණ්ඩු විරෝධීහු ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කර ඉන් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ කළහ. ක්‍රම වේදය සකස් කළේ විද්වත් කමිටුව බව දැන දැනත් මේ කුහකයෝ ඇමතිවරුන්ට වැරැද්ද පැටවුහ. ඇමතිවරුනට ඉල්ලා අස්වන ලෙස කීහ. මහාචාර්ය තටිල් මහතා ද ගහණ දෙක වෙන වෙන ම ගෙන ඉසෙඩ් ලකුණු සොයා ඉන්පසු මධ්‍යන්‍ය ඉසෙඩ් අගයන් අනුපිළිවෙළට එක් ලැයිස්තුවකට සකස් කිරීම නිවැරදි යැයි කීවේ ය. අද එ ජා පක්‍ෂයේ එක් මන්ත්‍රීවරයකු නව ක්‍රමයට ඉසෙඩ් ලකුනු ගණනය කළේ කිනම් ක්‍රමයකට දැයි අසයි.

ඒ අන් ක්‍රමයකට නොව තටිල් ක්‍රමයට යැයි ඔහු නො දන්නේ ද? එ ජා පක්‍ෂයේ නායකයන් ද තප්පු ලෑවේ සටිල් ක්‍රමයට වෙන වෙන ම ඉසෙඩ් ලකුණු ගණනය කරන ලෙසට ය. ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ ඔවුන් ජනතාව රැවටීමට උත්සාහ කරන්නේ අදාළ ඇමතිවරු දෙදෙනා ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කළ බව කියමිනි. මම ඇමතිවරු දෙදෙනාට කඩේ නොයමි්. මා ඔවුන් දන්නා නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන මගේ පැහැදීමක් නැත. මට ඔවුන් ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවක් ද නැත. මා ඉදිරිපත් කරන ජාතික අධ්‍යාපනයක් පිළිබඳ මතවාදයට ඔවුහු විරුද්ධ වෙති. ඔවුන් දන්නේ ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමෙන් මෙරට අධ්‍යාපනය ඊනියා ලෝක මට්ටමකට ගෙන ඒමක් ගැන ය. මේ ඇමතිවරු ජාතික අධ්‍යාපනයක් ගැන මා කියන දේ සත පහකටවත් මායිම් නොකරන අනුකාරක උපාධිධාරීහු පමණක් ම වෙති. ඔවුන්ට අනුව මම අන්තවාදියෙක් වෙමි. අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව දෙමළ ප්‍රශ්නය ගැන ද මා කියන දේ ඔවුහු ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් ඔවුන් අත වරද නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් කියන්නෝ ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක්කරන බලලෝභී ආණ්ඩු විරෝධීහු වෙති.

එක් දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදියකු කියා තිබුණේ විද්වත් කමිටුව දක්‍ෂයන් තෝරාගැනීම ගැන නොව සිසුන්ට සාධාරණය ඉටුකිරීම ගැන පමණක් කල්පනා කර ඇති බව ය. තම හිතවත් දේශපාලන පක්‍ෂයට ප්‍රචාරය දීම හැරෙන්නට වෙනත් දක්‍ෂකමක් නැති ඔහු දක්‍ෂයන් හඳුනන්නේ ද? නව ඉසෙඩ් ලකුණු නිකුත් කෙරුණේ මේ පඬියන් අනුදැන වදාළ තටිල් ක්‍රමයට ය. වෙනත් වසරවල ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව 42%ක් පමණක් වුව ද තටිල් ක්‍රමය මගින් මේ වසරේ දක්‍ෂයන් හඳුනාගනිමින් එය 74% දක්වා වැඩිකෙරී ඇත! (මා වෛද්‍ය පීඨ ගැන සඳහන් කරන්නේ අද මෙරට සමාජ වැදගත්කම අනුව මේ විජාතික පීඨවලට රටේ පිළිගැනීමක් ඇති බැවින් මිස එහි ඉගැන්වෙන රෝග කළමණාකරණයට මගේ ඇති කැමැත්තක් නිසා නො වේ. මේ ආණ්ඩුවට සිංහල වෙදකමට සමාජ වටිනාකමක් ලබාදීමට කටයුතු කළ නොහැකි බව ද මම දනිමි. එහෙත් එය කළ හැකි වෙනත් ආණ්ඩුවක් ගැන ද මට සිතිය නො හැකි ය. ගුණදාස අමරසේකර මහතා වෛද්‍ය හා ඉංජිනේරු පීඨ පමණක් ඇති කළ යුතු යැයි කියන්නේ ඇයි දැයි මට තේරුම් ගත නො හැකි ය. ඒ මහතා බටහිර විද්‍යාවන් කෙරෙහි ඇති විශ්වාසය එයින් හෙළිදරවු වනවා විය හැකි ය. මෙරට වෛද්‍ය පීඨ ද අනෙක් පීඨ මෙන් ම බටහිර ගැති ජාතික විරෝධී පීඨ වෙයි. බටහිර වෛද්‍ය පීඨවලින් මෙරටට වන යහපතක් නැත.) අර ජනමාධ්‍යවේදියා ඊනියා ජනතාවාදී ආණ්ඩු විරෝධී විරයන්ගේ සම්භාවනාවට පත්වු තටිල් මහතාගෙන් හෝ වෙනත් අයකුගෙන් හෝ අසා අපට තේරුම් කළ යුතුව ඇත්තේ 2011 වසරේ පළමු වරට පෙනී සිටි සිසුන් වෙනත් වසරවල පළමු වරට පෙනී සිටි සිසුන්ට වඩා දක්‍ෂයන් වූයේ කෙසේ ද යන්න ය. තටිල් ක්‍රමය මුළුමනින් ම වැරදි ය. විද්වත් කමිටුවේ ක්‍රමය අනුගමනය කළේ නම් මේ වතාවේත් පසුගිය අවුරුදුවල මෙන් ම සරසවිවලට ඇතුළත් කරගන්නවුන්ගෙන් 55% කට වැඩි ප්‍රමාණයක් නැවත පෙනී සිටි සිසුන්ගෙන් සමන්විත වීමට තිබිණි. 2001 දී වෙනත් විකල්පයක් නොමැතිකම නිසා තටිල් ක්‍රමය අනුගමනය කළේ යැයි උපකල්පනය කළ ද 2011 දී විකල්ප ක්‍රම අනුගමනය කිරීමේ හැකියාව තිබිණි. ඉසෙඩ් ලකුණු ගණනය කෙරෙන්නේ ප්‍රමත ව්‍යප්තියක් ලැබෙන අයුරෙනි. ගහණ දෙකේ ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කිරීමෙන් පසුව ඒ ගහණවලට භාර එකතුකර අනන්‍ය ප්‍රමත ව්‍යාප්තියක් ඇති සංචිතයක් ලබාගත නො හැකි ය. කිනම් භාරයක් තිබිණ ද සංචිත ව්‍යාප්තියේ මධ්‍යන්‍ය ශූන්‍ය වෙයි. එහෙත් එහි සම්මත අපගමණය එක වන භාර යුගළ අනන්තයක් වෙයි. භාර සමාන ලෙස ගැනීමෙන් පමණක් තටිල් සංචිතය ලබාගත හැකි ය. එහෙත් එහි දී ගහණ දෙකෙහි ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. එය වැරදි ය. මේ පිළිබඳ ව විද්වත් කමිටුව හෝ තටිල් අනුගාමිකයන් හෝ කල්පනා කළේ දැයි නො දනිමි.

පරීක්‍ෂණයට නැවත පෙනී සිටින්නන් පිළිතුරු දෙන්නේ වෙනස් ප්‍රශ්න පත්‍රවලට පමණක් නො වේ. ඔවුන්ගේ ආකල්ප, සූදානම ආදිය ද පළමු වරට පෙනී සිටින්නන්ට වඩා වෙනස් ය. අද අවුලට මුල විද්වත් කමිටුවේ නිරදේශ සංශෝධනය කිරීමෙන් පසුවවත් ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට යොදා ගැනීම වැළැක්වු දේශපාලන වාසි ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආණ්ඩු විරෝධින් ය. විිද්වත් කමිටු නිිර්දේශය නැතිව මුලින් ම තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු ගණනය කළත් වත්මන් අවුල වැළැක්විය නොහැකි ය. දැන් නැවත පෙනී සිටි අයගෙන් සරසවිවලට ඇතුලත් කරගන්නා සංඛ්‍යාව වැඩිකළ යුතු යැයි ඊනියා අන්තරය ද අනෙක් ආණ්ඩු විරෝධීන්ද උද්ඝෝෂණය කරනු ඇත. උද්ඝෝෂණ ඇතත් නැතත් මේ සිසුන් සරසවිවලට ඇතුළත් කර ගත යුතු ය. එහෙත් එක්කෝ සිසුන් පිරිසක් යාපනයට යැවිය යුතු වනු ඇත. නැත්නම් අඩුපාඩුකම් සහිත වෛද්‍ය පීඨයකට හෝ අළුතෙන් ඇති කෙරෙන අඩුපාඩුකම් සහිත පීඨයකට හෝ යැවිය යුතු වනු ඇත. ඉන් සිදුවන්නේ ආණ්ඩු විරෝධීන්ට තව තවත් උද්ඝෝෂණ කිරීමට මාතෘකා සැපයීම පමණ ය. ප්‍රශ්නය කිසි දිනෙක මුළුමනින් විසඳීමට නොහැකි වනු ඇත. මෙරට ප්‍රශ්න විසඳනු වෙනුවට වැවෙන්නේ ජරාජීර්ණ විපක්‍ෂ දේශපාලනය ද හේතුකොට ගෙන ය.

Sunday, 15 July 2012

සරසවි අවුල


කිසිවකු මෙරට සරසවිවල අවුලක් නැත්තේ කවදා දැයි ඇසීමට ඉඩ ඇත. බොහෝ විට සරසවිවල අවුල්වලට හේතුව දේශපාලනය ය. බොහෝ ශිෂ්‍ය සංවිධාන එදා මෙන් ම අද ද දේශපාලන පක්‍ෂ විසින් හැසිරවෙයි. එදා ලංකා සමසමාජ පක්‍ෂය, නව සමසමාජ පක්‍ෂය, විවිධ කොමියුනිස්ට් පක්‍ෂ විසින් ශිෂ්‍ය සංවිධාන මෙහෙයවිණි. ශිෂ්‍ය ක්‍රියාකාරියකු හා පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙය මම අත්දැකීමෙන් ම දන්නෙමි. අද අවිශිබමණ්ඩලයේ (අන්තරයේ) නායකත්වය ඊනියා පෙරටුගාමී පක්‍ෂයට සම්බන්ධ ය. එහෙත් එකී පක්‍ෂය දේශපාලන වශයෙන් දුර්වල ය. එබැවින් ශිෂ්‍ය සංවිධාන අද එතරම් ක්‍රියාකාරී නො වේ. වර්තමානයෙහි සරසවිවල අවුල් ඇති කරන්නෝ ආචාර්යවරු ය. එහෙත් ඒ සියලු ආචාර්යවරුන් නො වේ. අද අවාසනාවකට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ තීරණ ගැනීමේ දී බලපාන්නේ ඊනියා පෙරටුගාමී පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ, හිතවත් ආචාර්යවරුන් වීම රටේ ම අභාග්‍යයකි. මේ පක්‍ෂවලට රටේ එතරම් සහායක් (එ ජා පක්‍ෂයට ද භේද බින්න වී කිසිවක් කරකියා ගත නොහැකි තත්වයකට පත් වී ඇත) නොමැති වුවත් විශ්වවිද්‍යාලවල එ ජා පක්‍ෂයට හිතවත් ආචාර්යවරු යම් ප්‍රමාණයක් සිටිති. ශ්‍රී ල නි පක්‍ෂයට කිසි දිනෙක ශිෂ්‍යයන් අතර හෝ ආචාර්යවරුන් අතර හෝ පදනමක් නොමැති විය. මෙය වෙන ම විශ්ලේෂණය කළ යුතු කරුණකි. ශ්‍රී ල නි ප බලයේ සිටින අවස්ථාවල අවස්ථාවාදී බලලෝභී පිරිසක් පක්‍ෂයට, විශේෂයෙන් ම ඇමතිවරුන්ට සමීපවන නමුත් ඔවුහු පක්‍ෂය රුකීමට කිසිවිටෙකත් ඉදිරිපත් නො වෙති. ශ්‍රී ල නි පක්‍ෂයට සැබවින් ම හිතවත් ආචාර්යවරුන් කිහිප දෙනකු සිටින නමුත් ඇමතිවරුන් වඩා විශ්වාස කරන්නේ බලය ඇති කාලයට පක්‍ෂය වටා රොක්වී ඉහඳ තබන වංචනිකයන් ය. අවශ්‍ය නම් මොවුන් ගැන නම් ගම් සහිතව කිව හැකි ය.

විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් ගැන රටේ ඇත්තේ මහත් ගෞරවයකි. මහජනයාට අනුව නම් විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරය බුද්ධිමත්තු වෙති. උගත්තු වෙති. දක්‍ෂයෝ වෙති. විභාගවලින් ඉහළින් සමත් වූවෝ වෙති. එසේ නොවන මා වැන්නන් ද නැතිවා නො වේ. එහෙත් මා දැන් විශ්වවිද්‍යාලයීය සේවයේ නොමැති බැවින් විශ්වවිිද්‍යාලයීය බුද්ධිමතුන්ගේ ප්‍රතිශතය සුළුවෙන් වුවත් ඉහළ ගොස් ඇත. බොහෝ විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් මෙන් ම ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු ප්‍රබුද්ධයන් මා ගැන දන්නේ ආණ්ඩුවට කඩේ ගොස් සේවා කාලය දික්කර ගත් තැනැත්තකු ලෙස ය. ඔවුන් මේ ලිපිය ද ආණ්ඩුවට කඩේ යෑමක් ලෙස සලකනු ඇත. මේ ආණ්ඩුවේ බොහෝ ප්‍රතිපත්ති ගැන මගේ පැහැදීමක් නැති වුවත් දැනට මම මේ ආණ්ඩුව ආරක්‍ෂා කරමි. මේ ආණ්ඩුව වෙනුවට පත්කර ගැනීමට සුදුසු විකල්පයක් නැත. අඩුම තරමෙන් ජනාධිපතිතුමා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ය. එතුමා දෙමළ ජාතිවාදයට හා ඒ පිටුපස සිටින එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ට හා ඉන්දියාවට නොනැමෙනතාක් මගේ ඡන්දය ආණ්ඩු පක්‍ෂයට හිමිවනු ඇත. මා එසේ කරන්නේ ආණ්ඩුවේ දුෂණ නාස්තිය ආදිය පිළිබඳව නොදැන නොවේ. මනාප ක්‍රමයට පෙර පැවති මහා මැතිවරණයක දී එක්තරා ඡන්ද කොට්ඨාශයකට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෝ් දෙදෙනාම පිරිසිදු චරිත ඇත්තෝ නො වුහ. එදා ප්‍රචාරය වූ එක් කවියක් වූයේ ඌත් වලා, මූත් වලා, ගමේ වලා, අපට හොඳා යන්න ය. මේ ආණ්ඩුවට ජාතික සංවර්ධන සැලැස්මක් නැත. එසේ ඇති පක්‍ෂයක් හැකිනම් පෙන්වන්න. එහෙත් දෙමළ ත්‍රස්තවාදය පැරදවූයේ මේ ආණ්ඩුව ය. අවාසනාවකට ආණ්ඩුවේ සිටින චන්ද්‍රිකාගේ පැරණි ඇමතිවරු බලය බෙදීම ගැන කතාකරති. ජනාධිපතිතුමා ඔවුන්ට ඉඩදුනහොත් ජනතාව වෙනත් දේශපාලන පක්‍ෂවල හවුලකට බලය දෙනු ඇත.

විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් කෙරෙහි ඇති ගෞරවයත් ඇතැම් විට තමන් අනුගමනය කරන දේශපාලන පක්‍ෂයත් හේතුකොටගෙන ඇතැම් ජනමාධ්‍යවාදීහු කිසිදු සොයා බැලීමක්, විචාරයක් නොමැතිව ආණ්ඩුව හා ඇමතිවරුන් අප්‍රසාදයට ලක්කිරීම සඳහා තම පෑන මෙහෙයවති. ඉසෙඩ් ලකුණූ ප්‍රශ්නය එයට හොඳ උදාහරණයකි. 2001 දී ද නව නිර්දේශයක් හා පැරණි නිර්දේශයක් විය. එහි දී මහාචාර්ය තටිල් මහතා ඉසෙඩ් ලකුණු ක්‍රමය යෝජනා කර ඇත. අද ඇතැමුන් සිතන්නේ එය ඔහු සොයාගත් (ගණිත භා’ෂාවෙන් නම් ව්‍යුත්පන්න කළ) සූත්‍රයක් කියා ය. එහෙත් ඔහු කර ඇත්තේ මෙරට උගතුන් සාමාන්‍යයෙන් කරන්නාක් මෙන් යම් සූත්‍රයක් ලංකාවට හඳුන්වාදීම පමණ ය. 2001 ඔහු කර ඇත්තේ නව නිර්දේෂයට අනුව පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු හා පැරණි නිර්දේෂයට අනුව පෙනී සිටි සිසුන්ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර ඒවා නිර්දේෂය සැලකිල්ලට නොගෙන අනුපිළිවෙළින් සකස් කර ලැයිස්තුවක් පිළියෙළ කර ඒ අනුව සරසවිවලට සිසුන් ඇතුළත් කරගැනීමට උපදෙස් දීම ය. එය වැරදි ය. එහෙත් එදා ඒ පිළිබඳ සාකච්ඡාවක් නොවූ බැවින් ඔහුගේ නිර්දේශය පිළිබඳ වැටහීමක් මා ඇතුළු පිරිසකට නො වී ය. අප සිතා සිටියේ ඔහුගේ නිරදේශය නිවැරදි බව ය. 2011 දී ද නව නිර්දේශයකට හා පැරණි නිර්දේශයකට අනුව සිසුහු පරීක්‍ෂණයට පෙනී සිටියහ.විශ්වවි්‍යාල ප්‍රතිපාදන කොමිසම විද්වත් කණ්ඩායමක් පත්කර සිසුන් ඇතුළත් කිරීමට සුදුසු ක්‍රමයක් නිර්දේශ කරන මෙන් ඉල්ලා ඇත. කොමිසමට කලින් දී තිබූ අධිකරණ නියෝගයක් හේතුකොටගෙන එක ලැයිස්තුවක් අවශ්‍ය වී යැයි කියැවෙයි. විද්වත් කමිටුව ඒ සඳහා යම් ස්‍රත්‍රයක් නිර්දේශ කර ඇත. එය ද වැරදි බව මගේ වැටහීම ය. එහෙත් ඇතැම් ප්‍රබුද්ධ යැයි කියාගන්නා දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදීන් කියා සිටියේ 2001 ක්‍රමයට 2011 දී ද ක්‍රියාත්මක නොවී කොමිසම අවුලක් ඇති කළ බව ය. 2001 ද වැරදි ක්‍රමයක් අනුගමනය කර ඇති නමුත් 2001 සහ 2011 අතර පැහැදිළි වෙනසක් වෙයි. එදා නව නිර්දේෂයට අනුව සිසුන් පෙනී සිටියේ විෂය තුනකට ය. එහෙත් පැරණි නිර්දේශය අනුව සිසුහු විෂය හතරකට පෙනී සිටිය හ. එපමණක් නොව පැරණි නිරදේශයට අනුව තිබූ ශුද්ධ ගණිතය ව්‍යවහාරික ගණිතය උද්භිද විද්‍යාව සත්වවිද්‍යාව වැනි විෂය නව නිර්දේෂයට අනුව නො වීය. එබැවින් මහාචාර්ය තටිල් මහතාට එදා අනුපිළිවෙළට ඉසෙඩ් ලකුණු සකස් කිරීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් කල්පනා කිරීමට නොහැකි වන්නට ඇත. එහෙත් මෙදා ඒ බාධකය නො තිබිණි. එසේ වුවත් විද්වත් කමිටුව ද මේ පිළිබඳ ව කල්පනා කර නැති බව පැහැදිලි ය. අවාසනවකට මෙහි දී ඌත් වලා, මූත් වලා කවිය අදාළ නොවේ. ඉසෙඩ් අවුලට වගකිව යුත්තේ ඇමතිවරුන් නොව ඇදුරන්ම ය. බොහෝ ඇදුරන්ට කල්පනා කිරීමට නොහැකි ය.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය කලින් වතාවේ වැඩ වර්ජනය කළ අවස්ථාවේ දී ද මම එයට විරුද්ධ වීමි. මේ ඊනියා ප්‍රබුද්ධ කථිකාචාර්යවරුන් එහි දී මට විරුද්ධව ක්‍රියා කළ ප්‍රබුද්ධ ආකාරය දන්නෝ දනිති. සම්මේලනය එදා ද අද ද කියා සිටින්නේ සරසවි ඇදුරන් විශේෂිත පුද්ගලයන් කොටසක් බව ය. මට නම් ඔවුන්ගේ විශේෂිත බවක් නො පෙනේ. ඒ හැරෙන්නට වර්ජන තීන්දුවට සම්මේලනය එළඹුණේ මා දැන සිටි එහි ව්‍යවස්ථාව අනුව නො වේ. ඒ ව්‍යවස්ථාව පසුව සංශෝධනය වී දැයි නො දනිමි. එසේ නොවේ නම් අද ද සම්මේලනය වර්ජන තීන්දුවකට පැමිණ ඇත්තේ ව්‍යවස්ථානුකූල ව නො වේ. එමෙන් ම එදා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට තිබිය දී වර්ජනය ආරම්භ කෙරිණි. විශ්වවිද්‍යාලයීය ඇදුරකු යනු පාසල් ගුරුවරයකුට වඩා බොහෝ දේ උගත් ඇදුරකු නො වේ. ඔවුන් අතර ඇත්තේ උගත්කමේ ප්‍රමාණාත්මක වෙනසක් නො වේ. සරසවි ඇදුරෝ දැනුම නිර්මාණය කරන්නෝ ද වෙති. දැනුම නිර්මාණය කිරීම යනු අවසාන වශයෙන් ගත්කල ප්‍රවාද සංකල්ප නිර්මාණය කිරීමකි. ඇදුරන් අතිවිශාල බහුතරයකට එසේ කිරීමට නොහැකි ය. එහෙත් අඩුම තරමෙන් ඒ දිශාවට යොමුවන පර්යේෂණ කරන්නෝ වෙත් ද? ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක් විසඳීමට බටහිර නිෂ්පාදනය කෙරුණු දැනුම අනුකාරිකව යොදා ගැනීම හැර කරන වෙන පර්යේෂණ කවරේ ද? ඇදුරන් කරන පරීක්‍ෂණ වැනි පරීක්‍ෂණ පර්යේෂණ ආයතනවල නිලධාරීහු ද කරති. ඉගැන්වීම පාසල් ගුරුවරු ද කරති. සම්මේලනය කියන මේ වෙනස සරසවි ඇදුරන් ඒ දෙකම කිරීම ද? සම්මේලනයට අනුව පරිවාස කථිකාචාර්යවරයකු වීමට ප්‍රථම පංතියේ හෝ ද්විතීය (ඉහළ ශ්‍රෙණියේ) උපාධියක් තිබිය යුතු ය. එමෙන් ම සේවයේ ස්ථිර වීම සඳහා පශ්චාත් උපාධියක් තිබිය යුතු ය. අද ඇතැම් වෙනත් ආයතනවලට ද බඳවා ගැනීමේ දී උපාධිය පිළිබඳ නිර්ණායක ප්‍රායෝගික වශයෙන් ගත්කල වෙනස් නො වේ. සම්මේලනයේ නිලධාරීහු සියල්ලෝ ම ඒ නිර්ණායක සපුරා ඇත් ද?

අද සරසවි ඇදුරන්ගේ සියළු දීමනා සහිත මාසික වැටුප දළ වශයෙන් ගත්කල රුපියල් පනස්දාහ හා එක්ලක්‍ෂ පනස්දාහ අතර වෙයි. එයට අමතරව ඉගැන්වීමට හැරෙන්නට අනෙක් සෑම කාර්යයකට ම මෙන් දීමනා ලැබෙයි. ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, පිළිතුරු පත්‍ර බැලීම, වැනි රාජකාරියට අයත් කාර්යයයන්ට ද දීමනා ලැබෙයි. සප්ත වාර්ෂික නිවාඩුව ආදිය ද මෙයට එකතු කළ විට මසක මධ්‍යන්‍ය දළ දීමනාව ගණනය කිරීම ප්‍රතිපාදන කොමිසම භාරගන්නේ ද? සරසවි ඇදුරන්ගේ දිමනා සහිත වැටුප පසුගිය අවුරුදු කිහිපයෙහි සෑහෙන ප්‍රමාණයකින් වැඩි වී ඇත. සම්මේලනය වැටුප් වැඩිකිරීමක් සිදු නොවී ඇතැයි කියන්නේ වචන හරඹයක යෙදෙමින් මූලික වැටුප ගැන සඳහන් කරමිනි. එහෙත් මූලික වැටුප් වැඩි නොකළත් දීමනා සහිත වැටුප (පඩි නඩි) වැඩි වී ඇත. අනෙක් අතට මූලික වැටුප වැඩි කිරීම සමස්ත රාජ්‍ය අංශයේ ම වැටුප් වැඩිකිරීමකින් තොරව සිදු කළ නොහැකි ය. ඉන් ඇතිවන ප්‍රතිවිපාක ගැන සැලිකිළිමත් නොවී ෂයිලොක් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඇතැම් ඇදුරන් ආණ්ඩුව අස්ථායී කිරීමේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බව ය. සම්මේලනයේ නායකත්වය දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ දී සිටියේ කොතැනක ද? නිදහස් අධ්‍යාපනය ගැන කටමැත දොඩන්නන්ගෙන් කී දෙනෙක් රටේ නිදහස වෙනුවෙන් පෙනී සිටියෝ ද? සරසවි ඇදුරන්ගෙන් කී දෙනෙක් බටහිරයන්ගේ මතිමතාන්තර වමනය කරමින් දෙමළ ජාතිවාදයට රට පාවාදීමට කටයුතු කරත් ද? අවසාන වශයෙන් බටහිරයන්ගේ දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට කටයුතු කරන්නෝ කෙතෙක් වෙත් ද? සරසවි ඇදුරන්ගෙන් රටට සිදු වී ඇති සෙත කුමක් දැයි කවුදෝ අසා තිබුනේ කට කහනවට විය නො හැකි ය. අධ්‍යාපනයට වෙන්කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර එය වැඩිකරන ලෙස ඉල්ලන්නේ ප්‍රතිශත ගණනය කරන ආකාරය පිළිබඳ හරි වැටහීමක් නොමැතිව ය. අයවැය ලේඛනයේ වැය ශීර්ෂ සෑම වසරක ම එකම නම් ප්‍රතිශත සැසඳිය හැකි ය. ශීර්ෂ වෙනස්වන විට ප්‍රතිශතවලට නිරපේක්‍ෂ අගයන් නැත.

Thursday, 20 October 2011

කොළඹ ප්‍රතිඵල හා සන්ධානයේ ඡන්ද කෙක්ක

ජාතික ව්‍යාපාරය හා දිවයින යනුවෙන් ලිපි පෙළක් ලිවීම ආරම්භ කළ නමුත් වර්තමාන දේශපාලන තත්වයෙහි ඇතිවෙමන් පවතින වෙනස්කම් හේතුවෙන් මේ සතියේ පළාත්පාලන මැතිවරණ ගැන සඳහන් කිරීමට සිදු වී ඇත. මේ ලිපියට නිමිති දෙකක් වෙයි. එකක් පඬියකුගේ ප්‍රකාශයකි. අනෙක භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය ය. මේ ආණ්ඩුව තරම් ජනතාවගේ ප්‍රසාදයට ලක් වූ තවත් ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ තිබී නැත. පනස්හයේ ආණ්ඩුව වුව ද මෙතරම් ජනප්‍රසාදයට පත් නො වී ය. හැරත් එයට ජනප්‍රසාදය රැකගත හැකිවූයේ ටික කාලයකට පමණ ය. පැරණි රජවරුන්ගේ අති සාර්ථක පාලන මෙරට තිබී ඇත. ගැමුණු කුමරු මෙරට ඉතිහාසය සකස්කළ තැනැත්තා වුව ද මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටවු රජතුමා වුව ද සිංහලයන්ගේ ප්‍රධාන ම වීරයා වුව ද එතුමාගේ මරණයෙන් නොබෝ කලකින් ම අනුරාධපුරය නැවතත් විජාතික ආක්‍රමණවලට ගොදුරු විය. ගැමුණු රජුගේ සොහොයුරාගේ පුතා වූ වලගම්බා කාලය පැමිණෙන විට විජාතික බලවේග නැවතත් කෙතරම් බලවත් වී ද යත් වලගම්බා රජුට තාවකාලික ව වුවත් දකුණට පැන යෑමට සිදුවිය. මේ විජාතික ආක්‍රමණ අවුරුදු හයසියයකට වැඩි කාලයක් නතරකර ගැනීමට හැකිවූයේ ධාතුසේන රජුගෙන් පසුව ය. ඒ සඳහා මහාවංසය උපකාරී වූවාට සැක නැත. මහාවංසය බණ පොතක් නො වේ. එය හුදු ඉතිහාස පොතක් ද නො වේ. එහි අඩුපාඩු නැතිවා ද නො වේ. එහෙත් ජාතියේ ගමන්මග සළකුණු කරනු ලැබුයේ මහානාම හිමියන් විසිනි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී පඬියන් මහාවංසය ත්‍රිපිටකය මෙන් ම සිංහල බෞද්ධයන් වන්දනාමාන කරන තවත් පිටකයක් ලෙස හඳුන්වන්නේ ත්‍රිපිටකය ගැන මෙන් ම මහාවංසය ගැන ද ඇති වෛරය “ශාස්ත්‍රානුකුලව” ප්‍රකාශ කරමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසයේ කෙසේ සටහන්වනු ඇද්ද යන්න නිශ්චිතව කිව නො හැකි ය. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කළේ ඒ මහතාගේ දේශපාලන නායකකත්වයෙනි. අප බොහෝවිට කියා ඇති ආකාරයට එය හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව අප ලත් වැදගත් ම ජයග්‍රහණය වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා රණවිරුවන් නොවන්නට එම ජයග්‍රහණය නොලැබීමට තිබිණි යන්න ද මෙහි ලා සඳහන් කළ යුතු ය. එහෙත් ප්‍රශ්නය වනුයේ අප එතැනින් ඉදිරියට යන්නේ කෙසේ ද යන්න ය.

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව සු්‍රළු කලකින් ම බටහිරයෝ මෙහි පැමිණියහ. අවුරුදු පන්සියයකට වැඩි යටත්විජිත සමයක් ඒ සමග ඇරඹිණි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී එය නැවැත්වීමට රහල් හිමියනටවත් වෑත්තෑවේ හිමියනටවත් වෙනත් කිසිවකුටවත් දේශපාලනික වශයෙන් වැදගත් වූ මහාවංසය වැනි පොතක් ලිවීමට නො හැකි විය. ඒ උන්වහන්සේලාගේ වරදක් නොවී ය. ව්‍යාප්තවෙමින් පැවති බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ විනාශකාරී බලපෑම එපමණකට ශක්තිමත් විය. සිංහල බෞද්ධ ජීවන රටාවට විරුද්ධව ක්‍රියාත්මක වූ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවසාන නියෝජිතයන් වූයේ ජේ ආර් ජයවර්ධන හා ප්‍රභාකරන් ය. 1977 සිට 2005 දක්වා සෘජුව ක්‍රියාත්මක වූ මේ දේශපාලනය තවමත් පරාජය වී නැත. අද එය වක්‍රව මහින්ද රාජපක්‍ෂ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙයි. අප ඒ ගැන සැලකිලිමත් නොවුවහොත් ගැමුණු කුමරුගෙන් පසුව, හයවැනි පැරකුම්බාවන්ගෙන් පසුව, මෙරටට සිදු වූ දේ නැවතත් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව සිදු වීමට ඉඩ ඇත. අද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අවරට යමින් ඇත. එහෙත් එය මුළුමනින් ම පරාජය වී නැත. මාක්ස්වාදී අර්ථයකින් නොවුවත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කඩා වැටෙනු ඇත්තේ ධනවාදය ද සමගිනි. එහෙත් ඒ වෙනුවට ඊනියා කම්කරු පංති නායකත්වයකින් කම්කරු රාජ්‍යයක් නම් කිසි දිනෙක ඇති නොවනු ඇත. එයට ප්‍රධාන හේතුව ඊනියා කම්කරු පංතිය බෙහෙතකටවත් සොයාගත නොහැකි වීමත් එය මාක්ස්ගේ මනස්පුතකු පමණක් වීමත් ය.

එ ජා පක්‍ෂය කොළඹ මහා නගර සභාව ජයගත් බවත් මිලින්ද මොරගොඩ මහතාට එහි පූරපති ධූරය අහෝසි වූයේ සන්ධානය කොළඹ ඊනියා බහු ජාතිකත්ව ව්‍යාප්තිය නොසළකා හැරි නිසා බවත් ඊළාම්වාදියකු ව සිට අද බටහිර රටක තානාපතිව සිටින ආණ්ඩුව වෙනුවෙන් කතාකරන අතර ආණ්ඩුව බෙදුම්වාදය කරා යොමුකිරීමට උත්සාහ කරන පඬියකු පවසා තිබිණි. මෙවැනි පුද්ගලයන් විශාල පිරිසක් අද ආණ්ඩුවට එකතු වී ඇත. ඔවුන් මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, උපදේශකවරුන්, සංස්ථා නිලධාරීන් ආදීන් අතර දැකගත හැකි ය. මොවුහු ඇතැමෙක් එ ජා පාක්‍ෂිකයෝ වූහ. තවත් සමහරු මාක්ස්වාදීන් වෙමින් දෙමළ ජාතිවාදීහු වූහ. දෙමළ ජාතිකත්වය උඩ නොමග ගොස් දෙමළ ජාතිවාදීන් වූ කරුණා වැන්නන්ට කරුණු අවබෝධ වූ පසු ඔවුන් දේශප්‍රේමීන් වීමට ඉඩ ඇතත් මාක්ස්වාදී ස්ථාවරයක සිට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවූවන් මාක්ස්වාදය මුළුමනින් ම අත්නොහැරියහොත් කිසි දිනෙක සිංහල බෞද්ධ විරෝධී කසිකබල් ජාත්‍යන්තරවාදය අත් නොහරිනු ඇත. අර තානාපති පඬියා බටහිර රටක සිට කියන්නේ බටහිර රටවල ගෞරවයට පාත්‍රවීමට නම් ආණ්ඩුව සිංහල ජාතිකත්වයෙන් බැහැරවිය යුතු බව ය. ඔවුන් ආණ්ඩුවට කියන්නේ බටහිර රටවලට තේරෙන අයුරින් ආණ්ඩුව සිංහල ජාතිකත්වයේ නොමැති බව ඊනියා තර්කානුකූල ව කීමෙන් පමණක් අපට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බටහිරයන්ගේ මුඩුක්කුවල තැනක් ලබාගත හැකි බව ය. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ පඬියන්ගෙන් පිරුණු අපේ විදේශ අමාත්‍යංශයෙන් හෝ අර පඬියා වැනි ශාස්ත්‍රාලයෙන් හෝ බිහි කෙරුණු තානාපතිවරුන්ට වඩා බටහිරයන්ට “තේරෙන බසින්” අපට අවශ්‍ය දේ “සුද්ද සිංහලෙන්”් කියා දුන්නේ හමුදාවෙන් බිහිවුණු ශවේන්ද්‍ර සිල්වා මහතා යැයි සිතමි. අප බටහිර සංසදවල කිව යුත්තේ අපට අවශ්‍ය දේ මිස බටහිරයන්ට අවශ්‍ය දේ නො වේ. අප ඒ කිව යුත්තේ බටහිරයන්ගේ දේශපාලන ප්‍රවාදවලට අනුකුලව නොව අපේ දේශපාලන ප්‍රවාදවලට අනුකූලව ය. අද අපට අවශ්‍ය තව තවත් “හමුදා තානාපතිවරුන්” මිස පඬි තානාපතිවරුන් නො වේ. බටහිරයන් කෙතරම් තර්කය ගැන කතාකළත් ඔවුහු තර්කයට සවන් නොදෙති. ඔවුන් සවන් දෙන්නේ යම්කිසි ආකාරයක ශක්තියකට පමණකි. එහෙත් ආණ්ඩුව ඒ බව තේරුම් ගෙන නැත.

මෙරට පසුගිය තිස්වසරක ජාතික ව්‍යාපාරයෙන් කෙරුණු ප්‍රධාන කටයුත්තක් නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවට හා පරාජය කළ යුතු බවට මතයක් ඇති කිරීම ය. අර පඬියන්, විවිධ හාංසිපුටු යුද විශේෂඥයන් කොටි ඉතා බලවත්බවත් ප්‍රභාකරන් අති දක්‍ෂ යුද සෙන්පතියකු බවත් දෙමළ ජනතාවට සිදු වී ඇති ඊනියා අසාධාරණකම් සාකච්ඡ්වෙන් පමණක් විසඳාගත හැකි බවත් ඊනියා ජාත්‍යන්තරයට අනුව යමින් කියද්දී එය එසේ නොවන බව කියා සිටියේ මෙරට ජාතික ව්‍යාපාරය ය. ජේ ආර් ගේ ව්‍යවස්ථාව අනුව සමානුපාතික ක්‍රමය යටතේ කිසිම පක්‍ෂයකට තුනෙන් දෙකක බලයක් ගත නොහැකි බව අංකගණිතයවත් හරිහැටි නොදත් ඊනියා දේශපාලන විද්‍යාඥයන් කියා සිටිය දී 75%ක් පමණ වූ සිංහලයන්ගේ ඡන්දවලින් 80%ක් පමණ ගෙන ප්‍රසාද ආසන ද සහිතව තුනෙන් දෙකේ බලයක් ගතහැකි බව පෙන්වා දෙනු ලැබුයේ ජාතික ව්‍යාපාරය විසිනි. අද ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය සිංහලයන් එකමුතු කර ඇත. සිංහලයන්ගෙන් 75%ක ප්‍රමාණයක් සංධානයට ඡන්දය දෙති. සංධානයට සිංහලයන්ට කිවහැකි පණිවුඩයක් ඇත. ඒ ජාතිකත්වය පිළිබඳ ව වූවකි. මහනුවර, නුවරඑළිය වැනි බල ප්‍රදේශවල ද එ ජා පක්‍ෂය පැරදෙන්නේ සිංහලයන් එකතුකළ ශ්‍රී ල නි පක්‍ෂය අද දෙමළ හා මුස්ලිම් ජනකොටස් ද එකතුකරමින් සිටින බැවිනි. මේ භවයේ පමණක් නොව සංසාරයේ කිසිම දිනෙක බුද්ධිමත් ප්‍රකාශයක් කර ඇතැයි සිතිය නොහැකි තිස්ස අත්තනායක කොළඹ ඊනියා ජයග්‍රහණයෙන් උදම් වී එ ජා ප නැවතත් බලයට ඒම අරඹා ඇතැයි කියා තිබේ. එහෙත් සිදු වී ඇත්තේ එ ජා පක්‍ෂය කොළඹින් ද පරාජය වීම අරඹා ඇති බව ය. කොළඹ මුළු ආසන සංඛ්‍යාව වූ 53න් එ ජා පක්‍ෂයට ලැබී ඇත්තේ හරි අඩකට අඩු ආසන 24කි. එය ජයග්‍රහණයක ඇරඹුමක් තබා එ ජා පක්‍ෂ පල්ලම් ගමනේ අම්බලමක්වත් නො වේ. කොළඹ සිංහල ජනතාවගේ ප්‍රතිශතය 35%ට අඩු ය. ඉන් සියයට 80ක් සංධානයට ඡන්දය දුන්න ද ඒ පක්‍ෂයට ලැබෙන්නේ 28%කි. එහෙත් කොළඹ වාසය කරන සිංහලයන්ගෙන් 80%ක් සංධානයට ඡන්දය දෙතැයි සිතිය නො හැකි ය. එසේ නම් ඉන් කියැවෙන්නේ සංධානයට දෙමළ හා මුස්ලිම් ජනයා ද ආකර්ෂණය වෙමින් පවතින බව ය. එය විය යුත්තකි. ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානය පළමුව සිංහල බෞද්ධයන් ද දෙවනුව සිංහල ක්‍රිස්තියානින් ද ජාතිකත්වය මත එකතු කර ඇත. දැන් ඒ පක්‍ෂය ජාතිකත්වය මත පදනම් වී දෙමළ හා මුස්ලිම් ජනයා ද එකතු කරමින් සිටී. ඒ ජාතිකත්වය ඊනියා ශ්‍රී ලාංකික ජාතිකත්වයක් නොවන බව අවධාරණය කළ යුතු ය. සංධානයට ඡන්ද අදින කෙක්ක අන් කිසිවක් නොව ජාතිකත්වයයි. ඒ නියෝජනය කරන්නේ ජනාධිපතිතුමා මිස අන් කිසිවකු නොවන බව අවධාරණය කළ යුතු ය. එ ජා පක්‍ෂයෙන් හෝ වෙනත් තැනකින් හෝ ශ්‍රී ල නි පක්‍ෂයට බැඳෙන අය ගෙනෙන ඡන්දයක් නැත. යම් ඡන්ද ප්‍රමාණයක් ගෙනාවත් ජනාධිපතිතුමා ගෙනෙන ඡන්ද ප්‍රමාණය සමග සැසඳූ කල ඒ නොගිණිය හැකි තරම් ය. ජනාධිපතිතුමාට ඡන්ද ඇදීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයට බාහිරෙන් පුද්ගලයන් ආනයනය කිරීමට අවශ්‍ය නො වේ. භාරත ලක්‍ෂමන් මහතා මුළුමනින් ම ජාතිකත්වයෙහි නො සිටියේ ය. එහෙත් ඔහු වෙනුවට කෙනකු අවශ්‍ය වී නම් ඒ ඔහුට වඩා ජාතිකත්වයට බර අයකු විය යුතුව තිබිණි. ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය තමන්ට ඇති ජනප්‍රසාදය නැතිකර නොගත යුතු ය. අද කළ යුත්තේ බටහිර කඩාවැටීම ජනතාවට පෙනෙන තෙක් ජාතිකත්වය මත රඳා පවතිමින් යම් ආකාරයක සංවර්ධනයක් (එය අපට අද නොගැලපුනත්) ඇති කර ගැනීම ය.


Friday, 30 September 2011

ආණ්ඩුව අස්ථායි කිරීම

මේ ආණ්ඩුව බලයට පත්වූයේත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේත් ජාතිකත්වය මුල්කරගෙන ය. ඒ බව ආණ්ඩුවේ මිතුරෝ මෙන් ම සතුරෝ ද දනිති. එහෙත් අවාසනාවකට ආණ්ඩුවේ සතුරන් ඇත්තේ පිටත පමණක් යැයි නොසිතිය යුතු ය. සතුරෝ පිටත මෙන් ම ඇතුළත ද සිටිති. ආණ්ඩුව වඩාත් ම ප්‍රවේසම් විය යුත්තේ ඇතුළත සිටින සතුරන්ගෙනි. මේ සතුරන්ගෙන් ඇතැමෙක් ජාතිකත්වයට විරුද්ධ වූවෝ වෙති. ඔවුන් අද ආණ්ඩුව ජාතිකත්වයෙන් ඈත්කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙයි. ජාතිකත්වයෙන් ඈත්වූ ආණ්ඩුවකට පැවැත්මක් නැත. ආණ්ඩුව අස්ථායිකිරීමට යොදාගත හැකි ප්‍රධාන ම පිරිස වන්නේ ආණ්ඩුව ඇතුළත සිටින ජාතිකත්වයට විරුද්ධ වූවන් ය.

අද ආණ්ඩුව අස්ථායි කිරීමට අවශ්‍ය කාහට ද? එයට පිළිතුර ඉතා පැහැදිලි ය. ඒ අන් කිසිවකුට නොව ජාතිකත්වයට විරුද්ධ වූවන්ට ය. ජාතිකත්වයට පක්‍ෂ වූවෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙති. අද බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ ද කෙරී ගෙන යන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහි වූ රටවලට (නායකයනට) විරුද්ධ ව කරන සටනකි. එහි ආර්ථික සංරචකයක් ද ඇත. එහෙත් ඒ ප්‍රදේශයේ සිදුවන සියළු කටයුතු ආර්ථිකයට, තෙල් ලිං කිහිපයකට, ලඝු කළ නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිවූ රටවලට විරුද්ධව කරන සටන මෙහෙයවනු ලබන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ රටවල් විසිනි.

ලංකාවේ දැනට තෙල් නැත. තෙල් තිබේ යැයි කීව ද ඒ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්නකු නැත. අද ඇමරිකාව ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව අස්ථායි කිරීමට උත්සාහ කරන්නේ ඒ තෙල් බලාගෙන යැයි නො සිතිය යුතු ය. ආර්ථික වශයෙන් ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ වෙනත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටකට හෝ ලංකාවේ ඇති වැදගත් කමක් නැත. ඒ රටවල් අද ලංකාවට විරුද්ධ වන්නේ ආර්ථිකයට වඩා සංස්කෘතිය හේතුවක් කරගනිමිනි. අප බොහෝ කලක සිට කියන කරුණක් නම් දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ඇතිකරන ලද්දක් වුව ද එය පෝෂණය කර සූරකිනු ලැබුයේ ඉංගිරිසින් විසින් බව ය. ඔවුන් දෙගොල්ලන් ම එසේ කළේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය. අද ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිරයන් හැකිනම් රට රටවල විසිරුණු දෙමළ ජනයා යොදාගැනීමට උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමට ය. එහෙත් එය එතරම් සාර්ථක නොවන බව මේ වන විට බටහිරයන්ට ද අවබෝධ වී අවසන් ය.

එබැවින් ඔවුහු ලංකාවේ ආණ්ඩුව ඇතුළත මෙන් ම පිටත ද සිටින සතුරන් ආණ්ඩුවට විරුද්ධව යොදාගැනීමට උත්සාහ දරති. අවුරුදු දෙසීයකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාත්මක වූ දෙමළ ජාතිවාදී දේශපාලනය, එහි ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට ගෙන ආ සියළු විසඳුම් සමග ම නන්දිකඩාල් කලපුවේ ගිල්වා පරාජය කිරීමෙන් පසු බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුමකට හෝ ඉන්දු ලංකා ගිවිසුමකට හෝ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයකට හෝ තවත් ඉඩක් නැත. ඒ සියල්ල දැන් අහෝසි වී ඇත්තේ හමුදා මෙහෙයුම් යනු අවසාන වශයෙන් ගතහොත් දේශපාලන විසඳුම් නිසාත් ලංකාණ්ඩුවේ හමුදා ලත් ජයග්‍රහණය සමග දැන් වෙනත්් දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක වන නිසාත් ය. හමුදාවේ මෙහෙයුම් ඉතා පැහැදිලිව ම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොලිස් හා ඉඩම් බලතල පැවරීමට එරෙහිව කරන ලද්දක් විය. හමුදාව ඒ මෙහෙයුම් ජයග්‍රහණය කිරීමෙන් පසුව තවදුරටත් පොලිස් බලතල දීම ගැන හෝ දහතුනට එහා යන විසඳුම් ගැන හෝ කතාකිරීම පවා අර්ථ ශූන්‍ය ය. එසේ කිරීම ජීවිත පූජාවෙන් මෙහෙයුම්වලට සහභාගි වූ රණවිරුවන්ට කරන අපහාසයකි.

බටහිරයන් එක් උපක්‍රමයක් පමණක් ඇතිව ලංකාණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරන්නේ යැයි නොසිතිය යුතු ය. ඔවුහු විවිධ අංශ ඔස්සේ විවිධ උපක්‍රම යොදාගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කරති. ආණ්ඩුව අස්ථායි කිරීම සඳහා විවිධ මාර්ග සොයති. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ, එ ජා ප, ඊනියා බුද්ධිමතුන් ආදීන් වශයෙන් ඒ ආයතන හා පිරිස් වෙනස් වෙයි. පසුගිය දා මෙරටට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව භාර (ඔහු කටයුතු කරන්නේ් ඔහුට දකුණු ආසියාව භාර දී ඇතැයි යන පදනමිනි.) ලේකම් බිලේක් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණගැසීමට මහත් උනන්දුවක් ගත්තේ ය. ඩග්ලස් දේවානන්ද මහතා ඔහුට යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණ ගැසීමට අවස්ථාවක් නො සැපයී යැයි කියැවෙයි. එය ඇත්තක් නම් ඩග්ලස් දේවානන්ද මහතාට අපේ ස්තුතිය හිමිවිය යුතු ය. බ්ලේක්ට අනෙක් විශ්වවිද්‍යලයීය ශිෂ්‍යයන් මුණ ගැසුනේ දැයි කීමට නො දෙනිමි. ඔහු යම් අයුරකින් එසේ මුණගැසී ඇත්නම් එය ඉතා භයානක කටයුත්තක් බව අවධාරණය කළ යුතු ය. බ්ලේක් සූදානම් වන්නේ තවත් 1989ක් ඇති කිරීමට ද?

බටහිරයන්ට ආණ්ඩුව අස්ථායි කිරීමට අද ඇති එක් මගක් නම් රටෙහි කැරළි ඇතිකිරීම ය. ආණ්ඩුව ඔවුන්ට එහි දී කිසිදු ඉඩක් නොදිය යුතු ය. ආණ්ඩුවට විරුද්ධව උසිගැන්විය හැකි පහසුම පිරිස තරුණයෝ වෙති. විශ්වවිද්‍යාලවල ද ආයෝජන කලාපවල ද තරුණයෝ වෙති. ආණ්ඩුව මේ ආයතන ගැන වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු ය. මෙහි දී පසුගිය දා කටුනායක ඇති වූ කලබල පිළිබඳව ද අපේ අවධානය යොමු කළ යුතු ය. ජ වි පෙරමුණට ඒ තරුණ තරුණියන් උසිගන්වා ඔවුන් පොලීසියට විරුද්ධව මෙහෙයවීමට හැකි විය. එහි දී එක් තරුණයකු මියගිය අතර ආණ්ඩුව කලබල නොවී කටයුතු කිරීම හේතුවෙන් ජ වි පෙරමුණට තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට නොහැකි විය.

ජ වි පෙ යනු අද වන විට දුර්වල පක්‍ෂයකි. ජාතිකත්වය හමුවේ ඊනියා පැරණි පක්‍ෂවලට අත් වූ ඉරණම අද වන විට වසර පනහකට ආසන්න වයසක් ඇති ජ වි පෙරමුණට ද අත් වී ඇත. එය කැබලි කැබලිවලට කැඩී වෙන්වන තත්වයකට පත් වි ඇත. පසුගිය දා ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන ගුණරත්නම් නමැත්තකුගේ නායකත්වයෙන් න්‍යායික වශයන් දරදඬු වූ ව්‍යාජ විප්ලවවාදීන් පිරිසක් කැඩී ගොස් ඇත. ජ වි පෙරමුණේ අධ්‍යාපනික කටයුතු භාරවී සිටි තැනැත්තා ද කාන්තා සංවිධායකවරිය ද කැඩී ගිය කණ්ඩායමේ වෙති. පක්‍ෂයේ ලංකා පුවත්පත ද මෙහෙයවන ලද්දේ මේ කණ්ඩායම විසිනි. මේ කණ්ඩායම න්‍යායික වශයෙන් නම් එතරම් ශක්තිමත් නොවන බව ඔවුන් ලංූකා පුවත්පතේ පළකරන අනුකාරක ලිපිවලින් ද එක් තැනැත්තකු විශේෂයෙන් ම රුසියන් පොත්වලින් පිටපත් කරමින් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන ලියූ සත පහක් නොවටිනා පොතෙන් ද හෙළිවෙයි. එහෙත් ජ වි පෙරමුණට මේ අන්තවාදී කණ්ඩායම කැඩී යෑම තදින් දැනෙනු ඇත. කැඩී ගිය කණ්ඩායමේ කිසිම ජාතිකත්වයක් නැත. ඔවුහු ඊනියා ජාත්‍යන්තරවාදියෝ වෙති. ටිල්වින් සිල්වාගේ කණ්ඩායම ද තව තවත් ජාත්‍යන්තරවාදී වනු ඇත්තේ කැඩී ගිය අයට තරගයක් දීමට ය. ඔවුන් ඊනියා විප්ලවවාදීන් වී ඇමරිකානුවන්ගේ බළල් අතක් වීම වැළකිය නොහැකි වනු ඇත. මෙහි භයානක ප්‍රතිඵලය වනුයේ ඊනියා විප්ලවය කෙසේ වෙතත් ඇමරිකානුවන්ට ඒ මුවාවෙන් ව්‍යාජ විප්ලවවාදීන්ගේ මානව අයිතිවාසිකම් රැකීමට යැයි කියමින් ලංකාව ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබීම ය.

අද ජ වි පෙරමුණේ ඇතැමුන් එ ජා පක්‍ෂය සමග සම්බන්ධ වී ඇත. කලින් කී කණ්ඩායම වෙන්වීමට ද එක් හේතුවක් වී ඇත්තේ ජ වි පෙ හා එ ජා ප අතර සරත් ෆොන්සේකා වෙනුවෙන් ගොඩනැගූණු සංධානය ය. අද ඇතැම් විශ්වවිද්‍යාලවල එ ජා ප –- ජ වි පෙ ගුරුවරුන් හා සිසුන් එකට වැඩකරනු පැහැදිලිව පෙනෙන්නට ඇත. බ්ලේක් ජ වි පෙ ඔස්සේ ශිෂ්‍යයන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව පෙළ ගැස්වීමට සූදානම් වන්නේ ද? ආණ්ඩුව අස්ථායී කිරීමට හැකිනම්, එ ජා ප පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්‍ෂ වුව ද එයට හිතවත් ගුරුවරුන් ජ වි පෙ සමග උද්ඝෝෂණවලට එකතුවනු ඇත. ආණ්ඩුව මෙහි දී කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙයි. මෙරට ඉතිහාසයේ ජ වි පෙ දෙවැනි ත්‍රස්තවාදයට එළඹුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඔස්සේ ය. අද තත්වය එදාට වඩා බෙහෙවින් වෙනස් වුව ද ආණ්ඩුව ප්‍රශ්නය නිවැරදිව විග්‍රහ කිරීමට සමත් වී නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකට වඩා උපාධිධාරීන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයකි. නිදහස් අධ්‍යාපනය ඔස්සේ උපාධි ලබන අයට ලැබීමට තිබෙන රැකියා යම් ප්‍රමාණයක් වෙනත්් උපාධිධාරීන්ට ලැබීම මෙහි ප්‍රධාන ප්‍රශ්නය ය. නිිදහස් අධ්‍යාපනයේ නාමයෙන් එයට විරුද්ධවීම ගැන එකඟ විය නොහැකි ය. ඇතැම් දක්‍ෂ ආචාර්යවරුන් වැඩි වැටුපට පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට යෑමෙන් එවැන්නන් රජයේ විශ්වවිද්‍යාලවලට අහිමි වේද යන ප්‍රශ්නය ද ඇත. ඒ කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට රජයේ රෝහල්වල හා වෙනත් ආයතනවල පහසුකම් හා කීර්තිනාම මුදල් ගෙවා හෝ නොගෙවා හෝ යෙදාගැනීමට අවසරදීම නම් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට ප්‍රශ්නයක් වනු ඇත. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ කොළඹ විශ්වවිිද්‍යාලයේ උපාධිය මුලින් කී විද්‍යාලයේ උගත් සිසුන්ට ද ලබාදීිම ය. ආණ්ඩුව මේ හා තවත් ප්‍රශ්න ගැන අවධානය යොමුකර සුද්දන් අපට උරුමකර දුන් අධ්‍යාපනයක් විසින් ඇතිකෙරෙන මේ උපාධි –- රැකියා ප්‍රශ්නයට යම් විසඳුමක් දිය යුතු ය. කිසිම අයුරකින් රට අවුල් කිරීමට ජ වි පෙ, එ ජා ප, දෙමළ ජාතික සංධානය යොදාගැනීමට බටහිරයන්ට ඉඩ නොතැබිය යුතු ය.