Main Logo

Showing posts with label අවිද්‍යාව. Show all posts
Showing posts with label අවිද්‍යාව. Show all posts

Monday, 16 April 2012

කපිල පීරිස් මහතාගේ මනස

කපිල පීරිස් මහතා නැවතත් හොරගල් ඇහිලීම පටන්ගෙන ඇත. පසුගිය අප්‍රියෙල් මස 4 වැනි දා කෙම් පහන්වල ඇත්ත නැත්ත ගැන ලිවීමේ දී ඔහු ඉතා පැහැදිලිව මා විසින් අවුරුදු විසිපහක් පමණ කාලයක් තිස්සේ කරන ලද දේ අභියෝගයට ලක්කරයි. මහු නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය හෙළා දකියි. විඤ්ඤාණය ද ඇතුළු සියළු සංකල්ප ශූන්‍ය බව මා කියන විට ඔහු එය හෙළා දකියි. කළ යුත්තේ තර්ක කීිරීම නොව භාවනා කිරීම මගින් ඊනියා පරමාර්ථ ධර්ම ඔස්සේ දුකින් නිදහස් වීමට උත්සාහ කිරීම බව පවසයි. කපිල පීරිස් මහතා අවසානයේ දී කරන්නේ අපේ ප්‍රවාද තැනීමට ඇති සීමිත ඉඩ වුව ද නැති කිරීම ය. ඔහුගේ ප්‍රකාශවලට පිළිතුරු දීමට යෑමේ දී අපේ ප්‍රවාද ලිපිවල රිද්මය කැඩී යයි. ඇතැම් විට ඒ මහතාට අවශ්‍ය ඒ ඉඩ ඇහිරීම විය හැකි ය. එබැවින් විදුසර අපට ලබාදෙන ඉඩ ඇහිරීමට ක්‍රියා නොකර අපේ මත පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ඒ මහතාට අභියෝග කරමි.

කලකට පෙර කපිල පීරිස් මහතා බටහිර විද්‍යාවට වැදගත් කමක් ලබා දෙමින් අපේ පැරණි දැනුම් බටහිර විද්‍යාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහු රේ විජේවර්ධන මහතා වැන්නන් රටට වැඩදායක යමක් කළ කරන විද්‍යාඥයන් ලෙස හැඳින් වීය. ඒ අය බටහිර විද්‍යාව මෙරට යොදා ගත්තා මිස වෙනත් දෙයක් නො කළහ. ඒ අය එසේ කිරීම පිළිබඳ මට පුදුමයක් නැත. එහෙත් කපිල පීරිස් මහතා ඔවුන්ට සහතික ලබා දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එදා එසේ කළ ඒ මහතා අද බටහිර විද්‍යාවේ සීමාකම් ගැන කතා කරන්නේ ඒ පිළිබඳ ව අදහස් දක්වන පළමු තැනැත්තා ඒ මහතා ය යන හැඟීම පාඨකයන්ට ඇති කිරීමට උත්සාහ දරමිනි. බටහිර විද්‍යාව මනීන්ද්‍රිය ඉන්ද්‍රියක් ලෙස යොදා නොගැනීම එහි මූලික ම අර්බුදය බව තමා පෙර සඳහන් කර ඇතැයි කපිල පීරිස් මහතා අප්‍රියෙල් 4 වැනි දින ලිපියෙහි සඳහන් කරන්නේ කිනම් අරමුණකින් ද යන්න පැහැදිලි ය. ඒ මහතාට අවශ්‍ය බටහිර විද්‍යාවේ අර්බුදය ගැන වැදගත් ම අදහස් ඒ මහතා අතින් දැක්වී ඇති බව පාඨකයාට ඒත්තු ගැන්වීම ය.

කපිල පීරිස් මහතා සැදැහැත් බෞද්ධයකු විය හැකි ය. එහෙත් ඒ මහතා වුව ද භාවනා කරන බවක් මම නො දනිමි. ඒ කෙසේ වෙතත් මනස විඤ්ඤාණය ආදිය ගැන භාවනා කිරීමකින් තොරව මා පවසන දෑ ප්‍රතික්‍ෂෙප කිරීමේ පරම අභිලාෂය ඒ මහතාට වෙයි. භාවනා කළත් නොකළත් සංකල්ප යොදා ගැනීමෙන් අප කරන්නේ මගඩියකි. සංකල්පීය ලෝකය ශූන්‍ය බව වටහා ගැනීම නිවන් අවබෝධ කරගැනීම යැයි මම සිතමි. එහෙත් එය වටහා ගන්නේ තර්කයෙන්වත් මනසෙන්වත් විඤ්ඤාණයෙන්වත් වෙනත් එවැන්කින්වත් නොවන බව මගේ වැටහීම ය. පටිච්ච සමුප්පදායෙන් අපට කියන්නේ අවිද්‍යාව නැති විට නාම රූප විඤ්ඤාණ ආදිය නැති බව ය. විඤ්ඤාණයක් ඇත්නම් එතැන අවිද්‍යාව වෙයි. එහෙත් පිරිනිවන් පානා තෙක් රහතන් වහන්සේලා විඤ්ඤාණය යොදා ගනිති. එසේ වුවත් එලෙස යොදා ගන්නේ එය මායාවක් බව අවබෝධ කරගනිමිනි. නැති විඤ්ඤාණය ඇති ලෙස ගැනීම මායාවක් බව උන්වහන්සේලා අවබෝධ කරගෙන ඇත. ගිණි හුළක් කැරකැවීමේ දී අපට පෙනෙන ගිනි වළළ්ල මායාවක් බව අපි දනිමු. රහතන් වහන්සේ විඤ්ඤාණය මායාවක් බව දනිති. එහෙත් එය අප ගිනි වළල්ල ගැන දැනගැනීම මෙන් නොවන බව අවධාරණය කළ යුතු ය.

බුදුන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ දැයි කපිල පීරිස් මහතා අසයි. ඒ මහතා එසේ අසන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට ගැරහීමටත් මා බෞද්ධයකු නොවන බව කීමටත් ය. කලකට පෙර කපිල පීරිස් මහතා උදයසිරි වික්‍රමරත්න මහතා කී දෙයක් අනුමත කරමින් පැවසුවේ මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයකු නොවන බව ය. භාවනා නොකිරීමෙන් නිසි අවබෝධයක් ලැබිය නොහැකි යැයි පවසන කපිල පීරිස් මහතා අනෙක් අය පවසා ඇති අදහස් වැරදි යැයි කියන්නේ භාවනාවෙන් ලත් දැනුමක් උපයෝගී කරගනිමින් දැයි ප්‍රශ්න කරමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යනු පෘථග්ජන මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම පිළිබඳ ප්‍රවාදයකි. අවශ්‍ය නම් එය ඥානවිභාගයක් ලෙස හඳුනාගත හැකි ය.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය පිළිබඳ කපිල පීරිස් මහතා ප්‍රසිද්ධ විවාදයකට එනු ඇතැයි අපේක්‍ෂා කරමි. හොරගල් අහුලන්නේ නැතිව කෙලින් ම වාද කිරීම උචිත යැයි සිතමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නේ නිවන් දැකීමක් ගැන නො වේ. සත්ත්වයන් දැනුම නිර්මාණය කරන බවත් (සොයා ගැනීමක් නොව) එය තම ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂව කෙරෙන බවත් ඉන් කියැවෙයි. ඊනියා විද්‍යාව පමණක් නොව සාහිත්‍යය නාට්‍ය ආදිය ද එවැනි සාපේක්‍ෂතාවක් දරන්නේ යැයි අපි කියමු. දැනුම යම් චින්තනයක් මත පදනම් වන්නේ යැයි ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙයි. උදයසිරි වික්‍රමරත්න මහතාගේ සුද්දෙක් ඔබ අමතයි නම් නාට්‍යය නිර්මාණය කෙරී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවදී අදහස් උපයෝගී කරගනිමිනි. උදයසිරි වික්‍රමරත්න මහතා ඒ බව නොදන්නවා නො වේ. එහෙත් ඉතා අකෘතඥව ඒ මහතා මා බෞද්ධයකු නොවන බවත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු බවත් පවසයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ද සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ඥානවිභාග ප්‍රවාදයක් බව කපිල පීරිස් මහතාටත් උදයසිරි වික්‍රමරත්න මහතාටත් අමතක වී ඇති බව පෙනෙයි.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුව අප නිර්මාණය කරන දැනුම විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. විඤ්ඤාණය හට ගැනෙන්නේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. විඤ්ඤාණය යනු මායාවකි. නිවන් අවබෝධය යනු ඒ මායාව මායාවක් බව අවබෝධ කරගැනීම ය. නැතහොත් නිවන ද විඤ්ඤාණයට සාපේක්‍ෂ වන්නේ නම් හා නිවන් දැකීමෙන් පසුව ද විඤ්ඤාණය පවතින දෙයක් ලෙස සැලකෙන්නේ නම් නිවන් අවබෝධයෙන් පසුව ද අවිද්‍යාව වෙයි. ඒ පටිච්චසමුප්පදායට අනුව විඤ්ඤාණය හටගන්නේ ද අවිද්‍යාව හේතුකොටගෙන බැවිනි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ දී ලැබූ අවබෝධය කිසිම විඤ්ඤාණයකට සාපේක්‍ෂව ලත් එකක් නොව විඤ්ඤාණය මායාවක් බව අවබෝධ කරගැනීමෙන් ලද්දකි. කපිල පීරිස් මහතා අන්‍යාලාපයෙන් අසන්නේ භාවනා නොකර මා එවැනි නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන්න ය. සමහර විට එය පසුගිය භවයන් හි දී භාවනා කිරීමෙන් මා ලත් දැනුමක් විය හැකි ය. ඒ එසේ නොවුවත් භාවනානුයෝගී පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණන් වහන්සේ ගේ නිවනේ නිවීම පෙත් පෙළෙහි ද එවැනි අදහස් දැකගත හැකි ය. නැති විඤ්ඤාණය නැති විඤ්ඤාණයක් බව අවබෝධ කරගන්නේ විඤාණයකින් නොවන බව නම් මට පැහැදිලි ය. එහෙත් එතැනින් එහාට යෑමට නම් භාවනාව අත්‍යවශ්‍ය වෙයි.

සංගත ආකෘති තැනීම පිලිබඳ ව ද කපිල පීරිස් මහතා ගරහයි. ඒ මහතාට ඇත්තේ නිවන් අවබෝධ කිරීමේ අවශ්‍යතාව පමණක් විය හැකි ය. එහෙත් මට නම් එයට අමතරව දේශපාලන අවශ්‍යතා ද වෙයි. ඒ දේශපාලන අවශ්‍යතා සඳහා නිවන කල්දැමීම ද මට ප්‍රශ්නයක් නො වේ. අද මුළු මහත් ලෝකය ම බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වී ඇත. අපේ නිදහස සම්පුර්ණ වන්නේ අප බටහිර දැනුමෙන් ද නිිදහස් වූ විට ය. එහි දී අපි බටහිර දැනුම විවේචනය කිරීමටත් අපේ දැනුමක් නිර්මාණය කිරීමටත් මැදිහත් වෙමු. පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ අප කළේ එයයි. අපි එහි සාර්ථකත්වය විශේෂයෙන් ම දේශපාලනයෙහි දී අත්දුටුවෙමු. එහෙත් තවදුරටත් කළ යුතු දෑ කිහිපයක් ඉතිරි වී ඇත. ඒ සම්පුර්ණ වන තුරු අපි අපේ ව්‍යායාමය අත් නො හරිමු. බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කපිල පීරිස් මහතා කතා කිරීමට පළමුව අප ඒ පිළිබඳ ව අපේ විවේචනය ඉදිරිපත් කර ඇති අතර රේ විජේවර්ධන මහතාගේ ගණයේ බටහිර විද්‍යාව පිළිගත් අය සමග ඒ පිළිබඳ නොයෙකුත් වර වාද කර ඇත්තෙමු. කපිල පීරිස් මහතා බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය සමග බටහිර විද්‍යාව විවේචනය කරමින් විවාදවලට එළඹි අවස්ථා ගැන අපි නො දනිමු. එහෙත් බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කතාකළ පළමු තැනැත්තා වීමට ඒ මහතාට අවශ්‍ය නම් එය ලබාගැනීම අපට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් කිවයුතු දෑ වෙයි. අප සංගත ව කරුණු ඉදිරිපත් කළ යුතු යැයි ද වියුක්ත ප්‍රවාද නිර්මාණය කළ යුතු යැයි කියන්නේ ද ඒ ඔස්සේ ඊනියා පරමාර්ථ සත්‍යයක් දැන ගැනීමට නොව එසේ නොමැතිව අද දවසේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම පරාජය කළ නොහැකි බැවිනි. එහෙත් අපේ වෑයම එයට පමණක් සීමා නො වේ. ඈත අතීතයේ සිට මිනිසුන් දෙවියන් සමග සම්බන්ධ වී දැනුම ලබාගත් බව අපි දනිමු. පැරණි සිංහලයෝ ද එසේ කළහ. ගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේ දී දෙවියන්ගෙන් දැනුම ලබා ඇත. අවුරුදු තුන හතරක කාලයක සිට අපි දෙවියන්ගෙන් ද දැනුම ලබාගනිමු. අප බොහෝ විට කියා ඇති පරිදි රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් අපට දැනුම ලැබී ඇත්තේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙනි. එමෙන් ම ගොවිතැනෙහි දී ද වෙදකමෙහි දී ද අපි දෙවිවරුන්ගෙන් දැනුම ලබමු. ඉදිරියෙහි දී වෙනත් කරුණුවල දී ද එසේ දැනුම ලබාගැනීමට අපේක්‍ෂා කරමු. ඒ ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුමකි. භාවනානුයොාගීව ඒ දැනුම ලබාගැනීමට හැකි කිහිප දෙනෙකු ම පසුගිය අවුරුදු තුන ඇතුළත බිහි වී ඇත. එහෙත් ඒ දැනුම ද සංකල්පීය දැනුමක් බවත් එහි ඊනියා සාර්ථකත්වය ද සංගත වීම මත පදනම් වන බවත් අපි කියමු. ඇතැම් විට ආධ්‍යාත්මික ව ලබාගන්නා ලෞකික දැනුම සාර්ථකත්වයකට පත්වීමෙන් පසු අපේ දැනුම තාර්කිකව හා ඉන්ද්‍රියානුභූතව නිර්මාණය කිරීම අපට අත්හැරීමට හැකිවනු ඇත.

එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තේ බටහිර විද්‍යාවේ මූලික ම අර්බුදය මනේන්ද්‍රිය මගහැරීම නොවන බව ය. එය ද එක් හේතුවක් වෙයි. එහෙත් ඒ අතර තවත් කරුණු බොහෝමයක් වෙයි. කපිල පීරිස් මහතා නොදනිතත් මේ කරුණු රාශියක් අපි සාකච්ඡා කර ඇත්තෙමු. මනස යොදා ගත්ත ද එයින් ඊනියා සත්‍යවූ දැනුමක් ලැබේ යැයි විශ්වාස නොකළ යුතු ය. අපට ලැබෙන්නේ අපේ කටයුතු සඳහා විශ්වාස කළ හැකි දැනුමක් පමණකි. මනස ඇතැයි සැලකුව ද නැත් ද ලෞකික වශයෙන් අපට ලැබෙන දැනුම හුදු සම්මුති දැනුමක් පමණකි. ඒ දැනුම ද මනසට සාපේක්‍ෂ වෙයි. එක් එක් අයගේ භාවනා ක්‍රම මත, විශ්වාස මත ඒ ඒ අයට සාපේක්‍ෂ දැනුම් ලැබෙයි. ඒ දැනුම් නිවන් අවබෝධය සමග පටලවා ගත යුතු නො වේ. නිවන සාපේක්‍ෂ වන්නේ කුමකට දැයි ඇසීම ම වැරදි ප්‍රශ්නයකි. නිවන යනු දැනුමක් නො වේ. නිවන් අවබෝධය යනු ගුරුත්වාකර්ෂණය අවබෝධ කර ගැනීම වැන්නක් නො වේ. නැති ගුරුත්වාකර්ෂණයක් ඇතැයි අප අවබෝධ කරගන්නේ අපේ මනස්වල ම ප්‍රශ්නයක් නිසා ය.

නිවන යනු දැනුමක් නොව සියළු ලෞකික දැනුම් නැති දැනුම් බව අවබෝධ කර ගැනීම ය. එය ඊනියා විඤ්ඤාණයක් මත පදනම් ව, ඊනියා විඤ්ඤාණයකට සාපේක්‍ෂව, දැන ගන්නක්වත් දැක ගන්නක්වත් නො වේ. එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කර ගැනීමකි. ඒ එකක්වත් සංකල්ප නො වේ. සංකල්පීය ලෝකය ශූන්‍ය වෙයි. මා සඳහන් කරන කරුණු කපිල පීරිස් මහතා විශ්වාස කරන බුදුදහමට පටහැණි වනවා විය හැකි ය. එහෙත් එපමණකින් මා බෞද්ධයකු නොවේයැයි කීමට ඒ මහතාට නො හැකි ය. ඒ මහතා නිවැරදි බුදුදහම දන්නේ යැයි ඒ මහතාට කිව හැකි ද? ඒ සඳහා ඇති මිනුම් දණ්ඩ කුමක් ද?

අද සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිර මතිමතාන්තර පුනරුච්චානය කරන පඬියන්ට මා ප්‍රශ්නයක් වී ඇත. කපිල පීරිස් මහතා දැනුවත් ව හෝ නො දැනුවත් ව හෝ ඔවුන්ට ආයුධ සපයයි. මා කපිල පීරීස් මහතා කියන පිරිසිදු බුද්ධාගමෙහි නොවන බව කීමෙන් ඉන් වාසි ගනු ඇත්තේ පඬියන් ය. ඔවුන් සිංහල බෞද්ධයනට කියනු ඇත්තේ මා අඩු තරමෙන් බෞද්ධයකුවත් නොවන කුහකයකු බව ය. එවිට සිංහල බෞද්ධ ජනතාව අතර මා නොපිළිගන්නා තත්වයකට පත්කර පාළුගෙයි වළං බිඳීමට ඔවුන්ට හැකිවනු ඇත්තේ තම කාර්යය ඉටු කිරීමෙන් පසු, එනම් මා බෞද්ධයකු නොවේ යැයි පඬියන් ද සමග එකතු වී මතයක් ඇති කිරීමෙන් පසු තවමත් කකුලක් මාක්ස්වාදයේ ගසාගෙන සිටින ව්‍යාජ ජාතිකවාදී පක්‍ෂයකට උඩගෙඩි දී කපිල පීරිස් මහතා ඔවුන් සමග හෝ පඬියන් සමග හෝ වාදවලට නොඑළඹෙන නිසා ය. කපිල පීරිස් මහතාගේ බුදුදහම සමග එකඟ නොවන්නන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇතත් කපිල පීරිස් මහතා ඔවුන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කිසිවක් නො කියයි. ඔහුට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු ඇතැයි සිතන මනස මා නැතැයි කීම පමණක් ද?

Sunday, 11 March 2012

තමා හා අනෙකා

බාහිර වස්තු ඇති බව අප දන්නේ කෙසේ ද? එය දැනගත්තේ අනුමානයෙනි. අපේ ඉන්ද්‍රියවලට, විශේෂයෙන් ම ඇසට,කණට හා නාසයට ගෝචර වන එහෙත් ස්පර්ශයට හෝ දිවට හෝ ගෝචර නොවන සංඥා ලැබෙන්නේ ඈතින් පිහිටි බාහිර වස්තුවලින් යැයි අපි අනුමානය (inference) කරමු. එමෙන් ම මෑතින් ඇති බාහිර වස්තු ගැන ද අදාළ ඉන්ද්‍රිය ඔස්සේ අපට අනුමාන කළ හැකි ය. දකින ස්පර්ශ කරන ආකාරයේ සංඥා ඇති විට අපි ඒවා ළඟ ඇති මේසයකින්, පුටුවකින්, මලකින් ආදී වශයෙන් යම් වස්තුවකින් ලැබෙන්නේ යැයි අනුමානය කරමු. එය අනුමානයක් මිස ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක් නොවන බව අවධාරණය කළ යුතු ය. දැනුම ලබාගැනීමේ මාර්ගය ලෙස බුදුදහමේ ඉගැන්වෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය ය. එයට අමතර ව අනුමානය ද ඇතැයි ඇතැම් පඬිවරු අපට කියති.

කෙසේ වෙතත් අනුමානය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. අප කලින් ද කියා ඇති පරිදි අපට මේසයක් සමස්තයක් ලෙස ප්‍රත්‍යක්‍ෂ කිරීමට, ගෝචර කර ගැනීමට ඉන්ද්‍රියක් නැත. අපට කළ හැක්කේ මේසයේ පාට, තද බව ආදිය ගැන ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ලබාගැනීම පමණ ය. ඒ සියල්ල එකතු කර මේසය පිලිබඳ සංකල්පයක් අපි නිර්මාණය කර ගනිමු. මේසය යනු අපේ අනුමානයක් පමණකි. ඒ සඳහා අපි මනස ආධාර කර ගන්නෙමු. එහෙත් එහි දී පංචෙන්ද්‍රියවල ආධාරයක් අපට නො ලැබෙයි. අනුමානය පංචෙන්ද්‍රියන්ගෙන් තොරව මනසින් ලබාගන්නකි.

අපට ප්‍රශ්නය වනුයේ එසේ අනුමානය කෙරෙන වස්තුව පවතින්නේ ද යන්න ය. මෙහි දී පවතින්නේ ද යන්න සාපේක්‍ෂාර්ථයකින්, සම්මුතිය අනුව යොදා ගැනෙන බව අමතක නොකළ යුතු ය. නිරපේක්‍ෂව පවතින්නක් ඇතැයි මෙහි දී නො ගැනෙයි. අප අපට සාපේක්‍ෂව වුව පුටුවක් ඇති බව දැනගන්නේ කෙසේ ද? අප කුඩා කළ පුටුව ගැන දැන ගත්තේ කෙසේ ද? අප කුඩා කළ පුටු යනුවෙන් හැඳින්වෙන නොයෙකුත් දෑ දකින්නට ඇත. ස්පර්ශ කරන්නට ඇත. අපට මුල දී ඒ පිළිබඳ යම් චිත්ත රූපයක් ඇති වී යැයි සිතිය හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් අපට කුඩා කල ම පුටුවක් පිලිබඳ සංකල්පයක් තිබෙන්නට ඇත. එයින් අදහස් වන්නේ අපට ඒ සංකල්පයට වචනයක් තිබිණි ය යන්න නො වේ.

වචනයක් නොමැති ව වුව ද සංකල්ප චිත්ත රූප ලෙස ඇතිවිය හැකි ය. අපේ මනස්වලට විවිධ රූප එසේත් නැත්නම් රටා හඳුනාගැනීමේ ශක්තිය ඇත. පුටු මේසවලින් වෙන්කර හඳුනාගැනීමට අපට හැකි ය. කුඩා කළ ඒ හැකියාව කෙතරම් දුරකට තිබේ ද යන්න නො දනිමි. එහෙත් කුඩා බිළිඳුන්ට ද තම මව අනෙක් අයගෙන් වෙන්කර ගැනීමේ හැකියාව ඇත. එසේ කිරීමේ දී මව යන වචනයවත් එයට ගැලපෙන චිත්ත රූප සංකල්පයක්වත් කුඩා බිළිඳුන්ට ඇතැයි සිතිය නො හැකි වුවත් මව යනුවෙන් හැඳින්වෙන තැනැත්තිය අනෙක් අයගෙන් වෙන්කර හඳුනා ගැනීමේ ශක්තිය, එනම් එවැනි චිත්ත රූප සංකල්පයක් ඇති කර ගැනීමේ ශක්තිය බිළිඳුන්ට ඇතැයි සිතිය හැකි ය. ඒ අනුව තමා සමග වඩා සම්බන්ධ වූ අයකු පිළිබඳ සංකල්පයක් බිළිඳාට ඇතිවෙයි.

මව පිලිබඳ මුල් සංකල්පය ඉතා ගොරහැඩි වීමට හැකි ය. කල්යෑමේ දී එයට වාචික සංකල්පයක් (අම්මා හෝ වෙනත් වචනයක් හෝ) එකතු වී තව තවත් සංකි්ර්ණ තත්වයකට ළඟා වනවා විය හැකි ය. එමෙන් ම තමාට මෙන් ම අනෙක් අයට ද ඒ ඒ අයගේ අම්මලා සිටින බව ද දරුවා ක්‍රම ක්‍රමයෙන් දැන ගන්නවා ඇත. එහෙත් මේ මව යන සංකල්පය හුදු ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. බිළිඳාට හෝ කුඩා දරුවාට හෝ තම මව දැක බලාගත හැකි ය. එසේත් නැත්නම් මව ස්පර්ශ කළ හැකි ය. නොඑසේ නම් මව සිපගැනීමට හැකි ය. එහෙත් සමස්ත මවක් ගැන සංකල්පයක් ඒ කිසිවකින් හුදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලින් පමණක් ඇති කර ගත නො හැකි ය. ඉතා කුඩා බිළිඳකුට වුව ද සමස්ත මව පිළිබඳ සංකල්පයක් ඇතිකර ගත හැක්කේ අනුමානයෙනි.

පසුව දරුවා වැඩෙන විට අම්මා යන වචනය වැඩිහිටියන් උගන්වන අතර අනෙක් අයගේ අම්මලා පිළිබඳ සංකල්ප ද සමාජයෙන් දැන ගන්නට ලැබෙයි. මේ සංකල්ප ඔස්සේ දරුවාට අම්මා සැබවින් ම ජීවත්වන පුද්ගල යථාර්ථයක් ය යන සංකල්පය ද ලැබෙයි. එහෙත් ඒ සියල්ලට ම පළමු බිළිඳාට තමා පිළිබඳ සංකල්පයක් ඇති බව වටහා ගත යුතු ය. බිළිඳාට ඇත්තේ තම මව පිළිබඳ සංකල්පය මිස නිරපේක්‍ෂ මවක් පිළිබඳ සංකල්පයක් නො වේ. තමාගේ මව පිළිබඳ සංකල්පයක් ඇති කර ගැනීමට පළමුව තමා පිළිබඳ සංකල්පයක් ඇති විය යුතු ය. අපට පළමුව ඇතිවන්නේ මම, මගේ ආදී හැඟීම් හා සංකල්ප මිස අනෙකා යන සංකල්පය නො වේ.

බුදුදහම අනුව සංඛාර , විඤ්ඤාණ, නාම රූප ආදිය ඇතිවන්නේ අවිද්‍යාව මුල්කර ගෙන ය. අවිද්‍යාව හේතුවෙන් සංඛාර විඤ්ඤාණ ඇති වෙයි. මේ විඤ්ඤාණය තම විඤ්ඤාණය මිස අනෙකකුගේ විඤ්ඤාණය නො වේ. තම මව ඇතුළු අනෙක් සියල්ලන් ගැන සංකල්ප ඇතිවන්නේ තම විඤ්ඤාණය හා නාම රූප හේතුවෙනි. ඒ සළායතන, ඵස්ස වේදනා ඔස්සේ සිදුවෙයි. ඈතින් තිබෙන්නේ යැයි කියන ඉර හඳ වැනි වස්තු හෝ ළඟින් ඇතැයි කියන අම්මා වැනි වස්තු හෝ වේවා පිළිබඳ සංකල්ප ඇතිවන්නේ තමාට මිස අනෙකකුට නො වේ. තමාට සංසාරයේ සැරිසැරීමට හේතු වී තිබෙන්නේ තමා යනුවෙන් අයකු ඇතැයි ගැනීම නිසා මිස අනෙකකු නිසා තමා යන සංකල්පය ඇති වී තිබෙන නිසා නො වේ.

මේ සියල්ල සඳහන් කෙරුණේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම කෙතරම් දුරට බුදුදහමෙන් ඈත දැයි පෙන්වීම සඳහාත් ය. මගේ ලෝකය යනු මා විසින් නිර්මාණය කෙරෙන මා ද ඇතුළු අනෙක් දැනුම් ය. ඒ ලෝකය මේ බඹයක් පමණ වූ සිරුර තුළම පණවා ඇත. එහෙත් බටහිර දැනුමෙහි මගෙන් තොරව ලෝකයක් පවතියි. ඒ ලෝකය මගෙන් ස්වායත්ත වනවා පමණක් නොව මා ද නිර්මාණය කෙරෙනුයේ ඒ ඊනියා බාහිර ලෝකය මගිනි.

අද පශ්චාත්නූතනවාදීන් යැයි කියාගන්නවුන් පවසන්නේ යමකු නිර්ණය වනුයේ අනෙකා නිසා බව ය. මෙහි දී ප්‍රධාන වන්නේ අනෙකා ය. අනෙකා අනුව යමකු නිර්මාණය වන්නේ යමකුට අනෙකා පිළිබඳ සංකල්පයක් නැතිව විය නො හැකි ය. එහෙත් ඒ අනෙකා යන සංකල්පය ඇතිවූයේ කාහට දැයි බංකොළොත් පශ්චාත්නූතනවාදීහු නො පවසති. අනෙකා යන සංකල්පය ඇතිවීමට තමා යන සංකල්පය ඇතිවිය යුතු ය. එලෙස තමා යන සංකල්පය ඇතිවීමට අනෙකකු අවශ්‍ය නො වේ. සමාජයේ ජීවත්වන නොයෙකුත් පුද්ගලයන් නිසා අපි වෙනස් වෙමු.

මුළු මහත් පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ආදිය ප්‍රධාන වශයෙන් ම කරන්නේ අපට සමාජයේ ඇති අධිපතිවාදී සංකල්ප ඉගැන්වීම ය. එසේ වුවත් යම් පුද්ගලයකුට තමා පිලිබඳ සංකල්පය ඇතිවන්නේ අනෙකුන් නිසා හෝ සමාජය නිසා හෝ නො වේ. යම් පුද්ගලයකු සංසාරයේ සැරිසරන්නේ අනෙකුන් නිසා නො වේ. තමා විසින් ම කරන කියන සිතන ක්‍රියා නිසා ඒ ඒ පුද්ගලයා (සම්මුති අරුතෙන්) සංසාරයේ සැරිසරයි. සංසාරයේ ගමන නැවැත්විය හැක්කේ ද තමන්ට මිස අනෙකාට හෝ අනෙකුන්ට හෝ නො වේ.

එහෙත් බටහිරයන්ට ප්‍රධාන වන්නේ ඊනියා අනෙකා ය. මෙයට ප්‍රධාන හේතුව බටහිර දැනුම මධ්‍යකාලීන යුගයේ මෙන් ම අද ද නිර්මාණය වන්නේ එක්කෝ කතෝලික එසේත් නැත්නම් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයක වීම ය. මේ චින්තනවල බාහිර දෙවියන් වහන්සේට ප්‍රධානත්වය ලැබෙයි. සියල්ලෙහි දී ම ප්‍රධාන වන්නේ බාහිර තැනැත්තෙකි. නැත්නම් බාහිර දෙයකි. අවසානයේ දී විමුක්තිය ලැබෙන්නේ ද බාහිර වූ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය වැඩි වූ තරමට ය. බුදුදහමෙහි මනස, එනම් තමාගේ මනස ප්‍රධාන ලෙස ගැණුන ද බටහිර කතෝලික චින්තනයෙහි මෙන් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ද ප්‍රධාන තැන ලැබෙන්නේ බාහිර බලවේගවලට ය.

අප කලින් ද සඳහන් කර ඇති පරිදි නිව්ටන්ගේ චලිත නියම ඇරඹෙන්නේ ම බාහිර බල පිලිබඳ කතාවකිනි. බුදුදහමෙහි ආභාසය ලැබූ අර්නස්ට් මාක් වැනි දාර්ශනිකයකුට හා භෞතික විද්‍යාඥයකුට වුව ද බාහිර වස්තු පිළිබඳ ප්‍රශ්නය දැඩිව බලපෑවේ ය. ඔහුට අනුව වස්තුවකට අවස්ථිතියක් ලැබෙන්නේ අනෙක් වස්තු නිසා ය. මාක්ගේ ඒ අදහස වත්මන් පශ්චාත්නූතනවාදීන්ගේ අනෙකා විසින් තමන් නිර්ණය කෙරෙන්නේ ය යන්න සමග ගැලපෙයි. මාක් බටහිර භෞතික විද්‍යාවේත් බටහිර ඊනියා පශ්චාත්නූතනවාදින් බටහිර සමාජයීය විද්‍යවන්හිත් ක්‍රියාත්මක වන බව සැබෑ ය. එහෙත් ඔවුන්ගේ චින්තනවල වෙනසක් නැත.

මාක්ගේ ඒ අදහස සාධාරණ සාපේක්‍ෂතාවාදය ගොඩ නැගීමේ දී අවුරුදු සියයකට පමණ පෙර අයින්ස්ටයින්ට බලපෑවේ ය. එහෙත් මාක් මුලධර්මය ලෙස හැඳින්වෙන්න තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ගොනුකර ගැනීමට අයින්ස්ටයින්ට නොහැකි විය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සාපේක්‍ෂතාවාද නොවේ. ඒවාහි ඇත්තේ නිරපේක්‍ෂතා හෙවත් අවිචලක ලෙස හැඳින්විය හැකි සංකල්ප පිළිබඳ කෙරෙන හැදෑරීමකි. අයින්ස්ටයින් බුද්ධිමතකු වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මිස වෙනත් සංස්කෘතියක නො වේ.

බටහිර උගතුන් හා බුද්ධිමතුන් බාහිර අනෙක් දේ ගැන සැලකිලිිමත් වීම පුදුමයක් නො වේ. එහෙත් සිංහල බෞද්ධ යැයි කියාගන්නා උගතන් එක් පැත්තකින් මනො පුබ්බංගමා ධම්මා යැයි කියමින් බාහිර බලවේග ගැන අවධාරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ඊනියා සිංහල බෞද්ධ උගතුන්ට ද සාමාන්‍ය සිංහලයන්ට මෙන් ම පරස්පරවල ජීවත්විය හැකි බව ය. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධ දැනුමක් හා බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමක් අතර යා දෙක නොරත රත සමග පෑහීමක් නැති වා මෙන් පරස්පර ඇති බව අපේ අවධානයට යොමු විය යුතු ය.

බටහිරයන් අපෙන් තොරව අපෙන් ස්වායත්තව බාහිර ලෝකයක් ඇති බව පවසමින් ඒ ලෝකය ඊනියා වාස්තවික යථාර්ථයක් ලෙස ගනිමින් යථාර්ථවාදී ලෝකයක ක්‍රියාත්මක වන යථාර්ථවාදී නීති රීති දැනගැනීමට, සොයා ගැනීමට වෙහෙස වීම ගැන අපට පුදුමයක් නැත. එහෙත් අපේ ප්‍රශ්නය බටහිරයන්ගේ දැනුම පාසල් විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ අප මත බලයෙන් පැටවීම ගැන ය. අපේ නිදහස ඇත්තේ අප බටහිර දැනුමෙන් නිදහස් වීම මත ය. අපේ ප්‍රවාද ගොඩනැගීමේ දී අඩුම තරමෙන් බාහිර බලවේගවලට දී ඇති වැදගත්කම අවම කිරීමට අප උත්සාහ ගත යුතු ය.

බටහිරයෝ කිසිම පැකිලීමකින් තොරව බාහිර ලෝකයක් අපෙන් ස්වායත්ත ව පවතින බව ද බාහිර වස්තු ඇති බව ද පිළිගනිති. ඔවුහු ඒ අතර ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන ද මැත දොඩවති. එහෙත් ඊනියා බාහිර ලෝකය හෝ බාහිර වස්තු හෝ පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන බව ඔවුහු නොසලකා හරිති. අපේ සියළු ප්‍රත්‍යක්‍ෂ අභ්‍යන්තර වෙයි. ඊනියා බාහිර ලෝකයේ බාහිර වස්තු ද අභ්‍යන්තරව අප විසින් සකස් කෙරුණු දේ පමණක් වෙයි. අප කන්දක් ලෙස දකින්නේ අපෙන් ස්වායත්ත ව බාහිර ව ඇති වස්තුවක් නොව අභ්‍යන්තරයෙහි අප විසින් නිර්මාණය කෙරෙන්නකි.

Sunday, 5 February 2012

නිව්ටෝනීය වස්තු

පොළොව ඉර වටා යන්නේ ය යන්න ඉන්ද්‍රිය ගෝචර පරිසිද්ධියක් යැයි කිව හැකි නො වේ. සූර්යයා හෝ සූර්ය දිව්‍ය රාජයා හෝ අහසෙහි එක් පැත්තකින් පැමිණ (උදා වී) විරුද්ධ පැත්තෙන් ඉවත් වී යෑම (බැස යෑම) පමණක් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙයි. පොළොව ඉර වටා යන බවක් ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය අපට පරිසිද්ධියක් තබා සිද්ධියක්වත් නො වේ. එහෙත් බොහෝ උගත්තු එය පරිසිද්ධියක් ලෙස සලකති. ඒ අතර තවත් සමහරු ඉර පොළොව වටා යන බව පිළිගනිති. මෙයින් පැහැදිලිව පෙනී යා යුතු කරුණ නම් ලොවෙහි සියළු දෙනාට ම පොදු වූ ඊනියා පරිසිද්ධි නොමැති බව ය. පරිසිද්ධිය ද තම තමන් ලෝකය බලන ආකාරය අනුව වෙනස් වෙයි.

සූර්ය දිව්‍ය රාජයා ගැන සිතන්නන්ට තම පරිකල්පනය මත පිහිටා හෝ වෙනත් අයුරකින් හෝ රථයක නැගී අහසෙහි එක් පැත්තක සිට විරුද්ධ පැත්තට ගමන් කරන දෙවියකු දැකීමට හැකි ය. එවැන්නන්ට එය පරිසිද්ධියකි. මෙහි දී ඔවුන් පරිසිද්ධිය යන වචනය දැන සිටියේ ද නැද්ද යන වග වැදගත් නො වේ. ඔවුන්ට අනුව එය සිදු වෙයි. එහි සැකයක් නැත. දෙවියන් කෙසේ වෙතත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් යම් ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් ඇත. එහෙත් මෙය ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ නොමැති හුදු පරිසිද්ධියක් නො වේ.

අප එතරම් සැලකිල්ලක් නොදැක්වුව ද සූර්යයාගේ හෝ සූර්ය දිව්‍ය රාජයාගේ හෝ අහසෙහි කරන ගමනක් පිළිබඳ ව මෙහි සඳහන් වෙයි. ගමනක් හෝ චලිතයක් හෝ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ද මෙහි වැදගත් වෙයි. එහි සූර්යයා තමන් පිහිටි තැන වෙනස් කරන්නේ ය යන අදහස ගැබ් වී ඇත. එසේත් නැතහොත් වර්තමානයේ යොදා ගන්නා වචන භාවිතා කරන්නේ නම් විස්ථාපනය යන සංකල්පය වෙයි. විස්ථාපනය යනු ස්ථාපනයෙහි වෙනස් වීමකි. එසේත් නැත්නම් විතැන් වීමකි. විස්ථාපනයට හෝ විතැන් වීමට හෝ පළමුව ස්ථාපනය, තැනක වීම යන සංකල්පය අවශ්‍ය වෙයි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ සූර්යයාගේ ගමන යන්න හුදු පරිසිද්ධියක් නොවන බවත් එහි දී සංකල්ප රාශියක් යොදා ගැනෙන බවත් ය.

සංකල්පවලින් හෝ ප්‍රවාදවලින් හෝ තොර වූ පරිසිද්ධි නොමැත. එහෙත් පසුගිය දා ලංකාවට පැමිණි ඩෝකින්ස් වැනි බටහිර විද්‍යාඥයන්ට අනුව ප්‍රවාදවලට වඩා පරිසිද්ධි වැදගත් වෙයි. ඩෝකින්ස්ලා තේරුම් නොගන්නා කරුණ නම් සංකල්පයක් ප්‍රවාදයක් නොමැතිව පරිසිද්ධියක් නොමැති බව ය. මෙරට සිටින කාඩ්බෝඩ් ඩෝකින්ස්ලාට නම් ඒ පිළිබඳව කිසිදු වැටහීමක් නොමැති බව පැහැදිලි ය. පොළොව සූර්යයා වටා ගමන් කරන්නේ ය යන ඊනියා පරිසිද්ධිය ඇතැමුන්ට නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය සමග බැඳී ඇත. ඔවුන්ට පොළොව ඉර වටා යෑමේ දී යෙදෙන බල ද අවශ්‍ය වෙයි. සූර්යයා දෙසට පොළොවේ ඇති ත්වරණය ලබා දෙන්නේ කිනම් බලයකින් ද යන්න නොදැන ඔවුන්ට සූර්යයා වටා යන පොළොවක් නැත.

ඉතා පැහැදිලිව ඊනියා පරිසිද්ධි හෝ සිද්ධි හෝ නිරීක්‍ෂකයාගෙන් වෙන්කර ගත හැකි නො වේ. ඊනියා පරිසිද්ධි ඇත්තේ නිරීක්‍ෂකයන්ට ය. ඒ ඒ නිරීක්‍ෂකයාගේ පරිසිද්ධි වෙනස් වෙයි. එක් නිරීක්‍ෂකයකුට ඉර පොළොව වටා ගමන්කිරීම පරිසිද්ධියක් වන අතර තවත් නිරීක්‍ෂකයකුට පොළොව ඉර වටා ගමන්කිරීම පරිසිද්ධියක් වෙයි. නිරීක්‍ෂකයකුගෙන් තොර පරිසිද්ධියක් හෝ සිද්ධියක් හෝ පමණක් නොව පැවැත්මක්, වස්තුවක් ද නැත. එපමණක් නොව නිරීක්‍ෂකයකු ද නැත.

සිංහල බෞද්ධයනට අනුව ක්‍රියාවක් මිස ක්‍රියාව කරන්නකු හෝ ක්‍රියාව නීිරීක්‍ෂණය කරන්නකු හෝ නැත. පෙනීමක් මිස පෙනෙන දෙයක් නැත. එපමණක් නොව දැක ගන්නා අයකු ද නැත. අපි බොහෝ විට මා කන්දක් දැක්කා ආදී වශයෙන් ප්‍රකාශ කරමු. එහෙත් එහි දී කන්ද හෝ මා හෝ නැත. එහි දීි කෙරෙන්නේ මා යැයි කියා ගන්නා “අයකු” කන්දක් යැයි කියාගන්නා “දෙයක්” දැකීම ය. මෙහි අයකු හා දෙයක් යන වචන යොදා ගත්ත ද එවැනි අයකු හෝ දෙයක් හෝ නැත. එසේ ඇතැයි ගැනීම ම ආත්මවාදී වෙයි. දැකීමක් මිස දකින්නක් හෝ දකින්නකු හෝ නැත.

අප බොහෝ විට පැවැත්මක් ඇත්තේ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව යැයි කියා ඇති මුත් එය නිවැරදි නො වේ. එසේ පැවසීමේ දී නිරීක්‍ෂකයා එක්තරා ආකාරයකට වාස්තවික තත්වයකට පත් කෙරෙයි. නිරීක්‍ෂකයා යනුවෙන් වාස්තවික ව පවතින අයකු නැත. නිරීක්‍ෂකයා ද නිරීක්‍ෂකයාගේ මනසට සාපේක්‍ෂ ය. මනස ද අවසානයේ දී මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද මනසෙහි නිර්මාණයක්, අවශ්‍ය නම් සකස් කිරීමක් වෙයි. මෙය සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි විස්තර කෙරී ඇත. පැවැත්ම විස්තර කළ හැක්කේ පටිච්චසමුප්පදායෙනි. A නිසා B පවතියි. A නැත්නම් B නො පවතියි. ඊනියා නිරීක්‍ෂකයකුගෙන් තොරව පවතින වස්තුවක් නැත.

නිරීක්‍ෂකයා හා ඔහුගෙන් බාහිර ව වූ වස්තුවක් යන සංකල්ප ම නිවැරදි නො වේ. නිරීක්‍ෂකයා හා බාහිර වස්තුව යන බෙදීම ද පෘථග්ජනයන් විසින් සිදු කෙරෙන්නකි. මෙය නාම රූප හා විඤ්ඤාණය විසින් වේදනා හා ඵස්ස (ස්පර්ශය, කුමන හෝ ස්පර්ශයක්, එනම් පංචෙන්ද්‍රියයන්ගෙන් කෙරෙන ස්පර්ශයක්, දැකීම ද ස්පර්ශයක් බව අමතක නොකළ යුතු ය) සමග එකතු වී කෙරෙන බෙදීමක් පමණ ය. ඊනියා බාහිර වස්තු ද අවිද්‍යාව නිසා ඇතිවන දේ පමණ ය. නාම රූප, විඤ්ඤාණ, සළායතන, ඵස්ස මේ ඊනියා නිරීක්‍ෂක - බාහිර වස්තු බෙදීමට මුළ ය. පටිච්චසමුප්පදායෙහි මේ සියල්ල ඉතා පැහැදිලිව දේශනා කර තිබිය දී සිංහල බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අය ඊනියා වස්තු පසුපස පමණක් නොව පවතින නිවනක් පසුපස ද දිව යන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාව හා අවිද්‍යාව ඉතා බරපතළ ලෙස ක්‍රියාකිරීම හේතු කොටගෙන ය, නිවන් අවබෝධ කරගන්නා තෙක් අප සියල්ලන්ට ම අඩු වැඩි වශයෙන් අවිද්‍යාව පවතියි.

මුළු මහත් බටහිර විද්‍යාව ම ක්‍රියාත්මක වන්නේ ඊනියා නිරීක්‍ෂකයකුට බාහිර ව වස්තු තිබේ ය යන උපකල්පනය ද සමගින් ය. ඒ වස්තුවලට ඊනියා නිරීක්‍ෂකයාගෙන් තොරව, ස්වායත්ත ව ගුණ (properties) ද ඇතැයි කියැවෙයි. ඒ අතර නිරීක්‍ෂකයා ද ඇතැයි ගැනෙයි. ඉන්පසු නිරීක්‍ෂකයාගෙන් බාහිර ව ඇතැයි කියන වස්තුවෙන් නිරීක්‍ෂකයාට සංඥා ලැබීමක් ගැන කියැවෙයි. ඒ සංඥා ඔස්සේ ඒ නිරපේක්‍ෂ යැයි කියන බාහිර වස්තුව දැන ගැනීම බටහිර දැනුමේ මූලික ප්‍රශ්නයක් වෙයි.

අපි මේ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කරමු. මෙහි දී පුටු, මේස වැනි ඉන්ද්‍රිය ගෝචර වස්තු පිළිබඳ ව මෙන් ම බටහිර විද්‍යාවේ කියැවෙන ඉන්ද්‍රිය ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යුට්‍රීනෝ වැනි අංශු ගැන ද අපේ අවධානය යොමු කළ යුතු වෙයි. සිංහල බෞද්ධයෝ ඊනියා නිරී’ක්‍ෂකයකුගෙන් ස්වායත්තව පවතින ඉන්ද්‍රිය ගෝචර හෝ ඉන්ද්‍රිය ගෝචර නොවන හෝ වස්තු ඇතැයි නො ගනිති. සිංහල බෞද්ධයෝ ද්‍රව්‍යවාදීහු හෝ විඤ්ඤාණවාදීහු හෝ නො වෙති. ඔවුහු අහවල්වාදීහු යැයි නො ගැනෙති. එහෙත් අපේ පහසුව සඳහා අපි ඔවුන් පටිච්චසමුප්පවාදීන් ලෙස ගනිමු. A ඇත්නම් B ඇත. A හටගැනේ නම් B හටගැනෙයි. A නැත්නම් B නැත. A හට නොගැනෙන්නේ නම් B හට නො ගැනෙයි. අවිද්‍යාවෙන් පටන් ගෙන ජරා මරණ ආදී වශයෙන් අවසන් වන පටිච්චසමුප්පදයෙහි ඇත්තේ එවැනි තර්ක න්‍යායකි. අපේ සාකච්ඡාවේ දී අපට වඩා වැදගත් වන්නේ විඤ්ඤාන, නාම රූප, සළායතන, ඵස්ස හා වේදනා ය.

අපි මේසයක් නිරීක්‍ෂණය කරමු. එහි දී අපේ මනසට විවිධ චිත්ත ඇතිවෙයි. මනස යනුවෙන් යමක් පවතිනවා නො වේ. මනස යනු ද චිත්ත පරම්පරාව වෙයි. මේසය අපට ස්පර්ශ කළ හැකි ය. අපට එය ඇසින් දැකගත හැකි ය. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ ආඝ්‍රාණය කළ හැකි ය. එහෙත් අප මේ සියල්ල එකවිට නො කරමු. අප මේසය දැක ගනිමින් ම එය ස්පර්ශ කරන්නේ යැයි කීව ද අපට එසේ කළ නො හැකි ය. අපට එක්විටක ඇතිවන්නේ එක් චිත්තයකි. අපි ඇස නමැති ඉන්ද්‍රිය උපයෝගී කරගෙන ඵස්ස ද එක්කර ගනිමින් මනසෙහි චක්කුවිඤ්ඤාණයක් ඇති කර ගන්නෙමු. අපි එවිට ම ස්පර්ශය ඔස්සේ ද විඤ්ඤාණයක් ඇති කර ගන්නේ යැයි කීව ද අපට එසේ කිරීමට නොහැකි වන්නේ අපට එක් වරකට එක් චිත්තයකට වඩා ඇති නොවන බැවිනි. එසේ නම් අප එකවිට මේසය දකිමින් ම එය ස්පර්ශ කරන්නේ කෙසේ ද?

අපි එසේ නො කරමු. මේසය පෙනීම මෙන් ම මේසය ස්පර්ශ කිරීම ද අපේ සකස්කිරීම් ආශ්‍රිත විඤ්ඤාණ වෙයි. එපමණක් නො වේ. අපට ඒ විඤ්ඤාණ දෙක ම එක්විට ඇතිවන්නේ යැයි කීම ද අපේ සකස් කර ගැනීමකි. ඇසින් දුටු මේසය පිළිබඳ විඤ්ඤාණය පහ වීමෙන් පසුව පමණක් ස්පර්ශය පිළිබඳ විඤ්ඤාණය ඇති වෙයි. එහෙත් මෙහි දී වැදගත් වන්නේ චක්ඛු විඤ්ඤාණය පිළිබඳ මතකයක් ද විඤ්ඤාණය විසින් සකස් කරනු ලැබීම ය. මේ මතකය අප මුළා කරයි. විඤ්ඤාණයෙන් කෙසේ වෙතත් කෙරෙන්නේ මුළා කිරීමකි. මෙහි දී ඒ මුළා කිරීමට තවත් මුළා කිරීමක් එකතු කෙරෙයි. මතකය අපට චිත්ත පේළියක් ලෙස නොව එක් චිත්තයක් ලෙස ඉදිරිපත් වෙයි. චිත්තයක් ඇතිවන්නේ එක් චිත්තයක් නැතිවීමෙනි. යම්කිසි අයුරකින් ඒ චිත්තයෙහි තිබූ “තොරතුරු” ප්‍රමාණයක් ඊළඟ ච්ත්තයට ලබාදෙයි.

ස්පර්ශය පිළිබඳ චිත්තයේ “තොරතුරු” ප්‍රමාණයක් ඊළඟට ඇතිවන පෙනීම පිළිබඳ චිත්තයට ලබාදීම මගින් මේ මතකය පිළිබඳ හැඟීම සකස් කෙරෙන්නේ යැයි සිතිය හැකි ය. එවිට එක් චිත්තයක ම පෙනීම පිළිබඳ “තොරතුරු” ප්‍රමාණයක් හා ස්පර්ශය පිළිබඳ ද “තොරතුරු” ප්‍රමාණයක් ඇතුළත් වෙයි. අපට එක්විට ස්පර්ශය පිළිබඳ මෙන් ම පෙනීම පිලිබඳ ව ද චිත්තයක් ඇතිවීම එසේ සකස්වීමෙන් කෙරෙන්නේ යැයි අපි ආකෘතියක් සකස් කරගනිමු. එය එක්තරා ප්‍රවාදයකි. ඒ ප්‍රවාදය නිවැරදි යැයි මෙයින් නො කියැවෙයි. අපට අවශ්‍ය වන්නේ එක්වර එක් චිත්තයක් පමණක් ඇති විට මේසය එක්වර පෙනෙන්නේ ද ස්පර්ශ කෙරෙන්නේ ද කෙසේ දැයි දැන ගැනීමට ය. මේ දැන ගැනීම් සියල්ල මනස විසින් සකස් කරනු ලබන්නේ ය යන්න මෙහි දී වැදගත් වෙයි.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි වස්තුවක හැඩය, පාට, පිහිටි තැන, වේගය ආදිය එකවිට දැනගත හැකි යැයි අපි කියමු. මේ සියල්ල අපේ විඤ්ඤාණ වෙයි. ඒ විඤ්ඤාණ ඔස්සේ වස්තුවක් ඇත ය යන විඤ්ඤාණය ද විඤ්ඤාණය හා නාම රූප විසින් ම අත්කර දෙනු ලැබේ. අපට ඊනියා වස්තුවක් ලෙස ග්‍රහණය කිරීමට ඉන්ද්‍රියයක් නැත. අපට කළ හැක්කේ ඊනියා වස්තුවේ පාට, හැඩය, තද බව ආදිය ඉන්ද්‍රිය ඔස්සේ සකස් කර ගැනීම පමණ ය. විඤ්ඤාණය හා නාම රූප එකතු වී අපට එක්විට මැනිය හැකි පිහිටුම හා වේගය සහිත නිව්ටෝනීය වස්තු අපට සකස්කර දෙයි. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් වෙයි. එනම් පටිචිචසමුප්පදායෙහි විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් ද යෙදෙන බව ය.