Main Logo

Sunday 5 February 2012

නිව්ටෝනීය වස්තු

පොළොව ඉර වටා යන්නේ ය යන්න ඉන්ද්‍රිය ගෝචර පරිසිද්ධියක් යැයි කිව හැකි නො වේ. සූර්යයා හෝ සූර්ය දිව්‍ය රාජයා හෝ අහසෙහි එක් පැත්තකින් පැමිණ (උදා වී) විරුද්ධ පැත්තෙන් ඉවත් වී යෑම (බැස යෑම) පමණක් අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙයි. පොළොව ඉර වටා යන බවක් ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය අපට පරිසිද්ධියක් තබා සිද්ධියක්වත් නො වේ. එහෙත් බොහෝ උගත්තු එය පරිසිද්ධියක් ලෙස සලකති. ඒ අතර තවත් සමහරු ඉර පොළොව වටා යන බව පිළිගනිති. මෙයින් පැහැදිලිව පෙනී යා යුතු කරුණ නම් ලොවෙහි සියළු දෙනාට ම පොදු වූ ඊනියා පරිසිද්ධි නොමැති බව ය. පරිසිද්ධිය ද තම තමන් ලෝකය බලන ආකාරය අනුව වෙනස් වෙයි.

සූර්ය දිව්‍ය රාජයා ගැන සිතන්නන්ට තම පරිකල්පනය මත පිහිටා හෝ වෙනත් අයුරකින් හෝ රථයක නැගී අහසෙහි එක් පැත්තක සිට විරුද්ධ පැත්තට ගමන් කරන දෙවියකු දැකීමට හැකි ය. එවැන්නන්ට එය පරිසිද්ධියකි. මෙහි දී ඔවුන් පරිසිද්ධිය යන වචනය දැන සිටියේ ද නැද්ද යන වග වැදගත් නො වේ. ඔවුන්ට අනුව එය සිදු වෙයි. එහි සැකයක් නැත. දෙවියන් කෙසේ වෙතත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් යම් ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් ඇත. එහෙත් මෙය ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ නොමැති හුදු පරිසිද්ධියක් නො වේ.

අප එතරම් සැලකිල්ලක් නොදැක්වුව ද සූර්යයාගේ හෝ සූර්ය දිව්‍ය රාජයාගේ හෝ අහසෙහි කරන ගමනක් පිළිබඳ ව මෙහි සඳහන් වෙයි. ගමනක් හෝ චලිතයක් හෝ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ද මෙහි වැදගත් වෙයි. එහි සූර්යයා තමන් පිහිටි තැන වෙනස් කරන්නේ ය යන අදහස ගැබ් වී ඇත. එසේත් නැතහොත් වර්තමානයේ යොදා ගන්නා වචන භාවිතා කරන්නේ නම් විස්ථාපනය යන සංකල්පය වෙයි. විස්ථාපනය යනු ස්ථාපනයෙහි වෙනස් වීමකි. එසේත් නැත්නම් විතැන් වීමකි. විස්ථාපනයට හෝ විතැන් වීමට හෝ පළමුව ස්ථාපනය, තැනක වීම යන සංකල්පය අවශ්‍ය වෙයි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ සූර්යයාගේ ගමන යන්න හුදු පරිසිද්ධියක් නොවන බවත් එහි දී සංකල්ප රාශියක් යොදා ගැනෙන බවත් ය.

සංකල්පවලින් හෝ ප්‍රවාදවලින් හෝ තොර වූ පරිසිද්ධි නොමැත. එහෙත් පසුගිය දා ලංකාවට පැමිණි ඩෝකින්ස් වැනි බටහිර විද්‍යාඥයන්ට අනුව ප්‍රවාදවලට වඩා පරිසිද්ධි වැදගත් වෙයි. ඩෝකින්ස්ලා තේරුම් නොගන්නා කරුණ නම් සංකල්පයක් ප්‍රවාදයක් නොමැතිව පරිසිද්ධියක් නොමැති බව ය. මෙරට සිටින කාඩ්බෝඩ් ඩෝකින්ස්ලාට නම් ඒ පිළිබඳව කිසිදු වැටහීමක් නොමැති බව පැහැදිලි ය. පොළොව සූර්යයා වටා ගමන් කරන්නේ ය යන ඊනියා පරිසිද්ධිය ඇතැමුන්ට නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය සමග බැඳී ඇත. ඔවුන්ට පොළොව ඉර වටා යෑමේ දී යෙදෙන බල ද අවශ්‍ය වෙයි. සූර්යයා දෙසට පොළොවේ ඇති ත්වරණය ලබා දෙන්නේ කිනම් බලයකින් ද යන්න නොදැන ඔවුන්ට සූර්යයා වටා යන පොළොවක් නැත.

ඉතා පැහැදිලිව ඊනියා පරිසිද්ධි හෝ සිද්ධි හෝ නිරීක්‍ෂකයාගෙන් වෙන්කර ගත හැකි නො වේ. ඊනියා පරිසිද්ධි ඇත්තේ නිරීක්‍ෂකයන්ට ය. ඒ ඒ නිරීක්‍ෂකයාගේ පරිසිද්ධි වෙනස් වෙයි. එක් නිරීක්‍ෂකයකුට ඉර පොළොව වටා ගමන්කිරීම පරිසිද්ධියක් වන අතර තවත් නිරීක්‍ෂකයකුට පොළොව ඉර වටා ගමන්කිරීම පරිසිද්ධියක් වෙයි. නිරීක්‍ෂකයකුගෙන් තොර පරිසිද්ධියක් හෝ සිද්ධියක් හෝ පමණක් නොව පැවැත්මක්, වස්තුවක් ද නැත. එපමණක් නොව නිරීක්‍ෂකයකු ද නැත.

සිංහල බෞද්ධයනට අනුව ක්‍රියාවක් මිස ක්‍රියාව කරන්නකු හෝ ක්‍රියාව නීිරීක්‍ෂණය කරන්නකු හෝ නැත. පෙනීමක් මිස පෙනෙන දෙයක් නැත. එපමණක් නොව දැක ගන්නා අයකු ද නැත. අපි බොහෝ විට මා කන්දක් දැක්කා ආදී වශයෙන් ප්‍රකාශ කරමු. එහෙත් එහි දී කන්ද හෝ මා හෝ නැත. එහි දීි කෙරෙන්නේ මා යැයි කියා ගන්නා “අයකු” කන්දක් යැයි කියාගන්නා “දෙයක්” දැකීම ය. මෙහි අයකු හා දෙයක් යන වචන යොදා ගත්ත ද එවැනි අයකු හෝ දෙයක් හෝ නැත. එසේ ඇතැයි ගැනීම ම ආත්මවාදී වෙයි. දැකීමක් මිස දකින්නක් හෝ දකින්නකු හෝ නැත.

අප බොහෝ විට පැවැත්මක් ඇත්තේ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව යැයි කියා ඇති මුත් එය නිවැරදි නො වේ. එසේ පැවසීමේ දී නිරීක්‍ෂකයා එක්තරා ආකාරයකට වාස්තවික තත්වයකට පත් කෙරෙයි. නිරීක්‍ෂකයා යනුවෙන් වාස්තවික ව පවතින අයකු නැත. නිරීක්‍ෂකයා ද නිරීක්‍ෂකයාගේ මනසට සාපේක්‍ෂ ය. මනස ද අවසානයේ දී මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද මනසෙහි නිර්මාණයක්, අවශ්‍ය නම් සකස් කිරීමක් වෙයි. මෙය සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි විස්තර කෙරී ඇත. පැවැත්ම විස්තර කළ හැක්කේ පටිච්චසමුප්පදායෙනි. A නිසා B පවතියි. A නැත්නම් B නො පවතියි. ඊනියා නිරීක්‍ෂකයකුගෙන් තොරව පවතින වස්තුවක් නැත.

නිරීක්‍ෂකයා හා ඔහුගෙන් බාහිර ව වූ වස්තුවක් යන සංකල්ප ම නිවැරදි නො වේ. නිරීක්‍ෂකයා හා බාහිර වස්තුව යන බෙදීම ද පෘථග්ජනයන් විසින් සිදු කෙරෙන්නකි. මෙය නාම රූප හා විඤ්ඤාණය විසින් වේදනා හා ඵස්ස (ස්පර්ශය, කුමන හෝ ස්පර්ශයක්, එනම් පංචෙන්ද්‍රියයන්ගෙන් කෙරෙන ස්පර්ශයක්, දැකීම ද ස්පර්ශයක් බව අමතක නොකළ යුතු ය) සමග එකතු වී කෙරෙන බෙදීමක් පමණ ය. ඊනියා බාහිර වස්තු ද අවිද්‍යාව නිසා ඇතිවන දේ පමණ ය. නාම රූප, විඤ්ඤාණ, සළායතන, ඵස්ස මේ ඊනියා නිරීක්‍ෂක - බාහිර වස්තු බෙදීමට මුළ ය. පටිච්චසමුප්පදායෙහි මේ සියල්ල ඉතා පැහැදිලිව දේශනා කර තිබිය දී සිංහල බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අය ඊනියා වස්තු පසුපස පමණක් නොව පවතින නිවනක් පසුපස ද දිව යන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාව හා අවිද්‍යාව ඉතා බරපතළ ලෙස ක්‍රියාකිරීම හේතු කොටගෙන ය, නිවන් අවබෝධ කරගන්නා තෙක් අප සියල්ලන්ට ම අඩු වැඩි වශයෙන් අවිද්‍යාව පවතියි.

මුළු මහත් බටහිර විද්‍යාව ම ක්‍රියාත්මක වන්නේ ඊනියා නිරීක්‍ෂකයකුට බාහිර ව වස්තු තිබේ ය යන උපකල්පනය ද සමගින් ය. ඒ වස්තුවලට ඊනියා නිරීක්‍ෂකයාගෙන් තොරව, ස්වායත්ත ව ගුණ (properties) ද ඇතැයි කියැවෙයි. ඒ අතර නිරීක්‍ෂකයා ද ඇතැයි ගැනෙයි. ඉන්පසු නිරීක්‍ෂකයාගෙන් බාහිර ව ඇතැයි කියන වස්තුවෙන් නිරීක්‍ෂකයාට සංඥා ලැබීමක් ගැන කියැවෙයි. ඒ සංඥා ඔස්සේ ඒ නිරපේක්‍ෂ යැයි කියන බාහිර වස්තුව දැන ගැනීම බටහිර දැනුමේ මූලික ප්‍රශ්නයක් වෙයි.

අපි මේ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කරමු. මෙහි දී පුටු, මේස වැනි ඉන්ද්‍රිය ගෝචර වස්තු පිළිබඳ ව මෙන් ම බටහිර විද්‍යාවේ කියැවෙන ඉන්ද්‍රිය ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යුට්‍රීනෝ වැනි අංශු ගැන ද අපේ අවධානය යොමු කළ යුතු වෙයි. සිංහල බෞද්ධයෝ ඊනියා නිරී’ක්‍ෂකයකුගෙන් ස්වායත්තව පවතින ඉන්ද්‍රිය ගෝචර හෝ ඉන්ද්‍රිය ගෝචර නොවන හෝ වස්තු ඇතැයි නො ගනිති. සිංහල බෞද්ධයෝ ද්‍රව්‍යවාදීහු හෝ විඤ්ඤාණවාදීහු හෝ නො වෙති. ඔවුහු අහවල්වාදීහු යැයි නො ගැනෙති. එහෙත් අපේ පහසුව සඳහා අපි ඔවුන් පටිච්චසමුප්පවාදීන් ලෙස ගනිමු. A ඇත්නම් B ඇත. A හටගැනේ නම් B හටගැනෙයි. A නැත්නම් B නැත. A හට නොගැනෙන්නේ නම් B හට නො ගැනෙයි. අවිද්‍යාවෙන් පටන් ගෙන ජරා මරණ ආදී වශයෙන් අවසන් වන පටිච්චසමුප්පදයෙහි ඇත්තේ එවැනි තර්ක න්‍යායකි. අපේ සාකච්ඡාවේ දී අපට වඩා වැදගත් වන්නේ විඤ්ඤාන, නාම රූප, සළායතන, ඵස්ස හා වේදනා ය.

අපි මේසයක් නිරීක්‍ෂණය කරමු. එහි දී අපේ මනසට විවිධ චිත්ත ඇතිවෙයි. මනස යනුවෙන් යමක් පවතිනවා නො වේ. මනස යනු ද චිත්ත පරම්පරාව වෙයි. මේසය අපට ස්පර්ශ කළ හැකි ය. අපට එය ඇසින් දැකගත හැකි ය. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ ආඝ්‍රාණය කළ හැකි ය. එහෙත් අප මේ සියල්ල එකවිට නො කරමු. අප මේසය දැක ගනිමින් ම එය ස්පර්ශ කරන්නේ යැයි කීව ද අපට එසේ කළ නො හැකි ය. අපට එක්විටක ඇතිවන්නේ එක් චිත්තයකි. අපි ඇස නමැති ඉන්ද්‍රිය උපයෝගී කරගෙන ඵස්ස ද එක්කර ගනිමින් මනසෙහි චක්කුවිඤ්ඤාණයක් ඇති කර ගන්නෙමු. අපි එවිට ම ස්පර්ශය ඔස්සේ ද විඤ්ඤාණයක් ඇති කර ගන්නේ යැයි කීව ද අපට එසේ කිරීමට නොහැකි වන්නේ අපට එක් වරකට එක් චිත්තයකට වඩා ඇති නොවන බැවිනි. එසේ නම් අප එකවිට මේසය දකිමින් ම එය ස්පර්ශ කරන්නේ කෙසේ ද?

අපි එසේ නො කරමු. මේසය පෙනීම මෙන් ම මේසය ස්පර්ශ කිරීම ද අපේ සකස්කිරීම් ආශ්‍රිත විඤ්ඤාණ වෙයි. එපමණක් නො වේ. අපට ඒ විඤ්ඤාණ දෙක ම එක්විට ඇතිවන්නේ යැයි කීම ද අපේ සකස් කර ගැනීමකි. ඇසින් දුටු මේසය පිළිබඳ විඤ්ඤාණය පහ වීමෙන් පසුව පමණක් ස්පර්ශය පිළිබඳ විඤ්ඤාණය ඇති වෙයි. එහෙත් මෙහි දී වැදගත් වන්නේ චක්ඛු විඤ්ඤාණය පිළිබඳ මතකයක් ද විඤ්ඤාණය විසින් සකස් කරනු ලැබීම ය. මේ මතකය අප මුළා කරයි. විඤ්ඤාණයෙන් කෙසේ වෙතත් කෙරෙන්නේ මුළා කිරීමකි. මෙහි දී ඒ මුළා කිරීමට තවත් මුළා කිරීමක් එකතු කෙරෙයි. මතකය අපට චිත්ත පේළියක් ලෙස නොව එක් චිත්තයක් ලෙස ඉදිරිපත් වෙයි. චිත්තයක් ඇතිවන්නේ එක් චිත්තයක් නැතිවීමෙනි. යම්කිසි අයුරකින් ඒ චිත්තයෙහි තිබූ “තොරතුරු” ප්‍රමාණයක් ඊළඟ ච්ත්තයට ලබාදෙයි.

ස්පර්ශය පිළිබඳ චිත්තයේ “තොරතුරු” ප්‍රමාණයක් ඊළඟට ඇතිවන පෙනීම පිළිබඳ චිත්තයට ලබාදීම මගින් මේ මතකය පිළිබඳ හැඟීම සකස් කෙරෙන්නේ යැයි සිතිය හැකි ය. එවිට එක් චිත්තයක ම පෙනීම පිළිබඳ “තොරතුරු” ප්‍රමාණයක් හා ස්පර්ශය පිළිබඳ ද “තොරතුරු” ප්‍රමාණයක් ඇතුළත් වෙයි. අපට එක්විට ස්පර්ශය පිළිබඳ මෙන් ම පෙනීම පිලිබඳ ව ද චිත්තයක් ඇතිවීම එසේ සකස්වීමෙන් කෙරෙන්නේ යැයි අපි ආකෘතියක් සකස් කරගනිමු. එය එක්තරා ප්‍රවාදයකි. ඒ ප්‍රවාදය නිවැරදි යැයි මෙයින් නො කියැවෙයි. අපට අවශ්‍ය වන්නේ එක්වර එක් චිත්තයක් පමණක් ඇති විට මේසය එක්වර පෙනෙන්නේ ද ස්පර්ශ කෙරෙන්නේ ද කෙසේ දැයි දැන ගැනීමට ය. මේ දැන ගැනීම් සියල්ල මනස විසින් සකස් කරනු ලබන්නේ ය යන්න මෙහි දී වැදගත් වෙයි.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි වස්තුවක හැඩය, පාට, පිහිටි තැන, වේගය ආදිය එකවිට දැනගත හැකි යැයි අපි කියමු. මේ සියල්ල අපේ විඤ්ඤාණ වෙයි. ඒ විඤ්ඤාණ ඔස්සේ වස්තුවක් ඇත ය යන විඤ්ඤාණය ද විඤ්ඤාණය හා නාම රූප විසින් ම අත්කර දෙනු ලැබේ. අපට ඊනියා වස්තුවක් ලෙස ග්‍රහණය කිරීමට ඉන්ද්‍රියයක් නැත. අපට කළ හැක්කේ ඊනියා වස්තුවේ පාට, හැඩය, තද බව ආදිය ඉන්ද්‍රිය ඔස්සේ සකස් කර ගැනීම පමණ ය. විඤ්ඤාණය හා නාම රූප එකතු වී අපට එක්විට මැනිය හැකි පිහිටුම හා වේගය සහිත නිව්ටෝනීය වස්තු අපට සකස්කර දෙයි. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් වෙයි. එනම් පටිචිචසමුප්පදායෙහි විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් ද යෙදෙන බව ය.