Main Logo

Showing posts with label මායා. Show all posts
Showing posts with label මායා. Show all posts

Saturday, 1 September 2012

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සත්‍යතාව

මායාවරුන්ගේ දින දර්ශනය චක්‍රීය ලෙස ගතහොත් අපට 2012 වසර වෙනත් යුගයක, එසේත් නැත්නම් වෙනත් චක්‍ර්‍රයක ආරම්භයක් ලෙස දැකිය හැකි ය. ඒ ආරම්භය ඇතැම්විට 2012 දී ම නොසිදුවීමට ඉඩ ඇත. එහෙත් 2012 දී හෝ ඉන්පසුව ආසන්න වසරක දී හෝ අළුත් චක්‍රයක් ඇරඹී ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් කැඩී වෙනත් චින්තන මත විවිධ සංස්කෘතීන් ගොඩනැගීමක් පටන් ගැනෙන්නේ යැයි සිතිය හැකි ය. අද ඇති ඒක රේඛීය චින්තනයෙන් කැඩීම කිනම් ආකාරයකින් බැලුව ද ලෝකය හිතකර ය.

කාලය සම්බන්ධයෙන් මෙන් ම අවකාශය සම්බන්ධයෙන් ද අපට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් වෙනස් වූ සංකල්ප වෙයි. අවකාශය හා සම්බන්ධ ඒ සංකල්ප කාලය සමග ද සම්බන්ධ වෙයි. සිංහල බෞද්ධයෝ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව චක්‍රීය විශ්වයක් ගැන විශ්වාස කරති. ඒ විශ්වාසයක් බව සැබෑ ය. ඊනියා මහා පිපුරුම ද මෙරට ඊනියා විද්‍යාඥයන් සියල්ලන්ට ම සහ උගතුන්ගෙන් අති විශාල බහුතරයකට විශ්වාසයක් පමණකි. සිංහල බෞද්ධයන් සංවට්ට කප්ප හා විවට්ට කප්ප හෙවත් වෑරෙන හා ඈරෙන විශ්වයක් ගැන විශ්වාස කරන්නේ ඒ බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බැවිනි. ඔවුහු එහි දී කාලාම සූත්‍රය අනුගමනය කරති. ඊනියා විද්‍යාඥයන් හා උගතුන් බහුතරය මහා පිපුරුම විශ්වාස කරන්නේ ඒ පිළිබඳ කරන ලද හැදෑරීමකින් පසුව නොව බටහිර විශ්වවේදීන් එසේ කියන බැවිනි. එහි දී ඊනියා විද්‍යාඥයන් හා උගතුන් බහුතරය අනුගමනය කරන්නේ කාලාම සූත්‍රය නොව බයිබල් ක්‍රමය ය. එහෙත් මොවුන්ගෙන් ඇතැම්හු තමන් කාලාම සූත්‍රය අනුගමනය කරන්නේ යැයි කීමට තරම් නිර්ලජ්ජී වෙති.

කාලය යන්න සිංහල බෞද්ධයනට පඤ්ඤත්තියක් හෙවත් පනවන ලද්දක් පමණ ය. කාලය යන්න කිසිම ඉන්ද්‍රියකට ගෝචර නො වේ. වෙනස්වීම හා ස්මරණය හෙවත් මතකය හේතුවෙන් මිනිස්සු කාලය යනුවෙන් දෙයක් පනවති. එහෙත් බටහිරයන්ට කාලය යනු එසේ පඤ්ඤත්තියක් නො වේ. බටහිර භෞතික විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් කාලය යනුවෙන් දෙයක්, භූතාර්ථයක් ඇතියි සිතති. ඉන්පසු ඔවුන් කාලය ගැන හදාරන්නේ් එය නිරන්තරයෙන් ම එන්ට්‍රොපිය මෙන් වැඩිවන බැවින් එසේ වැඩිවන්නේ ඇයි ද යනු දැනගැනීමට ය. එසේත් නැත්නම් ඒ පිළිබඳ ප්‍රවාදයක් හෙවත් කතාවක් ගොඩනැගීමට ය.

අද කාලයේ වැඩිවීම ගැන කතාකිරීමට බටහිරයන් කාලහීය යන සංකල්පය නිර්මාණය කරගෙන ඇත. එහෙත් සිංහල බෞද්ධයනට කාලහීය යන්න නැති දෙයක නැති ගුණයක් ගැන කතාකිරීමට තනාගෙන ඇති සංකල්පයක් පමණකි. කාලය යනු පැනවීමක් පමණකි. ඒ පැනවීම කරන්නේ අප විසිනි. එය පැනවීමක් පමණකි. කාලය යනුවෙන් පවතින දෙයක්, ඊනියා භූතාර්ථයක් නොමැත. එබැවින් සරල රේඛාවක මෙන් වැඩිවන කාලයක් සිංහල බෞද්ධයනට නැත.

මෙහි වැදගත්ම කරුණ වනුයේ කාලය යනුවෙන් දෙයක්, ඊනියා භූතාර්ථයක් නොමැති වීම ය. අවකාශය එයට වඩා වෙනස් තත්වයක වෙයි. එය පඤ්ඤත්තියකට වඩා සංකල්පයකි. එහෙත් එය ද ඊනියා යථාර්ථයක් හෝ භූතාර්ථයක් හෝ නො වේ. යථාර්ථයක් වූ භෞතික අවකාශයක් සිංහල බෞද්ධයනට නැත. අවකාශය ද අනෙක් සංකල්ප මෙන් ම මිනිසුන්ගේ නිර්මාණයක් වෙයි. බටහිර පොතපත කියවා ඔළුව අවුල් කරගත් ඇතැමුනට තමන් කියන්නේ කුමක් ද යන්න පවා නො තේරෙයි.

ඇතැමකුට අනුව අවකාශය යුක්ලීඩීය වෙයි. එනම් ඔවුන් විශ්වාස කරන අන්දමට පවතින්නා වූ ද භෞතික වූ ද අවකාශය යුක්ලීඩීය වෙයි. එයට සාක්‍ෂි ලෙස ඔවුන් සඳහන් කරන එක් කරුණක් නම් අවකාශය යුක්ලීඩීය අවකාශය යන්න උපකල්පනය කරමින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි, පාලම් ආදී සිවිල් ඉංජිනේරු කර්මාන්තයෙහි නිපැයුම් සාර්ථක වී පැවතීම ය. සිවිල් ඉංජිනේරු කර්මාන්තය උපයෝගි කරන ලද ගොඩනැගිලි, පාලම් ආදිය සාමාන්‍යයෙන් කඩා නොවැටීම හේතුකොටගෙන අවකාශය යුක්ලීඩීය යැයි නිගමනය කළ හැකි නො වේ.

එහි දී එයට විරුද්ධව දර්ශනයෙන් ඉදිරිපත් කළහැකි කරුණු පසෙකින් තබමු. සිවිල් ඉංජිනේරු කර්මාන්තයෙහි සාර්ථකත්වය හේතුකොටගෙන යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ඊනියා නිරවද්‍යතාවක් පෙන්වීමට යන අයගෙන් ඇතැමෙක් ජනප්‍රිය පොතක් පතක් කියවා ලත් දැනුම මත පදනම් වී අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය ගැන ද ලියති. එහි දී සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව යමින් අවකාශයෙහි නිර්යුක්ලීඩීය භාවය ගැන ද ලියති.

අයින්ස්ටයින් විද්වතාගේ සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශ –- කාලය නිර්ණය වන්නේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. අප අවට ද්‍රව්‍ය හා විකිරණ වෙයි. එවැනි අවස්ථාවක අවකාශ –- කාලය යුක්ලීඩීය නො වෙයි. එසේ නම් සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නේ අවකාශ - කාලය යුක්ලීඩීය නොවන බව ය. මම නම් සාපේක්‍ෂතාවාදය ද සත්‍යයක් ලෙස නො පිළිගනිමි, එහෙත් මෙවැනි කරුණු ගැන පොතපතින් අහුළා ගෙන ලියන්නන්ට සාපේක්‍ෂතාවාදය සත්‍යයක් වෙයි. එවිට ප්‍රශ්නය වන්නේ අවකාශය යුක්ලීඩීය වන්නේ කෙසේ ද යන්න ය.

බොහෝ විට ජනප්‍රිය පොතපතින් කරුණු අහුළාගෙන ලියන මහාචාර්යවරුන්ට මෙන් ම වෙනත් අයට ද ඒ ඒ ක්‍ෂෙත්‍රය ගැන එතරම් අවබෝධයක් නැත. ඔවුහු කල්පනා නො කරති. ජනප්‍රිය පොත්වලින් කරුණු එකතු කරති. එහෙත් ජනප්‍රිය පොත්වල සඳහන් කරුණු අතර ඇති පරත්පරතා ඔවුන්ට විෂය නො වේ. එක් පැත්තකින් සිවිල් ඉංජිනේරු කර්මාන්තයෙහි සාර්ථකත්වය හේතුකොටගෙන එය පදනම් වී ඇති යුක්ලීඩීය ජ්‍යාමිතිය නිවැරදි යැයි විශ්වාස කරන ඔවුන්ට සාපේක්‍ෂතාවාදය මත පදනම් වී අවකාශය යුක්ලීඩීය නොවේ යැයි කීමට ද සිදුවෙයි. ඔවුන්ට ඒ දෙකම කීමේ ප්‍රශ්නයක් ද නැත. ඒ ඔවුන් තම දෑනුමෙහි පරස්පරතා ගැන අවධානයක් නොමු කරන බැවිනි.

අනෙක් අතට ඔවුන් පිළිතුරු දිය යුතු තවත් ප්‍රශ්නයක් වෙයි. අපේ පැරුන්නන් අති විශාල දාගැබ්, මහා වැව් නිර්මාණය කළේ යුක්ලීඩීය ජ්‍යාමිතිය මත පදනම් වෙමින් නො වේ. බටහිර සිවිල් ඉංජිනේරු කර්මාන්තයේ දැනුම උපයෝගී කරගනිමින් මහා වැවක් නිර්මාණය කිරීමට නො හැකි ය. අපේ පැරුන්නන් දාගැබ් හා වැව් නිර්මාණය කළේ යම් කිසි ආකාරයක දැනුමක් මත පදනම් වෙමිනි. ඒ දැනුමෙහි යුක්ලීඩීය ජ්‍යාමිතිය තිබූ බවට සාක්‍ෂි නැත. අවුරුදු දහස් ගණනක් පැවති දාගැබ් හා වැව්වල සාර්ථකත්වය මත පදනම් ව අපි එයට පදනම් වූ දැනුම සත්‍යය බව නිගමනය කරන්නෙමු ද? එවිට යුක්ලීඩීය ජ්‍යාමිතියට යන කල දසාව කුමක් ද?

මිනිසුන් විසින් නිර්මාණය කෙරෙන දැනුම සන්නිකර්ෂණයක් ලෙස යම් සීමාවන් ඇතුළත මිනිසුන්ගේ ම ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ විය හැකි ය. යුක්ලීඩීය අවකාශය පිළිබඳ දැනුම ද එලෙස ය. යුක්ලීඩීය ජ්‍යාමිතිය සන්නිකර්ෂණයක් ලෙස මිනිසුන්ගේ ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් අප කඩදාසියක අඳින ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකට සමාන වෙයි. එය කෝණ මැන බලාගැනීමෙන් දත හැකි ය. යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ද සඳහන් වන ආකාරයට ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකකි.

එහෙත් අපට කඩදාසියෙන් බැහැර වී ඉතා උස කඳු මුදුන් තුනක් ශීර්ෂ ලෙස ගෙන නිර්මාණය කරන ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් නොවන බව සියුම් මැනීම්වලින් දතහැකි වනු ඇත. එවැනි මැනීමක් කිරීමට පළමුවෙන් යෝජනා කළේ විශිෂ්ට බටහිර ගණිතඥයකු වූ ගවුස් විද්වතා ය. එවැනි මැනීමක් කිසිවකු විසින් කරන ලද්දේ දැයි කීමට නොහැකි වුවත් විශ්වය සම්බන්ධයෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන ඇතැම් දේ නිරීක්‍ෂණ සමග යම් එකඟතාවක් සහිත බව කිවහැකි ය. එසේ වුවත් සන්නිකර්ෂණ සහිතව වුවත් නිරීක්‍ෂණ මගින් එක් අවකාශ - කාලයක් තෝරා ගැනීමට බටහිර භෞතික විද්‍යාවේ කොටසක් වූ විශ්වවේදයෙන් කළ නො හැකි ය. ඒ කෙසේ වුවත් සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශය යුක්ලීඩීය නොවන බව සඳහන් කළ යුතු ය. එමෙන් ම ඒ කුමක් වුවත් සාපේක්‍ෂතාවාදය ද ඊනියා සත්‍යයක් නොවන බව අවධාරණය කළ යුතු වෙයි.

මෙහි දී සඳහන් කළ යුතු වැදගත් දෙයක් වෙයි. ජ්‍යාමිතිය බටහිර ගණිතයේ හෝ බටහිර භෞතික විද්‍යාවේ කොටසක් ලෙස සැලකිය හැකි ය. බටහිර නූතනත්වයෙහි බටහිර ගණිතයෙහි ඊනියා සත්‍යයක් සෙවීමට වෑයමක් නො ගැනෙයි. බටහිර ගණිතයෙහි යම් ක්‍ෂෙත්‍රයක දී කෙරෙන්නේ ස්වසිද්ධි නමින් හැඳින්වෙන ප්‍රකාශ කිහිපයක් උපකල්පනය කරමින් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් යම් යම් ප්‍රතිඵල ලබා ගැනීම ය. එහි දී මුල් ස්වසිද්ධි සත්‍ය ද නැත් ද යන්න ගැන අවධානය යොමු නො කෙරෙයි. ස්වසිද්ධිවල ඊනියා සත්‍යතාව බටහිර ගණිතයෙහි දී අදාළ නො වේ. ස්වසිද්ධි පදනම් කරගෙන ලබා ගැනෙන ප්‍රතිඵල ද සත්‍ය ද නැත් ද යන්න බටහිර ගණිතඥයන්ට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ එසේ නො වෙති. ඔවුන්ට ලෝකය පිළිබඳ ඊනියා සත්‍යය දැනගැනීමට අවශ්‍ය වෙයි. එබැවින් බටහිර භෞතික විද්‍යාවේ දී ප්‍රවාදවලින් ලබාගන්නා නිගමන හා නිරීක්‍ෂණ සංගත වේද යන්න සොයා බැලෙයි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් එසේ කෙරෙන්නේ යම් සීමාවන් තුළ සන්නිකර්ෂණයෙන් බව ය. එවැනි සංගත වීමකින් ප්‍රවාදයෙහි ඊනියා සත්‍යතාවක් ගැන කිසිවක් නො කියැවෙයි.

පැරණි ග්‍රීකයෝ තම අත්දැකීම් ඇසුරෙන් ජ්‍යාමිතියක් ගොඩ නැගූහ. ඔවුන්ගේ ජ්‍යාමිතිය ගණිතයෙහි මෙන් ම යම් ප්‍රමාණයකට භෞතික විද්‍යාවෙහි ද කොටසක් විය. ඔවුන් වඩාත් අවධාරණය කළේ වියුක්ත ගණිතය මිස භෞතිකය නො වේ. එහෙත් ස්වසිද්ධිවල සත්‍යතාව ගැන ද ඔවුන් උනන්දුවක් නොදැක්වූවා නො වේ. එහෙත් අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදයෙන් කරනු ලැබුණේ බටහිර ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවේ කොටසක් බවට පත්කරනු ලැබීම ය. ජ්‍යාමිතිය ග්‍රීකයන්ගෙන් පසුව බටහිර නූතනත්වයෙහි ඇති වූ බටහිර ගණිතයෙහි කොටසක් ලෙස සෑලකීමෙහි දී බටහිර ගණිතඥයන්ට එහි සත්‍යතාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් අයින්ස්ටයින් විද්වතාගෙන් පසුව බටහිර ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවෙහි කොටසක් ලෙස ගැනීමෙහි දී බටහිර භෞතික විද්‍යාඥයන්ට එහි ඊනියා සත්‍යතාව ගැන සොයා බැලීමට සිදු වෙයි.

අංශුවල චලිතය සිදුවන්නේ අවකාශයෙහි බැවින් චලිතය සාකච්ඡා කිරීමට සිදුවන්නේ අවකාශය පිලිබඳ යම් හැදෑරීමකින් පසුව ය. එහෙත් මෙය වරදවා තේරුම් ගත යුතු නො වේ. අවකාශය පිළිබඳ යම් හැදෑරීමක් යන්නෙන් අදහස් කෙරෙනුයේ අපෙන් තොරව, එනම් නිරීක්‍ෂකයාගෙන් තොරව, පවත්නා අවකාශයක් පිළිබඳ කරන හැදෑරීමක් නො වේ. අවකාශය ද නිරී’ක්‍ෂකයා විසින් ම නිර්මාණය කෙරෙයි. මෙවැනි හෑදෑරීම්වල දී කෙරෙන්නේ නිරීක්‍ෂකයා විසින් නිර්මාණය කෙරෙන සංකල්ප මත පිහිටා කෙරෙන ඊනියා නිරීක්‍ෂණ, නිරීක්‍ෂකයා විසින් ම නිර්මාණය කෙරෙන ප්‍රවාදවලින් (කතන්දරවලින්) නිරීක්‍ෂකයාගේ ම නිර්මාණයක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය උපයෝගී කරගනිමින් ලබාගන්නා ප්‍රතිඵල සමග සංන්දනය කිරීමකි. ඉන් ඔබ්බට යන ඊනියා සත්‍යතාවක් මෙහි නැත.

කාලය හා මායා දින දර්ශනය

අප උත්සාහ කරමින් සිටින්නේ ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. එහෙත් අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ බව දැනගැනීමෙන් නො වේ. අපේ ප්‍රත්‍යක්‍ෂය නිවැරදි යැයි මෙයින් අදහස් නො කෙරෙයි. අපේ ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ (සංස්කාර) වෙයි. අප පුටුව ලෙස දකින්නේ අපේ සංස්කෘතිය විසින් සකස් කෙරී අපට ලබාදුන් සංකල්පයක් සහිත ඊනියා වස්තුවකි. එවැනි වස්තුවක් ඇතැයි සැලකීමට අපට සංස්කෘතියෙන් උගන්වනු ලැබ ඇත.

ක්වොන්ටම් අංශු අපට දෘශ්‍යමාන නො වෙයි. දෘශ්‍යමාන නොවෙයි යන්නෙන් මේ ලිපිවල දී පමණක් නොව අදාළ වෙනත් ලිපිවලදී ද අදහස් වන්නේ පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන බව ය. එයින් කිසිසේත් ම හුදෙක් ඇසට නොපෙනෙන බව පමණක් ගම්‍ය නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නොවේ යැයි කී විට එය ඇසට නොපෙනනමුත් ඇඟට දැනේනේ යැයි කියන්නෝ වෙති. එහෙත් ඔවුහු ඊනියා ගුරුත්වාකර්ෂණය දැනේනේ කිනම් ඉන්ද්‍රියකට දැයි නො කියති.

ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නොවේ යන්නෙන් එවැන්නක් ඉන්ද්‍රිය ගෝචර නොවේ ය යන්න අදහස් වන බව මගේ ලිපිවලට දේශපාලන පක්‍ෂ විසින් හා වෙනත් අය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිවල කමෙන්ට් නමින් හැඳින්වෙන පඬිමත දක්වන අය නොදන්නා බව පැහැදිලි ය. අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. ඒ අය කළ යුත්තේ ඊනියා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි කාහටත් පැහැදිලි වන අයුරෙන් ප්‍රකාශ කිරීම ය. එසේ නැතිව තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන බව කීමෙන් පලක් නොමැත.

පසුගිය දා නිරීක්‍ෂණය කරන ලදැයි කියැවෙන හිග්ස් බෝසෝනය ද දුටු අයකු නැත. බටහිර විද්‍යාඥයන් දළ සේයා පටිවල ඇති වූ රේඛා මගින් හිග්ස් බෝසෝනය අර්ථදක්වා ඇත. හිග්ස් බෝසෝනය දුටු අයකු, එනම් පංචේන්ද්‍රියට ගෝචර කරගත් අයකු සර්න් පරීක්‍ෂණාගාරය ඇතුළු ලෝකයේ කිසි තැනක නැතත් මෙරට ඇතැම් පඬියන් කතාකරනුයේ තමන් හිග්ස් බෝසෝනය දුටු අයුරෙනි. ඔවුන් වැඩිම වුවහොත් කරන්නේ අද ලෝකයේ විඤ්ඤූන් බවට බලහත්කාරයෙන් බටහිරයන් විසින් පත්කෙරී තිබෙන බටහිර විද්‍යාඥයන්ගේ මත අතිමහත් විශ්වාසයකින් පුනරුච්චාරණය කිරීම පමණකි.

ඔවුන් තමන් මහත් උනන්දුවකින් කතාකරන අනුගමනය කරන්නේ යැයි කියන කාලාම සූත්‍රයෙහි පළමු කොටස අනුගමනය නො කරති. ඔවුහු තමන් නිරීක්‍ෂණය නොකර ම හිග්ස් බෝසෝනය ඇතැයි කියන්නේ වෙනත් අය කියා ඇති බැවින් මිස තමන් අනුගමනය කරන්නේ යැයි කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් අනුව හෝ ඊනියා විද්‍යාත්මක ආකල්පයක් නිසා හෝ නො වේ. ඔවුහු කාලාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස හැඳින්විය හැකි විස්තරයෙන්් කියැවෙන පරිදි එලොවටත් මෙලොවටත් වැඩදායක වන පරිදි විඤ්ඤූන් කරන කියන දැ කිරීමටත් නොකරන නොකියන දෑ නොකිරීමටත් පෙළඹ වී ඇතැයි කිසිවකුට සිතිය හැකි ය. එහෙත් එහි දී ප්‍රශ්නයක් වනුයේ ඔවුන්ගේ විඤ්ඤූන් වූ මේ බටහිර විද්‍යාඥයෝ හා වෙනත් බටහිර පඬිවරු එලොවටත් මෙලොවටත් වැඩදායක වන අයුරෙන් ක්‍රියා නො කිරීම ය.

අප උත්සාහ කරන්නේ අපට දෘශ්‍යමාන නොවන ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. දෘශ්‍යමාන නොවන අංශුවල චලිතය තේරුම් ගැනීම එක්විට ම අපහසු විය යුතු බැවින් අපි පළමුව පංචේන්ද්‍රියයන්ට ගෝචර වන වස්තුවල චලිතය තේරුම් ගැනීමට උත්සාහ කළෙමු. එහෙත් අපට එය කළහැකි වනුයේ සංකල්ප, ප්‍රවාද ආදිය ආශ්‍රයෙන් මිස වෙනත් ක්‍රමයකට නො වේ. හුදු සංජානන කිසිවකු සම්බන්ධයෙන් ඇති නො වේ. අප වැනි පෘථග්ජනයන්ගේ සංජානන සංකල්පවලින් බැහැර නො වේ. අපට සංකල්පයක් නොමැති සංජානනයක් නැත.

පංචේන්ද්‍රියයන්ට ගෝචරවන වස්තුවල චලිතය අවකාශය, කාලය, විස්ථාපනය ආදී සංකල්ප උපයෝගි කරගනිමින් අවබෝධ කරගැනීමට උත්සාහ කළෙමු. එහෙත් එහි දී අපට වස්තුවක් අවකාශයේ පිහිටි ස්ථාන දෙකක් අතර චලනය වීමේ දී නොයෙකුත් උපකල්පන කිරීමට සිදුවිය. විශේෂයෙන් ම වස්තුවක සීමාකාරී අවස්ථාවක් වූ අංශුවක චලිතය සාකච්ඡා කිරීමේ දී අවකාශය හිඩැස්වලින් තොරවූ සන්තතික භූතාර්ථයක් ලෙස සැලකීමට අපට සිිදු විය. භෞතික වූ අවකාශයක් ඇති බවත් එය සන්තතික බවත් පමණක් නොව එම භෞතික අවකාශය ගණිතමය අවකාශයක් වූ යුක්ලීඩීය අවකාශයට සමාන බවත් (භෞතික අවකාශය හා ත්‍රිමාන යුක්ලීඩීය අවකාශය අතර එකට එක අනුරූපිතයක් ඇති බවත්) උපකල්පනය කළෙමු.

මේ සියල්ල උපකල්පන වෙයි. ඒ උපකල්පන නොමැතිව අපට අංශුවක චලිතය තේරුම් ගත නො හැකි ය. එහෙත් එය තේරුම් ගැනීමක් ද යන ප්‍රශ්නය පැන නගින්නේ එය උපකල්පන මත රුඳී ඇති බැවිනි. අප කරන්නේ යම් උපකල්පන මත පදනම් වෙමින් ආකෘති ගොඩ නැගීම ය. භෞතික අවකාශය ද අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. අපි ඊනියා භෞතික අවකාශයක් නිර්මාණය කරමු. එහෙත් එසේ කරන්නේ ගණිතමය යුක්ලීඩීය ත්‍රිමාන අවකාශය මත පදනම් වෙමිනි. ගණිතමය යුක්ලීඩීය අවකාශය කිසිසේත්ම පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් එය සමග එකට එක අනුරූපිතයක් ඇතැයි සැලකෙන භෞතික අවකාශයක් ද ඒකමාන වූ කාලයක් ද අපි නිර්මාණය කරගන්නෙමු.

කාලය සම්බන්ධයෙන් ද කිවයුත්තේ එය ද අවකාශයක් ලෙස ගැනෙන බව ය. එය ඒකමාන ගණිතමය අවකාශයක් සමග එකට එක අනුරූපිතයක් සාදන්නේ යැයි උපකල්පනය කෙරෙයි. කාලය පිලිබඳ අප දන්නේ යැයි සිතන බොහෝ දෑ මේ ගණිතමය අවකාශයෙන් ගලා එයි. අප ගන්නා ගණිතමය ඒකමාන අවකාශය සන්තතික ය. එහි හිඩැස් නැත. අපට භෞතික අවකාශයෙහි මෙන් ම කාලයෙහි ද අතරමැද ස්ථාන හෝ ලක්‍ෂ්‍ය ක්‍ෂණ හෝ පන්නා යා හැකි නො වේ. ලක්‍ෂ්‍ය ක්‍ෂණයක් ලෙස මෙහි දී අර්ථ දැක්වෙන්නේ කාල අන්තරයක් ශූන්‍ය කරා එළඹීමේ සීමාව ය. එය වස්තුවක පරිමාව ශූන්‍ය කරා එළඹීමේ දී අංශුව ලැබෙන්නාක් මෙනි. මේ කාල අවකාශය ඇතැම් සංස්කෘතිවල ගණිතමය සරල රේඛාවක් ලෙස ගැණිනි. (අවශ්‍ය නම් ස්වඡෙදනයක් නොවන වක්‍ර රේඛාවක් ලෙස ද ගත හැකි ය. වක්‍ර රේඛාව තමන් ඡෙදනය නොකළ යුතු ය. එය සන්තතික වක්‍රයකි.)

කිනම් සංස්කෘතියක වුව ද යැයි කිව හැකි තරමට මිනිසුන් කාලය මනින්නේ අද තාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වෙන සංඛ්‍යා ආශ්‍රය කරමිනි. අපි එක් සිද්ධියක සිට තවත් සිද්ධියකට ගත වී ඇති කාලය තත්පර දහයක් යැයි කියමු. එසේත් නැත්නම් අවුරුදු පහක් යැයි කියමු. පහ, දහය ආදිය තාත්වික සංඛ්‍යා වෙයි. සංකීර්ණ සංඛ්‍යාවලින් කාලය මනින සංස්කෘතියක් ඉතිහාසයේ කිසි දිනෙකවත් තිබූ බවට සාක්‍ෂියක් නැත.

චලිතය ගැන යමක් දැන සිටි සියල්ලන් ඉහත සඳහන් ආකාරයෙන් සිතුවේ දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන්ට ගණිතමය අවකාශ පිළිබඳ දැනුමක් නොතිබෙන්නට ඇත. අඩුම තරමෙන් යුක්ලීඩීය ජ්‍යාමිතිය සකස් කළ ග්‍රීකයන්ට වුව ද ඒ දැනුම නො තිබුණි. එහෙත් ඒ බොහෝ දෙනා අවකාශය ගැන සිතුවේ හිඩැස් නොමැති භූතාර්ථයක් ලෙස ය. එලෙස ම කාලය පිළිබඳ රේඛීය සංකල්පයක් තිබූ සංස්කෘතිවල කාලය ද ක්‍රමයෙන් වැඩිවන්නක් ලෙස සැලකිණි.

එහෙත් කාලය ගැන එලෙස නොසිතූ සංස්කෘතීන් ද විය. ඔවුන්ගේ කාලය එක්කෝ සර්පිලාකාර විය. එසේත් නැත්නම් වෘත්තාකාර හෝ වෙනත් සංවෘත කාලයක් විය. සංවෘත කාලයක් පිළිබඳ සංකල්පය ඇතිවන්නේ චක්‍රීය චින්තනයක ය. සිංහල බෟද්ධයන්ට ඇත්තේ චක්‍රීය චින්තනයකි. සංසාරයක් ගැන අප සිතන්නේ ද එක්තරා ආකාරයකින් සංවෘත කාලයක් හෝ සර්පිලාකාර කාලයක් හෝ ආශ්‍රයෙනි.

අද බොහෝ දෙනා කතාකරන මායාවරුන්ගේ දින දර්ශනය සංවෘත කාලයක් ඇසුරෙන් නිර්මාණය කරගෙන ඇතැයි සිතිය හැකි ය. ඔවුන් 2012 දී ලෝකය විනාශ වන බව නොව ලෝකය නැවත තම මාර්ගය දිගේ ගමන් අරඹන බව සිතුවා වන්නට හැකි ය. චක්‍රීිය චින්තනයක එසේ සිතීම අරුමයක් නො වේ. ලෝකයේ එක් යුගයක් අවසාන වී තවත් යුගයක් ආරම්භ කිරීම 2012 දී සිදුවන්නේ යැයි ඔවුන්ට සිතෙන්නට ඇත. එබැවින් 2012න් පසුව දින දර්ශනය දිගින් දිගට ගලායෑමට සැලැස්වීමට ඔවුන්ට අවශ්‍යතාවක් නොතිබෙන්නට ඇත.

වෛදික සංස්කෘතියෙහි ද එක් එක් යුග ඇත. අද ඇත්තේ කලියුගය යැයි කියනු ලැබේ. බෞද්ධයෝ ද ලෝකය ප්‍රසාරණය වී පසුව සංකෝචනය වන්නේ යැයි ද නැවතත් ප්‍රසාරණය වන්නේ යැයි ද ආදී වශයෙන් ගනිති. ඒ ඒ කල්පවල දී බුදුන් වහන්සේලා පහළ වන බවත් නැවතත් ධර්මය දේශනා කරන බවත් බෞද්ධයෝ දනිති. ඒ ක්‍රියාවලිය චක්‍රීය වෙයි. එක් කල්පයක දී එක් බුදුන් වහන්සේ නමක් පමණක් පහළ වන්නේ යැයි නොසිතිය යුතු ය. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුන් වහන්සේලා පස්නමක් පහළ වෙති. මේ කල්පය භද්‍ර හෙවත් යහපත් වන්නේ එබැවිනි.

එහෙත් බුදුන් වහන්සේ නමක් පහළ නොවන කල්ප ද තිබිය හැකි ය. එමෙන් ම බුදුන් වහන්සේලා දෙනමක් අතර ධර්මය නැති වී යන කාල ද වෙයි. එවැනි කාල අබුද්දස්ස කාල ලෙස බෞද්ධයන් විසින් හඳුන්වනු ලැබේ. මෙයින් පැහැදිලි වන කරුණක් නම් ඕනෑම කල්පයක් වෙනත් කල්පයක පිටපතක් නොවන බව ය. එනම් කල්ප අතර එකට එක අනුරූපිතයක් ද නැත. මේ සියල්ලෙන් අපට කියන්නේ කාලය විවෘත රේඛීය වශයෙන් ගන්නා සංස්කෘතීන් හැර තවත් සංස්කෘතීන් ද ඇති බව ය.

මායාවරුන්ගේ දින දර්ශනය 2012න් අවසන් වී ලෝක විනාශයක් සිිදුවන බවක් ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එයට හේතුව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කාලය විවෘත ඒක රේඛීය වීම ය. එහි කාලයට ආරම්භයක් ඇත. ඒ ආරම්භයෙන් පසු කාලය දිගින් දිගට ම ඒක රේඛීය ව ගලා යයි. එය ලෝක ආරම්භයත් සමග සිදුවිණි යැයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි සැලකෙයි. මහා පිපිරුම, දෙවියන් වහන්සේ ලෝකය මැවීම ආදිය ඒ සංස්කෘතියෙහි බිහි වූ සංකල්ප වෙයි.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පඬිවරුන්ට මායා දින දර්ශනය හමු වූ විට ඔවුන්ට කළ හැකි වූයේ ඔවුන්ගේ සංස්කෘතියට අනුව එය විවරණය කිරීම ය. ඔවුන්ට අනුව දින දර්ශනයට අවසානයක් ඇත්නම් එයින් කියැවෙන්නේ ඉන්පසු ලෝකයක් නැති බව ය. සරල රේඛා ඛණ්ඩයක අග මුල මෙන් ඔවුන්ට දින දර්ශනවලට ද අගක් මුලක් ඇත. එබැවින් ඔවුහු මායා දින දර්ශනයෙහි 2012න් පසුව යමක් නොකියැවෙන බැවින් එය එහි අග එසේත් නැත්නම් අවසානය ලෙස ගත්හ. විවෘත ඒක රේඛීය චින්තනයක් ඇති බටහිර පඬිවරුන්ට අනුව මායා දින දර්ශනයෙන් කියැවෙන්නේ 2012 දී ලෝකය අවසන් වන බව ය. එනම් ලෝකය විනාශ වන බව ය. තම සංස්කෘතියෙහි සිතන ආකාරයට අනෙක් සංස්කෘතිවල ද සිතන්නේ ය යන උද්ධච්ඡභාවයෙන් පෙළෙන බටහිරයෝ මායාවරුන් තම දින දර්ශනයෙන් 2012 දී ලෝකයේ වෙනත් යුගයක ආරම්භය ගැන කියා ඇත් ද යන්න කල්පනා කිරීමට තරම්වත් නිහතමානී නො වෙති.