Main Logo

Showing posts with label සංකල්ප. Show all posts
Showing posts with label සංකල්ප. Show all posts

Monday, 31 December 2012

භාජනවල අඩංගු අංශු

මනස තරම් මනසට වධදෙන තවත් සංකල්පයක් ඇතැයි නො සිතමි. අපි මේසය පුටුව මිනිසා ආදී සංකල්ප තනාගැනීමේ දී පංචෙන්ද්‍රිය ද යොදා ගන්නෙමු. එහෙත් මනස යන සංකල්පය සංජානනයකින් තොර වෙයි. කිසිදු සංජානනයක් සංකල්පයකින් තොරව නොපැවතුණ ද ඇතැම් සංකල්ප සංජානනවලින් තොරව හටගනියි. සරල රේඛාව, කාලය ආදිය එයට උදාහරණ වෙයි. මනස ද එවැනි සංජානනයකින් තොර වූ සංකල්පයකි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් සංජානන පංචෙන්ද්‍රිය ඔස්සේ ලැබෙන බව ය.

ඇතැම් විට සංජානන ලැබෙන්නේ බාහිර වස්තූන්ගෙන් යැයි කිසිවකු සිතීමට හැකි ය. කිසිවකු මේසය පුටුව බල්ලා ආදිය අපෙන් බාහිර ව ඇති වස්තු ලෙස සලකනවා විය හැකි ය. එහෙත් එය බුද්ධ දේශනාව සමග එකඟ නො වේ. මේ බඹයක් පමණ වූ ශරීරයෙහි ලෝකය පණවමි යැයි බදුන් වහන්සේ දේශනා කළේ අපේ සිරුර තුළ මුළු ලොවම ඇති බව ප්‍රකාශ කිරීමට ය. මේසය පුටුව ආදිය අදාළ සංකල්ප නොමැතිව නො පවතියි. මෙහි පවතිනවා යන්නෙන් අදහස් කරන්නේ අපට සාපේක්‍ෂ පැවැත්මක් මිස නිරපේක්‍ෂ පැවැත්මක් නො වේ.

මෙහි දී කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතුව ඇත. එකක් අභ්‍යන්තර බාහිර යනුවෙන් ඇති බෙදීම ය. දෙවනුව මගේ මේසය ඔබේ මේසය ම ද යන්න ය. තුන්වැනුව ඒ දෙවැන්නත් සමග සම්බන්ධ ය. එහි දී අපේ සැලකිල්ල යොමු වන්නේ ඊනියා වාස්තවික මේසය වෙත ය. මේ සියල්ල මනස සමග සම්බන්ධ බව ඉතා පැහැදිලි ය.

අපි පළමුවෙන් ම අභ්‍යන්තර හා බාහිර යනුවෙන් ඇති බෙදීම සලකමු. මේ බෙදීම කෙරෙන්නේ කෙසේ ද? කා විසින් ද? අභ්‍යන්තර හා බාහිර යන්නෙන් කියැවෙන්නේ ද සංකල්ප ය. සංකල්ප ලෙස ගත්කල ඒ මනසේ නිර්මාණ වෙයි. ඒ අර්ථයෙන් ඊනියා බාහිර සංකල්ප ද නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. මේසය බාහිර වස්තුවක් ලෙස සලකන්නේ මනස විසිනි. අපේ අවයව වන අත, කකුල, හදවත ආදිය බාහිර වස්තු ද?

අත හා කකුල අපට පෙනෙන නමුත් හදවත අපට නො පෙනෙයි. අත හා කකුල බාහිර අවයව ද? හදවත බාහිර අවයවයක් ද? නැත්නම් අභ්‍යන්තර අවයවයක් ද? බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් නොව සාමාන්‍ය ව්‍යවහාරයට ද හදවත යනු අභ්‍යන්තර අවයවයකි. එහෙත් අපි අත හෝ අතේ ඇඟිල්ලක් හෝ අභ්‍යන්තර අවයවයක් ලෙස නො සලකමු. මේ අභ්‍යන්තර හා බාහිර බෙදීම සංජානන මත පදනම් වී ඇති බව පැහැදිලි ය.

අපට යම්කිසි පෙට්ටියක් ඇතුළත ඇති භාණ්ඩ හා පිටත ඇති භාණ්ඩ යනුවෙන් ද බෙදීමක් කළ හැකි ය. එහි දී ද ඇතුලත හා පිටත යන සංකල්ප නිර්මාණය කෙරී ඇත්තේ සෘජුව හෝ වක්‍රව හෝ එක්තරා අයුරකින් ගතහොත් සංජානන මත පදනම් වෙමිනි. පෙට්ටියෙන් බාහිර ඇති භාණ්ඩ අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. එහෙත් පෙට්ටිය වසා ඇති විටෙක ඒ ඇතුළත වූ භාණ්ඩ අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.

ඇතුළත හා පිටත යන සංකල්ප යම්කිසි සංවෘත භාණ්ඩයකට සාපේක්‍ෂව යෙදෙයි. වසා ඇති පෙට්ටියක් හෝ වසා ඇති කාමරයක් හෝ යම් පරිමාවක් සහිත සංවෘත භාණ්ඩයක් ලෙස සැලකිය හැකි ය. ඒ තුළ ඇති භාණ්ඩ අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන්නේ කිසියම් ආකාරයකින් ඒ විවෘත කිරීමෙන් පසුව ය. මේ සංකල්ප ගණිතයෙහි එක් ශාඛාවක් වූ ස්ථල විද්‍යාවෙහි (Topology) වියුක්ත ව අර්ථ දැක්වෙයි.

සංවෘත පෙට්ටියක් තුළ ඇති භාණ්ඩ අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන්නේ පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව ය. එහෙත් පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව එසේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන භාණ්ඩ පෙට්ටිය විවෘත කිරීමට පෙර ද එහි තිබූ බව අපි උපකල්පනය කරමු. එය අපේ උපකල්පනයක් පමණි. ඒ එසේම දැයි දැනගැනීමට කිසිම සාමාන්‍ය පෘථග්ජනයකුට සාමාන්‍ය තත්ත්වයන් යටතේ හැකියාවක් නැත. එහෙත් මෙහි දී කිසිවකුට පෙට්ටිය තුළ ඇති භාණ්ඩ යම්කිසි ධාරාවක් හෝ වෙනත් එවැන්නක් ඒ තුළට යැවීමෙන් දැකගත නොහැකි දැයි ප්‍රශ්න කිරීමට හැකි ය.

එක්ස් කිරණ මගින් ශරීර අභ්‍යන්තරයෙහි ඇති අවයව දැකගන්නේ එසේ නොවේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහි ගැටළුවක් නැත. අප එහි දී කරන්නේ යම් විධික්‍රමයකින් ශරීරය තුළ ඇති අවයව පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීමට සැලැස්වීම ය. එවැනි විධික්‍රමයක් නොමැතිව මනසට ඒ අභ්‍යන්තර භාණ්ඩ, ශරීරයෙහි නම් අවයව ගැන දැනුමක් නැත. මනසට දැනුමක් නැතිව ඒ භාණ්ඩ පවතින්නේ යැයි අපට කිව නො හැකි ය. ශරීරය තුළ ඇති අවයව මෙන් ම සංවෘත පෙට්ටි තුළ ඇති භාණ්ඩ ද එලෙස දැක ගත හැකි ය. එනම් පංචෙන්ද්‍රිය මගින් නිරීක්‍ෂණය කිරීමට සැලැස්වීම ය. ගුවන් තොටුපොළවල දී මගීන්ගේ ගමන්මලු නිරීක්‍ෂණය කෙරෙන්නේ එවැනි විධික්‍රමයක් යොදා ගැනීමෙනි.

මෙය වෙනත් ආකාරයකින් විමසා බලමු. සංවෘත පෙට්ටියක් විවෘත කිරීමෙන් පසුව අපට දක්නට ලැබෙන, වඩා සාධාරණව කිවහොත් අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන භාණ්ඩ, ඒ පෙට්ටිය විවෘත කිරීමට පෙර ද එහි තිබූ බව උපකල්පනය කරන බව කීවෙමු. එහෙත් ඒ උපකල්පනයට යම් පදනමක් ඇත. අප ඒ භාණ්ඩ එසේම තිබිය දී පෙට්ටිය වසා නැවත විවෘත කළහොත් අපට ඒ තුළ වූ භාණ්ඩ වෙනසකින් තොරව දැකගන්නට හැකි ය. මෙවැනි අත්දැකීම් මගින් අපේ උපකල්පනය තහවුරු වෙයි. එසේ ම කලින් කී ආකාරයට එක්ස් කිරණ හෝ වෙනත් කිරණ ආධාරයෙන් සංවෘත පෙට්ටිවල ඇති භාණ්ඩ “නිරීක්‍ෂණය” කළ හැකි ය. එබැවින් පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන්නේ පෙට්ටිය විවෘත කිරීමට පෙර එහි තිබූ භාණ්ඩ යැයි අපි කියමු.

වෙනත් ආකාරයකින් කියන්නේ නම් පෙට්ටිය විවෘත කිරීමට පෙර එහි ඇති භාණ්ඩ ගැන දැනුමක් අපට පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව ලබාගත හැකි ය. මෙය අපේ සාමාන්‍ය පෘථග්ජන අත්දැකීම ය. බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවේ අත්දැකීම ද එය ම වෙයි. එපමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාව ද ඒ පදනමෙහි ම ක්‍රියාත්මක වෙයි. එක්ස් කිරණ මගින් ශරීරය අභ්‍යන්තරයෙහි ඇති අවයව දකින්නේ ඒ එක්ස් කිරණ යැවීම හේතුවෙන් ඒ අවයව වෙනස් නොවන්නේ ය යන පදනමෙනි.

එහෙත් බටහිර ක්වොන්ටම් භෞතිකයෙහි කියැවෙන්නේ වෙනත් ම කතාවකි. එහි සංවෘත කාමරයක් හෝ පෙට්ටියක් හෝ තුළ ඇති වස්තුවක් ගැන අපට කිසිවක් කිව නො හැකි ය. ඒ වස්තුව අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන තෙක් කාමරය හෝ පෙට්ටිය තුළ කුමක් තිබුණේ දැයි බටහිර ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව අපි නො දනිමු. අප දැන ගන්නේ පෙට්ටිය හෝ කාමරය හෝ විවෘත කිරීමෙන් පසුව අපට නිරීක්‍ෂණය කළ හැකි දේ පමණ ය. එසේ නිරීක්‍ෂණය කරන දේ නිරීක්‍ෂණය කිරීමට පෙර කාමරය හෝ පෙට්ටිය හෝ තුළ වී දැයි අපි නො දනිමු.

සුප්‍රසිද්ධ ෂ්රොඩිංගර්ගේ බළලා පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ එයයි. බළලා හිරකර ඇති පෙට්ටිය විවෘත කරන තෙක් බළලා ජීවත්වන්නේ ද නැත් ද යන්න පිළිබඳ ව කිසිවක් කීමට නිරීක්‍ෂකයාට නො හැකි ය. පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව බළලා මෑරී ඇති බව නිරීක්‍ෂණය විය හැකි ය. එහෙත් බටහිර ක්වොන්ටම් භෞතික වි්‍යාව අනුව එයින් කියැවෙන්නේ පෙට්ටිය විවෘත කිරීමට පෙර ද බළලා මිය ගොස් ඇති ව සිටි බව නො වේ. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව පෙට්ටිය විවෘත කිරීමට පෙර බළලාගේ තත්ත්වය පිළිබඳ ව කිසිවක් කීමට නිරීක්‍ෂකයාට නො හැකි ය.

ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව පෙට්ටිය විවෘත කර නිරීක්‍ෂකයාගේ නිරීක්‍ෂණයට භාජනය වන තුරු බළලා ජීවත්වන හා මියගිය අවස්ථා දෙකෙහි ම ඇත. බළලා ජීවත්වීම හෝ මිය යෑම හෝ යන අවස්ථා දෙකෙන් එකකට පත්වන්නේ නිරීක්‍ෂකයා පෙට්ටිය විවෘත කර බළලා නිරීක්‍ෂණය කිරීමත් සමග ය. මෙම උදාහරණය සමග මා එකඟ නො වන්නේ ක්වොන්ටම් භෞතිකය බළලුන් වැනි මහේක්‍ෂ වස්තුවලට යොදා ගැනීමට නො හැකි වන්නේ ය යන පදනම ද මත පිහිටමින් ය. එසේ වුවත් ක්වොන්ටම් අංශු හෙවත් ක්‍ෂුද්‍ර අංශු සම්බන්ධයෙන් එවැනි නිගමන වලංගු වෙයි.

ක්වොන්ටම් අංශුවකට ඇතැම් ගුණයක් සම්බන්ධයෙන් එක්විට අවස්ථා කිහිපයක පිහිටිය හැකි ය. එවිට ක්වොන්ටම් අංශුවේ ඒ ගුණය නිරී’ක්‍ෂණය කළ නො හැකි ය. ඒ ගුණයේ අගය නිරීක්‍ෂණය කිරීමට නම් අංශුව එකී අවස්ථා කිහිපයෙන් එකක් ගත යුතු ය. ඒ සඳහා යම් උපකරණයක් යොදාගත යුතු ය. ඒ උපකරණය යොදාගෙන අදාළ ගුණයේ අගය දැනගත්තේ යැයි සිතමු. එහෙත් එයින් කියැවෙන්නේ ඒ අගය මැනීමට පෙර ද අංශුවට ඒ අගය තිබූ බව නො වේ. අදාළ අගය මැනීමට පෙර අංශුවට අනුරූප ගුණය සම්බන්ධයෙන් අගයක් නැත.

සංවෘත පෙට්ටියක් තුළ ඇති ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් දැන ගත හැක්කේ ඒ නිරීක්‍ෂණය කිරීමෙන් පසුව ය. නිරීක්‍ෂණය කිරීමට පෙර අංශුව අදාළ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණයට අනුරූප අවස්ථාවක ඇත්නම් අදාළ ගුණය ගැන කිසිවක් කිව නො හැකි ය. එවිට නිරීක්‍ෂණයට කිරීමට පෙර තිබුණේ නිරීක්‍ෂණය කිරීමෙන් පසු දැනගන්නා අංශුව යැයි කිව නො හැකි ය. ක්වොන්ටම් භෞතිකයෙහි දී මෙය වලංගු වන්නේ සංවෘත භාජනවල ඇති වස්තු සඳහා පමණක් නො වේ. එවැනි භාජනවල නැති අංශුවල ද ඇතැම් ගුණ සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කළ හැකි ය.

උදාහරණයක් වශයෙන් යම් ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව නිශ්චිතව දන්නේ නම් එහි පිහිටුම ගැන කිසිවක් කිව නො හැකි ය. අංශුව එක විට අවස්ථා කිහිපයක පිහිටයි. එවිට අංශුවේ පිහිටීම නිරීක්‍ෂණය කළ නො හැකි ය. අංශුවේ පිහිටීම නිරීක්‍ෂණය කිරීමට නම් අදාළ උපකරණ යොදාගත යුතු ය. එවිට අංශුවේ පිහිටීම දැනගත හැකි නමුත් මෙතෙක් දැන සිටි ගම්‍යතාව දැන් දැනගත, මැනගත නො හැකි ය. එයට හේතුව අංශුවට ගම්‍යතා එකක් නොව කිහිපයක් එක්වර තිබීම ය.

මෙයින් කියැවෙන්නේ අප නිරීක්‍ෂණය කිරීමට පසුව ඇත්තේ නිරීක්‍ෂණය කිරීමට පෙර තිබූ අංශුව නොවන බව ය. ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය සංවෘත භාජනවල ඇති අංශු පිළිබඳ පමණක් නොව විවෘත ව ඇතැයි කියැවෙන අංශු සඳහා ද වලංගු වෙයි. ක්වෙන්ටම් අංශු අපේ සාමාන්‍ය අත්දැකීම් නො වේ. එහෙත් ඒ අංශු සම්බන්ධයෙන් කිව හැක්කේ සංවෘත භාජනවල ඇති අංශු පමණක් නොව විවෘතව ද ඇතැයි කියැවෙන අංශු ගැන ද කිව හැක්කේ නිරීක්‍ෂණයට පසු ඇත්තේ නිරීක්‍ෂණයට පෙර තිබූ අංශුව නොවන බව ය.

Monday, 24 December 2012

මනසේ පැවැත්ම

සිත මිස කය නැති බඹුන්ගේ මනස් අපට සාපේක්‍ෂව වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි අපි කීවෙමු. ඒ බඹුන්ගේ මනස් හෝ මනසක් හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන්ගේ මනස් තබා ඔවුන්ගේ සිත් වුව ද මනසටවත් ගෝචර නො වේ. එබැවින් බඹුන්ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත්කල බඹුන්ගේ සිත් ද අපට වියුක්ත සංකල්පයක් පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස් ගැන කිව හැක්කේ කුමක් ද? එමෙන් ම අපට අපේ මනස් ගැන කිව හැක්කේ කුමක් ද? අප මනස යනුවෙන් අදහස් කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක් ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක් වෙයි. මට දිගින් දිගට ම සිත් පහළවන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නොලැබූවකුට අනෙකකුගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියැවෙන්නේ අනෙකකුගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නොලැබූවකුට වියුක්ත සංකල්පයක් බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකුගේ සිත් ගැන කිව හැක්කේ කුමක් ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක් අයකුගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුගේ සිතට අනෙක් අයගේ සිත් ගෝචර වෙයි. එයින් කියැවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක් අයගේ සිත් චෛතසික සංකල්පයක් වන බව ය.

පරචිත්ත විජානන ඥානය නොලැබුවකුට අනෙක් අයකුගේ සිත් වියුක්ත සංකල්පයක් වුවත් තම සිත චෛතසික සංකල්පයක් වෙයි. ඒ තමාගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්ත සංකල්පයක් නොවන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් යොදා නොගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අයගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයනට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නොවන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන්ගේ සංකල්ප ගැන කිව හැක්කේ කුමක් ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්ත සංකල්පයක් ඇති වන්නේ මනස හා අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ එකතුවීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්‍රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්‍රත්‍යක්‍ෂයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්ඤූන් වහන්සේ ය. මම එවැනි බඹලොවක් ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්‍රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරදි නොවිය හැකි ය. මා කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා ද යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක් කියැවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක් නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්‍රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළහොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණ සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක් එය පිළිගනිමි. එසේ නොමැතිව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැත්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභී ද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට අමනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නොවනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නොව ඔවුන්ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යැයි ගැනීමට සිදුවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නොපෙනෙන්නේ ද එබැවින් යැයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචරවනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්සේ ඒ පිළිබඳ කරුණු විමසීමට කිසිවකුට අවස්ථාව ඇත. දෙවියන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්‍රිය හා අවයව ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඈසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් දැනට අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්ත, චෛතසික හා වියුක්ත සංකල්ප යන වර්ගීකරණය ආශ්‍රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියැවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක් පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්‍ෂව තම තමන්ගේ මනස චෛතසික සංකල්පයක් ලෙස ද අනෙක් අයගේ මනස වියුක්ත සංකල්පයක් ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක් අයගේ මනස් ද තමන්ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක් නොවන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යෑමට සිදුවෙයි. අනෙක් මිනිසුන්ට මනස් ඇති බව අප දන්නේ කෙසේ ද? එක්කෝ ඒ බව අපේ විඤ්ඤුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක් මිනිසුන්ට මනස් ඇති බව, සාමාන්‍ය මිනිසුන්ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක් වෙයි. එනම් පඤ්ඤත්තියක් වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක් මිනිසුන්ට මනස් ඇති බව එක්කෝ උපකල්පනය කිරීමට සිදුවෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදුවෙයි. එසේත් නැතහොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදුවෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්මි. මට මනසක් ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක් තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්, අනුමානයක් (ඉනෆඑරඑනචඑ) වෙයි. එවිට අනෙක් මිනිසුන්ට ද මනස් ඇති බව අනුමානයක් මිස සංකල්පයක් නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙන් (සයලලඔගඉසම) වෙනස් වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියළු මිනිසුන්ට මනස් ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක් ඇත. මේ නිගමනයක් ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියළු මිනිසුන්ට මනස් ඇත යන්න මත ය. සියළු මිනිසුන්ට මනස් ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියළු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක් මනසින් ස්වායත්ත ව පවතින බවක් නො කියැවෙයි. පුටුවක් මේසයක් මගේ මනසින් ස්වායත්ත ව නොපවතියි. මගෙන් ස්වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැතිව අපට නිරීක්‍ෂකයන් ලෙස කිසිවක් නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක් නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක් ලෙස එය ශූන්‍ය වෙයි.

පුටුවක්, මේසයක්, බල්ලකු, බළලකු මනසෙන් තොරව, මනසෙන් ස්වායත්ත ව නොපවතී නම් මනස මනසෙන් තොරව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස් දෙකක් ගැන මනස්ගාතයක් කීමට සිදුවනවා පමණක් නොව සංකල්ප තනන මනස හා වෙනත් මනසක් ගැන කීමට ද සිදුවෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්‍ෂ වෙයි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස මනසට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක් නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්‍රචාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අපි බොහෝ අවස්ථාවල කියා ඇත්තෙමු. එයින් කියැවෙන්නේ එය මනසටවත් ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක් නොව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නොවන කාලයෙහි ක්‍ෂණයක් යනු කුමක් ද? ක්‍ෂණයක් යන්න අර්ථදක්වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යුණක කොටසක්, ඉතා කුඩා කොටසක් ලෙස සැලකෙන ක්‍ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක් පවතින කාලය අනුව ක්‍ෂණය තේරුම් ගැනතමට උත්සාහ ගනිති. එහෙත් සිතක් පවතින කාලය කුමක් ද? සිත් පරම්පරාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? එක් සිතක් ඊළඟ සිතෙන් වෙනස්වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරදි යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්‍ෂණයකටවත් නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්‍ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක් ඇතිවිය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්‍ෂණයකවත් තිබූ මනසක් නැතිවෙයි. මෙය උච්ඡෙදවාදය වෙයි. ඇතිව තිබූ යමක් නැතිවීම උච්ඡෙදවාදය මිස අනෙකක් නො වෙයි. අනෙක් අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක් නිරක්‍ෂකයාගෙන් ස්වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියැවෙන්නේ ශාස්වතවාදයයි. මනස ක්‍ෂණයකට පවතින්නේ යැයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යැයි ගත්ත ද අපි එක්කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්වතවාදයට හසුවන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙකම බැහැර කිරීමට ය.

Thursday, 13 December 2012

මනසේ රඟ

චෛතසික සංකල්ප ගැන සඳහන් කරද්දී ඒවා අපේ නොවූව ද යම් ප්‍රාණීන්ගේ සංයුක්ත සංකල්ප යැයි කීවෙමු. එය මුළුමනින් ම නිවැරදි යැයි කිව නො හැකි ය. පරසතු මල්, ඇපල් මල් ආදිය සම්බන්ධයෙන් එය එසේ වන නමුත් කකුල් පහේ සතුන් අදීන් සම්බන්ධයෙන් එය එසේ නොවනවා විය හැකි ය. ලොවෙහි, එනම් අද කියන ආකාරයට විශ්වයෙහි, කිසිම ප්‍රාණියකුට කකුල් පහේ සතකු ඉන්ද්‍රිය ගෝචර වී නොමැතිවා වන්නට හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් විශ්වයෙහි කිසිම ප්‍රාණියකු කකුල් පහේ සතකු දැක හෝ අතගා බලා හොා නැතිවා වන්නට හැකි ය. එලෙස කකුල් පහේ සතකු විශ්වයේ නොමැති වීම එයට හේතුව වන්නට හැකි ය. එහෙත් අපට කකුල් පහේ සතකු සිතෙන් මවාගැනීමට එය බාධාවක් නො වේ.

මෙයින් කියැවෙන්නේ විශ්වයෙහි කිසිම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්පයක් වුව ද ඇතැම් විට අපට සිතෙන් මවාගත හැකි බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් විශ්වයෙහි කිසිම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නොවූ සංකල්ප වුව ද අපට චෛතසික සංකල්ප විය හැකි බව ය. එහෙත් ඒ චෛතසික සංකල්ප අප සංයුක්තව දන්නා සංකල්ප, එනම් සංයුක්ත සංකල්ප ඇසුරෙන් ගොඩනගා ගන්නා සංකල්ප වෙයි. කකුල් පහේ නයකු වුව ද අපට සිතෙන් මවාගත හැකි ය. අපි කකුල් ඇති සතුන් ද, නයින් ද දැක ඇත්තෙමු. අප කළ යුත්තේ අපේ ඒ සංයුක්ත සංකල්ප යොදා ගනිමින් අපේ ඉන්ද්‍රියවලට කිසිදා ගෝචර නොවූ කකුල් පහේ නයා පිළිබඳ චෛතසික සංකල්පය ගොඩනගා ගැනීම ය.

මෙයින් පැහැදිලි වන්නේ විශ්වයෙහි නොපවතින වස්තුවක්, ජීවත් නොවන ප්‍රාණියකු වුව ද අපට සිතෙන් මබාගත හැකි බව ය. එනම් ඒ පිළිබඳ චෛතසික සංකල්පයක් ඇතිකර ගත හැකි බව ය. මෙහි දී වැරදි වටහා ගැනීම්වලට ඉඩ නොතබා කරුණක් කිව යුතු ය. විශ්වයෙහි නොපවතින වස්තු ගැන හා ජීවත් නොවන ප්‍රාණීන් ගැන කතා කරන්නේ පවතින වස්තු හෝ ජීවත්වන ප්‍රාණීන් හෝ වාස්තවික ව, නිරපේක්‍ෂව ඇති නිසා නොව අප සම්මුතියෙන් එවැනි වස්තු හා ප්‍රාණීන් ගැන කතාකරන බැවින් ය. වස්තුවක් පවතින්නේත් ප්‍රාණියකු ඇත්තේත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිරීක්‍ෂකයාගේ මනසෙහි මිස නිරපේක්‍ෂව වාස්තවිකව නො වේ. එපමණක් නොව ඇතැම් බෞද්ධයන් අටුවාවෙහි හෝ අහවල් භික්‍ෂූන් වහන්සේගේ පොත්වල ඇතැයි කියමින් කුමක් ප්‍රකාශ කළත් මනස ද නිරපේක්‍ෂව පවතින්නක් නො වේ.

එසේ පවතින්නේ යැයි දේශනා කරන භික්‍ෂූන් වහන්සේ මාර්ගඵල ලබා ඇතැයි කියනු මා අසා ඇත. එහෙත් රහතන් වහන්සේට වුවත් සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරදි සිදුවිය හැකි ය. බුදුන් වහන්සේ හා සැරියුත් මහ රහතන් වහන්සේ හැරුණු විට අනෙක් රහතන් වහනසේට සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරදි සිදුවිය හැකි බවට හොඳම සාක්‍ෂිය මුගලන් මහරහතන් වහනසේ ය. උන්වහන්සේ විශ්වයේ කෙළවර දකින්නට වෑයම් කළේ සෘද්ධියෙන් අගතැන්පත් වුව ද ලෞකික ප්‍රඥාවෙන් අගතැන්පත් නොවූ බව ප්‍රදර්ශනය කරමිනි.

ඇතැමකු මෙහි දී මා බෞද්ධයකු ද ආදී වශයෙන් ප්‍රශ්න කරනු ඇත. සංකල්පීය ලෝකය පිළිබඳ මගේ දැනුම ගැන ප්‍රශ්න කරනු ඇත. එහෙත් මට තේරුම්යන බුදුදහමට අනුව මනස වුව ද වාස්තවික වශයෙන් නො පවතියි. මනස ද මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද පවතින්නේ සාපේක්‍ෂව ය. එහෙත් එය සාපේක්‍ෂ වන්නේ මනසට ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. මනස පිළිබඳ ව මනසෙහි ඇතිවන සංකල්පය කිනම් වර්ගයට අයත් එකක් දැයි ඊළඟට ප්‍රශ්න කළ හැකි ය.

මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. අපි සංයුක්ත සංකල්ප, චෛතසික සංකල්ප හා වියුක්ත සංකල්ප යනුවෙන් සංකල්ප වර්ගීකරණයකට ලක් කළෙමු. ඇතැමුන් ඒ වර්ගීකරණය සමග එකඟ නොවනු ඇත. එය ප්‍රශ්නයක් නො වේ. අප සියළු දෙනා ලෝකය දකින්නේ එකම ආකාරයකට නො වේ. අප ලෝකය එකම ආකාරයකට දකින බව හෝ දැකිය යුතු බව හෝ කියන්නෝ බටහිර වි්‍යාඥයෝ ය. ඔවුහු ඊනියා වාස්තවික ලෝකයක් අප සියළු දෙනාම එකම ආකාරයෙන් දැකිය යුතු යැයි පවසති. එහෙත් ඒ එකම එක ආකාරය වෙනත් කිසිිවක් නොව ඔවුන් ලෝකය දකින, ඔවුන්ට සාපේක්‍ෂ වූ ආකාරය බව නොකීමට තරම් ඔවුහු ප්‍රවේසම් වෙති.

බුදුදහම වුව ද අප තේරුම් ගන්නේ එකිනෙකාට සාපේක්‍ෂව ය. එසේ නොවන්නට හීනයාන, මහායාන යනුවෙන් හෝ ථෙරවාද, සර්වස්ථවාද, සෞත්‍රන්තවාද, පුද්ගලවාද, විඥානවාද, මාධ්‍යමිකවාද ආදී වශයෙන් හෝ විවිධ ගුරුකුල තිබිය නො හැකි ය. එපමණක් නො වේ. ථෙරවාදීන් අතර වුව ද විවිධ මතවාද තිබිය හැකි ය. එසේ විවිධ මතවාද තිබූ පමණින් අප හැරෙන්නට අනෙක් අය අබෞද්ධ යැයි කීම ම සාපේක්‍ෂවාදී බුදදහමට විරුද්ධ ය. එවැනි ප්‍රකාශයක් ලෝකය වාස්තවික යැයි කියන ඊනියා පරම සත්‍යයක් ගැන විශ්වාස කරන යථාර්ථවාදයට නම් එකඟ ය.

කෙසේ වෙතත් මනස යන සංකල්පය කිනම් වර්ගයකට අයත් දැයි කීමේ දී අපට මනස දැනෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම අවශ්‍ය වෙයි. පොල් මලක් අපට දැනෙන්නේ ඉන්ද්‍රිය කිහිපයක මාර්ගයෙනි. අප පොල් මල දකින්නේ ඇසෙන් හා මනසෙනි. ංප එය ස්පර්ශ කරන්නේ අතින් හා මනසෙනි. ඕනෑම වස්තුවක් ඉන්ද්‍රිය ගෝචර වන්නේ අපේ යම් ඉන්ද්‍රියකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ සාපේක්‍ෂව ය. එහෙත් ඒ කිසිම අවස්ථාවක මනස නොමැතිව අපට කිසිවක් ග්‍රහණය කරගත නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි මනස සමග බැඳී ඇත.

බුදුදහමට අනුව මනස ද ඉන්ද්‍රියයක් වෙයි. මනස නම් ඉන්ද්‍රිය නොමැතිව අපට කිසිවක් සාමාන්‍යයෙන් කියන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර නො වේ. වෙනත් ඉන්ද්‍රියකට මනස නොමැතිව ක්‍රියාත්මක වීමට නොහැකි වුවත් මනසට වෙනත් ඉන්ද්‍රියක් නොමැතිව ක්‍රියාත්මක විය හැකි ය. මනස අනෙක් ඉන්ද්‍රියයන්ගෙන් වෙනස්වන ප්‍රධාන කරුණක් වනුයේ එයයි. එය ද්‍රව්‍ය මූලික නො වේ. ඇස කණ ආදී අනෙක් ඉන්ද්‍රියයන් ද්‍රව්‍යයෙන් සෑදී ඇතත් මනස එසේ ද්‍රව්‍යයෙන් නිර්මාණය වී නැත.

ද්‍රව්‍ය බෙදිය හැකි ය. එකතු කළ හැකි ය. වතුර බින්දුවකට තවත් වතුර බින්දුවක් එකතු කළ හැකි ය. එසේත් නොමැති නම් ද්‍රව දෙකක් මිශ්‍ර කළ හැකි ය. එසේ මිශ්‍ර කිරීමෙන් අපට වෙනත් ද්‍රවයක්, මිශ්‍රණයක්, ලැබෙයි. බටහිර විද්‍යාවේ එවැනි දෑ භෞතික වෙනස්කම්, මිශ්‍රණ ලෙස හඳුන්වනු ලැබෙයි. අනෙක් අතට හයිඩ්‍රජන් හා ඔක්සිජන් රසායනික ව ක්‍රියාකිරීමෙන් ජලය ලැබෙයි. එවැනි වෙනස්කම් රසායනික සංයෝජනයක් ලෙස හැඳින්වෙයි. එසේ ම පරමාණුවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා ප්‍රෝටෝන සංඛ්‍යාව (බොහෝ විට න්‍යුට්‍රෝන ද සමගින්) වෙනස් කිරීමෙන් වෙනත් ම මූල ද්‍රව්‍ය ලැබෙයි.

එසේත් නැතහොත් ඉලෙක්ට්‍රෝනයක් හෝ ප්‍රෝටෝනයක් හෝ බිඳිය හැකි ය. ක්වාක්, තන්තු ආදී වශයෙන් බටහිර විද්‍යාඥයෝ මෙලෙස බෙදීමෙන් ලැබෙන නව ද්‍ර්‍රව්‍ය හඳුන්වති. තන්තුවල චලනය අනුව ඒවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් විවිධ ස්වරූප ගන්නේ යැයි බටහිර විද්‍යාඥයෝ අපට කියා දෙති. ද්‍රව්‍ය බෙදීමට ද එකතු කිරීමට ද හැකි ය යනුවෙන් අපට මේ සියල්ල ප්‍රකාශ කළ හැකි ය.

එහෙත් මනස ගැන කි්ව හැක්කේ කුමක් ද? අභිධර්මයෙහි විවිධ චිත්ත ගැන ඉගැන්වෙයි. එහෙත් ඒ මනස බෙදීමක් නො වෙයි. මනස හෝ විඥානය හෝ පරමාර්ථ වශයෙන් ගත්කල නොමැති වුවත් අප සම්මුති වශයෙන් ගන්නා මනස හෝ විඥානය හෝ බෙදිය නො හැකි ය. අනෙක් අතට මනස් දෙකක් හෝ කිහිපයක් හෝ එකතුකර අළුත් මනසක් නිර්මාණය කළ හැකි නො වේ. මගේ මනසට වෙනත් අයකුගේ මනසක් එකතු කිරීමෙන් අළුත් මනසක් නිර්මාණය කරගත හැකි නො වේ.

මොළය යනු ද්‍රව්‍යයෙන් නිර්මිත වූ අවයවයකි. මනසේ ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වයට ඌනනය කිරීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මිනිසුන්ට යම් යම් දේ සිතෙන විට මොළයේ විවිධ ප්‍රදේශ ක්‍රියාත්ක වන බව බටහිර විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් එයින් කියැවෙන්නේ මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාකාරි වීමෙන් මනස ඒ ඒ අයුරෙන් ක්‍රියාත්මක වන බව නො වේ. යමක් යමකට හේතුව බව පෙන්වීමට නිර්ණායක රැසක් අවශ්‍ය බව බටහිර විද්‍යාඥයෝ ම, විශේෂයෙන් ම බටහිර වෛද්‍යවරු ම කියති.

එහෙත් මොළය ක්‍රියාත්මක වීමෙන් මනස නම් ප්‍රපංචය ඇතිවන්නේ යැයි පෙන්වීමට ඒ නිර්ණායක සම්පූර්ණ වන බව පෙන්වා දීමට බටහිර වෛද්‍යවරුන්ට හැකි ද? හියුම් නම් සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයාට අනුව හේතුව යන්නෙන් දෙයක් නැත. ඒ කෙසේ වෙතත් මනස හා මොළය අතර වැඩිම වුවහොත් ඇත්තේ සහසම්බන්ධයක් පමණකි. ඉන් එහාට ගොස් මනස මොළයට ඌනනය කිරීමක් කළ නො හැකි ය.

මොළය නමැති අවයවය කොටස්වලට කැඩිය හැකි ය. එහෙත් මනස එසේ කොටස්වලට කැඩිය නො හැකි ය. මනසේ යම් චේතනාවකට හේතුවන්නේ යැයි කියන මොළයේ අදාළ කොටස අකී්‍රය වුවත් ඇතැම් අවස්ථාවල මනසේ අදාළ චේතනාව ඇතිවන බව බටහිර වෛද්‍ය විද්‍යාඥයෝ ම කියති. අනෙක් අතට කොටස්වල එකතුවක් වූ මොළය ඒ කොටස් ලෙස සමගාමී ව පවතියි. එහෙත් මනසේ අදාළ චිත්ත එක්වර නො පවතියි. චිත්ත පහළ වන්නේ වෙන් වෙන් වශයෙන් එකක් අනෙක පසුපස ය.

මේ සියල්ල මෙසේ තිබිය දී බටහිර වෛද්‍යවරුන් මනස මොළයට ඌනනය කිරීමට කැස කවන්නේ බටහිර විද්‍යාවේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හේතුකොටගෙන ය. බටහිර විද්‍යාව පංචෙන්ද්‍රියයන්ට සීමා වූ දැනුම් පද්ධතියකි. බටහිර විද්‍යාවේ දී තේරුම් කෙරෙන්නේ ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර සංසිද්ධි ය. ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි (සංකල්ප) නොමැති යැයි බටහිර විද්‍යාවේ උපකල්පනය කෙරෙයි. එය උපකල්පනයක් මිස අන් කිසිවක් නො වේ. බටහිර විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ප්‍රතික්‍ෂෙප කෙරෙන්නෙ මේ උපකල්පනය හේතුවෙන් මිස එය ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් අනුව පෙන්වා දී ඇති නිසා නො වේ. මනස අපේ ඇසට නො පෙනෙයි. එය අපේ කණට නො ඇසෙයි. කෙටියෙන් කිවහොත් මනස පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිවකට ගෝචර නො වෙයි. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන මනස බටහිර විද්‍යාවට නැත.

එහෙත් බටහිර වි්‍යාඥයෝ පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන සංසිද්ධි තේරුම් ගැනීම සඳහා පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. එපමණක් නොව ඒ සංකල්ප වලින් පවතින දේ නියෝජනය වන්නේ යැයි ද සිතති. පොල් ගෙඩි වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගැනීමට එසේ ඉන්ද්‍රිය ගොාචර නොවූ ගුරුත්වාකර්ෂ්ණය යොදාගන්නවා පමණක් නොව ගුරුත්වාකර්ෂණය පවතින්නේ යැයි ද විභ්වාස කරති. මෙයට වඩා කුහක කමක් තවත් තිබිය හැකි ද?

මේ සියල්ල කීමෙන් පසු මනස පිළිබඳ සංකල්පය වර්ග කරන්නෙ කෙසේ ද යන ප්‍රශ්නයට නැවත යමු. පැහැදිලිව ම මනස මනසට සාපේක්‍ෂ වෙයි. මනස මනසට ගෝචර වෙයි. එය සම්මුති අර්ථයෙන් පවතියි. මලක් හා මනස අතර ඇති වෙනස මනස අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වීම ය. එහෙත් මල මෙන් ම මනස ද මනසට ගෝචර වෙයි. මනස ද බුදුදහමට අනුව ඉන්ද්‍රියයකි. අපේ ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ සිංහල බෞද්ධ චින්තනය පදනම් කරමිනි. මනසට ගෝචර වන මනස මලක් මෙන් ම සංයුක්ත සංකල්පයකි.


Friday, 23 November 2012

පිච්ච මල්, පරසතු මල් හා චුම්බක ක්‍ෂෙත්‍ර

අපි සංකල්ප වර්ග තුනක් ගැන කතා කළෙමු. එයින් සංයුක්ත සංකල්ප ලෙස අප විසින් හඳුන්වනු ලැබෙන්න සංජානන හා බැඳී ඇත. සංජානන ලැබෙන්නේ බාහිර ලෝකයකින් යැයි කියැවෙයි. මල් ඇත්තේ බාහිර ලෝකයේ යැයි කියනු ලැබෙයි. එහෙත් මල පිළිබඳ සංකල්පය ඇත්තේ සිතෙහි ය. මලක් නමැති සංකල්පය නිර්මාණය කෙරෙන්නේ සිතෙහි ය. ඒ සංකල්පය නොමැතිව කිසිවකුට මලක් නැත. චක්ඛු විඤ්ඤාණය නොමැතිව කිසිම නිරීක්‍ෂකයකුට මලක් නො පෙනෙයි. මලක් නමැති සංකල්පය නිරීක්‍ෂකයකු නොමැතිව නූපදියි. මලක් මලක් වන්නේ නිරීක්‍ෂකයකුට ය.

අපට මලක් වශයෙන් දැනෙන්නේ අපේ පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් සිතෙන් නිර්මාණය කෙරෙන ගුණ සමූහයක එකතුවකට ය. ඒ ගුණ සමුච්චය නිරීක්‍ෂකයා විසින් මලක් යනුවෙන් හඳුනාගනු ලැබෙයි. මෙම මලෙහි සුවඳ, පැහැය, මොළොක් බව ආදිය වෙයි. මලක් යනුවෙන් අප හඳුනාගන්නා දෙයෙහි වෙනත් සත්ත්වයකුට හඳුනාගත හැකි රශ්මි ආදී වෙනත් ධාරාවන් ඇත්නම් ඒවා අපේ ඉන්ද්‍රියවලට ගෝචර නොවන බැවින් අපේ මලෙහි ඒ ගුණ නැත. එහෙත් වෙනත් සත්ත්වයකුගේ “මලෙහි” ඒ ගුණ තිබිය හැකි ය.

පැහැදිලිව ම අප නිර්මාණය කරන මල අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ ය. මෙයින් කියැවෙන්නේ ඒ ඒ අයගේ මල් එකිනෙකෙන් වෙනස්වන බව ය. අප විසින් පිච්ච මලක් ලෙස ගනු “ලබන්න” වෙනත් සත්ත්වයකු විසින් වෙනත් දෙයක් ලෙස ගනු ලබන්නේ එයට වෙනත් ගුණ එකතු කරමින් හා තවත් ගුණ අඩුකරමිනි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් අප විසින් පිච්ච මලක් ලෙස ගනු ලබන්න වෙනස් සත්ත්වයන් විසින් වෙනත් දේ ලෙස හඳුනා ගැනෙයි යන්න ව්‍යවහාරයෙහි දී යොදා ගත්තත් එය නිවැරදි නොවන බව ය. වෙනත් සත්ත්වයන්ට අපට ගෝචර වන, එනම් අප විසින් නිර්මාණය කෙරෙන පිච්ච මල වෙනත් ආකාරයෙන් ගෝචර වන්නේ නො වේ. ඔවුන්ට ගෝචර වන්නේ, එසේ්ත් නැත්නම් ඔවුන් නිර්මාණය කරන්නේ වෙනත් ම දේ ය.

අපි දැන් අන් මිනිසුන් ඇතුළු සත්ත්වයන් අමතක කර එක් මිනිස් නිරීක්‍ෂකයකු පමණක් සලකමු. ඔහු විවිධ පිච්ච මල් නිරීක්‍ෂණය කරයි. ඒ සියල්ල ඔහු විසින් පිච්ච මල් ලෙස හඳුනා ගැනෙයි. එහෙත් එයින් කියැවෙන්නේ ඒ සියලු පිච්ච මල් එක සමාන බව නො වේ. ඇතැම් පිච්ච මලක් කුඩා විය හැකි ය. ඇතැම් මලක පෙත්තක යම් කඩතොළුවක් තිබිය හැකි ය. ඒ ඒ පිච්ච මල එකිනෙකෙන් වෙනස්වන බව සුපරික්‍ෂාකාරීව නිරීක්‍ෂණය කළහොත් පෙනෙනු ඇත. එහෙත් නිරීක්‍ෂකයා එපමණකින් පිච්ච මල් යනුවෙන් මල් වර්ගයක් නැතැයි නො කියයි.

පිච්ච මලක් හා පිච්ච මල් අතර ඇති වෙනස කුමක් ද? අපි පිච්ච මල්වල කුලකය ගැන කතා කරමු. පිච්ච මල් කුලකයට සියලු පිච්ච මල් අයත් වෙයි. ඒ කුලකය සිතා ගැනීම අපහසු නම් නිරීක්‍ෂකයාගේ ගෙවත්තේ ඇති පිච්ච මල්වල කුලකය ගත හැකි ය. ඒ පිච්ච මල් කුලකයෙහි වුව ද එක් එක් මල එකිනෙකෙන් වෙනස් වෙයි. එහෙත් නිරීක්‍ෂකයාට ඒ මල් එක් වර්ගයකට අයත් යැයි හඳුනාගැනීමේ අපහසුතාවක් නැත. ඒ ඒ මලෙහි ප්‍රමාණය වෙනස්විය හැකි වුව ද, පෙති අතර වෙනස්කම් තිබුණ ද නිරීක්‍ෂකයාට ඒ සියලු මල් පිච්ච මල් ලෙස හඳුනාගත හැකි ය.

එසේ වන්නේ කෙසේ ද? ඒ ඒ පිච්ච මල් අතර ඇතැම් වෙනස්කම් තිබුණ ද ඒ සියලු මල්වලට වූ පොදු ගුණ ඇත. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ඒ පොදු ගුණ ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතින බව නො වේ. ඒ පොදු ගුණ ද නිරීක්‍ෂකයාගේ නිර්මාණ වෙයි. ඔහු තම පංචේන්ද්‍රියයන් ආධාර කරගනිමින් ඒ පොදු ගුණ නිර්මාණය කරමින් හඳුනා ගනියි. මේ පොදු ගුණ සහිත පිච්ච මල සංයුක්ත සංකල්පයක් නො වේ. එය පඤ්ඤත්තියකිෂ වියුක්ත සංකල්පයකි. එය සිතෙන් මවාගත හැකි නො වේ. පිච්ච මලක් සිතෙන් මවාගත හැකි වුව ද පිච්ච මල යන්න සිතෙන් මවාගත හැකි නො වේ.

මෙය තවදුරටත් පැහැදිලි කළ යුතු ය. මේ සියල්ල බටහිර විද්‍යාව ඉගෙන ගැනීමේ දී ද අපට හමුවන බව අමතක නොකළ යුතු ය. ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ ඒ පිළිබඳ ව විස්තරයක් නොකරනවා විය හැකි ය. එහෙත් වර්ගීකරණය පිටුපස මේ සියල්ල ඇත. පොත්පත්වල ද ඒ පිළිබඳ සඳහනක් නොමැති වුව ද සංකල්ප අතර ඇති වෙනස හැකිතාක් නිරවුල් ව දැනගැනීමෙන් බටහිර විද්‍යාවේ වියුක්තිය ගැන යම් අවබෝධයක් ලබාගත හැකි ය.

පිච්ච මල යන්න සිතෙන් මවාගත නොහැකි වුව ද, පරසතු මලක් සිතෙන් මවාගන්නේ කෙසේ දැයි යමකුට ප්‍රශ්නයක් විය හැකි ය. එහෙත් මෙහි දී සිතෙන් මවාගත හැකි වන්නේ පරසතු මල නොව පරසතු මලකි. පරසතු මලක් සිතෙන් මවාගත හැකි ය. පිච්ච මල සිතෙන් මවාගත නොහැකි වුව ද පිච්ච මලක් දැක ගැනීමට වුව ද හැකි ය. පරසතු මලක් හා පිච්ච මලක් අතර ඇති වෙනස පිච්ච මලක් පිළිබඳ සංජානන අපට වීමත් පරසතු මලක් පිළිබඳ සංජානනයක් අපට නොවීමත් ය. අපි පිච්ච මල් දකිමු. පිච්ච මලක් පිළිබඳ සංකල්පය අප විසින් නිර්මාණය කෙරෙන්නේ සංජානනයක් සහිත ව ය. අප දැක ඇති පිච්ච මලක් අපි සිතෙන් මවා ගනිමු. එසේ පිච්ච මලක් සිතෙන් මවාගැනීමේ දී, එසේත් නැත්නම් පිච්ච මලක් ගැන අප සිතීමේ දී අපට ඇත්තේ අප දැක ඇති පිච්ච මලක් හෝ පිච්ච මල් හෝ අනුසාරයෙන් අපට ලැබෙන පිච්ච මලකි. අප සිතෙන් මවාගන්නා පිච්ච මලක් පිළිබඳ සංජානනයක් අපට නැත. එහෙත් පිච්ච මලක් හෝ පිච්ච මල් හෝ නිරීක්‍ෂණය කිරීමේ දී අපට සංජානන වෙයි.

අපි පිච්ච මලක් ගැන සිතීමේ දී, එනම් පිච්ච මලක් සිතෙන් මවා ගැනීමේ දී, සේපාලිකා මලක් ගැන නො සිතමු. යම් ආකාරයකින් අපට සේපාලිකා මලක් සිහිවුණහොත් එය පිච්ච මලක් නොවන බව අපි දනිමු. පරසතු මලක් යන්න එයට හාත්පසින් වෙනස් වෙයි. පරසතු මලක් අපට සිතෙන් මවාගත හැකි ය. එහෙත් ඒ දෙවියන් හෝ වෙනත් සත්ත්වයන් හෝ දැක ඇති පරසතු මලක් නොවිය හැකි ය. අප පරසතු මලක් සිතෙන් මවා ගන්නේ පරසතු මලක් ගැන පංචෙන්ද්‍රියයන් ආධාරයෙන් ලබාගන්නා කිසිම සංජානනයක් නො මැතිව ය.

පරසතු මලක් යන්න සංජානනයක් සහිත සංයුක්ත සංකල්පයක්වත් පඤ්ඤත්තියක් හෙවත් වියුක්ත සංකල්පයක්වත් නො වේ. එය එක්තරා ආකාරයකට ගතහොත් ඒ දෙක අතර ඇති සංකල්පයකි. පරසතු මලක් යන්න සංජානනයක් නොමැතිව වුවත් සිතෙන් මවාගත හැකි සංකල්පයකි. එලෙස අප මවා ගන්නා පරසතු මල දෙවියන් දකින පරසතු මලක් නො වීය හැකි ය. දෙවියන් දැක නැති අපට දෙවියකු ගැන ද ඇත්තේ සංජානනයක් නොමැති ව සිතෙන් මවාගන්නා සංකල්පයකි. අපි එවැනි සංකල්පවලට චෛතසික සංකල්ප යැයි කීවෙමු.

පරසතු මලක් ලෙස අප සිතෙහි මැවෙන්නේ අප කිසිදා දැක නොමැති දෙයකි. මෙයින් කියැවෙන කරුණක් නම් ඇතැම් විට ලෝකයෙහි (විශ්වයෙහි) කිසිවකු දැක නොමැති (කිසිවකුගේ මනසට ගෝචර නොවූ, ඊනියා නොපවතින) දෙයක් වුව ද අපට සිතෙන් මවාගත හැකි බව ය. සංජානනයක් නොමැතිව සිතෙන් මවාගත හැකි සංකල්ප අපි එක් වර්ගයකට දමමු. එවිට පරසතු මල්, දෙවියන් පමණක් නොව කඟවේණුන්, කකුල් පහේ සතුන් ආදීන් පිළිබඳ සංකල්ප ද අයත්වන්නේ මෙම වර්ගයට ය.

අප සම්මතයක් ලෙස ලෝකයෙහි පවතින දේ යනුවෙන් අදහස් කරන්නේ සංජානනයන් සහිත ව, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර ව සිතෙහි මවාගත හැකි දේ ට හා බටහිර විද්‍යාවේ ප්‍රවාදවල හෙවත් කතන්දරචල ඇති සංකල්පවලට අනුරූප දේට ය. උදාහරණ ලෙස පුටුව, පැන්සල, මල ආදිය මෙන් ම ගුරුත්වාකර්ෂණය, විද්‍යුත් චුම්බක ක්‍ෂෙත්‍රය ආදිය ද දැක්විය හැකි ය. බටහිර විද්‍යාවේ ප්‍රවාදවල ඇති සංකල්ප පවතින දේ නිරූපණය කරන්නේ යැයි කියන්නේ බටහිර විද්‍යාඥයන් තම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දේශපාලන බලය යොදා ගනිමින් ය. එසේ නොමැතිව ඉතා පැහැදිලිව ම නැති ගුරුත්වාකර්ෂණයක් පවතින දෙයක් ලෙස පාසල්වල හා විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීමේ හැකියාවක් නැත.

බටහිර විද්‍යාවේ වියුක්ත සංකල්ප යනු සිතෙන් මවාගත නොහැකි සංකල්ප වෙයි. එහෙත් බටහිර විද්‍යාවේ සඳහන්වන බල රේඛා සිතෙන් මවාගත හැකි ය. එයට හොඳම උදාහරණය චුම්බක ක්‍ෂෙත්‍රයක ඇතැයි කියන බල රේඛා වෙයි. බටහිර භෞතික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට බල රේ්ඛා පිළිබඳ පාඩමක් මේසයක් මත තැබූ චුම්බකයක් අසල යකඩ කුඩු අතුරා මේසයට තට්ටු කිරීමෙන් කියා දිය හැකි ය. තට්ටු කිරීමෙන් පසු යකඩ කුඩු යම් වක්‍ර දිගේ පැතිරෙණු දැකගත හැකි ය. යකඩ කුඩු ඒසේ පැතිරෙන්නේ බල රේඛා දිගේ යැයි කියා දෙනු ලැබේ. එහෙත් කිසිවකුටවත් ඊනියා චුම්බක ක්‍ෂෙත්‍රයක් දැකගත හැකි නො වේ.

බල රේඛා සිතෙන් මවාගත හැකි වුවත් චුම්බක ක්‍ෂෙත්‍රය සිතෙන් මවාගත නොහැකි වියුක්තයක් පමණක් වෙයි. සිතෙන් මවා ගැනීමටවත් නොහැකි චුම්බක ක්‍ෂෙත්‍රය ඇතැයි අප කියන්නේ අපට එසේ පුරුදු කර ඇති බැවින් මිස වෙනත් කරුණක් නිසා නො වේ. චුම්බක බල රේඛා මෙන් ම චුම්බක ක්‍ෂෙත්‍ර ද අපට පවත්නා දේ ය. එහෙත් මේවා බටහිර විද්‍යාඥයන් ඇතැම් නිරීක්‍ෂණ තේරුම් ගැනීම සඳහා මවා ඇති, නිර්මාණය කර ඇති සංකල්ප මිස අන් කිසිවක් නො වේ. ගුරුත්වාකර්ෂණය දැක බලාගත් කිසිවකු මෙදියත නැත.

පුටුව, මල ආදිය පවතින්නේ යැයි කෙනකු කීවත් චුම්බක ක්‍ෂෙත්‍රය, කාලය ආදිය පවතින්නේ යැයි කිසිවකුටවත් පෙන්වා දිය නො හැකි ය. බටහිර විද්‍යාවේ ප්‍රවාද ද මිනිසුන් විසින්, මෙහි දී බටහිර විද්‍යඥයන් විසින්, නිර්මාණය කෙරුණු කතන්දර පමණ ය. ඒවා ආධාර කරගෙන යම් යම් නිරීක්‍ෂණ තේරුම්ගත හැකි බව සැබෑ ය. එහෙත් ඒ ප්‍රවාදවල හෙවත් කතන්දරවල ඇත්තක් වේ යැයි, ඒ සංකල්පවල පැවැත්මක් ඇතැයි, තර්ක කිරීමට නො හැකි ය.

සිතෙන් මවාගත හැකි එහෙත් සංජානනයක් නැති සංකල්පවලට අපි චෛතසික සංකල්ප යැයි කීවෙමු. පරසතු මල්, බල රේඛා, ආදිය චෛතසික සංකල්ප වෙයි. අප පරසතු මල් සිතෙන් මවා ගන්නේ අප දැක ඇති පිච්ච මල්, සේපාලිකා මල් ආදිය ඔස්තෙස් ය. එලෙස ම අප බල රේඛා සිතෙන් මවා ගන්නේ චුම්බයක් අසල යකඩ කුඩු පැතිරෙන ආකාරය ඔස්සේ ය. චුම්බක ක්‍ෂෙත්‍ර සිතෙන්වත් මවා ගැනීමට නොහැකි පඤ්ඤත්ති හෙවත් වියුක්ත සංකල්ප පමණ ය. ඒවා අපේ පැණවීම් මිස වෙනත් කිසිවක් නො වෙයි.

අප මේ සියල්ලෙන් කියන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාදවලට හා ඒ ආශ්‍රීත සංකල්පවලට පුටුව, පැන්සල, මල වැනි සංකල්පවලින් නිරුපණය කෙරෙන්නේ යැයි කියන දේ තරමටවත් පැවැත්නක් නැති බව ය. දෙවියන්ට සාපේක්‍ෂව පරසතු මල් තිබුණත් නැතත් මිනිසුන්ට සාපේක්‍ෂව පරසතු මල් සිතෙන් මවාගත් දේ පමණ ය. එලෙස ම බල රේඛා ද සිතෙන් මවා ගත් දේ පමණ ය. ඒ අතර් චුම්බක ක්‍ෂෙත්‍රය, ගුරුත්වාකර්ෂණය ආදිය පඥ්ඤත්ති හෙවත් අපේ පැණවීම් පමණ ය.

සංකල්ප ත්‍රිත්වය


බටහිර ස්වාභාවික විද්‍යාවන්හි නිරීක්‍ෂකයා මෙන් ම නිරීක්‍ෂ්‍යය ද වියුක්ත වෙයි. එහි තේරුම නම් නිරීක්‍ෂකයා කවරකු වුවත් නිරීක්‍ෂ්‍යය කවරක් වුවත් එකම පසුබිම් අවශ්‍යතා යටතේ එකම ප්‍රතිඵල ලබාදෙන බව ය. මෙය තව දුරටත් ගෙන යෑමෙන් නිරීක්‍ෂකයකු සිටියත් නැතත් එකම පසුබිම් අවශ්‍යතා යටතේ එකම ප්‍රතිඵල ලබාදෙන බව උපකල්පනය කෙරෙයි. එය වැඩිම වුවහොත් උද්ගමනයකි. අපි එය තවදුරටත් පැහැදිලි කර ගනිමු.


Monday, 16 April 2012

කපිල පීරිස් මහතාගේ මනස

කපිල පීරිස් මහතා නැවතත් හොරගල් ඇහිලීම පටන්ගෙන ඇත. පසුගිය අප්‍රියෙල් මස 4 වැනි දා කෙම් පහන්වල ඇත්ත නැත්ත ගැන ලිවීමේ දී ඔහු ඉතා පැහැදිලිව මා විසින් අවුරුදු විසිපහක් පමණ කාලයක් තිස්සේ කරන ලද දේ අභියෝගයට ලක්කරයි. මහු නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය හෙළා දකියි. විඤ්ඤාණය ද ඇතුළු සියළු සංකල්ප ශූන්‍ය බව මා කියන විට ඔහු එය හෙළා දකියි. කළ යුත්තේ තර්ක කීිරීම නොව භාවනා කිරීම මගින් ඊනියා පරමාර්ථ ධර්ම ඔස්සේ දුකින් නිදහස් වීමට උත්සාහ කිරීම බව පවසයි. කපිල පීරිස් මහතා අවසානයේ දී කරන්නේ අපේ ප්‍රවාද තැනීමට ඇති සීමිත ඉඩ වුව ද නැති කිරීම ය. ඔහුගේ ප්‍රකාශවලට පිළිතුරු දීමට යෑමේ දී අපේ ප්‍රවාද ලිපිවල රිද්මය කැඩී යයි. ඇතැම් විට ඒ මහතාට අවශ්‍ය ඒ ඉඩ ඇහිරීම විය හැකි ය. එබැවින් විදුසර අපට ලබාදෙන ඉඩ ඇහිරීමට ක්‍රියා නොකර අපේ මත පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ඒ මහතාට අභියෝග කරමි.

කලකට පෙර කපිල පීරිස් මහතා බටහිර විද්‍යාවට වැදගත් කමක් ලබා දෙමින් අපේ පැරණි දැනුම් බටහිර විද්‍යාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහු රේ විජේවර්ධන මහතා වැන්නන් රටට වැඩදායක යමක් කළ කරන විද්‍යාඥයන් ලෙස හැඳින් වීය. ඒ අය බටහිර විද්‍යාව මෙරට යොදා ගත්තා මිස වෙනත් දෙයක් නො කළහ. ඒ අය එසේ කිරීම පිළිබඳ මට පුදුමයක් නැත. එහෙත් කපිල පීරිස් මහතා ඔවුන්ට සහතික ලබා දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එදා එසේ කළ ඒ මහතා අද බටහිර විද්‍යාවේ සීමාකම් ගැන කතා කරන්නේ ඒ පිළිබඳ ව අදහස් දක්වන පළමු තැනැත්තා ඒ මහතා ය යන හැඟීම පාඨකයන්ට ඇති කිරීමට උත්සාහ දරමිනි. බටහිර විද්‍යාව මනීන්ද්‍රිය ඉන්ද්‍රියක් ලෙස යොදා නොගැනීම එහි මූලික ම අර්බුදය බව තමා පෙර සඳහන් කර ඇතැයි කපිල පීරිස් මහතා අප්‍රියෙල් 4 වැනි දින ලිපියෙහි සඳහන් කරන්නේ කිනම් අරමුණකින් ද යන්න පැහැදිලි ය. ඒ මහතාට අවශ්‍ය බටහිර විද්‍යාවේ අර්බුදය ගැන වැදගත් ම අදහස් ඒ මහතා අතින් දැක්වී ඇති බව පාඨකයාට ඒත්තු ගැන්වීම ය.

කපිල පීරිස් මහතා සැදැහැත් බෞද්ධයකු විය හැකි ය. එහෙත් ඒ මහතා වුව ද භාවනා කරන බවක් මම නො දනිමි. ඒ කෙසේ වෙතත් මනස විඤ්ඤාණය ආදිය ගැන භාවනා කිරීමකින් තොරව මා පවසන දෑ ප්‍රතික්‍ෂෙප කිරීමේ පරම අභිලාෂය ඒ මහතාට වෙයි. භාවනා කළත් නොකළත් සංකල්ප යොදා ගැනීමෙන් අප කරන්නේ මගඩියකි. සංකල්පීය ලෝකය ශූන්‍ය බව වටහා ගැනීම නිවන් අවබෝධ කරගැනීම යැයි මම සිතමි. එහෙත් එය වටහා ගන්නේ තර්කයෙන්වත් මනසෙන්වත් විඤ්ඤාණයෙන්වත් වෙනත් එවැන්කින්වත් නොවන බව මගේ වැටහීම ය. පටිච්ච සමුප්පදායෙන් අපට කියන්නේ අවිද්‍යාව නැති විට නාම රූප විඤ්ඤාණ ආදිය නැති බව ය. විඤ්ඤාණයක් ඇත්නම් එතැන අවිද්‍යාව වෙයි. එහෙත් පිරිනිවන් පානා තෙක් රහතන් වහන්සේලා විඤ්ඤාණය යොදා ගනිති. එසේ වුවත් එලෙස යොදා ගන්නේ එය මායාවක් බව අවබෝධ කරගනිමිනි. නැති විඤ්ඤාණය ඇති ලෙස ගැනීම මායාවක් බව උන්වහන්සේලා අවබෝධ කරගෙන ඇත. ගිණි හුළක් කැරකැවීමේ දී අපට පෙනෙන ගිනි වළළ්ල මායාවක් බව අපි දනිමු. රහතන් වහන්සේ විඤ්ඤාණය මායාවක් බව දනිති. එහෙත් එය අප ගිනි වළල්ල ගැන දැනගැනීම මෙන් නොවන බව අවධාරණය කළ යුතු ය.

බුදුන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ දැයි කපිල පීරිස් මහතා අසයි. ඒ මහතා එසේ අසන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට ගැරහීමටත් මා බෞද්ධයකු නොවන බව කීමටත් ය. කලකට පෙර කපිල පීරිස් මහතා උදයසිරි වික්‍රමරත්න මහතා කී දෙයක් අනුමත කරමින් පැවසුවේ මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයකු නොවන බව ය. භාවනා නොකිරීමෙන් නිසි අවබෝධයක් ලැබිය නොහැකි යැයි පවසන කපිල පීරිස් මහතා අනෙක් අය පවසා ඇති අදහස් වැරදි යැයි කියන්නේ භාවනාවෙන් ලත් දැනුමක් උපයෝගී කරගනිමින් දැයි ප්‍රශ්න කරමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යනු පෘථග්ජන මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම පිළිබඳ ප්‍රවාදයකි. අවශ්‍ය නම් එය ඥානවිභාගයක් ලෙස හඳුනාගත හැකි ය.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය පිළිබඳ කපිල පීරිස් මහතා ප්‍රසිද්ධ විවාදයකට එනු ඇතැයි අපේක්‍ෂා කරමි. හොරගල් අහුලන්නේ නැතිව කෙලින් ම වාද කිරීම උචිත යැයි සිතමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නේ නිවන් දැකීමක් ගැන නො වේ. සත්ත්වයන් දැනුම නිර්මාණය කරන බවත් (සොයා ගැනීමක් නොව) එය තම ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂව කෙරෙන බවත් ඉන් කියැවෙයි. ඊනියා විද්‍යාව පමණක් නොව සාහිත්‍යය නාට්‍ය ආදිය ද එවැනි සාපේක්‍ෂතාවක් දරන්නේ යැයි අපි කියමු. දැනුම යම් චින්තනයක් මත පදනම් වන්නේ යැයි ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙයි. උදයසිරි වික්‍රමරත්න මහතාගේ සුද්දෙක් ඔබ අමතයි නම් නාට්‍යය නිර්මාණය කෙරී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවදී අදහස් උපයෝගී කරගනිමිනි. උදයසිරි වික්‍රමරත්න මහතා ඒ බව නොදන්නවා නො වේ. එහෙත් ඉතා අකෘතඥව ඒ මහතා මා බෞද්ධයකු නොවන බවත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු බවත් පවසයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ද සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ඥානවිභාග ප්‍රවාදයක් බව කපිල පීරිස් මහතාටත් උදයසිරි වික්‍රමරත්න මහතාටත් අමතක වී ඇති බව පෙනෙයි.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුව අප නිර්මාණය කරන දැනුම විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. විඤ්ඤාණය හට ගැනෙන්නේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. විඤ්ඤාණය යනු මායාවකි. නිවන් අවබෝධය යනු ඒ මායාව මායාවක් බව අවබෝධ කරගැනීම ය. නැතහොත් නිවන ද විඤ්ඤාණයට සාපේක්‍ෂ වන්නේ නම් හා නිවන් දැකීමෙන් පසුව ද විඤ්ඤාණය පවතින දෙයක් ලෙස සැලකෙන්නේ නම් නිවන් අවබෝධයෙන් පසුව ද අවිද්‍යාව වෙයි. ඒ පටිච්චසමුප්පදායට අනුව විඤ්ඤාණය හටගන්නේ ද අවිද්‍යාව හේතුකොටගෙන බැවිනි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ දී ලැබූ අවබෝධය කිසිම විඤ්ඤාණයකට සාපේක්‍ෂව ලත් එකක් නොව විඤ්ඤාණය මායාවක් බව අවබෝධ කරගැනීමෙන් ලද්දකි. කපිල පීරිස් මහතා අන්‍යාලාපයෙන් අසන්නේ භාවනා නොකර මා එවැනි නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන්න ය. සමහර විට එය පසුගිය භවයන් හි දී භාවනා කිරීමෙන් මා ලත් දැනුමක් විය හැකි ය. ඒ එසේ නොවුවත් භාවනානුයෝගී පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණන් වහන්සේ ගේ නිවනේ නිවීම පෙත් පෙළෙහි ද එවැනි අදහස් දැකගත හැකි ය. නැති විඤ්ඤාණය නැති විඤ්ඤාණයක් බව අවබෝධ කරගන්නේ විඤාණයකින් නොවන බව නම් මට පැහැදිලි ය. එහෙත් එතැනින් එහාට යෑමට නම් භාවනාව අත්‍යවශ්‍ය වෙයි.

සංගත ආකෘති තැනීම පිලිබඳ ව ද කපිල පීරිස් මහතා ගරහයි. ඒ මහතාට ඇත්තේ නිවන් අවබෝධ කිරීමේ අවශ්‍යතාව පමණක් විය හැකි ය. එහෙත් මට නම් එයට අමතරව දේශපාලන අවශ්‍යතා ද වෙයි. ඒ දේශපාලන අවශ්‍යතා සඳහා නිවන කල්දැමීම ද මට ප්‍රශ්නයක් නො වේ. අද මුළු මහත් ලෝකය ම බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වී ඇත. අපේ නිදහස සම්පුර්ණ වන්නේ අප බටහිර දැනුමෙන් ද නිිදහස් වූ විට ය. එහි දී අපි බටහිර දැනුම විවේචනය කිරීමටත් අපේ දැනුමක් නිර්මාණය කිරීමටත් මැදිහත් වෙමු. පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ අප කළේ එයයි. අපි එහි සාර්ථකත්වය විශේෂයෙන් ම දේශපාලනයෙහි දී අත්දුටුවෙමු. එහෙත් තවදුරටත් කළ යුතු දෑ කිහිපයක් ඉතිරි වී ඇත. ඒ සම්පුර්ණ වන තුරු අපි අපේ ව්‍යායාමය අත් නො හරිමු. බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කපිල පීරිස් මහතා කතා කිරීමට පළමුව අප ඒ පිළිබඳ ව අපේ විවේචනය ඉදිරිපත් කර ඇති අතර රේ විජේවර්ධන මහතාගේ ගණයේ බටහිර විද්‍යාව පිළිගත් අය සමග ඒ පිළිබඳ නොයෙකුත් වර වාද කර ඇත්තෙමු. කපිල පීරිස් මහතා බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය සමග බටහිර විද්‍යාව විවේචනය කරමින් විවාදවලට එළඹි අවස්ථා ගැන අපි නො දනිමු. එහෙත් බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කතාකළ පළමු තැනැත්තා වීමට ඒ මහතාට අවශ්‍ය නම් එය ලබාගැනීම අපට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් කිවයුතු දෑ වෙයි. අප සංගත ව කරුණු ඉදිරිපත් කළ යුතු යැයි ද වියුක්ත ප්‍රවාද නිර්මාණය කළ යුතු යැයි කියන්නේ ද ඒ ඔස්සේ ඊනියා පරමාර්ථ සත්‍යයක් දැන ගැනීමට නොව එසේ නොමැතිව අද දවසේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම පරාජය කළ නොහැකි බැවිනි. එහෙත් අපේ වෑයම එයට පමණක් සීමා නො වේ. ඈත අතීතයේ සිට මිනිසුන් දෙවියන් සමග සම්බන්ධ වී දැනුම ලබාගත් බව අපි දනිමු. පැරණි සිංහලයෝ ද එසේ කළහ. ගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේ දී දෙවියන්ගෙන් දැනුම ලබා ඇත. අවුරුදු තුන හතරක කාලයක සිට අපි දෙවියන්ගෙන් ද දැනුම ලබාගනිමු. අප බොහෝ විට කියා ඇති පරිදි රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් අපට දැනුම ලැබී ඇත්තේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙනි. එමෙන් ම ගොවිතැනෙහි දී ද වෙදකමෙහි දී ද අපි දෙවිවරුන්ගෙන් දැනුම ලබමු. ඉදිරියෙහි දී වෙනත් කරුණුවල දී ද එසේ දැනුම ලබාගැනීමට අපේක්‍ෂා කරමු. ඒ ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුමකි. භාවනානුයොාගීව ඒ දැනුම ලබාගැනීමට හැකි කිහිප දෙනෙකු ම පසුගිය අවුරුදු තුන ඇතුළත බිහි වී ඇත. එහෙත් ඒ දැනුම ද සංකල්පීය දැනුමක් බවත් එහි ඊනියා සාර්ථකත්වය ද සංගත වීම මත පදනම් වන බවත් අපි කියමු. ඇතැම් විට ආධ්‍යාත්මික ව ලබාගන්නා ලෞකික දැනුම සාර්ථකත්වයකට පත්වීමෙන් පසු අපේ දැනුම තාර්කිකව හා ඉන්ද්‍රියානුභූතව නිර්මාණය කිරීම අපට අත්හැරීමට හැකිවනු ඇත.

එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තේ බටහිර විද්‍යාවේ මූලික ම අර්බුදය මනේන්ද්‍රිය මගහැරීම නොවන බව ය. එය ද එක් හේතුවක් වෙයි. එහෙත් ඒ අතර තවත් කරුණු බොහෝමයක් වෙයි. කපිල පීරිස් මහතා නොදනිතත් මේ කරුණු රාශියක් අපි සාකච්ඡා කර ඇත්තෙමු. මනස යොදා ගත්ත ද එයින් ඊනියා සත්‍යවූ දැනුමක් ලැබේ යැයි විශ්වාස නොකළ යුතු ය. අපට ලැබෙන්නේ අපේ කටයුතු සඳහා විශ්වාස කළ හැකි දැනුමක් පමණකි. මනස ඇතැයි සැලකුව ද නැත් ද ලෞකික වශයෙන් අපට ලැබෙන දැනුම හුදු සම්මුති දැනුමක් පමණකි. ඒ දැනුම ද මනසට සාපේක්‍ෂ වෙයි. එක් එක් අයගේ භාවනා ක්‍රම මත, විශ්වාස මත ඒ ඒ අයට සාපේක්‍ෂ දැනුම් ලැබෙයි. ඒ දැනුම් නිවන් අවබෝධය සමග පටලවා ගත යුතු නො වේ. නිවන සාපේක්‍ෂ වන්නේ කුමකට දැයි ඇසීම ම වැරදි ප්‍රශ්නයකි. නිවන යනු දැනුමක් නො වේ. නිවන් අවබෝධය යනු ගුරුත්වාකර්ෂණය අවබෝධ කර ගැනීම වැන්නක් නො වේ. නැති ගුරුත්වාකර්ෂණයක් ඇතැයි අප අවබෝධ කරගන්නේ අපේ මනස්වල ම ප්‍රශ්නයක් නිසා ය.

නිවන යනු දැනුමක් නොව සියළු ලෞකික දැනුම් නැති දැනුම් බව අවබෝධ කර ගැනීම ය. එය ඊනියා විඤ්ඤාණයක් මත පදනම් ව, ඊනියා විඤ්ඤාණයකට සාපේක්‍ෂව, දැන ගන්නක්වත් දැක ගන්නක්වත් නො වේ. එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කර ගැනීමකි. ඒ එකක්වත් සංකල්ප නො වේ. සංකල්පීය ලෝකය ශූන්‍ය වෙයි. මා සඳහන් කරන කරුණු කපිල පීරිස් මහතා විශ්වාස කරන බුදුදහමට පටහැණි වනවා විය හැකි ය. එහෙත් එපමණකින් මා බෞද්ධයකු නොවේයැයි කීමට ඒ මහතාට නො හැකි ය. ඒ මහතා නිවැරදි බුදුදහම දන්නේ යැයි ඒ මහතාට කිව හැකි ද? ඒ සඳහා ඇති මිනුම් දණ්ඩ කුමක් ද?

අද සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිර මතිමතාන්තර පුනරුච්චානය කරන පඬියන්ට මා ප්‍රශ්නයක් වී ඇත. කපිල පීරිස් මහතා දැනුවත් ව හෝ නො දැනුවත් ව හෝ ඔවුන්ට ආයුධ සපයයි. මා කපිල පීරීස් මහතා කියන පිරිසිදු බුද්ධාගමෙහි නොවන බව කීමෙන් ඉන් වාසි ගනු ඇත්තේ පඬියන් ය. ඔවුන් සිංහල බෞද්ධයනට කියනු ඇත්තේ මා අඩු තරමෙන් බෞද්ධයකුවත් නොවන කුහකයකු බව ය. එවිට සිංහල බෞද්ධ ජනතාව අතර මා නොපිළිගන්නා තත්වයකට පත්කර පාළුගෙයි වළං බිඳීමට ඔවුන්ට හැකිවනු ඇත්තේ තම කාර්යය ඉටු කිරීමෙන් පසු, එනම් මා බෞද්ධයකු නොවේ යැයි පඬියන් ද සමග එකතු වී මතයක් ඇති කිරීමෙන් පසු තවමත් කකුලක් මාක්ස්වාදයේ ගසාගෙන සිටින ව්‍යාජ ජාතිකවාදී පක්‍ෂයකට උඩගෙඩි දී කපිල පීරිස් මහතා ඔවුන් සමග හෝ පඬියන් සමග හෝ වාදවලට නොඑළඹෙන නිසා ය. කපිල පීරිස් මහතාගේ බුදුදහම සමග එකඟ නොවන්නන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇතත් කපිල පීරිස් මහතා ඔවුන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කිසිවක් නො කියයි. ඔහුට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු ඇතැයි සිතන මනස මා නැතැයි කීම පමණක් ද?

Wednesday, 22 February 2012

නිව්ටෝනීය රූප කලාප

පටිච්චසමුප්පදායෙහි විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් ද යෙදෙන බව බොහෝ දෙනා නො දනිති. එයට හේතුව අප ඉගෙන ගන්නා පටිච්චසමුප්පාදයෙහි එසේ නාම රූප පච්චයා විඤ්ඤාණ යනුවෙන් සඳහන් නො වීම ය. බුදුන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ ඒ ඒ දම්සභා මණ්ඩපයට ය. එසේත් නැතහොත් ඒ ඒ පුද්ගලයාට ය. එබැවින් සූත්‍ර දේශනා සන්දර්භය මත පිහිටා කරන ලද්දේ වෙයි. සූත්‍ර දේශනාවල සන්දර්භය ගැන සැලකිල්ලක් නොදක්වා ඒ නිරපේක්‍ෂ දැනුමක් ලෙස ගැනීම වරදකි. විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කරන ලද්දේ චක්‍රීය යැයි සිතෙන තර්ක ක්‍රමයකින් මනස අවුල් කර නොගත් අයට යැයි සිතිය හැකි ය.

දැනට අවුරුදු විසිපහකට පමණ ඉහත දී මා විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් සඳහන් වී ඇති බව මෙරට වාසය කළ මහා විද්වතකු ලෙස පිදුම් ලත් එමෙන් ම බෞද්ධ මනෝ විශ්ලේෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලත් මහාචාර්යවරයකුට පැවසූ විට මහු කෝපයට පත් ව එසේ තිබෙන්නේ කොහේ දැයි ඇසුවේ ය. එවැන්නක් දේශනා කර ඇති බව පිළිගැනීමටවත් එතුමා කැමති නො වී ය. එහෙත් අවශ්‍ය අයකුට පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් වහන්සේ ලියා ඇති මනසේ මායාව නමැති පොත කියවීමෙන් ඒ පිළිබඳ ව වැඩිදුර දැනගත හැකි ය.

ඇරිස්ටෝටලීය න්‍යායට අනුව රේඛීය තර්කයට පුරුදු වී ඇති මෙරට සිටින බටහිර උගතුන්ට ඔවුන් බුද්ධ ධර්මය පිළිබඳ පශ්චාත් උපාධිලාභීන් වුවත් චක්‍රීය ව සිතීමට සිත එකඟ කරවා ගත නො හැකි ය. බටහිර විශ්වවිද්‍යාලයකින් බුද්ධ ධර්මය පිලිබඳ පශ්චාත් උපාධියක් ලැබීම ම එහි දී බාධකයක් වන්නේ යැයි සිතිය හැකි ය. මහා ප්‍රාඥ සැරියුත් මහා රහතන් වහන්සේ ද විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කර ඇත. බොහෝ විට එවැනි අවස්ථාවල නාම රූප හා විඤ්ඤාණ ලී දෙකකින් සැදි කරුවක් ලෙස දැක්වෙයි. කරුවෙහි එක් ලීයක් ගත් විට අනෙක් ලීය ද ඇද වැටෙයි. නාම රූප හා විඤ්ඤාණ ද එසේ ය. එකක් අනෙක මත රඳා පැවැත්තෙවයි. ඥාණානන්ද හිමියෝ නාම රූප හා විඤ්ඤාණ දිය සුළියක් ලෙස හඳුන්වති. අපි දිය සුළියට හසු වී එහි කැරකෙමින් සිටින්නෙමු.

අප වෙනත් දේ මෙන් ම නිව්ටෝනීය වස්තු ද දකින්නේ නාම රූප පටළැවිල්ල හේතුකොට ගෙන ය. බාහිර ව පවතින්නේ යැයි කියැවෙන වස්තු අභ්‍යන්තර ව මනසෙන් හඳුනාගන්නේ මනස හා වස්තුව දෙකක් ලෙස ගැනීමෙනි. එහෙත් මනස හා වස්තුව යනු එසේ අභ්‍යන්තර ව හා බාහිර ව පවතින දේ නොව විඤ්ඤාණය නාම රූප සමග එකතු වී කරන මායා දර්ශනයකි. ඊනියා රූපයක් ඊනියා නිරීක්‍ෂකයාගෙන් වෙන් ව පවතිනවා නො වේ. සංකල්පයක් නොමැතිව රූපයක් දැකගත නො හැකි ය. ඊනියා වස්තුවකින් ඇසට ලැබෙන සංඥා මොළයට යෑමෙන් අපට වස්තුවක් පෙනෙනවා නොව අප විසින් ම වස්තුව මවාගනු ලැබේ.

අප කලින් සඳහන් කළ පරිදි වස්තුව වස්තුවක් ලෙස එක්වර දැකීමට සමත් ඉන්ද්‍රියයක් අපට නැත. ඇසෙන් අපට පෙනෙන්නේ ඊනියා වස්තුවේ හැඩය පමණකි. ස්පර්ශයෙන් එහි තද බව දැනෙයි. එහෙත් වස්තුව දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? හැඩය තද බව ආදිය ඉන්ද්‍රිය ගෝචර ව පවතින දේ ලෙස ගත්ත ද, වස්තුව, එනම් මේසය, පුටුව ආදිය, ඉන්ද්‍රිය ගෝචර වූවක් ලෙස ගන්නේ කෙසේ ද? වස්තුව යන්න මනසේ නිර්මාණයක්, සකස්කිරීමක් පමණකි. මෙයින් අදහස් වන්නේ ඊනියා වස්තුවේ හැඩය, තද බව ආදිය නිරීක්‍ෂකයා යැයි කියන්නකුගෙන් ස්වායත්ත ව පවතින බව නො වේ. හැඩය, තද බව ආදිය ද විඤ්ඤාණයේ හා නාම රූපයේ සකස් කිරීමකි. ඒ ඒ නිරීක්‍ෂකයාගේ සකස් කිරීම් වෙනස් වන්නේ එබැවිනි.

සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අනුව චිත්තක්‍ෂණ දහහතක් රූපක්‍ෂණයකට සමාන වෙයි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන ම කරුණ වන්නේ චිත්තක්‍ෂණය ද සාපේක්‍ෂ බව ය. අපවත් වී වදාළ බෝධි හිමියන් පෙන්වා දී ඇති ආකාරයට නිවන හැරෙන්නට පරමාර්ථ ධර්ම යැයි සැලකෙන ධර්ම චිත්තයට සාපේක්‍ෂ ය. සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි චිත්තක්‍ෂණ දහහතක් රුපක්‍ෂණයකට සමාන යැයි සඳහන් වී ඇත. රූප කලාපයක් ග්‍රහණය කරගැනීමට, එනම් එලෙස සංස්කරණය කර ගැනීමට චිත්ත දහහතක කාලයක් (කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අමතක නොකළ යුතු ය) අවශ්‍ය බව මෙයින් කියැවෙයි.

අපට එය තේරුම් ගැනීම අපහසු නො වේ. එක් චිත්තයකට හසුවන්නේ ඊනියා වස්තුවේ හැඩය විය හැකි ය. එහි යම් තොරතුරු ද රැගත් ඊළඟ චිත්තය ඊනියා වස්තුවේ පාට සංස්කරණය කර හඳුනාගන්නවා විය හැකි ය. අවසානයේ දී එවැනි චිත්ත දහහතක් එකතු වී සංස්කරණය කරන ලද සියළු තොරතුරු නැවතත් සංස්කරණය කර අපට ඊනියා වස්තුවක්, රූප කලාපයක් ලබා දෙනවා විය යුතු ය. මෙහි දී පොත පතෙහි රූපය යනුවෙන් නොව රූප කලාපය යන්න යොදා ගෙන තිබීම වැදගත් වේ යැයි සිතමි. රූපය යන වචනය වෙනුවට රූප කලාපය යන්න යොදා ගැනීමෙන්, ඊනියා වස්තුවක් යනු චිත්ත දහහතකට හසුවන කලාපයක් මිස එක් චිත්තයකට පමණක් හසුවන රූපයක් නොවේ ය යන්න ගම්‍ය වෙයි.

නිව්ටෝනීය වස්තුවක එක විට පිහිටීම මෙන් ම ගම්‍යතාව ද මැනගැනීමට හැකි යැයි අපි කියමු. එනම් මේ රූප කලාපයෙහි අප විසින් සකස්කර ගන්නා ලද වස්තුවෙහි පිහිටීම මෙන් ම ගම්‍යතාව ද ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් එම රූප කලාපයෙහි වස්තුවේ පිහිටීම මෙන් ම ගම්‍යතාව ද සකස් කෙරී ඇත. එය චිත්තක්‍ෂණ දහහතක කාලයක සිදු වන්නේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. මෙහි දී වැදගත් වන්නේ එය චිත්තෂණයක දී සිදු නොවී චිත්තක්‍ෂණ දහහතක දී සකස් කරගැනීමට කල් වේලා දී තිබීම ය. එහෙත් චිත්තක්‍ෂණ දහහතකට අඩුවෙන් ගතහොත් අපට ඊනියා වස්තුවේ ගුණ සියල්ල දැනගත හැකි ද?

චිත්තක්‍ෂණයක් පමණක් නොව චිත්තක්‍ෂණ දහහතක් යනු ද ඉතා සුළු කාලයකි. ඒ සුළු කාලයෙහි අපට නිව්ටෝනීය වස්තුවක පිහිටීම ගම්‍යතාව ආදී ගුණ මැණගත හැකි ය. එනම් අපට ඒ කාලයෙහි ඒ සියළු ගුණ සහිත වස්තුවක් සකස්කර ගත හැකි ය. එහෙත් එයට අඩු චිත්තක්‍ෂණ ප්‍රමාණයක දී අපට මුළු වස්තුව ම නිරීක්‍ෂණය කළ නො හැකි ය. අපට කළ හැකි වන්නේ එක්කෝ ගම්‍යතාව නොමැතිව පිහිටීම පමණක් සකස්කර ගැනීමට ය. නැතහොත් පිහිටීම නොමැතිව ගම්‍යතාව පමණක් සකස්කර ගැනීමට ය. එනම් එක්කෝ ගම්‍යතාව නොමැතිව පිහිටීම පමණක් නිරීක්‍ෂණය කිරීමට ය. නැතහොත් පිහිටීම නොමැතිව ගම්‍යතාව පමණක් නිරීක්‍ෂණය කිරීමට ය.

නිව්ටෝනීය වස්තුවක් හෙවත් රූප කලාපයක් චිත්තක්‍ෂණ දහහතක දී සකස්කර ගත හැකි ය. අනෙක් පැත්තට චිත්තක්‍ෂණ දහහතක දී නිව්ටෝනීය වස්තුවක් හෙවත් රූප කලාපයක් සකස්කර ගත හැකි ය. ඒ එසේ නම් ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක් ද? සාමාන්‍ය මිනිසකුට රූප කලාපයක් ග්‍රහණය කර ගැනීමට, එනම් රූප කලාපයක් සකස්කර ගැනීමට චිත්තක්‍ෂණ කීයක් අවශ්‍ය ද? එය චිත්තක්‍ෂණ දහහත ද? චිත්තක්‍ෂණ දහහතකින් පමණක් සකස්කර ගත නොහැකි රූප කලාප වේ ද? එමෙන් ම යම් කිසි රූප කලාපයක් ග්‍රහණය කර ගැනීමට හෙවත් සකස්කර ගැනීමට චිත්තක්‍ෂණ දහහතකට වඩා අවශ්‍ය වේ නම් සාමාන්‍ය මිනිසකුට එය තනි රූප කලාපයක් ලෙස සකස්කර ගැනීමට නො හැකි ද?

මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු අපි නො දනිමු. මේ ප්‍රශ්න සමහර විට ඉතිහාසයේ කෙදිනකවත් නොඅසන ලද ප්‍රශ්න විය හැකි ය. අපට කළ හැක්කේ දැනට යම් පිළිතුරු යෝජනා කිරීම පමණකි. ඇතැම් විට අපට ඒ පිළිතුරු පමණක් නොව ප්‍රශ්න ද වෙනස් කිරීමට සිදුවනු ඇත. චිත්තක්‍ෂණ දහහතක් යනු රූප කලාපයක් සකස්කර ගැනීමට යන කාලය වන්නේ සාමාන්‍ය වස්තුන් හෙවත් බටහිර භෞතික විද්‍යාවේ නිව්ටෝනීය වස්තුන් ලෙස සැලකෙන වස්තු සකස්කර ගැනීමේ දී විය හැකි ය. ඇතැම් විට ඇතැම් නිව්ටෝනීය වස්තුවක් චිත්තක්‍ෂණ දහහතකට අඩු කාලයක දී සකස්කර ගත හැකි දැයි කීමට නො දනිමු. එහෙත් චිත්තක්‍ෂණ දහහතකින් යම් රූප කලාපයක් සකස්කර ගැනීමට නොහැකි නම් එයින් කියැවෙන්නේ ඒ රූප කලාපය “අඩු පාඩු” සහිත ව මනස විසින් ග්‍රහණය කරනවා විය හැකි ය. ක්වොන්ටම් අංශුවක් යනූ එසේ චිත්තක්‍ෂණ දහහතකින් සකස්කර ගැනීමට නොහැකි රූප කලාපයක් විය හැකි ය.

මේ චිත්තක්‍ෂණ දහහත යන්නෙහි යම්කිසි විශේෂිත ලක්‍ෂණයක් ඇතැයි සිතිය හැකි ය. චිත්තක්‍ෂණ දහහතකින් රූප කලාපයක් සකස්කර ගැනීමට නොහැකි නම් චිත්තක්‍ෂණ විස්සකින් නැත්නම් විසිපහකින් රූප කලාපය සකස්කර ගැනීමට නොහැකි දැයි කිසිවකුට ප්‍රභ්න කළ හැකි ය. එසේ නොකළ හැකිය යන්න අපට දැනට සංගත ව සකස්කර ගත හැකි පිළිතුර වෙයි. ඇතැම් විට චිත්තක්‍ෂණ දහහතෙන් පසු නැවතත් චිත්තක්‍ෂණ පේළියක් ආරම්භ වනවා විය හැකි ය. එසේත් නැතහොත් අපට සිතාගත නොහැකි, එනම් දැනට මනසට සාපේක්‍ෂව සකස්කර ගත නොහැකි වෙනත් කරුණක් හේතුකොට ගෙන එසේ වනවා විය හැකි ය.

ක්වොන්ටම් අංශුවක් අපට ඇසට නො පෙනෙයි. එහි තේරුම අප කෙතෙක් වේලා නිරී’්ක්‍ෂණය කළත් අපට අදාළ රූප කලාපයක් සකස්කර ගත නොහැකි බව ය. එනම් චිත්තක්‍ෂ’ණ කොපමණ සංඛ්‍යාවක් ගතවුවත් අපට ක්වොන්ටම් අංශුවක් පිළිබඳ චක්ඛු විඤ්ඤාණයක් ඇතිකර ගත නොහැකි බව ය. අපි ක්වොන්ටම් අංශු සෘජුව නිරී්ක්‍ෂ’ණය නොකරමු. ක්වොන්ටම් අංශුවක් තවත් අංශුවක් සමග ගැටී යන ගමන්මග රසායනික ද්‍රව්‍යයක් ගැල්වූ සේයා පටයක අපට දැකගත හැකි ය. එසේත් නැතහොත් අංශුව වෙනත් තිරයක් මත පතිත වී නීිර්මාණය වන තිතකින් (ප්‍රතිබිම්බයකින්) අපට ක්වොන්ටම් අංශුව “ දැකගත” හැකි ය.

එයට හේතුව සාමාන්‍ය තත්වයන් යටතේ ක්වොන්ටම් අංශුවක පිහිටීම නිරීක්‍ෂණය කර නොමැති විටෙක එය පිහිටුම් රාශියක් ගන්නා බැවින් යැයි අපි සිතමු. ඒ අප සකස්කර ගන්නා පිළිතුරක් මිස අන් කිසිවක් නො වේ. පිළිතුර සකස්කර ගත යුත්තේ එය එවැනි සෑම අවස්ථාවකට ම ගැලපෙන පරිදි සංගත ව ය. එසේ නැතිව එක් එක් අවස්ථාවට ගැලපෙන ආකාරයෙන් පිළිතුරු රාශියක් වේ නම් ඒ පිළිතුරුවලින් අපට ප්‍රයෝජනයක් නොමැත. එකම අංශුවක් යැයි කිව හැකි දෙයක් කිහිප තැනක ඇත්නම් අප එය දැකගන්නේ කෙසේ ද? අප ඒ පිළිබඳ චක්ඛු විඤ්ඤාණයක් ඇතිකර ගන්නේ කෙසේ ද? එහෙත් මේ පිළිතුරෙහි යම් වාස්තවික බවක් ඇති බව ඒ පිළිබඳ තරමක් කල්පනා කිරීමෙන් පැහැදිලි වනු ඇත. ක්වොන්ටම් අංශුවලට නිව්ටෝනීය අංශුවලට නැති වාස්තවිකත්වයක් තිබිය නො හැකි ය.

Saturday, 14 January 2012

සාධාරණීකරණයක් පමණක් වූ වාස්තවිකත්වය

අපට බොහෝ විට වස්තුවක් එක් ඉන්ද්‍රියකට වඩා ගෝචර වෙයි. අප ඉදිරියේ ඇති පොතක් අපට ස්පර්ශ කළ හැකි ය. එය අපේ ඇස්වලට ද ගෝචර වෙයි. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ රස ආදිය ද දැනගත හැකි ය. එයින් පිටවන ශබ්දයක් අපට නොදැණුන ද, පොත අඩු තරමෙන් මනස සමග එකතු වූ ඉන්ද්‍රිය හතරකට දැනෙයි. ඒ ඉන්ද්‍රිය හතරට ම ගෝචර වන්නේ එකම එක පොතකි. එපමණක් නොව බටහිර දැනුම අනුව පොතෙන් නිකුත්වන ඊනියා සංජානන ඉන්ද්‍රිය හතරකට ගෝචර වෙයි. බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පොත අපෙන් තොරව ඇති බවත් එයින් අපට යම් සංජානන ලැබෙන බවත් කියැවෙයි. ඒ සංජානන සියල්ල එකම පොතකින් ලැබෙන බව අපට බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි ඉගැන්වෙයි.

එහෙත් ඒ සංජානන සියල්ල එක්වර ලැබිය යුතු යැයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නො කියැවෙයි. අපට ආසන්නයෙහි ඇතිවිට නිතර ම පොත පෙනෙන නමුත් අපට එය ස්පර්ශ නො වෙයි. අප පොත ස්පර්ශ කිරීිමෙන් පමණක් අපට ස්පර්ශය ඔස්සේ පොත ඇති බව, එනම් පවතින බව, දැනගත හැකි ය. ආලෝකය ඇත්නම් අපට සමගාමීව පොත දැකගත හැකි ය. එහෙත් අඳුරෙහි අපට පොත නොපෙනුනත් පොත ස්පර්ශ කළ හැකි ය. එපරිදි ම පෙතෙහි ගඳ සුවඳ රස ආදිය දැනගැනීම සමගාමීව ම විය යුතු නො වේ. එසේ සමගාමීව නොවුණත් බටහිර දැනුමට අනුව ඒ සංජානන ලැබෙන්නේ එකම පොතකින් යැයි අපි කියමු. මෙහි දී වැදගත් වන්නේ ඒ ඒ ඉන්ද්‍රියට එකම වස්තුවකින් ලැබෙන සංජානන සමගාමී නොවුණ ද ඒ එකම වස්තුවක් යැයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නිගමනය වීම ය.

මෙය එක් අතකින් ගත්කල බටහිර ද්‍රව්‍යවාදී දැනුමට පමණක් සීමාවූවක් නො වේ. අපෙන් තොරව වස්තු ඇතැයි ගන්නා ඕනෑම දැනුම් පද්ධතියක විවිධ ඉන්ද්‍රියයන්ට දැනෙන සමගාමී නොවන සංජානන මගින් එකම වස්තුවක් ඇති බව නිගමනය වෙයි. අනෙක් අතට එකම ඉන්ද්‍රියයකට දැනෙන සමගාමී නොවන සංජානන ද එකම පොතකින් ලැබෙන්නේ යැයි ඒ දැනුම් පද්ධතිවල නිගමනය වෙයි. අප පොත ඇති බව ඇසින් දැක තවත් පැයකින් පසුව පැමිණ පොත දුටුව ද ඒ පොත් දෙකක් නොව එකම පොතක් යැයි අපි නිගමනය කරමු.

ඇතැම් විට අප ආපසු පැමිණෙන විට වෙනත් කිසිවකු එය වෙනත් තැනකින් තබා තිබෙන්නට හැකි ය. එහෙත් යම් යම් ලකුණුවලින් ඒ එකම පොත යැයි හඳුනාගැනීමට අපට බාධාවක් නො වේ. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි මේ වෙනස් නොවන වස්තුව යන්නට වැදගත්කමක් ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයට අනුව යම් වස්තුවකට බලයක් යෙදුවිට යම් අවස්ථිති රාමුවක වස්තුව ත්වරණයක් සහිත ව චලනය වෙයි. වස්තුවේ පිහිටීම වෙනස් වුව ද අපෙන් තොරව වස්තුවක් ඇති බව හා වස්තුව වෙනස් නොවන බව අපි උපකල්පනය කරමු.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඇතැම් විට වෙනස්වන ස්කන්ධ සහිත වස්තු පිළිබඳ අධ්‍යයනය කෙරෙයි. එහෙත් ස්කන්ධය වෙනස් වුව ද මුල සිට අග දක්වා ම ඇති යම් ස්කන්ධයක් සහිත වස්තුවක් ඇතැයි එහි දී උපකල්පනය කෙරෙයි. ඇතැම් විට අවසානයේ දී වස්තුවේ ස්කන්ධය ශූන්‍ය විය හැකි ය. එහෙත් ඒ දක්වා ම වෙනස් නොවන වස්තුවක් ඇතැයි නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි උපකල්පනය කෙරෙයි. වෙනස් නොවන වස්තුවල වාස්තවික පැවැත්ම, එනම් නිරීක්‍ෂකයාගෙන් තොරව හුදු වස්තු ලෙස පැවැත්ම බටහිර විද්‍යාවෙහි මුල් ගලක් ලෙස සැලකිය යුතුවෙයි.

එක්විට නොලැබුණ ද විවිධ ඉන්ද්‍රිය හා ඇතැම් විට යම් කාල පරාසයක එකම ඉන්ද්‍රියයක් ඔස්සේ ලැබෙන සංජානන වෙනස් නොවන එකම වස්තුවකින් ලැබේ ය යන්න තවත් විස්තර කළ යුතු වෙයි. යම් වස්තුවක් දිරාපත් වී ඇතැයි අපි කියමු. මෙයින් අදහස් වන්නේ කුමක් ද? වස්තුවේ දෘශ්‍යමානය වෙනස් වී ඇතැයි මෙහි දී උපකල්පනය කෙරෙයි. එහෙත් දිරාපත් වූ වස්තුව හා කලින් තිබූ වස්තුව යනු වස්තු දෙකක් නොව එක් වස්තුවක් පමණක් බව අපි දිගින් දිගට ම උපකල්පනය කරමු. දිරාපත්වන වස්තුව යන්නෙන් වස්තුවේ වෙනස්වීමක් ගැන කියැවෙන්නේ යැයි කිසිවකුට සිතෙන්නට හැකි ය. එහෙත් ඒ එසේ නො වේ.

දිරාපත්වන වස්තුව යන්නෙන් වෙනස්වීමක් හැඟුණ ද ඒ වෙනස්වීම පිටුපස වෙනස් නොවන ආත්මයක්, සාරයක් ඇතැයි මෙයින් කියැවෙයි. ඒ සාරය හෙවත් ආත්මය වෙනස් නො වෙයි. වෙනස්වන්නේ සාරය හෙවත් ආත්මය නොව ඒ වටා ඇති යම් දෘශ්‍යමානයක් බව මෙහි දී උපකල්පනය කෙරෙයි. වස්තුවක වෙනස්වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ම වෙනස් නොවන වස්තුවක් සාරයක් ආත්මයක් ඇති බව ය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පමණක් නොව සියළු ආත්මවාදී දැනුම්වල මේ වෙනස් නොවන ආත්මය යන්න අන්තර්ගත වෙයි. එපමණක් නොව ඊනියා ක්‍ෂණයකට හෝ පවතින වස්තුවක්, පුද්ගලයකු, චිත්තයක්, මනසක්, විඤ්ඤාණයක, ධර්මයක් ගැන ඉගැන්වෙන සියළු ආගම්, ධර්ම ක්‍ෂණවාදී ව වුවත් ආත්මවාදී වෙයි.

ක්‍ෂණවාදී ආත්මවාදී දහම් හා අනෙක් ආත්මවාදී දැනුම් අතර මූලික වෙනස්කමක් නැති බව කණගාටුවෙන් වුව ද කිවයුතු ය. ඒ දැනුම් අතර ඇති වෙනස ආත්මය පවතින්නේ, එනම් වස්තුවක හෝ සත්වයකුගේ හෝ සාරය පවතින්නේ කෙතරම් කාලයකට ද යන්න පිළිබඳ ව ය. සදාතනික ආත්මවාදීහු නොනැසෙන සදාකාලික ආත්මයක් ගැන කියති. ඒ ආත්මය පුද්ගලයන්, සත්වයන් සම්බන්ධයෙන් නම් මරණයෙන් මතු ද වෙනස් නොවෙයි. ඇතැම් ආගම්වලට අනුව ඒ ආත්මය සදාකාලික ස්වර්ගයේ හෝ සදාකාලික අපායේ හෝ සැපත් වෙයි. තවත් ආගමක ඒ ආත්මය බ්‍රහ්මන් සමග එක්වෙයි. ඇතැම්හු, අද්වෛත වේදාන්තවාදීහු එසේ ආත්මය හා බ්‍රහ්මන් යනුවෙන් දෙකක් ලෙස සැලකීම ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට අනුව එසේ වෙනස් වන්නේ යැයි ගැනීම නිසා ම සත්වයා සංසාරයේ සැරිසරයි. එසේ වෙනස් යැයි සැලකෙන්නේ මායාව නිසා ය. අවශ්‍ය වන්නේ මායාව නැතිකිරීම ය. මායාව නැතිකිරීමෙන් බ්‍රහ්මන් හා ඊනියා පුද්ගල ආත්මය අතර වෙනසක් නොමැති බව වැටහෙයි. එය අද්වෛත වේදාන්තවාදීන්ගේ විමුක්තිය වෙයි.

ක්‍ෂණයකට වුව ද ආත්මයක්, ධර්මයක්, චිත්තයක් ආදී වශයෙන් පවතින්නේ යැයි ගැනීම මහත් මුළාවකි. එහි දී පැන නගින ප්‍රධාන ම ප්‍රශ්නය නම් ක්‍ෂණයක් යනු කුමක් දැයි දැනගැනීම ය. ක්‍ෂණයක් ඇතිවීමට, තිබීමට නම් කාලය යනුවෙන් යමක් පැවතිය යුතු ය. ක්‍ෂණයක් යනු අනන්ත හෝ පරිමිත හෝ කාලයක කුඩා කොටසක් විය යුතු ය. එය කෙතරම් කුඩා දැයි කිවහැකි අයකු නැත. එහෙත් ක්‍ෂණය කෙතරම් කුඩා වුවත් එය පරිමිත හෝ අපරිමිත හෝ යම් කාල පරාසයක කොටසකි. දැන් ප්‍රශ්නය වනුයේ කාලය යනු කුමක් ද යන්න ය. බුද්ධඝෝෂ හිමියන්ට අනුව කාලය යනු පඤ්ඤත්තියක් පමණකි. එය අප විසින් පණවනු ලබන්නකි. කාලය යන්න අප විසින් පණවනු ලබන්නක් වන විට ක්‍ෂණය යනු කුමක් ද? එවිට ඊනියා ධර්ම පවතින්නේ ද අප විසින් පණවනු ලබන කාල පරිච්ඡෙදයක ය. අප විසින් පණවනු ලබන කාල පරිච්ඡෙදයක අපෙන් තොර ඊනියා ධර්ම පවතින්නේ කෙසේ ද? අනෙක් අතට එසේ පැවතුණු ධර්මයට ක්‍ෂණය අවසානයේ දී කුමක් සිදුවේ ද? එය වැනසෙන්නේ ද? එවිට ඒ දැනුම උච්ඡෙදවාදී වෙයි.

වස්තුවක පැවැත්ම, එනම් නිරීක්‍ෂකයාගෙන් තොරව වස්තුවක පැවැත්ම කිසියම් ආකාරයකට වුව ද ගැනීම ආත්මවාදී වෙයි. එහෙත් විවිධාකාර ද්‍රව්‍යවාදීහු එසේ වස්තු පවතින්නේ යැයි ගනිති. මේ ඊනියා වස්තු පිළිබඳ හැදෑරීම බටහිර විද්‍යාවේ විද්‍යාත්මක ව කෙරෙන්නේ යැයි කියනු ලැබේ. අප බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇති පරිදි මනසක් සහිත නිරීක්‍ෂකයකුගෙන් තොරව ඊනියා වාස්තවික යථාර්ථයක පැවැත්ම මනසකින් තොරව පෙන්වා දිය හැක්කකු මෙදියත නැත. වාස්තවිකත්වය යන්න ම සංකල්පයකි. සංකල්ප සංස්කරණය කෙරෙන්නේ මනසෙහි ය. එවිට මනසකින් තොරව වස්තුවක් පවතින්නේ යැයි පෙන්වීම යනු සංකල්පයකින් තොරව වස්තුවක පැවැත්ම පෙන්වීම ය.

එහෙත් වස්තුව පැවැත්ම ආදිය ම සංකල්ප වෙයි. සංකල්ප නොමැතිව පෘථග්ජන අපට කළහැකි කිසිවක් නැත. සංකල්පවල කිසිම හරයක් (සාරයක්) නොමැති වුවත් සංකල්පීය ලෝකය ශූන්‍ය වුවත් අපට සංකල්ප සංස්කරණය නොකර සිටිය නො හැකි ය. ඒ අපේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. එම් අනිත්‍ය, දුක්ඛ අනාත්ම අනාවබෝධය හේතුකොට ගෙන ය. අපේ අවිද්‍යාව හේතුකොට ගෙන අපි සංකල්ප නිර්මාණය කරමු. ඉන්පසු අපේ ඒ නිර්මාණ අපෙන් තොරව පවතින ඊනියා වාස්තවිකත්වයක් බවට පත්කර ගන්නෙමු.

මේ වාස්තවික පැවැත්ම යන්න සාධාරණීකරණයකි. නිරීක්‍ෂකයාගෙන් තොරව යම් යම් දේ (වස්තු) පවතින්නේ යැයි ගැනීම පදනම් වන්නේ ම නිරීක්‍ෂණ මත ය. එසේ වස්තු පවතින්නේ යැයි ගන්නෝ ද නිරීක්‍ෂකයෝ ම වෙති. අපෙන්, එනම් නිරී’ක්‍ෂකයාගෙන් තොරව වස්තු ඇතැයි ගැනීමට ඉඩ සලසා ඇත්තේ පංචෙන්ද්‍රිය සහිත මිනිසුන්ට මනස ආධාරයෙන් එකම දේ පෙනෙන්නේ යැයි ගෝචර වන්නේ යැයි සැලකීම ය. උදාහරණයක් ලෙස මල යන සංකල්පය අප සියළු දෙනාට ම පොදු යැයි අපි සිතමු. අපි සියළු දෙනා ම මල් දකිමු. එහි සුසිනිදු බව ප්‍රත්‍යක්‍ෂ කරමු. මල් දකින සියළු දෙනාම එකම මල් දකින්නේ යැයි අප උපකල්පනය කරන්නේ අප සියළු දෙනාට ම එකම ඉන්ද්‍රිය ඇති බැවින් හා බොහෝ විට එකම ආකාරයේ මනස් ඇති බැවිනි.

අප එකිනෙකා දකින්නේ එකම මල් නොවන බව අපි නො දනිමු. බෞද්ධයන්ට මල් යනු බුදුන් වහන්සේට පූජා කෙරෙන දෙයකි. එහෙත් ක්‍රිස්තියානි භක්තියන්ට මල් එලෙස නො පෙනෙයි. එසේ තිබිය දී අපි සියළු දෙනාට ම එකම මල් පෙනෙන්නේ යැයි අපි කියමු. එපමණක් නොව මේ මල් අප ඉපදීමට පෙර ද පසුව ද ඇතැයි අපි ගනිමු. මලක් යනු අප සමග ඇති වී අප සමග නැති වී යන්නක් නො වේ. මේ නිරීක්‍ෂණ කෙරෙන්නේ ද මනස ආශ්‍රිතව සංකල්පීය වශයෙන් බව අපට අමතක වෙයි. දැන් අපි සාධාරණීකරණයක් කරමු. ඒ සාධාරණීකරණය මෙසේ ය. ඕනෑම සාධාරණීකරණයක් යනු වියුක්ත දැනුමක් බව ද අමතක නොකළ යුතු ය.

අප සියළු දෙනාට ම එකම මල් ගෝචර වන්නේ නම් අප නැති කල ද මල් පවතින්නේ නම් මල් අපේ නිරීක්‍ෂණයක් වුව ද එය අපෙන් ස්වායත්ත විය යුතු ය. අපට පමණක් නොව අපට පෙර උපන් අයට ද අපෙන් පසුව උපදින අයට ද මල් ගෝචර වන්නේ අපට ගෝචර වන ආකාරයට ය. ඒ හේතුවෙන් මල්වලට අපෙන් ස්වායත්ත පැවැත්මක් ඇත. එනම් මල්වලට ස්වායත්ත නිරපේක්‍ෂ වාස්තවික පැවැත්මක් වෙයි. එහෙත් මෙහි ඇති සරදම නම් අපෙන් තොරව ද මල්වලට ඇති පැවැත්ම අපට නිරීක්‍ෂණය වන ආකාරයෙන් ම වීම ය. අපට පෙනෙන විවිධ පැහැය සහිත මල් ඒ විවිධ පැහැයෙන් ම සුසිනිදු බවකින් යුක්තව අපෙන් ෙීාරව ද පවතින්නේ යැයි අපි සිතමු. අප කර ඇත්තේ අපේ නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක්කිරීමක් පමණකි. ඊනියා වාස්තවිකත්වය යනු මනස් සහිත අපේ නිරීක්‍ෂණවල ම සාධාරණීකරණයක් වෙයි.

Saturday, 26 November 2011

සන්නිකර්ෂණයේ හා වාස්තවිකත්වයේ පරස්පරය

බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් මෙරට වපුරා තිබූ මිථ්‍යා මත අද එකින් එක පුපුරා යමින් පවතිනු දැකිය හැකිය. අද බටහිර වෛද්‍ය විද්‍යාවේ (බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව යනු බටහිරයන්ගේ ම අර්ථයෙන් ගත්කල බටහිර තාක්‍ෂණ පමණකි) මහාචාර්යවරුන්ට බටහිර විද්‍යාව ගැන කීමට ඇත්තේ එහි විශ්වාසනීයත්වය හා එය යොදා ගැනීමට හැකි වීම පමණ ය. එහෙත් කලකට පෙර මේ මහාචාර්යවරු බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යතාව, එහි ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය, එය සත්‍යය කරා ළඟාවීම, එහි වාස්තවිකත්වය, සර්වත්‍රභාවය ආදිය ගැන මහත් ආඩම්බරයෙන් කතා කළහ. එහෙත් අද ඔවුන්ට ඒ ගැන කතාකිරීමට නො හැකි වී ඇත.

බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එයට විශේෂිත වූ වැදගත්කමක් නැති බවත් එය යම් සංස්කෘතියක හා චින්තනයක බිහි වී ඇති බවත් එය අද පවතින්නේ මූලික වශයෙන් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ දේශපාලන ආධිපත්‍යය මත බවත් මේ දැනුම් ආධිපත්‍යය යුරෝපීය වැඩවසම් යුගයේ කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යයට වඩා බෙහෙවින් ශක්තිමත් බවත් අප වටහා ගතයුතු ය. කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යය එහි අනෙක් ආධිපත්‍ය මෙන් ම එක් පුද්ගලයකු, එනම් පාප් වහන්සේ, වටා ගොඩනැගිණි. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම් ආධිපත්‍යයට නායකයකු නැත. එය ලෝ පුරා පවත්වාගෙන යන්නේ විවිධ ආයතන, ඊනියා ශාස්ත්‍රීය සංගම්, විශ්වවිිද්‍යාල, පාසල් හා ජනමාධ්‍ය ඔස්සේ ය. නායකයකු නැති ව්‍යාපාරයකට පහර දීම පහසු නො වේ.

මාටින් ලූතර්ට පාප්වහන්සේ විවේචනය කර පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැදීමට හැකි විය. එමෙන් ම මාටින් ලූතර් එවකටත් ඉතාලියේ හා දකුණු යුරෝපයේ බිහිව තිබූ සාමූහිකත්වයට එරෙහිව පෞද්ගලිකත්වයට ප්‍රධාන තැන ලබා දෙන සමාජ ක්‍රමයක් බිහිකිරීමේ ව්‍යාපාරය මත පදනම් විය. අද අප අපේ සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමේ දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විසින් පෝෂණය කෙරුණු මිනිසුන්ගේ පෞද්ගලිකත්වය හා වෙනත් ලක්‍ෂණ අපට එරෙහිව ක්‍රියා කරනු දැකිය හැකි ය. එමෙන් ම එහි දී ලන්ඩනයේ රාජකීය සංගමය (Royal Society of London) යනුවෙන් හැඳින්වෙන සංගමයේ හා එහි ආකෘතිය අනුව විවිධ රටවල හා විවිධ ක්‍ෂෙත්‍රවල ගොඩනගා ඇති ශාස්ත්‍රීය සංගම්වල ආධිපත්‍යය මෙන් ම විශ්වවිද්‍යාලවල හා වෙනත් එවැනි ආයතනවල ආධිපත්‍යය ද අපට එරෙහිව අවි අමෝරා ගෙන සටන් වදියි.

පසුගිය දා නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සම්බන්ධ කරගනිමින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතු කාරකය (අනෙක් හේතු වනුයේ රජරට ප්‍රදේශයේ ඇති පස හා කිවුල් ජලය ය. වකුගඩු රෝගය පැතිර යෑමට ඒ හේතු සියල්ල කාරක වෙයි) බටහිර කෘෂිවිද්‍යාව ඔස්සේ අප මත පටවා ඇති කෘෂි රසායනිකවල ඇති ආසනික් බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පැවසූ විට මෙරට ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මට විරුද්ධව කළ ප්‍රකාශ හා අපහාස මෙන් ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් නැගුණු විරෝධය කාහටත් මතක ඇතැයි සිතමි. බටහිර විද්‍යාව එයට විරුද්ධව යන කිසිවකට හෝ කිසිවකුට හෝ අබමල් රේණුවක ප්‍රමාණයක ඉඩක් නො දෙයි. එහෙත් මේ සියළු විරුද්ධතා මධ්‍යයේ අද වන විට රජරට ජලයේ ආසනික් තිබෙන බව හා රජරට වකුගඩු රෝගය ආසනික් විසවීමෙන් වැළඳෙන්නක් බව බටහිර විද්‍යාවන් ආශ්‍රයෙන් ම පෙන්වීමට හැකි වී ඇත. එහි දී ඒ බව අපට කලින් ම දැනුම් දුන් නාථ දෙවියන්ට හා විපස්සක දෙවියන්ට අපේ ප්‍රණාමය ප්‍රකාශ කළ යුතු ය. බටහිර විද්‍යාව පසුපස ගොස් තම රැකියාව තහවුරු කරගැනීමට උත්සාහ කරන නිවට බංකොළොත් පුද්ගලයන් මෙන් නොව අප බටහිර විද්‍යාව යොදාගන්නේ එහි මානව විරෝධී ජඩ බව පෙන්වීමට ය.

බටහිර විද්‍යාව ඊනියා සත්‍යය කරා යන්නේ යැයි දැනගැනීමට කිසිම ක්‍රමයක් නැත. එයට හේතුව අප ඊනියා සත්‍යය යනු කුමක් දැයි නො දැනීම ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන බටහිර විද්‍යාව සත්‍යය කරා ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද? යම් අයුරකින් සත්‍යය යනු කුමක් දැයි දැන සිටියේ නම් එවිට ඒ සත්‍යය දැනගැනීම සඳහා බටහිර විද්‍යාවක් හෝ වෙනත් කිසිම දැනුම් පද්ධතියක් හෝ අවශ්‍ය නො වේ. දන්නා දෙයක් නැවතත් දැනගැනීමට වෑයම් කරන්නේ අහවල් දෙයකට ද?

ඇතැමුන්ට අනුව විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි ය. එමෙන් ම ඔවුන් පවසන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට වඩා සත්‍යයට ආසන්න බව ය. මේ අවස්ථා දෙකෙහි දීම ඔවුන් මතුකරන ප්‍රධාන කරුණ නම් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් ලෙස නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ප්‍රතිඵල ලබාගත හැකිවීමත්, නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි ප්‍රතිඵල සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් වීමත් ය.

එක් ප්‍රවාදයකින් ලබාගත හැකි ප්‍රතිඵලවලින් තවත් ප්‍රවාදයක ප්‍රතිඵල සන්නිකර්ෂණ ලෙස ලබාගත හැකි වුවත් ඉන් ඊනියා සත්‍යයක් ගැන කිසිවක් නො කියැවෙයි. මෙහි දී සන්නිකර්ෂණ යනු බටහිර ගණිතය ආධාරයෙන් බොහෝ විට අනන්ත ශ්‍රේණියක ඇතැම් පද නොසලකා හැරීමෙන් ලබාගන්නා ප්‍රතිඵල වෙයි. එයින් ප්‍රවාදවල උපකල්පන, සංකල්ප, ආදිය පිළිබඳ ව කිසිවක් නො කියැවෙයි. ඊනියා සත්‍යය යනු කිසිම සත්‍යයක් ගැන කතා නොකරණ බටහිර ගණිතයේ සන්නිකර්ෂණ සමග බැඳී ඇත්තක් නම් එවැනි සත්‍යයක් ගැන කතාකිරීමෙන් ඇති ඵලයක් නැත.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය එකිනෙකින් වෙන් ව පවතියි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ එකිනෙක සමග බැඳී ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ වෙයි. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය හා අවකාශ ප්‍රාන්තරය නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වෙයි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ ප්‍රාන්තර නිරීක්‍ෂකයා මත රඳා පවතියි. එක් නිරීක්‍ෂකයකු සිද්ධි දෙක අතර මැනගන්නා කාල ප්‍රාන්තරය ඔහුට සාපේක්‍ෂ ව චලනය වන වෙනත් නිරීක්‍ෂකයකු මැනගන්නා කාල ප්‍රාන්තරයට වෙනස් වෙයි. ඒ නිරීක්‍ෂකයන් දෙදෙනාගේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා කුඩා නම් එවිට ගණිතමය සන්නිකර්ෂණයෙන් ඒ කාල ප්‍රාන්තර දෙක සමාන බව පෙන්විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි හා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සංකල්ප සමාන බව නොවේ. ඒ සංකල්ප අහසට පොළොව මෙන් වෙනස් වෙයි. සංකල්ප කෙසේවත් සන්නිකර්ෂණය කළ හැකි නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි යැයි හෝ සත්‍යයට ආසන්න යැයි හෝ කිව නො හැකි ය.

සාධාරණ සාපේක්‍ෂතාවාදය හා නිව්ටෝනීය ගුරුත්වාකර්’ෂණය ගත්කල ද මෙවැන්නක් සිදුවෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵළ සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් අයින්ස්ටයිනීය ප්‍රවාදයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණයක් නැත. එහි පොල් පොළොව කරා ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් නිසා නොව අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. අවකාශ කාලයෙහි වක්‍රතාව හා ගුරුත්වාකර්ෂණය යනු එකකින් අනෙක සන්නිකර්ෂණය කළහැකි සංකල්ප නො වේ. ඒ එක් එක් අවස්ථාවෙහි දී එක් ප්‍රවාදයක් අනෙක් ප්‍රවාදයට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය. ඒ ඒ ප්‍රවාදවල යොදාගන්නා සංකල්ප අතර කිසිම වූ සම්බන්ධයක් නැත. අවකාශය හා කාලය වෙනුවට අවකාශ කාලයත් ගුරුත්වාකර්ෂණ බලය හෝ ක්‍ෂෙත්‍රය හෝ වෙනුවට අවකාශ කාලයේ වක්‍රතාවත් ආදේශ කළ හැකි සංකල්ප නො වේ. සංකල්පීය වශයෙන් කිසිම සමානකමක් නොමැතිව එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය.

බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත (abstract) ප්‍රවාද වෙයි. එහි ඇත්තේ වියුක්ත සංකල්ප ය. එහෙත් වියුක්ත ප්‍රවාද යනු ඊනියා වාස්තවික (objective) ප්‍රවාද නො වේ. වියුක්තය ඇතිවන්නේ සංයුක්තයට එරෙහිව ය. සංයුක්ත සංකල්ප, ප්‍රවාද ආදිය ඉන්ද්‍රිය ගෝචර වෙයි. එනම් බටහිර විද්‍යාවේ දී පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. බටහිර විද්‍යාව මනස ඉන්ද්‍රියයක් ලෙස නොසැලකුව ද, මනස නොමැතිව හුදෙක් පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් සංකල්ප නිර්මාණය කරගත නො හැකි ය. දැනුම නිර්මාණයේ දී මනසෙන් වන සුවිශේෂ කාර්යය නොසලකා හරින බටහිර විද්‍යාව ඒ නිසා ම ප්‍රතිවිරුද්ධතාවල සිරවෙයි.

වියුක්ත සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. එහි දී අනෙක් ඉන්ද්‍රියයන් භාවිතා නො වේ. සරල රේඛාවක් යනු වියුක්ත සංකල්පයකි. එහි රූපයක්, ප්‍රතිබිම්බයක් මනසෙහි නිර්මාණය කරගත නො හැකි ය. සරල රේඛාවක් යනු පොතක පතක ඇඳිය හැකි භූතාර්ථයක් නො වේ. එහෙත් පුටුව, මේසය, බල්ලා වැනි සංයුක්ත සංකල්ප ඇතිවන්නේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වස්තු සම්බන්ධයෙනි. මේ වෙනස අපේ ප්‍රවාද ලිපිවල බොහෝ අවස්ථාවල සාකච්ඡා කෙරී ඇති බැවින් තවදුරටත් ඒ විස්තර කළ යුතු යැයි නො සිතමි.

වියුක්ත සංකල්පයක් වුව ද ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ විය හැකි ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට, එනම් ඇතැම් පුද්ගලයන්ට වියුක්ත සංකල්ප එතරම් හොඳින් ග්‍රහණය කරගත හැකි නො වේ. වියුක්ත වුවත් ඒ ඒ නිරීක්‍ෂකයාට, සංකල්ප, ප්‍රවාද ආදිය, ආත්මීය (පුද්ගල නිශ්‍රිත) විය හැකි ය. සංයුක්ත සංකල්ප සෑම අවස්ථාවක ම නීිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වන අතර වෙනස් වෙයි. ඇතැම් වියුක්ත සංකල්ප ද එලෙස ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. එනම් ඒ වියුක්ත සංකල්ප ඒ ඒ පුද්ගලයාගේ, නිරීක්‍ෂකයාගේ මනසට සාපේක්‍ෂ වෙයි. එවැනි සංකල්ප වියුක්ත වුවත් ආත්මීය වෙයි.

එහෙත් බටහිර විද්‍යාවෙහි ඊනියා වාස්තවික දැනුම් ද වෙයි. ඒ දැනුම් අනිවාර්යයෙන් ම වියුක්ත වන අතර නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වේ යැයි බටහිරයෝ උපකල්පනය කරති. ඊනියා සාර්වත්‍ර නියම (universal laws) මේ වාස්තවික දැනුම්වලින් කොටසකි. බටහිර විද්‍යාවට අනුව නිව්ටෝනීය අවකාශය වාස්තවික වෙයි. ඒ අවකාශය සියළු නිරී’ක්‍ෂකයන්ට පොදු වෙයි. සියළු නිරීක්‍ෂකයෝ අවකාශයෙහි සිද්ධි දෙකක් අතර අවකාශ ප්‍රාන්තරය සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙති. එහෙත් බටහිර විද්‍යාව ඒ බව දන්නේ කෙසේ ද? ඇතැම් නිරීක්‍ෂකයන්ට වියුක්ත සංකල්ප පවා අවබෝධ නොවන තත්වයක, සියළු නිරීක්‍ෂකයන් ඇතැම් වියුක්ත සංකල්ප සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට බටහිර විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් දෙන්නේ කෙසේ ද?

Saturday, 10 September 2011

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්

මෙරට විශ්වවිද්‍යාල හයක් කඩිමුඩියේ ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්වයට පත්කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව ද ඒ සමග පැවසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්ථාවෙහි මට මතක් වූයේ අවුරුදු හතළිස් අටකට පෙර මා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිිද්‍යාලයේ බටහිර විද්‍යා පීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුල් වී වැඩිකල් නොගොස් අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක් මෙසේ ය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රී ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නො සිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක් උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු බීපු වෙලාවට කී අමන බයිලාවක් ලෙස අමතක කළ හැකි නො වේ. සමස්ත සරසවි ජීවිතය ම එහි ගැබ් වී තිබිණි යැයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් බව ය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්ඩප දෙකක් විය. එකක් පේරාදෙණියේ හන්තාන කඳුපාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහි ම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්ථාව ලැබිණි.

ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් නොවූ බව මම වැඩිකල් නොගොස් ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නො වේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහිකර ඇත. එහෙත් අනෙක් විෂයන් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික් සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොන තරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇතිවුවක් නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටවූ අවධියේ සිට ම දක්නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයක වුවත් නව සංකල්පයක් ප්‍රවාදයක් බිහිකළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවති සමුළුවක දී සංකාර යන්නට නව අර්ථකථනයක් දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්න ය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම් එකතුකිරීමට නො වේ. යම් කරුණක් පිළිබඳ ව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතුකර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් යැයි මම කිසිසේත් නො කියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහිකර ගත හැකි නො වේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිනොවන බව උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කළ යුතු ය. ඇදුරන්ගේ වැටුප් වැඩිකිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිකළ හැකි නො වේ. ඇල්බට් අයින්ස්ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට් කාර්යාලයක සේවය කළ අයකු ලෙස ය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්වයට පැමිණ සිටියේ ස්‍රළු වැටුපකට පේටන්ට් කාර්යාලයෙහි සේවය කරමින් සිටිය දී ය. අයින්ස්ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක් නො වේ. පහසුකම් පිළිබඳ තත්වය ද එසේම ය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක් වැයවන බව සැබෑ ය. එහෙත් ලෝක පූජිත අදහස් බිහිකිරීමට ලෝක මට්ටමේ පහසුකම් අවශ්‍ය නො වේ.

අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස් (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහිකරන්නන් නො වීම ය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. එක් කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක් ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැගීමට ය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දැලා යැයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින් ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලුහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා ඒ අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්වරයකු (අද මේ තනතුරු නැත) ලෙස ගතකළ ආටෝප සහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයන් කොටසක් ශාස්ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිට ම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමට ය. ඔවුන් සියළු දෙනා ම අයින්ස්ටයින්ලා වී යැයි මම නො කියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වී ය යනු මගේ මතකය වෙයි. ශාස්ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙක ම කෙරෙහි අවධානය යොමුකළ අය ද සිටියහ. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස් පරිසරයට ද ඇතැම්හු ඇළුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින් ම වලංගු නො වේ.

මට ද අවුරුදු පහළොවේ සිට ම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු වීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස් ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිට ම මට විය. එය ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් ඔබ්බට ගියේ ය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස් තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක් නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස් ඉදිරිපත් කෙරී නැත. අනෙක් බොහෝ අයගේ නම් බිත්තිවල නොලියැවුණ ද ශාස්ත්‍රීය ගවේෂණය සඳහා යොමු වූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස් බිහි වී නැත. මෙයට හේතු දෙකක් වෙයි. 1921 සිට ම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස් ඉදිරිපත් කිරීම නො වේ. අප නව අදහසක් ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්ත අදහසක් විය. සඳකඩ පහන ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස් මේ ගණයට නිදසුන් වෙයි. අප කිසි විටෙකත් වියුක්ත අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්කෘතියෙන් ද පිටිවහලක් නොලැබෙන බව ය. දෙවැනි කරුණ ඒ නිසා ම පැන නගින්නක් විය හැකි ය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්ත නව අදහස් ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකි ය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්ටමේ අනුකරන පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නො හැකි ය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීන්, ටින්කර් බාසුන්නැහැලා පමණක් වෙමු. ගුණදාස අමරසේකර මහතා වුව ද මේ ශාස්ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක් නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසා ය.

අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්ටමේ ඇදුරන් බිහිකරගත හැකි යැයි මම විශ්වාස නො කරමි. ඒ නිසා ම ඊනියා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ද බිහිකරගත නො හැකි ය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්ටමක ජාතික විශ්වවිද්‍යාලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයේ විශ්වවිිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල් ම ආයතන වී ඇත්තේ මහාවිහාරය හා අභයගිරිය ය. නාලන්දා තක්‍ෂිලා ද ඉන්පසු ඇතිවිය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්ටමේ නව අදහස් එකල අනුරාධපුරයෙන් බිහි වී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තු ම නව අදහස් ඉදිරිපත්කළ විට ඒ ඇත්තේ කිනම් පොතක දැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොර බැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහිකළ හැකි තරුණයන් පිරිසක් අපට අපේ සංස්කෘතිය පසුබිම් කරගෙන බිහිකළ හැකි යැයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක් නිරූපණය නොවන බව දැන දැනම ය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක් බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහි වූ සාර්ථක ම කතාවක් බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශූන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන් ම යම් යම් දෑ පැහැදිලි කර ගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතු ය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත්නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වා දීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත්කළ හෝ තැත්කරන හෝ පුස්සන් අපට අනවශ්‍ය ය.