Main Logo

Showing posts with label චින්තන. Show all posts
Showing posts with label චින්තන. Show all posts

Friday, 29 March 2013

ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය, නිවටයෝ හා පුස්සෝ - 1

ජෙනීවා නුවර පැවැත්තෙන වාර්ෂික නාඩගම ගැන එදිනෙදා කෙරෙන කතාවල එතරම් වැදගත්කමක් ඇතැයි නො සිතමි. කොටස් වශයෙන් ප්‍රචාරය වන මෙගා ටෙලිනාඩගමක් එංගලන්තයේ හා ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වෙයි. එහි නිෂ්පාදනය බීබීසියේ චැනල් ෆෝ මගින් වන අතර අධ්‍යක්‍ෂණය නවි පිල්ලෙයිගෙනි. අවශ්‍ය ප්‍රතිපාදන එංගලන්ත හා ඇමරිකානු ආණ්ඩුවලිනි. එදිනෙදා කටයුතුවලට වඩා අප සමස්තය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. මෙහි සඳහන් ඇතැම් කරුණු විටින් විට මේ තීරුවේ පළ වී ඇත. නැවතත් ඒ කරුණු සඳහන් කරන්නේ සිංහලයන්ට යමක් තේරුම් ගැනීමට එය කිහිප වරක් කිවයුතු බව මා අත්දැකීමෙන් දන්නා බැවිනි. අද ලෝකයේ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. එහි සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි වන අතර චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි වෙයි. මේ යටත්විජිතවාදයෙහි එකිනෙකින් ස්වායත්ත නොවූ සංරචක තුනක් වෙයි. ඒ සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික යනුවෙනි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මේ අවධියෙහි ප්‍රධාන වන්නේ සංස්කෘතික සංරචකය ය. එය පාසල්, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, ක්‍රිස්තියානි හා කතෝලික පල්ලි, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ආදිය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. කතෝලික චින්තනය පසුගිය සියවස් පහක පමණ කාලයෙහි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසින් පරාජය කෙරී ඇත. අද පාප්වහන්සේ ද කතෝලික චින්තනයට නොව මූලික වශයෙන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට සේවය කරයි. රාජ්‍ය නොවන සංවිධාන යනු තම අධිපතිවාදී මතවාදය විවිධ රටවල ගම් නියම්ගම්වලට ගෙන යෑමට බටහිර රාජ්‍ය විසින් හැටේ දශකයේ දී ආරම්භ කෙරුණු ආයතන වෙයි. ගමක නළ ලිඳක් කැපීම, වැසිකිළි තැනීම ආදී සුභසාධන කටයුතු ද මේ රාජ්‍ය නොවන යැයි කියාගන්නා එහෙත් බටහිර රාජ්‍ය විසින් නඩත්තු කෙරෙන සංවිධාන මගින් සිදුවුව ද ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වනුයේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මතවාද ලෝ පුරා ප්‍රචාරය කිරීමත් ඒ තහවුරු කිරීමත් ය. එක් අතකින් ගත්කල ඔවුන් අතින් කෙරෙන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මුල් යුගයෙහි මීසමෙහි කාර්යය ම ය. රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මේ අවධියෙහි මිෂනාරීන් ය. එදා මිෂනාරි ව්‍යාපාරයෙහි සිටියෝ ක්‍රිස්තියානිහු නැතහොත් කතෝලිකයෝ ය. අද යටත්විජිතවාදීන්ට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල බෞද්ධයන් හා හින්දූන් ද සේවයෙහි යොදා ගැනීමට හැකි වී තිබේ. එසේ වුවත් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන්නන්ගෙන් ක්‍රිස්තියානි හා කතෝලික ප්‍රතිශතය ඔවුන්ගේ ජන ප්‍රතිශතයට වැඩි ය. මේ සංවිධානවලට අමතර ව පල්ලි ද තවමත් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කෙරුණු දැනුම තවදුරටත් ප්‍රචාරය වෙයි. ජනමාධ්‍ය බොහෝ විට වෙන් වී ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රචලිත කිරීමට ය. අද මුළු මහත් ලෝකයට ම විනාශය ගෙන දෙන ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය පරාජය කිරීම අපේ ප්‍රධාන කාර්යය බවට පත් වී ඇත. එහෙත් එය පහසු කාර්යයක් යැයි නොසිතිය යුතු ය. බටහිර අධ්‍යාපනය විසින් බිහිකෙරෙන පුස්සෝ හා නිවටයෝ තමන්ට සමාජයෙන් ලැබෙන ඊනියා වැදගත්කම (පොරත්වය) හා බටහිරයන්ට වැඳ වැටීමෙන් ලබාගන්නා බලය යොදා ගනිමින් බටහිර ආධිපත්‍යය සමග අපට විරුද්ධව ක්‍රියාත්මක වෙති. පුස්සන්ට හා නිවටයන්ට මෙරට තැනක් ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ආධිපත්‍යය හේතුකොටගෙන මිස ඔවුන්ගේ දක්‍ෂතාවක් නිසා නො වේ. පුස්සන්ට හා නිවටයන්ට මොන දක්‍ෂකමක් ද? ඔවුන්ට කළ හැක්කේ බැළ මෙහෙවරකම් පමණ ය.

අද ලෝකයේ ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා වෙනත් චින්තන අතර අරගලයකි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අනෙක් චින්තන, සංස්කෘතීන් දුර්වල කිරීමට හැකිනම් විනාශ කිරීමට කටයුතු කරයි. ඒ අනෙක් චින්තන අතර මුස්ලිම් චින්තනය, රුසියාවේ ග්‍රීක ඕතොඩොක්ස් චින්තනය හා ථෙරවාද චින්තනය වෙයි. ඉන් වඩාත් යුදමය හා දේශපාලන ශක්තියක් ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. බටහිරයෝ මුස්ලිම් චින්තනය මෙන් ම අනෙක් චින්තන ද හැකිනම් විනාශ කිරීමට කටයුතු කරති. මෙරට සිංහල බෞද්ධ චින්තනය විනාශ කිරීමට ඉංගිරිසින් ක්‍රියා කරන්නේ 1798 සිට ම ය. දහනවවැනි සියවසේ දෙවැනි දශකයෙන් පසුව ඉංගිරිසිහු ඒ සඳහා දෙමළ ජාතිවාදය යොදාගනිති. මේ විස්තර යම් ප්‍රමාණයක් ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි. දෙමළ ජාතිවාදය යථා කාලයේ දී දෙමළ ත්‍රස්තවාදයක් කරා විකාශය විය. එහෙත් බටහිරයන් නොසිතූ ආකාරයකට බටහිරයන්ගේ අනුග්‍රහය, ආයුධ හා මූල්‍ය ආධාර ද ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපේ රණවිරුවන්ට හැකිවිය. එහි දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංවිධාන හැකියාවත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයක් විශාල මෙහෙයක් ඉටු කළේ ය. එකල අප දේශපාලන නායකත්වයක් හා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමක් ගැන කියන විට පුස්සෝ හා නිවටයෝ තමන් බටහිරයන්ගෙන් ඉගෙනගත් කසිකබල් දැනුම යොදාගනිමින් අපට සිනහසුණහ. මේ පුස්සෝ හා නිවටයෝ අප නාථ දෙවියන් හා ආසනික් ගැන කියද්දීත් අපට සිනහසුණහ. ඔවුහු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නියෝජිතයෝ ම පමණක් වෙති. ඔවුන්ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර දැනුමට අප දැනුම හසු නො වේ.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි විවිධ ප්‍රභේද වෙයි. දැන් සියවස් කිහිපයක සිට ප්‍රධාන ප්‍රභේදය ඇංග්ලො සැක්සන් සංස්කෘතිය වන අතර එහි වත්මන් ප්‍රධානියා ඇමරිකාව ය. කලින් එහි නායකත්වය දැරුවේ එංගලන්තය ය. අද ඇත්තේ ඔවුන්ගේ ත්‍රස්තවාදයකි. ඔවුහු තමන් විසින් හා අනෙක් බටහිරයන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප, ප්‍රවාද ඇතුලත් දැනුුම ඊනියා විද්‍යාවක හා විද්‍යාත්මක විධික්‍රමයක නාමයෙන් අපට එරෙහිව යොදාගනිති. ඒ දැනුම ඔවුන් සෑමදාමත් යොදාගත්තේ අධිපතිවාදී ව ය. පාසල්වල, විශ්වවිද්‍යාලවල ඔවුහු ඔවුන්ගේ දැනුම අනෙක් දැනුම් මිථ්‍යාවන් බව කියමින් අපට ඉගැන්වූහ. අද ඔවුහු ත්‍රස්තවාදී ව ඒ කටයුත්තේ යෙදෙති. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තම ආධිපත්‍යය පැතිරවීමේ දී යොදාගන්නා ත්‍රස්තවාදී ආයතන වනුයේ බටහිර ජනමාධ්‍ය ය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල බීබීසියේ චැනල් ෆෝ, ඉන්ඩිපෙන්ඩන්ට්, ගාඩියන් ආදී පුවත්පත් එහි දී ප්‍රධාන වෙයි. බීබීසියේ අගුපිලේ ඇති සංදේශය නිවටයන්ට හා පුස්සන්ට රැකියා ලබාදෙන ආයතනයක් පමණකි. ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදීන් මානවඅයිතිවාසිකම් යන්න යොදා ගන්නේ තම සංස්කෘතිය රැකගන්නා අයුරින් ය. එංගලන්තයේ හා ඇමරිකාවේ ජනතාවට ඇති මානවඅයිතියක් නැත. ඒ ජනතාව හිත් පිත් නැති රෑකඩ ලෙස නිවස, රැකියා ආයතනය හා සාප්පු සංකීර්ණවලට සීමා වෙති. මේ රටවල් පවත්වාගෙන යන වධකාගාර ගැන තොරතුරු ඉඳහිට ලෝකයට කාන්දු වෙයි. බටහිරයෝ තම මිත්‍ර රටවල ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා නොකරති. ඒ රටවල ජනතාවට තම ආණ්ඩු හා රාජ්‍ය වෙනස්කිරීමට අයිතියක් නැත. ඔවුන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් අහෝසි කෙරී ඇත. එහෙත් බටහිරයෝ තමන්ට විරුද්ධ රටවල ආණ්ඩු හා රාජ්‍ය වෙනස්කිරීමට නිවටයන් හා පුස්සන් මෙන් ම කුලීකරුවන් ද යොදා ගනිති. නිවටයන්ට. පුස්සන්ට හා කුලීකරුවන්ට බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් ඇත. එසේ ඇත්තේ ඒ රටවල ආණ්ඩුවලට එරෙහිව විවිධ ක්‍රියාවල යෙදීමට ය. ඒ අතර ත්‍රස්තවාදීව ආයුධ පාවිච්චිකිරීම ද වෙයි. බටහිර ආධිපත්‍යයෙහි කුලීකරුවන් වූ දෙමළ ත්‍රස්තාවාදීන්ට ලංකාණ්ඩුවට පමණක් නොව ජනතාවට, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ඝාතන දියත්කිරීමට අයිතියක් විය. ලංකාණ්ඩුව ඒ අයිතිය ඔවුන්ට නොදීම බටහිර බුද්ධිමතුන්ට අනුව මානව අයිතිවාසිකම් කැඩීමකි.

විශේෂයෙන් ම බර්ලින් තාප්පය කඩාදැමීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයත් බොහෝ විට එහි පරිවාර සංවිධානත් ඇංග්ලො සැක්සන් අධිපති සංස්කෘතිය විසින් ඔවුන්ට විරුද්ධ රටවලට එරෙහිව ත්‍රස්තවාදීව යොදාගනු ලැබෙයි. ජෙනීවාහි රැස්වන ඊනියා මානව අයිතිවාසිකම් සමුළුව එවැනි ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වී ඇත. අවුරුදු පතා සෑම රටක් සම්බන්ධයෙන් ම එහි දී වාර්තා හා යෝජනා ඉදිරිපත්වෙයි. එහෙත් ලංකාවේ පුස්සන් හා නිවටයන් මෙන් අනෙක් රටවල තමන්ට අදාළ වාර්තා යෝජනා ගැන කතාකිරීමට පිරිසක් නැත. ලෝකයේ ඉහළම අනුකාරකයන් (පුස්සන් හා නිවටයන්) ඇති රට ලෙස සැලකිය හැකි ලංකාවේ මේ ජෙනීවා ත්‍රස්තවාදයට විශාල ප්‍රසිද්ධියක් දෙනු ලැබෙයි. මේ සමුළුවේ අපට විරුද්ධව ඉදිරිපත්වෙන යෝජනාවලට පිළිතුරු දීම ආණ්ඩුවේ යුතුකමකි. එහෙත් එයට ඇමතිවරුන් සහභාගි කරවීම අවශ්‍ය නො වේ. ඉතා කණිෂ්ඨ නිලධාරීන් පිරිසකට ඒ කටයුත්ත පැවරිය හැකි ය. මේ සමුළුව අප සතපහකටවත් ගණන්ගත නො යුතු ය. මෙරට පුස්සන්ට හා නිවටයන්ට මෙහි දී කළහැකි දෙයක් නැත. මොන යෝජනාව සම්මත කරගත්තත් බටහිරයන්ට ද ඒ සංවිධානය මගින් කළහැකි දෙයක් නැත. එහෙත් මෙයින් කියැවෙන්නේ අප බටහිරයන්ගේ අරමුණ නොසලකා සිටිය යුතු ය යන්න නො වේ. බටහිරයන් මේ එන්නේ මොකාට ද යන්න අප දැනගෙන එයට සූදානම් විය යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ජාතිකත්වයට යොමු වී ඇත්තේ සීමිතව ය. එහි ආර්ථික ප්‍රතිපත්ති ජාතිකත්වයට එරෙහි වෙයි. එහෙත් මේ ආණ්ඩුව බටහිරයන්ට නොනැමී දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ ය. අද රට බෙදී ඇත්තේ මේ සීමිත ජාතිකත්වය හා විජාතිකත්වය අතර ය. සියළු ලිබරල්බාදීහු, මාක්ස්වාදීහු විජාතික දැනුමේ දාසයෝ වෙති. අද ඒ සියල්ලෝ දෙමළ ජාතිවාදීන් සමග ආණ්ඩුවට විරුද්ධව එකතු වෙති. විජාතික බලවේගවල නායකයා වූ රනිල් වික්‍රමසිංහගේ සගයන් අතර මාක්ස්වාදීහු ද රාජ්‍ය නොවන බැළයෝ ද වෙති. ඔවුන්ගෙන් සමහරුන් රනිල් වෙනුවෙන් ආණ්ඩුවට හා ජනතාවට එරෙහිව ජෙනීවා ගොස් ඇත. බටහිර ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදීහු තමන්ට විරුද්ධව ගොස් දෙමළ ත්‍රස්තවාදය පැරදවූ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීමට උත්සාහ කරති. ඒ සඳහා ඔවුන්ට පළමුවෙන් ම මේ ආණ්ඩුව අස්ථාවර කර කඩාදැමීම අවශ්‍ය වෙයි. ඊනියා යුද්ධාපරාධ චෝදනා ඒ සඳහා වෙයි. ප්‍රභාකරන්ගේ පුතාට වෙඩි තැබීමට ත්‍රස්තවාදීහු ඔහු හමුදාවට භාරදුන්නෝ ද? අප මේ ව්‍යාජ චිත්‍රපටි වීඩියෝ ඒවාට හිමි කුණුකූඩයට දමමු. එහෙත් බටහිරයන්ට මුහුණ දීමට සූදානම් වෙමු. ඊනියා මානව අයිතිවාසිකම් ඔස්සේ ආණ්ඩුව වැට්ටවීමට කටයුතු කරන අතර බටහිරයෝ විවිධ වසන්ත අත්හදා බලති. ඒ පූස්සන්ගේ හා නිවටයන්ගේ මගිනි. ඇතැම් භික්‍ෂූන් වහන්සේට නොතේරුණත් අවාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් වැඩි වශයෙන් බිහි කෙරී ඇත්තේ නිවටයන් හා පුස්සන් ය. වසන්ත හේමන්ත බවට පත්වීම නිසා ඔවුන් ඉදිරියේ දී ආර්ථික සම්බාධක පමූණුවනු ඇත.
(13/03/10)

Friday, 23 November 2012

දහතුන හා මහින්ද චින්තන

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාකරන විට අමතක නොකළ හැකි අමතක නොකළ යුතු නමක් වෙයි. ඒ හිටපු වැඩ බලන අගවිනිසුරුවරයකු වූ රාජා වනසුන්දර මහතාගේ ය. ඒ මහතා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙන්වා දී ඒ අනුව තීන්දුවක් දුන්නේ ය. එපමණක් නොව පසු කලෙක දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල වන බවට විනිසුරුවන් වැඩි දෙනකු තීන්දු කළේ ය යන්න වැරදි බව සාධක සහිත ව පෙන්නුම් කළේ ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට නැවත ජනතා උද්ඝෝෂණයක් ඇති වී තිබෙන මේ අවස්ථාවෙහි ඒ මහතාගේ වියෝව ජාතිකවාදීන්ට ද ජාතියට ද ඉමහත් පාඩුවක් වෙයි. ඒ මහතාට පිදිය හැකි උසස් ම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ය. අපි ඒ මහතාට නිවන් සුව පතමු.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හා මහින්ද චින්තන පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ 2005 වසරේ දී ය. එයට පසුබිම් වී ඇත්තේ එකල තිබූ දේශපාලන බල තුලනය ය. ඕනෑම දේශපාලන ප්‍රකාශයක් කෙරෙන්නේ යම් දේශපාලන සන්දර්භයක ය. 1994 සිට ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයෙන් විජාතිකත්වයට පීලි පැන්නීමට ක්‍රියාකළ විජාතික බලවේගවල ඒජන්තියක වූ චන්ද්‍රිකා කුමාරතුංග සිංහලයන්ට හා රටට අහිතකර බොහෝ දේ කළා ය. ඒ මදිවාට 2002 සිට 2004 දක්වා පැවති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් ඊනියා සටන් විරාම ගිවිසුම මගින් රට දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට පාවාදීමට කටයුතු කළේ ය. 2005 මහින්ද චින්තන පළවූයේ මෙරට විජාතික බලවේගවල දේශපාලනය ජාතිකත්වය අභිබවා ගොස් ආධිපත්‍යය ඉසුළුෑ කලක ය. ශ්‍රී ල නි පක්‍ෂය පවා ජාතිකත්වයේ මාවතෙන් යම් පමණකින් වුව ඈත් ව සිටියේ ය. රාජ්‍ය නොවන සංවිධානවල වැටුප් ලබන කුලීකරුවෝ දේශපාලනයේ ඉහළින් වැජඹුනහ. ජාතිකත්වය වෙනුවෙන් කතාකිරීමට තිබුණේ ඉරිදා දිවයින හා දිවයින පුවත්පත් පමණ ය. ජාතිකවාදීන්ට තිබුණේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා තමන් මෙරට කසිකබල් උගතුන්ගේ නොව සාමාන්‍ය සිංහලයන්ගේ හෘදය සාක්‍ෂිය වීම පිළිබඳ අභිමානය පමණකි. යමක් කීමට ලිවීමට තරම් ශක්තියක් තිබූ උගත්තු බොහොමයක් රාජ්‍ය නොවන සංවිධානවලට හා විජාතිකත්වයට සේවය කළහ. එවැනි ශක්තියක් නොතිබූ සාමාන්‍ය සිංහලයන් අප සමග වී යැයි සිතමි.

එකල දේශපාලනයෙහි ආධිපත්‍යය ඉසුළුෑ දෙමළ ජාතිවාදීන්ට (ඇතැම් සිංහලයෝ ද පොදුවේ රාජ්‍ය නොවන සංවිධානවල සේවකයෝ ද මේ කුලකයට අයත්වූහ.) අනුව මෙරට ජාතික ප්‍රශ්නයක් විය. දෙමළ ජනයාට 1948 න් පසුව ඊනියා සිංහල ආණ්ඩුවලින් සිදු වූ අසාධාරණකම් හේතුවෙන් විසඳාගත යුතුව ඇති ප්‍රශ්නයක් තිබූ බවත් එය සාමකාමීව විසඳාගත නොහැකි වූ කල දෙමළ තරුණයන් අවි අතට ගත් බවත් දෙමළ කොටි සංවිධානය සමග කෙරෙන සාම සාකච්ඡා මගින් පමණක් ප්‍රශ්නය විසඳාගත යුතු බවත් එහි දී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගත යුතු බවත් බලය විමධ්‍යගත කිරීම එකම විසඳුම බවත් එය පමණක් දේශපාලන විසඳුම විය යුතු බවත් උගත් සමාජයේ බොහෝ දෙනකුට ගිල්ලවා තිබිණි. මේ අධිපති මතවාදයෙන් යම් ප්‍රමාණයකට ප්‍රභාකරන් අවිගැනීම යුක්තියුක්ත කෙරුණු බව අවධාරණය කළ යුතු ය. අධිපති මතවාදය දැරූ හා වැපුරූ අයගෙන් ඇතැමුන් නොකර බැරි බැවින් අරන්තලාව ඝාතන, ශ්‍රී මහා බෝධියට හා දළදා මාළිගාවට පහර දීම ආදිය හෙළා දැක ප්‍රකාශ නිකුත් කරන්නට ඇත. එහෙත් ඔවුන්ගේ පදනම වූයේ ප්‍රභාකරන් අවි අතට ගැනීම යුක්ති සහගත බව ය. අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ 1948 න් පසුව වූ ඊනියා අසාධාරණකම් පිළිබඳ කතාව ව්‍යාජයක් බව සාධක සහිත ව පෙන්වා දී ඇති නමුත් අදත් ජාතිකවාදී (ජාතිවාදී නොව) කඳවුරේ ද ඇතැම්හු දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණකම් ගැන කතාකරති. ඊනියා ජාත්‍යන්තරයකට බිය වී මෙරට දේශපාලනය බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය යුතු ය යන අදහස ද උගතුනට කාවද්දා තිබිණි. එසේ වූ කල මහින්ද චින්තන ඊනියා ජාතික ප්‍රශ්නය පිළිබඳ ව නොබෙදුණු රටක් - බහුතර සම්මුතියක් - ගෞරවණීය සාමයක් යන මාතෘකාව යටතේ එකල තිබූ දේශපාලන බල තුලනය අනුව සාමකාමී දේශපාලන විසඳුමක් ගැන කතාකිරීම පුදුමයක් නො වේ. එසේ වුවත් මහින්ද චින්තන සාම සාකච්ඡාවලට පමණක් සීමා නොවූ බව ද අමතක නොකළ යුතු ය.

එහෙත් අද ඇති දේශපාලන සන්දර්භය වෙනස් ය. තවමත් බොහෝ උගතුන් ප්‍රශ්නය 1948 න් අතීතයට ගෙන යෑමට සූදානම් නැත. ඒ ඉංගිරිසින් බමුණු කුලයට අනුකරණය කිරීමට පුරුදු කර ඇති ආකාරය ය. චෙල්වනායගම් 1947 දී ද දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස් වීම ගැන කතා කළේ ය. ඒ ඊනියා සිංහල ආණ්ඩු දෙමළ ජනයාට අසාධාරණකම් කළේ යැයි කියන කාලයට පෙර ය. අවාසනාවකට බොහෝ ජාතිකවාදීහු (ජාතිවාදී නොව) ද 1948 න් පෙර මෙරට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන් ඉංගිරිසින්ගේ ආධාරයෙන් හා අනුබලයෙන් සිංහලයන්ට එරෙහිව කළ අසාධාරණකම් අමතක කරති. සිංහලයන් යටකරමින් දෙමළ වෙල්ලායන් මුළු රටේ ම නායකයන් කිරීමට ඉංගිරිසින් ගත් උත්සාහය ඊනියා ජාතික ප්‍රශ්නයේ මුල බවත් එය දහනවවැනි සියවසේ මුල්භාගයට දිව යන බවත් තවමත් බොහෝ ජාතිකවාදීන් තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවක් විය යුතු ය. අප නැවතත් අවධාරණය කරන්නේ විසඳීමට ඇති ප්‍රශ්නය සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්කෘතියට මෙරට හිමි විය යුතු තැන නො ලැබීම ය. ඉංගිරිසිහු ඉංගිරිසි උගත් වෙල්ලාලයන් රටේ ම නායකයන් කර ඔවුන් ඉංගිරිසින්ට විරුද්ධව අඩුම තරමෙන් 1817 සිට ජාතියක් ලෙස කිසිදු ජනවර්ගයකගේ සහාය නොලබමින් සටන් කළ සිංහලයන්ට විරුද්ධව යොදා ගනිමින් සිංහලයන්ට හිමි තැන නොදුන්හ. ලංකාවට සර්වජන ඡන්දය හිමිවීමෙන් පසු මේ තත්වය තරමක් වෙනස් වුව ද තවමත් සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි විය යුතු තැන ලැබී නැත. අදත් සිංහලයන් සටන් කරනුයේ යටත්විජිත පාලන සමයේ නැති වී ගිය ඒ උර්මය දිනා ගැනීමට ය. රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇති ආකාරයට, ජාතිකවාදීන් එදා සිට ම අවුරුදු විසි පහක් තිස්සේ කටේ කෙළ සිඳෙන තෙක් කියන ආකාරයට, දිවිනැගුම පනතෙන් පෙන්වා දී ඇති ආකාරයට, සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය 1972 ව්‍යවස්ථාවෙන් ඇති කළ, මෙරට ඒකීය භාවය 1987 දී නැතිකළ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන තෙක් රාජ්‍ය උත්සවවලට සහභාගි වීමෙන් වැළකී සිටීමට හැකි නායක භික්‍ෂූන් වහන්සේ කී නමක් මෙරට වැඩ වසත් ද? නායක භික්‍ෂූන් වහන්සේට එවැනි ශක්තියක් නැත්තේ ඇයි? සර්වජන ඡන්දයෙන් පසු ඉංගිරිසි උගත් දෙමළ බමුණු කුලයට යම් යම් වරප්‍රසාද නැති වූ විට ඔවුහු ඉංගිරිසින්ගේ ද ආධාරයෙන් ඒ සමස්ත දෙමළ ජනයාට ම කරන ලද අසාධාරණයක් ලෙස හැඳින්වුහ. තමන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා නොදී මෙරට ඇමතිවරුන් නොව රාජ්‍ය නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත් චෙල්වනායගම් වැන්නෝ අඩු තරමෙන් 1947 සිට ම වෙන ම රාජ්‍යයක් සඳහා සටන් කළහ. ඒකීය රාජ්‍යයක මුළු රටට ම බලපාන අයුරෙන් කිසිදු බාධාවකින් තොරව නීති පැනවිය හැකි එකම එක ආයතනයක් පමණක් තිබිය යුතු බව ය. ඒ ආයතනයට නොහැකි විය යුත්තේ යම් අයුරකින් වුවත් රටේ ස්වෛරීභාවය අහෝසි කරන නීීති පැනවීම පමණක් විය යුතු ය. පළාත්සභා පිහිටුවීමෙන් ඒකීය රාජ්‍යය නැති විය.

තර්කය සඳහා දෙමළ ජනයාට 1948න් පසුව ඊනියා සිංහල ආණ්ඩුවලින් අසාධාරණයක් වීම නිසා ඔවුන් සටනට අවතීර්ණව කෙමෙන් ආයුධ සන්නද්ධ සටනක් සඳහා තල්ලු වී ගිය බව පිළිගත්ත ද, පැහැදිලි විය යුතු කරුණ නම් අඩුම තරමෙන් එදා සිට පැවති සාකච්ඡා, අවිගත් ත්‍රස්තවාදය, මෙහෙයුම් ආදී සියල්ල එක් සමස්තයක් බව ය. ඒ සියල්ල දේශපාලන විසඳුම් ය. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ මේ සමස්ත ක්‍රියා දාමයේ එක් අවස්ථාවක දී ය. ඊනියා ජාතික ප්‍රශ්නය ගැන මහින්ද චින්තන වලංගු වන්නේ සමස්ත ක්‍රියා දාමයෙහි 2005 සන්දර්භයෙහි ය. ඒ සමස්ත ක්‍රියා දාමය අවසන් කළ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඊනියා ජාතික ප්‍රශ්නය සම්බන්ධ ඇතැම් මහින්ද චින්තන වලංගු නො වේ. අද සන්දර්භයෙහි සාම සාකච්ඡා වලංගු නො වේ. දෙවැනි ලෝක යුද්ධ ජයග්‍රහණයෙන් පසු හිට්ලර්ගේ ගෝලබාලයන් යුරෝපය පිළිබඳ සාකච්ඡාවක් ඉල්ලවේ නම් චර්චිල් හොඳ කුණුහරුප දෙකක් කීමට තිබිණි. මෙහි දී මා ද සහභාගි වූ සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනය ගැන ද සඳහන් කළ යුතු ය. තිස්ස විතාරණ මහතා ඒ පිළිබඳ ව කුමක් සිතාගෙන සිටිය ද අපට එය සමස්ත ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණක් විය. අප සැමදාමත් විශ්වාස කළේ දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු බවත් ඒ කළ හැකි බවත් ය. එසේ වුවත් හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන තෙක් රට තුළ විදේශිකයන්ගේ සහභාගීත්වයෙන් තොරව යම් යම් දේ සාකච්ඡා කිරීමේ වරදක් නැතැයි මම සිතුවෙමි. එහෙත් ඒ මානුෂික මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වීමට පෙර තිබූ සන්දර්භයෙහි ය. හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන බවට මගේ තදබල විශ්වාසයක් විය. රණවිරුවන් කිලිනොච්චිය ජයගැනීමෙන් පසු තවදුරටත් සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනයට සහභාගි වීමේ අවශ්‍යතාවක් නැතැයි දැනගත් මම ඒ සන්දර්භයෙහි සම්මේලන සාකච්ඡාවලින් ඉවත් වීමි. උදය ගම්මන්පිල මහතා ද ඒ අවස්ථාවේ දී සාකච්ඡාවලින් ඉවත් වූ බව ඔහුට කරන ගෞරවයක් ලෙස සටහන් කළ යුතු ය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන පමණක් නොව සර්වපාක්‍ෂික සම්මේලනය ද දේශපාලනික ව අවලංගු ය. ඔක්තෝබර් විප්ලවයෙන් පසු සාර්ගේ ගෝලයන් සමග සාකච්ඡාවකට ට්‍රොට්ස්කි එකඟ වීමට තිබිණි යැයි තිස්ස විතාරණ මහතා කියන්නේ ද? මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට හෝ සර්වපාක්‍ෂික සම්මේලනවලට හෝ සඟ වෙද ගුරු නියෝජනත්වයකින් තොරව පත්කරන ලද උගත් පාඩම් කොමිසම්වල නිගමනවලට හෝ ආපසු යෑමේ අවශ්‍යතාවක් නැත. දහතුන්වැනි සංශෝධනය අද වන විට දේශපාලනික වශයෙන් අහෝසි වී ඇත. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ම නීති විරෝධී ව ය. 1987 දේශපාලන බල තුලනය මත ඉන්දියාවට යටත්වී සම්මත කළ දහතුන 2009 න් පසු දේශපාලනික ව වලංගු නො වේ. එය නෛතිකව ද අහෝසි කළ යුතු ය. එහි දී ඉන්දියාව හා බටහිර රටවල් විරුද්ධ වනු ඇත. මානුෂික මෙහෙයුම්වල දී ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඒ රටවලට මුහුණදුන් ආකාරයට මෙහි දී ද ක්‍රියාකිරීමට ජනාධිපතිතුමාට බාධාවක් නැත.

චින්තනය හා සුසමාදර්ශ


චින්තනය යන්න මා යොදාගන්නේ සිතීම යන අර්ථයෙන් නො වේ. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් විසින් නිර්මාණයකෙරී ඇති විද්‍යාව, කලාව, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, වෙදකම, ඉංජිනේරු ශිල්පය, ලිංගිකත්වය ආදී සියල්ල බැඳ තබන හුයක් වේ නම්, ඒ චින්තනය වෙයි. චින්තනය යන්න සමස්තය ගැන කියැවෙන සංකල්පයකි. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් නිරාමාණ කරන්නේ යම් චින්තනයක ය. චින්තනයකට, ඥාන විභාගයක්, දාර්ශනික පසුබිමක් හා ආකල්ප වෙයි. ඒ එකිනෙකට බැඳී ඇති අතර එකිනෙකින් ස්වායත්ත නො වේ. එමෙන් ම ඒ සංස්කෘතියෙහි ම කොටස් වෙයි. ඥාන විභාගය ද ආකල්ප ද දාර්ශනික පසුබිම ද දැනුමෙහි කොටස් ලෙස ගත්විට බිහිවන්නේ චින්තනයක ය. එහි ඇත්තේ චක්‍රීය (cyclic) ස්වභාවයකි. ආකල්ප ආදිය නිර්මාණයවන විට චින්තනය ද වෙනස්වන බව පැහැදිලි විය යුතු ය. කිසිම සමාජයක ස්ථිතික චින්තනයක් නැත. එමෙන් ම චින්තනය යනු සියළු දෙනා බැඳගන්නා ඒකශෛල පබ්බතයක් වැනි දෙයක් ද නො වෙයි. එහෙත් ඕනෑම සමාජයක විශාල බහුතරයක් සතු පොදු චින්තනයක් දැකගත හැකි ය. ඒ ඒ සමාජයේ ඇතැම් පුද්ගලයන් පොදු චින්තනයෙන් බැහැරව කටයුතුු කරන බව ද පැහැදිලි ය. එමෙන්ම ඇතැම් පුද්ගලයන් අතින් සමාජයක චින්තනය වෙනස්කරන ක්‍රියාවලින් ද සිදු විය හැකි ය. චින්තනයක් එක රැයකින් වෙනස් නොවන බව ද පැහැදිිලි විය යුතු ය.

චින්තනයට සියල්ල ඌනනය කළ හැකි ය යන්නක් ද මෙයින් නො කියැවෙයි. චින්තනය යනු සමස්තය ගැන කියැවෙන සංකල්පයකි. එහෙත් යම් චින්තනයකට අයත් සියළු දෙනා කිසිම වෙනසකින් තොරව එකම චින්තනයකට අයත්වන බවක් ද නොකියැවෙයි. ප්‍රාදේශීය වශයෙන් ගුරුකල ආදී වශයෙන් පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස් වෙති. එසේ වුවත් ඒ වෙනස්කම් අතර පොදු බවක් ද වෙයි. බටහිරයන්ට මේ තත්වය අවබෝධ කරගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්කෝ සෑම දෙනාම අනෙක් සෑම දෙනාගෙන් ම වෙනස් වෙති. එසේ්ත් නැත්නම් සියල්ලෝම එකම ආකාරයේ වෙති. බටහිර නූතනත්වයට අනුව සියළු මිනිස්සු සමාන වෙති. අප සියළු දෙනාට ම පොදු බවක් ඇත. අප සියළු දෙනාට ම එකම ශාරීරික උෂ්ණත්වයක් ඇතැයි බටහිර වෛද්‍ය විද්‍යාවේ දී උපකල්පනය කෙරෙන්නේ එබැවිනි. බටහිර පශ්චාත්නූතනවාදී අදහස් බිහිවන්නේ ඒ එසේ නොවන බව තේරුම් ගැනීමත් සමග ය. එහෙත් බටහිරයන්ට හුරු පුරුදු ඇරිස්ටෝටලීය න්‍යායට අනුව ඔවුහු එහි දී අනෙක් අන්තයට ගොස් පොදු බවක් නැතැයි යන අන්තයට යති.

එහෙත් අපි මේ අන්ත දෙක ම ප්‍රතික්‍ෂෙප කරමු. මිනිසුන් වශයෙන් අප අතර පොදු බවක් ඇති අතර එකිනෙකා අතර වූ වෙනස්කම් ද වෙයි. සිංහලයන් වශයෙන් ගත්ත ද ඒ එසේම ය. ඒ වෙනස්කම් ඇති නිසා සිංහල යනුවෙන් ජාතියක් නැත3යි කීමට මොවුහු උත්සාහ කරති. එහෙත් ඒ අතර දෙමළ ජනයාගේ එකිනෙකා අතර ඇති සියළු වෙනස්කම් මැද දෙමළ යනුවෙන් ජනවර්ගයක් ඇති බව ඔවුහු පිළිගනිති. එලෙස ම මිනිසුන් යනුවෙන් සත්ව වර්ගයක් ඇති බව ද ඔවුහු විශ්වාස කරති. බටහිරයන්ට අද කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගැනීමට හැකි වී ඇත්තේ මේ කසිකබල් පශ්චාත්නූතනවාදී අදහස් මත පිහිටමිනි. යම් කුලකයක අවයව අතර සමානකම් මෙන් ම අසමානකම් ද ඇත යන්න බටහිරයන්ට තේරුම්ගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්කෝ කුලකයේ සාමාජිකයෝ සමාන වෙති. නැත්නම් සියල්ලෝ අසමාන වෙති. එවිට පො1දු බවක් නැති හෙයින් කුලකයක් ද නො මැත. මීළඟ ලිපියෙන් මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙමි. එවිට සාධාරණීකරණය පිලිබඳ ව ද තව දුරටත් දැනගත හැකි වනු ඇත.

චින්තනයක සුසමාදර්ශ කිහිපයක් පැවතිය හැකි ය. අද බටහිර චින්තනය අප විසින් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නමින් හැඳින්වෙයි. ඒ චින්තනයෙහි නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්ටයිනීය සුසමාදර්ශය මෙන් ම ක්වොන්ටම් සුසමාදර්ශය ද වෙයි. ක්වොන්ටම් සුසමාදර්ශය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඇත්තේ විකෘති ස්වභාවයකින් ය යනු මගේ වැටහීම ය. ඒ සුසමාදර්ශය වැඩෙනු ඇත්තේ සිංහල බෞද්ධ හෝ වෙනත් ථෙරවාදී චින්තනයක ය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් මෙන් ම බටහිර සාහිත්‍යය හා කලා ශිල්ප ද ගොඩනැගී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ඒ චින්තනය බටහිර එක රැයකින් පහළ වූවා නො වේ. අවුරූදු පන්සීියකට පමණ පෙර බටහිර යුරෝපයේ පැවතියේ කතෝලික චින්තනය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කලින් සඳහන්කර ඇති ආකාරයෙන් සකස් වෙමින් වර්ධනයවූයේ කතෝලික චින්තනය ක්‍රමයෙන් පසුබස්ස වමිනි. තවමත් කතෝලික චින්තනය මුළුමනින් ම පරාජය වී ඉවත් ව ගොස් නැත. අද දා වින්චි කෝඩ් පොතින් හා චිත්‍රපටියෙන් පෙන්නුම්කරන්නේ මේ අරගලය තවමත් තිබෙන බව ය. ඒ කෘතිවලට විරුද්ධවන්නේ කතෝලික චින්තනයෙහි පදනම් වෙමිනි. තවමත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට තමන්ට අවශ්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කරගැනීමට නොහැකි වී ඇත. ඉහත සඳහන් කෘතීන් වත්මන් බටහිර චින්තනයට අවශ්‍ය ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කිරීමෙහි ලා යම් කාර්යභාරයක් ඉටුකරයි.

කතෝලික චින්තනය මත පදනම් වූ දේශපාලන දර්ශන දෙකක් ම විසිවැනි සියවසෙහි යුරෝපයෙහි දැකගත හැකි විය. එනම් ෆැසිස්ට්වාදය හා මාක්ස්වාදය ය. මාක්ස්වාදීන් මේ කියමන සමග කෙසේවත් එකඟ නොවනු ඇත. එහෙත් ඒ දෙකම පැන නැගුණේ එකම මූලාශ්‍රයෙන් ය. එහි මුල ඇත්තේ හෙගල් විද්වතා ය. ඔහුගේ දර්ශනය කතෝලික චින්තනය මත පදනම්විය. එහි නැවත වතාවක් සමස්තයට යෑමේ ප්‍රවනතාවක් විය. එහි න්‍යාය කතෝලික චින්තනයෙහි මෙන් ම ත්‍රිකෝටික විය. කාල් මාක්ස් පඬිවරයා කෙළේ හෙගල් පඬිවරයාගේ විඥානවාදී පදනමෙන් ද්‍රව්‍යවාදී පදනමකට මාරුවීම ය. ඒ කතෝලික චින්තනයෙහි වෙනත් සුසමාදර්ශයක් පමණක් විය. කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතාකළ ද මාක්ස්වාදීන්ට කිසි දිනෙක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනගාගත හැකි නො වේ. ඔවුන්ගේ හා ෆැසිස්ට්වාදීන්ගේ සමස්තයෙහි සමාජය මිස තනි තනි පුද්ගලයන් නැත. ඒ සමස්තය යුරෝපීය මධ්‍යකාලීන සමාජවල පාප්වහන්සේගේ ආධිපත්‍යය යටතේ පැවති සමස්තයෙන් වෙනස් නො වේ. හිට්ලර් මෙන් ම ස්ටැලින් ද ඒ ඒ සමාජවල ඉටුකෙළේ පාප් වහන්සේගේ කාර්යභාරය ය. ෆැසිස්ට්වාදය මෙන්ම මාක්ස්වාදය ද නැවතත් කතෝලික චින්තනය වෙත යුරෝපය කැඳවා ගෙන යෑමේ ප්‍රවණතා විය. ඒ දෙකම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ රාජ්‍ය විසින් යථා කාලයේ දී පරාජය කරනු ලැබිණි. අද කතෝලික චින්තනය බටහිර ලෝකයෙහි ආධිපත්‍යයක් නො දරයි. අද පාප්වහන්සේට ද ජීවත්වීමට සිදු වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක පමණක් නො වේ. එතුමාගේ පැවැත්ම සඳහා ම අද එතුමාට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි රාජ්‍ය වෙනුවෙන් සේවයකිරීමට සිදු වී ඇත. සෝවියට් ක්‍රමය බිඳවැට්ටවීමේ දී (එවකට සිටි) පාප්වහන්සේ පෝලන්තයේ සිදුකළ කාර්යභාරය බොහෝ අයට මතක ඇත.

කතෝලික චින්තනයෙහි බටහිර විද්‍යාව බිහිවීමේ ඉඩක් නො තිබිණි. එහෙත් පහළොස්වැනි සියවසේ දී පමණ බටහිරයන්ට තම චින්තනය වෙනස්කරගැනීමේ අවශ්‍යතාවක් විය. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආසියාවෙන් ලැබුණු දැනුම ය. අපි මේ ක්‍රියාවලිය කලින් සාකච්ඡා කළෙමු. පාප් වහන්සේ හා කතෝලික පල්ලිය මුල සිටම බටහිර විද්‍යාවට විරුද්ධ වූයේ චින්තනයේ තිබූ වෙනස්කම හේතුවෙනි. පසු කලෙක ඩාවීනීය පරිණාමවාදයට ද විරුද්ධ වූයේ කතෝලික චින්තනය මත පදනම් වෙමිනි. පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූවක් විය. බොහෝ දෙනා පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි මැවුම්වාදයට විරුද්ධ යැයි සිතන්නේ පරිණාමවාදයෙහි දෙවියන් වහන්සේ කෙනකුගේ මැදිහත්වීමක් නොමැති බැවිනි. එහෙත් එහි ඇත්තේ ඒක රේඛීය චින්තනයකි. මිනිස් පරිණාමය ගැන ඩාවීනීය පරිණාාමවාදයෙහි සඳහන් නොවෙතත් අද මානව විද්‍යාවේ කියැවෙන අදහස් අනුව සියළු මිනිසුන් පරිණාම වී ඇත්තේ එක් කාලයක අප්‍රිකාවේ වාසයකළ මිනිස්වර්ගයාට අයත් ස්ත්‍රියකගෙනි. ඇයගේ මුතුන් මිත්තන් ඔස්සේ ආපස්සට යන අපට අවසානයේ දී ඒක ෙසෙල ජීවයක් හමුවේ. ඒ ජීවය ද පසුකරමින් ආපස්සට ගියවිට අපට රසායනික පරිණාමය ද එය ද ඉක්මවා ගිය කල අවසානයේ දී මහා පිපිරුම ද හමුවෙයි. බටහිර විද්‍යාවේ පරිණාමය පටන්ගැනෙන්නේ මහා පිපිරුමෙනි. මහා පිපිරුම ඇතිවූයේ කෙසේ ද යන්නට බටහිර විද්‍යාව පිළිතුරක් නො දෙයි. මහා පිපිරුමෙන් පටන්ගෙන මන්දාකිණි හා තාරකා ඇති වී ඉන්පසු පෘථිවිය වැනි ග්‍රහවස්තු ඇති වී එහි ජීවය පහළ වී අවසානයේ දී මනුෂ්‍යයා ඇතිවීම බයිබලයේ සඳහන්වන එක් උත්පත්ති කතාවකින් ආකෘතික වශයෙන් වෙනස් නො වේ. බටහිර විද්‍යාවේ දෙවියන් වහන්සේ කෙනකු අතින් සිදුවන මැවීමක් නැත. එහෙත් ලෝකය (විශ්වය) මැවුනේ වෙයි. බටහිර විද්‍යාවේ ලෝකෝත්පත්තියෙහි සිට පරිණාමය දැක්වෙන්නේ බයිබලයේ උත්පත්ති කතාවක් පරිදි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් බටහිර විද්‍යාවේ ඒ ප්‍රවාද නිර්මාණය වී ඇත්තේ බයිබලයට එකඟව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ග්‍රීක යුදෙව් චින්තනයෙහි නිර්මාණය කෙරී ඇත.

එපමණක් නොව නිව්ටන්ගේ අවස්ථිති සමුද්දේශ රාමු (inertial frames of reference) ද බාහිර බල ද පිටුපස ඇත්තේ දෙවියන් වහන්සේ ය. මුල් අවස්ථිති සමුද්දේශ රාමුව හෙවත් නිරපේක්‍ෂ අවකාශයෙහි (absolute space) සමුද්දේශ රාමුව යනු දෙවියන් වහන්සේගේ සමුද්දේශ රාමුව මිස අනෙකක් නො වෙයි. බටහිර විද්‍යාවෙහි සෑම පද්ධතියක ම සෑම ක්‍ෂෙත්‍රයක ම පාහේ බාහිර බලවේග ගැන සඳහන්වෙයි. එහි අභ්‍යන්තර ව ප්‍රශ්නයක් විසඳීම ගැන සඳහන් නොවීමෙන් පෙන්නුම් කරන්නේ සෑම අවස්ථාවක ම සිටින්නා වූ දෙවියන් වහන්සේ ප්‍රශ්න විසඳීමෙහි දී අද ද බාහිර ව මැදිහත් වන්නේ ය යන්න ය. මුළු මහත් බටහිර විද්‍යාවෙහි ම මුල ඇත්තේ දෙවියන් වහන්සේ ය. මේ සම්බන්ධ යම් විස්තරයක් විද්‍යා කතන්දර කෘතියෙහි වෙයි.

බටහිර විද්‍යවට පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියනි චින්තනයෙහි ලක්‍ෂණ මගේ ලෝකය කෘතියෙහි යුදෙව් චින්තනය යටතෙහි දැකිය හැකි ය. (දැනට අවුරුදු විස්සකට පමණ පෙර මා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හැඳින්වූයේ යුදෙව් චින්තනය ලෙස ය.) මෙහි දී ඉන් එක් ආකල්පයක් ගැන පමණක් සඳහන් කෙරෙයි. ග්‍රීක යුදෙව් චින්තනයෙහි එක් ආකල්පයකට අනුව මිනිසා තමා ස්වභාව ධර්මයෙහි ස්වාමියා ලෙස ද, ස්වභාව ධර්මය තමා වෙනුවෙන් නිර්මාණය වී ඇති ලෙස ද සලකයි. ඒ පරණ තෙස්තමේන්තුවෙන් එන අදහසකි. දෙවියන් වහන්සේ ලෝකය මවා ඒ ආදම්ට භාර දුන්නේ ඔහුගේ ස්වාමීත්වය යටතට ගැහැණිය වූ ඒවා ද ඇතුළු සියල්ල පත්කරමින් ය. බටහිර මිනිසා අද ලෝකය දෙස බලන්නේ මේ ආකල්පයෙනි. මේ හේතුවෙන් බටහිරයෝ තම ඉන්ද්‍රිය පිනවීම සඳහා බටහිර විද්‍යාව ද යොදා ගනිමින් මුළු ලෝකය ම (ස්වභාව ධර්මය) සූරාකති. ඒ අතර පරිසරය රැකගැනීම පිළිබඳ කතාකරති. බටහිර විද්‍යාවෙන් හා එයට පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි රැකගත හැකි පරිසරයක් නැත. පරිසරය රැකගනිමින් බටහිර විද්‍යාවට වර්ධනය විය නොහැකි අතර, මිනිසුන්ට රිසි සේ ඉන්ද්‍රිය පිනවීම ද නො කළහැකි ය.

බටහිර විද්‍යාව යනු මිනිසා විසින් නිර්මාණය කෙරී ඇති තවත් දැනුම් පද්ධතියක් පමණකි. බටහිර විද්‍යාව පිළිබඳ දාර්ශනිකයන් සඳහන් කරන ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වැනි සුවිශේෂ ලක්‍ෂණ එහි නොමැත. එමෙන් ම බටහිර විද්‍යාව වර්ධනය වන්නේ ධනපති ක්‍රමය නිසා ද නො වේ. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර විද්‍යාවේ වර්ධනයට හේතුව බටහිරයන් විසින් නිර්මාණයකෙරී ඇති ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ය. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එයට පදනම් වූ චින්තනය නිසා මිස එහි ඇතැයි කියැවෙන වෙනත් මහේශාඛ්‍ය ගුණයක් නිසා නො වෙයි.