Main Logo

Showing posts with label ජාතික-ව්‍යාපාරය. Show all posts
Showing posts with label ජාතික-ව්‍යාපාරය. Show all posts

Sunday, 16 June 2013

ප්‍රා කාරයන්ට ඉඩ දෙමු ද?


රටේ නැවතත් වරක් ප්‍රා කාරයන් ඔළුව ඉස්සීමට දඟලනු පෙනෙයි. ජාතික ව්‍යාපාරය පසුගිය වසර තුන හතරෙහි මඳ පසුබෑමකට ලක් වී ඇති බව පෙනෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සාකච්ඡා කළ යුතු මුත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. ජාතික ව්‍යාපාරය මඳ පසුබැසීමකට ලක් වී ඇති බැවින් එක් පැත්තකින් බටහිරයෝ ජාතික ව්‍යාපාරය නමින් ඔවුන්ගේ ඒජන්තයන් ඉදිරියට එවන අතර අනෙක් පැත්තෙන් ප්‍රා කාරයන්ට මතුවීමට මග සලසති. ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටන අද අමාත්‍ය මණ්ඩල රැස්වීම් දක්වා පැතිරී ගොස් ඇත. වහාම ප්‍රා කරයන් පරාජය නොකළහොත් මෙරට සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වැඩිකල් නොගොස් රටම අහිමිවනු ඇත. එය වැළැක්වීමට නම් බටහිරයන්ගේ ඒජන්තයන් නොවත ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ද ඇතුළු සියළු ජාතික බලවේග වහාම එකතු විය යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මතයට විරුද්ධව කටයුතු කරන ඇමතිවරුන් ඇතුළු පාක්‍ෂිකයන්ට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කළ යුතු ය.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් බලතල සම්බන්ධ වගන්ති කිහිපයක් සංශෝධනය නොකර උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු ය යන්න සිංහලයන්ගේ අති විශාල බහුතරයකගේ මතය වෙයි. එය නොපිළිගන්නා ඕනෑම ප්‍රා කාරයකුට ජනමත විචාරණයක් හෝ මහා මැතිවරණයක් හෝ පැවැත්වූ දිනයක එය දැනගැනීමට හැකිවනු ඇත. ලබන මැතිවරණයේ දී ප්‍රා කාරයන්ට අපේක්‍ෂකත්වය නොදීමට සංධානය ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එමෙන් ම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කරන විට ද ප්‍රා කාරයන්ට කිසිදු ඉඩක් නොදිය යුතු ය. මෙහි දී ප්‍රා කාරයා යනු කවු ද යන්න හඳුන්වා දිය යුතු ය. අසූවේ දශකයේ අවසානයේ ජ වි පෙරමුණට එරෙහිව මිනීමරු ප්‍රා සංවිධානයක් බිහි වූ බව වැඩිහිටි බොහෝ දෙනාට මතක ඇත. ජ වි පෙරමුණේ සියළු ක්‍රියා අනුමත නොකළද ඔවුහු එදා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් එදා මූලික වශයෙන් නැගී සිටියේ දේශද්‍රෝහී ඉන්දු ලංකා ගිවිසුමටත් ඒ ඔස්සේ අප මත බලෙන් පැටවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් පළාත් සභා පනතටත් විරුද්ධව ය. ඊනියා මානව අයිතීන් ගැන කතාකරමින් ප්‍රා සංවිධානය බිහිවූයේ ජාතිකත්වයට එරෙහිව එහෙත් ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාතාසභාවලට පක්‍ෂව ය. ඔවුහු සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධ වූහ. ඔවුහු එක්කෝ කසිකබල් මාක්ස්වාදීහු වූහ. නැත්නම් චන්ද්‍රිකාට හිතවත් රෝසපාට සමාජවාදී ජනවේගකාරයෝ හා වෙනත් අය වූහ. එසේ නැත්නම් ලිබරල්වාදීහු වූහ. බැලූ බැල්මට විවිධ මතධාරීන් වුවත් ඔවුන්ට පොදු වූ සාධකය, අවශ්‍ය නම් මහා පොදු සාධකය, වූයේ ඔවුන්ගේ විජාතිකත්වය ය. ඔවුහු පොදුවේ ගත්කල සිංහල විරෝධීහු වූහ. විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධි වූහ. මේ ඇතැම් ප්‍රා කාරයෝ ජ වි පෙ සාමාජිකයන් ලෙස සැලකූ අය මරාදැමීමට තමන් ම ආයුධ අතට ගත්හ. මේ ලිපියෙහි ද මින් පසුව ද ප්‍රා කාරයන් ලෙස හැඳින්වෙන්නේ මාක්ස්වාදී හෝ ලිබරල්වාදී හෝ ජනවේග අදී වෙනත් බටහිර මතවාදී හෝ සිංහල ජාතිකත්වයට විරුද්ධ වන්නන් ය. අද අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් එදා ජ වි පෙරමුණට එරෙහිව ආයුධ ගත්තත් නැතත් ප්‍රා කාරයෝ වෙති.  සිංහල විරෝධී ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද ඒ අර්ථයෙන් ප්‍රා කාරයෝ වෙති.

ජ වි පෙරමුණේ සියළු ක්‍රියාකාරකම් අප විසින් අනුමත නොකෙරුණ ද එදා ඔවුන් අවි අතට ගත්තේ විජාතික බලවේගවලට එරෙහිව ය. එදා ජ වි පෙරමුණට විරුද්ධ වූවන් අවි අතට ගත්තේ මතු පිටින් බැලූකල ජ වි පෙරමුණට විරුද්ධව වුවත් සිංහල ජාතිකත්වයට එරෙහි ව ය. ඔවුහු විජාතික බලවේගවල නියෝජිතයෝ වූහ. කොටි සංවිධානය ද අවි ගත්තේ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලැබ ඔවුන්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් සිංහල ජාතිකත්වයට එරෙහිව ය. ඉන්දියාව බටහිරයන්ගේ අනුග්‍රහයෙන් අප මත ඉන්දු ලංකා ගිවිසුමත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභාත් පැටවුයේ සිංහලත්වයට එරෙහිව ය. අද ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී ඇත. ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ කිරීමට පොරොන්දු වූ නමුත් එසේ නො කළේ ය. ඊනියා සාම සාධක හමුදාව කොටි සංවිධානය පරදවනු වෙනුවට සිංහලයන් ද ඇතුළු මෙරට ජනතාවට අඩට්තේට්ටම් කළේ ය. ඉන්දු ලංකා ගිවිසුමේ ඉන්දියාවෙන් ඉටුවිය යුතු කිසිවක් ඉටු නොවිණි. එහෙත් ගිවිසුම ඔස්සේ පිහිටුවනු ලැබූ පළාත් සභා තවමත් අප අතර ය. එපමණක් නො වේ. පළාත් සභා පවත්වාගෙන යෑමට ඉන්දියාව අපට බලකරයි. තමන්ගෙන් ඉටුවිය යුතු කොන්දේසි එකක්වත් ඉටුනොකළ ඉන්දියාවට පළාත් සභා පවත්වාගෙන යෑමට අපට බල කිරීමට ඇති නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතිය කුමක් ද? ඇමති මණ්ඩලයේ ප්‍රා කාරයන් කුමක් කීවත් ජනාධිපතිතුමා ඔවුන්ට කන්දිය යුතු නො වේ. ඔවුන් ද අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස වැජඹෙන්නේ මූලික වශයෙන් ම සිංහලයන්ගේ ඡන්දයෙන් බව ඔවුන්ට මතක්කර දිය යුතු ය.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් වගන්තියක් පමණක් සංශෝධනය කිරීමට ප්‍රා කාරයන් එකඟ වී ඇත. අප එයට හසු නොවිය යුතු ය. ඒ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට යන්නේ මෙරට නීතිය නොවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති යටතේ නම් එයට විරුද්ධ විය යුතු ය. එයින් සිදුවන්නේ නීතිය නොවූ එම වගන්ති තහවුරු කිරීම ය.  ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ 82 වැනි වගන්තිය යටතේ ය. එය 82 (6) වගන්තියෙන් අනිවාර්ය කෙරී ඇත. පනත් කෙටුම්පතෙහි 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති 82 වැනි වගන්තියට පටහැණි බැවින් ඒ වගන්ති සම්මතකර ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. එහෙත් ඒ වගන්ති ආණ්ඩුවට අවශ්‍ය අන්දමට නීති විරෝධීව සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සංශෝධනය කෙරිණි. ඒ සංශෝධිත වගන්ති පවා 82 වැනි වගන්තියට පටහැණි ය.  අද කළ යුත්්තේ සංශෝධනය කිරීමට යන වගන්තියත් 154 උ (2) හා උ (3) වගන්තිත් සාකච්ඡා කිරීම පත්කිරීමට යන පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට ම භාරකර කමිටුවේ වාර්තාව ලැබෙන තුරු උතුරු පළාත් සභාවේ මැතිවරණය කල්දැමීම ය. අනෙක් පළාත් සභා මැතිවරණ පැවැත්වීම එතරම් ප්‍රශ්නයක් නොවන්නේ ඒ මැතිවරණවලට ඉදිරිපත්වන්නන්ගෙන් අති විශාල බහුතරය 1976 වඩුකොඩේ යෝජනා නොපිළිගැනීම හේතුවෙනි.

2013-06-16


නලින් ද සිල්වා

Saturday, 18 May 2013

ජාතික ව්‍යාපාරයට වැඩක්

පරිසර දුෂණයත් දේශපාලණයේ ඇති දුෂණයත් අපි දකින ආකාරයට හුදෙක් අකුසල් ක්‍රියාය. බරහිරුන් කරන්නේ මේ අකුසල් හැකි තරම් මිනිසුන්ට නොපෙනෙනෙසේ හැංඟීමය. නමුත් කෙතරම් හැංඟුවත් පව් පලදෙනවාමය. ඒ නිසා පව් නැති කිරීමට මිස පව් හැංඟීමට යාම ඵලක් නැත. පසුගියදා බංගලාදේශයේ ඇඟළුම් කම්හලක් කඩා වැටී මිනිසුන් සිය ගණනක් මිය ඇදිනි. එහි ඇඳුම් මැසුනේ ඇමරිකාවේ පරිභෝජනය සඳහාය. නමුත් බොහෝවිට ඇමරිකාව මේ මිය ගිය ඇත්තන්ගේ පවුල්වලට සහණාදාරයක් නොදෙනු ඇත. ඒ බැරි නිසා නොව එය පුරුද්දක් කර නොගත යුතුයැයි ඔවුන් සිතන නිසාය. මෙසේ ඇමරිකාවේ වෙලඳපලට එන ඇඳුම් සියල්ලක්ම එහි විකිනෙන්නේ නැත. මන්ද විලාසිතා නිතර වෙනස් වෙන බැවිනි. විකුණාගත නොහැකි ඇඳුම් ඉවත් කිරීම ඇමරිකාවේ වියදම් අධික පරිසර දූෂණය වැඩි ක්‍රියාවලියකි. ඒ නිසා ඔවුන් කරන්නේ ඒවා පොට්ටනි ගසා බරට අනුව අප්‍රිකාවට යැවීමය. අවසානයේ මේ නිමි ඇඳුම් නවතින්නේ අප්‍රිකාවේ කසල ගොඩ වලය. එහි සිදුවන පරිසර දුෂණය පවකි. බංගලාදේශයේ කම්කරුවන්ට අඩු පඩි ගෙවීම පවකි. රටින් පිට සිදුවෙන නිසා ඇමරිකානුවන් බොහෝ දෙනෙකු තමන් පව් සිදු කර ගන්නා බවවත් නොදනිති. ඒ හැරත් මේ සියලු පව් බටහිර දැනුම පාවිච්චි කර අපෙන් වසං කර ඇත. බරහිරුන් අපට උගන්වා ඇත්තේ මේ අකුසල් ක්‍රියා ආර්ථිකයේ ස්වභාවික සිදුවීම් ලෙස සැලකීමටය. නමුත් එය එසේ අර්ථ දැක්වීම පව් හැංඟීමක් පමණි.
බටහිර සිදුවන විවිධාකාර දුෂණ අප නොදකින්නේ ඔවුන් මේ ආකාරයට සූක්‍ෂම ලෙස තම පාප ක්‍රියාවන් හංඟන බැවිනි. අපි ඔවුන් පසු පස වසරක පණහක් පමණ පිටුපසින් සිටින නිසා අපි තවමත් ඔවුන්ගේ පව් හංඟන කලාව හරි හැටි ඉගෙන ගෙන නැත. උගත් පාඩම් කොමිසමක් ඇමරිකානුවන් කලානම් එය තමන්ට අවාසි සහගත විදිහට පවත්වා ගන්නේ නැත. නමුත් අපි ඔවුන්ගේ ඊනියා කලාව නොදන්නා නිසා ඔවුන්ට ඔවුන්ගේ මහා පරිමාණ දුෂණ හංඟාගෙන අපේ කුඩා පරිමාණ දුෂණවලට ඇඟිලි දික් කරන්නට හැකිවී ඇත. එපමණක් නොවේ අපේ කුඩා පරිමාණ දුෂණ මහා දුෂණ ලෙස දකින්නටද අපට උගන්වා ඇත. අද අප රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ සිදුවන ක්‍රියාවන් මහා දුෂණලෙස දකින එක් හේතුවක් එයය. දේශපාලණ ක්‍ෂේත්‍රයේ දුෂණ ඇත. අපි ඒ නැති කල යුතුය. නමුත් ඒවා හැංඟිය යුතු නොවේ.
ආණ්ඩුවට කැමති වුවත් අකමැති වුවත් බහුතරයක් සිංහල බෞද්ධයින්ගේ දේශපාළන චින්තනයෙන් ජාතිකත්වය තවමත් ගිලිහී නැත. ඒ නිසා මේ ආණ්ඩුව නෙරපා විදේශ බල වලට අවශ්‍ය ජාතික විරෝධී ආණ්ඩුවක් පිහිටුවොත් ඒ අණ්ඩුව මීටත් වඩා දූෂිත ආකාරයට පවත්වාගෙන යාමට සිදුවනු ඇත. මන්ද එවැනි ආණ්ඩුවක පැවැත්ම සඳහා ජාතික ව්‍යාපාරය මැඩ පවත්වා ගන්නට සිදුවන නිසාය. නමුත් විජාතික ආණ්ඩුවක් මීට වඩා කාර්යක්‍ෂම ලෙස තම දුෂණය වසං කරනු ඇත නමුත් ඒ අපේ විසඳුම නොවේ. අපට අවශ්‍ය මේ ආණ්ඩුවේ දුෂණය නවතා දමන්නේ කෙසේද යන්නය. මේ අණ්ඩුව බලයට ගෙන ආ ජාතික ව්‍යාපාරයට ඒ ගැන කල හැක්කේ කුමක්ද?
ජාතික ව්‍යාපාරය දේශපාලණ සංවිධානයක් තබා සංවිධාණයක්වත් නොවේ. එහි විවිධ මත නිර්මාණය කරන්නෝ වෙති. විවිධ නියමුවෝ වෙති. විවිධ මත දරන අනුගාමිකයෝ වෙති. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයට අනුව අවසානයේ ගත් කල මේ සැම දෙනාම ඡන්ද දායකයෝය. ඒ ක්‍රමය තුල ජාතික ව්‍යාපාරය යනු ජාතිකත්වය මත පිහිටා තම ඡන්දය පාවිච්චි කරන මිනිසුන් සමූහයක් පමණි. ආණ්ඩුවේ දූෂිත බවට එරෙහිව ඒ මිනිසුන්ට කල හැක්කේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමය. එය කළ හැක්කේ මැතිවරණයකදීය. ඒ නිසා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල රජයේ දුෂණය නතර කර ගන්නා ලෙස ඊට දැනෙන බලපෑමක් කිරීමට අද රජයට පක්‍ෂ ඡන්ද දායකයින්ටවත් විපක්‍ෂ ඡන්ද දායකයින්ටවත් අවකාශයක් නැත. ආණ්ඩුවේ ඇතුලතින්ද එය කෙරෙන බවක් නොපෙනේ. ඒ ගැන පුදුම විය යුතු නැත්තේ රජයට සම්බන්ධ මැති ඇමති වරුන් සහ නිළධාරීන් බොහොමයකට ජාතිකත්වයක් නැති බැවිනි. මේ නිසා පක්‍ෂ විපක්‍ෂ සියලු ඡන්ද දායකයින්ට තම අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ඊලඟ ඡන්ද විමසුම එන තෙක් බලා සිටිනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් නැත. එසේ නම් ඊලඟ ඡන්ද විමසුමේදී ජාතික ව්‍යාපාරයේ කාර්ය භාරය කුමක් විය යුතුද?
මී ලඟට එන ඡන්ද විමසුමේදී පමණක් නොව තව ඡන්ද විමසුම් ගණනාවක් යන තෙක් රටේ දේශපාලණ බෙදීම සිදුවනු ඇත්තේ දූෂණය සම්බන්ධයෙන් නොව ජාතිකත්වය මතය. මෙරට රාජ්‍ය බලය විදේශ බලවේග වලට මුහුණදීමට හැකි තරම් ශක්තිමත් වනතාක් කල් එය එසේ විය යුතුය. මේ වනවිට බටහිරුන් තම රටවල ශක්තිමත් රාජ්‍යයන් ගොඩනඟාගෙන ඇත. ඒ රාජ්‍යයන්ට විදේශ බලවේග වලට බලපෑම් කල නොහැක. බටහිර රටවල බෝම්බ පිපිර වීම මඟින් ත්‍රස්තවාදීන්ට කළ හැක්කේ බටහිරුන් කෙරෙහි ඔවුන්ගේ ඇති වෛරය ප්‍රකාශ කිරීමට පමණි. ඒ හරහා ඒ රටවල කෙරෙන විජාතික දේශපාලණයක් නැත. බටහිරුන්ට ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා ඇත්තේ ජීවිත හා දේපළ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්ණයකි. ඒ හැරෙන්නට ඔවුන්ට තම ස්වෛරීය බව පිළිබඳ ප්‍රශ්ණයක් පැන නැගෙන්නේ නැත. ඒ නිසා බටහිර රටවල ත්‍රස්තවාදී ප්‍රශණයත් අපට තිබූ ත්‍රස්තවාදී ප්‍රශ්ණයත් එකම නොවේ. අපි ඒ දෙකම එක යැයි කියන්නට යෑමෙන් කරන්නේ බටහිරුන්ට කොලේ වසා ගැසීමට ඉඩක් ලබා දීම පමණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙරත් පසුත් අදත් ජාතික ව්‍යාපාරයට එරෙහිව ක්‍රියා කෙරෙන විජාතික බලවේග ඇත. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ සිට මෙරට ක්‍රියාත්මක වුනු එන්ජීඕ කණ්ඩායම්, මෙරටට විටින් විට පැමිණ බලය පෙන්වා ගිය විදේශ ඇමතිවරු එදා උත්සාහ කලේත් අද ඇමරිකාව හා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සම්මේලණය හරහා උත්සාහ කරන්නේත් මෙරට ජාතික ව්‍යාපාරය ආම්බන් කිරීමට කිරීමය. බටහිරුන් එසේ කරන්නේ ජාතික ව්‍යාපාරය විරුද්ධව සිටින්නේ ඔවුන්ට මිස මෙරට සුලු ජාතීන්ට නොවන බව දන්නා නිසාය. මේ බලවේග සැමදා නොවපතිනු ඇත. නමුත් ඒ පවතිනතාක් කල් ඉදිරි මැතිවරණ හා ජනාධිපතිවරණ වලදී රටේ දේශපාලණ බෙදීම සිදුවිය යුත්තේ ජාතික හා විජාතික ව්‍යාපාර අතරය. ජාතික ව්‍යාපාරයේ වගකීම එය එසේ වන බවට වග බලා ගැනීමය.
රටේ බහුතරයක් සිංහලුන්ගේ දේශපාලණය තවමත් ජාතිකත්වය මත පදනම්ව පවතී. ඒ නිසා ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී දේශප්‍රේමී ජනතාව තමන්වෙත නම්මවා ගැනීමට විජාතික බලවේග උත්සාහ කරනු ඇත. ඒ එසේ නොකර ඡන්දයක් දිනිය නොහැකි නිසාය. සමහරක් විජාතික බලවේග වඩාත්ම ජාතිකත්වයක් ඇත්තේ තමන්ට යැයි කියනු ඇත. තව කොටසක් රාජ්‍යයට එරෙහිව පවත්නා විදේශ බලවේග නැතැයි කියමින් විවාදය වෙනතකට යොමු කරනු ඇත. මේ සියලු කතන්දර වල පොදුබවක් ඇත. ඒ සියල්ලක්ම ගෙතී ඇත්තේ ජාතික පිලේ සිටින ඡන්ද දායකයින් තම පිලට ඇද ගැනීම සඳහාය. ඔවුන් එසේ කරනු ඇත්තේ තමන්ට ජාතිකත්වයක් ඇති බව පෙන්වමිනි. ජාතික ව්‍යාපාරය මෙසේ ජාතික වෙස් මුහුණු දමා ගෙන පැමිණෙන විජාතික බලවේග වල වෙස් මුහුණු ගැලවිය යුතුය. ඉදිරි මැති-ජානාධිපතිවරණ වලදී ජාතික ව්‍යාපාරයේ මූලික වගකීම විය යුත්තේ ජාතිකත්වයක් ඇති රජයක් බිහි කර ගැනීමය. ඒ සඳහා ජාතික ව්‍යාපාරය සෘජුවම මැදිවී තමන් වෙත ඡන්දය ඉල්ලමින් පැමිණෙන දේශපාලකයින්ට ජාතිකත්වය මත පදනම්ව චරිත සහතිකදී ඔවුන් පාර්ලිමේන්තු යවනවාද නොයවනවාද යැයි තීරණය කල යුතුය. අවසානයේ ජාතික ව්‍යාපරයෙන් හොඳ චරිත සහතිකයක් නොමැතිව රටේ දේශපාලණ බලයක් ලබා ගත නොහැකි තත්වයක් රටේ දේශපාලණ ක්‍ෂේත්‍රය තුල ඇති කර ගත යුතුය.
මෙතෙක් කල් ජාතික ව්‍යාපාරය සටන් කලේ මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමටය. නමුත් අද පාර්ළිමේන්තුවේ සිටින මැති ඇමති වරුන්ගෙන් ජාතිකත්වයක් ඇති අය සිටිනවානම් ඒ අතලොස්සක් පමණි. ඒ නිසා ඉදිරියේදී ජාතික ව්‍යාපාරයේ සටන හුදෙක් ආණ්ඩු බලය ලබා ගැනීමට පමණක් නොව ජාතිකත්වයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීම දක්වා වර්ධණය කර ගත යුතුය. හැකි නම් ජාතිකත්වයක් ඇති පළමු පෙලේ නිළධාරී මණ්ඩළයක් ඇති කර ගැනීම දක්වාම සටන දිගු කර ගත යුතුය. එවැනි පුද්ගලයින්ගෙන් සමන්විත ආණ්ඩුවක දුෂණය අවම වෙතැයි අපේක්‍ෂා කල හැකිය. ඉන් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ බලයද වැඩි වනු ඇත. ආණ්ඩු මූලික වශයෙන් දුෂිත වෙන්නේ බලය රැක ගැනීම අරභයා කටයුතු කිරීම නිසා වක්‍රාකාරයෙන්ද ඒ හරහා ආණ්ඩුවේ දුෂණය අවම කර ගත හැකිය. වඩා වැදගත් ලෙස ඒ හරහා ජාතික ව්‍යාපාරයත් රාජ්‍ය බලයත් අතර අන්නෝන්‍ය සම්බන්ධකමක් ගොඩ නැඟෙනු ඇත. අද මූලික ප්‍රශණය වී ඇත්තේ රජයත් ජාතික ව්‍යාපාරයත් අතර තිබිය යුතු මේ අන්නෝන්‍ය සම්බන්ධකම ගිලිහී තිබීමය.


ජානක වංශපුර

Sunday, 9 October 2011

ජාතික ව්‍යාපාරය හා දිවයින

ඉරිදා දිවයින පුවත්පතට අවුරුදු තිහක් පිරුණු මේ මොහොතේ දිවයින විසින් ජාතික නිදහස සඳහා කරන ලද සේවයත් දිවයින හා ජාතික ව්‍යාපාරය අතර සම්බන්ධයත් ඇගයීම වැදගත් වෙයි. 1981 දී ඉරිදා දිවයින ආරම්භ කළ අවස්ථාවේ සිට අද දක්වා ගත වී ඇති කාලයෙහි දිවයින නොවන්නට මෙරට ඉතිහාසය මෙයට වඩා වෙනස්වන්නට තිබිණි. මෙරට සමස්ත පුවත්පත් ඉතිහාසයෙහි එවැන්නක් කිවහැකි වනුයේ පුවත්පත් අතළොස්සකට පමණකි. 1977 දී බිහි වූ ජේ ආර් ජයවර්ධන මහතාගේ ආණ්ඩුව මගින් මෙරට ඊනියා විවෘත ආර්ථිකයකට යොමු කරන ලදැයි කියැවෙයි. එමගින් රට බටහිර ධනවාදී ආර්ථිකයකට ද වඩා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට විවෘත කෙරිණි. 1506 සිට 1977 දක්වා අවුරුදු හාරසිය හැත්තෑවකට පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි යටත්විජිතවාදීනට කිරීමට නොහැකි වූ බටහිර සංස්කෘතිකකරණයක් ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව අවුරුදු දොළහක පමණ කාලයක දී සිදු කෙළේ ය. 1977 සිට රට බටහිර සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූවා නොව සංස්කෘතික ආක්‍රමණය රට තුළට වුවමනාවෙන් ම ගෙන්වා ගෙනු ලැබිණි. ගෙන්වා ගනු ලැබූ සංස්කෘතික ආක්‍රමණය එලෙස ම ගෙන්වාගනු ලැබූ ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවන්ට වඩා භයානක විය. එය ජේ ආර් ජයවර්ධන මහතා ලවා කරවා ගැනීමට හැකිවූයේ ඔහු ලබා තිබූ සංස්කෘතික පුහුණුව නිසා ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඡන්ද ඇති නිසා ම ජාතික ඇඳුමට ඇදී ගිය ජයවර්ධන මහතාට සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඒ සංස්කෘතිය ඔස්සේ ම පියවර ගැනීමට තරම් දේශපාලන අවබෝධයක් ද විය. විවෘත ආර්ථිකය යනුවෙන් හඳුන්වනු ලැබුව ද ඔහුගේ ව්‍යාපෘතිය විවෘත සංස්කෘතිය විය. සංස්කෘතික වශයෙන් කෙරෙන වෙනසක් නොමැතිව ආර්ථික වෙනසක් කළ නො හැකි ය. කොළඹ හා නගරවල කිහිප දෙනකුට පමණක් සීමා වී තිබූ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ගම්වලට ගෙන යනු ලැබුවේ විවෘත සංස්කෘතික ව්‍යාපෘතිය මගිනි. අප කුඩා කළ කාගිල්ස් මිලර්ස් යන වෙළෙඳසල් හා මහා හෝටලය (ග්‍රෑන්ඩි ඔරියන්ටල් හෝටලය), ගල්කිස්ස හෝටලය ආදිය යුරෝපීයයනට හා මෙරට පවුල් කිහිපයකට පමණක් වෙන් වී තිබිණි. එහෙත් අද පහළ මධ්‍යම පංතියේ අය ද ගෙදර යන ගමන් කාගිල්ස් යති. හෝටල්වල මගුල් කති. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට, ඊනියා විශේසඥයන් හමුවීමට, දරුවන් බිහිකිරීමට, පෞද්ගලික රෝහල්වලට යති. අවසානයේ ජයරත්න (රේමන්ඩ් වෙනුවට) ශාලාවේ පැය කිහිපයක් නිදාගෙන කනත්තට යති. ඒ අතරතුර ගෙදර ගතකරන ජීවිතයේ වැඩි කාලයක් රූපවාහිනී නැරඹීමට වෙන් කරති. ගැමුණු රජුගෙන් පසු සිංහල සමාජයෙහි වෙනසක් ඇතිකළ ප්‍රධාන පුද්ගලයා ජේ ආර් ජයවර්ධන බව පවසන්නේ ඔහුට කරන ගෞරවයක් ලෙස නම් නො වේ.

ජේ ආර් ජයවර්ධන මහතා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එකල ප්‍රධාන ඒජන්තයා විය. එකල මුදල් ඇමති වූ රොනී ද මැල් මහතා කෙතෙක් වෑයම් කළ ද විවෘත ආර්ථිකය හඳුන්වා දීමට නොහැකි විය. වැඩිම වුවහොත් ඔහුට කළ හැකි වූයේ පට් පට් ගාල සම්තින් සොයන සූරසේනලාගේ පාදඩ ආර්ථිකයක් ඇති කිරීම ය. විවෘත ආර්ථිකයක් ඇතිකිරීමට, එනම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ආර්ථිකයට රට විවෘත කිරීම සඳහා පළමුව සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය විය. ජේ ආර් ජයවර්ධන මහතා එය සිදු කළේ ය. ඉංගිරිසින් මෙරට සිටි අවධියේ චාල්ස් ද සොයිසා මහතා වැනි ක්‍රිස්තියානි ධනවත්තු මහජනයා සඳහා රෝහල් ඉදිකර ආණ්ඩුවට භාරදුන්හ. එහෙත් අද සිංහල බෞද්ධ යැයි කියාගන්නා ධනවාදීහු පෞද්ගලික රෝහල් තනා නිදහස් අධ්‍යාපනයෙන් ම බිහි වූ බහුතරයක් සිංහල බෞද්ධ වූ බටහිර වෛද්‍යවරුන් සමග එකතු වී රෝගීන් ගසා කති. මේ ආර්ථික ක්‍රියාවලිය ඇතිකිරීමට සංස්කෘතික වෙනස් කීිරීමක් අවශ්‍ය විය. ජයවර්ධන මහතා ඒ ඉටු කළේ ය. අද වන විට බටහිර යටත්විජිතවාදී ඊනියා විවෘත ආර්ථිකය නව ක්‍රියාදාමයකට පීිවිස ඇත. ඒ ආර්ථික යටත්විජිතවාදය අද රට පුරා පැතිර යනු දැකිය හැකි ය. එය එසේ පැතිර යන්නේ අධික දුෂණවලින් ද ගහණව ය. එය අප රටට පමණක් විශේෂිත වූවක් නො වේ. ඊනියා දියුණු යැයි සම්මත රටවල ද ඒ ඊනියා දියුණුව හඹායන රටවල ද දූෂණය පවතියි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයට හා ඒ හා සමග බැඳුණු පරිසරය විනාශ කරන ඊනියා සංවර්ධනයට දූෂණයෙන් තොර පැවැත්මක් නැත. අද ක්‍රියාත්මක වන්නේ ඊනියා හෙජමොනික ධනවාදයක් නොව බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආර්ථිකයේ අවසාන අදියර ය. ඒ මාක්ස්වාදී අර්ථයකින් නො වේ. බටහිරයන්ට කිසිදිනෙක පරිසරය සූරැකීමට නොහැකි බව අප කීවේ කාලයකට පෙර ය. පරිසරය ගසාකෑමෙන් තොරව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කරගත් ආර්ථිකයකට වර්ධනයක් නැත. අද ඔබාමා කියන්නේ ඕසෝන් ස්ථරය තවත් විවෘත නොකර ඇමරිකානුවන්ට රැකියා සැපයිය නොහැකි බව ය. තව තවත් පරිසරය විනාශකරන බටහිර ආර්ථිකයට මෙතෙක් බටහිරයන් අතින් සූරාකෑමට ලක් වූ ස්වභාව ධර්මය දඬුවම් දෙන යුගය එළඹී ඇත.

බටහිර ආර්ථිකය කඩා වැටීම වැඩිවත් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි රෞද්‍ර මුහුණ තව තවත් දර්ශනය වනු ඇත. අද ඊනියා මැද පෙරදිග හෙවත් බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ මුස්ලිම් රටවල ඉතා නග්න ආකාරයකට පෙනෙන්නට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ මේ ජඩ මුහුණ ය. බටහිරයන් මේ රටවල් ආක්‍රමණය කරන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙනි. එහි දී මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම යන කුණුහරුපය බටහිරයෝ තොර තෝංචියක් නොමැතිව මතුරති. කුණුහරුපයක් මතුරා තමන් අතින් ලෝක ආධිපත්‍යය ගිලිහී යෑම නැවැත්වීම බටහිරයන්ගේ දේශපාලනයෙහි විදේශ ප්‍රතිපත්තිය වෙයි. මේ දේශපාලනය යුක්තියුක්ත කරන මාක්ස්වාදීහු මෙරට වෙති. මේ කසිකබල් මාක්ස්වාදියෝ මෙරට දී දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිති. ඔවුහු බටහිරයන්ට මෙරට ආක්‍රමණය කරන ලෙස ව්‍යංගයෙන් කියා සිටිති. මේ මාක්ස්වාදීන් කෙතරම් බටහිර ගැත්තන් වී ඇත් ද කිවහොත් බටහිරයන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් කියුබාව හා වෙනිසියුලාව ආක්‍රමණය කළහොත් ඔවුන් එය ද ඉවසනු ඇත. එපමණක් නො වේ. ඔවුහු දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට නොව ඒ 2009 මැයි මාසයේ සතියක කාලයක් නොරුකිණිය යන අදහස පෙරදැරි කරගෙන ලංකාව ආක්‍රමණය කිරීමට මාන බලන බටහිරයන්ට උල්පන්දම් දෙති.

සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය යන ක්‍ෂෙත්‍රවල බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ සංරචකවල ජේ ආර් ජයවර්ධන ව්‍යාපෘතිය පටන්ගෙන නොබෝ කලකින් ම දිවයින පුවත්පත ඇරඹිණි. 1981 වන විට නව ජාතික ව්‍යාපාරයක් ඇරඹීමේ ලකුණු පහළ වී තිබිණි. එක් පැත්තකින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වූ ව්‍යාපාරය විය. තවත් පැත්තකින් ජඩ ආර්ථිකය විය. තුන්වැනුව දෙමළ ජාතිවාදී දේශපාලනය හා බටහිර දේශපාලන ව්‍යුහ විය. මේ සංරචක තුන ම බටහිරයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්නවත් ඒ සංරචක අතර තිබූ සම්බන්ධයවත් එකල නොදැන සිටි නමුත් උපාලි විජයවර්ධන මහතා ඉවකින් මෙන් ජාතිකත්වය වෙනුවෙන් පුවත්පතක් ආරම්භ කළේ ය. එකල සමාජ විශ්ලේෂණය සඳහා තිබුණේ එක්කෝ බටහිර ලිබරල් මතවාද ලෙස හැඳින්විය හැකි ප්‍රවාද සමූහයකි. එසේත් නැත්නම් මාක්ස්වාදී මතිමතාන්තර ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පරාජය කිරීම සඳහා ජාතික මතවාද, ජාතික සංකල්ප, ජාතික ප්‍රවාද අවශ්‍ය විය. එහෙත් ඒ නිර්මාණය කරගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයවත් එකල නොවූයේ ප්‍රවාද නිර්මාණය යන්න ද පසු කලෙක ඇති වූ සංකල්පයක් නිසා ය. 1948 දී දිනාගත් සීමිත දේශපාලන නිදහස කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව වැටහුණු බොහෝ දෙනා සිටි නමුත් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් නිදහස ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳ හෝඩුවාවක්වත් එකල නො වී ය. අනුරාධපුර යුගයේ ශ්‍රී විභූතිය ගැන කතාකිරීමත් සිංහල බෞද්ධ ජීවන රටාව ගැන කතාකිරීමත් හැරෙන්නට ජාතික ව්‍යාපාරයකට සංකල්ප, අදහස් ප්‍රවාද ආදිය නො වී ය. වැඩිම වුවහොත් මාක්ස්වාදය හා බුදුදහම එකතුකරන්නේ කෙසේ ද යන්න පමණක් එකල සාකච්ඡා විය. ඊනියා බෞද්ධ සමාජවාදය එකල ඇතැම් උගතුන් අතර ජනප්‍රිය මාතෘකාවක් විය. එහි දී මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇතැම් ඉතා ප්‍රාථමික අදහස් ද බලපෑවේ ය. බුදුදහම හා මාක්ස්වාදී සමාජවාදය චින්තන දෙකක උපත ලබා ඇති බව අදත් බොහෝ දෙනා තේරුම් නොගත් කරුණකි.

දිවයින පුවත්පත ආරම්භයේ සිට ම තම කාර්යභාරය කරගත්තේ ජාතික නිදහස දිනාගැනීම යැයි සිතමි. ඒ සඳහා කිසිවකුට විශේෂිත සැලැස්මක් තිබිණි යැයි මෙයින් අදහස් නො වේ. දිවයින පුවත්පතේ විවිධ පුද්ගලයන් සේවය කළ ද, එය පැදවූ නියමුවා වූයේ එඩ්මන් රණසිංහ මහතා ය. සමාජවාදීන්, ලිබරල්වාදීන් වූ ජනමාධ්‍යවේදීන් හවුල් කරගනිමින් රණසිංහ මහතා ජාතික නිදහස සඳහා වූ පුවත්පතක් ගොඩනැගීම ආරම්භ කළේ ය. දිවයින ඉරිදා සංග්‍රහය මෙන් ම දිවයින බදාදා අතිරේකය ද සංවාද මණ්ඩප බවට පත්විය. 1983 ජූලි කලබලවලින් පසු දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි හඳුනාගැනීමේ වගකීම ද විය. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය ඇරඹුණේ 1983 දී වත් 1981 දී වත් නො වේ. ත්‍රස්තවාදය හැත්තෑවේ දශකයේ අගභාගයේ ඇරඹී තිබුණේ ජ වි පෙරමුණේ ආභාසය ලබමිනි. අපකීර්තිමත් වඩුකොඩේ සම්මේලනය පැවත්වූයේ 1976 දී ය. අද බොහෝ දෙනා තිස් අවුරුදු යුද්ධයක් ගැන පුරුද්දට කතාකරන නමුත් 2009 වන විට දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයට අවුරුදු තිහකට වඩා ගෙවී තිබිණි. කෙසේ වෙතත් ප්‍රභාකරන් හා ආණ්ඩුව අතර යුද්ධයක් නො වී ය. එසේ හැඳින්වීම ම සංකල්පීය වශයෙන් වැරදි ය.

ජාතික ව්‍යාපාරයක් නොව නව ජාතික ව්‍යාපාරයක්

අද මෙරට ඇත්තේ ජන පදනමක් ඇති එක් දේශපාලන පක්‍ෂයක් පමණකි. අනෙක් දේශපාලන පක්‍ෂ පවතින්නේ ජනමාධ්‍යවලට පින් සිදුවන්නට ය. අද දේශපාලනය කිරීම එතරම් අමාරු කාර්යයක් ද නො වේ. ජනමාධ්‍ය සමග මනා සම්බන්ධතාවක් ඇත්නම් පුවත්පත් සාකච්ඡා මගින් පමණක් වුවත් දේශපාලනයෙහි නිරත විය හැකි ය. එය තරමක් වෙනස් වන්නේ මැතිවරණ කාලවල දී ය. එවැනි අවස්ථාවල දී ගෙන්ගෙට ගොස් කරන මැතිවරණ ව්‍යාපාර කුඩා හා මහා රැස්වීම් සංවිධානය වැදගත් වෙයි.

දිවයින පුරා ජන පදනමක් ඇත්තේ ශ්‍රී ල. නි. පක්‍ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සංවිධානයට ය. එහි ද බොහෝ පක්‍ෂ පවතින්නේ ශ්‍රී ල. නි. පක්‍ෂය සමග ගැට ගැසීම නිසා ම පමණක් බව පැහැදිලි ය. බොහෝ කලක් මෙරට ආණ්ඩු කළ පක්‍ෂයක් වූ එ ජා පක්‍ෂයට අද ලබා ඇත්තේ රනිල් ඒරාෂ්ටකය ය. ගැමුණු රජුගෙන් පසුව මෙරට ජීවන ක්‍රමයෙහි දැනෙනසුළු වෙනසක් කළේ එ ජා පක්‍ෂයෙහි නායකයකු වූ ජේ ආර් ජයවර්ධන ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් වූ පෘතුගීසී, ලන්දේසි, ඉංගිරිසි ආණ්ඩුකාරවරුන්ට, පූජකවරුන්ට, නිලධාරීන්ට කළ නොහැකි වූ වෙනසක් නගරවලින් පිටත කිරීමට හැකිවූයේ යටත්විජිතවාදීන්ගේ හොඳම නියෝජිතයා වූ ජේ ආර් ජයවර්ධනට ය. එහෙත් ඔහු ඇතිකළ වෙනසට නායකත්වය දීමට රනිල් අපොහොසත් වීම ඇතැමුනට ප්‍රශ්නයක් විය හැකි ය. රනිල් තම මාමා තරමට මෙරට සංස්කෘතිය නො හඳුනයි. ජේ ආර් ජයවර්ධනට පෙර ඒ සඳහා ඉතා සුළුවෙන් නමුත් දායකත්වයක් ලබා දී තිබුණේ මෙරට බටහිර උගතුන් විසිනි. එහෙත් එය නගරවලට සීමා වූ දායකත්වයක් විය.

ජේ ආර් ජයවර්ධන එ ජා පක්‍ෂයට ඔරොත්තු නොදෙන්නෙක් විය. ඔහු එ ජා පක්‍ෂයට බැඳෙන්නට ඇත්තේ එකල එයට වඩා බටහිර ගැති පක්‍ෂයක් නොතිබූ බැවින් විය යුතු ය. ඔහු එ ජා පක්‍ෂයෙහි බලය අතට ගැනීම වැළැක්වීමට සේනනායකවරු මහත් උත්සාහයක් ගත්හ. සේනානායකලා මුළුමනින් ම ඉංගිරිසින්ගේ ප්‍රසාදයට ලක්වූවෝ නොවුහ. ඔවුහු සිංහල ප්‍රභූවරුන්ගේ දරුවෝ වූහ. විසිවැනි සියවස මුල ඔවුහු නිකම්මු වූහ. ඔවුහු ඕල්කට් බෞද්ධයන් මිස සිංහල බෞද්ධයන් නොවුව ද ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ද වැළඳ නොගත්හ. ජේ ආර් ජයවර්ධන එසේ නො වී ය. ඔහුගේ පියා ශ්‍රෙෂ්ඨාධිකරණ වින්ශ්චයකරුවෙක් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි භක්තිකයෙක් ද ඉංගිරිසින්ගේ ප්‍රසාදය දිනාගත්තෙක් ද විය. ජයවර්ධනලා ඉංගිරිසි සමාජයෙහි ද ප්‍රභූවරු වූහ. එ ජා පක්‍ෂයෙහි මුල සිටම සේනානායකලා හා ජයවර්ධනලා අතර ගැටුමක් විය. ජයවර්ධනලාට එ ජා පක්‍ෂයට වැඩි බටහිර ගැති පක්‍ෂයක් අවශ්‍ය වුව ද ඔවුනට එවැනි පක්‍ෂයක් ජනතාව කරා ගෙන යෑමේ හැකියාවක් නො වී ය. ජේ ආර් ජයවර්ධනට අවස්ථාවක් එනතුරු දත්මිටි කාගෙන එ ජා පක්‍ෂයෙහි රැඳී සිටීම හැරෙන්නට වෙනත් විකල්පයක් නො වී ය. බණ්ඩාරනායක මහතා හා සේනනානායකලා අතර ද ගැටුමක් විය. ඒ ගැටුමෙහි බණ්ඩාරනායක මහතා සිටියේ සේනානායකවරුන්ට වඩා ජාතිකත්වයට බරව ය. එබැවින් බණ්ඩාරනායක මහතාට එ ජා පක්‍ෂයෙන් කැඩී මුල දී ලිබරල්වාදී පක්‍ෂයක් පිහිටුවාගෙන ජනතාව අතරට යෑමේ ශක්තියක් විය. බණ්ඩාරනායක මහතා හා ජේ ආර් ජයවර්ධන ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක ඇති දැඩිවුණ ද ඉංගිරිසි සමාජයෙහි ඉංගිරිසින් විසින් ද පිළිගනු ලැබූ ප්‍රභූන් වුව ද මතවාදී වශයෙන් දෙදෙනා සිටියේ සේනානායකවරුන්ගේ දෙපසෙහි ය. එක් අයකු ඉංගිරිසින්ට, පසුව ඇමරිකානුවන්ට බරව සිටි අතර අනෙක් තැනැත්තා ජාතිකත්වයට බරව සිටියේ ය.

ජේ ආර් ජයවර්ධන බලයට පත්වීමෙන් පසුව රටේ ව්‍යවස්ථාව මෙන් ම එ ජා පක්‍ෂයේ ව්‍යවස්ථාව ද වෙනස් කළේ ය. රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම අවසානයේ දී ඔහුගේ අවශ්‍යතාවන්ට පටහැණි ව ගියේ ය. එම ව්‍යවස්ථාව, ඔහුට විරුද්ධව විශේෂයෙන් ම කොටි පරාජය කිරීමට යොදා ගැණිනි. ජේ ආර් ජයවර්ධනගේ විධායකය කොටින්ට එරෙහිව යොදා ගැනෙනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත. ඔහුගෙන් පසු එ ජා පක්‍ෂයේ බලය නැවතත් සේනානායක පිළට ගියේ ය. එවර ප්‍රේමදාස මහතා එ ජා පක්‍ෂයට නායකත්වය දුන්නේ ය. ඉන්පසු විජේතුංග මහතා කෙටිකලක් නායකත්වයට පත්විය. දැන් නැවතත් ජේ අර් ජයවර්ධන පිළෙහි රනිල් වික්‍රමසිංහ නායකත්වයෙහි වෙයි. එහෙත් එ ජා පක්‍ෂය රනිල් තරම් ඊනියා ජාත්‍යන්තරවාදී නො වේ. එසේ වුවත් රනිල්ට තරගයක් දීමට සේනානායක පිළේ කිසිවකුත් නැත. සජිත් පේ්‍රමදාස මෙන් ම කරු ජයසූරිය ද දේශපාලනයට ආගන්තුක වූ ව්‍යාජ ජාතිකත්වයක් ඇති පුද්ගලයෝ වෙති. එ ජා පක්‍ෂය රුවල් බිඳී ගිය නැවක් මෙන් අතරමං වී ඇත. මෙයින් කියැවෙනුයේ එ ජා පක්‍ෂය දේශපාලනයෙන් අයින් වී ඇති බව නො වේ. එහෙත් අද එ ජා පක්‍ෂයට ජයගනු නො හැකි ය. අද එ ජා පක්‍ෂය බලයට පත්කළ හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාට පමණ ය. ඒ රාජපක්‍ෂ මහතා දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමෙනි.

අද ඊනියා වමේ පක්‍ෂ නැත. ඒ පක්‍ෂ අද අනුර බණ්ඩාරනායක මහතාගේ වචනවලින් නම් ත්‍රිරෝද පක්‍ෂ ය. වමේ පක්‍ෂ දියවී යෑම පටන්ගත්තේ මුල දී ලිබරල් පක්‍ෂයක් වූ ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමෙන් පසුච ය. ඊනියා වමේ පක්‍ෂවලට ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්වයට තරගයක් දියහැකි නො වේ. වමේ පක්‍ෂ සභාග දේශපාලනය නිසා දිය වී ගියා නොව ජාතිකත්වයට මුහුණ දීමට නොහැකිව පළා ගියා වෙයි. කුමාර් ගුනරත්නම්ගේ නායකත්වයෙන් යුත් ජ වි පෙරමුණේ ඊනියා ජාත්‍යන්තරවාදී මෙන් ම දෙමළ ජාතිවාදි වූ කණ්ඩායම අද පැහැදිලිව ම තවත් වමේ පක්‍ෂයක් බවට පත් වී ඇත. අනෙක් බොහෝ වමේ පක්‍ෂ මෙන් නොව ගුණරත්නම් - ඕපාත කණ්ඩායමට ඇමරිකාවේ සහය ලැබෙයි. අද ඔවුන් ඉටුකරමින් සිටින්නේ ඇමරිකාවේ හා ඉන්දියානු ඔත්තු සේවය වූ රෝ සංවිධානයේ අවශ්‍යතාව ය. නීත්‍යානුකූල නොවන සංවිධානයක් වූ ඊනියා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වූ උදුල් ප්‍රේමරත්න රොබට් බ්ලේක් හමු වූ බව කියැවෙයි. ඒ එසේ වුවත් නැතත් බ්ලේක් ලංකාවට පැමිණියේ සිංහල හා දෙමළ තරුණයන් එකතුකර ආණ්ඩු විරෝධී කැරලිකාර කණ්ඩායමක් බිහිකිරීමට ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන දෙඩෙව්ව ද ඇමරිකාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඔවුහු තමන්ට අවශ්‍ය පරිදි බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය රැකගැනීම සඳහා ඕනෑම ත්‍රස්තවාදයකට ආධාර කරති. අද එ ජා පක්‍ෂයට ඡන්දයෙන් රටේ බලයට පත්වීමට නොහැකි බව දන්නා බ්ලේක්ලා ද කෞටිල්‍යලා ද (රෝ සංවිධානය) උත්සාහ ගන්නේ කැරළි ඇතිකර ඉන්පසු ඒ කැරළිකරුවන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් රැක ගැනීමට කියමින් ආර්ථික සම්බාධක පැණවීමට පමණක් නොව අවශ්‍ය නම් රට ආක්‍රමණය කිරීමටත් ය.

කැරැල්ල විශ්වවිද්‍යාලවලින් ආරම්භකිරීමට විශාල ඉඩකඩක් ඇත. අද විශ්වවිද්‍යාලවල ජ වි පෙ හා එ ජා ප හිතවත් ආචාර්යවරු එකට වැඩකරති. පසුගිය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිටුපස සිටියේ ද ඒ කණ්ඩායමයි. බොහෝ ආචාර්යවරුන් ඒ ක්‍රියාමාර්ගයට පිවිසියේ තම වැටුප වැඩිකර ගැනීමේ චෙිතනාවෙන් පමණකි. එහෙත් ඒ පිටුපස ඊනියා ජාත්‍යන්තරවාදී සිංහල විරෝධී දේශපාලනයක් ද විය. අද අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද තම වැටුප් වැඩිකරගැනීමට කටයුතු කරති. අප එය නුදුටුවා නො වේ. එහෙත් ජාතිකත්වයේ දීර්ඝකාලීන පැවැත්ම නොව ආණ්ඩුවේ කෙටිකාලීන පැවැත්ම ගැන පමණක් සිතන සමහරුන් අතර අපේ විශ්ලේෂණවලට තැනක් නොතිබිණි. මේ අතර ජ වි පෙ හා ඊනියා අන්තරේ පෞද්ගලික වෛද්‍ය වි්‍යාලය මුල්කරගෙන නැවතත් තිරිමාවිතාන කෙනකු බිල්ලට දී ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ගේ අවශ්‍යතාවට ආණ්ඩුව පෙරළීමට උත්සාහ දරති. ආණ්ඩුව මෙහි දී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු ය. ජ වි පෙරමුණේ සෝමවංශ - ටිල්වින් - අනුර කණ්ඩායමට අද යන එන මං නැත. එක්කෝ ඔවුන් තරුණයන් අතර තම බලය රඳවා ගැනීමට ගුණරත්නම් - ඕපාත කණ්ඩායමට වඩා “විප්ලවවාදී” විය යුතු ය. ඔවුන් ඒ සඳහා මුල දී උත්සාහ දරණු ඇත. ඔවුන්ට ද ඒ සඳහා ඇමරිකානු හා රෝ ආධාර ලැබෙනු ඇත. බටහිරයන්ට හා කෞටිල්‍යයලාට අවශ්‍ය කවුරුන් ලවා වුව ද තම අරමුණ ඉටුකර ගැනීමට ය. සෝමවංශ කණ්ඩායම ඒ තරඟයෙන් පරාජය වුවහොත් (පරාජයවීමට ඇති ඉඩකඩ වැඩිය) ඔවුන්ට නැවතත් ආණ්ඩුවට එකතුවීම හැරෙන්නට ඇති විකල්පය ත්‍රිරෝද පක්‍ෂයක් බවට නොව පාපැදි පක්‍ෂයක් බවට පත්වීම ය.

අවුරුදු තිහකට ආසන්න කාලයක් තිසසේ දිවයින පුවත්පත ඔස්සේ ගෙනගිය ජාතික ව්‍යාපාරය ද දැන් අවසන් වෙමින් ඇත. එහි ජයග්‍රහණ බොහෝ ය. එහෙත් රට අධාර්මික ය. ඒ අරුතින් ජේ ආර් ජයවර්ධන ජයගෙන ඇත. ජාතික ව්‍යාපාරයෙහි මතවාද ජනතාවගේ හදවත්හි කොණක ඇත. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බලවත්ව තිබෙනතාක් ජනතාව ඒ මතවාද මුළු හදින් වැළඳ නොගනු ඇත. බටහිර සමස්ත සංස්කෘතිය හා ජීවන ක්‍රමය කඩාවැටෙන ලකුණු පහළ වී ඇත. ඒ මාක්ස්වාදී අරුතකින් නො වේ. කඩාවැටෙන බටහිරට නව ජීවන ක්‍රමයක් ඇති කිරීම ගැන හෝඩුවාවක්වත් නැත. එසේ කඩාවැටීමෙන් පසු ජනතාව තිස් අවුරුදු ජාතික ව්‍යාපාරයේ මතවාද වැළඳ ගනු ඇත. එහි දී දේශපාලන පක්‍ෂවලට ඩැහැගත නොහැකි නව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නගිනු ඇත. ඒ නව ජාතික ව්‍යාපාරයට අත්තිවාරම දැමීම අද කාර්යභාරය වෙයි. එහෙත් නව ජාතික ව්‍යාපාරයට පැරණි ජාතික ව්‍යාපාර අමතක කළ නො හැකි ය. එසේ අමතක කරන්නෝ ධර්මය ගැන කියමින් වෙනෙකක් ම කරති.