Main Logo

Sunday, 16 June 2013

ප්‍රා කාරයන්ට ඉඩ දෙමු ද?


රටේ නැවතත් වරක් ප්‍රා කාරයන් ඔළුව ඉස්සීමට දඟලනු පෙනෙයි. ජාතික ව්‍යාපාරය පසුගිය වසර තුන හතරෙහි මඳ පසුබෑමකට ලක් වී ඇති බව පෙනෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සාකච්ඡා කළ යුතු මුත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. ජාතික ව්‍යාපාරය මඳ පසුබැසීමකට ලක් වී ඇති බැවින් එක් පැත්තකින් බටහිරයෝ ජාතික ව්‍යාපාරය නමින් ඔවුන්ගේ ඒජන්තයන් ඉදිරියට එවන අතර අනෙක් පැත්තෙන් ප්‍රා කාරයන්ට මතුවීමට මග සලසති. ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටන අද අමාත්‍ය මණ්ඩල රැස්වීම් දක්වා පැතිරී ගොස් ඇත. වහාම ප්‍රා කරයන් පරාජය නොකළහොත් මෙරට සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වැඩිකල් නොගොස් රටම අහිමිවනු ඇත. එය වැළැක්වීමට නම් බටහිරයන්ගේ ඒජන්තයන් නොවත ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ද ඇතුළු සියළු ජාතික බලවේග වහාම එකතු විය යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මතයට විරුද්ධව කටයුතු කරන ඇමතිවරුන් ඇතුළු පාක්‍ෂිකයන්ට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කළ යුතු ය.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් බලතල සම්බන්ධ වගන්ති කිහිපයක් සංශෝධනය නොකර උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු ය යන්න සිංහලයන්ගේ අති විශාල බහුතරයකගේ මතය වෙයි. එය නොපිළිගන්නා ඕනෑම ප්‍රා කාරයකුට ජනමත විචාරණයක් හෝ මහා මැතිවරණයක් හෝ පැවැත්වූ දිනයක එය දැනගැනීමට හැකිවනු ඇත. ලබන මැතිවරණයේ දී ප්‍රා කාරයන්ට අපේක්‍ෂකත්වය නොදීමට සංධානය ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එමෙන් ම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කරන විට ද ප්‍රා කාරයන්ට කිසිදු ඉඩක් නොදිය යුතු ය. මෙහි දී ප්‍රා කාරයා යනු කවු ද යන්න හඳුන්වා දිය යුතු ය. අසූවේ දශකයේ අවසානයේ ජ වි පෙරමුණට එරෙහිව මිනීමරු ප්‍රා සංවිධානයක් බිහි වූ බව වැඩිහිටි බොහෝ දෙනාට මතක ඇත. ජ වි පෙරමුණේ සියළු ක්‍රියා අනුමත නොකළද ඔවුහු එදා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් එදා මූලික වශයෙන් නැගී සිටියේ දේශද්‍රෝහී ඉන්දු ලංකා ගිවිසුමටත් ඒ ඔස්සේ අප මත බලෙන් පැටවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් පළාත් සභා පනතටත් විරුද්ධව ය. ඊනියා මානව අයිතීන් ගැන කතාකරමින් ප්‍රා සංවිධානය බිහිවූයේ ජාතිකත්වයට එරෙහිව එහෙත් ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාතාසභාවලට පක්‍ෂව ය. ඔවුහු සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධ වූහ. ඔවුහු එක්කෝ කසිකබල් මාක්ස්වාදීහු වූහ. නැත්නම් චන්ද්‍රිකාට හිතවත් රෝසපාට සමාජවාදී ජනවේගකාරයෝ හා වෙනත් අය වූහ. එසේ නැත්නම් ලිබරල්වාදීහු වූහ. බැලූ බැල්මට විවිධ මතධාරීන් වුවත් ඔවුන්ට පොදු වූ සාධකය, අවශ්‍ය නම් මහා පොදු සාධකය, වූයේ ඔවුන්ගේ විජාතිකත්වය ය. ඔවුහු පොදුවේ ගත්කල සිංහල විරෝධීහු වූහ. විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධි වූහ. මේ ඇතැම් ප්‍රා කාරයෝ ජ වි පෙ සාමාජිකයන් ලෙස සැලකූ අය මරාදැමීමට තමන් ම ආයුධ අතට ගත්හ. මේ ලිපියෙහි ද මින් පසුව ද ප්‍රා කාරයන් ලෙස හැඳින්වෙන්නේ මාක්ස්වාදී හෝ ලිබරල්වාදී හෝ ජනවේග අදී වෙනත් බටහිර මතවාදී හෝ සිංහල ජාතිකත්වයට විරුද්ධ වන්නන් ය. අද අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් එදා ජ වි පෙරමුණට එරෙහිව ආයුධ ගත්තත් නැතත් ප්‍රා කාරයෝ වෙති.  සිංහල විරෝධී ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද ඒ අර්ථයෙන් ප්‍රා කාරයෝ වෙති.

ජ වි පෙරමුණේ සියළු ක්‍රියාකාරකම් අප විසින් අනුමත නොකෙරුණ ද එදා ඔවුන් අවි අතට ගත්තේ විජාතික බලවේගවලට එරෙහිව ය. එදා ජ වි පෙරමුණට විරුද්ධ වූවන් අවි අතට ගත්තේ මතු පිටින් බැලූකල ජ වි පෙරමුණට විරුද්ධව වුවත් සිංහල ජාතිකත්වයට එරෙහි ව ය. ඔවුහු විජාතික බලවේගවල නියෝජිතයෝ වූහ. කොටි සංවිධානය ද අවි ගත්තේ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලැබ ඔවුන්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් සිංහල ජාතිකත්වයට එරෙහිව ය. ඉන්දියාව බටහිරයන්ගේ අනුග්‍රහයෙන් අප මත ඉන්දු ලංකා ගිවිසුමත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභාත් පැටවුයේ සිංහලත්වයට එරෙහිව ය. අද ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී ඇත. ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ කිරීමට පොරොන්දු වූ නමුත් එසේ නො කළේ ය. ඊනියා සාම සාධක හමුදාව කොටි සංවිධානය පරදවනු වෙනුවට සිංහලයන් ද ඇතුළු මෙරට ජනතාවට අඩට්තේට්ටම් කළේ ය. ඉන්දු ලංකා ගිවිසුමේ ඉන්දියාවෙන් ඉටුවිය යුතු කිසිවක් ඉටු නොවිණි. එහෙත් ගිවිසුම ඔස්සේ පිහිටුවනු ලැබූ පළාත් සභා තවමත් අප අතර ය. එපමණක් නො වේ. පළාත් සභා පවත්වාගෙන යෑමට ඉන්දියාව අපට බලකරයි. තමන්ගෙන් ඉටුවිය යුතු කොන්දේසි එකක්වත් ඉටුනොකළ ඉන්දියාවට පළාත් සභා පවත්වාගෙන යෑමට අපට බල කිරීමට ඇති නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතිය කුමක් ද? ඇමති මණ්ඩලයේ ප්‍රා කාරයන් කුමක් කීවත් ජනාධිපතිතුමා ඔවුන්ට කන්දිය යුතු නො වේ. ඔවුන් ද අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස වැජඹෙන්නේ මූලික වශයෙන් ම සිංහලයන්ගේ ඡන්දයෙන් බව ඔවුන්ට මතක්කර දිය යුතු ය.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් වගන්තියක් පමණක් සංශෝධනය කිරීමට ප්‍රා කාරයන් එකඟ වී ඇත. අප එයට හසු නොවිය යුතු ය. ඒ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට යන්නේ මෙරට නීතිය නොවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති යටතේ නම් එයට විරුද්ධ විය යුතු ය. එයින් සිදුවන්නේ නීතිය නොවූ එම වගන්ති තහවුරු කිරීම ය.  ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ 82 වැනි වගන්තිය යටතේ ය. එය 82 (6) වගන්තියෙන් අනිවාර්ය කෙරී ඇත. පනත් කෙටුම්පතෙහි 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති 82 වැනි වගන්තියට පටහැණි බැවින් ඒ වගන්ති සම්මතකර ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. එහෙත් ඒ වගන්ති ආණ්ඩුවට අවශ්‍ය අන්දමට නීති විරෝධීව සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සංශෝධනය කෙරිණි. ඒ සංශෝධිත වගන්ති පවා 82 වැනි වගන්තියට පටහැණි ය.  අද කළ යුත්්තේ සංශෝධනය කිරීමට යන වගන්තියත් 154 උ (2) හා උ (3) වගන්තිත් සාකච්ඡා කිරීම පත්කිරීමට යන පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට ම භාරකර කමිටුවේ වාර්තාව ලැබෙන තුරු උතුරු පළාත් සභාවේ මැතිවරණය කල්දැමීම ය. අනෙක් පළාත් සභා මැතිවරණ පැවැත්වීම එතරම් ප්‍රශ්නයක් නොවන්නේ ඒ මැතිවරණවලට ඉදිරිපත්වන්නන්ගෙන් අති විශාල බහුතරය 1976 වඩුකොඩේ යෝජනා නොපිළිගැනීම හේතුවෙනි.

2013-06-16


නලින් ද සිල්වා