දෙමළ ජාතිවාදීහු නැගෙනහිර සහ උතුරු පළාතේ වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කර ගැනීම සඳහා දේශපාලණ බලයක් ඉල්ලා සිටිති. ඉන්දියාව සහ බටහිර රටවල් මේ ඉල්ලීම අනුමත කරන අතර රටතුල ක්‍රියාත්මක වන විදේශීය බලවේග මෙන්ම ආණ්ඩුවේ සමහරක් මැති ඇමතිවරුද එය අනුමත කරති. නමුත් දෙමළ ජාතිවාදීන් ගේ ඉල්ලීමත් අනිත් පළාත්වල සිංහලුන් තමන්ගේ පළාතට දේශපාලණ බලයක් ඉල්ලීමකුත් ප්‍රතිපත්තිමයව එක සමාන නොවේ. දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමේ පදනම ඒ පළාත් තමන්ගේ නිජ බිමවේය යන්නය. ඒ නිසා ඔවුන්ට එම පළාත් තමන්ට අවශ්‍ය ආකාරයට පාලණය කර ගැනීමට සුවිශේෂ අයිතියක් ඇතැයි ඔවුහු උපකල්පණය කරති. නමුත් සිංහලයන් තමන් ජීවත්වන ප්‍රදේශයට දේශපාලණ බලයක් අවශ්‍යයැයි ඉල්ලන්නේ නම් ඒ ඉල්ලන්නේ රටේ ඒකීය භාවය පිළිගනිමිනි. එකම පරිපාලණ ව්‍යුහය තුල වුවද මෙවැනි ප්‍රතිපත්තිමය වෙනසක් තිබීම රටේ දේශපාලණ ක්‍ෂේත්‍රයේ අසමමිතික බවක් ඇති කරයි. එය රටේ ඒකීය භාවයට තර්ජනයකි.
සිංහලයෝ තමන් ජීවත්වෙන ප්‍රදේශ පමණක් තම නිජ බිම ලෙස නොසලකති. ඔවුන්ට මුලු ශ්‍රී ලංකාවම තම නිජ බිමය. එමෙන්ම තමන් වෙසෙන ප්‍රදේශය ඉන් පිටත ජීවත්වන රටවැසියන්ටද අයිති ලෙස සැලකිය හැකි බව ඔවුහු පිළිගනිති. උදාහරණයක් වශයෙන් වයඹේ ජීවත්වන මිනිසුන් උතුරත් දකුනත් තමන්ට අයිතියැයි සලකන අතරම ඒ පළාත්වල මිනිසුන්ටද වයඹට අයිතියක් ඇතැයි වයඹේ මිනිස්සු පිළිගනිති. නමුත් දෙමළ ජාතිවාදීහු නැඟෙනහිර හා උතුරු පළාත් පිළිබඳ දරන ආකල්පය මෙය නොවේ. ඔවුන්ට අනුව ඔවුන්ගේ නිජ බිම් වලට ඔවුන්ට සුවිශේෂවූ අයිතියක් ඇත. ඔවුන්ට තම පළාත්වලට ඇති අයිතිය රටේ අනිකුත් පළාත්වල වෙසෙන සිංහල ජනතාවට නැතැයි සිතති. පැහැදිලිවම නැඟෙනහිර හා උතුරු පළාත් තම නිජ බිම් යැයි සැලකීම තුලින් දෙමළ ජාතිවාදීහු ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂ්ප කර සිටිති.
ඉන්දියාව බටහිර සහ ඔවුන්ගේ ගැත්තන් පළාත් සභා හරහා දේශපාලණ බලය පිරිනමන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ඒකීය භාවය ප්‍රතික්‍ෂේප කර ඇති දේශපාලණ බලවේගයකටය. එවැනි බලවේගයක ක්‍රියාකාරිත්වය ව්‍යවස්ථාවෙන් ආවරණය කල හැකිද?
මෙහිදී මතු කෙරෙන ප්‍රශ්ණය දහතුන්වෙනි සංශෝධනය මඟින් රටේ ඒකීය භාවය නැතිවේද නැද්ද යන්න පමණක් නොවේ. අවශ්‍යනම් අපට පළාත් සභා සම්බන්ධ නීති රීති රටේ ඒකීය භාවය සුරැකෙන පරිදි වෙනස් කර ගත හැකියැයි සිතිය හැකිය. නමුත් දේශපාලණයේ යෙදෙන්නේ ප්‍රාණී දේශපාලකයින් මිස අප්‍රාණී ව්‍යවස්ථාව නොවේ. දෙමළ ජාතිවාදී දේශපාලකයින් රටේ ඒකීය භාවය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්‍ෂේප කර ඇතිවිට ඔවුන්ගෙන් රටේ ඒකීය භාවයට ඇතිවිය හැකි තර්ජනය ව්‍යවස්ථාවෙන් පමණක් වලකා ලිය හැකිද? උදාහරණයක් වශයෙන් දේශපාලණ බලයක් ලත්විට උතුරු පළාත තමන්ගේ නිජ බිම යැයි සලකන දේශපාලකයින් සිංහලයින්ට තම පළාතේ පදිංචිවීමට, රැකියා කිරීමට, වෙළඳාම් කිරීමට, පංසල් තැනීමට, රාජ්‍ය ද්‍රෝහීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට, පුරාවිද්‍යා ගවේශණයට, පාසල් වල සිංහලෙන්ද ඉගැන්වීමට, රටේ ඉතිහාසය ඉගැන්වීමට, රටට විරුද්ධ විදේශීය බලවලට එරෙහිව එම ප්‍රදේශතුල ක්‍රියාත්මක වීමට ආදී නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් ඉඩ දෙයිද? ව්‍යවස්ථාවෙන් පමණක් මේ ඉඩ ලබා දී තිබීම ප්‍රමාණවත් නොවේ. නිජ බිම සංකල්පය මත බලය ඉල්ලීම තුලින් දෙමළ ජාතිවාදීන් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි ඉඩක් සිංහලුන්ට නොදෙන බවය. එකම නීතිමය හා පරිපාළන ව්‍යුහය තුල වුවද නිජ බිම පදනම් කරගත් දේශපාලණයක් හා එවැනි පදනමක් නැති දේශපාලණයක් අතර බල අසමමිතිකමක් ඇතිවීම රටේ ඒකීය භාවයට තර්ජනයකි.
බලය විමධ්‍යගත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය භාවය මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයද ආරක්‍ෂාකල යුතුය. පළාත් සභා සම්බන්ධ නීති රීති වෙනස් කිරීමෙන් පමණක් එය ඉටු කර ගත නොහැකිය. කල යුත්තේ නිජ බිම් දේශපාලණයද නීති විරෝධී කිරීමය. එනම් කිසිම ජාතියකට හෝ ආගමකට හෝ අයත් ජන කොටසකට රටේ තෝරාගත් ප්‍රදේශයක් තම නිජ බිම ලෙස සලකා දේශපාලණය කිරීම, ඒ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පක්‍ෂ සංවිධාන කරගැනීම හා එහි සාමාජිකත්වය ලබාදීම හා ලබා ගැනීම නීති විරෝධී කල යුතුය. රටේ ඒකීය භාවය පිළිගන්නේනම් මේ පිළිබඳව කිසිවකුටත් ප්‍රශ්ණයක් තිබිය නොහැකිය. නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම යනු යම් ජන කොටසක අනන්‍යතාව හෝ ඔවුන්ගේ සංස්කෘතිය හෝ ඔවුන්ගේ ඉතිහාසය හෝ ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් හෝ ප්‍රතික්‍ෂේප කිරීම නොව මුළු රටම ඔවුන්ගේ නිජ බිම යැයි පිළිගැනීමය. එහි වරදක් ඇත්ද? ඉංග්‍රීසීන් විසින් දහනවවන සියවස අග භාගයේ වෙන් කරන ලද නැගෙනහිර හා උතුරු පළාත් දෙමළ ජනතාවගේ නිජබිම යැයි සැලකීමට ඓතිහාසික සාධක නැති බව විද්වතුන් විසින් පැහැදිලිවම පෙන්වා ඇති බැවින් ඒ පිළිබඳව සෙද්ධාන්තික ප්‍රශ්ණයක්ද තිබිය නොහැකිය.
නිජ බිම් දේශපාලණය නීති විරෝධී කල යුතුව තිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟමය. ඇමරිකාව ඔවුන්ගේ සිවිල් යුද්ධයෙන් පසුව ක්‍රියා කල ආකාරය එයට හොඳ ආදර්ශයකි. සිවිල් යුද්ධයට පෙර ඇමරිකාවේ දකුනු ප්‍රාන්තවල ආර්ථිකය රැඳුනේ අප්‍රිකාවේ සිට බලහත්කාරයෙන් එහි ගෙනා වහලුන්ගේ ශ්‍රමයෙනි. උතුරු ප්‍රාන්ත වහලුන් තබා ගැනීමට විරුද්ධවූ නිසා දකුණු ප්‍රාන්ත වෙනම රාජ්‍යයක් පිහිටුවාගැනීම සඳහා උතුර සමඟ යුධ වැදිනි. ඒ යුද්ධයෙන් උතුර දිනූ අතර ඉන් පසු ඔවුහු මුලු රටේම වහලභාවය නීති විරෝධී කලහ. යුධයෙන් දිනූ උතුරු ඇමරිකානුවන්ට තමන්ගේ දේශපාලණ දැක්ම මුලු රටටම බලපාන ලෙස නීති ගත කිරීමට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නොවිනි. එල්ටීටී ත්‍රස්තවාදයට පදනමවූයේ ඊනියා නිජ බිම් දේශපාලණයය. එල්ටීටීයේ පරාජයත් සමඟ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීම අපට ගැටළුවක් නොවිය යුතුය. අවාසනාවකට අද අපට නිජ බිම් දේශපාලණය නීති විරෝධී කිරීමට තබා පළාත් සභා අහෝසි කිරීමටවත් ශක්තියක් නැත.
නිජ බිම් දේශපාලණය නීතියෙන් අහෝසි කර ඊට විකල්පයක් දෙමළ ජනතාවට ලබාදිය යුතුය. එය ව්‍යවස්ථාවෙන් කල නොහැකිය. එය සාමාන්‍ය දෙමළ ජනතාව තුලින් බිහි විය යුතුය. වඩාත් නිවැරදිව කියන්නේ නම් විකල්ප දේශපාලණයක් ඔවුන් විසින් බිහි කර ගත යුතුය. අද රජය සමඟ සමහර දෙමළ දේශපාලකයින් යම් සුහදතාවක් පැවැත්වුවද ඔවුන් කරන විකල්ප දේශපාලණයක් නැත. නමුත් එය ගොඩනඟාගත නොහැකි දෙයක් නොවේ. එය දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් මත පදනම්වුනු සාමාන්‍ය දෙමළ ජනතාවගෙන් පැණනැගුනු ජාතික ව්‍යාපාරයකට කල හැකිය. රටේ ඒකීය බව රැකෙන පරදි බලය බෙදීමක් බලාපොරොත්තුවිය හැක්කේ නිජ බිම් දේශපාලණය නීති විරෝධී කරන රටේ ඒකීය බව සුරකින ව්‍යවස්ථාවක් තුල දෙමළ ජනතාව විකල්ප දේශපාලණයකින් නියෝජනය වෙන අවස්ථාවකදීය. එවැනි වාතාවරණයක් තුල පළාත් සභා වලටත් එහා යන අර්ථවත් ස්වාධීනවූ දේශපාලණ බලයක් ප්‍රාදේශීය ඒකකට වලට ලබාදිය හැකි වනු ඇත.
ජානක වංශපුර