Main Logo

Showing posts with label ප්‍රපංච. Show all posts
Showing posts with label ප්‍රපංච. Show all posts

Monday, 16 January 2012

වෙනස්වීම

වාස්තවිකත්වය යනු හුදෙක් සාධාරණිකරණයක් වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසින් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යැයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මෑතක් වන තුරුම සතුන්ට මනස් ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක බඹුන් දකින ලෝක ගැන කතාකිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක් පවා නැත. ඒ එතරම් ම වියුක්ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්කෘතියෙහි ඉඩක් නැත.

මිනිසුන් සියළු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත්කල එකම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස් පෙනෙයි. මේස ස්පර්ශ කළ හැකි ය. එකම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියළු දෙනාට ම එකම දේ පෙනන්නේ යැයි එසේත් නැත්නම් අප එකම දේ ග්‍රහණය කරගන්නේ යැයි සිතමු. එමෙන් ම අප ඉපදෙන්නට කලින් ද අප මිය යෑමෙන් පසුව ද මල් ගස් ආදිය තිබිණ, තිබෙන්නේ යැයි අපි සිතමු. ඩාවින්ගේ පරිණාම වාදය අනුව ලෝකාරම්භය හෙවත් බටහිර විද්‍යාවේ මහා පිපිරුම දක්වා මල් නොතිබුණ ද අප ඉපදෙන්නට පෙර ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් තිබුණේ යැයි අපි බටහිරයන්ට අනුව විශ්වාස කරමු. අපේ මරණයෙන් පසුව ද එලෙස ම ඉතා විශාල කාල පරිච්ඡෙදයක මල් පවතින්නේ යැයි අපට කියා දී ඇත.

මෙයින් බටහිරයන් ලබාගන්නා නිගමනය කුමක් ද? අප ඇතත් නැතත් මල් ගස් ආදිය පවතින්නේ නම් ඒවා අපෙන් තොරව පවතින්නේ යැයි බටහිරයෝ නිගමනය කරති. මෙය බටහිරයන්ගේ පමණක් නොව පෙරදිග ද ඇතැම් දාර්ශනිකයන්ගේ නිගමනය වෙයි. එහෙත් ඒ ඒ අය එවැනි නිගමනයකට එළඹෙන්නේ කෙසේ ද? එය තර්ක කිරීමෙන් අපෝහනය නිගමනය (deduce) කළ හැකි දෙයක් නො වේ. අපත් අපේ මුතුන් මිත්තනුත් මල් දැක ඇති පමණින් මල් අති විශාල කාල පරිච්ඡෙදයක අපෙන් තොරව අපෙන් ස්වායත්ත ව පැවතියේ යැයි අප නිගමනය කරන්නේ කෙසේ ද?

එය නිගමනයක් යැයි කීව ද තර්කයෙන් ලබාගන්නා වූ නිගමනයක් නො වේ. එය අපෝහනයක් නොව අභ්‍යුහනයක් (induction) පමණකි. කළු කපුටන් සියයක් දෙසීයයක් දැකීමෙන් පසු සියළු කපුටන් කළු පාට යැයි අප නිගමනය කරන්නේ යැයි කීව ද එය ද අභ්‍යුහනයක් පමණකි. පරම්පරා කිහිපයක් මල් ගස් ආදිය දැක ඇති බවට සාක්‍ෂි තිබූ පමණින් සෑමදාමත් මල් ගස් ආදිය තිබුණේ යැයි අපට කිව හැකි නො වේ. කෙසේ වෙතත් ඩාවින්ගෙන් පසුව බටහිරයන් පවසන්නේ පරිණාමයේ යම්කිසි අවස්ථාවක දී ගස් මල් ආදිය ඇති වූ බවත් ඉන් පසුව අපෙන් ස්වායත්ත ව ඒ පවතින බවත් ය. එහෙත් එය ද අභ්‍යුහනයක් පමණකි. මෙහි දී නොකියා සිටීමට බැරි දෙයක් නම් මුළු මහත් ඩාවීනීය පර්ණාමවාදය ම අභ්‍යුහනයක් පමණක් බව ය. එය ප්‍රත්‍යක්‍ෂයක්වත් අපෝහනයක්වත් (නිගමනයක්වත්) නො වේ. එහි ඇති තර්කයක් නැත.

අප තර්කයට හා අපෝහනයට විශේෂ තැනක් දෙන්නේ යැයි මෙයින් සිතාගත නො යුතු ය. මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වෙයි. එනම් අපෝහනය ද අභ්‍යුහනයක් ආශ්‍රයෙන් කෙරෙන්නක් වීම ය. අපෝහනය යනු තර්කය ආශ්‍රයෙන් සිදු කෙරෙන්නකි. තර්කය යොදා ගැනෙන්නේ යම් න්‍යායක (logic) ය. ඇරිස්ටෝටලීය න්‍යායෙහි A = A ,A= B B= C නම්| A= Cයනුවෙන් ස්වසිද්ධි වෙයි. මුළු මහත් බටහිර ගණිතය ම මෙවැනි ඈරිස්ටෝටලිය ස්වසිද්ධි මත පදනම් ව කෙරෙන අපෝහනවලින් හා අභ්‍යුහනවලින් යුක්ත වෙයි. A > B හා B> C නම් A> C යනු තවත් එවැනි ස්වසිද්ධියකි. බටහිර ගණිතයෙහි අපෝහනය සඳහා යොදාගන්නා මේ ස්වසිද්ධි අභ්‍යුහනයන් බව බොහෝ දෙනා නො දනිති. අභ්‍යුහනය යනු උපකල්පනයකින් මිස අන්කිසිවකින් සිදුවන්නක් නො වේ.

A =A යනුවෙන් ගැනීමේ දී අප කරන්නේ කුමක් ද? පළමුවෙන් මA යනුවෙන් යමක් පවතින්නේ යැයි අපි සිතමු. මෙහි A යනු ඕනෑම දෙයක් සත්වයකු වෙනුවෙන් යෙදිය හැකි ය. ඕනෑම ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී හෝ වූවක් අපි A යනුවෙන් හඳුන්වමු. A යනු දිනිඳු විය හැකි ය. එසේත් නැත්නම් අප වත්තේ ඇති පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් අසවල් තාරකාව විය හැකි ය. ඒ සෑම අවස්ථාවක දී ම දිනිඳු හෝ පොල්ගස හෝ තාරකාව හෝ පවතින්නේ යැයි අපි සිතමු. එහි දී අපි පැවැත්ම උපකල්පනය කරමු. මෙහි තවත් කරුණු දෙකක් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු ය. අපි ඒ කරුණු ද උපකල්පනය කරමු. උපකල්පන හැරෙන්නට, අපේ මනස්වලින් අප නිර්මාණය කරන දෑ හැරෙන්නට වෙනත් ලෝකයක් අපට නැත.

දිනිඳු හෝ අප දන්නා පොල් ගස හෝ තාරකාව හෝ වියුක්ත දේ නො වේ. ඒවා සංයුක්ත දේ වෙයි. අපි දිනිඳු හඳුනමු. අපේ වත්තේ ඇති අසවල් පොල්ගස දනිමු. එසේ ම අසවල් තාරකාව ද දනිමු. ඒ අපේ මනස සමග ගත්කල පංචේන්ද්‍රියයන්ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ ගෝචර වෙයි. (මනස නොමැතිව කිසිම වෙනත් ඉන්ද්‍රියයකට ඒ ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය) අපි දිනිඳු පවතින බව දනිමු. එමෙන් ම අපි පොල්ගස ද පවතින බව දනිමු. එහෙත් අපි මෙහි දී තවත් දෙයක් උපකල්පනය කරමු. එනම් අප නැතත් දිනිඳු පවතින බව ය. අප අද මළත් බොහෝ විට දිනිඳු හෙටත් අනිද්දාත් ඉන් පසුවත් කාලයක් ජීවත්වන බව අපි දනිමු. පොල්ගස හා තාරකාව ද එලෙස ම අප නැතත් තවත් යම් කලයක් පවතින බව අපි දනිමු. එහෙත් එසේ පවතින්නේ අප දන්නා දිනිඳු ද? වෙනත් අයකු දන්නා දිනිඳු ද? එසේත් නැත්නම් අප කවුරුවත් නොදන්නා වාස්තවික දිනිඳු කෙනෙක් ද?

මෙහි දී අපි දිනිඳුට පොල්ගසට හා තාරකාවට වාස්තවික පැවැත්මක් ලබා දී ඇත්තෙමු. එහි දී් මා දන්නා දිනිඳු ඔබ දන්නා දිනිඳු නොවන බව අපි අමතක කරමු. පොල්ගස හා තාරකාව සම්බන්ධයෙන් ද ඒ එසේ ය. අපි සාපේක්‍ෂය නිරපේක්‍ෂයක් බවට පත්කර ඇත්තෙමු. ඒ කිසිදු තර්කයක් න්‍යායක් අනුව සිදුවන්නක් නො වේ. එය ද අභ්‍යහනයක් පමණ ය. අපට සාපේක්‍ෂ වූ දිනිදු අපට සාපේක්‍ෂ නොවූ නිරපේක්‍ෂ දිනිඳු කෙනකු බවට පත්කිරීම අභ්‍යුහනයක් පමණ ය. පුදන කොට ම කාපි යකා වැනි ඒ නිරීක්‍ෂණයට පසුව අපA යන්නෙන් දිනිඳු මෙන් ම පොල්ගස ද තාරකාව ද හඳුනාගන්නා බව මතක් කර දිය යුතු ය. A යනු එවිට වියුක්ත සංකල්පයකි. එය මනසින්වත් මවාගත හැකි නො වේ. එය ඕනෑම පොල්ගසක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම තාරකාවක් විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑම පුද්ගලයකු විය හැකි ය.

ඉන්පසු අප කියන්නේ එයටත් වඩා භයානක දෙයකි. A පවතින බව උපකල්පනය කර අනතුරුව අපි A =A යැයි කියමු. එහි පදනම කුමක් ද ? A =A වන්නේ යම් ක්‍ෂණයක ද? නැත්නම් දිගින් දිගට ම ද? දිනිඳු තමන්ට සමාන වේ ද? එසේ නම් ඒ කොපමණ කාලයකට ද? දිනිඳු තමන්ට සමාන වන්නේ ජීවත් ව සිටිනතාක් කල් පමණ ද? මරණින් පසු වෙනත් භවයක ඇත්තේ දිනිඳු ද? වෙනත් අයකු ද? දිනිඳු හා වෙනත් අයකු ද? දිනිඳුත් නො වේ ද වෙනත් අයකුත් නො වේ ද?

පොල්ගස සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද? පොල්ගස එයට සමාන වන්නේ එක් ක්‍ෂණයක දී ද? එය එයට ගස මැරෙන තෙක් ම සමාන වන්නේ ද? පොල්ගසේ මරණයෙන් පසු පොල්ගස සමාන වන්නේ කුමකට ද? පොල්ගස සම්බන්ධයෙන් ගත්කලA =A යන්න ගසෙහි අභාවයත් සමග අවසන් වන්නේ ද? තාරකාව ඇතුළු අනෙක් සියළු දෑ සම්බන්ධයෙන් ඒ අයුරෙන් සමානත්වය ප්‍රශ්න කළ හැකි ය.

දිනිඳු ඊළඟ භවයේ දී නොව මේ භවයෙහි ද දිගින් දිගට ම තමන්ට සමාන වන්නේ ද? බිළිඳු දිනිඳු, ළමා දිනිඳුට හෝ තරුණ දිනිඳුට හෝ වැඩිමහළු දිනිඳුට හෝ සමාන නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. දිනිඳුගේ හැඩ රුව දිනෙන් දින ම වෙනස් වෙයි. ඔහුගේ හැකියාවන් වෙනස් වෙයි. බිළිඳු දිනිඳුට කළ නොහැකි දේ තරුණ දිනිඳුට කළ හැකි ය. තරුණ දිනිඳුට නොමැති අත්දැකීම් වැඩිමහළු දිනිඳුට වෙයි. එසේ නම් දිනිඳු තමාට සමාන යැයි පවසන්නේ කිනම් අරුතකින් ද?

ඉතා පැහැදිලි ව වෙනස්වන ඊනියා ප්‍රපංචයක විවිධ අවස්ථා සමාන යැයි ගැනීමට අප නිරර්ථක උත්සාහයක යෙදෙන බව පෙනී යා යුතු ය. වෙනස්වන ප්‍රපංචය යන්න ද වෑරදි ඇත් ගෙන දෙයි. වෙනස්වන දිනිඳු තමාට සමාන යැයි ගැනීම පිටුපස ආත්මවාදයක් ඇති බව පැහැදිලි ය. දිනිඳුගේ කෙස්, හම හෝ වෙනත් එවැන්නක් හෝ නොව වෙනස් නොවන ආත්මයක් පමණක් දිගින් දිගට ම එයට ම සමාන විය හැකි ය. ඒ ආත්මය අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නොවීම හේතුවෙන් එයට ද වියුක්තයක් යැයි කිව හැකි ය. දිනිඳු තමන්ට ම සමාන විය හැක්කේ එවැනි වෙනස් නොවන නිත්‍ය ආත්මයක්, සදාකාලික ආත්මයක් ඇත්නම් ය. අප තේරුම් නොගත්ත දA =A යනු ආත්මවාදී ප්‍රකාශයකි.

දැන් යමකුට ප්‍රශ්නයක් විය හැක්කේ දිනිඳු තමන්ට ක්‍ෂණයක දී සමාන විය හැකි ද යන්න ය. අප එයට ඔව් යැයි පිළිතුරු දුන්න ද, ඊළඟ ක්‍ෂණයෙහි දී පවතින්නේ වෙනස් වූ දිනිඳු කෙනකු බව පැහැදිලි විය යුතු ය. එහෙත් අපට දිනිඳු යම් ක්‍ෂණයක දී තමන්ට සමාන විය හැකි ද යන ප්‍රශ්නය අප හමුවේ වෙයි. මෙහි දී අපට නැගෙන පළමු ප්‍රශ්නය නම් ක්‍ෂණය යනු කුමක් ද යන්න ය. අප ක්‍ෂණයක් යනුවෙන් අර්ථදක්වන්නේ කුමක් ද? දිනිඳු ක්‍ෂණයකට පමණක් පවතින්නෙක් ද? ඊළඟ ක්‍ෂණයෙහි දී දිනිඳු වෙනස් වුවත් එක් කුඩා ක්‍ෂණයකට පමණක් දිනිඳු පවතින්නේ ද? අප විසින් පණවන ලද සංකල්පයක් වූ, පඤ්ඤත්තියක් පමණක් වූ, කාලයෙන් කොටස් කඩා ඒ කොටස් ඉතා කුඩා කර ඒ පවතින බව අපට කිව හැකි ද? එසේත් නැතහොත් ක්‍ෂණයක් යනු කාලයෙන් විනිර්මුක්ත වූ කුඩා කොටසක් ද?

කාලයෙන් විනිර්මුක්ත වූ ක්‍ෂණ නමින් හැඳින්විය හැකි එවැනි කුඩා කොටස් පවතින්නේ ද? එසේ නම් ඒ පවත්නා කුඩා කොටස් මොනවා ද? එවැනි ක්‍ෂණ වාස්තවික ද? නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත ද? ඒ ක්‍ෂණවලට වාස්තවික පැවැත්මක් ඇත් ද? ක්‍ෂණයෙන් ක්‍ෂණයට ඇත්තේ සන්තතික වූ සම්බන්ධයක් ද? එසේත් නැත්නම් අසන්තතික ක්වොන්ටම් සම්බන්ධයක් ද? එසේත් නැතහොත් වෙනත් ම වූ සම්බන්ධයක් ද? යම් ක්‍ෂණයක දී තමන්ට ම සමාන වූ දිනිඳු ඊළඟ ක්‍ෂණයට වෙනස් වී පනින්නේ ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත ම ද? එසේත් නැත්නම් ක්‍ෂණයෙන් පිටත දී ද? වෙනස සිදුවන්නේ ක්‍ෂණය ඇතුළත නම් දිනිඳු ක්‍ෂණයක දී තමන්ට සමාන වන්නේ යැයි කීමේ තේරුම කුමක් ද?

Wednesday, 21 December 2011

ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තුවල පැවැත්ම

අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට අපේ සාහිත්‍යය මෙන් ම ජනප්‍රවාද ද යොදාගැනීමට සිදුවෙයි. ඒ එකක්වත් මිථ්‍යා මත ලෙස බැහැර කළ යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් ඒ කරුණු මිථ්‍යා මත ලෙස ඉවත දැමීමට අනුබල දෙතත් අප එයින් නොමග යා යුතු නො වේ. බටහිර විිද්‍යාඥයන් කර ඇත්තේ විශේෂයෙන් ම බයිබලයේ සඳහන් කරුණු ඊනියා විද්‍යාත්මක ආකාරයකට ප්‍රකාශ කිරීම පමණකි. එසේ කරන ලද ප්‍රකාශ, ඒ ප්‍රකාශ මත ම පදනම් වෙමින් කරන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමග සංගත වන බව පෙන්වීමෙන් බටහිර විද්‍යාඥයන් තම විද්‍යාවට වටිනාකමක් ලබා දී ඇත. එහෙත් මේ වටිනාකම බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය සමග ද බැඳී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යය හේතුවෙන් බටහිර අච්චුවේ පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ඔවුන්ගේ දැනුම ලෝක පූජිත තත්වයකට පත්කර ඇත.

විශ්වවිද්‍යාලවල ඇති ස්වාධීනත්වය ගැන සියලු දෙනාම පාහේ කතාකරති. එහෙත් බටහිර නොවන විද්‍යාවක් ඉගැන්වීමට හෝ බටහිර විද්‍යාව විවේචනය කිරීමට හෝ විශ්වවිද්‍යාලවල ඉඩක් නැත. එහි සිටින අනුකාරක ආචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයට බටහිර දැනුමෙන් ඔබ්බට ගොස් සිතීමට කෙසේවත් නො හැකි ය. ඔවුන්ට බටහිර දැනුමෙහි ද සිතීමට නොහැකි බව ඔවුන් අතින් කිසිදු සංකල්පයක් බිහි නොවීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් කරන්නේ ශාස්ත්‍රීය ලෝකයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක්, සංකල්පීය වශයෙන් කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක්, බටහිර විද්‍යාව ඇතුලූ බටහිර දැනුමෙහි ප්‍රවාද ආශ්‍රයෙන් විසඳීම පමණ ය. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සැසිවාරවලට ඉදිරිපත්කර ඇති ඊනියා පර්යේෂණ පත්‍රිකාවල එකම සංකල්පයක්වත් සාකච්ඡාවට බඳුන් නො වේ. පසුගිය දා මහත් ආන්දෝලනයට ලක් වූ නාථ දෙවියන් විද්‍යාවේ සම්පත් දායකයකු ලෙස යොදාගැනීම පිළිබඳවවත් සාකච්ඡාවක් එහි දී ඇති නො වේ. එහෙත් එහි සාමාජිකයන් වන බටහිර විද්‍යාව විසින් අනාථ කරනු ලැබ ඇති බටහිර විද්‍යාවේ හෙංචයියන්ලා හා හෙංචක්කලා නාථ දෙවියන් සම්බන්ධයෙන් මට විරුද්ධව සංගමයේ නිල ප්‍රකාශ කිරීමට තරම් නිවට වූහ. අද වන විට බටහිර ම වාසය කරන බටහිර ම උපත ලත් ඉහළ ම බටහිර වෝහාරික වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරු රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පවසති. මෙරට අනුකාරක බටහිර විද්‍යාඥයන්ට දැන් කීමට දෙයක් නැත්තේ ඉහත කී වෛද්‍යවරු ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍රවන ඉහළ විද්‍යාඥයන් බැවිනි.

එහෙත් අද බටහිර විද්‍යාවට ප්‍රශ්න මතු වී ඇත. බටහිරයන්ගේ ලෝකය පංචේන්ද්‍රියයන්ට පමණක් අවසානයේ දී සීමාවෙයි. ඔවුන් ගුරුත්වාකර්ෂණය, අවකාශ කාලයෙහි වක්‍රතාව ආදී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්ත ද අවසානයේ දී නිරීක්‍ෂණය කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයකි. ඔවුන්ට ඉන්ද්‍රිය ගෝචර ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නැත. එහෙත් ඔවුහු ඒ ලෝකය තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. ුහද ඇති පරස්පරය යම් තරමකටවත් තේරුම් ගත්තේ අර්නස්ට් මාක් නමැති ඕස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥයා හා දාර්ශනිකයා ය. ඊනියා ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොවට පොල් වැටෙන ආකාරය කතාකරති. ඒ අතර් ඔවුන්ට ක්වොන්ටම් ලෝකයෙහි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච ගැන කතාකිරීමට ද සිදු වී ඇත. එහි දී ඔවුන් සතුව ඇති සාහිත්‍යය ජනප්‍රවාද මගින් ඒ ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච විස්තර කිරීම සඳහා ප්‍රවාද තනාගැනීමේ අපහසුතාවක් වෙයි. බටහිර විද්‍යාවට තවත් දුර යෑමට නම් ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච තේරුම් කර දීමට සමත් විය යුතු ය.

මනස යන්න ද ඉන්ද්‍රිය ගෝචර නොවන්නකි. මෙහි දී අපට දැනට එක්තරා ආකාරයකට සීමිත ව වුවත් සංකල්පීය නිරවුල් බවක් ඇතිකර ගතයුතු ව ඇත. ක්වොන්ටම් අංශු ඉන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය ද ඉන්ද්‍රිය ගෝචර නො වේ. ක්වොන්ටම් අංශු හා ගුරුත්වාකර්ෂණය අතර සංකල්පීය වෙනසක් තිබේ ද? ගුරුත්වාකර්ෂණය යන සංකල්පය නිර්මාණය කරනු ලැබුයේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කර දීම සඳහා ය. පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන යැයි නිව්ටන් කීවේ ය. එය ඔහුගේ නිර්මාණයක් පමණකි. ඒ සංකල්පය පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නක් නො වේ. පොළොවට පොල් වැටීම ඉන්ද්‍රිය ගෝචර වන අතර එය තේරුම් කර දීම සඳහා නිර්මාණය කෙරුණු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. මෙහි දී පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට අපට යොමු වීමට සිදු වී ඇත. සිංහල බෞද්ධයනට පැවැත්ම යනු සම්මුතියක් පමණකි. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම්මුති වශයෙන් ගත්කල පවතින්නේ යැයි අපි කියමු. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ගැන අපට කිව හැක්කේ කුමක් ද? ඒ සංකල්පවලින් සම්මුති වශයෙන්වත් නොපවත්නා දේ කියැවෙන්නේ ද?

ක්වොන්ටම් අංශු ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එහෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදිය පමණක් නොව දැන් ආලෝකයේ වේගය සම්බන්ධව බොහෝ දෙනාගේ කතාබහට ලක්වන න්‍යුට්‍රීනෝ ද පවත්නා අංශු ලෙස සැලකෙයි. ඒවා අවසාන වශයෙන් ගත්කල දොඹ ගෙඩි, පොල් ගෙඩි මෙන් පවතින දේ ය. සිංහල බෞද්ධයන්ට ඒ පවතින්නේ සම්මුති වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර වස්තු වුව ද සිංහල බෞද්ධයනට සම්මුතියෙන් පමණක් පවතින දේ ය. ප්‍රෝටෝන ඉංද්‍රිය ගෝචර නොවූව ද සම්මුති අර්ථයෙන් පවතියි. එහෙත් ගුරුත්වාකර්ෂණය එසේ නො වේ. එය සම්මුති අර්ථයකින් වුවත් නො පවතියි. ඉන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය අවශ්‍ය වන්නේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් කරදීමට යෑමේ දී ය.

ඇතැම් විට කෙනකුට කිවහැක්කේ ප්‍රෝටෝන ආදිය ද අවශ්‍ය වන්නේ වෙනත් ප්‍රපංචයක් තේරුම් කර දීමේ දී බව ය. පරමාණුවේ ආකෘතිය තැනීමේ දී ප්‍රෝටෝන අවශ්‍ය වී ඇතැයි යමකුට කිව හැකි ය. එහෙත් එසේ නිර්මාණය කෙරුණ ද ප්‍රෝටෝන යන සංකල්පය වෙනත් කාර්යයන්හි දී ද යොදාගත හැකි වෙයි. විවිධ පරමාණුක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන ආදී සංකල්ප යොදා ගැනෙයි. ඒ සංකල්ප අද වන විට ඒවා නිර්මාණය කරනු ලැබූ ප්‍රපංච තේරුම් කරදීම්වලට ඔබ්බෙන් වෙනත් ප්‍රපංච සම්බන්ධයෙන් ද යොදා ගැනෙයි. එහෙත් ගුරුත්වාකර්ෂණය වස්තු එකිනෙක ඇදගැනීම තේරුම් ගැනීම සඳහා පමණක් ඇති සංකල්පයකි. ඉන් ඔබ්බට ගොස් වෙනත් ප්‍රපංචයක් තේරුම් ගැනීමට ගුරුත්වාකර්ෂණය යන සංකල්පය යොදා නො ගැනෙයි.

යම් සංකල්පයක් නිර්මාණය කිරීමෙන් පසුව ඒ සංකල්පය හුදෙක් ඒ නිර්මාණය කෙරුණු ක්‍ෂෙත්‍රයට, තේරුම් ගැනීමට අවශ්‍ය වූ ප්‍රපංචයට පමණක් සීමා වන්නේ නම් ඒ සංකල්පයට සම්මුති අර්ථයකින් පවා පැවැත්මක් තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයට මෙන් ම අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රතාව පිළිබඳ සංකල්පයට ද අදාළ ප්‍රපංචයෙන් ඔබ්බට යන පැවැත්මක් සම්මුති අර්ථයකින්වත් නැත. එහෙත් මනස එසේ නො වේ. එය කවදා කා අතින් නිර්මාණය වූවක් දැයි නොදනිමු. එහෙත් මනස සිත් ඉපදීම සම්බන්ධයෙන් පමණක් යොදා නො ගැනෙයි. මනස සිත් පහළ කර ගැනීමේ දී මෙන් ම සිත් පහළ කර නො ගැනීමේ දී ද වැදගත් වෙයි. සිංහල බෞද්ධයෝ මනස යන්න ද නිර්මාණයක් බවත් එය මනසේ ම නිර්මාණයක් බවත් දනිති. ංප එකඟ නොවූව ද මනස හෘදයවස්තුව ආශ්‍රිතව පවතින්නේ යැයි සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. මනස ඉන්ද්‍රිය ගෝචර නොවූව ද එය ගුරුත්වාකර්ෂණය වැනි සම්මුති වශයෙන්වත් නොපවතින සංකල්පයක් නොව සම්මුති වශයෙන් පවත්නා ප්‍රෝටෝනයක් වැනි සංකල්පයකි. ප්‍රෝටෝන ද ඉන්ද්‍රිය ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය.

බටහිර විද්‍යාඥයන්ට මනස යන්න ද පවතින සංකල්පයකි. ඔවුහු මනස නැතැයි නොකියති. එහෙත් ඔවුන් කියන්නේ මනස යන්න මොළයේ ක්‍රියාකාරීකම් නිසා පවතින බව ය. ඔවුන්ට අනුව මනස මොළයට ද්විතීයික ය. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව මනසක් ඇත්තේ මිනිසුන්ට පමණ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද වෙනත් සතුන්ට ද මොළ ඇත. අප කලින් කියා ඇති පරිදි මොළ ඇති ඒ අනෙක් සතුන්ට මනස් නොමැති වීමටත් මිනිසුන්ට පමණක් මනස් ඇතිවීමටත් හේතුව බටහිර විද්‍යාඥයන්ට මොළය ආශ්‍රිතව පෙන්නුම් කර දිය නො හැකි ය.

එයටත් වඩා ප්‍රශ්නයක් වනුයේ මිනිසුන්ගේ මොළ අතර ඇති වෙනස්කම් (ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන්) හා ඒ ඒ මිනිසුන්ගේ මනස් අතර වෙනස්කම් තේරුම් ගැනීමෙහි දී ය. අයින්ස්ටයින්ගේ හෝ ගර්ඩ්ල්ගේ හෝ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් වෙනස්වන්නේ කෙසේ ද? ඒ වෙනස්කම් අද තේරුම් ගැනීමට නොහැකිවනවා ඇත. එයට හේතුව අයින්ස්ටයින් හා ගර්ඩ්ල් යන දෙදෙනා ම මියගොස් ඇති බැවිනි. එහෙත් අද ජීවත්වන උසස් යැයි සම්මත විද්‍යාඥයන් කිහිප දෙනකුගේ මොළවලට ඉලෙක්ට්‍රෝඩ ඔබ්බවා මේ වෙනස්කම තේරුම් ගැනීමට හැකි ද?

මොළය ඇතුලු සියලු අවයව නිර්මාණ යැයි සැලකුවහොත්, මනස ද මනසෙහි ම නිර්මාණයක් ලෙස සැලකුවහොත්, මොළයේ ව්‍යුහය කුඩාකල සිට වෙනස්වීම පිළිබඳ ප්‍රවාදයක් ද සකසා ගත හැකි ය. මනස විසින් හෝ කුසලාකුසල ධර්ම විසින් මොළය සකස් කෙරෙනු ඇතැයි අපට සිතාගත හැකි ය. නියුරෝන (ස්නායු ෙසෙල) ගැට ගැසෙන, එකතුවන තැන් (උපාගම –synapses) ඉපදෙන විට ම ළදරුවකුගේ මොලයේ නිශ්චිත ව පිහිටා නැත. ඒවා ජෛවීය ව නිර්්ණිත නො වේ. ඒවා සංස්කෘතික ව නිර්ණය වෙයි. එසේ සංස්කෘතිකව නිර්ණය වන කොටස් මොළයේ වෙයි. ඒ අතර කර්ම ශක්තිය අනුව ද මොළය සැකසී ඇතැයි සිතිය හැකි ය. මොළය හුදු ජෛවීය ව නිර්ණීිත වස්තුවක් ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාඥයන් විසිනි. ඒ ඔවුන්ගේ ඒකහේතුවාදය සමග ද ගැලපෙයි. එහෙත් සිංහල බෞද්ධයෝ ඒකහේතුවාදීහු නො වෙති. ඔවුන්ට මොළය ජෛවීය ව (දෙමව්පියන් මගින්), කර්ම ශක්තිය අනුව මෙන් ම සංස්කෘතිකව ද නිර්ණිත වස්තුවකි.

බටහිර වි්‍යාඥයෝ හා වෙනත් උගත්තු ද අප රට අනුකාරකයෝ ද, මනසට ප්‍රධාන තැනක් නොදුන්න ද මනස ඒ කිසිවක් ගණන් නොගන්නා බව පෙනෙයි. බටහිර වි්‍යාඥයන් එසේ තැනක් නොදෙන්නේ ඔවුන් පදනම් වී ඇති චින්තනය හා බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය හේතුකොටගෙන මිස වෙනත් තර්කයක පදනම් වී නො වේ. බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය නම් මිනිසුන්ට ඇතිවන හැඟීම් ඉතා සුළු කාලයකට පසුව මොළයට දන්වන බවට මොළයේ ඔබ්බවන ඉලෙක්ට්‍රෝඩ ඇසුරෙන් දැක ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ඔවුන්ට තමන්ට ආවේණික අන්දමට පර්යේෂණ කළ හැකි ය.