Main Logo

Wednesday 21 December 2011

ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තුවල පැවැත්ම

අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට අපේ සාහිත්‍යය මෙන් ම ජනප්‍රවාද ද යොදාගැනීමට සිදුවෙයි. ඒ එකක්වත් මිථ්‍යා මත ලෙස බැහැර කළ යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් ඒ කරුණු මිථ්‍යා මත ලෙස ඉවත දැමීමට අනුබල දෙතත් අප එයින් නොමග යා යුතු නො වේ. බටහිර විිද්‍යාඥයන් කර ඇත්තේ විශේෂයෙන් ම බයිබලයේ සඳහන් කරුණු ඊනියා විද්‍යාත්මක ආකාරයකට ප්‍රකාශ කිරීම පමණකි. එසේ කරන ලද ප්‍රකාශ, ඒ ප්‍රකාශ මත ම පදනම් වෙමින් කරන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමග සංගත වන බව පෙන්වීමෙන් බටහිර විද්‍යාඥයන් තම විද්‍යාවට වටිනාකමක් ලබා දී ඇත. එහෙත් මේ වටිනාකම බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය සමග ද බැඳී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යය හේතුවෙන් බටහිර අච්චුවේ පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ඔවුන්ගේ දැනුම ලෝක පූජිත තත්වයකට පත්කර ඇත.

විශ්වවිද්‍යාලවල ඇති ස්වාධීනත්වය ගැන සියලු දෙනාම පාහේ කතාකරති. එහෙත් බටහිර නොවන විද්‍යාවක් ඉගැන්වීමට හෝ බටහිර විද්‍යාව විවේචනය කිරීමට හෝ විශ්වවිද්‍යාලවල ඉඩක් නැත. එහි සිටින අනුකාරක ආචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයට බටහිර දැනුමෙන් ඔබ්බට ගොස් සිතීමට කෙසේවත් නො හැකි ය. ඔවුන්ට බටහිර දැනුමෙහි ද සිතීමට නොහැකි බව ඔවුන් අතින් කිසිදු සංකල්පයක් බිහි නොවීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් කරන්නේ ශාස්ත්‍රීය ලෝකයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක්, සංකල්පීය වශයෙන් කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක්, බටහිර විද්‍යාව ඇතුලූ බටහිර දැනුමෙහි ප්‍රවාද ආශ්‍රයෙන් විසඳීම පමණ ය. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සැසිවාරවලට ඉදිරිපත්කර ඇති ඊනියා පර්යේෂණ පත්‍රිකාවල එකම සංකල්පයක්වත් සාකච්ඡාවට බඳුන් නො වේ. පසුගිය දා මහත් ආන්දෝලනයට ලක් වූ නාථ දෙවියන් විද්‍යාවේ සම්පත් දායකයකු ලෙස යොදාගැනීම පිළිබඳවවත් සාකච්ඡාවක් එහි දී ඇති නො වේ. එහෙත් එහි සාමාජිකයන් වන බටහිර විද්‍යාව විසින් අනාථ කරනු ලැබ ඇති බටහිර විද්‍යාවේ හෙංචයියන්ලා හා හෙංචක්කලා නාථ දෙවියන් සම්බන්ධයෙන් මට විරුද්ධව සංගමයේ නිල ප්‍රකාශ කිරීමට තරම් නිවට වූහ. අද වන විට බටහිර ම වාසය කරන බටහිර ම උපත ලත් ඉහළ ම බටහිර වෝහාරික වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරු රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පවසති. මෙරට අනුකාරක බටහිර විද්‍යාඥයන්ට දැන් කීමට දෙයක් නැත්තේ ඉහත කී වෛද්‍යවරු ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍රවන ඉහළ විද්‍යාඥයන් බැවිනි.

එහෙත් අද බටහිර විද්‍යාවට ප්‍රශ්න මතු වී ඇත. බටහිරයන්ගේ ලෝකය පංචේන්ද්‍රියයන්ට පමණක් අවසානයේ දී සීමාවෙයි. ඔවුන් ගුරුත්වාකර්ෂණය, අවකාශ කාලයෙහි වක්‍රතාව ආදී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්ත ද අවසානයේ දී නිරීක්‍ෂණය කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයකි. ඔවුන්ට ඉන්ද්‍රිය ගෝචර ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නැත. එහෙත් ඔවුහු ඒ ලෝකය තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. ුහද ඇති පරස්පරය යම් තරමකටවත් තේරුම් ගත්තේ අර්නස්ට් මාක් නමැති ඕස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥයා හා දාර්ශනිකයා ය. ඊනියා ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොවට පොල් වැටෙන ආකාරය කතාකරති. ඒ අතර් ඔවුන්ට ක්වොන්ටම් ලෝකයෙහි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච ගැන කතාකිරීමට ද සිදු වී ඇත. එහි දී ඔවුන් සතුව ඇති සාහිත්‍යය ජනප්‍රවාද මගින් ඒ ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච විස්තර කිරීම සඳහා ප්‍රවාද තනාගැනීමේ අපහසුතාවක් වෙයි. බටහිර විද්‍යාවට තවත් දුර යෑමට නම් ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච තේරුම් කර දීමට සමත් විය යුතු ය.

මනස යන්න ද ඉන්ද්‍රිය ගෝචර නොවන්නකි. මෙහි දී අපට දැනට එක්තරා ආකාරයකට සීමිත ව වුවත් සංකල්පීය නිරවුල් බවක් ඇතිකර ගතයුතු ව ඇත. ක්වොන්ටම් අංශු ඉන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය ද ඉන්ද්‍රිය ගෝචර නො වේ. ක්වොන්ටම් අංශු හා ගුරුත්වාකර්ෂණය අතර සංකල්පීය වෙනසක් තිබේ ද? ගුරුත්වාකර්ෂණය යන සංකල්පය නිර්මාණය කරනු ලැබුයේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කර දීම සඳහා ය. පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන යැයි නිව්ටන් කීවේ ය. එය ඔහුගේ නිර්මාණයක් පමණකි. ඒ සංකල්පය පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නක් නො වේ. පොළොවට පොල් වැටීම ඉන්ද්‍රිය ගෝචර වන අතර එය තේරුම් කර දීම සඳහා නිර්මාණය කෙරුණු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. මෙහි දී පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට අපට යොමු වීමට සිදු වී ඇත. සිංහල බෞද්ධයනට පැවැත්ම යනු සම්මුතියක් පමණකි. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම්මුති වශයෙන් ගත්කල පවතින්නේ යැයි අපි කියමු. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ගැන අපට කිව හැක්කේ කුමක් ද? ඒ සංකල්පවලින් සම්මුති වශයෙන්වත් නොපවත්නා දේ කියැවෙන්නේ ද?

ක්වොන්ටම් අංශු ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එහෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදිය පමණක් නොව දැන් ආලෝකයේ වේගය සම්බන්ධව බොහෝ දෙනාගේ කතාබහට ලක්වන න්‍යුට්‍රීනෝ ද පවත්නා අංශු ලෙස සැලකෙයි. ඒවා අවසාන වශයෙන් ගත්කල දොඹ ගෙඩි, පොල් ගෙඩි මෙන් පවතින දේ ය. සිංහල බෞද්ධයන්ට ඒ පවතින්නේ සම්මුති වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර වස්තු වුව ද සිංහල බෞද්ධයනට සම්මුතියෙන් පමණක් පවතින දේ ය. ප්‍රෝටෝන ඉංද්‍රිය ගෝචර නොවූව ද සම්මුති අර්ථයෙන් පවතියි. එහෙත් ගුරුත්වාකර්ෂණය එසේ නො වේ. එය සම්මුති අර්ථයකින් වුවත් නො පවතියි. ඉන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය අවශ්‍ය වන්නේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් කරදීමට යෑමේ දී ය.

ඇතැම් විට කෙනකුට කිවහැක්කේ ප්‍රෝටෝන ආදිය ද අවශ්‍ය වන්නේ වෙනත් ප්‍රපංචයක් තේරුම් කර දීමේ දී බව ය. පරමාණුවේ ආකෘතිය තැනීමේ දී ප්‍රෝටෝන අවශ්‍ය වී ඇතැයි යමකුට කිව හැකි ය. එහෙත් එසේ නිර්මාණය කෙරුණ ද ප්‍රෝටෝන යන සංකල්පය වෙනත් කාර්යයන්හි දී ද යොදාගත හැකි වෙයි. විවිධ පරමාණුක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන ආදී සංකල්ප යොදා ගැනෙයි. ඒ සංකල්ප අද වන විට ඒවා නිර්මාණය කරනු ලැබූ ප්‍රපංච තේරුම් කරදීම්වලට ඔබ්බෙන් වෙනත් ප්‍රපංච සම්බන්ධයෙන් ද යොදා ගැනෙයි. එහෙත් ගුරුත්වාකර්ෂණය වස්තු එකිනෙක ඇදගැනීම තේරුම් ගැනීම සඳහා පමණක් ඇති සංකල්පයකි. ඉන් ඔබ්බට ගොස් වෙනත් ප්‍රපංචයක් තේරුම් ගැනීමට ගුරුත්වාකර්ෂණය යන සංකල්පය යොදා නො ගැනෙයි.

යම් සංකල්පයක් නිර්මාණය කිරීමෙන් පසුව ඒ සංකල්පය හුදෙක් ඒ නිර්මාණය කෙරුණු ක්‍ෂෙත්‍රයට, තේරුම් ගැනීමට අවශ්‍ය වූ ප්‍රපංචයට පමණක් සීමා වන්නේ නම් ඒ සංකල්පයට සම්මුති අර්ථයකින් පවා පැවැත්මක් තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයට මෙන් ම අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රතාව පිළිබඳ සංකල්පයට ද අදාළ ප්‍රපංචයෙන් ඔබ්බට යන පැවැත්මක් සම්මුති අර්ථයකින්වත් නැත. එහෙත් මනස එසේ නො වේ. එය කවදා කා අතින් නිර්මාණය වූවක් දැයි නොදනිමු. එහෙත් මනස සිත් ඉපදීම සම්බන්ධයෙන් පමණක් යොදා නො ගැනෙයි. මනස සිත් පහළ කර ගැනීමේ දී මෙන් ම සිත් පහළ කර නො ගැනීමේ දී ද වැදගත් වෙයි. සිංහල බෞද්ධයෝ මනස යන්න ද නිර්මාණයක් බවත් එය මනසේ ම නිර්මාණයක් බවත් දනිති. ංප එකඟ නොවූව ද මනස හෘදයවස්තුව ආශ්‍රිතව පවතින්නේ යැයි සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. මනස ඉන්ද්‍රිය ගෝචර නොවූව ද එය ගුරුත්වාකර්ෂණය වැනි සම්මුති වශයෙන්වත් නොපවතින සංකල්පයක් නොව සම්මුති වශයෙන් පවත්නා ප්‍රෝටෝනයක් වැනි සංකල්පයකි. ප්‍රෝටෝන ද ඉන්ද්‍රිය ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය.

බටහිර විද්‍යාඥයන්ට මනස යන්න ද පවතින සංකල්පයකි. ඔවුහු මනස නැතැයි නොකියති. එහෙත් ඔවුන් කියන්නේ මනස යන්න මොළයේ ක්‍රියාකාරීකම් නිසා පවතින බව ය. ඔවුන්ට අනුව මනස මොළයට ද්විතීයික ය. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව මනසක් ඇත්තේ මිනිසුන්ට පමණ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද වෙනත් සතුන්ට ද මොළ ඇත. අප කලින් කියා ඇති පරිදි මොළ ඇති ඒ අනෙක් සතුන්ට මනස් නොමැති වීමටත් මිනිසුන්ට පමණක් මනස් ඇතිවීමටත් හේතුව බටහිර විද්‍යාඥයන්ට මොළය ආශ්‍රිතව පෙන්නුම් කර දිය නො හැකි ය.

එයටත් වඩා ප්‍රශ්නයක් වනුයේ මිනිසුන්ගේ මොළ අතර ඇති වෙනස්කම් (ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන්) හා ඒ ඒ මිනිසුන්ගේ මනස් අතර වෙනස්කම් තේරුම් ගැනීමෙහි දී ය. අයින්ස්ටයින්ගේ හෝ ගර්ඩ්ල්ගේ හෝ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් වෙනස්වන්නේ කෙසේ ද? ඒ වෙනස්කම් අද තේරුම් ගැනීමට නොහැකිවනවා ඇත. එයට හේතුව අයින්ස්ටයින් හා ගර්ඩ්ල් යන දෙදෙනා ම මියගොස් ඇති බැවිනි. එහෙත් අද ජීවත්වන උසස් යැයි සම්මත විද්‍යාඥයන් කිහිප දෙනකුගේ මොළවලට ඉලෙක්ට්‍රෝඩ ඔබ්බවා මේ වෙනස්කම තේරුම් ගැනීමට හැකි ද?

මොළය ඇතුලු සියලු අවයව නිර්මාණ යැයි සැලකුවහොත්, මනස ද මනසෙහි ම නිර්මාණයක් ලෙස සැලකුවහොත්, මොළයේ ව්‍යුහය කුඩාකල සිට වෙනස්වීම පිළිබඳ ප්‍රවාදයක් ද සකසා ගත හැකි ය. මනස විසින් හෝ කුසලාකුසල ධර්ම විසින් මොළය සකස් කෙරෙනු ඇතැයි අපට සිතාගත හැකි ය. නියුරෝන (ස්නායු ෙසෙල) ගැට ගැසෙන, එකතුවන තැන් (උපාගම –synapses) ඉපදෙන විට ම ළදරුවකුගේ මොලයේ නිශ්චිත ව පිහිටා නැත. ඒවා ජෛවීය ව නිර්්ණිත නො වේ. ඒවා සංස්කෘතික ව නිර්ණය වෙයි. එසේ සංස්කෘතිකව නිර්ණය වන කොටස් මොළයේ වෙයි. ඒ අතර කර්ම ශක්තිය අනුව ද මොළය සැකසී ඇතැයි සිතිය හැකි ය. මොළය හුදු ජෛවීය ව නිර්ණීිත වස්තුවක් ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාඥයන් විසිනි. ඒ ඔවුන්ගේ ඒකහේතුවාදය සමග ද ගැලපෙයි. එහෙත් සිංහල බෞද්ධයෝ ඒකහේතුවාදීහු නො වෙති. ඔවුන්ට මොළය ජෛවීය ව (දෙමව්පියන් මගින්), කර්ම ශක්තිය අනුව මෙන් ම සංස්කෘතිකව ද නිර්ණිත වස්තුවකි.

බටහිර වි්‍යාඥයෝ හා වෙනත් උගත්තු ද අප රට අනුකාරකයෝ ද, මනසට ප්‍රධාන තැනක් නොදුන්න ද මනස ඒ කිසිවක් ගණන් නොගන්නා බව පෙනෙයි. බටහිර වි්‍යාඥයන් එසේ තැනක් නොදෙන්නේ ඔවුන් පදනම් වී ඇති චින්තනය හා බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය හේතුකොටගෙන මිස වෙනත් තර්කයක පදනම් වී නො වේ. බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය නම් මිනිසුන්ට ඇතිවන හැඟීම් ඉතා සුළු කාලයකට පසුව මොළයට දන්වන බවට මොළයේ ඔබ්බවන ඉලෙක්ට්‍රෝඩ ඇසුරෙන් දැක ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ඔවුන්ට තමන්ට ආවේණික අන්දමට පර්යේෂණ කළ හැකි ය.