Main Logo

Showing posts with label පරිභෝජනය. Show all posts
Showing posts with label පරිභෝජනය. Show all posts

Friday, 3 May 2013

කන්ට ජීවත් වෙනවාද ජීවත් වෙන්ට කනවාද?

දෙදහස් එකේදී නිව් යෝක් නගරයට එල්ලවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටේ යැයි එරටුන්ට බියක් ඇතිවිනි. එසේවීම වලකා ලන්නට ඊට පසු දින සිටම සාප්පු සවාරි යන ලෙස එවකට ජනාධිපතිවරයාව සිටි ජෝර්ජ් බුෂ් විසින් ඇමරිකානුවන්ට උපදෙස් දුන්නා යැයි කියැවේ. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් අද වැටී ඇති ඇමරිකානු ආර්ථිකය ගොඩගැනීම සඳහා පරිභෝජනය වැඩි කල යුතුයැයි අද එරට ආර්ථික විශේෂඥයෝම පවසති. මීට කලකට ඉහතදී ඇමරිකානු රජය විසින් එරට වැසියන්ට මුදල් ආධාර දී සාප්පු යන්නට දිරිමත් කලේ බටහිර ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකය ගොඩ ගන්නටය. එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්ට නැත. කෙසේමුත් ඔවුන්ගේ තර්කය මිනිසුන් වැඩි වැඩියෙන් බඩු මිලදී ගන්නාවිට නිෂ්පාදනය වැඩිවන බවත් ඉන් රැකියා නිර්මාණය වන බවත් ඒ හරහා නැවත පරිභෝජනය වැඩි වන බවත්ය. බටහිර ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ ඒ අයුරිනි. නමුත් මිනිසුන් සමහර විට බාහිර බලපෑම් නැතුවත් තම කැමැත්තෙන්ම පරිභෝජනය අඩු කර ගනිති. මිනිසුන් ස්වාභාවයෙන් එවැනි ක්‍රියා මාර්ගයක් ගන්නේ එය ඔවුන්ට නිවැරදි දෙයක් සේ පෙනෙන නිසාය. නමුත් බටහිර ආර්ථික විද්‍යාවට එය සෘනාත්මක වන්නේ ඇයි? මිනිසුන්ගේ ස්වාභාවික තීරණ මුදල් ආධාර දී වෙනස් කල යුත්තේ ඇයි? වැටෙන ආර්ථිකය කෘතිමව ගොඩදැමිය යුතු යැයි කියන්නේ නම් බටහිර ආර්ථික විද්‍යාව විස්තර කරන්නේ මිනිසුන්ගේ සැබෑ ස්වභාවයක් විය නොහැකිය.

බටහිර අර්ථික විද්‍යාව පදනම් වන්නේ මිනිසා ස්වභාවයෙන්ම සීමාවක් නැතිව කම් සැප හඹා යැයි යන උපකල්පණය මතය. නමුත් මේ කථාව අමූලික බොරුවකි. පෘතග්ජන මිනිසුන් කම් සැපෙහි ඇලෙන බව සත්‍යයකි. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට සහජයෙන් බලපාන අභ්‍යන්තර බලද ඇත. මේ අභ්‍යන්තර බල සංස්කෘතියෙන් මෙන්ම සංසාර ගමනේ අත්දැකීම තුලින්ද මිනිසුන් විසින් ලබා ගත් දැනුම්ය. ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් විය හැකි මේ අභ්‍යන්තර බල මඟින් මිනිසාගේ කම් සැප හඹා යාමට ස්වභාවයෙන්ම සීමා වැටී ඇත. මිනිසුන්ට සමාජයක් හැටියට ජීවත්විය හැක්කේ මෙවැනි සීමාවන් පවතින නිසාය. එවැනි සීමාවන් නැති මිනිස් තබා කිසිම තිරිසන් සමාජයක්වත් මිහිපිට තිබිය නොහැකිය. කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට යාම දුකක් බව නොවැටහුනත් බටහිර සමාජයේ පවා මිනිසුන්ට යම් යම් සීමා මායිම් ඇත. සීමාවක් නැතිව කම් සැප හඹා යෑම ස්වභාවික මිනිස් ගතියක් යැයි සලකන්නේ විශේෂයෙන්ම බටහිර උගත් ලිබරල් මත දරන මිනිසුන්ය. බටහිර ආර්ථික විද්‍යාවේ පදනම මේ බොරුවය. බටහිර ආර්ථික විද්‍යාවේ සැලකෙන ඊනියා මිනිසා අභ්‍යන්තර සීමා නැති වියුක්ත මිනිසෙකි. නමුත් සැබෑ මිනිසුන් එසේ නොවේ. 

සැබෑ මිනිසුන් දිගින් දිගටම පරිභෝජනය නොකරන්නේ බාහිර බලපෑම් වලට අමතරව ඔවුන්ට ඒ ඒ සංස්කෘතියට අනුව ඇති අභ්‍යන්තර බලපෑම්ද ඇති නිසාය. මිනිසුන් නිරායාසයෙන්ම පරිභෝජනය අඩු කිරීමට ඒ අභ්‍යන්තර බල බලපායි. සීමාවක් නැතිව පරිභෝජනය කිරීම මත පවත්වාගෙන යන බටහිර ආර්ථික ක්‍රමය විටින් විට කඩා වැටෙන්නේ මිනිසුන්ට ඇති මේ අභ්‍යන්තර සීමාද හේතු කොට ගෙනය. බාහිර බල එනම් මුදල් ආධාර දී සාප්පු යන්නට දිරිමත් කල පසුවත් වැටුනු ඇමරිකානු ආර්ථිකය ගොඩ ගන්නට නොහැකි වී ඇත්තේ මිනිසුන්ට බලපාන අභ්‍යන්තර බලද ඇති නිසාය. නමුත් බටහිර ආර්ථික විද්‍යාවට මිනිසුන්ගේ ස්වභාවික ක්‍රියා කාරකම් තේරුම්ගත නොහැකිය. එය එසේ වී ඇත්තේ මොන හේතුවක් නිසාවත් නොව බටහිර ආර්ථික විද්‍යාවේ පදනම වන මිනිසා ස්වභාවිකවම සීමාවක් නැතිව කම් සැප හඹා යයි යන උපකල්පණයම බොරුවක් වන බැවිනි. 

කෙසේ නමුත් සිංහල බෞද්ධ විනත්නයට අනුව පරිභෝජනය දිගින් දිගටම වැඩි නොකලොත් කඩා වැටෙනවා නම් ඒ ආර්ථික ක්‍රමයේ යම් වරදක් තිබිය යුතුය. මන්ද එවැනි ආර්ථිකයක් රැක ගත හැක්කේ කන්ට ජීවත්වන සමාජයකට මිස ජීවත් වෙන්ට කන සමාජයකට නොවෙන බැවිනි. පරමාදර්ශී බෞද්ධ සමාජයක් ජීවත් වෙන්ට කන සමාජයක් විය යුතුය. සීමාවක් නැතිව පරිභෝජනය කිරීම බෞද්ධ සමාජයකට නොගැලපේ. බෞද්ධ ආර්ථික ක්‍රමයක පදනම විය යුත්තේ කම් සැප හඹා යෑමට එරෙහිව අභ්‍යන්තරයෙන් සීමා පමුණුවා ගැනීම මිනිස් ස්වභාවය යන්නය. එනම් සංවරයෙන් පරිභෝජනය කිරීම මිනිස් ස්වභාවයයි යන්නය. අපට ජීවත් වෙන්ට කන සමාජයක් ගොඩනඟාගත හැක්කේ ඒ පදනම මත බිහිවුනු ආර්ථික ක්‍රමයක් තුල පමණි. ජීවත් වෙන්ට කන සමාජයක මිනිස්සු පරිභෝජනය කරන්නේ ඇති පමණටය. ඔවුහු අත මිට හිඟ වෙන විට අර පරිස්සමෙන් පරිභෝජනය කරන අතර අත මිට සරු වන විට අනාගතය සඳහා ඉතිරි කරති. ඔවුහු කිසි විටෙකත් ණයට නොකති. බෞද්ධ ආර්ථිකයක ස්වභාවික ගති ලක්‍ෂණ මේවාය. එවැනි ආර්ථිකයක් නොවැටී පවත්වා ගැනීමට ඒ ස්වභාවික ගති අනුගමණය කිරීම ප්‍රමාණවත් වනු ඇත.

සීමාවක් නැතිව කම් සැප හඹා යෑම මිනිස් ස්වභාවය යැයි අපට උගන්වන්නේ බටහිර සංස්කෘතියයි. බටහිරුන් තමන්ගේ ආර්ථික විද්‍යාව ඒ බොරුව මත පදනම් කරගන්නවා පමණක් නොවේ ඒ ආර්ථිකය නොවැටී තබා ගැනීම සඳහා ඒ බොරුව මත ජීවත්වන ලෙසද අපට අනුබල දෙයි. වෙලඳ දැන්වීම් වලින් අපව උසි ගන්වන්නේ ඒ ඊනියා ස්වභාවික ගති මතු කර ගන්නා ලෙසටය. ඒ බලපෑම් වලට යටවී අපි අපේ සංස්කෘතියෙන් ලබා ගත් අභ්‍යන්තර සීමාවන් පසෙකලා කන්ට ජීවත්වන සමාජයක් බවට පත්වෙමින් සිටින්නෙමු. බටහිර ආර්ථික විද්‍යාව පවසන්නේ ඒ තුලින් ඊනියා උසස් ජීවන තත්වයක් ලබා ගත හැකි බවය. නමුත් දිනෙන් දින පාරිභෝගික අවශ්‍යතා වෙනස් කරන බටහිර ආර්ථිකයට ඊනියා උසස් ජීවන තත්වයකට කෙදිනකවත් ලංවිය නොහැකිය. එපමණක් නොවේ ඒ මඟ ගොස් ඇති කරගන්නා සමාජ රෝග, අපරාධ සහ පරිසර විනාශයටද බටහිර දැනුමට විසඳූම් නැත. බටහිර ආර්ථික විද්‍යාව සැම අතින්ම අසමත්ය.

ජීවත් වෙන්ට කන සමාජයක් ගොඩනඟා ගැනීමට නම් අපි බටහිරුන් මිනිස් ස්වභාවය ගැන පවසන මහා බොරුව බොරුවක් බව හඳුනාගෙන අපේ පැරැන්නන් අපට දායද කර ඇති සංවර පරිභෝජනයට කෙසේ හෝ පුරුදු විය යුතුවෙමු. එය කළ හැක්කේ බටහිර සංස්කෘතික ඇබ්බැහි වීම් වලට ස්වයං වාරණ පනවා ගැනීම තුලිනි. විදුලි බිල වැඩිවීම නිසා වැඩියෙන්ම අපහසුවට පත්වන නගර බද උගත් සිංහල සමාජය එයට සූදානම්ද?

ජානක වංශපුර

Tuesday, 23 April 2013

අසංවර පරිභෝජනය


මා ඇමරිකාවට පැමිණි මුල් කාලයේ විද්‍යාගාරයේ උපකරණයක් මත ඉහිරුනු වතුර ස්වල්පයක් පිස දැමීම සඳහා කඩදාසි අත් පිස්නා ගොනුවකින් එකක් ගෙන ඉනුත් කොටසක් ඉරාගෙන පාවිච්චි කරනු දුටු මගේ දේශීය සුදු මිතුරෙකු සිනහ වෙමින් පැවසුවේ කනස්සලු නොවී ඇති තරම් කඩදාසි පාවිච්චි කරන ලෙසත් ඔවුන්ට ඉන් අඩුවක් නැති බවත්ය. ඉදින් වසර ගණනාවකට පසු අද මා ගෙදරදීත් ඉන් පිටදීත් අවශ්‍යවිට කඩදාසි අත් පිස්නා දෙක තුන පාවිච්චි කරන්නේ කිසිදු පැකිලීමක් නැතිවය. සමහර අයට මෙවැනි දේ පිළිබඳව ඇති සංවරය මට නැති බව මා පවසන්නේ සතුටින් නොවේ. ඒ ගැන දුකක් ඇතැයිද මම නොකියමි. මා එදා අර පිරිමැස්මෙන් කඩදාසි පාවිච්චි කලෙත් අද එසේ නොකරන්නේත් හිතා මතා නොව පුරුද්දෙනි. ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව සත්‍යයක් විය යුතුය. සංයමයෙන් පරිභෝජනය කිරීමට මට ලංකාවේදී ලබාදී තිබුන පුරුද්ද ඇමරිකාවේදී පවත්වාගෙන යාමට එහි සංස්කෘතියෙන් පිටුවහලක් නොලැබෙන බව නම් මම දනිමි.

අපි කුඩා කාලයේ ගෙවත්තේ හැදුනු අඹ පේර පවා කඩාගෙන කෑවේ අර පිරිමැස්මකින් යුතුව බව මට මතකය. ඒ අවධියේ රූපවාහිනියක් හෝ අන්තර් ජාලයක් හෝ නොතිබුනු බැවින් අපට සමාජයෙන් පැනවී තිබුන සංස්කෘතික සීමා වැට කඩොලු බිඳ දමන්නට ප්‍රති විරුද්ධ බලවේගයක් නොතිබිනි. පැණි දොඩම් පිරී අතු බිමට නැමී තිබුනත් එකෙකුට එක් දොඩමක් පමණක් ඇතැයි කියැවෙන දොඩම් ගසේ ගීයෙන් කියා පාන්නේ සිංහලුන්ගේ ඒ පුරුද්දය. ගුරුතුමෙකු වූ යූ පී ද සිල්වා මහතා මේ ගීයෙන් තමන්ට අවශ්‍ය තරමට පමණක් පරිභෝජනය කරන ලෙස කුඩා දරුවන්ට අවවාදයක්ද දෙනු ලබයි. එදා ගෙදරදීත් පාසලේදීත් වැඩිහිටියන් ගෙන් මෙවැනි අවවාද අපට නිතර ලැබුනි. මෙවැනි අවවාද හා ඉන් ඇති කර ගන්නා පුරුදු විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් අප සමාජයට ලැබෙන දේය. නමුත් අද ජන මාධ්‍ය හරහා අපට උදේ හවා උපදෙස් දෙන්නේ ඉඳුරන් පිනවීමට ඇති ලැජ්ජා භය නැති කර ගන්නා ලෙසටය. මනසද ඇතුලුව ඉඳුරන් සංවර කර ගැනීම බෞද්ධයින් පමණක් නොව අප රටේ ජීවත්වන වැඩිහිටි ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කොයි කවුරු වුනත් අගය කරන පුරුද්දක් යැයි කිව හොත් එය වැරදි නැත. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකිය. මීට හොඳම නිදසුන ඇමරිකාවේ වසංගතයක් වී ඇති තරබාරුකමය.

ඇමරිකාවේ ජීවත්වන්නන්ගෙන් තුනෙන් එකක් පමණ තරබාරු යැයි කියවේ. තරබාරුකම දියවැඩියාවට හෘදයාබදයට අධික රුදිර පීඩනයට මෙන්ම සමහර පිළිකා රෝග වලටද තුඩු දෙන බව බටහිර විද්‍යාඥයින්ගේ මතයයි. මේ බොහෝ රෝග මාරාන්තිකය. බටහිර විද්‍යාව මේ වසංගතයට සොයාගෙන ඇති හේතු අතර ප්‍රධාන වන්නේ ගුණයෙන් අඩු කෑම බීම වැඩියෙන් ආහාරයට ගැනීම හා ශාරීරික ව්‍යායාමය අඩුවීමය. කෙසේ වෙතත් වසර පණහක් පමණ කලක සිට වසරින් වසර උග්‍ර වෙමින් පැමිනෙණ මේ වසංගතය නවතා ගැනීමට බටහිර විද්‍යාවට හැකිවී නැත. ඉදිරියේදී තරබාරු මිනිසුන් ගණන මීටත් වඩා වැඩි වන බවට අනාවැකි පලවී ඇත. නමුත් අතීතයේ පෝලියෝ වසූරිය වැනි වසංගත රෝග මර්ධනය කර ගැනීමට බටහිර විද්‍යාව සමත්වී තිබුනත් මෙහිදී බටහිර විද්‍යාව අසමත් වන්නේ ඇයි? මේ අනිකුත් රෝගත් තරබාරුකමත් අතර මූලික වෙනසක් නම් තරබාරුකම මිනිසුන්ගේ සමාජ-ආර්ථික ක්‍රියාවලියත් සමඟ තදින් බැඳී තිබීමය. නමුත් බටහිර සංස්කෘතිය සමාජ-ආර්ථික ක්‍රියාවලියන් හසුරුවන්නේ තරබාරුකම වර්ධනය වන ආකාරයට මිස මර්ධනය වන ආකාරයට නොවේ. ඒ නිසා ඉන් පැන නඟින දියවැඩියාව හෘදයාබදය හා අධික රුදිර පීඩනය වැනි මාරාන්තික රෝග මර්ධනය කිරීමටද බටහිරුන්ට නොහැකිය. ඔවුන්ට කල හැක්කේ ඒ රෝග කළමනාකරනය කිරීම පමණය.

බටහිර සංස්කෘතියේ ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම (අළෙවි කිරීම) යන ක්‍රියාවලි දෙකටම සදාචාරාත්මක වැට කඩොළු නැත. ඔවුන්ට දොඩම් ගසේ ගීත නැත. කෑමෙන් උපරිම වින්දනයක් ලබා ගත යුතුයැයි ඔවුහු සිතති. එවැනි වින්දනයක් ගෙනදෙන කෑම නිර්මාණය කිරීමට හා ඒ ගැන පර්යේෂණ කිරීමට ඔවුන් මහන්සි වෙති. එසේ නිර්මාණය කල මිළ අධික ගෝමේ ආහාර කෑම බටහිර සංස්කෘතියේ උසස් යැයි සැලකෙන පුරුද්දකි. කොටින්ම අහාර ගැනීම හරහා කෙළවරක් නැති වින්දනයක් ලබාගත හැකි යයි ඔවුහු සිතති. ඒ වින්දනය හඹා යෑමට එරෙහිව බටහිර සංස්කෘතියෙන් වැට කඩොළු බැඳී නැත. අනිත් අතට බටහිර රටවල අහාර සැපයීමේ ක්‍රියාවලිය තුලද සදාචාරාත්මක බවක් නැත. නිෂ්පාදකයෝ තමන්ගේ වෙළඳපල වර්ධනය කර ගැනීමේ අටියෙන් අහාර වලට රස කාරක කවති. එහි ගුණවත් බව අඩු සීනි, මේදය හා ලුණු වැඩි කර පාරිභෝගිකයින් ඒවාට ඇබ්බැහි කර ගනිති. විකිණීමේදී කුඩා දරුවන් හා දුප්පතුන් ඉලක්ක කර ගනිති. ඒ ආහාරවලට ඇබ්බැහි වූවන් තව තවත් එහි බැඳ තබා ගැනීමටත් ඉන් ලාභ ගැනීමටත් ඒවා සුපර් සයිස් කර විකුනති. මේ අනුව පොදුවේ බටහිර රටවල අහාර පරිභෝජනයේත් සැපයීමේත් අසංවර බවක් ඇති බව පැහැදිලිය. ඒ රටවල මිනිසුන් තරබාරු වෙන්නේ ඔවුන්ගෙ මනස ඇතුළු ඉන්ද්‍රීය අසංවර බව නිසායැයි ඊනියා විශේෂඥ දැනුමක් නැති අප රටේ ඕනෑම ගැමියෙකුට පෙනෙනු ඇති. නමුත් බටහිරුන්ට ඒ බව නොපෙනේ. පෙනුනත් ඔවුන්ට එයට පිළියමක්ද නැත. බටහිරුන් මූලික වශයෙන් මේ ප්‍රශ්ණය විසඳන්ට බලන්නේ තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින්ය. ඒ සඳහා ඔවුන් නව ඖෂධ වර්ග හා සැත්කම් නිර්මාණය කරති, ඒ සඳහා පර්යේෂණ කරති. නමුත් තරබාරුකම හා බැඳි ඇති රෝග පිළිබඳ නිරවුල් දැනුමක් ඔවුන් සතු නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාව නිර්දේශ කරන ප්‍රතිකර්ම කලින් කලට වෙනස්වීමට එක හේතුවක් එයය. කෙසේ වෙතත් තරබාරු රොගීන්ට ප්‍රතිකාර කිරීම තුලින් තරබාරු වසංගතය සමාජයෙන් දුරු කල නොහැකි බව පෙනී යායුතුය. එය බෝවෙන රෝගයක් නොවේ.

මේ වසංගතය සම්බන්ධයෙන් බටහිර විද්‍යාව කරන්නේ මූලික ප්‍රශ්ණය තිබියදී අහු මුලුවල ඇති ප්‍රශ්න විසඳීමය. ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් කාමරයේ සිටින තඩි ගොරිල්ලා නොදැක්කාසේ කටයුතු කිරීමය. නමුත් බටහිරුන්ට වෙන කල හැකි දෙයක් නැත. ඔවුන්ට ආහාර පරිභෝජනය හා ආහාර සැපයීම යන සමාජ-ආර්ථික ක්‍රියාවලියේ ඇති අසංවර බවත් සදාචාරාත්මක නොවන බවත් වෙනස් කල නොහැකිය. එය ඔවුන්ගේ සංස්කෘතික දායාදයි. ඒ නිසා මේ ප්‍රශ්ණයත් පරිභෝජනය සම්බන්ධයෙන් පැන නඟින මෙවැනි අනිකුත් සමාජ-ආර්ථික ප්‍රශ්ණත් ඔවුන්ට විසඳිය නොහැකිය. කල හැක්කේ කළමනාකරණය කිරීම පමණි. පරිසර විනාශ කිරීම තවත් උදාහරණයකි. බටහිර විද්‍යාවන්ට පරිසර හානිය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්ණවලට විසඳුම් නැති එක් හේතුවක් නම් ඔවුන්ගේ විසඳුම් මඟින් සංවරයක් නොමැතිව පරිභෝජනය කිරීමට ඇති පුද්ගලික අයිතියද ආරක්‍ෂා කර ගැනීමට මාන බලන බැවිනි. මෙහි විසංවාදයක් ඇත.
සිංහල බෞද්ධ සංස්කෘතිය ඉන්ද්‍රීය සංවරයෙන් පරිභෝජනය කල යුතුබව පවසයි. එයට සීමා වැට කඩොළු පණවයි. අපි බටහිරුන් මෙන් කැමති අයට සංවරයෙන් පරිභෝජනය කිරීමට හෝ එසේ නොකරීමට පුද්ගලික නිදහසක් ඇතැයි නොසිතමු. අපිට සංවරවීම සමාජයටත් පරිසරයටත් අනිකුත් සතා සිවුපාවුන්ටත් අපෙන් ඉටු විය යුතු යුතුකමකි. කුඹුරේ සිට බත් පත දක්වා ඇති ක්‍රියා කාරකම් වල මේ සංයමය දැක ගත හැකිය. බොහෝ අයට සමාජයෙන් ස්වායත්තව පුද්ගලිකව මේ සංවර බව ඇති කර ගැනීමට තරම් ශක්තියක් නැතිමුත් සමාජයට අනුව හැඩ ගැහීමට බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අකමැති නැත. අපි ඉතා මෑතක් වනතුරු සමාජයක් හැටියට සංවරයෙන් සිටීමට පුරුදුවුනේ ඒ අයුරිනි. නමුත් අද මාධ්‍ය හරහාත් අධ්‍යාපනය හරහාත් ඊනියා උගතුන් හරහාත් අපට කියනු ලබන්නේ ඒ පුරුදු අත්හරින ලෙසය. එපමණක් නොවේ එසේ සංයමයෙන් කටයුතු කිරීම අප සංස්කෘතියේ පසුගාමී ලක්‍ෂණයක් ලෙස හඳුන්වන්නට උත්සාහ කරති. නමුත් මේ පුරුදු අත් හැර ගැනීම නිසා මතුවන සාමාජයික ගැටළු ඉඳුරන් පිනවීම පදනම කරගත් බටහිර සමාජ-ආර්ථික ක්‍රමයක් හරහා විසඳිය නොහැකි බව බටහිරුන්ගේ තරබාරු වසංගතයෙන් පෙන්වාදී ඇත.

වංශපුර දේවගේ ජානක