Main Logo

Showing posts with label බෞද්ධ විරෝධී. Show all posts
Showing posts with label බෞද්ධ විරෝධී. Show all posts

Sunday, 16 February 2014

ජෙනීවා පරදවමු -2


ජෙනීවා ප්‍රශ්නයක් වී ඇත්තේ මෙරට ඊනියා උගතුන්ට ය. බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් ලබා ඇති මේ උගත්තු බටහිරයන්ගේ බටහිර විද්‍යාව ඇතුළු පට්ටපල් බොරුවලින් මුළා වෙති. ඔවුන්ට තම ඊනියා උගත්කම පෙන්වීමට ද ජෙනීවා උදවු වෙයි. ජෙනීවාහි දී කුමක් වේ ද? ආර්ථික සම්බාධක පැණවීමට ඉඩක් වේ ද? ආදී ප්‍රශ්න මේ උගතුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. එහෙත් නියම ප්‍රශ්නයට උගතුන්ට මගහැරෙන්නේ ඔවුන් උගතුන් පමණක් වූ බැවිනි. ඔවුන්ට අනුව අද ඇත්තේ මානුෂික මෙහෙයුම්වල අවසාන සති දෙකෙහි මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් දෙමළ ජාතිවාදයට ඇතැම් දේ දෙන්නේ නම් මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ චෝදනා අස්කර ගැනීමට බටහිරයන් කැමත්ත පළකර ඇති බව ඔවුහු අමතක කරති. බටහිරයන්ට ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීමේ ප්‍රශ්නයක් නොව සිංහල බෞද්ධ චින්තනය හා ඔවුන්ට අවනත නොවී කොටින් පැරද වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පැරදවීමේ  අභිලාෂයකි. අද එ ජා පක්‍ෂයේ කිරිඇල්ලත් ජ වි පෙ නව නායකයාත් බෙරිහන් දෙමින් කියන්නේ ජෙනීවා ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ආණ්ඩුවේ වරදින් බවත් ජෙනීවා යෝජනා ආණ්ඩුවට මිස රටට විරුද්ධ ව නොවන බවත් ය. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට තමන්වහන්සේ එකඟ බවත් වරදක් කර නැත්නම් එවැනි පරීක්‍ෂණයකට බිය නොවිය යුතු බවත් ය. උන්වහන්සේ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂක (අපේක්‍ෂකයන් වහන්සේ) බවට පත්වීමටත් කැමැත්ත පළකර ඇත. 

සෝභිත හිමියන් ජනාධිපතිවරණයේ දී තරග කළහොත් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට විසිපහකට අඩුවන බැවින් ඒ ගැන කතා නොකර සිටීම වැඩදායක ය. එහෙත් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන කතා නොකර සිටීමට නො හැකි ය. මේ ජාත්‍යන්තරය යනු කවු ද? දෙමළ ජාතික සංධානයේ සිංහල විරෝධී ඊළාම්වාදී ප්‍රේමචන්ද්‍රන්ලා ද ඉල්ලා සිටින්නේ ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු මෙරට දී සිදු කෙරෙන පරීක්‍ෂණයකට විරුද්ධ වෙති. ඔවුහු ජනගනන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට ද විරුද්ධ වෙති. ඒ ඔවුන් මෙරට රාජ්‍යයෙන් වෙන් වී ඊනියා ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත ඊළමක් පිහිටුවීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින බැවිනි. සෝභිත හිමියන්ට එවැනි අවශ්‍යතාවක් නැතැයි අපි තවමත් උපකල්පනය කරමු. එහෙත් ඊනියා ජාත්‍යන්තරය යනු ලෝක ජාත්‍යන්තරයක් නොව එංගලන්තය, ඇමරිකාව ආදී බටහිර රටවල් කිහිපයක ව්‍යාජ ජාත්‍යන්තරයකි. අප රටේ දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. එංගලන්තයත් ඇමරිකාවත් ඇතුළු ව්‍යාජ ජාත්‍යන්තරයට අවශ්‍ය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝ පුරා පැතිරවීමට ය. එහි දී ඔවුන්ට සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය කුඩු පට්ටම් කර දැමීමට අවශ්‍ය වෙයි. ඔවුන් 1650න් පසු ගෙන් වූ දෙමළ වෙල්ලායන් ද දැන් බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා ද යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හා චින්තනයට එරෙහි ව ය. මුළු මහත් දෙමළ ප්‍රශ්නය ම සිංහල බෞද්ධයනට එරෙහිව අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් ඇතිකරන ලද්දකි. අවාසනාවකට අද බටහිරයන් සිංහල බෞද්ධ චින්තනය සමග නැති භික්‍ෂූන්ගේ පල්ලි නිකායක් ද ඇතිකර සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධ ව එය යොදාගනු පෙනෙන්නට ඇත. ව්‍යාජ ජාත්‍යන්තරය පහළොස්වැනි සියවසේ සිට අද දක්වා ම නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් කඩකරමින් අපේ රණවිරුවන් අතින් සිදු වී යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම් ගැන පරීක්‍ෂණ කළ යුතු යැයි කියන්නේ එ ජා ප හා ජ වි පෙ වැනි සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂ කියන ආකාරයට ආණ්ඩුවට විරුද්ධව නොව සිංහල බෞද්ධ චින්තනයට හා සංස්කෘතියට එරෙහි ව ය. ඉහත කී පක්‍ෂ ජෙනීවා චෝදනා ආණ්ඩුවට විරුද්ධව යැයි කියන විට ඔවුන් තැත්කරන්නේ එහි ඇති සිංහල බෞද්ධ විරෝධය වසා දැමීමට ය. ව්‍යාජ ජාත්‍යන්තරය පරීක්‍ෂණවලින් රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට බලාපොරොත්තු වෙයි. 

අනෙක් අතට අප නිවැරදි නම් පරීක්‍ෂණයකට  බිය විය නැතැයි යන්න සත්‍යයක් වුවත් එයින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එකඟ විය යුතු බවක් ගම්‍ය නො වේ. අද අපේ ප්‍රධාන ම සතුරා එංගලන්තය ය. මෙරට කසිකබල් උගත්තු, විශේෂයෙන් ම ඉංගිරිසි උගත්තු එසේ කීම ගැන අසතුටු වෙති. එහෙත් එංගලන්තය අපේ ප්‍රධාන ම සතුරා බව අවබෝධ කරගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය මුළුමනින් ම පැරදවිය නොහැකි ය. අප නොකළ වරදක් ගැන අපේ ප්‍රධාන ම සතුරා කිසිම සාක්‍ෂියක් නොමැතිව කෑ ගෑසූ පමණින් අප සතුරා විසින් ම කෙරෙන පරීක්‍ෂණවලට එකඟ විය යුතු ද? සතුරාගේ මෙරට නියෝජිතයන් වූ දෙදෙනකු වූ රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් යන බිෂොප්වරු ඇසින් දුටු සාක්‍ෂි ඇතැයි කියමින් රසායනික ප්‍රහාර හා සාමාන්‍ය වැසියන්ට බෝම්බ දැමීම් ගැන කතා කරති. අප ව්‍යාජ ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟ විය යුත්තේ සාක්‍ෂිකරුවන් නැතිව කරන මෙවැනි අභූත චෝදනා මත පදනම් වී ද? අප කළ යුත්තේ රටට එරෙහිව එලෙස පදනම් විරහිත චෝදනා ඉදිරිපත්කරන බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන්නන් අධිකරණය ඉදිරියට පැමිණවීම සඳහා නීති රීති සම්පාදනය කිරීම ය. අපේ නිවැරදිකම ප්‍රදර්ශනය කිරීමට යැයි කියමින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟවන්නන් ද ඉටුකරන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතා ය. ආර්්ථික සම්බාධක පැණවීමට ජෙනීවා සමුළුවට නීතියෙන් ඉඩක් නැතිවුවත් බටහිරයන් අපට දඬුවම් කර අප මෙල්ලකිරීම සඳහාත් ආණ්ඩුව පළවා හැරීම සඳහාත් සිංහල බෞද්ධ සංස්කෘතිය පොඩි පට්ටම් කිරීම සඳහාත්  වක්‍ර ව ආර්ථික වශයෙන් හිරිහැර කරනු ඇත. අද ආණ්ඩුව පෙරළා දැමීමට ඊනියා වසන්ත මෙහෙයවීමට තරම් නායකත්වයක් මෙරට කිසිම විපක්‍ෂ කණ්ඩායමකට  හෝ දේශපාලන පක්‍ෂයකට හෝ නැති බව දත් කැමරන් තම එංගලන්ත අගමැතිකමට අමතරව ලංකාවේ විපක්‍ෂ නායක පදවිය ද තමන් අතට ගෙන ඇත. අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ජෙනීවා, ලන්ඩන්, වොෂිංටන් නගරවල මිස කොළඹ නො වේ.  බටහිරයන් ලන්ඩන් හා වොෂිංටන් සිට පනවන වක්‍ර ආරථික සම්බාධක  ඊනියා උගතුන්ට ප්‍රශ්නයක් වනු ඇත. එහෙත් ඔවුහු (අඩුම තරමෙන් ඔවුන්ගේ දෙමවුපියෝ) දෙවැනි ලෝක යුද්ධය යනුවෙන් හැඳින්වෙන බටහිරයන්ගේ යුද්ධයේ දී සුද්දන් වෙනුවෙන්, සුද්දන්ගේ ලෝක ආධිපත්‍යය වෙනුවෙන්, බජිරි කෑවෝ ය. සුද්දන් වක්‍ර ව ආර්ථික වශයෙන් අපට හිරිහැර කළහොත් එයට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඊනියා උගතුන්ට බජිරි කැවීමට අවශ්‍ය නම් අප එය ද කළ යුතු ය. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2014-02-16

Sunday, 14 July 2013

බුද්ධගයාවට බෝම්බ ගැසීම

පසුගිය දා බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ අසල බෝම්බ කිහිපයක් පුපුරා ගියේ ය. පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක් ද සොයාගෙන ඇත. ඒ පිළිබඳ ව ඉන්දීය තොරතුරු මධ්‍යස්ථානය කල්තබා ම දන්වා තිබූ නමුත් බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට අසමත් වී ඇති බව පැවසෙයි. කෙසේ වෙතත් ඉන්දීය බලධාරීන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉන් කිහිප දෙනකු නිදහස් කර ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන්නේ යැයි කියන මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් වන මුජාහිඩීන් (අරගලය යන තේරුම ඇති අරාබි වචනයක් වන ජිහාඩ් යන්නෙන් බිඳී ඇතැයි කියැවේ) සංවිධානය එහි වගකීම භාරගෙන ඇති බවත් කියැවෙයි. මේ මුස්ලිම් සම්බන්ධයක් ගැන ලංකාවේ කිසිවකු කියා නැති බව ඇතැම් ත්‍රිරෝද පක්‍ෂ නායකයන්ට කිව යුතු ය. ඒ නායකයන්ට අවශ්‍ය වූයේ ඒ පිළිබඳව ද සිංහල බෞද්ධ සංවිධානවලට දොස් පැවරීම ය. ඒ අතර ඒ ජා පක්‍ෂයේ ඇතැමකුට හා හිටපු හමුදාපතිවරයකුට අනුව බුද්ධගයාවේ බෝම්බ ගැසීම පිළිබඳව ලංකාණ්ඩුව වග කිව යුතු ය! මුජාහිඩීන් හෝ වෙනත් මුස්ලිම් සංවිධානයක් හෝ බුද්ධගයාවට බෝම්බ ගසන්නේ ඇයි? එයට හේතුව ලෙස ඉන්දීය බලධාරීන් පමණක් නොව ලංඩනයේ පළවන ටයිම්ස් නම් ඉංගිරිසි සංස්කෘතියේ මුරබල්ලා ලෙස සැලකිය හැකි පුවත්පත ද කියන්නේ (අඩුම තරමෙන් අඟවන්නේ) ශ්‍රී ලංකාවේ. මියන්මාරයේ හා තායිලන්තයේ බෞද්ධයන් (ථෙරවාද) මුස්ලිම් ජනයාට හිරිහැර කරන බැවින්  එයට ප්‍රතිචාරයක් ලෙස මුජාහිඩීන් සංවිධානය බුද්ධගයාවේ බෝම්බ පුපුරවා ඇති බව ය. ඉන්දීය බලධාරීන්ට අනුව ඒ සඳහා මියන්මාරයෙන් ඉස්ලාම් භක්තිකයකු පැමිණ ඇත. මේ සියළු කතා සුරංගනා කතා පමණකි. මේ කතාවේ අවසානය කෙසේ ලිය වී ඇත් දැයි අපි නො දනිමු. ඉන්දීය ඔත්තු සේවය හා බටහිර ඔත්තු සේවා එක්ව එහි දී මුජාහිඩීන් සංවිධානයේ කිසිවකු යොදා ගත්තේ ද යන්න ද ප්‍රශ්නයක් ලෙස ඉතිරිවනු ඇත. ලංකාවේ කොටි සංවිධානය යොදාගනු ලැබුයේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කරනු පිණිස ය, ඒ නොහැකි නම් දුර්වල කිරීමට ය. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළදා මාළිගාව අසළ සිදු වූ බෝම්බ ප්‍රහාර පිටුපස වූ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය සිංහලයන්ට තවමත් තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.  

අප අද ඇත්තේ ලංකාවේ ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී දේශපාලනයේ හතරවැනි යුගයේ ය. පළමු යුග තුන ගැන කෙටි විස්තරයක් 1995 දී පළකළ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වේ. ඒ පොතෙහි දෙමළ ත්‍රස්තවාදය හමුදා ක්‍රියා මාර්ගවලින් පරාජය කළ යුතු බවත් දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව හා දේශපාලනික ව පරාජය කළ යුතු බවත් පවසා ඇත.  අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කරමින් තුන්වැනි යුගය අවසන් කළෙමු. එමෙන් ම දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව ද මුළුමනින් ම මෙන් පරාජය කර ඇත. එහෙත් අපට තවමත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට නොහැකි වී ඇත. දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී අප ඒ නොකළහොත් ඊළාම් තර්ජනය නැති නොවන බව අපි 1995 තරම් ඈතක දී එකී කෘතියෙන් ද කීවෙමු. මෙහි දී බටහිරයන් හා ඉන්දියාව අපට එරෙහි ව සිටින බව අවධාරණය කළ යුතු ය. බුද්ධගයාවේ බෝම්බ පිපිරෙන්නේ ශ්‍රී ලංකාවේ, මියන්මාරයේ හා තායිලන්තයේ පමණක් නොව බංග්ලාදේශයේ ද ථෙරවාද බෞද්ධයන් හා මුස්ලිමුන් අතර අවුල් ඇති පසුබිමක ය. බටහිරයන් හා ඉන්දියාව (අඩුම තරමෙන් ඔත්තු සංවිධාන) ඒ බව දනියි. ඒ ආරවුල් ද ප්‍රධාන වශයෙන් ම බටහිරයන්ගේ මැදිහත් වීමෙන් සිදුවෙයි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ආධ්‍යාත්මික අභියෝගය ථෙරවාදයෙන් ද හමුදාමය අභියෝගය මුස්ලීම් සංස්කෘතියෙන් ද එල්ල වෙයි. හැකිනම් ඒ සංස්කෘතීන් දෙකම එක ගලෙන් නැතිකිරීම බටහිරයන්ගේ අභිප්‍රාය වෙයි. අප මේ බව කියා ඇත්තේ වරක් දෙවරක් නො වේ.  


ඉහත සඳහන් රටවල් තුනෙන් ලංකාව අද වඩාත් තීරණාත්මක කාලයක් පසුකරමින් සිටියි. අපි මෙතෙක් බිඳිය නොහැකි කළුගලක් සේ හුවාදැක්වුණු දහතුන්වැනි සංශෝධනය අහෝසිකිරීමට පුළුල් ව සාකච්ඡා කරමු. මේ සාකච්ඡාව අවුරුදු විසිපහක් සුළුවෙන් නමුත් පැවතුණු බව සියල්ලෙහි ගෞරවය තමන්ට පවරාගැනීමට උත්සාහ දරණ දේශපාලන පක්‍ෂවලට මතක්කර දිය යුතු ය. අනෙක් අතට පළමු වරට උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරී ඇත. දහතුන පසුව අහෝසි කරන තෙක් එය හැකි ඉක්මණින් සංශෝධනය කළ යුතු වෙයි. මේ සියල්ල නැවැත්වීමට කටයුතු කරන්නේ කවුරුන් ද? එක් පැත්තකින් දහතුන සංශෝධනය කිරීම හා අනෙක් පැත්තෙන් උතුරේ ඡන්දය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කිරීමෙන් වාසි ලැබෙන්නේ දෙමළ ජාතිවාදයට ය.  ඡන්දය නොපැවැත්වීමෙන් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නොදෙන්නේ යැයි ලංකාණ්ඩුවට හා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව ලබාගැනීමට බටහිර හා ඉන්දියාව සූදානම් වෙයි. මුස්ලිමුන් විසින් කරන ලදැයි කියන බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට එරෙහිව සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට පහර දෙනු ඇතැයි බටහිර හා ඉන්දියාව බලාපොරොත්තු නොවිණි යැයි අපට කිව හැකි ද? මන්නාරම් දිස්ත්‍රික්කයේ විශාල මුස්ලිම් ජනගහණයක් සිටිය දී උතුරේ ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාකරවීමට තිබිණි. මෙවරත් සිංහල බෞද්ධයෝ ප්‍රකෝප නොවී කෞටිල්‍යයන් පැරදවූහ. අපට දැන් ඇත්තේ අර සුරංගනා කතාව කෙසේ අවසන් වේ දැයි දැන ගැනීම පමණ ය. එහෙත් දෙමළ ජාතිවාදය හා එහි පිටුපස සිටින බටහිර පඬියන් හා ඉන්දීය කෞටිල්‍යයන් තම කටයුතු මෙයින් අවසන් නොකරනු ඇත. සිංහල බෞද්ධ යැයි කියන පක්‍ෂ හා සංවිධාන ද එහි දී යොදා ගෙන ආණ්ඩුව අස්ථාවර කිරීමට ඔවුන් ක්‍රියාකරනු ඇත. ඉදිරියේදීත් කල්පනාකාරීව කටයුතු කිරීමට සිංහලයන් ඉටාගත යුතු ය. ඒ අතර කිවයුතු කරුණක් වෙයි. ඉන්දියාව අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අප මත පැටෙව්වේ මෙරට දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමිනි. පසුගිය වකවානුවේ ද ඉතිහාසය පුරා ද අප දකින්නේ කෞටිල්‍යයන් බෞද්ධයනට කරන හා කර ඇති අසාධාරණකම් ය. ඉන්දියාවට පැහැදිලිව ම තම බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂුන් වහන්සේ හා එරට හා එරටට පැමිණෙන බෞද්ධයන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් හෝ හැකියාවක් හෝ නොමැති බව පැහැදිලි ය. ඉන්දියාව මත බලයෙන් ලංකා ඉන්දියානු ගිවිසුමක් ඇතිකිරීමට අපට ශක්තියක් නැත. එහෙත් ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධයන් රැකීමට ත්‍රස්තවාදය පරාජය කළ ලංකා හමුදාවේ ඛණ්ඩයක් පිටත්කර හැරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.  කෞටිල්‍යයන් ඒ ගැන කියන්නේ කුමක් ද?


නලින් ද සිල්වා

2013-07-14