
Main Logo
Showing posts with label පට්ටපල් බොරු. Show all posts
Showing posts with label පට්ටපල් බොරු. Show all posts
Friday, 28 February 2014
Wednesday, 12 February 2014
වචන හා වචන
පළමුකොට ම සඳහන් කළ යුත්තක් නම් පසුගිය සතියේ මේ තීරුව යටතේ පළ වු වෙබ් සම්බන්ධය (ඈඳීම - link) වැරදියට මුද්‍රණය වී ඇති බව ය. එය පහත සඳහන් ආකාරයට නිවැරදි විය යුතු ය. http://www.youtube.com/watch?v=kiLHfmfYoS4 අවශ්‍ය අයකුට සම්පුර්ණ දේශනයට සවන් දීමට පහත සඳහන් සම්බන්ධ ද යොදාගත යුතු ය. http://www.youtube.com/watch?v=-35_bat62mQ; http://www.youtube.com/watch?v=AMPlnr7LCoI නැතහොත් www.kalaya.org යන චින්තන පර්ෂදයේ වෙබ් අඩවියට පිවිස දේශනයට සවන්දිය හැකි ය.
අපි දැන් ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ විද්වත් ප්‍රකාශ කිහිපයක් සලකා බලමු. ඔහු ජනවාරි 08 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. …“එනමුත් ඔහුට එක් දෙයක් අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්ටම රැකගන්නට බැරි වන්නේ විශ්වවවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක් නිසා ද නැතිනම් සහජ දුර්වලතාවක් නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක් අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්සේරුවට ලක්කරන්නේ මිදි ඇඹුල් බව පැවසු උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක වත ඇත.”
ඉහත සඳහන් වාක්‍යය ලියා ඇත්තේ ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්යවරයා මිස ඔහු කියන අන්දමට විශ්‍රාම යන විට මහාචාර්ය පට්ටම රැකගැනීමට බැරි වූ මා නො වේ. එහෙත් එහි සඳහන්වන එවැනි විධිමත් මාර්ගය කුමක් දැයි මහාචාර්යතුමා නො කියයි. එවැනි යනුවෙන් සඳහන් කිරීමට ඒ විධිමත් ක්‍රමය කුමක් දැයි පළමුව ප්‍රකාශ කළ යුතු ය. එසේ නැතිව එවැනි යන වචනයට ලැබෙන වැදගත්කම, ඒ වචනයෙන් විස්තර වන්නේ කුමක් ද ආදිය පිළිබඳ ව අවබෝධයක් පාඨකයාට නො ලැබෙයි. මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යනවිට අවසන් විය. අමරතුංග මහතාගේ මහාචාර්ය පදවිය ද එතුමා විශ්‍රාම ගිය දිනයේ සිට අවසන් විය.
එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක් වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ නම් එක් නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩුම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක් දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නොවන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදුවූයේ අවුරුදු හතක් පමණ ය. එය ද මට කිසිදු පත්වීමක් ලබා නොදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට විරුද්ධව කිසිම නීතිඥයකුගේ සහායක් නොමැතිව ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්ඩලය ඉදිරියේ නඩු කීමෙන් ලබාගත් ජයග්‍රණයක ප්‍රතිඵලයකි. හැත්තෑවේ දශකයෙහි අග පේරාදෙණිය විශ්වවිද්‍යාලය (එවකට මණ්ඩපය) මට පත්වීමක් ලබා නොදීමට තීරණය කළ විට අමරතුංග මහතා ඒ විශ්වවිද්‍යාලයෙහි සේවය කළේ දැයි මම නො දනිමි.
කෙසේ වුවත් අවුරුදු අටක් මහාචාර්ය ධුරය නොදැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවද්‍යාලයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක් නොකරන බව මම දනිමි. මා එම පිඨයෙහි පීඨාධිපති ධුරය අවුරුදු තුනක් දැරූ නමුත් පීඨයෙහි මාණ්ඩලික රැස්වීම් ශාලාවෙහි පීඨාධිපතිවරුන්ගේ ඡායාරූප අතර මගේ ඡායාරූපය නැත්තේ මගේ සහජ අවලක්‍ෂණයක් (දුර්වලකමක්) නිසා යැයි මම නො සිතමි. මට මහාචාර්ය නමින් ආමන්ත්‍රණයක් අවශ්‍ය නැත. මගේ ඡායාරූපය සතපහක් නොවටිනා විශ්වවිද්‍යාලයක බිත්තියක එල්ලා තැබීමට ද මට අවශ්‍ය නැත. මට මගේ ස්වාධීනත්වය, විශේෂයෙන් ම බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙන් සිංහලයන් ස්වාධීන කරගැනීම සඳහා කරන අරගලයේ දී මගේ ස්වාධීනත්වය, වැදගත් වෙයි. අමරතුංග මහතාගේ අපහාසාත්මක ප්‍රකාශ නොවන්නට මට ඉහත සඳහන් සටහන ලිවීමට අවශ්‍යතාවක් ඇති නොවීමට තිබිණි.
අමරතුංග මහතාට මහනුවර දී මා පැවැත්වූ දේශනයකට සහභාගිවීමට ආරාධනය කළෙමි. ලිපියක සඳහන් කළ හැකි දෙයට වඩා බොහෝ දේ පැය දෙකහමාරක දේශනයක සඳහන් කළ හැකි ය. ඒ දේශනයට සහභාගි වී නම් ඒ මහතාට යමක් ඉගෙන ගැනීමට තිබිණි යැයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ මහතා පෙබරවාරි 05 වැනි දින පළ වූ ලිපියෙන් කියන්නේ තමා මගෙන් කිසිවක් ඉගෙන ගෙන නැති බවත් මා තමන්ගේ ම දේශනයක ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව මා නොදන්නා බව පෙනී යන බචත් ය.
මා මගේ දේශනය ගැන කළ පුරසාරමක් නැත. මා කළේ මගේ දේශනයට සහභාගි වීමට ඔහුට ආරාධනය කිරීමත් එයට සහභාගි වීමෙන් ඔහුට යමක් ඉගෙන ගැනීමට හැකි බවත් කීම පමණ ය. මා කොහේ දේශන පැවැත්වුවත් එයින් බලාපොරොත්තු වන්නේ අසන්නන්ට යමක් ඉගැන්වීමට ය. අමරතුංග මහතා දේශන පවත්වන්නේ ඉගැන්වීමට නොව දිමනාවක් (වැටුපක්) ලබාගැනීමට විය හැකි ය. මම එය නො දනිමි. බොහෝ මහාචාර්යවරුන්ගේ දේශනවලින් පොතක පතක ඇති දෙයකට වැඩි කිසිවක් ඉගෙන ගැනීමට නොහැකි බවත් මම අත්දැකීමෙන් ම දනිමි. විශ්වවිද්‍යාලයේ දී හැකිතාක් දේශනවලින් ඉවත් ව සිටීම මට ප්‍රිය විය.
මා දේශන පවත්වන්නේත් ලියන්නේත් අලුත් යමක් කියා දීමට ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ මිථ්‍යාව නොඉවසන ඔහුට මගෙන් ඉගෙනීමට කිසිවක් නැති බව ය. බටහිර විද්‍යාව නමැති පට්ටපල් බොරු විශ්වාස කරන ඔහු මගෙන් කිසිවක් ඉගෙන නොගන්නා බව නම් පැහැදිලි ය. ඒ බව ඔහුගේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ද පැහැදිලි වෙයි. ෆැක්ට්ස් (facts) යන්න වෙනුවට සිද්ධාන්ත යන්න යෙදිය නොහැකි බව මගේ ජනවාරි 22 වැනි දා ලිපියෙන් ශබ්දකෝශවලින් හා පාරිභාෂික ශබ්දමාලාවලින් උදාහරණ ගෙන පෙන්වීමි. එහෙත් පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ඔහු කියන්නේ කුමක් ද?
ඔහුට අනුව ෆැක්ට්ස් යන්නට සුදුසු වචනයක් නොමැති බැවින් ඔහු දිගට ම ඒ සඳහා සිදාධාන්ත යන වචනය යොදා ගන්නා බව කියයි. ෆැක්ට් යන්නට තනි වචනයක් පැරණි සිංහලයේ තිබී නැත. එයට හේතුව ෆැක්ට් යන්න සිංහලයන්ට විෂය වූවක් නොවූ බැවින් යැයි සිතිය හැකි ය. එහෙත් දැන් පාරිභාෂික ශබ්දමාලාවෙහි පරිසිද්ධිය යනුවෙන් ඒ සඳහා වචනයක් වෙයි. අමරතුංග මහතා ඒ වචනයට අකමැති නම් ඔහුට වෙනත් සුදුසු වචනයක් නිර්මාණය කරගත හැකි ය. එහෙත් ඔහු එසේ නොකර ෆැක්ට් යන්නෙන් දෙන අදහසට ඉඳුරා විරුද්ධ අර්ථයක් දෙන සිද්ධාන්තය යන්න යොදා ගනියි. මෙයින් පැහැදිලිවන්නේ අමරතුංග මහතාට වචන පිළිබඳ නිරවුල් අවබෝධයක් නැති බව ය. අපි ලිපියෙහි අග මේ ගැන තවදුරටත් කතාකරමු.
ඒ අතර අමරතුංග මහතා පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් තවදුරටත් කියන්නේ මා කිසිදාක කිසිවිටෙක කියා නැති බව ය. ඔහුට අනුව මා ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන්ගේ අදහස්වල එල්බගෙන (බටහිර) විද්‍යාව බොරුවක් බව පවසයි. මා ෆෙයරාබන්ඩ්ගෙන් පමණක් නොව කූන්ගෙන් ද ආභාසය ලබා ඇත. ඔවුන් නිර්මාණය කළ ඇතැම් දැනුමක් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඇත. එය මා බොහෝ විට පවසන කරුණකි. එහෙත් මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් හෝ කූන් හෝ පොපර් හෝ බටහිර විද්‍යාව පිළිබඳ වෙනත් දාර්ශනිකයකු හෝ බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියා නැත. එසේ කියා ඇත්නම් රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුන් මෙන් සාක්‍ෂි නොමැතිව හිස් ප්‍රකාශ නොකර බටහිර දාර්ශනිකයකු බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියා ඇත්තේ කොතනක දැයි සාක්‍ෂි සහිතව සඳහන් කරන මෙන් ඉල්ලමි.
මා කිසිම අලුත් සත්‍ය දෙයක් කියා නැති බව කී පළමු තැනැත්තා අමරතුංග මහතා නො වේ. මෙයට කලින් කාලෝ ෆොන්සේකා මහතා එක්තරා රූපවාහිනී සාකච්ඡාවක් අවසානයේ දී මට පිළිතුරකට කාලය නොතබා ඉතා නිවට ආකාරයකට ඒ අරුත දෙන ප්‍රකාශයක් කළේ ය. ඔහු බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ නිවට බව හෙළිදරවු කිරීමට මම ඒ අවස්ථාව ම යොදා ගත්තෙමි. මෙයට කලකට පෙර කලක් ජ වි පෙ අනුගාමිකයකු ව සිට පසුව චින්තන පර්ෂදයේ කටයුතුවලට ද සහභාගි ව ජාතිය මලකඳක් යැයි කියමින් නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවීර දේශපාලනයට 1994 දී ගිය පාඨලී චම්පික රණවක මහතා ද මා රැම්සේ වෙත්තිමුනි මහතාගේ අදහස් හැරෙන්නට වෙනත් දෙයක් (බටහිර) විද්‍යාව හා බුදුදහම පිළිබඳ කියා නැතැයි මහා ඝෝෂාවක් කළේ ය. වෙත්තිමුනි මහතාගේ අදහස් සමග මා එකඟ නොවූ බව ඒ මහතාට නොවැටහුණේ ඔහුට වෙනත් දේශපාලන ප්‍රශ්නයක් තිබූ නිසා බව මම දැන සිටියෙමි.
අද අමරතුංග මහතා කියන්නේ මා මහායාන දහමේ අදහස්වල එල්බගෙන බුදුදහම විකෘත කරන බව ය. එය චම්පික රණවක මහතා කී දේට පටහැණි ය. දෙදෙනා ම හෝ අඩුම තරමෙන් ඔවුන්ගෙන් එක් අයකු හෝ බොරු කියන (කී) බව පැහැදිලි ය. මා අශෝක බුදුදහමෙහි සඳහන් ඇතැම් දේ නොපිළිගත් පමණින් මා බුදුදහම විකෘත කරන බව අමරතුංග මහතා පවසන්නේ කෙසේ ද? අපි කාලෝ ෆොන්සේකා මහතා හා අමරතුංග මහතා බටහිර දැනුමට අවශ්‍ය කරන ආකාරයට කාළාම සූත්‍රය විකෘත කර ඇති ආකාරය පසුව සාකච්ඡා කරමු. මහනුවර දේශනයට සවන් දෙන්නකුට එය පැහැදිලි විය යුතු ය.
අපි සංවාදයක යෙදී ඇත්තෙමු. අප වැන්නන් සංවාද කරන්නේ, බොහෝ විට සන්නිවේදනය කරන්නේ භාෂාවක වචන යොදා ගනිමිනි. එබැවින් අපි වචන යොදා ගැනීමේ දී හැකිතාක් නිරවුල්වීමට උත්සාහ දැරිය යුතු වෙමු. එහෙත් අමරතුංග මහතා ඒ ගැන කිසිම සැලකිල්ලක් නො දක්වයි. ඔහු වරක් ඉන්කන්සිස්ටන්සි යන වචනය වෙනුවට අවිනිශ්චිතතාව යන පදය යෙදී ය. එය වැරදි බව ජනවාරි 15 වැනි දා මගේ ලිපියෙන් පෙන්වා දුනිමි. මගෙන් කිසිවක් ඉගෙනීමට නැතැයි කීයන අමරතුංග මහතා ජනවාරි 29 වැනි දා ලිපියෙන් ද ඒ වරද කරයි. ඔහු “නිව්ටන්ගේ න්‍යාය තුළ අවිනිශ්චිතතාවන්, අස්ථිරතාවන්, නිරවද්‍ය නොවූ තැන් (inconsistency, impreciseness, uncertainty, inexactitude) තිබිය හැකි” යැයි පවසයි. මෙහි න්‍යාය යනුවෙන් යොදාගෙන ඇත්තේ තියරී යන්නට විය යුතු ය. එය ද වැරදි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා සිංහල වචන තුනක් වෙනුවට වරහන් තුළ ඉංගිරිසි වචන හතරක් යොදයි. පැහැදිලි ව ම මෙය කපටි උපක්‍රමයකි. තමන් කිනම් සිංහල වචනයක් කිනම් ඉංගිරිසි වචනයක් වෙනුවෙන් යොදාගන්නේ දැයි පාඨකයාට නොකීමට ඔහුට ඉන් අවස්ථාව ලැබෙයි. කෙසේ වෙතත් අප කතාකරන්නේ නිවුටෝනීය විද්‍යාවේ බොරුව ගැන මිස ඊනියා අස්ථිරතාවන්, අවිනිශ්චිතතාවන් ගැන නො වේ. බොරුව වචන දමා ගැසීමෙන් වැසිය හැකි නො වේ. මේ සියල්ලටත් වඩා අමරතුංග මහතා තම අනවබෝධය ප්‍රදර්ශනය කරන්නේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් වියුක්තය ගැන කතාකිරීමේ දී ය. ඔහු වියුක්තය යනුවෙන් වටහා ගෙන ඇත්තේ විවික්තය ය! අපි මේ සියල්ල පසුව විස්තරාත්මක ව සාකච්ඡා කරමු. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්ත ප්‍රවාද බැවින් අමරතුංග මහතා ඉගෙන ගත්තත් නැතත් අප ඉක්මනින් එය පැහැදිලි කළ යුතු ය.
නලින් ද සිල්වා
2014-02-12
2014-02-12
Labels:
NalinDeSilva,
Vidusara,
නලින් ද සිල්වා,
පට්ටපල් බොරු,
බටහිර විද්‍යා,
විදුසර
Wednesday, 5 February 2014
නිවුටන්ට හා අයින්ස්ටයින්ට අනුව වැටීම
ජනවාරි මස 23 වැනි දා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් මා විසින් මහනුවර දී පවත්වන ලද දේශනය http://youtu.be/kiLHfmfYoS4 යන ජාල සම්බන්ධය හා එක්වීමෙන් ශ්‍රවණය කළ හැකි බව ප්‍රථමයෙන් ම දැනුම් දෙන්නේ එම දේශනය මෙම සංවාදයට අදාළ බැවින් හා එයට මහාචාර්ය අමරතුංග මහතා නොපැමිණි බැවින් ය. එමෙන් ම එම දේශනයෙහි සඳහන් කරුණු පිළිබඳ තුන්වැනි පාර්ශ්වයකින් කියැවෙන දේ අසා නිගමනවලට එළඹීම වෙනුවට තමන්ට ම එය ශ්‍රවණය කිරීමෙන් ඒ පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැකි බැවින් වෙබ් අඩවියකට පිවිසීමට පහසුකම් ඇති පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ද අදාළ සම්බන්ධය මෙහි දක්වා ඇත.
පසුගිය ජනවාරි 22 වැනි දා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විසින් ලියන ලද ලිපියට පිළිතුරු දීම අවසන් නැති වුවත් ඒ මහතා 29 වැනි දා සඳහන් කරන ලද කරුණක් දෙකකක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. ඒ කාන්ට්ගේ දැනුම පිළිබඳ නිර්වචනය හා ගුරුත්වය සම්බන්ධව ය. කාන්ට්ගේ දැනුම පිළිබඳ නිර්ණායක (නිර්වචනය) ලෙස අමරතුංග මහතා ඉදිරිපත් කළේ තම ජනවාරි 1 වැනි දා ලිපියෙනි. ඔහු එහි දී කියා සිටියේ මෙයයි. “දැනුම යන්න කුමක් දැයි එමානුවෙල් කාන්ට් නමැති දාර්ශනිකයා අර්ථදක්වා ඇත. එනම් යම්කිසි විශ්වාසයක් (belief) සිද්ධාන්ත (facts) සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනේ. නලින් ද සිල්වා මහතා විද්‍යාව බොරුවක් යැයි විශ්වාස කරන බව පෙනේ. එනමුත් එම විශ්වාසයස මත එකඟ වන සිද්ධාන්ත කිසිවක් ඔහු ඉදිරිපත් කොට නැත.”
ඒ මහතා සිද්ධාන්ත යනු කුමක් දැයි නොදන්නා බවත් එය (facts) යන්නට යොදාගත නොහැකි බවත් පෙන්වූ. මම දැනුම යනු කුමක් ද යන්න පිළිබඳ ව කාන්ට්ගේ නිර්වචනය (අර්ථකථනය - නිර්ණායක) යොදාගැනීම පිළිබඳ මූලික ප්‍රශ්නයක් මතු කෙළෙමි. ඒ දැනුම පිළිබඳ කාන්ට්ගේ නිර්වචනය දැනුමක් ද යන්න ය. එය දැනුමක් බව අප දැනගන්නේ කිනම් නිර්ණායක යොදාගනිමින් ද? සත්තකින් ම ඒ සඳහා කාන්ට්ගේ නිර්වචනය ම යොදාගත නො හැකි ය. අප පළමු කොට කාන්ට්ගේ නිර්වචනය දැනුමක් බව පෙන්වා දිය යුතු ය. අමරතුංග මහතා කෙතරම් උත්සාහ කළත් එය කළ නො හැකි ය. ඔහු ඒ සඳහා වෙනත් දැනුමක් (නිර්ණායක) යොදා ගත යුතු ය. එවිට එය කාන්ට්ගේ නිර්වචනයට වඩා මූලික නිර්වචනයක් වෙයි. අනෙක් අතට ඒ නව නිර්ණායකය දැනුමක් බව අප තීරණය කරන්නේ කෙසේ දැයි පෙන්වාදීමට අමරතුංග මහතාට සිදුවෙයි.
අප කතාකරන්නේ දැනුම පිළිබඳව ය. එහි දී රේඛීය දැනුමක් වූ බටහිර දැනුමට මුහුණ පෑමට සිදුවන මූලික ප්‍රශ්නයක් මම මතු කළෙමි. අමරතුංග මහතා තමන්ට නොතේරෙන දාර්ශනික වචනවලින් දමාගැසුව ද ඔහුට බොහෝ මහාචාර්යවරුන්ට මෙන් ම මූලික ප්‍රශ්න ගැන කල්පනා කිරීමට තරම් ශක්තියක් නැත. එබැවින් ඔහු මගේ මූලික ප්‍රශ්නයට සිය ජනවාරි 23 වැනි දා ලිපියෙන් පිලිතුරක් නොදී මා මෝඩ ප්‍රශ්නයක් අසා ඇති බව කියමින් පැන යන්නේ පහත සඳහන් ප්‍රකාශය කරමිනි. “ඔහු රේඛීය වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ද පුරුදු පරිදි ඇඳාගනියි. මිනිසා බිහි වූ දා පටන් ඉන්ද්‍රිය ගෝචර දැනුම ලබාගත්තේ ය. ඉන්ද්‍රිය ගෝචර නොවූ දේ තේරුම්ගැනීමට සමහර අය මිථ්‍යාවේ පිහිට පැතූහ. සමහරෙක් විද්‍යාත්මක පර්යේෂණවල පිහිට පැතූහ. ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි ඉදිරිපත් කළ හ. මෙය දිගු ගමනක් විය. මේ දැනුම් මාර්ගයේ එක් කඩඉමකි එමානුවෙල් කාන්ට් ගේ දැනුම පිළිබඳ නිර්වචනය.”
මා අසා ඇත්තේ මෝඩ ප්‍රශ්නයක් යැයි සිතමු. ඒ මහතා එයින් කියන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීම අනවශ්‍ය බව ද? එහෙත් ඒ මහතා මිථ්‍යා හා විද්‍යාත්මක පර්යේෂණ ගැන කියන්නේ එයට පිළිතුරක් ලෙස ය. අවසානයේ දී ඔහු කියන්නේ කාන්ට් ගේ නිර්වචනය ඒ ඊනියා දැනුම් මාර්ගයේ කඩඉමක් බව ය. දැනුම් මාර්ගයේ කඩඉමක් යනුවෙන් ඔහු අදහස් කරන්නේ දැනුමක් බව පැහැදිලි ය. එහෙත් මගේ ප්‍රශ්නය ද එය දැනුමක් බව තීරණය කරන්නේ කෙසේ ද යන්න ය. කාන්ට් ඉදිරිපත් කර ඇත්තේ මිථ්‍යාවක් ද? ඔහු ඒ සඳහා කළ ඊනියා විද්‍යාත්මක පර්යේෂණයක් වේ ද? ඒ කිසිවක් අමරතුංග මහතා සඳහන් නො කරයි. ඔහු එය දැනුමක් බව පමණක් ප්‍රකාශ කරයි. කාන්ට්ගේ දැනුම පිළිබඳ නිර්වචනය දැනුමක් බව තීරණය කරන්නේ කෙසේ දැයි ඇසූ කල එය දැනුමක් යැයි පැවසීම ප්‍රශ්නයට පිළිතුරක් නො වේ. මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ කල බොහෝ විට ලැබෙන පිළිතුරු එබඳු ය.
බටහිර විද්‍යාවේ ප්‍රශ්නය එය පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර (ප්‍රවාද) මගින් තේරුම් කිරීමට යෑම ය. පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ ගැන කතාකරන බටහිර විද්‍යාවට තම කතන්දර පංචෙන්ද්්‍රිය ගෝචර නොවන බව අමතක වෙයි. බටහිර විද්‍යාඥයෝ කතන්දර ගොතති. මේ කතන්දර පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒවා පට්ටපල් බොරු ය. ගුරුත්වාකර්ෂණය යනු එවැනි පට්ටපල් බොරුවකි. එය නිවුටන් ගෙතූ කතාවකි. පොල් ගෙඩි පොළොවට වැටීම (වක්‍ර) පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් සෑම ප්‍රත්‍යක්‍ෂයක් ම, පංචෙන්ද්‍රිය ගෝචර වුවත් නැතත්, සංකල්පයක් සමග බැඳී ඇත. පොළොවට වැටීම යන්න ඇතැමුන් සිතන තරම් සරල පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් හෝ සංජානනයක් හෝ නො වේ. එහි පොළොව යන සංකල්පය අඩංගු වෙයි. එයට අමතර ව වැටීම යන සංකල්පය වෙයි. පොළොව සෘජු ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. එය ගෝචර වන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? පොළොව යන සංකල්පය පංචෙන්්ද්‍රිය ගෝචර සංජානන රාශියක් එකට ගැනීමෙන් මනස විසින් සකස් කරනු ලැබ ඇති සංකල්පයකි. එය මනසේ මායාවකි. එය බොරුවකි. එහෙත් තද බව යන්න සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි, අවශ්‍ය නම් සංජානනයකි. තද බව ස්පර්ශයට (ශරීරයට) දැනෙයි. එහෙත් එය ද දැනෙන්නේ සංකල්පයක් සමගිනි. කිසිම පංචෙන්ද්‍රිය ගෝචර සංජානනයක් (සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්) සංකල්පයකින් තොරව ඇති නො වෙයි. එහෙත් සංකල්ප නම් පංචෙන්ද්‍රිය ගෝචර සංජානනවලින් තොරව ඇති වෙයි.
තද බව යන්න ද බොරුවකි. එය ද මනසෙහි මායාවකි. එහෙත් එය පොළොව වැනි බොරුවක්, මායාවක් නො වේ. තද බව යන්න පංචෙන්ද්‍රයයන්ගෙන් එකකට ගෝචර ය. එහෙත් පොළොව යන්න එලෙස පංචෙන්ද්‍රියයකට ගෝචර වූවක් නො වේ. එය මනසේ තද බවට වඩා වෙනස් මැවීමකි. මායාවකි. තද බව ද මනසේ මායාවකි. එය පොළොව මෙන් නොව එක් පංචෙන්ද්‍රියයක් සමග බැඳී ඇත. තද බව යන්න ද බොරුවක් වුවත් එය පොළාව තරම් ම බොරුවක් නොවේ යැයි සැලකිය හැක්කේ මේ ඉන්ද්‍රිය ගෝචර සම්බන්ධය නිසා ය. මෙයින් පංචෙන්ද්‍රියට ගෝචර වන දේ ඇත්ත යැයි නො සැලකෙයි. එහෙත් කිවයුත්ත නම් තද බව යන්න ද ඊනියා යථාර්ථයක් නොවන බවත් එය ද බොරුවක්, මායාවක්, රැවටීමක් පමණක් බවත් ය. මේ සම්බන්ධයෙන් වැඩි දුර පැහැදිලි කිරීමක් පූජ්‍ය කටුකරුන්දේ ඥානානන්ද හිමියන්ගේ පොත් ඇසුරු කිරීමෙන් ලබාගත හැකි ය.
වැටීම යන සංකල්පය අප තනාගෙන ඇත්තේ අත්හරින (මුදාහරින) ලද වස්තු පොළොව දෙසට චලනය වීම නීරීක්‍ෂණය කරමිනි. එසේ මුදාහරිනු ලැබූ වස්තු සමහරක් පොළොවෙන් ඉවතට ඇදී ගියේ නම් අපට වැටීම යන සංකල්පය තනාගැනීමට නොහැකි වන්නට තිබිණි. කෙසේ වෙතත් මුදා හරින ලද වස්තු (වස්තුව යන්න ද මායාවක් බොරුවක් මිස ඊනියා වාස්තවික වූවක් නො වේ.) සියල්ල පොළොව දෙසට චලනය (චලනය ද සංකල්පයකි) වන බැවින් අපට වැටීම පහළ උඩ ආදී සංකල්ප නිර්මාණය කරගැනීමට හැකි වී තිබේ.
ඉහත සඳහන් දේ ප්‍රකාශ කිරීමෙන් මා විඥානවාදියකු බවට පත් නො වෙයි. එයට හේතුව මා විසින් මනස ද පවත්නා ඊනියා යථාර්ථයක් ලෙස ගනු නො ලැබීම ය. මනස ද මනසෙහි නිර්මාණයක් වෙයි. ඒ බව සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි විස්තර කෙරී ඇත. අමරතුංග මහතාට නොතේරුණත් රේඛීය චින්තනයක හා චක්‍රීය චින්තනයක ඇති වෙනස හේතුවෙන් සිංහල බෞද්ධයනට එක් තැනකින් පටන්ගෙන රේඛාවක් දිගේ ඉදිරියට යෑමක් නැත. චක්‍රීය චින්තනයක මනස මනසෙහි නිර්මාණයක් විය හැකි ය. පටිච්ච සමුප්පදායෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඤ්ඤාණ යනුවෙන් ද කියැවෙන්නේ එබැවිනි.
මනසක් ඇත, මනසක් පවතින්නේ ය යනුවෙන් ගන්නා අයගෙන් ඇසීමට ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණකි. නිවන් අවබෝධයෙහි දී හා පිරිනිවන්පෑමෙහි දී ඇතැයි කියන මනසට සිදුවන්නේ කුමක් ද? කලකට පෙර දී අයිලන්ඩ් පුවත්පත මගින් මා බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු වූ වයි කරුණදාස මහතාගෙන් මේ ප්‍රශ්නය ඇසූ නමුත් මේ වන තුරු ඒ මහතා පිළිතුරක් දී නැත. ඒ ප්‍රශ්නයට දන්ත වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්යවරයකු වූ ද ඩී එස් සී උපාධිධාරියකු වූ ද අමරතුංග මහතාට පිළිතුරු දිය හැකි ද?
මනස ද ඇතුළු සියල්ලට ඇත්තේ පටිච්ච වූ පැවැත්මකි. යම් යම් දේ ඇත්නම් යම් යම් දේ පවතියි. එය සාපේක්‍ෂ ය. ඒ ඒ දේ නැතිවිට ඒ ඒ දේ නො පවතියි. යම් යම් දේ යනුවෙන් කියැවෙන්නේ ද ඊනියා වාස්තවික ව පවත්නා දේ නොව සාපේක්‍ෂව සම්මුතියෙන් පවත්නා දේ ය. සම්මුතියෙන් තොරව පැවැත්මක් නැත. මනස ද පවතින්නේ සම්මුතියෙන් පමණකි. ඒ අර්ථයෙන් මනසක් නැතැයි ගන්නා අතර මනස ද මනසෙහි නිර්මාණයක් ලෙස ගැනෙයි.
ඉහත සඳහන් සියළු අඩු ලුහුඬුකම් මැද පොළොවට පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් යැයි ගනිමු. දැන් නිවුටන්ට මෙන් ම පසු කලෙක අයින්ස්ටයින්ට වූ ප්‍රශ්නය වූයේ පොළොවට පොල් (වස්තු) වැටෙන්නේ ඇයි ද යන්න ය. එයට ඔවුන් දෙදෙනා ම දී ඇත්තේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත පිළිතුරු ය. එය ඔවුන් දෙදෙනාගේ ප්‍රශ්නයක් නොව බටහිර විද්‍යාවේ ප්‍රශ්නයකි. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ වියුක්ත කතන්දර ගෙතීම ය. ඒ කතන්දර තද බව යන්නට වඩා කිහිප ආකාරයකින් බොරු ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචරවත් නො වේ. ගුරුත්වාකර්ෂණ බලය යනු හුදු කතන්දරයක් පමණකි. අයින්ස්ටයින් ඒ ප්‍රශ්නයට දුන් පිළිතුර වූයේ අවකාශ කාලයේ වක්‍රතාව යන්න ය.
අමරතුංග මහතා තන්තුවාදය ආදිය ගැන මහදැනමුත්තකු ලෙස දෙඩෙව්ව ද ඔහුට ඒ ගැන කිසිම වැටහීමක් නැත. අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය ගැන ද ඔහු දන්නා දෙයක් නැත. ඒ දැනගැනීම සඳහා ඔහුට ගණිත දැනුමක් නැත . බොහෝ මහාචාර්යවරුන් කරන පරිදි ම ඔහු වචන ගසා දමා තම පඬි බව විදහා දැක්වීමට උත්සාහ දරයි. හැකිනම් මා සහභාගි වන රැස්වීමක දී තන්තුවාදය, සාධාරණ සාපේක්‍ෂතාවාදය ආදිය ගැන දේශනයක් පවත්වා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ආරාධනා කරමි.
වැටෙන පුද්ගලයකුට ගුරුත්වාකර්ෂණයක් නො දැනෙයි. එසේ දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? එසේ නම් අයින්ස්ටයින්ට අනුව වැටෙන පුද්ගලයකුට දැනෙන්නේ අවකාශ කාල වක්‍රතාව විය යුතු ය. වැටෙන අයකුට දැනෙන්නේ වැටීම මිස ගුරුත්වාකර්ෂණ බලයක් නො වේ. වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු දෙකක් මිස එකක් නො වේ. එකක් අයකුගේ හුදු පංචෙන්ද්‍රිය සංජානනයක් නොවූවත් වක්‍ර ව ප්‍රත්‍යක්‍ෂයක් ලෙස ගත හැකි අතර, අනෙක නිවුටන් ගෙතූ කතාවක් පමණකි. වැටෙන අයකුට නිවුටන්ට අනුව එක් අයුරකිනුත් අයින්ස්ටයින්ට අනුව තවත් ආකාරයකටත් දැනෙන්නේ ද?
නලින් ද සිල්වා
2014-02-05
Labels:
NalinDeSilva,
Vidusara,
Western science,
නලින් ද සිල්වා,
පට්ටපල් බොරු,
බටහිර විද්‍යා,
විදුසර
Sunday, 15 December 2013
නාථ දෙවියන් මියගොස් ද?
පසුගිය දා “උගත් ගැමි” මැදිවියේ ජ වි පෙ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී නාථ දෙවියන් ආසනික් ගැන දැනගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසී ය. ඔහුට අනුව ආසනික් ගැන දැනගෙන ඇත්තේ පසුව ය. එසේ පසුව දැනගත් ආසනික් ගැන නාථ දෙවියන්ට දැනුමක් නොතිබිය හැකි ය යන්න ඔහුගේ ප්‍රශ්නයෙන් ගම්‍ය විය. මෙයින් ඔහු අදහස් කළේ නාථ දෙවියන් මිය යෑමෙන් පසුව ලෝකයා ආසනික් ගැන දැනගත් බව ද? ආසනික් සම්බන්ධ ප්‍රශ්නයේ දී නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද (ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් නො වේ) ඔහු අදාළ භවයෙන් චුත වී නැත. අනුර දිසානායකට සංකල්ප පැටළවී ඇත. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද තවමත් දෙව්ලොවින් චුත වී නැත. අනෙක් අතට ආසනික් යන්න සිංහලයන්ට අළුත් වුවත් ඔවුහු පාසානම් නමින් එය ඈත අතීතයේ සිට දනිති. නාථ දෙවියන් යනු කවුරුන් වුව ද ඔහු ද පාසානම් නමින් හඳුන්වනු ලැබූ කාලයේ සිට ආසනික් ගැන දන්නා බව නිසැක ය. අනුර දිසානායකලා අද වන විට කෙතරම් දුරට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වී තිබේ ද යන්න මෙයින් පැහැදිලි වෙයි. මා නාථ දෙවියන් ගැන දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. මගේ දැනුම අනුව ආසනික් හා සම්බන්ධ නාථ දෙවියන් යනු මනුෂ්‍ය නොවන ප්‍රාණියෙකි. ඔහුට දෙවියන් යැයි කීව ද ඒ භූතයකු විය හැකි ය. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වේ. මට අවශ්‍ය වූයේ දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම ඇති බව ද ජනතාවට පැවසීම ය. එසේ කීම එක් අතකින් වැරදි ය. මෙරට ජනයා මා නොකීවාට අවුරුදු දහස්ගණනක් තුළ පංචෙන්ද්‍රියන්ට සීමා නොවු විවිධ ක්‍රම මගින් දැනුම ලබාගෙන ඇත. මා කර ඇත්තේ ජනතාවගෙන් යමක් ඉගෙන එය තහවුරු කිරීම පමණ ය. සුද්දෝ අපට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කියා භූතයන් යනු මිථ්‍යාවන් යැයි ද භූතයන්ගෙන් දැනුම ලබාගැනීමට නොහැකි යැයි ද පවසති. සුද්දන්ගෙන් ඉගෙන ගත හැකි නම් භූතයන්ගෙන් ඉගෙන ගත නොහැක්කේ මන්දැයි මට නොවැටහෙයි. වඩා භයානක සුද්දා ද භූතයා ද? සුද්දාට හසු වූ කල බොහෝ අයට ගැලවීමක් නැති බව මෙරට නිවට පුහු උගතුන්ගෙන් පැහැදිලි වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවත්වන මට සුද්දාගෙන් ද භූතයාගෙන් ද ගැලවිය හැකි ය. මට තවමත් ගැලවීමක් නැත්තේ මගෙනි. ජනප්‍රිය ගීතයක අදහසක් අවශෝෂණය කරගෙන මට මගේ ම නොවන මගේ මමක් ඇතැයි කිව හැකි ය. ඉන් ගැලවීමට අඩුම තරමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු ය. වයස අවුරුදු දහහතරේ දී සුද්දාට හසුවූ මට සුද්දාගෙන් ගැලවීමට නම් අවුරුදු විස්සකට වඩා නොගියේ ය. භූතයාගෙන් ගැලවීමට එතරම් කලක්වත් නො ගියේ ය. එහෙත් අවශ්‍ය වූ විට සුද්දාගෙන් ද භූතයාගෙන් ද දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරමි.
අපට නාථ දෙවියන් නමින් හැඳින්වෙන අය මුණ ගැසුනේ බටහිර විද්‍යාවට හා එහි තාක්‍ෂණික අංගයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාවට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කීමට නොහැකි වූ අවස්ථාවක ය. මේ රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නැත. පසුගියදා රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවසා ඇත්තේ කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඔවුන්ට, එනම් ඔවුන්ගේ ස්වාමී සුද්දන්ට ඇති බව ය. ඔවුන්ට අනුව ඒ වකුගඩු බද්ධ කිරීම ය. දහස්ගණන් රෝගීන්ට බද්ධ කිරීමට වකුගඩු කඩේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකි ය. එහෙත් මේ දොස්තරලා ද නො(දත්) දොස්තරලා ද නොදන්නා දේ නම් අවයව බද්ධකිරීම යන්න සමස්තය යනු කොටස්වල එකතුව යැයි සිතන නිව්ටෝනීය යාන්ත්‍රික දර්ශනයෙන් ගලා එන්නක් බව ය, මේ අමතර කොටස් සංකල්පය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ පැටලීම (එන්ටැන්ගල්මන්ට්) යන ෂ්රොඩිංගර්ගේ අවුරුදු හැත්තෑවකට පැරණි සංකල්පයෙන් ඉවත්කෙරී ඇති බව ය. පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසයි. සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යැයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක් අදහස් කරන්නේ දැයි නො දනිමි. එහෙත් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යැයි ඔප්පු කළ හැකි කිසිවකු වේ ද? බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යැයි කියමින් පට්ටපල් බොරු වියුක්ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්ටපල් බොරුවක් දැයි අශෝක අමරතුංග නො දනියි.
නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. කැඩ්මියම් එහි දී උත්ප්‍රෙරකයක් ලෙස ක්‍රියා කරයි. අපි ඒ බව ජනතාවට කීවෙමු. කැනඩාවේ ජීවත්වන මට කෙදිනකවත් මුණ ගැසී නොමැති චන්ද්‍රසිරි ධර්මවර්ධන නම් මහාචාර්යවරයකු විද්‍යුත් තැපෑල මගින් මා ආසනික් ගැන කීවේ ඊනියා පාරභෞතික ක්‍රමවලින් බවත් මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු කිහිප දෙනකු එය බටහිර විද්‍යාත්මකව තහවුරු කිරීමට උත්සාහගත් බවත් සඳහන් කරයි. ඔහුගේ පාරභෞතිකය පිළිබඳ අර්ථදැක්වීම කෙසේ වුවත් කිසිවකුට අනුව ගුරුත්වාකර්ෂණය ද වෙනත් වියුක්ත ප්‍රවාද ද පාරභෞතික ය. ඔහු පරණගම මහත්මියගෙන් අසා දැනගෙනත් එහෙත් නොකියන දෙය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම ආසනික් පර්යේෂණ කළේ මගේ මූලිකත්වයෙන් බවත් මා සේවයෙන් ඉවත්වීමෙන් පසුව ඒ පර්යේෂණ නැවතුනු බවත් ය. අපි ආසනික් පිළිබඳ දැනගැනීමෙන් පසුව ඔහු වැන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇරඹීමු. එහෙත් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව දැනගැනීමට නැත. ඔවුන් ඒ දැනගන්නා තෙක් අප කළ යුත්තේ රෝගීන් මිය යෑමට සැලැස්වීම ද? එක් කුහක දොස්තරවරයකු තමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව යැයි කියමින් රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් බව ප්‍රකාශ කළේ අපට නිග්‍රහ කිරීමට ය. එහෙත් ඔහු වාර්තාවක් ලෙස නම් කළේ හතර දෙනකු විද්‍යුත් සඟරාවක පළකළ පත්‍රිකාවකි. ලෙඩා මළත් හේතුව ආසනික් නොවේ නම් බඩ සුද්ද ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිවකු හෝ කිවුල ගැන නොකියද්දී ආණ්ඩුව නාථ දෙවියන්ගේ කීම මත පදනම් ව කිවුල නැතිකිරීමට ජල පෙරණ සවිකිරීමට තීරණය කර ඇත. එහෙත් කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් නොකර පෙරණ සවිකිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ආණ්ඩුව වැව් ප්‍රතිසංස්කරණය කර ජලය බෙදාදීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. එමෙන් ම වැව් තාවුලුවල මිරිකුළු (මුරුංගා) වැනි ශාක වගා කිරීමටත් කෘෂිරසායන ගෙන්වීම ක්‍රමයෙන් නවතා දේශීය පොහොර යොදා ගැනීමටත් ගොවි මහතුන් උනන්දු කළ යුතු ය. ආණ්ඩුව බටහිර වෙදකමට වෙන් කරන මුදලෙන් ඉතා සුළු කොටසක් වියදම් කර වෙදමහත්වරුන්ට අදාළ ප්‍රදේශවල වෙදකම් කිරීමට පහසුකම් සලස්වන්නේ නම් රෝගීන් සුවකළ හැකි ය. විදේශ විනිමයත් ඉතිරිකර ගත හැකි ය.
නලින් ද සිල්වා
2013-12-15
2013-12-15
Labels:
Divaina,
NalinDeSilva,
අවශෝෂණය,
දිවයින,
නලින් ද සිල්වා,
පට්ටපල් බොරු,
බටහිර විද්‍යාව,
වකුගඩු
Subscribe to:
Posts (Atom)