Main Logo

Showing posts with label සම්බන්ධන්. Show all posts
Showing posts with label සම්බන්ධන්. Show all posts

Sunday, 1 July 2012

සම්බන්ධන් හා සම්බන්ධයි

පසුගියදා ආර්. සම්බන්ධන් මඩකලපුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයෙහි 14 වැනි සම්මේලනයේ දී කරන ලද කතාව දෙමළ ජාතිවාදයේ වර්තමාන බලාපොරොත්තු මොනවට හෙළි කරයි. ඔහු ඒ කතාව කර ඇත්තේ එම පක්‍ෂයෙහි නායකයා ලෙස ය. එය සිංහල පුවත්පත්වල සම්පුර්ණයෙන් පළ නොවූ නමුත් ඇතැම් ඉංගිරිසි පුවත්පතක දේශපාලන අයිතිවාසිකම් සඳහා වූ දෙමළ අරගලයෙහි නව පරිච්ඡෙදයක් යන මැයෙන් පළ වී තිබිණි. නව පරිච්ඡොදයක් යන්න කිනම් අර්ථයකින් භාවිතා කෙරුණ ද සම්බන්ධන් තම කතාවෙන් දෙමළ ජාතිවාදයේ හතරවැනි පරිච්ඡෙදය කුමක් දැයි පැහැදිලිව සඳහන් කරයි.

ඔහුගේ කතාවේ හරය මෙසේ දැක්විය හැකි ය. දෙමළ ජනයා නිදහසෙන් පසුව මෙරට ජීවත්වන්නේ දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස ය. ඒ විසඳාගැනීමට දෙමළ ජනයා ඉතා සාමකාමීව විවිධ ආණ්ඩු සමග සාකච්ඡා කළත් විහිංසා විරෝධතා දියත් කළත් ආණ්ඩු ඒ සාකච්ඡාවලින් ඇති වූ එකඟතාවන්ට ගරු නොකළ අතර අවි ආයුධ බලයෙන් විරෝධතා මර්දනය කිරීමට පියවර ගත්තේ ය. අවසානයේ දී සියල්ල අසාර්ථක වූ විට 1976 දී දෙමළ පක්‍ෂ එකතු වී වඩුකොඩෙයිහි දී දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජභූමිය වූ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගත්තේ ය. විකල්පයක් නොමැති කමින් දෙමළ තරුණයෝ අවි අතට ගත්හ. අද එය ද පරාජය වී ඇත. එහෙත් දැන් ජාත්‍යන්තර ප්‍රජාව දෙමළ ජනයාගේ ප්‍රශ්නය තේරුම් ගනිමින් සිටියි. ඉන්දියාව හා බටහිර රටවල් දැන් දෙමළ ජනයාට පක්‍ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. පසුගිය දා ජෙනීවා නගරයේ දී සම්මත වූ යෝජනාව දෙමළ ජනයාගේ ජයග්‍රහණයකි. දෙමළ ජනයා මඩකලපුවේ දී රැස්වන්නේ ඒ ජයග්‍රහණයෙන් පසුව ය. අද කළ යුත්තේ ඉන්දියාව හා බටහිර රටවල් තවදුරටත් දෙමළ ජනයාගේ පැත්තට දිනාගනිමින් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට යන අභ්‍යන්තර ස්වයං පාලනයක් ඇතිකර ගැනීමට ක්‍රියාත්මක වීම ය. අවශ්‍ය වුවහොත් එය බාහිර ස්වයං පාලනයක් දක්වා විස්තීර්ණ කිරීමට පසුබට නොවිය යුතු ය. එහි දී බටහිර රටවල් හා ඉන්දියාව අසතුටු නොකිරීමට වග බලාගත යුතු ය.

සම්බන්ධන් සඳහන් කරන අරගල, දෙමළ ජනයාට දෙමළ නිසාම වූ අසාධාරණය ආදී සියළු ප්‍රශ්නවලට පිළිතුරු දිවයින හා අයිලන්ඩ් පුවත්පත් මගින් ද ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යන කෘතියෙන් ද ලබා දී ඇත. (මේ පොත කාලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය) එහෙත් මෙරට දෙමළ ජාතිවාදීහු ඒ පිළිතුරු නොඇසුණා සේ නැතහොත් නොකියෙව්වා සේ අඟවමින් තම දෙමළ ජාතිවාදී ස්ථාවර දිගින් දිගට ම කියතිෂ ලියති. ලංකාව පළාත් නවයකට බෙදනු ලැබුවේ ඉංගිරිසින් විසින් 1889 දී නමුත් නැගෙනහිර වෙරළෙන් ගව්වක බිම් තීරුවක් සිංහල රජු ලන්දේසින්ට ගිවිසුමකින් තාවකාලික ව දුන් නමුත් දෙමළ ජාතිවාදීහු අවුරුදු දහස් ගණනක් නැගෙනහිර හා උතුරු පළාත්වල පැවති දෙමළ නිජභූමියක් පිළිබඳව කිසිම සාක්‍ෂියක් නැතිව කතාකරති. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා පදිංචි කරනු ලැබුවේ සෙනරත් රජු විසිනි. එහි දෙමළ ජනයා පදිංචි කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. උතුරු පළාතේ පෘතුගීසීන් එනවිට ස්වාධීන දෙමළ රාජ්‍යයක් නොතිබිණි. අප පෘතුගීසි ඉතිහාසඥයන් අනුව යන්නේ නම් කෝට්ටේ රජූ ලංකාවේ අධිරාජයා විය. එවැනි නිලයක් ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වේ ද? පෘතුගීසීහු එක්සේසත් රාජ්‍යය හඳුනාගත නොහැකිව ඒ දෙස බටහිර දෘෂ්ටි කෝනයකින් බලා ස්වාධීන රාජ්‍ය හා අධිරාජයකු ගැන සඳහන් කළහ. ආර්ය චක්‍රවර්තීහු දෙමළ තබා ද්‍රවිඩවත් නොවූ අතර එම රාජ්‍යය සිංහල රජු තම රජු ලෙස පිළිගත් වාංශික යටත් රාජ්‍යයක් විය. එපමණක් නොව එහි වැසියෝ බහුතරය සිංහල වූහ. යාපනයේ දෙමළ ජනයා බහුතරය බවට පත්වූයේ ලන්දේසීන් තම දුම්කොළ වගාවට කොරමණ්ඩළ වෙරළෙන් වෙල්ලායන් (කෘෂි කම්කරුවන්) ගෙන ඒමෙන් පසුව ය. දෙමළ ජාතිවාදී ඉතිහාසඥයන් යාපනයේ දෙමළ කුල ක්‍රමය තමිල්නාඩුවේ කුල ක්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න හා යාපනයේ බ්‍රාහ්මණ වාංශිකයන් ප්‍රධාන ව්ංශිංකයන් නොවීම තේරුම් කරන්නේ කෙසේ ද? මේ සියල්ල නැවත නැවත කීවත්් දෙමළ ජාතිවාදීහු කිසි දිනෙක පාඩමක් ඉගෙන නොගනිති.

දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් මෙරට සිදු වී ඇති අසාධාරණය කුමක් ද? එයට දිය හැකි පිළිතුරක් නොමැත. එහෙත් සම්බන්ධන්ලා ඊනියා පළමු පංතියේ පුරවැසියන් හා දෙවැනි පංතියේ පුරවැසියන් ගැන කියති. දෙමළ ජනයා මෙරට දෙවැනි පංතියේ පුරවැසියන් යැයි කියන්නේ කෙසේ ද? ඒ සඳහා වූ නිර්ණායක කවරේ ද? අද ද කොළඹ 7, 3, 4, 5 ජීවත්වන දෙමළ ජනයා පළමු පංතියේ පුරවැසියෝ වෙති. ඒ සමග වෙනත් ප්‍රදේශවල තවත් පළමු පංතියේ දෙමළ ජනයා වෙති. තමන්ට ඇති සමාජ සම්බන්ධතා අනුව ඔවුන්ට රජයේ හා පුද්ගලික ආයතනවල විශේෂ සැලකිලි ලැබෙයි. මෙරට පාසලකට දරුවකු ඇතුල්කිරීමට ගියත් රෝහලකට ගියත් පන්සලකට ගියත් කෝවිලකට ගියත් පල්ලියකට ගියත් සැලකිලි ලැබෙන්නේ සමාජ සම්බන්ධතා අනුව ය. සිංහල වීම නිසා මා ඊනියා පළමු පංතියේ පුරවැසියකු වන්නේ යැයි කියන නමුදු මට වඩා වරප්‍රසාද හා සැලකිලි මැද ජීවත්වන දෙමළ ජනයා මෙරට වාසය කරති. අවශ්‍ය නම් මේ ආණ්ඩුවෙන් වැඩක් කරවාගත හැක්කේ සම්බන්ධන්ට ද මට ද? මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු මා ජාතිවාදයකු හෝ අන්තවාදියකු හෝ ලෙස හැඳින්වුව ද සම්බන්ධන් එසේ හඳුන්වත් ද? මේ ආණ්ඩුවේ ඊනියා වාමාංභික ඇමතිවරයකු චන්ද්‍රිකා ආණ්ඩුව සමයෙහි මා ඒ ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන ජාතිවාදියකු ලෙස හඳුන්වා ලිපියක් ඉදිරිපත් කළ ද ඔහු සම්බන්ධන් පිළිබඳ ව එසේ කටයුතු කරන්නේ ද? දෙවැනි නොව සියවැනි පංතියේ දෙමළ මෙන් ම සිංහල ජනයා ද මෙරට වෙති. එහෙත් එසේ වන්නේ සිංහල වීම හෝ දෙමළ වීම හෝ නිසා නොව ඔවුන්ගේ සමාජ සම්බන්ධතා හේතුවෙනි. සමාජ සම්බන්ධතා හේතුවෙන් සම්බන්ධන්ට මෙරට සමාජයේ කළහැකි දෙයින් ලක්‍ෂයකින් කොටසක් සාමාන්‍ය සිංහල ගැමියකුට කළ හැකි ද? අඩු කුලයෙහි කියන දෙමළ වැසියකුට ඔවුන්ගේ ඊනියා නිජබිමෙහි ඇතැම් කෝවිලකට ඇතුල්විය හැකි ද?

ඉංගිරිසින් පැමිණීමෙන් පසු මෙරට දෙමළ ජාතිවාදයේ පරිච්ඡෙද තුනක් දැනට අවසන් වී ඇත. පළමු පරිච්ඡෙදය 1825 පමණ සිට 1947 දක්වා පැවතිණි. ඒ කාල පරිච්ඡෙදයෙහි ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයෝ ඉංගිරිසින්ගේ ආධාරයෙන් හා අනුබලයෙන් ව්‍යවස්ථාදායකයෙහි ඉංගිරිසි උගත් සිංහලයන්ට වඩා බලයක් ලබාගැනීමට උත්සාහ කළහ. ඉංගිරිසිහු ව්‍යවස්ථාදායකයෙහි දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව ඉතිහාසයට, ජනගහණ ව්‍යාප්තියට හා සංස්කෘතියට එරෙහිව නොයෙකුත් උපාමාරුවලින් වැඩිකිරීමට කටයුතු කරමින් දෙමළ ජාතිවාදය පෝෂණය කර ඉංගිරිසි උගත් වෙල්ලායන් මුළු රටේම නායකයන් බවට පත්කිරීමට උත්සාහ කළහ. විශේෂයෙන් ම බර්ගර්වරුන් ගබ්සාවූ ඊනියා ලාංකික ජාතියේ නායකත්වයෙන් ඉවත්වූ පසු ඉංගිරිසි උගත් වෙල්ලාලයන් එහි නායකත්වයට පත්කිරීමටත් එක් පවුලක්, එනම් පොන්නම්බලම් - කුමාරස්වාමි පවුල රටේ ප්‍රධාන පවුල බවට පත්කිරීමටත් ඉංගිරිසිහු කටයුතු කළහ. ඔවුහු රාමනාදන් හා අරුණාශලම් දේශපාලන නායකත්වයටත් ඔවුන්ගේ මාමාගේ පුතා වූ ආනන්ද කුමාරස්වාමි සංස්කෘතික නායකත්වයටත් පත්කළහ. රාමනාදන් සර්වජන ඡන්දයට විරුද්ධ වූයේ එමගින් තම නායකත්වය සිංහලයන් අතට පත්වන බව දැන සිටි හෙයිනි. පනහට පනහ ඉල්ලීම 1931 න් පසුව මතුවූයේ ද සංඛ්‍යාත්මක ව දෙමළ මන්ත්‍රීවරුන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට ය. සෝල්බරි කොමිසම හමුවට ගිය දෙමළ නායකයෝ සිංහලයන්ට වැඩි බලයක් නොලැබෙන ආකාරයට මන්ත්‍රි ආසන වෙන්කරන ලෙස ඉල්ලා සිටියහ. දෙමළ ජාතිවාදයේ මේ පළමු පරිච්ඡෙදය ගැන පඬියෝ දෙමළ ජාතිවාදීහු හා බටහිරයෝ කතා නොකරති. පළමු පරිච්ඡෙදය අවසානයේ දී දෙමළ නායකයන්ගෙන් චෙල්වනායගම් 1947 මැතිවරණයෙන් පසු කිසි දිනෙක කොළඹ මධ්‍යයෙහි තමන්ට බලය නොලැබෙන බව තේරුම් ගත්තේ ය. ඔහු දැන් ටිකක් පසුව හුඟක් ප්‍රතිපත්තිය යටතේ 1949 දී ඊනියා ෆෙඩරල් පක්‍ෂය නමින් දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහි කෙළේ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. දෙමළ ජාතිවාදයේ දෙවැනි පරිච්ඡෙදය 1947 සිට 1970 පමණ දක්වා ක්‍රියාත්මක වීිය. ඒ අවධියෙහි දෙමළ නායකයෝ ඊනියා අවිහිංසා ක්‍රියාමාර්ග ඔස්සේ දෙමළ ජනයා ප්‍රකෝපකර හිංසාවට යොමුකළහ. සත්‍යග්‍රහ ආදිය කිසිසේත් අවිහිංසා ක්‍රියා මාර්ග නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහල ජනයා හා දෙමළ ජනයා ගැටුම්වලට යොමුකිරීම ය. 1970න් පමණ පසු තුන්වැනි පරිච්ඡෙදය ඇරඹිණි. ඉන්දියාව බටහිරයන් සමග එකතු වී දෙමළ ත්‍රස්තවාදය ආරම්භ කෙළේ ය. අවසානයේ දී ප්‍රභාකරන් ත්‍රස්තවාදී නායකයා විය. 1976 දී දෙමළ නායකයෝ වඩුක්කොඩෙයි සම්මේලනයේ දී දෙමළ ජනයා වෙනම ජාතියක් බව, ඔවුන්ට නිජභූමියක් ඇති බව ආදී අසත්‍ය කරුණු මත පදනම් වෙමින් වෙනම රාජ්‍යයක් සඳහා ආණ්ඩුවට හා සිංහලයන්ට විරුද්ධව සටන්කිරීමට ප්‍රභාකරන්ට අවසර දී තුමූ ත්‍රස්තවාදයේ පාර්ලදමේන්තු නියෝජිතයන් බවට පත්වූහ. ඒ සියල්ලේ දීම දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට බටහිර සහාය ලැබිණි. ඒ එකකින්වත් ඊළම දිනාගැනීමට නොහැකි වූ දෙමළ නායකයෝ අද වෙනත් කිසිවක් කරගත නොහැකිව බටහිර රටවල හා ඉන්දියාවේ ආධාරය හා මහපෙන්වීම යටතේ ඊළමක් පිහිටුවීමට කරයුතු කරති. එදා සිට ම සිදුුවූයේ දෙමළ ජාතිවාදයට බටහිරයන්ගේ ආධාරයක් ලැබීම නොව බටහිරයන් වෙල්ලායන් සිංහලයන්ට, විශේෂයෙන් සිංහල බෞද්ධයන්ට විරුද්ධව යොදා ගැනීම ය. මේ හතරවැනි පරිච්ඡෙදයේ බටහිරයන් යොදාගන්නේ යුරෝපයේ හා ඇමරිකාවේ වෙසෙන විසුරුණු දෙමළ ජනයා ය. පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා ලන්ඩනයට ගිය අවස්ථාවේ එහි සිටි දෙමළ ජනයාට උද්ඝෝෂණ පැවැත්වීමට ස්කොට්ලන්ඩ්යාඩ් නමින් හැඳින්වෙන පොලීසිය ආධාර කළ බැව් දෙමළ ජාතිවාදී වෙබ් අඩවියක සඳහන් විණි. මේ සියල්ල මැද සම්බන්ධන්ට තරමක සැකයක් ද පහළ වී ඇත. ඒ ඊළමේ නායකත්වය තමන්ට ලැබේවිද යන්න පිළිබඳව ය. ඔහු විසුරුණු දෙමළ ජනයා ගැන මෙන් ම අනෙක් දෙමළ පක්‍ෂ ගැන ද කතාකරන්නේ සුහද ව නො වේ. කෙසේ වෙතත් සම්බන්ධන්ට අවශ්‍ය ඊළමක් බව වචන හරඹයෙන් සැඟවිය නො හැකි ය. ඔහු පරාජය කළ හැක්කේ ඉංගිරිසින් යනු කවුදැයි හඳුනාගැනීමෙනි.

Thursday, 18 August 2011

සම්බන්ධන්ලාගේ ජාතිවාදී දේශපාලනය

සම්බන්ධන් යනු අද මෙරට සිටින භයානක ම දෙමළ ජාතිවාදී දේශපාලනඥයා වෙයි. අවුරුදු දෙකකට පෙර ඔහුගේ ජාතිවාදී දේශපාලනය කොටි සංවිධානයට බියෙන් සිදුකළ එකකැයි කිසිවකු තර්ක කළ ද අද කොටි සංවිධානයක් නොමැති බැවින් කිසිවකුට එවැන්නක් කිව නො හැකි ය. කොටි සංවිධානය බිහිකරනු ලැබුයේ ඊනියා සිංහල ජාතිවාදියක් නිසා යැයි ඇතැම් පඬියන් තර්ක කළ ද ඒ සියලු තර්ක අවසාන වශයෙන් ගත්කල 1956ට පසුව සිදු වී යැයි කියන ඊනියා සිංහල ජාතිවාදයක් මත පදනම් වෙයි. ඉංගිරිසි වෙනුවට සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් ඉංගිරිසි නොදැන සිටි සාමාන්‍ය දෙමළ ජනතාවට කිසිම වරදක් නොවූ බව අපි නැවත නැවතත් අවධාරණය කරමු. කොටි සංවිධානය බිහිකරනු ලැබුයේ ඊනියා සිංහල ජාතිවාදයක් විසින් නොව දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක වන රාමනාදන්, අරුනාශලම්, ජී ජී පොන්නම්බලම්, චෙල්වනායගම් ආදී වෙල්ලාල නායකයන්ගේ දෙමළ ජාතිවාදී දේශපාලනය විසිනි. අද ඒ පරපුරේ ම ඒ පෙලැන්තියේ ම තවත් ඉංගිරිසි කතාකරන වෙල්ලාල දෙමළ ජාතිවාදියකු වූ සම්බන්ධන් සැරසෙන්නේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් අනාගතයේ දී තවත් කොටි සංවිධානයක් බිහිකිරීමට ය. කොටි සංවිධානය බිහිකළ සම්බන්ධන්ලාගේ ගණයේ දේශපාලනඥයන් අදහස් කළේ කොටි සංවිධානය ලවා කොස් ඇට බාවාගැනීමට ය. ඔවුහු ආයුධ ගෙන කොටි සංවිධානයට එකතු නොවූහ. තමන්ගේ සුපුරුදු ජීවන රටාවෙන් ඈත් නොවුණු ඔවුහු කොටින්ට උල්පන්දන් දෙමින් තමන් වෙනුවෙන් ප්‍රභාකරන් හා ත්‍රස්තවාදීන් කඩේ යැවීමට උත්සාහ කළහ. එහෙත් ප්‍රභාකරන් මොවුන් වෙනුවෙන් කඩේ යෑමට සූදානම් නො වී ය. ඔහුගේ සටන වෙල්ලාල නායකයන්ට ද එරෙහි ව කරන ලද සටනක් විය. සාමාන්‍ය දෙමළ ජනතාව පීඩනයට ලක්කෙරුණේ ඊනියා සිංහල ජාතිවාදයකින් නොව වෙල්ලාලයන්ගේ කුලවාදයෙන් හා ප්‍රභූවාදයෙනි. කොටින් අතින් වෙල්ලාල නායකයන් යම් පිරිසක් ඝාතනය කෙරුණේ එබැවිනි. සම්බන්ධන් වැන්නෝ කොටි සංවිධානය ද සුරතල් කළහ. ඔවුන් කියන දෙය කළහ. සම්බන්ධන් කොටින්ගේ පාර්ලිමේන්තු නියෝජිතයා විය. ඔහු ඝාතනය නො කෙරිණි. කොටි සංවිධානයට එකතු නොවුණු සම්බන්ධන් තවත් කොටි සංවිධානයක් බිහිකිරීමට බටහිරයන්ගේ ආධාරයෙන් කටයුතු කරද්දී කොටි සංවිධානය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ කේ පී, දයා මාස්ටර්, කරුණා අම්මාන් ආදීහු අද ආණ්ඩුව සමග එකතු වී දෙමළ ජනයාගේ සුබ සිද්ධිය සඳහා ක්‍රියා කරති. එපමණක් නොව සුසෙයි, තමිල්සෙල්වම් ආදීන්ගේ භාර්යාවෝ ද අද ආණ්ඩුවේ ගුණ වණති.

සම්බන්ධන් අද තම දෙමළ ජාතිවාදී දේශපාලනය ඔස්සේ ආණ්ඩුවට යම් තර්ජනයක් කරයි. දෙමළ ජාතික සංධානය යනුවෙන් හැඳින්වෙන ඔහුගේ දේශපාලන සංවිධානය කොටින්ගේ පාර්ලිමේන්තු පක්‍ෂය විය. ඉන් අදහස් කරන්නේ එහි සියලු සාමාජිකයන් කොටින් වෙනුවෙන් කඩේ ගිය බව නො වේ. ඇතැම් මන්ත්‍රීවරු පසුව වුව ද කරුණු අවබෝධ කරගත්හ. එහෙත් සම්බන්ධන් ආදීහු එසේ නොවෙති. ඔවුන් අවදි කිරීමට නොහැක්කේ ඔවුන් බොරුවට නිදාගෙන ඇති බැවිනි. ඔහු අද ආණ්ඩුවට තර්ජනය කරයි. තම දේශපාලන පක්‍ෂයේ බෙදුම්වාදී ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවට දින නියම කරයි. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩුකිරීමට මැතිවරණ කොමසාරිස්වරයා ගත් නීත්‍යානුකූල තීරණය වෙනස්කරවීමට ඔහු උත්සාහ ගනියි. ඔහු ඒ සියල්ල යුක්තියුක්ත කිරීම සඳහා පසුගිය දිනවල පවත්වන ලද පළාත්පාලන මැතිවරණවලින් දෙමළ ජාතික සංධානය ලත් ජයග්‍රහණ යොදා ගනියි. ඒ අතර බීබීසියේ හතරවැනි නාලිකාව වූ චැනල් ෆෝ නම් ජඩමාධ්‍ය ගණිකාව ලංකාවට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට සහාය දෙයි. ඒ ඔහු මෙන් නොව මානුෂික මෙහෙයුම්වල අවසාන කාලයේ දී කොටින් සමග සිට කොටි ඉතා කෲර ලෙස දෙමළ ජනයා මරා දැමූ ආකාරය සියැසින් දැක චැනල් ෆෝ නාලිකාවේ බොරුව හෙළිකරන ඔහුගේ ම පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරයකු කියන කරුණු තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. ඉතා පැහැදිලිව සම්බන්ධන් වැන්නන් හා කොටින් සමහ ජීවත් වූ දෙමළ දේශපාලනඥයන් අතර වෙනසක් වෙයි. කොටින් සමග එක්වී ඔවුන් සමග ජීවත් වී ඔවුන් සමග සටන්කළ දේශපාලනඥයෝ (කරුණා අම්මාන් වැන්නෝ) ඔවුන්ට සම්බන්ධන්ලා උගන්වා තිබූ ආකාරයට දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇතැයි පිළිගනිමින් ඒ ඊනියා අසාධාරණයට එරෙහිව වැරදියට එහෙත් අව්‍යාජව කටයුතු කළ අය වූහ. ඔවුහු තම වරද දුටු විට ඒ පිළිගෙන අද ආණ්ඩු සමග එකතු වී කටයුතු කරති. එයට හේතුව ඔවුන් අව්‍ර්‍යාජව දෙමළ ජනයා වෙනුවෙන් කටයුතු කිරීම ය. වැරදියට වුව ද ඔවුන් ආයුධ ගත්තේ ඔවුන්ට උගන්වා තිබූ ආකාරයට දෙමළ ජනයාට වී ඇතැයි කී අසාධාරණ නැතිකිරීමට ය. අද ඔවුන් දන්නා කරුණ නම් පොලිස් බලතල හෝ ඉඩම් පැවරීමේ බලතල ඉන්දීය ආකෘතිය අනුව පිහිටුවන ලද පළාත්සභාවලට අනවශ්‍ය බව ය. එමෙන් ම ඒ බලතලවලින් කිසි දිනෙක දෙමළ ජනයාට ප්‍රයෝජනයක් නොමැති බවත් ඔවුන් දන්නේ යැයි සිතමි.

එහෙත් සම්බන්ධන්ලා පොලිස් බලතල වෙනුවෙන් උගුර ලේරහ වන තුරු කෑ ගසති. ඔවුන් එසේ කරන්නේ සාමාන්‍ය දෙමළ ජනයා වෙනුවෙන් නොව තමන් වැනි ම වූ දෙමළ ජාතිවාදී ව්‍යාජ දේශපාලනඥයන් වෙනුවෙනි. පොලිස් බලතල අවශ්‍ය වනුයේ අවසාන වශයෙන් ගත්කල මහ ඇමතිවරුන්ට සුළු ඒකාධිපතිවරුන් වීමටත් අවසානයේ දී දෙමළ ඊළමකට පාර කැපීමටත් ය. සම්බන්ධන්ලා කිසි දිනෙක සිංහලයන්ගේ අවශ්‍යතාවලට කන් නොදුන්හ. ඔවුහු අඩුම තරමෙන් සිංහලයන්ට අවශ්‍යතා තිබෙන බවවත් සැලකිල්ලට නොගත්හ. ඔවුන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය වීිසඳීම යන්නෙන් අදහස් කරන්නේ සිංහලයන්ට ඓතිහාසිකව, සංස්කෘතිකව හා ජනඅනුපාතිකව මෙරට හිමි තැන අහිමි කිරීමට ය. එහි දී ඔවුන්ට මෙරට සිටින වැලේ වැල් නැති කසිකබල් මාක්ස්වාදී ලිබරල්වාදී පශ්චාත්තපවාදී ආදී විවිධ වර්ගවල පඬියන්ගේ ද රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ලැබෙයි. ආණ්ඩුව සිංහල ජනමතයට හා දෙමළ සාමාන්‍ය ජනමතය නියෝජනය කරන කොටින් සමග සිටි දේශපාලනඥයන්ගේ මතයට ගරුකරමින් පොලිස් බලතල ඉඩම් පැවරීමේ බලතල පළාත්සභාවලට නොපැවරිය යුතු ය. අප රට ආණ්ඩු කළ යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවලටවත්, වැලේ වැල් නැති කසිකබල් දේශපාලන පක්‍ෂවලවටවත්, පඬියන්ටවත්, චැනල් ෆෝ නාලිකාවටවත්, බටහිරයන්ටවත්, ඉන්දියාවටවත්, සම්බන්ධන් වැනි දෙමළ ජාතිවාදීන්ටවත් අවශ්‍ය ආකාරයට නොවන බව අපි අවධාරණය කරමු. සම්බන්ධන්ලාට කුදගසා ගැනීමට කීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට නැත.

මෙහි දී පඬියන් ද සම්බන්ධන්ලා ද කියනු ඇත්තේ දෙමළ ජනයාගේ වරම පසුගිය පළාත් පාලන ආයතනවල මැතිවරණවලට අනුව දෙමළ ජනතා සංධානයට හිමි වී ඇති බව ය. දෙමළ ජනයාගේ දේශපාලනය දන්නා කිසිවකු ඒ නිගමනයට නොපැමිණෙනු ඇත. දෙමළ ජනයාගේ දේශපාලනය හා ජාතිකත්වය ක්‍රියාත්මක වන්නේ උඩ සිට පහතට ය. ඔවුහු නායකයන් අනුව කටයුතු කරති. ඔවුන්ට නායකයන් වෙනස්කිරීමට නො හැකි ය. නායකයන් වෙනස් කෙරෙනුයේ තවත් නායකයන් විසින් මිස ජනතාව විසින් නො වේ. යම්කිසි අයූරකින් ප්‍රභාකරන් ජීවත්ව සිටිය දී මැතිවරණයක් තිබිණි නම් ඔවුන් ඡන්දය දෙන්නේ කොටින්ට ය. වෙල්ලාලයන්ගේ පීඩාවට ලක්වුණ ද ඔවුහු වෙල්ලාලයන්ට ම ඡන්දය දෙති. එසේ නොවීමට නම් ඩග්ලස් දේවානන්ද වැනි බලවත් නායකයන් සිටිය යුතු ය. ඩග්ලස් දේවානන්දට කයිට්ස් හා දුපත්වල බලයක් ඇත. එහි නායකයා ඔහු ය. කිලිනොච්චියේ නායකයා තවත් දෙමළ ජාතිවාදී නායකයකු වූ ආනන්ද සංගරී ය. ඔහු හා සම්බන්ධන් අතර ඇති ප්‍රධාන වෙනස සංගරී වඩා සියුම් හා උපක්‍රමශීලී වීම ය. දෙමළ ජනයාගේ ඡන්දය විකල්ප නායකත්වයක් නැතිකමෙන් දෙමළ ජාතිවාදීන්ට දුන් ඡන්දයක් මිස ඊළමක් හෝ බලය බෙදීමක් හෝ සඳහා දුන් ඡන්දයක් නො වේ. අද ආණ්ඩුව කළ යුත්තේ සම්බන්ධන්ලාට විකල්ප නායකත්වයක් උතුරු පළාතේ ඇති කිරීමට කටයුතු කිරීම ය. එය නොකළ හැක්කක් නො වේ. අවශ්‍ය වන්නේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගත හැකි ඒ වෙනුවෙන් ඉදිරිපත්විය හැකි පිරිසක් නායකත්වයට පුහුණු කිරීම ය. එවිට දෙමළ ජනතාවට නැති ව්‍යාජ ප්‍රශ්නයක් ගැන කතාකරමින් සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමට උත්සාහ කරන සම්බන්ධන්ලාට චැනල් ෆෝ හැරෙන්නට වෙනත් සරණක් නැතිවනු ඇත. සම්බන්ධන් අද මැතිවරණ කොමසාරිස්වරයා යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීමට ගත් ව්‍යවස්ථානුකූල තීන්දුවට විරුද්ධව ඊනියා ප්‍රජාතන්ත්‍රීය විරෝධයක් මතුකිරීමට උත්සාහ ගනියි. ඔහු කියන ආකාරයට තවමත් ජනතාව යාපනයට පැමිණෙමින් පවතියි. එබැවින් මේ අවස්ථාවේ දී තීරණ ගැනීම නුසුදුසු යැයි ඔහු කියයි. එහෙත් මේ සුදුසු අවස්ථාවක් ගැන ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. එසේ සඳහන් ව තිබුණත් ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ සම්බන්ධන් හෝ සංගරී හෝ නො වේ. මොවුන්ගේ වෑයම ඔවුන්ට නැති බලයක් පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම ය. සම්බන්ධන්ලා රාමනාදන්ලාගේ කාලයේ සිට ම ඉංගිරිසින්ගේ උපකාරයෙන් කළේත් දැන් කිරීමට තැත්කරන්නේත් ඔවුන්ට නැති බලයක් සංඛ්‍යාත්මක ප්‍රයෝග (ජිල්මාට්) ඔස්සේ ව්‍යවස්ථාදායකයේ අත්පත් කරගැනීම ය. සම්බන්ධන් උත්සාහ කරන්නේ ආපසු චෙල්වනායගම් යුගයට ගොස් ප්‍රභාකරන් කෙනකු බිහිකර බෙදුම්වාදී දේශපාලනය නැවත ඇතිකිරීමට ය. එහෙත් ඔහු දැනගත යුතු කරුණ නම් නන්දිකඩාල් කලපුවේ ඒ දේශපාලනය ගිල්වා ඇති බව ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලනය මිස අනෙකක් නො වේ. හමුදා මෙහෙයුම්වලින් පරාජය වූ දේශපාලනයටවත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ඒ දේශපාලනයෙහි ඊනියා විසඳුම්වලටවත් ආපසු යා නො හැකි ය. පඬියන්ගේ බසින් කියන්නේ නම් පශ්චාත් යුද සමයෙහි දෙමළ ජාතිවාදී දේශපාලනය වලංගු නැත. ඒ පරාජය වී අවසන් ය.