Main Logo

Showing posts with label වර්ගපූර්ණිකාව. Show all posts
Showing posts with label වර්ගපූර්ණිකාව. Show all posts

Wednesday, 5 June 2013

හෙළ බෞද්ධ චින්තනය

මෙරටට මිහිඳු මහා රහතන්වහන්සේ හඳුන්වාදුන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහම ය. අවශ්‍ය නම් එයට අශෝක බුදුදහම යැයි කිව හැකි ය. කෙසේ වෙතත් අද අප ථෙරවාද බුදුදහම යැයි කියන්නේ මෙම තුන්වැනි සංගායනාවේ බුදුදහමට ය. ථෙරවාදය යනු හීනයානය යැයි හැඳින්වෙන බුදුදහමට අයත් එක් පද්ධතියකි.  තුන්වැනි සංගායනාවේ බුදුදහම මෙරටට හඳුන්වාදෙනු ලැබීමට පෙර ද මෙරට බුදුදහමක් විය. එය බුුදුන් වහන්සේ ම යක්‍ෂ හා එකල ලංකාවේ විසු අනෙක් ගෝත්‍රිකයන්ට දේශනා කර ඇත. එම බුදුදහම තුන්වැනි සංගායනාවට පෙර තිබූ බුදුදහමකි. 

බුදුන් වහන්සේ මෙරටට තුන්වරක් වැඩි බව මහාවංශයේ සඳහන් වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කෘතිවලින් ඉතිරි වී ඇති කෘතියක් වූ වර්ගපූර්ණිකාවෙහි බුදුන් වහන්සේ බුදුවීමෙන් සත්වැනි වස මෙරටට වැඩම කළා පමණක් නොව වස්වැසීම ද මෙරට ම සිදුකළ බව සඳහන් වෙයි. සාමාන්‍යයෙන් අපට උගන්වා ඇති බුදුදහමට අනුව බුදුන් වහන්සේ සත්වැනි වස වස්වැසීම දෙව්ලොව සිදුකර ඇත. මෙය ලංකාවෙහි දී යක්‍ෂ ගෝත්‍රික කවිලාශපාලි මෙහෙණින් වහනාසේගේ ආරාධනයෙන් කෙරී ඇත්නම් අපට ඒ ගැන තවදුරටත් සිතා බැලීමට සිදුවෙයි.

කවිලාශපාලි මෙහෙණියට රත්නාවලී යන නම ද භාවිතා වූ බව වර්ගපූර්ණිකාවෙහි තවදුරටත් සඳහන් වෙයි. එපමණක් නොව ගැමුණු රජතුමා රුවන්වැලි සෑය තැනුවේ රත්නාවලී මෙහෙණින් වහන්සේගේ නමින් යැයි ද වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. සිංහලයන් මේ සෑය හඳුන්වන්නේ රුවන්වැලි සෑය කියා මිස රුවන්මැලි සෑය කියා නො වේ. එබැවින් ස්වර්ණමාලී දෙවඟනකගේ නමින් සෑය ගොඩනගනු ලැබී යැයි අප දන්නා කතාවට වඩා රත්නාවලී මෙහෙණියකගේ නමින් සෑය බැඳුණු බවට වර්ගපූර්ණිකාවෙහි ඇති කතාව පිළිගත හැකි ය.

බුදුන් වහන්සේගෙන් බණ අසා කවිලාශපාලි මෙහෙණිය රහත්ඵලයට පැමිණි බව ද වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. මෙරට රහත් ඵලයට පැමිණි ප්‍රථමයා එම මෙහෙණින් වහන්සේ බව වර්ගපූර්ණිකාව සඳහන් කරයි. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ සමාජය මාතෘමූලික වූ බැවින් ද බුදුන් වහන්සේ මෙරටට වැඩම කරන ලද කාලයෙහි දී සිංහ වාංශිකයන්ගේ පීතෘමූලික සමාජය මෙරට ස්ථාපිත වී නොතිබූ බැවින් ද කවිලාශපාලී මෙහෙණියගේ කතාවට වැඩි ඉඩක් ලැබෙයි.

සිංහ වාංශිකයන් මෙරටට පැමිණ කලක් ගතවීමෙන් පසුව වුව ද මිහිඳු මහා රහතාණන් වහන්සේගෙන් බණ අසා මෙරට පළමුව මාර්ගලාභී වී ඇත්තේ අනුලා බිසොව ය. දේවානම්පිය තිස්ස රජුගේ සමය වන විට ද මාතෘමූලික සමාජයේ අංග යම් ප්‍රමාණයකින් වුවත් මෙරට පැවතුණාට සැකයක් නැත. හැරත් බුදුදහම ස්ත්‍රීන්ට සමාජයේ නිසි තැන ලබාදීමට සෑමවිට ම ක්‍රියාකර ඇත.

තුන්වැනි සංගායනාවෙන් පසු මෙරටට හඳුන්වාදෙනු ලැබූ ථෙරවාද බුදුදහමෙහි හෙවත් මහාවිහාරික බුදුදහමෙහි සඳහන් නොවන ඇතැම් කරුණු යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බුදුදහමෙහි හෙවත් හෙළ විහාරික බුදුදහමෙහි කෘතියක් වූ වර්ගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. වර්ගපූර්ණිකාවට අනුව යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ ද මෙරටට වැඩම කර ඇත. වර්ගපූර්ණිකාවෙහි සඳහන් කරුණු තහවුරු වුවහොත් මෙරට ඉතිහාසය නැවත ලිවීමට සිදුවනු ඇත. 

ඒ කුමක් වුවත් බුදුදහම හෙළ විහාරික අර්ථයෙන් හෝ මහාවිහාරික අර්ථයෙන් හෝ වැඩි කලක් යෑමට පෙර මෙරට මුල් බැසගෙන ඇත. එයින් අදහස් කෙරෙන්නේ මුළු ලංකාව ම බෞද්ධ වී ය යන්න නො වේ. එහෙත් මෙරට වැසියන්ගෙන් ඉතා වැඩි පිරිසක් කෙටි කාලයක් තුළ බෞද්ධ වී ඇත. එසේ වීමට නම් බුදුදහම මෙරට වැසියන් අතර ජනප්‍රිය විය යුතු ය. බුදුදහම මෙරට මුල් බැසගැනීමටත් දඹදිවෙන් හෝ භාරතයෙන් හෝ ඉන්දියාවෙන් හෝ එය අතුරුදහන් වීමටත් වැදගත් හේතුවක් තිබිය යුතු ය.

ආසියාතික කලාපයෙහි ඉන්දියාව, පිලිපීනය හා මුස්ලිම් රටවල් හැරෙන්නට සෙසු රටවල මූලික වශයෙන් ඇත්තේ යම් ආකාරයක බුදුදහමකි. පිලිපීනය කතෝලික වී ඇත්තේ යටත්විජිත ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස ය. මුස්ලිම් රටවල ද ඉස්ලාම් ආගම පැතිර යෑමට කඩුව හෙවත් යුදබලය හේතු වී ඇත. එමෙන් ම කතෝලික/ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් පැතිර යෑමේ දී හින්දු ආගමික කුල  පීඩනය ද සුළුවෙන් නමුත් බලපා ඇත. ඊනියා අඩුකුල ජනතාව කුලභේදයක් ගැන කතා නොකරන, එහෙත් වෙනත් භේද ඇති ඉස්ලාම් හා ක්‍රිස්තියානි/කතෝලික ආගම් වැළඳ ගැනීමට පෙළඹී ඇත.

හින්දු ආගම බලවත් ව දැකිය හැකි වනුයේ වත්මන් ඉන්දියාවේ, නේපාලයේ හා ඉන්දියාවේ බලපෑම්වලට හසුවන රටවල ය. හින්දු ආගම පැතිර යෑමේ දී බලපාන වැදගත් සාධකයක් වනුයේ ජනතා සංක්‍රමණය ය. අද ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ජනයා වෙනත් ප්‍රදේශවලට (රටවලට) සංක්‍රමණය වීමේ දී ඒ ජනයා තමන් සමග හින්දු ආගම ද ඒ ප්‍රදේශවලට හා රටවලට ගෙන ගොස් ඇත. අද ලංකාවේ වුව ද හින්දු ආගම අදහන්නේ පසුගිය වසර දෙසිය පනහක පමණ කාලය තුළ විවිධ අවස්ථාවල ලන්දේසීන් හා ඉංගිරිසින් මෙරටට ගෙනා ජනයා ය. වෙනත් ආගමක ජනයා ඒ ආගම අත්හැර හින්දු ආගම වැළඳ ගනු දැකිය හැකි අවස්ථා ඉතා විරල ය.

එහෙත් බුදුදහම මේ සියළු ආගම්වලින් වෙනස්වන්නේ එය කඩුවේ බලයෙන් (යුද්ධයෙන්) වෙනත් රටවලට ගෙන යෑමක් දැකිය නොහැකි බැවින් හා වෙනත් ඇදහිලි සහිත ජනයා බුදුදහම වැළඳ ගෙන ඇති බැවිනි. බුදුදහම ඉතා පැහැදිලිව ආසියාවේ ආගම ය. එය ආසියාවේ ආයාසයකින් තොරව ම මුල් බැසගෙන ඇත. විශේෂයෙන් ම ලංකාවේ බුදුදහම ඉතා ශක්තිමත් ව මුල්බැස ගෙන ඇත. එහෙත් සාධාරණ වශයෙන් ගත්කල ආසියාවේ හෝ විශේෂයෙන් ලංකාවේ හෝ බටහිර විද්‍යාව ජනප්‍රිය වී මුල්බැස ගැනීමක් සිදු නොවී ඇත.

අපට අවශ්‍ය එය එසේ සිදුවූයේ ඇයි ද යන්න දැනගැනීමට ය. එනම් ඒ සඳහා අපේ ප්‍රවාදයක් ගෙතීමට ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඒ සඳහා කතන්දරයක් ගෙතීමට ය. අපට දැනටමත් ඒ සඳහා වියුක්ත සාධාරණ ප්‍රවාදයක් ඇත. ඒ අනුව එයට හේතුව ආසියාවේ හා විශේෂයෙන් ම ලංකාවේ චින්තනය බුදුදහමේ චින්තනය සමග එකඟවීමත් බටහිර විද්‍යාවේ චින්තනය සමග එකඟ නො වීමත් ය. කෙතරම් වෑයම් කළත් ආසියාවෙන් බටහිර විද්‍යාවේ අනුකාරකයෝ පමණක් ම බිහිවෙති. බටහිර විද්‍යාඥයෝ බිහි නො වෙති.

අප මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් අප වියුක්ත ප්‍රවාද ගොතන්නේ අපේ චින්තනයට පිටින් ගොස් බව ය. අපට වියුක්ත ප්‍රවාදයක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නො හැකි ය. එහෙත් අපේ සංස්කෘතියෙහි දැනුම ලබාගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. ඒ සඳහා අපේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතු ය. එසේත් නැතහොත් වක්‍රව දැනුම ලබාගැනීම සඳහා ආධ්‍යාත්මික ව උසස් තත්ත්වයකට පත් වී සිටින අය සමග සන්නිවේදනය කිරීමට හැකියාව තිබිය යුතු ය. අපට දැනට එවැනි ආධ්‍යාත්මික ශක්තියක් නොමැත. එබැවින් අපි ප්‍රත්‍යක්‍ෂයෙන් නොව වියුක්ත ප්‍රවාද ඔස්සේ දැනුම ලබාගැනීමට කටයුතු කරමු.

බටහිර විද්‍යාවේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි වෙයි. එය ආසියාවට ආගන්තුක ය. අපේ රටවලින් හරිහමන් විද්‍යාඥයන් බිහි නොවන්නේ එබැවිනි. ලංකාවේ අපේ චින්තනය සිංහල බෞද්ධ හෝ හෙළ බෞද්ධ හෝ වෙයි. වඩාත් නිරවුල් ව කිවහොත් අපේ චින්තනය හෙළ බෞද්ධ වෙයි. සිංහල බෞද්ධ චින්තනය තුන්වැනි සංගායනාව සමග බැඳී ඇත. ඒ සමග බොහෝ විට ඇත්තේ උගතුන් බව පැහැදිලි ය. ධර්මවාදය, ක්‍ෂණවාදය, යථාර්ථ, මනසේ පැවැත්ම ආදිය ගැන වැඩියෙන් කතාකරන්නෝ බුදුගොස් හිමියන්ගෙන් ඇරඹි අටුවා (පැරණි හෙළටුවා නො වේ) සාහිත්‍යය සමග බැඳුණු උගත්තු ය. මේ බුදුදහම විසුද්ධිමාර්ගයෙන් පටන් ගැනෙන සාහිත්‍යයට වඩා නැඹුරු ය.

අපේ ගැමි හා බහුතර බෞද්ධයෝ තවමත් හෙළ බෞද්ධ චින්තනයෙහි වෙති. ඔවුන්ට අනේ අනිච්චේ යන්නෙහි හෙළ බෞද්ධ චින්තනය ගැබ් වී ඇත. මෙරට හෙළ ගොවිකම, හෙළ (පාරම්පරික) වෙදකම, හා සාධාරණ වශයෙන් ගත්කල මෙරට අපේ ම වූ දැනුම වියුක්ත ප්‍රවාදවල නොව සංයුක්ත සිරිත්විරිත්වල දැකගත හැකි ය. අපේ භාෂාවේ ඇති වදන්වල, භාෂා ප්‍රයෝගවල හෙළ බෞද්ධ චින්තනය වෙයි. අඩුවැඩිය, යනඑන ගමන් ආදී ව්‍යවහාර ගැමියන්ගේ කතාබහෙයි වෙයි.

අපේ චින්තනයෙහි න්‍යාය (ලඔගඉච) චතුස්කෝටිකය වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි පුරෝගාමියා වූ දේවානම්පිය තිස්ස රජුගෙන් මිහිඳු මහා රහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ හෙළ බෞද්ධ චින්තනයෙහි හා චතුස්කෝටිකයෙහි පදනම් වෙමිනි. මා මේ ප්‍රශ්න ගැන විග්‍රහයක් මෙයට අවුරුදු විසිපහකට පෙර කළ ද අද වනතුරු මෙරට උගත් සමාජයෙහි ඒ ප්‍රචලිත වී නැත. එයට ප්‍රධාන හේතුව මෙරට වත්මන් උගතුන් කාලාම සුත්‍රයෙහි අරුතෙන් විඤ්ඤූන් නොවීමත් ඔවුන් ඇරිස්ටෝටලීය න්‍යායෙහි කොටු වී සිටීමත් ය. ඔවුහු තමන්ට අවශ්‍ය ආකාරයට කාලාම සූත්‍රය චුල්ලහත්ථි පදොපම සූත්‍රය ආදී සූත්‍ර බටහිර විද්‍යාවට සරිලන ආකාරයට අර්ථනිරූපනයට උත්සාහ කරති.

එසේ වුවත් මේ උගතුන්ට අනුකාරිකව හැරෙන්නට නිර්මාණාත්මක ව ඇරිස්ටෝටලීය න්‍යාය වුව ද යොදාගත නො හැකි ය. එබැවින් ඔවුන්ට බටහිර විද්‍යාව කියවා හෝ වෙනත් අයකුගෙන් අසාගෙන හෝ ඉගෙනගත හැකි ය. එහෙත් ඔවුන්ගේ පෙළහර එතැනින් නිමාවෙයි. මෙරට යම් නිර්මාණයක් කෙරෙන්නේ නම් ඒ තවමත් ගැමිකම රැකගත් අයගෙනි. එය ද හෙළ බෞද්ධ චින්තනය තම චින්තනය කරගත් අයගෙනි.  මෙරට උගතුන් හෙළ බෞද්ධ චින්තනය වෙත ආපසු යන්නේ නම් ප්‍රභ්න රාශියකට ම සාර්ථක පිලිතුරු ලබාගත හැකි ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කෙතෙක් උත්සාහ කළ ද මෙරට බටහිර විද්‍යාව ජනපයිය කළහැකි නො වේ. එය මෙරට මුල් බැස ගැනීමක් ද නො සිදුවනු ඇත. බටහිරයන්ගේ පොතපත කියවා එහි ඇති කරුණු සිංහලෙන් කීම බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීමක් යැයි ඇතැමුනට සිතෙනු ඇත. එහෙත් එයින් පෙනී යන්නේ උගතුන්ගේ හුදු අනුකාරිකත්වය පමණකි. විභාග සඳහා සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම ද බටහිර විද්‍යාව ජනප්‍රිය වීමක් හෝ මුල් බැස ගැනීමක් හෝ නො වේ. අප කළ යුත්තේ අපේ චින්තනය පාසල් ඇතුළට ගැනීම ය. අඩුම තරමෙන් සිසුන්ට දෙමවුපියන්ට සහාය වීමටත්, සාමූහිකත්වයට ඔවුන් යොමුකිරීමටත් හැකිවන පරිදි ඒ ඒ පළාත්වල කුඹුරු වැඩකරන කාලයට පාසල් නිවාඩු ලබාදීමට කටයුතු කළ හැකි දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය උනන්දු කරවිය යුතු ය.

2013-06-05

නලින් ද සිල්වා

Wednesday, 29 May 2013

බටහිර විද්‍යාව බුදුදුහම මෙන් ජනප්‍රිය නොවීම

මාක්ස්වාදය පමණක් නොව ඕනෑම දැනුමක් හෝ පළල් වශයෙන් ගත්කල සංස්කෘතියක් හෝ යම්කිසි සංස්කෘතියක මුල් බැස ගැනීමට නම් එක්කෝ එම සංස්කෘතියෙහි එයට සූදානමක් තිබිය යුතු ය. එසේත් නැත්නම් අදාළ දැනුම හෝ සංස්කෘතිය හෝ එම සංස්කෘතියට බලහත්කාරයෙන් ඇතුල් කළ යුතු ය. එහෙත් එසේ බලහත්කාරයෙන් ඇතුල් කළ ද දශක කිහිපයින් එය එම සංස්කෘතියෙන් ගිළිහී යා හැකි ය ලෙනින් රුසියාවට එනම් රුසියාවේ තිබූ ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතියට මාක්ස්වාදය හඳුන්වා දුන්නේ බාහිරව ය. ගුණදාස අමරසේකර මහතා උපුටා දක්වන බටහිර ලේඛකයා කියන ආකාරයට මෙන් නොව ලෙනින් මාක්ස්වාදය රුසියානු ජාතික චින්තනය හෙවත් රුසියාවේ තිබූ ග්‍රීක ඔතොඩොක්ස් චින්තනය තුළට නො ගත්තේ ය. ඔහු එසේ මාක්ස්වාදය රුසියානු ජාතික චින්තනය තුළට ගත්තේ නම් අවුරුදු හැත්තෑවකින් පමණ පසුව මාක්ස්වාදී සමාජවාදය රුසියාවෙන් තුරන් නොවනු ඇත.

ලෙනින් ගොවීන් හැඳින්වූයේ අල ගෝනි ලෙස ය. මාක්ස්වාදය අනුව ධනේශ්වරය පෙරළා දමන ඊනියා විප්ලවයට නායකත්වය දෙන්නේ කම්කරු පංතිය ය. එහෙත් කම්කරු පංතියට විවිධ ඓතිහාසික හේතු නිසා එම පංතියෙන් ම නායකත්වය සොයාගත නො හැකි ය. එබැවින් කම්කරු පංතියට නායකත්වය පිටින් ගෙන යා යුතු විය. ලෙනින් වැනි බුද්ධිමතුන් කළේ එසේ කම්කරු පංතියට පිටින් නායකත්වය ගෙන යෑම ය. ලෙනින් වැන්නෝ රුසියාවේ ඊනියා කම්කරු පංතිය ගැන මිස ගොවියන් ගැන  අවධානය යොමු නො කළහ. ලෙනින් වැන්නන්ට ගොවියෝ සුළු ධනේශ්වරයට අයත් වූහ. ඔවුන්ට ගොවියන් පහසුවෙන් සංවිධානය කරගැනීමට නොහැකි අල ගෝනි වීම පුදුමයක් නො වේ.

එහෙත් රුසියාවේ ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතියෙහි හා චින්තනයෙහි හරය තිබියේ රුසියන් ගොවීන් සතුව ය. ලෙනින් මාක්ස්ට වඩා ගොවියන් ගැන සැලකිලිමත් වූ නමුත් වඩා විශ්වාසය තැබුයේ පීටස්බර්ග් නගරයෙහි හා වෙනත් නගරවල කම්කරුවන් කෙරෙහි ය. ඊනියා පළමුවැනි ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව සාර් අධිරාජ්‍ය දුර්වල වීමත් රාජ්‍ය බලය ලබාගැනීමට වෙනත් කණ්ඩායමක් නොසිටීමත් යන කරුණු හේතුකොටගෙන ලෙනින්ගේ බෝල්ෂෙවික් පක්‍ෂයට රුසියාවේ බලයට පත්වීමට හැකි විය. එය කිසිසේත්ම පුළුල් ජන සහභාගීත්වයකින් අත්කරගත් බලයක් නො වී ය. රුසියාවේ ඈත ගම් දනව්වල ජනයා රාජ්‍ය බලය මාරුවීම ගැන නොදැන සිටියේ ය යන්න අතිශෝක්තියක් නො වේ.

ලෙනින්ගෙන් පසුව ස්ටැලින් බලයට පත්වූයේ වඩා හොඳ මාක්ස්වාදියා වූ ට්‍රොට්ස්කි පරාජය කරමිනි. මාක්ස්වාදය රුසියාවේ මුල් බැසගෙන තිබිණි නම් ස්ටැලින් වැන්නකුට කිසි දිනෙක රුසියාවේ හා සෝවියට් දේශයේ බලයට පත්වීමට ඉඩක් නො තිබිණි. ඔහු මාක්ස්වාදයේ විකෘතියක් වූ ලෙනින් ස්ටැලින්වාදය රුසියාවේ හා කෘත්‍රිම වූ සෝවියට් දේශයේ බලයෙන් පවත්ව්ගෙන ගියේ ය. ඔහුගේ යකඩයකු මෙන් වූ චරිතය ද එහි දී බලපෑවා නිසැක ය. ස්ටැලින් යන නම ඔහුට ලැබුණේ දෙමවුපියන්ගෙන්  නොව පක්‍ෂයෙනි. එහි අරුත යකඩයා යන්න විය. ඔහුට ඒ නම ලැබුණේ ම ඔහුගේ යකඩයකු වැනි චරිතය හේතුකොට ගෙන ය.

ස්ටැලින් මිය යෑමෙන් පසුව සෝවියට් දේශයේ අභාවය ද ඇරඹිණි. එරටට බලහත්කාරයෙන් පටවනු ලැබූ ලෙනින් ස්ටැලින්වාදය තවදුරටත් එහි ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නයක් විය. සෝවියට් දේශයේ කඩාවැටීමට අවශ්‍ය වූයේ එක් තල්ලුවක් පමණකි. ඒ තල්ලුව ලෙනින් ස්ටැලින්වාදය බලයෙන් පැටවූ තවත් රටක් වූ පෝලන්තයෙන් ලැබුණේ ය. එයට පෙර යුගොසලේවියාවේ හා චෙකොස්ලොවේකියාවේ දෙදරීම් ඇති වී තිබිණි. මේ දෙදරීම් ලෙනින් ස්ටැලින්වාදයට මෙන් ම මාක්ස් ට්‍රොට්ස්කිවාදයට ද එරෙහිව ගියමුත් ලෝ පුරා ට්‍රොට්ස්කිවාදීන් එකල සිතා සිටියේ ඒ දෙදරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඒ රටවල් මාක්ස් ට්‍රොට්ස්කිවාදය දෙසට ගමන් කරනු ඇති බව ය!

පෝලන්තය කතෝලික චින්තනයේ රටක් විය. වැවෙන්සා නම් කතෝලික බැතිමතකු පෝලන්ත වෘත්තීය සමිති බලවතකු වීමෙන් පසුව පාප් වහන්සේගේ ද ආශිර්වාදයෙන් හා අනුග්‍රහයෙන් පෝලන්තය මත ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව රතු හමුදාව යොදා ගනිමින් බලයෙන් පටවනු ලැබූ ලෙනින් ස්ටැලින්වාදය හා ඒ මත ගොඩනගනු ලැබූ ඊනියා සමාජවාදී රාජ්‍ය වැල්ලේ තැනූ සෙල්ලම් ගෙයක් මෙන් කඩා වැටුණේ ය. එය නෙගෙනහිර යුරෝපයේ සෙසු රටවලට හා නැගෙනහිර ජර්මනියට පැතිර යෑමේ ප්‍රතිඵලය වූයේ  ඒ සියළු රටවලට ආගන්තුක වූ චින්තනයත් සොවියට් දේශයත් කඩා වැටීම ය. අද නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය සග එක් වී ඒකාබද්ධ ජර්මනියක ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි රටක් ලෙස නැගී සිටීමට උත්සාහ කරන මුත් ලෝකයෙහි ම එම චින්තනය හා සංස්කෘතිය කඩාවැටීම හමුවේ සෙසු යුරෝපීය රටවල් සමග අර්බුදයකට මුහුුණ පා ඇත.

අද නැගෙනහිර යුරෝපීය රටවල් විසිරී යන තත්වයකට පත් වී ඇති අතර චින්තන පිලිබඳ අර්බුදයකට මුහුණ පා ඇත. ලෝකයේ හොඳම වියුක්ත චින්තකයන් ඇත්තේ මේ රටවල යුදෙවුවන් අතර වුව ද ඔවුන්ට අද ඇමරිකාවේ කුලීකාර ගණිතඥයන් හා වෙනත් බටහිර විද්‍යාඥයන් වීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. නැගෙනහිර යුරෝපීය රටවලට තමන්ගේ චින්තනයක් මත පදනම් ව තම සංස්කෘතියක ජීවත්වීමට ඉඩ නොදීමේ පාප කර්මය ස්ටැලින්ගේ සෝවියට් දේශයට මෙන් ම ඇමරිකාවට ද අයත් වෙයි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දරයි. ඔවුහු බටහිර විද්‍යාව වෙනුවෙන් ඒ හා තරමට ම කැප වී සිටිති. මා දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි යැයි කී විට ඔවුහු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් මත පිහිටමින් මට අපහාස කළහ. මට විරුද්ධව ප්‍රකාශ නිකුත්කිරීමට තරම් ඉදිරිපත් වීමෙන් ඔවුහු තමන් බටහිර විද්‍යාව වෙනුවෙන් දාසයන් ලෙස කැප වී ඇති ප්‍රමාණය පෙන්නුම් කළහ. එහෙත් මොවුන් කිසි දිනෙක කල්පනා නොකරන ප්‍රශ්නය නම් ඔවුන්ට බටහිර විද්‍යාවේ කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කිරීමට නොහැක්කේ ඇයි ද යන්නත් ඔවුන්ට ලෝකයට නව දැනුමක් සැපයිය නොහැක්කේ ඇයි ද යන්නත් ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කෙතෙක් උත්සාහ දැරුව ද ඔවුන්ට බටහිර විද්‍යාව ලංකාවේ ජනප්‍රිය කළ නො හැකි ය. ඔවුන්ට කළ හැක්කේ බටහිර විද්‍යාව තව තවත් පාසල්වල ඉගැන්වීමට කටයුතු කිරීම පමණ ය. එහෙත් ඔවුන් ඇතත් නැතත් බටහිර විද්‍යාව පාසල්වල ඉගැන්වෙනු ඇත්තේ මෙරට බොහෝ දරුවනට මේ සමාජ ක්‍රමය යටතේ රැකියාවක් ලබාගැනීමට තවමත් බටහිර විද්‍යාව ඉගෙනීම ප්‍රයෝජනවත් වන බැවිනි.

මේ ශිෂ්‍යයන්ගෙන් බොහෝ දෙනකු පාසලේ දී බටහිර විද්‍යා විෂය හදාරන්නේ බටහිර වෛද්‍යවරුන් හෝ බටහිර ඉංජිනේරුවන් වීමේ අභිලාෂයෙනි. අප පාසල් වියේ පසුවන විට ඉතා සුළු පිරිසක් බටහිර විද්‍යාඥයන් වීමේ අරමුණෙන් බටහිර විද්‍යා විෂය හැදෑරූ නමුත් අද එවැන්නන් දැකගන්නට නැත. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය හෝ බටහිර ඉංජිනේරු හෝ පීඨවල හැර බටහිර විද්‍යාව පදනම් කරගත් අනෙක් පිඨවල උගන්වන කථිකාචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්්ගෙන් අතිවිශාල බහුතරය බටහිර වෛද්‍ය පීඨයකට හෝ බටහිර ඉංජිනේරු පීඨයකට හෝ ඇතුල්වීමට නොහැකිව අදාළ පීඨවලට ඇතුල් වූ අය වෙති. ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයන්ගෙන් අතිමහත් බහුතරයට ද එලෙස බටහිර වෛද්‍ය හෝ බටහිර ඉංජිනේරු හෝ පීඨයකට ඇතුල් වීමට නොහැකි වී ඇත.

එකල බටහිර වි්‍යාඥයන් වීමේ අරමුණෙන් පාසලේ දී බටහිර විද්‍යාව හැදෑරූ කිසිවකුට ද හරිහමන් බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි වී ඇත. එය එසේ වූයේ ඇයි? මේ ඇතැමකු බටහිර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් බවට පත් වී සිටීමෙන් ඔවුන් හරිහමන් විද්‍යාඥයන් වී ඇතැයි නො කියැවෙයි. ආචාර්ය උපාධියක් ලබාගැනීම, මහාචාර්යවරයකු වීම ආදිය හා හරිහමන් බටහිර විද්‍යාඥයකු වීම අතර ඇත්තේ අහසට පොළොව වැනි පරතරයකි.

මෙරට බටහිර විද්‍යාව රැකියා සම්බන්ධයෙන් හැර ජනප්‍රිය නොවෙද්දී බුදුදහම ජනප්‍රිය වූයේ ඇයි? ඇතැම් පඬියන් කියන්නේ දේවානම් පියතිස්ස රජුගේ හා පසුව අනෙක් රජවරුන්ගෙන් රාජ්‍ය අනුග්‍රහ ලැබුණු බැවින් බුදුදහම මෙරට ජනප්‍රිය වූ බව ය. ඒ රජවරුන්ගේ අනුග්‍රහය මිහිඳු හිමියන් මගින් අපට ලැබුණු තුන්වැනි සංගයනාවේ බුදුදහමට ලැබෙන්නට ඇත. එහෙත් මෙරට බුදුදහම පැතිරී ගියේ  ඒ නිසා ද? එසේ නම් පෘතුගීසීන්ගේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ ද පසුව ඊනියා ලාංකික රාජ්‍ය පාලකයන්ගේ ද රාජ්‍ය අනග්‍රහ ලැබූ ක්‍රිස්තියානි/ කතෝලික ආගම් අවුරුදු පන්සියයක පමණ කාලයක දී එතරම් පැතිර නොගියේ ඇයි? එමෙන් ම දැන් රාජ්‍ය අනුග්‍රහ ලබමින් ද බටහිර විද්‍යාව මෙරට ජනප්‍රිය නොවන්නේ ඇයි?

බුදුදහම සම්බන්ධයෙන් වැරදි මත රාභියක් රටේ ප්‍රචලිත ව ඇත. ඒ අනුව මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර මෙරට බෞද්ධයෝ නො සිටියහ. බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීමේ එක් අරමුණක් වූයේ යක්‍ෂයන් මෙරටින් ගිරි දිවයිනට පළවා හැරීම ය. මේ ඇතැම් මත ජනප්‍රවාදයේ තිබී වංසකතාවලට ද රිංගාගෙන ඇති බව පෙනෙයි. එහෙත් පළමුවෙන් ම බුදුන්වහන්සේ කිසිම දවසක කිසිම පිරිසක් උන්හිටි තැන්වලින් පළවා හරීවි යැයි කිසිසේත් සිතිය නො හැකි ය. එය කිසිසේත් ම විය නොහැක්කකි.

මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රාශියක් පූජ්‍ය මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ ලියා පළකර ඇති යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තෙරතුරු නම් කෘතියෙහි අඩංගු වෙයි. උන්වහන්සේට අනුව මෙරටට බුදුන් වහන්සේ යක්‍ෂ ගෝත්‍රික පාලිකාවකගේ ආරාධනයෙන් ද වැඩම කර ඇත. ඒ අවස්ථාවේ දී මෙරට භික්‍ෂු හා භික්‍ෂුණි ශාසන ආරම්භ වී ඇති  අතර ඒ යක්‍ෂ ගෝත්‍රික භික්‍ෂූන් වහන්සේ හා භික්‍ෂුණීන් වහන්සේගෙන් සමන්විත වී ඇත. මේ කරුණු උන්වහන්සේට ලැබී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කෘතියක් වූ වර්ගපූර්ණිකාව නමැති ග්‍රන්ථයෙනි.

බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුව කිසිවකු පැවදි නොවී යැයි යම් අයකු පවසන්නේ නම් ඒ බුදුන් වහන්සේට කරන අගෞරවයකි. බුදුන් වහන්සේ මෙරට පැවිදි කළ අයගෙන් කිසියම් පිරිසක් රහත් ඵලයට පැමිණි බව ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු කෘතියෙහි දැක්වෙයි. ඒ රහතන් වහන්සේ හා අනෙක් භික්‍ෂූන් වහන්සේ දැනගෙන සිටින්නට ඇත්තේ සංගායනාවලට පෙර පැවති බුදුදහම ය. ඇතැම් විට පසුව දෙවැනි සංගායනාව දක්වා සිදු වූ දේ ද ඒ පරම්පරාවේ භික්‍ෂූන් වහන්සේ දැන සිටින්නට ඇත. අපි ඒ භික්‍ෂු පරම්පරාවට හෙළ විහාර පරම්පරාව යැයි කියමු. මිහිඳු මා හිමියෝ මෙරටට තුන්වැනි සංගායනාවෙන් පසු බුදුදහම හඳුන්වා දී මහාවිහාර පරම්පරාව පිහිටුවූහ. 

2013-05-29

නලින් ද සිල්වා

Wednesday, 11 April 2012

ඉතිහාසය හා අවුරුද්ද

අවුරුදු සමය ඉතිහාසය ගැන කතාකිරීමට සුදුසු කාලයක් යැයි සිතමි. අපේ, එනම් සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ මගේ කිසිම විරුද්ධතාවක් නැත. දෙමළ ජනයා පමණක් නොව මුස්ලිම් ජනයා ද අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඒ සියල්ලන්ට ම සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි. හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි. අපේ අවුරුද්ද බක් මාසය සමගත් සූූර්යයා උතුරට යන ගමනේ දී සමකය පසුකිරීමත් සමගත් සම්බන්ධ ය. ඊනියා ප්‍රතිසංධානය කෙරෙනු ඇත්තේ දෙමළ ජනයා හා මුස්ලිම් ජනයා සිංහල සංස්කෘතියේ ඇතැම් අංග තමන්ගේ ද අංග බවට පත්කර ගැනීමෙන්් මිස මැකෝලේගේ දරුවන්ගේ කොමිසම්වල නිර්දේශවලින් නො වේ. නැකැත් උත්සවයක් හා සූර්යයා ප්‍රධාන කරගත් උත්සවයක් ලෙස ගත්කල අවුරුද්ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විශේෂයෙන් ම රවි ශෛලාෂ වාංශිකයන්ගේ උත්සවයක් ලෙස සෑලකීය හැකිය යැයි සිතමි. එම වාංශිකයන්ගෙන් ඒ උත්සවය පසු කලෙක සිංහලයන්ට ලැබී ඇති බව පෙනී යයි. අද එය දෙමළ හා මුස්ලිම් ජනයාට ද ලැබෙන්්නේ නම් ඉතා අගනේ ය.

රවි ශෛලාෂ වාංශිකයෝ කවරහු ද? රවි ශෛලාෂ යන්නෙහි තේරුම ඉරුගල් යන්න ය. පසුගිය කාලයෙහි මෙරට ඉතිහාසය ගැන නැවත සොයා බැලීමට කිහිප දෙනකු ම කටයුතු කර ඇත. ඒ අතර සාම්ප්‍රදායික නොවන ඉතිහාසයක් සාම්ප්‍රදායික ආකාරයකට අධ්‍යයනය කරන්නෝ වෙති. ඔවුහු ලිඛිත ඉතිහාස ග්‍රන්ථ, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක ආදිය ප්‍රධාන වශයෙන් ම සලකා බලති. ශිරාන් දැරණියගල මහතාගේ මෙන් ම රාජ් සෝමදේව මහතාගේ ද ගවේෂණ මේ සම්බන්ධයෙන් වැදගත් වෙයි. එහෙත් ඔවුහු තවමත් ශිලා යුගයෙහි හා එහි අවධි තුනෙහි හිරවී සිටිති. ලංකාවේ පැරුන්නන් එකම කාලයෙහි මැටි භාණ්ඩ මෙන් ම වානේ (යකඩ ආශ්‍රිත) භාණ්ඩ ද යොදා ගෙන ඇත. බටහිරයන්ගේ වර්ගීකරණය ඔස්සේ ගොස් භාණ්ඩ තනා ඇත්තේ කිනම් ද්‍රව්‍යයක් යොදා ගනිමින් ද යන්න මත පදනම් වෙමින් මෙරට ඉතිහාසය සකස්කර ගත හැකි නො වේ. ඒ අතර ඒ එම් කරුණාරත්න මහතා වැනි ඉතිහාසඥයෝ ජනප්‍රවාද ගැන ද තම අවධානය යොමු කරති. ඒ මහතා ලියා පළ කර ඇති විදේශ ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් කෘතිය ඒ සඳහා උදාහරණයකි. අප ජනප්‍රවාදවලට ගැරහිය යුතු නො වේ. දීපවංසයේ මෙන් ම මහා වංසයේ ද බොහෝ විට ඇත්තේ ජනප්‍රවාද ය. ජනප්‍රවාද ලියූ පමණින් ඒ පිළිගැනීමට බටහිර ඉතිහාසඥයන්ගේ කැමැත්තක් ඇත. ලිවීම ඈරඹීමෙන් පසු ලියන්නේ කියන දේ ය. කියන්නේ ලියන දේ ය. එහෙත් බටහිර බයිබල් (බයිබලය යනු පොත ය) සම්ප්‍රදාය අනුව ගොස් ලිඛිත දෙයට අප අනවශ්‍ය අවධාරණයක් යෙදිය යුතු නො වේ. මෙරට පඬියන් අපෙන් ඊනියා පර්යේෂණ පත්‍රිකා හා ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි ඉල්ලන්නේ මේ සම්ප්‍රදායෙහි පිහිටා ය. අප බටහිරයන්ගේ වාංමාලාව අනුකරණය කළ යුතු නො වේ. උදාහරණයක් ලෙස යක්‍ෂ ගෝත්‍රිකයන් කී පමණින් මෙරට අනුකාරක පඬියන් සිතන්නේ අප ඔවුන්ගේ කසිකබල් සංකල්පය අනුකරණය කරන බව ය. ඔවුන්ගේ ගෝත්‍රය යනු ඔවුන් නොදියුණු යැයි පවසන ජන කොටසකි. ඔවුන්ගේ පොත් කියවූ පසු අපට ගෝත්‍රිකයන් ලෙස සිහියට නැගෙන්නේ නොදියුණු යැයි බටහිරයන් විසින් හංවඩු ගසනු ලැබ ඇති, එනම් ඔවුන්ගේ කසිකබල් නූතනත්වයට නොපැමිණි, අප්‍රිකානු ජනයා ය. කසිකබල් නූතනත්වයේ කසිකබල් දියුණුව පසෙක තබන්න. ගොයුම් ගොත් යන්නෙහි ගොත් යනුවෙන් කියැවෙන්නේ වෛදික සංස්කෘතියට පෙර අද සාර්ක් යැයි දළ වශයෙන් හැඳින්වෙන, ධර්ම කලාපය යැයි කිවහැකි, ප්‍රදේශයේ තිබූ ජන බෙදීමකි. සිදුහත් කුමරු ගෞතම ගෝත්‍රයට අයත් වූ අතර එහි උප බෙදීිමක් වූ ශාක්‍ය වංශයට අයත් විය. කෝලිය වංශය ද ගෞතම ගෝත්‍රයේ උප කොටසක් විය. සිදුහත් කුමරු, යශෝධරා දේවිය, රහල් කුමරු, ශුද්ධෝදන රජු, ප්‍රජාපතී ගෝතමි දේවිය, සුප්‍රබුද්ධ රජු, දේවදත්ත, කිශා ගෝතමී ආදීහු ගෞතම ගෝත්‍රයේ විවිධ වංශවලට අයත්වූහ. ඔවුහු නොදියුණු ගෞතම ට්‍රයිබයකට අයත් වූවෝ නොවුහ. අප ගෝත්‍රය යන්න යොදන්නේ ට්‍රයිබ් යන වචනයෙහි පරිවර්තනයක් ලෙස නො වේ. පඬියන්ට අවශ්‍ය නම් ට්‍රයිබ් යන්නට වෙනත් වචනයක් යොදාගත හැකි ය. එහෙත් නිර්මාණශීලීත්වයක් නැති ඔවුන්ට ඒ කළ හැකි යැයි සිතීමට අසීරු ය. මෙරට තිබූ යක්‍ෂ ආදී ගෝත්‍ර ගැන අප කතාකරන්නේ ට්‍රයිබ් යන්න ඔළුවේ හිරකරගෙන නො වේ. එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක පවසන පරිදි පඬියන්ගේ ඔළුවල ඉසෙඩ් අකුරු පටළැවී ඇත. ඉරුගල් වංශය යනු යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වංශයකි. අවුරුද්ද ඔවුන්ගේ යැයි සිතමි.

ඉහත සඳහන් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අනුව නොගොස් වෙනත් අයුරෙන් දැනුම ලබන්නෝ වෙති. ඔවුන්ට බොහෝ විට ආධ්‍යාත්මික ශක්තිය හේතුකොටගෙන විවිධ දේවාතවන්ගෙන්. භූතයන්ගෙන් ආදීන්ගෙන් ද දැනුම ලැබේ. එහෙත් මේ සෑම අවස්ථාවක දී ම තවත් සාධක සමග සංගතව කරුණු ඉදිරිපත්කිරීමට උත්සාහ ගත යුතු ය. පසුගිය කාලයේ ගැමුණු රජු ගැන අප කිහිප දෙනකු දැනුම ලබාගත්තේ සෘජුව හෝ වක්‍රව හෝ ආධ්‍යාත්මිකව ය. මහරජ ගැමුණු කෘතියෙන් ද ඒ බව හෙළිවෙයි. ඒ සියළු දැනුම් දැන් සංගත ආකාරයකින් ඉදිරිපත් කෙරී ඇත. ගැමුණු රජු අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දමාගත් බෝසතාණන් වහන්සේ කෙනකු බව අපි දැන් දනිමු. එතුමා යුද්ධයට විරුද්ධ වුවත් කළහැකි අන් විකල්පයක් නැති නිසා යුද්ධ කළ බවත් ඒ සඳහා ද ආධ්‍යාත්මික ශක්තිය ලබාගත් බවත් අපි දනිමු. බෞද්ධයන්ට යුද්ධ කරන ආකාරය ඉගැන්වූයේ එතුමා ය. අපට ස්ටැන්ලි තම්බයියලාට පමණක් නොව අනෙක් අනුකාරකයන්ට ද කිසිම පැකිළීමකින් තොරව මුහුණ දිය හැක්කේ එතුමා නිසා ය. පැරණි පොතපත හා සෙල්ලිපි සොයාගෙන ඒ ආධ්‍යාත්මිකව තේරුම් ගනිමින් දැනුම ලබාගන්නෝ ද අප අතර වෙති. අපි ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමේ ක්‍රියාවලියට මුල් තැන දෙමු. කැලණිය විශ්වවිද්‍යාලයේ පසුගිය දා ආසනික් පර්යේෂණ කෙරුණේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට මුල්තැන දෙමිනි. මගේ විද්‍යා පීඨාධිපති ධුූර කාලය අවසන් වීමෙන් පසු එහි සිටින ඇතැම් නපුංසක උගත්තු ව්‍යාජ පරිපාලන හා රෙගුලාසි මතුකරමින් ඒ පර්යේෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ දරති.

ඒ කෙසේ වෙතත් ඉරුගල් වංශය ගැන මා දැනගත්තේ විශ්වවිද්‍යාල පඬියන්ගෙන් නොව පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද යක්‍ෂගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කථාව හා යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු නම් ග්‍රන්ථ කියවීමෙන් පසුව ය. එහි අඩංගු තොරතුරු සම්බන්ධයෙන් සංක්‍ෂිප්ත විස්තරයක් කිරීමටවත් මේ අවස්ථාව නො වේ. එහෙත් එක් කරුණක් නොකියා ම බැරි ය. කලක් මගේ සිතට වධයක් වූ ප්‍රශ්නයක් වූයේ යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දී බෞද්ධයන් නොවූ බව ගම්‍යවන තොරතුරු ය. බටහිරින් පුරාවිද්‍යාව ඉගෙනගත් පුරාවිද්‍යාඥයන්ට ඊනියා සාධක නැතත් බුදුන් වහන්සේ මෙරටට වැඩි බව මම පිළිගනිමි. ඇතැම්විට පූජ්‍ය මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ ද ප්‍රකාශ කරන ආකාරයට බුදුන් වහන්සේ මෙරට වැඩ සිටින්නට ඇත. ඒ කුමක් වුවත් පූජ්‍ය මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි පරම්පරාවෙන් ලැබුණු වර්ග පූර්ණිකාව නම් ග්‍රන්ථයක් ඇසුරෙන් සඳහන් කරන්නේ බුදුන් වහන්සේගෙන් බණ අසා මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දී ම බෞද්ධයන් වූ බවත් කාන්තාවන් ද ඇතුළුව ඇතැමුන් රහත් ඵලයට ද පැමිණි බවත් දේවානම් පියතිස්ස සමය වන විටත් මෙරට ලාංකේය භික්‍ෂු පරම්පරාවක් තිබූ බවත් ය. පුදුමය එසේ නොවුනා නම් ය. අපේ අවුරුද්දට බෞද්ධ සිරිත් විරිත් එකතුවන්නට ඇත්තේ ඇතැම් විට අප සිංහලයන් වීමට ද පෙර ය. මේ බෞද්ධයන් බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ථෙරවාදී නොවුවා විය හැකි ය. නාග ගෝත්‍රික බෞද්ධයන් ථෙරවාදී වූවා විය හැකි ය. මහාවිහාරය ථෙරවාදයේ මධ්‍යස්ථානය වූ අතර අභයගිරිය පිහිටුවන තෙක් අනෙක් භික්‍ෂූන් වහන්සේට නිල මධ්‍යස්ථානයක් නොතිබෙන්නට ඇත. අභයගිරියට හා ජෙතවනයට ආධාර කර ඇති රජවරුන්ට යම් යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාවක් තිබී ඇති බව ද සැලකිය යුතු ය. මේ පිළිබඳ තවත් අංශවලින් කරුණු සොයා බැලිය යුතු ය. නාගයන් හා යක්‍ෂයන් අතර වූ වෙනස බෞද්ධයන් හා අබෞද්ධයන් අතර වූ වෙනසකට වඩා ථෙරවාදය පමණක් පිළිගත් අය හා ඒ සමග අනෙක් බෞද්ධ මතවාද ද පිළිගත් අය අතර වූ වෙනසක් බව ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි චෙමින් පවතියි.

මා කිහිප වතාවක් ම පුවත්පත් මගින් හා සිංහල අවුරුද්ද යන පොතෙන් පෙන්වා දී ඇත්තේ අපේ අවුරුද්දකට දින 365.256363ක් වන බවත් බටහිර ක්‍රිස්තියානි අවුරුද්දකට දින 365.242190ක් වන බවත් ය. මේ වෙනසට හේතුව අයනය ය. අපේ අවුරුදු දිනය අවුරුදු පතා බටහිර අවුරුද්දට සාපේක්‍ෂව ඉදිරියට ඇදෙන්නේ අයනය හේතුවෙනි. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව සඳහන් තොරතුරු අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු 27, 28, 29 දිනවල ය. ඒ ජූලියන් දින දර්ශනයට අනුව ය. ග්‍රෙගරියානි දින දර්ශනය අනුව එය අප්‍රියෙල් 7, 8. 9 විය යුතු ය. මෙවර අවුරුද්ද උදාවන්නේ 13 වැනි දා රාත්‍රී කාලයෙහි ය. 2012 අධික අවුරුද්දක් නොවී නම් මෙවර අවුරුද්ද උදාවීමට තිබුණේ අප්‍රියෙල් 14 වැනි දා රාත්‍රියෙහි ය. වැඩිකල් නොගොස් අප්‍රියෙල් 15 වැනි දා අපට අවුරුද්ද උදාවනු ඇත. අපේ අවුරුද්ද ගණන් බැලීමට ඉරුගල් වංශයට ගණිත ක්‍රම තිබූ බව පැහැදිලි ය. ඔවුන්ට අභ්‍යවකාශ වස්තු පිළිබඳ ගණනය කිරීම් සඳහා මාමීනීල නම් ගණිත ක්‍රමයක් තිබූ බව වර්ගපූර්ණිකාවෙන් පැහැදිලි වෙයි. කවිලාශපාලි හෙවත් රත්නාවලී රහත් මෙහෙණින් වහන්සේ තාරකා විද්‍යාව ද මැනවින් ප්‍රගුණ කර ඇත. ඒ රහත් මෙහෙණින් වහන්සේ ද වෙනත් යක්‍ෂ ගෝත්‍රික තාරකා විද්‍යාඥයන්ට ද අවුරුද්ද උදාවන දිනය ගණනය කිරීම පහසු කාර්යයක් වන්නට ඇත. ගැමුණු රජු රුවන්වැලිසෑය කරවා ඇත්තේ රත්නාවලී මෙහෙණනින් වහන්සේ වැඩ විසූ ස්ථානයෙහි ය. කලක් මා ද විශ්වාස කළේ එතැන විසූ ස්වර්ණමාලී නම් වෘක්‍ෂ දේවතාවියක් නිසා රුවන්වැලියට ඒ නම ලැබුණු බව ය. එහෙත් වර්ගපුර්ණිකාව කියන්නේ වෙනත් කතාවකි. අපට අවුරුද්ද උදාවන දිනය මන්නාරමට හිරු උදාවන දිනය හා සම්බන්ධකරන්නෝ යක්‍ෂ ගෝත්‍රිකයන්ට නිගා කරති. මන්නාරමට හිරු උදාවන්නේ බටහිර දින දර්ශනයට අනුව නිශ්චිත දිනයක ය. එහෙත් අපේ අවුරුද්ද උදාවන දිනය බටහිර දින දර්ශනය අනුව වෙනස් වෙයි.