Main Logo

Showing posts with label දහතුන්වැනි සංශෝධන. Show all posts
Showing posts with label දහතුන්වැනි සංශෝධන. Show all posts

Sunday, 23 June 2013

දහතුන හා ජනමතය

අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේගේ ජන්ම ශත සංවත්සරය පසුගිය සතියේ යෙදී තිබිණි. ලිපියේ ඉඩකඩ ප්‍රශ්නයක් හේතුවෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලද ජාතික හා ශාසනික සේවය කෙටියෙන් වුවත් අගය කිරීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට උන්වහන්සේ මුල සිට විරුද්ධ වූහ. එසේ වුවත් එය තවමත් මෙරට ව්‍යවස්ථාවේ කොටසක් ලෙස සැලකෙයි. අද අපට උන්වහන්සේ වෙනුවෙන් පුද කළ හැකි උපරිම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතියෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නීති පොතෙන් ඉවත්කිරීම ය.  මේ ලිපිය ද ඒ වෙනුවෙනි. අපි උන්වහන්සේට නිවන් සුව පතමු.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතිය නොවේ ය යන්න මගේ පෞද්ගලික හැඟීම ය. අඩුම තරමෙන් එහි 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති කිසිසේත් ම මෙරට නීතිය නො වේ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ එහි වගන්ති වෙන වෙන ම සලකමින් නොව සමස්ත සංශෝධනය ම එකට ගැනීමෙනි. එබැවින් එහි වගන්ති වෙන වෙන ම ගෙන නීති පොතෙන් ඉවත්කළ හැකි නො වේ. එබැවින් එහි එක් වගන්තියක් වුව ද නීතිය නොවේ නම් සමස්ත සංශෝධනය ම නීතිය වන්නේ නො වේ. කෙසේ වුවත් එය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබිය යුත්තකි. අපි ඒ නීති ගැටළුව සම්බන්ධයෙන් පසුව වැඩිදුරටත් කතාකරමු. 

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අපකිර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයකි. එය දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණකම්වලට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණකි. ඉන්දු ලංකා ගිවිසුම අද වන විට අහෝසි වී ඇත. එහි සඳහන් අන්දමට ඉන්දියාව ක්‍රියා නොකෙළේ ය. ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ නො කළේ ය. කොටි සංවිධානය නො පැරදවී ය. ඊනියා සාම සාධක හමුදාවක් මෙරටට එවූ නමුත් එය විසින් ඇති කෙරුණු සාමයක් නැත. ඔවුහු ඒ වෙනුවට සිංහලයන්ට ද දෙමළ හා මුස්ලිම් ජනයාට ද හිරිහැර කළහ. අඩත්තේට්ටම් කළහ. ඉන්දු ලංකා ගිවිසුම කඩකරනු ලැබුයේ ඉන්දියාව විසිනි. එහි කඩකිරීමට දෙයක් ඉතිරි වී නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ලංකාව පළාත් සභා පිහිටුවිය යුතුව තිබිණි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා පනතත් ගෙන එනු ලැබුයේ ඒ අනුව ය. ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකර ගිවිසුම කැඩූ ඉන්දියාවට ලංකාවට ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බලකිරීමට නොව අයැදීමටවත් කිසිම නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත.  දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ඊනියා ප්‍රශ්නයක් ගැන කතාකිරීමට ඉන්දියාවට යෑම දේශද්‍රෝහි ක්‍රියාවකි. ඔවුහු එමගින් ලංකාවේ ස්වෛරීභාවය පාවා දෙති. ඒ මන්ත්‍රීවරුන් ද ඇතුළු මෙරට දෙමළ ජනයා නාගදීපයේ ජීවත් වූ සිංහලයන්ගෙන් හා ලන්දේසීන් විසින් 1750 න් පසු කෝරමණ්ඩළ වෙරළෙන් දුම්කොළ වගාව සඳහා ගෙන්වනු ලැබූ දෙමළ ජනයාගෙන් ද, පසුව ඉංගිරිසින් විසින් නැගෙනහිර පළාතේ හා කඳුකරයේ පදිංචිකරවනු ලැබූ දෙමළ කුලීකරුවන්ගෙන් ද පැවත එන්නෝ වෙති. එබැවින් දෙමළ ජනයා ලෙස මෙරට ඔවුන්ගේ පැවැත්ම අවුරුදු දෙසිය පනහකට පමණක් සීමා වෙයි. එසේ වුවත් ඔවුහු මෙරට පුරවැසියෝ වෙති. ඒ පිලිබඳ අපට කිසිම ගැටළුවක් නැත. පුරවැසියන් ලෙස ඔවුන්ට මෙරට අහිමිවන අයිතිවාසිකමක් නැත. එහෙත් ඔවුන් තවමත් තමන් ඉන්දියාව සමග ඇති සම්බන්ධය නවතා නැත. උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා සාම්ප්‍රදායික වාසභූමි ලෙස අවලංගු වී ඇති ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් කරවා ගැනීමට ද ඔවුහු උත්සුක වූහ. එහෙත් දෙමළ ජනයාගෙන් බහුතරය ජීවත්වන්නේ ඒ පළාත්වලින් පිට ය. දෙමළ ජාතික සංධානයේ නායකයන් වහාම තමන් පුරවැසියන් වන්නේ ඉන්දියාවේ ද නැත්නම් ලංකාවේ ද යන්න තීරණය කළ යුතු ය. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි යැයි සිතිය හැකි සිංහ ගෝත්‍රිකයන් (ට්‍රයිබල් අර්ථයෙන් නො වේ) සමග සිංහලයන්ගේ සම්බන්ධයක් තිබිණි ද සිංහලයෝ තමන් ඉන්දියාවේ පුරවැසියන් යැයි සිහිනෙන්වත් නො සිතති. ධර්මාශෝක රජුගේ ද මිහිඳු හිමියන්ගේ ද සම්භවය වත්මන් දකුණු ඉන්දියාවේ සිංහ ගෝත්‍රික මුරා පෙළපතට (මෞර්ය වංශයට) සම්බන්ධ වුවත් සිංහල බෞද්ධයනට ඒ පිළිබඳ තැකීමක් නැත. දෙමළ නායකයන් ඇතැයි කියන තම ප්‍රශ්න මෙරට දී විසඳා ගැනීමට කටයුතු කළ යුතු ය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති වූ ප්‍රශ්නයක් නැත. ඊනියා අසාධාරණ අන්කිසිවක් නොව ඉංගිරිසින්ගෙන් නිලතල ලැබූ ඉංගිරිසි උගත් වෙල්ලාලයනට ක්‍රමයෙන් තමන් ලැබූ අයුතු වරප්‍රසාද නැතිවී යෑම පිලිබඳ ප්‍රශ්නයකි. ඒ පිලිබඳ ව මේ තීරුවෙන් හා පොතපතින් මා කරුණු දක්වා ඇති නමුත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකුට ද ඒ පිළිබඳ හැඟීමක් නැතිවීම කණගාටුවට කරුණකි. 

වෙල්ලාලයන්ගේ වරප්‍රසාද ක්‍රමයෙන් නැතිවීම විය යුත්තක් මිස ඊනියා ප්‍රශ්නයක් නො වේ. අවුරුදු එකසිය අනූවක් පමණ වෙල්ලාල ඉල්ලීම්වලට ඊනියා විසඳුම් ලෙස බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ආදිය ද ඉන්දු ලංකා ගිවිසුම ද ඊනියා සාම සාකච්ඡා ද ඉදිරිපත් විණි. එහි විකාශයේ අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රභාකරන් ය. (වැඩි විස්තර කාලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි  ප්‍රභාකරන්  ඔහුගේ සියලා බාප්පලා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.) ප්‍රභාකරන්ගේ පරාජයත් සමග වෙල්ලාලයන්ට දේශපාලන විසඳුමක් ලැබිණි. අද අවලංගු වී ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුම පමණක් නො වේ. නැති ප්‍රශ්නයකට විසඳුම් ලෙස ඉදිරිපත් වූ සියළු ගිවිසුම් ද පළාත් සභා ද නන්දිකඩාල් කලපුවේ ගිල්වනු ලැබිණි. දේශපාලනිකව ඒ එසේ වුවත් සෑමදාම අනෙක් සෑම ක්‍ෂෙත්‍රයකට ම පිටුපසින් ඇති නීතියෙන් එය තවමත් පිළිගැනී නැත. දහතුන තවමත් නීති පොතේ ඇත්තේ එබැවිනි. එය ඉවත්කිරීමට තරම් අද ජනමතයක් මතු වී ඇත. එහෙත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අද මහජන මතයට එරෙහිව ඇත. සංධානයෙන් පිට තරග කළහොත් ඡන්ද දාහක් ලබාගත නොහැකි ඇමතිවරු අද දහතුන අහෝසි කිරීමට බාධා කරති. අද කළ යුත්තේ ජනමතයට ඉඩ දී මේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පරාජයකර ඉවත්කිරීමට ක්‍රමවේදයක් සකස්කර ගැනීම ය.


නලින් ද සිල්වා

2013-06-23

Sunday, 9 June 2013

පළාත් සභා අහෝසි කරමු

පළාත් සභා අහෝසි කරමු යන සටන් පාඨය මෙරට ජාතිකවාදීන් ඉදිරිපත් කරන්නේ 1987 සිට ය. බොහෝ විට පැවසෙන පරිදි ඒ ඉන්දියාව විසින් අප මත බලයෙන් පටවන ලද්දකි. පසුගිය දා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මදියපරානම් ඒබ්‍රහම් සුමන්තිරන් නම් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ඒ එසේ නම් ඉන්දියාවට බලයෙන් තමන් මත පළාත් සභා පැටවීමට ඉඩ දීම ගැන සිංහලයන් ලජ්ජා විය යුතු බව ය. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනීම ලබා ඇති ඒබ්‍රහම් සුමන්තිරන් ඒ විදුහලේ ම ඉගෙනීම ලැබු සැමුවෙල් චෙල්වනායගම්ට බොහෝ අතින් සමාන වෙයි. පළාත් සභා අපට ලැබුනේ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ය. ඉන්දු ලංකා ගිවිසුමට සිංහලයෝ තම විරුද්ධත්වය ලෙයින් ප්‍රකාශ කළහ. ඒ ගිවිසුම අත්සන් කිරීමට පැමිණි රජිව් ගාන්ධිට අපේ නාවික හමුදා භටයකු ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ආචාර පෙළපාලියේ දී පහර දුන්නේ සිංහලයන්ගේ විරුද්ධත්වය යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායේ පිහිටීමෙන් ප්‍රකාශ කරමිනි. ඒ පහර දීම රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායට විරුද්ධ විය හැකි ය. එහෙත් ඒ පහර දීම පිළිබඳ මම ලජ්ජා නො වෙමි. රජිව් ගාන්ධිට පමණක් නොව ධර්මාශෝක රජුට වුව ද අපි යටත් නො වීමු. අපි යටත් නො වෙමු. ඉන්දු ලංකා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වෙති. ඒ පිළිබඳ ලජ්ජා විය යුත්තේ ජේ ආර් ජයවර්ධන හා එ ජා පක්‍ෂයත් එයට සහාය දුන් දෙමළ ජාතිවාදී පක්‍ෂ හා සංවිධානත් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පිරිසත් ය. ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ඉන්දියාවේ පාලකයන්ටත් දේශපාලන පක්‍ෂවලටත් බොහෝ විට අමතක වේ. පළාත් සභා අහෝසි කරන්නේ ද දහතුන් වැනි සංශෝධනය ඉතිහාසයේ කුණු කූඩයට විසිකරන්නේ ද ආදිය තීරණය කරන්නේ අප මිස ඉන්දියාව හෝ එහි දේශපාලන පක්‍ෂ හෝ නො වෙයි. ඉංදු ලංකා ගිවිසුම අහෝසි වී බොහෝ කල් බව පමණක් අපි ඉන්දියාවට මතක් කරමු. ඉන්දියාව එහි කියා ඇති අන්දමට කොටි සංවිධානය පරාජය කිරීමට කටයුතු නො කළේ ය. ඉන්දියාවේ ද ආධාරය ලැබූ කොටි සංවිධානය පරාජය කරනු ලැබුයේ අපේ රණවිරුවන් විසිනි. එසේ වුවත් ඉන්දියාව අප ලවා පළාත් සභා ක්‍රියාත්මක කරවීමට උත්සාහ කරයි. ගිවිසුමේ තමන් පොරොන්දු වූ කාර්යය ඉටු නොකළ ඉන්දීය බෞද්ධ විරෝධී නායකයෝ අප ලවා ජේ ආර් ජයවර්ධන ගාමිණී දිසානායක ආදීන් පෙරොන්දු වූ දේ ඉටුකරවා ගැනීමට යත්න දරති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙයට ඉඩ දිය යුතු නො වේ. ඒ මහතා මානුෂික මෙහෙයුමේ දී ක්‍රියාකළ ආකාරයට නොසැලී කටයුතු කළ යුතු ය. එතුමාගේ ඡන්ද පදනම සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාව ය. එතුමාට පළාත් සභා අහෝසි කිරීමට හැකිවුවහොත් කිසි දිනෙක ඡන්දයකින් නොපරදිනු ඇත. 

අද තවමත් පළාත් සභා අහෝසි කිරීමට තරම් පසුබිමක් පාර්ලිමේන්තුවේ නැත්නම් ආණ්ඩුව අඩුම තරමෙන් දහතුන්වැනි සංශෝධනයේ 154 (උ) (2) (ආ) හා 154 (උ) (3) (ආ) වගන්ති ද පළාත් සභා කිහිපයකට එකතු වීමට ඇති අයිතිය ද, ඉඩම් බලතල හා පොලිස් බලතල ද ඉවත්කිරීමට වහාම කටයුතු කළ යුතු ය. අදාළ වගන්ති ඉවත් කරවීමට අප කටයුතු කරන්නේ අද ඊයේ නො වේ. පළාත් සභා මුළුමනින් ම අහෝසි කරන ලෙස අප ඉල්ලන්නේ 1987 සිට ය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග පළාත් සභා ඔස්සේ බලය බෙදා සන්ධීය රාජ්‍යයක් ඇති කිරීමට ක්‍රියා කරන බව දත් අපි ඇයට අසීමිත බලයක් දෙනු වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වීමු. 2008 දී පමණ සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුව ඉනදියාවේ අවශ්‍යතාව පරිදි, පළාත් සභා ක්‍රියාත්මක කරන බවට අතුරු වාර්තාවක් මගින් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වූයේ අපේ මැදිහත්වීමෙනි. එහි දී උදය ගම්මන්පිළ මහතාගෙන් ලැබුණු සහාය ඉමහත් ය. තිස්ස විතාරණ ඇතුළු අනෙක් සියල්ලන් ම එකට සිටිය දී අප දෙදෙනාගේ විරෝධතාව හේතුකොටගෙන එම සමුළුවේ සාමාජිකයන් හා පක්‍ෂ නායකයන් අරලිය ගහ මැදුරට කැඳවීමට ජනාධිපතිතුමා ට සිදු විය. එහි දී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමුළුව පවත්වන කාලයෙහි වචනයක්වත් නොකී එක් ඇමතිවරයකු තම විරුද්ධතාව නොවන්නට මා අනෙක් අය සමග අතුරු වාර්තාවට අත්සන් තබනු ඇතැයි ගැරඬිවාදයෙන් ප්‍රකාශ කරන්නේ කිසිම හිරිකිතයක් නොමැති විය. එසේම කිසිවක් නොදන්නා ජඩමාධ්‍යවේදියකු මාත් ගම්මන්පිළ මහතාත් අතුරු වාර්තාවට අත්සන් කළේ යැයි කියන්නේ වාචාලකමට මිස වාර්තාව හරිහැටි කියවා බලාවත් නො වේ. අප මේ සියල්ලෙන් කියන්නේ අපේ විරුද්ධතාව හුදෙක් උතුරු පළාත් සභාවට ඒ බලතල අහිමිකිරීමට පමණක් නොවන බව පෙන්වා දීමට ය. උතුරු පළාත්සභාවටවත් අනෙක් පළාත් සභාවලටවත් ඒ බලතල කිසිවක් හිමිවිය යුතු නො වේ.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතියක් නො වේ. අදාළ පනත් කෙටුම්පත් පනත ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී විනිසුරුවෝ හතර දෙනෙක් පනත සම්මත කර ගැනීමට නම් ජනමතවිචාරණයකින් ඒ අනුමත විය යුතු යැයි ප්‍රකාශ කළහ. විනිසුරුවෝ හතර දෙනෙක් එසේ ජනමතවිචාරණයක් අවශ්‍ය නො වේ යැයි කීවෝ ය. පාරින්ද රණසිංහ විනිසුරුතුමා පැවසුවේ 154 (උ) (2) (ආ) හා 154 (උ) (3) (ආ) වගන්ති සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බව ය. ඒ අනුව ශ්‍රෙෂ්ඨාධිකරණයේ බහුතර කැමැත්ත අනුව යමින් අඩුම තරමින් ඒ වගන්ති දෙක සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු ව තිබිණි. එහෙත් ජේ ආර් ජයවර්ධන එසේ නො කළේ ය. ඔහු අදාළ වගන්ති දෙක ඔහුට අවශ්‍ය අන්දමට සංශෝධනය කර පනත සම්මත කර ගත්තේ ය. මෙය මුළුමනින් ම නීති විරෝධි ක්‍රියාවක් විය. අප ඒ බව දැනගත්තේ 2010 දී පමණ  අභාවප්‍රාප්ත රාජා වනසුන්දර හිටපු විනිසුරුතුමා ඒ පිලිබඳ පැහැදිලි ප්‍රකාශයක් කිරීමෙන් පසුව ය. අපි එදා සිට අද දක්වා ම දහතුන්වැනි සංශෝධනය මෙරට නීතියක් ලෙස නො සලකමු. අඩුම තරමෙන් ඉහත සඳහන් වගන්ති දෙක ව්‍යවස්ථාවෙහි සඳහන් වුව ද මෙරට නීතිය නො වේ. යම් වගන්තියක් ජනමත විචාරණයකට යොමු කළ යුතු යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය සඳහන් කළ විට හා එය එසේ යොමු නොකිරීමට නම් මෙලෙස සංශෝධනය විය යුතු යැයි සඳහන් නොකළ විට පාර්ලිමේන්තුවට තමන්ට අවශ්‍ය ආකාරයට ඒ වගන්තිය සංශෝධනය කර සම්මත කරගත හැකි නො වේ. එබැවින් අදාළ වගන්ති දෙක උපරිම නීති පොතේ ඇතුළත් වුවත් මෙරට උපරිම තබා කිසිම නීතියක් නො වේ. එහෙත් අවාසනාවකට බොහෝ දේශපාලනඥයන් කල්පනා නොකළ ද අද දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුව ඇත්තේ මේ වගන්ති දෙක උපයෝගී කරගෙන ය. දහතුන්වැනි ව්‍යවස්ථාවේ යම් වගන්තියක් සංශෝධනය කිරීමේ දී සියළු පළාත් සභා එයට එකඟ වන්නේ නම් ප්‍රශ්නයක් පැන නොනගියි. එයට හේතුව එවැනි අවස්ථාවක දී අදාළ වගන්තිය සංශෝධනය කළ යුත්තේ 154 (උ) (2) (අ) වගන්තියට අනුව බැවිනි. ප්‍රශ්නය පැන නගින්නේ අදාළ සංශෝධනයට එක් පළාත් සභාවක් වුවත් එකඟ නොවන්නේ නම් ය. එවිට බලපැවැත්විය යුතු වන්නේ 154 (උ) (2) (ආ) වගන්තිය ය. එහෙත් එවැනි වගන්තියක් මේ රටේ නීතිය නො වේ. මේ ව්‍යවස්ථා අර්බුදයෙන් ගැළවෙන්නේ කෙසේ ද යන්න නීතිය පිලිබඳ මූලධර්මවල සඳහන් වන්නේ දැයි කීමට නො දනිමි. මා සඳහන් කරන්නේ මගේ තර්ක බුද්ධියට ගෝචර වන්නක් පමණකි. ඒ කුමක් වුවත් කිසියම් ආකාරයකින් දහතුන් වැනි ව්‍යවස්ථාවේ අදාළ වගන්ති කිහිපයවත් සංශෝධනය විය යුතු ය. ඒ සඳහා උපයෝගී කරගැනීමට නීතියක් නැති බැවින් එසේ සංශෝධනය කළ නොහැකි යැයි යම්කිසිවකු පැවසුවහොත් එයින් කියැවෙන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ම නීතියක් නොවන නිසා ඉබේට ම අහෝසි වන බව  ය. එය වඩාත් හොඳ ය. එවිට ප්‍රශ්නයකින් තොරව ම දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ඒ සමග පළාත් සභාත් අහෝසි වෙයි. නීති විශාරදයන් මේ පිළිබඳ වැඩි අවධානයක් දක්වන්නේ නම් මෑනවි.

අද වන විට උතුරු පළාත් සභාවේ මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පැවසෙයි. උතුරු පළාත් සභාවට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් යම් පිරිසක් 1976 වඩුකොඩේ සම්මේලනයේ සම්මත කරගත් යෝජනා පිළිගත්තෝ වෙති. ඔවුන් දෙමළ ජාතික සංධානයෙන් තරග කළත් වෙනත් පක්‍ෂයකින් තරග කළත් එහි භයානක කම අඩු නො වේ. වඩුකොඩේ යෝජනා අනුව මෙරට දෙමළ ජනයා යනු වෙන ම ජාතියකි. ඔවුන්ට නිජබිමක් ඇත. ඔවුන්ට ස්වයංනිර්ණයන අයිතිය ඇත. මේ සියල්ල අසත්‍ය බව මෙරට ජාතිකවාදීන් පෙන්වා දී ඇතත් දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදයෙන් හා අනුග්‍රහයෙන් අසත්‍යයේම ගිළී සිටිති. ඒ සඳහා ඔවුන්ට බටහිර රටවල රාජ්‍යවලින් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ද ලැබෙයි. උතුරු පළාත් සභාවේ මැතිවරණය නොපැවැත්විය යුතු ය. ඒ සඳහා වහාම පළාත් සභා අහෝසි කළ යුතු ය. පළාත් සභා වර්තමාන ආකාරයෙන් පවත්වාගෙන යමින් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා වඩුකොඩේ සම්මේලනයේ යෝජනා පිළිගන්නවුන්ට ඒ පළාත් සභාවට පත්වීමට ඉඩහැරීම රණවිරුවන් තම ජීවිතය පුජා රැකගත් මෙරට එක්ස්සත් රාජ්‍යය කඩා බිඳ දමා ඔවුන් පාවාදීමකි. එපමණක් නොව එම රණවිරුවන්ට දේශපාලන නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්‍ෂ මහතාත් පාවාදීමකි. ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් පාවාදීමට කටයුතු කරනු ඇතැයි සිතිය නො හැකි ය. අද බටහිරයන්ට අවශ්‍ය වන්නේ ඒ දෙදෙනා දංගෙඩියට යැවීමට ය. මේ අවස්ථාවේ දී බටහිරයන්ට හා ඉන්දියාවට ඉඩ දීමෙන් සිදුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ දැමීමකි. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වන්නේ ද මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර ඉන්පසු එතුමා දංගෙඩියට යැවීමට ය. අප කටයුතු කළ යුත්තේ කසිකබල් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මේ රටේ පැවැත්වීම අරමුණු කරමින් නො වේ. ඒ සම්මේලනය මෙරට පැවැත්වී යැයි අප රටට වන විශේෂ යහපතක් නැත. ඒ කෙහෙම්මල් සම්මේලනය පවත්වා රට දෙකඩ කිරීමටත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යැවීමටත් අපට අවශ්‍ය නො වේ. සම්මේලනය පැවැත්වුවත් නැතත් පළාත් සභා අහෝසි කිරීමට පියවර ගත යුතු ය. යම්කිසි අයූරකින් එසේ කිරීමට හැකි පසුබිමක් පාර්ලිමේන්තුවේ නැත්නම් අඩුම තරමෙන් ඉහත සඳහන් කරුණු කිහිපයවත් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ඉටුකළ යතු ය. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් බලතල පළාත් සභාවලට අහිමි වී ඇතැයි පවසන්නෝ බයිලා කියන්නෝ පමණක් ම වෙති. අපි ඔවුන්ට එදත් කන් නො දුන්නෙමු. අදත් කන් නො දෙන්නෙමු. කිසියම් ආකාරයකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවක් පත්කරන්නේ නම් එහි සියළු වැඩ කටයූතු උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර නිම විය යුතු ය. 

2013-06-09

නලින් ද සිල්වා