Main Logo

Showing posts with label ජාතිකත්වය. Show all posts
Showing posts with label ජාතිකත්වය. Show all posts

Wednesday, 6 December 2017

මැතිවරණයට පෙර ජාතිකත්වය නොවීම

මැතිවරණයට පෙර ජාතිකත්වය නොවීම


මෙකල දේශපාලනය හරිම අවුල්. දේශපාලනඥයන් කටුස්සන්ටත් වඩා ඉක්මනට වෙනස් වෙනවා. උදේ කියපු දේ හවසට කියන්නේ නැහැ. හවසට කියන්නේ වෙන ම දෙයක්. රූපවාහිනි නාලිකාවලට නම් වඩා වැදගත් නත්තල. ඔවුන් නත්තල ගැන කතා කරන්නේ නොවැම්බර් අග සිට. නත්තල් ගීත නිතර ප්‍රචාරය වෙනවා. වෙළෙඳ සමාගම් නත්තලට භාණ්ඩ විකුණනවා. එක් නිවේදිකාවක් කියනවා අප නත්තල වෙනුවෙන් කාර්ය බහුල වෙලා කියලා. එහෙම කාර්ය බහුල වෙන අයත් ඇති. මේ රූපවාහිනියේ වැඩ. එහෙත් ඔවුන් හිතන තරම් අනෙක් බොහෝ අයට නත්තලට  වැඩක් නැහැ. නත්තල අද බටහිරයන්ගේ උත්සවයක්. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ හිම නොවැටෙන බටහිර ආසියාවේ වුවත් නත්තල් පින්තුර හිමෙන් වැහිලා. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ අයිස්ලන්තයේ ද කියා වෙලාවකට හිතෙනවා. බටහිරයන්ගෙ උත්සවයක් හැටියට නත්තල අප මත පටවනවා. මේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය.

Tuesday, 28 November 2017

වම දකුණ

වම දකුණ

අද විකල්ප දකුණ (Alt - right) යන්න ජාතිකවාදීන්ට යොදා ගැනීමට මෙරට ඇතැම් පඬියන් උත්සාහ දරණවා. මේ මෙරට කිසිම පඬියකු නිර්මාණය කළ සංකල්පයක් නො වෙයි. මේ සංකල්පයත් බටහිර නිර්මාණයක්. එය රොබර්ට් ස්පෙන්සර් නම් ඇමරිකානු ජනමාධ්‍යවේදියා 2008 දී පමණ හඳුන්වා දුන් සංකල්පයක් ලෙසයි කියැවෙන්නේ. ඒ සංකල්පය සාමාන්‍යයෙන් යෙදෙන්නේ සුදු ස්වොත්මවාදී අදහස්වලට. මෙරට පඬියන් ද මේ ස්වොත්තමවාදී කතා කියනවා. මේ අනුකාරක පඬියන් සියල්ල ගන්නේ බටහිරින්. ඔවුන් තරම් බටහිර දැනුම් ආධිපත්‍යයට හිස නමන නිවටයන් පිරිසක් මෙරට තබා ලෝකයේවත් නැතිව ඇති. විකල්ප දකුණ යන සංකල්පය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග නැවත ඉදිරියට ආවා. ඒත් එය දැන් එතරම් යෙදෙන්නේ නැහැ. මෙරට පඬියන් ඇතැම් විට බටහිර සංකල්ප යොදා ගන්නේ ඒ බටහිර අභාවයට යන විට. බටහිරින් අදහස් සංකල්ප ප්‍රවාද අපට ඒමට තවමත් අවුරුද්දක් දෙකක් යනවා.

Sunday, 14 December 2014

රටට එරෙහි සියලු බලවේග පරාජය කිරීම ජනතා යුතුකමක්


“මා කල්පනා කරන විදියට මේ ජනාධිපතිවරණ සටන තුළ අද වනවිට ජාතිකත්ව කඳවුරත් විජාතිකත්ව කඳවුරත් දෙකට බෙදී තිබෙනවා.

ජාතිකත්ව කඳවුරේ පැහැදිලි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එලෙස ජාතිකත්ව කඳවුරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දෙද්දී විජාතික කඳවුරට නායකත්වය දෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හෝ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල නොව මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ ඒ විජාතික වැඩපිළිවෙළ මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට නායකත්වය දෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියයි. ඇගේ වෛරයත් සමඟ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ වැඩපිළිවෙළ ඇගේ ම වැඩපිළිවෙළක් ලෙස ඇය ක්‍රියාත්මක කරන්නේ රටට ආදරයකින් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් පහකර දමන්නට ද ඇයට තිබෙන වුවමනාව මතයි.

පසුගිය සතියේ ජනාධිපතිවරයා සමඟ එක්වූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ වුවමනාව වුණේ එජාපයෙන් තමන්ගේ ම වූ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් කිරීමය. මේ අරමුණ හරි හෝ වැරදි වේවා එජාපයට තමන්ගේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා ඉඩදුන්නේ නැත.

චන්ද්‍රිකාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි තරහව එළිපිට පෙනෙන්නට තිබුණත් ඇය සැබෑ ලෙස ම රනිල්ටත් විරුද්ධ ය. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති අවදියේ චන්ද්‍රිකාගේ පුත් විමුක්ති කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු කිරීමට ඉඩ නොදීමේ තරහ ඇගේ සිතේ රනිල්ට විරුද්ධව අදටත් ඇත. ඇයට රනිල්ව ජනාධිපති කරන්නට හෝ අගමැති කරන්නට වුවමනාවක් නැත. චන්ද්‍රිකාට අවශ්‍යය වී ඇත්තේ මේ ඇති කරන අවුල මැද්දේ ඇයම නැවත වරක් ජනාධිපති හෝ අගමැති වීමට ය.

සරත් සිල්වා ඉදිරිපත් කර ඇති නීති තර්ක නිසා ඇයට නැවත වරක් ජනාධිපති තරගයකට ඉදිරිපත් විය නොහැකි ය. මේ නිති ප්‍රශ්නය නිසා චන්ද්‍රිකාට අවශ්‍ය වී ඇත්තේ ඊළඟ වතාවේත් රටේ බලය තමන් සතු කර ගැනීම සඳහා ඉතා ම දුර්වල මිනිහෙක් ලෙස ඇය සලකන මෛත්‍රිපාල මහතා නමට රටේ ජනාධිපති කරවීමට ය. මෛත්‍රීපාල පඹයෙක් නැතිනම් ඉත්තෙක් ලෙස හැසිරවිය හැකි යැයි ඇය කල්පනා කරනවා විය යුතු ය. එම වුවමනාව නිසාමය ඇය මෛත්‍රීපාල මහතා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්ගේ වුවමනාව අනුව ආණ්ඩුවෙන් එළියට ගෙන එය විපක්ෂයේ පොදු වුවමනාව බවට පත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ජාතිකත්වයක් තියනවා කියා හිතන ජාතික හෙළ උරුමයේ රතන හාමුදුරුවන්වත් මෙතනදී ප්‍රයෝජනයට ගන්නා බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයේ නායකත්වය දරන රතන හාමුදුරු‍වන් ඇතුළු උඩ ඉන්න කිහිප දෙනෙකුට මා කීප විටක් පෙන්වා දී ඇති පරිදි ජාතිකත්වයක් නොමැති නමුත් එම පක්ෂයේ බොහෝ දෙනෙකුට ඉතා වැඩි පිරිසකට ජාතිකත්වයක් තිබෙන බවත් මෙතනදී කිව යුතු ය.

ජාතික හෙළ උරුමයේ ගම්මන්පිල මහතා ද නැවත වරක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට වේදිකාවට නැග්ගේ ඔහුට ජාතිකත්වයක් තිබෙන නිසා විජාතිකත්වය සමඟ සිටිය නොහැකි බව අවබෝධකර ගැනීමෙන් පසුව බව පැහැදිලි ය. ඒ නිසා ජාතික හෙළ උරුමයේ පිරිසෙන් මේ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට ගත් ජාතික හෙළ උරුමය ගත් තීරණය සමඟ අවසානයේ සිටින්නේ එම පක්ෂයේ එම තීරණය ගැනීමට එකතු වූ හතර පස් දෙනෙකුහෝ පස් හය දෙනකු පමණක් බව ඉදිරියේ වඩා හොඳින් පැහැදිලි වනු ඇත.”

“දැන් මේ උත්සාහය දරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන සිංහල බෞද්ධ අතිබහුතර ඡන්ද ප්‍රමාණය මෛත්‍රීපාල සිරිසේන මහතාට සිංහල - බෞද්ධ ආරෝපණයක් කර කඩා දැමීමට ය. නමුත් මේක කරන්නට ලැබෙන්නේ නැත. ඒ මේ රටේ බුද්ධිමත් මිනිස්සු ජාතිකත්වයක් ඇති පිරිස හඳුනා ගැනීමට සමත් නිසා ය.

විපක්ෂ පොදු අපේක්ෂකයාට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක් නැති බව කීවත් එතන ද හෙළි නොකරන ගිවිසුමක් තිබෙන බව පැහැදිලි ය. මේ ගිවිසුමේ අරමුණ වනු ඇත්තේ උතුරු නැ‍ඟෙනහිර පළාත් දෙක නැවත එකට එකතු කර පෙඩරල් රාජ්‍යයකට පාර කැපීම ය. එංගලන්තයට ඇති මේ වුවමනාව අනුව චන්ද්‍රිකාගේත් කැමැත්තෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ මෙවැනි ගිවිසුමකට මෛත්‍රීපාල මහතා අස්සන් කරනු ඇත.

මෙතන තිබෙන ලොකුම අනතුර වනු ඇත්තේ ඡන්දයෙන් කෙසේවත් පරාජය කළ නොහැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඡන්දය ජයගෙන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වුවත් බටහිර වුවමනාව අනුව ඔහුව ඝාතනය කිරීමට ඇති අනතුරයි.‍

ඡන්දයෙන් පරාජය කරගත හැකි වුණොත් බලයෙන් පහ කළ ජනාධිපතිවරයා හා හමුදා නිලධාරීන් හේග් යුද අධිකරණය වෙත ගෙන ගොස් විදුලි පුටුවේ ඉන්දවීමේ බටහිර වුවමනාව ඉටු කරගත හැකි වුණත් ඔහු ඡන්දයෙන් පැරදවිය නොහැකි නම් එලෙස බලයේ සිටින ජනාධිපතිවරයාව යුද අධිකරණයට ගෙන යාමට හැකි වන්නේ නැත.

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල - සිරිසේන මහතා පෝස්ටර් කටවුට් ගහන්නේ නැතැයි රටට කීවත් ඔහුට සිදුව ඇත්තේ ඔහුගේ පෝස්ටර් හෝ කටවුට් ගැසීමට සංවිධානයක් හෝ කෙනෙකු නොමැතිවීම ය. ඔහුගේ ආධාරකරුවන් සිටින පොළොන්නරුවේ ඔහු ඇති තරම් පෝස්ටර් කටවුට් ගසා ගත්තත් රටපු‍රා ගොස් එසේ කරන්නට යාන්ත්‍රණයක් මෛත්‍රීපාල මහතාට නැත.

යූඇන්පී යාන්ත්‍රණය රටපුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ජනාධිපති කරන්නට පෝස්ටර් ගහන්නේ නැත. එවැනි වුවමනාවක් එජාප නායකත්වයට ද ගමේ සිටින යූඇන්පී කාරයා තුළ ඇති කළ නොහැක. රනිල් හෝ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නම් මේ යූඇන්පී කාරයන් පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවා රට පුරා ඇති තරම් පෝස්ටර් කටවුට් ගසනු ඇත. රට පුරා පෝස්ටර් කටවුට් ගහන්නට බැරි වූ මෛත්‍රීපාල මහතා දැන් කියන්නේ තමන්ට පෝස්ටර් කටවුට් ගැසීමට බැරි බව නොව එසේ නොකරන බව ය.

තමන්ට එජාජ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එජාපයෙන් ඉවත් වූ තිස්ස අත්තනායක මහතාගේ ක්‍රියාමාර්ගයෙන් පෙන්වන්නේ සැබෑ එජාප පාක්ෂිකයන්ගේ වුවමනාව ය. මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් නොගසන එජාප පාක්ෂිකයන් එජාප නායකයන් කුමක් කීවත් අන්තිමේ තම විරුද්ධවාදී පිලෙන් ආ මෛත්‍රීපාල මහතාට ඡන්දය දීමෙන් ද වැළකෙනු ඇත.

එදා විපක්ෂ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාගේ පොස්ටර් කටවුට් 2010 ජනාධිපතිවරණයේදී ගැසූ ජවිපෙ ද මෙවර මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් ගසන්නේ නැත.

ජනාධිපතිවරණයේදී ජේවීපීයට තමන්ට ජනාධිපතිවරණය දිනන්නවත් වෙන අයකු දිනවන්නවත් නොහැකි නිසා ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සියයට 50 ඉක්මවීම වැළැක්වීම ය. ජේවීපී ය ජනාධිපතිවරයා පරදවන බව කියන්නේ ඔවුන්ගේ මේ වුවමනාව අනුව ය. කිසිම අපේක්ෂකයකුට සියයට 50 ට වැඩිය ගන්න නොදී දෙවැනි මනාපයක් ගණින අරාජිකත්වයක් ඇති කර ලොකු විප්ලවයක් කර මෛත්‍රීපාලට බලය අරන් දීමේ බ්‍රිතාන්‍ය වුවමනාව අනුව ජේවීපීය හා එජාපය මෙහෙයවන්නට ඉඩ තිබේ.

මේ එකදු සැලැස්මක් හෝ ක්‍රියාත්මකවීමට ඉඩ නැත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් සියයට පනස් පහකවත් ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අත් කරගන්නා නිසා ය.

ඡන්දයෙන් පරදවන්නට බැරි මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වර ජනාධිපතිවීමෙන් පසු වෙනත් රටවල ශක්තිමත් නායකයන් ඝාතනය කළ ආකාරයට මේ නායකයා ද ඝාතනය කරන්නට ‍බටහිර රටවල් ක්‍රියා කරන්නට ඉඩ ඇත.

සෝභිත හාමුදුරුවන් විධායක ජනාධිපතිධූරය අහෝසි කර යහ පාලනය ඇති කරන්නට කතා කළත් උන්වහන්සේ ගේ යහපාලන කොතරම් ද පෙන්වමින් උන්වහන්සේගේ ගෝලයා ද පන්සලෙන් පැන ගොස් ඇතැයි වාර්තාවෙයි. අද සෝභිත හාමුදුරුවන් පස්සේ ඉන්නේ ඇට්ටකුණා වුණ සරසවි ආචාර්යවරු දෙතුන් දෙනෙකු පමණ ය.

පැරැණි වම අධිරාජ්‍ය විරෝධී වුවමනාව අනුව යමින් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙද්දී ජේවීපීයට සිදුව ඇත්තේ විජාතිකත්ව පිලට සහාය දීමට ය.

දේශපාලන පෙළ ගැස්වීම අනුව මෙන් ම ජ්‍යෝතිෂඥයන්ගේ පොදු මතය අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එය සියයට 55 ක ජයග්‍රහණයක් නොකර සියයට 65 ක තුනෙන් දෙකක ජයග්‍රහණයක් බවට පත් කර රටට විරුද්ධ සියලු බලවේග එකවර පරාජය කිරීම ජනතාවගේ වගකීම වනු ඇත.



නලින් ද සිල්වා

2014-12-14

Sunday, 6 April 2014

ජාතිකත්වයට විශිෂ්ට ජයක්


පසුගිය දා පැවති බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලින් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ එ ජ නි ස විශිෂ්ට ජයක් අත්කරගත් නමුත් ඇතැම් ඇමතිවරුන් තම පාණ්ඩිත්‍යය විදහා දැක්වීමට අනවශ්‍ය සංඛ්‍යාන හරඹයක යෙදෙනු දක්නට හැකි විය. මේ ඡන්දය පැවැත්වූයේ ජෙනීවා යෝජනා සමග ම යැයි කියමින් තමන්ට ජයගැනීමට නොහැකි වූයේ ඒ නිසා යැයි පෙන්වීමට එ ජා ප නායකයන් මහත් උත්සාහයක් දරණු පෙනෙන්නට තිබිණි. ජෙනීවා ඇතත් නැතත් රනිල් නායකයා වුවත් නැතත් එ ජා පක්‍ෂයට හිමි පරාජය පමණ ය. එයට හේතුව එ ජා ප දැන් කාහටත් පාහේ තේරෙන පරිදි විජාතික පක්‍ෂයක් බවට පත් වී තිබීම ය. අද එ ජා පක්‍ෂයට සිංහලයන්ගේ ඡන්දවලින් 20%ට වඩා නො ලැබෙයි. ඒ පක්‍ෂය ගාල්ල හා කොළඹ නාගරික සභා සීමාවේ පිහිටි ආසන කිහිපයක්  දිනාගත්තේ එහි සිංහල ජනගහණය අඩු නිසා ය. විශේෂයෙන් ම කොළඹ නාගරික සභා සීමාවේ සිංහල ජනගහණය 25% ට අඩු වී ඇත. ඒ හේතුවෙන් එහි ආසන දෙකකම දෙවැනි තැන හිමි වූයේ මනෝ ගනේෂන්ගේ පක්‍ෂයට ය. ඒ ආසනවල එ ජ නි සංධායට හිමිවූයේ තුන්වැනි තැන ය. මෙය ආණ්ඩුවේ සැලකිල්ල යොමු විය යුතු ප්‍රශ්නයකි. අප මත බලෙන් පටවා ඇති විජාතික ආර්ථික ක්‍රමය හේතුවෙන් සිංහල ජනයා ශීඝ්‍රයෙන් කොළඹ නාගරික සභා සීමාවෙන් පිටතට තල්ලු වන්නේ තවමත් මෙරට සිංහලයන්ට අසාධාරණයක් සිදුවන බව පෙන්වමිනි. කොළඹ දිස්ත්‍රික්කයේ එ ජා ප මනාප ලැයිස්තුවේ පළමු තැන මෙන් ම තුන්වැනි තැන ද ලැබුණේ ඉස්ලාම් භක්තිකයනට ය. එයින් පැහැදිලි වූයේ එ ජා පක්‍ෂයට සිංහල නොවන ඡන්ද ලැබෙන බවත් සිංහලයන් ජාතිවාදී පදනමකින් මනාප ලකුණු නොකරන බවත් ය. එසේ වුවත් සිංහල නොවන්නන් සමස්තයක් ලෙස ගත්කල ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නොදෙන බවත් ඔවුන් ජාතිවාදී පදනමකින් ඡන්දය දෙන බවත් පැහැදිලි ය.  උතුරු පළාතේ කෙතරම් සංවර්ධනයක් කළත් කොළඹ නගරය කෙතරම් අලංකාර කළත් පොදුවේ ගත්කල සමස්තයක් ලෙස සිංහල නොවන ඡන්දදායකයෝ ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නො දෙති. එහෙත් එයින් කියැවෙන්නේ සිංහල නොවන ඡන්දදායකයන් කිසිවකු ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නොදෙන බවක් නො වේ. සිංහල නොවන්නන් සමස්තයක් ලෙස ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නොදෙන්නේ බටහිරයන් අද වන විට ඔවුන් සිංහලයන් කෙරෙහි කළකිරවනු ලැබ ඇති බැවිනි. වර්තමානයෙහි බටහිරයෝ තම යටත්විජිතවාදී බව වසාගනිමින් ඊනියා මානව හිතවාදීබවක් ආරුඪකරගනිමින් සිංහලයන් සිංහල නොවන්නන් පීඩාවට පත්කරන පිරිසක් ලෙස හඳුන්වා දීමට සමත් වී සිටිති. ඉදිරි කාලයේ දී ශ්‍රී ල නි ප කළයුත්තේ මේ මිථ්‍යාව තුරන් කර සිංහල නොවන්නන්ගේ ද ඡන්දය දිනා ගැනිම ය. එය ඊනියා ජාත්‍යන්තරයට අපේ නිර්දෝෂී බව පෙන්වාදීමට වඩා බෙහෙවින් වැදගත් ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා වාමවාදී මැති ඇමතිවරුන්ට ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය නිර්දේශ කරමි. 

කොටින් පැරදවීමෙන් පසුව මෙරට යටත්විජිතවිරෝධී සිංහල ජාතිකත්ව මතවාද තහවුරු වී ඇත. එය දේශපාලනයෙහි පමණක් නොව වෙදකමෙහි ද ගොවිකමෙහි ද වෙනත් ක්‍ෂෙත්‍රවල ද ව්‍යාප්ත වී ඇත. කොටින් පැරදවීමේ දී විවිධ ජාතිකත්ව බලවේග එකතු විය. එය බටහිර විද්‍යාවේ (තාක්‍ෂණයේ) පිහිටෙන් පමණක් කළ එකක් නො වේ. ඇතැම්හු බටහිර දැනුමට යට නොවී අපේ මතවාද නිර්මාණය කළහ. රණවිරුවන්ට සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ද සහාය ලැබිණි. මහින්ද රාජපක්‍ෂ මහතා සම්පුර්ණ ක්‍රියාවලියට දේශපාලන නායකත්වය ලබාදුන්නේ බටහිර දේශපාලන විද්‍යා දැනුමට යටනොවීමෙනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා ක්‍රියාකාරීත්වය මෙහෙයවූයේ එංගලන්තයේ සැන්ඩ්හර්ස්ට් උපක්‍රමවලට පිටින් ගොස් ය. අපේ පැරණි යුද උපක්‍රම ද එහි දී යොදාගැණුනු බව (නො)දත් දොස්තරලා නො දනිති. ඒ පැරණි දැනුම අපට ලැබුණේ සැන්ඩ්හර්ස්ට් පුහුණුවකින් නො වේ. අද ජාතිකත්ව මතවාද තහවුරු වීම ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විශේෂයෙන් ම හිස උදුම්මාගත් බටහිර වෛද්‍යවරුන්ට ය. වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට නොහැකි වූ (නො)දත් දොස්තරලාට මේ ප්‍රශ්නය තදින් ම දැනෙයි. පොදුවේ ගත්කල බටහිර දැනුම හිසෙහි රඳවාගත් සරසවි ඇදුරන්ට හා වෙනත් නිවට පඬියන්ට අද පොදු සිංහල ජනයා බටහිර දැනුමේ ආධිපත්‍යයෙන් ක්‍රමයෙන් මිදීම දිරවාගත නොහැකි වී ඇත. මේ කුහකයෝ මගේ පින්තූරයටත් බියවෙති. ඔවුහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මගේ ඡායාරූපයක් එල්ලීමට පවා බියවෙති.  අද කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් රෝගීන් මියයන්නේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය හේතුකොටගෙන ය.  සිංහල වෙදමහත්වරුන්ට මේ රෝගය සුවකළ හැකි නමුත් චන්ද්‍රසේන ඇමතිතුමාට සිංහල වෙදමහතුනට අවශ්‍ය පහසුකම් ලබාදීමට බාධා පමුණුවන්නේ ඇතැම් කුහක බටහිර වෛද්‍යවරුන් ය. 
   
2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා බවට පත්වූයේ ජාතිකත්ව මතවල බලය හේතුකොටගෙන ය. හමුදාපතිවරයකු ව සිටි ඔහු ජාතිකත්ව මතයක සිටින බව තවමත් සිංහල ජනයාගෙන් පිරිසක් විශ්වාස කරති. ඔහුගේ පක්‍ෂයට සිංහලයන්ගේ ඡන්දවලින් 10% පමණ ප්‍රමාණයක් ලැබෙන්නේ ඔහු ජාතික මතයක සිටින්නේ යැයි සිංහලයන්ගෙන් සුළු පිරිසක් සිතන බැවිනි. එහෙත් ඔහු සුදුකොඩි කතාවේ ආරම්භකයා බවත් ඔහුට විරුද්ධව තිබූ යුද්ධාපරාද නඩුවක් ඇමරිකන් අධිකරණයක් ඉවත්කරගත් බවත් අද ඔහු නවී පිල්ලේගේ හොර ජාත්‍යන්තර පරීක්‍ෂණයට සහාය දෙන බවත් ඔවුහු නො දනිති. එමෙන් ම ඇතැම් සිංහලයන් ජ වි පෙ ගැන ද සිතන්නේ ජාතිකත්වයේ පක්‍ෂයක් ලෙස ය. එහෙත් අනුර දිසානායකට ඇති ජාතිකත්වයක් නැත. ඔහු රවි කරුණානායක හා කාල් මාක්ස් අනුව යයි. මේ පක්‍ෂ දෙකට ඇතැම්  සිංහලයන් ඡන්දය දෙන්නේ ඔවුන්ගේ විජාතිකත්වය රටට හඳුන්වාදීමට ආණ්ඩුව අසමත්වීම නිසා ය. අද ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නම යෝජනා වන්නේත් උන්වහන්සේට තවමත් ජාතික හැඟීමක් ඇති බව ඇතැම් සිංහලයන් විශ්වාස කරන බැවිනි. ශ්‍රී ල නි පක්‍ෂයට අඩු වැඩි වශයෙන් ගත්කල සිංහලයන්ගේ ඡන්දවලින් 60%ක් පමණ ලැබෙයි. ෆොන්සේකාගේ හා ජ වි පෙරමුණේ ව්‍යාජත්වය හෙළිදරවු කිරීමෙන් හා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මත කටයුතු කර නාස්තිය හා දුෂණ නැතිකර ජනයා පාරිභෝගික ජීවන රටාවෙන් ඈත්කරගෙන ජීවන වියදම අඩුකළහොත් ශ්‍රී ල නි පක්‍ෂයට සිංහල ඡන්දවලින් 80%ක් ලබාගත හැකි වනු ඇත. සිංහල ඡන්දවලින් 88%ක් ලබාගත හැකි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් (3/4 න් 88/100 = 66%) ලබාගැනීමට වුවත් හැකිවනු ඇත. මෙය විහිළුවක් නො වේ. සිංහල නොවන ඡන්ද නැතිව බලයට පත්විය නොහැකි බව පඬියන් කියද්දී සිංහල ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගතහොත් (3/4න් 2/3 = 1/2) බලයට පැමිණිය හැකි බව අපි පෙන්වා දුන්නෙමු. අද ශ්‍රී ල නි ප මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් දේශපාලනික ව ජාතිකත්ව ස්ථාවරයක තහවුරු වී ඇත. පළාත්සභා මැතිවරණයෙන් පෙන්වා දෙන්නේ ඒ තහවුරු වීම ය. කොටින්ගේ පෙරමුණු සංවිධාන 16ක් තහනම් කිරීමෙන් ඒ තවත් ස්ථිර වෙයි. අද කළ යුත්තේ සංස්කෘතික හා ආර්ථික ක්‍ෂෙත්‍රවල ද ජාතිකත්ව මත තහවුරු කිරීම ය.       


නලින් ද සිල්වා

2014-04-06

Friday, 29 March 2013

ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය, නිවටයෝ හා පුස්සෝ - 1

ජෙනීවා නුවර පැවැත්තෙන වාර්ෂික නාඩගම ගැන එදිනෙදා කෙරෙන කතාවල එතරම් වැදගත්කමක් ඇතැයි නො සිතමි. කොටස් වශයෙන් ප්‍රචාරය වන මෙගා ටෙලිනාඩගමක් එංගලන්තයේ හා ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වෙයි. එහි නිෂ්පාදනය බීබීසියේ චැනල් ෆෝ මගින් වන අතර අධ්‍යක්‍ෂණය නවි පිල්ලෙයිගෙනි. අවශ්‍ය ප්‍රතිපාදන එංගලන්ත හා ඇමරිකානු ආණ්ඩුවලිනි. එදිනෙදා කටයුතුවලට වඩා අප සමස්තය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. මෙහි සඳහන් ඇතැම් කරුණු විටින් විට මේ තීරුවේ පළ වී ඇත. නැවතත් ඒ කරුණු සඳහන් කරන්නේ සිංහලයන්ට යමක් තේරුම් ගැනීමට එය කිහිප වරක් කිවයුතු බව මා අත්දැකීමෙන් දන්නා බැවිනි. අද ලෝකයේ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. එහි සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි වන අතර චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි වෙයි. මේ යටත්විජිතවාදයෙහි එකිනෙකින් ස්වායත්ත නොවූ සංරචක තුනක් වෙයි. ඒ සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික යනුවෙනි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මේ අවධියෙහි ප්‍රධාන වන්නේ සංස්කෘතික සංරචකය ය. එය පාසල්, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, ක්‍රිස්තියානි හා කතෝලික පල්ලි, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ආදිය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. කතෝලික චින්තනය පසුගිය සියවස් පහක පමණ කාලයෙහි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසින් පරාජය කෙරී ඇත. අද පාප්වහන්සේ ද කතෝලික චින්තනයට නොව මූලික වශයෙන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට සේවය කරයි. රාජ්‍ය නොවන සංවිධාන යනු තම අධිපතිවාදී මතවාදය විවිධ රටවල ගම් නියම්ගම්වලට ගෙන යෑමට බටහිර රාජ්‍ය විසින් හැටේ දශකයේ දී ආරම්භ කෙරුණු ආයතන වෙයි. ගමක නළ ලිඳක් කැපීම, වැසිකිළි තැනීම ආදී සුභසාධන කටයුතු ද මේ රාජ්‍ය නොවන යැයි කියාගන්නා එහෙත් බටහිර රාජ්‍ය විසින් නඩත්තු කෙරෙන සංවිධාන මගින් සිදුවුව ද ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වනුයේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මතවාද ලෝ පුරා ප්‍රචාරය කිරීමත් ඒ තහවුරු කිරීමත් ය. එක් අතකින් ගත්කල ඔවුන් අතින් කෙරෙන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මුල් යුගයෙහි මීසමෙහි කාර්යය ම ය. රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මේ අවධියෙහි මිෂනාරීන් ය. එදා මිෂනාරි ව්‍යාපාරයෙහි සිටියෝ ක්‍රිස්තියානිහු නැතහොත් කතෝලිකයෝ ය. අද යටත්විජිතවාදීන්ට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල බෞද්ධයන් හා හින්දූන් ද සේවයෙහි යොදා ගැනීමට හැකි වී තිබේ. එසේ වුවත් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන්නන්ගෙන් ක්‍රිස්තියානි හා කතෝලික ප්‍රතිශතය ඔවුන්ගේ ජන ප්‍රතිශතයට වැඩි ය. මේ සංවිධානවලට අමතර ව පල්ලි ද තවමත් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කෙරුණු දැනුම තවදුරටත් ප්‍රචාරය වෙයි. ජනමාධ්‍ය බොහෝ විට වෙන් වී ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රචලිත කිරීමට ය. අද මුළු මහත් ලෝකයට ම විනාශය ගෙන දෙන ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය පරාජය කිරීම අපේ ප්‍රධාන කාර්යය බවට පත් වී ඇත. එහෙත් එය පහසු කාර්යයක් යැයි නොසිතිය යුතු ය. බටහිර අධ්‍යාපනය විසින් බිහිකෙරෙන පුස්සෝ හා නිවටයෝ තමන්ට සමාජයෙන් ලැබෙන ඊනියා වැදගත්කම (පොරත්වය) හා බටහිරයන්ට වැඳ වැටීමෙන් ලබාගන්නා බලය යොදා ගනිමින් බටහිර ආධිපත්‍යය සමග අපට විරුද්ධව ක්‍රියාත්මක වෙති. පුස්සන්ට හා නිවටයන්ට මෙරට තැනක් ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ආධිපත්‍යය හේතුකොටගෙන මිස ඔවුන්ගේ දක්‍ෂතාවක් නිසා නො වේ. පුස්සන්ට හා නිවටයන්ට මොන දක්‍ෂකමක් ද? ඔවුන්ට කළ හැක්කේ බැළ මෙහෙවරකම් පමණ ය.

අද ලෝකයේ ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා වෙනත් චින්තන අතර අරගලයකි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අනෙක් චින්තන, සංස්කෘතීන් දුර්වල කිරීමට හැකිනම් විනාශ කිරීමට කටයුතු කරයි. ඒ අනෙක් චින්තන අතර මුස්ලිම් චින්තනය, රුසියාවේ ග්‍රීක ඕතොඩොක්ස් චින්තනය හා ථෙරවාද චින්තනය වෙයි. ඉන් වඩාත් යුදමය හා දේශපාලන ශක්තියක් ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. බටහිරයෝ මුස්ලිම් චින්තනය මෙන් ම අනෙක් චින්තන ද හැකිනම් විනාශ කිරීමට කටයුතු කරති. මෙරට සිංහල බෞද්ධ චින්තනය විනාශ කිරීමට ඉංගිරිසින් ක්‍රියා කරන්නේ 1798 සිට ම ය. දහනවවැනි සියවසේ දෙවැනි දශකයෙන් පසුව ඉංගිරිසිහු ඒ සඳහා දෙමළ ජාතිවාදය යොදාගනිති. මේ විස්තර යම් ප්‍රමාණයක් ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි. දෙමළ ජාතිවාදය යථා කාලයේ දී දෙමළ ත්‍රස්තවාදයක් කරා විකාශය විය. එහෙත් බටහිරයන් නොසිතූ ආකාරයකට බටහිරයන්ගේ අනුග්‍රහය, ආයුධ හා මූල්‍ය ආධාර ද ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපේ රණවිරුවන්ට හැකිවිය. එහි දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංවිධාන හැකියාවත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයක් විශාල මෙහෙයක් ඉටු කළේ ය. එකල අප දේශපාලන නායකත්වයක් හා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමක් ගැන කියන විට පුස්සෝ හා නිවටයෝ තමන් බටහිරයන්ගෙන් ඉගෙනගත් කසිකබල් දැනුම යොදාගනිමින් අපට සිනහසුණහ. මේ පුස්සෝ හා නිවටයෝ අප නාථ දෙවියන් හා ආසනික් ගැන කියද්දීත් අපට සිනහසුණහ. ඔවුහු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නියෝජිතයෝ ම පමණක් වෙති. ඔවුන්ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර දැනුමට අප දැනුම හසු නො වේ.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි විවිධ ප්‍රභේද වෙයි. දැන් සියවස් කිහිපයක සිට ප්‍රධාන ප්‍රභේදය ඇංග්ලො සැක්සන් සංස්කෘතිය වන අතර එහි වත්මන් ප්‍රධානියා ඇමරිකාව ය. කලින් එහි නායකත්වය දැරුවේ එංගලන්තය ය. අද ඇත්තේ ඔවුන්ගේ ත්‍රස්තවාදයකි. ඔවුහු තමන් විසින් හා අනෙක් බටහිරයන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප, ප්‍රවාද ඇතුලත් දැනුුම ඊනියා විද්‍යාවක හා විද්‍යාත්මක විධික්‍රමයක නාමයෙන් අපට එරෙහිව යොදාගනිති. ඒ දැනුම ඔවුන් සෑමදාමත් යොදාගත්තේ අධිපතිවාදී ව ය. පාසල්වල, විශ්වවිද්‍යාලවල ඔවුහු ඔවුන්ගේ දැනුම අනෙක් දැනුම් මිථ්‍යාවන් බව කියමින් අපට ඉගැන්වූහ. අද ඔවුහු ත්‍රස්තවාදී ව ඒ කටයුත්තේ යෙදෙති. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තම ආධිපත්‍යය පැතිරවීමේ දී යොදාගන්නා ත්‍රස්තවාදී ආයතන වනුයේ බටහිර ජනමාධ්‍ය ය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල බීබීසියේ චැනල් ෆෝ, ඉන්ඩිපෙන්ඩන්ට්, ගාඩියන් ආදී පුවත්පත් එහි දී ප්‍රධාන වෙයි. බීබීසියේ අගුපිලේ ඇති සංදේශය නිවටයන්ට හා පුස්සන්ට රැකියා ලබාදෙන ආයතනයක් පමණකි. ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදීන් මානවඅයිතිවාසිකම් යන්න යොදා ගන්නේ තම සංස්කෘතිය රැකගන්නා අයුරින් ය. එංගලන්තයේ හා ඇමරිකාවේ ජනතාවට ඇති මානවඅයිතියක් නැත. ඒ ජනතාව හිත් පිත් නැති රෑකඩ ලෙස නිවස, රැකියා ආයතනය හා සාප්පු සංකීර්ණවලට සීමා වෙති. මේ රටවල් පවත්වාගෙන යන වධකාගාර ගැන තොරතුරු ඉඳහිට ලෝකයට කාන්දු වෙයි. බටහිරයෝ තම මිත්‍ර රටවල ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා නොකරති. ඒ රටවල ජනතාවට තම ආණ්ඩු හා රාජ්‍ය වෙනස්කිරීමට අයිතියක් නැත. ඔවුන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් අහෝසි කෙරී ඇත. එහෙත් බටහිරයෝ තමන්ට විරුද්ධ රටවල ආණ්ඩු හා රාජ්‍ය වෙනස්කිරීමට නිවටයන් හා පුස්සන් මෙන් ම කුලීකරුවන් ද යොදා ගනිති. නිවටයන්ට. පුස්සන්ට හා කුලීකරුවන්ට බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් ඇත. එසේ ඇත්තේ ඒ රටවල ආණ්ඩුවලට එරෙහිව විවිධ ක්‍රියාවල යෙදීමට ය. ඒ අතර ත්‍රස්තවාදීව ආයුධ පාවිච්චිකිරීම ද වෙයි. බටහිර ආධිපත්‍යයෙහි කුලීකරුවන් වූ දෙමළ ත්‍රස්තාවාදීන්ට ලංකාණ්ඩුවට පමණක් නොව ජනතාවට, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ඝාතන දියත්කිරීමට අයිතියක් විය. ලංකාණ්ඩුව ඒ අයිතිය ඔවුන්ට නොදීම බටහිර බුද්ධිමතුන්ට අනුව මානව අයිතිවාසිකම් කැඩීමකි.

විශේෂයෙන් ම බර්ලින් තාප්පය කඩාදැමීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයත් බොහෝ විට එහි පරිවාර සංවිධානත් ඇංග්ලො සැක්සන් අධිපති සංස්කෘතිය විසින් ඔවුන්ට විරුද්ධ රටවලට එරෙහිව ත්‍රස්තවාදීව යොදාගනු ලැබෙයි. ජෙනීවාහි රැස්වන ඊනියා මානව අයිතිවාසිකම් සමුළුව එවැනි ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වී ඇත. අවුරුදු පතා සෑම රටක් සම්බන්ධයෙන් ම එහි දී වාර්තා හා යෝජනා ඉදිරිපත්වෙයි. එහෙත් ලංකාවේ පුස්සන් හා නිවටයන් මෙන් අනෙක් රටවල තමන්ට අදාළ වාර්තා යෝජනා ගැන කතාකිරීමට පිරිසක් නැත. ලෝකයේ ඉහළම අනුකාරකයන් (පුස්සන් හා නිවටයන්) ඇති රට ලෙස සැලකිය හැකි ලංකාවේ මේ ජෙනීවා ත්‍රස්තවාදයට විශාල ප්‍රසිද්ධියක් දෙනු ලැබෙයි. මේ සමුළුවේ අපට විරුද්ධව ඉදිරිපත්වෙන යෝජනාවලට පිළිතුරු දීම ආණ්ඩුවේ යුතුකමකි. එහෙත් එයට ඇමතිවරුන් සහභාගි කරවීම අවශ්‍ය නො වේ. ඉතා කණිෂ්ඨ නිලධාරීන් පිරිසකට ඒ කටයුත්ත පැවරිය හැකි ය. මේ සමුළුව අප සතපහකටවත් ගණන්ගත නො යුතු ය. මෙරට පුස්සන්ට හා නිවටයන්ට මෙහි දී කළහැකි දෙයක් නැත. මොන යෝජනාව සම්මත කරගත්තත් බටහිරයන්ට ද ඒ සංවිධානය මගින් කළහැකි දෙයක් නැත. එහෙත් මෙයින් කියැවෙන්නේ අප බටහිරයන්ගේ අරමුණ නොසලකා සිටිය යුතු ය යන්න නො වේ. බටහිරයන් මේ එන්නේ මොකාට ද යන්න අප දැනගෙන එයට සූදානම් විය යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ජාතිකත්වයට යොමු වී ඇත්තේ සීමිතව ය. එහි ආර්ථික ප්‍රතිපත්ති ජාතිකත්වයට එරෙහි වෙයි. එහෙත් මේ ආණ්ඩුව බටහිරයන්ට නොනැමී දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ ය. අද රට බෙදී ඇත්තේ මේ සීමිත ජාතිකත්වය හා විජාතිකත්වය අතර ය. සියළු ලිබරල්බාදීහු, මාක්ස්වාදීහු විජාතික දැනුමේ දාසයෝ වෙති. අද ඒ සියල්ලෝ දෙමළ ජාතිවාදීන් සමග ආණ්ඩුවට විරුද්ධව එකතු වෙති. විජාතික බලවේගවල නායකයා වූ රනිල් වික්‍රමසිංහගේ සගයන් අතර මාක්ස්වාදීහු ද රාජ්‍ය නොවන බැළයෝ ද වෙති. ඔවුන්ගෙන් සමහරුන් රනිල් වෙනුවෙන් ආණ්ඩුවට හා ජනතාවට එරෙහිව ජෙනීවා ගොස් ඇත. බටහිර ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදීහු තමන්ට විරුද්ධව ගොස් දෙමළ ත්‍රස්තවාදය පැරදවූ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීමට උත්සාහ කරති. ඒ සඳහා ඔවුන්ට පළමුවෙන් ම මේ ආණ්ඩුව අස්ථාවර කර කඩාදැමීම අවශ්‍ය වෙයි. ඊනියා යුද්ධාපරාධ චෝදනා ඒ සඳහා වෙයි. ප්‍රභාකරන්ගේ පුතාට වෙඩි තැබීමට ත්‍රස්තවාදීහු ඔහු හමුදාවට භාරදුන්නෝ ද? අප මේ ව්‍යාජ චිත්‍රපටි වීඩියෝ ඒවාට හිමි කුණුකූඩයට දමමු. එහෙත් බටහිරයන්ට මුහුණ දීමට සූදානම් වෙමු. ඊනියා මානව අයිතිවාසිකම් ඔස්සේ ආණ්ඩුව වැට්ටවීමට කටයුතු කරන අතර බටහිරයෝ විවිධ වසන්ත අත්හදා බලති. ඒ පූස්සන්ගේ හා නිවටයන්ගේ මගිනි. ඇතැම් භික්‍ෂූන් වහන්සේට නොතේරුණත් අවාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් වැඩි වශයෙන් බිහි කෙරී ඇත්තේ නිවටයන් හා පුස්සන් ය. වසන්ත හේමන්ත බවට පත්වීම නිසා ඔවුන් ඉදිරියේ දී ආර්ථික සම්බාධක පමූණුවනු ඇත.
(13/03/10)

Sunday, 10 March 2013

නමෝ නමෝ මාතා

වරක් එක්තරා ඇමරිකානු විශ්ව විද්‍යාලයක සිසු කණ්ඩායමක් විසින් එහි බලධාරීන් ගෙන් ඉල්ලීමක් කෙරිනි. ඉන්දියාවෙන් පැමිනි උපාධිධාරීන් ගෙනුත් ඇමරිකාවේ ජීවත් වන හින්දු දෙමව්පියන්ගේ දරුවන්ගෙනුත් සමන්විත මේ සිසු පිරිස හින්දු භක්තිකයින් වූ අතර ගණනින් එම විශ්ව විද්‍යාලයේ සැළකිය යුතු ප්‍රතිශතයක් ගනු ලැබිනි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ හින්දු ආගමික උත්සවයක් පැවැත්වෙන එක්තරා දිනයක් විශ්ව විද්‍යාලයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලෙසය. ඉල්ලීම කෙරුනේ අප්‍රසිද්ධියේ වුනත් ඊට ප්‍රතිචාරය විශ්ව විද්‍යාල ප්‍රජාවටම දැනගැනීමට බලධාරීන් විසින් සලස්සවා තිබිනි. මගේ මතකයේ හැටියට කෙටියෙන් ඉන් කියවුනේ මෙවැනි දෙයකි. විවිධ ආගම් හා විවිධ ජාතීන්ට අයත් සිසුවෝ මෙහි ඉගෙන ගනිති. විශ්ව විද්‍යාලය තුල ඇති මේ බහු සංස්කෘතිය අපි අගය කරන්නෙමු. නමුත් මේ සියලු දෙනාගේම ආගම් සඳහා නිවාඩු දින නම් කිරීම ප්‍රායෝගික නොවන බව කණගාටුවෙන් දැනුම් දෙමු. ප්‍රශ්ණය එතැනින් කෙළවර විය. නමුත් ඒ ප්‍රකාශයේ නොකියවුනු දෙයක් තිබිනි. එනම් ක්‍රිස්තියානි සිසුන්ගේ ආගමික උත්සව පැවැත්වෙන දින පමණක් ඔවුන්ගේ ඉල්ලීමකින් තොරව වුනත් එම විශ්ව විද්‍යාලයේ ඒ වනවිටත් නිවාඩු දින බවට පත් කෙරී තිබුන බවය. ක්‍රිස්තියානි ආගමට පමණක් එසේ නිවාඩු දින ලැබුනේ කෙලෙසදැයි සාධාරණය කල යුතු බව එම බලධාරීන් කල්පනා කලේ නැත. හින්දු ආගමික සිසුන් හැරුනු කොට වෙන කිසිම ආගමකට අයත් සිසු පිරිසක් විසින් එවැනි ඉල්ලීමක් කලේ යැයි දැන ගන්නට නැත. එසේ වෙතත් බලධාරීන්ගේ නිර්ණායකය වූයේ ප්‍රායෝගික බව නම් ක්‍රිස්තියානිද ඇතුලු සියලු ආගම් වලට සාධාරණය ඉටු කල හැකි ප්‍රායෝගික විසඳුමක් ගෙන ඒමට ඔවුන් විසින් කටයතු කල යුතුව තිබිනි. එවැන්නක් එහි සිදු නොවිනි. ඒ නිසා ප්‍රායෝගී නොවන බව කීම හුදු ප්‍රයෝගයක් පමණි. පැහැදිලිවම ඔවුන්ගේ ප්‍රකාශයෙන් කියැවුනේ ක්‍රිස්තියානි ආගමට එම විශ්ව විද්‍යාලයේ ඇති තැන වෙනත් ආගමකට නොදෙන බවය. වඩාත් නිවැරදිව කිවහොත් සියලු ආගම් එකසේ සැලකීම මඟින් ක්‍රිස්තියානි ආගමට තිබිය යුතු විශේෂ තැන අවතක්සේරු නොකරන බවය. ක්‍රිස්තියානි රටක ඇති යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් එවැනි ප්‍රතිපත්තියක් දැරීම මට ප්‍රශ්ණයක් නොවේ. ප්‍රශ්ණය බටහිරුන් අනුගමනය කරන ඊනියා බහු සංස්කෘතික ප්‍රතිපත්ති වල සැබෑ ස්වරූපය අපේ උගතුන් තේරුම් නොගැනීමය. ඇමරිකාවේ පසු පෙලේ විශ්ව විද්‍යාලයක ආකල්ප මෙසේ වේ නම් රජ්‍ය මට්ටමේ ඊනියා බහු සංස්කෘතික ආකල්ප ගැන සිතා ගත හැකි විය යුතුය. මේ බව තේරුම් නොගන්නා අපේ උගතුන් අප රටේ ජාතික ගීය දෙමළ බසින්ද ගැයිය යුතුයැයි පවසති. ඉන් සිදුවන්නේ මෙරට සිංහල ජාතියට හිමි විය යුතු තැන අවතක්සේරුවීීම පමණි ඉන් දෙමළ ජාතියට ලැබෙන දෙයක් නැත.

ඇමරිකාවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ සියලු ආගම් වල උත්සව වලට රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලැබේ. ඒ පිළිබඳ කිසි විවාදයක් නැත. බෞද්ධයෝ එය ප්‍රශ්ණයක් කර නොගනිති. ජාතික ගීයට බටහිරුන් දී ඇති වැදගත් කමත් දෙමළ ජාතිවාදීන්ගේ කූට ක්‍රියා කලාපත් නොවන්නට ජාතික ගීය පිළිබඳව පවා සිංහලුන් මීට වඩා ලිහිල් ආකල්පයක් දරනු ඇතැයි මම සිතමි. කෙසේ නමුත් අපට ජාතික ගීයක් ලැබුනේ මෑතකදී බව නොගිනිය හැකි නොවේ. අපි තවමත් ජාතික ගීය යන සංකල්පය අපේ සංස්කෘතියට අවශෝෂණය කරගනිමින් සිටිමු. ජාතික උත්සව වලදී තවමත් එය වාදනය කෙරෙන්නේ බටහිර සංගීත ක්‍රමයටය. එමඟින් ඒ ගීයට වඩා ගාම්භීර බවක් ලැබේද? ජාතික ගීය රණ ගීයක් විය යුතුද? එසේ නම් සිංහලුන්ගේ රණ ගී කෙබඳුද? අපි ජාතික ගීයට ගරු කරන්නේ කෙසේද? භික්‍ෂූන් වහන්සේ ජාතික ගීය පිළිබඳ කුමන පිළිවෙතක් අනුගමනය කළ යුතුද? අපට මෙවැනි ප්‍රශ්ණ ඇත්තේ ජාතික ගීය යන සංකල්පයම අපට ආගන්තුක බැවිනි.

ජාතික ගීය හා ජාතික කොඩිය බටහිරුන් තම රටවල ජාතික රාජ්‍ය ගොඩනඟා ගැනීමේදී ඔවුන් විසින් නිර්මාණය කරගත් සංකේතය. බටහිර රටවලද ඒ සංකේත වලට එතරම් දුර අතීතයක් නැත. බටහිර නොවන අපේ රටවලට මේ සංකේත ලැබෙන්නේ අප ඔවුන්ගේ යටත් විජිතව පැවති නිසා හෝ නැත්නම් සංස්කෘතික බලපෑම් නිසාය. නිදහස ලැබෙද්දී අපි ජාතික ගීයක් තනාගත්තේ සුද්දන්ට එවැන්නක් තිබුන නිසා පමණි. එය හරියට කිතුණුවන් කැරොල් ගායනා කරන විට එය අනුකරණය කරමින් බෞද්ධයන් භක්ති ගී ගායනා කරනවා මෙනි. නමුත් එය බැහැර කල යුතුයැයි මම නොකියමි. ජාතික ගීය ඇසෙන විට අප බොහෝ දෙනෙකුට හිතට අභිමානයක් නෙතට කඳුලක් ගෙන දෙන බව සත්‍යයකි. ඒ නිසා අපේ ජාතික ගීය අපට වැදගත්ය. නමුත් ජාතික ගීයෙන් හා ජාතික කොඩියෙන් සංකේතවත් වන බටහිර රාජ්‍යය ඔවුන් විසින් දකින ආකාරය අප රට ජාතිය දකින ආකාරයෙන් පැහැදිලිවම වෙනස් යැයි මම සිතමි. අපි ඔවුන්ගේ සංකේත භාවිතා කරද්දී ඒ ගැන විමසිලිමත් විය යුතුය.

බටහිරුන්ට ඔවුන්ගේ රජය ඔවුන් සිටියත් නැතත් පවතින දෙයකි. එය වෙනස් නොවන අජීවී වියුක්ත සංකල්පයකි. ජාතික ගීය හා ජාතික කොඩිය ඒ වියුක්ත සංකල්පය සංකේතවත් කරයි. අපට එසේ නොවේ. අපේ රට ජාතිය අපට සාපේක්‍ෂව පවතින සජීවී සංයුක්ත දෙයකි. සිංහලුන්ට තමන්ගේ රට ජාතිය ආගම ජීවන ක්‍රමය ආදිය එකිනෙකින් වෙන කර ගත හැකි දෑ නොවේ. ඒවා එකිනෙක හා බැඳී පවතී. සාපේක්‍ෂබව යනු මේ බැඳී පැවතීමය. සිංහල ජාතිය යනු අහවල් ලක්‍ෂණ ඇති ජන කොටසකැයි වෙන් කර ගත නොහැක්කේ මේ බැඳී පැවතීම නිසාය. අනිත් අතට විවිධ ලක්‍ෂණ ඇති ජන කොටස් පොදුවේ සිංහල යැයි හැඳින්විය හැක්කේද මේ බැඳීම නිසාය. අපේ රජවරුන්ට ඔවුන්ට අවේනිකවූ කොඩි තිබුනි. රටත් රජයත් රජුත් රට වැසියනුත් අතර තිබූ සාපේක්‍ෂබව නිසා එකල රජුගේ කොඩිය රට ජාතියේ කොඩියද වූයේ යැයි සිතිය හැකිය. බටහිරුන්ගේ කොඩි මෙන් නොව රජු වෙනස්වනවිට කොඩියද ඊට සාපේක්‍ෂව රට ජාතියද සජීවී ලෙස වෙනස් වෙමින් වෙනස් කර ගනිමින් පැවතිනි. බටහිරුන්ගේ ජාතික ගී හා කොඩි වලින් සංකේතවත් වන්නේ මිනිසුන්ගෙන් වෙන්ව වෙනස් නොවී පවතින රාජ්‍යයකි. අපේ රට ජාතිය අප සමඟ වෙනස් වෙමින් පවතී. අවුරුදු දෙදහස් ගණනක් සිංහල ජාතිය රැකුණේ මේ සාපේක්‍ෂබව එනම් බැඳීම නිසාය. වෙනස් වීමට වෙනස් කර ගැනීමට ඇති හැකියාව නිසාය. අප මේ බැඳීම බටහිරුන්ගේ සංකේත අනුකරණය කරන්නට ගොස් වෙන්වීමක් කර නොගත යුතුය. අපිට මේ බැඳීම් රැක ගත හැකි නම් අද මේ ගයන ජාතික ගීය නැතිවී බොහෝ කලකට පසුවද සිංහල ජාතිය පවතිනු ඇත.

වංශපුර දේවගේ ජානක

Friday, 30 September 2011

ආණ්ඩුව අස්ථායි කිරීම

මේ ආණ්ඩුව බලයට පත්වූයේත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේත් ජාතිකත්වය මුල්කරගෙන ය. ඒ බව ආණ්ඩුවේ මිතුරෝ මෙන් ම සතුරෝ ද දනිති. එහෙත් අවාසනාවකට ආණ්ඩුවේ සතුරන් ඇත්තේ පිටත පමණක් යැයි නොසිතිය යුතු ය. සතුරෝ පිටත මෙන් ම ඇතුළත ද සිටිති. ආණ්ඩුව වඩාත් ම ප්‍රවේසම් විය යුත්තේ ඇතුළත සිටින සතුරන්ගෙනි. මේ සතුරන්ගෙන් ඇතැමෙක් ජාතිකත්වයට විරුද්ධ වූවෝ වෙති. ඔවුන් අද ආණ්ඩුව ජාතිකත්වයෙන් ඈත්කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙයි. ජාතිකත්වයෙන් ඈත්වූ ආණ්ඩුවකට පැවැත්මක් නැත. ආණ්ඩුව අස්ථායිකිරීමට යොදාගත හැකි ප්‍රධාන ම පිරිස වන්නේ ආණ්ඩුව ඇතුළත සිටින ජාතිකත්වයට විරුද්ධ වූවන් ය.

අද ආණ්ඩුව අස්ථායි කිරීමට අවශ්‍ය කාහට ද? එයට පිළිතුර ඉතා පැහැදිලි ය. ඒ අන් කිසිවකුට නොව ජාතිකත්වයට විරුද්ධ වූවන්ට ය. ජාතිකත්වයට පක්‍ෂ වූවෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙති. අද බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ ද කෙරී ගෙන යන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහි වූ රටවලට (නායකයනට) විරුද්ධ ව කරන සටනකි. එහි ආර්ථික සංරචකයක් ද ඇත. එහෙත් ඒ ප්‍රදේශයේ සිදුවන සියළු කටයුතු ආර්ථිකයට, තෙල් ලිං කිහිපයකට, ලඝු කළ නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිවූ රටවලට විරුද්ධව කරන සටන මෙහෙයවනු ලබන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ රටවල් විසිනි.

ලංකාවේ දැනට තෙල් නැත. තෙල් තිබේ යැයි කීව ද ඒ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්නකු නැත. අද ඇමරිකාව ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව අස්ථායි කිරීමට උත්සාහ කරන්නේ ඒ තෙල් බලාගෙන යැයි නො සිතිය යුතු ය. ආර්ථික වශයෙන් ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ වෙනත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටකට හෝ ලංකාවේ ඇති වැදගත් කමක් නැත. ඒ රටවල් අද ලංකාවට විරුද්ධ වන්නේ ආර්ථිකයට වඩා සංස්කෘතිය හේතුවක් කරගනිමිනි. අප බොහෝ කලක සිට කියන කරුණක් නම් දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ඇතිකරන ලද්දක් වුව ද එය පෝෂණය කර සූරකිනු ලැබුයේ ඉංගිරිසින් විසින් බව ය. ඔවුන් දෙගොල්ලන් ම එසේ කළේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය. අද ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිරයන් හැකිනම් රට රටවල විසිරුණු දෙමළ ජනයා යොදාගැනීමට උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමට ය. එහෙත් එය එතරම් සාර්ථක නොවන බව මේ වන විට බටහිරයන්ට ද අවබෝධ වී අවසන් ය.

එබැවින් ඔවුහු ලංකාවේ ආණ්ඩුව ඇතුළත මෙන් ම පිටත ද සිටින සතුරන් ආණ්ඩුවට විරුද්ධව යොදාගැනීමට උත්සාහ දරති. අවුරුදු දෙසීයකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාත්මක වූ දෙමළ ජාතිවාදී දේශපාලනය, එහි ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට ගෙන ආ සියළු විසඳුම් සමග ම නන්දිකඩාල් කලපුවේ ගිල්වා පරාජය කිරීමෙන් පසු බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුමකට හෝ ඉන්දු ලංකා ගිවිසුමකට හෝ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයකට හෝ තවත් ඉඩක් නැත. ඒ සියල්ල දැන් අහෝසි වී ඇත්තේ හමුදා මෙහෙයුම් යනු අවසාන වශයෙන් ගතහොත් දේශපාලන විසඳුම් නිසාත් ලංකාණ්ඩුවේ හමුදා ලත් ජයග්‍රහණය සමග දැන් වෙනත්් දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක වන නිසාත් ය. හමුදාවේ මෙහෙයුම් ඉතා පැහැදිලිව ම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොලිස් හා ඉඩම් බලතල පැවරීමට එරෙහිව කරන ලද්දක් විය. හමුදාව ඒ මෙහෙයුම් ජයග්‍රහණය කිරීමෙන් පසුව තවදුරටත් පොලිස් බලතල දීම ගැන හෝ දහතුනට එහා යන විසඳුම් ගැන හෝ කතාකිරීම පවා අර්ථ ශූන්‍ය ය. එසේ කිරීම ජීවිත පූජාවෙන් මෙහෙයුම්වලට සහභාගි වූ රණවිරුවන්ට කරන අපහාසයකි.

බටහිරයන් එක් උපක්‍රමයක් පමණක් ඇතිව ලංකාණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරන්නේ යැයි නොසිතිය යුතු ය. ඔවුහු විවිධ අංශ ඔස්සේ විවිධ උපක්‍රම යොදාගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කරති. ආණ්ඩුව අස්ථායි කිරීම සඳහා විවිධ මාර්ග සොයති. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ, එ ජා ප, ඊනියා බුද්ධිමතුන් ආදීන් වශයෙන් ඒ ආයතන හා පිරිස් වෙනස් වෙයි. පසුගිය දා මෙරටට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව භාර (ඔහු කටයුතු කරන්නේ් ඔහුට දකුණු ආසියාව භාර දී ඇතැයි යන පදනමිනි.) ලේකම් බිලේක් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණගැසීමට මහත් උනන්දුවක් ගත්තේ ය. ඩග්ලස් දේවානන්ද මහතා ඔහුට යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණ ගැසීමට අවස්ථාවක් නො සැපයී යැයි කියැවෙයි. එය ඇත්තක් නම් ඩග්ලස් දේවානන්ද මහතාට අපේ ස්තුතිය හිමිවිය යුතු ය. බ්ලේක්ට අනෙක් විශ්වවිද්‍යලයීය ශිෂ්‍යයන් මුණ ගැසුනේ දැයි කීමට නො දෙනිමි. ඔහු යම් අයුරකින් එසේ මුණගැසී ඇත්නම් එය ඉතා භයානක කටයුත්තක් බව අවධාරණය කළ යුතු ය. බ්ලේක් සූදානම් වන්නේ තවත් 1989ක් ඇති කිරීමට ද?

බටහිරයන්ට ආණ්ඩුව අස්ථායි කිරීමට අද ඇති එක් මගක් නම් රටෙහි කැරළි ඇතිකිරීම ය. ආණ්ඩුව ඔවුන්ට එහි දී කිසිදු ඉඩක් නොදිය යුතු ය. ආණ්ඩුවට විරුද්ධව උසිගැන්විය හැකි පහසුම පිරිස තරුණයෝ වෙති. විශ්වවිද්‍යාලවල ද ආයෝජන කලාපවල ද තරුණයෝ වෙති. ආණ්ඩුව මේ ආයතන ගැන වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු ය. මෙහි දී පසුගිය දා කටුනායක ඇති වූ කලබල පිළිබඳව ද අපේ අවධානය යොමු කළ යුතු ය. ජ වි පෙරමුණට ඒ තරුණ තරුණියන් උසිගන්වා ඔවුන් පොලීසියට විරුද්ධව මෙහෙයවීමට හැකි විය. එහි දී එක් තරුණයකු මියගිය අතර ආණ්ඩුව කලබල නොවී කටයුතු කිරීම හේතුවෙන් ජ වි පෙරමුණට තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට නොහැකි විය.

ජ වි පෙ යනු අද වන විට දුර්වල පක්‍ෂයකි. ජාතිකත්වය හමුවේ ඊනියා පැරණි පක්‍ෂවලට අත් වූ ඉරණම අද වන විට වසර පනහකට ආසන්න වයසක් ඇති ජ වි පෙරමුණට ද අත් වී ඇත. එය කැබලි කැබලිවලට කැඩී වෙන්වන තත්වයකට පත් වි ඇත. පසුගිය දා ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන ගුණරත්නම් නමැත්තකුගේ නායකත්වයෙන් න්‍යායික වශයන් දරදඬු වූ ව්‍යාජ විප්ලවවාදීන් පිරිසක් කැඩී ගොස් ඇත. ජ වි පෙරමුණේ අධ්‍යාපනික කටයුතු භාරවී සිටි තැනැත්තා ද කාන්තා සංවිධායකවරිය ද කැඩී ගිය කණ්ඩායමේ වෙති. පක්‍ෂයේ ලංකා පුවත්පත ද මෙහෙයවන ලද්දේ මේ කණ්ඩායම විසිනි. මේ කණ්ඩායම න්‍යායික වශයෙන් නම් එතරම් ශක්තිමත් නොවන බව ඔවුන් ලංූකා පුවත්පතේ පළකරන අනුකාරක ලිපිවලින් ද එක් තැනැත්තකු විශේෂයෙන් ම රුසියන් පොත්වලින් පිටපත් කරමින් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන ලියූ සත පහක් නොවටිනා පොතෙන් ද හෙළිවෙයි. එහෙත් ජ වි පෙරමුණට මේ අන්තවාදී කණ්ඩායම කැඩී යෑම තදින් දැනෙනු ඇත. කැඩී ගිය කණ්ඩායමේ කිසිම ජාතිකත්වයක් නැත. ඔවුහු ඊනියා ජාත්‍යන්තරවාදියෝ වෙති. ටිල්වින් සිල්වාගේ කණ්ඩායම ද තව තවත් ජාත්‍යන්තරවාදී වනු ඇත්තේ කැඩී ගිය අයට තරගයක් දීමට ය. ඔවුන් ඊනියා විප්ලවවාදීන් වී ඇමරිකානුවන්ගේ බළල් අතක් වීම වැළකිය නොහැකි වනු ඇත. මෙහි භයානක ප්‍රතිඵලය වනුයේ ඊනියා විප්ලවය කෙසේ වෙතත් ඇමරිකානුවන්ට ඒ මුවාවෙන් ව්‍යාජ විප්ලවවාදීන්ගේ මානව අයිතිවාසිකම් රැකීමට යැයි කියමින් ලංකාව ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබීම ය.

අද ජ වි පෙරමුණේ ඇතැමුන් එ ජා පක්‍ෂය සමග සම්බන්ධ වී ඇත. කලින් කී කණ්ඩායම වෙන්වීමට ද එක් හේතුවක් වී ඇත්තේ ජ වි පෙ හා එ ජා ප අතර සරත් ෆොන්සේකා වෙනුවෙන් ගොඩනැගූණු සංධානය ය. අද ඇතැම් විශ්වවිද්‍යාලවල එ ජා ප –- ජ වි පෙ ගුරුවරුන් හා සිසුන් එකට වැඩකරනු පැහැදිලිව පෙනෙන්නට ඇත. බ්ලේක් ජ වි පෙ ඔස්සේ ශිෂ්‍යයන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව පෙළ ගැස්වීමට සූදානම් වන්නේ ද? ආණ්ඩුව අස්ථායී කිරීමට හැකිනම්, එ ජා ප පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්‍ෂ වුව ද එයට හිතවත් ගුරුවරුන් ජ වි පෙ සමග උද්ඝෝෂණවලට එකතුවනු ඇත. ආණ්ඩුව මෙහි දී කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙයි. මෙරට ඉතිහාසයේ ජ වි පෙ දෙවැනි ත්‍රස්තවාදයට එළඹුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඔස්සේ ය. අද තත්වය එදාට වඩා බෙහෙවින් වෙනස් වුව ද ආණ්ඩුව ප්‍රශ්නය නිවැරදිව විග්‍රහ කිරීමට සමත් වී නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකට වඩා උපාධිධාරීන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයකි. නිදහස් අධ්‍යාපනය ඔස්සේ උපාධි ලබන අයට ලැබීමට තිබෙන රැකියා යම් ප්‍රමාණයක් වෙනත්් උපාධිධාරීන්ට ලැබීම මෙහි ප්‍රධාන ප්‍රශ්නය ය. නිිදහස් අධ්‍යාපනයේ නාමයෙන් එයට විරුද්ධවීම ගැන එකඟ විය නොහැකි ය. ඇතැම් දක්‍ෂ ආචාර්යවරුන් වැඩි වැටුපට පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට යෑමෙන් එවැන්නන් රජයේ විශ්වවිද්‍යාලවලට අහිමි වේද යන ප්‍රශ්නය ද ඇත. ඒ කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට රජයේ රෝහල්වල හා වෙනත් ආයතනවල පහසුකම් හා කීර්තිනාම මුදල් ගෙවා හෝ නොගෙවා හෝ යෙදාගැනීමට අවසරදීම නම් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට ප්‍රශ්නයක් වනු ඇත. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ කොළඹ විශ්වවිිද්‍යාලයේ උපාධිය මුලින් කී විද්‍යාලයේ උගත් සිසුන්ට ද ලබාදීිම ය. ආණ්ඩුව මේ හා තවත් ප්‍රශ්න ගැන අවධානය යොමුකර සුද්දන් අපට උරුමකර දුන් අධ්‍යාපනයක් විසින් ඇතිකෙරෙන මේ උපාධි –- රැකියා ප්‍රශ්නයට යම් විසඳුමක් දිය යුතු ය. කිසිම අයුරකින් රට අවුල් කිරීමට ජ වි පෙ, එ ජා ප, දෙමළ ජාතික සංධානය යොදාගැනීමට බටහිරයන්ට ඉඩ නොතැබිය යුතු ය.

Saturday, 17 September 2011

ශ්‍රී ල නි පක්‍ෂයට හැට පිරෙයි

ශ්‍රී ල නි පක්‍ෂය ගැන කතාකිරීම 1951න් ඇරඹිය නො හැකි ය. එම පක්‍ෂය පිහිටුවන ලද්දේ ඒ වර්ෂයේ වුව ද මෙරට ජාතිකත්වය අගය කළවුන් ජාතිකත්වයට පටහැණි වුව ද දේශපාලන පක්‍ෂයක් සොයමින් සිටියේ එයට බොහෝ කලකට පෙර සිට ය. ලංකා සමසමාජ පක්‍ෂය 1931 දී පිහිටුවන විට ද 1946 දී එ ජා පක්‍ෂය පිහිටුවන විට ද ජාතිකත්වය අගය කළ ඇතැමුන් ඒ පක්‍ෂවලට බැඳුනේ, එසේත් නැත්නම් හිතවතුන් වූයේ වෙනත් පක්‍ෂයක් නොතිබූ බැවින් බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසුව ජාතිකත්වය අගයන අයට දේශපාලන පක්‍ෂයක් ලැබිණි. එහෙත් මෙරට ජාතිකත්වයට දේශපාලන පක්‍ෂ නො ගැලපෙයි. දේශපාලන පක්‍ෂ ද අපට ලැබුණේ බටහිරිනි. මුලින් ම එංගලන්තයේ පිහිටුවන ලද දේශපාලන පක්‍ෂ අපට ලැබුණේ මාක්ස්වාදය ඔස්සේ ය. ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවන තුරු මෙරට දේශපාලන පක්‍ෂයක් බිහි නොවුණේ ද ජාතිකත්වය නිසා විය හැකි ය. ඒ කුමක් වුවත් අද ශ්‍රී ල නි පක්‍ෂයට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය නම් ජාතිකත්වයට සරිලන දේශපාලන ව්‍යුහ සකස් කරගන්නේ කෙසේ ද යන්න ය. දේශපාලන පක්‍ෂ අපටත් අප වැනි වෙනත් රටවලටත් නොගැලපෙන බව පැහැදිලි ය.

සිංහල ජාතිය පණ්ඩුකාභය රජු දවස බිහිවුණ ද සිංහල බුදුදහම මිහිඳු හිමියන් විසින් සකස් කෙරුණ ද, මෙරට ජාතිකත්වය අපට ලබාදුන්නේ ගැමුණු රජු ය. ගැමුණු රජු ජාතියේ වීිරයා වන්නේ අපට ව්‍යවස්ථාවක් සකස්කර දුන් නිසාත් සිංහල බෞද්ධ රාජ්‍යය තහවුරු කළ නිසාත් ය. එදා සිට ඉංගිරිසින් මෙරට ආක්‍රමණය කරන තුරු ම අප රට කරවනු (රට කරවීම යන්න අපේ සංකල්පය වෙයි. සංවර්ධනය යනු පරිසරයට විරුද්ධ සංකල්පයකි) ලැබුයේ ගැමුණු ව්‍යවස්ථාව අනුව ය. සියළු ජාතික වීරයන් හැඩගැසුණේ ගැමුණු රජු ආදර්ශයට ගනිමිනි. බෞද්ධයකු ලෙස යුද්ධ කරන්නේ කෙසේ දැයි මුළු ලෝකයට ම කියා දුන්නේ ගැමුණු රජු ය. ඉංගිරිසි යටත්විජිත යුගයේ බිහි වූ කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා ආදී ජාතික වීරයෝ ගැමුණු රජුගේ ආභාසය ලත් අය වූහ. ඔවුහු අපේ නායකයෝ වූහ. එහෙත් ඉන් පසු අපට නායකයන් ලබාදුන්නේ ඉංගිරිසින් විසිනි. මුල් කාලයේ අපට ලැබුණේ සංස්කෘතියෙන් මෙන් ම ආගමෙන් ද ක්‍රිස්තියානි වූ බර්ගර් ජනවර්ගයට අයත් නායකයන් ය. ඔවුහු ඊනියා ලාංකික ජාතියක් ගොඩනැගීමට වෑයම් කළහ. ඔවුන්ට පසුව ලාංකික ජාතියේ නායකයන් වූයේ දෙමළ වෙල්ලාලයන් ය. ඉංගිරිසි කතාකරන සිංහල නායකයන්ට ඉංගිරිසි ආණ්ඩුවෙන් හිමිවූයේ තුන්වැනි තැන ය.

දහනවවැනි සියවසේ අගභාගයේ දී සිංහල බෞද්ධයෝ 1848 නිදහස් අරගලයෙන් පසුව නැවත වරක් සංවිධානය වූහ. එහි ගිහි නායකයා වූයේ අනගාරික ධර්මපාලතුමන් ය. එහෙත් වැඩිකල් එතුමන්ට ඒ අරගලය කරගෙන යෑමට නොහැකි විය. ඇමරිකාවෙන් පැමිණි ඕල්කට්තුමා ප්‍රමුඛ පරම විඥානාර්ථවාදියෝ ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය ඩැහැගෙන ගසා කෑවෝ ය. ධර්මපාලතුමා ඉන්දියාවට ගිය අතර ඕල්කට් බුද්ධාගම මෙරට උගත් බෞද්ධයන් අතර තහවුරු විය. ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඒ අතර ඕල්කට් බුද්ධාගමේ නායකයන් ලෙස පළමුව ඩී බී ජයතිලක මහතා ද පසුව සේනානායකවරුද ඉදිරියට පැමිණියහ. ඔවුන්ට මුල දී ඉංගිරිසින් අතර හෝ රටේ ජනතාව අතර හෝ තැනක් නො වී ය. එහෙත් ඕල්කට් බුද්ධාගමේ පිහිටෙන් ඔවුහු සිංහලයන් අතර නායකත්වයට පත්වූහ. සේනානායකවරු තමන්ට මුල දී උපකාර කළ ඩී බී ජයතිලක මහතා පසුව ඉන්දියාවට යැවීමට සමත්වූහ.

ජාතික ව්‍යාපාරය යට ගියේ ය. ඕල්කට් බෞද්ධයන්ට රටේ නායකත්වය හිමි විය. එයට සර්වජන ඡන්දය ඉහළින් ම බලපෑවේ ය. බොහෝ ජාතිකවාදීහු මාක්ස්වාදයේ යටත්විජිත විරෝධයට ද ඕල්කට් බෞද්ධයන්ගේ අමද්‍යප ව්‍යාපාරය වැනි ව්‍යාපාරවලට ද රැවටුණහ. එහෙත් එසේ නොරැවටුණු ජාතිකවාදීහු විශාල ප්‍රමාණයක් මෙරට වාසය කළහ. ඔවුහු නායකයකු සොයමින් කල් ගත කළහ. සිංහල ජාතිකවාදය දෙමළ ජාතිකවාදය මෙන් නොව පහත සිට උඩට ක්‍රියාත්මක වෙයි. නායකයා පැමිණ අනුගාමිකයන් පිරිසක් ඇතිකර ගැනීමක් මෙහි දී සිදු නො වේ. මාක්ස්වාදී පක්‍ෂ ගැන මෙන් ම එ ජා පක්‍ෂය සම්බන්ධයෙන් ද කිව හැක්කේ නායකයන් අනුගාමිකයන් සොයාගත් බව ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය එසේ නො වී ය. බණ්ඩාරනායක මහතා එ ජා පක්‍ෂයෙන් අස් වී ශ්‍රී ල නි පක්‍ෂය ආරම්භ කල සැණින් ජනතාව ඒ වටා රොක් නො වූහ. සිංහල ජාතිකවාදීහු බණ්ඩාරනායක මහතාට කල් දුන්හ. එතුමාට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්කර ගැනීමට කල් දුන්හ. බණ්ඩාරනායක මහතා 1952 දී මහා මැතිවරණය තරඟ කළ අවස්ථාවේ දී එතුමාගේ ශ්‍රී ල නි පක්‍ෂයට එතරම් ආසන සංඛ්‍යාවක් නො ලැබිණි. ල ස ස පක්‍ෂයට ලැබුණු ආසන සංඛ්‍යාව ම ශ්‍රී ල නි පක්‍ෂයට ද ලැබිණි. එහෙත් 1953න් පසුව ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය වෙනස් විය. ශ්‍රී ල නි පක්‍ෂය ඉන් පසු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු ය යන ප්‍රතිපත්තිය අනුගමනය කළේ ය.

ශ්‍රී ල නි පක්‍ෂය වටා සිංහල ජාතිකත්වය එක්වීමට පටන් ගත්තේ ඉන් පසුව ය. මින්නේරිය ආසනයේ පැවති අතුරු මැතිවරණයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ජයගත්තේ ය. ඉන් පසු පරාජයට වඩා ජය ශ්‍රී ල නි පක්‍ෂයේ උරුමය විය. මට තේරුම් යන අයුරින් ශ්‍රී ල නි පක්‍ෂයේ භාෂා ප්‍රතිපත්තිය සකස්් කරවීමට සිංහල ජාතිකත්වය සමත් විය. 1956 මේ සියල්ලෙහි එක්තරා උචිචස්ථානයක් විය. ශ්‍රී ල නි පක්‍ෂයට විප්ලවකාරී සමසමාජ පක්‍ෂය භාෂා පෙරමුණ ආදී පක්‍ෂ එකතුවීමෙන් ම එ පෙ නම් සංවිධානය බිහිකරනු ලැබිණි. 1954 දී පමණ සිංහල ජාතිකවාදීහු ඩඩ්ලි සේනානායක මහතා හමුවී සිංහල ජාතිකත්ව පක්‍ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටියහ යැයි කියැවෙයි. එහෙත් හර්තාලයෙන් බැට කා සිටි ඩඩ්ලි සේනනායක මහතා ඒ අවස්ථාවේ දී බණ්ඩාරනායක මහතාට ආරාධනය කරන ලෙස සිංහල ජාතිකවාදීන්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ල නි පක්‍ෂයට ක්‍රම ක්‍රමයෙන් සිංහල ජාතිකවාදීහු ගොනුවූහ. එහි දී සිංහලයන් මෙන් ම මුස්ලිම් ජනයා ද දෙමළ ජනයා ද ශ්‍රී ල නි පක්‍ෂයට බැඳුණු බවත් අදාළ ජන අනුපාතවලින් ඒ බව හෙළිදරවු වන බවත් සඳහන් කළ යුතු වෙයි. කෙසේ වෙතත් 1956 වන විට සිංහල ජාතිකත්වයේ අවශ්‍යතාව ශ්‍රී ල නි පක්‍ෂය ඔස්සේ ඉටු කර ගැනීමට ජාතිකවාදීහු සූදානම් ව සිටියහ. ඒ සූදානම මහජන එක්සත් පෙරමුණ දක්වා පුළුල් විය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයට හෝ මහජන එක්සත් පෙරමුණට හෝ ජාතිකත්වය මත ගොඩනැගුණු ප්‍රතිපත්ති මාලාවක් තිබිණි යැයි කිවහැකි නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට හිසක් නොමැති වී යැයි ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ නිසා විය හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිය ජාතිකත්වය, යටත්විජිත විරෝධය, බටහිර ලිබරල්වාදය හා මාක්ස්වාදී සමාජවාදය මතුපිටින් මුසුකර ගැනීමෙන් සකස් විය. ඒ හේතුවෙන් ම එහි පරස්පර හා අවිනිශ්චිත භාවයන් විය. අවාසනාවකට සිංහල ජාතිකත්වය යන්න පිළිබඳව ද ජාතිකවාදීන්ට ද නිශ්චිත පැහැදිලි හැඟීමක් නො වී ය. සිංහල බෞද්ධ ජාතිකත්වයෙහි දේශපාලන පක්‍ෂ තිබිය නොහැකි බව බොහෝ ජාතිකවාදීනට ද අවබෝධ නො වී ය. පක්‍ෂ නොතිබීම ඒකාධිපතිවාදයට අත වැනීමක් ලෙස අනුරාධපුර යුගයේ වැඩවසම් සමාජයක් දකින පඬියන් ප්‍රකාශ කරනු ඇත. මාක්ස්වාදී සමාජවාදය සිංහල ජාතිකත්වයට නුහුරු වූවක් නොවන බව ඇතැමුන් කියා සිටියේ බටහිර කෙටිකතාව හා ජාතක කතාව අතර සාම්‍යයක් දුටු පදනමෙන් මිස ගැඹුරෙන් ඒ ගැන කරන ලද හැදෑරීමකින් පසුව නො වේ. මාක්ස්වාදී සමාජවාදය හා සිංහල බෞද්ධ ජාතිකත්වය යා දෙක නොරත රත සමග පෑහීමක් නොවන අයුරින් වෙයි. ජනසතුව යනු රාජ්‍ය සතුවක් මිස ජනභාරකරත්වයක්වත් නොවන බව අදත් බොහෝ අයට නො තේරෙයි.

කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතාගේ හා මහත්මියගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මෙරට ජාතිකත්වයට යම් සේවයක් ඉටුවිණි. එය නැතිකර ශ්‍රී ල නි පක්‍ෂය පීලිපන්නවා විජාතිකත්වයට සේවය කරන පක්‍ෂයක් ලෙස සකස්කිරීමේ අවශ්‍යතාව මෙරට සතිඅන්ත කසිකබල් පුවත්පතක කතුවරයකුට හා තවත් අයට තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් ආණ්ඩුවේ වෙති. බණ්ඩාරනායක යුවළගේ දරුවකු වුව ද පනස්හයේ දරුවකු නොවූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එංගලන්තයෙන් මෙරටට ආනයනය කරනු ලැබුයේ ඒ අවශ්‍යතාව පරිදි ය. ඇය සිංහල බෞද්ධ විරෝධී ස්ත්‍රියකි. විජය කුමාරතුංග මහතා ද එසේ ම විය. ඔවුන් බලයේ සිටි කාලය ශ්‍රී ල නි පක්‍ෂයේ දුර්දාන්ත කාල පරිච්ඡෙදයක් විය. එහෙත් ජාතිකවාදීන්ට මේ බලවේග පරදවා 1951 දී බණ්ඩාරනායක මහතා සමග එ ජා පක්‍ෂයෙන් ඉවත් වූ ඩී ඒ රාජපක්‍ෂ මහතාගේ පුතකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයා බවටත් රටේ නායකයා බවටත් පත්කිරීමට හැකි විය. ශ්‍රී ල නි පක්‍ෂයට හා සන්ධානයට වෙනත් කිසිවක් නැතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අතිමහත් ගෞරවය හිමිවෙයි. හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ජාතික බලවේගවල නායකත්වයෙන් රට නැවතත් එක්සේසත් කිරීමේ ගෞරවය ශ්‍රී ල නි පක්‍ෂයේ ද නායක මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවෙයි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ අනෙක් බොහෝ දෙනකුගේ ක්‍රියාකාරකම් පිළිබඳ ව අපට කිසිසේත් ම සෑහීමකට පත්විය නො හැකි ය. මහා පරිමාණයේ දුෂණ ගසාකෑම් පක්‍ෂයේ ඇතැමුන් අතින් සිදුවෙයි. අද රට කරවනුයේ ජාතිකත්වය මත පිහිටා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය යටතේ විජාතික බලවේගවලට රට සූරාකෑමට ඉඩ දීම පංචානන්තරීය පාපකර්මයක් ලෙස සැලකිය හැකි ය. හැට පිරෙන මේ මොහොතේ පක්‍ෂය බටහිර සංවර්ධන ආකෘතියට නොව රට කරවීමට යොමු විය යුතු ය.

Saturday, 10 September 2011

වෙන්වී සිටින දෙමළ ජනයා සිංහල ජාතියට බඳවා ගනිමු

සිංහලයන් හා සුලු ජාතීන් අතර සම්බන්ධකම් අද පලුදු වී ඇත. විශේෂයෙන්ම දෙමළුන් හා සිංහලුන් අතර පෙර තිබූ සුහදතාව නැති වෙන්නට ආසන්නතම හේතූව දෙමළ ජාතිවාදී දේශපාලනයත් ඉන් බිහි වූ ත්‍රස්තවාදයත් බව පැහැදිලිය. විටින් විට ඇතිවූ අසූතුනේ ජූලි කලබළය වැනි අවස්ථාවාදී ප්‍රචන්ඩ ක්‍රියාද මෙයට හේතු වුන බව අප පිළිගත යුතුය. නමුත් ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් ගේ අනුග්‍රහයත් අනුබලයත් ලැබි දෙමළ ජාතිවාදී දේශපාළණය නොතිබෙන්නට මෙරට වාසය කරන සිංහලුන්ට සහ දෙමළුන්ට ඔවුනොවුන් සමග සමගි සමාදානයෙන් ජීවත් වීමට ඉඩ තිබිනි...

Sunday, 3 April 2011

ලංකාව ජාතිකත්ව මගේ ඉදිරියට ම

පළාත් පාලන ආයතන සඳහා පැවති මැතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජාතිකත්ව ප්‍රතිපත්ති ජයග්‍රහණය කර ඇත. පසුගිය සමයේ ජීවන වියදම තරමක් වැඩිවීම හේතුවෙන් එ ජා පක්‍ෂය පළාත් පාලන ආයතන රාශියක් ජයග්‍රහණය කරනු ඇතැයි ඇතැමිහු සිතුහ. එහෙත් ඒ එසේ නො වී ය. එ ජා පක්‍ෂයේ ඡන්ද පදනම අද වන විට සියයට තිහක් පමණ වෙයි. එ ජා පක්‍ෂයට වාසි වෙිය යන බලාපොරොත්තුවෙන් ඇතැමි විශ්වවිද්‍යාලවල හා වෙනත් ආයතනවල ෆෙඩරල්වාදී එ ජා ප, ජ වි පෙ හා ඊනියා ස්වාධීන වාම පිරිස් නිල නොවන වශයෙන් වුව ද සංධානගත වනු පෙනෙන්නට තිබිණි. මෙය කලක සිට ඒ ආයතනවල දක්නට ඇති ප්‍රවණතාවක කූට ප්‍රාප්තිය විය. එහෙත් දැන් එළඹ ඇත්තේ එවැනි නිල නොවන සංධානවල බහින කලාව ය.

ජනතාවගේ ජීවන බර අඩුකිරීමට පියවර ගැනීම ආණ්ඩුවක වගකීම හා යුතුකම වෙයි. එහෙත් ඒ සියල්ලට ම වඩා ආණ්ඩුවක වගකීම හා යුතුකම වනුයේ රාජ්‍යය රැකගැනීම ය. ජනතාවගේ ස්වෛරීභාවය පළුදු නොවන තැනට සියළු කටයුතු කිරීම ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ඒ යුතුකමි හා වගකීමි උපරිමයෙන් ඉටුකර ඇත. ඇතැමි ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, සංවිධායකවරුන්ගේ පමණක් නොව ඇතැමි හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ ක්‍රියා ජනතාව විසින් අනුමත නොකෙරුණත් ඒ සියල්ල අමතක කර ජනතාව නැවතත් වරක් මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක්රොක් වූහ. ඒ එක් රොක් වූයේ ජාතියේ ස්වෛරිභාවය රැකගැනීමට ය. මෙරට වෙනත් කිසිම නායකයකුගෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පමණට ජාතියේ ස්වෛරීභාවය නොරැකෙන බව ජනතාව දනිති. අද මෙරට ජනතාව දශක ගණනාවකට පසුව ජාතිය පිළිබඳ මහත් අභිමානයක් ඇති කරගෙන සිටිති. හයවැනි පරාක්‍රමබාහු රජුට පසුව විජාතික ආක්‍රමණයකට එරෙහිව ලංකාව ලැබූ විශිෂ්ටත ම ජයග්‍රහණය ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙනි. එවැනි ජයග්‍රහණයක් ලබාදුන්නකු පොල්ගෙඩියකට හෝ අල කිලෝවකට හෝ පරාජය කිරීමට මෙරට ජනතාව කටයුතු කරාවි යැයි එ ජා පක්‍ෂය, ජ වි පෙ හා ඊනියා වමුන් බලාපොරොත්තු වූයේ නමි එයින් කියැවෙන්නේ ඒ නායකත්වවල තකතීරුකම මිස අනෙකක් නො වෙි. එහෙත් මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුව ජනතාවගේ ජීවන බර ගැන නොසැලකිලිමත් විය යුතු බව නො වෙි. බටහිර මාදිලියේ ඊනියා සංවර්ධනය පසෙක ලා අපේ සංස්කෘතිය මත පදනමි ව නිවී සැනහිල්ලේ ජීවත්විය හැකි සමාජයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු ය. එවිට අපට ආසියාවෙි නොව ලෝකයේ ම ආශ්චර්යය බවට පත්විය හැකි ය.

දෙමළ කොටි ත්‍රස්තවාදය විජාතික ආක්‍රමණයක් ලෙස අප විසින් හැඳින්වෙන්නේ එය ඉංගිරිසින් විසින් ඇතිකරන ලද්දක් බැවිනි. ලන්දේසීන් විසින් දුමිකොළ වගාව සඳහා කෝරමණ්ඩළ වෙරළින් ගෙනෙනු ලැබු කෘෂිකාර්මික කමිකරුවෝ හෙවත් වෙල්ලාලයෝ යාපන අර්ධද්වීපයේ එවකට ජීවත් වූ සිංහල බහුතරය යටත්විජිතවාදීන්ගේ අනුග්‍රහය යටතේ දෙමළකරණයකට භාජනය කළහ. වෙල්ලාලයන් හින්දු කුල පීඩනයේ ඉහළම කුලය නියෝජනය කළ අතර දෙමළ සංස්කෘතිකකරණයකට භාජනය වූ යාපනයේ සිංහලයෝ දෙමළ සමාජයේ කෝවියාර් නලවාර් වැනි ඊනියා අඩු කුල බවට පත්වූහ. සාමාන්‍යයෙන් හින්දු සමාජයේ ඉහළම කුලය බ්‍රාහ්මණයන්ගෙන් සමන්විත වන නමුත් ලංකා දෙමළ හින්දු සමාජයේ වෙල්ලාලයන් ඉහළම කුලය බවට පත්වූයේ ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කෘෂිකාර්මික කමිකරුවන් ගෙන්වීමට මිස බ්‍රාහ්මණ පූජකයන් ගෙන්වීමට නොවූ බැවිනි. කෙසේ වෙතත් එසේ ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාලයෝ ඉංගිරිසින් විසින් ඊනියා ලාංකික සමාජයේ ඉහළට ම ඔසවනූ ලැබූහ. එපමණක් නොව ඔවුහු සිංහල බෞද්ධයන්ට විරුද්ධව ඉංගිරිසින් විසින් යොදාගනු ලැබූහ. අද ද ඉංගිරිසි කතාකරන වෙල්ලාලයෝ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ට විරුද්ධව යොදා ගැනෙති. දෙමළ ජාතිවාදය විජාතික ආක්‍රමණයක් වනුයේ ඒ නිසා ය. මෙරට සිටින ඊනියා වමුන් හා ලිබරල් යැයි කියාගන්නා පඬියන් අමතක කරන්නේ ද ඒ කරුණ ය.

ඇතැමි පඬියන්ට නොතේරුණ ද, ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එයට ප්‍රධාන හේතුව සිංහල ජාතිකත්වය පහළින් තීරණය වී ඉහළට යන ප්‍රපංචයක් වීම ය. සිංහලයෝ අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ විජාතික ආක්‍රමණවලට එරෙහිව සටන් කර පන්නරයක් ලැබූහ. ඔවුන්ගේ යටත්විජිත විරෝධය කාල් මාක්ස්ගේ කිසිදා වලංගු නොවූ පොතපත ඇසුරෙන් නිර්මාණය වූවක් නොව මහවංසය හා ගැමුණු රජතුමා ඔස්සේ ගොඩ නැගුණකි. සිංහල බෞද්ධයෝ තමන් බුදුසසුනේ ආරක්‍ෂයන් ලෙස සලකති. ඒ මහාවංසය හා ගැමුණු රජතුමා විසින් ලබාදුන් සංකල්ප හා අරමුණු ඔස්සේ ගොඩ නැගී ඇත. මාක්ස්ගේ කවදාවත් සැබෑ නොවුණු සිහිනයක් වූ ද, ආර්ථිකවාදී යටත්විජ්ිතවාදී බයිලා මත පදනමි වූ ද, ඊනියා කමිකරු පංති විප්ලවය හා සමාජවාදය සිංහලයන් විසින් ප්‍රතික්‍ෂෙප කෙරෙන්නේ එය කිසි දිනෙක ඉටු නොවන්නක් නිසා පමණක් නො වෙි. සිංහලයෝ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයෝ එය පදනමි වී ඇති කසිකබල් භෞතිකවාදය හෙවත් ද්‍රව්‍යවාදය ද ප්‍රතික්‍ෂෙප කරති. මාක්ස්වාදය අද ඇත්තේ තමන්ට සමාජයේ වැදගත්කමක් බලාපොරොත්තු වන හීනමානයෙන් හැරෙන්නට වෙනත් දෙයකින් නොපිරුණු හිස් ඇත්තන්ගේ හිස්වල ය. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් පුරා ගොඩනැගුණු ජාතිකත්වයක් ඇති සිංහලයෝ 1506න් පසු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට ද එරෙහිව සටන් කරති. සාමිප්‍රදායික නායකයන් ඝාතනය කෙරුණුු විට ඔවුහු පුරන් අප්පු ගොංගාලේගොඩ බණ්ඩා ආදීන් නායකත්වයට පත්කරගෙන සටන් කළහ.

බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවනු ලැබුයේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එහෙත් වැඩිකල් නොගොස් ම ඒ පක්‍ෂය සිංහලයන් විසින් ජනතාකරණයට ලක්කෙරිණි. ඉන්පසු සාධාරණ වශයෙන් ගත්කල ඒ පක්‍ෂය මෙහෙයවනු ලැබුයේ සාමාන්‍ය සිංහලයන් විසිනි. බොහෝ විට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්කරනු ලැබුයේ එකී සාමාන්‍ය ජනයාට අවශ්‍ය ලෙස ය. අනූවෙි දශකයේ දී ඒ තත්වය වෙනස්කිරීමට කසිකබල් මාක්ස්වාදයේ ආභාසය ලැබූ ඇතැමි පුවත්පත් කතුවරුනට හා දේශපාලනඥයන්ට අවශ්‍ය විය. ඔවුන් එංගලන්තයේ ජීවත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බටහිරයන්ගේ අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගත්තේ හැකිනමි ශ්‍රී ල නි පක්‍ෂය උඩින් වෙනස්කර දෙමළ ජාතිවාදයට ෆෙඩරල් රාජ්‍යයක් ලබාදීමට ය. අවුරුදු දහතුනක් පමණ වලිකෑමෙන් පසුවත් ඔවුන්්ට තමන්ට අවශ්‍ය දේ කරගත නොහැකි විය. අවසානයේ දී පක්‍ෂයේ නායකත්වය අනූවෙි දශකයේ දී ම එය හිමිවිය යුතුව තිබූ මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබිණි. ඉහත සඳහන් අය නොවන්නට ප්‍රභාකරන් හා දෙමළ කොටි ත්‍රස්තවාදය පැරදවීම අවුරුදු දහයකින් පමණ ඉක්මන්වීමට තිබිණි. බණ්ඩරනායක මහතාගේ හා මහත්මියගේ දියණියන් කිසි දිනෙක තම දෙමවිපියන්ගෙන් කිසිවක් ඉගෙන ගැන නැත. ඔවුන් කෙළේ තම දෙමවිපියන්ගේ නමි ගසා කා දේශපාලන බලය අත්පත් කරගැනීමට කටයුතු කිරීම ය. ඔවුන් ඉගෙනගත්තේ සිංහල බෞද්ධ විරෝධීන් වූ රූපසිංහලා, කුමාරතුංගලා, සරවනමුත්තුලා ආදීන්ගෙනි.

ජ වි පෙ ගැන තවදුරටත් කතාකිරීමෙන් වැඩක් නැත. අද ජාතිකත්වයට පිටුපා කටයුතු කරන එය ෆෙඩරල්වාදී තවත් ත්‍රිරෝද පක්‍ෂයක් පමණකි. එයට අද යමිතමින් වුවත් පැවැත්මක් ඇත්තේ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයකු හෝ සමගින් එ ජා ප හා සන්ධානයක් ඇතිකර ගැනීමෙනි. විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයෙහි දැනටමත් ඒ කාර්යය කෙරෙමින් පවතියි. ඔවුන් ඉතාමත් මුග්ධ නමි නුදුරු අනාගතයේ දී ආණ්ඩුවට විරුද්ධව ෆෙඩරල්වාදීන්ගේ රැල්ලක් මතුකර ගැනීමට ගොස් විශ්වවිද්‍යාලවලට දැනට තිබෙන සීමිත ස්වාධීනත්වය ද නැතිකර ගනු ඇත. ජ වි පෙ කලක් කැඳ කෝප්ප සටන් යැයි කියමින් වෘත්තීය සමිති ක්‍රියා හෙළා දැක්කේ අපේ පෝෂ්‍යජනක ආහාරයක් වූ කැඳවලට ද නිගා කරමිනි. ඔවුන් අද ඇතිකිරීමට යන්නේ සුප් කෝප්ප සටන් දැයි නො දනිමි. එ ජා පක්‍ෂයේ යමි ජාතිකත්වයක් වෙනුවෙන් ඉදිරිපත් වුව ද ඒ සඳහා කැපවීමක් කළ නොහැකි සජිත් ප්‍රේමදාස පක්‍ෂයේ නියෝජ්‍ය නායක පදවියක් ලබා රනිල් වික්‍රමසිංහගේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ව්‍යාපෘතියට යටවිය. සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය ඒ සමග අවසානයකට එළඹිනි. ඔහු ද කරු ජයසූරිය ද එ ජා පක්‍ෂයේ ව්‍යාජ ජාතිකත්වයක් නියෝජනය කරමින් ජීවිතාන්තය තෙක් නියෝජ්‍ය නායකයන් පමණක් වනු ඇත. උතුරේ හා නැගෙනහිර ප්‍රතිඵලවලින් ද යමි සාධනීය අංග මතුවිණි. එකල චෙල්වනායගමි නමි ක්‍රිස්තියානි ගාන්ධිවාදියා ගාන්ධි අනුව ගොස් ඊනියා අහිංසා ක්‍රියාදාමයක් මගින් දෙමළ කතාකරන අහිංසක දෙමළ හින්දු ජනයා සිංහල බෞද්ධයනට විරුද්ධව උඩින් මෙහෙයවීම ඇරඹී ය. එතෙක් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයෙහි යෙදී සිටියේ ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන් ය. ඔවුහු ආගමෙන් කෙසේ වෙතත් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වූහ. චෙල්වනායගමි හතළිස් ගණන්වල ආරමිභ කළ ක්‍රියා මාර්ගය අවුරුදු තිහකින් (පරමිපරාවකින්) පසුව හැත්තෑවෙි දශකයේ ඵල දැරී ය. ප්‍රභාකරන් හා උමා මහේස්වරන් එහි ප්‍රතිඵල විය. වෙල්ලාල නොවන හින්දු ජනයා සිංහල බෞද්ධයනට මෙන් ම වෙල්ලායන්ට ද විරුද්ධව ප්‍රභාකරන් යටතේ සටන් කළහ. වෙල්ලාල වූ උමා මහේස්වරන් බොරු වමක් නියෝජනය කළේ ය. ප්‍රභාකරන් ජයගත්තේ සිංහල බෞද්ධයනට මෙන් ම වෙල්ලාලයනට ද විරුද්ධ වෙමිනි. ප්‍රභාකරන් පැරදවීමට තවත් වසර තිහක් ගතවිය. ඒ අවුරුදු හැටෙි තම ආකල්ප සකස්කර ගත්තෝ දෙමළ රාජ්‍ය පක්‍ෂයට තවමත් ඡන්දය දෙති. එසේ වුවත් සංධානයට ඡන්දය දීමට දෙමළ ජනයා ඉදිරිපත්වීම සාධනීය වෙි. අද කළ යුත්තේ මීළඟ දෙමළ පරමිපරාව තව තවත් ජාතිකත්වයට දිනා ගැනීම ය.