Main Logo

Showing posts with label අයින්ස්ටයින්. Show all posts
Showing posts with label අයින්ස්ටයින්. Show all posts

Wednesday, 29 January 2014

පොල් ගෙඩියේ විහිළුව


පසුගිය විසිතුන්වැනි දා චින්තන පර්ෂදය විසින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු මැයෙන් මහනුවර දී පවත්වන ලද රැස්වීමට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා නො පැමිණියේ ය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මුලසුනෙහි වැඩ සිටි ඒ රැස්වීමට පැමිණ වාදයකට සහභාගි වීමට ඒ මහතා චින්තන පර්ෂදය වෙනුවෙන් ඒ මහතාට ආරාධනය කළ අයට මුල දී කැමැත්ත දී තිබුණ ද පසුව තම මතය වෙනස් කරමින් රණ්ඩු වීමට අකමැති බැවින් රැස්වීමට සහභාගි වීමට නොහැකි බව පවසා ඇත. ගෞරවනීය භික්‍ෂූන් වහන්සේ කෙනකු මුලසුනෙහි වැඩසිටින රැස්වීමක රණ්ඩු වීමට අවශ්‍ය කාහට ද යන්න ඒ මහතා දැන සිටින්නට ඇත. අපි නම් එවැනි රැස්වීමක දී මුලසුනෙහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේගේ ගෞරවය ආරක්‍ෂා කරමින් මුලසුනට අවනත වන්නෙමු.

ඒ මහතා ඒ රැස්වීමට අඩුම තරමෙන් අසන්නකු ලෙස සහභාගි විණි නම් බොහෝ දේ ඉගෙනීමට තිබිණි. එහෙත් පසුව රැස්වීමෙහි පටිගත (වීඩියෝ) කරන ලද සම්පූර්ණ වාර්තාවක් කාලය වෙබ් අඩවියෙහි (www.kalaya.org) ඇතුළත් කිරීමට කටයුතු කරන බැවින් එමගින් අමරතුංග මහතාට තම දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාව පමා වී නමුත් ලැබෙනු ඇත. ඒ මහතා බොහෝ මහාචාර්යවරුන්ගෙන් වෙනස් නො වේ. යමක් තේරුම් ගැනීමට ඔවුන්ට බොහෝ කලක් ගතවන බව අවුරුදු පනහක අත්දැකීමෙන් මම දනිමි. අමරතුංග මහතාට ද කාලෝ ෆොන්සේකා මහතාට ද කාළාම සූත්‍රය වටහා ගත නොහැකි වී ඇත. අවශ්‍ය නම් ඒ මහත්වරුන්ට සනත් කරුණාරත්න මහතා ලියා ඇති කාළාම සූත්‍රය හා චින්තන නිදහස යන පොත කියවා බුදුන් වහන්සේ කාළාමයනට විඤ්ඤූන් අනුගමනය කිරීමට කී බව දැනගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් මා ද අවුරුදු විසිපහකට පමණ පෙර දිවයින පුවත්පතට ලියා ඇති නමුත් ඒ මහත්වරුන් මගෙන් යමක් දැනගැනීමට වඩා වෙනත් අයකුගෙන් දැනගැනීමට කැමතිවනු ඇත.

අමරතුංග මහතාගේ ජනවාරි 1, 8, 15 ලිපිවලට පිළිතුරු දීම පමාකර අපි ඒ මහතාගේ 22 වැනි දා ලිපිය සලකා බලමු. එයට හේතුව අන්කිසිවක් නොව ඒ මහතා මගේ අදහස් තේරුම් ගැනීමේ මාවතකට සේන්දුවීමට එමගින් උත්සාහයක් දරා ඇති බවක් පෙනෙන නිසා ය. එහෙත් ඒ අතර ම ඒ මහතා තමාට සුපුරුදු ආකාරයෙන් විහිළු සැපයීම ද අත්හැර නැත්තේ තවත් බොහෝ දේ ඔහුට දුරාවබෝධ නිසා ය. බටහිර විද්‍යාව ගැන තබා පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම හේතුවෙන් පොළොවේ චලිතය පිළිබඳ ගැලීලියෝට එල්ලවූ අභියෝගය පිළිබඳවවත් ඒ මහතාට කිසිම අවබෝධයක් නැත. 

“ගහෙන් ගෙඩියක් වැටෙන විට එය ගහ මුලට වැටෙන්නේ ලෝකය චලනය නොවන නිසා යැයි නලින් මහතා විශ්වාස කරන බව ඔහු ගේ වැල්වටාරම් තුළින් කියැවෙන බව අනුමාන කළ හැකි ය.” මෙවැනි වාක්‍යයක් මහාචාර්යවරයකුට හැරෙන්නට වෙනත් අයකුට ලිවීමේ හැකියාවක් ඇතැයි නො සිතමි. මා ලියන්නේ වැල්වටාරම් යැයි කියමු. එහෙත් මෙවැනි අනුමානයකට අමරතුංග මහතා පැමිණියේ කෙසේ ද? ඒ සඳහා මා ලියා ඇති දේ සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට ඒ මහතාට හැකි ද?

මා සඳහන් කර ඇත්තේ ගැලීලියෝට විරුද්ධව එකල විසූ බුද්ධිමතුන් ගෙන ආ තර්කයකි. ඉතාලියේ ගැලීලියෝ සිටි පෙදෙසෙහි හෝ වතිකානුවෙහි හෝ පොල් ගස් නොතිබීම වෙනත් කරුණකි. තර්කයට පොල් ගස ඈඳීම නම් මගේ ක්‍රියාවකි. එහෙත් තර්කය මා විසින් නිර්මාණය කරන ලද්දක් නො වේ. මා ලෝකය (පෘථිවිය - පොළොව) චලනය නොවන්නේ යැයි කියා නැත. කෙසේ වෙතත් මට නිරපේක්‍ෂ චලිත නැත. පොළොව මගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය නො වේ. එය අමරතුංග මහතාගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය වන්නේ ද? 

පොළොවෙහි සිටින නිරීක්‍ෂකයන්ට අනුව පොළොව චලනය නො වේ. එනම් පොළොවේ සිට නිරීක්‍ෂණය කරන්නන්ට සාපේක්‍ෂව පොළොව චලනය නො වේ. එහෙත් එයින් කියැවෙන්නේ කිසිම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය නොවන බව නො වේ. හඳ මත සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය වෙයි. පැරණි සිංහලයන්ට පොළොව ඉර වටා චලනය වන්නේ ය කීව ද ඉර පොළොව වටා චලනය වන්නේ ය කීව ද ගැටළුවක් වී නැත. ඒ සාපේක්‍ෂ චලිත දෙකක් බව ඔවුහු දැන සිටියෝ හ. අඩුම තරමෙන් පැරණි සිංහල බුද්ධිමත්තු ඒ බව දැනසිටියහ. පොළොව ඉර වටා චලනය වන බව පැරැන්නන් දැන ගත්තේ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයෙන් නම් නො වේ. එය පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් දැනගත් දෙයකි. එය පංචෙන්ද්‍රියයන්ගෙන් (හා මනසෙන්) දැනගැනීමට නො හැකි ය. අමරතුංග මහතා පොළොව ඉර වටා යන බව පංචෙන්ද්‍රියයන්ගෙන් දන්නේ ද? 

එහෙත් ගැලිලියෝගේ කාලයෙහි ඉතාලි යෙහි බුද්ධිමත්තු සාපේක්‍ෂ චලිත ගැන නොදැන සිටියෝ ය. ඔවුන්ට චලිතය යනු එකක් ම විය. එය නිරපේක්‍ෂ (ඔවුන් ඒ සංකල්පය යොදා ගත්තත් නැතත්) විය. පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට අනුව පොළොව චලනය නො වෙයි. ගැලීලියෝ පොළොව චලනය වන්නේ යැයි කී විට ඉතාලියෙහි බුද්ධිමත්තු ඒ කාහට සාපේක්‍ෂව දැයි නො ඇසුහ. ඔවුන් දැන සිටි එකම (නිරපේක්‍ෂ) චලිතය ඔවුන්ට නිරීක්‍ෂණය කළ නොහැකි විය. ඔවුන්ට අනුව පොළොව චලනය නො වී ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂය විය. අමරතුංග මහතා අවංක නම් ඔහුට ද තම  ප්‍රත්‍යක්‍ෂය අනුව පමණක් නම් පොළොව චලනය නොවන බව පිළිගැනීමට සිදුවෙයි. එහෙත් ඔහුගේ මහාචාර්යකම එයට හරස් වෙයි. තම ප්‍රත්‍යක්‍ෂය අනුව පොළොව චලනය නොවන බව ප්‍රකාශ කළහොත් ඔහුට සමාජයේ ඇති වැදගත්කම නැති වෙයි. 

ගැලීලියෝගේ කාලයේ ඉතාලියේ සිටි උගත්තු අමරතුංග මහතාට වඩා අවංක වූවෝ යැයි සිතිය හැකි ය. ඔවුහු පොළොව චලනය නොවන බව කීවෝ ය. ඔවුහු තම ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත් එය නිවැරදි බවට තර්කයක් ද ඉදිරිපත් කළහ. ඒ අනෙකක් නොව පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම ආශ්‍රයෙන් ගොඩනගාගත් තර්කය ය. අමරතුංග මහතාට ඒ තර්කයෙහි වරදක් දැකිය හැකි ද? පොල් ගෙඩිය ගහමුල වැටීම ද ප්‍රත්‍යක්‍ෂයකි. 

බටහිර විද්‍යාව ආරම්භ කරමින් ගැලීලියෝ ප්‍රත්‍යක්‍ෂය නොවූ සාපේක්‍ෂ චලිතය පිළිබඳ වියුක්ත සංකල්පය ඉදිරිපත් කළේ ය. ගැලීලියෝ බොරු කීවේ ඇයි යන ලිපියෙන් මා උත්සාහ ගත්තේ ඒ බව පැහැදිලි කිරීමට ය. එහෙත් මහාචාර්යවරයකු වූ අමරතුංග මහතා එයින් අනුමාන කරන්නේ මා පොල් ගෙඩිය ගහමුල වැටෙන නිසා පොළොව චලනය නොවන්නේ යැයි විශ්වාස කරන බවකි. ගැලීලියෝගේ කාලයේ සිටි බුද්ධිමත්තු පොල් ගෙඩිය ගහමුල වැටීම යන ප්‍රත්‍යක්‍ෂය පොළොව චලනය නොවන්නේ ය යන ප්‍රත්‍යක්‍ෂය තහවුරු කිරීමට යොදාගත්හ.

අමරතුංග මහතා කොටින් පැරදවීමට මා දෙවියන්ගේ පිහිට ලබා නොගත්තේ ඇයි දැයි අසයි. එකල තබා මෙකලවත් මට දෙවියන් හෝ වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ නො හැකි ය. කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව මැදිහත් වූයේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය.අපට ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිත්‍ර (මිශ්‍ර නොවේ) පස කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතු යැයි දැන්වූයේ ඒ මහත්මිය ය. ඒ පිළිබඳ කිසිම ගෞරවයක් මට හිමි විය යුතු නැත. කිවුල් ජලය රෝගයට හේතුවක් බව පළමුවෙන් සඳහන් කළේ කැලණිය කණ්ඩායම ය. එයට පෙර කිසිවකු රෝගයට හේතුවක් ලෙස ජලය නම්කර නො තිබිණි. අද පවා බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පැතිරවීම සඳහා පිහිටුවාගෙන ඇති ආයතනයක් වන ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ බසින් කියන්නේ නම් පානීය ජලය රෝගයට හේතුවක් යැයි සෘජුව නො කියයි.  අමරතුංග මහතාට අනුව කිවුල් ජලය කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුවක් යැයි කියමින් මා ලජ්ජාවක් නොමැතිව මට අහිමි ගෞරවයක් ලබාගැනීමට කටයුතු කරයි. 

අමරතුංග මහතා නොදන්නවාට කොටින් පරාජය කළ හැකි බව මා කීවේ 1990 තරම් ඈත කාලයක සිට ය. එකල ගුණදාස අමරසේකර මහතා හෝ වෙනත් කිසිවකු හෝ මගේ සහායට සිටි බවක් මම නො දනිමි. අමරතුංග මහතා ගැන මා එකල අසාවත් නො තිබිණි. ඔහු දෙමළ ප්‍රශ්නය පිළිබඳ ව කරලියට පැමිණියේ තමා විශ්‍රාම ගැනීමට ටික කලකට පෙර ය. එසේ ම අමරතුංග මහාචාර්යවරයා සිනහසුනත් කිව යුත්තක් වෙයි. මාවිල්ආරු සිද්ධිය දිනවල මෙරට බුදු පිළිම වහන්සේලාගෙන් බුදු රැස් විහිදුණු බව බොහෝ දෙනාට මතක ඇත. ඒ දිනවල ම මා මාතර දී පවත්වන ලද රැස්වීමක දී කියා සිටියේ කොටින් පැරදවීමට අපට දෙවියන්ගේ ආශිර්වාදය ඇති බවට ඒ සාක්‍ෂියක් බව ය. 

කෙසේ වුවත් පසු කලෙක සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ දෙවියන් පිළිම වහන්සේලාගෙන් එසේ බුදුරැස් විහිදීමට සලස්වා යම් ආධ්‍යාත්මික ශක්තියක සටනට එකතු කළ බව ය. එය පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. සාපේක්‍ෂ ප්‍රවේගය පිළිබඳ වියුක්ත සංකල්පය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. මහනුවර දී ඒ බව පෙන්වා අද පාසල්වල උගන්වන සාපේක්‍ෂ චලිතය පිළිබඳ සමිකරණය වැරදි බව පැහැදිලි කළෙමි. ඒ බව දැනට අවුරුදු තුන හතරකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වන ලද වැඩමුළුවක දී ද මා පෙන්වා දී ඇති නමුත් එය කිසිවකුගේ අවධානයට ලක් නො විණි. අමරතුංග මහතා නම් ඒ අවධානයට ලක්විය යුත්තක් නො වේ යැයි කීමට ඉඩ ඇත. 

නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. ඒ බව මහනුවර දී පමණක් නොව අමරතුංග මහතා ද නරඹා ඇතැයි සිතිය හැකි රුපවාහිනි වැඩ සටහනක දී මා පෙන්වා දී ඇත. මහනුවර දී ගැලීලියෝගේ සාපේක්‍ෂතාව පමණක් නොව අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාව ද වැරදි බව පෙන්වා දුන්නෙමි. මේ කරුණු මෙරට සිටන බොහෝ උගතුන්ට දිරවාගත නො හැකි බව ද මම දනිමි. ඉඩකඩ ලැබෙන පරිදි මේ සියල්ල විදුසර පුවත්පතින් හෙළිදරවු කිරීමට ද බලාපොරොත්තු වෙමි. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි “තේරුම් කිරීමට” පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර ගොඩනැගීම ය. මේ කතන්දර ගෙතීමකි. ඒ කතන්දර පට්ටපල් බොරු වෙයි. පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ (මේවා හුදු ප්‍රත්‍යක්‍ෂ නොවන බව ප්‍රත්‍යක්‍ෂ හා හුදු ප්‍රත්‍යක්‍ෂ යන ලිපියෙහි පැහැදිලි කර දී ඇත) “තේරුම් කිරීමට” පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත ප්‍රවාද (කතන්දර) ගෙතීම බටහිර විද්‍යාවෙහි දී සිදු වෙයි. ඒ ප්‍රවාද පට්ටපල් බොරු වෙයි. 

පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයකි. පොල් ඉහළට යන්නේ නැති බව ද ප්‍රත්‍යක්‍ෂයකි. අමරතුංග මහතාට ඒ පිළිබඳ තේරුමක් නැතිව විකාර කතා කියයි. ඒ බව අපි පසුව පෙන්වා දෙමු. දැනට කිව යුත්තේ පොල් ගෙඩි උඩට නොගොස් පොළොවට වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය “තේරුම් කිරීමට” නිවුටන් පට්ටපල් බොරුවක් වූ පංචෙන්ද්‍රිය ගෝචර නොවූ ද ප්‍රත්‍යක්‍ෂයක් නොවූ ද ගුරුත්වාකර්ෂණ බලය නමැති කතාව ගොතා ඇති බව ය. 


නලින් ද සිල්වා

2014-01-29

Friday, 30 September 2011

උපකරණ හා මිනිස්සු

එක නෙස්ටෝරියන් කුරුසයක් හමු වූ පමණින් අනුරාධපුරයේ ක්‍රිස්තු භක්තියන් ජීවත් වී යැයි නිගමනය කළ හැකි නො වේ. අනෙක් අතට ඒ කුරුසය හමුවූයේ කෙසේ ද යන්න පිළිබඳව ද විශ්වාස සහගත ව කිව හැක්කේ කුමක් ද? එකල අනුරාධපුරය ලෝකයේ ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ බවට සාක්‍ෂි වෙයි. විවිධ රටවලින් විවිධ සංස්කෘතීන්ට අයත් වූවෝ එහි පැමිණියහ. ඒ වෙළෙන්දන් අතර නෙස්ටෝරියන් ක්‍රිස්තු භක්තියන් සිටියේ නම් පුදුම වන්නට දෙයක් නැත. එහෙත් ඔවුන් අනරාධපුරයේ ස්ථිර ව ජීවත් වූ බවක් කිවහැකි නො වේ. එසේ ජීවත් වූයේ නම් ඔවුන්ගේ ව්‍යාප්තියක් සිදු නො විණි ද? මේ ආදී නොයෙකුත් ප්‍රශ්නවලට සංගත පිළිතුරු නොමැති විට ඇතැම්හු ලිපියෙහි එක් කරුණක් උපුටා දක්වමින් ඒ වැරදි බව පෙන්වීමට උත්සාහ දරති.

මෙවැනි පිරිස් ගියවර ලිපියෙන් උපුටා දක්වන්නේ සතුන්ට මනස් නැති බවට බටහිර විද්‍යාඥයන් විශාල බහුතරයක් දක්වන අදහස ය. එහි ඇත්තක් නැතැයි පෙන්වීමට සමහරු උත්සාහ ගනිති. බටහිර විද්‍යාඥයන් කිහිප දෙනකු මිනිසුන් නොවන සතුන්ට මනස් ඇත් ද නැත් ද යන්න දැනගැනීමට පරීක්‍ෂණ පවත්වන බව සැබෑ ය. ඔවුන්ගෙන් යම් පිරිසක් සතුන්ට මනස් ඇති බව පිළිගන්නා බව ද සත්‍යය. එහෙත් එපමණකින් බටහිර විද්‍යාඥයන් සමස්තයක් ලෙස සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බවක් නො කියැවෙයි. ගිය සතියේ ලිපියෙන් මා කියා ඇත්තේ ද බටහිර ජීවත්වන විද්‍යාඥයබ්ගෙබ් සුළු පිරිසක් පමණක් සතුන්ට මනස් ඇති බව පිළිගන්නා බව ය. එය ද මෑතක සිට ය.

බටහිර විද්‍යාඥයන් විශාල පිරිසකට සතුන්ට මනස් ඇති බව පිළිගත නොහැක්කේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හේතුවෙනි. ඒ සංස්කෘතියෙහි සතුන් මවා ඇත්තේ මිනිසුන් සඳහා යැයි පැවසෙයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මිනිසා වෙනුවෙන් මවා ඇති සතුන්ට මනස් නැත. ඇතැම් බටහිර විද්‍යාඥයන්ට අද සිදු වී ඇත්තේ හැකි නම් මේ සංස්කෘතික සීමා කඩා බිඳ දැමීම ය. සතුන්ට මනස් නැති බව බටහිර විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම බව නිව් සයන්ටිස්ට් සඟරාවෙහි ඒ පිළිබඳ ව විටින් විට පළවන ලිපි මගින් ද තහවුරු වෙයි. බටහිර විද්‍යාවට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා ඇතිවන එකම සීමාව සතුන්ගේ මනස් සම්බනධයෙන් පැන නගින්න පමණක් නො වේ.

අප කලින් සඳහන් කර ඇති පරිදි අයින්ස්ටයින් විද්වතා ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් බැඳ දමා තිබිණි. ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාවේ කෝපන්හේගන් විවරණය ප්‍රතික්‍ෂෙප කළේ තම සංස්කෘතිය මත පිහිටා ය. යථාර්ථය, වාස්තවිකත්වය ආදිය පිළිගත් සංස්කෘතියක හැදුණු වැඩුණු අයින්ස්ටයින්ට පරීක්‍ෂණවල ප්‍රතිඵල සම්භාවිතාවක් මගින් පමණක් පුරෝකථනය කිරීම ප්‍රමාණවත් නො වී ය. ඔහුට අවශ්‍ය වූයේ පරීක්‍ෂණ කිරීමට පළමුව ම අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගය ඇති බව පැවසෙන අර්ථවිවරණයකි. පෞද්ගලික හෝ පොදු හෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද ලෝකයක අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධව නිශ්චිත අගය ඇතැයි ඔහු විශ්වාස කළේ ය. ඒ විශ්වාසය මත පදනම් ව අයින්ස්ටයින් කියා සිටියේ දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැති බව ය.

බෝර් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අයින්ස්ටයින්ට දෙවියන් වහන්සේ කළ යුත්තේ කුමක් දැයි කියා දිය නොහැකි බව ප්‍රකාශ කරමිනිි. අනෙක් අතට බෝර්ට චීන දර්ශනයෙහි බලපෑම විය. ඊනියා යථාර්ථය ප්‍රතික්‍ෂෙප කිරීම ඔහුට ප්‍රශ්නයක් නො වී ය. ලෝකය නිර්ණිත එකක් ය යන්න ඔහු විසින් අත්හැර දැමිණි. ඔහු එසේ කියා නැතත් දෙවියන් වහන්සේ දාදු කෙළීම හැරෙන්නට වෙනත් කිසිවක් නොකරන්නේ යැයි කීමේ හැකියාව ඔහුට තිබිණි. අයින්ස්ටයින් තම සංස්කෘතිය පිළිගනිමින් දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි කියා තම මතයේ ම එල්ල ගෙන සිටියේ ය. ඔහුට ඒ සංස්කෘතික බලපෑම නොවන්නට ඔහු අතින් ක්වොන්ටම් භෞතිකයෙහි වර්ධනයට විශාල යහපතක් ඉටුවන්නට තිබිණි.

බටහිර විද්‍යාවේ ඇත්තේ ඒ නුසුදුසුකම පමණක් නො වේ. තාපගතික වි්‍යාව හා ක්වොන්ටම් භෞතික විද්‍යාව හැරෙන්නට බටහිර විද්‍යාවේ අනෙක් සියළු දැනුම් නිර්මාණය වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහි න්‍යාය (ලඔගඉච) වනුයේ ඇරිස්ටෝටලීය න්‍යාය ය. පසුගිය දා ආසනික් සම්බන්ධ ප්‍රශ්නයෙහි දී ඇතැමුන් ඊනියා සම්පරීක්‍ෂණ හා පරීක්‍ෂණ ගැන කතාකළහ. කැලණිය විශ්වවිද්‍යාලයෙහි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමට අනෙක් ඊනියා පිළිගත් නිල කණ්ඩායම්වලට වඩා රජරටින් ලබාගත් ජල හා වෙනත් නියැදිවල ආසනික් ප්‍රමාණයක් දැකගත හැකි වූයේ කෙසේ ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් විය. පහසුකම් ඇතැයි කියන නිල වශයෙන් පිළිගත් පර්යේෂණාගාරවල නිරීක්‍ෂණ පමණක් විශ්වාස කිරීමට රජය එකල කටයුතු කළේ ය. අද රජය එසේ නොසිතන බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.

එහෙත් ප්‍රශ්නය වූයේ මේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල ද සේවය කරන්නේ මිනිසුන් වීම ය. බටහිර විද්‍යාව කටයුතු කරන ආකාරයට උපකරණවලට වඩා වැදගත් තැනක් ලැබෙයි. එයට ප්‍රධාන හේතුව උපකරණ වාස්තවික ලෙස පිළිගැනීමට ඇති කැමැත්ත ය. උපකරණවලින් ලැබෙන මාපාංක කියවීම් මිනිසුන්ගෙන් (නිරීක්‍ෂකයන්ගෙන්) ස්වායත්ත යැයි සාමාන්‍යයෙන් පිළිගැනෙයි. නමුත් ප්‍රශ්නය වනුයේ උපකරණ ද මිනිසුන් විසින් නිපදවනු ලැබීමත් ඒ ඒ නියැදි සකස්කිරීම, යොදාගන්නා විධික්‍රමය (ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නොවේ) ආදිය මිනිසුන් විසින් තීරණය කරනු ලැබීමත් ය. සියළු උපකරණවලින් එකම මාපාංක කියවීම් ලැබිය යුතු යැයි විශ්වාසයක් පවතින අතර එසේ නොවන්නේ නම් ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරයේ මාපාංක කියවීම් නිවැරදි ලෙස ගැනෙයි.

ආසනික් සම්බන්ධයෙන් ඒ ඒ පරීක්‍ෂණාගාරවල යොදාගත් විධික්‍රම (මේ සූපශාස්ත්‍ර විධික්‍රම මිස අනෙකක් නො වේ) වෙනස් විය. ඉවත යන වායු ප්‍රමාණය මෙන් ම අවක්‍ෂෙප ගැනීමද ඒ ඒ විද්‍යාඥයන් දැන සිටි ආකාරයට සිදු කෙරිණි. පරීක්‍ෂණයෙහි දී පිටවී යන වායු ප්‍රමාණය වැඩි නම් මිශ්‍රණය යම් උෂ්ණත්වයකට වඩා ඉහළට රත්කළ විට ආසනික් වායු අවස්ථාවට පත්වී ඉවත්වීමේ සම්භාවිතාව වැඩිවෙයි. පිටවී යන වායු ප්‍රමාණය වැඩි පරීක්‍ෂණාගාරයක සිදුකරන ලද පරීක්‍ෂණවලින් නිරීක්‍ෂණය කෙරෙන ආසනික් ප්‍රමාණය පිටවී යන වායු ප්‍රමාණය අඩු පරීක්‍ෂණාගාරයක සිදු කරන ලද පරීක්‍ෂණවලින්් නිරීක්‍ෂණය කෙරෙන ආසනික් ප්‍රමාණයට වඩා අඩු වී නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. එහෙත් රජය මුල දී තීරණය කළේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල දත්ත නිවැරදි විය යුතු බව ය.

බටහිර විද්‍යාවේ ධුරාවලියක් ඇත. එය බටහිර සමාජයේ ද දක්නට ලැබේ. වැදගත් යැයි සැලකෙන ගෞරවනීය පවුල්වල සාමාජිකයන් වැරදි නොකරන්නේ ය යන මතය අද සමාජයේ මුල් බැසගෙන ඇත. ඊනියා වැදගත් තනතුරු හොබවන පුද්ගලයන් අතින් වැරදි සිදු නොවේ යැයි විශ්වාසයක් පවතියි. වැදගත් පවුල්වල සාමාජිකයන් රැකියාවලට බඳවා ගැනීමට විශාල සම්භාවිතාවක් ඇත. යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ධුරාවලිය සකස් කිරීමෙහි දී යොදා ගැනෙන නිර්ණායක අනුව මේ පිළිගැනීම් සිදුවෙයි.

ඉංගිරිසි ආණ්ඩුව පැවති සමයෙහි ඉංගිරිසි ආණ්ඩුවට දැක්වූ පක්‍ෂපාතිත්වය අනුව ද පුද්ගලයකුගේ වැදගත්කම තීරණය විය. අද ද බොහෝ විට වැදගත් වනුයේ නිල බලයට ගරු කරන්නවූන් ය. සිංහල බෞද්ධයන් අතර ද එක්තරා ආකාරයක ධුරාවලියක් වෙයි. එය නිවන හා සම්බන්ධ ධුරාවලියකි. බුදුරජාණන් වහන්සේට පසුව රහතන් වහන්සේලා ප්‍රධාන වෙති. අපේ ධුරාවලියෙහි රජවරු ද සාමණේර භික්‍ෂුවකට වඩා පසුපසින් වෙති. අශෝක රජුගේ මාළිගාවට වැඩම කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු අසුන ලෙස තෝරාගත්තේ සිංහාසනය ය. එයට හේතුව ඒ රාජසභාවෙහි උන්වහන්සේට ඉහළින්, එනම් ගුණයෙන් ඉහළින්, වෙනත් කිසිවකු නො වීම ය. අපේ ධුරාවලියෙහි එදා ගරු කෙරුණේ නිලයට නොව නිවන් දැකීමට හේතුවන වෙනත් ගුණවලට ය.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි උපත ලැබූ බටහිර විද්‍යාවට ඒ සංස්කෘතියෙන් උරුම වූ පිලිගැනීම් ඇත. ආසනික් අඩු යැයි හෝ නැතැයි හෝ කියූ පර්යේෂණාගාරවල මාපාංක කියවීම් පිළිගැණුනේ ඒ අයුරින් මිස යොදාගත් සූපශාස්ත්‍ර ක්‍රමවේදයෙහි ඌණතා අනුව නො වේ. කෙසේ වුවත් ඌණතා වැඩි පරීක්‍ෂණාගාරවලට ලැබුණු පිළිගැනීම වැඩිවිය. ඒ නිල බලයෙනි. මේ ඌණතා හා වෙනත් හේතු කරණ කොටගෙන බටහිර විද්‍යාවේ උජාරුවෙන් කියැවෙන ඕනෑම කෙනකුට කළහැකි පර්යේෂණ යන්නට තවත් පහරක් වැදෙයි.

ඒ පිළිබඳ ව අප දැනටමත් බොහෝ කරුණු කියා ඇත. ඒ පුහුණුව ආදිය සම්බන්ධයෙනි. එකම ආකාරයේ පුහුණුව ලැබූ අය සිටිය ද තමන් පරීක්‍ෂණ කරන පරීක්‍ෂණාගාරයේ ඇති උපකරණ මත අනුගමනය කෙරෙන සූපශාස්ත්‍ර විධික්‍රමය මත තමන් ලබාගන්නා මාපාංක කියවීම් වෙනස් වෙයි. එමෙන් ම එකම ආකාරයේ පුහුණුවක් ලබාගත්ත ද ඒ ඒ පුද්ගලයාගේ දක්‍ෂතා අතර වෙනස්කම් වෙයි. ඇතැම්හු නිර්මාණශීලී වෙති. සූපශාස්ත්‍ර විධික්‍රමයෙහි වුව ද සුළු සුළු වෙනස්කම් කිරීමට හැකි අය සිටිති. ඔවුන් ලබාගන්නා මාපාංක කියවීම් සාම්ප්‍රදායිකව ම ක්‍රියා කරන්නකු ලබාගන්නා මාපාංක කියවීම්වලට වඩා වෙනස් විය හැකි ය.

එමෙන් ම උපකරණවල සියුම් බව ද මෙහි දී බලපාන බව රහසක් විය නො හැකි ය. එකම පරීක්‍ෂණාගාරයක, එකම පුහුණුව ලැබූ අය එකම යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පරීක්‍ෂණ කළ ද ඒ ඒ අයගේ සියුම් බව අත්ගුණය ආදිය මත ප්‍රතිඵල වෙනස් විය හැකි ය. එබැවින් ඊනියා වාස්තවික අගයන් ඒ ඒ ගුණවලට ඇතැයි යනුවෙන් ගැනීම බටහිර විද්‍යාවේ ආධානග්‍රාහී සිතුවිල්ලක් මිස අන් කිසිවක් නො වේ. ආසනික් සම්බන්ධයෙන් ගතහොත් විවිධ පරීක්‍ෂණාගාරවල ජලයේ, පලිබෝධ නාශකවල ආදී වශයෙන් අඩංගු ආසනික් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිඵල ලැබී ඇත. එහෙත් ඇතැම් විට ඒ නිරීක්‍ෂණය කෙරුණු උපරිම අගයට ද වඩා ආසනික් ඒ නියැදිවල තිබෙන්නට ඇත. අපට බොහෝ විට කිව හැක්කේ විවිධ පරීක්‍ෂණාගාරවල ලැබුණු දත්තවල උපරිම ඒ ඒ නියැදිවල ඇති අවම ආසනික් ප්‍රමාණ බව ය.

මේ ලබාගත් ප්‍රතිඵල නිවැරදි දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. මිනිසුන් අතින් මෙන් ම උපකරණ මගින් ද වැරදි සිදුවෙයි. එහෙත් ආසනික් තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාව අඩුවෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාවට අඩු යැයි සිතමි. යොදාගන්නා උපකරණවල කලින් ම ආසනික් තිබීම නිසා මාපාංක කියවීමෙන් ලබාගන්නා ආසනික් ප්‍රමාණය වැඩිවීමට ඉඩ ඇත. එහෙත් ඒ සඳහා ඒ උපකරණ ඒ ඒ රසායනික ද්‍රව්‍යවල (ද්‍රවණවල) සෝදා තිබිය හැකි ආසනික් ප්‍රමාණය දියකර හැරීමෙන් එලෙස ආසනික් වැඩිවීමට ඇති සම්භාවිතාව අඩුකර ගත හැකි ය.

Saturday, 10 September 2011

ආධානග්‍රාහී අයින්ස්ටයින්

බටහිර විද්‍යාවේ ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාරතොටේ හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ නොව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නොකියැවෙනවා පමණක් නොව ජනතාවට වැරදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසමින් ඒ පාරතොටේ හමුවන ඕනෑම අයකුට වුව ද කළහැකි පරීක්‍ෂණ ලෙස ඒත්තුගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්තරා තක්කඩි අදහසකින් යැයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හැඳිනගැනීමට සැලැස්වූ කල අනෙක් දැනුමි පද්ධතියක් ද ඕනෑම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක් පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වා ගෙන යෑම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක් වේ. බටහිරයන් අනෙක් අයගෙන් ඉල්ලන්නේ තමන් ද නොරකින ප්‍රතිපත්තියක් රැකීමට ය. පාරතොටේ හමුවන ඕනෑම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් ලත් අයකුටවත් ගිබ්ස් බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක් කළ නො හැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්ඩායමක් සමග එකතු විය යුතු ය. එවැනි කණ්ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක් මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවීම ය. තමන්ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්ඩායමක් ඇතිකර ගැනීමට හැකියාවක් හා උනන්දුවක් ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. හිග්ස් බෝසෝනය ඕනෑම අයකුට කළ නොහැකි පරීක්‍ෂණයක් සඳහා දිය හැකි එකම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑම අයකුට කළ හැකි නො වේ.

අනෙක් අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්ටමටවත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැතිවීම එයට එක් හේතුවක් පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක් නැතිවීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමති මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්ත චින්තනයක් අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විිද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්ත චින්තනයක් තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්ත චින්තනයක් නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන්ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැනි ම කරුණු ය. ඕනෑම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන්ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන්ගේ පරීක්‍ෂණ ඕනෑම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක් වශයෙන් ගත්කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහණයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අයගේ ප්‍රතිශතය එයටත් වඩා අඩුවිය යුතු ය. සමස්ත සත්ව සංඛ්‍යාව ගතහොත් මිනිස් භවයක් ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක් බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්තියෙන් හෙබි අයගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක් නො වේ. ඒ සඳහා කුසල් ශක්තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් කුසල් ශක්තියක් නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක් නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්ට්‍රෝන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලකේට්‍රෝන දැක නැති සන්දර්භයක අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්ට්‍රෝන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්ට්‍රෝන ගැන නොව විද්‍යුතය ගැනවත් කිසිම පරීක්‍ෂණයක් නොකළ අය ඉලෙක්ට්‍රෝන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නොවන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නගී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොරව ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරති.

උගත් යැයි සම්මත අය ආධ්‍යාත්මික ශක්තිය ඔස්සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නොකරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක් ඇතිකර ගැනීමට සමාජයෙන් ඉඩක් නොලැබෙන බැවිනි. මෙරට උගතුන් යැයි සම්මත වූවනට අයින්ස්ටයින් කියා ඇති මෝඩ කතාවක් වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුචිචාරණය කිරීමට බාධාවක් නැත. දෙවියන් වහන්සේ දාදු කෙලින්නේ නැතැයි අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇතිව ප්‍රකාශ කළ හැකි විය යුතු යැයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක් පමණකි. ක්වොන්ටම් අංශු හා ඊනියා සම්භාව්‍ය අංශු එකම ආකාරයකින් හැසිරිය යුතු යැයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක් ද? එහෙත් අයින්ස්ටයින්ගේ ප්‍රකාශය මහදැනමුත්තකුගේ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යැයි සම්මත අයගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සෑදි පෑදි සිටිති. ක්වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉතාමත් ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නොකරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනකු හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්සක දෙවියන්, ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන එක් කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳ ව විවිධ උපදෙස් දෙති. මට දෙවිවරුන් සමග සම්බන්ධවීමට තරම් කුසල් ශක්තියක් නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක් සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක් ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක් ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන්ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පුද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක් නොව ඔවුන්ගෙන් කිහිප දෙනකු පුද්ගලික ව විපස්සක හා නාථ දෙවිවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ නම් ගම් හෙළිදරවු කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (ආසනේට්) බව ද ඇතැම් පෙදෙස්වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍යවන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බෝසතාණණ් වහන්සේ යැයි ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරදි සිදුවිය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක් ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදුවිය යුතු යැයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගෙස් ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන්ගේ සෑම ක්‍රියාවක් සමග ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩ නැගීම හා සිංහල බෞද්ධ සමාජයක් නැවත ඇතිකිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ නොවන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමග එකඟ නොවන්නේ වෙනත් අයකු සමග එකඟ නොවන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරීමේ දී මාධ්‍යයක් ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්සක දෙවියන්ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක් ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටියහ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන් ඇති අය සිටීම අරුමයක් නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන්ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ තාක්‍ෂ’ණ ශිල්පීන්ට කරන අගෞරවයක් ලෙස නොසැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යැයි පෙන්නුම් කරමිනි. අයින්ස්ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක් කළත් එය පිළිගැනීමටත් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සංයුක්තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂෙප කිරීමටත් ඊනියා විිද්‍යාඥයන් පෙළඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක් පැත්තෙන් ඒ සංකල්ප ඔස්සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි.

Friday, 29 July 2011

සිංහල බෞද්ධ විද්‍යාවකට විරුද්ධ කැලණි මහැදුරෝ

මේ ඉතාමත් අසිරිමත් කාලයකි. අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කළ ඇතැම් කරුණු තවදුරටත් නොසලකා හැරීමට පඬියන්ට නොහැකි වී ඇත. ඔවුහු විවිධ ප්‍රකාශ කරති. විවිධ ප්‍රකාශන ජනමාධ්‍යවලට නිකුත් කරති. මහැදුරෝ අපට විරුද්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට ලිපි යවති. ඒ ලිපි මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න පැහැදිලි ය. කඩිගුලක් ඇවිස්සූ කලක මෙන් පඬියන් ක්‍රියාකරන්නේ ඇයි?

ඉතා පැහැදිලිව බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්‍යාවට හා ඒ මත යැපෙන අනෙක් බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක් මෙතරම් ඉක්මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවට වැදේවි යැයි ඔවුන් සිහිනෙන්වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ දැනුමක් රජරට වකුගඩු රෝගය පිළිබඳ ව නිර්මාණය කරගැනීමට හැකිවීම අද බටහිර විද්‍යාඥයන්ට දිරවාගත නො හැකි ය. ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොදනුමාන ය.

මේ අසිරිමත් කාලයක් නිසා ම පිළිවෙළකට ලිපි ලිවීමේ අපහසුවක් වෙයි. අපි ගිය සතියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශනයකට පිළිතුරු ලිවීම ඇරඹුවෙමු. එහෙත් එය මේ සතියේ අත්හිටුවීමට සිදු වී ඇත. ලබන සතියේ එය නැවතත් ලිවීමට බලාපොරොත්තු වෙමි. එයට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් පිරිසක් (ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් හා මහාචාර්යවරුන් ද සිටින බව පැවසිය යුත්තේ එසේ නොකළහොත් ඇතැමුන්ට එය මදි පුංචිකමක් වීමට ඉඩ ඇති බැවිනි. මේ ඊනියා විදග්ධයන්ට කිසි විටෙකවත් එසේ මදි පුංචිකමක් නොකළ යුතු ය.) තමන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට යැවූ ලිපියක් ජනමාධ්‍යයට ද නිකුත් කෙරී පසුගිය 13 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ බැවින් එයට පිළිතුරක් ලිවීමට සිදවීම ය.

එහෙත් එයට කලින් සරසවියෙන් පිටමං වී යනු මුරුගා යන මැයෙන් ලියැ වී ඇති ලිපියට ද පිළිතුරක් දිය යුතු ය. මේ ලිපියේ මුරුගා යනුවෙන් කියැවෙන්නේ කවුද යන්න පැහැදිලි නැත. මුරුගා කවුරුන් වුවත් එනමින් මෙහි දී සංකේතවත් වන්නේ නාථ දෙවියන් විය හැකි ය. කොටන්දෙනිය මහතා පමණක් නොව ගීත රචක මහාචාර්යවරුන් ද පිටමං කිරීමට සූදානම් වන්නේ මිථ්‍යා ලෙස හැඳින්වෙන බෞද්ධයන්ගේ හෝ හින්දුන්ගේ හෝ දෙවියන් මිස ක්‍රිස්තියානි කතෝලික යුදෙව් ඉස්ලාම් දෙවියන් නො වේ. ඒ පසුව කී ආගම්වල ඇත්තේ විවිධ ස්වරූප ගත්ත ද එකම දෙවි කෙනෙකි. මේ දෙවියන් පළවා හැරීමට කිසිම භෞතිකවාදියකු, හේතුවාදියකු, මහාචාර්යවරයකු උත්සාහ නොගන්නේ ඒ දෙවියන් මිථ්‍යාවක් නොවන බැවින් ද? මේ ඊනියා යථාර්ථවාදීන්ට අවශ්‍ය දැන හෝ නොදැන හෝ හින්දු බෞද්ධ දෙවිවරුන් පන්නා දමා යෙහෝවා - අල්ලා දෙවියන් තව තවත් ස්ථාපිත කිරීම ය.

බටහිර විද්‍යාව යනු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පසුබිම් කරගත් විද්‍යාවකි. රුවන් සිල්වා මහතා සඳහන් කර ඇති ආකාරයට නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ යුදෙව් ක්‍රිස්තියානි දෙවියන් විසින් මවන ලද ලෝකය දැන ගැනීමට ය. මුළු මහත් බටහිර විද්‍යාව ම පරණ තෙස්තමේන්තුවේ උත්පත්ති කතාවෙහි (Genesis) අඩංගු වෙයි. සමාජ විද්‍යාව මාක්ස්වාදය ආදිය පරණ තෙස්තමේන්තුවේ නික්ම යෑම (Exodus) යන්නෙහි දැකගත හැකි ය. මේ යෙහෝවා දෙවියන් පදනම් කරගත් බටහිර විද්‍යාවට එරෙහි ව අප කරන අරගලය හමුවේ මාක්ස්වාදීහු ද ධනවාදීහු ද එකසේ බියවී සිටිති. ඊනියා යථාර්ථයේ පදනමේ ඇත්තේ මේ ලෝක නිර්මාපක දෙවියන් ය. අද බටහිර විද්‍යාව මහ ඉහළින් කතාකරන මහා පිපිරුම යනු එක් මොහොතක සිදුවන විශ්ව නිර්මාණය මිස අනෙකක් නො වේ. මෝසස්ගේ පොරොන්දු දේශය හා මාක්ස්ගේ සමාජවාදය යනු හරය වශයෙන් ගත්කල දෙකක් නොව එකකි. විශ්වය යම් දිනක නිර්මාණය වූවක් නොව අගක් මුලක් නැති විකාශයක් සහිත වූවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

යක්‍ෂ දේව සංකල්ප ප්‍රකෘතිය තේරුම් ගැනීමට නොහැකිවූවන්ගේ ප්‍රාථමික ගණයේ විශ්වාස යැයි කොටන්දෙනිය මහතා දන්නේ කෙසේ ද? ඒ වත්මන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි යෙහෝවා නොවන අනෙක් දෙවියන් ගැන කියැවෙන කතාවකි. බටහිරයන්ටත් බයිබලයටත් අවශ්‍ය යෙහෝවා දෙවියන් පමණක් තබාගෙන අනෙක් සියළු දෙවියන් නැති කිරීම ය. කොටන්දෙනිය මහතා ඊනියා යථාර්ථවාදී බෞද්ධයකු විය හැකි ය. බුදුන් වහන්සේ ද දෙවියන් පෙරේතයන් ආදීන් ගැන දේශනා කර ඇත්තේ ඊනියා ප්‍රකෘතියක් තේරුම් ගැනීමට නො හැකිව ද? විශ්වයේ ප්‍රාණීන් ලෙස ඇත්තේ ද්‍යශ්‍යමාන මිනිසුන් හා තිරිසනුන් පමණක් යැයි කොටන්දෙනිය මහතා විශ්වාස කරන බවක් පෙනෙයි. එය විශ්වාසයක් නොව ඊනියා යථාර්ථයක් යැයි කිසියම් වූ යථාර්ථවාදියකුට පෙන්වා දිය හැකි ද? මා පසුගිය සති කිහිපයේ විදුසර පුවත්පතට ලියූ ලිපි කියැවී නම් කොටන්දෙනිය මහතාට කසිකබල් භෞතිකවාදය (ද්‍රව්‍යවාදය) යනු කුමක්දැයි දැනගැනීමට තිබුණි. ඊනියා භෞතිකවාදය යනු විඥානවාදයක් පමණක් බව ඒ ලිපිවල පැහැදිලි කෙරී ඇත. කිසියම් කසිකබල් මාක්ස්වාදී ගුරුකුලයකින් දැනගන්නා ලදැයි සිතිය හැකි විඥානවාදය වැනි වචන ටිකක් කටගාගත් පමණින් කොටන්දෙනිය මහතාට බෞද්ධ දෙවියන්ගේ පැවැත්ම නැතැයි කිව නො හැකි ය. බුදුන්වහන්සේගෙන් ධර්මය ඇසූ දෙවියන් උන්වහන්සේගේ මනෝ භ්‍රාන්තීන් ද? කොටන්දෙනිය මහතා වැන්නන්ට ප්‍රශ්නය වී ඇත්තේ සිත යනු කුමක් දැයි යම්තමින්වත් තේරුම්ගත නොහැකි වීම ය. සිත ද ඊනියා භෞතිකයට ම ඌනනය කළ හැකි යැයි ඌනිතවාදීුහු සිතති. ඌනිතවාදයට මරු පහරක් ගඩ්ල් ප්‍රමේයයෙන් වුව ද එල්ලවන බව කොටන්දෙනිය මහතා නොදන්නා සේ ය.

භාවනාවෙන් මොළයේ පමණක් නොව හෝමෝනවල ද වෙනත් තැන්වල ද යම් යම් වෙනස්කම් ඇතිකළ හැකි ය. එහෙත් කොටන්දෙනිය මහතා වැන්නන් නොදන්නා කරුණ නම් මොළය යනු සිත නොවන බව ය. සිත මොළයට ඌනනය කිරීමට තැත්කිරීම බටහිර ඌනිතවාදී මනෝ විශ්ලේෂකයන්, මනෝ වෛද්‍යවරුන් ආදීන් ගේ තවත් අසාර්ථක වූ මනෝමය ව්‍යාපෘතියක් පමණ ය. කොටන්දෙනිය මහතාගේ මනෝ භ්‍රාන්තිවලට අනුව නිවන ද මනෝ භ්‍රාන්තියක් වෙයි. කොටන්දෙනිය මහතා කරුණු කොතනින් අහුළාගත්ත ද බටහිර විද්‍යාවට අවශ්‍ය නිවන ද තවත් මනෝභ්‍රාන්තියක් බවට පත්කිරීම බව නම් පැහැදිලි ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ට ද අවශ්‍ය මතු බුදුවන නාථ දෙවියන් හා විපස්සක දෙවියන් වැනි සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් පන්නා දමා යුදෙව් ක්‍රිස්තියානි යෙහෝවා දෙවියන්ගේ විද්‍යාව (බටහිර විද්‍යාව) ඒ දෙවියන් ද සමගින් රැකගැනීම ය. අද කැලණියේ ද ලිබරල්වාදීහු හා මාක්ස්වාදීහු බෞද්ධයනට එරෙහිව අත්වැල් බැඳගෙන සිටිති. මොවුන් නිව්ටන්ගේ යුදෙව් ක්‍රිස්තියානි දේවවාදී විද්‍යාව ආරක්‍ෂා කරන අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන්වහන්සේගේ (නාථ දෙවියන්) හා විපස්සක දෙවියන්ගේ විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරති. මොවුන් ඇතැමකු විද්‍යාලංකාර යන නමට අකමැති ය. ඔවුහු විද්‍යාලංකාරයේ බෞද්ධ උරුමය මකා දැමීමට කටයුතු කරති.

අපට එරෙහිව චෝදනා සහිත ලිපිය උපකුලපතිතුමාට යැවූ ඊනියා බුද්ධිමත්තු 1967 බිහි වූ විද්‍යා පීඨය වසර පනහකට අධික කාලයක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනගාගත් කීර්තිනාමයක් පිළිබඳ ව සඳහන් කරති. 1967 දී බිහි වී නම් විද්‍යා පීඨයට තවමත් වසර පනහක් ගෙවී නැති බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක් නොව පාසල් සිසුහු ද දනිති. එහෙත් ඇතැම් මහාචාර්යවරු ඒ බව නොදන්නා බව ඔවුන්ගේ නිවේදනයෙන් (ලිපියෙන්) පැහැදිලි වෙයි. අනෙක් අතට මේ ගොඩනගා ගත්තේ යැයි කියන කීර්තිය කුමක් ද? මේ අයගෙන් එක් අයෙක්වත් ඔවුන් ඉතා උසස් ලෙස සලකන නේචර් සඟරාවේ හෝ සයන්ස් සඟරාවේ හෝ පත්‍රිකා පළකර ඇත් ද? ඔවුන් බිහිකර ඇති නව සංකල්පයක්, ප්‍රවාදයක් ප්‍රමේයයක් වේ ද? මේ විද්‍යාඥයෝ හුදෙක් තාක්‍ෂණික ශිල්පීහු පමණක් වෙති. ඔවුන් දන්නේ සූපශාස්ත්‍ර විද්‍යාවකි. බටහිර පොතට අනුව අම්ලයක්, භෂ්මයක් එකතුකිරීම යම් උෂ්ණත්වයකට රත්කිරීම ආදිය හැරෙන්නට ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමය කුමක් ද? ඊනියා සාම්‍ය සමාලෝචන ගැන මනෝජ් රත්නායක මහතා ජූලි 13 වැනි දා විදුසරට ලියා ඇති ලිපිය කියවීමෙන් ඔවුන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි ය. නේචර් සයන්ස් යන ප්‍රධාන සඟරාවල පළවන පත්‍රිකාවලින් ද සියයට තිහක් පමණ අවුරුදු කිහිපයක දී වැරදි යැයි නිගමනය වන බව ඔවුහු නො දනිති. අනෙක් අතට ඊනියා විද්‍යා පර්යේෂණ ප්‍රතිඵල විද්‍යා සඟරාවක පළකළ යුතු බවට නීතියක් ඇත්තේ කෙහේ ද? අද මේ ඇදුරන් හා මහැදුරන් තැත්කරන්නේ කැලණිය සරසවියට ලැබිය යුතු ගෞරවය නැතිකිරීමට ය.

මා බටහිර විද්‍යාත්නක ක්‍රමයට අභියොාග කරන්නේ අද ඊයේ නොව අවුරුදු විසිපහක පමණ කාලයක සිට ය. ඒ බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නොදැන සිටියේ නම් එයට හේතුව ඔවුන්ගේ මුග්ධකම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ලෝකයේ නැති බවත් එය හුදෙක් බටහිර විද්‍යාව දැනුම් පද්ධතියක් ලෙස අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා උසස් ය, නිවැරදි ය සත්‍යයට ආසන්නය ආදී බේගල් පතුරවා ලෝකයට ම තම මතය බලයෙන් දීමට යොදාගන්නා ආයුධයක් පමණක් බවත් මා ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. බටහිර විද්‍යාව ඇත්ත ද බොරු ද යන්නක් එයින් නො කියැවෙයි. බටහිර විද්‍යාව ද තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ද අනෙක් බොහෝ අය මෙන් ම ප්‍රශ්නවලට පිලිතුරු ලෙස සංගත කතන්දර ගෙතීම (විද්‍යා කතන්දර පොත කියවන්න) පමණක් බවත් අප ප්‍රකාශ කර ඇත. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එය පදනම් වූ සංස්කෘතියෙන් හා චින්තනයෙනි. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. අපේ විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනය මත පදනම් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ගුරුවරු නමින් බෞද්ධ වුවත් සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකිරීමට විරුද්ධ වෙති. ඔවුහු විද්‍යාලංකාර නමට ද ඒ සම්ප්‍රදායට ද විරුද්ධ වෙති. නො සංසිඳෙන හීනමානයක් ඇති මොවුන්ට අවශ්‍ය බටහිර ජීවන ක්‍රමය අනුකරණය කරමින් අබෞද්ධ මාවතකට විද්‍යාලංකාරය ඇද දැමීම ය. අපි එයට මහාවිහාරයේ අභයගිරියේ හා මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ නාමයෙන් ඉඩ නො දෙමු. මොවුන් අද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට පැමිණිලි කරන්නේ අපට විරුද්ධව දඬුවම් කරවීමට ය. ඔවුන් කෙතරම් කුහකයන් දැයි කිවහොත් අපේ පර්යේෂණ ප්‍රතිඵල පුවත්පත්වලට නිකුත්කිරීම ගැන චෝදනා කරමින් අපට විරුද්ධ ව උපකුලපතිතුමාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ජනමාධ්‍යයට නිකුත්කිරීමට පියවර ගෙන ඇත.

අද පොදු මහජනතාව කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි ඇතිකරගෙන ඇත්තේ ගෞරවණිය ආකල්පයකි. පළමු වරට සුද්දාගේ පොතට අනුව පරිධියේ බෙලෙක් තහඩුවලට තට්ටු කරන කසිකබල් සූපශාස්ත්‍ර පර්යේෂණ නොව සුද්දාගේ පොතේ නැති එහෙත් විපස්සක දෙවියන් දෙන හෝඩුවා අනුව කෙරෙන ගවේෂණයක අපි නිරත වෙමු. විපස්සක දෙවියෝ මේ අඳ බාලයන්ට පමණක් නොව ආකිමිඩීස්, නිව්ටන් අයින්ස්ටයින් ආදීන්ට ද වඩා කල්ප ලක්‍ෂ ගණනකින් ඉදිරියෙන් සිටිති. අපි අපේ වැඩ පටන් ගත්තා පමණක් බව ඊනියා විද්‍යාත්මක අඳ බාලයන්ට දැනුම් දෙමු.

Thursday, 9 June 2011

ගැලීලියෝගේ ඒත්තු ගැන්වීම

පෞද්ගලික අත්දැකීම් හා නිරපේක්‍ෂ වාස්තවිකත්වය අතර ඇත්තේ පරස්පරයකි. පෞද්ගලික අත්දැකීම් ඒ ඒ පුද්ගලයාගේ අත්දැකීම් විය. ඒ අත්දැකීම් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ විය. ඒහෙත් නිරපේක්‍ෂ වාස්තවිකත්වය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික අත්දැකීම්වලින් ස්වායත්ත විය. පුද්ගලයන් සිටියත් නැතත් නිරපේක්‍ෂ වාස්තවිකත්වය විය. ගැලීලියෝගේ අදහස වූයේ සියළු පුද්ගලයන්ට එකම අත්දැකීමක් ලැබෙන්නේ නම් එය නිරපේක්‍ෂ වූවක් බව ය.

එකම උසකින් එකම විටක දී නිසලතාවෙන් අත්හරිනු ලැබූ වස්තු එකම විටක දී (රික්තයක දී) පොළොවට වැටෙන බව රික්තයක් නොමැතිව එකල විසූ උගතුන්ට ඒත්තු ගැන්වීමට ගැලීලියෝ සමත් විය. එමගින් ඔහු සහ ඔහුගෙන් පසුව බටහිර යාන්ත්‍රිකය වර්ධනය කළ අය, කිසිවකු නොසිටියත්, එනම් කිසිම නිරීක්‍ෂකයකු නොසිටියත්, එවැනි වස්තු එක විට පොළොවට වැටෙන බව ද සමාජයට ඒත්තු ගැන්වූහ.

එහෙත් මෙහි දී තවත් ප්‍රශ්නයක් පැන නැගිණි. පොළොව සූර්යයා වටා ගමන් කරන බව ගැලීලියෝට හා කොපර්නිකස්ට පෙර භාරතීයයන් දැන සිටි බවට සාක්‍ෂි වෙයි. ඒ ධ්‍යාන වැඩීමෙන් හෝ එසේ ධ්‍යාන වැඩීමෙන් සිත දියුණු කරගත් අය දෙවියන්ගෙන් හෝ ලබාගත් දැනුමක් විය යුතු ය. සිංහලයන්ට ද භාවනාව ඔස්සේ ලබාගත් එවැනි දැනුම් තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ වර්තමානයෙහි දී එලෙස දැනුම ලබාගන්නන් කියන කරන දෙය නිරීක්‍ෂණය කිරීමෙනි. අවසානයේ දී මනසෙන් පමණක් ලබාගන්නා මේ දැනුම මනසට ප්‍රත්‍යක්‍ෂ වූ දැනුමක් විය.

මේ දැනුම අරාබි වෙළෙන්දන් මගින් යුරෝපයට ගිය බව ද පැහැදිලි ය. එහෙත් යුරෝපයට ගිය, ආසියාතියකයන් යම් පිරිසකගේ මනසට ප්‍රත්‍යක්‍ෂ වූ, දැනුම යුරෝපීයයන්ගේ මනසට ප්‍රත්‍යක්‍ෂ නො වී ය. යුරෝපීයයෝ ධ්‍යාන හෝ භාවනා හෝ නොදැන සිටියහ. මෙහි ප්‍රතිඵලය වූයේ එවැනි දැනුම් ලබාගැනීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමට යුරෝපයට අවශ්‍ය වීම ය. ගැලීලියෝ නැවතත් වියුක්ත චින්තනය ඔස්සේ ඒ තහවුරු කළේ ය.

මේ පිළිබඳ ව අපේ ප්‍රවාද මගින් අතීතයේ ඉදිරිපත් කෙරී ඇති නමුත් එහි ඇති වැදගත්කම හේතුවෙන් නැවතත් සුළුවෙන් වුව ද විස්තර කිරීමේ වරදක් තිබිය හැකි යැයි නො සිතමි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ නම් එයින් කියැවෙනුයේ පෘථිවියට යම් චලනයක් ඇති බව ය. ගැලීලියෝගේ කාලයේ සිටි උගතුන් නැගූ ප්‍රශ්නය නම් එවිට ගසකින් වැටෙන ගෙඩියක් ගසේ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් කියා සිටියේ ගෙඩිය ගහේ සිට වැටෙන කාලයෙහි දී පොළොව යම්කිසි දුරක් යන බැවින් ගෙඩිය ගස මුලට සුළු දුරක් ඈතින් වැටිය යුතු බව ය.

ගැලීලියෝ ට එය අභියෝගයක් විය. ගසකින් වැටෙන ගෙඩියක් ගසෙහි මුල වැටෙන්නේ ඇයි ද යන්නට සුදුසු පිළිතුරක් දිය යුතුව තිබිණි. එහි දී ඔහු ඉතාමත් ශූර බුද්ධියකින් සාපේක්‍ෂ චලිතය යන සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු කියා සිටියේ යම් නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ හැක්කේ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ (නිෂ්ශූන්‍ය) චලිත පමණක් බව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවකට හෝ අංශුවකට හෝ ප්‍රවේගයක් නැත්නම් එයට වෙනත් අයකුට සාපේක්‍ෂව ප්‍රවේගයක් තිබුණත් පළමු නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුව චලනය නොවන්නේ ය යන ස්වසිද්ධිය ගැලීලියෝ බටහිර යාන්ත්‍රිකයට එක් කළේ ය. එසේ ම යම්කිසි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවක් හෝ අංශුවක් හෝ චලනය නොවන්නේ නම් ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුවට හෝ අංශුවට හෝ ප්‍රවේගයක් නැත යන්න ද ගැලීලියෝ කියා සිටියේ ය.

මේ ප්‍රකාශයේ ඇති වැදගත්කම කුමක් දැයි කිසිවකුට සිතෙනු ඇත. යම් නීරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට හෝ වස්තුවකට හෝ ප්‍රවේගයක් නැත්නම් එය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව චලනය නොවන්නේ ය යන්න පුනරුක්තියක් (tautology) නොවේ දැයි කිසිවකු අසනු ඇත. එහෙත් තවදුරටත් සලකා බැලීමේ දී ඒ ප්‍රකාශයේ ඇති වැදගත්කම තේරුම් යනු ඇත. ගැලීලියෝට අනුව ගස පොළොවත් සමග චලනය වන බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ගසට ප්‍රවේගයක් නැත. පොළොවට සාපේක්‍ෂව ගස නිශ්චලව පවතියි. එහෙත් පොළොවෙන් බාහිරව පිහිටි නිරීක්‍ෂකයකුට අනුව පොළොවට මෙන් ම ගසට ද චලිතයක් වෙයි.

පොළොවෙන් බාහිරව පිහිටි නිරීක්‍ෂකයකුට අනුව පොල් ගසේ මුදුනේ පිහිටි පොල් ගෙඩියට ද චලිතයක් වෙයි. එහෙත් පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසටවත් ගස මුදුනේ ඇති පොල් ගෙඩියටවත් චලිතයක් නැත. ගැලීලියෝගේ සාපේක්‍ෂතා මූල ධර්මයෙහි වැදගත්කම ඇත්තේ ඒ බව තේරුම් ගැනීමෙහි දී ය. පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගස මුදුනෙහි ඇති පොල්ගෙඩියට චලිතයක් නැත. පොල් ගෙඩිය නටුවෙන් ගිළිහී යෑමෙන් පසු එය සිරස්ව ත්වරණයක් සහිතව පොළොවට වැටෙන බව පොළොවේ සිටින නිරීක්‍ෂකයාට පෙනෙයි. එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් (පොළොවට සමාන්තර ව) ප්‍රවේගයක් නැති අතර වෙනස්වන (ත්වරණය හේතුවෙන්) සිරස් ප්‍රවේගයක් පමණක් වෙයි.

මෙහි දී වැදගත් ම කරුණ වනුයේ පෙළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් ප්‍රවේගයක් නොමැති වීම ය. ගැලීලියෝ කියා සිටියේ පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස්ව ප්‍රවේගයක් නොමැති බැවින් පොල්ගෙඩිය පොළොවට සාපේක්‍ෂව තිරස් ව චලනය නොවන බව ය. එබැවින් පොල් ගෙඩියට පොල් ගසෙන් තිරස්ව ඉවත්විය හැකි නො වේ. එයට හේතුව පොල් ගෙඩිය, පොල් ගස හා පොළොව තිරස් ව චලනය ව නමුත් එකිනෙකට සාපේක්‍ෂව ගත්කල ඒ කිසිවකටවත් තිරස් සාපේක්‍ෂ ප්‍රවේගයක් නොමැති වීම ය.

පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙන්නේ පොළොව යම් කිසි බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව තිරස් ව චලනය නොවන නිසා නොව පොල් ගෙඩිය ද වෙනත් බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොවත් සමග එකම තිරස් ප්‍රවේගයකින් චලනය වීම නිසා ය. (මේ විශ්ලේෂණය සම්පුර්ණ යැයි මෙයින් ගම්‍ය නො වෙයි. එහෙත් දැනට අපේ අවශ්‍යතා සඳහා මෙම විශ්ලේෂණය ප්‍රමාණවත් වෙයි.) ගැලීලියෝගේ කාලයෙහි සිටි අනෙක් උගතුන් තර්ක කළේ වෙනත් පදනමක පිහිටා බව මෙහි දී සඳහන් කළ යුතු වන්නේ නැතහොත් මෙම පැහැදිලි කිරීමෙහි අඩුපාඩුවක් ඇති බැවිනි.

එකල සිටි අනෙක් උගතුන්ට අනුව පොල් ගෙඩියට තිරස් ප්‍රවෙිගයක්, එනමි පොළොවට සමාන්තර ව කිසිම ප්‍රවේගයක් නො වී ය. ඔවුන්ට සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය නොතිබූ බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව පොළොවට ද කිසිදු ප්‍රවෙිගයක් (තිරස්ව හෝ වෙනත් දිශාවකට හෝ) නො වී ය. එබැවින් පොල් ගෙඩිය පොල් ගස මුල වැටීම ඔවුන්ට මුල දී ප්‍රශ්නයක් නො වි ය.

ඔවුන්ට එය ප්‍රශ්නයක් වූයේ ගැලීලියෝ පොළොව චලනය වන්නේ යැයි කීමෙන් පසුව ය. පොළොව එලෙස යම්කිසි දිශාවකට චලනය වන්නේ නම් හා පොල් ගෙඩිය චලනය නොවන්නේ නම් පොල් ගෙඩිය පොල් ගස මුල වැටෙන්නේ කෙසේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් විය. ගැලීලියෝ ඒ ප්‍රශ්නයට දුන්නේ ඉතාමත් බුද්ධිමත් ඒ නිසා ම සරල පිළිතුරකි. ඔහු කියා සිටියේ පොල් ගෙඩියට ද චලනයක් ඇති බවත් පොල් ගෙඩිය ද පොළොවේ ප්‍රවේගයෙන් ම (බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව) තිරස් ව (පොළොවට සමාන්තර ව) චලනය වන බවත් ය.

පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් ප්‍රවෙිගයක් නැති බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට පොල් ගෙඩිය තිරස් ව චලනය නො වෙයි. එබැවින් පොල් ගෙඩිය එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසෙන් තිරස් ව ඉවත් නො වෙයි. ඒ හේතුවෙන් පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙයි. මෙහි දී ගැලීලියෝ පොළොව චලනය වන බවක් නො පෙන්වී ය. පොළොවේ සිට ම පොළොව චලනය වන බව නිරීක්‍ෂණය කළ හැකි නො වේ. ඔහු කළේ ඉතා සියුම් තර්කයකින් සාපේක්‍ෂ ප්‍රවෙිගය නමැති සංකල්පය ඔස්සේ පොළොව චලනය වන බව ඒත්තු ගැන්වීම ය.

මෙහි දී කරුණු දෙකක් අවධාරණය කළ යුතු ය. අප බොහෝ විට කරන්නේ වෙනත් අයකුට යමක් ඒ්ත්තු ගැන්වීම ය. එහි දී ඔප්පු කිරීම, සාධනය කිරීම ආදී වචන වැදගත් නො වේ. බටහිර ගණිතයෙහි දී යම් යම් ප්‍රතිඵල සාධනය කරන බව සෑබෑ නමුත් එසේ කරන්නේ තවත් යම් ප්‍රස්තුතයක් උපකල්පනය කිරීමෙනි. එසේ උපකල්පනය කෙරෙන ප්‍රස්තුතය වලංගු ද නැද්ද යන්න එහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ ප්‍රස්තුතය ඒත්තු ගැන්වීම ද බටහිර ගණිතයෙහි දී අවශ්‍ය නො වේ. බටහිර ගණිතයෙහි දී කෙරෙන්නේ යම් ප්‍රස්තූතයක් (ප්‍රස්තුත) සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් තර්කයෙන් තවත් ප්‍රස්තූතයක් ලබා ගැනීම ය. බටහිර ගණිතයෙහි කිසිවක් කිසිවකුට ඒත්තු ගැන්වීමක් අවශ්‍ය නො වේ. එහි දී වැදගත් වන්නේ ඒ එසේ නම් මෙි මෙසේ ය යන ආකාරයේ ප්‍රස්තුත ය. ඒ එසේ වන්නේ ද යන්න එහි දී ප්‍රශ්නයක් නො වෙි.

දෙවැනි කරුණ වන්නේ ගැලීලියෝගේ වියුක්ත චින්තනය ය. පොළොව ගමන් කරන බව නොපෙන්වා ම ඔහු ඒ බව ඒත්තු ගැන්වී ය. පොළොව ගමන් කරන බව පොළොව මත සිටින කිසිම නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එසේ කළ හැකි වන්නේ පොළොවෙන් පිටතට ගොස් ය. අභ්‍යාවකාශයට යන්නකුට පොළොව චලනය වන බව දැකගත හැකි වනු ඇත. එහෙත් ගැලීලියෝගේ කාලයේ එවැනි පහසුකම් කිසිවකුටවත් නො වී ය.

ගැලීලියෝ පංචේන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ මත පදනම් නොවෙමින් එහෙත් එවැනි නිරීක්‍ෂණ මනසෙහි මවා ගනිමින් පොළොව වෙනත් බාහිර නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව චලනය වන බව තම සමකාලීනකයන්ට ඒත්තු ගැන්වී ය. එක්තරා අයුරකින් ගත්කල ඔහු ඊනියා පරික්‍ෂණාත්මක ක්‍රමයේ පියා නොව චිත්ත පරීක්‍ෂණයේ (thought experiments) පියා විය. පීසා නුවර ඇලවෙන කුලුන පාමුල ඔහු රික්තයක් මවා ගන්නා ලෙස අන්‍යයන්ට කීවේ ය. පොළොව ගමන් කිරීම පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු ශූන්‍ය වූ නොපෙනෙන සාපේක්‍ෂ ප්‍රවේග යොදා ගනිමින් මනසෙහි ඒ මවා ගැනීමට සලස්වා තමන්ට අවශ්‍ය දේ අනෙක් අයට ඒත්තු ගැන්වී ය.

මේ වියුක්තකරණය නොමැතිව බටහිර වි්‍යාවට උපතක් නො වී ය. අයින්ස්ටයින් විද්වතා පසු කලෙක වියුක්්තකරණය හා චිත්ත පරීක්‍ෂණ උපරීම තලයකට ගෙන ආවේ ය. අනිවාර්යයෙන් ම වියුක්තය පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගියේ ය. පෞද්ගලික ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ හා වියුක්ත චින්තනය අතර වූ පරස්පරය හේතුවෙන් අද බටහිර විද්‍යාව ඉමහත් අර්බුදයකට මුහුණ පා ඇත.