Main Logo

Showing posts with label පළාත්සභා. Show all posts
Showing posts with label පළාත්සභා. Show all posts

Saturday, 18 May 2013

ඉඩම් බලතල හා ජනගහණ ව්‍යාප්තිය

උතුරේ ප්‍රශ්නය හුදු ඉඩම් බෙදීම පිළිබඳ ප්‍රශ්නයක් යැයි කියන්නෝ බටහිරයන්ගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගත් පුස්සෝ ය. මිනිසුන් යුද්ධ කරන්නේ ඉඩම් අල්ලා ගැනීමට පමණක් නොවන බව පසුගිය සියවස් ගණනාවක ඉතිහාසය සාක්‍ෂි දරයි. ඉඩම් කතන්දරය සියල්ල ආර්ථික ව්‍යුහයකට ඌනනය කිරීමට තැත්කරන්නන්ගේ ගෙතීමක් පමණක් වෙයි. මිනිස්සු විවිධ හේතු නිසා යුද්ධ කරගනිති. සැමුවෙල් හන්ටින්ග්ටන් තම සුප්‍රසිද්ධ කෘතිය මගින් බටහිරයන්ට කියා සිටියේ ෆුකුයාමා කී ආකාරයට නොවන බවත් ඉතිහාසය නිම වී නැති බවත් අනාගතයේ දී සභ්‍යත්ව ගැටුම්වලට සූදානම් විය යුතු බවත් ය. එහෙත් මෙරට ඇතැම් ජාතිකවාදියකු එය වැරදියට තේරුම් ගෙන එය සංස්කෘතියෙහි වැදහත්කම බටහිර පඬිවරයකු ද තේරුම් ගත් අවස්ථාවක් ලෙස හුවා දැක්වීමට කටයුතු කළේ ය. එහෙත් මුල් අවස්ථාවේ දී ම ඔහු නිවැරදි කර ගැනීමට අපට හැකි විය. එහෙත් එයින් කියැවෙන්නේ සංස්කෘතික ගැටුම් නොමැති බව නො වේ.

බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවායෙහි ආර්ථික හා දේශපාලන සංරචක මෙන් ම සංස්කෘතික සංරචකයක් ද වෙයි. බටහිරයන් අපේ රටවලට පැමිණියේ සංස්කෘතික ආධිපත්‍යය ද අප මත පැටවීමට ය. අද එය අධ්‍යාපනය මගින් මෙන් ම ජනමාධ්‍ය මගින් ද සිදුවෙයි. විශේෂයෙන් ම ඉංගිරිසිහු සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට හෝ එසේ නොහැකි නම් එය දුර්වල කිරීමට හෝ කටයුතු කළහ. අප දෙමළ ප්‍රශ්නය දකින්නේ ඒ සඳහා ලන්දේසීන්ගෙන් පසුව ඉංගිරිසින් විසින් නිර්මාණය කෙරී පෝෂණය කෙරුණු ප්‍රපංචයක් ලෙස ය. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ලංකාවේ දේශපාලන හා සංස්කෘතික නායකත්වය දෙමළ වෙල්ලාලයන්ට හිමිකර දීමට ය. සර්වජන ඡන්දයෙන් පසු එය කළ නොහැකි බව තේරුම්ගත් දෙමළ නායකයෝ හා ඉංගිරිසිහු අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ඊළමක් පිහිටුවීමට උත්සාහ කළහ. එහි දී ඔවුහු ඒ පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි යන සංකල්පය ඉන්දියාවත් සමග එකතු වී යොදාගත්හ. ඉඩම් ප්‍රශ්නය දෙමළ ජාතිවාදයට එකතු වූයේ ඒ අයුරෙන් ය. එසේ නැතිව ඉඩම් බෙදාගැනීමට නොහැකි ව ඒ කටයුත්ත කරගැනීම සඳහා දෙමළ ජාතිවාදීන් ඊළමක් වෙනුවෙන් සටන් කළා නො වේ. කෙසේ වෙතත් ඉනද්ියාවේ මැදිහත්වීමෙන් ඉඩම් බලතල පළාත් සභාවලට හිමිකර දීමට ජේ ආර් ජයවර්ධන මෙන් ම රනිල් වික්‍රමසිංහ ද සජිත් ප්‍රේමදාසගේ පියා වූ ආර්. ප්‍රේමදාස ද ක්‍රියාකළහ. එසේ නැතැයි සජිත් ප්‍රේමදාස කියන්නේ ද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසීමට නොදන්නා ඔහු යොවුන් පාර්ලිමේන්තුවටවත් සුදුසු නො වේ. දැන් ත්‍රස්තවාදය නිම වී ඇති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය දැයි රනිල් වික්‍රමසිංහ ඒ අතර අසයි. ඔහු ත්‍රස්තවාදය නැතිකිරීමට උදවු දුන් පුද්ගලයෙක් නො වෙයි. ඔහු ඊනියා සටන් විරාම ගිවිසුම් ආදිය මගින් ඊළමට මග කැපී ය. එහෙත් ඔහු කතාකරන්නේ තමා ත්‍රස්තවාදය නැතිකළ පුද්ගලයා ලෙස ය. ත්‍රස්තවාදය දැන් නැතිකර ඇති නමුත් නැවත එය ඇතිවීම වැළැක්විය යුතු ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය එබැවිනි. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇති එ ජා පක්‍ෂයට දෙවියන්ගේ ම පිහිට ය.

උතුරු පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීමට පෙර පොලිස් බලතල මෙන් ම ඉඩම් බලතල ද පළාත් සභාවලට අහිමි කරන ලෙස අපි කියා සිටිමු. නැති ප්‍රශ්නයකට ගෙන ආ ඊනියා විසඳුමක් වූ පළාත් සභා අහෝසි කළ යුතු ය. ඒ අහෝසි කරන තෙක් පළාත් සභාවලට හිමි කර දී ඇති පොලිස් හා ඉඩම් බලතල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පළාත් සභාවලට අහිමි කරන ලෙස අපි ඉල්ලමු. විශේෂයෙන් ම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන මේ මොහොතෙහි එයට පළමු ඒ බලතල පළාත් සභාවලින් ඉවත් කළ යුතු ය. එයට හේතු ගණනාවක් වෙයි. ප්‍රධාන හේතුව වන්නේ උතුරේ හමුදා කඳවුරු පවත්වා ගෙන යෑම ය. යම් අයුරකින් උතුරු පළාත් සභාව බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහාය ඇතිව උතුරු පළාතේ හමුදා කඳවුරු ඇති ඉඩම් පවරාගතහොත් ඇතිවන තත්වය කුමක් ද? ලංකාණ්ඩුවට උතුරු පළාතේ හමුදා කඳවුරු පවත්වාගෙන යෑමට ඉඩක් ලැබේ ද? හමුදා කඳවුරු, ගුවන් හමුදා කඳවුරු ද ඇතුළුව, පවත්වාගෙන යා යුත්තේ පොළොවේ මිස අහසේ නො වේ. මේ අතර ඇතැම් මුස්ලිම් ඇමතිවරයකු උතුරු පළාතේ මුස්ලිම් ජනයා පදිංචි කරවන්නේ පළාත් සභා බලතල ද නැතිව ය. පළාත් සභාවලට ඉඩම් බලතල හිමිවුවහොත් සිංහලයන්ට උතුරු පළාත අහිමිවනු ඇත. උතුරු පළාතෙන් පන්නනු ලැබූ සිංහලයන් තවමත් එහි යළි පදිංචි කෙරී නොමැති බව ද සිහි තබාගත යුතු ය. පෘතුගීසීන් පැමිණෙන විට ද යාපනයෙහි බහුතරය වූයේ සිංහලයන් බව ද නැගෙනහිර පළාතේ දෙමළ ජනයා හෝ මුස්ලිම් ජනයා හෝ පදිංචි වී නොසිටි බව ද අවධාරණය කළ යුතු ය.

නන්දිකඩාල් යනු හුදෙක් ප්‍රභාකරන්ගේ හා දෙමළ ත්‍රස්තවාදයේ පරාජයක් පමණක් නො වේ. එය බටහිරයන්ගේ ද පරාජයකි. කස්ත්‍රෝට හා හෝ චිං මිං ට පසුව බටහිරයන්ට එවැනි පරාජයක් අත්කර දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ය. බටහිරයන්ට ඒ මහතාගේත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත් හිස් අවශ්‍ය වී ඇත්තේ ද එබැවිනි. එමෙන් ම නන්දිකඩාල් යනු මෙතෙක් දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇතිකරගත් සියළු ගිවිසුම්වල ද පරාජයකි. ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය සටන් කළේ ඒ සියළු ගිවිසුම් ද වෙනුවෙනි. පොන්නම්බලම් රාමනාදන්ගෙන් පටන්ගත් සිංහල විරෝධී ගිවිසුම් වෙනුවෙන් ප්‍රභාකරන් පෙනී සිටියේ ය. අනෙක් අතට ඒ සියළු ගිවිසුම් ඊළම කරා යන මගෙහි අම්බලම් පමණක් විය. අම්බලමක සදාකාලික ව නැවතීමේ බලාපොරොත්තුවක් විශේෂයෙන් ම චෙල්වනායගම්ගෙන් පසු දෙමළ ජාතිවාදී නායකයන්ට නොවී ය. දැන් ටිකක් පසුව හුඟක් යන්න චෙල්වනායගම්ගේ සූත්‍රය විය. නන්දිකඩාල් සමග සියළු අම්බලම් ද කඩා වැටිණි. එබැවින් ද දහතුන්වැනි සංශෝධනය දැන් අවලංගු වෙයි. තීරණාත්මක ව අවසන් වූ “යුද්ධයකින්” පසු අතරමැදි ගිවිසුම් අවලංගු වනවා පමණක් නොව ඒ ගැන කිසි සාකච්ඡාවක් ද අවශ්‍ය නො වේ. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු චර්චිල් නාටිසිවාදීන් සමග සාකච්ඡා නො පැවැත්වී ය.

උතුරේ හා නැගෙනහිර දෙමළ ජනයා සිංහලයන් සමග සංහිඳියාවකට එළඹිය යුතු යැයි කියන්නෝ වෙති. මේ මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ඇතිකරගත් ඊනියා සංහිඳියාව අනුව කළයුත්තක් ලෙස බටහිරයෝ සලකති. මැන්ඩෙලා අවසානයේ දී බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඊනියා සංහිඳියාවක් ඇතිකර ඔවුන්ගේ ද වීරයකු බවට පත් වී ඇති බව පැහැදිලි ය. අපට අවශ්‍ය දෙමළ හා මුස්ලිම් ජනයා ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොව ලංකාවේ පුරවැසියන් බවට පත්කිරීමටත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව ඔවුන්ටත් අවබෝධ කිරීමටත් ය. සංස්කෘතීන් අතර ඇතිවන අවශෝෂණයට ආදියට කෙරෙන බාධා ද නැතිකළ යුතු ය. අප බටහිරයන්ට හා මෙරට ඔවුන්ගේ ගැත්තන්ට කියා සිටින්නේ අපට අවශ්‍ය ඊනියා සන්හිඳියාවක් නොව විදේශික බලපෑම්වලින් තොර සහජීවනයක් බව ය. අපට ලංකාවේ පුංචි රෝම හෝ පුංචි චෙන්නායි හෝ පුංචි අරාබි නැතිවාට සියළු සංස්කෘතීන්ගේ අනන්‍යතා රැකගත හැකි ය. අප ඒ සියළු අයට තේරුම් කර දිය යුත්තේ අද ලෝකය මත බලහත්කාරයෙන් පටවා ඇති ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව අප සියළු දෙනාම එක්විය යුතු බවත් බටහිරයන් මෙරට සුළුතර ජනකොටස් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යොදා ගැනීමට කටයුතු කරන බවත් ය.

ලංකාවේ ඉඩම් බෙදීම පිළිබඳ තනි අයිතිය තිබිය යුත්තේ ලංකාණ්ඩුවට ය. පළාත් සභා අහෝසි කරන තෙක් වුවත් පළාත් සභාවලට ඒ සම්බන්ධයෙන් කිසදු අයිතියක් නොතිබිය යුතු ය. මෙරට කුමන ආකෘතියක් යටතේ වුව ද සිදුවන සංවර්ධනයක දී ජනතාව පදිංචි කිරීම පිලිබඳ අයිතිය ලංකාණ්ඩුවට තිබිය යුතු ය. එය ඒ ඒ ජනවර්ගයේ ඇමතිවරුන්ගේ ඕනෑ එපාකම් මත සිදුවිය නො යුතු ය. අද ඇතැම් ඇමතිවරුන් උතුරු හා නැගෙහිර පළාත්වල තම ජනවර්ගවලට අයත් ජනතාවට ඉඩම් ලබාදෙන බව රහසක් නො වේ. ඒ ක්‍රියා වහාම නැවැත්විය යුතු ය. ඉඩම් බෙදීමේ අයිතිය හා ජනතාව පදිංචි කිරීමේ කාර්යය ආණ්ඩුවට පමණක් පැවරීම පිලිබඳ ව බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් විරුද්ධ වනු ඇත. එයින් ජනගහණ ව්‍යාප්තිය වෙනස්වන බවට ඔවුන් කරුණු දක්වනු ඇත. එහෙත් මෙහි දී සැලකිල්ලට ගත යුත්තේ අද ලංකාවේ ජනගහණ ව්‍යාප්තිය ස්වාභාවික හේතු මත ම ඇතිවූවක් නොවන බව ය. විජය රජුගේ කතාවෙන් පටන් ගත්ත ද ජනගහණය එදා ද පැතිරී ගොස් ඇත්තේ ජනපද ඇති කිරීම මුල්කර ගෙන ය. පසු කලෙක වත්මන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා ව්‍යාප්ත වී ඇත්තේ සෙනරත් රජු පෘතුගීසීන්ගේ අඩත්තේට්ටම්වලට ලක් වූ මුස්ලිම් ජනයා එම පළාතේ පදිංචි කරවීම නිසා ය. එය මුළුමනින් ම රජය මැදිහත් වී කරණ ලද්දකි. මෙරට මුස්ලිම් ජනයා අරාබීන්ගෙන් පැවත එන්නන් නොවන බව පැහැදිලි ය. අරාබි පිරිමින් සිංහල ස්ත්‍රීන් විවාහ කරගැනීමෙන් මෙරට මුස්ලිම් ජනයා ඇති වී නම් ඔවුන් කතාකළ යුත්තේ එක්කෝ සිංහල හෝ අරාබි හෝ බව අපි කලට ඉහත දී පෙන්වා දුන්නෙමු. මෙරට මුවර් මුස්ලිම් ජනයා භාරතයේ දකුණු දෙසින් සංක්‍රමණය වූ දෙමළ කතාකරන මුස්ලිම් ජනයාගෙන් පැවත එති. ඔවුන්ට මෙරට අවුරුදු දහසක් ඈතට යන ඉතිහාසයක් නැත. ලංකාවේ පැරණි ම මුස්ලිම් පල්ලිය තනා ඇත්තේ කවදා ද? යටත්විජ්ත සමයේ දී මෙරටට ගෙන්වනු ලැබ කොළඹ හා අවට පදිංචි කෙරුණු මැලේ මුස්ලිම් ජනයා අද වන විටත් සිංහල මුස්ලිම් බවට පත් වී ඇත. එය අගය කළ යුතු ය. උතුරු පළාතේ දෙමළ ජනයා මූලික ව ලන්දෙිසීන් විසින් දුම්කොළ වගාවට ගෙනෙන ලද්දන්ගෙන් පැවත එති. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා පදිංචි කරනු ලුබුයේ ඉංගිරිසින් විසිනි. ඉතා පැහැදිලිව උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහණ ව්‍යාප්තිය බටහිරයන් විසින් තම දේශපාලන බලතල යොදා ඇති කළ යටත්විජිතවාදී ව්‍යාප්තියකි. ඒ ජනගහණ ව්‍යාප්තිය වෙනස් කිරීමට ලංකාණ්ඩුවට බලයක් නැතැයි බටහිරයන් කියන්නේ ඔවුන් තවමත් මෙරට යටත්විජිතවාදී පාලකයන් නිසා ද? සංවර්ධනය හා රටේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනගහණ ව්‍යාප්තිය වෙනස්කිරීමට හා ඉඩම් බෙදාදීමට ආණ්ඩුවට මිස වෙනත් කිසිවකුට අයිතියක් තිබිය යුතු නැත.
(13/05/12)

නලින් ද සිල්වා

Tuesday, 14 May 2013

පළාත් සභා හා උතුරේ ඡන්දය

උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වෙනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශකර ඇත. අනෙක් පළාත් සභා මැතිවරණ පවත්වා තිබිය දී උතුරු පළාතේ පමණක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් පිටුපස හැමදාමත් සිටි බටහිරයන්ට හා ඉන්දියාවට වඳුරන්ට ඉණිමං බැඳීමක් විය. එහෙත් අප අපේ රට සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ බටහිර රටවල් හා ඉන්දියාව දෙස බලා නො වේ. අපේ රටේ ස්වෛරීභාවය, ආරක්‍ෂාව, භෞමික අඛණ්ඩතාව, ඒකීය භාවය (එක්සේසත් බව) ආදිය එහි දී වැදගත් වෙයි. ඉහත සඳහන් කරුණක් හෝ කරුණු කිහිපයක් නිසා හෝ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු යැයි අපට වැටහේ නම් අප ඒ අනුව අදාළ මැතිවරණය නොපැවැත්විය යුතු ය. එහෙත් අපේ තීරණය යුක්තියුක්ත කිරීමට අපට හැකි විය යුතු ය.

පළාත් සභා අහෝසි කරනු දැකීම මගේ අභිප්‍රාය වෙයි. එයට ප්‍රධාන හේතුව පළාත් සභා මෙරට ඇති ප්‍රශ්නයකට විසඳුමක් නො වීම ය. පළාත් සභා ඇතිකරනු ලැබුයේ ඉන්දියාවේ අවශ්‍යතාවට ය. එය දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නවලට ඊනියා විසඳුමක් ලෙස ඉන්දියාව විසින් බලයෙන් පටවන ලද්දේ එංගලන්තයේ හා ඇමරිකාවේ ආශිර්වාදය හා අනුග්‍රහය යටතේ ය. එහෙත් මෙරට ඇති ප්‍රශ්නය අන් කිසිවක් නොව ඉංගිරිසි හා ලන්දේසි යටත්විජිත යුගවල දී සිංහල බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් ය. මේ අසාධාරණකම්වලට තවමත් විසඳුම් ලැබී නැත. සිංහල බෞද්ධයෝ තවමත් අසාධාරණකම්වලට ලක්වෙති. මෙයට යම් ප්‍රමාණයකට වගකිව යුත්තෝ සිංහල බෞද්ධයන්ගේ ඊනියා නායකයෝ ය. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවට තවමත් පිළිගැනී නැත. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජනතාවගේ සංස්කෘතිය සිංහල බෞද්ධ විය. මෙරට ජනතාවගේ ජීවන රටාව සිංහල බුද්ධාගම විසින් සකස් කෙරිණි. මෙරට ජනතාවගේ චින්තනය, අවශ්‍ය නම් ජාතික චින්තනය, සිංහල බෞද්ධ චින්තනය විය. දැනුම ද ඇතුළත් වූ සංස්කෘතිය ගොඩනැගෙන්නේ යම් චින්තනයක ය. එයින් අදහස් වන්නේ චින්තනය යන්න මූල හේතුවවත්, චින්තනය වෙනස් නොවන බවක්වත් නො වේ. චක්‍රීය චින්තනයක මූල හේතු නැත. අනිත්‍ය ගැන කියැවෙන සංස්කෘතියක නිත්‍ය චින්තනයක් තිබිය නො හැකි ය.

ඇතැම් සිංහල බෞද්ධයන් ම, ඇතැම් භික්‍ෂූන් වහන්සේ ම, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු සුවිශේෂ තත්ත්වය අහිමිකිරීමට කටයුතු කරනු දැක්ම කණගාටුදායක ය. ඊනියා සර්ව ආගමික සංකල්පය මගින් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු විශේෂ තත්ත්වය අහිමි කිරීම ය. මෙරට බහු සංස්කෘතික රටක් වන්නේ කිනම් අර්ථයකින් ද? ඕනෑම රටක සංස්කෘතීන් එකකට වඩා තිබිය හැකි මුත් ඒ සෑම රටකම අධිපතිවාදී සංස්කෘතියක් හෝ විශේෂිත සංස්කෘතියක් හෝ පවතී. එහෙත් ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස හැඳින්වෙන්නේ මෙරට සෑම සංස්කෘතියක් ම සමාන ය යන අර්ථයකිනි. සර්ව ආගමික භික්‍ෂූන්වහන්ස්ලා ද සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැතිකරති. අප පළමු කොට ම මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීමට සැලැස්විය යුතු ය. අපේ ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො ලැබීම ය. මෙරට චින්තනය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ චින්තනය බව විශ්වවිද්‍යාලවල සිටින බටහිර ගැති නිවට පුස්සන්ට කියා දිය යුතු ය. මේ පුස්සෝ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලොවේ ම අධිපතිවාදී චින්තනය බව පිළිගනිති. දැනුම හා සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල මේ පුහු නිවටයෝ වෙනත් කිසිම සංස්කෘතියකට හෝ චින්තනයකට හෝ ඉඩක් නො දෙති. එහෙත් බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම පට්ටපල් බොරුවක් බව පෙන්වූ විට ඔවුන්ට එයට විරුද්ධව කීමට දෙයක් නැත. ඔවුහු දිගට ම නිවටකම නිසා ම පට්ටපල් බොරුවේ ගැලී සිටිති.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ අසාධාරණයක් නොමැති බව පෙන්වා දශක දෙකකට වැඩි ය. එහෙත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනාට ඒ ගැන වැටහීමක් නැත. සිංහල භාෂාව මෙරට ඈත අතීතයේ සිට රාජ්‍ය භාෂාව විය. එසේ නොවූයේ ඉංගිරිසින්ගේ කාලයේ පමණ ය. රාජ්‍ය භාෂාව යන සංකල්පය අද අරුතින් නිර්වචනය කර නැති වුවත් මෙරට රාජ්‍ය කටයුතු කෙරී ඇත්තේ සිංහලෙනි. ඒ බව දිවයින පුරා විසිරී ඇති සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. මෙරට ඇති දෙමළ සෙල්ලිපි සංඛ්‍යාව කෙතෙක් ද? ඒ දෙමළ සෙල්ලිපි ද ඇත්තේ දෙමළ වෙළෙන්දන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙරට කිසිම දිනෙක දෙමළ රාජ්‍ය භාෂාව වි නැත. එසේ වී ඇත්නම් ඒ බව ඔප්පුකරන මෙන් මෙරට සිටින වීරයන් වීමට දඟලන පුස්සන් වූ කසිකබල් ඉතිහාසඥයන්ට අභියෝග කරමු. පෘතුගීසීන් හා සංකිලි අතර වූ ගිවිසුම ද ඇත්තේ සිංහල හා පෘතුගීසි භාෂාවලින් මිස දෙමළ භාෂාවෙන් නොවන බව ගාමිණී ඊරියගොල්ල මහතා පෙන්වා දී ඇත. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ අවාසියක් නැත. ඒ දෙමළ ජනයා යම් පිරිසක්වත් ඉංගිරිසියට වඩා සිංහල දත් බැවින් ඔවුන්ට අත්වූයේ වාසියකි. සිංහල රාජ්‍ය භාෂාව වීම නිසා අවාසියක් වී නම් ඒ ඉංගිරිසි දත් එහෙත් සිංහල නොදත් ප්‍රභූ දෙමළ වෙල්ලාලයන්ට පමණකි. මෙරට 1931 සිට සිදු වී ඇත්තේ සර්වජන ඡන්දය ලැබීමත් සමග ඉංගිරිසි දත් දෙමළ වෙල්ලාලයනගේ වරප්‍රසාද අඩුවීම ය. ඒ වරප්‍රසාද අඩුවීම දෙමළ වෙල්ලායෝ හා ඉංගිරිසිහු සාමාන්‍ය දෙමළ ජනයාට වූ අසාධාරණයක් ලෙස ප්‍රචාරය කළහ. දෙමළ ජනයාට නිදහසෙන් පසුව සිදුවිණි යැයි කියන අසාධාරණකම්වල මුල ඇත්තේ එතැන ය. පළාත් සභා ගෙන ආවේ දෙමළ ජනයාට නැති ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට ය. එහි බලාපොරොත්තුව මුළු රටේ ම නායකයන් වීමට සිටි දෙමළ වෙල්ලාලයන්ට අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල නායකකම් ලබා දී පසුව ඒ පළාත් වෙන ම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීම ය.

දෙමළ වෙල්ලාලයන්ට සාකච්ඡා හා ගිවිසුම් මගින් කරගැනීමට නොහැකි වූ දේ කිරීමට බටහිර්යෝ හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදය යොදාගත්හ. දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති දෙමළ ජාතිවාදයට අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පිහිට කරගැනීමට සිදු විය. එහෙත් දෙමළ ත්‍රස්තවාදය අවුරුදු තිහක සටනකින් පසු පරාජයට පත්විය. අද දෙමළ ත්‍රස්තවාදය නැත. එහෙත් දෙමළ ජාතිවාදය ඇත. එයට පොහොර දමමින් එය රැකගන්නේ බටහිර රටවල් හා ඉන්දියාව ය. විසුරුණු දෙමළ ජනතාව බටහිරයන්ගේ ආයුධයක් පමණ ය. දෙමළ ජාතිවාදයට ලංකාවේ තනිව ම ගත්කල ඉඩක් නැත. බටහිරයන් හා ඉන්දියාව එය ක්‍රියාත්මක කරන්නේ දෙමළ ජාතික සංධානය, රාජ්‍ය නොවන සංවිධාන, පුහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් (විශේෂයෙන් ම එතරම් ඉහළ පංති සාමාර්ථ නැති අය හා විවිධ ඊනියා පර්යේෂණවල යෙදී තරමක් වයස්ගත වූ පසු කථිකාචාර්යකම් ලබාගෙන ශාස්ත්‍ර පීඨවල සේවය කරන පුස්සන්), එ ජා ප, කසිකබල් මාක්ස්වාදී පක්‍ෂ ආදිය මගින් ය. ඔවුන් මොන තරම් දැඟළුවත් මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිටිනා තෙක් දෙමළ ත්‍රස්තවාදයට ඉඩක් නැත. මේ ආණ්ඩුව බලයට පත්වූයේ සිංහල, ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ ඡන්දවලිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ ඡන්ද පදනම නැතිකරගනු ඇතැයි සිතිය නො හැකි ය.

අද තත්වය පසුගිය අවුරුදු තිහට වඩා වෙනස් ය. ඇතැම් ජාතිකවාදීන් ඒ බව අවබෝධ කරගෙන නැත. අද බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා කෙසේ නමුත් දංගෙඩියට යැවීම ය. ඔවුන් ජෙනීවා සමුළු ආදිය යොදාගන්නේ ඒ සඳහා ය. ඒ මහතා ඡන්දයෙන් පරාජය කර හෝ වෙනත් ක්‍රමයකින් හෝ දංගෙඩියට යැවීමට ඔවුහු උත්සාහ කරති. කිනම් අඩුපාඩුකම් මැද වුව ද මේ ආණ්ඩුව රැකගැනීම අද වැදගත් වන්නේ එසේ නොවුනහොත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව මෙරට ඊළමක් පිහිටුවන බැවිනි. රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දත කට මැදගෙන සිටියි. දෙමළ ජනතාව පමණක් නොව මුස්ලිම් ජනතාව ද මෙරට සැබෑ පූවැසියන් කරගැනීමේ අවශ්‍යතාව ඇත. ඔවුන් ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොවන බව ඔවුන්ට අවබෝධවන අයුරින් ජාතිකවාදීන් කටයුතු කළ යුතු ය. පසුගිය දා මම නැගෙනහිර පළාතේ දින කිහිපයක් ගතකෙළෙමි. ඇතැම් මුස්ලිමුන් කාත්තන්කුඩිය ඉඳිගස් ද සහිත පුංචි අරාබියක් කරගැනීමට උත්සාහ කරනු දුටුවෙමි. මෙරට රෝමානු කතෝලිකයෝ අද වන විට සිංහල කතෝලිකයන් බවට පත්වී සිටිති. මෙරට මුස්ලිමුන් අරාබි මුස්ලිමුන් නොව හෙළ මුස්ලිමුන් බවට පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. එහෙත් ඒ සඳහා පළාත් සභා අවශ්‍ය නො වේ. කුමාරතුංග මුනිදාස මහතාගේ අදහසක් සුළුවෙන් වෙනස්කර හෙළ බොදුනුවන්, හෙළ කිතුණුවන්, හෙළ හින්දූන් හා හෙළ මුස්ලිමුන් (ඉස්ලාමිකයන්) වීමට අපි උත්සාහ ගනිමු.

අද හැකිනම් කළයුත්තේ පළාත් සභා අහෝසි කිරීම ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමකු වූ අභාවප්‍රාප්ත රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇත. ඒ කෙසේ වෙතත් පළාත් සභා අහෝසිකිරීමට තවමත් වාතාවරණය සකස් වී නැත්නම් අද කළ යුත්තේ පොලිස් බලතල ඉඩම් බෙදීමේ බලතල ආදිය පළාත් සභාවලට අහිමි කිරීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම බටහිරයන්ගේ බලාපොරොත්තුව බව ඉහත සඳහන් කළෙමි. පසුගිය දිනෙක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ ප්‍රාන්ත පොලීසියක් මගින් අත්අඩංගුවට ගැණිනි. යම් අයුරකින් පොලිස් බලතල සහිත උතුරු පළාතේ පළාත් සභාවේ පොලීසිය බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහායෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඒ පළාතට ගිය විට අත්අඩංගුවට ගෙන කිසියම් ආකාරයකින් බටහිරට ගෙන ගොස් ඊනියා ජාත්‍යන්තර අධිකරණයක යුද්ධාපරාධ සම්බන්ධයෙන් නඩු පවරා වරදකරු කර රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් බටහිර ගැත්තකු හෝ බලයට පත්කළහොත් ඇතිවන තත්ත්වය කුමක් ද? උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම එතරම් හිතකර නො වේ. එහෙත් එයට පළමුව පොලිස් බලතල, ඉඩම් බෙදීමේ අයිතිය පළාත් සභාවලට අහිමි කළ යුතු ය.
(13/05/05)

නලින් ද සිල්වා

Saturday, 22 September 2012

ජාතිවාදය, ජාතිවාදී පක්‍ෂ හා මැතිවරණය

පසුගිය දා පැවති පළාත් සභා මැතිවරණයෙන් දෙනු ලැබූ පණිවුඩ කිහිපයකි. උතුරු මැද හා සබරගමු පළාත් සභාවල ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානයට සිංහලයන්ගේ ඡන්දවලින් 60%ට වඩා ලැබී ඇත. එය ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්දවලට වඩා යම් ප්‍රමාණයක් අඩු ය. එයට හේතුව ප්‍රාදේශීය නායකයන්ගේ දුර්වලකම් හා ආණ්ඩුවේ දූෂණ හා නාස්තිය ය. එහෙත් තවමත් ජනතාව මහින්ද රාජප’’ක්‍ෂ මහතා කෙරෙහි විශ්වාසය තබා සිටින බව පැහැදිලි ය. ඒ මහතා බණ්ඩාරණායක මහත්ම මහත්මීන්ට ද වඩා මහජනයාට හා ඔවුන්ගේ සිතුම් පැතුම්වලට සමීප ය. චන්ද්‍රිකා හා විජය තම දෙමළ ජාතිවාදී සිංහල බෞද්ධ විරෝධී පවිටු අරමුණු සඳහා ශ්‍රී ල නි පක්‍ෂය ගසාකෑවා මිස ඔවුන්ගෙන් පක්‍ෂයට හෝ රටට හෝ වැඩක් නො සිදුවිය. පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව ඉගෙනගත යුතු පාඩම නම් දූෂණය හා නාස්තිය නැතිකිරීමට වහා ක්‍රියා කළයුතු බව ය. එ ජා පක්‍ෂය ජාතිකත්වය කරා යොමු නොවුණහොත් ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණ කිරීමට නො හැකි ය. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නො වේ. එය පක්‍ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයකි.

නැගෙනහිර පළාතේ මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානයට මෙන් ම මුස්ලිම් කොංග්‍රසයට ද තිබුණේ ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රතිපත්තිය පමණකි. ඊනියා උගතුන්ට දෙමළ හා මුස්ලිම් ජාතිවාද නොපෙනෙයි. එහෙත් ඉහත සඳහන් පක්‍ෂ දෙකට ඇත්තේ ජාතිවාදය පමණකි. නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී තරම් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදාගත් මැතිවරණයක් චෙල්වනායගම්ගෙන් පසුව තිබී නැත. එහෙත් දෙමළ හා මුස්ලිම් ජනතාව ක්‍රම ක්‍රමයෙන් ජාතිවාදයෙන් ඉවත්වීම අරඹා ඇත. මෙවර දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් යම් ප්‍රමාණයක් සංධානයට ඡන්දය දී ඇති බව පැහැදිලි ය. මෙරට සිටින සියළු ජනකොටස්වල ඡන්දය දිනාගත හැක්කේ සංධානයට හා එ ජා පක්‍ෂයට පමණකි. ඒ
පක්‍ෂ පමණක් රට පුරාම විහි දී ඇත. ඊනියා වාමාංශික යැයි කියාගන්නා පක්‍ෂවලට ජන පදනමක් නැත. ජ වි පෙට ඇත්තේ 3%ක ජන පදනමකි. එය ඉදිරියේ දී තවත් අඩුවනු ඇත. අද ජ වි පෙ ඇතුළු සියළු වාමාංශික පක්‍ෂ හා ඊනියා ලිබරල් මතධාරීහු බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. ශ්‍රී ල නි පක්‍ෂය බටහිරයන්ගේ නියෝජිතයකු නොවන නමුදු ඔවුන්ට ද තවමත් ජාතික වූ ආර්ථික ප්‍රතිපත්තියක් නැත. ශ්‍රී ල නි ප වහාම ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට යොමු විය යුතු ය. එහෙත් ඔවුන්ගේ නිදහසට කිවයුත්තේ අපට ද තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකසාගත හැකි වී නැති බව ය. එයට තවමත් හරහට ඇත්තේ ජනතාව බටහිර ක්‍රමයේ ඊනියා සංවර්ධනයක් හා ජීවන රටාවක් බලාපොරොත්තු වීම ය. ජාතික ආර්ථිකයක හා ජීවන ක්‍රමයක කෘෂි රසායනික පොහොර හා බටහිර විද්‍යාව තිබිය හැකි නො වේ. එහෙත් තවමත් මෙරට ඊනියා උගත්තු අග්ගඤ්ඤ සූත්‍රය වෙනුවට ඩාවින්ගේ පර්ණාමවාදය හා මහා පිපිරුම විශ්වාස කරති. ඇතැම් ජාතික චින්තකයෝ ද පුනබ්භවය විශ්වාස නොකරති.

පසුගිය පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නියඟය හා වර්ජන මධ්‍යයේ ය. ඉසෙඩ් ලකුණු විභාග හා ඊනියා අධ්‍යාපන අරබුදයක් ගැන කියන ලද ආණ්ඩු විරෝධී කතා මධ්‍යයේ ය. තමන් මහා විශාරදයන් යැයි සිතාගෙන සිටින සරසවි ඇදුරන්ගේ උද්ඝොෂණ හා රැළි මධ්‍යයෙහි ය. එහෙත් මේ එකකින්වත් ජනතා මතය වෙනස් කිරීමට නොහැකි වී ඇත. බහුතර ජනතාවට උපාධි නැතිකම නිසාදෝ ඔවුන්ට පුස්සන් හඳුනාගැනීමේ හැකියාව ඇත. සරසවි ඇදුරන් පළාත් සභාමැතිවරණයේ දී තම ඊනියා ජනතාවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සහභාගි නොවූයේ තම තරම තේරුම් ගෙන ඇති නිසා දැයි නො දනිමි. පෙර මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු සරසවි ඇදුරෝ ඊරියගොල්ල මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව මැතිවරණ ව්‍යාපාරවල නිරත වූහ. වත්මන් සරසවි ඇදුරන් ඊනියා 6% වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණි නම් ඔවුන්ට අත්වන ඉරණම ඉතා පැහැදිලි ය. මෙරට සරසවිවලට ඇති අධිපතිවාදී බලය නොවන්නට හා විකල්ප අධ්‍යාපන ආයතන නොමැතිවීම නොවන්නට දෙමව්පියන් තම දරුවන් සරසවිවලට නොඑවනු ඇත. සරසවි ඇදුරන්ගේ තරම තවමත් මෙරට ජනතාව හඳුනාාගෙන නැත. ඔවුහු නිර්මාණශීලී නො වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් පුරසාරම් කීවත් විශ්වවි්‍යාලවලට ඇතුළත් වී ඇත්තේ තුන්වැනි වතාවෙහි ය. ආචාර්ය උපාධි නොමැත්තෝ එමට සිටිති. තමන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු යැයි කරුණු ඉදිරිපත් කරන මහාචාර්යවරයා මෙන් ම ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීහු ද දෙවැනි පන්තියේ ඉහළ ශ්‍රේණීයේ උපාධිවත් නැති ආචාර්යවරුන් ගැන දනිති. ජනතාව සරසවි ඇදුරන්ගේ ඉල්ලීම් තුට්ටුවකටවත් ගණන් නොගන්නා බව පැහැදිලි ය. සම්මේලනය ඒ බව ඉක්මණින් වටහාගත යුතු ය .

ශ්‍රී ල නි ප සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර තහවුරු වී ඇත. තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිවුවත් ආණ්ඩුවේ චන්ද්‍රිකාවාදීන් විශාල පිරිසක් සිටියත් ශ්‍රි ල නි ප නායකත්වයට යම් ජාතිකත්වයක් ඇත. ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී ආණ්ඩුව, විශේෂයෙන් ම ජනාධිපතිතුමා බටහිර හා ඉන්දීය බලපෑම්වලට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියේ ය. අදත් ඒ බලපෑම් ඇත. විශේෂයෙන් ම පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල දීම සම්බන්ධයෙන් ඒ බලපෑම් ඇත. උතුරු මැද හා සබරගමුව පළාත්වල පමණක් නොව නැගෙනහිර පළාතේ ද සංධානය ජයග්‍රහණය කළේ මේ බලපෑම් මැද ය. දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඉතා පහත් මට්ටමින් පිළිවෙළින් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදා ගනිද්දීත් සංධානය නැගෙනහිර පළාත් සභාව ද ජයග්‍රහණ්‍ර කළේ ය. එය සියළු විරෝධතා මැද ලත් විශිෂ්ට ජයග්‍රහණයක් විය. ශ්‍රී ල නිප ඇතැම් නායකයන්ගේ වැරදි තීන්දු නොවන්නට සංධානයට ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කය ද ජයග්‍රහණය කරන්නට තිබිණි. පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය ජාතිවාදී නායකයන්ට මිස සාමාන්‍ය මුස්ලිම් හා දෙමළ ජනයාට නො චේ. ආණ්ඩුවේ වාමාංශික ඇමති ත්‍රිත්වයට හා චන්ද්‍රිකාගේ ඇමතිවරුන්ට ඒ පණිවුඩය නැගෙනහිර පළාතේ ජනයාගෙන් ලැබී ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාට බටහිරයන්ගේ මෙන් ම ඇතැම් ඇමතිවරුන්ගේ ද බලපෑම්වලට එරෙහිව නැගී සිටීමේ ශක්තිය ඇත. ඒ බලපෑම් හමුවෙහි ජනතාවගෙන් අතිමහත් බහුතරය ඒ මහතා සමග සිටින බව පළාත් සභා මැතිවරණයෙන් කියැවෙයි.

බ්ලේක්ලා ද නවනීදම්පිල්ලෙලා ද මනමෝහන්සිංලාද කරුණානිධිලා ද ආණ්ඩුව හා ජනතාවගෙන් බහුතරය අතර ඇති සම්බන්ධය තේරුම් ගත්තත් නැතත් දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඒ බව තේරුම් ගත යුතු ය. මෙරට ජාතිවාදය ඇත්තේ ඇතැම් දෙමළ හා මුස්ලිම් නායකයන් අතර ය. සාමාන්‍ය දෙමළ ජනතාව ජාතිවාදය දෙසට තල්ලු කරන්නට උත්සාහ ගත්තේ චෙල්වනායගම් ය. එහෙත් පොන්නම්බලම් රාමනාදන්ගේ කාලයේ සිට ම දෙමළ ජාතිවාදී නායකයෝ සිටියහ. මුස්ලිම් ජනයා ජාතිවාදයට යොමු කළේ අෂ්රොෆ් ය. ඔවුහු බලයට පැමිණීමට හා රට බෙදීම සඳහා ජාතිවාදය යොදාගත්හ. සිංහලයෝ ජාතිවාදී නොවූහ. කතෝලික පෘතුගීසීන්ගෙන් මුස්ලිම් ජනයා ආරක්‍ෂාකර ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ හා කන්ද උඩරට පදිංචි කළෝ සිංහල බෞද්ධ රජවරු ය. පසුව කතෝලිකයන් ලන්දේසි රෙපරමාදුවරුන්ගෙන ආරක්‍ෂාකර උඩරට පෙදෙස්වල පදිංචි කළෝත් සිංහල බෞද්ධ රජවරු ය. 1506 සිට ම යුරෝපීය ආක්‍රමණවලට විරුද්ධව සටන්කළෝ සිංහලයෝ ය. සංකිලි පමණක් පෘතුගීසීන්ට එරෙහිව සටන් ලර ඇත. එහෙත් ඔහු කතෝලිකයන්ට ද බෞද්ධයන්ට ද අමානුෂික වධහිංසා පැමින වූ කෘර පුද්ගලයෙක් විය.

ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළේ සිංහලයන් පමණකි. 1817-18, 1848 නිදහස් සටන් පමණක් නොව ඉන්පසුව ඇති වූ පංචමහා වාද, අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය ද සිංහල භාෂා ව්‍යාපාරය ද ඉංගිරිසින්ට එරෙහිව කරන ලද සටන් විය. ඒවා නිදහස් සටන් ලෙස නොපෙනේනේ පෙත්සම් මගින් තමන් ඉංගිරිසින්ටත් වඩා හොඳ ඉංගිරිසින් බව පෙන්වා එමගින් ඉංගිරිසි රජු යටතේ සීමිත බලතල ඉල්ලූ පිරිසක් නිදහස් සටන මෙහෙයවූවන් ලෙස දකින්නන්ට පමණ ය. ඔවුන්ට එසේ දැකීමට පුරුදු කර ඇත්තේ ඉංගිරිසින් ම වීම මෙහි විශේෂත්වය ය. සිංහලයන් අදත් සටන් කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට එරෙහිව ය. විශ්‍රාම ගැනීමෙන් පසු ජාතික ව්‍යාපාරයට එක්වීමට උත්සාහ කරන දන්ත චෛද්‍ය මහාචාර්යවරයකුට නොතේරුණ ද අපි බටහිර නූතනත්වයට මෙන් ඊනියා පශ්චාත්නූතනවාදයට ද එරෙහි වෙමු. අප ආභාසය ලබන්නේ තිථි නැතිව උප්පාද භංගය ගැන කියන ථෙරවාදයෙන් මිස පශ්චාත්නූතනවාදයකින් නො වේ. මේ පුහු මහාචාර්යවරුන් ගැන එතරම් තැකීමක් කිරීමට ද අනවශ්‍ය ය. එහෙත් අප ඔවුන් ගැන ද කතාකරන්නේ ජනතාවට අපේ ස්”ථාවරය පැහැදිලි කිරීම අවශ්‍ය බැවින් ය.

අද මෙරට ඇති සිංහල බෞද්ධ අධිපතිවාදයක් ගැන ඊනියා උගත්තු බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරමින් කියති. මෙරට ලිබරල් හා මාක්ස්වාදී මත දරන්නන් දන්නේ බටහිර දැනුමට හූමිටි තබමින් ඒ නැවත ප්‍රචාරය කිරීමට ය. පට්ටපල් බොරුවක් වූ බටහිර දැනුම වෙනුවට අපි ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. මෙරට ඇත්තේ සිංහල බෞද්ධ අධිපතිවාදයක් නොව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයකි. දෙමළ ජාතිවාදය ද බටහිරයන් විසින් ඇතිකරනු ලැබ පෝෂණය කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ය. නැතිනම් අඩුම තරමෙන් දුර්වල කිරීමට ය. අපි දෙමළ ජාතිවාදයටව ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයට ද එරෙහිව සටන් කරමු. සරසවි ඇදුරන්ගේ සටන ද ඊනියා අධ්‍යයනික වසන්තයක් මගින් අරාබි වසන්තයක් ඇතිකිරීම සඳහා ය. ඔවුන් මෙහෙයවනු ලබන්නේ එ ජා ප හා ජ වි පෙ මගිනි. බටහිර නූතනත්වවාදී, පශ්චාත්නූතනවාදී හා පශ්චාත්මාක්ස්වදී අදහස්වලින් මෙහෙයවෙන සරසවි ඇදුරන් වැටුප් වැඩිකිරීම නමැති කැරට් අලය පෙන්වා බොරු 6%ක් ගැන කතාකරමින් වර්ජ’’නවලට මෙහෙයවීම අසීරු කරුණක් නොවන්නේ ඔවුන් උගතුන් විය හැකි නමුදු බුද්ධිමතුන් නොවන බැවිනි. ශ්‍රි ල නි ප එදා ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය දිනාගැනීමට සමත්විය. දෙමළ ජාතිවාදය පසුපස යමින් අෂ්රොෆ් මුස්ලිම් ජාතිවාදයක් ඇති නොකරන්නට ශ්‍රි ල නිප මේ වන විට මුස්ලිම් ජනයා අතරය ම් ප්‍රමාණයකට තහවුරු වීමට තිබිණි. අද සංධානයට දෙමළ ජනයාගේ ද ඡන්දය ලැබෙයි. ඒ සියළු සිංහල විරෝධීන් පළාත්සභාවලට තව තවත් බලය ඉල්ලද්දී ය. පළාත්සභාවලට තවත් බලය අවශ්‍ය නොවන බව නැගෙනහිර පළාතේ ජනතාව ද කියා ඇත. අද කළ යුත්තේ හැකිනම් පළාත්සභා අහෝසි කිරීම ය. අද අවශ්‍ය දේශපාලනඥයන්ට නොව ජනතාවට තම එදිනෙදා කටයුතු කරගත හැකි ආකාරයට පරිපාලන බලතල බෙදාහැරීම ය. එය බටහිර ක්‍රමයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ගම්සභාවලින් නොව වරිග සභා ආකෘතියේ සභාවලින් කරගත යුතු ය.