Main Logo

Showing posts with label ප්‍රවාද. Show all posts
Showing posts with label ප්‍රවාද. Show all posts

Sunday, 19 November 2017

ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

 ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

ගිංතොට සිද්ධ වුණේ මොකක් ද කියන එක ජනමාධ්‍යයෙන් කියන්නේ නැහැ. එක්තරා වෙබ් අඩවියකට අනුව මෙය බයිසිකලයක යම් අයකු හැප්පීම නිසා හටගත්තක්. අවාසනාවකට මෙන් හැප්පීමට අමතර ව ඒ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එක ම ජාතියකට හෝ එක ම ජනවර්ගයකට අයත් දෙදෙනකු නො වෙයි. ප්‍රශ්නය තාවකාලික ව සමනයකට පත් වී ඇතත් දින දෙකකින් නැවත ඇවිළී ගිහින්.

Wednesday, 19 February 2014

ගෙදර යෑම, හඳට යෑම හා පරළොව යෑම


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා මගෙන් ප්‍රශ්න දෙකක් අසා ඇති බවත් මා එතුමාගෙන් ප්‍රශ්න ඇසීමට පෙර ඒවාට පිළිතුරු දිය යුතු බවත් තම පෙබරවාරි 12 ලිපියෙන් කියා සිටියි. ඒ ප්‍රශ්න   මෙසේ ය. 1) නිව්ටන්ගේ න්‍යාය බොරු නම් ඒවා යොදාගෙන හඳට යන්නේ කෙසේ ද? 2) යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා - කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන්ගේ උදව් ඇතිව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? මෙහි න්‍යාය යනුවෙන් සඳහන්වන්නේ ඉංගිරිසියෙන් තියරි (theory) යනුවෙන් කියැවෙන්න ය. 

පාරිභාෂික ශබ්දමාලාවල තියරී යන්න වෙනුවට වාදය, සිද්ධාන්තය, න්‍යාය යන පද දී ඇත. මහාචාර්යතුමා ෆැක්ට් යන්නට සිද්ධාන්තය යන්න යෙදුව ද එය වැරදි ය. කෙසේ වෙතත් තියරි යන්න වෙනුවට න්‍යාය යන පදය යෙදීම පාරිභාෂික ශබිදමාලාවලට එකඟ බැවින් අපි එය පිළිගනිමු. එහෙත් න්‍යාය යන්න න්‍යාය බිංදු වැනි පැරණි පොතපතෙහි යෙදෙන්නේ ලොජික් (logic) යන්න වෙනුවට ය. එබැවින් මම ලොජික් වෙනුවට න්‍යාය යන්න යොදා ගනිමි. මා තියරි යන්න වෙනුවට යොදාගන්නේ ප්‍රවාදය යන්න ය. 

වාදය යන්න ඉසම් (ism) යන්න වෙනුවට මාක්ස්වාදය (Marxism), පශ්චාත්නූතනවාදය (Postmodernism) ආදී තැන්හි යෙදෙන බැවින් හා ප්‍රවාද හා ජනප්‍රවාද අතර ඇති සම්බන්ධයත් තියරම් (theorem) යන්න වෙනුවට ප්‍රමේයය යන්න යොදාගැනීමත් සලකා මම තියරී යන්නට ප්‍රවාදය යන්න යොදාගනිමි. එහෙත් කිසිවකු තියරි යන්න වෙනුවට න්‍යාය යොදාගැනීම ගැන මගේ තදබල විරුද්ධතාවක් නැත. අනෙක් සියළු දෙනා මගේ ව්‍යවහාරය අනුගමනය කළ යුතු යැයි කීමට තරම් බොළඳබවක්, මුග්ධබවක් මට නැත. එහෙත් මහාචාර්යතුමා ෆැක්ට් (පරිසිද්ධිය) යන්න වෙනුවට කිසිම පාරිභාෂික ශබ්දමාලාවක නැති අන්දමින් හිතුවක්කාරව වැරදියට  සිද්ධාන්ත (තියරි) යන්න යෙදීම ගැන නම් මට විරුද්ධ නොවී සිටිය නො හැකි ය. පරිසිද්ධියක් කෙසේවත් සිද්ධාන්තයක් බවට පත් නො වේ.  

ඒ මහතා නිරවුල් අවබෝධයකින් තොරව හිතුමතේ තම පාණ්ඩිත්‍යය පෙන්වීම සඳහා බොහෝ මහාචාර්යවරුන් මෙන් වචනවලින් දමාගැසීම නම් අඩුකර නැත. පෙබරවාරි 12 වැනිදා ලිපියෙහි ඒ මහතා අඥේයවාදය යන්න ස්කෙප්ටිසිසම් (skepticism) සඳහා යොදාගනියි. ස්කෙප්ටිසිසම් යනු යමක් නොදැනීම, අඥෙය යන අර්ථයෙන් යෙදෙන්නක් නොව සැකයක් ඇතිවීම යන අර්ථයෙන් යෙදෙන්නකි. ඒ සඳහා පාරිභාෂික ශබ්දමාලාවල ද යොදාගන්නා වචනය සංශයවාදය යන්න ය. අඥෙයවාදය යනු ඇග්නොස්ටිසිසම් (agnosticism) යන්නට යෙදෙන්නකි. සැකය යනු නොදැනීම යැයි පටළවාගන්නේ නොදැනුම් කමට විය හැකි නමුත් අමරතුංග මහතා දිගින් දිගට ම තම නොදැනුවත්කම හෙළිදරවු කිරීමට කිසිම සැකයකින් තොරව ඉදිරිපත්වීම තේරුම්ගන්නේ කෙසේ ද? 

ඒ මහතා එසේ තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමෙන් පසු ඉන් සෑහීමකට පත් නොවී  ලෝකය නොපවතියි, සියල්ල බොරු ය යන්න අඥෙයවාදී අදහසක් බව පවසයි. යමකු ලෝකය නොපවතියි ආදී වශයෙන් කියන්නේ නම් එය නොදැනීමක් වන්නේ කෙසේ ද? සියල්ල බොරු යැයි කියන්නේ නම් එලෙස කියන්නේ නොදැනීමකින් නොව යම්කිසි දැනුමකින් ය. යමකු යමක් නැතැයි කියන්නේ දැනුමකින් මිස නොදැනුමකින් නො වේ. ඒ දැනුම ද බොරු විය හැකි ය. එහෙත් එහි අඥෙයවාදීභාවයක් නැත. අමරතුංග මහතා තේරුම් ගත යුත්තක් නම් වචන තිබෙන්නේ පඬිබව පෙන්වීමට නොව සන්නිවේදනයට හා හැකිතාක් නිරවුල් ව අදහස් සූත්‍රගත කිරීමට (formulate) බව ය.    

අඥෙයවාදයක් ගැන කතාකර අමරතුංග මහතා කියන්නේ සියල්ල මනසේ නිර්මිත වූ මායාවක් බව හෝ මනස නැති බව හෝ විඥානවාදී අදහස් බව ය. අමරතුංග මහතාගේ පරස්පර හා නො දැනුම්කම හේතුකොටගෙන ඔහුට අනුව මම අඥෙයවාදියෙක්මි. ඒ සමග විඥානවාදියෙක්මි. ඒ මහතා ඒ දෙකම එක්වර සපුරාලන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. අනෙක් අතට මනසක් නැතැයි කීම හා සියල්ල මනසේ නිර්මිත යැයි කීම දෙකම විඥානවාදී අදහස් බව අමරතුංග මහතා පවසයි. මනසක් ඇතැයි ගනිමින් සියල්ල මනසේ නිර්මිත යැයි කීම විඥානවාදී යැයි කිවහැකි නමුදු මනසක් නැතැයි කීම හා මනස මනසේ නිර්මාණයක් යැයි කීම විඥානවාදී වන්නේ කෙසේ ද? මනසේ පැවැත්ම ගැන මින් ඉහත අපේ ප්‍රවාද ලිපි පෙළෙහි ලිපි ගණනාවක් ම ලියා ඇත. 

බටහිර දැනුම් පද්ධතියෙහි වඩාත් නිරවුල් අදහස් ප්‍රකාශ කෙරෙන්නේ බටහිර ගණිතයෙහි, ගණිතමය භෞතික විද්‍යාවෙහි හා ඥානවිභාගයෙහි (epistemology) ය. වියුක්ත වූ ඒ ක්‍ෂෙත්‍රවල අදහස් ප්‍රකාශ කිරීම බටහිර වෛද්‍යවිද්‍යාවහි හෝ බටහිර දන්ත වෛද්‍යවිද්‍යවෙහි අදහස් ප්‍රකාශ කරනවාට වඩා සැලකිල්ලෙන් කළ යුත්තකි. ජනප්‍රිය පොතපතින් එහෙන් මෙහෙන් අහුලාගත් අදහස් ප්‍රකාශ කිරීමේ දී එලෙස සැලකිලිමත් වීමට නොහැකි වීම පුදුමයක් නො වේ.  

අමරතුංග මහතාගේ ප්‍රශ්න දෙකට පිළිතුරු දීමට ප්‍රථම කිවයුතු කරුණු බොහෝමයක් වුවත් එ පසුවට කල්තැබීමට සිදුවෙයි. විශේෂයෙන් ම ගුරුත්වාකර්ෂණය හා වැටීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමරතුංග මහතා ඉදිරිපත් කරන පරස්පර විදහා දක්වමින් පිළිතුරක් දීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අතර විවික්ත (discrete)  හා වියුක්ත (abstract) අතර වෙනස ද පැහැදිලි කළ යුතු ය. අමරතුංග මහතා වියුක්ත යනුවෙන් අදහස් කරන්නේ විවික්ත හෙවත් නොබැඳුණු යන්න ය. දැනට කිව යුත්තේ මා වියුක්ත යන්න විශේෂණ පදයක් ලෙස භාවිතා කරන්නේ අවුරුදු තිහක පමණ කාලයක සිට බවත් එය ඉංගිරිසි ඇබ්ස්ට්‍රැක්ට් (abstract) යන වචනයට වියුක්ත දැනුම් පද්ධතියක් (abstract system of knowledge) යන තැන්හි මෙන් විශේෂණ පදයක් ලෙස පාරිභාෂික ශබ්දමාලාවලට හා මලලසේකර ශබ්දකෝෂයට එකඟ ව යොදාගන්නා බවත් ය. ප්‍රත්‍යක්‍ෂය යනු කුමක් ද යන්න ද සුදුසු අවස්ථාවේ දී පැහැදිලි කරමි. ප්‍රත්‍යක්‍ෂය යන්න බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන්වන බව අමරතුංග මහතා නොදන්නේ අන්තර්ජාලයෙන් ඒ ගැන දැනගැනීමට නොහැකි බැවින් ද?   

තන්තුවාදය පිළිබඳ ව මගේ දේශනයකට සහභාගි වී ඉගෙන ගන්නා ලෙස මම අමරතුංග මහතාට කිසිවිටෙක නොකීවෙමී. මා කීවේ මා සිටින තැනක ඒ පිළිබඳ ඔහුගේ දේශනයක් පවත්වා මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ය. අමරතුංග මහතාට ඒ කරුණවත් නිවැරදිව අවබෝධ කරගැනීමට නොහැකි බව තම පෙබරවාරි 12 වැනි දා ලිපියෙන් ප්‍රදර්ශනය කරයි. ඒ මහතා නිතර කියන කරුණක් නම් ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන් ගන්නා වස්තු සඳහා නිව්ටන්ගේ ප්‍රවාදය වලංගු බව ය. අයින්ස්ටයින්ගේ ප්‍රවාදය බ්ල්ක්හෝල් හැර ඕනෑම වේගයකට වලංගු යැයි ඒ මහතා කියයි. මෙය තවත් පැහැදිලි කළේ නම් මැනවි. මේ බ්ල්ක්හෝල් හැර යන්නෙන් ඒ මහතා අදහස් කරන්නේ කුමක් ද? ජනප්‍රිය පොතපතෙන් ලබාගත අදහස් මෙසේ ගෙනහැර දක්වන්නේ තේරුම් ගෙන නොවන බව මම දනිමි. 90% වේගය නියම කළ ජනප්‍රිය පොත කුමක් ද? මේ ජනප්‍රිය පොත් ලියන ඇතැමුනට ද පැහැදිලි අවබෝධයක් නැත. ඉහත සඳහන් අදහස් මැතක දී කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇති බව කතුවරුන් දෙදෙනකුගේ නම් පමණක් සඳහන් කරමින් එහෙත් ඒ අදහස් පළවූ සඟරා නම් නොකරමින් ඒ මහතා කියයි. මේ පිළිබඳ මා නොදන්නා බව ඒ මහතා කියයි. ඒ මහතාට ඒ පිළිබඳ දේශනයක් පැවැත්වීමට මා ආරාධනා කරන්නේ එවිට මට ඒ මහතාගෙන් ඉගෙනීමට අවස්ථාවක් ලැබෙන බැවිනි! 

අමරතුංග මහතාගේ දැනගැනීම සඳහා කිවයුතු කරුණක් නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය යනු විශේෂ සාපේක්‍ෂතාවාද යට ගුරුත්වාකර්’ෂණය එකතු කිරීමෙන් ලබාගත්තක් නොව ගුරුත්වාකර්ෂණය නැතැයි ගැනීමෙන් ලබාගත්තක් බව ය. එහෙත් මා නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් යැයි කීමට මේ සංවාදයෙහි දී සාධාරණ සාපේක්‍ෂතාවාදය යොදා නොගත් බව ද සඳහන් කළ යුතු ය. එසේ යොදාගත් බව කියන අමරතුංග මහතා ඒ පිළිබඳ සාක්‍ෂි සපයන්නේ ද?                              

අමරතුංග මහතා නගා ඇති පළමු ප්‍රශ්නයට පිළිතුරු පහත පළවෙයි. දෙවැනි ප්‍රශ්නය ලබන සතියේ සාකච්ඡා කරමු.  අප භාවිතා කරන ලොකුම බොරුව “මම” යන්න ය. මා යනුවෙන් කිසිවකු නැතිව සිටිය දී, මා යනු මනසෙන් නිර්මාණය කරගත් බොරුවක් ව තිබිය දී අපි ඒ සංකල්පය යොදා ගන්නෙමු. අපේ දැනුම එපරිදි ය. සම්මුති වශයෙන් අප තනාගත් සංකල්ප, ප්‍රවාද ආදී දැනුම් අපේ එදිනෙදා කටයුතුවල දී අපි යොදාගන්නෙමු. මා ගෙදර යනවා, දේශනයක් පවත්වනවා ආදී යෙදුම් අප පිළිගන්නේත් එවැනි යෙදුම් යොදාගෙන අප ගෙදර යෑම, දේශන පැවැත්වීම ආදී වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නේත් මම යන්න සංකල්පය බොරුවක් ව පවතිද්දී ය. නීල් ආම්ස්ට්‍රෝන්ග් තමා හඳට ගිය බව පැවසුවේත් ආම්ස්ට්‍රෝන්ග් යනුවෙන් අයකු ඇතැයි යන බොරුව යොදාගනිමිනි.

එහෙත් ඒ බොරුවෙන් අමාරුවේ වැටෙන අවස්ථා ද වෙයි. ක්‍ෂණයකට වුවත් මා පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී වෙයි. මා ගෙදර යනවා යැයි කී විට එසේ කීමෙන් මා ආත්මවාදියකු බවට පත්වන නමුත් සම්මුතියේ දී අපට එය ප්‍රශ්නයක් නො වේ. එහි ඇති ආත්මවාදී අදහස ගැන අපි ගැඹුරෙන් නො සිතමු. එහෙත් පරළොව යන්නේ කවුදැ යි ඈසූ විට එය තරමක දාර්ශනික ප්‍රශ්නයක් බවට පත්වෙයි. ගෙදර යන්නේ කවුද, හඳට ගියේ කවුද ආදී ප්‍රශ්නවලදීත් ආත්මවාදය නොසලකා හැරීම වැරදි වුවත් සම්මුතියෙන් අපි ඒ බැරැරුම් ප්‍රශ්න ලෙස නො සලකමු. 

එහෙත් පරළොව යන්නේ ද මා යැයි කී විට අපට එය ආත්මවාදී ලෙස ගැනීමට සිදුවෙයි. පරළොව යෑම හඳට යෑමට හෝ ගෙදර යෑමට හෝ වෙනස් නොවන නමුත් අපි ආත්මවාදය යන්න පරළොවත් සමග සැලකීමට පුරුදු වී සිටිමු. එබැවින් ආත්මවාදය ප්‍රතික්‍ෂෙප කරන බෞද්ධයකුට (බෞද්ධයන් යනු තුන්වැනි සංගායනාවේ ථෙරවාදය පිළිගත් අශෝක බෞද්ධයන් පමණක් නොවන බව අවධාරණය කළ යුතු ය) පරළොව යන්නේ කවුද යන ප්‍රශ්නයට මා යැයි කිව හැකි නො වේ. මිළිඳු රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාගසේන හිමියෝ පරළොව යන්නේ තමාත් නොවේ ය, අන් අයකුත් නො වේ යැයි පැවසූහ. ඒ පිළිතුර ඇරිස්ටෝටලීය න්‍යාය (ලොජික්) සමග එකඟ නොවන නමුත් චතුස්කෝටික න්‍යායට එකඟ ය. ඒ පිළිතුර ආත්මවාදී ද නො වේ. නාගසේන හිමියන් ගෙදර යන තැනේ දී මෙන් පරළොව යන්නේ තමන් යැයි දේශනා කළේ නම් උන්වහන්සේ ආත්මවාදී  වන බව පැහැදිලි ය. මා යන බොරුව යොදාගෙන  අපට සම්මුතියෙන් ගෙදර ගිය හැකි ය, හඳට ගිය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ මා යනු බොරුවක් නොවන බව නො වේ. 

නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද එබඳු ය. එය පට්ටපල් බොරුවකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම පසෙකින් තබා මනසින් මවාගැනීමටවත් නොහැකි පට්ටපල් බොරු කතන්දරයකි. මගේ ව්‍යවහාරය අනුව පංචෙන්ද්‍රියයන්ට ගෝචරව මනසින් ගන්නා සංකල්ප බොරු ය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන මනසින් මවාගත නොහැකි සංකල්ප පට්ටපල් බොරු ය. ඒවා බුදුදහමට අනුව නම් පඤ්ඤත්ති, එනම් අප විසින් (මනස විසින්) පැනවෙන සංකල්ප පමණ ය. මේ පිිළිබඳ විස්තර විදුසර අපේ ප්‍රවාද ලිපිවල අවුරුදු දෙකකට පමණ පෙර පළවිය. කාලය යන්න ද පඤ්ඤත්තියකි. බුද්ධඝෝෂ හිමියන් ඒ බව අත්ථසාලිනියෙහි සඳහන් කළ බව මගේ ලෝකය පළමු මුද්‍රණයෙහි සිට ම අප කියා ඇත. කාලය ද පට්ටපල් බොරුවකි. අද බටහිර විද්‍යාඥයන් කාලය යනු කුමක් දැයි ප්‍රශ්න කරන නමුත් අඩුම තරමෙන් පස්වැනි සියවසේ සිට එය පට්ටපල් බොරුවක් බව අපි දනිමු. කාලය පට්ටපල් බොරුවක් වුවත් අපි එය සාර්ථක ව යොදා ගනිමු. ඒ පට්ටපල් බොරුව මැනීමට ඔරලෝසු ද පාවිච්චි කරමු! බුද්ධඝෝෂ හිමියන් ද නාගසේන හිමියන් ද අයත්වූයේ ථෙරවාද සම්ප්‍රදායට බව මෙහි දී මතක් කරමු.


නලින් ද සිල්වා

2014-02-19

Wednesday, 24 July 2013

බටහිර විද්‍යාව හා අදෘශ්‍යමානය

බටහිර විද්‍යාව ප්‍රවාද නිර්මාණය මත රුඳෙයි. එහි ප්‍රවාද හෙවත් කතන්දර වෙනත් කතන්දරවලින් ප්‍රතික්‍ෂෙප වෙයි. මේ කතන්දර වියුක්ත ය. ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වේ. පොතක පතක තිබුණත් ගුරුවරුන් කීවත් පට්ටපල් බොරු වූ මේ කතන්දර එක් කාලයක දී බටහිරයන් විසින් ද ඔවුන් අනුකරණය කරන අනෙක් අය විසින් ද පිළිගැනෙයි. එහෙත් පසුව ඔවුන් විසින් ම ඒ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එය හා කාළාම සූත්‍රයෙහි දැක්වෙන ආකල්පය අතර කිසිම සමානත්වයක් නැත. ඒ ගැන තවදුරටත් කතාකිරීමට පෙර බටහිර විද්‍යාවේ ප්‍රවාද, අපේ ප්‍රවාද හා අපේ දැනුම් නිර්මාණය පිලිබඳ යමක් කිව යුතුව ඇත.  

අපේ ප්‍රවාද ලිපි පෙළ ලියන්නේ කරුණු දෙකක් හේතුකොටගෙන ය. පළමුවෙන් ම ප්‍රවාද යනු කවරේ දැයි පාඨකයනට දැනගැනීමට සැලැස්වීමට ය. දෙවනුව අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට අඩුම තරමෙන් අනාගත පරම්පරාවවත් උනන්දු කිරීමට ය. එහෙත් ඒ කරුණු දෙකින් එකක්වත් ස්ථිතිකව පවත්නා දේ නො වේ. ඒ කරුණු දෙක ද නිරන්තරයෙන් වෙනස් වෙයි. මෙහි පහත සඳහන් වන්නේ අප ඒ පිලිබඳ ව අද දරණ මතය ය. එය කලින් දැරූ මතයේ වර්ධනයක් පමණකි. මෙහි දී මතක තබාගත යුත්තක් නම් එය වර්ධනය වන්නේ එක් දිශාවකට බව ය. වරක් එක් දිශාවකටත් තවත් විරුද්ධ එයට ප්‍රතිවිරුද්ධ  දිශාවකටත් වර්ධනය වනු මෙහි දක්නට නො ලැබෙයි. වර්ධනය සිදුවන්නේ නිශ්චිත තේමාවක ය. 

ප්‍රවාද යනු බටහිර වියුක්ත දැනුම් ය.වියුක්ත ප්‍රවාද හෙවත් වියුක්ත කතන්දර ගෙතීම ලෝකයාට කියා දුන්නේ ගැලීලියෝ ය. ඔහු එය එකල දකුණු යුරෝපයේ යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙමින් සිදු කළේ ය. එයට පෙර වෛදික බමුණෝ ද ප්‍රවාද ගොතා තිබුණහ. එහෙත් ඒ ප්‍රවාද බටහිරයන්ගේ ප්‍රවාද තරමට වියුක්ත නො වී ය. ඒ ඉතා වැඩි වශයෙන් සංයුක්ත ප්‍රවාද හෙවත් කතන්දර විය. 

අද ලෝකයේ දැනුම් ආධිපත්‍යය බටහිරයන් සතු ය. අපට ඔවුන්ගෙන් නිදහස් වීමට නම් අපේ දැනුම් පද්ධතියක් තිබිය යුතු ය. එමෙන් ම අපට ඔවුන්ගේ දැනුම් පද්ධතිය, විශේෂයෙන් ම සමාජයීය විද්‍යාවන්හි දී සුණු විසුණු කර දැමීමට හැකිවිය යුතු ය.  බටහිර සමාජයීය විද්‍යාවන් යනූ බටහිර භෞතීය විද්‍යාවන් පිටුපස නොන්ඩි ගසමින යන දැනුම් පද්ධතියක් පමණකි. එයින් විශේෂයෙන් ම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව,  මානව විද්‍යාව යොදා ගැනෙන්නේ අප වැනි රටවල් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ය. සාහිත්‍යය ආදී මානව ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙන විෂයවල ද මේ කාර්යය සිදුවෙයි.

බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු පට්ටපල් බොරු බව අපි දැන් දනිමු. කලකට පෙර අපට මේ දැනුම නො තිබිණි. කෙසේ වෙතත් බටහිර විද්‍යාව අනුව යමින් අපේ ප්‍රවාද නිර්මාණයකර බටහිර දැනුමේ ප්‍රවාද පරාජය කිරීම එකල අපේ වෑයම විය. අප එකල කළේ සිංහල බෞද්ධ චින්තනයෙහි යම් ආකාරයක වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිංහලයන් උනන්දු කරවීම ය. එහෙත් එහි යම් ගැටළුවක් විය. සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්තය ඇත්තේ ඉතා අඩුවෙනි. එය නැත්තේ නැති තරම් ය. 

මෙරට හරිහමන් බටහිර විද්‍යාඥයකු හෝ බටහිර ගණිතඥයකු බිහි වී නැත්තේ එබැවිනි. අප බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇති පරිදි බටහිර විද්‍යාව හෝ බටහිර ගණිතය ඉගෙනීම එතරම් ප්‍රශ්නයක් නො වේ. එසේ ඉගෙනගත් අය, ඇතැම් විට උපාධි පරීක්‍ෂණයේ එතරම් උසස් සාමාර්ථයක් නැතිව වුව ද ජනප්‍රිය පොතපත කියවා වියුක්ත බටහිර ගණිතය ගැන හෝ වියුක්ත බටහිර විද්‍යාව ගැන හෝ යම් අවබෝධයක් ලබාගෙන ඇති අය වියුක්තය වෙනුවෙන් කියති. ලියති. එහෙත් ඔවුන්ට බටහිර වියුක්ත විද්‍යාවේ හෝ බටහිර ගණිතයේ හෝ වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට තබා බොහෝ අයට මෙන් නොව උපාධි පරීක්‍ෂණයෙහි දී උසස් පංති සාමාර්ථයක් ලබාගැනීමටවත් නො හැකි ය. 

වියුක්ත ප්‍රවාද නිර්මාණය කරමින් දැනුම එකතු කිරීම අපේ ක්‍රමයක් නො වේ. අපට එසේ කිරීමට සිදුවූයේ අප පෙළන බටහිර ප්‍රවාද පරාජය කිරීමට කලකට පෙර අපට වෙනත් ක්‍රමයක් නොතිබූ බැවිනි. සුළුවෙන් අනුගමනය කළ හැකි මේ ක්‍රමය එතරම් සාර්ථක නොවන බව පැහැදිලි ය. එහෙත් ජීවිතයේ වියුක්ත ප්‍රවාදයක් සංකල්පයක් ගොඩනගනු තබා උසස් පෙළ පරීක්‍ෂණයවත් හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරති. ඔවුන්ට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇති බවක්වත් නො හැඟෙයි.

මා මෙහි දී උසස් පෙළ හරිහැටි සමර්ථ වීමට නොහැකි වී ඇති අය ගැන සඳහන් කරන්නේ ඔවුන්ට කරන අගෞරවයක් ලෙස නො වේ. බටහිර වියුක්ත අධ්‍යාපනයට අප වැඩි වශයෙන් යොමු කෙරෙන්නේ උසස් පෙළ පංතියේ දී ය. කිනම් විෂයකින් වුවත් උසස් පෙළ පංතියේ දී ලබා දෙන අධ්‍යාපනය තරමක් වියුක්ත ය. උසස් පෙළ පරීක්‍ෂණයෙන් සමත්වීමට තරමකට වියුක්ත ව සිතීමේ හැකියාවක් තිබිය යුතු ය. ඒ හැකියාව නොමැතිව වුව ද කටපාඩම් කිරීමෙන් (ස්මරණ ශක්තියේ ආධාරයෙන්) උසස් පෙළ සමත්වන්නෝ ද සිටිති. සාධාරණ වශයෙන් උසස් පෙළ පරීක්‍ෂණය අසමත්වන්නේ බොහො විට වියුක්ත ව සිතීමට එතරම් හැකියාවක් නැති අය ය.  (සෑම විෂයයකින් ම එකම මට්ටමේ වියුක්ත ව සිතීමේ හැකියාවක් අපේක්‍ෂා කරන්නේ යැයි නොසිතිය යුතු ය. සාහිත්‍යයට වඩා ගණිතයේ දී වියුක්ත ව සිතීමේ වැඩි හැකියාවක් අවශ්‍ය වෙයි)   

අපට කලකට පෙර පැහැදිලි වූයේ මෙරට දැනුම නිර්මාණය කිරීම ආධ්‍යාත්මික ව සිදු වී ඇති බව ය. සෘජු ව හෝ වක්‍ර ව හෝ ආධ්‍යත්මික ව දැනුම නිර්මාණය කිරීම සිංහල බෞද්ධ චින්තනයට එකඟ වෙයි. අද අපි එතරම් නුහුරු වුව ද තරමක පරස්පරයක් වුව ද සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද නිර්මාණය කරන අතර ම හැකියාවක් ඇති පුද්ගලයන් මගින් ආධ්‍යාත්මික ව ද දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. එයට ඇතැම්හු විරුද්ධ වෙති. එසේ වන්නේ අදෘශ්‍යමාන බලවේග ගැන ඔවුන්ට විශ්වාසයක් නොමැති බැවිනි. 

ඒ අවිශ්වාසය ගැන අපට එතරම් ප්‍රශ්නයක් නැත. තම පංචෙන්ද්‍රියට ගෝචරවන ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නිර්මාණය කරගැනීමට නොහැකි යැයි ඔවුහු සිතති. මෙය තරම් මෝඩකමක්, උද්ධච්ඡකමක් තවත් නැත. ඇතැම් සතුනට ගෝචරවන බොහෝමයක් දේ අපට ගෝචර නො වේ. අපේ ලෝක නිර්මාණය වන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතිය මත පදනම් වෙමිනි. එහෙත් නිර්මාණය කළ හැක්කේ ඒ ලෝක පමණක් ය යන්න මානව කේන්ද්‍රීය උද්ධච්ඡකමක් මිස වෙනත් දෙයක් නො වේ. අපට දැන් තිබෙන ඉන්ද්‍රිය පහ වෙනුවට හෝ එයින් කිහිපයක් සමග හෝ වෙනත් ඉන්ද්‍රිය තිබිණි නම් අප නිර්මාණය කරන ලෝකය කෙබඳු විය හැකි ද?

බල්ලන්ගේ හෝ පක්‍ෂීන්ගේ හෝ වෙනත් සතුන්ගේ හෝ ලෝක ගැන අපට කිව හැක්කේ කුමක් ද? අප ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් නැත යනුවෙන් තීරණය කරන්නේ සියල්ලන් ම අප දකින අයුරින් ලෝක නිර්මාණය කළ යුතු බවත් අපේ ලෝක හැරෙන්නට වෙනත් ලෝක නැති බවත් නිගමනය කරමිනි. මෙය බටහිරයන්ගේ ආකල්පයකි. ඔවුහු අප වැනි බටහිර නොවන මිනිසුන්ට ද වෙනත් සතුන්ට ද ඔවුන්ගේ ලෝක පමණක් නිර්මාණය කිරීමට කියති. අපි ද ඔවුන් අනුකරණය කරමින් පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ලෝක නැතැයි කියමු.

එවැනි නිගමනයක් අසාධාරණවනවා පමණක් නොව අධිපතිවාදී ද වෙයි. බටහිරයෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පමණක් ඇතැයි සිතති. අපට නොඇසෙන ඇතැම් ශබ්ද, එනම් ඔවුන් කියන ආකාරයට ඇතැම් තරංග ආයාමවලින් යුත් ශබ්ද වෙනත් සතුනට ඇසෙන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ඔවුන්ගේ, එනම් බටහිර විද්‍යාඥයන්ගේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිර විද්‍යාඥයන්ට දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද? එය කණෙන් අසාගත නොහැකි බව පැහැදිලි ය. මනස ඉන්ද්‍රියයක් ලෙස නොසලකන බටහිර විද්‍යාඥයන්ට බල්ලන්ට ඇසෙන ඇතැම් ශබ්ද අපට නොඇසී ද, එවැනි ශබ්ද ඇතැයි අප දැනගන්නේ මනස ආධාරයෙන් යැයි කිවහැකි නො වේ. 

අපට නොඇසෙන ඇතැම් ශබ්ද බල්ලන්ට ඇසෙන්නේ යැයි බටහිර විද්‍යාඥයන් කියන්නේ පංචෙන්ද්‍රියන්ට ගෝචර අත්දැකීමක් ලෙස නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් වනුයේ බල්ලන්ගේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් පමණකි. අපට අමුතු යමක් ගෝචර නොවද්දී බල්ලන් කන් කෙලින් කරමින්, බුරමින් ආදී වශයෙන් විවිධ ප්‍රතිචාර දක්වනු අප දැක ඇත, අසා ඇත. බල්ලන්ගේ ඒ ප්‍රතිචාර නම් අපේ පංචෙන්ද්‍රියවලට ගෝචර වෙයි. දැන් අප මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගන්නේ කෙසේ ද? 

බටහිරයෝ සුපුරුදු පරිදි එයට කතන්දරයක් හදති. ශබ්ද තරංග, ආයාම දිග, ඒ ඒ සතුනට ඇසෙන ආයාම දිග සහිත ශබිද ආදී වශයෙන් මේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ගෝචර නොවන වියුක්ත කතන්දරය දිග හැරෙයි. අපට නොඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙන බව බටහිරයන් නිගමනය කරන්නේ ඒ කතන්දරය අනුව ය. එය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් තේරුම් ගැනීම සඳහා නිර්මාණය කරන ලද ඉන්ද්‍රිය ගෝචර නොවන කතන්දරයකි. බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් අනුකරණය කරන්නන්ට මේ ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර විශ්වාස කිරීම කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් මේ කතන්දර අදෘශ්‍යමාන ය. එසේ අදෘශ්‍යමාන බලවේග ගැන විශ්වාසය තබමින් ම බටහිර විද්‍යාඥයෝ හා ඔවුන් අනුකරණය කරන මෙරට පුස්සෝ අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන බව කියති. 

ඔවුන් විශ්වාස කරන අදෘශ්‍යමාන, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බලයක් වූ ඊනියා ගුරුත්වාකර්ෂණ බලය  පිළිබඳ අපි සඳහන්කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය වැනි කිසිවකු කිසි දිනෙක දැක නැති, අසා නැති, ස්පර්ශකර නැති, රස බලා නැති, ගඳ සුවඳ බලා නැති, පට්ටපල් බොරුවක් විශ්වාස කරන බොහෝ බටහිර විද්‍යාඥයෝ හා ඔවුන්ගේ නිවට අනුකාරකයෝ දෙවියන් අද්‍යශ්‍යමාන යැයි ද ඒ විශ්වාස නොකළ හැකි යැයි ද කියති. අඩුම තරමෙන් මෙරට යම් පිරිසක් දෙවියන් භූතයන් ආදී ප්‍රාණීන් දැක තිබියදීත් ඔවුහු ඒ විශ්වාස නො කරති. පඬියන් එහි දී තම පඬි වදන් යුක්තයුක්ත කරන්නේ එසේ ඇතැමුන් දෙවියන් භූතයන් ආදීන් දැකීම මානසික භ්‍රාන්තියක් නිසා සිදුවන බව කියමිනි.


කිසිවකු කිසදා දැක නැති ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ මානසික භ්‍රාන්තියක් යැයි කිවහොත් පඬියන් උරණ වනු ඇත. එහෙත් එය, එනම් ගුරුත්වාකර්ෂණය කිසි දිනෙක නිවුටන්ගේවත් පංචෙන්ද්‍රියට ගෝචර වී නැත. මා දන්නා තරමින් ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරායවරයකුට පමණ ය. එහෙත් ඔහු ද ඔහු සතු ඒ සුවිශේෂ අවයවය අන් අයට නො පෙන්වයි. ඔහුට ඇත්තේ නිවුටන්ගේ මානසික භ්‍රාන්තිය නොවූවත් ඔහුට ද යම් භ්‍රාන්තියක් ඇති බව පැහැදිලි ය.   


නලින් ද සිල්වා

2013-07-24

Sunday, 7 April 2013

ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය, නිවටයෝ හා පුස්සෝ - 2

අප රටේ වර්තමානයේ ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කෙරෙන්නේ පාසල්, විශ්වවිද්‍යාල, ඊනියා පර්යේෂණ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ය. එහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පසුගිය සියවස් පහක පමණ කාලයක් තිස්සේ නිර්මාණය කෙරී ඇති සංකල්ප හා ප්‍රවාද ය. බටහිරයන්ගේ ප්‍රවාද පට්ටපල් බොරු වෙයි. විශේෂයෙන් ම බටහිර විිද්‍යාවේ ප්‍රවාද පට්ටපල් බොරු වෙයි. මේ බව පැය බාගයක දී රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකි ය. එහෙත් රූපවාහිනී නාලිකාවල බොහෝ විට එයට ඉඩ නො දෙන බව රූපවාහිනී නරඹන විචාරශීලී ප්‍රේක්‍ෂකයන්ට මේ වන විට අවබෝධ වී ඇති බව නිසැක ය. මේ ප්‍රවාද පට්ටපල් බොරු බව දැනටමත් පොත්පත්වලින් පෙන්වා දී ඇත්තෙමි. විශේෂයෙන් ම විදුසර පුවත්පතෙහි පළවන අපේ ප්‍රවාද ලිපි මගින් ඒ කටයුත්ත කෙරී ඇත. පසුව අවස්ථාව ලැබෙන පරිදි දිවයින ඉරිදා සංග්‍රහයෙන් ද බටහිර විද්‍යාවේ ප්‍රවාද පට්ටපල් බොරු බව පෙන්වා දීමට අදහස් කරමි. එතෙක් යමකුට අවශ්‍ය නම් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය බොරු වන්නේ කෙසේ දැයි සිතිය හැකි ය. එය බොරුවක් නොව පට්ටපල් බොරුවක් බව පෙන්වා දිය හැකි ය.

ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ඇත්තේ දේශපාලනයෙන් තරමක් ඈත ය. එහෙත් එහි දේශපාලනයක් නැතැයි කිසිවකු නොසිතිය යුතු ය. බේකන් හා ගැලීලියෝ විසින් බටහිර විද්‍යාවට දේශපාලනය ඇතුල් කරන ලද්දේ සියවස් ගණනාවකට පෙර ය. එහෙත් එයටත් බොහෝ කාලයකට පෙර සිට ම දේශපාලනය දැනුම සමග සම්බන්ධ වී ඇත. දැනුම නිර්මාණය යනු සංස්කෘතික කටයුත්තකි. සංස්කෘතිය, දේශපාලනය හා ආර්ථිකය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ වූ සංරචක වෙයි. මෙරට දෙමළ ජනයාට හතළිස්අටෙන් පසුව හෝ පනස්හයෙන් පසුව හෝ ඊනියා සිංහල ආණ්ඩුවලින් විශාල අසාධාරණයක් වී ඇති බවට බොරු දැනුමක් වෙයි. මේ දැනුම නිර්මාණය කළෝ කවුරුහු ද? ඒ වෙනත් කිසිවකු නොව බටහිර විශ්වවිද්‍යාලවල සේවය කරන බටහිර උගතුන් ය. ඔවුහු විශේෂයෙන් ම ලන්ඩන්, සසෙක්ස් හා උප්සලා විශ්වවිද්‍යාලවල සේවය කළහ. මෙය ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් ද, විශ්වාසයක් ද, දැනුමක් ද එසේත් නැත්නම් වෙනත් යමක් ද යන්න බටහිර මතවාද හෙවත් පට්ටපල් බොරු මෙරට ප්‍රචලිත කරන උගතුන්ගෙන් ම අසා දැනගත යුතු ය.

බටහිර ම ඇතැමකුට අනුව ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාදවලින් ස්වායත්ත නො වේ. එහෙත් රසල්ගේ දැනුමෙන් හෝ මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිරයන්ගෙන් බොහෝ විට වැරදියට තේරුම්ගත් දැනුමෙන් හෝ එහා නොගිය මෙරට ඊනියා විද්වතුන් ඒ බවක් අසාවත් නැත. එසේ ඇතැයි පැවසූ විට මේ උගතුන් පවසන්නේ එසේ කියන බටහිරයන් සුද්දන් නො වේ ද යන්න ය. ඔවුන් එයින් ඇසීමට බලාපොරොත්තුවන්නේ සුද්දන්ගේ දැනුම පට්ටපල් බොරු යැයි කියන්නේ කෙසේ ද යන්න ය. මෙවැනි ප්‍රශ්නවලින් පෙනී යන්නේ මේ උගතුන්ගේ හිස්බව හා නිවට බව මිස වෙනත් යමක් නො වේ. අප යම් අදහසක නිර්මාපකයකු මනින්නේ ඔහුගේ හමේ පාට අනුව නොවන බව මේ අනුකාරක නිවටයන්ට හා පුස්සන්ට නො තේරෙයි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සංස්කෘතිය අනුකරණය කරන කළු හම ඇති අනුකාරක උගතුන්ට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සංස්කෘතියෙන් කැඩීමට වෑයම් කරන හම සුදු බුද්ධිමතුන් සිටිය හැකි බව නොතේරෙන්නේ තමන් අනුකාරකත්වයේ නාස්පුඩු තෙක් ගිලී ඇති බැවිනි. ඒ කුමක් වුවත් දෙමල ජනයාට ඊනියා සිංහල ආණ්ඩුවලින් සිදු වී ඇතැයි කියන අසාධාරණය පිළිබඳ ප්‍රවාදය අවුරුදු ගණනාවක් තිස්සේ මෙරට කසිකබල් උගතුන්ට පින්සිදුවන්නට මුල් බැසගෙන ඇත. ඊළමට පමණක් නොව අද ජෙනීවා නාඩගමට ද පාදක වන්නේ මේ පට්ටපල් බොරුව ය. එහෙත් එය ඉදිරිපත් කෙරෙන්නේ ඊනියා විද්‍යාවක නාමයෙනි. මේ බොරුව කෙතරම් සමාජයේ මුල් බැසගෙන ඇත් ද යතහොත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම නමින් හැඳින්වෙන නීතිඥයන්ගේ හා වෙනත් ඉංගිරිසි උගත් කිහිප දෙනකුගෙන් සමන්විත කොමිසම තම යෝජනා හා නිර්දේෂ ඉදිරිපත් කරන්නේ ද ඒ තකතීරු දැනුම මත පදනම් වෙමිනි. මේ කොමිසමේ සඟ වෙද ගුරු ගොවි රණවිරු පංච මහා බලවේගය නියෝජනය කරන එක් අයකුවත් නොසිටියේ මන් ද යන්න ප්‍රශ්නයකි. කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන් මම බටහිරයන් ඉදිරිපත්කරන, ඔවුන්ගේ අනුකාරක පුහු දාසයන් මෙරට ප්‍රචලිත කරන මෙම මතය පට්ටපල් බොරුවක් බව පෙන්වා දුන්නෙමි. මගේ සාක්‍ෂිය අවසානයේ කොමිසමේ සාමාජිකයකු කියා සිටියේ මා කියා සිටින දේ නිවැරදි වියහැකි වුවත් අප දෙමළ ජනතාවට යමක් දිය යුතු බව ය. කොමිසමේ සාමාජිකයන් ආරම්භයේ සිට ම දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇතැයි යන බොරුව, එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුග්‍රහය හා ආශිර්වාදය ඊනියා විද්‍යාවක නාමයෙන් ලබන බොරුව, විශ්වාස කර ඇති බව පැහැදිලි ය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කීිරීමට බැඳී නැත. ආණ්ඩුවට අවශ්‍ය නිර්දේෂ පමණක් ක්‍රියාත්මක කළ යුතු ය. ඊනියා මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලින් නිදොස්වීමට නම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ත්‍රස්තවාදීන්, පුස්සන් හා නිවටයන් ඉල්ලන්නේ එය පදනම් කරගනිමින් තවත් ඉදිරියට ගොස් ඊළමක් පිහිටුවීමට ය.

බටහිරයෝ තම බොරු දැනුම හෙළිදරවු කරන්නන් ජාතිවාදීන්, ආගම්වාදීන්, අන්තවාදීන් ලෙස හඳුන්වා තමන් ඉදිරිපත් කරන බොරු දැනුම තහවුරු කිරීමට උත්සාහ කරති. ඔවුන් ඒ කරන්නේ ත්‍රස්තවාදී ආකාරයකට ය. තම පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔස්සේ බිහිකෙරී ඇති පුස්සන් හා නිවටයන් ආධාර කරගනිමින් බටහිරයෝ බොරු දැනුම හෙළිදරවු කරන්නන්ට පහර දෙති. ඒ අතින් පයින් කෙරෙන පහරදීමක් නොවිය හැකි ය. එහෙත් බොරු චෝදනා මත පුද්ගලයන් රැකියාවෙන් නෙරපා දැමීමේ සිට ඔවුන්ගේ චරිත ඝාතන දක්වා මේ ත්‍රස්තවාදය විහිදී ඇත. මේ ත්‍රස්තවාදයට බියෙන් තම මත ප්‍රසිද්ධියේ කීමට බියවන පුද්ගලයන් ගැන මම දනිමි. යාපනයේ කතාකරන දෙමළ හා චෙන්නායි හි කතාකරන දෙමළ අතර පරතරය අවුරුදු තුන්සිය පනහකට වැඩි නොවන බව දැන සිටි අය ඒ බව ප්‍රසිද්ධියේ නො කීහ. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් දැයි ප්‍රශ්න කළවිට නිවටයන්ට හා පුස්සන්ට එයට පිළිතුරක් දීමට නො හැකි විය. හැකි නම් එ ප්‍රශ්නයට අදවත් පිළිතුරු දෙන ලෙස ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදයේ දාසයන් වූ නිවටයන්ට හා පුස්සන්ට අභියෝග කරමි.

මේ පුස්සන් හා නිවටයන් එසේ හැඳින්වීම නොහොබිනා අශීලාචාර ක්‍රියාවක් යැයි පුස්සෝ හා නිවටයෝ කියති. බටහිරයන් නිසා ම සමාජයේ ඊනියා වැදගත්කමක් අත්පත් කරගෙන ඇති මොවුන්ට බටහිරයන්ගේ ත්‍රස්තවාදය නො පෙනෙයි. අද අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ බටහිරයන්ගේ දැනුම පමණ ය. අපේ දැනුම මිථ්‍යාවක් ලෙස හඳුන්වමින් ඔවුන්ගේ දැනුම පමණක් එකම දැනුම බවට අධිපතිවාදී ලෙස ඉගැන්වීම ත්‍රස්තවාදයක් නො වේ ද? බටහිරයන් අපට දී ඇති මධ්‍යම පාංතික සදාචාරය කිසිසේත් ම අපේ ගෞරවයට පාත්‍රවිය යුතු නො වේ. නිවටයන් හා පුස්සන් එලෙස හැඳින්වීමට අප බියවිය යුතු නො වේ. ඉංගිරිසින්ට හා ඇමරිකානුවන්ට වඩා අශිලාචාර මිනිසුන් ලෝකයේ ජීවත් වී ඇතැයි මම නො සිතමි. ඔවුහු ඔවුන්ගේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ආධිපත්‍යය යොදා ගෙන කරන සෙල්ලම්වල අරුත කුමක් දැයි අප හැකි ඉක්මණින් වටහා ගත යුතු ය. ඉංගිරිසින්ගේ අශීලාචාරකම ලෝකයාට කියා දුන් අයිරිෂ් ජාතිකයකු වූයේ බර්නාඩ් ෂෝ ය. මෙරට නිවටයන් හා පුස්සන් ද කියවා ඇති පිග්මැලියන් පොතෙහි ඩූලිට්ල් හා හෙන්රි හිගින්ස් නම් චරිත ලවා බර්නාඩ් ෂෝ ඉංගිරිසි මධ්‍යම පාංතික සදාචාරය ගැන කතාකරවයි. එහෙත් මෙරට පාසල්වල ඉංගිරිසි සාහිත්‍යය ඉගැන්වෙන්නේ ව්‍යාජ මධ්‍යම පාංතික සදාචාරයේ බොරුව හෙළිදරවු කෙරෙන ආකාරයෙන් නොව එයට ගෞරවයක් ඇතිවන ආකාරයෙනි. පොත කියවා නැතත් ඒ පදනම් කරගනිමින් නිෂ්පාදනය කෙරුණු මයි ෆෙයා ලේඩි චිත්‍රපටිය නැරඹූ කී දෙනකුට ඉංගිරිසි මධ්‍යම පාංතික සදාචාරය පිළිබඳ ව ඉන් කෙරෙන නිර්දය විවේචනය තේරුම් ගැනීමට හැකි වී ද? සුද්දන්් හා පුස්සන් බර්නාඩ් ෂෝ ඉගැන්වූයේ ඔවුන්ට අවශ්‍ය ආකාරයට මිස ෂෝට අවශ්‍ය ආකාරයට නො වේ. ඇංග්ලො සැක්සන ත්‍රස්තවාදය එපරි දි ය.

මානව හිමිකම් සමුළුවේ දී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙනෙනු ලැබ ඇති යෝජනාවේ හරය අපේ ස්වෛරීභාවය නැතිකර අවසානයේ දී ඊළම පිහිටුවා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. මේ යෝජනාව එහි දී සම්මත විය හැකි ය. එහෙත් අප එයින් නොසැළිය යුතු ය. අප එයින් බියපත් වී රජය අස්ථාවර කර රනිල් - සම්බන්ධන් ආණ්ඩුවක් පිහිටුවිය යුතු ද? බටහිරයන් කියන්නේ එය යි. අද රනිල් වික්‍රමසිංහ කියන්නේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා ඔහු මහත් ගරුකරන ජාත්‍යන්තරය අපට විරුද්ධ වී ඇති බව ය. දෙමළ ජාතිවාදය ඇතිකර දෙමළ ත්‍රස්තවාදය බිහිකර පෝෂණය කළ බටහිරයන් ආණ්ඩුවට විරුද්ධවන්නේ තම ආධිපත්‍යයට යට නොවී මහින්ද රාජපක්‍ෂ මහතා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් බැවිනි. මා මෙවැනි ප්‍රකාශ කරන විට එය ආණ්ඩුවට කඩේ යෑමක් යැයි පුස්සෝ හා නිවටයෝ කියති. මා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහට බලයට පත්වී රට පාවාදීමට මග පෑදීම ද? ඊනියා සටන් විරාම ගිවිසුම මගින් වරක් රට පාවා දුන් රනිල් වික්‍රමසිංහ බලාගෙන සිටින්නේ බටහිරයන්ගේ ආධාරයෙන් ආණ්ඩුව අස්ථාවර කර තම පාවාදීම සඳහා තවත් වරක් උත්සාහ ගැනීමට ය. රට පාවාදුන් සටන් විරාම ගිවිසුමට සහාය දැක්වුවන්ට ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බවව පැවසූවන්ට තොප්පිගල යනු වනාන්තරයක් බවව පැවසුවන්ට, කිලිනොච්චිය මැදවච්චිය බව කීවුන්ට, අරන්තලාවේ භික්‍ෂු ඝාතනයේ දී, ශ්‍රී මහා බෝධිය හා දළදා මාළිගාව අසළ ඝාතනවල දී හා වෙනත් ඝාතනවල දී සිංහලයන්ගේ මානව අයිතිවාසිකම් ගැන වචනයක්වත් නොදෙඩු බටහිර ත්‍රස්තවාදීන්ට හා පුස්සන්ට හා නිවටයන්ට අද ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට ඇත්තේ කිනම් මානව අයිතිවාසිකමක් ද? බටහිර ත්‍රස්තවාදීන් විරුද්ධ වන්නේ ආණ්ඩුවට පමණක් නො වේ. ඔවුහු රටට ම විරුද්ධ වෙති. විශේෂයෙන් ම සිංහලයන්ට විරුද්ධ වෙති. රනිල් වික්‍රමසිංහ බටහිරයන් ආණ්ඩුවට පමණක් විරදේධ වන්නේ යැයි කියන්නේ තම ත්‍රස්තවාදී ස්වාමිවරුන් වෙනුවෙනි. ඔහු ද අවසාන වශයෙන් සේවය කරන්නේ ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදයටය.

(13/03/17)

Sunday, 15 July 2012

බොරු කතා ගෙතීම

අපට බොහෝ අවස්ථාවල ප්‍රවාද ගොඩ නැගීමට සිදු වී ඇත්තේ ඇයි? එයට ප්‍රධාන ම හේතුව අපට ඇතැම් කරුණු ගැන ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වීම ය. අප ප්‍රවාද ගොඩ නගන්නේ බටහිර විද්‍යාවේ පමණක් නො වේ. බටහිර දැනුම් පද්ධතියෙහි නම් ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂයවල ද බටහිරයෝ ප්‍රවාද ගොඩ නගති. එහි දී බොහෝ විට ගොඩ නැගෙන්නේ එක් රටක ඉතිහාසය පිළිබඳ ප්‍රවාදයකි. එසේත් නැත්නම් ඉතා සංයුක්ත ව යම් කිසි කරුණක් පිළිබඳ ව ගොඩ නැගෙන ඉතා සීමිත ප්‍රවාදයකි. උදාහරණයක් වශයෙන් ගතහොත් සඳකඩපහණ යනු කුමක් ද යන්න පිළිබඳ ව ප්‍රවාදයක් ගොඩ නැගිය හැකි ය. එය ඉතා සීමිත ප්‍රවාදයක් වන අතර ඒ පිළිබඳ ව ගොඩ නගන ලද ප්‍රවාද රාශියක් ලංකාවේ වෙයි.

කාල් මාක්ස් එක් රටකට හෝ සිද්ධියකට හෝ පමණක් සීමිත වූ ඉතිහාසයක් ගොඩ නැගීම වෙනුවට මුළු ලෝකයට ම පොදු ඉතිහාසයක්, එනම් ඉතිහාස කතාවක් ගොඩ නැගීමට උත්සාහ කළේ ය. ඔහුගේ ඊනියා ඓතිහාසික භෞතිකවාදය යනු ඒ කතාව හෙවත් ප්‍රවාදය ය. එහි දී ඔහු උත්සාහ කළේ මිනිස් සමාජය භෞතික හේතු මත වෙනස්වන බව, විකාශය වන බව, පෙන්වා දීම ය. ඔහු බටහිර භෞතික විද්‍යාඥයන් අනුගමනය කරමින් එසේත් නැත්නම් ඩාවීනීය පරිණාමවාදය අනුව යමින් තම ඉතිහාස කතාව ගොඩ නැගීමට උත්සාහ කළේ ය. අද ඒ ඉතිහාස කතාව ඉතිහාසයට අයත්වීම එක්තරා ආකාරයකින් ගතහොත් ඉතිහාසයේ ම සරදමකි.

මෙරට ඉතිහාසය විකාශය වී ඇත්තේ මහාවංසය කියන ආකාරයට විජය කුවේණි කතන්දරය අනුව ද? එසේත් නැත්නම් වෙනත් ආකාරයකට ද? මෙරට විසු යක්‍ෂ, නාග. දේව ආදීන්ගේ කාර්යභාරය කුමක් වී ද? ඔවුහු සිංහල ජාතියට ඇතුළත් වූවෝ ද? එසේත් නැත්නම් ඔවුහු ඉතිහාසයෙන් මැකී ගියෝ ද? සිංහල යනුවෙන් ජාතියක් ඇතිවුණේ කවදා ද? ඒ බටහිර දැනුම කටගාගත්තවුන් කියන පරිදි ධනවාදය ඇති වීමෙන් පසුව ද? ලෝකයේ සියළු ජාතීන් ඇතිවන්නේ එකම ආකාරයට ද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඉතිහාසය සම්බන්ධයෙන් පමණක් වුවත් ඇසිය හැකි ය.

මිනිස් සමාජයේ ඉතිහාසය පමණක් නොව බටහිර විද්‍යාවේ ඉතිහාසය ගැන ද අපට විවිධ ප්‍රශ්න ඇසිය හැකි ය. බටහිර විද්‍යාව බටහිර රටවල ම ඇතිවූයේ ඇයි? දහහතර වැනි සියවස වන විට බටහිර විද්‍යාවක් බටහිර රටවල ද නො තිබිණි. එකල දැනුම සම්බන්ධයෙන් ගත්කල යුරෝපීයයෝ එතරම් වර්ධනයක් පෙන්නුම් නො කළහ. එහෙත් පහළොස්වැනි සියවසෙන් පසු බටහිරයන් අනෙක් ජාතීන් හා ජනවර්ග පරදවා දැනුමෙන්, විශේෂයෙන් තාක්‍ෂණික දැනුමෙන්, අද සම්මත ආකාරයට නම් දියුණු වූයේ කෙසේ ද? මේ ප්‍රශ්නය බටහිර පඬුවකු වූ මහාචාර්ය නීඩ්හම් මහතා අසා පිළිතුරක් ද දී ඇත. ඔහුගේ පිළිතුර වූයේ එයට හේතුව ධනවාදය බව ය. එහෙත් බටහිර විද්‍යාව ඇතිවූයේ ධනවාදය බිහිවීමට පෙර ය.

මෙවැනි ප්‍රශ්න පසෙකට දමමු. අප ජීවිතයේ එදිනෙදා ද අපට මෙවැනි ප්‍රශ්න පැන නගියි. අද මෙන් ජංගම දුරකථන නොතිබූ කාලයක යමකු පාසලට හෝ කාර්යාලයට හෝ පැමිණ නැත්නම් එයට හේතුව දැනගැනීමට අපට අවශ්‍ය වී යැයි සිතමු. අප එහි දී කරන්නේ කුමක් ද? ඒ තැනැත්තා පිළිබඳ ව අප දන්නා කරුණු අනුව අපි විවිධ හේතු දක්වමු. එක්කෝ ඔහුගේ අසනීපයක් නිසා, එසේත් නැත්නම් දරුවකුගේ ප්‍රශ්නයක් නිසා (පාසලකට ඇතුල් කිරීම, රෝගී තත්වය), එසේත් නැත්නම් දෙමව්පියන්ගේ රෝගී භාවයක් නිසා ආදී වශයෙන් ඒ හේතු විවිධ වෙයි. අප ඒ හේතු ඉදිරිපත් කරන්නේ යම්කිසි පදනමක් සහිත ව බව ද අමතක නොකළ යුතු ය.

අප ඒ පුද්ගලයාගේ මවට හෝ පියාට හෝ අසනීප බව දැන සිටියේ නම් අපි දක්වන හේතුව එය සමග සංගත වන අයුරින ඉදිරිපත් කරමු. දරුවකු පාසලකට ඇතුළ් කිරීමට ඒ පුද්ගලයා උත්සාහ ගන්නා බව අප දැන සිටියේ නම් අප දක්වන හේතුව එය සමග පෑහෙන එකක් වනු ඇත. එහෙත් ඒ කිසි විටෙකත් අදාළ පුද්ගලයා නොපැමිණියේ අහවල් හේතුව නිසා යැයි අපට නිශ්චිත ව කිව හැකි නො වේ. අපට නිශ්චිත හේතුව දැනගත හැක්කේ එක්කෝ ඒ පුද්ගලයා හමුවීමට ගෙදරට ගොස් ය. එසේත් නැත්නම් ඒ පුද්ගලයාගේ නිවසෙහි දුරකථනයක් වී නම් හා අපට ද දුරකථනයකට සම්බන්ධ විය හැකි ව තිබිණි නම් දුරකථන පණිවුඩයක් දීමෙනි. ඒ කිසිවක් කළ හැකි නො වේ නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය හෝ ආපසු පාසලට හෝ කාර්යාලයට හෝ පැමිණෙන තුරු බලා සිටීමට අපට සිදුවෙයි.

අදාළ පුද්ගලයාු මුණ ගැසීමෙන් පසු අපට අප ඉදිරිපත් කළ හේතු නිවැරදි දැයි දැනගැනීමට හැකි වනු ඇත. එහෙත් ඒ එක් උපකල්පනයක් මත ය. එනම් ඒ පුද්ගලයාු සත්‍යය ප්‍රකාශ කරන්නේ ය යන උපකල්පනය කිරීමෙනි. එකී පුද්ගලයා අසත්‍යය ප්‍රකාශ කරන්නෙක් නම් අපට කළහැක්කේ කුමඛ් ද? එහි දී ද අප එතරම් ම අවශ්‍යතාවක් වෙතොත් ඒ පුද්ගලයා පදිංචි ප්‍රදේශයට ගොස් අසල්වැසියන්ගෙන් හේතුව දැනගැනීමට උත්සාහ කළ හැකි ය. ඇතැම් විට එය ද ප්‍රතිඵල රහිත වීමට හැකි ය. මා මේ කරුණු සඳහන් කළේ ඉතා සුළු කරුණක දී වුව ද එය අපේ ප්‍රත්‍යක්‍ෂයක් නො වේ නම් අපට ඒ දැනගැනීමට ඇති බාධා ගැන ඉඟියක් ලබා දීමට ය.

දැන් අවුරුදු දෙදහස් ගණනකට එසේත් නැත්නම් ලක්‍ෂයකට, ප්‍රකෝටියකට ඉහත සිදු වූ දේ දැනගන්නේ කෙසේ ද? විශ්වයේ ආරම්භය යැයි අප සිතන සංසිද්ධිය දැනගන්නේ කෙසේ ද? එය කිසිසේත් ම අපේ ප්‍රත්‍යක්‍ෂයක් නොවන අතර ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් ද අප සතු නො වේ. ඊනියා විශ්වයේ ආරම්භය ඉඳ හිටවත් සිදුවන්නක් නො වේ. විජය ලංකාවට පැමිණියේ ද යන්න අපේ ප්‍රත්‍යක්‍ෂය නො වේ. අප ඒ පිළිබඳ ව යමක් කියන්නේ කෙසේ ද?

අපට මහාවංසයෙහි ඒ පිළිබඳ සඳහනක් තිබෙන බව සත්‍යයකි. එහෙත් ඒ කතාව මහාවංසයෙහි ලියා ඇත්තේ ඒ කියන සිද්ධියෙන් අවුරුදු දහසකට පමණ පසුව ය. මහාවංසය ලියා ඇතාතේ වෙනත් කෘතිවලින් හා ජනප්‍රවාදයෙන් ලබාගත් තොරතුරු දනුව ය. එසේ වුවත් ඒ කෘති ලියා ඇත්තේ කිනම් කාලයක ද ජනප්‍රවාද හෙවත් ජනතාවගේ කතන්දර ගෙතුණේ කිනම් කාලයක දැයි අපි නො දන්නෙමු. අඩු තරමෙන් විජය විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් තිබිණි නම් අපට ඒ ඔස්සේ කතාවක් ගෙතිය හැකි ව තිබිණි. එහෙත් එහි දී ද මතක තබාගත යුත්තක් නම් අප ඒ කතාව ගොතන්නේ අද දවසෙහි බව ය.

විජය රජු යනුවෙන් කෙනකු සිටිය ද, ඒ පිළිබඳ ඔහුගේ සෙල්ලිපියක් තිබිණි ද, එය තම ජීවිතය හා සම්බන්ධ නම් එය අසත්‍ය වීමේ හැකියාවක් ද නැත්තේ නො වේ. අද පවා ඇතැම් ජනාධිපතිවරුන් තම ජීවිත කතා කීමේ දී ගොතා ඇති බොරු අපි දනිමු. තමන් ඉගෙන ගත් පාසල් පිළිබඳ ව මෙන් ම දෙමව්පිියන් ගැන ද ඇතැමුන් කියා ඇති බොරු ගැන අපි දනිමු. එසේ නම් අප අදාළ තොරතුරු දැනගන්නේ කෙසේ ද?

අපේ ප්‍රත්‍යක්‍ෂ ද නිවැරදි නොවන කල ප්‍රත්‍යක්‍ෂ නොවන ප්‍රවාදවල නිරවද්‍යතාව ගැන අපට ඇති විශ්වාසය කුමක් ද? පාසලට හෝ කාර්යාලයට හෝ නොපැමිණි පුද්ගලයා අඩුම තරමෙන් හමු වී යම් තොරතුරක් දැන ගැනීමේ හැකියාව අප සතු වෙයි. එහෙත් ඉතිහාසයෙහි විජය රජු යනුවෙන් කෙනකු සිටියත් ඔහු හමුවීමේ හැකියාවක් අද අපට නැත. අපට කළ හැක්කේ අනෙක් ප්‍රවාද හා තොරතුුරු සමග සංගත වන ආකාරයට ප්‍රවාදයක් හෙවත් කතාවක් ගෙතීම පමණකි.

අද ඇතැම් දෙමළ ජාතිවාදීන් මෙරට අනාදිමත් කාලයක සිට දෙමළ ජනයා සිටි බවට කතා ගොතනු දැකිය හැකි ය. එහෙත් ඔවුන්ට ඒ පිළිබඳ සංගත කතාවක් කිව නොහැකි බව පැහැදිලි ය. ලංකාවේ ඇති සෙල්ලිපි ඉතා විශාල සංඛ්‍යාවකින් දෙමළ බසින් ලියැවුණු සෙල්ලිපි ඇත්තේ ස්වල්පයකි. ඉනුත් බොහෝමයක් පිටරටින් මෙහි පැමිණි දෙමළ බස කතාකළ වෙළෙන්දන් සඳහා ලියැවුණු සෙල්ලිපි ය. මෙරට දෙමළ රාජ්‍යයක් තිබුණේ නම් සෙල්ලිපි විශාල ප්‍රමාණයක් දෙමළ බසින් තිබිය යුතු ය. එහෙත් එසේ නොවන්නේ මෙරට අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ පැවතුණේ සිංහල රාජ්‍යයක් වීම නිසා ය. අද කටුනායක ගුවන් තොටුපොළේ ඇතැම් දැන්වීම් ඉංගිරිසියට අමතරව ප්‍රංශ හා ජර්මන් භාෂාවලින් ද ඇත. එයින් කියැවෙන්නේ මෙරට ඉංගිරිසින්, ප්‍රංශයන් ජර්මානුවන් පදිංචි වී සිටි බව නො වේ.

මෙරට ඉතිහාසය පිළිබඳ සිංහලයන්ගේ කතාවක් වෙයි. එහි ඇතැම් තැනක යම් යම් පරස්පර තිබිණ ද සමස්තයක් ලෙස ගත්කල මෙරට සිංහල ජාතියක් හා සිංහල රාජ්‍යයක් අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ පැවති බව ඉතා සංගත ව පැහැදිලි කළ හැකි ය. එහි සංගත බව ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ සංගත බවට වඩා ඉහළ මට්ටමක පවතියි. එහෙත් මෙරට ඇතැම්හු සිංහල රාජ්‍යයක් පැවති බව කීමට මැළි වෙතත් පඬියන් මෙන් ගුරුත්වාකර්ෂණ බලයක් ඇතැයි කියති. එමෙන් ම ඔවුන්ගෙන් සමහරු තවමත් අනාගත කම්කරු පංති රාජ්‍යයක සිහින මවති.

විශේෂ වූ රටක විශේෂ වූ ඓතිහාසික සිද්ධියක් සම්බන්ධයෙන් ද ප්‍රවාද ගෙතීමේ ප්‍රශ්න තිබිය දී කාල් මාක්ස් මුළු ලෝකයේ ම ඉතිහාසයට ප්‍රවාදයක් ගෙතීමට උත්සාහ කළේ ය. ඔහු තම ප්‍රවාදය යොදා ගෙන ලෝකයේ අනාගතය පිළිබඳ ව ද අනාවැකි කීවේ ය. ඔහුට අනුව ඊනියා කම්කරු පංතිය ධනවාදී රාජ්‍ය විප්ලවවලින් පෙරළා කම්කරු පංති රාජ්‍ය හා අවසානයේ දී කොමියුනිස්ට් සමාජ බිහි කළ යුතු ය. එමෙන් ම එංගලන්තය වැනි රටවල එය මුලින් ම සිිදුවිය යුතු යැයි මාක්ස් කීවේ ය. එහෙත් ඒ එක් අනාවැකියක්වත් ඉටු වන බවක් පෙනෙන්නට නැත. බටහිර රටවල අර්බුද පැන නැගී ඇත. එහෙත් ඊනියා කම්කරු රාජ්‍ය බිහිවන පාටක් නැත.

කාල් මාක්ස් ඓතිහාසික සංසිද්ධිවලට වියුක්ත ප්‍රවාද ගොඩ නැගීමට උත්සාහ කළේ ය. බටහිර භෞතික විද්‍යාවේ කෙරෙන්නේ භෞතික සංසිද්ධිවලට වියුක්ත ප්‍රවාද ගොඩ නැගීම ය. මේ වියුක්ත සංකල්ප කම්කරු පංතිය මෙන් ම ව්‍යාජ සංකල්ප ය. කම්කරු පංතිය යන්න බෙහෙතකටවත් සොයා ගත නොහැකි සංකල්පයකි. බටහිර විද්‍යාවේ වියුක්ත සංකල්ප කිසිවකුට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත හැකි දේ නො වේ. එහෙත් බටහිර විද්‍යාව ඉගැන්වෙන ආකාරයට බොහෝ දෙනා සිතන්නට පුරුදු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය වැනි දේ ඇත්තට ම පවතින බව ය. ඇතැමුන් තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන බව කියන්නේ බටහිර භෞතික විද්‍යාවේ ඉගැන්වෙන කරුණු වලින් මත් වී සිටින බැවිනි.

පොළොවට පොල් ඇපල් ආදිය වැටෙන බව අපට ගෝචර වන සංසිද්ධියකි. නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ එසේ වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම සඳහා ප්‍රවාදයක් හෙවත් කතාවක් ගෙතීමට ය. ඔහු කතාවක් ගෙතී ය. එය අසත්‍යයක් මිස සත්‍යයක් නො වේ. ඒ කතාව වෙනුවට අයින්ස්ටයින් විද්වතා වෙනත් කතාවක් ගෙතී ය. මේ එක් කතාවක්වත් ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. ඒ කතා ඇතැම් කරුණු සමග සංගත යැයි පෙනෙන්නට ඇති නමුත් ඒ එසේ නො වේ. ඩාවිනීය පරිණාමවාදය යනු තවත් කතාවක් පමණකි. එහෙත් මේ කතා ඇත්ත යැයි පැවසීමට බටහිර දේශපාලනය විසින් විවිධ උප්පරවැට්ටි සකස් කරනු ලැබ ඇත. ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය යනු ප්‍රධාන උප්පරවැට්ටියක් පමණකි. ඊනියා ප්‍රවාද ගොතන්නේ ම ප්‍රත්‍යක්‍ෂයක් නොමැති වූ විට ය.

Sunday, 8 July 2012

ප්‍රවාද මගින් තේරුම් නොගැනීම

සම්භාව්‍ය භෞතිකයෙහි වස්තුවක් හෝ අංශුවක් හෝ එක් තැනක සිට තවත් තැනකට යෑම යනු කුමක් දැයි තේරුම් ගැනීමට අපි උත්සාහ කරමින් සිටින්නෙමු. මෙතැන තිබූ වස්තුවක් හෝ අංශුවක් හෝ එතැන තිබෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම එතරම් පහසු දෙයක් නො වේ. එතැන තිබෙන්නේත් මෙතැන තිබූ වස්තුව හෝ අංශුව හෝ නො වේ. ඒ වෙනත් වස්තුවක් හෝ අංශුවක් හෝ ද නො වේ. එහෙත් එතැන තිබෙන්නේත් මෙතැන තිබූ අංශුව ම යැයි අපි සිතමු. එය මායාවක් පමණි. එසේ ඒ වස්තුවත් මේ වස්තුවත් එකම යැයි අප සිතන්නේ අපේ අවිද්‍යාව හේතුකොටගෙන ය. එපමණක් නොව එසේ එකම වස්තුවක් ඇතැයි සිතන මා නම් නිරීක්‍ෂකයා ද පවතින්නේ යැයි සිතන්නේ ද අවිද්‍යාව හේතුවෙනි. මේ සියල්ල මා නම් නිරීක්‍ෂකයාගේ අවිද්‍යාව නිසා හටගැනෙයි. මා නම් නිරීක්‍ෂකයා හා අනෙක් වස්තු පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී යැයි කිව හැකි ය.

ආත්මවාදී යැයි කීව ද මෙහි වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නැත. වාද, ප්‍රවාද ආදිය අපේ අනුමාන වෙයි. අප වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නිර්මාණය කරන්නේ යම් සංසිද්ධියක් තේරුම් ගැනීමට ය. සංසිද්ධි ද අපේ නිර්මාණ වෙයි. ඒවා අපේ ප්‍රත්‍යක්‍ෂ විය හැකි ය. එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. පොල් ගෙඩියක් වැටීම අපේ ප්‍රත්‍යක්‍ෂයකි. අපි පොල් ගෙඩි වැටෙනු නිරීක්‍ෂණය කරමු. එය අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. එය අපි අපේ මනසින් ද ගෝචර කර ගන්නෙමු. එහෙත් පොල් ගෙඩිය යනුවෙන් වස්තුවක් ඇතැයි ගැනීම ම ආත්මයක් ඇතැයි ගැනීමකි. අපේ මනස් සකස් වී ඇති ආකාරයට අපි පළමුව මනසක් ඇතැයි ගන්නෙමු. ඉන්පසු පොල් ගෙඩි ආදී අනෙක් වස්තු ඇතැයි ගන්නෙමු.

කෙසේ වෙතත් පොල් ගෙඩි වැටීමේ සංසිද්ධිය, අපේ ප්‍රත්‍යක්‍ෂයක් වූ සංසිද්ධිය තේරුම් ගැනීම සඳහා අපි ප්‍රවාද ගොඩ නගන්නෙමු. ඒ සඳහා නිව්ටන් විද්වතා එක් ප්‍රවාදයක් ද අයින්ස්ටයින් විද්වතා එයට සංකල්පීය වශයෙන් හාත්පසින් ම විරුද්ධ වූ තවත් ප්‍රවාදයක් ද ගොඩ නැගී ය. එකකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන ය. අනෙකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ –- කාලයෙහි වක්‍රතාව නිසා ය. එහෙත් අපට ඒ ප්‍රවාදවලින් පොල් ගෙඩි වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි ද?

මේ තේරුම් ගැනීම යනුවෙන් අප අදහස් කරන්නේ අපට ප්‍රත්‍යක්‍ෂයක්වත් නොවූ පඹගාලක හිරවීම පමණකි. ගුරුත්වාකර්ෂණය යනු කුමක් ද? අප බොහෝ දෙනකු සිතන්නේ අපට ගුරුත්වාකර්ෂණය යන්න තේරෙන්නේ ය කියා ය. එහෙත් ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය වියුක්ත සංකල්පයකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. පොල් ගෙඩිය යනුවෙන් ඊනියා දෙයක් නොපැවතුණ ද වැරදියට වුවත් එය අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි. පොල් ගෙඩිය පොල් ගෙඩියක් ලෙස ගැනීම වැරදි වුවත් අපේ මනස හා පංචෙන්ද්‍රිය උපයෝගී කරගෙන අපි එය, නැවත වරක්, වැරදියට වුවත් ප්‍රත්‍යක්‍ෂ කර ගන්නෙමු.

එහෙත් අපට වියුක්ත සංකල්පයක් වූ ගුරුත්වාකර්ෂණය වැරදියටවත්, වැරදිලාවත් ප්‍රත්‍යක්‍ෂ නො වේ. අවකාශ - කාලයේ වක්‍රතාව ගණිතය නොදැන සිතා ගැනීමටවත් නො හැකි ය. එසේ නම් මෙවැනි අවස්ථාවල වියුක්ත ප්‍රවාද මගින් අප තේරුම් ගන්නේ යැයි කියන්නේ තේරුම් ගෙන තිබූ ටිකත් නැතිකර ගැනීමට මිස අනෙකකට නො වේ. මේ තේරුම් ගැනීම පොතක පතක තිබෙන දුරාවබෝධ වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ තේරුම් ගැනීම මෙන් නො වේ. වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ අවබෝධ කරගත නොහැකි නම් අප කරන්නේ එක්කෝ ශබිදකෝශයක් මගින් ඒ තේරුම් ගැනීම ය. එසේත් නැත්නම් එය තේරුම්ගත් වෙනත් අයකුගෙන් අසා දැන ගැනීම ය. එසේත් නැතහොත් සන්දර්භයට අදාළව එය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.

පළමු අවස්ථා දෙකෙහි අදාළ වාක්‍යය හෝ ඡෙදය හෝ එක්කෝ අප දන්නා අපට තේරෙන වචනවලින් ප්‍රකාශ කර ගැනීමට අපි කටයුතු කරමු. එමෙන් ම අප එතෙක් නොදැන සිටි වචනයක් වී නම් එය ද දන්නා වචනවලින් තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙමු. එසේත් නැතහොත් නොදැන සිටි වචනය ගැන චිත්ත රූපයක් මවා ගැනීමට උත්සාහ කරමු. ඒ කුමක් වුවත් අපට ඒ ඔස්සේ පංචෙන්ද්‍රිය සමග එකතු වී හෝ නැතිව හෝ මනසට දැනෙන සංකල්පයක් අපි තනා ගන්නෙමු. අප සතුටු වන්නේ දුක් වන්නේ මනසෙනි. එය මනසට හා පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන යම් කරුණක් නිසා සිදුවන්නක් විය හැකි ය. එහෙත් සතුටු වීම හෝ දුක්වීම හෝ අපේ මනසට දැනෙන්නකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ වෙයි.

එහෙත් දිව්‍ය ලෝකය අපට ප්‍රත්‍යක්‍ෂ නැත. අපට එය මනසට පෙනෙන, එනම් මනසින් මවාගත හැකි, එහෙත් මනසට නොදැනෙන සංකල්පයකි. දිව්‍ය ලෝක ගැන අපි නොයෙකුත් දේ අසා ඇත්තෙමු. දෙවියන් ගැන ද අප බොහෝ දෙනකුට ඇත්තේ අසා දැනගත් කරුණු ය. පන්සලේ ඇති දේවරූප අපි දැක ඇත්තෙමු. ඒ සියළු කරුණු ඔස්සේ අපි දිව්‍ය ලෝක මනසෙහි මවා ගන්නෙමු. ඇතැමුනට දිව්‍ය ලෝක හයේ නම් ද ප්‍රකාශ කළ හැකි ය. එහෙත් ඒ එක් අයකුටවත් දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නැත. අප සසරේ යම් කාලයක් දිව්‍ය ලෝකවල ගතකර ඇතැයි සිතිය හැකි වුව ද අපට දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නො වේ. දෙවියන් දැක ඇති අයට දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වුව ද ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නැත. ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ නොවූ දැනුමකි.

එහෙත් බුදුන් වහන්සේ රහතන් වහන්සේ ආදී උතුමනට දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ඇත. අප ඒ බව දන්නේ කෙසේ දැයි පඬියකුට ප්‍රශ්නයක් විය හැකි ය. අප ඒ බව දන්නේ අපට උන්වහන්සේ විශ්වාස නිසා හා අප උන්වහන්සේ දේශනාකරන කරුණු විශ්වාස කරන නිසා ය. එය විශ්වාසය මත පදනම් වෙයි. විශ්වාසය නැතිව කිසිම දෙයක් අපට අන්‍යයන්ගෙන් දැනගත නො හැකි ය. අප බටහිර විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ ඒ සියල්ල පිළිබඳ පර්යේෂණකර බැලීමෙන් පසුව නො වේ. අපට ඔවුන් ගැන විශ්වාසයක් ඇති බැවිනි. ඒ විශ්වාසය ගොඩනගා ඇත්තේ පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය විසිනි.

දිව්‍ය ලෝක ගැන අපට ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නැතත් ඒ පිළිබඳ ව බුදුන් වහන්සේට හා රහතන් වහන්සේට ප්‍රත්‍යක්‍ෂයක් ඇත. එහෙත් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ව ප්‍රත්‍යක්‍ෂයක් ඇත්තේ කාහට ද? මා දන්නා තරමින් එලෙස ප්‍රත්‍යක්‍ෂයක් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ එක්තරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට පමණකි. එහෙත් ඔහු ද තමාට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයක් ඔස්සේ දැයි කීමට මැළි විය. ඔහු හැරෙන්නට වෙනත් කිසිම අයකුට මා දන්නා තරමින් නම් ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වී නැත.

අඩුම තරමෙන් නිව්ටන් විද්වතාවටවත් ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වූවක් නො වේ. ඔහු ගුරුත්වාකර්ෂණය හඳුන්වා දුන්නේ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ය. එය හිතළුවක් පමණකි. නිසැකයෙන් ම එය ඔහුගේ මනසෙහි නිර්මාණය වූවකි. වෙනත් වචනවලින් කිවහොත් එය මනඃකල්පයකි. අපට සුපුරුදු බසින් කිවහොත් මනස්ගාතයකි. එහෙත් මනස්ගාතවලින්් පටන්ගෙන ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් බටහිර විද්‍යාඥයන්ට යම් යම් කරුණු ප්‍රකාශ කළ හැකි ය. මේ ප්‍රකාශවලට නිගමන යැයි කීමට මා මැළිවන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමනයක් පමණක් වීම නිසා ය.

බටහිර විද්‍යාවේ තේරුම් ගැනීම යනු දුරාවබෝධ වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ තේරුම් ගැනීම වැන්නක් නො වේ. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද ඔස්සේ තේරුම් ගැනීම යනු තේරුම් නොගැනීමක් පමණක් නොව තේරුම් ගෙන සිටි දෙයත් නැතිකර ගැනීමකි. බටහිර විද්‍යාවේ ප්‍රවාදයක් යනු සංගත එහෙත් හිතළුවක්, කතන්දරයක් පමණකි. මේ කතන්දරය ඊනියා සත්‍යයක් යැයි මිනිසුන් ලවා විශ්වාස කරවීමට හැකි වී ඇත්තේ ඒ කතන්දරයට ඇරිස්ටෝටලීය න්‍යාය යෙදීමෙන් ලබාගන්නා ප්‍රකාශ සන්නිකර්ෂණ ව යම් වෙසෙසියා මට්ටමක (level of significance) නිරීක්‍ෂණ සමග එකඟ වන බැවින් ය. ඒ හැරෙන්නට හිතළුව අපේ ප්‍රත්‍යක්‍ෂයක් නො වේ.

නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය අර කථිකාචාර්යවරයාගේ හැරෙන්නට එදා මෙදාතුර විසූ කිසිවකුගේවත් ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එහෙත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය උපයෝගී කරගනිමින් උද්ගමනයක් පමණක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් තවත් හිතළුවක් වූ නිව්ටෝනීය දෙවැනි නියමය ද ආධාර කරගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොව ආසන්නයේ වස්තු ඒකාකාර ව එකම අගයකින් පොළොවට ඇද වැටෙන බව ද ග්‍රහ වස්තු අචල ඉලිප්සවල චලනය වන බව ද ප්‍රකාශ කරති. එය සන්නිකර්ෂණ ව මිනිසුන්ගේ නිරීක්‍ෂණ සමග එකඟ වෙයි. මෙහි දී කිවයුතු කරුණක් නම් මිනිසුන් ඒ සමග එකඟ වන්නේ බටහිර විද්‍යාඥයන් අනුව සිතන්නට ඔවුන්ට පුරුදු කිරීමෙන් පසුව බව ය. ඒ කෙසේ වෙතත් ග්‍රහ වස්තු අවකාශයේ අචල ඉලිප්සවල චලනය නො වේ. ඒ ඉලිප්සවලට ද “චලිතයක්” වෙයි.

අයින්ස්ටයිනීය අවකාශ - කාල වක්‍රතාව ගුර්ත්වාකර්ෂණයටත් වඩා වියුක්ත සංකල්පයකි. ඒ ගැන කිසිවකුට චිත්ත රූපයක්වත් මවාගත නො හැකි ය. එහි ප්‍රත්‍යක්‍ෂතාවක් ගැන කිසිසේත් ම සිතිය නො හැකි ය. එහෙත් නැවතත් ඒ සංකල්පය, අයින්ස්ටයිනීය ක්‍ෂෙත්‍ර සමීකරණ හා ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගෙන බටහිර විද්‍යාඥයන්ගේ ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ වන ප්‍රකාශ ලබාගත හැකි වෙයි. පොල් ගෙඩි පොළොවට වැටීම කාගේත් ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් අවකාශ –- කාල වක්‍රතාව කිසිවකුගේවත් ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. අප කාහටත් තේරුම් ගත හැකිව තිබූ පොල් ගෙඩි, ඇපල් ගෙඩි ආදිය පොළොවට ඇද වැටීම දැන් ලෝකයෙහි ලක්‍ෂයකට අඩු පිරසකගේ ප්‍රත්‍යක්‍ෂයක් නොවූ සංකල්පයක් පමණකි. එය මනසටවත් නොදැනෙන හුදෙක් මනසෙහි ඇති වූ සංකල්පයක් පමණක් වෙයි. මනස්ගාතයක් පමණකි.

මෙහි දී අවධාරණය කළ යුත්තේ පෘථග්ජනයන්ට ප්‍රත්‍යක්‍ෂ වූ දෑ ද ඊනියා සත්‍ය නොවන බව ය. පෘථහ්ජන ප්‍රත්‍යක්‍ෂ ද අවසාන වශයෙන් ගත්කල ඔවුන්ගේ පංචෙන්ද්‍රිය හා මනස මගින් නිර්මාණය කෙරෙයි. අප සියළු දෙනාට ම තමන් ගැන ප්‍රත්‍යක්‍ෂයක් වෙයි. බටහිර දාර්ශනිකයකු වූ දෙකාර්තේ පැවසුවේ “ මම සිතමි. එබැවින් මම වෙමි” යනුවෙනි. මේ තර්කයෙි ද මම වෙමි යන්න කල් තබා ම උපකල්පනය කෙරී ඇත. මම සිතමි යනුවෙන් පවසන විට සිතන්නේ මා බව කියැවෙයි. එසේ උපකල්පනය කර තිබිය දී මම වෙමි යනුවෙන් පැවසීම ව්‍යාජ නිගමනයක් පමණකි. දෙකාර්තේ කුමක් කීවත් මිනිසුනට තමන් පවතින බව ප්‍රත්‍යක්‍ෂ ය.

එහෙත් සිංහල බෞද්ධයනට මා යනුවෙන් කෙනකු නැත. එසේ නම් මිනිසුනට ප්‍රත්‍යක්‍ෂ වන්නේ ද නැති දෙයකි. එහෙත් ඒ නැති දෙයක් ලෙස මිනිසුන් විසින් සලකනු නො ලැබෙයි. පුටුව පිළිබඳ මිනිසුන්ගේ ප්‍රත්‍යක්‍ෂය වුව ද එබඳු ය. මිනිසුන්ට අනෙක් සත්වයන්ට ද නැති දේ ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපි සම්මුතියෙන් ඒ ඇතැයි සලකමු. පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ගැන වුව ද අපට සෑහීමකට පත්විය නො හැකි ය. වාද හා ප්‍රවාද ආශ්‍රිත දැනුම ගැන ඒ තරමටවත් සෑහීමකට පත්විය නොහැක්කේ ප්‍රවාදය ම හිතළුවක් වන බැවින් හා ඊනියා නිගමනවලට එළඹීමේ දී යොදා ගන්නා ඇරිස්ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමන වීම නිසා ය. ඊනියා අනාත්මවාදය, වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නොව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයකි. මම බුදුන් වහන්සේ විශ්වාස කරමි.

Sunday, 11 March 2012

ප්‍රත්‍යක්‍ෂ නොවන බාහිර ලෝකය

ද්‍රව්‍යවාදීන් නිතර අසන ප්‍රශ්නයක් නම් බාහිර ලෝකය ද අප විසින් නිර්මාණය කෙරෙන්නක් නම් අප ඉපදෙන්නට පෙර බාහිර ලෝකයක් නොතිබිණි ද යන්නත් අප මියගිය පසු බාහිර ලෝකයක් නොපවතින්නේ ද යන්නත් ය. මේ ප්‍රශ්නයට අප කිහිප විටක් ම පිළිතුරු දී ඇති නමුත් එයට නැවතත් ප්‍රතිචාරයක් දැක්වීම නුසුදුසු යැයි නො හැඟෙයි. එහෙත් එයට පළමු ඊනියා බාහිර ලෝකය ගැන තවත් කිවයුත්තක් වෙයි.

අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නේ වර්ණය, හැඩය, තද බව, සුවඳ, රස, උණුසුම ආදිය මිස වස්තු නො වේ. අපි ඒ සියල්ල එක්කර වස්තුවක් හෝ වස්තු හෝ සංස්කරණය කරමු. මට තද ලෙස දැනෙන්න වෙනත් අයකුට මොළොක් ලෙස දැනිය හැකි ය. එවිට ඇත්තේ (ඇතැයි අප උපකල්පනය කළහොත්) මොළොක් වස්තුවක් ද එසේත් නැත්නම් තද වස්තුවක් ද? ඉහත සඳහන් උපකල්පනය යටතේ ම ඇත්තේ ඊනියා වාස්තවික තද වස්තුවක් ද? එයට අපෙන් බාහිර ව පිහිටි වස්තුවක් යැයි කිව හැකි ද?

ඒ අපෙන් බාහිර ව පවතින්නේ යැයි කියන වස්තුව උණුසුම් ද එසේත් නැත්නම් සිසිල් ද? බොහෝ විට බටහිර භෞතික විද්‍යාව ඉගෙනීම ආරම්භ කරන දරුවන්ට තම අත් දෙක උණුසුම් වතුර භාජනයක හා සිසිල් වතුර භාජනයක වෙන වෙන ම ඔබාගෙන මඳ වේලාවක් සිටින්නට යැයි කියා ඉන්පසු ඒ වතුර මිශ්‍ර කරන ලද භාජනයකට අත් වෙන වෙන ම එකකින් පසුව අනෙක දමන්නට යැයි කී විට දරුවන්ට අත් දෙකට දැනෙන්නේ වෙනස් වේදනාවන් බව අපි දනිමු. එකම භාජනය හා එකම වතුර යැයි අප කියන ඊනියා වස්තුවක් එක් අතකට උණුසුම්ව ද අනෙක් අතට සිසිල්ව ද දැනෙයි.

දැන් ඒ වතුර උණුසුම් ද සිසිල් ද? බාහිර ව පවතින්නේ යැයි කියනු ලබන්නේ කිනම් අතට දැනෙන වස්තුව ද? උණුසුම් බව හෝ සිසිල් බව හෝ ඇත්තේ ඒ ඒ අතට සාපේක්‍ෂව ය. එහෙත් බටහිර භෞතික විද්‍යාව උගන්වන ගුරුවරු දරුවන්ට මේ අත් දෙකේ අත්දැකීම් දෙකෙන් කියන්නේ වෙනත් කරුණකි. එනම් ද්‍රවයක උණුසුම් බව හෝ සිසිල් බව දැන ගැනීමට අත් සුදුසු නොමැති බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අපෙන් ස්වායත්ත ව පවතින්නේ යැයි කියන ද්‍රවයක හෝ වෙනත් වස්තුවක හෝ උණුසුම් බව හෝ සිසිල් බව හෝ දැන ගැනීමට අපේ ඉන්ද්‍රිය නුසුදුසු බව ය. මෙසේ කියන්නෝ කවරහු ද? ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් දැනුමේ උරගල යැයි කියන්නෝ යෂ ඕනෑම ප්‍රවාදයක් නිවැරදි දැයි දැනගැනීමට ඒ ප්‍රවාදයෙන් ලබාගන්නා නිගමන හෙවත් අපෝහන ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සමග සැසඳිය යුතු යැයි කියන්නෝ යෂ ඒ සමග ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සත්‍ය නම් විද්‍යාවක අවශ්‍යතාවක් නැතැයි කියමින් හුදු දෘෂ්‍යමානයට ඔබ්බෙන් වූ ඊනියා යථාර්ථයක් සොයන්නෝ ය. ඊනියා යථාර්ථය දැනෙන්නේ පංචෙන්ද්‍රියවලට නොව මනසට බව ඉන් පැහැදිලි වෙයි. එහෙත් ඒ මනසට දැනෙන ඊනියා යථාර්ථය සත්‍ය දැයි දැනගැනීමට අර විශ්වාසයක් තැබිය නොහැකි ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වෙත ආපසු යන්නෝ ය. බටහිර විද්‍යාව පිළිබඳ සිංහලෙන් මෙන් ම ඉංගිරිසියෙන් ද මා කර ඇති මේ විවේචනයට හා වෙනත් විවේචනවලට මෙතෙක් කිසිවකු පිළිතුරු දී නොමැති බව සඳහන් කළ යුතු ය.

මේ බටහිර විද්‍යාඥයන්ගේ පරස්පර කතා අපි මොහොතකට අමතක කරමු. තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන විශ්වාසයක් නොතබමින් එහෙත් ඒ විශ්වාසය අත් නොහරින බටහිර විද්‍යාඥයන් උණුසුම හෝ සිසිල් බව හෝ දැනගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කර ඇත. ඒ උපකරණය උෂ්ණත්ව මාපකය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාඥයන් මෙහි දී කරන්නේ කුමක් ද? අපෙන් ස්වායත්ත ව, එනම් අපේ මනස ද ඇතුළු ඉන්ද්‍රියවලින් ස්වායත්ත ව, පවතින්නේ යැයි කියන වස්තුවකට අපේ ඉන්ද්‍රියවලින් බාහිරව දැනගත හැකි උණුසුම් බවක් හෝ සිසිල් බවක් හෝ ඇතැයි උපකල්පනය කර එය දැනගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කිරීම ය. උෂ්ණත්ව මාපකය පිටුපස ඇත්තේ ද්‍රවයකට හෝ වෙනත් ද්‍රව්‍යයකට හෝ උෂ්ණත්වය යනුවෙන් ගුණයක් ඇති බවත් එය මැණගත හැකි බවත් යන සංකල්ප ය.

එහෙත් මෙහි දී බටහිර විද්‍යාඥයා නැවතත් කරන්නේ තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ඉවත දැමීම ය. යම්කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කිරීම සඳහා තාප ශක්තිය ලබාදිය යුතු යැයි බටහිර විද්‍යාඥයා උපකල්පනය කරයි. එහෙත් උෂ්ණාත්වය යන්න ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වේ. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම වනුයේ උණුසුම යන්න ය. උණුසුම හා උෂ්ණත්වය අතර ඇති සම්බන්ධය කුමක් ද? උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී බටහිර භෞතික විද්‍යාඥයා යම්කිසි බටහිර භෞතික විද්‍යාත්මක ප්‍රවාදයක් යොදා ගනියි.

එහෙත් ඒ ප්‍රවාදයෙහි නිවැරදිතාව පිළිබඳ ව බටහිර භෞතික විද්‍යාඥයන්ට සහතික විය හැකි ද? උදාහරණයක් ලෙස රසදිය උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී උපකල්පනය කෙරෙනුයේ තාප ශක්තිය ලබාදීමත් සමග යම් ද්‍රවයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ ප්‍රසාරණය වන බව ය. එහෙත් එය සෑම විට ම ඒ ආකාරයෙන් ම සිදු නොවන බව අපි දනිමු. ජලයේ ඝනත්වය වැඩිම අගයක් ගන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක හතරෙහි දී බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහි තේරුම සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවේ සිට හතර දක්වා උෂ්ණත්වය වැඩිවීමේ දී ජලය සංකෝචනය වන බව ය. ඉන්පසු උෂ්ණත්වය වැඩිවීමේ දී ජලය ප්‍රසාරණය වනවා විය හැකි ය. එහෙත් අංශක බින්දුවේ සිට හතර දක්වා ජලය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන බව අප අමතක නොකළ යුතු ය.

රසදිය සම්බන්ධයෙන් අප දන්නා උෂ්ණත්වවල දී ප්‍රශ්නයක් පැන නොනගින බව කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් ප්‍රශ්නය එය නො වේ. උපකරණ භාවිතයේ දී බටහිර විද්‍යාඥයෝ යම් යම් ප්‍රවාද යොදා ගනිති. මේ ප්‍රවාද ද අවසාන විග්‍රහයෙහි දී බටහිර විද්‍යාඥයන්ගේ සංස්කරණ, නිර්මාණ බව පැහැදිලි ය. අපි සෙක්කුවේ බැඳි ගොනා මෙන් එක්තැන වටේ කැරකැවෙමු. අපට උපකරණ තනාගැනීමට සිදුවන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද ඇසුරෙන් ය. ඒ ප්‍රවාදවල සත්‍යාසත්‍යතාව දැනගැනීමට සිදුවන්නේ උපකරණවල ආධාරයෙනි! මෙය චක්‍රීය චින්තනයක වලංගු විය හැකි වුව ද, බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි රේඛීය චින්තනයෙහි වලංගු නො වේ.

අපට යම් යම් සංඥා ලැබෙන බව සැබෑ ය. අපේ ඇඟට උණුසුම දැනෙයි. ඒ අතර අපේ ඇසට ගින්නක් යැයි අප විසින් සිතනු ලබන වර්ණ, හැඩ ආදිය පෙනෙයි. අපි ඒ ගින්න සමග උෂ්ණත්වය සම්බන්ධ කරමු. එසේ සම්බන්ධ කර ගින්න උණුසුම් යැයි අපි කියමු. ඒ මනසෙහි අනුමානයක් වෙයි. එහෙත් ඒ අනුමානය සංගත ය. අප ගින්න යනුවෙන් හැඳින්වෙන්නට ආසන්නවත් ම සිරුරට දැනෙන උණුසුම වැඩිවෙයි. ගින්න නිවාදැමූ විට උණුසුම නැතිවෙයි. එසේ අපේ ප්‍රත්‍යක්‍ෂයෙහි සංගත බවක් ඇති හෙයින් අපේ අනුමානය නිවැරදි යැයි, සත්‍ය යැයි, අපි සිතමු.

ඒ එක්තරා ආකාරයකින් ගතහොත් ප්‍රවාදයකි. එය අපට මෙසේ ප්‍රකාශ කළ හැකි ය. බාහිර ව ගින්නක් ඇත. ඒ ගින්න උණුසුම් ය. ගින්න හේතුවෙන් අපට උණුසුමක් දැනෙයි. වෙනත් එවැනි වස්තුවක් නොමැති නම් උණුසුම දැනෙන්නේ ගින්න හේතුකොටගෙන ය. වෙනත් එවැනි වස්තු ඇති විට උණුසුමට යම් ප්‍රදානයක් ගින්නෙන් සිදුවෙයි. එහෙත් මෙහි දී අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ උණුසුම හා ගින්නෙහි වර්ණය ඊනියා ගිනි දළු ආදිය පමණ ය. අනෙක් සියල්ල අප විසින් මනසෙන් සංගත ව කරණ අනුමාන වෙයි.

බාහිරව පවතින්නේ යැයි කියැවෙන කිසිම වස්තුවක් එලෙස එනම් වස්තුවක් ලෙස ඉන්ද්‍රිය ගෝචර නො වේ. එසේ පවතින්නේ යැයි කියන වස්තුවේ වර්ණය හැඩය ආදිය පමණක් ඉන්ද්‍රිය ගෝචර වෙයි. එසේ තිබෙන්නේ යැයි කියන වස්තුව ඇතැම් විට ස්පර්ශ කළ හැකි ය. එයට වැඩි යමක් ඉන්ද්‍රිය ගෝචර වීම සම්බන්ධයෙන් අපට කිව නො හැකි ය. ඊනියා බාහිර වස්තු මනසේ නිර්මාණ, අවශ්‍ය නම් අනුමාන පමණ ය. මනස නැත්නම් මනසෙන් ගන්නා ඒ කිසිවක් මනසෙන් බාහිර ව නැත. අප මනසක් යනුවෙන් යමක් ඇතැයි ගන්නා බැවින් විඤ්ඤාණ නාම රුප ආදිය අභ්‍යන්තර ව ඇති වෙයි. ඒ අභ්‍යන්තර ව ඇතිවෙන ඇතැම් නාම රූප හේතුකොට ගෙන අපි බාහිර ව වස්තු හා ලෝකය ඇතැයි ගනිමු. මනස යනුවෙන් යමක් නැති බව අවබෝධ කළ විට (එය මනසින් කළ නොහැකි බව පැහැදිලි ය) තමාත් බාහිර ලෝකයත් නැති බව අවබෝධ වෙයි.

බුදුදහමට අනුව අප ඊනියා බාහිර වස්තු යනුවෙන් ගන්නේ අපට ප්‍රත්‍යක්‍ෂ වන දේ හා ඒ ඇසුරෙන් අප අනුමානය කරන දේ ය. ඉන් එහාට අපෙන් ස්වායත්ත වූ බාහිර ලෝකයක් නැත. එහෙත් බටහිර විද්‍යාවට අනුව බාහිර ලෝකයක් වෙයි. බුදුදහම හා බටහිර විද්‍යාව අතර එවැනි මූලික වෙනසක් තිබිය දී ඇතැම්හු බුදුදහම විද්‍යාත්මක (එනම් බටහිර විද්‍යාත්මක) යැයි කියති. දැන් ප්‍රශ්නයක් වෙයි. බාහිර වස්තු ලෙස අප අනුමාන කරන දේ විඤ්ඤාණයෙහි මායාවක් විය හැකි වුවත් ප්‍රත්‍යක්‍ෂ එලෙස මායාවක් වන්නේ ද? ප්‍රත්‍යක්‍ෂ යනු මනසෙහි අනුමාන නො වේ. ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙයි. එබැවින් අනුමාන කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගන්නා කොටස් නො පවතින්නේ ද?

එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද පංචේන්ද්‍රියවලට හා විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. අපේ පංචේන්ද්‍රියවලට ගෝචර නොවන දේ බල්ලන්ගේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යැයි කියැවෙයි. ඇතැම් ශබිද ගඳ සුවඳ (ඉව) බල්ලන්ට ගෝචර වන නමුත් මිනිසුන්ට ගෝචර නො වේ. මේ සාපේක්‍ෂතාව ම ඊනියා වාස්තවිකත්වයක් නැති බවට උදාහරණයකි. එය පසෙකින් තැබුව ද ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ් ද? ඒ පංචෙන්ද්‍රියවලට හා විඤ්ඤාණයට ගෝචර වූ දේ ය. එනම් අභ්‍යන්තර ව ඇතිවන නාම රූප ය. එහි දී ද මූලික කර්තව්‍යය ඉටු කරනුයේ මනස ය. අවිද්‍යාව නොවන්නට සංස්කාර නොමැත. සංස්කාර නොමැතිව විඤ්ඤාණයවත් නාම රූපවත් නැත. නාම රූප ද විඤ්ඤාණයේ මායාවකි. එසේ නම් ප්‍රත්‍යක්‍ෂවල ද ඇති වැදගත්කමක් නැත. විඤ්ඤාණයේ මායාවන්ට දිය හැකි වැදගත් කම කුමක් ද?

ඊනියා බාහිර ලෝකය පමණක් නොව අභ්‍යන්තර ලෝකය ද මායාවකි. මේ මායාවට මුල අවිද්‍යාව ය. මා යනුවෙන් මගේ යනුවෙන් ගැනීම ම වැරදි විට ඊනියා බාහිර ලෝකයක් ඇතැයි ගැනීම කෙතරම් වැරදි විය යුතු ද? අප බාහිර ලෝකය ලෙස ගන්නේ විඤ්ඤාණයේ මායාවක් බැවින් බාහිර ලෝකයක් නැත. අප මවාගත් ලෝකයෙන් කොටසක් අභ්‍යන්තර ලෝකය ලෙස ද ඉතිරි කොටස බාහිර ලෝකය ලෙස ද හැඳින්වෙයි.

වස්තුවක් හෝ අංශුවක් හෝ ඇත්තේ, පවතින්නේ එකම තැනක පමණක් යැයි අපි කියමු. පුටුවක් හෝ මේසයක් හෝ එකවිට අවකාශයෙහි තැන් දෙකක පැවතිය නොහැකි යැයි අපි කියමු. එසේ එකම තෑනක, එකම පිහටුමක පවතින්නේ යැයි අප කියන්නේ ඇයි? එය අප විසින් නිර්මාණය කරනු ලැබ ඇති අනුමානයක් පමණක් වෙයි. එහෙත් එය සැම විට ම එසේ විය යුතු නැත. අපේ ඇසට මේසය, මේසයක් ලෙස හසු නො වේ. එහෙත් අපේ අනුමානයට අනුව මේසය යනුවෙන් දෙයක් (වස්තුවක්) පවතිනවා පමණක් නොව ඒ මේසය අවකාශයෙහි නිශ්චිත ඉඩක් පමණක් ගනියි.

Saturday, 26 November 2011

සන්නිකර්ෂණයේ හා වාස්තවිකත්වයේ පරස්පරය

බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් මෙරට වපුරා තිබූ මිථ්‍යා මත අද එකින් එක පුපුරා යමින් පවතිනු දැකිය හැකිය. අද බටහිර වෛද්‍ය විද්‍යාවේ (බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව යනු බටහිරයන්ගේ ම අර්ථයෙන් ගත්කල බටහිර තාක්‍ෂණ පමණකි) මහාචාර්යවරුන්ට බටහිර විද්‍යාව ගැන කීමට ඇත්තේ එහි විශ්වාසනීයත්වය හා එය යොදා ගැනීමට හැකි වීම පමණ ය. එහෙත් කලකට පෙර මේ මහාචාර්යවරු බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යතාව, එහි ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය, එය සත්‍යය කරා ළඟාවීම, එහි වාස්තවිකත්වය, සර්වත්‍රභාවය ආදිය ගැන මහත් ආඩම්බරයෙන් කතා කළහ. එහෙත් අද ඔවුන්ට ඒ ගැන කතාකිරීමට නො හැකි වී ඇත.

බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එයට විශේෂිත වූ වැදගත්කමක් නැති බවත් එය යම් සංස්කෘතියක හා චින්තනයක බිහි වී ඇති බවත් එය අද පවතින්නේ මූලික වශයෙන් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ දේශපාලන ආධිපත්‍යය මත බවත් මේ දැනුම් ආධිපත්‍යය යුරෝපීය වැඩවසම් යුගයේ කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යයට වඩා බෙහෙවින් ශක්තිමත් බවත් අප වටහා ගතයුතු ය. කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යය එහි අනෙක් ආධිපත්‍ය මෙන් ම එක් පුද්ගලයකු, එනම් පාප් වහන්සේ, වටා ගොඩනැගිණි. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම් ආධිපත්‍යයට නායකයකු නැත. එය ලෝ පුරා පවත්වාගෙන යන්නේ විවිධ ආයතන, ඊනියා ශාස්ත්‍රීය සංගම්, විශ්වවිිද්‍යාල, පාසල් හා ජනමාධ්‍ය ඔස්සේ ය. නායකයකු නැති ව්‍යාපාරයකට පහර දීම පහසු නො වේ.

මාටින් ලූතර්ට පාප්වහන්සේ විවේචනය කර පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැදීමට හැකි විය. එමෙන් ම මාටින් ලූතර් එවකටත් ඉතාලියේ හා දකුණු යුරෝපයේ බිහිව තිබූ සාමූහිකත්වයට එරෙහිව පෞද්ගලිකත්වයට ප්‍රධාන තැන ලබා දෙන සමාජ ක්‍රමයක් බිහිකිරීමේ ව්‍යාපාරය මත පදනම් විය. අද අප අපේ සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමේ දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විසින් පෝෂණය කෙරුණු මිනිසුන්ගේ පෞද්ගලිකත්වය හා වෙනත් ලක්‍ෂණ අපට එරෙහිව ක්‍රියා කරනු දැකිය හැකි ය. එමෙන් ම එහි දී ලන්ඩනයේ රාජකීය සංගමය (Royal Society of London) යනුවෙන් හැඳින්වෙන සංගමයේ හා එහි ආකෘතිය අනුව විවිධ රටවල හා විවිධ ක්‍ෂෙත්‍රවල ගොඩනගා ඇති ශාස්ත්‍රීය සංගම්වල ආධිපත්‍යය මෙන් ම විශ්වවිද්‍යාලවල හා වෙනත් එවැනි ආයතනවල ආධිපත්‍යය ද අපට එරෙහිව අවි අමෝරා ගෙන සටන් වදියි.

පසුගිය දා නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සම්බන්ධ කරගනිමින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතු කාරකය (අනෙක් හේතු වනුයේ රජරට ප්‍රදේශයේ ඇති පස හා කිවුල් ජලය ය. වකුගඩු රෝගය පැතිර යෑමට ඒ හේතු සියල්ල කාරක වෙයි) බටහිර කෘෂිවිද්‍යාව ඔස්සේ අප මත පටවා ඇති කෘෂි රසායනිකවල ඇති ආසනික් බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පැවසූ විට මෙරට ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මට විරුද්ධව කළ ප්‍රකාශ හා අපහාස මෙන් ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් නැගුණු විරෝධය කාහටත් මතක ඇතැයි සිතමි. බටහිර විද්‍යාව එයට විරුද්ධව යන කිසිවකට හෝ කිසිවකුට හෝ අබමල් රේණුවක ප්‍රමාණයක ඉඩක් නො දෙයි. එහෙත් මේ සියළු විරුද්ධතා මධ්‍යයේ අද වන විට රජරට ජලයේ ආසනික් තිබෙන බව හා රජරට වකුගඩු රෝගය ආසනික් විසවීමෙන් වැළඳෙන්නක් බව බටහිර විද්‍යාවන් ආශ්‍රයෙන් ම පෙන්වීමට හැකි වී ඇත. එහි දී ඒ බව අපට කලින් ම දැනුම් දුන් නාථ දෙවියන්ට හා විපස්සක දෙවියන්ට අපේ ප්‍රණාමය ප්‍රකාශ කළ යුතු ය. බටහිර විද්‍යාව පසුපස ගොස් තම රැකියාව තහවුරු කරගැනීමට උත්සාහ කරන නිවට බංකොළොත් පුද්ගලයන් මෙන් නොව අප බටහිර විද්‍යාව යොදාගන්නේ එහි මානව විරෝධී ජඩ බව පෙන්වීමට ය.

බටහිර විද්‍යාව ඊනියා සත්‍යය කරා යන්නේ යැයි දැනගැනීමට කිසිම ක්‍රමයක් නැත. එයට හේතුව අප ඊනියා සත්‍යය යනු කුමක් දැයි නො දැනීම ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන බටහිර විද්‍යාව සත්‍යය කරා ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද? යම් අයුරකින් සත්‍යය යනු කුමක් දැයි දැන සිටියේ නම් එවිට ඒ සත්‍යය දැනගැනීම සඳහා බටහිර විද්‍යාවක් හෝ වෙනත් කිසිම දැනුම් පද්ධතියක් හෝ අවශ්‍ය නො වේ. දන්නා දෙයක් නැවතත් දැනගැනීමට වෑයම් කරන්නේ අහවල් දෙයකට ද?

ඇතැමුන්ට අනුව විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි ය. එමෙන් ම ඔවුන් පවසන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට වඩා සත්‍යයට ආසන්න බව ය. මේ අවස්ථා දෙකෙහි දීම ඔවුන් මතුකරන ප්‍රධාන කරුණ නම් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් ලෙස නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ප්‍රතිඵල ලබාගත හැකිවීමත්, නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි ප්‍රතිඵල සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් වීමත් ය.

එක් ප්‍රවාදයකින් ලබාගත හැකි ප්‍රතිඵලවලින් තවත් ප්‍රවාදයක ප්‍රතිඵල සන්නිකර්ෂණ ලෙස ලබාගත හැකි වුවත් ඉන් ඊනියා සත්‍යයක් ගැන කිසිවක් නො කියැවෙයි. මෙහි දී සන්නිකර්ෂණ යනු බටහිර ගණිතය ආධාරයෙන් බොහෝ විට අනන්ත ශ්‍රේණියක ඇතැම් පද නොසලකා හැරීමෙන් ලබාගන්නා ප්‍රතිඵල වෙයි. එයින් ප්‍රවාදවල උපකල්පන, සංකල්ප, ආදිය පිළිබඳ ව කිසිවක් නො කියැවෙයි. ඊනියා සත්‍යය යනු කිසිම සත්‍යයක් ගැන කතා නොකරණ බටහිර ගණිතයේ සන්නිකර්ෂණ සමග බැඳී ඇත්තක් නම් එවැනි සත්‍යයක් ගැන කතාකිරීමෙන් ඇති ඵලයක් නැත.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය එකිනෙකින් වෙන් ව පවතියි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ එකිනෙක සමග බැඳී ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ වෙයි. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය හා අවකාශ ප්‍රාන්තරය නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වෙයි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ ප්‍රාන්තර නිරීක්‍ෂකයා මත රඳා පවතියි. එක් නිරීක්‍ෂකයකු සිද්ධි දෙක අතර මැනගන්නා කාල ප්‍රාන්තරය ඔහුට සාපේක්‍ෂ ව චලනය වන වෙනත් නිරීක්‍ෂකයකු මැනගන්නා කාල ප්‍රාන්තරයට වෙනස් වෙයි. ඒ නිරීක්‍ෂකයන් දෙදෙනාගේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා කුඩා නම් එවිට ගණිතමය සන්නිකර්ෂණයෙන් ඒ කාල ප්‍රාන්තර දෙක සමාන බව පෙන්විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි හා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සංකල්ප සමාන බව නොවේ. ඒ සංකල්ප අහසට පොළොව මෙන් වෙනස් වෙයි. සංකල්ප කෙසේවත් සන්නිකර්ෂණය කළ හැකි නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි යැයි හෝ සත්‍යයට ආසන්න යැයි හෝ කිව නො හැකි ය.

සාධාරණ සාපේක්‍ෂතාවාදය හා නිව්ටෝනීය ගුරුත්වාකර්’ෂණය ගත්කල ද මෙවැන්නක් සිදුවෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵළ සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් අයින්ස්ටයිනීය ප්‍රවාදයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණයක් නැත. එහි පොල් පොළොව කරා ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් නිසා නොව අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. අවකාශ කාලයෙහි වක්‍රතාව හා ගුරුත්වාකර්ෂණය යනු එකකින් අනෙක සන්නිකර්ෂණය කළහැකි සංකල්ප නො වේ. ඒ එක් එක් අවස්ථාවෙහි දී එක් ප්‍රවාදයක් අනෙක් ප්‍රවාදයට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය. ඒ ඒ ප්‍රවාදවල යොදාගන්නා සංකල්ප අතර කිසිම වූ සම්බන්ධයක් නැත. අවකාශය හා කාලය වෙනුවට අවකාශ කාලයත් ගුරුත්වාකර්ෂණ බලය හෝ ක්‍ෂෙත්‍රය හෝ වෙනුවට අවකාශ කාලයේ වක්‍රතාවත් ආදේශ කළ හැකි සංකල්ප නො වේ. සංකල්පීය වශයෙන් කිසිම සමානකමක් නොමැතිව එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය.

බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත (abstract) ප්‍රවාද වෙයි. එහි ඇත්තේ වියුක්ත සංකල්ප ය. එහෙත් වියුක්ත ප්‍රවාද යනු ඊනියා වාස්තවික (objective) ප්‍රවාද නො වේ. වියුක්තය ඇතිවන්නේ සංයුක්තයට එරෙහිව ය. සංයුක්ත සංකල්ප, ප්‍රවාද ආදිය ඉන්ද්‍රිය ගෝචර වෙයි. එනම් බටහිර විද්‍යාවේ දී පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. බටහිර විද්‍යාව මනස ඉන්ද්‍රියයක් ලෙස නොසැලකුව ද, මනස නොමැතිව හුදෙක් පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් සංකල්ප නිර්මාණය කරගත නො හැකි ය. දැනුම නිර්මාණයේ දී මනසෙන් වන සුවිශේෂ කාර්යය නොසලකා හරින බටහිර විද්‍යාව ඒ නිසා ම ප්‍රතිවිරුද්ධතාවල සිරවෙයි.

වියුක්ත සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. එහි දී අනෙක් ඉන්ද්‍රියයන් භාවිතා නො වේ. සරල රේඛාවක් යනු වියුක්ත සංකල්පයකි. එහි රූපයක්, ප්‍රතිබිම්බයක් මනසෙහි නිර්මාණය කරගත නො හැකි ය. සරල රේඛාවක් යනු පොතක පතක ඇඳිය හැකි භූතාර්ථයක් නො වේ. එහෙත් පුටුව, මේසය, බල්ලා වැනි සංයුක්ත සංකල්ප ඇතිවන්නේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වස්තු සම්බන්ධයෙනි. මේ වෙනස අපේ ප්‍රවාද ලිපිවල බොහෝ අවස්ථාවල සාකච්ඡා කෙරී ඇති බැවින් තවදුරටත් ඒ විස්තර කළ යුතු යැයි නො සිතමි.

වියුක්ත සංකල්පයක් වුව ද ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ විය හැකි ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට, එනම් ඇතැම් පුද්ගලයන්ට වියුක්ත සංකල්ප එතරම් හොඳින් ග්‍රහණය කරගත හැකි නො වේ. වියුක්ත වුවත් ඒ ඒ නිරීක්‍ෂකයාට, සංකල්ප, ප්‍රවාද ආදිය, ආත්මීය (පුද්ගල නිශ්‍රිත) විය හැකි ය. සංයුක්ත සංකල්ප සෑම අවස්ථාවක ම නීිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වන අතර වෙනස් වෙයි. ඇතැම් වියුක්ත සංකල්ප ද එලෙස ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. එනම් ඒ වියුක්ත සංකල්ප ඒ ඒ පුද්ගලයාගේ, නිරීක්‍ෂකයාගේ මනසට සාපේක්‍ෂ වෙයි. එවැනි සංකල්ප වියුක්ත වුවත් ආත්මීය වෙයි.

එහෙත් බටහිර විද්‍යාවෙහි ඊනියා වාස්තවික දැනුම් ද වෙයි. ඒ දැනුම් අනිවාර්යයෙන් ම වියුක්ත වන අතර නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වේ යැයි බටහිරයෝ උපකල්පනය කරති. ඊනියා සාර්වත්‍ර නියම (universal laws) මේ වාස්තවික දැනුම්වලින් කොටසකි. බටහිර විද්‍යාවට අනුව නිව්ටෝනීය අවකාශය වාස්තවික වෙයි. ඒ අවකාශය සියළු නිරී’ක්‍ෂකයන්ට පොදු වෙයි. සියළු නිරීක්‍ෂකයෝ අවකාශයෙහි සිද්ධි දෙකක් අතර අවකාශ ප්‍රාන්තරය සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙති. එහෙත් බටහිර විද්‍යාව ඒ බව දන්නේ කෙසේ ද? ඇතැම් නිරීක්‍ෂකයන්ට වියුක්ත සංකල්ප පවා අවබෝධ නොවන තත්වයක, සියළු නිරීක්‍ෂකයන් ඇතැම් වියුක්ත සංකල්ප සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට බටහිර විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් දෙන්නේ කෙසේ ද?