Main Logo

Sunday 8 July 2012

ප්‍රවාද මගින් තේරුම් නොගැනීම

සම්භාව්‍ය භෞතිකයෙහි වස්තුවක් හෝ අංශුවක් හෝ එක් තැනක සිට තවත් තැනකට යෑම යනු කුමක් දැයි තේරුම් ගැනීමට අපි උත්සාහ කරමින් සිටින්නෙමු. මෙතැන තිබූ වස්තුවක් හෝ අංශුවක් හෝ එතැන තිබෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම එතරම් පහසු දෙයක් නො වේ. එතැන තිබෙන්නේත් මෙතැන තිබූ වස්තුව හෝ අංශුව හෝ නො වේ. ඒ වෙනත් වස්තුවක් හෝ අංශුවක් හෝ ද නො වේ. එහෙත් එතැන තිබෙන්නේත් මෙතැන තිබූ අංශුව ම යැයි අපි සිතමු. එය මායාවක් පමණි. එසේ ඒ වස්තුවත් මේ වස්තුවත් එකම යැයි අප සිතන්නේ අපේ අවිද්‍යාව හේතුකොටගෙන ය. එපමණක් නොව එසේ එකම වස්තුවක් ඇතැයි සිතන මා නම් නිරීක්‍ෂකයා ද පවතින්නේ යැයි සිතන්නේ ද අවිද්‍යාව හේතුවෙනි. මේ සියල්ල මා නම් නිරීක්‍ෂකයාගේ අවිද්‍යාව නිසා හටගැනෙයි. මා නම් නිරීක්‍ෂකයා හා අනෙක් වස්තු පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී යැයි කිව හැකි ය.

ආත්මවාදී යැයි කීව ද මෙහි වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නැත. වාද, ප්‍රවාද ආදිය අපේ අනුමාන වෙයි. අප වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නිර්මාණය කරන්නේ යම් සංසිද්ධියක් තේරුම් ගැනීමට ය. සංසිද්ධි ද අපේ නිර්මාණ වෙයි. ඒවා අපේ ප්‍රත්‍යක්‍ෂ විය හැකි ය. එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. පොල් ගෙඩියක් වැටීම අපේ ප්‍රත්‍යක්‍ෂයකි. අපි පොල් ගෙඩි වැටෙනු නිරීක්‍ෂණය කරමු. එය අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. එය අපි අපේ මනසින් ද ගෝචර කර ගන්නෙමු. එහෙත් පොල් ගෙඩිය යනුවෙන් වස්තුවක් ඇතැයි ගැනීම ම ආත්මයක් ඇතැයි ගැනීමකි. අපේ මනස් සකස් වී ඇති ආකාරයට අපි පළමුව මනසක් ඇතැයි ගන්නෙමු. ඉන්පසු පොල් ගෙඩි ආදී අනෙක් වස්තු ඇතැයි ගන්නෙමු.

කෙසේ වෙතත් පොල් ගෙඩි වැටීමේ සංසිද්ධිය, අපේ ප්‍රත්‍යක්‍ෂයක් වූ සංසිද්ධිය තේරුම් ගැනීම සඳහා අපි ප්‍රවාද ගොඩ නගන්නෙමු. ඒ සඳහා නිව්ටන් විද්වතා එක් ප්‍රවාදයක් ද අයින්ස්ටයින් විද්වතා එයට සංකල්පීය වශයෙන් හාත්පසින් ම විරුද්ධ වූ තවත් ප්‍රවාදයක් ද ගොඩ නැගී ය. එකකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන ය. අනෙකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ –- කාලයෙහි වක්‍රතාව නිසා ය. එහෙත් අපට ඒ ප්‍රවාදවලින් පොල් ගෙඩි වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි ද?

මේ තේරුම් ගැනීම යනුවෙන් අප අදහස් කරන්නේ අපට ප්‍රත්‍යක්‍ෂයක්වත් නොවූ පඹගාලක හිරවීම පමණකි. ගුරුත්වාකර්ෂණය යනු කුමක් ද? අප බොහෝ දෙනකු සිතන්නේ අපට ගුරුත්වාකර්ෂණය යන්න තේරෙන්නේ ය කියා ය. එහෙත් ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය වියුක්ත සංකල්පයකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. පොල් ගෙඩිය යනුවෙන් ඊනියා දෙයක් නොපැවතුණ ද වැරදියට වුවත් එය අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි. පොල් ගෙඩිය පොල් ගෙඩියක් ලෙස ගැනීම වැරදි වුවත් අපේ මනස හා පංචෙන්ද්‍රිය උපයෝගී කරගෙන අපි එය, නැවත වරක්, වැරදියට වුවත් ප්‍රත්‍යක්‍ෂ කර ගන්නෙමු.

එහෙත් අපට වියුක්ත සංකල්පයක් වූ ගුරුත්වාකර්ෂණය වැරදියටවත්, වැරදිලාවත් ප්‍රත්‍යක්‍ෂ නො වේ. අවකාශ - කාලයේ වක්‍රතාව ගණිතය නොදැන සිතා ගැනීමටවත් නො හැකි ය. එසේ නම් මෙවැනි අවස්ථාවල වියුක්ත ප්‍රවාද මගින් අප තේරුම් ගන්නේ යැයි කියන්නේ තේරුම් ගෙන තිබූ ටිකත් නැතිකර ගැනීමට මිස අනෙකකට නො වේ. මේ තේරුම් ගැනීම පොතක පතක තිබෙන දුරාවබෝධ වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ තේරුම් ගැනීම මෙන් නො වේ. වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ අවබෝධ කරගත නොහැකි නම් අප කරන්නේ එක්කෝ ශබිදකෝශයක් මගින් ඒ තේරුම් ගැනීම ය. එසේත් නැත්නම් එය තේරුම්ගත් වෙනත් අයකුගෙන් අසා දැන ගැනීම ය. එසේත් නැතහොත් සන්දර්භයට අදාළව එය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.

පළමු අවස්ථා දෙකෙහි අදාළ වාක්‍යය හෝ ඡෙදය හෝ එක්කෝ අප දන්නා අපට තේරෙන වචනවලින් ප්‍රකාශ කර ගැනීමට අපි කටයුතු කරමු. එමෙන් ම අප එතෙක් නොදැන සිටි වචනයක් වී නම් එය ද දන්නා වචනවලින් තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙමු. එසේත් නැතහොත් නොදැන සිටි වචනය ගැන චිත්ත රූපයක් මවා ගැනීමට උත්සාහ කරමු. ඒ කුමක් වුවත් අපට ඒ ඔස්සේ පංචෙන්ද්‍රිය සමග එකතු වී හෝ නැතිව හෝ මනසට දැනෙන සංකල්පයක් අපි තනා ගන්නෙමු. අප සතුටු වන්නේ දුක් වන්නේ මනසෙනි. එය මනසට හා පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන යම් කරුණක් නිසා සිදුවන්නක් විය හැකි ය. එහෙත් සතුටු වීම හෝ දුක්වීම හෝ අපේ මනසට දැනෙන්නකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ වෙයි.

එහෙත් දිව්‍ය ලෝකය අපට ප්‍රත්‍යක්‍ෂ නැත. අපට එය මනසට පෙනෙන, එනම් මනසින් මවාගත හැකි, එහෙත් මනසට නොදැනෙන සංකල්පයකි. දිව්‍ය ලෝක ගැන අපි නොයෙකුත් දේ අසා ඇත්තෙමු. දෙවියන් ගැන ද අප බොහෝ දෙනකුට ඇත්තේ අසා දැනගත් කරුණු ය. පන්සලේ ඇති දේවරූප අපි දැක ඇත්තෙමු. ඒ සියළු කරුණු ඔස්සේ අපි දිව්‍ය ලෝක මනසෙහි මවා ගන්නෙමු. ඇතැමුනට දිව්‍ය ලෝක හයේ නම් ද ප්‍රකාශ කළ හැකි ය. එහෙත් ඒ එක් අයකුටවත් දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නැත. අප සසරේ යම් කාලයක් දිව්‍ය ලෝකවල ගතකර ඇතැයි සිතිය හැකි වුව ද අපට දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නො වේ. දෙවියන් දැක ඇති අයට දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වුව ද ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නැත. ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ නොවූ දැනුමකි.

එහෙත් බුදුන් වහන්සේ රහතන් වහන්සේ ආදී උතුමනට දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ඇත. අප ඒ බව දන්නේ කෙසේ දැයි පඬියකුට ප්‍රශ්නයක් විය හැකි ය. අප ඒ බව දන්නේ අපට උන්වහන්සේ විශ්වාස නිසා හා අප උන්වහන්සේ දේශනාකරන කරුණු විශ්වාස කරන නිසා ය. එය විශ්වාසය මත පදනම් වෙයි. විශ්වාසය නැතිව කිසිම දෙයක් අපට අන්‍යයන්ගෙන් දැනගත නො හැකි ය. අප බටහිර විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ ඒ සියල්ල පිළිබඳ පර්යේෂණකර බැලීමෙන් පසුව නො වේ. අපට ඔවුන් ගැන විශ්වාසයක් ඇති බැවිනි. ඒ විශ්වාසය ගොඩනගා ඇත්තේ පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය විසිනි.

දිව්‍ය ලෝක ගැන අපට ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නැතත් ඒ පිළිබඳ ව බුදුන් වහන්සේට හා රහතන් වහන්සේට ප්‍රත්‍යක්‍ෂයක් ඇත. එහෙත් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ව ප්‍රත්‍යක්‍ෂයක් ඇත්තේ කාහට ද? මා දන්නා තරමින් එලෙස ප්‍රත්‍යක්‍ෂයක් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ එක්තරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට පමණකි. එහෙත් ඔහු ද තමාට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයක් ඔස්සේ දැයි කීමට මැළි විය. ඔහු හැරෙන්නට වෙනත් කිසිම අයකුට මා දන්නා තරමින් නම් ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වී නැත.

අඩුම තරමෙන් නිව්ටන් විද්වතාවටවත් ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වූවක් නො වේ. ඔහු ගුරුත්වාකර්ෂණය හඳුන්වා දුන්නේ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ය. එය හිතළුවක් පමණකි. නිසැකයෙන් ම එය ඔහුගේ මනසෙහි නිර්මාණය වූවකි. වෙනත් වචනවලින් කිවහොත් එය මනඃකල්පයකි. අපට සුපුරුදු බසින් කිවහොත් මනස්ගාතයකි. එහෙත් මනස්ගාතවලින්් පටන්ගෙන ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් බටහිර විද්‍යාඥයන්ට යම් යම් කරුණු ප්‍රකාශ කළ හැකි ය. මේ ප්‍රකාශවලට නිගමන යැයි කීමට මා මැළිවන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමනයක් පමණක් වීම නිසා ය.

බටහිර විද්‍යාවේ තේරුම් ගැනීම යනු දුරාවබෝධ වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ තේරුම් ගැනීම වැන්නක් නො වේ. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද ඔස්සේ තේරුම් ගැනීම යනු තේරුම් නොගැනීමක් පමණක් නොව තේරුම් ගෙන සිටි දෙයත් නැතිකර ගැනීමකි. බටහිර විද්‍යාවේ ප්‍රවාදයක් යනු සංගත එහෙත් හිතළුවක්, කතන්දරයක් පමණකි. මේ කතන්දරය ඊනියා සත්‍යයක් යැයි මිනිසුන් ලවා විශ්වාස කරවීමට හැකි වී ඇත්තේ ඒ කතන්දරයට ඇරිස්ටෝටලීය න්‍යාය යෙදීමෙන් ලබාගන්නා ප්‍රකාශ සන්නිකර්ෂණ ව යම් වෙසෙසියා මට්ටමක (level of significance) නිරීක්‍ෂණ සමග එකඟ වන බැවින් ය. ඒ හැරෙන්නට හිතළුව අපේ ප්‍රත්‍යක්‍ෂයක් නො වේ.

නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය අර කථිකාචාර්යවරයාගේ හැරෙන්නට එදා මෙදාතුර විසූ කිසිවකුගේවත් ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එහෙත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය උපයෝගී කරගනිමින් උද්ගමනයක් පමණක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් තවත් හිතළුවක් වූ නිව්ටෝනීය දෙවැනි නියමය ද ආධාර කරගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොව ආසන්නයේ වස්තු ඒකාකාර ව එකම අගයකින් පොළොවට ඇද වැටෙන බව ද ග්‍රහ වස්තු අචල ඉලිප්සවල චලනය වන බව ද ප්‍රකාශ කරති. එය සන්නිකර්ෂණ ව මිනිසුන්ගේ නිරීක්‍ෂණ සමග එකඟ වෙයි. මෙහි දී කිවයුතු කරුණක් නම් මිනිසුන් ඒ සමග එකඟ වන්නේ බටහිර විද්‍යාඥයන් අනුව සිතන්නට ඔවුන්ට පුරුදු කිරීමෙන් පසුව බව ය. ඒ කෙසේ වෙතත් ග්‍රහ වස්තු අවකාශයේ අචල ඉලිප්සවල චලනය නො වේ. ඒ ඉලිප්සවලට ද “චලිතයක්” වෙයි.

අයින්ස්ටයිනීය අවකාශ - කාල වක්‍රතාව ගුර්ත්වාකර්ෂණයටත් වඩා වියුක්ත සංකල්පයකි. ඒ ගැන කිසිවකුට චිත්ත රූපයක්වත් මවාගත නො හැකි ය. එහි ප්‍රත්‍යක්‍ෂතාවක් ගැන කිසිසේත් ම සිතිය නො හැකි ය. එහෙත් නැවතත් ඒ සංකල්පය, අයින්ස්ටයිනීය ක්‍ෂෙත්‍ර සමීකරණ හා ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගෙන බටහිර විද්‍යාඥයන්ගේ ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ වන ප්‍රකාශ ලබාගත හැකි වෙයි. පොල් ගෙඩි පොළොවට වැටීම කාගේත් ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් අවකාශ –- කාල වක්‍රතාව කිසිවකුගේවත් ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. අප කාහටත් තේරුම් ගත හැකිව තිබූ පොල් ගෙඩි, ඇපල් ගෙඩි ආදිය පොළොවට ඇද වැටීම දැන් ලෝකයෙහි ලක්‍ෂයකට අඩු පිරසකගේ ප්‍රත්‍යක්‍ෂයක් නොවූ සංකල්පයක් පමණකි. එය මනසටවත් නොදැනෙන හුදෙක් මනසෙහි ඇති වූ සංකල්පයක් පමණක් වෙයි. මනස්ගාතයක් පමණකි.

මෙහි දී අවධාරණය කළ යුත්තේ පෘථග්ජනයන්ට ප්‍රත්‍යක්‍ෂ වූ දෑ ද ඊනියා සත්‍ය නොවන බව ය. පෘථහ්ජන ප්‍රත්‍යක්‍ෂ ද අවසාන වශයෙන් ගත්කල ඔවුන්ගේ පංචෙන්ද්‍රිය හා මනස මගින් නිර්මාණය කෙරෙයි. අප සියළු දෙනාට ම තමන් ගැන ප්‍රත්‍යක්‍ෂයක් වෙයි. බටහිර දාර්ශනිකයකු වූ දෙකාර්තේ පැවසුවේ “ මම සිතමි. එබැවින් මම වෙමි” යනුවෙනි. මේ තර්කයෙි ද මම වෙමි යන්න කල් තබා ම උපකල්පනය කෙරී ඇත. මම සිතමි යනුවෙන් පවසන විට සිතන්නේ මා බව කියැවෙයි. එසේ උපකල්පනය කර තිබිය දී මම වෙමි යනුවෙන් පැවසීම ව්‍යාජ නිගමනයක් පමණකි. දෙකාර්තේ කුමක් කීවත් මිනිසුනට තමන් පවතින බව ප්‍රත්‍යක්‍ෂ ය.

එහෙත් සිංහල බෞද්ධයනට මා යනුවෙන් කෙනකු නැත. එසේ නම් මිනිසුනට ප්‍රත්‍යක්‍ෂ වන්නේ ද නැති දෙයකි. එහෙත් ඒ නැති දෙයක් ලෙස මිනිසුන් විසින් සලකනු නො ලැබෙයි. පුටුව පිළිබඳ මිනිසුන්ගේ ප්‍රත්‍යක්‍ෂය වුව ද එබඳු ය. මිනිසුන්ට අනෙක් සත්වයන්ට ද නැති දේ ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපි සම්මුතියෙන් ඒ ඇතැයි සලකමු. පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ගැන වුව ද අපට සෑහීමකට පත්විය නො හැකි ය. වාද හා ප්‍රවාද ආශ්‍රිත දැනුම ගැන ඒ තරමටවත් සෑහීමකට පත්විය නොහැක්කේ ප්‍රවාදය ම හිතළුවක් වන බැවින් හා ඊනියා නිගමනවලට එළඹීමේ දී යොදා ගන්නා ඇරිස්ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමන වීම නිසා ය. ඊනියා අනාත්මවාදය, වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නොව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයකි. මම බුදුන් වහන්සේ විශ්වාස කරමි.