Main Logo

Sunday, 15 July 2012

දේව අංශුවේ ස්කන්ධය

අප ප්‍රවාදවලින්, එසේත් නැත්නම් ප්‍රවාද යොදාගෙන තේරුම් නොගැනීම සාකච්ඡා කිරීමට පටන්ගත්තේ ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගන්නේ කෙසේ ද යන්න අපේ අවධානයට යොමු වීමෙන් පසුව ය. ක්වොන්ටම් අංශුවක් එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට චලනය වන්නේ කෙසේ ද? එය අපේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එය අපේ ප්‍රත්‍යක්‍ෂය නො වේ. ක්වොන්ටම් අංශුවක් දුටු අයකු නැත. බටහිර විද්‍යාඥයන් දකින්නේ සේයා පටවළ සඳහන් වන රේඛා පමණකි. ඒ රේඛා ඇතැම් විට බෙදෙයි. එකතු වෙයි. බටහිර විද්‍යාඥයෝ මේ ඡායාරූප විශ්ලේෂණය කරති. ඔවුහු එහි අංශු දකිති. ඒ යම් ප්‍රවාද හා ඒ ප්‍රවාදවල අර්ථවිවරණවලට අනුකූලව ය. බටහිර විද්‍යාඥයෝ බොහෝ දුරට සංගත ව මේ කාර්යයෙහි නිරත වෙති.

පසුගිය දා බටහිර විද්‍යාඥයන් අතර මහත් ආන්දෝලනයකට ලක් වූ ඊනියා දේව අංශුව (God Particle)හෙවත් හිග්ස් බෝසෝනය ද බටහිර වි්‍යාඥයන් විසින් නිරීක්‍ෂණය කෙරී නැත. ඔවුන් දැක ඇත්තේ ස්විට්සර්ලන්තයේ සර්න් පරීක්‍ෂණාගාරයෙහි අංශු ගැටීම්වලට භාජනය කෙරුණු උපකරණවල සේයා පටවළ සඳහන් වූ රූප සමූහයකි. මේ රූප සමූහය විවරණය කරන බටහිර විද්‍යාඥයෝ එයින් හිග්ස් බෝසෝනයේ ගුණවලට බොහෝ සමානකම් ඇති අංශුවක් දකිති. මෙහි දකිති යනුවෙන් සඳහන් වන්නේ අංශුව දැකීමක් නොව අංශුවක් ඇතැයි යන අර්ථකථනයක් පමණකි. ඒ දැකීමෙහි ද හිග්ස් බෝසෝනයෙහි ගුණවලින් යම් ප්‍රමාණයක් දැකීමට බටහිර විද්‍යාඥයෝ අසමත් වෙති. එහෙත් බටහිර විද්‍යාඥයන්ගෙන් බොහෝ දෙනෙක් තම අර්ථකථනයට අනුව තමන් දකින්නේ හිග්ස් බෝසනයක් යැයි සලකති. කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන් දැක ඇත්තේ හිග්ස් බෝසනය මැයි අපි උපකල්පනය කරමු.

එහෙත් මේ අංශුවට (කොමා ඇතුළෙහි වුවත්) බටහිර විද්‍යාඥයන් ඊනියා දේව අංශුව යැයි කියන්නේ ඇයි? මේ අංශුව හේතුකොට ගෙන බටහිර විද්‍යාවේ සඳහන්වන මූලික අංශුවලට ස්කන්ධය යන ගුණය ලැබේ යැයි බටහිර විද්‍යාඥයෝ කියති. මේ අංශුව මගින් නිරූපණය වන ක්‍ෂෙත්‍රයක් ඇතැයි සලකන බටහිර විද්‍යාඥයෝ වෙනත් අංශු මේ ක්‍ෂෙත්‍රය සමග ඇතිකරන අන්තර් ක්‍රියා හේතුවෙන් ඒ අනෙක් අංශුවලට ස්කන්ධය නම් ගුණය ලැබෙන්නේ යැයි සිතති. එසේ ස්කන්ධයක් නො ලැබිණි නම් ඒ අංශු ද ෆෝටෝන හෙවත් ආලෝක අංශු මෙන් විශ්වයේ සැරිසැරීමට තිබිණි යැයි බටහිර වි්‍යාඥයෝ කියති. එසේ වී නම් අංශු එකතුවීමක් හා ඒ ඔස්සේ සූර්යයා මන්දාකිණි, ග්‍රහ වස්තු ආදී වස්තු ඇතිවීමක් දැකීමට අවස්ථාවක් නොකැබෙනු ඇතැයි බටහිර භෞතික විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. කෙටියෙන් කිවහොත් හිග්ස් බෝසෝනය නොවන්නට අපත් නැත.

හිග්ස් බෝසෝනය යම් ක්‍ෂෙත්‍රයකට තුල්‍ය යැයි ද ඒ ක්‍ෂෙත්‍රය විශ්වය පුරා සෑම තැනම පැතිරී ඇතැයි ද කියැවෙයි. අනෙක් බෝසොාන මෙම ක්‍ෂෙත්‍රය සමග අන්තර්ක්‍රියාවක යෙදීමේ ප්‍රතිඵළය වනුයේ ඒ අනෙක් බෝසෝනවලට ස්කන්ධය නම් ගුණය ලැබීම ය. එහෙත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. හිග්ස් බෝසෝනයට ස්කන්ධයක් ලැබෙන්නේ කෙසේ ද? පීටර් හිග්ස් විද්වතාට හා අනෙක් අයට හිග්ස් බෝසෝනය පිළිබඳ අදහස ඇති වී ඇත්තේ 1964 අවුරුද්දේ ය. ඒ අනෙක් බෝසෝනවලට ස්කන්ධය නම් ගුණය ලැබෙන්නේ කෙසේ දැයි තේරුම් කිරීමට ය. එහෙත් හිග්ස් බෝසෝනයට ස්කන්ධය දෙන්නේ කවු ද යන ප්‍රශ්නයට පිළිතුරක් දීමට ඔවුන් උත්සාහ කර නැත.

දැන් අපට අංශුවක ස්කන්ධය යන සංකල්පය තේරුම් ගැනීමට හැකි ද? අපට පාසලේ දී අංශුවක හෝ වස්තුවක හෝ ස්කන්ධය යන්න එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස උගන්වන ලදී. එය දැන් පාසල්වල කෙසේ ඉගැන්වෙන්නේ දැයි නො දනිමි. එකල එය තේරුම් ගැනීමට මට නොහැකි වූ බව නම් කිව යුතු ය. විභාගවලට ඉගෙන ගන්නා විට නොතේරෙන දෙයක් වේ නම් එය මතක තබාගැනීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයයි. එහෙත් විභාගවලින් බාහිර ව යමක් ඉගෙන ගැනීමේ දී අපට එයින් සෑහීමට පත්විය නො හැකි ය. ඒ තේරුම් ගැනීමට උත්සාහ කරමු. අපට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත යුතු ය.

ස්කන්ධය යනු අංශුවක ද්‍රව්‍ය ප්‍රමාණය යැයි කී විට අවබෝධ වන්නක් නැත. එහෙත් එය අංශුව හිග්ස් බෝසෝනය සමග ඇතිකෙරෙන අන්තර් ක්‍රියාවකින් පසු අංශුවට ඇති වන ගුණයක් යැයි කී විට එයින් පාසලේ දී උගත් දෙයට වඩා යමක් නූගැන්වෙයි. පාසලේ දී අඩු තරමෙන් ස්කන්ධය යන්න ස්කන්ධය යන සංකල්පය යොදා ගැනීමකින් තොරව විස්තර කෙරෙයි. එහෙත් අංශුවක ස්කන්ධය හිග්ස් බෝසෝනය ඔස්සේ තේරුම් ගැනීමේ දී කුමක් සිදුවේ ද? මෙහි දී ප්‍රධාන ම ප්‍රශ්නය වනුයේ හිග්ස් බෝසෝනයට ද ස්කන්ධයක් තිබීම ය. එහි ස්කන්ධය 125.3 GeV ශක්තියකට තුල්‍ය යැයි සඳහන් වෙයි. මෙහි GeV යනුවෙන් සඳහන් වන්නේ ගිගාඉලෙක්ට්‍රෝනවෝල්ටයකි. 1 GeV ක් කිලෝ ග්‍රෑම් 1.783×10−27 ස්කන්ධයකට තුල්‍ය වෙයි. අයින්ස්ටයිනීය E=mc2 සමීකරණයට අනුව ස්කන්ධය ශක්තියට තුල්‍ය වශයෙන් ලිවිය හැකි ය.

මෙහි දී ප්‍රශ්නය වනුයේ වෙනත් බෝසෝනයක ස්කන්ධය හිග්ස් බෝසෝනයේ ස්කන්ධය උපයෝගී කරගනිමින් ලිවීම ය. හිග්ස් බෝසෝනයට ස්කන්ධය නම් ගුණය ලැබෙන්නේ කෙසේ දැයි නො කියැවෙයි. එය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ ද? බටහිර භෞතික විද්‍යාඥයන් හිග්ස් බෝසෝනයට දේව අංශුව යැයි ප්‍රසිද්ධියේ නොකියනු ඇත. එහෙත් බටහිර විද්‍යාව නිර්මාණය කෙරෙන යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් හිග්ස් බෝසෝනය දැනටමත් දේව අංශුව ලෙස බෞතීස්ම කරනු ලැබ ඇත. මා සිතන අයුරෙන් නම් බටහිර භෞතික විද්‍යාඥයන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ නොකීව ද ඔවුන් ද එය අනුමත කරනු නිසැක ය.

එයට හේතුව බටහිර විද්‍යාඥයන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි තම දැනුම නිර්මාණය කිරීම ය. ඔවුන් ඒ පිළිබඳ ව සවිඥානික වුවත් නැතත් හිග්ස් බෝසෝනයට වෙනත් භෞතික හේතුවක් නිසා ස්කන්ධයක් නො ලැබෙයි. බටහිර විද්‍යාඥයෝ විශ්වයේ ඕනෑම ප්‍රපංචයක් ඊනියා භෞතික හේතු ඇසුරෙන් විස්තර කරන බව මහත් උජාරුවෙන් කියති. ඊනියා හේතුවාදීහු හෙවත් බුද්ධිවාදීහු ද ප්‍රපංච සඳහා හේතු දෙති. එහෙත් බටහිර විද්‍යා ආකෘතිය අනුව විශ්වය සම්බන්ධයෙන් ප්‍රධාන ම කරුණ වනුයේ අවුරුදු බිලියන 13.7කට ඉහත දී සිදු වී යැයි කියන මහා පිපිරුම හෙවත් විශ්වයේ ආරම්භය ය. එය ප්‍රධාන ම කරුණ වුවත් බටහිර විද්‍යාඥයන්ට ඒ සඳහා හේතුවක් දැක්විය නො හැකි ය. ඊනියා හේතුවාදීන්ට බටහිර විද්‍යාව ගැන කිව හැක්කේ කුමක් ද? ඔවුහු හේතුවක් දැක්වීමට නොහැකි මහා පිපිරුම පිළිගනිත් ද?

හිග්ස් බෝසෝනය විශ්වය ඇති වී තත්පරයෙකින් ට්‍රිලියනයකින් එකක් ඇතුළත නිර්මාණය වී යැයි කියනු ලැබෙයි. එහෙත් එය ඇතිවීමටවත් එයට ස්කන්ධයක් තිබීමටවත් හේතුවක් බටහිර භෞතික විද්‍යාවෙන් නො කියැවෙයි. මෙය ඕනෑම රේඛීය දැනුම් පද්ධතියක ඇති ප්‍රශ්නයකි. රේඛීය දැනුම් පද්ධතිවල මුලක් ඇත. ඒ මුල තේරුම් කර දීමට වෙනත් මුලක් නැත. ප්‍රත්‍යක්‍ෂය මත නොව උද්ගමනය මත පදනම්වන වියුක්ත දැනුම් පද්ධතියක් වූ බටහිර විද්‍යාවෙහි මේ ප්‍රශ්නය වඩාත් තීව්‍ර ආකාරයකින් මතුවෙයි.

බටහිර යුදෙව් සංස්කෘතියෙහි හිග්ස් බෝසෝනයට ස්කන්ධයක් ලැබීමට හේතුව නො කියැවෙයි. එහෙත් ඊනියා හිග්ස් ක්‍ෂෙත්‍රය සමග අන්තර්ක්‍රියාවෙන් පසු අනෙක් බෝසෝනවලට ස්කන්ධ ලැබෙයි. වෙනත් වචනවලින් කිවහොත් බෝසෝනය එක් අතෙකින් ගත්කල තමන් ම තමන්ට ස්කන්ධය ලබා ගෙන අනෙක් අංශුවලට ස්කන්ධය ලබාදෙන දේව අංශුවක් ලෙස ක්‍රියා කරයි. තවත් පැත්තකින් ගත්කල හිග්ස් බෝසෝනයට ස්කන්ධය ලබාදුන්නේ දෙවියන් වහන්සේ යැයි ගෙන එයට දේව අංශුව යැයි කිව හැකි ය. බටහිර භෞතික විද්‍යාඥයන් කුමක් කීවත් ඔවුන්ට දෙවියන් වහන්සොගෙන් වෙන් විය නො හැකි ය.

බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එහි දැනුම් පද්ධතියට ආරම්භයක් ඇත. එනම් මැවීමක් ඇත. ඒ මැවීමට මැවුම්කරුවකු නැතැයි බටහිර විද්‍යාඥයන්ට කිව හැකි ය. එසේ වුවත් හේතුවක් නොමැතිව ඇතිවූවක් එහි වෙයි. මහා පිපිරුම මෙන් ම හිග්ස් බෝසෝනය ද එයට උදාහරණ වෙයි. ඒවා ප්‍රත්‍යක්‍ෂයෙන් වියෝ වූ සංසිද්ධි ය. මේ වියුක්ත සංසිද්ධිවලට ඊනියා තේරුමක් ලබාගත හැක්කේ එලෙස ම ප්‍රත්‍යක්‍ෂ නොවූ වියුක්ත දෙවියන් වහන්සේ කෙනකු හෝ ඒ දෙවියන් වහන්සොගේ යම් තුල්‍ය සංකල්පයක් ඔස්සේ ය.

හිග්ස් අංශුව දේව අංශුව ලෙස නම් කළේ කවුරුන් දැයි නො දනිමි. කවුරුන් විසින් එසේ නම් කෙරුණ ද ඒ තැනැත්තා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇති දැඩි වූවකු බව පැහැදිලි ය. ඔහු බටහිර විද්‍යාඥයකු වුවත් නැතත් තමන් කරන දේ පිළිබඳ ඉවෙන් දැනගත් අයකු විය යුතු ය. තම සංස්කෘතියෙහි අවසන් වශයෙන් යමක් තේරුම් ගන්නේ වියුක්ත වූ ද ප්‍රත්‍යක්‍ෂයක් නොවු ද දෙවියන් වහන්සේ කෙනකු මගින් බව ඔහු දැනගෙන සිටි බව පැහැදිලි ය. තම සංස්කෘතියට අදාළ ආකාරයට ඔහු ප්‍රත්‍යක්‍ෂයෙන් නොදන්නා එහෙත් හුදු විශ්වාසයෙන් පමණක් අදහන දෙවියන් වහන්සේ කෙනකු ඔස්සේ අනෙක් සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කරයි.

බටහිර විද්‍යාව මොන තරම් පාරම් බෑවත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වන බටහිර විද්‍යාවට දෙවියන් වහන්සේගේ ම පිහිට යැදීමට සිදුවෙයි. එහෙත් මෙරට බෞද්ධ යැයි කියාගන්නා ඊනියා විද්‍යාඥයෝ ද හේතුවාදීහු ද තවත් එවැනි පම්පෝරිකරුවෝ ද බටහිර විද්‍යාව සරණ යති. අප දැන්වත් මේ භයානක උගුලෙන් ඉවත් විය යුතු ය. බුදු දහම යනු ලොවේ වටිනා ම දැනුම ය. එවැනි දැනුමක් සහිතව අප බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි දේශපාලන හා සංස්කෘතික යටත්විජිතවාදයට යටවන්නේ ඇයි?

තේරුම් ගැනීම යන්න තේරුම් ගැනීම ම අසීරු කරුණකි. බටහිර විද්‍යාවෙහි යම් යම් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් ගැනෙන්නේ උද්ගමනයෙන්, වියුක්තකරණයෙන් හා තවත් උද්ගමනයක් පමණක් වූ ඇරිස්ටෝටලීය න්‍යායෙනි. එහි ප්‍රත්‍යක්‍ෂයක් ගැන කතා නො කෙරෙයි. එහි දී කෙරෙන්නේ ඊනියා ප්‍රවාද මත යැපීමකි. එහෙත් බටහිරයෝ ඒ ගැන තැකීමක් නොකර ඔවුන්ගේ වියුක්ත දැනුම පිළිගන්නා ලෙස අපට බලකරති.

බටහිරයෝ් හිග්ස් බෝසෝනය ගැන ලොකු ඝෝෂාවක් නගති. එහෙත් විශ්වයෙහි දැනට ඇතැයි කියන අංශුවලින් ඉතා සුළු ප්‍රමාණයක ස්කන්ධ පමණක් ඉහත සඳහන් අඩුපාඩු මැද හිග්ස් බෝසොානයෙන් තේරුම් ගත හැකි ය. බටහිර විද්‍යාඥයන්ට අනුව විශ්වයෙහි ඉතා වැඩි ප්‍රමාණයක් ඇත්තේ අඳුරු ද්‍රව්‍ය වෙයි. අඳුරු ද්‍රව්‍යවල ස්කන්ධය හිග්ස් බෝසෝනයෙන් විස්තර කළ නො හැකි ය. හිග්ස් බෝසෝනයෙන් තේරුම් ගත හැක්කේ ඊනියා සාමාන්‍ය අංශු ය.

ඒ හැරෙන්නට ඊනියා ගුරුත්වය ඇත්තේ සම්මත ආකෘතියෙන් බාහිර ව ය. අයින්ස්ටයිනීය සාධාරණ සාපේක්‍ෂතාවාදය සම්මත ආකෘතිය තුළට ගැනීමට තවමත් හැකි වී නැත. එහෙත් බටහිර විද්‍යාඥයන් කතා කරන්නේ සියල්ල තේරුම් කර දෙන මහා ප්‍රවාදයක් ඔවුන් කියන ආකාරයට සොයා ගැනීමට ය. ඔවුන්ගේ මහන්තත්වය එබඳු ය.